Friday, 30 October 2015

ලංකා පොලිස් පර පීඩක කාමයේ බලු නගුට - Sadist behaviour of Sri Lankan Police


ලංකාවේ පොලිස්කාරයින් ගේ ජඩ වැඩ ගැන අමුතුවෙන් කිව යුතු නැත.

නීතිය රකින්නට පත් කර ඇති මුන් පිරිස, නීති රකින්නන් හෝ ඉහළින් එන අණ පිළිපැදීමට ජනතාවට පහර දෙන්නන් හෝ නොවේ.

මේ පොලිස්කාරයින් පහරදීම් කරන ආකාරයට මට පෙනෙන්නේ ඔවුන් එමගින් පරපීඩක කාමාශාවක් සන්තර්පනය කර ගන්නා බවයි.

හොඳින් වැඩුණු සිරුරකින් යුතු පිරිමියෙකු නිරායුධ කෙසඟ දැරියකට මුගුරකින් පහර දීම වෙන කොයි ආකාරයකින් විස්තර කරන්න ද?

සේයා නම් දැරිය ගේ අභිරහස් මරණයට සැකපිට කිසිදු සාක්‍ෂියක් නොමැතිව අත් අඩංගුවට ගත් පාසල් සිසුවාට දී ඇති වද හිංසන ගැන සිතන විට ඊයේ උසස් අධ්‍යාපන ආයතනයක සිසුන්ට කළ පහර දීම අති සරල එකකි.

"අනේ ඒ වුණාට හොඳ පොලිස්කාරයිනුත් ඉන්නවා!" යැයි සමහරු කියන්නට ඉඩ ඇත.

එය ඇත්තක් ද?

මෙවැනි ජඩ මැර වැඩ දැක නොදැක්කා සේ ඉන්නා වුන්ට හොඳ යන විශේෂණ පදය භාවිතා කළ හැකි යැයි මම නම් නොසිතමි.

ලංකාව අද පත්වී ඇති කනගාටුදායක තත්වය ගැන හොඳම සාක්‍ෂිය සපයන්නේ පෙර කී පාසල් සිසුවාට හිංසා කළ පොලිස්කාරයින් ගැන විනය පරීක්‍ෂණයක් හෝ පැවැත්වෙන බවක් තවමත් ප්‍රකාශ වී නොමැති වීමයි.
යහපාලන අගමැතිලා හෝ ජනාධිපතිලා හෝ වෙනත් කිසිවෙකු මේ ගැන එකදු ප්‍රකාශයක් හෝ කරනවා මම තාමත් නොදුටුවෙමි.

ඊයේ ඡායාරුපවලින් දුටු පහර දීම මට සිහි කළේ ගිය වසරේ දී සිදුවුණු මේ ආකාරයේ ම ප්‍රහාරයයි. ඒ ගැන මා ලියූ කෙටි සටහනට සබැඳිය මෙලෙසය.

http://rasikalogy.blogspot.com/2014/12/act-of-sadism-by-sri-lankan-policeman.html

එහි දී මා ලියූ පරිදි "මෙය අද ලංකාවේ ඇති ආණ්ඩුවේ හෝ ඔවුන්ගේ අණ පරිදි ක්‍රියාකරන පොලීසියේ පමණක් සුවිශේෂී ක්‍රියාකලාපයක් නොවේ. අපේ කාලයට පෙර ද, අපේ කාලයේ ද, විවිධ වර්ණයේ ආණ්ඩු සහ ඔවුන් ගේ පොලීසිවලින් කරන ලද්දේ ද මෙයයි".

අද මේ මගේ වෑයම අපේ කාලයේ පොලිසිය හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් හා සම්බන්ධ පොඩි සිදුවීමක් කෙටියෙන් ඔබට කියන්නයි.

මා විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් සමයේ ලංකාවේ පැවතියේ ජේ ආර් ගේ දුර්දාන්ත පාලනයයි.

පොදුවේ රටේ උසස් අධ්‍යාපනයට සහ අධ්‍යාපනයට සිදු කෙරෙන විවිධ අකටයුතු සම්බන්ධයෙන් සහ විශ්ව විද්‍යාලවල විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාර, උද්ඝෝෂණ ඒ දිනවල විටින් විට පැවතුණි.

ඒ උද්ඝෝෂණ ප්‍රසිද්ධ ස්ථානවල පැවැත්වෙන විට අද මෙන්ම පොලිස් පහර දීම් ද සිදු වී ය. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ සේවය කළ ගෆූර් නම් මැර පෙනුමක් ඇති පොලිස්කාරයෙකු මේ පිළිබඳව කූප්‍රකට අයෙකි. ඒ පහර දීම් බොහොමයක් ද, අද මෙන්ම, නීතිය ආරක්‍ෂා කිරීම හෝ ඉහළ අණ පිළිපැදීමට වඩා දුර දිග ගිය බව හොඳින් දක්නට ලැබුණි.

අපට ඒ දිනවල ඇති වූ එක් ප්‍රශ්නයක් වූයේ අපේම මිනිසුන් කොටසක්, තවත් මිනිසුන් කොටසකට මෙසේ සිත් පිත් නොමැති ලෙසින් පහර දෙන්නේ කෙසේ ද යන්නයි.

මේ ප්‍රශ්නය පසුව ජනතා විමුක්ති පෙරමුණ ඇරඹූ මිනීමරු වැඩ පිළිවෙළ සහ එයට ප්‍රතිප්‍රහාරය ලෙස රජයේ අනුග්‍රහය සහිතව ඇරඹුණු භීෂණය නිසා තුරන් වී ගියේ ය.

කෙසේ වෙතත්, ඒ දිනවල මේ ප්‍රශ්නය කෙළින්ම පොලිස් සේවයේ නිරත අයට යොමු කිරීමට තීරණය කෙරුණි.

අපේ වැඩ පිළිවෙළ වූයේ මෙයයි.

"පොලීසියේ තාත්තේ, මාමේ, අයියේ..." යනුවෙන් ආමන්ත්‍රණය සහිතව විවෘත ලිපියක් ලියන ලදී. එහි අන්තර්ගතය පසු කාලයක(?) සුනිල් ආරියරත්න ලියූ මන්දා නාලනී ගැයූ "යුධ සෙබළනි අසනු මැනව" හි අන්තර්ගතයට සමාන එකක් විය.

මේ එක් පිටුවේ ලිපිය රෝනියෝ කර තුනට නවා ලිපි කවරක් සේ සකසා, ස්ටේපල් කටු ගසා, මුද්දරයක් බැගින් අලවා සෑම පොලිස් ස්ථානයකටම පිටපත් කිහිපයක් බැගින් තැපැල් කරන ලදී.

අපට අවශ්‍ය වූයේ එක් එක් පොලිස්කාරයින් විශාල සංඛ්‍යාවකට මේ ලිපිය ලැබීමට සැලැස්වීමයි.

එනිසා, සැම පොලිස් ස්ථානයකම ස්ථානාධිපති, සුළු අපරාධ ස්ථානාධිපති, වාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් නේවාසිකාගාරය වැනි පොදුවේ නම් කළ හැකි ලිපිනයන්ට අමතරව, බණ්ඩා රාළහාමි, සාජන් බණ්ඩා, සාජන් පෙරේරා, සිරිසේන රාළහාමි යනාදී විවිධ ආරූඪ නම්වලට ද ලිපි තැපැල් කළෙමු.

පේරාදෙණියේ අපට භාරව තිබුණේ නුවර ද්‍රිස්ත්‍රික්කය සහ තවත් දිස්ත්‍රික්කයකි. විශ්ව විද්‍යාලය වසා දමා තිබුණු අතර මේ ලිපි මහනුවර ඔර්ලෝසු කණුව අසල තැපැල් පෙට්ටියකට දැම්මේ මා මිතුරු සුමිත් සහ මා ය.

සුමිත් යනු මට වඩා මේ කරුණු ගැන දැනුම් තේරුමක් ඇති අයෙකු විය. ඔහු ගේ යෝජනාව අනුව අපි නුවර දිස්ත්‍රික්කයේ උප පොලිස්පති, සහ වෙනත් එවැනි නිලනාම වෙතටද, එන්අයිබී, සීඅයිඩී වැනි අංශවල නුවර නිලනාමවලටද ලිපි යොමු කළෙමු.

මගේ ළඟම ඥාතියෙකු ද එකල පොලිස්කාරයෙකු ලෙස ඉතා දුර බැහැර ප්‍රදේශයක සේවය කළේය. මා ඔහු ගේ නමටම එක් ලිපියක් යොමු කළෙමි.

ඒ වසරේ වෙනත් ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාර නොතිබුණු නිසා, ඒ ලිපියවල ප්‍රතිඵලයක් තිබුණි දැයි ප්‍රායෝගිකව දැන ගැනීමේ අවස්ථාව කනගාටුදායක ලෙස අපෙන් මග හැරී ගියේ ය.

මාස කිහිපයකට පසු, මට මගේ ඥාතීයා මුණ ගැසුණි.

"රසික නේද එවන්න ඇත්තේ අර රෝනියො කරපු ලියුම?" ඔහු මගෙන් විමසීය.

"අපි ඒක එන්අයිබී එකට යැව්වා!" ඔහු කීවේ ජයග්‍රාහී විලසිනි.

"අපරාදේ? ඔයාට එවන්න කලින් අපි මුලින්ම ලියුම් තැපැල් කළේ ඒ ගොල්ලන්ටයි!" මම පිළිතුරු දුන්නෙමි.

-රසිකොලොජිස්ට්

Tuesday, 27 October 2015

හයේ පන්තියේ ළමයෙකු ගේ වැඩ කිඩ - Double celebration...!!!


කොඋ/කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ සිසුවෙකු ලෙස පහේ පන්තියේ දී පැවැත්වුණු තරග විභාගයෙන් ජයගෙන හයේ පන්තියේ සිට ඉගෙනුම ලැබීමට මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ඇතුළත් වුයේ හරියටම සෝවාන් සහතිකය ලබා ගත් උපාසකයෙකු ලෙස සතුටෙනි.

එයට එක හේතුවක් වූයේ, එකී විභාගයේ දී මා ලැබූ ලකුණු ප්‍රමාණය නිසා හටගත් ළමා මට්ටමේ අහිංසක ආඩම්බරයකි. මට සමස්තය 261 ක් ද, සාමාන්‍යය 87 ක් ද වන පරිදි සිංහල, ගණිතය සහ බුඩ්ඩි පරීක්‍ෂණය යන විෂයයන් තුන සඳහා 86, 87, 88 බැගින් ලකුණු ලැබී තිබුණි. එහි එදා මට තිබුණු ආඩම්බරය වූයේ පාසලේ වෙනත් කිසිවෙකු එතරම් ලකුණු ලබාගෙන නැති බව පමණක් නොව, මා ඉගෙනීම ඇරඹූ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ද එයට වඩා ලකුණු ලබාගත් අයෙකු නැති බව මා දැන සිටි බැවිනි.

එය මගේ කුඩා ලෝකයේ අග්ඝෝ හමස්මි ලෝකස්ස යන්නට සමාන තත්වයක් විය.

අද ඒ ජයග්‍රහණය ගැන මට ඇති ආඩම්බරයට හේතුව වෙනස් ය.

එදා ඒ පහේ පන්තියේ විභාගය සඳහා පාසලේ දී හැදෑරූ ආදර්ශ ප්‍රශ්න පත්‍ර කිහිපයක් හැර වෙනත් කිසිමාකාරයක සූදානමක් අපේ නොතිබුණි. නමුත් පසු කලෙක උසස් පෙළ සමයේ දී අත්තකිලමථානුයෝගීව දුෂ්කර ක්‍රියා කරමින් වැල්ලවත්ත, බම්බලපිටිය, නුගේගොඩ වැනි ප්‍රදේශවල ටියුෂන් පන්තිවල දී මගේ ගැන්සියේ පස්වග මහණුන් සැට් එක සමග ටියුෂන් දම් සයුරේ ගිලී නා ගත් පසු ද මට ලබාගත හැකි වූයේ 69% ක් පමණකි.

ඒ අනුව බලන කල, පහේ පන්තියෙන් හයට සමත් වූ සෝවාන් සහතිකය, වසර අටකට පසුව උසස් පෙළ සිට විශ්ව විද්‍යාලයට වරම් දුන් අනාගාමී සහතිකය සමග සසඳා බලන කල ඵලදායීතාව අතින් පොළොවට අහස මෙනි!

මා ලබා තිබූ සෝවාන් තත්වයේ සිට අලුත් පාසලේ දී ලබන කමටහන් උපයෝගී කොටගෙන බවුන් වඩා සකෘදාගාමී තත්වය හෝ හැකිනම් අනාගාමී තත්වයක් ඇති කර ගැනීම මගේ අපේක්‍ෂාව වුණි.

මා අයත් වූයේ 6-ඒ පන්තියටයි. ගණිතය පිළිබඳ ගුරුවරයෙකු වූ ජයසිංහ ආරච්චිගේ කුලරත්න අපේ පන්තිය භාර ගුරුවරයා වී ය.

පාසල අරඹා මුල් සතියේ ම අප ඇමතූ පන්තිය භාර ගුරුවරයා පන්ති නායකයෙකු සහ නායිකාවක පත් කර ගත යුතු යැයි පැවසීය.

අප හොඳින් දන්නා පරිදි මේ පන්ති නායකයින් යනු, පන්තියේ සිසු සිසුවියන් ගේ නායකයින් නොවේ. ඔවුන් ගේ රාජකාරිය වූයේ, උදෑසනට පන්තියේ නම් ලයිස්තුව, වාර්තා පොත සහ හුණු කූරු කාර්යාලයෙන් ගෙන ඒම, කළුලෑල්ල මකන කුඩා කොට්ටය අස්ථානගත නොවී තබා ගැනීම වැනි සිල්ලර ලොජිස්ටික් වැඩ මිස කිසිවෙකුටත් නායකත්වය දීම නොවේ. ගුරුවරයෙකු නැති අවස්ථාවල දී පන්තියේ දඩබ්බර කොල්ලන් ගාලගෝට්ටි ඇති කිරීමෙන් වළක්වා ගැනීමේ මුර බලු වැඩ ද විටින් විට පන්ති නායකයාට පැවරිණ.

උදෙන්ම පාසල් එන්න පුළුවන් ළමයි දෙන්නෙකු තමයි මේ තනතුරුවලට පත් වෙන්න ඕනෑ කුලරත්න සර් පැවසීය. උදෙන්ම එන ළමයි අත උස්සන්න!

ඒ තේරීම් පටිපාටියට අනුව යාගොඩ සිට උදේ හතට පමණ පාසලට පැමිණෙන සමන් අපේ පන්ති නායකයා ලෙස පත්විණි.

සතියක් ගත විය. ඡන්දෙන් පැරදුණු මන්ත්‍රීවරුන් ජාතික ලයිස්තුවෙන් පත්වී එන්නා සේ, තවත් සිසුන් පිරිසක් පාසලට ඇතුළත් වූහ. ඔවුන් සඳහා අලුතෙන් 6-ඩී පන්තිය ඇරඹුණු අතර එහි ගණපූරණය සෑදීම සඳහා අපේ පන්තියේ නාම ලේඛනයේ අගින් සිටි සිසුන් කිහිප දෙනෙකු 6-ඩී පන්තියට අනුයුක්ත කරන ලදී.

ඔහු ගේ අවාසනාවට හෝ වාසනාවට අපේ පන්ති නායක සමන් ද ඒ අතර විය!

පාසලට පයින් පැමිණෙන දුරක සිටි පුණ්‍ය උදය ජයසේකර ලොකුවිතාන සිසුවා කුලරත්න සර් ගේ පටිපාටිය යටතේ අපේ ඊළඟ පන්ති නායකයා විය.

මේ කාලයේ පාසල් ක්‍රියාත්මක වූයේ අද මෙන්ම වාර තුනකට වූ අතර ඒ හැම පාසල් වාරයක් අවසානයේ දීම වාර විභාගයක් පැවැත්වුණි.

පළමු වාර විභාගය අවසානයේ එළැඹුණු අවුරුදු නිවාඩුවෙන් පසු මැයි මස පාසල ඇරඹුණු මුල් දිනයේම අපේ පන්තියට පැමිණි කුලරත්න සර් දැන් අලුත් පාසල් වාරයට අපි අලුත් පන්ති නායකයෙකු සහ නායිකාවක පත් කර ගන්න ඕනෑ යැයි කීවේය.

පාසලට උදෙන්ම පැමිණීම හෝ ළඟින්ම නිවස තිබීම හෝ නොව මෙවර ඔහු ගේ පටිපාටිය වූයේ වාර විභාගයේ ප්‍රතිඵලවල අනුක්‍රමණ පිළිවෙළ අනුව නායක තනතුරු දෙක පිරවීමයි.

පන්තියේ පළමුවෙනියා කොල්ලෙකු නම් ඔහු පන්ති නායකයා ය. කෙල්ලක නම් ඇය පන්ති නායිකාව ය. අනෙක් තනතුර ද ඒ පිළිවෙළ අනුවම පුරවනු ලැබේ.

"පන්තියේ පළමුවෙනියා නැගිටින්න".

තරමක සබකෝලයකින් යුතුව මම නැගිට සිටියෙමි.

"හොඳයි රසික තමයි මේ වාරයේ පන්ති නායකයා!" මට ඒහි පස්සිකෝ ආකාරයෙන් නායකත්වය ලැබුණි!

පන්ති නායිකාව ද ඒ අයුරින් ම පත් වූවා ය.

"අපි මේ වාරයේ වාර විභාගේ ප්‍රතිඵල අනුව ඊළඟ වාරයේ මුල දී පන්ති නායකයාවයි, නායිකාවයි අලුතෙන් පත් කරනවා!" කුලරත්න සර් පැවසීය.

කුලරත්න සර් ගේ අපේක්‍ෂාව වූයේ තම අගසව් තනනුරු කැරට් අල ලෙස පාවිච්චි කර, පන්තියේ සිසුන් අතර ඉගෙනීමේ කටයුතු හොඳින් කර පන්තියේ පළමුවෙනියා හෝ දෙවෙනියා හෝ වීමේ තරගයක් ඇති කිරීම බව පෙනී ගියේ ය.

පව්!

ගුරුන්ටත් අකුරු වරදී කියන්නේ මෙවැනි අවස්ථා විස්තර කිරීමටයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අද පුර පසළොස්වක පෝය දිනය බව ආරංචි වුණු නිසා මේ කතාවට පොඩි බණ දහම් ෆ්ලේවර් එකක් මුසු කළෙමි.

බුදු සාදු ගේ කාලේ රෑට ලයිට් කපන නිසා දෝ රතු නෙළුම් මලක් හොඬවැලෙන් ගත් ඇත් පැටියා මහාමායා දේවියට හොරෙන් ඇගේ කුසට ඇතුළු වූ දින සිට පිරිනිවන් මංගල්‍යය දිනය දක්වා හැම දෙයක්ම කර ඇත්තේ පුර පසළොස්වක පෝය දවස්වල බව පෙනේ.

සිදුහත් උපන්නේ ද, බුද්ධත්වයට පත්වුණේ ද, බුදු සාදු පිරිනිවන් පෑවේ ද වෙසක් පෝ දිනයේ ය.

බුදු වෙන්නට පෙර හැම වෙසක් පෝ දිනම තම උපන් දිනය සැමරූ සිදුහත්ට, පසුව බුදු සාදු ලෙස බුද්ධත්වයේ ඇනිවසරිය ද, බර්ත් ඩේ එක ද, එකම දවසේ සමරා ජීවිතය කාර්යක්‍ෂම කර ගන්නට ඉඩ ලැබුණි.

ඒ එදා ය.

වත්මනෙහි, තම උපන් දිනය දවසේ ම බ්ලොග් එකක් අරඹන අයෙකුට බර්ත් ඩේ පාටිය ද, බ්ලොග් ඇනිවසරිය ද එකම දවසේ සමරා බුදු ජොලියක් ලබන්නට හැකි වේ!

(image: https://www.flickr.com/photos/upul_rodrigo/2229495437)

Saturday, 24 October 2015

සිඩ්නි නුවර සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයෙන් ඉදිරිපත් කරන "රස විඳුම" - All Sinhala speaking Sydneysiders are invited to this literary event


සිඩ්නි නුවර සිංහලෙන් ලේඛන කටයුතුවල නිරත වෙන්නන් රැසක් වෙසෙති. ඔවුන් ගෙන් කිහිප දෙනෙකු ගැන විස්තරයක් මම පසුගිය සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියා පළ කළෙමි.

එහි සඳහන් වූ එක් ලේඛකයෙකු වූයේ ප්‍රධාන වශයෙන්ම කෙටිකතාකරුවෙකු ලෙස හැඳින්විය හැකි (නමුත් තවත් ක්‍ෂේත්‍ර කිහිපයකම තම දස්කම් පෙන්වා ඇති!) ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ය.

මේ නොවැම්බරයේ දී තම සයවෙනි උපන් දිනය සමරන ලේඛක සංසදය විසින් ක්‍රියාත්මක කරන්නට යන අළුත් වැඩ සටහනක් පිළිබඳව මා ලියූ ලිපියකින් උපුටා ගත් කොටසක් මෙසේය.
ඕස්ට්‍රේලියාව වැනි පරිසරයක ජීවිතය ගත කිරීමේ දී සාහිත්‍ය කෘති පරිශීලනය කිරීමට යොමුවීම, අතිරික්ත කාලයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා සුදුසු හොඳ විනෝදාංශයක් මෙන්ම, මනසේ ක්‍රියාකාරීත්වය අඩුවීමේ වේගය අවම කර ගැනීමට උත්පේ්‍රරකයක් ද වෙනු ඇතැයි කිව හැක.

ග්‍රන්ථයක් කියවාගෙන යාම සහ එය රස විඳීම අතර වෙනසක් ඇත. රස විඳුම යනු සාහිත්‍ය කෘතියක් කියවා, එහි විවිධාංග විචක්ෂණශීලීව විශ්ලේෂණය කරමින් ඒ හරහා තම මනස ඉහළ තලයකට නංවා ගැනීමේ සූක්ෂම ක්‍රියාවලියකි. එසේ හෙයින්, රස විඳීම යන්න ප්‍රායෝගිකව ප්‍රගුණ කර වැඩි දියුණු කරගත යුතු කෞශල්‍යයක් බව කිව හැක.

යෝජිත වැඩ සටහනෙන් අපේ මේ සාහිත්‍යය රස විඳීමේ හැකියාව වැඩි දියුණු කිරීමට සැලසුම් කෙරෙන්නේ යම් යම් සාහිත්‍ය කෘති කියවා, එයින් අප එකිනෙකා ලද විවිධාකාර වූ වින්දනයේ ස්වභාවය අන් අය සමග සාමූහිකව බෙදාගනිමින් සාකච්ඡාවට බඳුන් කිරීමට හැකි අවස්ථා මාලාවක් වසර පුරා පැවැත්වීමෙනි. බොහෝ සාහිත්‍ය කෘති කියවා පළපුරුද්ද ඇති අය ගේ විශේෂ දේශන ද මෙම වැඩසටහනේ අංකවලට අඩංගු කළ හැක.
මේ වැඩසටහනේ මුල් පියවර හෙට 2015 ඔක්තෝබර් 25 ඉරිදා සහව 2:30ට ටූන්ගැබී ප්‍රජා ශාලාවේදී පැවැත්වෙනු ඇත.

මෙහිදී රසවිඳුම කෙරෙන්නේ සිනුවර සිංහල ලේඛක ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ දෙවන කෙටිකතා සංග්‍රහයවන "හුස්ම" කෘතියෙන් තෝරාගත් කෙටිකතා දෙකක් පිළිබඳවයි.

ඉන් එක් කෙටිකතාවක් වන හුස්ම මුල්වරට මා කියවූයේ ඉරිදා ලක්බිම පුවත් පතෙනි.

මේ ඒ කෙටිකතාවයි. (කසුන් මට සමාවෙන්න-මෙය අදට පලවෙන්නේ රූප වශයෙනි. හැකි විගස අකුරට පෙරලමි!).









සිඩ්නි අවට වෙසෙන අය හැකිනම් මේ අවස්ථාවට සහභාගී වෙන්න.

-රසිකොලොජිස්ට්

ප/ලි:
හුස්ම කෙටිකතා සංග්‍රහය පිළිබඳව මා ලියූ විචාරයක්ද රසිකලොජියේ පෙර දිනයක පළ වී ඇත.
http://rasikalogy.blogspot.com/2015/02/lakshman-kodituwakkus-short-story.html

ප/ප/ලි:
මෙන්න යුනිකොඩ් පිටපතක්. ලක්බිම මුද්‍රිත පිටපතට ඉතා සමානයි.

හුස්ම

දූවිල්ල විහිදගෙන ගොස් බස් නැවතුමට තරමක් ඈතින් මන්දගාමී වූ පෞද්ගලික බස් රථයේ කණිෂ්ක දුවල ගිහිල්ලා එල්ලූණා. පාපුවරුවට යන්තම් පාදයක් තියාගත්ත ඔහු අත්වාරුවෙ එල්ලීගෙනම බැලූවෙ කොන්දොස්තරගෙ මුහුණ දිහා. පිටුපසින් එන බසය ඉස්සරකරාවිදෝ යන සැකයෙන් බෙරිහන් දෙන ඔහු මගීන්ට ඉදිරියට යන ලෙස කෑගසන්නේ දොල පිදේනි තට්ටුවක් එක්ක හැප්පෙන යකදුරෙක් වගේම නේදැයි ඔහුට හිතුනා. ෆයිල් කවරය කිහිල්ලට තදකරගත් කණිෂ්ක සෙනඟ පිරුණු මගීන් අතරින් ඉදිරියට ගියා.

බසයේ ගිගුම් දෙන්නෙ වේග රිද්ම ගීයක්, ඒකත් එක්ක තොරතෝංචියක් නැතිව කියවන කොන්දොස්තරවරයාගේ වදන් පාවෙලා ගියේ ගංවතුරට අහුවුණු දිරච්ච කොට කෑල්ලක් පාවෙලා යනවා වගේ. ජීවිතවලට වඩා මුදල ඉහළ ගිය සමාජයක හිරු අහවර වෙනකොට අතට මුදලක් ගන්න දඟලන ඔහුගේ දරදඬු වචනවල ඇත්තේ, ජීවත් වෙන්නට පොරකන පීඩනය වුනත් එය මගීන්ගේ අසරණකම පාගා ගෙන මතුවෙන උද්දච්චකමක් නේදැයි නිහඬවම කල්පනා සාගරය ගිලී ඇති කණිෂ්කට සිතුණා. මරදාන ට ටිකට් එකක් ඉල්ලපු කණිෂ්කට ටිකට් එක නොලැබුණත් ඉතිරි සල්ලි ලැබුණ. ටික දුරක් යනකොට තරඟයක් නැතිවම ඔහුට ආසනයකුත් ලැබුණ. කවරය ගැලවිල මදේ පෑදුන ආසනය වුනත් එ මත වාඩිවුනු ඔහුට එයින් ලැබුණු මඳ අස්වැසිලලට ඇස් පියවුනා. දහදියෙන් රත්වෙච්ච සිරුරට යන්තම් ආ සුළං රැුල්ලේ ආශ්වාදය ඔහු විඳගත්තෙ පදික වීදියෙ කුණු ගොඩකින් ගලා ආ දුගඳකුත් එක්ක.

වීදුරුව අතරින් ඈත පාර බලාගෙන යන කණිෂ්කට නිතරම මතක් වුණේ අම්මව. කවදත් වැඩිපුර නෑසෙන අම්මගෙ කටහාඩ වෙනුවට අද උදේ පාන්දර ඇහුණෙත් හිරමනයට මැදෙන පොල් බෑයේ හඩ. එය කෙතරම් ලයාන්විතද?...... අම්ම හිස පාත්කරගෙන පොල්ගාන්නෙ කිරි දරුවෙක් නාවන්නා වගේ. උක්කුටුකයෙන් වාඩිවෙලා පොල් රැුල්ලක් ඇඟිලි තුඩුවලට හිරකරගෙන මං කටට දාගන්න කොට අම්ම මා දිහා නොබලම හිනාවෙවී පොල් බෑය කරකවල අනික් පැත්ත ගානව. ඒත් අම්මගෙ හිතේ තියෙන බලාපොරොත්තු පොදියෙ බර කනිෂ්කගෙ හිතට මහමෙරක් වගේ දැනෙනව. ඔහු ඇඟිලිවලින් ඇස් තදකරගත්ත. යන්තම් වගේ තවමත් රිදෙන ඇස්වල වේදනාව මතක් වෙනකොට කණිෂ්කට පෙනෙන්නෙම ගිය සතියෙ කොටුවෙ දුම්රිය පොළ ගාව තිබුණ පිකටින් එකේ රූප රාමු. ඒ පිකටින් එකේදී වැදුණු කඳුාඵ ගෑස්වල සැර පපුවෙත් තියෙන්න වාගේ ඔහුට දැනුණෙ.

”උපාධිධාරීන්ට රැකියා දියව්” කියල ලියපු කොළකෑල්ල හතරට පහට නවාගෙන දුවපු දිවිල්ල නතර වුණේ කොහෙන්ද කියල කණිෂ්කට මතක් කර ගන්නත් අමාරුයි. මේ වගේම එදත් යන්තම් බසයක එල්ලිල ගෙදර ඇවිල්ල, බූරු ඇඳේ දිගෑදිල ඇඹරිච්ච වෙලාවෙ අම්මගෙන් ඇස්වලට ලැබුණු සාත්තුව මතක් වුණාම ඔහුගේ නෙතට කඳුඵ බිඳු කිහිපයක් ආවා. ”පුතේ උඹට බඩගිනිද?” කියල අම්ම මගෙන් කවදාවත් අහල නැහැ. ”අම්මේ මට බඩගිනයි කියල මං කියූ බවක් මට මතකත් නැහැ. උදේ පාන්දර නැගිටල පොල්ගාලා අම්මා හදන රොටිවල හැඩය රවුම් නැතිවුණත් ලූණු මිරිසුත් එක්ක කනකොට ඒක කොච්චර රසද....... අම්මගෙ දිරිය බව ඒ තුළ තියෙනවා.

අපේ ජීවිතත් වෘත්තාකාර හැඩයක් නැති රොටියක් වගේ වුණත්, මේ ජිවිත එළිය කරන්න අපේ අම්ම කොච්චර මහන්සි වෙනවද?..... බස් රථයේ අබලන් කවුලූවට හිරවෙලා තිබුණු වීදුරුව බාගෙට විවර කළ ඔහු, ඒ තුළින් ආ සුළං රැුල්ලෙන් හිතට දැනුණු ශෝකය මඩින්න උත්සාහ ගත්ත.

එළියට බහිනකොට අම්ම ගෙනත් දීපු වතුර වීදුරුවෙන් උගුරක් බීපු කණිෂ්ක අම්මට දණගහල වැන්ඳෙ ”මේකවත් හරි ගියොත්” කියන සිතිවිල්ල සිතේ තදකරගෙන. හරි ගියත් නොගියත් අම්ම වතුර වීදුරුව අරන් ඉස්සරහට එන්නෙ කොච්චර බලාපොරොත්තු තියාගෙනද?....... ඒ අම්මලගෙ හැටි. අම්මගෙ ඇස්දෙක දිහා බලන් ඉන්න කොට ඒ ඇස්වල ලියවිල තියෙන්නෙ උත්සහවන්තයා ජයගනී කියන පාඨය බව මට හිතෙනව. අම්මලගෙ කාලෙ වගේ දැන් උත්සහවන්තයින්ට ජයගන්න බැහැ කියල මට ඇයගෙ පා පාමුල වැඳ වැටිල කියන්න ඇත්නම්... කණිෂ්ක හිතට පොදිවෙන අදහස් හිත ඇතුළෙම හිරකරගත්ත.

නංගි ගෙනත් දීපු පත්තර පිටු කෑල්ලක් දැකල අයදුම් කරපු මේ රැකියාවට කැඳවපු සම්මුඛ පරීක්ෂණේ ගැන අම්මට කියනකොට ඇගේ මුහුණේ බලාපොරොත්තු පිරිල තිබුණ හැටි, ඇගේ විතරක්යැ... සුරංගිව මුණ ගැහිච්ච දවසෙ මේක කියපුවම මුහුණේ සිනහව පිරිල තිබුණ හැටි...

”අනේ කණිෂ්ක මේකවත් හරි ගියොත්”,

ඇය ආයාචනාත්මක බැල්මකින් දෑස් වහදා එය කියපු හැටි ඔහුට තාම මතකයි.

”හරියනව කියා ජොබ් එක මොකක්ද?..... කියලවත් මමවත් තවම හරියට දන්නෙ නැහැනෙ සුරංගි. බලාපොරොත්තු ගොඩක් තියාගන්නවට වැඩිය හොඳයි ඒව හීනි කරගෙන හිත හදාගෙන ඉන්න එක.”

”අනේ කණිෂ්ක ඔයා හැමදේම හිතන්නෙ හරහටනෙ.......”

”අපේ ජීවිත පිහිටල තියෙන්නෙ හරහට තමා. ඒකනෙ ජොබ් කට්ටක් ඉල්ලල කෑගැහුවත් අපිට ගහන්නෙ. කමක් නෑ මේ සැරේ ටිකක් තියාගන්නකො.... හැබැයි වැඩිපුර හොඳ නැහැ කෙල්ලෙ. කඳුළුවලටත් දුක හිතෙයි”.

”ඊයෙ හවසත් පප්පෙකුට, කේකුයි කෝලිකට්ටු ඇවරියකුයි ඇල්ලූව කණිෂ්ක. මෙන්න ඔයාගෙ කෑල්ල කෝ ආ..... කියල කට අරින්න”

”මාවත් මතක් වෙල එහෙනං”

”කෝමද..... ඔයාව අමතක කරන්නෙ. මං කිව්ව අම්මට මං ඔයා ඇර වෙන කෙනෙක් ගැන හිතල නැහැ කියලත් අම්ම අහනව හිඟා කන්න යන්නද කියල. මං කිව්ව ජොබ් එකක් හම්බවෙච්ච හැටියෙ අපි බඳිනව කියල”

”මනමාලය බර කාරයෙක්ද?.....”

”බයින් ඇන් සෙලින්ලූ”

”ඉතින් හොඳනෙ”

එහෙම කියන කොට සුරංගිගේ මුහුණ මැලවිලා ගියා වගේ නේද කියල ඔහුට හිතුණා. ඒක අමතක වෙන්නත් එක්ක ඔහු ඇයගෙ ඇස්වලින් මිදිල අහස දිහා බලාගෙන රැකියාව හා ආදරය අතර හිත දෝලනය කරන්න පටන් ගත්ත.

දෙකම නූල් බෝලයක් වගේ පැටලිල. රස්සාවල් හොයන දහස් ගණන් පිරිස අතරෙ, අපි ලබාගත්තු මේ සහතිකේට කරන්න පුඵවන් අහවල් කෙංගෙඩියක්ද? කියල ඔහුට තේරුණෙ පොලිස් රාළහාමිල බැටන් පොලූ උස්සගෙන පස්සෙන්

පන්නපු දවසෙ. සමහර වෙලාවට උපාධි සහතිකයකට වඩා බැටන් පොල්ලකට ලොකු දෙයක් කරන්න පුළුවන් බව කණිෂ්කට තේරුණෙ එදා මන්ද බුද්ධිකයෙක් සේ පාර පුරා ගමන් කරන ගමන් කරන බස් රථය ඇතුළේ හිරවෙලා කොටුවෙන් පැනගත්ත දවසෙ. අතීතයත් වර්තමානයත් එකට බෙරි කරමන් කල්පනාවක වැටිල ඉන්න ඔහු නව රැකියාව ගැන අලූත් සිහින මැව්ව. පෙම්වතියගේ වදන්වැල් වල දෝංකාරය නැවත සවන් ඇතුළෙ රැව් පිළිරැව් දෙන්න වගේ ඇහුණ.

”ව්යාපාර ප්‍රවර්ධන නිළධාරී” පිළිගත් අප ආයතනයකට ව්යාපාර ප්‍රවර්ධන නිළධාරියකු අවශ්‍ය කර තිබේ. සිත්ගන්නා වැටුප් සමඟ ප්‍රවර්ධන දිරි දීමනා සහ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ඉන්ධන සමඟ මෝටර් බයිසිකලයක් ලබාදෙනු ලැබේ. පාරිභෝගිකයන් නම්‍යශීලී කරගැනීමේ හැකියාව හා සියලූ ආගම් පිළිබඳ සාමාන්ය දැනීමක් ඔබ සතුවිය යුතුය. සියලූ සුදුසුකම් සමඟින් ඔබේ අයදුම්පත පහත ලිපිනයට හෝ ඊ මේල් ලිපිනයට යොමු කරන්න”.

කොටුවේ දුම්රිය පොළත් පහු කරගෙන බසය මරදාන පැත්තට ඇදී ගෙන යනවා. ගිය සතියෙ කරච්චල්කාරී පරිසරයක් තිබුණු, ලේ හොල්ලපු කොටුව දුම්රිය පොළ අසල අද ඇත්තේ තරමක නිහඩ බවක්. එදා තමන්ගෙ යාඵ මිත්‍රයෝ අත් පා තලාගත්තු, ඔළු පලාගත්තු පරිසරය අද ඉන්නෙ සිල්වත් බවක් ආරූඪ කරගෙන කිසිවක් සිදු නොවූ ගානට, කණිෂ්කට එහෙම හිතුණා. මරදාන හන්දියෙන් බැහැගත්ත කණිෂ්කට සම්මුඛ පරීක්ෂණය තියෙන තැනට ඇවිදගෙන ගියා.

”හතළිස් තුන” ඔහුට කියවුණා. තැනිත් තැන හුණු බදාම ගැලවුණු බිත්තියෙ මැද්දෙ අංකයට පහළින් සිටි, කාකිපාට හේදිල ගිය පාණ්ඩු පාට ඇඳුම ඇඳන් සිටි ආරක්ෂක නිලධාරියා බුලත් හපය කටේ තියාගෙනම කණිෂ්ක එක්ක මුව පුරා සිනාසුණා.

”උඩට යන්න මහත්තය, මුදලාලි මහත්තය උඩ, මහත්තය එයි කියල මට මුදලාලි මහත්තය කිව්ව”.

හේදිල ගිය කාකි පාට ෂූට් එකත් ඇඳගෙන රතුපාට බුලත් කහට බැඳුණු මුව පුරෝගෙන ඔහු ”මුදලාලි” කියල එහෙම ආමන්ත්‍රණය කරනකොට කණිෂ්කගෙ හිත නිකන් හේදිලා ගියා වගේ වුණා. උඩට නගින ලී පඩිපෙළේ ”චිරි බිරි” සද්දෙ ඔහුට දැනුනෙ කවුරු හරි තමන්ව බලෙන් උඩට තල්ලූ කරනව වගේ හැඟීමක්.

ඔහු උඩ තට්ටුවෙ කාර්යාලය දොර අසළ එකපාරටම නැවතිල ගල් පිළිමයක් වගේ ඇහිපිල්ලන් නොගහ ඒ දිහා බලන් හිටියෙ කිසිම හැඟීමක් නැතිව.

තරමක් පිළිවෙළකට සකස් කරපු කාර්යාලයෙ තනිකරම සුදු ඇඳුමෙන් සැරසිල ලොකු මේසයක් ළඟ පුටුවකට බර වෙලා මුදලාලි මහත්තය ඔහු දිහා බලාගෙන ඉන්නව. විදුලි පංකාවෙ හුළං සැරට සෙලවෙන සරමෙ සුදෝ සුද කනිෂ්ක දැක්කෙ මේසෙට යටින් තියෙන පුංචි හිඩසෙන්. ඔහු මැදඟිල්ලෙන් කරකවමින් හිටිය යතුරු කැරල්ල පොලිෂ් කරපු මේසය උඩට එකවරම මුදාහැරියෙ කූඩුවක හිරවෙලා ඉන්න කුරුල්ලෙක් මුදා හැරිය වගේ. සුදු යකඩෙන් දිලිසෙන පුංචි මිනි පෙට්ටියක් ඇමිණිල තියෙන යතුරු කැරල්ලට කණිෂ්කගෙ ඇස් ගියේ ඉබේටම වගේ.

”ටිකක් දුර ඉඳන් නේද ආවෙ. මොනව හරි බීල ඉමුද?.....” මුදලාලි ඔහුට පුටුව පෙන්නුව. කණිෂ්ක එයට සිනාවකින් පිළිතුරු දුන්නෙ එයට පිළිතුරක් සොයාගත නොහැකිව.

ඔහුම නැගිටල ඔරේන්ජ් බාර්ලි බෝතලේකුයි වීදුරුවකුයි කණිෂ්ක ළඟට ළං කළා. තරමක් වෙලා නිහාඩව කණිෂ්ක දිහා එකම ඉරියව්වෙන් බලන් හිටපු ඔහු එකවරම තමන්ගෙ ගැඹුරු කටහාඩ අවදි කළා.

”මහත්තයට උපාධියකුත් තියෙනව නේද?. හැබැයි මේ ජොබ් එකට උපාධියක දැනුමක් අවශ්ය වෙන්නෙ නැහැ මහත්තය. මේකට උවමනා කරන්නෙ ජීවිතය පිළිබඳ දැනුම”. ඔහු එහෙම කියල මේසෙ උඩ තියෙන යතුරු කැරල්ල ආපහු අතට අරගෙන අගිස්සෙ ඇමිණිල තියෙන පුංචි මිනි පෙට්ටියත් එක්ක ආපහු කැරකෙව්ව.

නිහාඩවම ඔහුගෙ ඇස්වලින් මිදී වටපිට බැලූ කණිෂ්ක ෆයිල් කවරය මේසෙ පැත්තකින් තිබ්බ.

”මේ කාලෙ අපේ බිස්නස් තරමක් බැහැල මහත්තය. යුද්දෙ ඉවරයි කියලම එහෙම බිස්නස් අඩුවෙන්න බැහැනේ මහත්තය. එළියට බැහැල වටපිට බැලූවම කී දාහක් දවසට මැරෙනවද?..... ඩෙංගු තියෙනව, ගංවතුර, ඇක්සිඩන්ට් වැහි වැහැල, මුහුදු රැල්ල වගේ අපරාධ රැල්ල- හාට් කේස් ඩයබිටික්, අරව මේව ඔක්කොම තියනව. ඒත් අපිට බිස්නස් අඩුයි මහත්තය. මට ඕනෙ මේක කරගහල කරන්න පුාඵවන් වැදගත් ධෛර්යවන්ත මිනිහෙක්. මේ කෝල් කරපු ජොබ් එක මෑතක් වෙනකම්ම කළේ මං. යුද්දෙත් එක්ක කන්ටැක්ට්ස් හුඟක් තිබ්බ. ඇරත් මහත්තය කවුද හිතුවෙ මෙච්චර ඉක්මනට යුද්දෙ ඉවර වෙයි කියල. අනෙක මට දැන් සනීප මදි. දන්නැද්ද?.... වයසත් එක්ක එන ලෙඩ දුක්, දැන් ටිකක් රෙස්ට් කරන්න ඕන කාලෙ. අනෙක මහත්තයෝ මට ඉන්න ළමයි දෙන්නගෙන් එකෙක් පිස්සෙක්. ඌ බීල බීල කැවුතු නරක් කරගෙන. මට දුක ඒකා මැරෙන එකවත් මරණෙට යන වියදමවත් නෙමෙයි. ඌ වගේ පුතෙක් මට ඉපදිච්ච එකට. මං ඒකව මේකට පුරුදු කරන්න හදනකොට රෑ තිස්සෙ ඕඩර්ස් බාරගන්න ගිහිල්ල ඒකා පුරුදු වුනෙ ඉක්මනට මැරෙන හැටි. පණ පිටින්ම එම්බාම් වෙන්න හදන පුත්‍ර රත්නය මං මෙතනින් එලවල දැම්මෙ මළා කියල හිතාගෙන”

නිරුවත් යෝධ මිනිසෙකු දිහා බියෙන් බලා සිටින පොඩි දරුවෙක් වගේ කණිෂ්ක මුදලාලි දිහා බලන් හිටිය. අසරණ වුනු වචනවලින් සන්නද්ධ වුනත් ඒ මුහුණෙ තිබුණෙ තරමක නපුරු පෙනුමක්. මුදලාලිගෙ මුහුණට එකවරම බැ?රුම් පෙනුමක් ආරූඪ වුණා. ආපහු කටහඬ අවදි කළා.

”මං බෝම සුඵවෙන් ජීවිතේ පටන් ගත්ත මිනිහෙක් මහත්තය. මැරිච්ච මිනිස්සු දාස් ගාණක් මං මගේ ඇස් දෙකෙන් දැකල තියෙනව. මං මේ තැනට ආවේ එහෙමයි. සිවුරක් දාගත්තොත් හාමුදුරු නමකට වැඩිය හොඳට ජීවිතේ අනියත ගැන මට කියන්න පුාඵවන් මහත්තය. පොත් සිය ගාණක් ලියන්න පුාඵවන් අත්දැකීම් මා ළඟ තියෙනව. ඒත් මරණය ළං වෙන කොට ඕන මිනිහෙක් මැරෙන්න බයයි. බලාපොරොත්තු දාස් ගානක් තියාගත්තු මිනිස්සුන්ගෙ බොඩි එක කඩල බිඳල හතර රියන් පෙට්ටියක හිරකරල ඉස්සරහින් ලස්සන මල්වඩමක් තියල වටේම සුවඳ කරන මට මගේ අනාගතය ගැන බියක් දැනෙනව මහත්තයො”.

ඔහු තත්පර කීපයක් නිහඬ වෙලා යතුරු කැරල්ල පැත්තකින් තියල ඇඟිලිවල ඇට කැඩුව. අනතුරුව කණිෂ්කගෙ මුහුණ දිහා බැලූව.

”මේ ජොබ් එකේ මහත්තයට කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඉස්පිරිතාල දෙක තුනකම අපේ මිනිස්සු ඉන්නවා. නිව්ස් එක ආපු හැටිය ඉක්මන් වීම තමයි හුඟක්ම අවශ්ය. මරණය දැනගත්ත හැටිය මුලින්ම අල්ලගන්න ඕනෙ නෑයො. නෑදෑයො එක්ක සුහදව කථා කරල ඒ මිනිස්සු අල්ලගන්න එක සූක්ෂමව කෙරෙන්න ඕනේ. ඒකෙදි ආගම දහම වැදගත් වෙනව. ඊට පස්සෙ තත්පර ගානකින් කෝටේෂන් දීල බිස්නස් එක අපිට ගන්න එක තමයි වෙන්න ඕනේ.”

කණිෂ්කගේ දෙතොල් වේලී ඇස් ඇතුළෙන් ගින්දර පිටවෙන්නා වගේ දැනුන. හිස දෙපැත්තෙන් ගලාගෙන එන්න දඟලන සිහින් ඩා බිඳු ඔහු ලේන්සුවෙන් පිසදාගත්තා.

”ඇයි මහත්තය බයවෙලා වගේ. ජීවත්වෙන මිනිස්සු, මැරිච්ච මිනිස්සුන්ට බයයි කියල මං දන්නව මහත්තය. ඒ ගැන මැරිච්ච මිනිහට වැඩිය හොඳට මං දන්නව. මැරෙන මිනිහගෙ මරණ කටයුතු වැදගත් විදියට කරල මුදල් හම්බ කරන මිනිහගෙ ඇති වැරැුද්ද මොකක්ද?....... මේක වැදගත් ජොබ් එකක් මහත්තය. දියුණු රටවල ටෙක්නිකල් කෝස් දාගෙන උගන්නන ටයි කෝට් එල්ලගෙන කරන රස්සාවක් මේක. බිස්නස් දියුණු වුණොත් මං තවත් පඩි වැඩි කරනවා. අනෙක ඉංග්‍රීසි දැනුම ටිකක් දියුණු කරගත්තොත් මේක උසස්ම රැකියාවක්. මිනිස්සුත් එක්ක ගැවසිලා මේකෙන් ලැබෙන දැනුම උපාධියකින් ලබාගන්න බැහැ මහත්තය. මෙතන තමයි ඕන ලොක්කකුගෙ ජීවිතේ අවසාන මහ ගෙදර ලොකු නිබන්ධන නොලිව්වට හදවත ඇතුළෙ නිබන්ධන ගොඩක් ලියවෙන රස්සාවක් මේක”.

”ඇයි මුදලාලි මේ ජොබ් එකේ විස්තරයක් හරියට පැහැදිලි නොකර පත්තරේ දැම්මෙ”

බොහෝ වෙලාවකට පස්සෙ කණිෂ්කගේ මුවින් පිටවුණු ඒ ප්‍රශ්නෙට මුදලාලිගෙ මුවට සිනහවක් නැගුණා.

”එහෙම දැම්මනං මහත්තයො මට මේකට ගැළපෙන මිනිහ තෝරගන්න බැරිවෙනව.

මං මීට කලින් ගත්ත දෙතුන් දෙනා මේක මගදි දාල ගියා. මං මහත්තයගෙ අයදුම් පත්තරේ හඳහනක් බලනව වගේ පරිස්සමින් කියවල තමයි අන්තිමේදි මේකට එන්න කිව්වෙ.” ඔහු එහෙම කියල ආපහු නිහඬ වුනා.

”මං මෙච්චර වෙලාවක් මගේ ජීවිතය වගේ ගලාගෙන ගිය මේ ව්යාපාරෙ විස්තර මහත්තයට කිව්වෙ, මහත්තය මේකට ගැළපෙයි කියල හිතුන හින්ද..... මේකට ඕන කලබල නැති නිවිච්ච මනුස්සයෙක්. හැබැයි මේකේ තව පැත්තක් තියෙනව....ඒ ප්‍රායෝගික පැත්ත. මිනියක් ගෙනාපු වෙලාවෙ ඉඳලා ඒක බාරගෙන අවමංගල්‍යය කටයුතු සඳහා සකස් කරන්නෙ කොහොමද? කියන දේ...... මහත්තය වගේ කෙනකුට ඒක ඉක්මනට අල්ලගන්න පුඵවන් වෙයි...........

හැබැයි මහත්තයෝ මේක උදේ ගිහින් හවසට එන පැය අටේ රස්සාවක් නෙමෙයි. රැය දවාලක් අමතක කරන රස්සාවක් මේක. එන ජොබ් එක අනුව අමතර දීමනාවක් එක්ක ප්‍රවාහන පහසුකම් දෙන්නෙ ඒකයි.........

අනික මට ඕන කරන්නෙ මේක මගදි දාල යන මිනිහෙක් නම් නෙමෙයි. ඇහැක් වගේ බලාගන්න කෙනෙක් ”.

තරුණ ගැහැණු ළමයෙක් සිනාවීගෙන කාමරයට ඇවිල්ල කබඩ් එකක් විවර කරගෙන ලිපිගොනුවක් අතට අරන් කණිෂ්ක දිහා බලල හිනා වෙලා යන හැඩ ඔහු බලාගෙන හිටිය.

”ඒ මගේ එකම දුව. එයා තමයි මේකේ එකවුන්ට් වැඩ බලාගන්නෙ. එයත් මේ වැඩවලට උදව් කරයි”

මුදලාලි එහෙම කියනකොටම ඒ පැත්ත බලා හිටිය කණිෂ්ක හිස හරවල මුදලාලි දිහා බැලූව.

”හොඳයි මහත්තය. මං සේරම විස්තර මහත්තයට කිව්ව දැන් ඕනේ මහත්තයගෙ කැමැත්ත අකමැත්ත. තව සතියක් ඇතුළත මට කෝල් කරල කියන්න. මහත්තය ගැන මං ලොකු බලාපොරොත්තුවකින් ඉන්නෙ.”

ඔහු අත්දෙක පුටු හැන්දට හිරකරල නැගිට්ට. අල්ල එකට ගාවල ඉහළට පහළට පිරිමැද්ද. අත් දෙක එකට එකතු කරල ”බුදු සරණයි” කියල සම්මුඛ පරීක්ෂණය අවසන් කළා.

කණිෂ්ක ෆයිල් කවරය අතට අරන් තරප්පු පෙළ බැස්සෙ විශාල බරක් හිස මත තියාගත්තු මිනිහෙක් බිමට බහිනව වගේ, බොහොම සීරුවට. ඔහු එළියට බැහැල වටපිට බැලූව. මංගල්‍ය සහ අවමංගල්‍ය අධ්‍යක්‍ෂකවරු තට්ටු දෙකේ උඩු මහලෙ කොණට වෙන්න ඇලවිල තියෙන බෝඞ් ලෑල්ල ඔහු දැක්කෙ එවෙලෙ. කල්පනා කරමින්ම ළඟ කඬේකට රිංගපු කණිෂ්ක තේ කහට එකක් බිව්වෙ තදවෙලා මිරිකෙන පපුව ටිකක් රත්කරගන්න. තේ එක බීල කවුන්ටරේ මුදලාලිට සල්ලි දුන්න. මුදලාලි දුන්න ඉතිරි සිල්ලර කාසි ටික ගැන්නෙ බසයෙ ටිකට් එකේ ගාණ හරිද? කියල බලන්න. එළියට බැසගත් කණිෂ්ක නැවතත් බසයක එල්ලූණා. මගීන් අඩු නිසා තැන් තැන්වල නවත්වා මගීන් එකතු කරගන්න උත්සාහ කරන රියැදුරා බස් රථය ගාටන්නෙ සීරුවට.

ටිකට් එකක් අරන් වාඩිවුණු කණිෂ්කට අම්මගෙ සිනාබර මුහුණ මැලවිලා යන හැටි, කවුදෝ තමන්ගේ හිත ඇතුළෙ අඳිනව වගේ දැනුණා. ඒ දුකට ඔහු තදින් ඇස් පියාගත්ත. ඇස් ඇතුළෙන් තම ආදරවන්තිය සමග මෝටර් සයිකලයක නැගී කුරුල්ලෙක් වගේ ඉගිලී යන හැටි, ගැස්සී ගැස්සී ගාටන බසය තුළින් ඔහුට මතුවෙලා පෙනුණා.

ටික වෙලාවකින් තෙහෙට්ටුවටත් එක්ක ඔහුට නින්ද ගියා වගේ දැනුණා. නින්දත්, නොනින්දත් අතරට මැදිවෙලා පාවෙලා යන ඔහුට සිහින පෙනෙන්න පටන්ගත්ත.

”ජීවත්වෙන මිනිස්සු, මැරිච්ච මිනිස්සුන්ට බයයි මහත්තය. ඒකයි මිනිස්සු මේකට අකමැති. මේක වැදගත් රැකියාවක්. යුරෝපීය රටවල ටයිකෝට් ඇඳගත්තු මහත්තුරු කරන ඩිප්ලෝමා සහතිකේ පාස්වෙල කරන රැකියාවක් මහත්තයො” මුදලාලි එහෙම කිව් හැටි ඔහුට සිහිනෙන් පෙනෙනවා.

”මොන රටක හිටියත් මැරෙන්නෙ මිනිස්සුනෙ මුදලාලි. ඒ රටවල මිනිස්සු මැරිච්ච මිනිස්සුත් එක්ක ජීවත්වෙන්නෙ නැහැ. මරණය ළංවෙනකම්ම මැරෙන බව දන්නෙත් නැහැ. උන් මැරෙනකං ජීවිතය විඳිනව. අපි මැරි මැරී විඳ විඳ ජීවත්වෙනවා” ඇයි මං එහෙම නොකිව්වෙ. සිහිනය දෝංකාර දෙනව.

දෝංකාරය කුණාටුවක් බවට හැරිල. ඒකට අහුවෙල ඒ හීනේම මුදලාලි මැරිල පරලොව යන්න සූදානම් වෙනව. මැරිච්ච මුදලාලි මහත්තය ටයිකෝට් පැළඳගෙන පෙට්ටියක උඩුකුරුව සැතපිලා කණිෂ්කට අත වනනව. ”මංගල හා අවමංගල අධ්‍යක්‍ෂක - කණිෂ්ක මුදලිගේ” ඔහු බිස්නස් කාඞ් ටිකක් අතේ තියාගෙන බූරු කුට්ටම වගේ දිග ඇරගෙන එහාට මෙහාට වනනවා. කණිෂ්ක මිනිස්සු පෙරළගෙන අවමංගල්ය උත්සවය දෙවනත් කරමින් කෑගසමින් දුවනව. මුදලාලි පෙට්ටියෙන් නැගිටල ඔහු පස්සෙන් පන්නං ඇවිල්ල අල්ල ගන්නව. ඊට පස්සෙ කනත්තක් මැද්දෙ මංගල උත්සවයක්. ප්රභූවරු පිරිල. මිනි පෙට්ටවලින්ම හදපු ලස්සන පෝරුවක්. දෙපැත්තෙ සුදුපාට ඇත් දල දෙකක්. වටේම ලස්සන මල් වඩම්.

භවතු සබ්බ මංගලම්...... රඛ්ඛන්තු සබ්බ දේවතා..... සබ්බ බුද්ධානු බාවේන.......

කොහෙන්දෝ ඇහෙන්නෙ සිකුරිටි ගාඞ්ගෙ කටහඬ. පෝරුවෙ චාරිත්‍ර. ඔහු ගුරුන්නාන්සෙ කෙනෙක් වෙල ජාතික ඇඳුම ඇඳන් අෂ්ටක කියවනව. අවසානෙ පොඩි එවුන් ටිකක් සුදු ළමා සාරි වලින් සැරසිල පටල පටල ජය මංගල ගාථ වල තාලෙ හොයමින් ජෝඩුවට සුභ පතනව. මුදලාලිගෙ අතේ මංජුසාවක්. බරට බරේ මුද්දකුයි රන් තැල්ලකුයි. කනිෂ්කගෙ අතට මාලෙයි මුද්දයි දීල ගුරුන්නාන්සෙ අෂ්ටක කියාගෙන යනව. ඔහු සුරංගිට මාලෙ දාන්න හැරෙන කොටම පෝරුවෙ ඉන්නෙ කවදාවත් කාටවත් ආදරය නොකරපු මීට පෙර ඇහැට දැකල නැති හුස්ම ගන්නැති අවතාරයක් වගේ බොල් පිළිමයක්. කණිෂ්ක මිනිස්සු පෙරළගෙන මංගල උත්සවය දෙවනත් කරමින් කෑගසමින් දුවනව.

ඒ එක්කම බැටන් පොලූ උස්සගත්තු රාළහාමිල රොත්තකුත් එක්ක එකතුවෙලා මුදලාලි කණිෂ්ක පස්සෙ පන්නනව. ඔහු දුවල දුවල ගිහිල්ල හැංගෙන්නෙ සුරංගිලගෙ ගෙදර.

”අම්මෙ මේ කනිෂ්ක ඇවිල්ල. ජොබ් එකක් හොයාගෙන. වෙඩින් ෂූට් එකත් ඇඳගෙනම. මගේ කරට දාන්න තැල්ලකුත් අරන් ඇවිල්ල..... දෙයියනේ...... අනේ ඉක්මනට එන්නකො අම්මෙ.” සුරංගිගෙ ඉහ වහ ගිය සතුට මැද්දෙන් කණිෂ්කගෙ නෙතු උඩ ගිහිල්ල.

”අනේ මාව බේරගන්න සුරංගි. මං තාමත් නිකන්ම නිකං කණිෂ්ක....... මුං මාව ඔයාගෙන් උදුරගන්න යන්නෙ.”

”අනේ කණිෂ්ක ජොබ් එකක් නැති වුණොත් අපි කොහොමද? කසාද බඳින්නෙ. ඔයා නැති වුණොත් මං කොහොමද? වෙන කෙනෙක් ගැන හිතන්නෙ. මට බැහැ ඔයා නැතිව ජීවත්වෙන්න මං වහ බීල මැරෙනව.”

සිහිනය අඳුර කපාගෙන ජේදනය වෙනව. සුරංගි වහ බීලා මැරිල. කණිෂ්ක මහ ඉස්පිරිතාලේ ගේට්ටුවෙ එල්ලිලා අාඩනව. කවුදෝ ඇවිල්ල පිටට තට්ටු කරනව.

”ජීවිතේ හැටි ඔහොම තමයි මහත්තයො. මරණය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. එයා ගෙනාපු ආයුෂ ඔච්චරයි. කරුමෙ කොහොමද? වළක්කන්නෙ.” කවුදෝ බොහොම ශාන්තව දේශනාවක්. ”බොඩි එක අපිට දෙන්න. අපි සාධාරණ මුදලකට වැඬේ කරල දෙන්නං.” කණිෂ්ක එකපාරටම ගැස්සිල ඇහැරිලා බැලූව.

”මහත්තය බහින්නැද්ද....” බහින තැන පහුවෙලා සෑහෙන දුරක් ඇවිල්ල.... බස් එක මීට එහා යන්නෙ නැහැ”

කොන්දොස්තර කණිෂ්කට කතා කරනවා. ෆයිල් කවරය බිම වැටිලා සපත්තුවට පෑගිල. ඔහු බයෙන් වගේ කොන්දොස්තර දිහා බැලූව. කොන්දොස්තරත් අමුතු සතෙක් දිහා බලන් ඉන්නව වගේ ඔහු දිහා බලාගෙන ඉන්නව. කණිෂ්ක දෙනෙත් එහෙට මෙහෙට යවල වට පිට බලල එකපාරටම ලොකු හුස්මක් ගත්තෙ ජීවිතය නැවතී ඇතැයි කියල හිතිල. ඒත් ගත්ත හුස්ම පහළට දාගන්නකොට පපුවෙන් හීනියට දීපු වේදනාව නැවතත් ආපස්සට යා යුතු බව ඔහුට මතක් කර දුන්නා.

(images: Lakbima: 08-08-2010)

Thursday, 22 October 2015

වයින් බෝතලයක් ගැන පොඩි ප්‍රශ්නයක් - Ice wine question


කතාව ඉතා කෙටියෙන් මෙලෙස ය.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන අප, නිතරම යන එන හිතවතෙකු ගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා යන විට සාමාන්‍යයෙන් රැගෙන යන්නේ වයින් බෝතලයක් සහ චොකලට් පෙට්ටියකි.

සමහරු රාත්‍රී ආහාරයට ගත හැකි ව්‍යංජනයක් ගෙන යති. මෙහිදී නාස්තිය වැළැක්වීම පිණිස සහ කෑම වේල ක්‍රමවත් කිරීම පිණිස තමන් ගෙන එන කෑම වර්ගය පිළිබඳව, නිවසේ අය ගේ පෙර අනුමැතිය ලබා ගැනීම සිදු කෙරේ. එැවනි කෑම ගෙන යෑමේ අවශ්‍යතාවක් ඇති වුණහොත් මා නම් කරන්නේ කෙළින්ම සාප්පුවකින් මිල දී ගත හැකි කේක් හෝ වෙනත් අතුරුපසක් රැගෙන යාමයි.

ප්‍රේම් මගේ සුමිතුරෙකි. ඔහු විස්කි, වොඩ්කා නොබොයි. නමුත් වයින් බීමට ප්‍රිය ය. විවිධ වයින් වර්ග අතරින් අයිස් වයින් නමින් හැඳින්වෙන වයින් වර්ගය එකතු කිරීම ඔහු ගේ විනෝදාංශයකි.

පසුගිය සතියේ කැනේඩියානු නිෂ්පාදනයක් වූ අයිස් වයින් කුඩා ප්‍රමාණයේ බෝතලයක් වැන්කුවර් නගරයේ දී මිලට ගත්තේ ඔහු සඳහා ම ය. ප්‍රේම් ලා ගේ නිවසට යන දිනයට ගෙන ගොස් එය තෑගි දීමට අපි සිතා සිටියෙමු.

"මචං අපේ අලුත් ගෙදරට ගොඩ වැදුණු නිසා පන්සලේ හාමුදුරුවන් දෙපළ වඩම්මවලා පිරිත් කියන්නයි යන්නේ, වරෙං පිරිත් ටිකක් අහලා රෑට කෑම ටිකක් කාලා යන්න" ප්‍රේම්ගෙන් අපට ආරාධනාවක් ලැබුණි.

පිරිත් කීම නියමිතව තිබුණේ ඊයේ රාත්‍රියට ය.

නගරයේ පිහිටි කාර්යාලයේ එදා දවසේ සේවය නිම කර නිවසට පැමිණ, යළි සූදානම් වී, කිලෝ මීටර් තිහක් පමණ දුර වෙනත් පෙදෙසෙක වෙසෙන ප්‍රේම් ගේ නිවසට අප යන විට පිරිත් අවසාන වී රාත්‍රී කෑම වේලාව උදා වී තිබෙන බව මම දැන සිටියෙමි.

"අපි අර අයිස් වයින් එකත් ගනිමු ප්‍රේම්ට දෙන්න" මම බිරිඳට පැවසුවෙමි.

"හොඳ නෑ නේද, වයින් අරගෙන යන්න, අද පිරිත් ගෙදරක නේ යන්නේ" ඇය එයට අකමැත්ත ප්‍රකාශ කළාය.

"අපි ඒ වයින් බෝතලේ ප්‍රේම්ට දෙන්න නේ ගත්තේ, පව් සිද්ධ වෙනවා නම් කවදා දුන්නත් එකම පව තමයි සිද්ධ වෙන්නේ!" මම කීවෙමි, "අනික මෙතන වයින් බොන කතාවක් නෑ නේ, කොහොමටත් ප්‍රේම් අයිස් වයින් බෝතල් එකතු කරලා ලස්සන බල බල ඉන්නවා මිසක් කඩන එකක් යැ? මීට අවුරුදු දහයකට කලින් කැනඩාවෙන් ගෙනාපු අයිස් වයින් එකත් තාම තියෙනවාද කොහෙද!"

"ඔයාට ඕනෑ එකක් කරගන්න!" බිරිඳ නිහඬ වූවා ය.

දැන් මගේ ප්‍රශ්නය මෙයයි.

නිවසකට සාමාන්‍ය දිනයක මත්පැන් බෝතලයක් ගෙන යනවාට වඩා වැඩි පවක් පිරිත් කියන දවසක ගෙන යාමෙන් සිදුවේද?

පන්සිල් ගෙන හෝ පන්සිල් ගෙන පිරිත් අසා මත්පැන් බීමෙන් ලැබෙන පව, පන්සිල් නොගෙන මත්පැන් බීමට වඩා හෝ පිරිත් අසා, පිරිත් ලණුවක් බැඳගෙන මත්පැන් බීම නිසා හෝ ලැබෙන පවට වඩා වැඩිද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
වයින් බෝතලය ගෙන ගියෙමි. නමුත් එය ප්‍රේම් ගේ අතට නොදී ඔහු ගේ වයින් රාක්කයේ තබා ආවෙමි. ඒ නිසා වැදෙන පව තරමක් අඩුවෙන් වැදේවි යැයි සිතමි!

ප/ප/ලි:
මේ දැන් ආරංචි වුණු පරිදි අපේ මිත්‍රයා මේ අයිස් වයින් බෝතලය ගැන දැන ගෙන ඇත්තේ මේ බ්ලොග් ලිපිය කියවීමෙනි.

(image: http://villadreamvacations.com/canadian-icewine-vineyard-stays/)

Monday, 19 October 2015

සභාවෙන් අවසරයි - හතරේ පන්තියේ සබකෝලය :: Stage fright aka butterflies in tummy


මා උගත් කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ තුනේ පන්ති තුනක් පැවැත්වුණ ද හතරේ පන්ති පැවැත්වුනේ දෙකක් පමණි. මේ නිසා, ඊට කලින් වසරේ දී මා සමග එක පන්තියේ නොසිටි සිසුන් කීප දෙනෙකු සමග වසරකට හෝ දෙකකට පසු එකම පන්තියේ ඉගෙනගැනීමට මට අවස්ථාව ලැබුණි.

ඉංගිරිසි භාෂා ගුරුවරයෙකු වන නාලන්ද පියතිලක, කුමන ජීවනෝපායක යෙදෙන්නේ දැයි මා නොදන්නා සිසිල් පුෂ්පකුමාර මෙන්ම හෘද රෝග විශේෂඥවරියක වන රානිකා කිරිබත්ගොඩ ද මේ පන්තියේ දී සිසුන් අතර සිටි බව මගේ මතකයේ ඇත. ලයනල්, සුගත් සහ නිමල් යන (මේවා නම් සැබෑ නම් ය) නම් ද ඒ සමගම සිහියට නැගේ.

දිනක් අපේ පන්තිය භාර මැ.පෙ. රූපසිංහ ටීචර් අප අමතා, මසකට වරක් පන්තියේ සමිතියක් පැවැත්විය යුතු බව අපට දැනුම් දුන්නාය.

සමිතියක් යනු කුමක්දැයි මා නම් දැන ගත්තේ එදා ය. අපේ ටීචර් අපට විස්තර කර දුන් ආකාරයට, එය පන්තියේ සිසු සිසුවියන් ගේ රැස්වීමකි. මෙහිදී ඔවුන් විසින් කවි, ගීත ගැයීම සහ කතා පැවැත්වීම යනාදිය කළ යුතුය.

සමිතියේ මූලාසනය හෙවත් සභාපති තනතුර නිල බලයෙන් හිමිවූයේ ටීචර්ටයි. සමිතිය සඳහා ලේකම්වරයෙකු සිසු-සිසුවියන් අතරින් පත් කර ගත යුතු යැයි ද චීචර් අපට සැළ කර සිටියා ය.

පන්ති කාමරයේ පිරිමි ළමුන් ගේ පැත්තේ ඉදිරිපස ආසනවල සිටියේ නාලන්ද, සිසිල් සහ මා බව මට මතක ය. ලේකම්වරයෙකු ගැන ටීචර් කියූ සැණින් තම කට විවර කළ දෙවෙනි පේළියේ සිටි ලයනල් "රසික හොඳයි" යැයි පවසා එලෙසින් මගේ නම මේ තනතුර සඳහා යෝජනා කළේය. කිසිවෙකු වෙනත් නමක් යෝජනා නොකළ හෙයින් මා සමිතියේ ලේකම් තනතුරට පත් වුණෙමි.

පන්තියේ සමිතියේ ලේකම් ලෙස මගේ කාර්යභාරය කුමක් දැයි මැ.පෙ. රූපසිංහ ටීචර් මට විස්තර කර දෙන්නට ඇත.

ඊළඟට පන්තියේ සිසුන් ඇමතූ අපේ ටීචර් ඉල්ලා සිටියේ අද සමිති වාරයේ දී කවි, ගී ගායනා කරන්නට, කතා පවත්වන්නට කැමති සිසුන්ට ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන ලෙසත්, ඊළඟ සමිතියේ දී එසේ කරන්නට කැමැත්තේ නම්, තමන් ගේ නම් සහ විස්තර සමිතියේ ලේකම් රසිකට පවසන ලෙසත් ය.

ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් කිහිප දෙනෙකු ම එදා කවි ගායනා කළහ. සමිතියේ ඒ විස්තර සහ ඊළඟ මාසය සඳහා ඉදිරිපත් වූවන් ගේ තොරතුරු ද මම අභ්‍යාස පොතක අග පිටුවේ සඳහන් කර ගත්තෙමි.

එදා නිවසට ගිය පසු මා කියූ මේ විස්තරය ඇසූ අම්මා කියා සිටියේ මා ලේකම් ලෙස සමිතියේ වාර්තාවක් ඊළඟ සභා වාරයට ඉදිරිපත් කළ යුතු බවයි.

එකී වාර්තාව ලිවිය යුතු ආකාරය පිළිබඳව තාත්තා මට උපදෙස් දුන්නේ ය.
"මැයි මස දහතුන්වෙනි සිකුරාදා, කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ හතර වෙනි ශ්‍රේණිය ඒ පන්තියේ දී පවත්වන්නට යෙදුණු ශිෂ්‍ය සමිතියේ වාර්තාවයි මේ."

"මෙදින රැස්වීමේ මුලසුන උසුලන ලද්දේ පන්තිය භාර ගුරු මැ.පෙ. රූපසිංහ මහත්මිය විසිනි. ශිෂ්‍ය සමිතිය ආරම්භ කිරීමේ වැදගත්කම ගැන සිසුන්ට කියා දුන් ඇය, සෑම මසකටම වරක් සමිතිය පැවැත්වෙන බවත්, මෙහිදී කවි, ගීත ගායනා කිරීමට හෝ කතන්දර කීමට හෝ විවිධ මාතෘකා යටතේ කතා පැවැත්වීමට සිසුන්ට අවස්ථාව ලැබෙන බවත් පැවසූවා ය."

"සමිතියේ ලේකම් තනතුරට, රසික හරිශ්චන්ද්‍ර ගේ නම ලයනල් රණසිංහ විසින් යෝජනා කරන ලද අතර නාලන්ද පියතිලක විසින් ස්ථිර කරන ලදී. වෙනත් නාම යෝජනා නොවූයෙන් හතරවෙනි ශ්‍රේණියේ ඒ පන්තියේ ශිෂ්‍ය සමිතියේ ලේකම් තනතුරට රසික හරිශ්චන්ද්‍ර නිතරඟයෙන් තේරී පත්විය."
"දැන් ඔය විදියට එදා සමිතියේ දී වුණු සේරම විස්තර ලියපං. අන්තිමට වාර්තා කළේ කියලා උඹේ නම එකතු කරපං!" තාත්තා කීවේය.

මේ වාර්තාව ලිවීම මට, අකුරු, වචන, වාක්‍ය සහ භාෂාව සලකන කළ ලොකු දෙයක් නොවීය. අලුත් අභ්‍යාස පොතක් ගත් මම, පෙර කී මුල් විස්තරයට අමතරව තවත් වාක්‍ය කිහිපයකින් එතැන් සිට සමිතියේ අවසානය දක්වා සිදුවුණු දේ, කවි, ගීත ගායනා කළ, කතන්දර කියූ සිසු සිසුවියන් ගේ නම් සහ විස්තර ද සහිතව ගලපා ලියූවෙමි.

මාසයක් ගෙවී අපේ සමිතියේ දෙවන සභා වාරය උදාවිය.

"කවුද අපේ සමිතියේ ලේකම්, රසික නේද? දැන් එහෙනම්, රසික ඉස්සරහට ඇවිත් ගිය වාරේ සමිතිය ගැන ලියපු වාර්තාව කියවන්න!" මැ.පෙ. රූපසිංහ ගුරුවරිය සමිතිය ආරම්භ කරමින් කීවා ය.

හිඳගෙන සිටි ආසනයෙන් නැගිට පන්තියේ ඉදිරියට යාමට මට කිසිසේත් ම සිත හදා ගත නොහැකි විය. ස්ටේජ් ෆ්‍රයිට් හෙවත් සබකෝලය කියන්නේ මේ අපහසුතාවයට බව මම පසුව දැන ගතිමි!

මා ලියූ වාර්තාවේ අඩුපාඩුවක් තිබේද? මා එය ලියා අවසාන කළා මිස පන්ති භාර ගුරුවරියට හෝ අඩු වශයෙන් තාත්තාට හෝ පෙන්නුවේ නැත. මා මේ වාර්තාව පන්තියේ ඉදිරියට ගොස් කියවන්නේ කෙසේද?

මා පැකිළෙනු දුටු මැ.පෙ. රූපසිංහ ගුරුවරිය "ඇයි රසික වාර්තාව ලිව්වේ නැද්ද?" කියා මගෙන් විමසූවා ය.

සිතේ පිරි සබකෝලය, බිඳ වැටුණු ආත්ම විශ්වාසය, ලැජ්ජාව, බිය, බඩේ සමනල්ලු යනාදී සියලු අකලංචි මැදින් ම මට මගේ ගැලවුම් මාර්ගය ඒ වචන තුළින් පෙනුණි.

"ඔව් ටීචර්!" මම කීවෙමි.

"හොඳයි, අද මුල් දවසනේ, කමක් නෑ, අද වෙන දේවල්වල විස්තර හොඳින් ලියා ගෙන අද වාර්තාව ඉක්මනටම ලියන්න!" ඇය මා බේරා ගත්තාය.

මේ සිද්ධිය හා සම්බන්ධව මගේ මතකයේ හොඳින් රැඳී ඇත්තේ තව එක දර්ශනයක් පමණි.

පිටුපස පේළියේ සිටි ලයනල් රණසිංහ දෙසට හැරුණු නාලන්ද පියතිලක සහ සිසිල් පුෂ්පකුමාර දෙදෙනා, මගේ ඒ අසමත් වීම තමන්ට වූ මහා ලජ්ජාවක් සේ සිතා දෝ "මේ ලයියා තමයි සේරම කළේ!" යැයි ලයියාට දෝෂාරෝපණය කරන්නට පටන් ගැනීමයි.

සමිතියේ ලේකම් වීම විශාල ගෞරවණීය කාරණයක් බවත්, ඒ අවස්ථාව තමන්ට නොලැබීම ගැන නාලන්ද පියතිලක සහ සිසිල් පුෂ්පකුමාර දෙදෙනා ඉතා කණගාටුවෙන් පසුවෙන බවත් මට එවෙලේ වැටහිණි.

මම එදිනම සවස් වරුවේ, මුල් වර කළාටත් වඩා හොඳින්, අක්‍ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ ගැන දන්නා තරමින් සැලකිලිමත් වෙමින් දෙවෙනි සමිතියේ වාර්තාව ලියූවෙමි.

නාලන්ද පියතිලක සහ සිසිල් පුෂ්පකුමාර දෙදෙනා ගේ බලාපොරොත්තු කවරාකාරයේ වූවද, ඒ වසරේ අවසානය දක්වාම මම මගේ ලේකම්කම රැක ගත්තෙමි!

පසු කලෙක විශ්ව විද්‍යාලයේ දී, මා පේරාදෙණිය ඉංජිනේරු පීඨ කලා කවයේ ද, ඉංජිනේරු පීඨ සමාජ විද්‍යා සංගමයේ ද ලේකම් ලෙස කටයුතු කළ මුත් මේ ආකාරයේ සමිති වාර්තා ඉදිරිපත් කිරීමක් හෝ ලිවීමක් හෝ ඒ තනතුරුවල වගකීම්වලට ඇතුළත් නොවීය.

කෙසේ වෙතත්, ඒ වෙන විට මගේ මේ සබකෝලය මග හැරී තිබුණි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සබකෝලය වැනි කුඩා කාලයේ අපට බලපාන තවත් කෝලයක් වන්නේ කෙල්ලෙකු සමග කතා කිරීමට ඇති අපහසුවයි. මේ සංකීර්ණය ලියනගේ අමරකීර්ති විසින් තම අටවක පුත්තු නවකතාවේ දී හඳුන්වා දී ඇත්තේ මනමාල බිය යනුවෙනි.

මගේ මනමාල බිය නම් විශ්ව විද්‍යාලයේ දෙවන වසර දක්වාම වාගේ පැවතුණි!

(image: http://sannasa.sinhalajukebox.org/ - artiste: Jagath J Edirisinghe)

Friday, 16 October 2015

මාර්ටින් වික්‍රමසිංහ ගේ කුමර බඹසර සහ ජාතිවාදී මැර සම්බන්ධකම් - Obscure Observations


මාර්ටින් වික්‍රමසිංහ ගේ "උපන්දා සිට" නම් වූ ස්වයංචරිතාපදානය කියවා මා දැන උගත් කරුණු කිහිපයක් සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි.

දහනමවන ශත වර්ෂයේ වසර 1890 දී උපන් මාර්ටින් වික්‍රමසිංහ ස්වෝත්සාහයෙන් උගත්තෙකි. විවිධ දුක් ගැහැට මැද ජීවිතය අරඹා පසුව පුවත්පත් කතුකම සහ ලේඛකත්වය නිසා සිංහල සමාජයේ පොත් පුවත්පත් කියවන පිරිස අතර ඉහළ ප්‍රසිද්ධියක් ලද්දෙකි.

මාර්ටින් වික්‍රමසිංහ ගේ වඩාත් ජනප්‍ර්‍රිය වැඩි දෙනෙකු කියාවා ඇති කෘතිය "මඩොල්දූව" බව නිසැක ය. "ගම් පෙරළිය" ද, සිංහල භාෂාව පිළිබඳ විභාගවලට නියමිත පොතක් නිසා වැඩි පිරිසක් කියවා තිබේ යැයි සිතමි. ඔහු ගේ වඩාත් ආන්දෝලනයට ලක්වූ කෘතිය වූයේ "බව තරණය" යි.

සිද්ධාර්ථ ගෙෘතම ගේ ජීවන චරිතය ආශ්‍රයෙන් ලියවී තිබුණු "බව තරණය", එ නිසා ම, පොත කියවූ, නොකියවූ පිරිසක ගේ විරෝධතාවයට ලක් විය. එවකට, ලංකාවේ බෞද්ධ තලිබාන්කරනය අද තරම් පැතිර නොතිබුණු නිසා, ඒ විරෝධය අකුරු මගින් කෙරෙන ප්‍රහාරයන්ගෙන් ඔබ්බට නොගියේ ය.

අද දවසේ ඒ කෘතිය ලියවුණා නම්, බොඩු බාල සෙන්නා වැනි අන්තවාදී පිරිස් තම වාලධි ඔසවා ගෙන, මාර්ටින් වික්‍රමසිංහ එල්ලුම් ගහට යැවිය යුතු යැයි විරෝධතා නගනු ඇති බවට නො අනුමානය!

දැන් මෙන්න මාර්ටින් වික්‍රමසිංහ ගේ "උපන්දා සිට" නම් වූ ස්වයංචරිතාපදානය කියවීමෙන් මා දැන උගත් දේ ලයිස්තුව.

  1. පොඩි කාලේ සිට අපි කතන්දරවල ගමරාල නමින් හැඳින්වෙන චරිත ගැන අසා ඇත්තෙමු. නමුත්, සාමාන්‍යයෙන් ගරුසරු සහිතව වෙද මහත්තයා හෝ එවැනි අයුරකින් ඇමතුම් ලබන ගමේ වෙදාට, මාර්ටින් වික්‍රමසිංහ උපන් දා සිට කෘතියේ අමතන්නේ වෙදරාල කියායි. මඩොල්දූවේ ද, වෙදරාල යන්න යෙදුණු බවට මතකයක් ද මට ඇත.
  1. අද ලියන භාෂාවේ භාවිතා වෙන "විය" යන වචනය වෙනුවට මාර්ටින් වික්‍රමසිංහ ලියා ඇත්තේ වී ය යනුවෙන් බවද මම නිරීක්‍ෂණය කළෙමි.

    එනම්, "එය එසේ සිදුවිය" හෝ "එය එසේ සිදු විය" කියා අප ලියන වාක්‍යයක් මාර්ටින් වික්‍රමසිංහ ලියන්නේ "එය එසේ සිදු වී ය" යනුවෙනි.
  1. සැතපුම යන මිනුම දක්වන වචනය වෙනුවට මාර්ටින් වික්‍රමසිංහ යොදා ඇත්තේ "මයිල" යන වචනයයි. මයිල් යන ඉංගිරිසි පදයෙන් වාත්තු කරගත් මයිල යන්න අද කාලයේ සිහි කරවන්නේ සමෙන් මතුවෙන රෝමකූප පමණි.

    මේ ආකාරයෙන් ම වාත්තු කරගෙන ඇති මිනිත්තුව, පනිට්ටුව, බිස්කට්ටුව, පෙරෙට්ටුව වැනි වචන නම් අද ද භාවිතයේ පවතී.
  1. "තාන් රෙදි" නමින් යෙදුමක් උපන් දා සිට කෘතියේ කීප වතාවක් යොදා තිබෙනු දුටුවෙමි. මෙයින් අදහස් වෙන්නේ තුනී රෙද්දක් යැයි මා මුලින් සිතුවත්, එහි නිවරැදි තේරුම අලුත් රෙද්දක් බව පසුව වටහා ගතිමි.
  1. තමා උපන් දා සිට වසර පනහකට වඩා ජීවිත කාලය ගැන ලියවී ඇති මේ කෘතියේ මාර්ටින් වික්‍රමසිංහ සඳහන් කර ඇති එක් නොවැදගත් යැයි පෙනෙන සිදුවීමක් මට මුලින් ගෙන දුන්නේ පුදුමයකි.

    ඒ සිදුවීම මෙසේ ය.

    මාර්ටින් වික්‍රමසිංහ තම ඥාතියෙකු ගේ මඩකලපුවේ පිහිටි සිල්ලර බඩු කඩයක සේවය කරන සමයේ එහි විත් බඩු තෝරමින් සිටින එක්තරා ඉංගිරිසි ජාතික කාන්තාවක ගේ අතක යමක් ගෑවෙයි. මෙය දුටු මාටින් වික්‍රමසිංහ කරන්නේ තාන් තුවායක් ගෙන ඇගේ අත පිස දැමීමයි.

    දශක ගණනාවකට පසු තම ස්වයංචරිතාපදානය සකසන විට මෙලෙස විස්තර කර ලියන්නට මාර්ටින් වික්‍රමසිංහ පෙළඹවූ ඉහත සිදුවීමේ වැදගත්කම කුමක්ද?

    ස්වදේශිකයින් සහ විදේශිකයින් අතර යටත් විජිත සමයේ තිබුණු විශාල පරතරය නිසා ඉහත සිදුවීම තම ජීවිත කතාවට ඇතුළත් කිරීමට තරම් ඉතා වැදගත් එකක් සේ මාර්ටින් වික්‍රමසිංහට සිතුණා විය හැක.

    නමුත්, මට සිතෙන්නේ ඒ නොවැදගත් සිදුවීම විස්තර කිරීමට හේතුව මාර්ටින් වික්‍රමසිංහ ගේ කුමර බඹසර බිඳුනේ ඒ ඉංග්‍රීසි ජාතික කාන්තාව ගේ අත ඇල්ලූ මොහොතේ නිසා බවයි!
  1. උපන් දා සිට කෘතියේ මගේ අවධානය යොමු වූ තවත් වැදගත් කොටසක් නම් 1915 බෞද්ධ-මුස්ලිම් කෝලාහලය පැන නැගුණු මොහොතේ මාර්ටින් වික්‍රමසිංහ හැසිරුණු ආකාරයයි.

    අනිවාර්යෙන් ම මාර්ටින් වික්‍රමසිංහට මැරයින් සමග සම්බන්ධතා තිබී ඇත. තම මැර මිතුරන් කරත්තයක නැගී, කඩු කිනිසි මුගුරු රැගෙන, ගාල්ල බලා යද්දී මාර්ටින් වික්‍රමසිංහ ඒ පිරිස හා එකතුවන්නේ කිසිදු ප්‍රායෝගික විරෝධතාවක් නොදක්වමිනි. ඔහු ඒ ගමන නිහඬතාවයෙන් අනුමත කළා පමණක් නොව සහභාගීත්වයෙන් සහයෝගය ද දක්වා ඇත.

    රෑ බෝ වී ගාල්ලේ මුස්ලිම් ප්‍රජාව සිටින ප්‍රදේශයට මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු මැර පිරිස ළඟාවන විට ඔවුන් එහි එන බව දැන ඔවුන් පිළිගන්නට එහි රැඳී සිටින්නේ පොලිස් නිලධාරීන් සහ ගම්මුලාදෑනී පිරිසකි.

    පසුව ආණ්ඩුවේ ඒජන්ත ද එහි පැමිණේ.

    සිදුවී ඇත්තේ මෙයයි.

    කඩුූ කිනිසි මුගුරු රැගෙන කරත්තයකින් කොග්ගල සිට ගාල්ල බලා පිටත් වූ ඒ මැර පිරිසේ ජාතිවාදී පරමාර්ථය දැන ගත් ගමේ ඥාතීන් මේ ගැන සඳහන් විදුලි පණිවිඩයක් පොලිසියේ ලොක්කාට එවා ඇත.

    ජාතියේ වාසනාවකට, මාර්ටින් වික්‍රමසිංහ සහ මැර පිරිස රැගත් කරත්තය ගමනාන්තයට ළඟාවෙන විට ඔවුන්ගේ ආගමනය පිළිබඳ පුවත රැගත් විදුලි පණිවිඩය ආරක්‍ෂක අංශවලට ලැබී තිබුණි.

    ජාතිවාදී අපරාධ ක්‍ර්‍රියාවක් මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු මැර පිරිස අතින් සිදුවෙන්නට පෙර එය වළක්වාගැනීමට හැකි වුණු නිසාත්, විවිධ දැන ඇඳුනුම්කම් නිසාත්, චෝදනා නො ලබා, අත් අඩංගුවට පත් නොවී නිරුපද්‍රිතව ආපසු තම ගම් පෙදෙස බලා යන්නට ඔවුනට ඉඩ ලැබේ.

    පෙර කී විදුලි පණිවිඩය නොවන්නට එදා මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු මැර පිරිස මුස්ලිම් කඩ කඩන්නට සහ මුස්ලිම් වැසියනට පහර දෙන්නටත්, අප දන්නා මාටින් වික්‍රමසිංහ නම් මහා ලේඛකයා වෙනුවට, හෙන්රි පේද්‍රිස් ආකාරයේ තවත් ජාතික වීරයෙක් බිහිවීමටත් ඉඩ තිබුණු බව පෙනේ.
කෙසේ වෙතත්, මාර්ටින් වික්‍රමසිංහ ජාතිවාදියෙකු බවට ස්ථිරවම පැවසිය හැකි වෙනත් කරුණු ඔහු ගේ ලියවිලි තුළින් මට හමුවී නොමැති බව ද කිව යුතුය.

-රසිකොලොජිස්ට්

(image: http://archives.dailynews.lk/2009/07/31/fea27.asp)

Wednesday, 14 October 2015

කාමේසු මිච්ඡාචාරා යනු කවර නම් පවක්දැයි කෙටියෙන් සරලව කිව හැකි අයෙකු ඕනෑ කර තිබේ! - A century old issue


මාර්ටින් වික්‍රමසිංහ ඉපදී ඇත්තේ දහනමවෙනි සියවසේ අවසාන දශකයේ දී ය. ඔහු තම මඩොල්දූව නවකතාවේ විස්තර කෙරෙන අත්දැකීම් ලැබුවේ විසිවෙන සියවස එළිපත්තේ සිට විය යුතුයි.

එදා සිට අද වෙනතුරු ගත වී ඇති කාලය වසර සියයකට වඩා වැඩිය.

නමුත් මඩොල්දූව නවකතාවේ ප්‍රධාන චරිතය වූ උපාලි ගිනිවැල්ලේට ඇති වූ කාමේසු මිච්ඡාචාරා යනු කුමක්ද යන සරල ප්‍රශ්නයට සරල පිළිතුරක් අදත් අපට නැත!

පොඩි පොඩි අවුල් තිබෙනවා වුව ද,
  • පාණාතිපාතා පැහැදිලි ය.
  • අදින්නාදානය පැහැදිලි ය.
  • මුසාවාදය පැහැදිලි ය.
  • සුරාමේරය පැහැදිලි ය.
නමුත් කාමේසු මිච්ඡාචාරාව අපැහැදිලි ය.

තෙවන සිකපදය නොකඩමි නමින් ගුණදාස ලියනගේ ලියූ කෙටි නවකතාවක් මම කලකට ඉහත කියවා ඇත්තෙමි. මගේ කෙමෙන් මැකීයන මතකයට අනුව එහි කතා වස්තුව වූයේ භික්‍ෂුවක් තමා සමග ලිංගිකව එක්වීමට වෙර දරන කාන්තාවකගෙන් ගැලවීමට තැත් කරන ආකාරයයි. එනම්, ඒ නවකතාවේ තෙවන සිකපදය යනුවෙන් අදහස් කෙරුණේ කාමේසු මිච්ඡාචාරාව නොව අබ්‍රහ්මචරියාවයි!

පසුගිය දිනක මට වත්පොත හරහා මිතුරු ඇරයුමක් එවූ එක් භික්‍ෂුවක පසුව පන්සිල් හා සම්බන්ධ වීඩියෝවක් තම කාල රේඛාවේ බෙදාගෙන තිබෙනු දුටු මම, එතැන ප්‍රතිචාරයක් දක්වමින් කාමේසු මිච්ඡාචාරා යනු කුමක්දැයි විමසා සිටියෙමි.

මට කෙළින් පැහැදිලි පිළිතුරක් නොලැබුණි. ඒ වෙනුවට ලැබුණේ බුදුසරණ පත්තරයට කවුදෝ ගිහියෙකු ලිවූ ලිපියකට දිගුවක් සහ තවත් යාන් හෑල්ලකි.

අද යමෙකු බෞද්ධයෙකු ලෙස සැලකෙන්නේ තුන් සරණය පිළිගැනීම සහ පන්සිල් රැකීම අනුව නිසා, පන්සිල්වල අරුත සරලව කීමට අපට හැකි විය යුතුය.

කාමේසු මිච්ඡාචාරා පව ගැන ලියවී ඇති මා දුටූ තැන්වල කියවෙන්නේ අහවල් කැටගරියේ කාන්තාවන් සමග අහවල් එක කිරීම පවක් බව පමණි. ඒ අනුව කාන්තාවන් අතින් මේ පව සිදුවීමට ඉඩක් නැති සේ පෙනේ!

කාමාසු මිච්ඡාචාරා පිළිබඳව සාමාන්‍ය සම්මතය ලෙස අප දැනට දන්නේ විවාහ වූ අයෙකු තම සහකරු හෝ සහකාරියට හොර රහසේ තුන්වැන්නෙකු සමග ලිංගිකව එක්වීම මේ සීලය අනුව පවක් බවයි. මෙය සාමාන්‍ය නීතිය යටතේ ද දික්කසාදයට සහ නඩත්තු ගෙවීම්වලට තුඩු දිය හැකි කාරණයකි.

මට අපැහැදිලි කරුණු මේවා ය.
  1. විවාහ වූ අයෙකු තම සහකරු හෝ සහකාරිය දැනුවත්ව තුන්වැන්නෙකු සමග ලිංගිකව එක්වීම කාමේසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
  2. විවාහයට පෙර දෙදෙනෙකු ලිංගිකව එක්වීම කාමේසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
  3. දෙදෙනෙකුට වැඩි පිරිසක් එක්වර ලිංගිකව එක්වීම කාමාසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
  4. විරුද්ධ ලිංගිකයින් අතර ලිංගික එක්වීම ලංකාවේ දැනට නීති ගත සම්මතයයි. එකම ලිංගයේ දෙදෙනෙකු ලිංගිකව හැසීරීම නීතියෙන් තහනම් වෙන්නාක් සේ එය කාමාසු මිච්ඡාචාරා ආකාරයේ පවකුත් වේ ද?
  5. ස්වයං වින්දනයේ යෙදීම කාමේසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
ඒ කෙසේ වෙතත්, (6) කුමාරකාමයේ යෙදීම, එනම්, "පන්සල් සූදුව" නොහොත් වැඩිහිටියන් ළමුන් හා ලිංගික ක්‍රියාවන් හි යෙදීම, නම් අනිවාර්යෙන් ම කාමාසු මිච්ඡාචාරා ආකාරයේ පවක් මෙන්ම අබ්‍රහ්මචරියා සීලය කැඩී පාරාජිකා වෙන ආකාරයේ පවක් යැයි සිතමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
පන්සල් සූදුව ගැන අදහසක් මේ ලිපියෙන් ලබා ගත හැක!
http://ctkumara.blogspot.com/2012/07/blog-post_24.html

Monday, 12 October 2015

අයිරාංගනී සේරසිංහ, දෙනවක හාමිනේ සහ දීපානි ද සිල්වා -නිළියන් තිදෙනෙකු ගේ සමානකම් සහ අසමානකම් ගැන පිස්සු විග්‍රහයක් - Actresses and Politics


ඇත්තටම මා මුලින් ලියන්නට සිතුවේ දෙනවක හාමිනේ සහ දීපානි ද සිල්වා ගැන පමණි. නමුත් මේ සටහන ලිවීම අරඹන්නට පෙර, අයිරාංගනී සේරසිංහ ද මේ ලිපියට එකතු වූවා ය.

එනිසා අයිරාංගනී සේරසිංහගෙන් ම සටහන අරඹමි.

අයිරාංගනී සේරසිංහ (විවාහයට පෙර මීදෙනිය) සිංහල සිනමාවට අවතීර්ණ වී ඇත්තේ රේඛාව චිත්‍රපටයේ මවක ගේ චරිතය රඟපාමිනි. ඇය ඊට පෙර ඉංගිරිසි වේදිකා නාට්‍යවල තරුණ චරිත නිරුපණය කර තිබුණේ වුවද, රේඛාවේ චරිතයෙන් පසු ඇය සිනමාවේ රඟපෑ සෑම චරිතයක් ම වැඩිහිටි චරිත වී ඇත.

චිත්‍රපට රැසක රඟපෑව ද, අයිරාංගනී සේරසිංහ වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ මෝඩයාගේ පෙට්ටිය ලංකාවේ නිවාස ආක්‍රමණය කළ පසු, ආච්චී ගේ චරිතය රඟපාමින් ය.

රේඛාව තිරගත වූ කාලයේ අයිරාංගනී මීදෙණිය වයස විසි නවයක (1927-1956) තරුණ කාන්තාවකි. මාලනී ෆොන්සේකා එයා දැන් ලොකු ළමයෙක් නම් චිත්‍රපටයේ වැඩිවිය පැමිණෙන වයසේ සිටි දැරියක ගේ චරිතය රඟපාද්දී ඇගේ වයස අවුරුදු විසි අටක් වූ බව (1947-1975) සලකන විට අයිරාංගනී මීදෙණියට (රේඛාවෙන් පසු සේරසිංහ) කිසි දිනෙක මව් චරිත මිස තරුණ චරිත රඟපාන්නට නොලැබීම සුවිශේෂී කාරණයකි.

ඒ අතින් අයිරාංගනී සේරසිංහට ඉතා සමාන නිළියක වන්නේ දෙනවක හාමිනේ ය.

දෙනවක හාමිනේ තම ජීවිතයේ මැදිවයස පසුකරමින් සිටින අවධියේ සිනමාවට පිවිස ඇත්තේ, මා අසා ඇති පරිදි, හුදෙක් ම ආදායම් මාර්ගයක් හෙවත් රැකියවක් ලෙසිනි. මුල් යුගයේ දී ජීඩීඑල් පෙරේරා ගේ සාමා, සිරි ගුණසිංහ ගේ සත් සමුදුර වැනි චිත්‍රපටවල ඇය රඟ පෑ මව්වරුන් ගේ චරිත විචාරක පැසසුමට ලක් වී ඇත. ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දෑස නිසා චිත්‍රපටයේ ඇය ගේ රඟපෑම මා දැක ඇති, මා සිත් ගත් එක් අවස්ථාවකි.

මැදි විය පසු කර විශ්‍රාම වයසේ දී සිනමාවට පිවිසි දෙනවක හාමිනේ රඟ පෑ චරිත සියල්ල ද, අනිවාරයෙන්ම වැඩිහිටි, මහලු, සහය නිළි වර්ගයේ සුළු චරිත විය.

මා දෙනවක හාමිනේ මා සැබවින්ම දැක ඇත්තේ එක් දිනයක පමණි. ඒ මා කුඩා එකෙකු වුවත් ඡන්ද ඔට්ටු පවා අල්ලන වයසක සිටි කාලයේ දී පැවැත්වුණු 1977 මැතිවරණ සමයේ ගම්පහ බණ්ඩාරවත්තේ පැවති යුූඇම්පී දේශපාලන රැලියක දී ය.

මේ රැළිය එකල පැවති සිරිලංකා රජයට විරුද්ධව පෙළ ගැසුණු කලාකාරයින් රැසක් සහභාගී වුුණු එකක් විය. මෙහිදී මා දුටු අනෙකුත් කලාකරුවන් අතර මුවන්පැලැස්ස ගුවන් විදුලි නාටකයේ රඟපෑ නෙතලී සහ වොලී නානායක්කාර වැන්නෝ ද වූහ.

මෙහිදී එක් පැහැදිලි කිරීමක් කළ යුතු වේ.

විපක්‍ෂයේ සිටින්නෝ කලාකාරයෝ ය. ඔවුන් නළාකාරයින් වන්නේ ආණ්ඩු පක්‍ෂයට කඩේ යමින් විවිධාකාරයේ වාසි ලබා ගන්නට පටන් ගත් විටය.

උදාහරණයක් ලෙස අප හිතවත් සෝමරත්න දිසානායක මහින්ද රාජපක්‍ෂ සමයේ නලාකාරයෙකු විය. පසුගිය ජනාධිපති ඡන්දය කාලයේ ඔහු පොදු අපේක්‍ෂකයාට සහය පළකරමින් කලාකරුවෙකු බවට පත්විය. පසුව, රූපවාහිනී සංස්ථාවේ සභාපති පදවිය භාර ගනිමින් නැවතත් නළාකරුවෙකු විය. එයිනුත් පසු, මහ ඡන්දය කාලේ ඒ තනතුරෙන් ඉල්ලා අස්වී දැන් නැවතත් කලාකරුවකු ලෙස වර්ගීකරණය කළ හැකි තත්වයකට පත් වී ඇති බව පෙනේ!

එදා ගම්පහ බණ්ඩාරවත්තේ එජාපයට සහයෝගය දෙන වේදිකාවේ දී ඇය කළ කතාවේ දී, සිරිමා බණ්ඩාරනායක රජය යටතේ සබන් මිල ඉහළ ගොස් ඇති නිසා, ස්නානය කරන්නේ සබන් නොමැතිව බවත්, එනිසා ඇඟේ කුණු තට්ටු පිරී ඇති බවත් කියමින් දෙනවක හාමිනේ කුණු අතුල්ලා පෙන්වූ බව සමහරු කියනු මා අසා ඇත.

ඒ කෙසේ වෙතත්, 1977 කලාකරුවෙකු ලෙස පැවති රජයට විරුද්ධව එජාපය බලයට පත් කරවන්නට ඇය කතා කළායින් පසුව එළැඹුණු දාහත් වසරක ශාපලත් කාල සීමාව තුළ දෙනවක හාමිනේ නළාකාරියක බවට පත්වූ බවක් නම් මගේ මතකයේ නැත.

දේශපාලන වේදිකාවල කතා පැවැත්වූ නිළියන් පිළිබඳව සඳහන් කෙරෙද්දී, දෙනවක හාමිනේ මෙන් තව දිගු කාලයක් තිස්සේ ජනතාව අතර අනිවාර්යෙන් ම පැවතෙන නමක් නම් මගේ ලිපියේ මාතෘකාව සැරසූ අනෙක් නිළිය වන දීපානි ද සිල්වා ය.

දීපානි ද සිල්වා යනු දෙනවක හාමිනේ සහ අයිරාංගනී සේරසිංහ මෙන්ම සුළු චරිත පමණක් රඟපාමින් ජනප්‍ර්‍රිය වූ තවත් නිළියකි.

මා දීපානි ද සිල්වා ඇය වීදි නාට්‍යවල රඟපානු දැක ඇති නමුත්, ඇය ජනතාව අතරට ආවේ නම් නාලන් මෙන්ඩිස් ගේ ටෙලි වෘතාතන්ත නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ ටෙලි වෘතාන්ත යනු දීපානි සිල්වා සහ අයිරාංගනී සේරසිංහ අතර ඇති අනෙක් සමානකම වේ.

පරිසර සංරක්‍ෂණය වැනි වමට බර අදහස්වලින් යුතු අයෙකු වුව ද, 50 දශකයේ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ අයෙකු වුවද, අයිරාංගනී සේරසිංහ සහ දීපානී ද සිල්වා දේශපාලනය අතින් සමාන කළ හැකි යැයි මට නොසිතේ.

එසේ නමුත්, දේශපාලන අන්ත දෙකක සිටියේ වුවද, දෙනවක හාමිනේ සහ දීපානි ද සිල්වා යනු තකට තක බව මට පසුගිය මහ ඡන්ද සමයේ නැරඹූ වීඩියෝ දර්ශනවලින් පැහැදිලිවිය.

ජවිපෙ මහ ඡන්දෙකින් දිනා රජයක් පිහිටුවීමේ තත්වයක් ගැන සිතිය නොහැකි නිසා, දීපානි ද සිල්වාට ඉහත දැක්වූ තර්කය අනුව කිසි දිනක නළාකාරියක නොවී දිගටම කලාකාරියක ලෙස සිටීමට හැකි වෙනු ඇත.

ජවිපෙ සටන පාවා දී නැවතත් සභාගයකට ගියහොත් නම් ඔන්න තරමක හෝ නළාකාරී චාන්ස් එකක් ලැබෙනු ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ නිළියන් ය.

නළුවන් ගැන මේ ආකාරයේ සංසන්දයක් කළ යුතු නම්, ඒ සඳහා සමාන සුදුසුකම් ඇති තිදෙනා කවරෙකු දැයි සිතමින් සිටිමි.

(images: http://www.nfc.gov.lk/)

Sunday, 11 October 2015

පති-පතිනි රස-රහස නොහොත් ශාස්ත්‍රපති කතා වස්තුව - Master of none!


"පති-පතිනි" යනු දිගු කලකට පෙර ලංකාවේ ප්‍රකාශනය වූ රීඩර්ස් ඩයිජෙස්ට් ප්‍රමාණයේ කුඩා සඟරාවකි. එවැනිම සඟරාවක් වූ "මුතුහර" ට වඩා "පති-පතිනි" හි තිබූ සුවිශේෂී වෙනස වූයේ එය විවාහ ජීවිතය පිළිබඳව රස-රහස් සහ තොරතුරු පිරි සඟරාවක් වීමයි.

මෙහි දී "පතිනිය" යනු බිරිඳ ය. "පති" යනු සැමියා ය. "පති කුලයට යෑම" යනු කුමරියක් "පතිනියක" වී සැමියා ගේ "කුල ගෙට" යෑමයි. "පතිනිය මිස පාස්කුඩම් කිසිත් නො ගමි"යි සරුංගලේ චිත්‍රපටයේ දී නඩරාජා සිතුවේ ඒ අනුව ය.

ගෘහපති, විහාරාධිපති යන වචනවලින් "පති" යන වදනේ තේරුම අයිතිකාරයා බව පෙනේ. ඒ අනුව, කුලපති යනු පවුලේ හිමිකරුවා නොහොත් නැවතත්, සැමියා ය.

සුද්දා ගේ කාලේ ගමේ කැකිරි "වර්නක්‍යුලර් අධ්‍යාපනය" ලැබූ අපේ තාත්තා ගේ පරම්පරාවට වැඩිහිටි ශිෂ්‍යයන් ලෙසින් හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබන්නට ඉඩ සැලැස්වූ වැඩ පිළිවෙළක එක් පියවරක් ලෙස බිහි කළ විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ පළමුවෙනි චාන්සලර් ලෙස පත්වීම ලද සෝරත හාමුදුරුවන් චාන්සලර් යන්නට සිංහලෙන් වාත්තු කර තිබුණු මේ කුලපති යන වචනය භාවිතා කිරීම ප්‍රතික්‍ෂේප කළ බව කියවේ.

ඒ ගිහිගෙය අතැර මහන දම් පුරන සිල්වත් සෝරත හාමුදුරුවන්, තමන් සැමියෙකු ලෙස හැඳින්වෙනවා දකින්නට තිබුණු අකමැත්ත නිසාය.

විද්‍යෝදය විශ්ව විද්‍යාලය ඇරඹුණු කාලයේ ම ඇරඹුණු කැලණියේ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ කුලපති තනතුරට ඒ දිනවල ප්‍රසිද්ධ චරිතයක් වූ බුද්ධරක්ඛිත වැනි අයෙකුව පත් කළේ නම් එය අපූරුවට ගැළපෙනු නොඅනුමානය!

විද්‍යෝදය සහ විද්‍යාලංකාර විශ්ව විද්‍යාල අරඹන්නට පෙර කොළඹ අවට තිබුණු එකම උසස් අධ්‍යාපන ආයතනය වූයේ කොළඹ විශ්ව විද්‍යාලයයි (නිවරැදිව කිවහොත් ලංකා විශ්ව විද්‍යාලයේ කොළඹ මණ්ඩපයයි).

පෙර ලිපියේ මා කියන්නට ආරම්භ කළ කතාවට මාතෘකාව සැපයූ ශාස්ත්‍රපති උපාධිය මා ලබා ගත්තේ ඒ කොළඹ විශ්ව විද්‍යාලයෙනි.

ඇත්තම මේ උපාධිය ආර්ථික විද්‍යාව පිළිබඳ එකක් විය. එය පිරිනැමුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි පිඨයෙනි. නමුත්, මේ පාඨමාලාව පවත්වා ගෙන ගිය ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව අනුයුක්ත වූයේ ශාස්ත්‍ර පීඨයට නිසා උපාධිය හැඳින්වූයේ මාස්ටර් ඔෆ් ආට්ස් එනම් ශාස්ත්‍රපති කියා මිස, මාස්ටර් ඔෆ් ඉකොනොමික්ස් එනම් ආර්ථික විද්‍යාපති කියා නොවේ.

ආර්ථික විද්‍යාව ගැන එහෙන් මෙහෙන් සපයා ගත් සැමුවෙල්සන් මට්ටමේ යම් දැනුමක් තිබුණු නිසාත්, ඊටත් වඩා ආර්ථික විද්‍යාව ගැන තරමක උනන්දුවක් තිබුණු නිසාත්, පුවත්පතක තිබූ දැන්වීමක් දැක මා මේ පාඨමාලාව හැදෑරීමට අයැදුම් පතක් යොමු කළේ ඒ ගැන වැඩිදුර නොසිතා ය.

තෝරා ගැනීම පිණිස විශ්ව විද්‍යාලයෙන් පවත්වන ලද ආර්ථික විද්‍යාව පිළිබඳ විභාගය සඳහා පෙනී සිටියේ ද වැඩි බලාපොරොත්තුවකින් යුතුව නොවේ.

නමුත්, කොහේදො තිබූ මරාලයක් කඩා වැටීම නිසා දෝ, ඒ විභාගයේ ප්‍රතිඵල මත මට මේ පාඨමාලාව නොමිලයේ හැදෑරීම සඳහා පුර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණි. ඇත්තටම ඒ මා නොපැතූ, නොසිතූ විරූ ආකාරයේ අති විශාල ජයග්‍රහණයකි!

මා එකල සේවය කළේ කැලණිය විශ්ව විද්‍යාලයේ ය. එනිසා, දෙවර්ෂයක් අර්ධකාලීනව ගත කර හැදෑරිය යුතු මේ පාඨමාලාව පූර්ණකාලීනව එක් වසරකින් හදාරන්නට මම සැලසුම් කළෙමි. පූර්ණකාලීනව හෝ අර්ධකාලීන හෝ වෙනසක් නොමැතිව දේශන පැවැත්වුණේ සතියේ දිනවල සවස් යාමයේ සහ සෙනසුරාදා උදේ වරුවේ නිසා ඒ සැලසුම ඒ අයුරින්ම ක්‍රියාවට නංවා සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට මට හැකිවිය.

අදාළ විෂයයන් හදාරා, ඒවායේ පැවරුම් නිමකර, විභාග සමත් වුණු පසු, අවශ්‍ය නම් තවත් වසරක් පුරා යම් තෝරාගත් ආර්ථික විද්‍යා කරුණක් පිළිබඳව පර්යේෂණයක් කර මාස්ටර් ඔෆ් පිලොසොපි හෙවත් දර්ශනපති උපාධියක් සඳහා මේ උපාධිය දිගු කරගත හැකිකම තිබුණ ද, අර සෝරත හාමුදුරුවන් වෙනත් පති නාමයක් ප්‍රතික්‍ෂේප කළ කාරණයට වඩා වෙනත් කාරණයක් නිසා මා ඒ දර්ශනපති විකල්පය ප්‍රතික්‍ෂේප කළෙමි.

කොහොමටත්, කලින් ලබා තිබුණු මැවිසුරුපතිකමේ මිස මේ විනෝදය පිණිස මෙන් අරඹා ලබා ගන්නට නියමිත වූ ශාස්ත්‍රපතිකමේ ද වැඩි ප්‍රයෝජනයක් ඇතැයි මට සිතී නොතිබුණි.

එනිසා මා තවමත් ශාස්ත්‍රී ගේ සැමියා (ශාස්ත්‍රපති) සහ මැවිසුරුණිය ගේ සැමියා (මැවිසුරුපති) ලෙස බහු විවාහයකින් පමණක් සෑහී සිටිමි.

වෙනත් විවාහයක් කර ගැනීමේ අදහසක් නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිය සහ මේ හා සම්බන්ධ පෙර ලිපිය සඳහා නිමිත්ත සපයමින් මගේ මතකය අවදි කළ නලීන් දිල්රුක්‍ෂ මිතුරාට විශේෂ ස්තුතිය පිරිනමමි.

Thursday, 8 October 2015

ශාස්ත්‍රපති රසික සූරියආරච්චි මෙලොවට බිහි වූ හැටි - Jack of all trades


තාත්තා කළු පැහැති රෙද්දක් පොරවා ගෙන ඉන්නා පෝස්කාඩ් ප්‍රමාණයේ රාමු කළ ඡායාරූපයක් අපේ නිවසේ තිබුණි. සුදු පැහැති ජාතික ඇඳුමට උඩින් එලෙස කළු රෙද්දක් කඩා දා ගෙන ඉන්නේ ඇයි දැයි මා දැන ගත්තේ පසු කලෙක කුමක් දෝ ලියවිල්ලක අපේ චූටි නැන්දා තාත්තා ගේ නම අගින් "බී.ඒ." කියා ලියූ දිනයේ ඒ කුමක්දැයි විමසූ විටය.

"බී.ඒ." එකක් ගත් විට කලු රෙද්දක් ලැබෙන බව මම එදා සිතේ සනිටුහන් කර ගත්තෙමි.

ගුරු සේවයේ සිට උසස් පෙළ සහ මා සිතන ආකාරයට "ජී.ඒ.කිව්." නමැති විභාගය සමත් වූ මගේ පියා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ වසර දෙකක් ගෙවා එකී "බී.ඒ." කෑල්ල ලබා ඇත්තේ වැඩිහිටි සිසුවෙකු ලෙසිනි.

ඉංගිරිසියෙන් Bachelor of Arts හෙවත් "බී.ඒ." නම් උපාධියේ සිංහල හැඳින්වීම "ශාස්ත්‍රවේදී" යන්න බව මා දැන ගත්තේ ඊටත් පසුවය. "බී.ඒ." යන්න ලියන්නන් එසේ ලියන්නේ නමේ අගට ය. "ශාස්ත්‍රවේදී" යන්න ලිවිය යුත්තේ නමේ මුලට ය.

නමුත් අපේ තාත්තා නම් ඔය "බී.ඒ." යන්න හෝ "ශාස්ත්‍රවේදී" යන්න හෝ කිසි දිනක භාවිතා කළ අයෙකු නොවේ.

තම උපාධිවලින් නම සැරසීමට නම් දරන්නන් නම් භික්‍ෂුන්, වෛද්‍ය උපාධිධාරීන් සහ ඇතැම් ආචාර්ය උපාධිධාරීන් ය.

තම වෘත්තීය සුදුසුකම දැක්වීමට අවැසි තැන්වල දී ඔවුන් එසේ කිරීම අන් අයට ද වැදගත් කරුණක් බව කිව යුතුය. උදාහරණයක් ලෙස වෙදෙකු මුණ ගැසීමට ගිය විට ඔවුන්ට ඇත්තේ කුමන උපාධියක්දැයි දැන ගැනීම ලෙඩුන් හැටියට අපට වැදගත් වේ.

ආචාර්ය උපාධිධාරීන් ලියන තම විෂයය ක්‍ෂේත්‍රයේ ලිපියක නම ඉදිරියේ "ආචාර්ය" කියා ලිවීම ද පාඨකයින්වන අපට තරමක වැදගත් කාරණයකි.

එසේ නමුත්, වෛද්‍ය විද්‍යා උපාධිධාරියෙකු ලියන කෙටිකතාවක කතෘ ගේ නමට ඉදිරියෙන් "දොස්තර" හෝ "වෛද්‍ය" කියා ලියා තිබෙනු හෝ භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ඇත්තෙකු ලියන කවියක කතෘ ගේ නමට ඉදිරියෙන් ආචාර්ය කියා ලියා තිබෙනු හෝ එවැනි දේ දැකීම මගේ සිතේ අපුලක් උපදවයි.

ඒ මක් නිසා ද යත්, නිර්මාණාත්මක කටයුත්ත සහ ඔවුන් කර ඇති ඉගෙනීම් හෝ ඒ සඳහා ලබා ඇති උපාධි හෝ අතර කිසිදු සම්බන්ධයක් නැති බැවිනි.

කලකට ඉහත ලංකාවේ ඉංජිනේරුවන් අතරද නමට ඉදිරියෙන් Eng කියා ලිවීම ඇරඹුණි. නමුත් එය සීමා වූයේ රාජකාරි කටයුතු සඳහා පමණි. අද ද, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මේ භාවිතය තිබෙනවා විය යුතුය. කලකට ඉහත පැවති අනෙකුත් රජයේ ප්‍රධාන ඉංජිනේරු දෙපාර්තමේන්තු වූ මහාමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව අපේ කාලය වන විටත් වැසී යමින් පැවතුණු නිසා, ඒ ඉංජිනේරු පෙර පදය වෙනත් තැනක භාවිතා වූයේ නැති යැයි සිතමි.

"ශාස්ත්‍රවේදී" නම් නාම විශේෂණ පදය භාවිතා මූලිකවම භාවිතා කරන්නේ කලා උපාධි ලබා ඇති භික්‍ෂුන් බව පහසුවෙන් නිරීක්‍ෂණය කළ හැකි කරුණකි. ඇතැම් වැඩිහිටි ගිහියෝ ද එසේ කරනු කලාතුරකින් දැක ගත හැකිය.

මගේ එක් ජ්‍යෙෂ්ඨ මිතුරෙකු තම විශේෂයෙන් තම ශාස්ත්‍රීය වැඩ කටයුතුවලදී මේ "ශාස්ත්‍රවේදී" යන පදය තම නමට ඉදිරියෙන් ලිවීමට පුරුදුව සිටියේ ය. අප දෙදෙනා විසින් ප්‍රධාන සම්මාදම දැක්වූ එක්තරා නිර්මාණාත්මක කටයුත්තක දී ද, ඔහුට එය එලෙසම කිරීමට අවශ්‍ය විය.

උපාධි විස්තර දැක්වීම කළ යුත්තේ, ඒ උපාධි විෂයයන්ට අදාළ තැන්වලදී අන් අයගේ ප්‍රයෝජනය සඳහා පමණක් යැයි සිතන මට එයට එකඟ විය නොහැකි විය.

මා ඔහුට කීවේ මෙයයි.

"මිත්‍රයා, ඔබ එසේ ශාස්ත්‍රවේදී කියා ලියුවොත්, මේ කාර්යයට සම්මාදම් වූ අන් සියලු දෙනාම ලබා ඇති උපාධි මොනවාදැයි සොයා ඒ සියල්ල නිවරැදිව සටහන් කළ යුතුයි. එසේ කළ හැකි වුණත්, එවිට, මේ නිර්මාණයේ මුල් පිටුවේ අප දෙදෙනා ගේ නම් සඳහන් වෙන ස්ථානයේ දී, මගේ නමට ඉදිරියෙන් ශාස්ත්‍රපති යැයි යෙදීමට මට සිදුවේ."

"මගේ ශාස්ත්‍රපති පදය ඔබේ ශාස්ත්‍රවේදී යන්නට වඩා ඉහළ උපාධියක් නිසා, එමගින් මගේ නම, ඔබේ නමට වඩා ඉහළින් කැපී පෙනීම වැළකිය නොහැක. මගේ ජ්‍යෙෂ්ඨයෙකු වූ ඔබට ඉහළින් යාමට මම අකමැත්තෙමි."

"එනිසා, වඩාත් ප්‍රඥාගෝචර ක්‍රියාව වන්නේ අප කිසිවෙකු ගේ කිසිදු උපාධියක් ගැන සඳහන් නොකර සිටීමයි!"

ඒ තර්කයෙන් මගේ ජ්‍යෙෂ්ඨ මිතුරා මගේ අදහසට නම්මා ගැනීමට මට එදා හැකිවිය.

නොදන්නා අයගේ දැන ගැනීම පිණිස කියනවා නම්, මෙහි "ශාස්ත්‍රපති" යන්නෙන් අදහස් කෙරෙන්නේ "එම්.ඒ." හෙවත් "මාස්ටර් ඔෆ් ආට්ස්" නම් පශ්චාත් උපාධියයි.

මා ශාස්ත්‍රපතියෙකු වූයේ කෙසේදැයි ඊළඟ ලිපියේ විස්තර කිරීමට අදහස් කරමි.

-මැවිසුරු විද්‍යාවේදී රසික සූරියආරච්චි
-මැවිසුරුපති රසික සූරියආරච්චි
-ශාස්ත්‍රපති රසික සූරියආරච්චි


-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිය සහ මේ හා සම්බන්ධ ඊළඟ ලිපිය සඳහා නිමිත්ත සපයමින් මගේ මතකය අවදි කළ නලීන් දිල්රුක්‍ෂ මිතුරාට මගේ විශේෂ ස්තුතිය පිරිනමමි.

(image: http://genius.com/Beach-house-master-of-none-lyrics#note-2065919)

Wednesday, 7 October 2015

පියෙකු ගේ කතාවක් කෙටිකතාවේ රහස් සහ කෙටිකතාව ගැන කෙටි සටහනක් - Story of a story!


මා පසුගිය සෙනසුරාදා රසිකොලොජියේ පළ කළ කෙටිකතාවේ යම් වෙනසක් මෙන්ම පොඩි රහසක් ද ඇති බව එදා කීවෙමි.

වෙනස නම්, කාල වේලා හිඟකම නිසා, කෙටිකතාව යතුරු ලියනය නොකර, ස්කෑන් පිටපත් ලෙස පළ කිරීමයි. කාලය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කරගෙන කතාව යුනිකෝඩ්ගත කර පල කරන්නට මට ඉඩ ලැබුණේ පුරා දින තුනකට පසුව ය.

ඒ කෙටිකතාවේ තිබූ රහස නම් මෙයයි.

එය මා ලියූවකි. වඩාත් හොඳින් කියනවා නම්, ඒ මා වයස අවුරුදු දහ අටේ දී පමණ ලියූ මගේ මුල් ම කෙටිකතාවලින් එකකි.

එය එදා මා "හස්තද්වාරයෙන්" පළ කළ "පියෙකු ගේ කතාවක්" නමින් වූ කෙටිකතා සංග්‍රහයට ඇතුළත් වූ ප්‍රධානතම කෙටිකතාවයි. ඒ තිබුණේ වයස දහ අටේ දී මගේ අත් අකුරු ය.

මේ කතාවට පදනම සැපයූ එක් සත්‍ය සිදුවීමක් ඇත. ඒ කතා නායකයා තමන් කුඩා කාලයේ තම පියාගෙන් ගණිකාව යන වචනයේ තේරුම අසන අවස්ථාවයි. එය මගේ අත්දැකීමකි. ඒ වචනය මා දුටුවේ මගේ මව ඒ දිනවල මිලට ගත් පුවත්පතක පළවුණු කෙටිකතාවක තිබීය.

ඒ සිදුවීමෙන් අවුරුදු නමයකට පමණ පසුව දහ අට හැවිරිදි මා කර ඇත්තේ අනාගත සිදුවීමක් නිර්මාණය කර, මගේ අතීත අත්දැකීම හා සැසඳීමයි.

තමා විසින් කෙරුණු නිර්මාණයක් ගැන තමන්ම විචාරයක් කිරීම කිසිසේත් ම නොකෙරෙන දෙයකි. නමුත්, මා ඒ පියෙකු ගේ කතාවක් නම් වූ කෙටිකතාව ලියා පරම්පරා දෙකක් පමණ කාලයක් ගත වී ඇති අද දවසේ, මට ඒ නිර්මාණය සහ එහි නිර්මාණකරුවා පිළිබඳ දැනෙන දුරස්ත බව නිසා එසේ මා ම විචාරයක් කළ ද ලොකු ප්‍රශ්නයක් නැතැයි සිතමි.

ඇත්තටම කියනවා නම්, වයසින් මුහුකුරා නොගිය සිතකින් යුතුව මා ලියා ඇති ඇතැම් දේ ගැන අද එය කියවන මට ඇති වන්නේ අපූරු හැඟීම් සමුදායකි.

මෙන්න ඉන් කීපයක්.
  1. කතානායක පියා බසයෙන් සේවයට ගොස් හවස් වී නිවසට එන්නෙකි. වාහනයක් ගැන සඳහනක් නැත.
  2. ඔහු ගේ බිරිඳ නිවසට වී සිටී. ඇය ගේ එකම රාජකාරිය බෑගය ගැනීම සහ තේ සාදා දීම පමණි.
  3. පුතා අමාරු වචන අහන්නේ තාත්තාගෙනි. අම්මා නැතුවා සේ ය.
  4. නිවසට පැමිණෙන කතා නායකයා කරන්නේ මුණ සේඳීමයි. ඇඟ සේදීම හෙවත් ෂවර් නැත. මෙය නානකාමරයක් නැති, නිවසෙන් දුර බැහැරව බොහෝ විට කුඹුරක් අද්දර නාන ළිඳ ඇති නිවසක වැසියන්ගේ එකල හැසීරීමයි.
  5. කතානායකයා ගේ පුතාට මා තබා ඇත්තේ මගේ හොඳම මිතුරාගේ නම ය. බිරිඳට තබා ඇති නමේ සම්බන්ධය නම් දැන් මතක් කර ගත නොහැක.
  6. මගේ තාත්තාට වඩා හොඳ තාත්තා කෙනෙකු වීමට අදිටනක් මගේ සිතේ තිබී ඇත.
  7. නණලළ කතා කෙසේ වුවද, මට ඒ දිනවල ව්‍යාකරණ නොමරා ලිවීමට හැකියාවක් තිබී ඇත.
මට ඇති එකම දුක නම්, එදා වයස අහ අටේ දී මා කෙටිකතාකරුවෙකු වෙන්නට උත්සාහ කරමින් අත් පිටපත් දෙකක්ම සෑදුවද, පසුව මැවිසුරුකමට කර ගහන්නට ගිය නිසා, ඒ සියල්ල කෙමෙන් අමතක වී යාමයි.

එදා සිට අද දක්වා ගතවුණු පරම්පරා දෙකක පමණ කාලය තුළ, මා ලියා ඇත්තේ කෙටිකතා තුනක් පමණි!

-රසිකොලොජිස්ට්

Saturday, 3 October 2015

වල්ලභයා-සංසර්ගය-ගණිකාව : පියෙකු ගේ කතාවක් (පුතෙකු ගේ හඬින්) - His fathers voice


අද මා පළ කරන ලිපියේ වෙනසක් ද, ඒ එක්කම පොඩි රහසක් ඇත.

වෙනස නම්, අකුරෙන් නොදමා, රූප මගින් කියවීමට යමක් එකතු කිරීමයි. එයම එක් හේතුවක් නම්, කාල වේලා හිඟයකි. තවත් හේතුවක් ද ඇත. ඒ හේතුව මේ ලිපියේ තියෙනවා යැයි මා කියු පොඩි රහසට සම්බන්ධය.

පොඩිය කියූ ආකාරයට ම පොඩි එකක් වෙනමුත් රහසක් කිවාට එය රහසක් ම නොවේ.

නමුත්, දැනට නොකියා සිටිමි.

දැන් මේ කෙටි කතාව කියවන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.

ප/ලි:
කලින් රූප මගින් පළ කළ පිටු සියල්ලම යුනිකෝඩ් ගත කිරීමට හැකි විය.

පියෙකු ගේ කතාවක්

මගේ පුංචි පුතා සරෝජ් මදෙස බලා සිටී. ඔහු වාඩී වී සිටින්නේ මා ඉදිරියේ ඇති කුඩා පුටුවක ය. ඔහු ගේ දෙනෙත් විස්මය හඟවන බැල්මක් මදෙසට හෙළයි. මුව මදක් විවර වී ඔහු ගේ ළඟදී ආ ඉදිරිපස විශාල දත් දෙක පෙනේ.

ඔහු සමග මෙතෙක් වේලා කතාකරමින් සිටි මා එක්වරම නිහඬ බූයේ ඇයිදැයී ඔහු කල්පනා කරනවා විය යුතුය. ඇත්තෙන්ම මා නිහඬ වූවා නොවේ. නිරායාසයෙන්ම මගේ මුව වැසිණි, ගොලුවිණි, කිව යුත්තේ කුමක්ද, කළ යුත්තේ කුමක් ද මට නො වැටහේ.

* * *

වෙනදා මෙන් ම අදත් මා නිවසට පැමිණියේ ඇඳිරි වැටීිගෙන එද්දී ය. සරෝජ් මා ඉදිරිපිටට දිව එනවා ඈත තියාම මට පෙනුණි. ඔහු ගේ සිඟිති මුහුණ පුළුල් සිනාවකින් ඔපවත් වී තිබුණි. සරෝජ් දිව විත් මගේ දෑතේ එල්ලුණේ "ඔන්න තාත්තේ අදත් මට තියෙනවා ගොඩාක් අමාරු වචන තේරුම් අහගන්න" යැයි පවසමිනි.

අට හැවිරිදි සරෝජ් ඉගෙන ගන්නේ දෙවන ශ්‍රේණියේ ය. ඔහු ගේ පාඩම්වල දී හමුවෙන අළුත් වචන, ඔහු කියනා විදියට අමාරු වචන, දිනපතාම මගෙන් විමසා දැන ගැනීමට ඔහු පුරුදුව සිටියේ ය. කාර්යාලයේ සිට නිවසට පැමිණීමෙන් අනතුරුව රාත්‍රියේ දී මා මේ කාර්යයේ යෙදුණේ බලවත් උනන්දුවෙනි.

"පොඩියක් ඉන්නකො පුතා තාත්තා ඇඳුම් මාරු කරගෙන මුණකට හෝදා ගන්නකම්" සරෝජ් සමගම පෙර මගට ආ මගේ බිරිඳ කුමාරි පැවසුවාය. මා අත තිබූ බෑගයෙන් සරෝජ් සඳහා ගෙනැවිත් තිබූ ටොෆී කිහිපය අතට ගත් මම "අම්මටත් දීලා කන්න පුතා" යැයි කියමින් බෑගය කුමාරි අතට දුනිමි.

මුහුණ කට හෝදා ගත්තායින් පසුව, කුමාරි දුන් තේ කෝප්පය ද රැගෙන මා ගියේ සරෝජ් ගේ කාමරයටයි. ඔහු ගේ පොත් සහිත කුඩා මේසය සහ ඇඳක් ද එහි විය. සරෝජ් පොත් පාඩම් කළේ මේ කාමරයේ වුව ද රාත්‍රියට නිදා ගත්තේ අප සමග ය. ඒවන විටත් ඔහු පොත් පෙරළාගෙන නොඉවසිල්ලෙන් බලා සිටියේ ය.

ඇඳ මත වාඩිවුණු මම තේ කෝප්පය තොල ගාමින් "හා, කියන්නකෝ පුතා ඔයා ගේ අමාරු වචන" යැයි පැවසුවෙමි.

"ඔන්න එහෙනම් තාත්තේ පළමුවෙනි වචනය ව ල් ල භ යා" කී ඔහු ඉන් පසු ම දෙසට හැරී මා එහි අදහස පහදා දෙනතෙක් බලා සිටින්නට විය.

"වල්ලභයා කියන්නේ පුතේ" මම ඔහුට එය විස්තර කර දීමට පටන් ගත්තෙමි. "වල්ලභයා කියන්නේ කාන්තාවක ගේ විවාහ පුරුෂයාටයි, ස්වාමි පුරුෂයාටයි. පුතාට තේරුණා ද?"

"හා, හරි, හරි, ඒ විදියට තාත්තා අම්මා ගේ වල්ලභයායි, හරිද?" සරෝජ් කීවේ සිනාසෙමිනි.

"ආ! ඔය තේරිලා තියෙන්නේ අපූරුවට!"

"ඉතිං පුතා මොකක්ද ඊළඟ වචනය?" මම හිස් තේ කෝප්පය මේසය මත තැබුවෙමි.

"දෙවෙනි වචනයේ නම් තාත්තේ මහාප්‍රාණ අකුරු හෙම නෑ, ඒත් ඒක මං දැක්කේත් අදයි. සං ස ර් ග ය" මා නොසිතූ ලෙස සරෝජ් පැවසීය.

මා ගොළුවුනේ මෙවිටයි. මගේ සියොලඟම ගිනිගෙන දැවෙන්නාක් සේ එක්වරම හිරී වැටී ගියේය. කුමක් කිව යුතු දැයි මට සිතා ගත නොහැකි වුණි. නිරායාසයෙන් ම මගේ මුව අගුළු වැටුණි.

* * *

"තාත්තේ සංසර්ගය කියන්නේ මොකක්ද?" සරෝජ් යළිත් ඇසුවේ මා කිසිවක් නොකියා නිශ්ශබ්දව සිටි නිසා විය යුතුයි.

මා නිහඬ වුණෙමි. නිහඬ නොවී කුමක් කියන්නද, කෙසේ කියන්නද?

මම යළිත් සරෝජ දෙස බැලුවෙමි.

ඔහු ඇත්තෙන්ම ඉතා පුදුමයට පත්ව ඇත. කිසි දිනක තම පියා කිසිදු අමාරු වචනයක තේරුම කියන්නට මෙතරම් කල්ගත නොකළ බව ඔහුට සිහිවුණා විය හැක. ඊටත් වඩා කිසිදු මහාප්‍රාණ අකුරක් නැති වචනයක්? සරෝජ් එලෙස සිතනවාත් විය යුතුයි.

ආදරබර පුතණුවනි, සංසර්ගය යන්නෙහි තේරුම මම දනිමි. එහෙත් මා ඔබට එය පවසන්නේ කෙසේද? පියෙකු වශයෙන් මා ඔබට පවසන්නේ කෙසේද?

මගේ සිත අවුල්වුණු නූල් බෝලයක් මෙනි.

අවසානයේ මම මුව විවර කළෙමි.

"කෝ බලන්න පුතා ඔය පොත!" ඔහු අමාරු වචන කියවන පොත ඉල්ලා ගත්තෙමි.

"වාසනාවන්ත යුග දිවියකට මග" ඔහු කියවමින් සිටියේ එයයි.

මේ පොත සරෝජ් අතට ආවේ කෙලෙසකදැයි මට නොවැටහිණි. වසර දහයකට පෙර මිලට ගෙන කියවූවායින් පසු මේ පොත කොහේ දැම්මාදැයි මට මතක නැත. සමහරවිට මගේ පරණ පොත් සහිත පෙට්ටියේ තිබී සරෝජ්ට හමුවෙන්නට ඇත.

පොතේ ඇතැම් වචන යටින් පැන්සල් ඉරි ඇඳ තිබුණේ සරෝජ් විය යුතුයි. ඒ ඔහු ගේ අමාරු වචනයි.

"මේ තියෙන්නෙ තාත්තේ ඒ වචනය" සරෝජ් නැගිට යටින් ඉරක් අඳින ලද සංසර්ගය යන වචනය මට පෙන්වයි.

මගේ සිත එක්වරම අතීතයට ඇදී යයි.

මා අවුරුදු හත අටක කුඩා දරුවෙකුව සිටියදී......

* * *

එවිට මගේ වයස අවුරුදු අටක් පමණ වූ බව මට සිහිකර ගත හැක. කෙසේ වෙතත් ඒවන විට මට හොඳින් කියවන්නට හැකිව තිබුණි. අතට අසුවෙන ඕනෑම පොතක් පත්තරයක් කියවීමට මම පුරුදුව සිටියෙමි.

මෙ පරිද්දෙන් මගේ පියා ද මගේ ඉගෙනීමේ කටයුතු ගැන දැඩි උනන්දුවක් දැක්වීය. ඔහු ද මට නොතේරෙන වචන විමසන ලෙස පවසා තිබුණි. ඇතැම්විට ඔහු ඉතා සැර පරුෂ වුවත් මා ඔහුට ඇලුම් කළේ ඉතා ආදරයෙන් මගේ අවශ්‍යතාවයන් ඉටු කළ නිසයි. ඒ ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකු වූ නිසා විය හැක. කෙසේ වතුදු සරෝජ් ගේ ඉගෙනීමේ කටයුතු කෙරෙහි මා මෙතරම් උනන්දුවක් දක්වන්නේ මගේ පියා ගේ ආදර්ශයෙන් බව මට පැහැදිලිය.

දිනක් මා කියවමින් සිටියේ සතිපතා පළවෙන කුමක් දෝ පත්‍රයකි. එහි තිබුණු එක්තරා වචනයක් මට අලුත් එකක් විය. මම එවෙලේම පියා සොයා දිව ගියෙමි.

"තාත්තේ, තාත්තේ ගණිකාව කියන එකේ තේරුම මොකක්ද" කියා ඇසූ බව මට හොඳින් මතකයි. පියා ඔහු කරමින් සිටි කාර්යය නවතා මා දෙස බැලීය.

"මොකක්ද ඔය වචනේ?"

මා මුලින් කී දේ ඔහුට නෑසුණු බව වටහා ගත් මම යළිත් වරක් එය කීවෙමි.

"තාත්තේ ගණිකාව කියන්නේ කාටද?"

මා පුදුමයට පත් කරවමින් පියා නිහඬ විය. ඔහු අසුනින් නැගිට මා ත තිබූ ඒ පත්‍රය ඉල්ලා ගති. ඒ දෙස බැලූ සැණින් ඔහු කෝපයට පත්වූ බව පෙනුණි. කොහෙමටත් ඔහු ඉක්මනින් ම සුළු දෙයකට පවා කෝපයට පත්වෙන්නෙකි.

"උඹ පලයන් යන්න මෙතනින්!" පියා මට සැර වී රැව්වේ කෝපයෙන් වෙව්ලමිනි. මම බිරාන්ත වූයෙමි. තාත්තාට කෝප වෙන්නට කිසිම හේතුවක් නැහැ නේද මට සිතුණි.

ඒ දිනවල සුළු දෙයකින් පවා කම්පනය වන මා ඇතැම් විට අඬමින් ඇඳට යන්නට ඇත.

තාත්තා වේගවත් ගමනින් ගියේ මුළුතැන් ගෙටයි. ඉන්පසු ඔහු ගේ වේගවත් කටහඬ නිවස පුරා රැව්දිනි.

මම වහා මුළුතැන්ගෙය දෙසට ගියෙමි.

"ගේනව මෙතන කුණුහරුප පත්තර! ගෙදර පොඩි එවුං ඉන්න බව ඔයාට තේරෙන්නේ නැද්ද?" ඔහු කෑ ගසයි. ඒ පත්තරය මගේ මව විසින් මිලට ගන්නා ලද එකක් බව මට මතක් විය.

"කුණුහරුපයක්, එහෙනම් ගණිකාව කියන්නේ කුණුහරුපයක් වෙන්න ඇති!" මගේ සිතට නිරායාසයෙන් ම සිතුණි.

මම මුළුතැන් ගෙයි දොර අසලටම ගියෙමි. පත්තරය ගිනිගෙන දැවෙමින් තිබුණි. පියා ඒ අසලට වී මවට බණිමින් සිටියේ ය.

"හැදෙන දරුවන් ඉන්න තැන්වල මෙහෙම පත්තර පොත් හංගන්නවත් ඕනෑ. පොඩිකමට උන් මොනවා දන්නවද? අපෙන් එක එක වචනවල තේරුම් අහනවා. අපි ඔව්වට කටක් ඇරලා උත්තර දෙන්නේ කොහොමද? ඔයා ඕව හිතන්න ඕනෑ!"

"ඉතිං අනේ ඔයා කිව්වට, දරුවෝ ඕවා දැන ගන්නත් ඕනෑ නේද?" අම්මා සෙමෙන් කියයි.

* * *

මම කල්පනා කළෙමි. එදා තාත්තා මුහුණ දුන්නේ අද මා මුහුණ දෙන ප්‍රශ්නයටම නොවේද? ඔහු පත් වූ අසීරු තත්වයටම අද මා පත්ව ඇත.

මට මඩොල්දූව සිහිවෙයි.

උපාලි ගිනිවැල්ලේ, ඉස්කෝලෙ මහත්තයාගෙන් කාමේසු මිච්ඡාචාරා යන්නෙහි තේරුම විමසූ කල ඉස්කෝලේ මහත්තයා ද මේ තත්වයට මුහුණ දුන්නා නොවේද?

භෞතික වශයෙන් යම් කිසි දියුණුවක් ලෝකය අද ලබා ඇත. අප ද ලබා ඇත. භෞතික දියුණුව ද සමග අධ්‍යාත්මික වශයෙන් ද දියුණු විය යුතු බව අපි හඬ නගා පවසන්නෙමු.

අධ්‍යාත්මික දියුණුව යනු කුමක්ද? අප සත්‍යය අවබෝධ කරගත යුතුයි. සංවර විය යුතුයි. එපමණක් ද නොව නීතිගරුකව, සත්‍යයට ගරු කරමින් ජීවත්විය යුතුයි. එනිසා නිවැරදි තත්වය, සත්‍යය පැවසීමට අප මැලිවිය යූතු නැත.

සත්‍යය කිසි කලෙකත් සැඟවිය නොහැක. එය වසන්කර බොරු ගෙතමින් අතීතයේ දෙවියන්, භූතයින්, දේව රහස් යැයි කියමින් අප රැවටුනද, නැවතත් ඒ නොදියුණු තත්වයට පත්විය හැකිද?
මේ සියල්ල මා වටා හොල්මන් කරයි.

එහෙත් සංසර්ගය යනු කුමක්දැයි සරෝජ්ට මා ඔවසන්නේ කෙසේද? තවත් බර වචන යොදා මට එය විස්තර කළ හැකි වුවද, එය යළිදු ඔහුට ප්‍රශ්නයක් වනු ඇත.

මගේ පියාගෙන් මා ගණිකාව යනු කුමක්දැයි විමසූ විට ඔහු එයට පිළිතුරු නොදී ප්‍රශ්නයෙන් මග හැරියේය. පසුව හෝ කිසි දිනෙක ඔහු එහි තේරුම මට කියා දී නැත. ඒ මොහොතේම එය කිසියම් අසභ්‍ය වචනයක් යැයි මට සිතිණි. එයින් සිදුවූයේ මගේ සිත දුෂ්‍යවීම නොවේ ද? ඉන්පසු පියාගෙන් මා වචනයක තේරුම විමසූයේ ඉතාමත් කල්පනාකාරීවයි.

ලිංගික අධ්‍යාපනය ළමයින්ට දිය යුත්තේ කුඩා කාලයේ සිටම බව මම බොහෝ කලක සිට විශ්වාස කළෙමි. මේ පිළිබඳව මා මිතුරන් සමග වාද කළ අවස්ථා බොහෝ ය.

"නිසි කල ලිංගික කරුණු පිළිබඳ තොරතුරු ළමයාට ලැබිය යුත්තේ දෙමව්පියන්ගෙනි. එසේ නොවුණි නම් විෂමසමාජයෙන් මේ කරුණු ඉගෙන නො මගට යොමුවිය හැක!" එකල මගේ තර්කය එය විය.

නමුත් අද මා එම තත්වයට මුහුණ දුන් අවස්ථාවේ කුමක් කළ යුතුදැයි මට නොතේරේ. ඇත්තෙන්ම කුමක් කිව යුතුදැයි මා වහා තීරණය කළ යුතුය.

මා කළ යුත්තේ, මීට වසර විසි ගණනකට පෙර මා පියා කළාක් මෙන් මේ පොත විනාශ කර පුතුට තරවටු කිරීමද? එසේ නොමැති නම් අවස්ථානුකූලව මුසාවක් කියා ප්‍රශ්නය යටපත් කර මඩොල්දූවේ ඉස්කොලේ මහත්තයා මෙන් ඉවත්ව යෑමද?

මට එය කළ නොහැක. සමහරවිට එසේ කළහොත් සරෝජ් ගේ ඉදිරි අනාගතය අඳුරු වීමට ද ඉඩ ඇත.

නැතිනම් මා කළ යුත්තේ සියල්ල ඔහුට පැවසීමයි, යථාවබෝධය ලබා දීමයි. එහෙත් මා හැදුණු වැඩුණු පරිසරය අනුව එයට මගේ සිත නම්මා ගැනීම අපහසු සේ හැඟේ.

* * *

සරෝජ් පෙරසේම මදෙස බලා සිටී.

අවසානයේ, විනාඩි ගණනාවක් තිබූ නිහඬතාවය බිඳිමින් මම කතා කළෙමි.

"පුතේ..."



හෙන්රි වර්ණකුලසූරිය තමන් ගේ ඉරිදා පුවත්පත් කොලම් ලිපිවල අවසානයේ කීවාක් මෙන් - සෙස්ස පස්සට!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිනුවර සිංහල ලේඛකයෝ ලිපියේ දෙවන කොටස පසුව පළ වෙනු ඇත. මුල් කොටසට පාර මෙන්න.
http://rasikalogy.blogspot.com/2015/10/sydney-based-sinhala-writers.html

(image: http://english.binus.ac.id/2015/05/13/a-token-for-mrs-ray-the-2nd-winner-of-national-short-story-writing-competition_part-1/)

Thursday, 1 October 2015

සිඩ්නි නගරයේ සිංහල ලේඛකයෝ - Sydney based Sinhala writers


වසර සීයකටත් වඩා ඉහත කාලවල පවා, ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ සිංහලුන් ගැන ඓතිහාසික තොරතුරු ඇතත්, සිංහල සම්භවයක් ඇති පිරිස් බහුලව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම ඇරඹී ඇත්තේ අසූවේ දශකයේ අගභාගයේ දී ය. මා පෙර ලිපියක සඳහන් කළ ආකාරයට, මේ වන විට රට පුරා විසිරී සිටින සිංහල සම්භවයක් ඇති පිරිස පනස් දහසක් පමණ වේ.

ඕස්ට්‍රේලියාවේ සිංහල අග නගරය මෙල්බර්න් නුවර යැයි සැලකිය හැක. ඒ ඔළු ගෙඩි සංඛ්‍යාව ගැන සිතීමෙනි. මම ද වසර හයක් මෙල්බර්න් හි වාසය කළෙමි. නමුත්, සිංහල ලේඛකයින් ගැන සැලකීමේ දී නම්, සිඩ්නි නගරය හෙවත් සිනුවර ලෙහෙසියෙන් ම මෙල්බර්න් නුවර අභිබවා යයි.

මේ සටහනේ මූලික අරමුණ සිඩ්නි නගරබදව වාසය කරන සිංහල ලේඛකයින් හැකි පරිදි ඔබට හඳුන්වා දීමයි.

ලයිස්තුව දිගු නිසා අද පලවෙන්නේ එයින් කිහිප දෙනෙකු ගැන විස්තර පමණි.


කුඩාගල කෝවිද

සිඩ්නි නගරය අවට ගම් දනව්වල වෙසෙන ලේඛකයින් අතරින් පොත් පත් විශාලතම සංඛ්‍යාවක් ලියා පළ කර ඇත්තේ කටුම්බා ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන කුඩාගල කෝවිද හාමුදුරුවන් විසින් යැයි මම සිතමි.

කෝවිද හිමියන් ලියා පළ කර ඇති පොත් සියල්ලම පාහේ බණ දහම් කරුණු ඇතුළත් සරල කාව්‍ය ග්‍රන්ථ වේ. ඒවා බහුතරය කුඩා දරුවන් සඳහා ලියූ කුඩා පොත් බව ද පෙනේ.

පන්සලේ දායකයින් ගේ අනුග්‍රහයෙන් මුද්‍රණය කර ඇති මේ පොත් හාමුදුරුවෝ විසින් පන්සලට යන එන අයට දහම් පඬුරු ලෙස පරිත්‍යාග කරති.

මේ පහත දැක්වෙන්නේ කෝවිද හිමියන් විසින් ලියූ පොත් විශාල සංඛ්‍යාව අතරින් පොත් කිහිපයකි.



මීගහකුඹුරේ ධම්මගවේෂී

සිනුවර පිහිටා ඇති ලංකාරාමයේ අධිපති පූජ්‍ය මීගහකුඹුරේ ධම්මගවේෂී හාමුදුරුවෝ ද ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් ලියා පළ කර ඇති අයෙකි. ධම්මගවේෂී හාමුදුරුවෝ දෙවසරකට පමණ පෙර ඕස්ටේ‍ර්ලියාවේ සංඝ නායක පදවියක් ලංකාවේ දී ලදහ.

ධම්මගවේෂී හාමදුරුවන් විසින් ලියා පළ කර ඇති පොත් සියල්ල ම බුදු දහම ගැන වැඩිහිටියන් සඳහා සැකසුණු ඒවා ය. ඉන් පොත් කිහිපයක් ලියා පළ කර ඇත්තේ ඉංගිරිසි භාෂාවෙනි.

ලංකාරාම පන්සලේ දායක සභාව විසින් ප්‍රකාශනය කර ඇති මේ ධර්ම ග්‍රන්ථ වලින් මා සතුව ඇත්තේ එකක් පමණි.



සේනාධීර පියසේන

සේනාධීර පියසේන පිළිබඳව මා මීට පෙර රසිකොලොජියේ ලිපියක් ලියා ඇත. දීර්ඝ කාලයක් සිනුවර විසූ ඔහු මේ දිනවල ලංකාවේ ජීවත් වෙයි. තවමත් පුවත්පත්වලට නිතිපතා ලිපි සපයන අනූ තුන් වියැති ඔහු අද ලංකාවේ ජීවත්වන ජ්‍යෙෂ්ඨතම සිංහල මාධ්‍යවේදියා වේ.

ඔහු මෑතදී ලියූ ග්‍රන්ථ අතර "ඡන්ද ඝාතනය" (1992), "තට්ටු මාරුව", "පවුල් වාදය සහ විනාශය" (2001), "අන්ධානුකරණයෙන් විනාශයට" (2001), "කසාය බීපු ගොළුවෝ" (2003), "රටවල් තුනක මාධ්‍ය සමග දශක හතක්" (2007), "කළු ජූලියේ රිදී ජුබිලිය සහ ජේමිස් ගේ නිදහස" (2009), "දුර රූපයේ ආවර්ජන" (2013) සහ "හුදකලාවේ ආවර්ජන" (2014) වේ.



සමන් මහානාම දිසානායක

දයාවංශ ජයකොඩි සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇති නවකථා රාශියක කතුවරයා වන සමන් මහානාම දිසානායක සිනුවර වෙසෙන ප්‍රමුඛ ලේඛකයෙකි.

සමන් දිසානායක ලියා ඇති නවකථා නම්: "බඹරැන්දේ කඟවේනා", "කැන්ගරු නිම්නය", "පුංචි සර්", "දුරුතු සිහිනය", "රන්දෙනිගල වලව්ව", "ලංසි කෙල්ල", "සුරඟන කුමරිය" සහ මෑතකදී ප්‍රකාශනය වූ "අහස් ඉම" වේ. මීට අමතරව සමන් මෙල්බර්න් නුවර පළවෙන පහන සඟරාව සඳහා ද කොටස් වශයෙන් පල වූ නවකථාවක් ලියූවේය.

සමන් දිසානායක ගේ නවකථා සියල්ලම ඉතා සූක්‍ෂ්ම ආකාරයෙන් ගෙතූ සංකීර්ණ කතා රැගත් තරමක් දුරට රහස් පරීක්‍ෂක නවකථා ගණයේ ලා සැලකිය හැකි ඒවා වීම විශේෂයකි.



පාලිත ගනේවත්ත

පාලිත ගනේවත්ත කවියෙකු, කෙටිකතාකරුවෙකු මෙන්ම නවකතාකරුවෙකු ද වේ.

ඔහු මුලින්ම ප්‍රකාශයට පත් කළේ "බොඳ වූ ලොව" නම් කාව්‍ය සංග්‍රහයයි. ඉන් අනතුරුව 2005 දී "ඇසිපිය" නමින් කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශයට පත්විය.

ඔහු ලියා පළකර ඇති ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රයන් වන්නේ "ලේ හුරු සුවඳ" (2001) සහ "තුන් පෙර නිමිති" (2015) ය. මීට අමතරව පාලිත ගනේවත්ත ඇන්ටන් චෙකොෆ් ගේ කෙටිකතා සංග්‍රහයක් මුල් රුසියානු බසෙන් සිංහලට පරිවර්තනය කර 2004 දී පළ කළේය.

පාලිත ගනේවත්ත ගේ නවකථා නම් "ඇවිත් නොරටක" (2006) සහ "මාවත අබියස" (2009). මෙයින් "ඇවිත් නොරටක" කෘතිය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ සිංහල පවුලකගේ ජීවන අරගලය ගැන ගෙතුණු එකකි.

මීට අමතරව පාලිත ගනේවත්ත විසින් ලියා ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ නම්, "ගුණදාස අමරසේකර සංවාද" (2013) සහ "දොස්තර චෙකෝෆ්" (2013) වේ.



ලක්‍ෂ්මන් කොඩිතුවක්කු

ලක්‍ෂ්මන් කොඩිතුවක්කු කවියෙකි, කෙටිකතාකරුවෙකි, නවකතාකරුවෙකි. ඔහු 2005 දී "පැය අටේ මිත්‍රයෝ" නමින් සිය ප්‍රථම කෘතිය ලෙස කාව්‍ය ග්‍රන්ථයක් එළි දැක්වීය. ලක්‍ෂ්මන් ලියූ කෙටිකතා ලක්බිම වැනි ඉරිදා පුවත්පත්වල නිතර පළවෙයි.

ඔහු මේ වන විට "පරමේෂ්වරී සහ වෙනත් රටක්" සහ "හුස්ම" යන කෙටිකතා සංග්‍රහ ද්වය ලියා පළ කර ඇති අතර තුන්වෙනි කෙටිකතා සංග්‍රහයක් ද මුද්‍රණයේ පවතින බව සැලයි.

ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ලියූ "පරාරෝපණය" නම් යොවුන් නවකතාව ද පසුගිය දා සුරස ප්‍රකාශනයක් ලෙස එළි දැක්විණි. ඔහු "පුංචි ටොමී සිඩ්නි ගියා" නමින් ළමා කතාවක් ද ලියා පළ කර ඇත.



හෙන්රි කුමාරප්පෙරුම

වසර 1995 දී "සමනල දූතය" නමින් කාව්‍ය සංග්‍රහයක් ලියා පළ කළ හෙන්රි කුමාරප්පෙරුම මූලිකව ම කවියෙකි. පුරාණ සිංහල සන්දේශ කාව්‍ය සම්ප්‍රදාය අනුව යමින් නිර්මාණය වී ඇති "සමනල දූතය" සිඩ්නි නගරයේ සිට ලංකාවට සමනළයෙකු මගින් යවනු ලබන සන්දේශයකි.

ඉන් පසු නවකථාකරණයට බට හෙන්රි "ගම් සරණිය" නවකතාව ද, "නිහඬ කල්පනා" සහ "සුදු සඳ රැස්" යන කෙටි නවකතා පළ කළේය. ඔහු පංචතන්ත්‍රය ඇසුරෙන් "වන රජ දහන" නම් පරිවර්තන කාව්‍යයක් ද ලියා පළකර ඇත.

හෙන්රි කුමාරප්පෙරුම දකුණු කුරු දිව් කව් - Australia: Sinhala poetic impressions නම් ඕස්ට්‍රේලියාව පිළිබඳ ලියවුණු සිංහල කාව්‍ය සංග්‍රහයේ සම සංස්කාරකයා ද වේ.

සිඩ්නි නගරය සඳහා නිමවුණු "සිනුවර" නම් වචනයේ නිර්මාතෘවරයා ද හෙන්රි කුමාරප්පෙරුම ය.




සිනුවර වාසී සිංහල ලේඛකයින් තවත් කිහිප දෙනෙකු ගැන විස්තර මේ ලිපියේ දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිය පලවෙන්නේ ඊයේ දිනයෙන් ගෙවී ගිය 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia
8. ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya
9. W3Lanka අජිත් පැරකුම් ජයසිංහ ගේ "ශාස්තෲ" නවකතාව ගැන පසුවදනක් - HBD2U APJ