Friday, 27 February 2015

මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!


දැන් මෙය තරමක් පරණ කතාවකි. නමුත් කාලීනබව ගැන නොතකා ලියන්නට සිත් විය.

ලංකාවේ හිටපු ලොක්කා සහ අළුත් ලොක්කා දේවාලයක තප්ලම් ලා ගෙන මිත්‍යා බලවේගයක පිහිට පතන අයුරු දැක්වෙන ඉහත ඡායාරූප ද්වය සංසන්දනය කෙරුණු සටහන් අන්තර්ජාලයේ සහ විශේෂයෙන් වත්පොතේ සංසරණය වී දැන් සතියක් පමණ වේ.

ඒ ඡායාරූප දුටු විට මට ඉබේම කියවෙන්නේ, ප්‍රතිචාරය ලෙස ලියවෙන්නේ, "නොදකින්" කියා ය.

"නොදකින්" යනු, නරක වචනයක් නොවේ. එහි තේරුම (මෙවැනි අප්‍රසන්න දර්ශනයක් යලිත් වරක්) දැකීමට නොලැබේවා යන්නයි. එය ධනාත්මක ප්‍රාර්ථනයකි!

මා ඒ දිනවල වත්පොතේ දුටු ඒ ආකාරයේ සංසන්දනාත්මක ඡායාරූප ද්වය පසුබිම් කරගෙන "එකම පසුගාමී සමාජ ක්‍රමයේ එකට තෝම්බුවේ බැඳපු එළ සහ මී හරක් දෙන්නා" යන සටහන ද සහිතව සැකසුණු රූපයක් සුපුරුදු "නොදකින්" යන ප්‍රතිචාරය ඇතුලත් කර මගේ මුහුණු පොතේ මිතුරන් අතරේ බෙදා හැරියෙමි.


එයට ප්‍රතිචාරයක් දක්වන මගේ එක් මිතුරෙකු කියා තිබුණේ "අං තට්ටුවක් විතරයි අඩු!" කියා ය.

එය දැක මට අවවාදාත්මක පිළිතුරක් දෙන වෙනත් මිතුරෙකු මෙසේ ලියා තිබුණි.
"මේ දෙමල සංස්කෘතියේ කොටසකි. උඹලා ගේ මේ අසංවේදී කමෙන්ටු නිසා දෙමල මිනිසුන් ගේ හැඟීම්වලට ගැරහීමක් වෙනවා යැයි සිතෙන්නේ නැතිද?

මේ මිනිසුන් දෙන්නා කවුරු වුනත්, අපේ රටේ ජනතාව ගේ බහුතර ඡන්දයෙන් පත්වූ අයයි. මිනිසුන් සිතුම් රටාව වෙනස් කිරීම එකකි, නමුත් හැම දේටම ඇඟිලි ගසා සිනාසීම වෙනත් දෙයකි."
ඉංගිරිිසියෙන් ලියා තිබුණු, ඉහත අවවාදාත්මක ප්‍රතිචාරයේ දෙවෙනි කොටස මට නම් තවමත් අප්‍රභංශයකි. පැහැදිලි මුල් කොටස ගැන සිතා මම පහත පිළිතුර ලියූවෙමි.
"මේ දෙමල සංස්කෘතියයි කීම නොමග යවන ප්‍රකාශයකි. මේ හින්දු ආගමික ස්ථානයකි. මේ මිනිසුන් නිරත වෙන්නේ හින්දු ආගමික කටයුත්තකයි.

මට මේ ගැන ඇති ප්‍රශ්න මෙසේ ය.
  1. මේ හාදයෝ දෙන්නා, කෛයිරාටිකයෝ ය. මුං ලංකාවේ දී දෙවියන් ඇදහීමක් නැති තෙරුවන් සරණ ගිය බෞද්ධයින් ය. නමුත් ඉන්දියාවේ දී මෙලෙස දේවාලවලට ගොස් දෙවියන් සරණ යති.
  2. මුං නිසැකවම මේ ගමන් ගොස් ඇත්තේ ලංකාවේ බදු ගෙවන්නන් ගේ මුදලිනි. ඉන්දියාවේ මිනිසුන්ට ද මේ සඳහා (ආරක්‍ෂාව වැනි කටයුතු) පිරිවැය දැරීමට සිදුවී ඇත.
  3. කෝවිල්වලට ගොස් බාර හාර වීමෙන්, පූජා පැවැත්වීමෙන් ඡන්ද දිනිය හැකිය යන මිත්‍යාව මුං අදහති.
  4. රජය සහ ආගම යනු එකට ඈඳිය යුතු නොවන සංස්ථා ද්වයක් ලෙස මම දකිමි. එනිසා, දේශපාළුවන්ට පුද්ගලිකව තමන්ගේ ආගම් ඇදහිය හැකි නමුදු, ප්‍රසිද්ධියේ කිසිදු ආගමකට හෝ ආගම් කිහිපයකට වැඩි ඇල්මක් ලැදියාවක් නොදැක්විය යුතුය."
ඉහත ඡායාරූප දකින විට "නොදකින්" ධනාත්මක ප්‍රාර්ථනය මගේ මුවට නැගෙන්නේ ඇයි දැයි ඉහත සටහනෙන් පැහැදිලිවෙනු ඇත.

-රසිකොලොජිස්ට්

(images: http://www.prokerala.com/news/photos/tirupati-president-of-sri-lanka-mahinda-rajapaksa-248520.html and http://www.newswala.com/India-National-News/Sri-Lankan-President-M.Sirisena-visits-Lord-Venkateswara-temple-in-Tirumala-137555.html)

Wednesday, 25 February 2015

ඊළඟ ජනාධිපති ගේ ඡායාරූපය ගාලු මුවදොර පිටියේ හොරෙන් බෙදයි! - Next president..!, next president..!


ජේ.ආර්. ජයවර්දෙන ලංකාවේ මුල්ම විධායක ජනාධිපති වූයේ ඡන්දයකින් දිනා නොවේ.

අලුතින් ගෙනා ව්‍යවස්ථාව ලියා තිබුණේ මුල් වාරයේ පමණක් එවකට සිටින අගමැතිට විධායක ජනාධිපති වීමට "පිනා චාන්ස්" එකක් ලැබෙන ආකාරයටයි. (එවැනි පිනා චාන්ස් ලැබෙන තවත් ක්‍රමයක් ඇති බව අපි පසුව දැන ගත්තෙමු!)

මහ ඡන්දය දිනා 1977 සිට ජේආර් ජයවර්දෙන අගමැතිව සිටි කාලයේ පාර්ලිමේන්තුවේ සභානායක වී සිටියේ, එජාප උප නායකයා ද වූ, ර. ප්‍රේමදාස ය.

ර. ප්‍රේමදාස යනු එවකට ජේ.ආර්. ළඟට පක්‍ෂයේ සිටි ජ්‍යෙෂ්ඨයා නොවේ. නුවර පළාතේ යූඇම්පී දේශපාළුවෙකු වූ ඊ.එල්. සේනානායක වැන්නෝ ප්‍රේමදාසට වඩා ජ්‍යෙෂ්ඨයෝ වූහ. මා අසා ඇති විදියට, සේනානායක වැනි අය ප්‍රේමදාසට අගමැති තනතුර දෙනවාට කිසිසේත් කැමති වී නැත.

ඊට කලින් තිබූ 1965-1970 යූඇම්පී ආණ්ඩුවේ ර. ප්‍රේමදාස බොහෝ කලක් සිට ඇත්තේ උප ඇමතිවරයෙකු ලෙසයි. ඉන්පසුව ඔහු දැරු ඇමතිකම ද කැබිනට් ඇමතිකමක් නොවේ. ඔහු පක්‍ෂයේ ඉදිරියට ආවේ, විපක්‍ෂයේ ගතකළ 1970-77 කාලයේ දී ක්‍රියාන්විත නායකයෙක් සහ දක්‍ෂ කථිකයෙක් ලෙස කටයුතු කළ නිසා යැයි සිතමි.

ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ලෙස ජේ.ආර් ජයවර්දෙන දිවුරුම් දුන්නේ 1978 පෙබරවාරි හතර වෙනිදා ය. මේ කාලයේ පෙබරවාරි හතර වෙනිදා යනු රජයේ නිවාඩු දිනයක් නොවේ. එයට හේතුව නම්, 1972 දී ලංකාව එංගලන්ත මහ රැජිනගෙන් සම්පූර්ණව නිදහස් වී ජනරජයක් වූ මැයි 22 දා, ලංකාවේ ජාතික දිනය ලෙස සැමරීමයි. පසුව 1979 සිට පෙබරවාරි හතරවෙනිදා ලංකාවේ ජාතික දිනය ලෙසත් රජයේ නිවාඩු දිනයක් ලෙසත් නම් කෙරුණු අතර, එතෙක් ජනවාරි පළමුවැනිදාට යෙදී තිබුණු ජාතික වීර දින රජයේ නිවාඩු දිනය මැයි 22 දිනට ගෙන යන ලදී. (මීට වසර ගණනාවකට පසු මැයි 22 දාවක මා ජාතික මට්ටමේ නොවුණත් පුද්ගලික මට්ටමේ වීරත්වයක් ලබා ගත්තෙමි. ඒ කතාව පසුවට!)

ඉහත විස්තරයෙන් මට කියන්නට වුවමනා වූයේ මේ කියන 1978 පෙබරවාරි හතරවෙනිදා නිවාඩු දිනයක් නොවූ බැවින් අප පාසල් ගිය බවයි.

පාසලට ගොස් මද වේලාවක් තුන්මහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි අපේ 10-9 පන්තියේ ගත කළ පසු මගේ මිතුරු උදය සහ මා තීරණය කළේ එදින ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනාධිපති දිවුරුම් දීමේ උත්සවය නරඹන්නට යෑමටයි. යූඇම්පීය මහ ඡන්දෙන් දිනන බවට ඔට්ටුවක් අල්ලා රුපියල් පහක් දිනූ මගේ යුඇම්පී කම ඒවන විටත් එලෙසම තිබුණු බව මේ අනුව පෙනේ. (ඇත්තටම එය නැතිවූයේ 1980 මැද භාගයේ දී පමණය!)

පාසලෙන් පිටවී මරදානට පයින් ගිය අපි දෙදෙනා, දුම්රියෙන් කොටුවට ගොස් එතැන සිට ඇවිදගෙන ගාලු මුවදොර පිටියට ගියෙමු.

ඒ විශාල පිටියේ අතුරු සිදුරු නැතුව ජනයා පිරී සිටියහ. කොටු ඇඳ ගණං බැලීමට ගුවනේ සිට ගත් ඡායාරූප නැති නමුත් පනස් දහසක් පමණ පිරිසක් ඒ ඓතිහාසික අවස්ථාව නැරඹීමට පැමිණ සිටි බව මගේ අදහසයි!

පාසල් ළමුන් ද සහභාගී වූ ආචාර පෙළපාලියක් එහි පැවැත්වුණු බව යාන්තමට මතකයේ ඇත. (මේ මතකය තවමත් ඇත්තේ මගේ වෙන්ඩ බිරිඳ නමවෙනි ශ්‍රේණියේ දැරියක ලෙස ඒ ආචාර පෙළපාලියට සහභාගී වුණු බව පසුව අසන්නට ලැබුණු හෙයිනි!) මගේ සිත් ගත්තේ එහි දී පැවැත්වුණු ආචාර වෙඩි මුර විසි එකයි. මාත් උදයත් සිටියේ කාලතුවක්කු වෙඩි හඬින් කන් බිහිරි වෙන-නොවෙන තරම් එයට ආසන්නයේ ය.

උත්සවයේ වැඩකටයුතු පැවැත්වෙන අස්සේ සෙනග අතර තෙරපී තෙරපී ඔබ මොබ යමින් කිසිවක් රහසින් මෙන් කියමින් පොස්කාඩ් ප්‍රමාණයේ යමක් බෙදන මැරවර පෙනුමැති තරුණයෙකු මට පෙනුණි.

ඔහු කියමින් සිටියේ, "මීළඟ ජනාධිපති, මීළඟ ජනාධිපති" කියා ය.

තරුණයා බෙදමින් සිටි, ඒ පෝස්කාඩ් ප්‍රමාණයේ පත්‍රිකාවේ තිබුණේ ඡායාරුපයකි.

ඒ අන් කිසිවෙකු ගේ නොව, නව ජනාධිපති ලෙස ජේආර් ජයවර්දෙන ගේ පත්වීමෙන් පසු රටේ නව අගමැති ලෙස දිවුරුම් දෙන්නට නියමිතව සිටි ර. ප්‍රේමදාස ගේ ය...!

ර. ප්‍රේමදාසට, ඔහු එදා 1978 සිටම සැලසුම් කළ ඒ තනතුරට පත්වෙන්නට ලැබුණේ ඉන් වසර එකොළහකට පසුව 1989 දී ය.

එයිනුත් වසර හතරහමාරක් පමණ ගෙවුණු පසු, මා මුලින් කී "පිනා චාන්ස්" එකෙන් ජනාධිපති වීමේ දෙවෙනි ක්‍රමය ගැන අපට දැන ගන්නට හැකිවිය.

-රසිකොලොජිස්ට්

ප/ලි
මට දැන් සහිවෙන විදියට ඒ ඡායාරූපය නිකං බෙදුවා නොවේ. එය රුපියලක් වැනි මුදලකට අළෙවි කෙරුණි! මා එයින් එකක් නොගත්තේ එනිසා ය.
(image: http://www.sundayobserver.lk/2006/11/19/imp07.asp)

Monday, 23 February 2015

විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව මුල්ම වෙඩි මුරය 1978 දී තැබූ අපේ කාලයේ වීරයෙක්! - A Hero of Our Time!


යූඇම්පීය 1977 මහ ඡන්දය දිනනවා යැයි පාසල් මිතුරෙකු හා ඔට්ටුවක් අල්ලා රුපියල් පහක් ද දිනූ එකල පාසල් වයසේ යූඇම්පීකාරයෙක් වූ මට, 1978 දී ආණ්ඩුව විසින් සම්මත කරගනු ලැබූ විධායක ජනාධිපති ක්‍රමය සහිත නව ව්‍යවස්ථාවේ ඇති බරපතලකමක් තේරුණේ නැත.

එය එදා ම වටහා ගත් දූරදර්ශී විද්වතෙකුවන සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා, විධායක ජනාධිපති ක්‍රමයේ ආදිනව ගැන "Critical Analysis of the New Constitution of the Sri Lanka Government" නමින් පොතක් ද ලියා පළ කළේ ය. නමුත් හුලං බැස තිබුණු සිරිලංකා නිදහස් පක්‍ෂය ඇතුළු දකුණේ විපක්‍ෂයට ඒ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව කළ හැකි දෙයක් නොවී ය. ඔවුන් කළ එකම දෙය වූයේ 1982 දී ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වීමයි.

එසේ වුවද, එදා නව ව්‍යවස්ථාව ක්‍ර්‍රියාත්මක වෙන්නට පටන් ගත් 1978 පෙබරවාරි හතරවෙනිදා නව සමසමාජ පක්‍ෂය විසින් රට පුරා කළු කොඩි ඔසවමින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වන්ට සැලසුම් කළේය. එහි පෙරමුණ ගත්තේ, එවකට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ, නව සමසමාජ පක්‍ෂයේ ලේකම්, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසිනි.

පෙබරවාරි තුන්වෙනි දින රාත්‍රියේ, පේරාදෙනිය නුවර පාර අවට කළු කොඩි බඳිමින් සිටි වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු පිරිසක් පොලීසියේ අත් අඩංගුවට පත්වුණි. එදා ඒ පිරිස අතර සිටි එක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වූයේ එවකට කළා පීඨ අවසන් වසර ශිෂ්‍යයෙකු සහ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ලංකා ශිෂ්‍ය සම්මේලනයේ සභාපති වූ ලලිත් අබේසිංහ යි.

පොලිස් අත්අඩංගුවට පත්වී, "මහරැජින ගේ ආණ්ඩුවට අපහාස කළා" යැයි (ලංකාව 1972 සිට ජනරජයක් වී තිබුණු නමුත් නීති පොත් 1978 වන විටත් යාවත්කාලීන වී නොතිබුණේ ලු!) නඩු වැටී, ඉන් පසු ඇප පිට එළියට ආ ලලිත් ගේ විශ්ව විද්‍යාල ශිෂ්‍යභාවය එවකට උපකුලපති ලෙස්ලි පණ්ඩිතරත්න විසින් තහනම් කර තිබුණි.

වික්‍රමබාහු කරුණාරත්නවද ඒ වරදටම රැකියාවෙන් නෙරපා තිබුණි.

උසාවි නියෝගයක් පිට අවසන් වසරේ විභාභයට පෙනී සිටීමට ඉඩ ලැබී ඔහු ඉන් සමත් වුවද, පසුව පැවරුණු නඩුවෙන් ඔහු නිදහස් වුණද, පේරාදෙනිය විශ්ව විද්‍යාලය විසින් ලලිත් අබේසිංග ගේ උපාධි සහතිකය ඔහුට ලබා නොදී අත්තනෝමතිකව ක්‍රියාකාර ඇත.

ඔහුට තම උපාධි සහතිකය ලබා ගන්නට හැකිවී ඇත්තේ එයින් දශකයකට පමණ පසු අර්ජුන අළුවිහාරේ උපකුපතිවරයා වශයෙන් සිටි කාලයේ දී ය.

මේ පරණ කතාව මා ලියන්නට සිතුවේ පසුගිය දා විවිධ මාධ්‍යවලින් ප්‍රචාරය වුණු පරිදි ලලිත් අබේසිංහ ඇතුළු එදා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව පුරෝගාමී මුල් වෙඩිල්ල තැබූ පිරිස, අද ඒ ක්‍රමයට විරුද්ධව රටේ බහුතරයක් දෙනා නැගී සිටි ඇති මොහොතේ, තමන් ඒ කළ පරිත්‍යාගයට නිසි අගැයීමක් ලබා දෙන ලෙසට කර ඇති ඉල්ලීමක් දුටු නිසා ය.

ලලිත් අබේසිංහ, අපේ කාලයේ වීරයා, විසින් ලියන ලද, විස්තරාත්මක ලිපියක් ප/ලි කොටසේ දැක්වේ.

එහි ඉංගිරිසි පිටපත මෙතනින්:
http://lalithabeysinghe.blogspot.com/2015/02/the-first-victim-of-executive.html

ඔහු ගේ ඉල්ලීම් අති සාධාරණ බවත්, ඒවා වහා ඉටු කළ යුතු බවත් මම සිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:

Friday, 20 February 2015

ඉන්දියානු අගමැති මෝදි ගේ බිරිඳ අමු මෝඩියක් ද? - Is Indian Prime Ministers wife a real "Modi"?


නිදහස ලැබූ දිනවල සිට ඉන්දියාවේ බලයේ සිටි ඉන්දියන් ජාතික කොන්ග්‍රසය සහ එහි අගමැති ඉන්දිරා ගාන්ධි පරදවා 1977 දී ජනතා පක්‍ෂය බලයට පැමිණ එහි නායක මොරාජි දේශායි අගමැති වීම එවකට ලංකාවේ විපක්‍ෂයේ සිටි යූඇම්පීයට ඉතා ආශ්වාදයක් ගෙනදුන් සිදුවීමක් විය.

එයට මූලික හේතුව, අසල්වැසි රටක කලක් තිස්සේ පැවතුන රජයක බිඳ වැටීම යන කරුණ ලංකාවේ විපක්‍ෂයට විශාල ජවයක් ගෙන දීම වූවද, ඉන්දිරා ගාන්ධි නම් ගැහැණිය ලැබූ පරාජය සහ ඇගේ කලෙක සිට පුද්ගලික මිතුරියක් ද වූ ලංකාවේ අගමැති සිරිමා බණ්ඩාරනායක නම් ගැහැණිය නුදුරු අනාගතයේ දී ලැබීමට නියමිත පරාජය සමාන කරමින් දේශපාලන කතාවලදී යම් කුරිරු සතුටක් ලබාගන්නට, කාන්තා නායකත්වයක් පැත්ත පළාතකවත් නො තිබුණු යූඇම්පීයට, හැකිවීම ද වැදගත් කාරණයක් විය.

නැවතත් 2014 දී සෑහෙන දුරට මේ ආකාරයේම තත්වයක් ඉන්දියාවේ උදාවුණි. එනම් දශකයකට වැඩි කාලයක් බලයේ සිටි කොන්ග්‍රස් පක්‍ෂය සහ අගමැති මන්මෝහන් සිං පරදා භාරතීය ජනතා පක්‍ෂයේ නරේන්ද්‍ර මෝදි බලයට ඒමයි.

ඒ ඉන්දියානු දේශපාලන පෙරලිය, ඒ දිනවල ලංකාවේ බලයේ සිටි, ඉදිරියේත් පරම්පරා ගණනාවක් බලයේ සිටීමට ලැබේයැයි සිතා සිටි, සිරිලංකා පක්‍ෂය ප්‍රමුඛ පොදු පෙරමුණට පොඩි කණේ පහරක් එල්ල කළේ ය.

මෙයින් රිදුණු අපේ සමහරු ඉන්දියන් අගමැති මෝදිට හිතාමතා ම "මෝඩි" යැයි අමතමින් මෝඩ සොමියක් ලබන්නට පටන් ගත්හ.

ඉන්දියානු අගමැති තනතුරට පත්වී දින සියය පන්නා දැන් දින දෙසිය පනහක් පමණ ගතවී තිබුණත් මෝදි තවමත් ඉතා ජනප්‍රිය නායකයෙකි. පසුගිය නොවැම්බරයේ ඕස්ටේ‍ර්ලියාවේ පැවති රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වෙන්නට පැමිණි අගමැති මෝදි ඉන් පසුව සිඩ්නි නගරයේ ඔලිම්පික් ක්‍රීඩාගාරයේ දී කතා කරනු අසන්නට මෙරට වසන ඉන්දියානුවෝ 20,000 පමණ සහභාගී වූහ.

මෝදිට හිතාමතා ම "මෝඩි" කීම හුදෙක් විහිළුවක් ම වුණත්, පසුගිය දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ කියවන්නට ලැබුණු ආරංචිවලට අනුව, මෝදි ගේ බිරිඳට නම් "මෝඩි" කියා කීම සුදුසු යැයි මට සිතිණි.

නරේන්ද්‍ර මෝදි ඔහුගේ නීත්‍යානුකූල බිරිඳවන ජශෝධාබන් සමග විවාහ වී ඇත්තේ වර්ෂ 1968 දී දෙදෙනාම වයස දහ හතේ, දහ අටේ නව යොවුන් වියේ දී ය. නමුත් මෝදි, තම බිරිඳ සමග විවාහ දිවිය ගත කර ඇත්තේ තෙවසරක් පමණි. ඒ වසර තුන තුල දී ද ඔවුන් අතර එක්ව වීසීමක් නොවූ බවද කියවේ.

ඉන් පසු ඔහු කර ඇත්තේ එක්තරා ආකාරයක අභිනිෂ්ක්‍රමණයකි. එනම්, උග්‍ර හින්දු භක්තිකයෙක් සේ අනගාරික ජීවිතයක් ගත කරන්නට අදිටන් කරගත් මෝදි, බිරිද හැර දමා හින්දු නිකායක සේවකයෙකු වෙන්නට හිමාලයට ගොස් ඇත. ඔහු ගේ දේශපාලන දිවියට අඩිතාලම වී ඇත්තේ ඒ ආගමික සේවාවයි.

පසුගිය වසර හතලිස් ගණනට ම ඔවුන් දෙදෙනා හමුවී හෝ කතාබහ හෝ කර නැති නමුත්, නීතියෙන් ද වෙන්වී නැති නිසා, නීත්‍යානුකූලව ජශෝධාබන් යනු මෝදි ගේ බිරිඳ වේ. නමුත් ප්‍රායෝගිකව එය විහිළුවක් පමණි.

ඊටත් වඩා විහිළුවක් වනුයේ, තමන් තවමත් මෝදි වෙනුවෙන් හින්දු බිරිඳක් විසින් කළ යුතු යැයි සැලකෙන චාරිත්‍ර විධි අනුගමනය කරන බවටත්, ඔහු ගේ දේශපාලන ජයග්‍රහණයන් පතා දෙවියන් අයැදින බවටත්, කෙදිනක හෝ ඔහු තමා හමුවට පැමිණ කතා කරනු ඇතැයි බලා සිටින බවටත් ජශෝධාබන් කරන ප්‍රකාශයි.

ඒ අසා මට නම් හිතුණේ, අගමැති මෝදි කෙසේ වෙතත්, මේ අගමැති බිරිඳ නම් සැබෑ මෝඩියක් බවයි.

නිකම්ම නිකම් මෝඩියෙක් නොව මැටි මෝල් අමු ම අමු මෝඩියෙක් බවයි!

ඇය දැන හෝ නොදැන හෝ කරන්නේ සමස්ත ලෝක කාන්තා බලවේගයට අපහාසයක් බවයි.

-රසිකොලොජිස්ට්
(මෝදිලා ගේ විස්තර අන්තර්ජාලයෙනි
ඒ විස්තර සිංහලෙන් පරිවර්තනය කර ලියන ලද ලිපියක් මෙන්න.)



(image: http://farzana-versey.blogspot.com.au/2014/05/to-mrs-modi-first-lady.html)

Thursday, 19 February 2015

අපායේ ඉන්ටර්වල් එක සහ තවත් කතා - Politician in Hell


ඊයේ නුගේගොඩ පැවති මහින්ද රාජපක්‍ෂවාදීන් ගේ රැස්වීමේ දී කතා කළ විමල් වීරවංශ අද ලංකාවේ තත්වය සමාන කළේ අපායේ ඉන්ටවල් එකකට ය.

ඔහු අදහස් කළේ කුමක් වුනත් එයින් ගම්‍ය වුණේ, මේ පවතින සාපේක්‍ෂව හොඳ වාතාවරණය තාවකාලික එකක් බවත්, ලඟඳීම පැන්ෂොන් ගිය යමරජු ප්‍රමුඛ අනෙකුත් යමපල්ලන් පිරිස නැවත කැඳවා පෙර තිබූ පරිදි අපායේ වැඩ කටයුතු අරඹන බවත් ය.

මේ කතාව ඇසූ මට අපාය හා සම්බන්ධ පරණ විහිළු කතාවක් සිහිවිය.

අපායට ගිය දේශපාළුවා

ලංකාවේ විසූ එක් දේශපාළුවෙක් මරණින් පසු පරලොව ගියේ ය. සාමාන්‍යයෙන් පැවසෙන්නේ පරලොවට ඇතුළත් වෙන තැන තුන්මන් හන්දියේ මහා පින්-පව් පොතක් තබා ඇති බවත්, හැම පුද්ගලයෙකුට ම එහි පිටුවක් ඇති බවත්, ඒ පිටුවේ සඳහන් වී ඇති පින්-පව්වල ආනුභාවයෙන් මිය ගිය ඇත්තා එක්කෝ අපායට හෝ නැතිනම් තෝරා යැවෙන බවත් ය.

මෙදින එහි ගිය දේශපාළුවාට අසන්නට ලැබුණේ තරමක වෙනස් කතාවකි.

"කාලෙකට පස්සෙයි ලංකාවේ උඹ තරම් ලොක්කෙක් මෙහේ ආවේ, ඒ නිසා අපි උඹට පොඩි චාන්ස් එකක් දෙනවා, අපායේයි, දිව්‍යලෝකෙයි තත්වය මුලින් ටෙස්ට් කරලා දෙකෙන් කැමති එකක් තෝරාගන්න!" ගේට්ටුවේ ලොක්කා පැවසීය.

අපේ දේශපාළුවාට ඒ යෝජනාවට එක පයින් එකඟ විය.

මුලින්ම අපායට රැගෙන යනු ලැබූ ඔහුට අපායේ මංමාවත් වර්ණවක් කොඩිවලින් සරසා තිබෙනු දක්නට ලැබුණි. තැන තැන ජනයා කමින් බොමින් ගී ගයමින් ප්‍රීතියෙන් සිටියහ. කොටින්ම අපාය කියා හඳුන්වා දුන්නාට දේශපාළුවාට එය දැනුණේ සුරලොවක් ලෙසිනි. ඔහුද පිරිස හා එක්වී සතුටෙන් දවසක් එහි ගත කළේ ය.

පසු දින අපේ දේශපාළුවාව රැගෙන යනු ලැබුවේ දිව්‍යලෝකයටයි. එහිදී ඔහු දුටුවේ සුදුවන් සිල් ඇඳුමෙන් සැරසී බණ භාවනාවෙහි යෙදෙන දෙවි දේවතාවුන් පමණි. තමාට සුපුරුදු සියළු දුසිරිතෙන් මිදී, ඒ පැය විසි හතරක කාලය දේශපාළුවා එහි ගත කළේ මහා කම්මැලිකමකින් බව අමුතුවෙන් කිව යුතු නැත.

අවසානයේ ඔහු යාමට කැමති දෙව්ලොවට ද, අපායට ද යනුවෙන් විමසනු ලදුව අපේ දේශපාළුවා අපාය තෝරා ගත්තේය.

එහෙනෙහිම ඔහුව අපායේ දොර හැර එහි ඇතුලත තල්ලු කර දැමුණි.

ඔහුට දක්නට ලැබුණේ දින දෙකකට පෙර දුටු සුරපුරක් බඳු වූ අපාය නොව ඇත්තටම අපායකි. මිනිසුන් දුක් විඳින කටු ඉඹුල, ලෝදිය හැලිය යනාදී සියළු දේ ක්‍රියාත්මක වෙමින් තිබුණි.

දේශපාළුවා වහාම යම පල්ලෙකුට පැමිණිලි කළේය. "මං දවස් දෙකකට කලින් මෙහේ පැය විසි හතරක ටුවර් එකක් දැම්මා. එතකොට තිබුණු අපාය නොවෙයි නේ මේ තියෙන්නේ! ඇයි මොකද වුණේ?"

"මොකුත් වුණේ නෑ, එදා උඹ මෙහේ ඇවිත් තියෙන්නේ අපේ ඉලෙක්ෂන් කැම්පේන් එක කාලෙයි. ඊයේ තමයි ඡන්දේ තිබුණේ. උඹ අපායට ඡන්දේ දුන්නු හින්දා තමයි මෙහෙට එවලා තියෙන්නේ. වෙල්කම් ටු ද හෙල්!" කියු යමපල්ලා අපේ දේශපාලකයාව ලෝදිය හැලියට තල්ලු කර දැම්මේ ය.

-රසිකොලොජිස්ට්


(image: http://www.cartoonstock.com/directory/f/from_hell.asp)

Tuesday, 17 February 2015

දින සීයේ ප්‍රගති වාර්තාව නිකුත් කිරීම දින එකසිය දහතුනක් දක්වා කල් යයි! - I.O. Rasikologist


දිනය සියයේ වැඩ පිළිවෙල ගැන මා මේ කියන්නට යන කාරණය පිළිබඳව, අපේ හෙළ ජාතික චින්තනය ගැන කප් ගැසූ, නාථ දෙවි නියෝජිත, ආචාර්ය නලින් ද සිල්වා දැනටමත් ලියා ඇතුවාට සැක නැත. නමුත්, දැන් ඔහු ගේ ඉරිදා දිවයින කොලම ද, එය නැවතුණු පසු ඇරඹුණු රිවිර කොලමද නතර වී ඇති බවට ආරංචි පැතිර ඇති නිසා එසේ නොවන්නට ද ඉඩ ඇත.

එසේ වෙතත්, නොවෙතත්, මා මේ කියන්නට යන්නේ මේ "දින සියයේ වැඩ පිළිවෙල" යන්න බටහිර-යුදෙව් චින්තනයට අනුව සැකසුණු එකක් මිස අපේ හෙළ උරුමයට හෝ ජාතික චින්තනයට අදාල එකක් නොවන බවයි.

අපේ සිංහල ක්‍රමය නම් එක්කෝ තුන් මාසය සැමරීමයි. මිනිසෙක් මැරුණු විට තුන් මාසයේ දානයක් දෙන්නේ එබැවිනි. නැතිනම්, නිතිපතා මාසයේ සැමරුම් කිරීමයි. ඇඩ්වාන්ස් දා ට සහ මාසේ පඩිදාට අපේ අයියයලා පොඩ්ඩක් විතර හෝ අනුමත වෙන්නේ එබැවිනි.

සත් දවසේ දානය, සත් සතිය, දස මසක් කුසේ සිටීම, හත් අවුරුද්දක් කඹුරා පබාවතිය ලබා ගැනීම හෝ ඊට අඩුකාලයක් වන සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීම වැනි දේ ගැන අප නිරතුරු අසා තිබුණද මේ දින සියයේ සංකල්පයක් ගැන අපේ ජනකතා, කටකතා, ප්‍රවාද, කෙප්ප කිසිවකට සම්බන්ධව අප අසා නැත.

නලින් සිල්වා මේ බව පවසා ඇත්ද, නැද්ද නොබලා, මා මේ දින සියය යනු තනිකරම බටහිර-යුදෙව් වැඩක් බව පවසන්නේ එනිසා ය.

විකිපීඩියාව වැනි තැනකින් සොයා බලන කළ අපට පෙනෙන්නේ, සැලසුම් කිරීමේ හෝ ක්‍රියාත්මක කිරීමේ හෝ වෙන යම් කර්තව්‍යකට අදාලව මේ දින සියය යන සංකල්පය ගැන කතා වෙන්නේ එක්කෝ යුරෝපීයානු යුද්ධ සම්බන්ධව හෝ නැතිනම් ඇමරිකානු ජනාධිපතිලා ගේ කෙරුම් සම්බන්ධව බවයි.

එදා තම්බපන්නියේ රජ වූ විජය රාජා ගේ සිට ඊයේ පෙරේදා සිංහලයේ අවසන් රජු වූ පළමුවෙනි මහේන්ද්‍ර දක්වා එකදු රාජ්‍ය සමයක් තුල මේ දින සීයේ කතාවක් තිබුණු බවට කිසිදු සඳහනක් විකිපීඩියාවේ නොදැක්කෙමි.

මගේ රසිකොලොජිය සඳහා මේ ආකාරයේ දින සියයක වැඩ පිළිවෙලක් ගැන කිසිදු සැලැස්මක් නොකළේ එනිසා ය.

පසුගිය ඔක්තෝබර් විසිහත්වෙනිදා හෙවත් මගේ උපන් දිනය දා ඇරඹුණු රසිකොලොජියේ ප්‍රගතිය ගැන සඳහනක් කරන්නට දිනය සියය පන්නා, දින එකසිය දහතුනක් වෙනතුරු සිටියේ ද එනිසා ම ය.

දැන් මෙන්න රසිකොලොජියේ මුල් දින එකසිය දහතුනේ ප්‍රගතිය.

ලිපි ගණන- 43
කමෙන්ටු ගණන- 2061
හිට්ස් ගණන- 36,136
බ්ලොගර් ෆලෝවර්ස්ලා ගණන- 97
ගුගල්+ ෆලෝවර්ස්ලා ගණන- 30

ඒ නිර්නායකවලින් කියවෙන පරිදි රසිකොලොජියේ මුල් දින එකසිය දහතුනේ ප්‍රගතිය නරක ම නැති බව මගේ අදහසයි. මක්නිසාද යත්, රසිකොලොජිය ඇරඹීමේදී මගේ සිතේ තිබූ එකම දළ අදහස වූයේ සතියකට ලිපි දෙකක් ලිවීම පමණක් වීමයි.

බ්ලොග් එකේ ඉදිරි අනාගතය ගැනත් ලොකු සැලසුම් කිරීමට මගේ සැලසුමක් නැත! මේ අනවශ්‍ය ඉලක්ක අරමුණු කරගෙන ඒවා හඹා ගොස්, අනවශ්‍ය හිසරද ඇති කර ගැනීමට කාලය නොවේ.

ඔබ සැමට මගේ ස්තුතිය මෙයින් පිරිනමමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පසුගිය දින එකසිය දහතුන තුළ මා ලියා පළකළ ලිපිය අතරින් මා කැමති ම පහත ඒවාටයි.

1. ජනාධිපතිවරණයේ නැකත් බැලිල්ල නොහොත් රටට එදිරිව මම - Country Vs I
http://rasikalogy.blogspot.com/2014/11/blog-post.html

2. ජුඩෝ පන්තිය සහ වලිගය නැති ගොනා ගේ භූමිකාව - It was just a matter of sixty five Rupees!
http://rasikalogy.blogspot.com/2014/10/it-was-just-matter-of-sixty-five-rupees.html

3. ඡන්ද ඔට්ටුවක් - "මෙදා පොටේ දුන්න බැටේ!" : I was an UNPer once
http://rasikalogy.blogspot.com/2014/12/i-was-unper-once.html

4. ජෝන් අමරතුංග (සහ/හෝ) යූඇම්පීය අද කළ යුත්තේ කුමක්ද? - How Australia gets rid of its corrupted politicians
http://rasikalogy.blogspot.com/2015/02/blog-post.html

5. හාෆ් ෂීට් කඩෙන් ගැනීම නම් වූ විශ්මයජනක කාරණය - Unbelievable (for some)
http://rasikalogy.blogspot.com/2015/02/unbelievable-for-some.html

Monday, 16 February 2015

පාන් කෑමේ දුසිරිතෙන් ගැලවෙමු! - Limit your carb intake!


කොටින්ම කියනවා නම් දැන් නම් පාන් නො කාපාන් ය!

දැන් මෙන්න දිගින්ම කීම හෙවත් වැඩි විස්තර.

කුඩා කාලයේ සිටම මම පාන් කෑමට ප්‍රිය කළෙමි. ඒ බොහෝ විට උදෑසනට ය. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් අනතුරුව ටික දිනක් දුක් විඳ පසුව කටට හුරු පුරුදු රසය දෙන පාන් වර්ගයක්සොයා ගත්තෙමි. ඒ කාලයේ මා කැමති ඒ පාන් වර්ගය නිකරුණේ තාංගීක වෙනු දැක සිතට දුකක් ඇතිවුණු කතන්දරයක් ද ඔබට කියා ඇත.

ලංකාවේ දී මා කෑවේ එක්කෝ පාන් පෙත්තකි, නැතිනම් දෙකකි. පෙත්තක් කෑවේ පාන් ගෙඩිය දෙකට කෑපූ විටය. දෙකක් කෑවේ පාන් ගෙඩිය හතරට කැපූ විටය.

ඕස්ට්‍රේලියාවේ දී මා කන පාන් ආණ්ඩුවෙන්ම පෙති කපා පොලිතීන් බෑගයක අසුරා ඇති නිසා අමුතුවෙන් පෙති කැපීමක් අවශ්‍ය නොවේ. ග්‍රෑම් 750 පාන් ගෙඩියක පෙති 16 ක් ඇත. කොන් දෙකේ ඇති තුනී පෙති ද සැළකුවහොත් දහ අටකි.

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ පසු මා බොහෝ දිනවල උදෑසන ආහාරය සඳහා කෑවේ පාන් පෙති හතරකි. ඒ මාගරින් සහ ජෑම් තවරාය. මීට අමතරව දිවා ආහාරයට ද සැන්ඩ්විච් කන්නට ද පුරුදු වුණෙමි. එනම්, සතියේ දිනවල මගේ කුස තුළට තවත් පාන් පෙති හතරක් පිවිසෙයි.

හවස කාර්යාලයේ වැඩ රාජකාරී නිමවා නිවසට පැමිණි පසු, කුසගින්නක් දැනුනහොත් තේ කෝප්පයක් සමග තවත් පාන් පෙත්තක් දෙකක් රස විඳීමට ද මම සමහර දිනක පෙළඹුනෙමි.

මෙසේ වසර ගණනාවක් ගත විය.

දිනක් ලේ පරීක්‍ෂාවක් කර, එහි තොරතුරු ගැන වෛද්‍යවරයා සමග කතා කිරීමේදී වැටහුණේ එන පොට හොඳ නැති බවයි. ඇත්තටම කියනවා නම් දැනටම හොඳ නැති බවයි.

හිත හිතා ඉන්නට කාලයක් නැත. වහාම ක්‍රියාත්මක විය යුතු බව මට වැටහිණි.

මා කළේ මෙයයි.

උදෑසනට කෑ පාන් ප්‍රමාණය පෙති හතරේ සිට ශූන්‍යය දක්වා අඩු කළෙමි. දිවා ආහාරයේ පාන් ප්‍රමාණය ද කුඩා පෙති දෙකකට අඩු කළෙමි. එයට සමාන්තරව කාලයක් තිස්සේ රසවිඳි කටට රහ කෙසේ වෙතත් පෝෂණ ගුණයෙන් අඩු සම්මත සුදු පැහැති පාන් වෙනුවට, තිරිඟු පිටි නිවුඩ්ඩ ද අඩංගු පිටිවලින් තනන දුඹුරු පැහැති පාන්වලට මාරු වුණෙමි.

රාත්‍රී ආහාරයේ බත් පිඟානේ බත් ප්‍රමාණය අඩකින් අඩු කර ඒ හිඩැස එළවලුවලින් පිරවූයෙමි.

උදෑසනට පාන් කා පාන් ගේ සිට පාන් නොකාපාන් දක්වා ජීවිතය වෙනස් කරගත් පසු දැන් මගේ උදෑසන ආහාරය වී ඇත්තේ කෙසෙල් ගෙඩියක් සහ වෙනත් පළතුරු, යෝගට් සහ කිරි වේ. මේවා කෙලින්ම ගිල දැමිය හැකි වුවද මා කරන්නේ බ්ලෙන්ඩරයක දමා අඹරා මිශ්‍රකර ස්මූතියක් හෙවත් මෘදු පානයක් සාදා පානය කිරීමයි.

මෙන්න අද උදෑසන මගේ ආහාර විස්තරය සහ එය සාදා ගත් ආකාරය.

ආහාර ද්‍රව්‍ය:
කෙසෙල් ගෙඩියක්
පළතුරු (නිවසේ ඇති ඕනෑම පලතුරක්)
මූස්ලි (Muesli) නම් ධාන්‍ය මිශ්‍රණය
කිරි ස්වල්පයක් (වතුර ද යොදා ගත් හැක)
යෝගට් (අවශ්‍යම නැත)


අවශ්‍ය වෙනත් දේ:
බ්ලෙන්ඩරයක් හෝ එවැනි වෙතන් උපකරණයක්
සාදන ක්‍රමය:
පලතුරු කැබලි කර එය බ්ලෙන්ඩරයේ භාජනය තුලට දමා අවශ්‍ය පරිදි කිරි/වතුර සහ යෝගට් එකතු කර හොඳින් යන්ත්‍රානුසාරයෙන් දියරයක් බවට පත්වෙන තුරු මිශ්‍රකර ගන්න.

මා මේ සඳහා පාවිච්චි කරන උපකරණයේ අදාල භාජනයම මිශ්‍රණය පානය කිරීම සඳහාද යොදා ගත හැක.

කලින් මා කීවාක් මෙන් දැන් ඉතින් උදේට නම් පාන් නො කාපාන් ය.

දවල් කෑම ගැන පසු දිනක ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙය මගේ පෞද්ගලික අත්දැකීමක විස්තරයක් මිස සෞඛ්‍යමය අවවාදයක් නොවේ.

(image: http://www.melaniehawksley.com/?tag=low-carb)

Saturday, 14 February 2015

පාන් ගෙඩියකින් තුන්කාලක් ම "තාංගීක" වුණු හැටි! - Bitter Bread?


මින් දශක දෙකකට පමණ පෙර මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීමේ වන්දිය මා ගෙවුවේ, ලංකාවේ දී කෑ රෝස් පාන්, තැටි පාන්, අච්චු පාන් රසය අහිමි කර ගැනීමෙනි. ඒ සාපය ගෙවුණේ තවත් වසර ගණනාවකට පසු මෙහි වෙළඳපොළට ආ "හෙල්ගාස්" නමැති පාන් වර්ගය ලංකාවේ පාන්වල රසයට ඉතා සමාන බව "ට්‍රයල් ඇන්ඩ් එරර්" විධික්‍රමයෙන් හදිසියේම සොයා ගැනීමත් සමගය.

මේ සොයා ගැනීම කෙතරම් ප්‍රීතිමත් එකක් වුවද, දිනපතා "හෙල්ගාස්" පාන් කෑම නම් තරමක ප්‍රශ්ණයක් විය. එය හේතුව වූයේ, කඩපොලේ ඇති "ටිප්ටොප්", "වොන්ඩර් වයිට්" වැනි සාමාන්‍ය ලේබල් පාන් වර්ගවලට වඩා හෙල්ගාස් පාන් දෙගුණයක් තරමට ම මිළ ඉහල වීමයි.

එසේ වුවද, සති දෙක තුනකට වරක් මේ පාන් වර්ගයේ මිළ සතියේ සුවිශේෂී මිල අඩු කිරීම් යටතේ තුනෙන් එකක් පමණ අඩුවෙන නිසා, එතෙක් බලා සිට "හෙල්ගාස්" පාන් මිලයට ගැනීමට මම පුරුදු වුණෙමි. ඊට අමතරව, ප්‍රධාන සුපිරි වෙළඳසැල් දෙකේ, එනම් "වූල්වර්ත්" සහ "කෝල්ස්", මේ මිල අඩුකිරීම් සිදුවවෙන්නේ වෙනස් සතිවල දී වීම ද මගේ "හෙල්ගාස්" පාන් මිල දී ගැනීම වඩාත් පහසු කළේ ය.

අද වන විට නම් "හෙල්ගාස්" වර්ගයේ තවත් පාන් වර්ගයක් "ඇබොට්ස් බේකරි" නමින් ඇත. බොහෝ විට සතියේ විශේෂ මිළ අඩුකීරීම් යටතේ මේ දෙවෙනි වර්ගයේ මිළ අඩුකරන්නේ "හෙල්ගාස්" පාන් මිළ අඩුකර නොමැති සතිවල දී වීම ද අද මට ඇති තවත් වාසියකි.

මේ සතියේ "හෙල්ගාස්" කමි. ඊළඟ සතියේ "ඇබොට්ස් බේකරි" පාන් කමි!

මා සිත ගත් "හෙල්ගාස්" පාන් සම්බන්ධයෙන් මගේ සිතේ නොමැකෙන සේ රැඳී ඇති එක් අපූරු සිද්ධියක් මෙසේය.

මා "හෙල්ගාස්" පාන් හඳුණාගත් මුල් කාලයේ යෙදුණු එක්තරා පාසල් නිවාඩුවක, තවත් මිතුරු පවුල් කීප දෙනෙකු සමග, අපි ප්‍රාන්තයේ වෙනත් ප්‍රදේශයක් බලා දින තුනක විනෝද චාරිකාවක ගියෙමු. මෙවැනි ගමන්වලදී අප නතරවෙන්නේ දිනපතා මිළට කුලියට ගත හැකි කුඩා නිවාසවල ය. මිතුරු පවුල් එක ලාගින් ඇති නිවාසවල, සමහර විට එක නිවසක පවුල් දෙක බැගින්, නවාතැන් ගැනීමත්, උදෑසන ආහාරය සහ රාත්‍රී ආහාරය එක්ව ගැනීමත් අපේ සිරිත විය. දිවා කාලයේ අවට සිරි නැරඹීමට යනෙන නිසා නවාතැනේ දී ආහාර ගැනීමක් සිදු නොවේ.

චාරිකාව යාමට පෙර දින, අවශ්‍ය බඩු බාහිරාදිය මිළට ගැනීමට වෙළදසැලට මා රැගෙන ගිය බඩු ලයිස්තුවේ "හෙල්ගාස්" පාන් ද ඇතුලත් විය. නමුත් අවාසනාවට මෙන් ඒ සතියේ "හෙල්ගාස්" පාන් මිල අඩුකර නොතිබුණි. එනිසා, නියමිත මුලූ මුදල ම ගෙවා "හෙල්ගාස්" පාන් මිළට ගැනීමට, ඉතා කණගාටුවෙන් වුවද, මට සිදුවිය.

විනෝද චාරිකාවේ මුල් දින රාත්‍රියේ අප නවාතැන් ගත් කුඩා නිවාස කිහිපය පිහිටා තිබුණේ කුඩා ගංගාවක් අසබඩ උද්‍යානයක් මෙන් දිස්වූ භූමියක ය. රාත්‍රී ආහාරය සඳහා එක නිවසකට එක්ව කා, බී, ගී ගයා සතුටෙන් ගත කළ අප පවුල් කිහිපය පසුදා උදයේ ද එකම නිවසකට එකතු වූයේ පාතරාසය සඳහායි. මා එහි ගියේ මගේ ප්‍රියතම "හෙල්ගාස්" පාන් ගෙඩි දෙකක් ද රැගෙන ඉතා උජාරුවෙනි.

උණු, උණු පරිප්පු හොද්දක ගිල්වමින් පාන් පෙති කීපයක් ම මා එදා උදෑසන අතුරුදහන් කළේ හෙල්ගාස් පාන් ලංකාවේ අච්චු පාන්වලට රසයෙන් ඉතා සමාන බවට අපේ මිතුරන්ට සහතික දෙමිනි. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් මගේ ඒ නිගමනය කෙතරම් දුරට සත්‍යදැයි වහාම පරීක්ෂණාත්මව සොයා බැලූහ. ටික වේලාවකි දෙවෙනි හෙල්ගාස් පාන් ගෙඩියේ කවරය ද විවර විය.

මේ මොහොතේ දී අප රැස් වී සිටි නිවස ඇතුළත දිව ආවේ, අපේ පවුල්වල කුඩා දරුවන් කිහිප දෙනෙකි.

"අම්මී, අම්මී, ඩක්ස් ලා ඉන්නවා, ඩක්ස් ලා ඉන්නවා. අපිට ඩක්ස්ලාට කන්න දෙන්න දෙයක් දෙන්න, ප්ලීස් ප්ලීස්!"

ඔවුන් උද්දාමයට පත් වී සිටියේ උද්‍යානය අසල කුඩා ගං ඉවුරට රැස් වී සිටි තාරා රංචුව දැකීමෙනි. වැඩිහිටියන් ආහාර ගනිමින් සිටි මේසය උඩ තිබූ පාන් බෑග් දෙස ඔවුන් ගේ නෙත් ඇදී ගියේ ය.

"අපිට දෙන්න පාන්, ඩකීස්ලට දෙන්න පාන්!"

ඔවුනතරින් එක් දරුවෙක් මේසය උඩ තිබුණු සාමාන්‍ය වර්ගයක පාන් බෑගයකට අත තැබුවේ ය.

එවිටම කතා කළේ එහි සිටි එක් මවකි.

"පුතාලා මෙන්න මේ පාන් ටික අරන් යන්න ඩකීස් ලා ට දෙන්න!:

ඇය දරුවන් අත තැබුවේ පෙති කිහිපයක් පමණක් කෑමෙන් පසු ඉතුරු වී තිබූ මා ගෙනා දෙවෙනි "හෙල්ගාස්" පාන් බෑගයකි.

"අනේ මේ අලූත් පාන් ජාතිය නිකං ඇඹුල් රහයි, ලූනු රහයි විතරයි. මට නං කන්න බෑ, අපි තාරාවන්ටවත් කන්න දෙමු!" ඇය ඒ සමගම පැවසුවා ය.

මගේ පපුව හෝස් ගා දැවී ගියාක් මෙන් දැණුනි. ඒ තාරා කෑම ලෙස ගර්හිත කරණු ලැබුවේ මා ප්‍රියතම "හෙල්ගාස්" පාන් ගෙඩියකි. වෙනදා කන "හෙල්ගාස්" පාන් නම් කම් නැත, මේ සල්ලි, සල්ලි කියා නොබලා නියමිත මුලූ මුදලම ගෙවා මා පෙර දා මිළට ගත් "හෙල්ගාස්" පාන් ගෙඩියකි.

කෙතරම් දැඩි වුවද, ඒ දුක උසුළාගෙන මම මුවින් නොබැන සිටියෙමි.

වසර දොළහක් ගෙවී තිබුණ ද අද පවා "හෙල්ගාස්" පාන් ගෙඩියක් දුටු විට මගේ සිහියට නැගෙන්නේ මේ සිදුවීමයි.

ඉන් මා අද ද ලබන වින්දනය, "හෙල්ගාස්" පාන් ගෙඩියකින් තුන් කාලක් ම තාරා හීල් දානය සඳහා "තාංගීක" වෙනු දැක එදා මා ලද සංතාපයට වඩා බලවත් ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සංඝයාට දෙන දානය සාංඝීක වෙනවාක් සේ, තාරාවන් ට දෙන දානය "තාංගීක" බව දත යුතුයි.


(image: http://www.trendzified.net/random-thoughts/)

Friday, 13 February 2015

ඕස්ට්‍රේලියාවේ හෙල්ගා අක්කා ගේ පාන් ගෙඩිය! - Is the bread Helga's?


මා කුඩා කාලයේ සිට ප්‍රිය කළේ උදාසන පාතරසය සඳහා පාන් අනුභව කිරීමටයි. රසට හැපෙන කෙට්ටු හුරුබුහුටි රෝස් පාන්, රෝස් ගේ වැඩිමහල් සොයුරිය තැටි පාන් සහ තරබාරු අක්කා අච්චු පාන් කමින් සිටි මගේ ලෝකයට ප්ලාස්ටික් කවරවල බහා ලු ප්‍රීමා පාන් වැඩියේ අනූව දශකයේ මුල හරියේ දී මා ප්‍රාදේශීය සභාවක සිට මහ නගර සභා බල ප්‍රදේශයක පදිංචියට ගිය පසුයි.

ප්‍රීමා නමැති ඒ මැටි පහන් වර්ගය මට වරක් කෑ පමණින් එපා විය. නමුත් හන්දියේ බේකරියේ බක්කරේලා අවුරුදු නිවාඩුවට ගමේ යන සතියක පමණ කාලය තුල නම් මට ප්‍රීමා සරණං ගච්ඡාමි හැර අන් සරණක් නොතිබුණි.

එසේ ලංකාවේ දී විවිධාකාරයේ ශ්‍රී ලාංකික තිරුවාණා ගල් රසවිඳිමින් සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ මට දක්නට ලැබුණේ ප්‍රීමාකාරයේ නීරස පෙනුමැති පාන් මිස වෙනත් පාන්වර්ගයක් මෙහි නැති බවයි. කඩේ පිලේ දක්නට ලැබුණු හැම පාන් වර්ගයක්ම පෙති කපා ප්ලාස්ටික් බෑග්වල අසුරා තිබුණි.

රෝස් පාන්, අච්චු පාන්, තැටි පාන් සොයා හඬා වැටුණු මගේ පන්සීයක් රස නහරවලට යන්තම් හෝ සහනයක් ලැබුණේ, මා නතර වී සිටි කාර්නගී නම් ගමේ ග්‍රීක් එළවලූ කඩයේ පමණක් විකිණීමට තිබුණු රාත්තලේ පාන් වර්ගයකිනි. ප්‍රීමා පාන් ගෙඩිය මෙන් ප්ලාස්ටික් දවටනයකින් වැසී තිබුණ ද, රසයෙන් මේ පාන් ප්‍රීමා ට වඩා තරමක් ඉදිරියෙන් සිටියෙන් මට යාන්තමට හෝ උදැසන කුස පුරවා ගන්නට හැකිවිය. නමුත්, ඒ පෙරදා පරිදි පරිප්පු, අල හොඳි හෝ මා ප්‍රියතම කිරි මාලු සමග නොවේ. නිකම්ම නිකං මෙඩෝ ලී මාගරින් සහ ස්ට්‍රෝබෙරි ජෑම් සමගය. ඒ මදිවාට, මේ පාන් කෑමට නම් මුලින් ටෝස්ටරටක දමා කර කර ගත යුතු ද විය!

මේ සමගම, බේකර්ස් ඩිලයිට් නම් සුවිශේෂී පාන් කඩ ද, සුවිශේෂී වෙළඳ සලකුණැති පාන් වර්ග ද කඩපොලේ දකින්නට තිබුණු නමුත්, ක්‍රය ශක්තිය පිළිබඳ ප්‍රශ්නය නිසා ද, ඒ පාන් සියල්ලම පොලිතීන් බැග්වල අසුරා ඇති නිසා ප්‍රීමා සිහි කරවූ නිසාද, ඒවා අත්හදා බැලීමට නොසිතුණෙන්, ග්‍රීක් කඩේ පාන් ගෙඩියෙන් ඔබ්බට ගිය ලංකාවේ පාන්වල රසය නම් තවදුරටත් මට තවත් ගව් ගණනක් දුරවිය.

ටික දිනකින්ම මා දැන ගත්තේ මේ සෑම පාන් ගෙඩියක් ම පොලිතීින් ආවරණයක ලා ඇත්තේ සනීපාරක්‍ෂාව පිළිබඳ ඕස්ට්‍රේලියානු නීති රීති නිසා බවයි. එසේ ආවරණය නොකරන ලද පාන් වර්ග ලෙස තිබුණේ කුඩා බ්‍රෙඩ් රෝල්ස් වර්ග සහ දිගැටි පාන් විශේෂයක් පමණි. ඒවා ද අප අතට ලැබෙන්නේ අතින් නොව අඬුවකින් අල්ලා කෙලින්ම බෑගයක් තුළට බහා ලූ පසුවයි.

වසර දෙකකට පමණ පසු අප ග්‍රීක් කඩේ පිහිටි ගමෙන් වෙනත් ප්‍රදේශයක පදිංචියට ගිය හෙයින් නිවස අසල නගරයේ තිබූ "සේෆ්වේ" සහ "කෝල්ස්" වැනි සුපිරි ග්‍රොසරිහල්වල විකුණන්නට තිබූ "ටිප්ටොප්", "වොන්ඩර් වයිට්" වැනි පොලීතින් කොලිටියේ පාන් මිලට ගැනීමට අපට සිදුවිය.

පෙනුම කෙසේ වෙතත්, මේ පාන් වර්ග අපේ ප්‍රීමා කොලිටියට වඩා ඉතා හොඳ බව රස බැලූ විට මට වැටහිණි. සමහර විට මේ වන විට අපේ දිවේ රස පිරික්සුම් පද්ධතිය පරිසරයට අනුව හැඩ ගැසී තියෙන්නට ඇත.

මෙයින් තවත් වසර කිහිපයකට පසු කාලයක දී, පරණ පුරුදු ලාංකික පාන් රසයට බොහෝ සමාන රස වින්දනයක් ඇති පාන් විශේෂයක් මට ඕස්ටේ්‍රලියාවේ දී රස විඳින්නට ලැබුණි.

එහි වෙළඳ නාමය වූයේ "හෙල්ගාස්" ය.

හෙල්ගාස් මුලින්ම රූපවාහිනියේ ප්‍රචාරණය කෙරුණු වෙළඳ දැන්වීම අර ඉස්සර ලංකාවේ දී අප දුටු "තුල්ටෙක්ස්" හෝ "සන්ලයිට්" දැන්වීමක් සේ දැනුදු මගේ මතකයේ ඇත.
ගුවන් යානයක ගමන් කරන පිරිසකි. ගුවන් සේවිකාවක කෑම බෙදමින් එන්නීය. එක් මිනිසෙක් ඒ කෑම ප්‍රතික්‍ෂේප කර "මගේ සැන්ඩ්විච් එක මට හොඳයි!" යැයි පවසයි.

විෂ්මිත වූ මුහුණකින් යුතුව පහත් වී ඒ සැන්ඩ්විච් එක දෙස බලන ගුවන් සේවිකාව පසුව අසන්නේ "ඔය පාන් වර්ගය හෙල්ගාස් ද?" කියායි.

"නැචුරලි!" මිනිසා සිනා සෙමින් පිළිතුරු දෙයි.
මුලින්ම හෙල්ගාස් පාන් රස විඳි දිනයේ ම මට එහි ලංකාවේ පාන්වලට ඇති සමීපබව වැටහිණි. "ට්‍රැඩිෂනල් වයිට්, හෝල්මීල්, ලයිට් රයි, ට්වෙල්ව් සීඩ්ස්" යනාදී වර්ග කිහිපයකින්ම වෙළඳ පොලට එන හෙල්ගාස් පාන්වලින් මා කැමතිම වූයේ "ට්‍රැඩිෂනල් වයිට්" වර්ගයටයි.

මේ සොයා ගැනීම කෙතරම් ප්‍රීතිමත් එකක් වුවද, දිනපතා හෙල්ගාස් කෑම නම් තරමක ප්‍රශ්ණයක් විය. එය හේතුව නම්, කඩපොලේ ඇති "ටිප්ටොප්", "වොන්ඩර් වයිට්" වැනි සාමාන්‍ය ලේබල් පාන් වර්ගවලට වඩා "හෙල්ගාස්" පාන් දෙගුණයක් තරමටම මිල ඉහල වීමයි. අද වන විට "හෙල්ගාස්" පාන් ගෙඩියක (ග්‍රෑම් 700) සාමාන්‍ය විකුණුම් මිළ ඩොලර් තුනයි ශත පනහක් පමණ වේ. දැනට මාස කිහිපයකට පෙර මේ පාන් ගෙඩියක සාමාන්‍ය විකුණුම් මිළ ඩොලර් හතරයි පනහක් පමණ විය.

"හෙල්ගාස්" පාන් පිළිබඳ රස රහසක් මීළඟ කොටසින්!

ඒ සමගම ඔබ "තාංගීක" යන වචනය මීට පෙර අසා නොමැති නම්, එහි අර්ථ දැක්වීම ද හෙට බලාපොරොත්තු වන්න!

-රසිකොලොජිස්ට්

(image: http://www.shellethics.com/diet-food/vegan-bread/)

Thursday, 12 February 2015

පාන් කා පාන් - All about Bread


ලේ බොමින්, තිරුවාණා ගල් කන මිනිසුන් පිරිසක් ලංකාද්වීපයට ගොඩ බැසි දින සිට මේ වන විට වසර පන්සියයකටත් වඩා ගෙවී ඇති අතර, ලේ බීම කෙසේ වෙතත්, ඒ තිරුවාණා ගල් කෑම නම් තවත් සහශ්‍රක කිහිපයක් ගියත් නොවෙනස්ව පවතින ලෙසට ලාංකික සංස්කෘතිය තුළට ඇතුළු වී ඇති බව අවිවාදාත්මක ය. ලේ පැහැති මුද්‍රිකපානය වෙනුවට අද අප සමහරු බොන්නේ තේ වතුර පැහැති වෙනත් පානයන් ය.

පාන් යනු කුඩා කල සිටම මගේ ප්‍රියතම ආහාරය විය. පාන් කෑල්ලක් දෙකක් කොටා බාන්නට අද මෙන් ටෝස්ටරයේ දමන්නට සහ ඉන් පසුව ජෑම් බටර් තවරා ගන්නට එදා අපට අවශ්‍ය නොවිණි. පරිප්පු, සම්බෝල, කිරට උයන ලද මාලූ පමණක් නොව සීනි ස්වල්පයක් සමග ද, එසේත් නැත්තං අමු අමුවේ ද, පාන් කන්නට අපි පුරුදු වී සිටියෙමු.

නමුත් එදා මා කෑවේද අද මෙන් එක්කෝ එක පාන් පෙත්තකි, නැතිනම් දෙකකි. එකම වෙනස නම් මෙයයි. එදා අප එක පාන් පෙති දෙකක් කෑවේ පාන් ගෙඩියක් පෙති හතරකට කපා ය. එක පෙත්තක් පමණක් කන්නට සිතුනු දිනවල අප කළේ පාන් ගෙඩිය හරි මැදින් සමාන ප්‍රමාණයේ පෙති දෙකකට කැපීමයි.

පාන් යනු ලක්ෂරි කොමොඩිටියක් වූ හැත්තෑව දශකයේ සංවෘත ආර්ථික දුර්භික්ෂ සමයේ දී, එක් අයෙකුට එක් දිනයක් සඳහා ලැබුණු පාන් කාලක සලාකයෙන් කුඩා අපි සැනසුනෙමු. ශත තිස් පහක් වූ පාන් ගෙඩියක මිළ ද ක්‍රමක්‍රමයෙන් වැඩිවුණි.

මින් වසරකට දෙකකට පමණ පසුව එක් දිනක, එකල බොහෝ විට ගුල්ලන් නමැති ප්‍රෝටීන විශේෂයද එක් කර තනන "මැටි පාන්" නමැති පාන් වර්ගයෙන් ගෙඩියක් ශත හැත්තෑ පහක් ගෙවා ලබා ගන්නට මම පැය කිහිපයක් ගණේමුල්ලේ ජන්ෂන් හෝටලය සහ බේකරිය අසල පෝලිමේ ද සිට ඇත්තෙමි. සන්ධ්‍යා ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව හෝටලයේ රේඩියෝවෙන් ප්‍රචාරය වූ ප්‍රජා නිවේදනයක් ඔස්සේ එක් එක් ප්‍රදේශවලට රජයේ ආහාර දෙපාර්තමේන්තුව මගින් බෙදා හරින ලද පාන් පිටි ටොන් ගණං හිලව් අසමින් මා එසේ පාන් පෝලිමේ සිටියදී තාත්තා පැමිණ මා නිවසට කැඳවාගෙන ගිය අයුරු තවමත් අද මෙන් මගේ මතකයේ රැඳී තිබේ.

"සත්වසක සාපය" නමින් විරුදාවලිය ලද රටේ දුර්භික්ෂයෙන් පසුව එළැඹුණු මගේ උසස් පෙළ සමයේ දී, උදේ පාන්දරින් ම නිවසින් පිටත්වන්නට සිදුවූ නිසා, බොහෝ සතියේ දිනවල මගේ පාතරසය වූයේ රොටියකි. උදේට යාන්තම් හෝ පාන් කියාගන්නට ලැබුණේ පෙරදා හවස ටවුමේ කඩයකින් පාන් ගෙඩියක් ගෙනා දිනයක පමණි.

උසස් පෙළ සමත් වූ වරදට පේරාදෙනියේ සිව් අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටියදී නම් පාසල් කාලයේ ඇරියසයත් පොලී සමගින් පියවා ගන්නට හැකි වෙන පරිදි හිතේ හැටියට, ඇති පදම් පාන් කන්නට මට වරම් ලැබුණි. මේ වෙන විට පාන් ගෙඩියක මිල රුපියල් තුනයි ශත පහක් විය. පාන් (ගෙඩිය දෙකට කපන ලද) පෙත්තක් සහ අගසව් පරිප්පු වතුර පිාගානක් ක්‍රමාංකුංචනය කරන්නට මට වැය වූයේ රුපියල් දෙකයි ශත විසි පහක් පමණි.

පාන් ගෙඩිය මතු බුදුවෙන දින පරිප්පු එක අග සව්වෙක් වෙද්දී අනෙත් අගසව්වා වෙන්නට පෙරුම් පුරන්නේ ගෝවා බව කියවේ. නමුත් ගෝවා සමග පාන් කෑම යනු මට නම් ”අරහං” දෙයකි. ඒ වෙනුවට, කිරට පිසින ලද තලපත් මාලූ සමග පාන් පෙත්තක් (හෝ දෙකක්) කන්නට ලැබීම නම් මට පණ පිටින් නිවන් යෑමක් වැනිය.

රසට හැපෙන කෙට්ටු හුරුබුහුටි "රෝස් පාන්", රෝස් ගේ වැඩිමහල් සොයුරු "තැටි පාන්" සහ තරබාරු "අච්චු පාන්" ලෝකයට අනූවේ දශකයේ පැමිණි විදේශික සංක්‍රමණිකයා වූයේ "ප්‍රීමා පාන්" ය. එකම උසට මහතට හැඩය සැදී, එකම ප්‍රමාණයේ පෙතිවලට කැපී, ප්ලාස්ටික් උරයකින් සැරසී උජාරුවෙන් බංගලා හන්දියේ කඬේ ෂෝ කේසයේ වැඩ සිටි ප්‍රීමා පාන් කුමරියෝ, රසයෙන් මට සිහි කළේ පෙර කී හැත්තැවේ දුර්භික්ෂ සමයේ ගිල දැමූ "නවදැලි හේන් ලකුණ දරණ මැටි පාන්" ම ය. එකම වෙනස වූයේ මෙදා මැට්ට හොඳින් වේලී තිබීමයි.

"ප්‍රීමා පාන්" යනු, සාමාන්‍ය මාතර බේකරියේ පාන් මෙන්, නිපදවා එක් දිනකින් කල් ඉකුත්වන ආහාරක් නොවී ය. එහි අඩංගුකර තිබූ කුමක් හෝ අමුද්‍රව්‍යයක් නිසා ප්‍රීමා ගෙඩියක් දිනක් දෙකක් පමණ කල් තබාගෙන වුව ද කෑමට හැකිවිය. ඒ දීර්ඝායුෂ ලැබීමේ පවට කර ගසන්නට වී තිබුණේ, ප්‍රීමා පාන්වල රසටයි. ඇත්තටම කියනවා නම් නීරසටයි.

මුල්වරට "ප්‍රීමා පාන්" ගෙඩියකට කළ ආයෝජනය බොල් වූ පසු ආයේ මා ප්‍රීමා දෙස නෙත් හැර බැලූවේ, බේකරි බාස් ලා සිංහල අවුරුද්දට ගමට ගොස් තාවකාලිකව ගල් වෙන සති දෙකක පමණ කාලයේ දී පමණි.

මෙසේ විවිධාකාරයේ ශ්‍රී ලාංකික තිරුවාණා ගල් රසවිඳිමින් සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ මට දක්නට ලැබුණේ ප්‍රීමාකාරයේ නීරස පෙනුමැති පාන් මිස වෙනත් පාන්වර්ගයක් මෙහි නැති බවයි.

ඒ විස්තර වෙනම ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ මා සන්නස මාසික සඟරාවට ලියන අපේ කාලේ කතන්දර තීරු ලිපි මාලාවේ ජනවාරි ලිපියේ මුල් කොටසයි. මේ ආකාරයේම තවත් ලිපියක් මෙන්න.
http://rasikalogy.blogspot.com/2015/02/unbelievable-for-some.html

(image: http://newsfirst.lk/english/tag/all-ceylon-bakery-owners-association)

Wednesday, 11 February 2015

ඕස්ටේ‍්‍රලියාවෙන් විහිදෙන හුස්මක සුවඳ - Lakshman Kodituwakku's short story collection "Husma"


අපි සියලු දෙනාම පාහේ කුඩා කාලයේ සිටම කතන්දර අසා ඇත්තෙමු. කතන්දර අසා වින්දනයක් ලැබුවෙමු. එනිසා ම දෝ කතන්දර ලියන්නට, කතන්දර කියන්නට අප බොහෝ දෙනකුට හැකියාව ඇත. ඕනෑම යාන් හෑල්ලක් බොහෝවිට කතන්දරයක් ලෙස සැලකේ.

කෙටිකතා යනු කතන්දර නොවේ. කෙටිකතා යනු නවකතාවක් සංක්ෂිප්තව ලිවීමක් ද නොවේ. යාන් හෑලි ද කෙටිකතා ලෙස කිසිසේත් ම සැලකිය නොහැක.

කෙටිකතාවක් යනුවෙන් මා අදහස් කරන්නේ එක්තරා කාල මානයක දී, එක්තරා ප‍්‍රධාන සජීවී චරිතයක් හැසිරෙන ආකාරය හෝ සිදුවීමක් දිග හැරෙන ආකාරය හෝ ඉතා ඉහළ ඵලදායීත්වයක් සහිතව විස්තර කරමින් පාඨක චිත්ත සන්තානයේ කම්පනයක් ඇති කරන්නා වූ ලියවිල්ලකි. කෙටිකතා යනු ලිඛිත සාහිත්‍යයේ ඇති ප‍්‍රබලතම අවියක් වී ඇත්තේ ද, කෙටිකතා ලිවීම සුවිශේෂී කලාවක් ලෙස සැලකෙන්නේ ද මේ නිසාය.

ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ඕස්ටේ‍්‍රලියාවේ සිටින ප‍්‍රබලතම සිංහල කෙටිකතාකරුවා ලෙස මම හඳුන්වමි.

ඒ ඔහු ගේ "පරමේෂ්වරී සහ වෙනම රටක්" (2009) සහ "හුස්ම" (2013) කෙටිකතා සංග‍්‍රහ ද්වයේ අඩංගු කෙටිකතා සහ දැනට දශකයකට වැඩි කාලයක් තිස්සේ විවිධ මුද්‍රිත මාධ්‍යයන් හි පළවුණු ඔහු ගේ කෙටිකතා සම්බන්ධව මා බැසගත් නිගමනයයි.

මා ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ කෙටිකතා අතුරින් මුලින්ම කියවූයේ වසර 2002-03 කාලයේ දී "නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ" ත්‍රෛමාසික ප‍්‍රකාශනය වන "සිංහල" සඟරාවේ පළවුණු ඒවා ය. ඒ කතා කිහිපයටම පාදක වූයේ සංක‍්‍රමණික සිංහල ජනකොටස සම්බන්ධ වූ වස්තු බීජයන් ය. මා කියවූ ඒ මුල් නිර්මාණ තුළින් මා ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ කෙටිකතා පිළිබඳව කිසිදු සුවීශේෂීත්වයක් නොදුටු බව කිව යුතුය. සංක‍්‍රමණිකයින් සහ ඔවුන් තම අළුත් පරිසරය හා ගැටෙන අයුරු ඔහු දකින උපහාසාත්මක ආකාරයේ මට වැටහුණු ආකාරයට දෘෂ්ටිමය වරදක් තිබුණි. එසේම, ඒ නිර්මාණතුල පුරුෂාධිපත්‍යය ද, ස්ත‍්‍රී විරෝධයක් ද ගැබ් වී තිබෙන බව ද මට හැඟුණි.

එසේ වතුදු, ලක්‍ෂ්මන් කොඩිතුවක්කු පසුකාලීනව ලියන ලද, විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ ජීවත්වෙන විවිධ චරිත සහ සිදුවීම් පාදක කරගෙන ලියන ලද කෙටිකතා තුළින් මට ඔහු ගේ සැබෑ ප‍්‍රතිභාව ඔප මට්ටම් වී එන අයුරු පෙනෙන්නට පටන් ගත්තේය. "පරමේෂ්වරී සහ වෙනම රටක්" එකතුවේ ඇතුළත් වුණු "වීරයෙකුගේ නවාතැන් පොළ" සහ "මොහොමඞ් ගේ කතා වස්තුව" යන නිර්මාණ ද්වය තුළින් ඒ බව හොඳින් කැපී පෙනුණි. මේ කාලය වන විට ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ කෙටිකතා ශ‍්‍රී ලංකාවේ පුවත්පත්වල ද නිරන්තරයෙන් පලවෙන්නට පටන්ගෙන තිබුණු අතර "පරමේෂ්වරී සහ වෙනම රටක්" කෙටිකතා එකතුව 2009 වර්ෂයේ දී ගොඩගේ සම්මාන උලෙළේ හොඳම කෙටිකතා පොත් පහ අතරට තෝරා ගැනුණි.

කෙටිකතාකරුවෙක් වශයෙන් ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ මා දකින ප‍්‍රබලතම හැකියාව වන්නේ නාගරිකවාසී ලූම්පන් ජනකොටසේ මෙන්ම සමාජ වෙනසක් අපේක්ෂාකරන දුප්පතුන් ගේ ද ඇසින් සමාජ ප‍්‍රශ්න දෙස බලා ඒවා විග‍්‍රහ කරන්න ඔහුට ඇති හැකියාවයි. මෙය අප වැනි අංකුර කෙටිකතාකරුවන් ගේ ඊර්ෂ්‍යාවට බඳුන්විය හැකි ආකාරයේ විරල හැකියාවකි.

තම කෙටිකතාවල එන එක් එක් චරිතවලට සහ පරිසරයන්ට අදාළව ලක්‍ෂ්මන් කොඩිතුවක්කු තෝරා ගන්නා ලිඛිත භාෂාව සහ ආකෘතිය ඔහු ගේ නිපුණත්වය විදහා දක්වයි. ඒ චරිතවල විවිධ ගති ලක්ෂණ විදහා දක්වීමට ලක්‍ෂ්මන් කොඩිතුවක්කු උපයෝගී කරගන්නා ඔවුන් ගේ හැසිරීම් පිළිබඳ සියුම් නිරීක්ෂණ, දෙබස් සහ ඒකපාත‍්‍ර භාෂණයන් ද කතාව සමග මුසුවී ගලා යන්නේ නිරායාසයෙන් මෙනි.

පසුගිය වසරේ එළිදක්වන ලද ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ "හුස්ම" කෙටිකතා එකතුවට කෙටිකතා එකොළහක් අඩංගුවේ. ශ‍්‍රී ලංකාවේ සිට ඕස්ටේ‍්‍රලියාව දක්වා ද, රැකියා විරහිත තරුණයා ගේ සිට සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා දක්වා ද, දිළිදු මුඩුක්කුවේ සිට මහා මන්දිරය දක්වා ද, විවිධ පරිසරයන් හි වෙසෙන, විවිධ ජීවිත ගත කරන, විවිධ ප‍්‍රශ්නවලට මුහුණ දෙන, පුළුල් පරාසයක විහිදුණු චරිත "හුස්ම" තුළින් ලක්‍ෂ්මන් කොඩිතුවක්කු අප අතරට රැගෙන එයි.

මේ කෙටිකතා එකොළහ අතරින් මා සිත වඩාත්ම බැඳගත්තේ "මනාපය" නම් වූ කතාවයි. මගේ මතකයට අනුව මෙය "ඉරිදා ලක්බිම" පුවත්පතේ මුල්වරට පළ වූ නිර්මාණයකි. දේශපාලකයෙකුට අවජාතකව උපන් දිළිදු දරුවෙකු ගේ ශෝකාලාපය "මනාපය" තුළින් ලක්ෂ්මන් අපට කියන්නේ සරදම ද, ශෝකය ද එකිනෙක ඉතා සීරුවෙන් අමුනමිනි. එය මේ කෙටිකතාකරුවා ගේ සුවිශේෂී දක්ෂකමකි. "හුස්ම", "සිහින විකිණීමට තිබේ", "බැමි", "පාට බොඳවුණු සිහිනයක්" සහ "ස්වයං ඝාතිකාව" යන නිර්මාණද මේ ආකාරයෙන්ම අතිශය දුලබ වස්තුබීජ පදනම් කොටගෙන කෙරුණු නිර්මාණ වේ. ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ නිර්මාණ අත්දැකීම් අප වැනි අංකුර රචකයින් ගේ ඊර්ෂ්‍යාවට භාජනය වීම පුදුමයක් නොවන බව මා පෙර සඳහන් කළේ එබැවිනි.

"හුස්ම" කෙටිකතා සංග‍්‍රහයේ එන "වෙඩි තියාගත්තට පස්සේ" නමැති අගනා ශෝකාන්ත නිර්මාණය කියවූ පසු මා සිත තුළ ඒ කෙටිකතාවේ ප‍්‍රධාන චරිතය ගුරුවරයෙකු වීම කෙතරම් තාත්විකදැයි කුකුසක් ඇතිවිය. එයට හේතුව වූයේ, පියා ගුරුවරයෙකු වූ පවුලක දරුවන් එකෙක් නොව තිදෙනාම හරි හමන් ඉගෙනීමක් නොලැබ අතරමං වීමට ඇති ඉඩකඩ ඉතා අඩු නිසාය.

නමුත් එකෙණෙහි ම මගේ සිහියට ආවේ ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ ප‍්‍රථම කෙටිකතා සංග‍්‍රහය වූ "පරමේෂ්වරී සහ වෙනම රටක්" හි එන එනමින්ම යුතු කෙටිකතාව පිළිබද මා ඇසූ විචාරයකි. ඒ කෙටිකතාවේ එන තම සේවාදායකයා වූ පරමේෂ්වරීට ලිංගික අතවරකම් කරන නීතිඥයා ගේ චරිතය අභව්‍ය සහ අතාත්වික එකක් වේ ය වැනි අදහසක් තමා ද වෘත්තියෙන් නීතිඥයෙකුවන මෛත‍්‍රී පනාගොඩ "පරමේෂ්වරී සහ වෙනම රටක්" කෘතියේ දොරට වැඩුමේ උත්සවයේ දී පළකළේ ය.

නමුත් ඉන් මාස කිහිපයකට පසු මගේ ඇස ගැටුණේ පුවත්පතක වාර්තාකර තිබූ "පරමේෂ්වරී සහ වෙනම රටක්" කෙටිකතාවේ ආ ආකාරයේ ම ස්ත‍්‍රී දූෂණයක් පිළිබඳ විස්තරයකි!

මෙයින් හැඟෙන්නේ නිර්මාණකරණය නමැති කර්තව්‍යයට කාලය නමැති මානයේ රැඳී තාත්විකත්වය පිළිබඳ සීමාවන් පැනවිය නොහැකි බවද?

ලක්‍ෂ්මන් කොඩිතුවක්කු කෙටිකතාකරුවෙකු මෙන්ම කවියෙකු, ගී පදමාලා රචකයෙකු, ළමා නාට්‍ය රචකයෙකු සහ දේශපාලන තීරු ලිපි රචකයෙකු ද වේ.

මම ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ ඉදිරි ලේඛන දිවියට සුබ පතමි.

රසික සූරියආරච්චි


හුස්ම - ලක්‍ෂ්මන් කොඩිතුවක්කු
සුරස (ෆාස්ට් පබ්ලිෂින්) ප්‍රකාශනයක් (2013)
මිල රුපියල් 300

Monday, 9 February 2015

ජෝන් අමරතුංග (සහ/හෝ) යූඇම්පීය අද කළ යුත්තේ කුමක්ද? - How Australia gets rid of its corrupted politicians


දේශපාලකයින් ට දේශපාළුවන් කියා සුන්දර නමක් පට බැඳී ඇත්තේ නිකමට නොවේ.

ඒ බහුතරයක් දේශපාලකයින් රට හදන්නන් නොව රට කා පාළු කරන්නන් නිසාය.

රට කන දේශපාළුවන් යනු කිසිසේත් ම ලංකාවට පමණක් සීමා වූ සත්ව කොට්ඨාශයක් නොවේ. ලෝකයේ හැම රටකම පාහේ අඩු වැඩි වශයෙන් මේ තත්වය ඇත.

යහ පාලනය හෙවත් ගුඩ් ගවර්නන්ස් යන්න වැදගත් වෙන්නේ මේ නිසාය. වනචර, අධම, දූෂිත දේශපාලුවන් එක රැයෙන් (හෝ සීයකින්) සත්පුරුෂයින් කරන්නට බැරි නමුත්, වරද කරන එවුන්ට විරුද්ධව ක්‍රියාත්මක කරන්නට නීතිමය රාමුවක් සහ එය ක්‍රියාවට නැංවීමේ වැඩ පිළිවෙලක් සැකසීම යහ පාලනයේ මූලික අවශ්‍යතාවයකි.

ඕස්ට්‍රේලියාවේ දේශපාළුවෝ ද වරින් වර විවිධ නොකටයුතුකම් වල නිරත වෙති. නමුත්, මගේ අත්දැකීම් අනුව එවැන්නන්ට දේශපාලනයේ වැඩි ආයුෂ නැත.

ඕස්ට්‍රේලියාවේ මා වෙසන නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ "දුෂණයට එරෙහි ස්වාධීන කොමිසම" (Independent Commission Against Corruption) නම් ආයතනයක් නීතිගත කර පිහිටුවා ඇත්තේ රාජ්‍ය ආයතනවල සහ විශේෂයෙන් ම දේශපාළුවන් ගේ අකටයුතු කම් ගැන සොයා බැලීමටයි.

මා මේ ප්‍රාන්තයේ ජීවත්වෙන පසුගිය වසර පහළොවක පමණ කාලය තුල මේ කොමිසමට ලැබුණු පැමිණිලි විභාග කර දඬුවම් කරන ප්‍රාන්ත දේශපාළුවන් කිහිප දෙනෙක් ගැනම මම දනිමි. තවත් එවැනි විමර්ෂණ කිහිපයක් ම මේ දිනවල පැවැත්වේ.

මෙහිදී, මා නිරීක්‍ෂණය කළ වැදගත් කාරණා දෙකක් ඔබ සැමගේ දැන ගැනීම පිණිස කිව යුතුය.
  1. බොහෝ විට සිදුවන්නේ, යම් චෝදනාවක් එල්ල වී එය විභාග කරන්නට පටන් ගන්නා විටම, ඒ දේශපාලුවා තමන් ගේ ඇමතිකම් යනාදී තනතුරුවලින් ඉවත් වීමයි. මෙය දුෂණයට එරෙහි ස්වාධීන කොමිසමට ලැබුණු පැමිණිලි නිසා පමණක් ම නොව වෙනත් පුද්ගලික කරුණු හේතුවෙන් නම කැත වුණු අවස්ථාවලදී ද සිදු වෙනු මා දැක ඇත. දේශපාළුවන් මෙසේ කරන්නට මූලික හේතුව නම්, තමන්ට ඇති චෝදනා නිසා, තම පක්‍ෂයට (සහ දේශපාළුවා ආණ්ඩු පක්‍ෂයේ නම් ආණ්ඩුවට) මඩ එල්ල වීම වැලැක්වීමටයි. ඉල්ලා අස් වෙනවාය කීවාට සමහර විට පක්‍ෂය විසින් ඔවුන්ට ඉල්ලා අස් වීමට බල කරනවා ද විය හැක.
  2. යම් කිසි හෙයකින්, දුෂණයට එරෙහි ස්වාධීන කොමිසම හමුවට ගන්නා ලද චෝදනාවලට හෝ වෙනත් සිවිල් චෝදනාවලට යමෙක් වැරදිකරු වුවහොත්, එකෙනෙහිම ඔවුන් පක්‍ෂයෙන් ද, පාර්ලිමේන්තුවෙන් ද ඉල්ලා අස්වෙනු දැකිය හැක. බොහෝ විට තීන්දුව දෙන්නට පෙර ම, එන පොට හොඳ නැති නම්, දේශපාලන පක්‍ෂය විසින් ඔවුන් නෙරපා දමනු ලැබේ. අපේ මනුස්සයා යැයි බේරා ගැනීමක් හෝ පසුව තානාපතිකමකින් සංග්‍රහ කිරීමක් හෝ මා දැක නැත.
පසුගිය 2011 මාර්තුවේ පැවති ප්‍රාන්ත මැතිවරණයෙන්, ලිබරල් පක්‍ෂය ජයගන්නා ලද අතර බැරී ඕපැරල් නව ප්‍රධාන ඇමතිවරයා (Premier) බවට පත්විය. පැරදුණු කම්කරු පක්‍ෂ ආණ්ඩුවේ හිටපු ප්‍රධාන ඇමති නේතන් රීස් වහාම පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය. ඔහු වෙනුවට නායකත්වයට සහ එනිසා විපක්‍ෂ නායකත්වයට පත්වුණේ ජෝන් රොබර්ට්සන් ය.

අද වන විට ඔවුන් දෙදෙනාම ඒ තනතුරුවල නැත.

තමන්ට තෑග්ගක් ලෙස ලැබුණු වටිනා වයින් බෝතලයක් නීත්‍යානුකූලව තෑගි ලේඛණයේ අඩංගු නොකර තබාගෙන, පසුව ඒ ගැන තමන්ට මතක නැති යැයි පවසා, සත්‍යය හෙලි වූ පසු තම වරද පිළිගෙන අගමැති බැරී ඕපැරල් පසුගිය (2013) අප්‍රියෙල් මාසයේ දී ප්‍රධාන ඇමති තනතුරින් සහ ඇමති මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. ඉන් මාස හයකට පසු ඔහු දේශපාලනයෙන් ද සමුගන්නා බව ප්‍රකාශ කළේය.

පසුගිය දෙසැම්බරයේ සිඩ්නි නගරයේ දී සිවිල් වැසියන් රැසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ග්‍රහණයට ගෙන ඒක පුද්ගල ත්‍රස්ත ක්‍ර්‍රියාවක යෙදුනු මෝනිස් නමැත්තා, ඊට වසර තුනකට කලින් ඔහු ගේ පෙර විවාහයක දරුවන් ගේ අයිතිය සම්බන්ධයෙන් ලියූ ලිපියක් සමාජසේවා දෙපාර්තමේන්තුවට රෙකමදාරු කර යොමු කරන ලදැයි යන කරුණ සම්බන්ධයෙන් කම්කරු පක්‍ෂයට ඇති විය හැකි හානිය ගැන සිතා විපක්‍ෂ නායක ජොන් රොබර්ට්සන් ද තම තනතුරෙන් ඉල්ලා අස්විය.

මේ නිසා ලබන (2015) මාර්තු මාසයේ පැවැත්වෙන ඊලඟ ප්‍රාන්ත මැතිවරණයට ලිබරල් පක්‍ෂයට මෙන් ම කම්කරු පක්‍ෂයට ද නායකත්වය දෙන්නේ සිව් වසරකට පෙර පත් වූ දෙදෙනා නොවේ!

ලංකාවේ උද්ගත වී ඇති තත්වය සැලකුවහොත්:

ජෝන් අමරතුංග සම්බන්ධ චෝදනාව සහ ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව ගැන අද පලවූ පුවතකට අනුව, අගමැතිවරයා සැලසුම් කරන්නේ විශ්වාස භංගයෙන් විපක්‍ෂය ජය ගත හොත් පාර්ලිමේන්තුව විසුරවා දැමීම බව සඳහන් විය.

එයින් වෙන්නේ, ජනවාරි අටවෙනි දින ඇරඹුණු ක්‍රියාදාමය යළිත් එකේ කොටුවට යෑමයි.

රට, ආණ්ඩුව, දේශපාලන පක්‍ෂය යන දේ එක පුද්ගලයෙකුට වඩා අති විශාල ලෙස වටිනා දේ ය.

මා සිතන ආකාරයට සිදුවිය යුත්තේ මෙයයි.

එක්කෝ:

     ජෝන් අමරතුංග ස්වේච්ඡාවෙන් තම ඇමතිකමෙන් ඉල්ලා අස්විය යුතුය,

නැතිනම්:

     ඔහුට ඉල්ලා අස්වීමට බල කළ යුතුය

එසේත් නැතිනම්:

     ඔහුව එම ඇමති තනතුරෙන් පහ කර, ඒ අදාල වගකීම් දැනට කැබිනෙට්ටුවේ ඉන්නා වෙනත් ඇමතිවරයෙකුට හෝ කීප දෙනෙකුට පැවරිය යුතුය.

එමගින් ආණ්ඩුව විශ්වාසභංගයෙන් පැරදීමේ ප්‍රශ්ණයෙන් ගැළවේ.

ජෝන් අමරතුංගට විරුද්ධව ඇති චෝදනා ගැන පරීක්‍ෂණයක් පැවැත්විය යුතු අතර ඔහු ගේ දේශපාලන අනාගතය ඒ අනුව තීරණය විය යුතුය.

අප බලාපොරොත්තු වූ වෙනස එයයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මුලින් ලියූ පරිදි රට, ආණ්ඩුව, දේශපාලන පක්‍ෂය යන දේ එක පුද්ගලයෙකුට වඩා අති විශාල ලෙස වටිනා දේ ය.

අද උදෑසන ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර දි ෆෙඩරල් ආණ්ඩු බලය හිමි ලිබරල් පක්‍ෂ රැස්වීමක් පැවැත්වුනේ ද, වත්මන් අගමැති ටෝනි ඇබට් ගේ තනතුර ඔන්න මෙන්න අහිමි වුනේද ඒ නිසාය.

(image: http://www.iop.harvard.edu/fighting-corruption-india)

Saturday, 7 February 2015

හාෆ් ෂීට් කඩෙන් ගැනීම නම් වූ විශ්මයජනක කාරණය - Unbelievable (for some)


ඕස්ට්‍රේලියාවේ මාස් පතා පළවෙන සිංහල සඟරාමය ප්‍රකාශන කිහිපයක් ඇත. මේවා සාමාන්‍යයෙන් අප හඳුන්වන්නේ පත්තර නමිනි. මෙයින් ප්‍රමුඛතම ප්‍රකාශනය වන්නේ "සන්නස" පත්තරයයි.

සන්නස අරඹා මෙම වසරේ අප්‍රියෙල් මාසයට වසර දහයක් පිරේ. සන්නස සඟරාවට සමාන්තරව නමින් සිංහල සහ ඉංගිරිසි පුවත් අඩවි දෙකක් පවත්වාගෙන යනු ලබන අතර පසුගිය වසර දහය තුල ප්‍රකාශිත සියළු සන්නස සඟරා http://sannasa.sinhalajukebox.org/ අඩවියේ ලේඛනාගාර කර ඇත.

මම කලක සිට සන්නසට සඟරාවට ලිපි රචනා සපයන්නෙක්මි. මේ දිනවල මා ලියන්නේ "අපේ කාලේ කතන්දර" නම් තිරු ලිපියයි.

සන්නස 2015 පෙබරවාරි සඟරාවේ පළවුණු අපේ කාලේ කතන්දරය පහත උපුටා දක්වමි.


පාසල් යෑම ඇරඹුණු හෝඩියේ පන්තියේ දී භාවිතා කරන්නට පටන් ගත් ගල්ලෑල්ලෙන් සහ ගල්කූරෙන්, තුනේ පන්තියේ දී ඇක්සයිස් පොතට සහ පැන්සලට උසස් වීමක් ලද අපි, පහේ පන්තියේ දී ඒ මිනිරන් පැන්සලෙන් තීන්ත පෑනට උසස් වීමු.

එතෙක් භාවිතා කළ පිටු හතලිහේ සාමාන්‍ය ප්‍රමාණයේ ඇක්සයිස් පොත් වෙනුවට අප හයේ පන්තියේ සිට ලිවීම සඳහා, සාපේක්ෂව කොළ විශාල සංඛ්‍යාවක් ඇති, මොනිටර් පොත් භාවිතා කරන්නට පටන් ගත්ත ද, තීන්ත පෑන් වෙනුවට හුරුබුහුටි බෝල්පොයින්ට් කාබන් පෑන් භාවිතා කරන්නට පටන් ගත්ත ද, මට නම් ඊළඟට ලැබුණු සැබෑ ම උසස් වීම වූයේ උසස් පෙළ හදාරන්නට ගිය පසු සිදු වූ මොනිටර් පොතෙන් හාෆ් ෂීට්වලට ලද උසස් වීමයි.

එය, ඒ කාලයේ දී ම සිදුවුණු, කොට කළිසමෙන් දිග කළිසමට මාරුවීම හා සමාන පිම්මක් විය.

අප සැම දන්නා පරිදි හාෆ් ෂීට් යනුවෙන් අදහස් කෙරෙනුයේ, විශේෂයෙන් ම ඒ දිනවල කාර්යාලවල ලිපි යතුරු ලිවීම සඳහා භාවිතා කරන ලද, ඒ-4 ප්‍රමාණයේ සුදු පැහැති කඩදාසි වේ. ඒ දිනවල මේවා වාලච්චේනේ පිහිටි කඩදාසි සංස්ථා කම්හලේ නිෂ්පාදනය කෙරුණු බව හාෆ් ෂීට් වෙළඳ පොළට නිකුත් කරන බණ්ඩලවල මුද්‍රණය කර තිබුණි.

සාමාන්‍යයෙන් නිවෙස්වල ලිපි කටයුතු සඳහා භාවිතා වූයේ එක්කෝ ඇක්සයිස් පොතක මැදින් කඩා ගත් කොළ ය. නැති නම් හාෆ් ෂීට්වලටත් විශාල වූ ප්‍රමාණයේ ෆූල්ස් කැප් නමින් හැඳින් වුණු රූල් සහිත කොළ ය.

අප කුඩා කාලයේ පෞද්ගලික අංශයේ ලිපිකරු රැකියාවක් කළ අපේ බාප්පාගෙන් අපේ ගමේ සිටි අපට වඩා වැඩිමහල් සමහර ළමයින් ”මාමේ අපට හාෆ් ෂීට් ගෙනත් දෙන්න!” යැයි ඉල්ලනවා මට ඇසී තිබේ.

මොනිටර් පොත්වල ලියනවාට වඩා මා හාෆ් ෂීට්වල සටහන් ලිවීම ප්‍රිය කරන්නට හේතු කිහිපයක්ම තිබුණි.

පොත් නිපදවන්නා සළකුණු කර ඇති තනිරූල්, කොටුරූල් ඉරි අතරේ ම අපට හිරවන්නට අවශ්‍ය නැත. එක් දිනක් පාසල් යන්නට නොහැකි වූ විට, ඒ සඳහා පිටු කීයක් ඉඩ හරින්නද යන ප්‍රශ්ණය මෙහි දී පැන නොනගී. හාෆ් ෂීට් භාවිතා කරන මිතුරන් අතර ණයට දෙන්නටත්, ණයට ගන්නටත් හැකි නිසා, මොනිටර් පොතක් ගෙදර අමතක වූ විට ඇතිවන ලොකු ප්‍රශ්ණය ද නැත. ඒ සේරමටත් වඩා, වෙනදා මෙන් මොනිටර් පොත් ගොන්නක් වෙනුවට, සටහන් ලියන හාෆ් ෂීට් බහාලූ කාඩ්බෝඩ් ෆයිල් කවරයක් පමණක් රැගෙන සරසවි සිසුන් සේ සිංහ සෙයියාවෙන් අපට පාසල් යා හැක.

අනිත් වැදගත් කාරණය වූයේ මොනිටර් පොත්වල මිළ හා සසඳන විට, හාෆ් ෂීට්වල මිළ සැලකිය යුතු තරම් වැඩි නොවීමයි.

පාසල් දිවියේ උසස් පෙළ සමය ද, විශ්ව විද්‍යාලවල ගත කළ කාලය ද හාෆ් ෂීට් අතරම ගෙවී ගියේය. ඉන් පසුව එළැඹි සමයේ දී මා අතින් සිදුවුණු එකම ලිවීම වූයේ ඉඳහිට ලියවෙන කවියක් පමණි. පුදුමයකට මෙන් ඒ සඳහා මා භාවිතා කිරීමට පෙළඹී තිබුණේ මොනිටර් පොතකි. එයට හේතුව වූයේ කොල කැබලිවල ලියවෙන දේ එකට එක් කර තබා ගැනීමේ තිබුණු ප්‍රායෝගික අපහසුවයි.

මේ කාලයේ එක් සති අන්තයේ දිනක මට මගේ ඥාති නිවසකට යාමට සිදුවිය. මේ නිවසේ සිටි මගේ ඥාති සොහොයුරා ඒ දිනවල සාමාන්‍ය පෙළ විභාගය සමත්ව, උසස් පෙළ හැදෑරීම අරඹන්ට නියමිතව තිබුණි. ඥාති නිවසට ගෙන යන බිස්කට් කෙසෙල්වලට අමතරව ඥාති සොහොයුරාට තෑගි දීම සඳහා යමක් මිළදී ගැනීමට මට අවශ්‍ය විය. මට එක්වරම සිහියට ආවේ ඔහුට දිය හැකි හොඳම ත්‍යාගය හාෆ් ෂීට් බවයි.

නගරයේ පොත් කඩයකට ගොඩ වැදුණු මා හාෆ් ෂීට් බණ්ඩලයකුත්, සටහන් බහාලීමට මෙන් ම, හාෆ් ෂීට්වල ලිවීමේ දී ආධාරකයක් ලෙස භාවිතා කිරීමට ද හැකි ඝණ ප්ලාස්ටික් ෆයිල් කවරයකුත්, විවිධ වර්ණයේ පෑන් කිහිපයකුත් මිළට ගත්තෙමි.

ඒ සඳහා මා මුදල් ගෙවන කවුන්ටරය අසලට ගිය විට, එහි දී මා දුටුවේ මා එවකට සේවය කළ ආයතනයේ ම සේවයේ නියුතුව සිටි ලිපිකරු මහතෙකි. ඔහු එහි කවුන්ටරයේ සිටි පුද්ගලයා ගේ මිතුරෙක් සේ හැඟිණි.

"හලෝ කොහොමද?" කියා ඔහු මා සමග සිනාසී කතා කළේ ය.

එකෙනෙහිම ඔහු ගේ නෙත ගැටුණේ මා අත තිබු හාෆ් ෂීට් බණ්ඩලය ඇතුලූ භාණ්ඩ කිහිපයයි. ඒ දුටු විගස ඔහුගේ දෙනෙත් විශ්මයාර්ථයක් දක්වමින් විසල් වෙනවා පෙනුණි.

"ආ! හාෆ් ෂීට් කඩෙනුත් ගන්නවා ද?" ඔහුගේ මුවට ක්ෂණයකින් නැගුණු වදන් පෙළ එය විය.

ඒ ගැන ඊට වඩා වැඩි විස්තර කිරීමක් අවශ්‍ය නොවේ යැයි සිතමි.


-රසිකොලොජිස්ට්

ප/ලි
මා කලින් ලිපි දෙකක් පුරා ලියු පරිදි - මෙල්බර්න් නගරයේ පිහිටවූ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ගැන ඩීබී කුරුප්පු ලියූ ලිපියක් නිසා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංග ගේ තර්ජනයට ලක් වූයේ ද මේ සන්නස පත්තරයයි.

(image: http://kitairu.net/office-and-school-supplies/104309.html)

Thursday, 5 February 2015

උසස්වීම නොහොත් නොදැන කළ උදව්ව - Clearing the rungs in the ladder


අද මට පරණ කතන්දරයක් ලියන්නට සිතුණි!


මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා අවසන්ව රැකියා වෙළඳ පොළට පිවිස නිරතවුණු තුන්වන රැකියාව වූයේ රජයේ සංස්ථාවක සහකාර මැවිසුරු (ඉංජිනේරු) තනතුරකි.

මේ රැකියාව සඳහා එකම සුදුසුකම වූයේ ඉංජිනේරු උපාධිය පමණක් වුවත්, මා සමග සේවය ඇරඹූ විදුලි ඉංජිනේරුවන් සහ කාර්මික ඉංජිනේරුවන් එකොළොස් දෙනෙකුගේ කණ්ඩායමට මට වඩා වසර කිහිපයක පළපුරුද්ද ඇති අය ද, (වඩා හොඳ ස්ථිර රැකියාවක්, පිටිසර සිට කොළඹ අවට රැකියාවක් යනාදී) විවිධ හේතු මත අයැදුම් කර, සම්මුඛ පරීක්‍ෂණ ක්‍රමවේදයෙන් තේරී පත්වී තිබුණි. මගේ පළපුරුද්ද ද මේ වන විට වසරක පමණ විය.

අප ආයතනයට මේ ආකාරයට ඉංජිනේරුවන් බඳවාගෙන තිබුණේ වසර අටකට පසුව ය.

ඉංජිනේරු සේවයේ අපට වඩා පහත ශ්‍රේණියේ තනතුර වූයේ ඉංජිනේරු සහකාර තනතුරයි. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම වී තිබුණේ ජාතික ඩිප්ලෝමාවයි. ඉංජිනේරු සහකාරයෙකුට එම තනතුරේ වසර නමයක් වැනි පළපුරුද්දක් ලද විට, හෝ ඉංජිනේරු ආයතනයක විභාග සමත්ව සාමාජිකත්වය ලබාගත් විට, සහකාර ඉංජිනේරු තනතුරක පුරප්පාඩුවක් ඇත්නම් සහ ඒ සඳහා අභ්‍යන්තරව ඉල්ලුම්පත් කැඳවූවොත් අයැදුම් කළ හැකි විය. මා පසුව හඳුනාගත් සමන් ඒ ආකාරයෙන් සේවයට බැඳී ඉංජිනේරු ආයතනයේ විභාග සම්පුර්ණ කර සාමාජිකත්වය ලබා සහකාර ඉංජිනේරවෙකු ලෙස උසස්වීමක් ලැබ සිටි අයෙකි.

අප ආයතනයේ ඉංජිනේරු සේවයේ අපට වඩා ඉහළ තනතුර වූ ඉංජිනේරු ධුරය සඳහා උපාධියෙන් පසු සිව් වසරක පළපුරුද්ද හෝ පශ්චාත් උපාධියක් හෝ වරලත් ඉංජිනේරු සුදුසුකම අවශ්‍ය විය.

ඊටත් ඉහළ තනතුර වූයේ එක් එක් අංශවල කළමනාකාර තනතුරයි. ඒ සඳහා වසර නමයක පළපුරුද්දක් අවශ්‍ය විය.

මේ ඉහළ තනතුරු දෙවර්ගය ම සඳහා අලුතින් බඳවා ගැනීමක් නොකෙරුණු අතර, පුරප්පාඩු පුරවනු ලැබුවේ අභ්‍යන්තර උසස්වීම් මගිනි.

සේවය අරඹා සති කිහිපයක "ඉන්ඩක්ෂන්" කාලයකින් අනතුරුව, මා අනුයුක්ත වූයේ ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරු සහ දත්ත සැකසුම් දෙපාර්තමේන්තුවටයි. මා මේ තනතුරේ වසර තුනයි මාස නමයක් සේවය කළෙමි. මේ කාලය ඇතුළත මාස විස්සක අධ්‍යයන නිවාඩුවක් ලබා පශ්චාත් උපාධියක් ලබා ගැනීමට ද මට හැකි විය.

ඒ නිවාඩුවෙන් පසු මා නැවත සේවය අරඹා, මාස කිහිපයක් ගත වූ පසු පාලනාධිකාරිය විසින් අපේ දෙපාර්තමේන්තුව ව්‍යුහමය වෙනසකට ලක් කරන ලදී. තවත් මාස කිහිපයකට පසු, පුරප්පාඩුව තිබූ මට ඉහළ ඉංජිනේරු තනතුර සඳහා අයැදුම්පත් කැඳවා, ඒ සඳහා පැවැත්වුණු සම්මුඛ පරීක්‍ෂණයකින් පසුව මට තරමක පඩි වැඩිවීමක් ද සහිතව උසස්වීමක් ලැබුණි.

අවාසනාවකට මෙන්, මා මේ ඉහළ තනතුරේ සේවය කළේ මාසයක් පමණි. ඒ, මා ඊට කලින් මුහුණ දී තිබුණු සම්මුඛ පරීක්‍ෂණයක ප්‍රතිඵලය අනුව ටික දිනකින්ම මට විශ්ව විද්‍යාලයක රැකියාවක් ලැබුණු නිසාය.

ඒ අළුත් රැකියා ස්ථානයේ, අළුත් රැකියාවේ, මාසයක් දෙකක් සේවය කළ පසු, මට පරණ සේවා ස්ථානයට යාමට අවස්ථාවක් ලැබුණි.

අදාළ කටයුතු නිමවා, මගේ මිතුරන් කීප දෙනෙකු ද මුණ ගැසී කතාබහක නිරත වී, ඉන් පසු මා ගියේ මා සේවය කළ දෙපාර්තමේන්තුවටයි.

එහිදී මට මා හිතවත් දත්ත සකසන්නන් කීප දෙනා ද, පරිගණක ඉංජිනේරුවන් දෙදෙනා ද මුණ ගැසුණි. ඊට අමතරව වෙනත් දෙපාර්තමේන්තුවකට අනුයුක්ත සහකාර ඉංජිනේරුවෙක් වූ සමන් ද එහි රැඳී සිටියේය.

අපේ දෙපාර්තමේන්තුවේ දත්ත සැකසුම් සේවා ගැන විවිධ වැඩ කටයුතු සඳහා අන් අය එහි පැමිණීම සාමාන්‍යයෙන් සිදුවේ. ඒ බොහෝ විට, ගණකාධිකාරී අංශයේ අයයි. නමුත් ඔහු එහි වාඩිවී සිටි ආකාරය අනුවත්, මගෙන් විමසූ ප්‍රශ්නයකට අනුවත්, සමන් එවැනි කාර්යයකට එහි පැමිණ සිටි බවක් නොපෙනුණි.

ස්වල්ප වේලාවකින් මට සියල්ල වැටහුණි.

මගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ ඉංජිනේරු තනතුරට උසස්වීමක් ලබා ඇත්තේ සමන් ය.

මා සේවයෙන් අස් නොවුනේ නම්, සමන්ට මේ උසස්වීම ලැබෙන්නට ඉඩක් නොතිබුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඔහු ඒ උසස්වීම ලබා තිබුණේ ඔහු ගේ සුදුසුකම් හා පළපුරුද්ද මත බව සත්‍යයක් නමුත්, රැකියාවෙන් ඉල්ලා අස්වීම තුළින් ඒ පුරප්පාඩුව නිර්මාණය කර, මා නොදැනම, මා සමන්ට කර තිබුණේ එක්තරා ආකාරයකට උදව්වකි!

එය වැටහුණු පසු මට ඇති වූයේ දැඩි සතුටක් බව කිව යුතුය.


මා මුලින් කීවාක් සේ මෙය පරණ කතාවකි.

මෙය මගේ සිහියට නැගුණේ මා පෙරේදා ලියා පළකළ ද්විත්ව පුරවැසිබව පිළිබඳ ලිපියට අදාළව රයිගම හන්දිය බ්ලොගය රචනා කරන චන්ද්‍රකුමාර තබා තිබූ ප්‍රතිචාරය කියවද්දීය.

ලාංකිකයින් වෙනත් රටවලට සංක්‍රමණය වීම ගැන රයිගම හන්දිය මෙසේ පවසයි.

"ඒ වගේම අප සේරම අමතක කරන කරුණ නම්, ලංකාවේ ආර්ථික වර්ධන වේගය අනුවත්, ජන ඝනත්වය අනුවත්, එහි උපදින සියල්ලන්ටම රැකියා, රට ඇතුලෙම උත්පාදනය සිතුවිල්ලක් විතරයි".

චන්ද්‍රකුමාර මෙන්ම මා ද, ලංකාවේ සිට සංක්‍රමණය කළ විට ඒ නිසා ඇතිවූ පුරප්පාඩුවලට ද, වෙනත් අය උසස්වීම් ලබන්නට ඇත. එම සිතුවිල්ල ද සිතේ විශාල සතුටක් ඇති කරයි!

-රසිකොලොජිස්ට්

(image: http://www.sweetrelish.com/articles/6_easy_tips_for_climbing_the_corporate_ladder_like_a_champ)

Wednesday, 4 February 2015

ඩුවල් සිටිෂන්ෂිප් එක හෙවත් ද්විත්ව පුරවැසිභාවය - Killing the goose laying golden eggs


මුලින් ම මෙන්න වැදගත් ම කාරණය.

මම ද්විත්ව පුරවැසියෙක් මි. ශ්‍රී ලාංකික සහ ඕස්ට්‍රේලියානු පුරවැසිකම් ද්වයය ම මට හිමි ය.

මා මෙන් ම, මගේ බිරිඳ ද, දියණිය ද ශ්‍රී ලාංකික සහ ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෝ වෙති. ඕස්ට්‍රේලියාවේ ඉපදුණු මගේ පුතා ද, ඔහු ගේ උපත ලංකාවේ ද ලියා පදිංචි කර ඇති නිසා, ඔහුට වසර දහ අට පිරෙන තෙක් ශ්‍රී ලාංකික සහ ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෙකි.

ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ අයෙකුට මේ ආකාරයට ද්විත්ව පුරවැසියෙක් වෙන්නට ලැබෙන්නේ, මුලින්ම, එයට ඕස්ට්‍රේලියානු නිතීය මගින් ඉඩ ලැබී ඇති නිසාය. එනම්, තම රටට සංක්‍රමණය කර පදිංචි වී සිට පසුව පුරවැසිකම ලබාගන්නා අයෙක්, තමන්ගේ මුල් පුරවැසිබව තව දුරටත් තබා ගැනීමට අදහස් කරයි නම් එයට ඕස්ට්‍රේලියානු නිතීය මගින් අවසර දී ඇත. ඇත්තටම, ඕස්ට්‍රේලියානුවෙකුට අවශ්‍ය නම් රටවල් කීපයක වුවද පුරවැසි බව තබා ගත හැක. ඒ සඳහා වෙනම ඕස්ට්‍රේලියාවෙන් අවසර ඉල්ලීමට අවශ්‍ය නොවේ. අවසර අවශ්‍ය වන්නේ ඒ ඒ රටවල්වලිනි.

මේ අතර, ලංකාවේ නීතියට අනුව තම පුරවැසියෙක් වෙනත් රටකට සංක්‍රමණය කර එහි පුරවැසිකම ලබාගත් පසුත්, ඔහුට හෝ ඇයට ලංකාවේ පුරවැසිකම ද තවදුරටත් තබා ගන්නට අවශ්‍ය නම්, ඒ සඳහා පෙර අවසරයක් ලංකාවේ රජයෙන් ලබාගත යුතුය.

එනිසා, සරලව "ද්විත්ව පුරවැසි අයැදුම" හෙවත් "ඩුවල් සිටිසන්ෂිප් ඇප්ලිකේෂන්" නමින් හැඳින්වෙතත් මේ අයැදුම් කරන්නේ සහ අවසර ලබා දෙන්නේ නිවැරදිව කිවහොත්, වෙනත් රටක පුරවැසිබව ලබාගත් පසු තව දුරටත් ශ්‍රී ලාංකික පුරවැසිබව තබාගැනීමට ය.

මේ සඳහා මට ඇති අවසර පත්‍රය "ච.බ.කු." විසින් තම රබර් සීල් එක තබා නිකුත් කර ඇත. ඒ, ආගමන හා විගමන විෂයය බාර රාජ්‍ය ආරක්‍ෂක ඇමති ලෙස කළ අනුමැතියකි.

ඒ දිනවල මේ සඳහා අයැදුම් පත්‍ර ගාස්තුව වූයේ මුල් ඇයදුම්කරුට රුපියල් ලක්‍ෂයකි. එයට එක් කරන පවුලේ අනෙක් සාමාජිකයින් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් විසි පන්දහසක් ගෙවිය යුතු විය. මේ අනුව මම, මේ සඳහා රුපියල් 150,000 ක් ගෙවූයෙමි. එය එවකට විනිමය අනුපාතිකය අනුව ඕස්ට්‍රේලියානු ඩොලර් 3,500 ක් පමණ විය.

මෙතරම් මුදලක් ගෙවා ලබා ගත් ඒ සහතිකය නිකම්ම නිකං දුඹුරු කඩදාසියක මුද්‍රණය වූ එකක් පාංකඩයක් වැනි කොළ කෑල්ලක් පමණක් වීම නම් දුකට කරුණකි.

මා මෙන්ම අප දන්නා හඳුණන පවුල් කීපයක්ම ඒ අකාරයට අවශ්‍ය අවසරය මුලින් ශ්‍රී ලංකාවෙන් ලබාගෙන, ඉන් පසුව ඕස්ට්‍රේලියානු පුරවැසිබව ලබා ගත්හ. ඒ දිනවල එතරම් මුදලක් වැය කරමින් අප එලෙස කළේ ඇයි ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ.

තමන් ඉපදුණු, හැදුණු, වැඩුණු, ඉගෙනගත්, වසර ගණනාවක් රැකියා කළ රට සමග ඇති ඒ පෙකෙණිවැල කපා දැමීමට සිත හදා ගැනීම, අප බොහෝ දෙනෙකුට ලේසි පහසු කටයුත්තක් නොවෙන නිසාවෙනි. ඒ බැඳීම සදාකාලිකවම පවත්වා ගැනීමට අවශ්‍ය නිසාවෙනි.

ශ්‍රී ලාංකිකයින්ට මේ අවසරය මුලින්ම ලබා දී ඇත්තේ වසර 1988 දී වන අතර එකල මේ සඳහා ගාස්තුව වී ඇත්තේ රුපියල් 5,000 ක් පමණි. පසුව ආර් පේමදාස යුගයේ දී මෙය එක්වරම 2000% කින් වැඩිකර ඇත. එකල ඇමතියෙකු වූ ලලිත් අතුලත්මුදලි මේ වැඩිකිරීම හඳුන්වා ඇත්තේ "රත්තරන් බිත්ර දැමූ කිකිළිය මැරීමේ" කතාවටයි.

නමුත් පසු කලෙක චන්ද්‍රිකා රාජ්‍ය සමයේ දී සිදුවූයේ ද මේ අයැදුම් පත් ගාස්තුව තවත් දෙතුන් ගුණයකින් ඉහල යාමයි.

ඉන් පසුව, හේතුව කෙලින්ම නොදැක්වූවද, පසුගිය රජය ජාතිවාදී න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාකරමින්, වෙනත් රටක පුරවැසිබව ලබාගත් පසු තව දුරටත් ශ්‍රී ලාංකික පුරවැසිබව තබා ගැනීමට අවසර දීම තාවකාලිකව අත් හිටුවන ලද අතර, ඒ අත්හිටවීම මේ වසරේ මුල දක්වා ම ක්‍රියාත්මක විය.

පසුගිය වසරේ අග භාගයේ සිටම, මේ තාවකාලික අත්හිටුවීම අවසන් කර අළුතින් නීති හඳුන්වා දෙන බවට විවිධ ප්‍රකාශ වටින් ගොඩින් කෙරුණ ද, එය ඇත්තටම ප්‍රකාශ කෙරුණේ මේ වසරේ මුල් සතියේ ය.

ඉන්පසු අද වෙන විට, යහපාලන මිනි බජට්ටුව මගින් ඒ අයැදුම් පත්‍ර ගාස්තුව, එක පුද්ගලයෙකුට රුපියල් 500,000 ක් දක්වා වැඩි කර ඇත.

මේ සමාන අයැදුම්පත සඳහා ඉන්දියාවේ ගාස්තුව ඉන්දියානු රුපියල් 15,000 ක් පමණි!

ලංකාවට ගොඩ බැසීමෙදී තමන් වෙසෙන රටේ ගමන් බලපත්‍රය වෙනුවට තමන් ගේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය පාවිච්චි කළහොත්, විස්කි බෝතල් එකහමාරක් වෙනුවට බෝතල් තුනක් ම තීරු බදු රහිතව මිළදී ගැනීමට හැකිවීම, ඒ සමහම තීරු බදු සාප්පුවකින් ඥාතියෙකුට කුමක් හෝ අවශ්‍ය විදුලි උපකරණයක් මිළට ගෙන සුළු මුදලක් ඉතිරි කර දීමට හැකිවීම වැනි සුළු වාසි අතහැරිය විට, වෙනත් රටක පුරවැසිබාවය ලබා දිගටම එහි ජීවත් වීමට සිතා සිටින අයෙකුට ද්විත්ව පුරවැසියෙක් වීමෙන් ලැබෙන ලොකු ආර්ථික වාසියක් නැති තරම් ය.

එනිසා, මේ වැඩිකළ ගාස්තු නිසා මෙතෙක් කල් මේ අවසරය ලබා ගැනීමට අදහස් කරගෙන සිටි අයගෙන් කොටසක් දුර්මුඛ වී, එනිසා මේ සඳහා ඇති ඉල්ලුම අඩුවී ගොස්, මේ ගාස්තු මගින් ක්‍ෂණිකව ලබා ගත හැකි මුළු ආදායමද ඇස්තමේන්තුවලට වඩා අඩුවිය හැකි අතර, මා කලින් සඳහන් කළ රන් බිජු දැමූ කිකිළිය ගේ උපමාවේ මෙන් ද්විත්ව පුරවැසිබව ලබාගන්නා පිරිස අඩුවීමෙන් ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීනව පාඩු සිදුවීමටද ඉඩ ඇති බව මගේ අදහසයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ද්විත්ව පුරවැසි අයැදුම් පත් ගාස්තුව වැඩි කිරීම සහ විදෙස් රටකට සංක්‍රමණය කරන්නට යන අය සඳහා පනවා ඇති නව බද්ද ගැන තොරතුරු සඳහන් වූ වෙබ් පිටුවක, ශ්‍රී ලංකාවේ වෙසෙන සමහර සිංහල පිරිස් කර තිබූ ප්‍රතිචාර කියවූ මට පෙනී ගියේ ඒ අය, ලංකාවෙන් පිටවී යන්නන් සහ දැනටම නොරට වෙසෙන්නන් (එනම් වචනයේ සැබෑ අර්ථයෙන් ඩයස්පෝරීක ලාංකියකයින්) කෙරෙහි අප්‍රමාණ කෝපය, ක්‍රෝධය සහ කුඩුකේඩුකමෙන් පෙළෙන බවයි!

මෙන්න ඒ වෙබ් පිටුව.
http://www.lankadeepa.lk/index.php/articles/293644

ප/ප/ලි:
මෙතනදී අපේ සමහරු මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින්ද වරද්දා ගන්නා තැන් බොහෝයි.

1. මෙය අමුතු අයිතිවාසිකමක් ඉල්ලීමක් නොවේ. කසාද බැඳ නිවසෙන් පිටත්ව වෙනත් ගමක පදිංචියට ගිය පසු, මහ ගෙදර සමග සම්බන්ධය තියා ගැනීමකි. එය ස්වභාවික දෙයකි. ඇයි මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?

2. මෙය මුදල් වැඩියෙන් අය කිරීම ගැනම ගැටළුවක් නොවේ. කසාද බැඳ නිවසෙන් පිටත්ව වෙනත් ගමක පදිංචියට ගිය පසු, මහ ගෙදරට එන්න දෙමව්පියෝ සල්ලි අය කරනවාද? උඹ බැඳලා ගියා නම් එහෙට වෙලා හිටපන් කියනවාද? ඒ තමන් ගේ ම දරුවන් සහෝදරයින් නේද? මොකක්ද මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?

3. මේ වෙනත් රටක පදිංචිව සිටින අයත්, විදෙස්ගතව තාවකාලිකව පදිංචි වී රැකියා කරන අය මෙන් ලංකාවට කෙතරම් විදේශ විනිමය ලබා දෙනවාද? මීට අතරම, මා හොඳින් දන්නා පරිදි මේ පිරිස් ලංකාවේ පුන්‍යකටයුතු සඳහා කොයිතරම් මුදලක් එවනවාද? ඇයි මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?

4. මේ පිරිස් විටින් විට ලංකාවට ආ විට ඒ ගමන් බිමන්වලදී කොයි තරම් මුදලක් ලංකාවේදී වැය කරනවාද? ඇයි මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?

5. බදු අය කරන හේතු දෙකක් තිබේ. එකක් රජයේ වියදම් සඳහා ආදායම රුස්කර ගැනීමයි. වැට් බද්ද, විවිධ පාරිභෝගික භාණ්ඩ සඳහා පනවා ඇති තොග බදු එවැනි බදු වේ. අනෙක ජනතාවගේ යම් යම් චර්යාවන් පාලනය කිරීමයි. කැසිනෝ බදු, මෝටර් වාහන සඳහා බදු යනාදිය දෙවැනි වර්ගයයි. මට වැටහෙන පරිදි, සංක්‍රමණිකයින් සඳහා පනවන මේ බදු සැලකිය හැක්කේ දෙවෙනි කොටසේ ලා ය. එනම්, මේ බද්දේ සහ එය ඬැඩි කිරීමේ අදහස, රජයේ ආදායම වැඩිකර ඝැනීම නොව, සංක්‍රමණය අඩු කිරීම සහ සංක්‍රමණිකයින් තමන් ගේ මව් රටෙන් දුරස් කිරීමයි!

6. පින්නවල, දෙහිවල වැනි තැන්වල විදෙස් සංචාරකයින්ට එම මුදලකුත්, දේශිය සංචාරකයින්ට තව මුදලකුත් අය කිරීම ද මෙවැනි ම වැඩකි. මා එවැනි වෙනස්කම් කර සැලකීමක් මා ගොස් ඇති කිසිදු රටක දී දැක නැත.

(image: http://www.hdwallpapers.in/dual_monitor-desktop-wallpapers.html)

Sunday, 1 February 2015

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ නිරුවත, පුකත්වය සහ තගරි හෙළිවේ..! - Sri Lankan High Commissioner in Australia threatens a local journalist


තානාපති යනු එක් රාජ්‍යයක් තවත් රාජ්‍යයක දී නියෝජනය කරන්නා ය. බොහෝ රටවල මෙන්න ලංකාවේ ද තානාපති සේවයක් පවතී. මෙය වෛද්‍ය සේවය, පරිපාලන සේවය වැනි වෘත්තීමය රාජ්‍ය සේවයකි. ඒ සේවාවලට මෙන්ම පරිපාලන සේවාවට බඳවා ගන්නේද, විශ්ව විද්‍යාල උපාධීධාරීන්ය. ඒ තරග විභාග සහ සම්මුඛ පරීක්‍ෂණ වැනි කඩඉම් රාශියකින් පසුවය.

ශ්‍රී ලංකා තානපති සේවයේ නියුතු මා දන්නා එක් අයෙක් සේවයට බැඳී වසර කිහිපයක් පුහුණුවකින් පසුව යම් නිලධාරී තනතුරකට මාලදිවයිනට පත්වීම් ලද්දේය. තවත් වසර ගණනාවක් එහි ද, ලංකාවේ ද ගත කිරීමෙන් අනතුරුව ඔහු මදුරාසියේ කොන්සල්වරයා ලෙස පත්විය. ඊටත් වසර ගණනාවකට පසු ඔහු ලන්ඩන් නගරයේ ලේකම්වරයෙකු විය. අවසාන යේ ඔහු තානාපතිවරයෙකු වූයේ තම සේවා කාලය වසර විසි පහක් පමණ ගත කළ පසුය. එය ද, යුධ කලාපයක පිහිටි රටක මිස කවුරුත් යාමට ප්‍ර්‍රියකරන බටහිර හෝ නැගෙනහිර රටක නොවේ!

ඒ, කවුරුත් යාමට ප්‍ර්‍රියකරන බටහිර හෝ නැගෙනහිර රටවල්වල තානාපති තනතුරුවලට සාමාන්‍යයෙන් පත් කෙරෙන්නේ එක්කෝ පවතින රජයට අනුබද්ධ දේශපාලන පක්‍ෂවලින් මැතිවරණවලට තරග කොට පැරදුණු අයවලුන්ය. නැතිනම් දේශපාලනයෙන් හෝ විවිධ රාජ්‍ය සේවාලින් පැන්ෂන් ගත් අයය. එසේත් නැතිනම්, මේ මෑත කාලයේ ඔඩු දිවූ පරණ තුවාලයකට අනුව, මා ඊයේ ලිපියේ ද සඳහන් කළ පරිදි, දේශපාලඥයින් ගේ ඥාතී හිතවතුන්වය.

මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ලෙස පසුගිය කාලය තුල පත්වී ආ අය ගැන සඳහන් කරනවා නම් මගේ මතකයට මුලින්ම එන්නේ හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන බාලපටබැඳිය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයෙකු බව අමුතුවෙන් කිව යුතු නැත.

ඔහුට පෙර එම තතතුර දැරුවේ, හිටපු හමුදා ප්‍රධානියෙකු වූ ජානක පෙරේරා ය. ඔහු ගේ දේශපාලන සබඳතාවය හෙලි වුනේ, ආණ්ඩු පෙරලියෙන් පසු ආපසු ලංකාවට කැඳවනු ලැබූවායින් පසු, උතුරු මැද පලාතේ යුඇම්පී සංවිධායකයෙක් බවට පත් වූ විටයි.

ඊට පසු එම තනතුර දෑරුවේ වල්ගම්පිට වැනි නමක් ඇති අයෙකු බව සිහියට එයි. ඒ දිනවල සමරු කලාප යනාදියේ පළවූ ඔහු ගේ ඡායාරූපයේ තුවායක් ඬැනි යමක් හිසේ දමාගෙන සිටි බවට මතකයක් ඇති නිසා ඔහු නීති අංශයේ අයෙකු වෙන්නට ඇතැයි සිතමි.

දැනට වසර හතරක සිට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුර දරන්නේ තිසර සමරසිංහ නම් හිටපු නාවික හමුදා ප්‍රධානියාය.

මුහුණ පුරා විහිදුණු දර්ශීය නාවික රැවුල නිසා ප්‍රතාපවත් පෙනුමක් දරන තිසර සමරසිංහ විටින් විට ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඔස්සේ මම දැක ඇත්තෙමි. එවැනි අවස්ථාවලදී බොහෝ විට "යන්නේ කොහෙද? මල්ලේ පොල්!" වැනි පිළිතුරු ඔහු දෙනු මා දැක තිබුණද, ඒ ශ්‍රී ලංකා රජය නියෝජනය කිරීම නම් ඔහුගේ රාජකාරිය ඒ ආකාරයෙන්ම ඉටු කිරීමක් පමණක් යැයි මම සිතුවෙමි.

නමුත්, ශ්‍රී ලාංකික සරණාගතයින් රුගත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියානු මුහුදු තීරයේ දී අනතුරට ලක් වූ අවස්ථාවකදී මෙන්ම කුමාර් ගුනරත්නම් පැහැර ගැනීමට ලක් වූ අවස්ථාවේ දී ද, තිසර සමරසිංහ කළ ප්‍රකාශවලින් ඔහු ගේ පුකතක්වය ද යම් තරමට හෙළි දරව් වුයේ යැයි මට සිතුණි.

ඒ කෙසේ වෙතත් තිසර සමරසිංහ ගේ නිරුවත හෙලිවූයේ මා ඊයේ පළ කළ තානාපති සේවයේ හොඳ හොඳ සෙල්ලම් නමැති ලිපියේ සඳහන් වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොන්සල් කාර්යාලයක් පිහිටවූ දිනවල සිදුවීමකිනි.

ඒ කොන්සල් කාර්යාලය විවෘත කිරීම සඳහා මෙල්බර්න් නුවරට පැමිණි එවකට විදේශ කටයුතු පිළිබඳ ඇමති ජී.ඇල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන දෙදෙනා, අර දඹුළු ගිය අය තලගොයිත් මරනවා සේ, මෙල්බර්න් හි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ශාඛා සමිතියේ රැස්වීමකටද සහභාගී වූහ.

ඒ රුස්වීමේ ඡායාරූප සන්නස පුවත් පතේ පල වූ විට මා දුටවේ, ඒ දේශපාලන පක්‍ෂ රැස්වීමේ ඉදිරිපස අසුනක සිටින්නේ මහ කොමසාරිස් තිසර සමරසිංහ බවයි.

එය සැබෑ නිරුවත හෙලිවීමක් වෙන්නේ, අප දන්නා පරිදි රාජ්‍ය තනතුරු දරන්නන්ට පක්‍ෂ දේශපාලන කටයුතුවලට සහභාගී විමට නොහැකි නිසාය.

රාජ්‍ය නියෝජිතයෙකු එසේ දේශපාලන පක්‍ෂ රැස්වීමකට ප්‍රසිද්ධියේ සහභාගී වී සිටින විට, ඔහු හෝ ඇය, අන් අවස්ථාවල කරන ප්‍රකාශ සහ ක්‍රියා, රජය නියෝජනය කරමින් කරන ඒවාද, නැතිනම් දේශපාලන පක්‍ෂය නියෝජනය කරමින් කරන ඒවාද යන පැණය නිසඟයෙන් මතුවේ!

ඒ සමගම, තිසර සමරසිංහ පක්‍ෂ දේශපාලනය කරන තානාපති නිලධාරියෙක් මෙන්ම තගෙක් ද බව ඊයේ පල වූ පුවතකින් කියවිණි.

සන්නස ඩොට් නෙට් වෙබ් අඩවියේ පළ වී තිබූ ඒ පුවතින් කියවුනේ, සන්නස පුවත් පතේ පළවූ මා පෙර සඳහන් කළ ඩී.බී කුරුප්පු ලියූ "කපුටන්ට ආප්ප අරන් දීම" නම් ලිපියෙන් ලංකාවේ රජයට අපහාසයක් වුනේ යැයි ද, එවැනි ලිපි මින් පසු පළ නොකල යුතු යැයි ද මහ කොමසාරිස් තිසර සමරසිංහ විසින් සන්නස උපදේශක කතෘ ජගත් ජේ එදිරිසිංහට තර්ජනය කර ඇති බවයි.

තිසර සමරසිංහ මේ තර්ජනය කර ඇත්තේ පසුගිය වසරේ ඔහු මෙල්බර්න් නුවරට පැමිණි දිනක, පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට යැයි පණිවිඩයක් යවා ජගත් ජේ එදිරිසිංහව කොන්සල් කාර්යාලයට ගෙන්වා ගෙන, ඉන්පසු එහි කාමරයක තනිකර ගෙනයි.

ලංකාවේ තම හාම්පුතා ඇතුළු නඩය විසින් එහි මාධ්‍යවේදීන්ට කළ තර්ජන, ගර්ජන, බිය වැද්දීම් දීත් කළ හැකිය ්‍රැති තිසර සමරසිංහ සිතා ඇති බවක් පෙනේ. ඊ ළඟට කරන්නට ඉඩ තිබුණේ ලංකාවේ පසුගිය දශක කිහිපයක් තිස්සේම කෙරුණු මාධ්‍යවේදීන් පැහැරගෙන යාම්, පහරදීම්, අඩන්තේට්ටන් කිරීම්, අතුරුදහන් කිරීම් සහ මරා දැමීම් ද?

ඒ තර්ජනය කිරීම ගැන තමන් එදා වික්ටෝරියානු පොලීසියට පැමිණිලි නොකලේ එමගින් පොදුවේ ශ්‍රී ලංකාවට යම් අගරුවක් සිදුවේ යැයි සිතා බවත්, නමුත් මේ වන විට තිසර සමරසිංහගේ පත්වීම අවලංගු කරන නියෝගයක් නිකුත් කර ඇතැයි ප්‍රවෘත්තියක් ඇති මෙහොතේ එසේ නොකරන්න යැයි පෙත්සමක් අත්සන් කිරීමක් මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර සිදුවෙමින් පවතින නිසා තව දුරටත් නිහඬව නොසිටීමට සිතූ බවත්, සන්නස ඩොට් නෙට් පුවතින් ජගත් ජේ එදිරිසිංහ වැඩි දුරටත් පවසා ඇත.

ජගත් ඒ පුවත් විශ්ලේෂණය අවසන් කරන්නේ මේ වැකියෙනි.

"රාජ්‍යතාන්ති‍්‍රකයන් විය යුත්තේ සිව්ල් නීති පිළිබඳ අවබෝ්ධයක් හා ගෞරවයක් ඇති සිවිල් නිළධාරීන් මිස හමුදා මානසිකත්වයෙන් ලොව දෙස බලනා හමුදාකාරයන් නොවේ."

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න ඒ පුවතට දිගුව නැවතත්.
http://www.sannasa.net/sinhala/?p=3400


(image: http://srilanka-almanac.com/sri_lanka_almanac_navy_commanders_portal/sri_lankan_navy_commanders/sri_lanka_almanac_thisara_samarasinghe_portal/photo_album.html)