Tuesday, 30 June 2015

ඉගලිටේරියන් යනු කුණුහරුපයක් ද? - What the hell is Egalitarianism


ඕස්ට්‍රේලියාවේ ද ලොක්කෝ සිටිති. සොක්කෝ ද සිටිති.

රටේ ලොක්කා ලෙස අග්‍රාණ්ඩුකාරයෙකු සිටියි. ආණ්ඩුවේ ලොක්කා ලෙස අගමැති සිටියි. ඇමති මණ්ඩලයක් සහ මන්ත්‍රීලා ද සිටිති. ඊට අමතරව ප්‍රාන්ත රජයේ මහ ඇමති ඇතුළු ඇමති මණ්ඩලය, මන්ත්‍රීලා ද ඇතුළු විශාල පිරිසක් සිටිති. ඒ සමගම අප වැනි මහජනතාව ද සිටිති.

ඔය තරම් ලොක්කන් සිටියත් ඒ කිසිවෙකුට සාමාන්‍ය ජනතාව හෝ මාධ්‍යකාරයින් හෝ තියා ඇම්බැට්ටයින්වත් එතුමා, උතුමා, ඔබතුමා කියා දෙකට නැමෙන ආකාරයක් මා පසුගිය විසි වසර තුළ නම් දැක නැත. ඕනෑම සොක්කෙක් ඕනෑම ලොක්කෙකු අමතන්නේ එක්කෝ මුල් නම කියාය, නැතිනම් "මචං" වැනි ආමන්ත්‍රණයක් වෙන "මේට්" (mate) කියා ය. ප්‍රසිද්ධ සභාවලදී සහ මාධ්‍ය වැඩසටහන්වලදී ඇතැම් අයව තනතුරු නාමයෙන් හඳුන්වා දෙන අවස්ථා කලාතුරකින් මා දැක ඇත.

හය දහසක් පමණ සේවය කරන අපේ ආයතනයේ ලොක්කා පීටර් ය. ඔහු යටතේ ඩිරෙක්ටර් ලා හය දෙනෙකි. අපේ ඩිරෙක්ටර් කෙන්ට වාර්තා කරන ජෙනරල් මැනේජර් ලා හය දෙනෙකි. එයි එක් අයෙකු වෙන මගේ ජෙනරල් මැනේජර් මයික්ට වාර්තා කරන කළමනාකරුවන් හත් දෙනෙකි. මගේ මැනේජර්වරිය වෙන ෂැරන් ඉන් එක් අයෙකි. ඇයට වාර්තා කරන කළමනාකරුවන් පිරිස මා ද ඇතුළුව පස් දෙනෙකි. ඉන් එක් අයෙකු වෙන පිලිප් යටතේ තවත් පිරිසක් සේවය කරති.

මේ කිසිවෙකුත් අනෙකෙකුට නමෙන් මිස වෙනත් ආකාරයකින් එනම් සර්, මැඩම්, මිස්ට, මිසිස් කියා, අමතන සිරිතක් නැත. නම නොදන්නේ නම් මේට් කියති.

මේ ඉගලිටේරියන් (egalitarian) සමාජයක ලක්‍ෂණයකි.

ඉගලිටේරියන් යනුවෙන් අදහස් කෙරෙන්නේ සමහිමිකම් සහිත හෙවත් සමානාත්මක යන්නයි.

මගේ අම්මා ගේ සම වයසේ සිටියත්, අපේ මිය ගිය ආච්චී ගේ ජීවිතයේ අවසන් සමයේ චර්යාව නිරූපණය කරන වාසුදේව නානායක්කාර යනු සමාන සමාජයක් වෙනුවෙන් පෙනී සිටි ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයෙකු බව මා ලියූ ලිපි දෙක තුනකම සඳහන් විය.

සමාජවාදී සමාජයකින් අපේක්‍ෂිත තරමට ම නො වූව ද, ඉගලිටේරියන් යන්නෙන් අදහස් කෙරෙන්නේ ද එක්තරා ආකාරයක සමාජ සමානත්වයකි. සමාන දේපල හිමිකම හෝ හිමි නැතිකම හැර අන් සියලුම කරුණුවලින් සමාජයේ සාමාජිකයින් එකිනෙකා හා සමානවීම ඉගලිටේරියන් යන්නෙන් හැඳින්වේ.

එනම්,
සේවයේ නිරතවෙන්නට ඇති සමාන අයිතිය,
ආර්ථික ක්‍රියාවලියට සමාන අයිතිය
සමාන සේවයට සමාන වැටුප්,
ජනවාර්ගික සහ ලිංගිකත්ව සමානත්වය,
නීතියේ සමානත්වය,
ආගමික සමානත්වය,
සමාන අධ්‍යාපන අවස්ථා,
තොරතුරු දැන ගැනීමේ සමානත්වය
වෛද්‍ය ප්‍රතිකාර සහ පහසුකම් සඳහා සමානත්වය
සමාන පුද්ගලික නිදහස
යනාදියයි.

සර්ව සම්පුර්ණ තත්වයට සෑහෙන දුරින් සිටියද, ඕස්ට්‍රේලියානු සමාජය ලෝකයේ අන් රටවලට සාපේක්‍ෂව ඉහළ මට්ටමේ ඉගෙලිටේරියානු සමාජයක් ලෙස සැළකිය හැකිය. (ආදායම අතින් නම් ඇති නැති පරතරය විශාල එකක් වේ!)

මේ ආකාරයේ සමාජයක් බිහිවීමට හේතුව ලෙස සැලකෙන්නේ අද පවතින ඕස්ට්‍රේලියාව ජනාවාස වූයේ බ්‍රිතාත්‍යයේ සිරකරුවන්ගෙන් වීමයි. ඔවුන් ගේ පාලකයින් විසින් මේ පිටුවහල්කරන ලද එළිමහන් සිරකරුවන්ට සහ බොහෝ විට ඔවුන්ගෙන් ජාතක වුණු දරුවන්ට ද සලකන ලද විෂම ක්‍රමය නිසා, ඔවුනොවුන් අතර දැඩි මිත්‍ර බැඳීමක් ඇති වී ඇත. ඒ බහුතර කණ්ඩායමේ අගයන් අද මුලු මහත් ඕස්ට්‍රේලියානු සමාජයටම ආරෝපණය වී ඇත.

ලාංකිකයින් වෙන අපටද, ආසියානු රටවලින් පැමිණෙන අයටද මේ සමානත්වය එක්වරම ග්‍රහණය කරගැනීම අසීරු බව කිව යුතුය. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මගේ පර්යේෂණ ප්‍රධානියාට මා මුලින්ම හමුවූ දින ඇමතුවේ "සර්" කියායි. "මට ඇන්ඩෲ කියන්න!" යැයි ඔහු කියූවද, මා අද වෙනතුරු ඔහුට "ඩොක්ටර් වර්ත්" කියා මිස වෙනත් අයුරකින් අමතා නැත.

මගේ බිරිඳ ඕස්ට්‍රේලියාවේ දී මුලින් ම සේවයට ගිය ස්ථානයේ ප්‍රධානියා වූ දොස්තර ඒබඩ් (සහ අන් සියලු දෙනා) එම රෝහලේ සනීපාරක්‍ෂක කම්කරුවන් ද සමග එකම මේසයේ දිවා ආහාරය ගනු දැක ඇය විස්මයට පත් වූවා ය.

වෙනත් සමාජයක හැදී වැඩුණු අපට එය පුදුමයක් වුවද, මේ ක්වොසි-ඉගලිටේරියන් සමාජයේ ම හැදී වැඩුණු අයෙකුට පුදුමයට කාරණයක් වෙනු ඇත්තේ එසේ නොවී විවිධ මට්ටමේ සේවකයින්ට වෙනත් ආකාරයක පහසුකම් සලසා තිබුණොත් සහ වෙනස් ආකායට සැලකුම් ලැබෙනවා දැකීමයි.

මගේ බිරිඳ ලංකාවේ දී අවසාන වතාවට සේවය කළ කොළඹ මහ රෝහලේ ප්‍රධානියා, එහි විදුලි සෝපාන නඩත්තු කරන්නාට ලබා දුන් ශිෂ්‍යත්වයක් සඳහා විදේශයකට ගොස් ඇති බව ඒ දිනවල පුවත් පතක දුටුවෙමි. ඒ නම් ඉගලිටේරියන් තත්වයක් නොවේ.

කොළඹ මහ රෝහලේ දොස්තරලා කෑම කන තැනට සනීපාරක්‍ෂක කම්කරුවන්ටද කෑම කන්නට ඉඩ දුන්නොත් ඇති විය හැකි තත්වය දැන ගතහොත් දොස්තර ඒබඩ් ද විස්මයට පත්වෙනු නොඅනුමානය!

-රසිකොලොජිස්ට්

(image: http://bullmoose1912.deviantart.com/art/Egalitarianism-Symbol-317582459)

Monday, 29 June 2015

රසික සර් නොහොත් සමානයින් අතර අසමානයින් ගැන කතාවක් - Sir Rasika (Day I was knighted!)


මා කලින් ලිපියක කියූ පරිදි, රජෙකු විසින් වහලුන් පාලනය කරන ආකාරයේ වැඩවසම් සමාජයකට අප කැඳවා ගෙන යෑම වෙනුවෙන් අද පෙනී සිටින හිටපු වාමාංශිකයින් සැම දෙනාම පාහේ, තරුණ කාලයේ දී නම් පෙනී සිට ඇත්තේ සමාන සමාජයක් හෙවත් සමසමාජයක් වෙනුවෙනි.

ඒ කියන සමසමාජය යනු ලොවේ සියලු දෙනා සමානයින් ලෙසින් ජීවත්වෙන, ලොවේ සියලු සම්පත් ද සැම දෙනා අතර සමානව බෙදී ඇති උත්තර සමාජයකි.

තමන් අපේක්‍ෂා කරන එවැනි සමානත්වයක් සැබැවින් ම ප්‍රායෝගිකව ගොඩ නගා ගන්නා තුරු, ඒ සමසමාජ ව්‍යාපාරයේ නිරත වුණු අය තමන් එකිනෙකා අමතන්නට යොදා ගත්තේ "සහෝදරයා" සහ "සහෝදරිය" යන වදන් ද්වයයිි. මේ "කොම්රේඩ්" යන ඉංගිරිසි වදන සිංහලට පෙරළා ගැනීමකි.

"කොම්රේඩ්" යන්නේ මුල් අරුත කෙසේ වෙතත්, එසේ සහෝදර-සහෝදරියන් යන වදන් යෙදා ගැනීමෙන් අදහස් කෙරුණේ, සමානත්වය බව අමුතුවෙන් කිව යුතු නැත.

එසේ වුවද, ඒ "සහෝදරයා", "සහෝදරිය" යනුවෙන් කළ ආමන්ත්‍රණය, අද සමාජයේ දක්නට ලැබෙන "අයියා, මල්ලී, අක්කී, නංගෝ" ඇමතුමට වඩා සම්පූර්ණයෙන් වෙනස් එකක් බව නම් විශේෂයෙන් කිව යුතු කරුණකි.

ජනතා විමුක්ති පෙරමුණ 2005 දී මහින්ද රාජපක්‍ෂ දිනවන්නට කටයුතු කරද්දී ඔවුන් මහින්ද රාජපක්‍ෂව ඇමතුවේ "මහින්ද අයියා" කියා බවද, ඊට සමාගාමීව යමින් මහින්ද ජවිපෙ නායකින්ව ඇමතුවේ "ටිල්වින් මල්ලී", "විමලසිරි මල්ලී" යනාදී වශයෙන් බව ද එකල පුවත්පත්වල ලියවී තිබුණි.

සහෝදරයා වෙනුවට "අයියා-මල්ලී" ආදේශ වීමත් සමගම සමානත්වය නැති වී යයි. එක පවුලේ වීම නිසා හෝ ඥාති සම්බන්ධයකින් හෝ සැබවින්ම "අයියා-මල්ලී" නොවෙන අය එකිනෙකා "අයියා-මල්ලී" කියා අමතා ගැනීම යනු "හයිරංකාර-බලු ගැත්තර" සංකල්පයකැයි යන්න මා දරන මතයයි.

එක හා සමාන මිනිසුන් එකිනෙකා ගෙන් අසමාන ලෙස සැලකෙන්නේ ද, අද සමාන මිනිසුන් හෙට අසමානයින් වෙන්නේ ද පුදුම සහගත අයුරිනි.

උදාහරණයක් ලෙස, 2005 ජනාධිපති ඡන්දය කලයේ සිටි "මහින්ද අයියා" සහ "විමලසිරි මල්ලී" ඡන්දෙන් පසුව ද තවමත් එකිනෙකා පෙර පරිදිම අමතනවා ඇතැයි සිතනවාද?

මා හිතන්නේ නම්, ඡන්දෙට පෙර "මහින්දයියා" ජනාධිපති වූ පසු සර් ලෙසට ද, ඡන්දෙට පෙර "විමලසිරි මල්ලී" පසුව "විමල්" හෝ "විමලේ" ලෙසට ද පරිවර්තනය වෙන්නට ඇති බවයි.

සමාජ ධුරාවලියේ සමාන නැති නම්, යම් අයෙකු ගේ නමින් ඇමතීම අකැප සේ ගැනේ. පහළ සිට ඉහළට ඇමතීමේ දී, සර් ලා, මහත්තයා ලා, මැඩම් ලා, නෝනා ලා බිහි වෙන්නේ එනිසා ය. ඉහළ සිට පහළට ඇමතීමේ දී ඒ නම් භාවිතා නොවී පුද්ගල නාමය ප්‍රයෝජනයට ගැනේ.

අපට වඩා කලින් පරම්පරාව ගැන සලකා බලන කල, සිනහවට කාරණයක් නම් විවාහ සංස්ථාවේ සමාන දෙපාර්ශවය වෙන සැමියා සහ බිරිඳ එකිනෙකා අමතා ගැනීමේ දී අසමාන වචන භාවිතා කිරීමයි. බොහෝ විට සිදුවෙන පරිදි සැමියා ලොක්කා නිසා ඔහු "මහත්තයා" වේ. මහත්තයා පෙරළා තම බිරිඳ අමතන්නේ "නෝනා" කියා නම් එයින් හැඟෙන්නේ සමානත්වයයි. නමුත්, එය එලෙස නොවී "මේ", "ඕයි", "ඇහුණද?" යනාදී වදන් භාවිතා වේ නම් එයින් යම් පීඩාකාරී සම්බන්ධයක් කියවේ.

මෙන්න දැන් අපූරු සිදුවීමක්.

මා උසස් පෙළ විභාගයෙන් පසු විශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේ මාස දා හතරකට පසුවය. ඒ වන විට, ඊළඟ වසරේ උසස් පෙළ විභාග ද අවසන් වී තිබුණි. විශ්ව විද්‍යාලයේ සිව් වසරක් සහ මාස දෙකක් ගත කළෙමි. එයින් පසු පුරා වසර පහක් වෘත්තීය කටයුතුවල ද, අධ්‍යාපන කටයුතුවල ද නිරත වුණු මම හයවෙනි වසරේ වෙනත් විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට බැඳුනෙමි.

මගේ මුල්ම දේශනය පවත්වන්නට ශාලාවට ගිය මට දක්නට ලැබුණේ මා සමග නමවෙනි ශ්‍රේණියේ සමාන්තර පන්තියක ඉගෙනුම ලැබූ සගයෙකු ඒ තුන්වෙනි වසරේ සිසුන් අතර සිටින බවයි!

සිදුවී තිබුණේ මෙයයි.

මගේ පාසල් සගයා මුල්වර උසස් පෙළ ලියා ඉන් පසු රැකියාවකට යොමු වී ඇත. විශ්ව විද්‍යාලයට පැමිණ ඇත්තේ ඒ අතර කාලයේ නැවත උසස් පෙළ විභාගය සමත් වූ පසුවයි. විශ්ව විද්‍යාල ද විටින් විට වසා තිබීම ද ඔහු අවුරුදු විසි අටක් වයසැති තෙවන වසර සිසුවෙකු කිරීමට දායක වී ඇත.

දේශනය අවසානයේ ශාලාවෙන් ඉවත දී ඔහු ඇමතූ "මම කොහොමද උපුල් මාව මතකද? අපි නමේ පන්තිවල එකට හිටියා නේද? මං හිටියේ ඒ පන්තියේ උපුල් ඩී පන්තියේ නේද?" කියා ඇසුවෙමි.

"මතකයි, සර්, මතකයි!" ඔහු පැවසීය.

මගෙන් ඔහුට ඇමතුම එදා "මචං" හෝ "උඹ" යන්නෙන් අද "උපුල්" බවට පෙරළී තිබුණි. උපුල්ගෙන් මට ඇමතුම එදා "මචං" හෝ "උඹ" යන්නෙන් "සර්" ලෙසට වෙනස් වී තිබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
උපුල් ගේ නිදහසට කරුණු ලෙස කියනවා නම්, එදා දේශනයෙන් විනාඩි කිහියකට පසුව සිදු වූ ඒ කතා බහේදී ඇතිවූ තරමක තිගැස්සීමක් නිසා සර් යැයි කියවුණද, ඉන් පසුව උපුල්ට මට සර් කියා අමතන්නට සිදුවුණේ නැත!

(image: https://www.facebook.com/SriLankanoldtvads)

Sunday, 28 June 2015

"හයිරංකාර - බලු ගැත්තර" සංස්කෘතියක ලක්‍ෂණයක්! - Comradery or Decadency?


මේ ලිපියෙන් කියවෙන කරුණ ගැන කලින් අසා ඇති, තම අදහස් දක්වා ඇති, අය වෙතොත්: සමාවෙන්න, අද නොවේ අපි හෙට හමුවෙමු.

පසුගිය දිනක මට වත්පොත හරහා පණිවිඩයක් ලැබුණි. එහි සිංහල පරිවර්තනයක් මෙසේය.
රසික අයියේ
අයියාට මාව මතකද?
මං අහවල් බැච් එකේ හිටියේ.
මට නම් අයියාව මතකයි.
ඉතිං කොහොමද තොරතුරු?
සී යූ ලේටර්.
මීට අහවලා
මා මේ මල්ලී ගැන විස්තර වත්පොතෙන් ම සොයා බැලූ විට ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උගත් මැවිසුරුවෙක් බව පෙනුණි. නමුත් අවාසනාවකට මෙන් ඔහු ගේ නම සහ ඡායාරූප දුටු මට මා දන්නා කියන කිසිවෙකු සිහි නොවුණි.

ඒ මගේ ප්‍රශ්නයක් නිසා නොව කාලය මැවූ අරුමය නිසාය. කාලයත් සමග මතකය අමතක වී යයි. නළල පුළුල් වෙයි. කෙස් තුනී වෙයි. හරහට උස යයි.

ඒ කෙසේ වෙතත්, මේ කියන අහවලා එදා අපේ කාලයේ පේරාදෙණියේ සිටියෙකු දැයි මට ඇතිවුණේ සැකයකි.

ඒ සැකයට හේතුව නම් අහවලා මා අමතා තිබුණේ මගේ නමින් නොව "අයියේ" කියා වීමයි!

අයියා-මල්ලී (හෝ අක්කා-නංගී) කියා එකිනෙකා ඇමතීමේ විහිළුව අපේ කාලයේ විශ්ව විද්‍යාලයේ නොතිබුණු එකකි. එය පසු කාලයක සිදුවුණු පරිහානියේ ලක්ෂණයක් බව මම දැන් දනිමි.

අපේ කාලයේ නම් ජ්‍යෙෂ්ඨයින් සහ කණිෂ්ඨයින් වෙනසක් නොමැතිව එකිනෙකා ඇමතූවේ බොහෝ විට මුල් නමිනි. සමහර විට වාසගමෙනි. නැතිනම් ඒ නම්වල කෙටි යෙදුමකිනි.

විශ්ව විද්‍යාලයේ වසර දෙක තුනක් අඩු වැඩිව ගතකර තිබීම යමෙකු අයියෙකු හෝ මල්ලියෙකු කරවන හේතුවක් නොවීය.

මා පේරාදෙණියේ කල් ගත කළ වසර හතරයි මාස දෙක තුළ කිසිවෙකුට අයියා හෝ මල්ලී කියා අමතා නැත. ඒ සමගම මා කිසිම සහෝදර ශිෂ්‍යාවකට අක්කා හෝ නංගී කියා අමතා ද නැත.

විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨත්වය මත ම අයියා හෝ මල්ලී කීමේ විහිළුව තවත් රසවත් කරන කාරණයක් නම් උසස් පෙළ තුන්වන වරට සමත් වී විශ්ව විද්‍යාලයට එන්නන් ද සිටින නිසා ය.

මගේ එක සගයෙකු ගේ වැඩිමහල් සොහොයුරා විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණේ අපට වසරකට පසුව ය. තවත් සගයෙකු ගේ වැඩිමහල් සොහොයුරා විශ්ව විද්‍යාලයට පැමිණියේ අප ඉන් නික්ම යාමට මාසයකට පමණ පෙර, එනම්, වසර හතරකට පසුවය.

ඒ අපේ මල්ලිලා ද?
අප ඔවුන් ගේ අයියලා ද?

මා සිතන්නේ විශ්ව විද්‍යාලයක හෝ එවැනි උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්නා සිසුන් මේ ආකාරයට අයියා-මල්ලී-අක්කා-නංගී සමාජයක් බිහිකරගෙන ජීවත් වීම සමාජ පරිහානියේ ලක්ෂණයක් බවයි.

ඒ සමගම මට මෙලෙස ද සිතේ.
  • ඔබට කණිෂ්ඨ අය ඔබේ නමෙන් නොව, අයියා කියා ඔබ ඇමතිය යුතු යැයි ඔබ සිතන්නේ නම් එය හයිරංකාර මානසිකත්වයකි.
  • ඔබට වඩා ජ්‍යෙෂ්ඨ අයෙකුට ඔහු ගේ නමින් නොව අයියා යැයි අමතන්නට ඔබට සිතේ නම් එය බලු ගැත්තර මානසිකත්වයකි.
අවුලකින් තොරව අපට එකිනෙකා නම කියා ඇමතිය හැකි වේ නම්, සමාජයක් ලෙස අද අප මුහුණ දෙන සමහර ප්‍රශ්න විසඳෙනු ඇතැයි සිතමි.

ඒ මක් නිසා ද යත්, සමානයින් ගේ සමාජයක අන්ධ භක්තිය, ලොක්කන් ඇදහීම, පුද්ගල වන්දනාව, ලොකුකම, දීනකම නැති බැවිණි!

-රසිකොලොජිස්ට්

(image: http://www.imdb.com/media/rm3291975168/tt0096320)

Friday, 26 June 2015

වාසුදේව නානායක්කාර කබලේ පිච්චෙන තවත් රොටි ගෙඩියක් - From Socialism to Feudalism


පැරණි සිංහල චිත්‍රපටයක් වන "සැඩ සුළං" හි එන තැබෑරුමක දර්ශනයක දී ගැයෙන "පදමට පොල්තෙල් ගහපල්ලා!" යන ගීතයේ පද කිහිපයක් මෙසේය.

ලොකුකම්, පොඩිකම් තැබෑරුමේ නෑ,
අපි කවුරුත් සමසමාජයයි
ජුංඩල, බණ්ඩල, මන්තිරි හාමුල
ගහන්නෙ මෙතෙන්දී පොල් තෙල් ම යි!

මෙහි "පොල්තෙල්" යනුවෙන් රචකයා (ආනන්ද සමරකෝන්) අදහස් කළේ "කෂියා" විශේෂයක් ද නැතිනම් ඒ කාලයේ සීල් අරක්කු නමින් හැඳින්වුණු නීතිගත මධ්‍යාසාර වර්ගයට යෙදෙන සුවිශේෂී නමක්දැයි නොදනිමි.

ඒ කෙසේ වෙතත් මට මේ ගී පදයේ ඇති වැදගත් කරුණ නම් සමසමාජය යන පදය සහ ජුන්ඩලා සහ බණ්ඩලා පිරිස මන්තිරි හාමුලාට සමාන බව කීමයි.

එක එල්ලේ අරුත වැටහෙන සමසමාජය (=සමාන සමාජය) යන්න සමාජ දේශපාලන වශයෙන් උත්තර දේශයක් ගැන කෙරෙන ප්‍රාර්ථනාවක් බව අපි දනිමු. ඒ යුටෝපියානු සංකල්පයට ඇති විරෝධය කෙසේ වෙතත්, සමසමාජය යන්න, ලංකාවේ දේශපාලන පක්‍ෂයක නම වූ නිසා ද, ඊට අමතරව, ඒ ගිතයේ වෙනත් පදවලින් කෙලින්ම කියවෙන ලංකාවේ දේශපාලන පක්‍ෂ පිළිබඳ උපහාසාත්මක කරුණු නිසා ද, ජුන්ඩලා සහ බණ්ඩලා සමග මන්තිරි හාමුලා සමාන කළ එම ගීතය ඒ කාලයේ රජයේ බලපෑම මත යම්කිසි ආකාරයක තාවකාලික හෝ තහනමකට ලක් වූ බව ද කියවේ.

අද සමසමාජ පක්‍ෂයේ ඉතිරිව සිටිනා නායකයින්ගෙන් එක් අයෙකු වෙන කූප්‍රකට වාසුදේව නානායක්කාර ගැන මා කලකට පෙර අසා ඇති, එසේම සමහර විට නගරබද මිථ්‍යාවක් වීමට ද ඉඩ ඇති, එක් කතන්දරයක් මෙසේය.
දිනයක් වාසුදේව නානායක්කාර ගමේ ප්‍රභූවරයෙකු මුණ ගැසීමට ඔහුගේ නිවසට ගියේය.

"කෝ අහවල් මහත්තයා ඉන්නවා ද ගෙදර?" වාසුදේව නිවසේ ගේට්ටුව අසල සිටි සේවකයාගෙන් විමසා ඇත.

සේවකයා එවිට කියා ඇත්තේ "අද හාමුදුරවෝ වලව්වේ නැත!" කියා ය.

"එහෙනම් හාමුදුරුවෝ ආවම කියපං බුදු හාමුදුරුවෝ ඇවිත් ගියාය කියලා" යැයි වාසුදේව සේවකයාට පවසා ඇත.
වලව්වේ හාමුලා හෙවත් හාමුදුරුවරුන් යනු වැඩවසම් යුගයේ නෂ්ටාවශේෂයන් වේ. වැඩවසම් ක්‍රමය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් සහිත සමාජයක් බිහිවුණද, ඒ සමාජයේත් සෑහෙන කාලයක් යනතුරු පරණ වලව්වේ හාමුදුරුවරු මෙන්ම අලුතින් බිහිවුණු නඩුකාර හාමුදුරුවරුන් ද සිටියහ.

ඉහත සරදම කරමින් එදා වාසුදේව ප්‍රතික්‍ෂේප කළේ ඒ හිරිකිත දනවන තත්වයයි. ඔහු එදා සැබවින්ම පෙනී සිටියේ සමාජයේ සාමාජිකයින් සැවොම එක හා සමානයින් ලෙස සැලකෙන සමසමාජයක් වෙනුවෙනි.

නමුත් තත්වය තවමත් වෙනස් වී නැත. ඒ ධුරාවලි සමාජ නාරවලේ දිගටම ගිලෙමින් වහලුන් ලෙස ම සිටින්නට අපේ ඇත්තන් ගේ ඇති ආශාව මහින්ද රාජපක්‍ෂට රජතුමා යැයි නම් පටබැඳීමෙන් ම මනාව ඔප්පු විය.

එසේම නමින් සමසමාජයක් සඳහා පෙනී සිටිය ද, එම දේශපාලන පක්‍ෂය ගැන සිතනවාත් සමගම අද සිහියට එන කාලෝ ෆොන්සේකා, තිස්ස විතාරණ මෙන් ම වාසුදේව නානායක්කාර වැන්නන් ලංකාව යළි වැඩවසම් ක්‍රමයකට ගෙන යන්නට තැත දරන ජෝකරයන් බවට පත් වී තිබීම නම් දෛවයේ කුරිරු සරදමක් ම ය.

සමහර විට ඔවුන් පෙනී සිටින මේ ට්‍රොට්ස්කිවාදී සමසමාජය යනු අර ලෝ ප්‍රකට "ඇනිමල් ෆාම්" කෘතියේ දී ජෝර්ජ් ඕවල් විසින් ට්‍රොට්ස්කිවාදීන් ගේ පසමිතුරන් වූ ස්ටාලින්වාදීන්ට සරදම් කරන්නට උපයෝගී කරගත් "සියලු දෙනාම සමාන එහෙත් සමහර දෙනා අන් අයට වඩා වැඩියෙන් සමාන" වර්ගයේ සමසමාජයක් විය යුතුය.

වාසුදේව නානායක්කාර යනු මගේ මවටත් වඩා මාස කිහිපයක් වැඩිමහලු පුද්ගලයෙකි.

මගේ අම්මා නම් මේ දිනවල කරන්නේ පසළොස්වක පෝය දිනවල පනසලේ සිල්ගනිමින්, දිනපතා බණ පිරිත් අසමින් (එසේ ම ටෙලිනාටක ද නරඹමින්), වන්දනා ගමන්වල නිරත වෙමින්, කෙදිනක හෝ අනිවාර්යෙන් එළැඹෙන බව හොඳින් දන්නා පරලොව සඳහා සූදානම් වීමයි.

වයසෙන් අඩු වැඩි වශයෙන් සමාන වුවද, වාසුදේව නානායක්කාර, මගේ අම්මා අද තම ජිවිතය ගෙන ආකාරය අනුගමනය කළ යුතු යැයි මම කිසිසේත් ම නොකියමි. මක්නිසාද යත්, මට අම්මා ගේ වයස එළඹුණු දිනයක පන්සල් යෑමට හෝ බණ ඇසීමට හෝ අදහසක් මා තුළ නොමැති හෙයිනි.

නමුත් මට ඒ සමාන කිරීම නොකර සිටීමට නොහැකි විය!

-රසිකොලොජිස්ට්

(image: http://newsfirst.lk/english/wp-content/uploads/2015/02/sama-samaja-summit.jpg)

Wednesday, 24 June 2015

වාසුදේව නානායක්කාර ගැන කුණුහරුප නැති කතාවක් - Vasudeva Nanayakkara, 1982 presidential election and left-of-the-centre alliances


හේමකුමාර හෝ යසපාලිත යන නම්වලට වඩා වාසුදේව යන පුද්ගල නාමයේ සෑහෙන වෙනසක් ඇත. මුල් නම් යුගල නිසැකව ම සිංහල යැයි පැවසිය හැකි වුවද වාසුදේව යනු කෙළින් ම ඉන්දියානු නමකි.

පුරාණ හින්දු ග්‍රන්ථවලට අනුව වාසුදේව යනු යමුනා ගංතෙර ළපලු ලතා යහනේ රාධා සමග පෙම් කෙළිමින් සිටි ක්‍රිෂ්ණා ගේ පියා ය. වාසු යන පදයේ තේරුම හොඳ යන්න ලු! ඒ අනුව වාසුදේව හොඳ දෙවියෙකි. මෙකී ඉන්දියානු වාසුදේව පප්පා ජීවත්ව සිටි කාලය තුළ කිසිදු බොරුවක් නො කියා සත්‍යවාදීව ජීවත් වූ අයෙකු ලෙස භගවත් ගීතය වැනි ග්‍රන්ථවල සඳහන් වී ඇති බව කියවේ.

දේවාරූඩයක් ඇති නිසා වාසුදේව යන්න ඉන්දියාවේ හින්දු භක්තිකයින් අතර ජනප්‍රිය නමක් විය යුතුය. එහෙත්, උප්පැන්නයේ ළමයා ගේ නම යන කොටුවේ වාසුදේව යන්න සඳහන් වී ඇති අය ලංකාවේ නම් එතරම් සුලභ නැති බව කිව හැක.

ඒ සමගම, අනාගතයේ වාසුදේව නාමය උප්පැන්නයක ළමයා ගේ නම කොටුවේ ලියවෙන්නට ඇති ඉඩකඩ ද අවම බව මගේ අදහසයි.

මා දන්නා වාසුදේවලා ඉන්නේ දෙදෙනෙකු පමණි. ඉන් එක් අයෙක් කොළඹ විශ්ව විද්‍යාලයේ උගත් ඇම්බීබීඇස් උපාධිධාරියෙකි. ඔහු අද කොතැන සිටී දැයි මම නොදනිමි.

මා දන්නා දෙවෙනි වාසුදේව ළමයා ගැන නම් මෙය කියවන ඔබ ද හොඳින් දනී. ඒ අද ලංකාවේ දී වාසුදේව කියා කියූ පමණින් සිහියට එන හිටපු විප්ලවවාදී, හිටපු ඇමති, පැහුණු වට්ටක්කා ගෙඩි නාමලාභී ගරු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මිස වෙනකෙකු නොවේ.

මම වාසුදේව නානායක්කාරව ජීවිතයේ දෙවරක් දැක ඇත්තෙමි.

දෙවෙනි වරට මා ඔහු දුටුවේ නවසමසමාජ පක්‍ෂය නියෝජනය කරමින් 1982 ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ගනේමුල්ලේ දුම්රිය ස්ථානය අසලදී මහජන රැළියක් ඇමතු අවස්ථාවේ දී ය.

එදා ඔහු ඉදිරිපත් කළ කරුණු, ඔහු ගේ චතුර කථිකත්වය කෙතරම් මා සිත ඇද බැඳ ගත්තේ ද යත්, වාසුදේව නානායක්කාරට මගේ දෙවෙනි මනාපයවත් දෙන්නට මට සිතුණි.

ඇත්තට ම කියනවා නම්, ඊට පසු දිනයක මා නැරඹීමට ගිය ලංකා සමසමාජ පක්‍ෂයේ ජනාධිපතිවරණ රැස්වීමේ දී අපේක්‍ෂක කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා කළ කතාව ඇසුවායින් පසුව ද මට එවැනිම සිතුවිල්ලක්, එනම් කොල්වින්ට මගේ තෙවන මනාපය දිය යුතුය කියා, ඇතිවුණි. මට එසේ සිතුණේ මගේ අවංක කැමැත්ත හෙවත් මනාපය ඒ ආකාරයේ නිසා මිස ඒ ජනාධිපති ඡන්දයේ දී මනාප ක්‍රමය උපයෝගී වෙන ආකාරය ගැන නිවැරදි වැටහීමක් ඇතුව නොවේ.

නමුත් එදා කොල්වින් ආර් ද සිල්වා පැහැදිලිව ම කියා සිටියේ තමන්ට අවශ්‍ය පළමු මනාපය මිස දෙවන තුන්වන මනාප නොවන බවත්, තමාට පළමු මනාපය දී දෙවෙනි මනාපය "කන්ට්‍රැක්ටර්" කොබ්බෑකඩුවට දිය යුතු බවත්ය.

ඒ කතාව ඇසූ මට මෙකී මනාප ක්‍රමය ගැන කරුණු වැටහුණු අතර ඒ අවබෝධයේ ප්‍රතිඵලය වූයේ කොල්වින් ආර් ද සිල්වාට තමන්ට හිමිවෙන්නට තිබුණු මගේ තුන්වෙනි මනාපය අහිමි වූවා පමණක් නොව, වාසුදේව නානායක්කාරට තමන්ට හිමිවීමට නියමිතව තිබුණු මගේ දෙවන මනාපය ද අහිමි වීමයි!

මා එදා මගේ මංගල ඡන්දය ලකුණු කළේ මනාප කිසිවක් සහිතව නොව කෙළින්ම කතිරයකිනි!

මුල්වරට මා වාසුදේව නානායක්කාරව දුටුවේ දෙවනවර ඔහුව දකින්නට වසර දෙකකට පමණ පෙර පැවැත්වුණු ඥාතියෙකු ගේ විවාහ මංගලෝසවයක දී ය. ඔහු එහි පැමිණ සිටියේ මනමාල මහතා ගේ මිතුරෙකු ලෙසින් යැයි සිතමි. එදා විවාහයට එක් සාක්‍ෂිකරුවෙකු ලෙස අත්සන් කළේ ද එවකට වසර කිහිපයකට කලින් පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලුතින් පිහිටුවනු ලැබූ නවසමසමාජ පක්‍ෂයේ අපේක්‍ෂකයෙකු ලෙස පරාජය පත්වී සිටි හිටපු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ය.

වාසුදේව සමග ඒ විවාහයේ අනෙක් සාක්‍ෂිකරුවා වූයේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සරත් මුත්තෙට්ටුවේගම ය. ඔහු මා කලින් සඳහන් කළ ලංකා සමසමාජ පක්‍ෂයේ නායක කොල්වින් ආර් ද සිල්වා ගේ දියණිය මනෝරි ගේ ස්වාමි පුරුෂයා විය.

නව සමසමාජ පක්‍ෂය යනු ලංකා සමසමාජ පක්‍ෂයෙන් කැඩී ගිය ඇමීබා පක්‍ෂයකි. එසේම ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ මුල් තිබුණේ ද ලංකා සමසමාජ පක්‍ෂයේ ය. වසර 1970 සිට බලයේ සිටි සමගි පෙරමුණ ආණ්ඩුවේ මේ පක්‍ෂ දෙක සභාගයක සිටිය නමුත් මේ මංගල්‍යය පැවැත්වෙන කාලය වෙන විට ඒ සභාගයන් කැඩී ගොස් තිබුණි. ඒ සභාග බිඳී යාමට මූලිකම හේතු වූයේ පක්‍ෂ අතර තිබූ මතවාදී නොගැලපීම් යැයි සිතමි.

අවාසනාවට මෙන් මේ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සරත් මුත්තෙට්ටුවේගම සහ නව සමසමාජ පක්‍ෂයේ වාසුදේව නානායක්කාර සාක්‍ෂියට අත්සන් කළ විවාහයට සිදුවුණේ ද ඒ සමගි පෙරමුණ සභාගයට සිදු වූ දෙය ම ය.

විවාහය මාස තුනකින් පමණ කැඩී ගියේ ය!

ඒ දිනවල මතවාදී කරුණු මත වාමාංශික සභාග මෙන් ම වාමාංශික දේශපාලන පක්‍ෂ ද කැඩී ගිය ද, 1988 දී පමණ ඇරඹුණු මේ සමසමාජ-කොමියුනිස්ට් වාමාංශික පක්‍ෂ යුගලේ විවාහය අද දක්වාම පැවතෙනු දැකිය හැකිය.

එයට හේතුව අද ඔවුන් ගේ මතවාදය වී ඇත්තේ මාක්ස්-ලෙනින්-ට්‍රොට්ස්කි වාදය නොව බඩගෝස්තරවාදය නිසා විය හැකි බව සිතේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
වාසුදේව නානායක්කාර සහ අපේ මියගිය ආච්චී ගැන මා ලියූ ලිපිය කියවා තිබේද?
http://rasikalogy.blogspot.com.au/2015/05/verbal-incontinence.html

(Image: https://scontent.xx.fbcdn.net/hphotos-xaf1/t31.0-8/11402281_10153398163973988_6214977310146290409_o.jpg)

Monday, 22 June 2015

පෙට්‍රල් මිල වැඩි වීමට නියමිතයි - Petrol prices are on the rise!


ජනවාරි මාසයේ ලංකාවේ සිදුවුණු දේශපාලන පෙරළියෙන් පසුව රජයෙන් පාලනය වෙන පෙට්‍රල් මිල පහත හෙළීමට අලුත් ආණ්ඩු තීරණය කළේය. එය බොහෝ තැන්වල හඳුන්වා දී තිබුණේ හෝ එසේ නොමැති නම්, අඩු වශයෙන් මහජනතාව එය තේරුම් ගත්තේ, එය ජීවන වියදම අඩු කිරීමට නව රජයෙන් ලබා දුන් සහනයක් ලෙසයි.

නමුත් සත්‍යය වූයේ කලකට ඉහත ඉහළ ගොස් තිබුණු බොරතෙල් මිල ඒ වන විට සීඝ්‍රයෙන් පහළ බැස තිබීමයි. මා ලියා පළ කළ "පෙට්‍රල් මිල සහ මහා බොරුව" නම් ලිපියේ මේ ගැන සඳහන් කළෙමි.

මා එහි දී දැක්වූ පරිදි, මාස දෙක තුනක් තිස්සේ අඩු වෙමින් තිබුණු සිඩ්නි තදාසන්න ප්‍රදේශවල පෙට්‍රල් ලීටරයක මිල ඒ වන විට ඩොලරයකටත් වඩා, එනම් රුපියල් සීයකටත් වඩා, අඩු වී තිබුණි. ඊට වසරට පෙර කාලයේ මා ලීටරයකට ඩොලර් 1.60 ක් ගෙවූ අවස්ථාද තිබුණි.


January-2015

ලංකාවේ පෙට්‍රල් මිල අඩු කළ අවස්ථාවේ දී රජයෙන් ප්‍රකාශ වුණේ පසු කලෙක පෙට්‍රල් සඳහා මිල සුත්‍රයක් ඉදිරිපත් කරන බවකි.

මට වැටහුණු පරිදි මේ මිල සූත්‍රය යන්නෙන් ඔවුන් අදහස් කරන්නට ඇත්තේ ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල සහ ලංකාවේ පෙට්‍රල් ලීටරයක මිල අතර සම්බන්ධය දැක්වෙන සරල සමීකරණයකි.

එය අර කලකට ඉහත ඉසෙඩ් අගයන් සමූහ දෙකක් එකට එකතු කර එක ඉසෙඩ් අගයන් සමූහයක් සැකසීම සඳහා භාවිතා කළා යැයි විභාග කොමා විසින් පැවසුණු ආකාරයේ සංකීර්ණ එකක් වීමට ඇති ඉඩකඩ අඩු බව මගේ අදහසයි.

එසේ නමුත්, මාස හයක් පමණ ගත වී ගොස් ඇති වුවද, රජයෙන් මේ දක්වා ඉදිරිපත් කළ මිල සූත්‍රයක් නම් නැත!

මේ අතර කාලයේ සිදු වී ඇත්තේ නැවතත් ලෝක බොරතෙල් මිල වැඩි වීමයි. එය එසේ මෙසේ වැඩිවීමක් නොවේ. වසර විසිපහක කාලයක් තුළ සිදුවූ වේගවත්ම වැඩි වීමයි. ජනවාරි මැද තිබූ වසර හයක් තුළ වාර්තා වූ අවම මිල වූ බොරතෙල් බැරලයකට ඩොලර් 52 සිට, ජුනි මුල් සතිය වෙන විට බොරතෙල් බැරලයකට ඩොලර් 86 දක්වා වැඩිවී ඇත.

ඒ අතර ඕස්ට්‍රේලියානු ඩොලරයේ මිල ද ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව පහතට වැටීම නිසා, මේ වන විට මා ජීවත් වෙන ප්‍රදේශයේ පෙට්‍රල් ලිටරයක මිල ජනවාරියට වඩා 50% කින් පමණ (එනම් ශත 99 සිට ඩොලර් 1.47 දක්වා) වැඩි වී ඇත.
27 May 201519 June 2015

ඕස්ට්‍රේලියාව බොරතෙල් නිපදවන සහ තවමත් තෙල් පිරිපහදුව ද කරන රටක් වුවත්, මෙරට පෙට්‍රල් මිල තීරණය වෙන්නේ සිංගප්පූරු තෙල් වෙළඳ පොළේ බොරතෙල් මිල අනුව බව කලින් සඳහන් කළ ලිපියේ ලියූවෙමි.

ඒ සමගම සතියේ දවස් හතක කාල පරාසය තුළ අපේ ප්‍රදේශයේ පෙට්‍රල් ලීටරයක පාරිභෝගික මිල ශත පහළොවක් වැනි විශාල ප්‍රමාණයකින් වෙනස් විය හැකි බවද ඒ ලිපියේ සඳහන් කළෙමි.
16 June 201519 June 2015

පසුගිය සය මසක කාලය තුළ ලෝක බොරතෙල් මිල ඉහළ යාමට අමතරව, ලංකාවේ රුපියලේ අගයට සාපේක්‍ෂව ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ ගොස් ඇති නිසා, මේ වෙන විට රජයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ අනෙකුත් පිරිපහදු කළ පෙට්‍රල් ආනයනය කර බෙදා හරින සමාගම්වලට ජනවාරියේ නියම කළ මිලටම පෙට්‍රල් විකිණීම තුළින් විශාල අලාභයක් සිදුවෙමින් පවතින බව පෙනේ.

එසේ වුවද, යෝජිත මහ ඡන්දය පවත්වා අවසාන වෙනතුරු පෙට්‍රල් මිලෙහි වෙනසක් කිරීමට ආණ්ඩුව එඩිතර වේ යැයි සිතිය නොහැක.

පෙර කී මිල සූත්‍රය ඒ දිනවලම ඉදිරිපත් කර තිබුණා නම්, ආණ්ඩුවට මිල සංශෝධනය කර, දැන් සිදුවෙන පාඩුව අවම කරගෙන, තම ජාම් බේරා ගැනීමට ද ඉඩ තිබුණි!

-රසිකොලොජිස්ට්

(image: http://www.abc.net.au/news/2015-06-15/petrol-prices-face-largest-quarterly-rise-in-25-years/6547448)

Saturday, 20 June 2015

අයෑම් එ බුඩිස්ට්, අයි ඩොන්ට් ඩ්‍රින්ක්, තෑන්ක් යූ - I am a Buddhist, I don't drink, Thank you


තැන:මිතුරෙකු ගේ නිවසක්
දිනය:සති අන්තය
කාලය:සන්ධ්‍යා යාමය, සවස අටට පමණ
අවස්ථාව:  සුහද සාදයක්

මිතුරු සමාගම තරම් වෙනත් සුහද සමාගමක් ලොවෙත් නැත!

ඕනෑම සමාජයක මිතුරු මිතුරියන් එක් වී විනෝද වීම සාමාන්‍ය දෙයකි. විශේෂයෙන් ඕස්ට්‍රේලියාව වැනි රටවල ජීවත්වෙන අයගෙන් අප වැනි බොහෝ දෙනෙකුට තමන් ගේ ඥාතීන් වෙනුවට දුක සැප බෙදා ගැනුමට ඉන්නේ ද මිතුරන් ය.

තමන් ගේ, තම දරුවන් ගේ උපන් දින හෝ අනෙකුත් විශේෂ අවස්ථා සමරන්නට මිතුරන්ට ද ආරාධනා කර සාද පවත්වන්නන් බොහෝ ය. එසේම, දුර පළාතක වෙසෙන දන්නා හඳුනන අයෙකු තම ප්‍රදේශයට පැමිණි විට, අන්‍යෝන්‍ය මිතුරන් කැඳවා සාදයක් පැවැත්වීම ද සාමාන්‍ය දෙයකි. ඊට අමතරව, කිසිදු නිශ්චිත හේතුවක් නොමැතිව වුවද, විවින් විට තම මිතුරන් නිවසට කැඳවා බතින්-බුලතින් සංග්‍ර කරන්නනෝ ද බොහෝ සිටිති.

ඔතන බතින් යැයි කීම බොහෝ අවස්ථාවල දී නිවරැදි වුව ද, බුලතින් කියා කීම නම් කිසිසේත් ම නිවැරදි නොවේ. බුලත් කොළ නම් බේතකට හේතකට අවශ්‍ය වූවහොත් සොයා ගත හැකි වුණත්, බුලත් කන්නන් නම් දැන් අපේ වයසේ අය අතර විරලය. එනිසා බුලතින් සංග්‍රහ මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ නම් ඇත්තේ ම නැතැයි සිතේ.

ඒ වෙනුවට, ඒ යුග පදයේ දෙවන කොටස විය යුත්තේ "සින්දු වතුර" යන්නයි. එනම්, මෙහි නිවරැදි යෙදුම "බතින්-සින්දු වතුරෙන්" සංග්‍රහ කිරීම වේ.

"සින්දු වතුර" කියන්නේ කුමකට ද යන්නත්, ඒ නම යෙදීමට හේතුව කුමක්දැයි යන්නත් දන්නෝ දනිති!

ඇතැම් සාද වලදී ඇතැමුන්ට මේ "සින්දු වතුර" වෙනුවට "වාද වතුර" හෝ "පණ්ඩිත වතුර" හෝ පෙවී තිබෙනු දක්නට ලැබේ. එය වෙනම විස්තරාත්මකව ලිවිය යුතු එක් කතාවකට නොව කතා මාලාවකට සුදුසු ප්‍රස්තූතයකි.

ඒ කෙසේ වෙතත්, මිතුරු සමාගම පිණිස පවත්වනු ලබන සුහද සාදයක දී "සින්දු වතුරෙන්" සංග්‍රහ කිරීම සාමාන්‍ය සිරිතයි.

මා සහභාගී වී ඇති, අප විසින් සංවිධානය කර ඇති සාදවලදී "සින්දු වතුර" සම්බන්ධයෙන් මා නිරීක්‍ෂණය කර ඇති දේ මෙසේය.

සාමාන්‍යයෙන් "සින්දු වතුර" පානය කරන ලාංකික කාන්තා පක්‍ෂය ඉතා සුළුතරයකි. ඔවුන් ප්‍රිය කරන්නේ සුදු පැහැති වයින් වැනි "සින්දු වතුර" වර්ගවලටයි. මේවා ප්‍රණීත රසයකින් යුක්තය. පලතුරු යුෂ මුසු කළ සැර අඩු වොඩ්කා හෝ අඩුතරමින් බියර් හෝ බොන ලාංකික කාන්තාවන් මා දැක නැති තරම් ය. සමහර විට මට මුණ ගැසෙන කාන්තාවන් ගේ වයසට අඩු වයස් සීමාවල සිටිනවා විය හැක.

පිරිමින් බොහෝ දෙනා ප්‍රිය කරන්නේ විවිධ විස්කි වර්ග පානයටයි. නැතිනම්, වොඩ්කා වැනි වෙනත් සැර වැඩි "සින්දු වතුර" වර්ග ද, අවස්ථානුකූලව රතු (හෝ ඇතැම් විට සුදු) වයින් බොන්නෝ ද සිටිති. බියර් නම් බොහෝ විට අලෙවි වෙන්නේ දිවා කාලයේ පැවැත්වෙන සාදවල දී ය. නමුත් දිවා රෑ නොබලා බියර් බොන්නෝ ද සුළුතරයක් හෝ සිටිති.

මා මෙතෙක් සහභාගී වී ඇති ශ්‍රී ලාංකික මිතුරු සමාගම් සුහද සාදවලට සහභාගී වූ අයගෙන් අති බහුතරය බෞද්ධාගමිකයින් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඒ ආකාරයේම තවත් වැදගත් කාරණයක් වනුයේ බුදු දහමේ ඉගැන්වීම් සහ "සින්දු වතුර" පානය අතර ඇති නොගැලපීමයි.

අපේ බුද්ධාගම්කාරත්වය මැනීම සඳහා මා ඉදිරිපත් කළ පන්සිල් අනුසාරයෙන් සැකසුණු මිනුමට අනුවට සින්දු වතුර බී සුරාමේරය සිල් පදය කැඩුුණු පසු වුවද, 80% ක බුද්ධාගම්කාරත්වයක් පවත්වා ගත හැකි වේ. එය බෙෘද්ධයෙකු ලෙස විශිෂ්ට සම්මානලාභී, පළමු පන්තියේ සාමාර්ථයකි.

බුද්ධාගම්කාරයෙකු "සින්දු වතුර" බීමේ ලොකු වරදක් නැති බව එයින් පෙනේ.

දැන් නැවත කතාවට යමු.

මේ කියන සාදයට ආරාධනා ලැබ සිටියේ අඹු-සැමියන් ජෝඩු කිහිප දෙනෙකු පමණි. මුලින් නොදන්නා අය එකිනෙකාට හඳුන්වා දීමත් සමග සතුටු සාමීචියකින් සාදය ඇරඹුණි.

ඊළඟට සිදුවූයේ කෙටි කෑම සහ "සින්දු වතුර" පානය කිරීමේ අවස්ථාවයි. මුලින්ම කාන්තාවන්ට සැලකිය යුතුය යන සුද්දා ගේ රීතිය අනුව, කාන්තා පක්‍ෂය සඳහා සුදු පැහැති වයින් පිරවූ දිදාල රැගෙන එන ලදී.

එක් කාන්තාවක් තමන් වෙත දිගු කෙරුණු මීවිත පිළිගත්තාය.

ඊළඟට සිටි ඇත්තී එක්වරම කීවේ මෙයයි.

"අයෑම් එ බුඩිස්ට්, අයි ඩොන්ට් ඩ්‍රින්ක් තෑන්ක් යූ!"

ඇය තමන් වෙත දිගු කෙරුණු මීවිත පිළි නොගත්තා ය.

ඒ සිද්ධිය ගැන ඇසූ විට මගේ සිතේ විශාල ප්‍රශ්නයක් පැන නැගිණි. ඒ කිසිසේත් ම දෙවෙනි කාන්තාව වයින් නො බීම ගැන නම් නොවේ. එය අගය කළ යුත්තකි. ප්‍රශංසනීය කාරණයකි.

ප්‍රශ්නය ඇති වූයේ ඈ කළ ඒ ප්‍රකාශයේ ය.

එක්කෝ "නෝ තෑන්ක් යූ!" හෝ නැතිනම්, "අයි ඩොන්ට් ඩ්‍රින්ක්, තෑන්ක් යූ!" හෝ නොකියා එයට "අයෑම් එ බුඩිස්ට්" යනුවෙන් කෑල්ලක් එකතු කිරීමෙන් ඇය කළේ යම් අධිපතිවාදයක්, පුරාජේරුවක්, ලොකුකමක් ප්‍රදර්ශනය කිරීමක් බව මගේ අදහසයි.

මා එසේ කියන්නට හේතුව නම්, එතැන සිටි අනෙක් අය අති බහුතරය ද "බුඩිස්ට්" ලා වීමයි.

බුද්ධාගම්කාරත්වයක් නිසා යමෙකු රහමෙර පානය නොකරන්නේ නම්, එය සැමට ම පොදු තහනමක් විය යුතුය. එසේ තහනමක් ඇතැයි අන් බුද්ධාගම්කාරයින් සලකන්නේ නැති තැනකදී, එය ඉස්මතු කිරීමෙන් ලැබෙන්නේ පොඩි අධිපතිවාදී කික් එකක් මිස අන් කවර අමුතු පිනක් ද?

මේ ආකාරයටම, හරක් මස් නොකන එග්ටේරියන් ලා සහ චිකන්ටේරියන් ලා මෙන්ම කිසිදු මාශයක් නො බුදින වෙජිටේරියන් ලා බොහෝ දෙනෙකු තමන් ගේ රුචිකත්වය අනුව තමන් ගේ පාඩුවේ තම එළවළු ජීවිත ගෙවූවද, ඒ අස්සේ, ඉතා ටික දෙනෙකු පමණක් මාංශ භක්‍ෂකයින්ට හැකි සෑම විටෙකම ඇනුම් පද කියනු මා දැක ඇත.

ඉහත කී කාන්තාව ගේ අයෑම් එ බුඩිස්ට්, අයි ඩෝන්ට් ඩ්‍රින්ක් යන ප්‍රකාශය ද ඒ ආකාරයේ අධිපතිවාදී, මං සුදනා මොඩලයේ අන් අය හෙළා දකින ආකාරයේ ඇනුම් පදයක් බව කිව හැක.

ඇයට ඇති එකම සමාවට කාරණය නම්, බෞද්ධ නොවන පිරිස් සහභාගී වෙන උත්සව අවස්ථාවලදී වයින් යනාදිය පිරිනැමෙන විට ඒවා ප්‍රතික්‍ෂේප කිරීමේදී එයට හේතුව වැඩිදුර විස්තර කිරීම සඳහා ඇය නිතර යොදාගන්නට ඇති අයෑම් එ බුඩිස්ට් යන කියුම එදා ඇය සිටියේ අති බහුතර බෞද්ධයින් පිරිසක් මැද බව අමතකව ඇගේ කටින් නොදැනුවත්වම වාගේ පිටවුණාය යන්නයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අයෑම් එ බ්ලොගර්, අයි ඩෝන්ට් ලයි!

ප/ප/ලි:
මට බුද්ධාගම්කාරත්වය ගැන ලිපි කිහිපයක්ම ලියන්ට වුනේ මේ කතාව කියන්නටයි. කලින් ලිපි නොකියවූ අයට මෙන්න විස්තර.

1. අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? How to be a Buddhist?
http://rasikalogy.blogspot.com/2015/06/how-to-be-buddhist.html

2. උප්පැන්නේ බුද්ධාගම? - Religion has nothing to do with your birth!
http://rasikalogy.blogspot.com/2015/06/blog-post_16.html

3. ඔබේ බුද්ධාගම්කාරත්වය මැනිය හැකිද? - Measuring Buddhistness
http://rasikalogy.blogspot.com/2015/06/measuring-buddhistness.html

(http://techgnotic.deviantart.com/journal/Abstract-Art-495660574)

Thursday, 18 June 2015

ඔබේ බුද්ධාගම්කාරත්වය මැනිය හැකිද? - Measuring Buddhistness


මුලින්ම, කෝකටත් කියා, ඩිස්ක්ලේමර් සටහනක් යොදා මේ ලිපිය අරඹමි.


මේ ලිපියේ අන්තර්ගතය සිංහලබුද්ධාගම්කාරයින්ට අදාළ නැති අතර ඔවුන්ට සිදුවිය හැකි අසාත්මිකතාවයන්ට සහ අජීර්ණයන්ට වග කියනු නොලැබේ.

බුද්ධාගම්කාරත්වය යනු සිංහල භාෂාවට අලුත් වචනයකි. ඔබ එය මුලින්ම දකින්නේ මේ බ්ලොගයේ දී ය. එය යමෙකු කොයි තරම් බෞද්ධයෙකු දැයි පවසන මිනුමක් ලෙස සැලකිය හැකිය.

තව දින කිහිපයකින් මේ බ්ලොගයේ පළ වීමට නියමිත ලිපියකට නිමිත්ත සැපයූ සිදුවීම ගැන විශ්ලේෂණාත්මකව සලකා බලමින් සිටි මොහොතක මගේ සිතට ආ පැණයක් නම් මා කොයි තරම් බුද්ධාගම්කාරයෙකු ද යන්නයි.

එනම්, මගේ බුද්ධාගම්කාරත්වය මිනුමක් ලෙසින් ප්‍රකාශ කළහොත් කොපමණක් ද?

මා කුඩා කාලයේ සිටම අඩු වශයෙන් පෝය දිනයට සහ පන්සලේ පින්කම් කාලයට, එනම් සතියක් පමණ දිනපතා ධර්ම දේශනා ඇති කාලයේ, පන්සල් ගියේ අපේ අම්මා පන්සල් ගිය නිසා ය.

අපේ තාත්තා නම් පන්සලට යනු මා දැක ඇත්තේ එක වරක් පමණි. ඒ විස්තරය මම අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? යන ලිපියේ ලිව්වෙමි.

මා එහි දී කියා සිටියේ පන්සල් යෑම නො යෑම අනුව බුද්ධාගම්කාරත්වය කොපමණ දැයි තීරණය කළ නොහැකි බවයි.

එසේ නම්, අපේ බුද්ධාගම්කාරත්වය මැනිය හැක්කේ කෙසේද?

යමෙකු බෞද්ධයෙක් වෙන්නේ තිසරණ සරණ යෑමෙනි. නමුත් බෞද්ධ දිවි පෙවතක් සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදීම මෙන්ම ඊටත් වඩා පන්සිල් රැකීම අත්‍යවශ්‍ය බව සාමාන්‍ය පිළිගැනීමයි.

පන්සිල් පද පහකි. ඒවායින් එකක් අනෙකට වඩා වැඩියෙන් වැදගත් බවට සඳහනක් මා අසා දැක නොමැති නිසා, පන්සිල් පහම එකිනෙක හා සමාන වටිනාකමක් ඇතැයි සැලකිය හැකිය.

මේ අනුව බුද්ධාගම්කාරත්වය මැනීමේ ක්‍රමවේදය සඳහා උපයෝගී කරගත හැකි හොඳ ක්‍රමවේදයක් පන්සිල් රැකීම අනුසාරයෙන් සාදා ගත හැකි බව පෙනේ.

පන්සිල් පහම රකින්නෙකු ගේ බුද්ධාගම්කාරත්වය 100% ක් ලෙස අර්ථ දැක්විය හැකිය.

බුද්ධාගම්කාරයෙකු මත්පැන් පානය කරන විට සුරාමේරය මජ්ජපමා දට්ඨානා සීලය කැඩේ. එනම්, පන්සිල්වලින් 20% ක් කැඩේ. පසුදා උදෑසන නැවත පන්සිල් ගැනීමෙන් වැඩේ ෂේප් කර ගත හැකි අතර, ඒ නැති වුණත් ඔබේ බුද්ධාගම්කාරත්වය තව දුරටත් 80% ක ඉහළ මට්ටමක පවත්වාගත හැක.

මට උසස් පෙළ විභාගයේ දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 277 ක් පමණි. එනම් 69% කි. එය මගේ අවශ්‍යතාවයට ඕනෑවටත් වඩා වැඩි විය.

විශ්ව විද්‍යාලයේ අවසන් පරීක්‍ෂණයේ දී මට ලැබී තිබුණේ ඒ සාමාර්ථ තුනක් සහ බී සාමාර්ථ තුනකි. එනම්, 70% පමණය. එදා 80% ක් ලබා ගන්නට හැකි වුණි නම්, මට දෙවන ඉහළ මට්ටමේ හෙවත් සෙකන්ඩ් අපර් එකකින් සෑහීමකට පත් වී සිටීම වෙනුවට පළමු පන්තියේ සාමාර්ථයක් ම ලබා ගැනීමට තිබුණි.

මේ අනුව සලකා බලන කල, පන්සිල්වලින් 80%ක් රකින්නා විශිෂ්ට සම්මානලාභී, පළමු පන්ති සාමාර්ථයක් ලැබෙන බුද්ධාගම්කාරයෙකු බව පෙනේ.

බස් එක මගදී කැඩී, මිතුරෙකු මුණ ගැසී, පොඩි අඩියක් ගසා නිවසට ආ පසු, ඒ ගැන බිරිඳට බොරු ගොතා කීවොත් සුරාමේරයට අමතරව මුසාවාදා සීලය ද කැඩෙන හෙයින් බුද්ධාගම්කාරත්වය 60% බසී.

එය අපේ කාලයේ නම්, කොළඹ දිස්ත්‍රික්කයෙන් විද්‍යා පීඨයට යාමට හැකිවෙන තරමේ ඉහළ ලකුණු මට්ටමකි. විශ්ව විද්‍යාලයේ දී 60% ක් ලබා ගතහොත් ඔබට දෙවන පහළ පෙළ සාමාර්ථයක් හිමි වෙනු ඇත.

ඔබේ බුද්ධාගම්කාරත්වය 50% අඩුනම් ඔබ තවදුරටත් කිසිසේත් ම බුද්ධාගම්කාරයෙකු යැයි සැලකිය නො හැකිය.

උදාහරණයක් ලෙස, තිතට මත ලබමින්, ජනතා මුදල් හොරකම් කරමින්, ඒ ගැන ජනතාවටම බොරු කියමින් ජීවත්වෙන දේශපාලුවන් අද කෙතරම් උදේ හවා පන්සල් ගිය ද, ඔවුන් ගේ බුද්ධාගම්කාරත්වය 40% ක් පමණි. එනම් ඔවුන් මේ මිනුමට අනුව අසමත් ය.

මේ අනුව බලන කල, බුද්ධාගම්කාරත්වය මැනීමට පන්සිල් සම්බන්ධ මේ අති සරල ප්‍රතිශත මිනුම සුදුසු බව පෙනේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පන්සිල් පහේ වටිනාකම් එකිකෙට වෙනස් නම්, එනම් සුරාමේරයේ යෙදීමෙන් ලැබෙන පව, ප්‍රාණඝාතයෙන් සිදුවෙන පවට වඩා සාපේක්‍ෂව අඩුනම්, බුද්ධාගම්කාරත්වයේ මිනුම අදාළ පරිදි ඒ ඒ ප්‍රතිශතයන් යොදා පහසුවෙන් වෙනස් කර ගත හැක.

(image: http://www.markhorrell.com/travel/nepal/lumbini/images/precepts.jpg)

Tuesday, 16 June 2015

උප්පැන්නේ බුද්ධාගම? - Religion has nothing to do with your birth!


උප්පැන්නේ කොටුවක ලියා තිබෙන නිසා තමන් බුද්ධාගමේ ය කියා කීපදෙනෙකු ම සඳහන් කර තිබෙනු මා සිංහල බ්ලොග් ලෝකයේ විවිධ තැන්වල දී ද වත්පොතේ දී ද දැක ඇත.

ඒ විකාරය ලියූ අය තමන් ගේ උප්පැන්න සහතික ගැන කිසිදු අදහසක් නැති අය බව පෙනේ.

ඕනෑම පුද්ගලයෙකු ගේ ආගම යනු ඒ පුද්ගලයා ගේ පුද්ගලික අදහස් ගොන්නක් නිරූපණය කරන්නකි. එය පවතින අච්චුවකට අනිවාර්යෙන් අයිති විය යුතු නැති අතර ආගම යනු උපතේ දී නොලැබෙන, පසුව නිසි අවබෝධයෙන් යුතුව තම තමන් විසින් ම සාක්ෂාත් කරගත යුතු දෙයකි.

උප්පැන්න සහතිකයේ ළමයා ගේ නම, පියා ගේ නම, මවගේ නම, පියාගේ තත්වය නොහොත් වෘත්තිය, මුත්තා ලංකාවේ උපන්නේ ද යන වග ආදී විවිධ කරුණු සටහන් වී ඇතත්, ළමයා ගේ ආගම යනුවෙන් කොටුවක් නැත්තේ ඒ නිසා ය.

උප්පැන්නේ සඳහන් කරුණුවලින් අපට පසුව වෙනස් කරගත හැකිවන්නේ ළමයා ගේ නම පමණි. සූරියආරච්චි ගේ කරුණාවතී ලෙස උප්පැන්නය අනුව නම ලැබී තිබුණු මගේ නැන්දා පසු කලෙක එය කරුණා සූරියආරච්චි ලෙස වෙනස් කර ගත්තාය. මේ බව මට හොඳින් මතකයේ ඇත්තේ ඒ සම්බන්ධ කටයුත්තක් සඳහා ඇය රජයේ කාර්්‍යාලයකට ගිය දිනයක කුඩා දරුවෙකු වූ මා ද කැටුව ගිය බැවිනි.

ඒ හේතුව නිසා පසුගිය දිනවල විවිධ මාධ්‍යවලින් කරුණා යැයි කියමින් විනයාගමූර්ති මුරලිදරන් නම් දේශපාළුවා ගැන නිතරම සඳහන් කෙරෙද්දී මට නැන්දාව නිරතුරු සිහිවිය.

එලෙස තමන් ගේ නම වෙනස් කර ගත්තද, යම් කිසි තැනක දී ඔබ මීට පෙර හැඳින්වුණු වෙනත් නම් මොනවාදැයි ඔබෙන් අසනු ලැබුවහොත්, අතීීතය එළි කරන්නට සිදුවේ.

ළමයාගේ ආගම යන්න උප්පැන්නයේ ලියවී තිබුණා නම්, තමන් නිර්ආගමිකයින් ලෙස සලකන්නට කැමති සුජීව කොකාවල වැනි බොහෝ දෙනෙකුට ඒ සඳහා දිවුරුම් පෙත්සම් දී රජයේ කාර්යාලවල රස්තියාදු වීමටද සිදුවෙනු ඇත. ආගම යනු ජනවර්ගය හෝ පුරවැසිබව හෝ වැනි උපතෙන් ලැබෙන හෝ උප්පැන්න සහතිකයේ ලියවෙන හෝ කරුණක් නොවී ඇත්තේ ඒ නිර්ආගමිකයින් ගේ වාසනාවටය.

ආගම වෙනස් කිරීමට විරුද්ධව නීති සම්පානය කිරීම සඳහා යෝජනාවක් පසුගිය සමයේ පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් වූ බව මගේ මතකයයි. මෑත කාලයේ දී ජෝන් අමරතුංග මැර ඇමතිට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සහ රනිල් වික්‍රමසිංහ අකමැතිට ගෙන ආ විශ්වාසභංග යෝජනාව මෙන්ම ඒ ආගම්මාරු කිරීම පිළිබඳව වූ යෝජනාවට ද සිදු වූ දෙයක් දැන් දැනගන්නට නැත. ඒ යෝජනාව ගෙනා අයද සිතා ඉන්නට ඇත්තේ, ආගම යනු උප්පැන්නයේ ලියා තිබෙන දෙයක් ය, එනිසා, ආගම වෙනස් කිරීම යනු නීති මගින් පාලනය කළ හැකි දෙයක් ය යනුවෙන් විය යුතුය!

නමුත්, අපේ ආගම යන්න උපතේ දී අපට ලැබෙන දෙයක් ය යනුවෙන් කීමේ නම් ලොකු සත්‍යයක් ඇත. ඒ, අප ඕනෑම අයෙකු මුලින් ම තම ආගම කියා හඳුනා ගන්නේ තමන් ගේ දෙමව්පියන් ගේ ආගම නිසා ය.

කවදා මුලින් කළේ දැයි නොදන්නා මුත්, කුඩා කල සිටම තිසරණ සරණ යෑම සහ පන්සිල් සමාදන් වීම කරන්නට මට සිදුවූයේ මගේ දෙමව්පියන් බෞද්ධයින් වුණු නිසා ය.

මා තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී, සතියකට වරක් පමණ පැවැත්වෙන උදෑසන රැස්වීමේ දී පන්සිල් ගැනීමට මා යොමු කෙරුණේ ද දෙමව්පියන් බෞද්ධයින් නිසා ය. පාසල අවසානයේ "යෝවද තම්පව රෝමනු ජේසු, ජේසුගෙ අම්මට බාගෙට පිස්සූ!" යනුවෙන් ගාථා පද කියන්නට මට සිදුවූයේ ද ඒ නිසා ම ය.

නමුත්, තුන්වෙනි ශ්‍රේණියේ සිට විෂයයක් ලෙසින් බුද්ධාගම ඉගෙනීමට මට සිදුවූයේ, දෙමව්පියන් බුූද්ධාගම්කාරයින් වූවාටත් වඩා, ආගම යන විෂයය වෙනුවෙන් මා ගිය කණිෂ්ඨ පාසලේ ඉගැන්වුණේ බුද්ධාගම පමණක් වූ නිසා බව කිව යුතුය.

පසු කලෙක අප ප්‍රාග්-වෘත්තීය විෂයයන් හදාරන්නට පටන් ගත් සමයේ අපට ලබා දුන්නා සේ, වඩුවැඩ, ලෝහ වැඩ, මැටි වැඩ යනාදී විකල්පයන් ආගම නම් විෂයය සඳහා කණිෂ්ඨ පාසලේ දී නොතිබුණි. එසේ තිබුණේ වුවද, මට තෝරා ගන්නට වෙන්නේ බුද්ධාගම බවට කිසිදු සැකයක් නැත.

මෙහිදී සඳහන් කළ යුතු අනෙක් වැදගත් කාරණය වන්නේ මගේ පන්තියේ සිටි එකම කතෝලික සිසුවා ද අප සමගම බුද්ධාගම උගත් බවයි. වාර විභාගවලට ද උත්තර ලියා සමත් වූ බවයි.

අපේ ගමට ආසන්නයේ ම විෂයයක් ලෙසින් ක්‍රිස්තියානි ආගම උගන්වන පාසලක් තිබුණේ නම් ඒ බොල්ලතේ රෝමානු කතෝලික විද්‍යාලය විය යුතුය. මගේ පියා ද කලක් එහි සේවය කළේ ය.

ඒ අනුව සලකා බලන විය මගේ තුනේ පන්තියේ කතෝලික මිතුරාට විකල්ප දෙකක් තිබුණි. පළමු විකල්පය වූයේ ගමේ පාසලේම රැඳී සිටිමින් බුද්ධාගම ඉගෙනීමයි. දෙවෙනි විකල්පය වූයේ දිනපතා බොල්ලතේ පාසලට යෑමයි!

කණිෂ්ඨ විද්‍යාලයෙන් සමත්ව අප ලොකු ඉස්කෝලේ හයේ පන්තියට ගිය පසු නම්, කතෝලික සිසුන් සඳහා තමන් ගේ ආගම සාමාන්‍ය පෙළ විභාගය දක්වා අවශ්‍ය පරිදි ඉගෙන ගැනීමට ගුරු පහසුකම් සලසා තිබුණේ යැයි සිතමි.

එසේම, පසු කලෙක උසස් පෙළ හැදෑරීම සඳහා නිවසෙන් බැහැර ප්‍රදේශයක නගරයක මහා විද්‍යාලයකට ඇතුළත් වීමට පෙර මගේ බිරිඳ තමන් ඉගෙනුම ලැබූ කතෝලික කන්‍යාරාමයේ දී බුද්ධාගම සාමාන්‍ය පෙළ විෂයය සඳහා ඉගෙන ගෙන ඇත.

-රසිකොලොජිස්ට්

(image: http://www.defence.lk/)

Sunday, 14 June 2015

අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? How to be a Buddhist?


වෙනත් කරුණක් ගැන කල්පනා කරමින් සිටියදී හදිසියේ ම තාත්තා සිහි විය. තාත්තා මිය ගොස් මේ වසරේ දෙසැම්බරයට වසර පහක් පිරෙයි.

මා අපේ නිවසේ නො කඩවා ජීවත් වුණු දහනම වසර තුළ ද, කඩින් කඩ ජීවත් වුණු ඊළඟ දස වසරක පමණ කාලය තුළ ද, තාත්තා පන්සලකට යනවා මා දැක ඇත්තේ එක් වරක් පමණි. ඒ බාප්පා මිය ගිය පසු හත් දවසේ පින්කම වෙනුවෙන් හීල් දානය රැගෙන අප සියළු දෙනා පන්සලට ගිය දා ය.

තුන් මාසේ දානය සඳහා හාමුදුරුවරුන්ට ආරාධනා කිරීමට ගමේ පන්සලට ද, එතැනින් ආරාධනාව රැගෙන අල්ලපු ගමේ පන්සලට ද ගියේ මා ය.

සීයා ගේ දානමය කටයුතු කෙලෙස සිදු වුණා දැයි මට හරිහැටි මතකයක් නැත්තේ ඒ වෙන විට අප මහ ගෙදරින් දුරස්තරව වෙනත් ගමක පදිංචිව සිටි නිසාවෙනි. ඒ සඳහා ද තාත්තා පන්සලට යන්නට ඇතැයි මම නො සිතමි.

තාත්තා ගේ පන්සල් යෑම ගැන අම්මා නිතර කියා ඇති එක් කතාවක් මෙසේය.

ඔවුන් දෙදෙනා විවාපත් වී, තාත්තා එවකට ඉගෙනුම ලැබූ විද්‍යෝදය විශ්ව විද්‍යාලය අසල කුලී නිවසක පදිංචියට ආ පසු අම්මාට බෙල්ලන්විල පන්සලට යෑමට අවශ්‍ය විය. ඇයව එහි කැඳවා ගෙන ගිය තාත්තා පන්සල ඉදිරියේ දී අම්මාට කියා ඇත්තේ, "මං ඔයා ගේ සෙරෙප්පු දෙකයි, හෑන්ඩ් බෑග් එකයි තියාගෙන මෙතන ඉන්නම්, ඔයා ගිහින් වැඳලා එන්න!" කියා ය.

මා දන්නා කාලයේ දී පන්සල් නොම ගිය ද, බණ නොම ඇසූව ද, තාත්තා සුරා සූදුවෙන් තොර ජීවිතයක් ගත කළ අයෙකි.

දැන් මට ඇති ප්‍රශ්ණය නම්, පන්සල් නොගිය "අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද?" යන්නයි.

තාත්තා ගේ තාත්තා හෙවත් අපේ සීයා ගැන ද කිමට ඇත්තේ එවැනි ම කතාවකි.

මා ඔහු දන්නා දවසේ සිට, මිය යන දින දක්වා ම වාගේ නිතිපතා උදෑසන සිල් ගත්, පිරිත් කියූ, බාවනා කළ, බණ පොත් කියවූ, ලිපේ ඉදෙන හොද්දකට උම්බලකඩ දමා ඇතිනම්, ලිපට දර කෑල්ලක් දැමීම පවා ප්‍රතික්‍ෂේප කළ, සීයා පවා කිසි දිනයක පන්සල් යනවා මා දැක නැත. කොටින්ම ඔහු අන් සියළු දෙනා ම පන්සල් ගිය බාප්පා ගේ හත් දවසේ දානය සඳහා සහභාගී වීමට පන්සලට නොගියේ යැයි සිතමි.

බාප්පා ගේ තුන් මාසයේ දානයට පෙර දින සේදූ ගෙය තුළ ඇවිදින විට ලිස්සා වැටී උකුළු ඇටයක් බිදුණු පසු එක්තැන් වුණු සීයා, තම ජීවිතයේ අවසාන කාලයේ දී කෙතරම් බණ භාවනාදියේ නිරත වූයේ ද යත්, අපේ ආච්චී සිතා සිටියේ සීයා අවසානයේ මාර්ග ඵලයක් ලබාගත් බවයි!

දැන් පෙර කී මගේ ප්‍රශ්ණය තවත් දිගු විය. "අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? අපේ සීයා බුද්ධාගම්කාරයෙකු ද?"

තාත්තා ගේ පන්සල් නෙයෑම පිළිබඳව විස්තර දැන ගැනීමට මම අද හවස් වරුවේ, අපේ තාත්තා ගේ පවුලේ දැනට ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා වෙන චූටි නැන්දාට කතා කළෙමි. ඇය තාත්තාට වඩා අවරුදු දා සයක් වයසින් බාල ය.

චූටි නැන්දා ගේ මතකයට අනුව තාත්තා තරුණ කළ නම් පන්සල් ගිය අයෙකි. ඔවුන් ගේ නිවසේ දානමය කටයුතු කළ බව ද ඇය පැවසුවාය. නමුත් ඇගේ ලොකු අයියා පන්සල් යෑම නැවැත්වූයේ කවර හේතුවක් නිසා ද යන්න ඇය නොදනී. මට වැටහුණු විදියට, ඇය අපේ තාත්තා අප දන්නා කාලයේ පන්සල් නොගිය බව ද මා කියනා තුරු ඇයට වැටහී නොතිබුණි.

අපේ ගම අසල පිහිටි පිරිවෙණක අවසාන පරීක්‍ෂණය දා එක් හාමුදුරු නමක් අසනීප වූ බවත්, එයට හේතුව ඒ හාමුදුරුවන් ඒ විභාගයෙන් මුල් තැන ගෙන සමත්වීමට නියමිත නිසා, එය වැලැක්වීම සඳහා වෙනත් හාමුදුරු නමක් විසින් ජාපාල නම් විරේක ඖෂධය ආහාරයට මිශ්‍ර කිරීම බවත් තාත්තා දිනක වෙනත් කතාවක දී පවසනු මගේ මතකයේ ඇත.

අපේ තාත්තා පන්සල් යෑම නවත්වන්නට හේතුව වූයේ ඒ කාරණය සහ තවත් එවැනි පන්සල්වල වෙසෙන්නන් ගැන ඇතිවූ කළකිරීමක් නිසා බව මට හිතේ.

ඒ කෙසේ වෙතත්, බුද්ධාගම්කාරයෙකු ලෙස ජීවත් වීම සඳහා පන්සලට යෑම අනිවාර්ය අවශ්‍යතාවයක් නොවන බව මගේ අදහසයි. මා ද අවසාන වතාවට පන්සලකට ගියේ ගිය වසරේ ජූලි මාසයේ දිනයක කටුම්බා හි පන්සලට දහවල් දානය දීම සඳහා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සම්බන්ධයෙන් තවත් කාරණා කිහිපයක් මේ සතියේ දී ලියන්නට මම අදහස් කරමි.

(image: http://www.panoramio.com/photo/89037792)

Friday, 12 June 2015

අන්තිම කුණු කෑලි දෙක (ලෝකල් ඒවාය, ෆොරීන් නොවේ!) - Local rubbish


කුණු කතා මාලාව අවසන් කිරීමට හොඳ කුණු කෑලි දෙකක් ලිවීමට සිත් විය.

මින් පළමුවැන්න කලකට පෙර සිදුවූ එකක් බැවින්, මා අතින් වෙනත් තැනක ලියවී, පාඨක ඔබ කලින් කියවා, තරමක් පිළුණු වී ඇති එකක් වෙන්නට ඉඩ ඇති නමුත් දෙවැන්න නම් දැන් අවුරුද්දකට පෙර දිනයක සිදුවුණු එකක් නිසා තවමත් කුණු වී නැත.

මීට වසර හතකට පමණ පෙර කෙටි නිවාඩුවකට මම ලංකාවට ගියෙමි. ඒ කාලයේ මුල් දින කිහිපය ඇතුළත දී මා මහ මග අතරමං වූ අවස්ථාවක තරමක් දන්නා හඳුනන අයෙකු මට යම් උපකාරයක් කළේය.

ඔහු නැවත හමුවී ස්තුති කිරීමට අවශ්‍ය වූ නිසා පසුදා සවස් යාමයේ මම පොඩි පහේ තෑග්ගක් ද දවටාගෙන ඔහු ගේ නිවසට ගියෙමි. ඒ පවුලේ පාසල් යන වයසේ කුඩා දරුවන් දෙදෙනෙකු සිටින බව මා දැන සිටි නිසා, ඔවුන් සඳහා හන්දියේ කඩෙන් සාමාන්‍ය ප්‍රමාණයේ චොකලට් පෙති දෙකක් ද මිලට ගත්තෙමි.

මා නිවසට ගොඩ වදිනවාත් සමගම කුඩා දරුවන් දෙදෙනා නිවසේ විසිත්ත කාමරය පැමිණි බැවින් මා කළේ "මෙන්න බබාලාට පොඩි රහ බඩුවක්!" කියමින් අර චොකලට් පෙති දෙක බහා තිබූ කඩදාසි මල්ල ඉන් වැඩිමහලු දරුවා ගේ අතට දීමයි.

මේ දරුවන් දෙදෙනා කළේ කුමක්දැයි සිතා ගත හැකිද?

කඩදාසි බෑගය බිමට අත හැරිණි.
චොකලට් පෙති දෙක දෙදෙනා අතරේ බෙදුනි.
චොකලට් දවටන දෙක වේගයෙන් ඉරී කැබලි ලෙස බිම පතිත විය.
දරුවෝ දෙදෙනා තම තමන් ගේ චොකලට් පෙත්ත එක කොනක සිට වේගයෙන් කාගෙන කාගෙන යන්නට වූහ.

මේ සිදුවීම දිග හැරුණු ආකාරය දැක මා තරමක් හෝ කම්පනයකට ලක්වුණා යැයි ඇත්ත වශයෙන් ම කිව හැක.

මම මේ දරුවන් ගේ පියා දෙස බැලුවෙමි. ඔහු කිසිත් සිදු නොවෙණා අයුරින් නිෂ්ක්‍රීය බැල්මක් හෙළී ය.

මගේ සිතේ පැන නැගුණු ප්‍රධානම ප්‍රශ්නය නම් මේ කුඩා දරුවන් දෙදෙනා ග්‍රෑම් 150ක, 200ක විතර ඒ චොකලට් පෙති එක හුස්මට කා දමා අසනීප වේ ද කියායි. නමුත් මගේ සිතේ කම්පනයක් ඇති කළ අනෙක් වැදගත් කාරණය වූයේ ඔවුන් චොකලට් ගෙන ආ බෑගය සහ කෑලිවලට ඉරන ලද චොකලට් දවටන සිටි තැනම බිම අත හැරිය දසුනයි.

ඒ සමගම, දරුවන් ගේ පියා එය නොදැක්කා සේ සිටීම කම්පාවකට වඩා කලකිරීමක් ඇති කළ කාරණයක් විය. සමහරවිට එසේ නිහඬව සිටීමට හේතුව වෙන්නට ඇත්තේ සාලයේ කුණු ගොඩ අස් කරන්නට සිදුවෙන්නේ ඔහුට නොව බිරිඳට වීම විය හැක.

ඒ අනුව බලන කල, නිවසෙන් පිට පොදු ස්ථානවල, අනුන් ගේ ඉඩම්වල කුණු කසළ දැමීම සුලු දෙයක් නොවේද? බිරිඳ පවා එය කරනවා විය හැක.

මේ දරුවන් වැඩිහිටියන් වූ කල තමන්ගේ පියා මෙන් කටයුතු කළහොත් එහි ද කිසි පුදුමයක් නොමැත.

* * *

දැන් මෙන්න දෙවෙනි කුණු කෑල්ලේ කතාව.

පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේ මා ලංකාවට පැමිණි අවස්ථාවේ සිය පවුල ද සමග මට කොළඹින් බැහැරව යාමට සිදු විය. ඒ සඳහා මා කළේ ගම් පළාතේ කුලී වාහන සපයන සේවාවකට දුරකතන ඇමතුමක් දී මෝටර් රථයක් ගෙන්වා ගැනීමයි.

මා ඉදිරි පෙළ අසුනේ ද, බිරිද සහ පුතා පසුපස අසුනේ ද වාඩි වී ගමන ආරම්භ කළෙමු. නිට්ටඹුව පමණ පසුවන විට අපේ පුතා ට, මේ වයසේ දරුවන්ට සාමාන්‍යයෙන් සිදුවෙනවා සේ, කුමක් හෝ යමක් කෑමට අවශ්‍යතාවයක් ඇති විය.

කුඩා චොකලට් පෙති රාශියකින් යුතු බෑගයක් විවර කළ බිරිඳ පුතාට ඉන් කීපයක් දී ඇය ද එක් චොකලට් පෙත්තක් ගෙන බෑගය ම මට දුන්නේ මට කෑමට මෙන් ම අපේ කුලී රථයේ රියදුරාට දීම ද සඳහායි.

රියදුරා තනි අතින් ඉන් එක චොකලට් පෙත්තක් ගත් අතර මම ද එකක් ගෙන දවටනය ඉවත් කර කටේ රුවා ගත්තෙමි.

මෙවැනි අවස්ථාවලදී මා සාමාන්‍යයෙන් කරන්නේ මෝටර් රථයේ දී ඉතුරු වෙන ටොෆී චොකලට් දවටන, දොඩම් ලෙලි, ඇපල් ගෙඩියේ මැද කොටස වැනි දේ, නිවසට ගිය පසු නිසි පරිදි කුණු භාජනයට දමන තෙක්, වාහනයේ ඉදිරි පස ආසන දෙක අතර සාදා ඇති විශේෂ ස්ථානයට දැමීමයි.

නමුත් අප මේ ගමන් ගන්නේ අපේ වාහනයක නොවෙන නිසා මා කළේ චොකලට් දවටනය මගේ කමිසයේ සාක්කුවට රුවා ගැනීමයි.

ඒ සමගම මා දුටුවේ, ස්වයංක්‍රීයව තමන් ගේ පැති වීදුරුව පහත් කළ රියදුරු තරුණයා, දවටනය මහ මහට විසි කර දමන අයුරුයි.

මා ඒ බව දැක ඔහු දෙස විශ්මයෙන් බලද්දී රියදුරා තම දැස නැවත ඉදිරිපස මහා මාර්ගය දෙස යොමු කළේය. මම මුවින් නො බැණ සිටියෙමි.

කෙසේ වෙතත්, අපේ කුලී රථයේ රියදුරා ඒ ගමනේ දී කෑ එකම චොකලට් පෙත්ත එය විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කුණු කතා මාලාවේ පෙර ලිපි-

1. බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged
http://rasikalogy.blogspot.com/2015/06/rubbish-must-be-garbaged.html

2. පරණ කුණු කතා - Latter day litter, later!
http://rasikalogy.blogspot.com/2015/06/latter-day-litter-later.html

3. ඕස්ට්‍රේලියාවේ කුණු රෙජීමයෙන් හොඳ ළමයින් බිහිවෙන හැටි - - Garbage regime in Australia
http://rasikalogy.blogspot.com/2015/06/blog-post.html

(image: http://www.r2icorner.com/2015/02/swachh-bharat-just-dream.html)

Wednesday, 10 June 2015

ඕස්ට්‍රේලියාවේ කුණු රෙජීමයෙන් හොඳ ළමයි බිහිවෙන හැටි - Garbage regime in Australia


මා වෙසෙන ගම, නගරය හෝ රට යනු කිසිසේත් ම කුණුවලින් මුළුමනින් ම තොර සුපිරි පරිසරයක් නොවේ.

සමහර විටෙක මග දෙපස හිස් බෝතල්, කෑන්, සිගරට් කොට, චොකලට් දවටන යනාදිය දක්නට ලැබේ. මා මේ සටහන ලියන මොහොතේ දුම්රියේ ආසන දෙස බැලූ විට පෙනේන්නේ, සමහරු තමන් කියවමින් සිටි පුවත්පත් (බොහෝ විට මේ නොමිලයේ දෙන සවස පුවත්පතයි) යනාදිය ආසන මත තබා ගොස් ඇති බවයි.

නමුත් මෙහි ඇති වෙනස නම්, පරිසරය අපවිත්‍ර නොකොට නිසි ලෙස කුණු බැහැර කිරීමට ක්‍රම සාදා තිබීමත්, ඊටත් වඩා තමන් ගේ කුණු නොමිලයේ ම අනුන් ගේ කුණු බවට පත් කරන්නට සිතන්නන් ඉතා අඩුවීමත් ය.

මා කලින් ලිපියක ලියූ පරිදි අපේ ගමේ නිවාසවල එකතුවෙන කුණු රැගෙන ගොස් එවා නිසි පරිදි කළමනාකරණය කිරීම නගර සභාවේ රාජකාරියයි. ඒ සඳහා ද, නගර සභාවෙන් කෙරෙන අනෙකුත් පොදු සේවා සැපයීම සඳහා ද අපි හැම කාර්තුවක ම මුදල් ගෙවමු.

අපේ ප්‍රදේශයේ හැම නිවසකටම නගර සභාවෙන් කුණු එකතු කරන විශාල ප්ලාස්ටික් භාජන තුනක් දී තිබේ. අප කළ යුත්තේ ඒවාට කැළි කසළ පුරවා සතියේ නියමිත දිනයේ නිවස ඉදිරිපිට පාර අයිනේ තැබීමයි. නගරසභා කුණු ලොරියෙන් ඒවා ඉවත් කෙරේ.

නිවසේ එකතුවෙන දිරා යන දේ (කුස්සියේ එළවළු පොතු, මස්, මාළු කැබලි යනාදී අපද්‍රව්‍ය සහ වත්තේ පිටියේ තණකොළ යනාදී කොම්පෝස්ට් කළ හැකි දේ) අප එකතු කළ යුත්තේ කොළ පාට භාජනයටය. මෙහිදී කුස්සියේ අපද්‍රව්‍ය දැමීම සඳහා දිරා යන සුවිශේෂී කොම්පෝස්ට් මලු වර්ගයක් ද අප හට සපයා තිබේ. මේ කොළ පැහැති භාජනයේ අපද්‍රව්‍ය නගර සභාව මගින් සෑම සතියකම නියමිත දිනයේ දී ඉවත් කරනු ලැබේ.


ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වීදුරු, ටින්, ප්ලාස්ටික් සහ වීදුරු බෝතල් සහ කඩදාසි යන අපද්‍රව්‍ය අප එකතු කළ යුත්තේ කහ පැහැති භාජනයටයි. මෙය ඉවත් කෙරෙන්නේ දෙසතියකට වරකි.

අනෙකුත් සියලුම අපද්‍රව්‍ය, විශේෂයෙන්ම ප්ලාස්ටික් මළුවල දැමූ අපද්‍රව්‍ය අප එකතු කළ යුත්තේ රතු පැහැති භාජනයට ය. එහි එකතුවන දෑ සෑම සති දෙකකට ම වරක් ඉවත් කෙරේ.

මෙහි දී යම් පාපෝච්චාරණයක් කළ යුතුව ඇත.

දිරා යන අපද්‍රව්‍ය තෝරමින් සුවිශේෂී මලුවලට දමා කොළ පැහැති භාජනයට දැමීම තරමක අමතර කර්තව්‍යයකි. එනිසා මා නම් එසේ කිරීමට පෙළඹෙන්නේ ඕනෑම කුණු ගොඩක් දැමිය හැකි රතු පැහැති කුණු භාජනය හිස් නොකරන සතිවල දී පමණි.

නිවසෙන් ඉවත් කෙරෙන ගෘහ භාණ්ඩ, විශාල පෙට්ටි යනාදිය හෝ ගෙවත්තෙන් ගස්වලින් ඉවත් කෙරෙන විශාල ප්‍රමාණයේ අතු යනාදිය වෙතොත්, හැම කාර්තුවකටම වරක් අපට විශේෂ කුණු ඉවත් කිරීමක් යොදා ගත හැකිය.

ගමක්, නගරයක් අපිරිසිදු වෙන්නේ නිවෙස්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය නිසා නොවේ. එක්කෝ නොසැලකිලිමත්කම නිසා හෝ හිතා මතා හෝ කෙරෙන අනිසි දේ නිසාය. එවැනි දේ වළකා ගත හැක්කේ ජනතාව ගේ සහභාගීත්වයෙන් පමණි. ඒ සඳහා ප්‍රජාවක සාමාජිකයින් තමන් ගේ යුතුකම් ගැන වැටහීමක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

එය කුඩා කාලයේ සිටම අපේ චින්තනය තුළට ඇතුළත් විය යුතු සාරධර්මයකි. තැන නොතැන නොබලා, කිසිදු වගකීමකින් තොරව, යන යන හැම තැනම කුණු දමන්නට පුරුදු වූ පසු එයින් ගැලවීම පහසු නැත.

"ක්ලීන් අප් ඕස්ටේ‍ර්ලියා ඩේ" නමින් තමන් අවට වට පිටාව පිරිසිදු කිරීමේ සුවිශාල එක් දින ව්‍යාපාරයක් රට පුරාම ක්‍රියාත්මක කෙරෙන්නේ ඒ සාරධර්මය ගැන යම් අදහසක් හෝ අපේ සිත් තුළට ඇතුළු කරන්නටයි.

එක් කුඩා කථාවකින් මේ ලිපිය අවසන් කරමි.

මීට වසර කිහිපයකට පෙර මම එවකට ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබමින් සිටි මගේ දියණිය සමග නිවස කරා පයින් ගමන් කරමින් සිටියෙමි. ඇවිදින මං තීරුව අසලම තණකොළ මත්තේ කුඩා ප්‍රමාණයේ හිස් බියර් බෝතලයක් තිබෙනු පෙනුණි.

මේ බොහෝ විට ඊයේ රාත්‍රීයේ කොලු ගැටයෙකු කර තිබූ හපන්කමකි.

ඒ ගැන කිසි තැකීමක් නොකළ මා කළේ එතැනින් යන අතර එයට පයින් පහරක් දී පාරේ අයිනට තල්ලු කිරීමයි. නමුත් මගේ දියණිය ගේ ප්‍රතිචාරය සහමුලින් ම වෙනස් එකක් විය.

"බලන්න තාත්තී මේ සමහර නෝටී මනුස්සයින් තමන් ඉන්නා පරිසරය ගැන කිසිම තැකීමක් නැති හැටි, අයියෝ! මේ බියර් බෝතල් පාරේ දාලා ගිහින්!" කියමින් ඇය ඇත්තට ම අඬන්නට පටන් ගත්තා ය.

"හරි, හරි, ඉන්න අපි හරි දේ කරමු!" යනුවෙන් කියූ මා කළේ, බියර් කුප්පිය අහුලා ගෙනවිත් අපේ නිවසේ ප්‍රතිචක්‍රීයකරණ භාජනයට දැමීමයි.

මා හොඳ ළමයෙකු වූයේ ඒ ආකාරයට ය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
කුණු කතා කිහිපයක් ම එක දිගට ලියූවෙමි. තව ඇත්තේ එකක් පමණි.

Monday, 8 June 2015

පරණ කුණු කතා - Latter day litter, later!


මගේ ජීවිතයේ මුල් වසර හතර පමණ ගෙවූ කුලී නිවස ගැන මගේ මතකය ඉතා අඩුය. නමුත්, ඒ නිවස පිහිටා තිබුණේ අක්කරයක දෙකක පොල් වගාවක් මැද බවත්, නිවස අසල වතුර බොන ළිඳක් ද, අනිත් පස වැසිකිළියක් ද, වත්තේ පිටුපස මායිමේ හොඳින් වතුර ගලන දොළ පහරක් සහ කුඹුරු යායක් ද තිබුණු බව මගේ මතකයේ රැඳී ඇත.

එතැනින් අපේ තාත්තා සිය දරු පවුල රැගෙන ගියේ සිය දෙමව්පියන් සහ සොයුරු සොයුරින් ජීවත් වූ මහගෙදරටයි. එය ද විශාල බිම් කඩක එක් පසෙකින් තනා තිබූ නිවසක් විය.

ඉන් වසර අටකට පමණ පසු අපි වසර තුනක පමණ කාලයක් කුලී නිවසක ජීවත් වුණෙමු. ටවුමට අතේ දුරින් පිහිටියේ වුව ද, එම නිවස ද, අක්කර දෙකක පමණ පොල්, කොස් වගාවක් අතරේ පිහිටි නිවාස දෙකකින් එකක් විය.

විශ්‍රාම ගැනීමෙන් පසු කලෙක තාත්තා තමන්ගේ ම නිවසක් සාදා ගත්තේ ද ඊට වසර විස්සකටත් වඩා පෙර කාලයක ඉඩම් මිල සාපේක්‍ෂව ඉතා අඩු සමයේ මිලට ගෙන තිබූ අක්කරයක පමණ වපසරියක් ඇති ඉඩමකයි.

මේ හැම නිවසකටම පොදු ලක්‍ෂණය කිහිපයක් ම තිබුණි. ඉන් එකක් වූයේ නිවස පිහිටි භූමියේ ම සකසා ගෙන තිබුණු වතුර බොන ළිඳයි.

ඊටත් වඩා මේ ලිපියට අදාළ කරුණ නම් මේ හැම නිවසක්ම අසලින් එකත්-පසෙකට වෙන්නට සාදා සකසා ගෙන තිබුණු කුණුවලයි. එදිනෙදා නිවසෙන් බැහැර කෙරෙන අපද්‍රව්‍ය කෙළින්ම යොමු කෙරුණේ මේ කුණුවලට ය.

ඒ සමයේ අද මෙන් ප්ලාස්ටික් බෑග් යනාදිය බහුලව භාවිතා නොවුණි. කඩෙන් බඩු ඔතා දුන්නේ පරණ පත්තර කොළවල වූ අතර, ඒවා නිවසට ගෙනෙන ලද්දේ එක්කෝ පන් මල්ලක හෝ නැතිනම් පරණ සිමෙන්ති උරවලින් සාදා තිබුණු කවරවල දමා ගෙනය. එවැනි අපද්‍රව්‍ය මෙන් ම, කුස්සියේ ක්‍රියාවලියෙන් ඉවත දැමෙන ද්‍රව්‍ය ද, මිදුලෙන් උදලු ගෑ තණකොළ ද, ගේ අවට අතුපතු ගා එකතුවෙන කොළ රොඩු ද සදාකාලිකව සැතපෙන්නට ගියේ මෙකී කුණුවලේ තුරුලට ය.

කලින් කලට තාත්තා එක්කෝ කුණුවලේ කොළ රොඩුවලට ගිනි තබයි, නැතිනම් ඊට උඩින් පස් කපා දමයි. එක් කුණුවලක් වැසෙන විට ඊට නුදුරින් තවත් එකක් කැපේ. තාත්තා ගේ මහගෙදර තිබූ කුණුවල නම්, ඇත්තටම කලකට ඉහත කපා විශාල කළුගලකින් අවසන් වීම නිසා අතහැර දමනු ලැබූ පාළු ළිඳක් වූ නිසා, අප ඒ නිවසේ පදිංචිව සිටි දශක දෙකක පමණ කාලයේ දී එය නොවැසුණි.

කුණු සම්බන්ධව මගේ ජීවිතය ඉහත ආකාරයට වඩා සහමුලින් ම වෙනස් වූයේ විවාහ වී කෝට්ටේ පදිංචියට ගිය පසුය. නිවස පිහිටි පර්චස් දොළහක වපසරියෙන් ඉතුරු වී තිබූ කොටසේ කුණුවලකට කොහෙත්ම ඉඩකඩ නොතිබුණි. හැරත්, නිවසට වතුර ජල ප්‍රවාහන මණ්ඩලයෙන් ද, විදුලිය විදුලිබල මණ්ඩලයෙන් ද ලැබෙනවා සේ, කුණු කසළ ඉවත් කිරීමේ සේවය භාරව තිබුණේ නගර සභාවට ය.

අපට තිබුණේ අපේ කුණු කසළ නගර සභාවේ කුණු කසළ බවට පත් කිරීම පමණි.

කුස්සියේ තැබූ ප්ලාස්ටික් භාජනයක ලූ තවත් ප්ලාස්ටික් මල්ලකට නිවසේ කුණු කසළ එකතු කරන අප, රාත්‍රී සමයේ දී කරන්නේ ඒ කුණු පිරි මල්ල රැගෙන ගොස් මහා මාර්ගය අයිනේ තැබීමයි. මගේ මතකයට අනුව සතියට කිහිපවරක් මෙලෙස එකතුවෙන කුණු කසළ ඉවත් කිරීම නගර සභා සේවකයින් විසින් සිදු කරණ ලදී.

ඇත්තටම කියනවා නම්, අපේ නිවස අසල පදිංචි අය ගේ කුණු කසළ එකතු කෙරුණේ අපේ නිවස ඉදිරිපිට නොව පාරෙන් එහා පැත්තේ ස්ථානයක ය. හරියටම අපේ නිවස පිහිටි ස්ථානයේ දී කෝට්ටේ පාර ඉතා පටු විය. එ නිසා, ඉඳහිට දිනක පාර හරහා නො පැන, මේ පැත්තේ සිටම පාරේ අනිත් පැත්තේ අදාළ ස්ථානට කුණු පිරි ප්ලාස්ටික් බෑගය එල්ල කරන්නට ද මා පෙළඹුණෙමි.

උසස් පෙළ ව්‍යවහාරික ගණිතයේ දී උගත් ප්‍රක්‍ෂිප්ත සිහිපත් කරමින් මගේ අතින් ගිලිහී අහසින් ගොස් කුණු ගොඩට පතිත වෙන ප්ලාස්ටික් බෑගය, ඒ අවස්ථාවේ දී පුපුරා යන්නේ ද යන කරුණ මට අදාළ එකක් නොවී ය.

ඒ මීට වසර විස්සකට පෙර කතාවකි.

කුණු කන්දල් සම්බන්ධයෙන් ගත් කල දැන් නම් මා ඉතා හොඳ ළමයෙකු බව අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි
මේ ලිපිය කිවේවාද?
බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged
http://rasikalogy.blogspot.com/2015/06/rubbish-must-be-garbaged.html



(image: http://www.123rf.com/stock-photo/garbage.html)

Saturday, 6 June 2015

බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged


පසුගිය දා නිවාඩු පාඩුවේ නිවසේ ගත කළ දිනයක උදෑසන මා ජිවත්වෙන ගමේ පොඩ්ඩක් කරක්-ගැසුවේ ව්‍යායාමය පිණිසයි.

අපේ ගමේ වාහන යනෙන මාර්ග දෙපස ද, කුඩා ජලාශ සහ වන රොදවල් අසලින් ද, පයින් ගමන් කරන්නන් ගේ සහ බයිසිකල්වලින් යන්නන් සඳහා මාවත් සකසා ඇත. මේවා සාදන්නට ඇත්තේ පැරණි ගොවිපළක් කොටස්වලට කඩා මේ ගම ගොඩ නැගූ ඉඩම් සමාගම වුවද, ඒවා අද නඩත්තු කෙරෙන්නේ අප ගෙවන වරිපනම් මුදලින් අපේ ගම අයිති නගර සභාව විසිනි.

එහි දී ගත් ඡායාරූප කිහිපයක් ඇවිදින අතරතුරම වත්පොතේ පළ කළෙමි.

මේ ප්‍රදේශ අමුතුවෙන් පිරිසිදු කිරීමක් කෙරෙනවා මා දැක නැති වුවද කැළි-කසළින් තොරව පිරිසිදුව තිබෙනවා ඒ ඡායාරූපවලින් හොඳින් පෙනුණි.

මේ ඡායාරූපවලට අදාළව වත්පොතේ පැවති කෙටි අදහස් හුමාරුවක දී, ලංකාවේ කොළඹ නගරය අවට පිහිටවා ආරක්‍ෂක හමුදාවල සේවයෙන් නඩත්තු කරන්නට යෙදුණා යැයි කියවුණු ඇවිදින මංතීරුවල අද තත්වය ගැන තොරතුරු හෙළිවුණි. එහි දී දැන ගන්නට ලැබුණේ ඒ නොමිලේ සැපයුණු නඩත්තු කටයුතු දැන් සිදු නොවන බැවින් ඒ පෙදෙස් ක්‍රමයෙන් ජරාජීර්ණ වී ඇති බවයි.

මෙයට හේතුව ගෝටා නම් චරිතයක් දැන් සේවයේ නොමැති කම බවද කියවිණි.

මට වැටහුණු පරිදි මේ තත්වය සම්බන්ධයෙන් සමහරුන් ගේ අදහස කෙටියෙන් මෙසේය.

  1. අපට යන යන තැන රිසි රිසි ලෙස කැළිකසළ විසි කිරීමේ නිදහස තිබිය යුතුය.
  2. තවත් පිරිසක් තම රාජකාරියේ කොටසක් ලෙස ඒ කුණු ඉවත් කළ යුතුය.
  3. ඒ පිරිසිදු කිරීමේ සේවාව නොමිලයේ සැපයිය යුතුය. එනම්, ඒ සඳහා ආරක්‍ෂක හමුදා තම කොස් කොටන කඩු යොදා ගත යුතුය.
  4. අපට ඒ පිරිසිදු කිරීම් සම්බන්ධව ප්‍රජා වගකීමක් දැරීමට හෝ මූල්‍යමය සම්මාදමක් කිරීමට හෝ නොහැකිය.
  5. ගෝටා නමැති චරිතය නැවත කරළියට ගෙන ආ විට සියල්ල ඉටුවෙනු ඇත.

මගේ අවසාන නිගමනය වූයේ, මේ ගෝඨා ගැන මැසිවිලි නගන අයට සිදු වී ඇත්තේ ඔවුන් ගේ බුද්ධිය වසා ගෙන බයි-කම ඉස්මතු වීම බවයි.

මෙය ඉතා කනගාටුදායක තත්වයක් බව අමුතුවෙන් කිව යුතුව නැත.

කලකට පෙර බුද්ධිය වසා ගෙන ජාත්‍යාලය පෙරට ගත් දස දහස් ගණනක පිරිසක ගේ ජීවිත නිරපරාදේ විනාශ වී යනු අපි දුටුවෙමු.

වාසනාවට මෙන් බුද්ධිය වසාගෙන බයි-කම මතු වූ විට ඒ ආකාරයේ විනාශයක් නම් සිදු නොවෙනු ඇත.

අවසාන වශයෙන් කිව යුත්තේ කුණු කන්දල් තිබිය යුත්තේ කුණු බක්කියේ ම බවයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉදිරි සතියේ කුණු කතා කීපයක් ලිවීමට අදහස් කරමි. මේ සම්බන්ධයෙන් සජ්ජාගේ පඩංගුව බ්ලොගයේ පළ වූ බොක්කෙන් ම ලියන ලද අපූරු ලිපියකට පාර මෙන්න.
http://padanguwa.blogspot.com/2015/05/blog-post_14.html

Thursday, 4 June 2015

මෙතුවක් නොකී ම නොකී කතාවක් - Some stories are never told fully!


මට ද "නොකී කතා" තිබේ. ඒ මා පමණක් දන්නා දේ ය. මා හැර වෙනත් එක් අයෙකු පමණක් දන්නා කතා ද ඇත. ඒ ආකාරයට වෙනත් එක් අයෙකු හෝ දන්නේ නම් ඒ කතා තව දුරටත් නොකී කතා නොවේ.

මා මේ කියන්නට යන කතාව ඒ ආකාරයට සලකා බැලූ කල නොකී කතාවක් ම නොවේ. නමුත් මේ කථාවේ මුල් කොටස දන්නේ ඉතා කීප දෙනෙකි. මගේ දෙමව්පියන්, සොහොයුරන් හෝ ඥාතීන් දන්නේ නැත. බිරිඳ ද නො දනී.

කථාවේ මුල් කොටස දන්නා අය දෙදෙනෙකු පමණ සිටිය ද අවසානය නම් අද වෙනතුරු දන්නා අය මා හැර කිසිවෙකු නැත.

මේ 1987 වසරේ දෙවෙනි කාර්තුවයි. එනම් ජුූලි මසින් පසුව ය, නමුත් ඔක්තෝබරයට කලිනි. මා ඒ වෙන විට රජයේ සංස්ථාවක මැවිසුරුවෙකු ලෙසින් සේවයේ නිරතව සිටියෙමි.

මේ මැවිසුරු වෘත්තිය වනාහී පිළිවෙලින් විභාග පෙළ සමත් වීම නිසා ඔහේ පාවී ගොස් උපාධිය ලැබුණාට කරනවා විනා මා සිත ගත් එකක් නම් නොවීය. ඇත්තටම කියනවා නම් මා විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු දෙවරක් ම සේවයට ගියේ කළමනාකරණ පුහුණුවකට (Management Trainee) මිස මැවිසුරු තනතුරකට නොවේ.

තවමත් වයස විසිපහක්වත් නොපිරුණු තරුණ වයසේ උපරිමයේ සිටි නිසා වීර වික්‍රමයන් කරන්නට සිතේ දිරිය හා ආශාව තිබුණි. ඊට අවුරුද්දකට පෙර යුද හමුදාවේ නිලයකට බැඳීමට ද සිතුවිල්ලක් ඇති වී තිබුණි. මේ සම්බන්ධයෙන් තිබූ දැන්වීමේ සඳහන් බැට්මෑන් දීමනාව යනු කුමක්දැයි අපේ ගමේ සිට හෝමාගම කඳවුරේ සිවිල් රැකියාවකට ගිය අයෙකුගෙන් ඇසුවා ද මතකය. නොකී කතා ලියන හෙන්රි වර්ණකුලසුරිය ඇතුළු පිරිසක් ද මේ වෙන විට නාවික හමුදා සේවයට බැඳී සිටියෝ ය.

මගේ හිත ගියේ ගුවන් හමුදාවටයි.

සන්ඩේ ඔබ්සර්වර් වැනි පුවත්පතක දුටු දැන්වීමකට අනුව ගුවන් හමුදාවේ යම් නිලධාරී තනතුරක් සඳහා මම අයැදුම්පතක් යොමු කළෙමි. ඒ දෙමව්පියන්ට හෝ වෙනත් කිසිවෙකුට නොකියා ය. මා එවකට පදිංචිව සිටියේ බෝඩිමක නිසා, සම්මුඛ පරීක්‍ෂණයට කැඳවීම ලැබුණු ලිපිය ගැනද නිවසෙන් දැන ගත්තේ නැත.

මා සමග සේවය කළ මිතුරන් දෙදෙනෙකුට පමණක් මේ බව පැවසීමි.

ඉන් එක් අයෙකු වූ සුනිල් වහා පැවසූ දෙයින් මගේ සිත තරමක් කැලඹිණි.

ඔහු කීවේ - "අඩෝ දැන් දෙමළ උන් එක්ක යුද්දේ ඉවර වෙලා හමුදාව අපේ උන්ට වැඩේ දෙන්න පටන් ගත්තු හින්දා ද උඹට ආමි එකට බැඳෙන්න හිතුණේ?" කියාය.

"දෙමළුන් එක්ක යුද්දේ ඉවරය" කීමෙන් ඔහු අදහස් කළේ, 1987 ජූලි මාසයේ දී ඉන්දියානු සාම සාධක හමුදාව උතුරු-නැගෙනහිරට පැමිණ, ආණ්ඩුවේ හමුදාව බැරැක්කවලට සීමා වි සිටීමයි.

"අපේ උන්ට වැඩේ දීම" යනුවෙන් අහස් කෙරුණේ එදා ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කළ දා එයට විරුද්ධව කොළඹ දී විරෝධතා පැවැත්වූ අයගෙන් එකසිය පනහක පමණ පිරිසක් ඝාතනය කළ ආණ්ඩුවේ පොලීසිය සහ හමුදා මේ වෙන විට ඒ විරෝධතා පසුපස සිටි ජවිපෙ වෙස්මුහුණක් වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමග යුද ප්‍රකාශ කර තිබුණු බැවිනි.

සම්මුඛ පරීක්‍ෂණය යෙදී තිබුණේ දිවා කාලයේ බව මගේ මතකයයි. එ දින මුලු දවස සඳහා ම නිවාඩු අනුමත කරවා ගත් මා බෝඩිමෙන් පිටත් වූයේ නමයට පමණ ය. කටුනායක බසයක නැගීමට කොටුවට යාම සඳහා හයිලෙවල් පාරේ බස් රථයක ගමන් කරද්දී දිගින් දිගටම මට සිහි වූයේ මා මිතුරු සුනිල් කී ඒ කරුණයි.

සිතේ දෙගිඩියාව තවදුරටත් දරාගත නොහැකි වූ තැන අවසානයේ මා කළේ, නුගේගොඩින් බසයෙන් බැස ආපසු බෝඩිමට යාමයි.

මගේ වීර වික්‍රමාන්විත වෘත්තීය ජීවිතය ලත් තැනම ලොප් වූයේ එලෙසය.

එදා මා කටුනායක ගොස් පියාසර ලුතිතන් (හෝ එවැනි?) තනතුරකට ගුවන් හමුදාවට බැඳුණේ නම්, මගේ ජීවිතය කෙතරම් වෙනස්වන්නට තිබුණේ ද?

අවසාන වශයෙන් කිව යුත්තේ මේ නොකී කථාවේ, අද ද මා නොකියූ, නොකී ම නොකී කොටසක් ද ඇති බවයි.

ඒ කොටස නම් සදහට ම "නොකී ම නොකී" වී තිබෙනු ඇත!

-රසිකොලොජිස්ට්

(image: http://etheet.deviantart.com/art/Flying-High-163565058)

Tuesday, 2 June 2015

පේරාදෙනියේ දී මා කළ දේ ඔබ නොදනී - What did you do at Peradeniya University?



"උඹ මොනවාද බං කැම්පස් එකේ දී කළේ? උඹ අඩුගානේ කැම්පස් එකේ දී ටෙනිස්වත් ගැහැව්වාද?"

ඒ මට අපහාස කිරීමට සිතා සමකාලීන විශ්ව විද්‍යාල සිසුවෙකු අප විශ්ව විද්‍යාලයෙන් පිටවී වසරකට පමණ පසු සේවා ස්ථානයකදී මගෙන් ඇසූ පැණයකි. එකම විශ්ව විද්‍යාලයේ වුවද, මහවැලි ගඟෙන් දෙපැත්තේ පිහිටි අධ්‍යයන පීඨ දෙකක සිසුන් වූ අප දෙදෙනා මුලින්ම දැන හඳුණා ගත්තේ ද ඊට මාස දෙකකට පමණ කලිනි.

මා පෙර දිනක දී කියූ ලෙසින්, එදා ඒ මගෙන් ඇසූ ප්‍රශ්ණය පසුපස තිබුණු සමාජ-දේශපාලන යථාර්තය දැක කම්පා වූ මම, ඔහුට පිළිතුරක් නොදුන්නෙමි.

අද මා මේ සැරසෙන්නේ ඒ නොදුන් පිළිතුර අකුරු කිරීමටයි.

මා උසස් පෙළ විභාගයට පෙනී සිටියේ මගේ දහ අටවෙනි උපන් දිනයට මාස දෙකකට කලිනි.

කුමන පාඨමාලාවක් හෝ හැදෑරීමට විශ්ව විද්‍යාලයට යාමට තරම් මගේ උසස් පෙළ ලකුණු ප්‍රමාණවත් වුවහොත් මා කාලයක සිට පෙරුම් පිරුවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමටයි. එයට මූලිකම හේතුව වූයේ නවකතාවලින්, ගීතවලින් නිරතුරු උත්කර්ෂයට නැගෙනු අසා තිබූ හන්තානේ කඳු පාමුල, මහවැලි ගඟ අසබඩ සිව් වසරක් ගත කරන්නට සිත තුල බැඳුණු "පොඩි එකා ගේ ආසාව" යි.

පසු කාලයක මගේ බාල සොහොයුරා කළාක් මෙන් පිළියන්දල නැන්දලා ගේ නිවසේ සිට මොරටුවට යෑම වෙනුවට පේරාදෙනියේ වසර හතරක් පදිංචි වීමට මා ගත් තීරණයට ආර්ථික ශක්තිය දුන්නේ ඒ වන විටත් ගුරු සේවයෙන් විශ්‍රාම ලබා සිටි මගේ දුප්පත් පියා බව නෙත පිරුණු කඳුළින් යුතුව සිහි කරමි.

මා මගේ දහ නමවෙනි උපන් දිනය සැමරුවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ පළමු වසරේ ශිෂ්‍යයෙක් ලෙස මාකස් ප්‍රනාන්දු ශාලාවේ දී ය.

සංජය වත්තේගම නිවැරදි ය. පේරාදෙනියේ ගත කළ සිව් වසරක් සහ මාස දෙකක කාලය තුල මා ටෙනිස් ක්‍රීඩා නොකළ බව සත්‍යයකි. එසේ වුවද, මා කළ කී වෙනත් දේ බොහෝ ය.

ටෙනිස් නොගැසූව ද මා නිරතුරු ටේබල් ටෙනිස් ක්‍රීඩා කළෙමි. ඇත්තටම කියනවා නම්, දෙවන වසර මුළ සිට තුන්වන වසරේ අවසානය වසර දක්වා ම මාගේ කාලය වැඩි වශයෙන් ගත වුනේ ශිෂ්‍ය පොදු කාමරයේ (Students' Common Room) ටේබල් ටෙනිස් සහ කැරම් ක්‍රීඩාවේ නිරත වීමටය කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

විශ්ව විද්‍යාල ක්‍රීඩාගාරයේ (Gymnasium) ටේබල් ටෙනිස් ක්‍රීඩා කිරීම සහ ශිෂ්‍ය පොදු කාමරයේ ටේබල් ටෙනිස් ක්‍රීඩා කිරීම අතර ඇති වෙනස දන්නෝ දනිති. නොදන්නන් ගේ දැන ගැනීම පිණිස කියනවා නම්, ශිෂ්‍ය පොදු කාමරයේ ටේබල් ටෙනිස් ක්‍රීඩා කෙරෙන්නේ දේශණ පැවැත්වෙන දිවා කාලයේ දී මිස ක්‍රීඩාගාරයේ දී මෙන් සවස් යාමයේ නොවේ!

දුම්රියේ පාසල් යාම අරඹා වයස දාසය පමණ ලැබූ පසු කවි ලියන්නට පෙළඹුනු මා ඒ සරල පෙම් ගීයෙන් ඔබ්බට ගියේ මේ සිව් වසරක කාලය තුළදී ය. ඉංජිනේරු පීඨ කලාකවය (Arts Circle) නිර්මාණ පුවරුවේ නිරතුරුවම මගේ කවි පළවිය. පාසල් සමයේ දී මා කළ කෙටිකතා ලිවීම නම් දිගටම කරන්නට තරම් උත්තේජනයක් නම් කලාකවයෙන් නොලැබුණු බව ද කිව යුතුය.

ඒ වෙනුවට, පළමු වසරේ දී සහ තුන්වෙනි වසරේ දී පැවති ඉංජිනේරු පීඨ පිළිගැනීමේ උළෙලේ (Freshers Welcome) දී සහ පීඨ දිනයේ (Faculty Day) දී පැවැති විවිධ ප්‍රසංග සඳහා කෙටි ප්‍රහසන ද්වයක් රචනා කර, අපේ කණ්ඩායමේ සිසු නළුවන් කිහිප දෙනෙකු ද සමග වේදිකා ගත කරන්නට මට හැකි විය.

පළමු වසරේ දී ම කලා කවයේ කමිටු සාමාජිකයෙකු ලෙසින් ඇරඹුණු මගේ විශ්ව විද්‍යාල සංගම් ජීවිතය, ඊළඟ දෙවසරේ දී, කලා කවයේ සංස්කාරක සහ ලේකම් ලෙසද, සමාජ විද්‍යා සංගමයේ (Social Science Society) සංස්කාරක සහ ලේකම් ලෙසද ගත වී අවසාන වසරේ උච්ඡස්ථානයට පත් වූයේ ඉංජිනේරු ශිෂ්‍ය සංගමයේ (Engineering Students Union) සභාපති ලෙසිනි.

අපේ දෙවන අධ්‍යයන වසර හිටි හැටියේම අවසාන වූයේ ශිෂ්‍ය උද්ඝෝෂණයක් සහ එහි දී ඇති වූ සිදුවීම් කිහිපයකට පසු විශ්ව විද්‍යාලය වසා දැමීමෙනි. විශ්ව විද්‍යාලය තහනම් භූමියක් ලෙස පවත්වාගෙන යමින් විභාග පවත්වා පසුව අපේ තුන්වන වසර ඇරඹෙන විට විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් අහෝසි කර තිබුණු අතර, පෙර වසරේ ශිෂ්‍ය නියෝජිතයින් ලෙස කටයුතු කළ සිසුන් බහුතරයක ගේ ශිෂ්‍ය භාවය තහනම් කර තිබුණි. ඒ අරාජික තත්වය පවතිද්දී ශිෂ්‍ය හඬ නංවන්නට යම් ආකාරයක සම්මාදමක් වෙන්නටත්, ඒ වසර අවසානයේ විශ්ව විද්‍යාල ශිෂයෙකු පොලිස් වෙඩි පහරකින් මිය ගිය පසු ඇරඹුණු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට (Action Committee) සක්‍රීයව දායකත්වය සපයන්නටත්,අන්තර් විශ්ව විද්‍යාල බලමංඩලයේ (Inter University Students Federation) රැස්වීම්වල දී පේරාදෙනිය විශ්ව විද්‍යාලය නියෝජනය කරන්නටත් මට හැකිවිය.

මේ සියළු බාහිර වැඩ කටයුතු සඳහා වැය කරන්නට සිදුවන්නේ අධ්‍යාපනය සඳහා ගත කළ යුතු කාලය බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසා ම, පළමු පන්තියේ සාමාර්ථයක් නොලැබුණද, දෙවන ඉහල පන්තියේ සාමාර්ථයක් (Second Class Upper Division) ලැබීම මට රජකම ලැබීම හා සමාන විය.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මා ගත කළ සිව්වසරක කාලය තුල මා නිරත වුණු ටේබල් ටෙනිස් සහ කැරම් ක්‍රීඩා, කවි සහ කෙටි නාට්‍ය වැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම්, ශිෂ්‍ය සංගම්වල සේවය සහ අවසානයේ දී ලබා ගත් අධ්‍යාපන ජයග්‍රහණය ගැන ද මා මෙහිදී සඳහන් කළෙමි.

ඒවා, මොරටුවේ දී වුව ද කළ හැකිව තිබූ දේ බව අමුතුවෙන් කිව යුතු නැත.

එසේ නම්, පේරාදෙනියේ දී පමණක් කළ හැකි දේ?

"හන්තානේ කඳු මුදුණ සිසාරා පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්"

ඔව්, ඒ කාරණා කටයුතු ද මම ඒ සිව් වසර තුළ කළෙමි. එක් වරක් පමණක් කළ යුතු දේ එක් වරක් නොව සිව් වරක් ම කළෙමි. එහි වරද නම් මගේ ය.

පේරාදෙනිය විශ්ව විද්‍යාලය මැදින් ගලා බසින මහවැලි ගඟ අසබඩින් වැටී ඇති ලවර්ස් ලේන් හෙවත් ආදරවන්තයින් ගේ පටුමග පිළිබඳව පසු කළෙක මා ලියූ ලිපියක කොටසක් මෙසේ ය.
සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහලට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම්ය.

හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.

මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙලෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යලි යලිත් මවන්නට සමත් බව නොකිව මනා ය.

වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙනිය විශ්ව විද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.
මේ ලිපිය එක්තරා ආකාරයක පම්පෝරියකි. මා පේරාදෙනියේ දී කළ කී ඒ දේවල් මට වැදගත් වුව ද සංජය වත්තේගමට මෙන් ම මෙය කියවන ඔබට ද නොවැදගත් දේ වීමට හැකිය.

ඉතිං මට පාන් ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ කෙසේ වෙතත්, මගේ ජීවිතයේ සිව් වසරක් ගෙවුණු හැටි ඉතා සංක්‍ෂිප්තව ලියවුණු මේ ලිපිය අද පළ කරන්නට සිතුවේ රසිකොලොජි බ්ලොගයේ සුවිශේෂී සැතපුම් කණුවක් සනිටුහන් කරන්නටයි. මා මෙතැනට ලඟාවෙන්නට සිටියේ රසිකොලොජියට වසරක් ගතවෙන ඔක්තෝබර් විසි හත්වෙනිදා ය. නමුත්, මුලින් නොසිතු විලස, මාස හතක් ගත වීමත් සමගම ලිපි සියයක් ලියා පළ කරන්නට මට හැකිවිය.

පසුගිය සත් මසක කාලයේ දී මේ ලිපි සියයෙන් එකක් හෝ කියවූ, ප්‍රතිචාර දැක්වූ සැමට මගේ අවංක ස්තුතිය පිරිනමමි.