Sunday, 31 May 2015

මා කියවන අලුත් බ්ලොග් දෙක තුනක් - Anything better to do on this Sunday?


පාසලක් අලුතෙන් ඇරඹෙන විට සිර ගෙයක් වැසේ යැයි කියමනක් ඇත. ඉගෙනීම තුලින් යහපත් සමාජයක් බිහි වේ ය යන්න එහි අරුතයි.

බ්ලොග් සම්බන්ධයෙන් එසේ කියන්නට ඇත්තේ කුමක්ද?

අලුතෙන් බ්ලොගයක් ඇරඹෙන විට වත්පොතේ මඩ, ගොසිප් කියවන්නට, බෙදා ගන්නට, ප්‍රතිචාර දක්වන්නට ගතවෙන කාලයෙන් කොටසක් හෝ ඉතුරු වේ යන්න හොඳ ආරම්භයක් වෙතැයි සිතමි. වෙනත් අදහස් තිබේ නම් කරුණාකර කියන්න.

මා බ්ලොග් ලියන්නට ආවේ මීට වසර දහයකට පමණ ඉහත දී බව පෙර ලිපියක සඳහන් කළෙමි. නමුත් බ්ලොග් කියවන්නට පටන් ගත්තේ නම් මීට වසර හය හතකට ඉහත දී ය. මුලින් ඉතා සුළු වශයෙනි. ඒ දිනවල සිංහල බ්ලොග් තිබුණේ ද ඉතා කුඩා සංඛ්‍යාවකි. ඒවා ද බොහොමයක් තාක්‍ෂණික කාරණා ගැන ලියවුණු ඒවා ය.

නමුත් පසු කළෙක සිංහල බ්ලොග් කියවීමට සහ ලිවීමට දවසෙන් පැය දෙක තුනකටත් වඩා ගතවෙන සමයක් ද උදා විය. අද තත්වය නම් ඊට වඩා දරුණු ය.

මා නිරතුරු කියවන බ්ලොග් අතර සහමුලින් ම දේශපාලනය ගැන ලියවෙන ඒවා තිබුණ ද, ඒ ලිපි මා කියවන්නේ බොහෝ විට කැමැත්තකින් නොව, මහා අපුලකින් පිරුණු සිතකින් යුතුවයි. දේශපාලනය යනු එතරම්ම කුණු ගොඩක් බව මා නොකීවාට ඔබ හොඳින් දනී.

ඒ වෙනුවට මා කියවීමට වඩාත් ප්‍රිය කරන්නේ ජීවිතය හා බැඳුණු කතා ලියවෙන ඒවාය. අප ලබා නොමැති විවිධ ජීවන අත්දැකීම් ගැන දැනගැනීමට ලැබෙන්නේ මේ ආකාරයේ බ්ලොග් ලිපි තුළිනි.

ජීවිතයම කතන්දර ගොඩක් නොවැ!

මා කියවන ලඟදී ඇරඹුණු සිංහල බ්ලොග් කිහිපයක් ගැන අද ලියන්නට සිතුනේ ඒ කතන්දර කියවන්නට මගේ ඇති කැමැත්ත නිසා ම ය.


නොකී කතා
http://nokieekatha.blogspot.com/

හෙන්රි වර්ණකුලසූරිය යනු වෘත්තියෙන් මැවිසුරුවෙකි. විශ්ව විද්‍යාලයෙන් පිටවීමෙන් අනතුරුව කලක් නාවික හමුදාවේ ද සේවය කළ අයෙකි. වත්මනෙහි ද මැද පෙරදිග රටක මැවිසුරුවෙකු ලෙස සේවය කරන්නෙකි.

එහෙත්, එදා මෙදා අතරතුර ඔහු ගේ ජීවිතය කවි පොත්, කෙටිකතා පොත්, නවකතා, පුවත්පත්, ගුවන් විදුලිය සහ සිනමා සිත්තම් හරහා ඇදී ගිය විසිතුරු එකකි. ඒ දිවි මගෙහි දී ඔහුට හමුවූ අය බොහෝ ය. ඔහු ලැබූ අත්දැකීම් බොහෝ ය. ඒ ගැන නොකී කතා ඔහු කාලයක් තිස්සේ පුවත්පත් දෙකක තීරු ලිපි ලෙසින් අහ හා බෙදා ගත් අතර පසුව එය ග්‍රන්ථයක් ලෙසින් ද ජනගත වුණි.

හෙන්රි වර්ණකුලසූරිය අරඹා ඇති "නොකී කතා" බ්ලොග් අඩවියේ තවමත් පළ වී ඇත්තේ ලිපි තුනක් පමණක් වුවද හෙන්රිගේ කැරැට්ටුව හොඳින් දන්නා මා මෙහි ඊළඟට ලිපියක් පලවෙන තුරු බලා සිටිනේනේ ඉතා උනන්දුවෙන් බව කිව යුතු ය.


ඉකොනොමැට්ටා
http://economatta.blogspot.com/

ඉකොනොමැට්ටා පිළිබඳව ආරංචිය මුලින්ම මට ලැබුණේ "තිලක සිත" ලියන තිලකසිරි ඒකනායක හරහාය. ඒ අනුව සිතන විට නමින් ඉකොනොමැට්ටා වුව ද මොහු ද වෘත්තියෙන් මැවිසුරුවෙකු විය හැක. සමහර විට පශ්චාත් උපාධියකට ඉකොනොමෙට්‍රික්ස් උගත් අයෙකු වීමට බොහෝ ඉඩ තිබේ.

ඉකොනොමැට්ටා ලියා ඇති ලිපි කිහිපය මා සිත බැඳ ගත්තේ ය. එහෙත් සමහර විට ඔහු තවම වටහාගෙන නැති කරුණක් නම්, වචන දාහකට වඩා දිග ලිපි දිරවා ගත හැක්කන් බ්ලොග් කියවන අය අතර හිඟ බවයි.


ඩොකා ගේ ඩයරිය
http://doczdiery.blogspot.com/

බ්ලොග් ලියන, කියවන අය අතර දොස්තරලා අප හිතනවාට වඩා විශාල ප්‍රමාණයක් සිටිති. "බඩා මාමා" ලියන මිගාර වීරක්කොඩි, "ට්‍රාන්ස්සිල්වේනියා" ලියන රුවන් ජයතුංග සහ "අනිත් කොන" ලියන බෝදිනී සමරතුංග ඉන් ප්‍රකට තිදෙනෙකි.

උග්‍ර මහින්ද රාජපක්‍ෂවාදීන් ලෙස බ්ලොග් ලෝකයේ ප්‍රතිචාර හෙලමින් සැරිසරන ස.රස මෙන් ම මහසොහොන් පිල්ලිය ද දොස්තරලා බව මගේ අදහසයි.

මීට අමතරව දත් දොස්තර ලා ද සිටිනවා විය හැක.

ඩොකා ගේ ඩයරිය ලියන්නේ ඇත්තරම ඩොකෙක් නොවේ, වෙන්ඩ ඩොකෙකි. බ්ලොග් ලියන තවත් මෙවැනි වෙන්ඩ ඩොකාලා කීප දෙනෙකු ද සිටිති.

පසු කාලයක සිසු දිවිය නිමවී රජයේ පත්වීම් ලැබූ පසු, දිවා සේවයෙන් අනතුරුව එළැඹෙන කාලයේ දී මොවුන් සාමාන්‍යයෙන් පොල් කැඩීමේ රාජකාරියට යොමුවීමට නියමිතයි. එසේ නොවී මේ වෙන්ඩ දොස්තරලා දිගටම මේ ලිවීම කරගෙන ගියොත් අගනා බව කිව මනාය.


උඩුවා ගේ සටහන්
http://uduwaage.blogspot.com/

උඩුවා හෙවත් තරිඳු උඩුවරගෙදර වෘත්තියෙන් කවරෙකු දැයි මම නොදනිමි. කෙසේ වෙතත්, ඔහු සුවිශේෂී පිහිණුම්කරුවකු වෙන්නට ඉඩ ඇත. ඒ පිහිණීමේ සුවිශේෂීත්වය නම් උඩුගම් බලා පිහිනීමයි.

මේ බ්ලොගයේ ඇති ලිපි මුූලික වශයෙන් දේශපාලනික ඒවා වුවද, ඒවායේ ඊට වඩා යමක් ඇති බව මගේ අදහසයි. මුලින් කීවාක් මෙන් මා වඩාත් කැමති ඒ දේශපාලනය අමතර කරුණුවලටයි.

මෙය ඔබට ඵලදායී ඉරිදාවක් වේවා!

-රසිකොලොජිස්ට්

Friday, 29 May 2015

දඩයම, වසන්ත ඔබේසේකර, සලෙලු වරම සහ මෛත්‍රී වික්‍රමසිංහ - A day to remember!


"ඇත්තටම චිත්‍රපටිය ඒ සීන් එක ගන්න කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක පොල්ලකින් ගහලා කුඩු කරන්න ඇතිද?"

"මං හිතන්නේ කාර් එකේ තිබුණු වින්ඩ්ස්ක්‍රීන් එක ගලෝලා කැඩිච්ච එකක් හයි කරලා තමයි ඔය සීන් එක ගන්න ඇත්තේ!"

බොහෝ හොලිිිවුඩ් සිනමාපටවල මෙන්ම ඇතැම් බටහිර රූපවාහිනී නාටකවල ද මෝටර් රථ දුසිම් ගණං එකිනෙක හැප්පෙනු, කුඩු පට්ටම් වෙනු, ගිනිබත් වෙනු අපි දැක ඇත්තෙමු. ඒ දර්ශනවලින් අප ලබා ඇත්තේ අපමණ ආස්වාදයකි. එලෙස විනාශ වෙන වාහන හෝ ඒ සඳහා වැයවෙන නිෂ්පාදන වියදම ගැන වැඩිදුර හිතන්නට අපට කිසිදු අවශ්‍යතාවයක් නොතිබුණි.

එසේ නමුත් අසූවේ දශකයේ දී තිරගත වූ "දඩයම" නම් චිත්‍රපටයේ තිබූ එක් දර්ශනයක දී රවීන්ද්‍ර රන්දෙණිය විසින් පදවන මෝටර් රථයක වින්ඩ්ස්ක්‍රීනය කැඩී බිඳී කුඩු පට්ටම් වී යන්නට ස්වර්ණා මල්ලවආරච්චි පොල්ලකින් ගසනු දුටු අපේ සිත්වල නැගුණු ලොකුම ප්‍රශ්නය වූයේ ඒ වින්ඩ්ස්ක්‍රීනය ඇත්තටම කුඩු කළා ද, බේරා ගත්තා ද යන්නයි.

"දඩයම" යනු වසන්ත ඔබේසේකර විසින් නිර්මාණය කරන ලද සිනමා සිත්තම් කිහිපයෙන් වඩාත්ම ජනප්‍රිය වූ චිත්‍රපටයයි. ළාබාල තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගන්නා අයෙකු ඇයව දීර්ඝ කාලයක් තිස්සේ රවටා අවසානයේ කුරිරු ලෙස මරා දමන පුවත රැගත් මේ චිත්‍රපටයේ කතාව පදනම් වී තිබුණේ අපේ අම්මලා ගේ කාලයේ ලංකාව කම්පා කළ "විල්පත්තු මිනීමැරුම" හෙවත් ඇඩ්ලින් විතාරණ මරාදැමීම ආශ්‍රයෙනි. (ඇත්තටම, වසන්ත ඔබේසේකර සහ මගේ මව සමාන වයසේ අයයි).

"දඩයම" චිත්‍රපට තිර රචනයේ බුද්ධිමය අයිතිය පිළිබඳව, පෙර කී ඇඩ්ලින් විතාරණ මිනීමැරුම පිළිබඳව පොතක් ලියූ අයෙකු විසින් පවරන ලද නඩුවකට මුහුණ දීමට ද වසන්ත ඔබේසේකරට පසුව සිදුවිය.

සංවේගජනක සැබෑ සිදුවීම් ඇසුරෙන් චිත්‍රපට නිර්මාණය කිරීම වසන්ත ඔබේසේකර කීපවරක් ම කර ඇත. ඔහු ගේ "දොරකඩ මාරාව" නම් චිත්‍රපටය සඳහා පසුබිම් වූයේ මගේ ගම් ප්‍රදේශයේ වූ සිදුවීමකි. අනෙකුත් බොහෝ චිත්‍රපට සඳහා ද සත්‍ය සිදුවීම් පාදක වී ඇති බව නොරහසකි.

එසේ නිමවුණු "සලෙලු වරම" නම් චිත්‍රපටයේ කතා වස්තුව අනූවේ දශකයේ මුල් භාගයේ දී කැලණිය විශ්ව විද්‍යාල භූමියේ සිදුවූ එක් අවාසනාවන්ත සිදුවීමක් ආශ්‍රිතව ගෙතුණු එකක් බව හොඳින් පෙනුණි. මගේ මතකය අනුව ඒ දුඛදායක කතාව ඉතා කෙටියෙන් මෙසේ ය.

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුවියක හා සිසුවෙකු අතර ප්‍රේම සම්බන්ධතාවක් ඇති විය. ඒ අතර මේ තරුණියට තවත් ප්‍රේම සම්බන්ධයක් ද තිබී ඇත. එක් නිවාඩුවකින් පසු විශ්ව විද්‍යාලය ඇරඹුණු විට ආරංචි වී ඇත්තේ ඒ නිවාඩු කාලයේ දී තරුණිය අර අනෙක් පුද්ගලයා සමග විවාහය ලියාපදිංචි කර ඇති බවයි.

ආලය අන්ධය, ආදරය යනු කෑදරකමකි, ගොදුර අහිමි වූ විට ඊර්ෂ්‍යාව සහ කෝපය ඇති වී ආදරය වෛරයකට හැරේ, යනා දී විවිධ පඬි වදන් සනාථ කරන්නට හොඳ උදාහරණයක් සපයමින් මේ අපේක්‍ෂා භංග වූ තරුණයා කර ඇත්තේ එක්තරා උදෑසනක විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගණය අසළ පාරේ දී තරුණියගෙන් මේ විවාහය සම්බන්ධයෙන් ප්‍රශ්න කර පසුව ඇයට පිහියකින් කීපවරක් ඇනීමයි. ඉන් පසුව ඔහු තමන් ළඟ තිබූ වස කුප්පියක් පානය කර ඇත.

තරුණිය මිය ගියා ය. තරුණයා තමන් ගේ වරදට දඬුවම් ලබන්නට නොමැරී බේරුණි.

මේ සිදුවීම නිසා සංවේදී සිත් ඇති අය බලවත් සේ කම්පා වෙන්නට ඇති බවට කිසිදු සැකයක් නැත. ඒ අමානුෂික ලෙස මරා දමන ලද අසරණ තරුණිය පිළිබඳව පමණක් ඇතිවූ කම්පාවක් නොවේ. මිනීමරු තරුණයා ගේ ක්‍රියාවෙන් හෙළිදරව් වුණු ඔහු ගේ මානසික ව්‍යාධිය සහ එයට බොහෝවිට පසුබිම සැපයූ තත්කාලීන සමාජ වාතාවරණය පිළිබඳව ඇති වුණු හැඟීමද එලෙස කම්පා වෙන්නට හේතු වුවාට සැක නැත.

ඒ සිදුවීමෙන් දිනකට පමණ පසු මා විශ්ව විද්‍යාලයේ කොරිඩෝරයක් දිගේ ජ්‍යෙෂ්ඨ පොදු කාමරය දෙසට ඇවිදමින් සිටියමි. මා ඉදිරියට ආවේ වෙනත් පීඨයක කථිකාචාර්ය ධුරයක් දැරූ මෛත්‍රී වික්‍රමසිංහ ය.

"කැන් අයි ටෝක් ටු යූ ෆො එ මිනිට් ප්ලීස්?" ඇය ඇසුවාය.

"ඔෆ් කෝස්" මම ගමන නවතා නතර වුණෙමි.

"අයි ගෙස් යූ නෝ ඕල් එබවුට් ද ස්ටැබින් ඔෆ් දැට් ගර්ල් රීසන්ට්ලි. බට් ඩිඩ් යූ නෝටිස් දැට් දෙයා ඊස් හාඩ්ලි එනි බැනරස් ඕ ෆියුනරල් ඩෙකොරේෂන්ස් ඉන් ද කැම්පස්?"

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයට සම්බන්ධ මරණයක් සිදුවූ විට සරසවියේ විවිධ තැන්වල ඒ පිළිබඳ සංවේගය පළ කෙරෙන බැනර් ප්‍රදර්ශනය කිරීමත්, සරසවියට පිවිසෙන මාර්ගය සහ අනෙකුත් මාර්ග දෙපස සුදු කොඩිවලින් සැරසීමත් සිදුවේ. ඊට ටික කලකට පෙර පළමු වසරේ ශිෂ්‍ය භික්‍ෂුවක් ආපසු පන්සලට ගොස් සිටි අවස්ථාවක දිවි නසාගත් පසු මුලු සරසවි බිම ම සිල්ගත්තා සේ සුදු කොඩි වෙැල් සහ බැනර්වලින් පිරී ගොස් තිබුණු බව මට සිහිවේ. මේ සිසුවිය ගේ කනගාටුදායක මරණයට පසු ඒ ආකාරයේ සැරසිලි නැති බව බව මට සිහිවූයේ මෛත්‍රී වික්‍රමසිංහ කීවායින් පසුවය.

"ඈස් වී හෑව් හර්ඩ් ද මැජෝරිටි ඔෆ් ද ස්ටුඩන්ට්ස් තින්ක් දැට් ෂී ඩිසර්ව්ස් ඩෙත් බිකෝස් ෂී චීටඩ් ඔන් හර් ලවර් ඇන්ඩ් මැරීඩ් සම්වන් එල්ස්." මෛත්‍රී වැඩි දුරටත් පැවසුවාය.

අද වන විට තත්වය වෙනස් වී නොමැතිනම්, විශ්ව විද්‍යාලවල කවදත් පවතින්නේ පුරුෂෝත්කර්ෂවාදී සමාජයකි. කොටින්ම පොදු සමාජයට වඩා වෙනසක් එහි කිසිසේත් ම නැත.

හොඳින් හිතා මතා සැලසුම්කර ක්‍රියාත්මක කර තිබූණද, මේ මිනීමැරුමට ආසන්නම හේතුව මිනීමරුවා ගේ දුබල වූ මානසික තත්වය යැයි සැලකීම යම් දුරකට සාධාරණ වේ. එසේ වෙතත්, පුරුෂෝතම අදහස්වලින් අන්ධ වූ පිරිස් මෙහිදී තරුණිය කළ චපල ක්‍රියාවට ඇයට නිසි දඬුවම ලැබී ඇති බවත්, අගේ මරණයට මෙන්ම, මිනීමරුවාට ලැබෙන්නට නියමිත දඬුවම ගැන ද සම්පූර්ණ වරද ඇය සතු බවත්, එනිසා එවැන්නියක ගේ මරණය වෙනුවෙන් ශෝක වීම නුසුදුසු බවටත් තර්කය කර එසේ ක්‍රියා කිරීමයි.

"වී ආ මේකින් එ ස්ටේට්මන්ට් කන්ඩෙමින් දිස් සිටුවේෂන්, වුඩ් යූ ලයික් ටු සයින් දැට් ප්ලීස්?" මෛත්‍රී මගෙන් විමසුවාය.

"ෂුවර්!" වහා පැවසු මම ඇය මා වෙත දිගු කළ ලිපිය උඩින් පල්ලෙන් කියවා බලා මගේ අත්සන එහි යෙදුවෙමි.

ඇගේ කටහඬ සහ ස්වරණය කෙසේ වෙතත් රුව නම් මා සිත ගත්තේ ය. ඊටත් වඩා මගේ සිත ගත්තේ මේ අවස්ථාවේ දී ඇය අනුගමනය කළ ඒ ක්‍රියා මාර්ගයයි.

ඒ 1992 මුල් කාලයේ ය. ඇගේ මිනි කූපරය පරදවා ජය ගත් මගේ නිසාන් මාර්ච් රථය මා මිළට ගත්තේ ඉන් වසරකට පමණ පසු කාලයක දී ය.

මෛත්‍රී වික්‍රමසිංහ පසු කලෙක ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය ලබා ඇත්තේ ස්ත්‍රීවාදී පර්යේෂණ විධික්‍රම පිළිබඳ සම්පාදිත නිබන්ධනයක් වෙනුවෙනි. මේ ආචාර්ය උපාධි නිබන්ධනය පසුව ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය කර ඇති අතර අන්තර්ජාලය හරහා මිල දී ගැනීමට ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මෛත්‍රී වික්‍රමසිංහ සමග වචනයක් හෝ කතා කර ඇත්තේ ඉහත කී දිනයේ දී පමණි. ඉන් වසර තුනකට පමණ පසුව 1995 දී ඇය තවත් වික්‍රමසිංහ කෙනෙක් සමගින් විවාහ වූ නිසා, සාමාන්‍යයෙන් වත්මන් කාන්තාවන් අනුගමනය කරණ පිළිවෙතට විරුද්ධව යමින් තම වාසගම වෙනස් කිරීමෙන් වැළකී සිටීමට ඇයට කිසිදු අපහසුවකින් තොරව හැකි විය.

මේ ලිපියේ මාත්‍යකාව සැරසූ අනිත් ප්‍රසිද්ධ නාමය වන වසන්ත ඔබේසේකරව මා දැක ඇත්තේ ද කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පොදු කාමරයේ දී ය. ඔහු ඒ දිනවල විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචර්යවරයෙකු ලෙස සේවය කළේ යැයි සිතමි.

(image: http://www.films.lk/salelu-warama-sinhala-film-1767.html)

Wednesday, 27 May 2015

මෛත්‍රී වික්‍රමසිංහ ගේ මිනි මයිනර් එක - This is about my Nissan March


මේ ලිපිය ලියන්නට සිත්වූයේ කිසිදු හේතුවක් නැතුව හදිසියේ ම මට මෛත්‍රී වික්‍රමසිංහව සිහිවීම නිසා නොවේ. වෙනත් කාරණයක් ගැන සිතමින් මගේ සිත "දුරංගමං ඒකචරං" කරද්දී නිරායාසයෙන් ම මට ඇය සිහිවිය.

ඒ "දුරංගමං ඒකචරං" නිමිත්ත වූයේ මෙයයි.

මා පෙර දිනක ලියා පළ කළ "බේකරි නිදිමත - Sleeping around ;-)" ලිපියට ප්‍රතිචාරයක් එක් කරන "විචාරක" බ්ලොග්කරුවා, මෝටර් රථයෙන් දුම්රිය ස්ථානයට ගොස් වාහනය ගාල් කර එතැනින් දුම්රියෙන් සේවයට යාම සඳහා මගේ ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක් වියදම් වේ දැයි මගෙන් විමසමින් ඒ සමගම කියා තිබුණේ ලංකාවේ නම් එවැනි වියදමක් දරන්නට හැක්කේ ඉහළ විධායක ශ්‍රේණියේ නිළධාරියෙකුට පමණක් බවයි.

ඒ දුටු විට මගේ සිහියට නැගුණේ මා ලංකාවේ සේවය කරන කාලයේ මෝටර් රථයක් භාවිතා කළ ආකාරය පිළිබඳ මතක සටහන් රාශියකි.

මා අතීතකාමයේ නිමග්නව සිටි ඒ මොහොතේ මෛත්‍රී වික්‍රමසිංහ ද එක් කොනකින් මගේ සිතට එබුණා ය.

වසර දෙකක පමණ හිඟ පඩියකුත්, එහෙන් මෙහෙන් එකතු කරගත් තවත් මුදලුත් යොදා අප මුලින් ම මිළදී ගත්තේ ටොයොටා කොරොල්ලා වර්ගයේ රථයකි. ඒ 1993 දී ය. ධාරිතාව 1300 සීසී වූ ඒ පරණ වාහනයෙන් පෙට්‍රල් ලීටරයකින් ගමන් කළ හැකි වූයේ කිලෝ මීටර් දහයක් පමණි. පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් තිස් පහක් පමණක් වුවද, විශ්ව විද්‍යාලයක කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ මගේ මාසික වේතනය අනුව එය විශාල ප්‍රමාණයක් විය. එනිසා ම, ඒ කාලයේ මෝටර් රථය සඳහා මා වරකට මිළදී ගත්තේ පෙට්‍රල් ලීටර් දහයක් පමණි.

ඉන්ධන ප්‍රශ්ණයත්, තවත් හේතු කිහිපයකුත් නිසා, මාස හයක් ගතවෙන්නට පෙර මම ප්‍රමාණයෙන් ටොයොටා කොරොල්ලා රථයට වඩා කුඩා වූ නිසාන් මාච් රථයක් මිළට ගත්තෙමි. නිසාන් මාච් වාහනයේ එන්ජින් ධාරිතාව 990 සීසී යැයි සිතමි. එනිසා පෙට්‍රල් ලීටරයකින් කිලෝ මීටර් දහතුනක් පමණ දුරක් යත හැකි විය.

ඒ සතුට පිට මම නිතිපතා නිවසේ සිට සේවා ස්ථානයට මෝටර් රථයෙන් යාමට පටන් ගත්තෙමි.

අප පදිංචිව සිටියේ ඇතුල්කෝට්ටේ ය. බිරිඳ සේවය කළේ මරදානේ නොරිස් කැනල් වීදිය අසල ස්ථානයක ය. මගේ සේවා ස්ථානය පිහිටියේ කොළඹ නුවර පාරේ දළුගම ප්‍රදේශයේ ය.
බිරිඳ සමග උදෑසන නිවසෙන් පිටවෙන මා, ඉතා පටු කෝට්ටේ පාරෙන් මං තීරු දෙකේ පාර්ලිමේන්තු පාරට විත් එහි ගලන වාහන ගංගාවට එකතු වී හෙමිහිට පාවී ගොස් බොරැල්ලේ දී කින්සි පාරට හැරී බිරිඳ ගේ සේවා ස්ථානයට ලඟාවෙමි. ඇය රථයෙන් බැසගත් පසු මා කරන්නේ පුංචි බොරැල්ල හරහා දෙමටගොඩ පාරට වැටී පෑලියගොඩ දෙසට ගොස් නුවර පාරට එකතුවීමයි.

වාහන ප්‍රවාහය කොළඹ දෙසට ඇදෙන ඒ හෝරාවේ දී නුවර පාරේ නුවර දිශාව බලා ගමන් කිරීම ඉතා ආස්වාදජනක කටයුත්තකි. ඒ මන්ද යත්, ඒ අතට ගමන් කරන්නේ අවම වාහන සංඛ්‍යාවක් නිසා, සිත් සේ වාහනය පදවන්නට ඉඩ ලැබීමයි.

මේ ගමනේ වඩාත් ම විනෝදාත්මක කොටස නම්, කැලණියේ තොරණ හන්දිය සහ ටයර් සංස්ථා හන්දිය අතර කිලෝ මීටර් දෙකක පමණ මාර්ගයයි. මේ කොටසේ සාමාන්‍යයෙන් වංගු, හන්දි යනාදිය ද අවම නිසා හැටට හැටේ වාහනය පැදවිය හැකිවේ.

මිනි මයිනර් (හෝ බග් ෆියට් හෝ මිනි කූපර් හෝ ඒ වැනි) වර්ගයේ කුඩා රථයක් පදවාගෙන මේ මාර්ගයේ මා යන දෙසටම ගමන් කරන මෛත්‍රී වික්‍රමසිංහ (ඇගේ විවාහයට පෙර වාසගම ද වික්‍රමසිංහ ම විය) මට සාමාන්‍යයෙන් හමුවන්නේ නුවර පාරේ මේ කොටසේ දී ය.

ඒ කුඩා මෝටර් රථයේ එන්ජිමේ ධාරිතාව 500 සීසී වෙතැයි සිතමි. ඒ නිසාම, ඊට වඩා බලයකින් යුතු මගේ නිසාන් මාච් රථය ලෑල්ලට පාගා ඉතා පහසුවෙන් ඇය අභිබවා යාමට මට සැමවිටම හැකි වේ.

කෙසේ වෙතත්, "විචාරක" බ්ලොග්කරුවා ද සඳහන් කර තිබුණු පරිදි, රජයේ ප්‍රතිපාදනයෙන් පවත්වාගෙන යන ආයතනයක රැකියාවක් කළ මගේ ආර්ථිකයට, නිසාන් මාච් වැනි කුඩා රථයක වුවද උදේ හවා ගමන් කිරීම ඔරොත්තු නොදෙන බව ඉතා පැහැදිළි කරුණක් විය.

එනිසා ටික දිනකට පසු මා කළේ, උදේ පාන්දර ම සේවයට යාමට අත්‍යවශ්‍ය දිනයන් හි දී හැර අන් දිනවල, බිරිඳ සමග ඇගේ සේවා ස්ථානයට ගොස්, එහි වාහනය ගාල් කර, ඒ අසල පාරේ දිවෙන 193 බස් රථයක නැගීමයි. සවස් වරුවේ 193 බස් රථයකම ආපසු පැමිණ රථ ගාලෙන් වාහනයට නැගී නිවසට ගියෙමි. මෝටර් රථයේ මේ ගමන යන විට පෙට්‍රල් සඳහා වැය වෙන රුපියල් හැත්තෑවක් පමණ වූ මුදල වෙනුවට මට වැය වූයේ රුපියල් දහයකට අඩු මුදලකි!

මෝටර් රථ සම්බන්ධ මගේ මෑත කාලීන අත්දැකීම් ගැන පසුව විස්තරාත්මකව ලියන්නට අදහස් කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අද මේ ලිපියේ මාතෘකාව සැරසූ මෛත්‍රී වික්‍රමසිංහ ගැන මේ ආකාරයට ම යාන්තමට සඳහන් කරන්නට හැකි තවත් කතාවක් ද තිබේ. අවශ්‍ය නම් එය පසුව ලියමි.

(image: http://pixshark.com/cars-2-lightning-mcqueen-and-sally.htm)

Monday, 25 May 2015

බේකරි නිදිමත - Sleeping around ;-)


මා සේවය කරන්නේ නිවසේ සිට කිලෝමීටර් හැට හයක් පමණ දුරින් පිහිටා ඇති කාර්යාලයක බව මීට පෙර ලිපියක සඳහන් කළෙමි. මේ ගමන සඳහා මට නිවසේ සිට මෝටර් රථයෙන් කිලෝමීටර් අටක් පමණ දුර ගෙවා දුම්රිය ස්ථානයට ගොස් එතැනින් දුම්රියේ නැගී උතුරු සිඩ්නි නම් ප්‍රදේශය බලා යාමට සිදුවේ.

මේ දුම්රිය ගමනට විනාඩි හැත්තෑ පහක් පමණ ගතවෙතත්, එය කිසිසේත් ම කාලය නාස්තියක් නම් නොවේ. මා දුම්රියට ගොඩවන්නේ එය ඇරඹෙන දුම්රිය පොළ ආසන්නයේ ම ඇති නැවතුමකින් නිසා මට අනිවාර්යෙන් ම හොඳ අසුනක් තෝරා බේරා වාඩිවීමට හැකිවේ. දුම්රිය අසුන් ද, ඉතා සුවපහසුව වාඩී වී සිටීමට හැකි ආකාරයට මනාව සකසා ඇති බැවින්, පැයකටත් වඩා දිගු කාලයක් ඒ මත අසුන්ගෙන සිටීම ද කිසිසේත් වදයක් නොවේ.

සතියේ දිනවල රාජකාරි ස්ථානයට යෑමේ දී දුම්රියේ දිගු දුරක් ගමන් කිරීම, ඒ දුර වාහනයක් පදවාගෙන යාමට හෝ බස් රථයකින් ගමන් කිරීමට හෝ වඩා හැම අතින් ම වාසිදායක කටයුත්තකි. වාහනයක් පැදවීමේ දී මෙන් නිරතුරුවම මානසික අවධානය එක සේ තබා ගැනීම හෝ අතෙන් පයෙන් විවිධ කර්තව්‍යයන් කිරීම හෝ මෙහි දී අවශ්‍ය නොවේ. එසේම, බස් රථයක ගමන් කරද්දී මෙන්, නිරතුරු නැවැත්වීම් සහ මාර්ගයේ ඒ අතට මේ අතට වංගු ගැනීම් වල දී ඇතිවෙන, අහපසුතා දුම්රිය ගමනේ දී නැති තරම් ය.

මේ කරුණු නිසා, දුම්රිය ගමනට ගතවෙන කාලය ඉතා ඵලදායී ආකාරයට යොදා ගැනීමට මට හැකිවේ.

මේ දිගු ගමන ඇරඹූ මුල් කාලයේ, එනම් 2004 වසර මැද සිට 2007 වසරේ මුල දක්වා, මා දුම්රියේ දී බොහෝ විට කළේ, රාජකාරියට අදාළ වැඩ ය. ඒ දිනවල විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු වූ මට, දේශන සටහන් විමර්ශනය කිරීම, විෂය අත්පොත් කියවීම, නිබන්ධන ලකුණු කිරීම වැනි දුම්රියේ දී වැඩි අපහසුවකින් තොරව කළ හැකි කර්තව්‍යයන් අවශ්‍ය තරම් තිබුණි.

අධ්‍යාපනයට වෙන් කෙරෙනුයේ සියයට හයට අඩුවෙන් ද වැඩියෙන් ද යන්න කෙසේ වෙතත්, විශ්ව විද්‍යාලයක සේවය කරනවාට වඩා රජයේ සේවකයෙකු වීම පොකැට්ටුවට ගුණදායක බව වසර 2007 පෙබරවාරියේ දී ප්‍රායෝගිකව වටහා ගැනීමෙන් පසු මා මුලින්ම පෙළඹුණේ දුම්රියේ දී පොත් කියවීමටයි. සටහන් පොතක කවි යැයි මට හිතෙන දේ කුරුටු ගෑමටයි. මේ ඇරඹුම, පසුව උකුල උඩ තබාගත හැකි පරිගණකයන් ආධාරයෙන් විවිධ ලිපි සහ කතන්දර ලිවීමට දක්වා වැඩි දියුණු විය.

ඒ පරිගණකය කැඩුණු මුල් දිනවල විටින් විට දුම්රියේ දී නිදා ගැනීමට පෙළඹුණෙමි. කියවීමට ගන්නා පොත් නිසා එලෙස නින්දට වැටීම ඉතා පහසු විය. කොටින්ම යළි දුම්රියේ දී පරිගණකයක් භාවිත කිරීමට අකමැත්තක් සිත තුළ ඇතිකරවන තරමටම මේ නින්දට ඇති කැමැත්ත වැඩි දියුණු විය. දුම්රියේ දී කිසිවක් නොලියන නිසා, ඒ සඳහා කාලය නිවසේ දී හොයා ගැනීමට සිදුවූයේ රාත්‍රීයේ නින්ද අඩු කිරීමෙනි. එය විෂම චක්‍රයක්ම විය. පෙරදා රාත්‍රියේ නොලද නින්ද ලබා ගත්තේ උදෑසන දුම්රියේ දී ය.

මේ අතර පොත් කියවීම ද නතර වී ඒ වෙනුවට ජංගම දුරකථනය හරහා වත්පොතේ සැරිසැරීම සහ බ්ලොග් කියවීම පුරුද්දක් බවට පත්විණි.

මේ සටහන ලියන්නට සිත්වූයේ, ගිය සිකුරාදා අලුතින් පරිගණකයක් මිලට ගත් මා අද සිට නැවතත් දුම්රියේ ජංගම ලේඛන කුටියක් ඇරඹූ බව කියන්නටම නොවේ. මේ දුම්රියේ කුකුළු නින්දට ආයුබෝවන් කීමේ සිද්ධිය හා අදාළව මට සිහිවූ අතීත කතාවක් ද ඔබ සමග බෙදා ගැනීමටයි.

එය මෙසේය.

ශ්‍රී ලංකාවේ සිටි සමයේ මා කලක් සේවයට ආ ගිය කොම්පැනියේ මාණ්ඩලික නිලධාරීන් ගේ බස් රථයට මා උදැසන මහරගමින් ගොඩ වෙන විට එහි පසුපස අසුනක සුව නින්දේ පසුවන අයෙකු දක්නට ලැබේ. ඉඳහිට හෝ නෙත් අඩක් විවර කර අවට බැලූවද යළි නින්දට වැටෙන ඔහු සම්පූර්ණයෙන් අවදි වෙන්නේ බසය සේවා ස්ථානයට ළඟාවූ පසුවයි.

සවස සේවය අවසානයේ දී බසයට ගොඩ වීමෙන් පසු තද නින්දට වැටීමට ඔහුට ගත වෙන්නේ විනාඩි පහකටත් වඩා අඩු කාලයකි. මා මහරගමින් බසින විට ඔහු සැමදා නින්දේය. ඒ බස් රථයේ මා ගමන් කළ වසර දෙකක පමණ කාලය තුළ මේ පුද්ගලයා ගේ ඒ නිදිමත චර්යාව වෙනස් වූයේ ම නැත. මා ඔහු සමග කතා කර ඇත්තේ ද වචන දෙක තුනක් පමණි.

වෙනකෙකුගෙන් මා අසා දැනගත් පරිදි අපේ සගයා ගේ නින්දට හේතුව මෙයයි.

ඔහු අපේ සමාගමේ කළ රැකියවාට අමතරව, බේකරියක හිමිකරුවෙකු ද වේ. බේකරියේ පරිපාලන කටයුතු තමන්ම කළ නිසා අපේ සගයා උදෑසන අවදි වෙන්නේ දෙකේ කණිසමටය. ස්වල්ප වේලාවකින් බේකරියට යන ඔහු පාන් පිච්චීමේ, බෑමේ, බෙදා බැරීමේ ක්‍රියාවලිය අධීක්‍ෂණය කර නිවසට එන්නේ යාන්තම් ඇඟපත සෝදා ගෙන සේවයට යාමට සඳහා සැරසීමට විනාඩි කිහිපයක් තිබියදීය.

නොලබන නින්දේ හිඟය ඔහු පියවා ගන්නේ උදෑසන සහ සවස බස් රථ ගමනේ දී ය. නැවත රාත්‍රී නමයේ කනිසමේ සිට පසුදා උදෑසන දෙකේ කණිසම දක්වා නිදා ගන්නා බව ද සැලවිය.

ඔහු උදෑසන අටේ සිට සවස හතරහමාර දක්වා කාර්යාලයේ ගත කරන කාලයේ නම් නිදා වැටුණේ යැයි නොසිතමි. ඒ මන්ද යත් ඔහු සේවය කළේ ගනුදෙනුකරුවන් නිරතුරු ගැවසෙන අලෙවි දෙපාර්තමේන්තුවේ නිසාය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉහත ඡායාරූපයේ නිදා සිටින්නේ ලාංකීය බ්ලොග්කලාවේ පෙර ගමන්කරුවෙකි. ඔහු කවුදැයි දන්නවාද?

(image: http://indi.ca/2012/04/my-uncanny-sleeping-skills/)

Saturday, 23 May 2015

අපේ ආච්චී සහ වාසුදේව නානායක්කාර - Verbal incontinence


වයස අසූ පහ පමණ වෙන විට මගේ ආච්චී ගේ දෑස කෙමෙන් නොපෙනී යන්නට විය. එයට හේතුව වූයේ ඇගේ දෑසේ උද්ගත වූ සුද බැඳීම හෙවත් කැටරැක්ට් නමැති රෝගී තත්වයයි. ඒ ගැන කල් තියාම යම් යම් පෙරමග ලකුණු පහළ වී තිබුණ ද, ජීවිත කාලය පුරා රෝහලකට තබා, මා දන්නා කාලයක දොස්තරෙකු හමුවන්නට හෝ ගොස් නැති ඇය ඒ කාලයේ අක්‍ෂි ශල්‍යකර්මයක් කර ගැනීමට නම් මොහොතකට හෝ නොසිතුවා ය.

ඇය ඉපදී තිබුණේ 1903 වසරේ ය. ඒ කාලයේ ඇත්තන් ගේ හැසිරීම එසේ විය. රෝහලට නොගියාට, වෛද්‍යවරුන් මුුණ නොගැසුණාට, එවැනි සුවිශේෂී අසනීප මිස ඔවුන්ට අපට අද සාමාන්‍යයෙන් සෑදෙන ආකාරයේ අට අනුූවක් රෝග හෝ නව අනූවක් ව්‍යාධි හෝ නොතිබුණි.

පසුව දෑසේ තත්වය බරපතල වූ පසු ඇගේ දරුවන් ඒ ගැන සොයා බලද්දී ඔවුනට ලැබුණු වෛද්‍ය මතය වූයේ, ශල්‍ය කර්මයක් කර දෑස බේරා ගත හැකිව තිබූ කාලය ඒ වන විට ඉක්මවා ගොස් තිබුණු බවයි.

ක්‍රමයෙන් ඇගේ දෑස නොපෙනී යමින් තිබුණු අනූවේ දශකයේ ආරම්භයේ දී, තමා අවට හතර මායිම හෝ එහි සිදුවෙන දේ හෝ ගැන ඇති අවබෝධය ඇයගෙන් කෙමෙන් ගිලිහී යද්දී ඇය වෙනදාට වඩා කතා කරන්නට පෙළඹුණා ය. ඇත්තටම, උදේ නැගිටි වේලේ සිට රාත්‍රී නින්දට වැටෙන මොහොත දක්වා ඇය කළේ කතාව පමණකි. වෙනදාට ඇසූ රේඩියෝ බණ අසන්නට ඇගේ තිබුණු උනන්දුව පවා ක්‍රමයෙන් ගිලිහී ගියේය.

වාසනාවට, නැවත නැවත එකම දේ කීම හැරුණු විට ඒ කථාවල අසා සිටීමට නො හැකි කිසිවක් නො තිබුණි. ඈ කී දේ සියල්ල තම පවුලේ අය හා සම්බන්ධ විවිධ ඓතිහාසික සිදුවීම් පිළිබඳව විස්තර විය.

ඇගේ මතකයේ එතෙක් කල් තැන්පත්ව තිබී උඩට මතුවෙන ඒ කථා මුවෙන් පිට නොකර සිටීමේ හැකියාව වයසත් සමගම ඇගෙන් ගිලිහී යමින් තිබුණු බව අපට පැහැදිලි විය.

මේ තත්වය වයස්ගත වෙන විට අප සැමටම උදා විය හැකි එකකි. නමුත් අප එකිනෙකා ගැන සැලීමේදී මෙහිදී සිදුවිය හැකි එක් වෙනසක් වෙන්නේ, ඒ තත්වයට අප පත්වෙන්නේ කවර වයසේ ද යන්නයි. මගේ ආච්චී ඒ තත්වයට පත් වුයේ ඇගේ ජීවිතයේ නමවෙනි දශකයේ අග භාගයේ දී ය. සමහරුන්ට ඒ තත්වය අටවෙනි දශකයේ දී සෑදෙන්නට ඉඩ ඇත. ඒ අතරම අප සමහරුන් ඒ තත්වයට පත්වීමට පෙර වෙනත් රෝගාබාධ නිසා මිය යාමට ද ඉඩ ඇත.

ඒ සමගම කිව යුතුවන්නේ, මේ සිත සහ කට අතර පාලනය නැති වූ පසු අප කොයි කොයි ආකාරයකට ක්‍රියා කරයි ද යන්නත් පුද්ගලයාගෙන් පුද්ගලයා ට වෙනස් විය හැකි බවයි.

අපේ ආච්චී වයස අවුරුදු අනූ පහක් ආයු වළදා මිය ගියාය.

අවුරුදු දා හතකට පෙර මිය පරලොව ගිය ආච්චීව මට ඊයේ හදිසියේ සිහිවුනේ, හිටපු වාමාංශිකයෙකු මෙන්ම, වත්මන් පාර්ලිමේන්තුවේ සිටින වයෝවෘද්ධ දේශපාලඥයෙකු ද වන, වාසුදේව නානායක්කාර තම හිතේ නැගුණු කෝපයක් අසභ්‍ය වචනයක් ඔස්සේ පිට කළ දර්ශනය සමාජජායක් ඔස්සේ නැරඹූ අවස්ථාවේ දී ය.

අපේ ආච්චිට ජීවිතයේ නමවෙනි දශකයේ අගභාගයේ දී සෑදුණු රෝගයේ මූලික ලක්‍ෂණ, වාසුදේව නානායක්කාර ගේ ජීවිතයේ අටවෙනි දශකයේ මැද භාගය පසුවෙත්ම මතුවෙමින් පවතී.

වාසුදේව නානායක්කාර යනු, දිනපතා පිරිත් ඇසූ, සතියට දෙවරක්වත් බණ ඇසූ නිවසේ සිටම වුවද සිල් ගත් අපේ ආච්චී මෙන් අයෙකු නොවේ. අප ඒ වීඩියෝ දර්ශනවලින් දුටුවේ පසුගිය දශක ගණනාවක් තිස්සේ යූඇම්පීය ප්‍රමුඛ ධනපති පන්තිය පරම සතුරා ලෙස සලකමින් නිර්ධන පන්ති ආඥාදායකත්වය වෙනුවෙන් සටන් වැදුණු වාසුදේව නානායක්කාර ගේ සිත ඇතුළේ මෙතෙක් කල් සිරවී තිබුණු කෝපයේ ගිනි කන්ද එහි මුල්ම කළු දුමාරය පිට කරන අවස්ථාවයි. එය අසභ්‍ය වචනයක් වූයේ ඒ නිසා ය.

මේ සිද්ධියෙන් අපට උගත ඇති පාඩම මෙයයි.

අප අතර සිටින සමහරෙකුට වුවද කේන්තියක් ආ විට සමහර විට සිතෙන් පරුෂ වචන කියවෙනවා විය හැක. නමුත් තවමත් සිහිබුද්ධිය නොවෙනස්ව පවතින නිසා ඒවා එලෙසම මුවින් එළියට නොඑයි. ඒ තත්වය වෙනස් වෙන්නට පෙර සිත මෛත්‍රීයෙන් සිත සුවපත් කර ගැනීම ගැලරියේ සිටින පාසල් ළමුන්ට පමණක් නොව, තමන්ට ද, ලෝකයට ද කරන යහපති.

-රසිකොලොජිස්ට්

ප/ලි:
වාසුදේව නානායක්කාරට බනින, සිනාවෙන අතරේ අපේ සමහරු ඔහු භාවිතා කළ අසභ්‍ය වචනය, රිසි සේ ලියමින්, කියමින් සයිබර් අවකාශයේ පෙර නො විඳි නිදහසක් ඉතා සතුටින් භුක්ති විඳිනු මේ දිනවල පෙනේ. ඒ දකින මට සිහිවන්නේ කලකට පෙර පුක යනු අසභ්‍ය වචනයක් නොවන බවට සයිබර් අවකාශයේ නැගුණු තර්කයක මුවාවෙන් ඒ වචනය ඉඩ ලැබුණු හැම විටකම භාවිතා කරන්නට ඇතැමුන් පෙළඹුණු අයුරුය.

(image: http://raynoah.com/2010/09/25/dude-control-yourself/)

Thursday, 21 May 2015

මොනවද බං උඹ කැම්පස් එකේ දී කෙරුවේ? - Some questions make you speechless


සිංහල භාෂාවෙන් කතා බහ කරන විට තවකෙකු ඇමතීමට භාවිතා කළ හැකි විකල්ප වචන රාශියකි. ඔයා, උඹ, මචං, මහත්තයා, තමුසේ, අයිසේ, සර්, තමුන්නාන්සේ සහ ඔබතුමා යනු ඉන් ප්‍රධාන ඒවාය. මීට අමතරව, අවසර, ඩාලිං, ඩියර්, ලව්, පැටියා, පණ, වස්තුව වැනි සුවිශේෂී පුද්ගලයින් සඳහා භාවිතයේ යෙදෙන වචන ද වේ.

මට ඉවසන්නට අසීරු කාරණයක් නම් තමුන්නාන්සේ සහ මැතිතුමා යන වචන ද්වය අද යුගයේ අවභාවිතයේ යෙදෙනු ඇසීමට ලැබීමයි. ඒවා යේ අප ඉගෙනගත් මුල් අරුත් කෙසේ වුවද, අද බහුතරව යොදා ගැනෙන්නේ නම් එක්තරා විදියක සුළු හෝ අපහාසයක් සහිතව බව මගේ අදහසයි.

ඔයා, මචං, උඹ යන වචන තුන සැලකුවහොත් අපේ මිතුරන් සඳහා අප ඒවා භාවිතා කිරීම, ඒ මිතුරුකමේ ශක්තිය පෙන්නුම් කරණ යම් මිනුමක් සේ සැලකිය හැකි යැයි මම සිතමි.

ඔයා, මචං, උඹ වචන තුන මා භාවිතා කරන ආකාරය ගැන කිවහොත්, මා සමස්තයක් ලෙස සියලුම කාන්තාවන් අමතා ඇත්තේ ද, වත්මනෙහි අමතන්නේ ද ඔයා කියා ය. උඹ හෝ මචං කීමට හැකි ආකාරයේ මිතුරියක් මට කිසි දිනෙක සිට නැත. ඉදිරියේ සිටිනු ඇතැයි ද නොසිතමි.

මිතුරන් සම්බන්ධයෙන් ගතහොත් ඔයා කියා පටන් ගෙන මචං වී පසුව උඹ දක්වාද වර්ධනය වූ මිතුරුකම් බොහෝ ය. නමුත්, මචංගෙන් ඔබ්බට මෙන් ම, ඔයා ගෙන් ඔබ්බට වර්ධනය නොවූ මිතුරුකම් ද සමහර විට දශක ගණනාවක් තිස්සේ පවතී. එයට මූලික ම හේතුව ලෙස මා දකින්නේ අදාළ පුද්ගලයා සහ මා අතර ඇති සමානකම්වල අඩුවැඩිකම් ය. එවැනි සමානකම් ඉතාමත් වැඩි නම් පැය කිහිපයක් ඇතුළත වුව ඔයා ගේ සිට මචං හරහා උඹ දක්වා මිතුරුකම දියුණු වීමට ඉඩකඩ ඇත.

තවෙකෙකුට කරණ විහිළු, සරදම්, උපහාස ගැන ද මට ඇත්තේ මේ ආකාරයේ ම විශ්ලේෂණයකි. මිතුරුකමක් නැති නම් සරල විහිළුවක් හෝ කළ නොහැක. මිතුරුකමේ ශක්තියට අනුලෝමව සමානුපාතිකව කළ හැකි විහිලුවේ, සරදමේ හෝ උපහාසයේ දැඩිකම වැඩිවේ.

ඒ සීමාව නොදැන කරණ විහිළු, සරදම්, උපහාස අවසන් වෙන්නේ ඇස් රතු වීමෙනි, මිතුරුකම නැති වීමෙනි.

මට සංජය වත්තේගම මුණ ගැසුණේ මගේ දෙවෙනි රැකියාවේ දී ය. අධ්‍යයන පීඨ දෙකක නමුත් එකම විශ්ව විද්‍යාලයේ එකම කාල සීමාවල ඉගෙන ගත් සිසුන් වූවද අප දෙදෙනා විශ්ව විද්‍යාලය ඇතුළත දී කිසි දිනෙක මුණ ගැසී නොතිබුණි. අප දෙදෙනා වෙනත් අධ්‍යයන පාඨමාලා හැදෑරූ අය වීමට වඩා, අප එකිනෙකා නොදැන සීටීමට හේතු ලෙස දැක්විය හැක්කේ ඔහු මට වඩා වසරක් කණිෂ්ඨ වීමත්, මා මෙන් නොව ඔහු නිවසේ සිට දිනපතා විශ්ව විද්‍යාලයට පැමිණි සිසුවෙකු වීමත් ය.

උපාධිධාරීන් කිහිප දෙනෙකු බඳවා ගන්නා ලද කළමනාකරණ පුහුණු වැඩ සටහනක අප දෙදෙනා සේවය ඇරඹුයේ එකම දිනයේ ය. කොළඹ පිහිටි විශාල පරිමාවේ සමාගමක් නිසා කාර්යාලය ඇතුළේ අප අතර කතාබහ සිදුවූයේ අනිවාර්යෙන් ම ඉංගිරිසියෙනි. අප අතර ඇති සමානකම් නිසා ස්වාභාවිකව ම මිතුරුකමක් ඇරඹී එය තරමක් වර්ධනය විය. කාර්යාල කටයුතුවලින් පරිබාහිරව, දිවා ආහාර අනුභවය වැනි අවස්ථාවල දී අප සිංහලෙන් කතා කළ ද, අපේ මිතුරුකම පැවතියේ ඔයා අවස්ථාවේ යැයි සිතමි.

සති කිහිපයක් කොළඹ කාර්යාලයේ ගත කිරීමෙන් පසු අප දෙදෙනාව සමාගමේ ප්‍රදේශ දෙකක පිහිටි කර්මාන්ත ශාලා දෙකක් වෙත යොමු කරන ලදී.

යළිත් සති කිහිපයකට පසු අප ප්‍රධාන කාර්යාලයේ දී හමුවූ විට අපේ මිතුරුකම මචං අදියර දක්වා වර්ධනය වී තිබුණි. එය උඹ තත්වය දක්වා වැඩි දියුණු වූයේ ඉන් සතියකට පමණ පසු අප දෙදෙනාට එක ම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ස්ථාන දෙකක පුහුණුව සඳහා යාමට සිදුවීමත් සමගයි.

උදයේ වෙනම සේවා ස්ථානයට ගිය ද, අප දෙදෙනා (එහි සිටි අනෙකුත් කළමනාකරුවන් සමග) තේ පැන් බීවේ, දිවා ආහාරය ගත්තේ එකට ය. සවස සේවය අවසන්ව කොළඹ බලා ආවේ ද එකම වෑන් රථයේ ය. මේ කාලය තුළ සංජය මගේ ඉතා හොඳ මිතුරෙක් බවට පත් වූයේ නිරායාසයෙනි. උඹ සහ මචං නමින් ඇමතීම පමණක් නොව, එකිනෙකා විහිළු, සරදම්, උපහාස කර ගැනීම ද සාමාන්‍යය බවට පත්විය.

එක් දිනක් කම්හලේ සේවය කළ තවකෙකු සමග, ඔහු ගේ මේසය අසල දී, සංජය සහ මා සුහද කතා බහක නිරත වී සිටියේ තව මොහොතකින් වෑන් රථය පැමිණි විගස සේවය නිමවා යාමට නියමිත බැවිනි. සංජය සිටියේ මේසයට අත් දෙක තබා එයට බර දී ගෙනය. ඔහුගේ දෑතේ ම නහරයක් බැගින් ඉලිප්පී මතු වී තිබෙනු පෙනුණි.

"මේ මොකද මේ?" අනෙකා සංජයගෙන් විමසීය.

"අනේ මන්දා, මගේ කකුල්වලත් මේ වගේ නහර ඉලිප්පිලා තියෙනවා!" සංජය පැවසීය.

"ගංජා ගැහැව්වාම ඔහොම තමයි මචං!" මම කීවෙමි. ඒ මගේ කටට මුලින්ම ආ වචන පෙළ මිස සිතා මතා කීවක් නොවේ. ගංජා බොන්නන් ගේ අත්වල පාදවල නහර එලෙස ඉලිප්පෙනවාදැයි මම අද වෙනතුරු නොදන්නෙමි.

එය සංජය නො ඇසුණා මෙන් සිටි නිසා මම නැවතත් "මචං, උඹ ඔය ගංජා ගහන එක අත හැරියා නම් ඕක නැතිවෙලා යාවි!" කියා කීවෙමි.

සංජය මුවින් නොබැණ සිටියේ ය.

මට සංජයගෙන් සම්බුව ලැබුණේ පසුවදා ය.

අප අතර විවිධාකාරයේ විහිළු, සරදම්, උපහාස ඊට පෙර හුවමාරු වී තිබුණු නිසා, මා කී ඒ වදන් කිහිපයට කෝපවී ඔහු මට බැණ වැදීම මට පුදුමයක් වුණත්, ඒ පුදුමය මකා සිත විශාල ආහ්ලාදයකින් පිරී ගියේ සංජය ඊළඟට කී දෙයිනි.

"උඹ මොනවද බං කැම්පස් එකේ දී කළේ? උඹ අඩු තරමේ ටෙනිස්වත් ගැහැව්වාද?"

ඒ කතාව ඇසූ මා ක්‍ෂණයකින්ම නැගි සිනහව නවත්වා ගත්තේ ඉතා අසීරුවෙනි. ඒ සමගම ඒ ප්‍රකාශයේ පදනම වැටහී සිත ඇතුළතින් මා කෙතරම් අන්ධභූත වී ද යත්, මට සංජය ගේ පැනයට නිසි පිළිතුරක් දීමට නොහැකි විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා සංජයට දිය යුතුව තිබූ නමුත් නොදුන් පිළිතුර වෙනම සටහනක් ලෙසින් පසුව පළ කරමි.

ප/ප/ලි:
මට වැටහුණු පරිදි සංජය කෝප වී තිබුණේ මගේ විහිළුව සීමාව ඉක්මවීම නිසාම නොවේ. ඒ අවස්ථාවේ එහි සිටි තුන්වැන්නා සමග සංජය ගේ මචං/උඹ මට්ටමේ හිතවත්කමක් නොතිබුණු නිසාය.

මේ මා මුලින් කියූ මිතුරු කමේ ඔයා/මචං/උඹ මිනුම සහ විහිළු/සරදම්/උපහාස මිනුම එකතු වූ ස්ථානයකි!


(image: http://i.dailymail.co.uk/i/pix/2015/01/25/250755D300000578-2925300-image-a-126_1422168010545.jpg)

Tuesday, 19 May 2015

එක් සැමරුමක් සහ ගීත ද්වයක් - One country, two languages


මුවන්පැලැස්ස යනු, මා කුඩා කාලයේ ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍යයකි. ඉංගිරිසි පාලන සමයේ කෑලෑබද නොදියුණු ගම්මානයක වාසය කළ චරිත සමූහයක ගේ ජීවිත ආශ්‍රයෙන් ගොඩ නැගුණු ඒ නිර්මාණය එකල ලංකාවේ සාමාන්‍ය ජනතාව ගේ ජීවන ප්‍රශ්ණ ගැණ සාකච්ඡා නොකළ ද, සතියකට අඩ පැයක් හෝ නව නළු රසයෙන් සැනසීමට අවස්ථාවක් ලබා දුන් බව කිව යුතුය.

මුවන් පැලැස්ස නාට්‍යයේ දුෂ්ඨ චරිතය වූයේ ගම පාලනය කළ ආරච්චිලයි. ගමේ චණ්ඩි වීරයා වූ කදිරාට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහුට අවශ්‍ය වූ අතර ඒ සඳහා වෙනකෙකු ලවා පැමිණිල්ලක් ලබා ගැනීමට ආරච්චිල වැඩ පිළිවෙලක් සැකසුවේ ය.

මේ පැමිණිල්ලේ මුල් වාක්‍යය අරඹුණේ "කදිරා වනාහී..." කියාය. නමුත් එතැණින් පසු කුමක් ලිවිය යුතුදැයි ගලපා ගැනීමට ආරච්චිලට නොහැකි විය. මෙහිදී, ආරච්චිල ගේ ලියන්නා ලෙස කටයුතු කළ උක්කු බණ්ඩා නම් ගමේ පෙම්වතා, ආරච්චිලට මතක් කර දුන්නේ ඔහු පාසලේ ඉගෙන ගත් "වනාහී" යන වචනය යෙදුණු එකම වාක්‍යය වූයේ "පොල් ගස වනාහී තාල වර්ගයට අයත් ගසකි" යන්න බවයි.

එහෙනම්, ලියා ගනිං "කදිරා වනාහී තාල වර්ගයට අයිති ගසකි. කියලා!" ආරච්චිල කීවේය.

අප බොහෝ දෙනෙකු දන්නා පරිදි, තාල් වර්ගයට අයිති ගස් යනු, අතු නොබෙදී කෙලින්ම ඉහලට ඇදෙන ගස් ය. ලංකාවේ බහුලව වැවෙන තාල වර්ගයේ ගස් වනුයේ පොල් සහ තල් ගස්ය.

තල් ගස් සාමාන්‍යයෙන් වැවෙන්නේ රටේ උතුරුකරයේ ය. පොල් ගස යනු ප්‍රධාන වශයෙන් දකුණුකරයට අයිති ගසකි.

නාමිකව උතුර-දකුණ අතර සිදුවුණා යැයි සරලව සැලකිය හැකි ලංකාවේ පැවති සිවිල් යුද්ධය ගැන ලියවුණු මේ පහත ගීතයේ පොල් ගස් සහ තල් ගස් පිළිබඳව කියවේ.

මානුශික යුද්ධය ගැන ලියවුණු අමානුශික ගීතය

පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
උන් සුවර්ගයේ

තිසා වැවේ, නුවර වැවේ නිල් දිය දහරේ
මාවිලාරු, ඉරණාමඩු නිල් දිය දහරේ
ඒ වතුරේ පීන පීන
මේ වතුරේ පීන පීන
දියඹුං ගැසු කොලු රංචුව අද කොහේද
භූමදානයේ

හම්බන්තොට ලේවායේ ලුනු වේලෙන්නේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේ
ඒ ලුනු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ගැන
සිත විමසන්නේ

තනුව සහ සංගීතය - විශාරද ඉන්දු ප්‍රේමතිලක
ගායනය- ළමා ගායක තිසල් පාදුක්කවිදාන
පද රචනය- රසික සූරියආරච්චි

ඒ ගීතයේ පද මාලාව වසර 2009 දී ලියවුණු අතර ගීතයක් ලෙසින් නිමවූ ඕස්ටේ‍ර්ලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ නිෂ්පාදනයක් ලෙස 2010 දී එළිදැක්වුණු රැවැත්තියේ සංයුක්ත ගී තැටියට අඩංගු විය.

මෙතනින් අසන්න.


මෙතනින් බා-ගන්න.
http://www.divshare.com/download/14815982-217

ඒ මානුෂික යුද්ධය නිමවී වසර හයක් සිපිරෙන අද දවසේ, එය සැමරීම වස් නිර්මාණය වුණු විශිෂ්ඨ ගීතයක් අද උදැසන මට අසන්නට ලැබුණි.

මේ ගීතය වත්පොත හරහා බෙදා හැරුණු නිසා ඔබ බොහෝ දෙනෙක් දැනටමත් අසා තියෙන්නට ඉඩ ඇත. එසේ වුවද, කීප වරක් නැවත නැතව ඇසීමට සුදුසු නිසා මෙසේ බෙදා ගැනීමට සිතුවෙමි.

සහෝදරත්වයේ ගීතය - ஒற்றுமை பாடல் - Song of Unity

අපි එකම රටක් - එක මිතුරු කැලක්
එක ජීවිතයක් - එක හුස්ම පොදක්

ஒரே தேசத்தில்
ஒரே நட்புத் திரள்
ஒரே வாழ்வில்
ஒரே உயிர்த்துளி

එක කඳුළු බිඳක් - එක හසරැල්ලක්
සෙනෙහස හඳුනන -එක මිනිස් කැලක්

ஒரே கண்ணீர் துளி
ஒரே புன்னகை அலை
அன்பை அறியும்
மனிதக் கடல்

එකම දුකක් - නිවන සුසුමක්
එකම හෙටක් - ගැන සුබ පැතුමක්

ஒரே துன்பத்தை
துடைத்தெறியும்
வாழ்த்து மடல்.

අපි එකම රටක් - එක මිතුරු කැලක්
එක ජීවිතයක් - එක හුස්ම පොදක්

නිර්මානය: අලුත් පරපුර කණ්ඩායම
ගායනය: ඉන්ද්‍රචාප ලියනගේ, නිලුක්‍ෂණී ජයවීරසිංහම්
පදමාලාව: චිනතන ධර්මදාස
සංගීතය: කසුන් කල්හාර

https://www.facebook.com/AluthParapura/videos/875778855827208/

-රසිකොලොජිස්ට්

(images: https://www.flickr.com/photos/gavinkwhite/4788842739/ & http://humanityashore.com/ha/archives/271)

Sunday, 17 May 2015

සරත් ෆොන්සේකා, ගෝඨාභය රාජපක්‍ෂ, ආනන්ද විද්‍යාලය, පැන්ෂන් අංකල් සහ ඊ-මේල් සුසිරිත - Nothing better to write about...?


අපේ ගම් පළාතේ පැන්ෂන් ගත් අංකල් කෙනෙක් සිටී. ඔහු හොද මනුස්සයෙකු බවට මට සැකයක් නැත. නමුත්, දැන් ඉතිං පැන්ෂන් සුවයෙන් සිටින නිසා දෝ මේ අංකල්ට නොයෙකුත් සමාජ සේවා වැඩ කිරීමේ අමාරුවක් වැළදී ඇත.

එහි කිසි වරදක් මම නොදකිමි.

මුලින් ම, පැන්ෂන් ගොස් නිකං පඩික්කම් පුරවනවාට වඩා මොකක් හෝ වැඩක නිරත වීම ශරීර සෞඛ්‍යයට හිතකරය. දෙවනුව, මේ අංකල් කරන කියන වැඩ කරන්නට කවුරුන් හෝ උවමනාවේ, එසේත් නැති නම්, සමාජයේ "ජෙනරල් ඊක්විලිබ්‍රියමය" සඳහා මෙවැනි අංකල්ලා ද ඇවැසි ය.

අංකල් ගේ සහ මගේ එකම සම්බන්ධය වන්නේ අප දෙදෙනා ම එකම පාසලේ ටික කළක් හෝ අධ්‍යයනය ලබා ඇති වීමයි. අංකල් ඒ පාසලේ කෙතරම් කළක් සිටිියේදැයි මම නොදනිමි. මා දන්නා කාරණය වනුයේ, මා ඒ පාසලට මුලින්ම ගිය දින සිට අස්වීමේ සහතිකය ගත් දින දක්වා වසර හතරයි මාස කිහිපයක් ගත කළ බවයි. කෙටියෙන් කිවහොත් "සිව් වසරක් මරදානේ" ය. ඒ, මේ අංකල් ගේ කාලයෙන් පරම්පරා බාගයකට පමණ පසු කලෙක යැයි සිතමි.

අංකල් ලඟ මේ පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ගෙන් අපේ ගම් පළාතේ ඉන්නා අය ගේ ඊ-මේල් ලිපින ලයිස්තුවක් ඇත. ඔහු ගේ එක් විනෝදාංශයක් වනුයේ තමන් සහභාගී වෙන විවිධ වැඩ කටයුතු හා සම්බන්ධ විස්තර විටින් විට මේ ඊ-මේල් ලයිස්තුවට එවීමයි.

පිරිසකට ඊ-මේල් යෑවීමේ දී අපට අනුගමනය කළ හැකි ක්‍රම තුනක් ඇත. ඉන් පළමුවැන්න නම් සියළු දෙනාගේ ම ඊ-ලිපිනයන් සමානව සළකා ඊ-මේලයේ "වෙත" (To) කොටුවට යෙදීමයි. මෙ මගින් ඒ ඊ-ලිපිය ලබන සියළු දෙනාට ම, එහි පිටපත් යවනු ලැබුවේ කාටද යන වග නිසැකවම දැන ගත හැකි වේ.

දෙවෙනි ක්‍රමය වෙනුයේ එක් අයෙකුට ඊ-මේලය යොමු කොට, එනම් ඔවුන් ගේ ඊ-ලිපිනය "වෙත" (To) කොටුවේ යොදා, අන් සියළු දෙනාටම ඒ ඊ-මේලයේ පිටපත් යැවීමයි, එනම් ඔවුන් ගේ ඊ-මේල් ලිපිනයන් "කාබන් පිටපත" (CC) කොටුවේ යෙදීමයි. මෙ මගින් ද ඊ-ලිපිය ලබන සියළු දෙනාටම එහි පිටපත් යවනු ලැබුවේ කාටද යන වග නිසැකව ම දැන ගත හැකි වේ.

තුන්වෙනි ක්‍රමය නම්, ඊ-ලිපියේ පිටපත් සියළු දෙනාට ම එකිනෙකාට හොර රහසේ යැවීමයි, එනම්, ඒ පිටපත් යැවෙන පිරිස ගේ ඊ-ලිපියනයන් ඊ-මේලයේ "අන්ධ කාබන් පිටපත්" (BCC) කොටුවේ යෙදීමයි.

එකිනෙකා නාඳුනන පිරිසකට පොදු ඊ-ලිපි යැවීමේ දී අනුගමනය කෙරෙනුයේ මේ තෙවෙනි ක්‍රමයයි.

ඔබට ඉහත පළමුවෙනි හෝ දෙවෙනි ආකාරයේ ඊ-ලිපියක් ලැබුණු පසු එයට පිළිතුරක් ලිවීමේ දී අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් ඇත. ඉන් එකක් නම්, ඊ-ලිපිය එවා ඇති පුද්ගලයාට පමණක් පිළිතුරු ලිවීමයි.

වඩාත් සුදුසු, සහ මා අනුගමනය කරන ඊ-ලිපි සුසිරිත් ක්‍රමය නම්, මා ඊ-ලිපිය එවූ තැනැත්තාට යොමු කරන පිළිතුර, සියළු දෙනාටම පිටපත් කිරීමයි. එනම්, (Reply to all) නම් විකල්පය යොදා ගැනීමයි.

මට ලැබෙන ඊ-ලිපියක අන්ධ පිටපත් යැවෙන අය කවුදැයි මා නොදන්නා නිසා, ඔවුනට මගේ පිළිතුරක් පිටපත් කිරීමේ ක්‍රමයක් කිසිසේත් ම නැත.

දැන් යලිත් කතාවට බටහොත්, අපේ අංකල් මා ඇතුළු පාසලේ ආදි සිසු පිරිසට ගිය වසරේ දී පොදු ඊ-ලිපියක් එවා තිබුණි. එහි සඳහන් ප්‍රවෘත්තියේ යම් අකටයුත්තක් තිබේ යැයි මට හැඟී ගිය නිසා මා එයට පිළිතුරක් ලියා, ඒ ගැන දැන ගත යුතු පිරිසකට එය යොමු කළෙමි. ඒ අදාළ පුද්ගලයෙකු එවා තිබූ මට එවා තිබූ පිළිතුර ඔහු විසින් ඔහුට අදාල තවත් කීප දෙනෙකුට ඉහත කී දෙවෙනි ක්‍රමයට පිටපත් කර තිබුණි.

මා එයට ලියුූ ප්‍රති පිළිතුර, මගේ ඊ-මේල් සුසිරිත (eMail etiquette) අනුව ඒ සියළු දෙනාටම පිටපත් යැවෙන පරිදි යොමු කරන ලදී.

පසුදා මා එතෙක් නොදන්නා කෙනෙකු ගෙන් මට ලැබුණු පිළිතුරකින් කියවුනේ මගේ ඊ-මේල් මින් පසු ඔහුට යොමු නො කළ යුතු බවයි. මා ඔහුට අමුතුවෙන් ඊ-ලිපි නොලියූ බවත්, මා කළේ මට ලැබුණු ඊ-ලිපියක සැමට පිළිතුරු එවීම පමණක් බවත්, එනිසා, ඔහුට මගේ පිළිතුරු නොලැබීමට නම් කළ යුත්තේ, ඔහුව මේ සංවාදයට ඈඳාගත් පුද්ගලයාට ඒ බව පැවසීම බවත් කියා මා ඔහුට පිළිතුරක් යොමු කළෙමි. එය මුල් පුද්ගලයාට ද යොමු කළෙමි.

පසුව මට ඒ මුල් පුද්ගලයාගෙන් මගේ මුල් පිළිතුරට ප්‍රති-පිළිතුරක් ලැබුණු නිසා, මා යළිත් කළේ එයට මා ලියූ පිළිතුර ද සියළු දෙනාටම පිටපත් යැවෙන සේ යොමු කිරීමයි. එහි පිටපතක් ද මගේ ඊ-ලිපි අනව්‍යයැයි කියූ තැනැත්තාට ලැබී ඇති බව මා දැන ගත්තේ ඔහුගෙන් කෝපාන්විත පිළිතුරක් ලැබුණු පසුවයි.

මා යළිත් කළේ, ඒ ඉල්ලීම මට එවන පිළිතුර ඔහුට ද පිටපත් කරන පුද්ගලයාට යොමු කරන ලෙස ඉල්ලා ඊ-මේලයක් යැවීමයි. එයින් ඔහුගේ කෝපය තවත් මුවහත් වුණු බව මට ලැබුණු තර්ජනාත්මක පිළිතුරෙන් පෙනුණි.

ඒ සිද්ධිය එතැනින් යටපත් වී කාලය ගත වී ගියේය.

දැනට සති දෙකකට පමණ පෙර මට අපේ අංකල්ගෙන් නැවත ඊ-ලිපියක් ලැබුණි. එහි ඇතුලත් වූයේ නොබෝ දිනකින් අපේ ගම් පළාතේ පැවැත්වීමට නියමිත, යුද්ධයෙන් මියගිය සහ ආබාධිත රණවිරුවන් සැමරීම සඳහා පැවැත්වෙන රැස්වීමක් පිළිබඳ පුවතකි. මෙය එවා තිබුණේ අප පාසලේ ආදි සිසුන් පිරිසට බව ඒ ප්‍රවෘත්තියට අපේ අංකල් එකතු කර තිබුණු වැකි කිහිපයෙන් පැහැදිළි වුණි.

මේ ප්‍රවෘත්තිය හා පාසල හා ඇති සම්බන්ධය වඩාත් පැහැදිළි කර ගැනීම පිණිස මා අංකල්ට පිළිතුරක් ලීවෙමි. එහි අඩංගු වූයේ එක් වැකියක් පමණි. එනම්,

ෆොන්සේකා ගේ පිළේ අය ද, ගෝඨාභය ගේ පිළේ අය ද?

මගේ ඊ-ලිපි සුසිරිත අනුව මගේ පිළිතුර අංකල් ගේ ඊ-ලිපි ලයිස්තුවේ සිටි සියළු දෙනාටම පිටපත් කරන ලදී, එනම් මා යොදා ගත්තේ (Reply to all) විකල්පයයි.

මා නොදැන සිටි කාරණය නම් මට ඔහුට ඊ-ලිපි නොඑවන ලෙස මාස කිහිපයකට කලින් තර්ජනාත්මකව මට කියූ පුද්ගලයා ගේ ඊ-ලිපිනය ද අංකල් ගේ ඊ-ලිපිය යොමු වුණු ආදී ශිෂ්‍යයින් ගේ ලයිස්තුවේ තිබී ඇති බවයි.

මෙවර ඔහුගෙන් ලැබුණු පිළිතුරේ අසැබිවදන් ද, අපහාසාත්මක පද ද කෝපගින්නෙන් දැවෙන්නෙකු දොඩන වහසි බස් ද සමග ඇතුළත් කර තිබුණි!

කරුණු වටහා ගැනීම පිණිස මා යොමු කළ, ෆොන්සේකා ගේ පිළේ අය ද, ගෝඨාභය ගේ පිළේ අය ද? පැණය ඔහුට අජීර්ණ වී ඇති බව ඒ වචන කුලකය දෙස බැලු බැල්මට පෙනෙන්නට තිබුණි.

මා කළේ, ඔහුගේ පිළිතුර අංකල් ඇතුළු පිරිසට යවා, ඒ පුද්ගලයා පෙළෙන රෝගයෙන් සුවය වෙන තෙක් ඔහුව අංකල් ගේ ලයිස්තුවෙන් අයින් කරන ලෙස ඉල්ලීමයි.

ඒ සමගම, අංකල් ඔහුගේ ලැයිස්තුවට එවන ලද පෙර කී රැස්වීම පිළිබඳ ලිපිය, කෙලින්ම පාසලේ වැඩ කටයුත්තක් නොවන බවත්, අද ලංකාවේ රණවිරුවන් ප්‍රධාන කොටම බෙදී ඇති කොටස් දෙකට නායකත්වය දෙන පාසලේ කුප්‍රකට ආදී සිසුවන් දෙදෙනා ගේ නම් මා අංකල්ට යැවූ ඊ-ලිපියේ සඳහන් කළේ අඩු වශයෙන් එවිටවත් ඒ ඊ-ලිපිය පාසලට අදාළ වෙන නිසා බවත් මා ඔහුට දන්වා යැවුවෙමි.

වහාම මේ උද්ගත වූ තත්වය විසඳන බවට අංකල් සියළු දෙනාටම එවූ පිළිතුරක් මගින් දන්වා එවා තිබුණි.

ඒ දින දහයකට පෙර දිනයක ය.

-රසිකොලොජිස්ට්

ප/ලි
ජනාධිපති ඡන්දයට පෙර දිනයක, එවකට බලයේ සිටි ජනාධිපති ගේ කෙතරම් දුෂණ සහ අකටයුතු තිබුණ ද යළි ඔහුව ම බලට පත් කර ගත යුතු යැයි අපේ අංකල් ලියූ ඊ-ලිපියකට පිළිතුරක් යවමින් ඒ ගැන ප්‍රශ්ණ කිහිපයක් යොමු කළ, මට පරම්පරාවකට පසුව පාසලේ ඉගෙන ගත් සිසුවෙකට, හැකි විගස දීර්ඝ පිළිතුරක් එවන බවට අංකල් පොරොන්දු වූ නමුත්, දැන් මාස හතරක් ගතවීත් ලැබුණු පිළිතුරක් නැති බවත් මට පසුව දැන ගන්නට ලැබුණි.


(image: http://michaelhyatt.com/angry-email.html)

Friday, 15 May 2015

ඔබ වළ කජ්ජ ගැසූ පසු ඔබේ වත්පොතට කුමක් වේද? - Life after death


ඉපදුනොත් මිය යාම නියතය. අපි සැම එය හොඳින් දනිමු. අප නොදන්නේ එය සිදුවෙන්නේ කවදා ද යන්න පමණි.

මිය යාම යනු සුලබ සාමාන්‍ය කරුණක් නිසා එය විස්තර කිරීමට සිංහල වචන රාශියක් ඇත. කළුරිය කිරීම, අපවත් වීම, අභාවප්‍රාප්ත වීම, එක්ස්පයර් වීම, වැලිගම්පිටි යෑම, වළ කජ්ජ ගැසීම එයින් කීපයකි.

අප මිය ගිය පසු අප නැත. නමුත් මිය ගිය පසු ජීවත්වෙන අය ගැන මිය යාමට පෙර අපේ සිත්වල කැක්කුමක් ඇත. විශේෂයෙන් ම අපේ ආදරණීය සුතනඹුවන්ට කුමක් සිදුවේද යන්න අප බොහෝ දෙනෙකු ගේ සිතට වද දෙන ප්‍රශ්ණයකි.

අතීත කාලයේ අපේ මුතුන් මිත්තෝ ශ්‍රී පාද වන්දනාව වැනි දුර බැහැර ගමන් යන විට පවා තමන් ගේ දේපල බෙදා වෙන් කර ගිය බව කියවේ.

දෙමව්පියන් ගේ අභාවයෙන් පසු සාමාන්‍ය ක්‍රමයට ඔවුන් සතු දේපළ, ඉඩකඩම්, මුදල් යනාදිය දරුවන්ට හිමිවේ. මේ සඳහා තරමක් සරල, තරමක් සංකීර්ණ නීති මාලාවක් ඇති අතර, හිමිකරුවන් අතර ප්‍රශ්ණ නොමැති නම්, බොහෝ විට දේපල බෙදී යාමේ ක්‍රමවේදය ඉතා සරල වේ.

දේපල සහ වත්කම් සඳහා නම් ඕස්ටේ‍ර්ලියාවේ දී කළ යුතු හොඳම දෙය, අන්තිම කැමති පත්‍රයක් ලියා තැබීමයි. එය තවමත් මගේ බිරිඳ හෝ මා හෝ කර නොමැති දෙයකි.

අද වන විට පුද්ගලයෙකු ගේ වත්කම වෙන්නේ ගේ දොර ඉඩකඩම් යනාදිය පමණක් ම නොවේ. ඒවා නොමැති බොහෝ දෙනෙකුට පවා තිබෙන එක් වස්තුවක් නම් තමන් ගේ වත්පොත් ගිනුම සහ එහි ඇති ඡායාරූප, සටහන්, ප්‍රතිචාර යනාදියයි.

අපේ මරණයෙන් පසු ඒ සියල්ලට කුමක් වේ ද?

මෙය ඇසූ විට මුලින් ම අපට දැනෙන්නේ විහිළුවක ස්වභාවයයි. එක් අතකින් තමන් මිය ගිය පසු තමන් ගේ වත්පොත් ගිනුමට කුමක් වූවත් ඇති ප්‍රශ්ණය කුමක්ද? අනිත් අතින්, තමන් ගේ සහකරු, සහකාරිය, දරුවෙකු හෝ දෙමව්පියෙකු මිය ගිය පසු, ඔවුන් ගේ වත්පොත් ගිනුම ඉතුරු වී ඇති පලය කුමක් ද?

නමුත් හොඳන් කල්පනා කර බලන කළ, එය එතරම් සරල දෙයක් නොවේ.

අපේ ජීවිත වත්පොත සමග මේ වන විටත් ඉතා තදින් බැඳී පවතින බව නො රහසකි. අපේ තත්‍ය ලෝකයේ සබඳකම් පවා හොඳින් වැඩෙන්නේ අතත්‍ය ලෝකයේ දී වත්පොත හරහා සබඳකමක් ඇති නම් පමණි. මේ තත්වය එන්න එන්නම තව තවත් සංකීර්ණ වෙමින් පවතී.

වත්පොතේ මුලින් පැවති නීති අනුව සිදුවූයේ මිය ගිය අයගේ ගිනුම් අවලංගු කර දැමීමයි. එවිට එහි ඇතුළත් කර තිබූ ඡායාරූප ආදී සියළු සිහිවටනයන් අභාවයට යනු ඇත. එය නීත්‍යානුකූල නොවන බව පසුව වැටහුණි. මන්ද යත්, ඒ සිහිවටනවල හිමිකම මියගිය අයට අයිති නිසා ය.

මේ කරුණු පිළිබඳ කතිකාවතක් පැවති බව පසුගිය දිනයක මට පුවත්පතකින් කියවන්නට ලැබුණි.

ඊළඟට ඊයේ දැන ගන්නට ලැබුණේ අපට අනාගතයේ දී මරණය හෝ ඔත්පළවීමක් හෝ සිදුවූ පසු අපේ වත්පොත් ගිනුම සම්න්ධයෙන් කටයුතු කිරීමට යම් අයෙකු ගේ නම යෝජනා කළ හැකි බවයි. අදල අනිවාර්ය කොන්දේසිය වන්නේ, එසේ නම් කරනු ලබන තැනැත්තාට හෝ තැනැත්තියට ද වත්පොත් ගිනුමක් තිබීමත්, ඔවුන් අපේ වත්පොත් මිතුරෙකු වීමත් පමණි.

එවිට අනාගතයේ දී අදාල අවශ්‍යතාවය ඇති වූ විට, ඒ අවශ්‍ය පරිදි අපේ වත්පොත් ගිනුමේ යම් යම් සීමා සහිතව ක්‍රියාත්මක කරන්නට ඔවුනට අවසර ලැබේ. වැඩි විස්තර සඳහා මෙය කියවන්න. https://www.facebook.com/help/1568013990080948

ඊයේ මම මගේ දියණියව මේ සඳහා සම්පූර්ණ අවසරය සමග නම් කළෙමි.

මේ විකල්පය තවමත් සෑම වත්පොත් ගිනුමක් සඳහාම තවමත් ලබා දී නොමැති බව කියවේ. ඔබට මේ සඳහා ඉඩකඩ ලැබී ඇති දැයි දැනගැනීමට වත්පොත් ගිනුමේ සෙකියුරිටි සෙටින්ස් බලන්න.



-රසිකොලොජිස්ට්

ප/ලි:
අද අද එයි මරු එය දැනගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
වත්පොත රැකුමට වැඩ කරපන්නේ
කුමටද ඒකට කම්මැලි වන්නේ?

(නූතන සුභාෂිතයෙනි)

(image: http://www.michaelhacker.at/life-after-death-2/)

Wednesday, 13 May 2015

රොබට් නොක්ස් සංකීර්ණය - When the oppressor gains from the suffering of the oppressed


මා මුහුණ දුන් සම්මුඛ පරීක්‍ෂණයක අත්දැකීම පදනම් කරගෙන, මින් දින දෙකකට කලින් මවිසින් ලියා පළ කරන ලද ලිපියේ දී මා සාකච්ඡා කළේ, අතීතයේ දී අප ලැබූ ඉතා සුඛදායක අත්දැකීම් අද අපට ප්‍රයෝජනවත් නොවී, එදා අප දුඛදායක අත්දැකීම් නොලැබීම ගැන අද පසුතැවිලි වෙන්නට සිදුවීම ගැනයි.

ඒ සංසිද්ධියේ එක් නිසැක දිගුවක් වන්නේ, වත්මනෙහි අප ලබන ඉතා සුඛදායක අත්දැකීම් ද අනාගතයේ කිසි දිනයක අපට ප්‍රයෝජනවත් නොවී, අප අද නොලබන දුඛදායක අත්දැකීම් ගැන එදිනට අපට පසුතැවිලි වෙන්නට සිදුවීමට ඉඩකඩ ඇතිය යන්නයි.

මේ ගැන සිතීමේ දී මට සිහිවුනේ, ශතක තුනකට පමණ කලින් ජීවත්වූ අයෙක් වුවද, නම කියූ පමණින් අප බොහෝ දෙනෙකු දන්නා හඳුනන චරිතයක් වන රොබට් නොක්ස් ය.

නොදන්නා වෙතොත් ඔවුන් ගේ දැන ගැනීම පිණිස කෙටියෙන් කියනවානම්, වසර 1641 දී ඉපිද, නැව් කප්පිත්තෙකු වූ සිය පියා ගේ අඩි පාරේ යමින් වයස 14 වැනි කුඩා වයසේදී ම (ඒ කාලයේ එය ළමා අපයෝජනයක් නොවේ!) පියා ගේ නැවේ සේවයට බැඳුණු රොබට් නොක්ස්, 1659 දී ඔවුන් ගේ නැවට වුණු හානි නිසා එය පිළිසකර කරගැනීම පිණිස ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලා ඇත.

එහිදී දෙවෙනි රාජසිංහ රජුගේ සිරභාරයට පත් වූ රොබට් නොක්ස් ට එළිමහන් සිරකරුවෙකු ලෙස ලංකාවේ වසර දහනමයක්ම ගත කිරීමට සිදුවිය. තම පියා රොගී වී මිය යාම නිසා ඔහුට ඉන් වැඩි කාලයක් ගත කරන්නට වූයේ තනිවමය. ඒ සමගම නිසි ආදායමක් නොමැතිවීම නිසා විවිධ කර්මාන්ත කරමින් රෙබට් නොක්ස් ගතකර ඇත්තේ සාපේක්‍ෂව දුක්මුසු දිවියකි. ඔහු අවසානයේ සගයෙකු සමග උඩරටින් පලා ගොස් එවකට මුහුදුබඩ පෙදෙස් පාලනය කළ ලන්දේසීන් ගේ උදව්වෙන් ආපසු එංගලන්තය බලා ගොස් ඇත. ඒ වසර 1680 දී ය.

එතැන් සිට කාලයක් නැවතත් නාවික වෘත්තියේ ද, ඉන් පසු විශ්‍රාමිකයෙකු ලෙසද ගතකළ රොබට් නොක්ස් ඒ කාලයේ දී තමා ලංකාවේ ගත කළ කාලයේ ලද අත්දැකීම් පදනම් කරගෙන එක් ප්‍රධාන කෘතියක් සහ වෙනත් ලියවිලි ගණනාවක් පළ කර ඇත.

ඒ කෘතිය නම් "එදා හෙළදිව" නමින් ඩේවිඩ් කරුණාරත්න අතින් සිංහලයට පෙරළී සිංහල පාඨකයින් අතර අති මහත් ප්‍රසිද්ධියක් ලද ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් ඔෆ් සිලෝන් නම් ග්‍රන්ථයයි.

දහහත්වෙනි සියවසේ ලංකාව ගැන ලියවී ඇති ප්‍රශස්තම ග්‍රන්ථය මෙය වේ යැයි සිතමි. පුරාණයේ ලියවී අද ද ඉතිරි වී ඇති ග්‍රන්ථ ගැන සලකා බලන කල, ඒවා සෑමවිටම පාහේ රජවරුන් සහ ඔවුන් ගේ වැඩ කටයුතු සහ අකටයුතු, රජුන් ගේ බිසෝවරුන් ගේ ගර්භණී තත්වයන් වැනි කරුණු ගැන පමණක් ලියවුණු ඒවා බව අපි දනිමු.

රටේ සාමාන්‍ය ජනතාව දිවි ගෙවූ ආකාරය පිළිබඳ වැදගත් විස්තර ගෙන එන රොබට් නොක්ස් ගේ එකි ග්‍රන්ථය ලංකාවේ ඉතිහාසය ගැන දැන ගැනීමට අවශ්‍යතාවයක ඇති අපට ඉතා වැදගත් එකක් වන්නේ එනිසා ය.

මා මුලින් සඳහන් කළ කරුණට, එනම් සුඛදායක අත්දැකීම් සහ දුඛදායක අත්දැකීම් වල පසුකාලීන වැදගත්කම සම්බන්ධයෙන්, මේ රොබට් නොක්ස් උදාහරණය අදාළ වෙන්නේ මෙ ලෙසයි.

එදා දෙවන රාජසිංහ රජු ගේ සිරකරුවෙකු ලෙස රොබට් නොක්ස් ලැබූ දුඛදායක අත්දැකීම පසු කලෙක ඔහුට යම් ප්‍රයෝජනයක් ගෙන එන්නට ඇත. ඔහු ලියූ පෙර කී ග්‍රන්ථය ඉතා නිසා රොබට් නොක්ස්ට විශාල ප්‍රසිද්ධියක් සහ සමාජයේ පිළිගැනීමක් ලැබුණු බව කියවේ. ලෝක ප්‍රසිද්ධ රොබින්සන් කෲසෝ නවකතාව රොබට් නොක්ස් ගේ අත්දැකීමෙන් උත්තේජනයක් ලැබී ලියවුණු එකක් බව ද කියවේ. නොක්ස් ඇතුළු පිරිස තම නැව පිළිසකර කරගෙන වහා ලංකාවෙන් පිටව ගියේ නම් ඒ පසුකාලීන ප්‍රතිලාභ ඔහුට නො ලැබෙන්නට ඉඩ තිබුණි.

එය එසේ නමුත්, රොබට් නොක්ස් ගේ දුඛදායක අත්දැකීමෙන් විශාලතම ප්‍රයෝජනය මෙතෙක් ලැබුවේත්, අදත් හෙටත් නොනැවති ලබන්නේත්, වසර දහ නමයකට පසු පලායන තෙක් ම ඔහුව සිරකරුවෙකු ලෙස අසාධාරනව සිරගතකොට ගෙන සිටි දෙවන රාජසිංහ රජුගේ රාජධානිය ද ඇතුළත් වුණු අද ශ්‍රී ලංකාව ම ය! ලංකාවේ වැසියන් ම ය!!

මේ පීඩිතයා ගේ දුකෙන් පීඩකයා ලාභ ප්‍රයෝජන ලැබීම ගැන සම්භාව්‍ය ආකාරයේ උදාහරණයකි.

මේ සුවිශේෂී තත්වය ගැන කලින් හැදෑරූ අය වෙතොත් ඔවුන් එය යම් ආකාරයකට වර්ගීකරණය කොට, ලේඛනගත කොට, තිබෙනවා විය හැක. එවැනි කරුණු ගැන නොසොයා නොබලා ම, මම මේ තත්වය රොබට් නොක්ස් සංකීර්ණය ලෙස හඳුන්වන්නට කැමැත්තෙමි.

-රසිකොලොජිස්ට්

(image: http://daladamaligawa.org/78.htm)

Monday, 11 May 2015

ලක් එකේ හිලක් - I am trapped in an eternal vicious circle


මේ සටහන ලියවෙන්නේ සම්මුඛ පරීක්‍ෂණයක දී මගෙන් අසනු ලැබූ ප්‍රශ්න දෙකක් සම්බන්ධයෙන් මගේ සිතට ආ අදහසක් ඔබ සමග බෙදා ගැනීමේ අරමුණ ඇතුවයි.

අපේ ආයතනයේ ම අලුතින් ඇරඹෙන ව්‍යාපෘතියක එක් කළමනාකාර තනතුරක් සඳහා මා ඉදිරිපත් කළ අයැදුම් පත්‍රය අනුව මේ සම්මුඛ පරීක්‍ෂණයට මට කැඳවීමක් ලැබී තිබුණි. (ඕස්ට්‍රේලියාවේ රජයේ රැකියාවලට සහ පුද්ගලික අංශයේ රැකියාවලට අයැදුම් පත්‍ර යැවීම සුවීශේෂීව සාකච්ඡා කළ යුතු විෂයයක් නිසා ඒ ක්‍රියාවලිය ගැන විස්තර කීම පසුවට තබමි).

මේ ව්‍යාපෘතිය රජයේ කොටසක් වන අපේ ආයතනයට සහ ඊටත් වැඩියෙන් රජයේ පාලන වැඩ පිළිවෙළට ඉතා වැදගත් වේ යැයි සැලකෙන එකකි. එනිසා අප ආයතනයෙන් මෙන්ම අපේ ක්‍ෂේත්‍රයේ වෙනත් විවිධ ආයතනවලින් ද පිරිස් එකතු කර ගොඩනැගීම ඇරඹී තිබුණු මේ ව්‍යාපෘති කණ්ඩායමේ සංයුතිය නිසි පරිදි සකසා ගැනීම ගැන සමස්ත ව්‍යාපෘතිය භාරව කටයුතු කරන කළමනාකාරිනිය සෑහෙන උනන්දුවක් දක්වන බව සම්මුඛ පරීක්‍ෂණයෙන් ටික දිනකට පසුව ඇය මට පැවසූ කරුණුවලින් හොඳින් වැටහිණි.

සම්මුඛ පරීක්‍ෂණයේ දී අයැදුම්කරුවන්ගෙන් අසනු ලැබූ ප්‍රශ්න සැකසී තිබුණේ ඒ අවශ්‍යතාවය අනුව ය. එනම්, අයැදුම්කරුවන්ව වාචිකව පරීක්‍ෂා කෙරුණේ, අදාළ විෂය ක්‍ෂේත්‍රය ගැන නොව, ව්‍යාපෘති කළමනාකරණය සහ කණ්ඩායමක් ලෙස සේවය කිරීම ගැන ය.

එදා සම්මුඛ පරීක්‍ෂණයේ දී මගෙන් අසන ලද එක් ප්‍රශ්නයක් වූයේ මගේ වෘත්තීය ජීවිතයේ දී මා මගේ කළමනාකරුවෙකු සමග ඇතිවුණු ගැටුම්කාරී තත්වයක් විස්තර කර, එය විසඳා ගැනීම පිණිස මගේ පාර්ශවයෙන් මා ගත් ක්‍රියාමාර්ගය ද විස්තර කරන ලෙසයි.

මට යොමුවුණු අනිත් ප්‍රශ්නය වූයේ, මා යම් ව්‍යාපෘතියක කටයුතු කරන අතරතුර දී එහි දිශානතිය සහ අරමුුනුු විශාල වශයෙන් වෙනසකට භාජනය වී, ව්‍යාපෘතියේ විවිධ සැතපුම් කණු කරා ළඟා විය යුතු දිනයන් වඩාත් කෙටි වී, අර්බුදකාරී තත්වයක් ළඟා වූ අවස්ථාවක් විස්තර කර, එතැන දී මා කටයුතු කළ ආකාරය ද විස්තර කරන ලෙසයි.

විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු මා විවිධ ක්‍ෂේත්‍රයන් හි විවිධ රාජකාරී ගණනාවක් ම කර ඇති වුවද, ඒ ඒ තැන්වල විවිධාකාරයේ කළමනාකරුවන් යටතේ සේවය කර ඇති වුව ද, මගේ කළමනාකරුවෙකු සමග ඇති වූ ගැටුම්කාරී තත්වයක් මට එක්වරම සිතා ගත නොහැකි විය. අවංකවම මා ඒ බව පැවසූ විට, සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි අයෙකු වෙනත් ආකාරයකින් නැවත ඒ ප්‍රශ්නය මට යොමු කළේය. ඒ සමගම මගේ ප්‍රථම රැකියාවේ දී ඇති වුණු ඉතා සුළු සිදුවීමක් මගේ සිහියට නැගිණි. එය විස්තරාත්මකව පවසා, යාන්තමින් ඒ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට මට හැකිවිය.

ඊළඟ ප්‍රශ්නය යොමු වූ අවස්ථාවේ නම්, ඒ විමසුනු ආකාරයේ අර්බුදකාරී තත්වයකට මා පත්වූ අවස්ථාවක් මට කිසි සේත්ම සිතා ගත නොහැකි වුණි. අවස්ථානෝචිතව ක්‍රියාකළ මා කළේ, මා එවැනි දරුණු තත්වයට මුහුණ දී නොමැති බවත්, එසේ මුහුණ දිමට සිදුවූවා නම්, මා අනුගමනය කරන්නේ මේ මේ ආකාරයේ ක්‍රියාවලියක් බවත් පවසමින්, ටෙක්ස්ට් බුක් ආකාරයේ උත්තරයක් දීමයි.

මෙහි දී සිහිපත් කළ යුතු තවත් කාරණයක් වන්නේ එදා මා ඒ සම්මුඛ පරීක්‍ෂණයට පෙනී සිටියේ මේ ආකාරයේ ප්‍රශ්න බලාපොරොත්තුවෙන් නොවේ. පෙර කී පරිදි, මේ ප්‍රශ්නාවලිය සියලුම අපේක්‍ෂකයින්ට යොමු කර ඇත්තේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුවිය හැකි සර්වඅසුෂවාදී තත්වයන් ගැන සලකා බලා ය.

සම්මුඛ පරීක්‍ෂණයෙන් පසු ඒ ගැන කල්පනා කරද්දී මට වැටහී ගිය, අද මේ ලිපියට ලියවෙන්නට හේතු වූ කාරණාව මෙයයි.

අපි කරන රැකියාවලදී, අපේ කළමනාකරුවන් සමග ගැටුමක් ඇති නොවී කටයුතු කිරීමට ලැබීම ඉතා භාග්‍යයක් ලෙස අපි සලකමු. එසේම, අපේ කළමනාකාරීත්වය යටතේ සේවය කරන අයට සමග ද, ඒ ආකාරයේ ම, ඉතා හොඳ, ගැටුම්වලින් තොර සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට අපි හැකි සෑම උත්සායක් ම දරමු.

නමුත්, මේ සම්මුඛ පරීක්‍ෂණයේ දී මට වැටහුණේ, එය එලෙස නොවී, විවිධාකාරයේ ගැටුම් ඇති වුණේ නම්, ඒ ඒ තත්වයන් ඒ ඒ අවස්ථාවලදී අප්‍රසන්න ඒවා වීමට ඉඩ තිබුණද, වෘත්තිමය වශයෙන්, එවැනි අවස්ථාවලින් මට ලැබෙන්නට තිබුණු සුවිශේෂී පළපුරුද්ද මට අහිමි වී ගොස් ඇති බවයි.

ඒ විලසින් ම, මා මේ දක්වා සේවය කර ඇති විවිධ ව්‍යාපෘතිවලදී බරපතල අර්බුදකාරී තත්වයන් ඇති නොවීම මා සැලකූවේ භාග්‍යයක් ලෙසයි. නමුත්,ඇත්තටම සිදුවී ඇත්තේ එවැනි දරුණු තත්වයක දී ක්‍රියා කළ යුතු ආකාරය ගැන ප්‍රායෝගික අත්දැකීම් මට නොලැබී යාම පමණකි!

මෙය විකෘතියකි. විෂමාකාරයකි. වාසනාව අවාසනාවක් වීමකි.

එසේත් නැතිනම්, අප කුඩා කාලයේ පැවසූ පරිදි ලක් එකේ හිලකි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ තාවකාලික රැකියාව මට නොලැබුණි. (තාවකාලික කියා කීවේ තිත්ත මිදි නිසා නොව ව්‍යාපෘතියක් යනු නිශ්චිත කාලයකට පසු අවසාන වෙන ක්‍රියාවලියක් නිසාය).

නමුත්, ඒ නිසාම, මට පෙර කී ආකාරයේ සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමට තිබූ එක් මාර්ගයක් ද වැසී ගියේ ය.

එතැන් සිට මා තවදුරටත්, මගේ කළමනාකරු සමග ගැටුම් නැති, අර්බුදකාරී තත්වයන් සිහිනයකින් හෝ උදා නොවන, මේ වාසනාවන්ත සේවයේ ම නිරතව සිටිමි.

(http://remote-coach.com/the-vicious-circle/)

Friday, 8 May 2015

මැයි දින පෙළපාලි සහ රැස්වීම් පිළිබඳ තවත් එක් මතකයක් - m’aidez, m’aidez, m’aidez...!!!


මා ජීවිතයේ මුල් වරට මැයි දින පෙළපාලියක් නැරඹීමට ගිය ආකාරය ගැන විස්තරයක් පසුගිය ලිපියක සඳහන් කළෙමි.

එලෙස ඇරඹුණු මැයි දිනයේ පෙළපාලි සහ රැස්වීම් නැරඹීමට ඇති මගේ ආශාව, රටෙන් පිටව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන තුරු ම එක සේ පැවතුණි.

මැයි දිනයන් හි දී දිවා ආහාරයෙන් පසුව කොළඹ බලා යන මගේ අභිප්‍රාය වූයේ හැකි තරම් පෙළපාලි සංඛ්‍යාවකුත්, අඩු වශයෙන් එක රැස්වීමක් හෝ නැරඹීමටයි. කලින් දින පුවත්පතකින් ඒ ඒ පක්‍ෂවල පෙළපාලි ඇරඹෙන ස්ථානය සහ රැලි පැවැත්වෙන ස්ථාන සොයා ගන්නා මා කරන්නේ නැරඹීමට අවශ්‍යම පෙළපාලි කිහිපය බැලීමට සුදුසු ස්ථාන සොයා ගැනීමයි. එහි දී ප්‍රශස්ත (අවම) කරන්නට වෙර දරන ශ්‍රිතය වනුයේ එක පෙළපාලියක් මුල සිට නරඹා අනිත් පෙළපාලියක් මැද සිට හෝ නරඹන්නට යාමට පයින් ගමන් කළ යුතු දුරයි.

මෙලෙස මා නැරඹීමට ගිය මැයි දින පෙළපාලි සහ රැස්වීම් ගැන මට රසවත් මතකයයන් රැසක් පසුගිය මැයි දින සැමරුම ගැන ප්‍රවෘත්ති කියවන විට මගේ මතකයට ගලා ආවේ ය.

එයින්, පොදු රසාස්වාදයට නැංවිය හැකි සිදුවීම් කිහිපයක් හෝ රසිකොලොජියේ ලියා පළ කරන්නට සිතුවෙමි.

වසර 1991 දී පමණ මා නැරඹීමට ගිය "ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ" මැයි පෙළපාලියක් මගේ මතකයේ හොඳින් රැඳී ඇත. මේ පෙළපාලිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ වැල්ලවත්තේ කුරේ ක්‍රීඩාංගනයෙනි.

"ශ්‍රී ලංකා මහජන පක්‍ෂය" යනු, 1982 දී පැවති ජනාධිපතිවරණයෙන් පසු "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ" දෙවෙනි කැඩී යාම නිසා ඇතිවුණු දේශපාලන පක්‍ෂයයි.

මුලින්ම කැඩී ගියේ මෛත්‍රීපාල සේනානායක, එස්.කේ.කේ සූරියආරච්චි ඇතුළු පිරිසකි. ඔවුන් කලක් යූඇම්පීයට පක්‍ෂව හිඳ, 1982 ජනමත විචාරණයේ දී ජේ.ආර් ගේ වේදිකාවල පෙනී සිට, පසුව ආපසු මහ ගෙදරටම ආපසු ආහ.

ටී.බී. ඉලංගරත්න, වී.ටී.ජී. කරුණාරත්න, විජය සහ චන්ද්‍රිකා කුමාරතුංග, ඔසී අබේගුණසේකර, ෆීලික්ස් පෙරේරා ඇතුළු පිරිසක් සිරිලංකා එකෙන් කැඩී ගොස් "මහජන පක්‍ෂය" පිහිටවූයේ 1984 දී පමණ යැයි සිතමි. ඒ, නැක්සලයිට් ත්‍රස්ත්‍රවාදී චෝදනා ලැබ විජය කුමාරතුංග ඇතුළු පිරිසක් සිරබත් කා නිදහස් වීමෙන් මද කලකට අනතුරුවයි.

පක්‍ෂයේ උප සභාපති වැනි තනතුරු දැරූ විජය සහ චන්ද්‍රිකා දෙපල පසු කාලයක ජනවාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් සොයන්නට පද්මනාභ, උමා මහේෂ්වරන් ඇතුළු පිරිසක් මුණ ගැසෙන්නට මදුරාසියට ගිය පසු, පක්‍ෂයේ නාමික සභාපතිත්තවය දෑරූ ටීබී ඉලංගරත්න ඉල්ලා අස්විය. ඉන්පසු, මහජන පක්‍ෂයේ අසහාය නායකයා වූයේ විජය කුමාරතුංගයි.

ජාතිවාදීන් විසින් විජය මරා දැමීමෙන් පසු, චන්ද්‍රිකා ජීවිතාරක්‍ෂාව පතා එංගලන්තය බලා ගිය අතර මහජන පක්‍ෂයේ නායකයා ලෙස ලංකාවේ කටයුතු කළේ ඔසී අබේගුණවර්ධන නම් පුද්ගලයා යි. වයි.පී. සිල්වා නමැත්තෙක් ද යම් නිලයක සිටිය බවට මට මතකයක් ඇත.

මා මේ කියන මැයි පළමුවෙනිදා දිනයේ, වැල්ලවත්තේ කුරේ ක්‍රීඩාංගනයට ගියේ මහජන පක්‍ෂයේ පෙළපාලිය ආරම්භයේ දී ම එය නරඹා අවසාන කොට, ඊළඟට මගේ ලැයිස්තුවේ ඇති තැනට යාමට සිතාගෙනයි. මා එහි යන විට පෙළපාලියක් තව සෑහෙන වේලාවකට ඇරඹෙන තත්වයක් නොතිබුණි.

පිටියේ එක් පසෙක තිබූ පැවීලියනයේ දම් පැහැ වර්ණ කමිසයෙන් සැරසුණු පිරිසක් (දම් පැහැය මහජන පක්‍ෂය විසින් තෝරාගෙන තිබුණු වර්ණයයි) කෑ කෝ ගසමින් සිටින අයුරු දුටු මම ඒ දෙසට ගියෙමි. එහි දී මට දැක ගන්නට හැකි වුණේ, එක් පුද්ගලයෙකු වට කරගත් පිරිසක් සටන් පාඨ කියමින් ඔහු වටා නටන බවයි.

ඒ පුද්ගලයා ඔසී අබේගුණවර්ධන ලෙස මම හඳුණා ගතිමි. මා ඔහුව ඊට පෙර දැක තිබුණේ 1984 දී පමණ මහනුවර පැවති රැස්වීමක දී කතාවක් පවත්වද්දී ය.

ඔසී අබේගුණවර්ධනව වටකරගත් පිරිස කියමින් සිටි සටන් පාඨවල මට "වේසි" යන වචනය හොඳින් ඇසුණි. ඔවුන් ඒ වචනයෙන් අමතමින් සිටියේ කාවදැයි මට මොහොකින් පසක් විය.

ඇතිවුණු පිළිකුල සමගින් එතැනින් නික්මුණු මා ඊලඟට ගියේ දම් පාට ලෝකයෙන් රතුපාට ලෝකයක් කරා ය. ඒ කැම්බල් පිටියෙන් (හෝ එවැනි තැනකින්) ඇරඹී, හැව්ලොක් පිටිය දෙසට ගමන් කරමින් සිටි ලංකා සමසමාජ පක්‍ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය සහ තවත් පක්‍ෂ කිහිපයක ඒකාබද්ධ මැයි දින රැලිය නැරඹීමටයි.

එදා ඔසී අබේගුණසේකර සිනාවෙමින් බලා සිටියදී ඔහු වටකරගත් ඔහුගේ අනුගාමිකයින් පිරිස "වේසි වේසි" යනුවෙන් සටන් පාඨ කීමට හේතුව ටික දිනකදී හෙළි විය. ඔසී මහජන පක්‍ෂයේ නායකයා වී, ටික දිනකින් ම බස්නාහිර පළාත් සභාවේ ප්‍රතිපක්‍ෂ නායකයා ලෙස, එවකට ජනාධිපති ර. ප්‍රේමදාස ගේ තුරුළට ගිය අතර, මහජන පක්‍ෂයෙන් ඉවත් වූ, චන්ද්‍රිකා කුමාරතුංග සහ රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් විසින් "බහුජන නිදහස් පෙරමුණ" නමින් දේශපාලන පක්‍ෂයක් පිහිටුවන ලදී.

ඒ පක්‍ෂ සියල්ල ම තවමත් නාමිකව හෝ පවතී!

-රසිකොලොජිස්ට්

Wednesday, 6 May 2015

ලාබෙට ණය ගන්න ඕස්ට්‍රේලියාවට එන්න - Sale, sale, sale...!


ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව එසේත් නැතිනම් මධ්‍යම බැංකුව හැදින්වෙන්නේ සංචිත බැංකුව (Reserve Bank) යන නමිනුයි. අන් බොහෝ රටවල මහ බැංකුවල මෙන්ම, මේ සංචිත බැංකුවේත් මූලික කාර්යභාරය වෙන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සකසා, එය ක්‍රියාවට නංවා, එය පාලනය කිරීමයි.

ලංකාවේ මහ බැංකුව හා සසඳන විට ඕස්ට්‍රේලියාවේ සංචිත බැංකුවේ එක වෙනසක් වන්නේ, මෙය ඕස්ට්‍රේලියානු රජයෙන් ස්වාධීන වූ ආයතනයක් ලෙස කටයුතු කිරීමයි.

සංචිත බැංකුවේ අධිපති සහ පාලක මණ්ඩලයේ සියළුම සාමාජියකයින් පත් කරන්නේ රජයෙන් නිසා, එවැනි ආයතනයක් ස්වාධීනව කටයුතු කරන්නේ කෙසේද කියා අපට ප්‍රශ්ණයක් ඇති වෙන්න පුළුවන්. නමුත් විනිවිද භාවයකින් වැඩ කෙරෙන විට, තොරතුරු දැන ගැනීමේ අයිතිය මහජනතාවට ඇති විට සහ ජනමාධ්‍ය තම වැඩ කොටස නිසි පරිදි ඉටු කරන විට, එවැනි සැකයක් ඇති වෙන්නේ නෑ.

ඒ සමගම වැදගත් අනිත් කරුණ නම්, ආණ්ඩු වෙනස් වී ඒ පක්‍ෂයෙන් මේ පක්‍ෂයට බලය මාරු වූ පමණින්, සංචිත බැංකුවේ අධිපති හෝ භාරකාර මණ්ඩලය ඉවත් කර අලුතෙන් අය පත් කිරීමක් වෙන්නේ නෑ. විශේෂ හේතු නැති නම්, ඔවුන් සියළු දෙනාම තම සම්මත පත්වීම් කාලය වෙන වසර හතක හෝ වසර පහක කාලය ඒ තනතුර දරනවා. නමුත් ආණ්ඩු වෙනස් වීමක් නම් සෑම වසර තුනකට වරක් සිදුවිය හැකියි.

මේ ආකාරයට, සංචිත බැංකුව රටේ මූල්‍ය ප්‍රතිපත්තිය කළමනාකරණය කරන අතර රජයේ කාර්යභාරය වෙන්නේ රටේ ආදායම් ප්‍රතිපත්තිය කළමනාකරණයයි.

සංචිත බැංකුවේ අධිපති සහ පාලක මණ්ඩලය සෑම මසකම මුල් අඟහරුවාදා රැස්වී රටේ ආර්ථික තත්වය සමාලෝචනයක කරනවා. රටේ මූල්‍ය ප්‍රතිපත්තියේ වැදගත්ම සාධකය වන, පොලී අනුපාතිකය කොයි අගයක පවත්වාගෙන යා යුතුද යන කාරණය ඔවුන් තීරණය කරන්නේ මේ රැස්වීමේ දී යි.

ඊයේ දිවා කාලයේ රැස්වුණු සංචිත බැංකු මණ්ඩලය මගින් තීරණය කළා, ඔවුන් කෑෂ් රේට් යැයි හඳුන්වන, අන්තර් බැංකු එක් දින පොලී අනුපාතිකය, 2% දක්වා 0.25% කින් අඩු කිරීමට. මෙය වසර පනහක මෑත ඉතිහාසය සලකන විට පොලී අනුපාතිකය පත්වී ඇති අවම අගයයි. පසුගිය අවුරුදු විසි පහක කාලය ඇතුලත මේ පොලී අනුපාතිකය වෙනස් වුණු හැටි පහත වගුවෙන් බලාගත හැකියි.



ඊයේ සිදු කළ වෙනස්කමේ ප්‍රතිඵලයක් ලෙස, වාණිජ බැංකුවලින් මහජනතාවට ලබා දෙන නිවාස ණය ආදිය සඳහා අය කරන පොලිය ද 5.4% පමණ දක්වා අඩු වෙතැයි කියවෙනවා. නිවාස ණය ඇති අයට එය සැනසිලිදායක කරුණක් වුවත්, තමන් ගේ මුදල් ස්ථාවර තැන්පතුවල යොදවා ඒ පොලියෙන් වියදම් කරන විශ්‍රාමිකයින්ට නම් මේ සිදුවූ වෙනස දුකට කාරණයක් බව නිසැකයි.

මීට දශක දෙකකට පමණ පෙර කාලයකට පෙර, වෙත් කිරීමට වැදගත් දෙයක් නොතිබුණු නිසාදෝ, මා කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් සඳහා ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා. එහිදී මා අවබෝධකරගත් වැදගත්ම කාරණය වූණේ, ආර්ථික විද්‍යාව කියන්නේ නිශ්චිත විද්‍යාවක් නොවෙන බවත්, එය විචල්‍ය රාශියක් ඇති සංඛීර්ණ පද්ධතියක එක් එක් පාදයෙන් අල්ලා සොළවා බලන සදාකාලික අත්හදා බැලීමක් හෙවත් නැහැසුම්-සීහුම් ක්‍රමෝපායක් බවත් කියන කාරණායි.

දැන් මේ විදියට රටේ පොලී අනුපාතිකය අඩුකිරීමෙන් අපට බලාපොරොත්තු විය හැකි ප්‍රධානතම ප්‍රතිඵලය නම්, අඩු පොලියට ණය ලබා ගැනීමට ඇති හැකියාව තවත් වැඩි වෙන නිසා, රටේ ආයෝජන වැඩි වීමයි. එමගින් රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙනු ඇතැයි ඔවුන් අපේක්‍ෂා කරනවා. ආයෝජන වැඩිවීම තුලින්, රැකියා නියුක්තිය වැඩිවීමකුත් අපේක්‍ෂා කරනවා. විශේෂයෙන්ම, මේ රටේ ප්‍රධානම රැකියා වෙළඳපොලක් වන ඉඳිකිරීම් ක්‍ෂේත්‍රය මේ පොලී අනුපාතිකයට ඉතාමත් සංවේදී එකක්. ඉඳිකිරීම් දැනට පවතින තත්වයෙන් හෝ පවත්වාගෙන යාමට රජය පවා විවිධ වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කරනවා.

ඊලඟට, ඕස්ට්‍රේලියානු ඩොලරයේ වටිනාකම තවත් පහල බැසීමට මෙය උපකාරවේ යැයි සිතන්නට පුළුවනි. මෙය වැදගත් වෙන්නේ එමගින් ආනයනය අඩු වී, අපනයනය වැඩි වී, ගෙවීම් ශේෂය හොඳ අතට හැරීම රටේ එක් ආර්ථික අරමුණක් නිසයි. පසුගිය කාලයේ ඕස්ටේ‍ර්ලියානු ඩොලරයේ අගය ඉතා ඉහල ගොස් තිබුණා. ඕස්ටේ‍ර්ලියානු ඩොලරයකට ඇමරිකානු ඩොලරයකට වඩා ලැබුණා. එයින් සිදුවුණේ, රටේ ආර්ථිකයට අවාසියක් කියායි සැලකෙන්නේ. දැන් ඕස්ට්‍රේලියානු ඩොලරයක වටිනාකම ඇමරිකානු ශත 78 ක් පමණ දක්වා අඩුවෙලා.

නමුත් ආර්ථික විද්‍යාවේ ඇති අස්ථිරකම තමයි, මේ සේරම මා පෙ කී කරුණු ගැන ඉන් හාත්පසින්ම වෙනස් ආකාරයට තර්ක කරන්නට හැකිවීම. උදාහරණයක් හැටියට, පොලී අණුපාතිකය අඩුවීම නිසා, මුදල් ඉතිරි කිරීමට ඇති පෙළඹවීම අඩුවෙන නිසා පාරිභෝගික භාණ්ඩ සඳහා වන ඉල්ලුම වැඩි වී උද්ධමනය ඇතිවෙන්න ඉඩ තියෙනවා කියා සහ. එනිසා, විරැකියාව වැඩි වෙන්නටත් ඉඩ තියෙනවා කියා තර්ක කරන්නටත් පුළුවනි.

එක අදහසකට එකඟවෙන ආර්ථික විද්‍යාඥයින් දෙදෙනෙක් මේ ලොවේ නැති යැයි සරදමට පැවසෙන්නේ ඒ නිසයි.

අවසාන වශයෙන් කිව යුත්තේ, මේ මූල්‍ය ප්‍රතිපත්තියේ සිදු කරන වෙනස්කම් සියල්ල අවසාන විග්‍රහයේ දී පර්යේෂණ නිසා, ඒවා සිදු කෙරන්නේ ඉතා ප්‍රවේසමෙන් සහ සෙමින් බවයි. පොලී අනුපාතිකය සෑමවිටම පාහේ අඩු වැඩි කරන්නේ 0.25% කින් පමණයි. ඊට වඩා වැඩි ප්‍රමාණයකින් වෙනසක් කළ බවට මගේ මතකයේ ඇත්තේ එක්වරක් හෝ දෙවරක් ගැන පමණයි. ඒ මීට වසර හතකට පමණ පෙර ඇරඹුණු ලෝක ආර්ථික අර්බුදය කාලයේයි.

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ඕස්ටේ‍ර්ලියානු ෆෙඩරල් රජයේ අය-වැය යෝජනා මගින් රටේ ආර්ථිකය දියුණු කිරීමට අවශ්‍ය ආදායම් ප්‍රතිපත්තිවල වෙනස්කම් සාකච්ඡා කෙරෙනු ඇති.

-ශාස්ත්‍රපති රසිකොලොජිස්ට්

ප/ලි
පහත ඇත්තේ 08.05.2015 දින සිඩ්නි ඩේලි ටෙලිග්‍රාෆ් පුවත් පතේ පළ වූ කාටූනයකි.
(c) Daily Telegraph, NSW, Australia




(image: http://audnews.com.au/rbas-future-monetary-policies-may-prove-stagnant-1137)

Monday, 4 May 2015

වෙසක් දවසේ හොඳ බණ පදයක් දෙකක් ඇසුවෙමි - How to be a practicing Buddhist


මා සාමාන්‍යයෙන් පන්සලට යන්නේ අවුරුද්දට ම දවස් දෙකක් හෝ තුනකි. ඉන් එකක් පන්සලේ කඨින පින්කම දවසට අනිත් පන්සලේ හාමුදුරුවන්ට මේ පන්සලට වැඩැම්මවීමේ කර්තව්‍යය සඳහා ය. අනිත් එක් දිනයක් නම්, වෙසක් පෝය සැමරෙන ඉරිදා දවසයි.

වෙසක් පෝය සැමරෙන දවසට පන්සලට යෑම කාලයක් තිස්සේ අනිවාර්යෙන්ම කෙරුණේ, එදාට සිල් සමාදන්වන අය සහ පන්සලට එන සැදැහවතුන් සඳහා දිවා ආහාරයේ කොටසක් ලෙස පලතුරු සලාදයක් සෑදීම අපේ සිංහල පාසලේ දෙමව්පියන් විසින් කරගෙන ආ නිසා ය.

නමුත් දැන් මගේ පුතා සිංහල පාසලට යෑම නතර වී ඇති නිසා, ඒ පලතුරු දන්සලට සම්මාදම් වීම මගෙන් ගිලිහී ගොස් ඇත.

එ නිසාම, වෙසක් පෝය සැමරෙන දවසේ අනිවාර්යෙන් කළ පන්සල් යාම ද නැවතී ඇත.

ඊයේ වෙසක් පෝය දවසේ ද සිදුවුනේ එයයි.

මෙහි ඇති අභාග්‍ය සම්පන්න තත්වය නම්, වෙසක් පෝය කවදාක තිබුණා වුවද, සිනුවර අපේ පන්සල්වල වෙසක් පෝය සැමරෙන්නේ සෑම විටම ඉරිදා නිවාඩු දවසේ නිසා, මෙවර හරියටම වෙසක් පෝය ද ඉරිදාම යෙදී තිබුුණු දිනයේ ද, පන්සල් යෑම මග හැරී යාමයි.

ඒ කෙසේ වෙතත්, අද ගෙදරට වී නිවාඩු පාඩුවෙන් සිටි කාලයේ දෙවරක් ම යූ ටියුබය හරහා ධර්ම ශ්‍රවණය කිරීමට ඉඩ ලැබුණි. එයට හේතු වූයේ වෙසක් පෝ දිනයේ මගේ සිතේ පහල වූ ධම්ම සවන කාලෝ වර්ගයේ නුහුරු සර්ධාවක් නම් නොවේ. මෙය වත්පොතේ සැරිසරන විට නෙත ගැටුණු සබැඳි ඔස්සේ යෑමේ දී සිදුවුණු අහඹු සිදුවීම් ලෙස සැලකුව මනාය.

එක් බණක් දේශනා කලේ පර්ත් නගරවාසී බ්‍රහ්මවංශ හාමුදුරුවන් ය. එහි අගනා ඔවදන් රාශියක් ම තිබුණු බව කිව යුතුය.

https://youtu.be/GOPcbFhCEj0

එයින් මා සිත් ගත් එක් කතාවක් මෙසේය.

බ්‍රහ්මවංශ හාමුදුරුවන් ගිහි කල ගුරුවරයෙකු සේ වසරක පමණ කාලයක් සේවය කර ඇත. දිනක් වසරාවසානයේ පන්තියේ සිසුන් ගේ ප්‍රගති වාර්තා බෙදන මොහොතේ ඔහු නිරීක්‍ෂණය කර ඇත්තේ, පන්තියෙන් ලකුණු මට්ටමින් අන්තිමයා, තමන්ගේ වාර්තාව දැක ඉතා දුකෙන් සිටින බවයි.

එවකටත් බෞද්ධයෙකු ලෙස ජීවිතය ගෙවමින් සිටි ගිහි බ්‍රහ්මවංශ, ඒ සිසුවා සැනසීමට කියා ඇත්තේ මෙයයි.

"ස්වේච්ඡාවෙන් නොවුණද, ඔබ පන්තියේ තිස්වෙනියා වීමෙන් කර ඇත්තේ අනිත් සිසුන් විසි නම දෙනා, ඒ දුකෙන් මුදවා ගැනීමයි. මෙය ඇත්තටම බුද්ධත්වයට පත්වීමට පෙරුම් පුරණ බෝධිසත්වයෙකු කරන්නා වූ දෙයක්. එනිසා, දුක් නොවී සතුටු වෙන්න!"

සිසුවා ගේ දුක්මුසු මුහුණ ක්‍ෂණයකින් සිනාවෙන් පිරී ගියේ ලු!

බ්‍රහ්මවංශ හාමුදුරුවන් ගේ ඒ දේශනාව ඇසුවේ ඊයේ දිවා කාලයේ ය.

සවස් යාමය වන විට අද පන්සලේ වෙසක් සිරි නරඹන්නට යන්නට නොවෙන බව පෙනුණු නිසා පැය තුනක් පමණ කාලයක් සිත් සේ නිදා ගත්තෙමි.

රාත්‍රී ආහාරයෙන් පසු, වත්පොතෙන් ලැබුණු ඔත්තුවක් හරහා යමින්, බෞද්ධ භික්‍ෂුවක් විසින් කරනු ලැබූ තවත් එවැනි ම අගනා ධර්ම දේශනාවක් නැරඹීමට මට අවස්ථාව ලැබුණි. මෙහි මාතෘකාව වූයේ බුද්ධ ධර්මය වත්මන් සමාජ ප්‍රගමනය සඳහා ප්‍රායෝගිකව යොදාගන්නේ කෙලෙසද යන්නයි.

කරුණක් දෙකක් හැර, සමස්තයක් ලෙස ඒ වීඩීයෝව ම මා සිත් ගත් නිසා, එය ඔබ හා මෙලෙස බෙදා ගැනීමට සිතුවෙමි.

දේශකයා: පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද



සිත් පහන් වේවා!

-රසිකොලොජිසිට්

Saturday, 2 May 2015

මැයි දින පෙළපාලියක මතකය - Once upon a time on a May Day


මා මුලින්ම නැරඹීමට ගිය මැයි දින පෙළපාලිය ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද්දකි. තවමත් ඡන්දය පාවිච්චි නොකළ අයෙක් වුවද, වයස දහ අට පසුවී තිබූ නිසා, මේ ගමනට මට ගෙදරින් තහනමක් පැනවුනේ නැත.

ඒ වසරේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාලිය කිරුලපන පිටියෙන් ඇරඹී, රැස්වීම පැවැත්වෙන කොළඹ නගර සභා පිටිය දක්වා ගමන් කිරීමට නියමිත මාර්ගය පුවත් පතකින් සොයාගත් මම, මධ්‍යාහ්නයේ දී නිවසෙන් පිටවී ගනේමුල්ලට 218 බස් රථයෙන් පැමිණ, එතැනින් දුම්රියෙන් මරදානට ගොස්, නැවතත් 140 බස් රථයකින් කොල්ලුපිටියට ලඟාවී ලිබර්ටි සිනමා හල ඉදිරිපිටට පදිකවේදිකාවේ පෙළපාලිය එනතුරු හිටගෙන සිටි ආකාරය තවමත් මගේ මතකයේ ඇත.

නොසිතූ විලසින් එහිදී මට හමුවූයේ නෑකමින් මට සීයා කෙනෙකු වන, නමුත් මා හිතන විදියට ඒ වන විටත් වයස අවුරුදු පනහ නොඉක්ම වූ, අමරදාස ආතා ය. ඔහු මගේ මව් පාර්ශවයෙන් මිත්තණිය ගේ ඥාති සහෝදරයෙකි.

"පාමංකඩ ආච්චී නැතිවෙලා බව දන්නවා නේද? අම්මලා මල ගෙදර ගියාද?" ඔහු මගෙන් විමසා සිටියේය.

පාමංකඩ ආච්චී යනු මගේ මිත්තණිය ගේ බාල සොහොයුරියකි. ඇගේ මුල් නම මම තාමත් නොදනිමි. ඇය පාමංකඩ ආච්චී වූයේ විවාහයෙන් පසු ඔවුන් ගේ ගම වූ දේවමුල්ලෙන් නික්ම, සිය සැමියා සහ දියණිය සමග පාමංකඩ පදිංචි වී සිටිය නිසාය.

"නෑ, අපි දන්නේ නෑ. අම්මයි තාත්තයි ගෙදර!" මම කීවෙමි.

මේ දිනවල අපට ජංගම දුරකතන තබා නිවෙස්වල දුරකතනද නොතිබුණි. අවමංගල්‍යයන් ගැන ආරංචි ඥාතී මිත්‍රාදීන්ට දන්වන ලද්දේ විදුලි පණිවිඩ මගිනි. අන් අය මේ තොරතුරු දැන ගත්තේ එක්කෝ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ප්‍රචාරයෙන් අනතුරුව කියවන මරණ දැන්වීම් මගිනි, නැතහොත්, දිනමිණ, ඩේලි නිව්ස් වැනි දිනපතා පුවත්පත්වල පළ කෙරෙන මරණ දැන්වීම් මගිනි.

සිදුවී තිබුණේ, අම්මාට එවන ලද විදුලි පුවත පෙර දින නොලැබීමයි. අවමගුල පැවැත්වුනු මැයි පළමුවෙනිනදා තැපැල් නිවාඩු දිනයක් විය.

මේ වන විට වේලාව සවස දෙක පමණ විය. ආපසු නිවසට ගොස් අම්මාට පණිවිඩය දී ඇය සමග පාමංකඩ අවමංගල්‍යයට සහභාගී වීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි. මා කළ යුතුව තිබුණේ වහාම පාමංකඩ ආච්චී ගේ නිවස කරා යෑමයි.

මැයි දිනය නිසා මෙදින බස් ගමනාගමනය ද සිදුවූයේ තරමක් අකාර්යක්‍ෂම ලෙස බව මම දැන සිටියෙමි. ඒ කෙසේ වුවද, මා කොළඹට පැමිණි මූලික කර්තව්‍යය වූ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාලිය නැරඹීම මට අත හරින්නට සිදුවෙන බවනම් පෙනෙන්නට තිබුණි.

නමුත් රැවුල ද බේරා ගෙන කැඳ බොන්නට හැකි ක්‍රමයක් හොඳ වෙලාවට මෙන් මගේ සිහියට නැගුණි. එනම්, කොල්ලුපිටිය ලිබර්ටි හන්දියේ සිට පෙළපාලිය එන මාර්ගය ඔස්සේ කිරුළපන පැත්තට ගමන් කිරීමයි. ඒ සඳහා කෙතරම් කාලයක් ගත වේ දැයි සිතමින් ලත වෙන්නට වෙලාවක් ද නොතිබුණි.

"එහෙනම් මං මළගෙදර යනවා!" යැයි අමරදාස ආතාට පවසා මම ඩුප්ලිකේෂන් පාර ඔස්සේ දකුණු දිසාවට ගමන ඇරඹීමි!

මට මතක හැටියට බම්බලපිටිය ප්‍රදේශයේ දී පමණ මට පෙළපාලියේ ඉදිරිය මුණ ගැසුණි. එතැන් සිට මගේ ගමනේ වේගය තරමක් බාල වූයේ, ගමනට වඩා මුල්වරට දකින මැයි දින පෙළපාලිය හොඳින් නරඹන්නට මට අවශ්‍ය වූ නිසාය.

කොල්ලුපිටියේ සිට කිලෝමීටර් පහකටත් වඩා දුරක්, පැය එකහමාරක් පමණ ගත කරමින් පයින්ම ඇවිද ගෙන ගිය මට අවසාන කොටසේ දී ජනතා විමුක්ති පෙරමුණේ පෙළපාලිය මග හැර පාමංකඩ දෙසට දිවෙන පිළියන්දල පාර තෝරා ගන්නට වූයේ ඒවන විට කාලවේලාව අනුව අවසන් කටයුතු ඇරඹී ඇතැයි මට සැක පහළ වූ නිසාය.

අවසානයේ මා, පාමංකඩ ආච්චී ගේ නිවසට ලඟා වූයේ දහඩියෙන් තෙත බරිත වී ඇඟටම ඇලී ගිය සුදු කමිසයෙන් ද, දහඩිය නිසා මඩ තට්ටු වී තිබුණු දුවිලි පිරි සෙරෙප්පු කුට්ටමෙන් ද, තද කුසගින්නකින් ද යුක්තවයි.

"මං පෙළපාලිය ගිය පාර දිගේයි ආවේ. මාර සෙනගක් හිටියේ, කවදා හරි ජේවීපී එක බලයට එයි!" මම මළගෙදර දී හමු වූ පුංචි අම්මලා සමග පැවසුවෙමි.

"පෙළපාලි බැලුවට කමක් නෑ, උඹ කැම්පස් ගිහිල්ලා ජේවීපී හෙම කරන්න යන්න එපා!" අශෝකා පුංචි අම්මා මට අවවාද කළා ය.

-රසිකොලොජිස්ට

(image: http://www.sesatha.co.uk/Event_News/20140501_JVP_London_Mayday/index.htm)