Sunday, 28 February 2016

මහැඳුරු විශ්වා වර්ණපාල ගේ වර්ණපාල තියරිය - The only theory originated from a Sri Lankan University?


මේ කතාව ඔබ බොහෝ දෙනෙකු මීට කලින් අසා ඇතුවාට සැක නැත. නොකී කතා ලියන හෙන්රි වර්ණකුලසූරිය ද පසුගිය දිනයක මෙය ලේඛනගත කර තිබුණි.

එසේ කලින් අසා නැති වුණත්, ඊයේ විශ්වා වර්ණපාල මිය ගිය බව ආරංචි වී ඇති නිසා අද සිට මේ කතාව විවිධ තැන්වල ලියවෙනු ඇත, කියවෙනු ඇත. මේ තවත් එක් එවැනි එක් අවස්ථාවක් ලෙස සලකන්න.

මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උගත් සමයේ දී මහදුරු විශ්වා වර්ණපාල මුණ ගැසී ඇත්තේ දෙවරක් පමණි. කලා පීඨයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුරක් දැරූ ඔහු සමග මට අධ්‍යාපනික කටයුත්තක් නොතිබුණි. කෙසේ වෙතත්, මා ඔහු හමුවූයේ ද, දේශපාලන විද්‍යාව විද්‍යාව පිළිබඳ විෂයානුබද්ධ කටයුත්තකට නොවුව ද, ශිෂ්‍ය දේශපාලනය පිළිබඳ ප්‍රායෝගික කටයුත්තක් සම්බන්ධයෙන් වීම සිත්ගන්නා සුළු කාරණයකි.

ප්‍රථමයෙන් ම කිව යුත්තේ, වර්ණපාල නාමය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් අතර අමරණීය එකක් බවයි.

මම මහැඳුරු වර්ණපාල දැක කතා බහ කරන්නට වසර තුනකටත් පෙර ඔහුගේ කීර්ති නාමය අසා දැන සිටියෙමි. ඒ ඔහු ගේ දේශපාලන විද්‍යා දැනුම හෝ සිරිලංකා පක්‍ෂයේ පොලිටි බියුරෝ සාමාජිකත්වය නිසා නොව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර සුප්‍රකට වූ "වර්ණපාල තියරිය" නිසාය.

එය යුවතියක් හා පේ්‍රම සම්බන්ධයක් ඇති කරගැනීම සඳහා වූ අපූරු ක්‍රමවේදයකින් සමන්විත තියරියකි.

"කවට කමට ඔබෙයි මගෙයි නම කියා, යහළු ළමයි විහිළු තහළු මට කළා!" යන ගීතයෙන් ද කියවෙන පරිදි පාසැල් සමයේ පේ්‍රම සම්බන්ධකම් බොහෝ විට ඇතිවන්නේ මිතුරු මිතුරියන් අතර කෙරෙන විහිළු-තහළු නිසාවෙනි. මෙය විශ්ව විද්‍යාලයේ සාමාන්‍යයෙන් සිදුවන්නක් නොවේ.

එයින් පසුබට නොවූ වර්ණපාල නමැති ශිෂ්‍යයා සිය සිත් ගත් යුවතිය (ඇයව කමලා යැයි මදකට හඳුන්වමු) සමග හාද වීම අරමුණ කරගත් අපූරු ක්‍රමවේදයක් නිර්මාණය කළේ ලූ.

එහි ප්‍රධාන විධික්‍රමය වූයේ තමන්ම සැඟවී සිට, වෙන අයෙකු කරන්නාක් සේ, තමන් ගේ ම නම කියා තම සිත්ගත් යුවතියට සරදම් කිරීමයි.

විශ්ව විද්‍යාලය මැදින් දිවෙන ගලහ පාරේ යනෙන කමලා දකින වර්ණපාල ශිෂ්‍යයා තම නේවාසිකාගාර බැල්කනියේ සැඟවී සිට "ආ, කමලා, කොහෙද මේ යන්නේ අපි කියන්නම් වර්ණයා ට" කියා හෝ "ආ, කමලා, ඔයා වර්ණයා එක්ක යාළුයි නේද?" යනාදී ලෙස කෑ ගසයි.

ඉන් පසු දිනක ඇය කලා පීඨයේ දී හමු වූ විට ඉහත සිද්ධීන් ඔවුන් අතර මද සිනාවකට, කතා බහකට මුල් වේ.

දිනක් වර්ණපාල ශිෂ්‍යාට මහනුවර නගරයේ දී හදිසියෙන් මෙන් ඇය හමුවී වචනයක් දෙකක් කතා කරන්නට හැකිවිය. ඇයට පෙර විශ්ව විද්‍යාලයට පැමිණි ඔහු, සුපුරුදු පරිදි සැඟවී සිට "ආ, කමලා, අද වර්ණයා එක්ක නුවර ගියා නේද? අපි දැක්කා, අපිට හංගන්න බෑ නංගී, කමක් නෑ, කමක් නෑ වර්ණයා හැන්ඩියා, බ්‍රයිටා හොඳ කොල්ලා" යනාදී වශයෙන් කෑ ගැසීය.

මේ සියලු සරදම් නිසා නිතරම කමලා හා කතා කිරීමට වර්ණපාල ශිෂ්‍යාට ඉඩ ලැබුණි. අවසානයේ වර්ණපාල ක්‍රමය බලාපොරොත්තු වූ ප්‍රතිඵල ගෙන දුන් බවද කියවේ.

නමින් සමාන වූව ද වර්ණපාල ක්‍රමය මැහැදුරු වර්ණපාල හා සම්බන්ධයක් නොතිබෙනවා විය හැක. නමුත්, මා දන්නා පරිදි ලොව වර්ණපාල ලා ඇත්තේ එක් අයෙක් පමණි.

ඒ කෙසේ වෙතත්, මහැඳුරු විශ්වා වර්ණපාල ගේ වර්ණපාල තියරිය සදාකාලික වෘතාතන්තයක්ව තවත් පරම්පරා ගණනාවක් තිස්සේ පවතිනු ඇත යන්න මගේ විශ්වාසයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඊයේ වත්පොතේ සටහනක් තබන හෂීත අබේසේකර කියා තිබුණේ වර්ණපාල තියරිය යනු ලංකාවේ විශ්ව විද්‍යාලයකින් බිහි වූ එක තියරිය බවයි.

ඒ ප්‍රකාශය නාථ දෙවි නියෝජිතාචාර්ය නලින්ද සිල්වා අමන්දානන්දයට පත් කරවන්නක් ද විය හැක.

(image: http://colombogazette.com/2015/08/26/warnapala-takes-over-as-upfa-general-secretary/)

Friday, 26 February 2016

ජාතිවාදී කාන්තාවක ගේ අති භයානක ලොමු දැහැගන්වන ප්‍රකාශයක් පිළිබඳව සටහනක් - Racism at its best


මෙය විහිළු, සරදම්, හිනා-මනා කැටගරියක කතාවක් නොවන බව පළමුවෙන් ම කිව යුතුයි.

මෙය:
සත්‍ය කතාවකි.
බරපතළ කතාවකි.
බිහිසුණු කතාවකි.
එසේම, මගේ පළමෝත අත්දැකීමකි.

මේ කතාව කියවා අවසානයේ සංවේදී සිත් ඇති ඔබට ඇති විය හැකි සෘණාත්මක මානසික තත්වයන් පිළිබඳව ද කලින් ම අනතුරු හැඟවීමක් කළ යුතුය.

කාලය:-වසර 1983 අගෝස්තු මාසය පමණ
ස්ථානය: ශ්‍රී ලංකාව

ලංකාව දශක දෙකකින් ආපස්සට ගෙන ගිය, 1983 ජූලි ජාතිවාදී කලබල අවසන් වී තිබුණත් මේ වන විටත් ලංකාව තිබුණේ සෑහෙන අස්ථාවර, අවිනිශ්චිත වාතාවරණයක ය.

මේ කාලයේ කුරුණෑගල නගරයේ තත්වය පිළිබඳ හොඳ අදහසක් ලියනගේ අමරකීර්ති ලියූ අහම්බකාරක නම් අපූරු නවකතාව කියවීමෙන් ලබා ගත හැක. ඒ තත්වය ජූලි කලබල බල පෑ රටේ අන් සෑම ප්‍රදේශයකට ම පාහේ සාධාරණීකරණය කළ හැකි යැයි සිතමි.

බොහෝ ප්‍රධාන නගරවල දක්නට ලැබුණේ ගිනි ගෙන දැවුණු ගොඩනැගිලිවල සුන්බුන් ය. ගිනිගත් ගොඩනැගිලිවල නටඹුන්වලින් සැරසුණු මහනුවර, බොරැල්ල, නුවරඑළිය නගර මගේ සිහියට එයි.

ව්‍යාපාර, වතු පිටි, යාන වාහන පමණක් නොව උන් හිටි තැන් පවා අහිමි වූ දහස් ගණන් දෙමළ ජනයා විවිධ පළාත්වල පිහිටුවා තිබුණු අනාථ කඳවුරු වලට ගොනු කර තිබුණි.

ජාතිවාදී කෝලාහල දඩමීමා කර ගෙන එවකට සිටි පාලක ජනාධිපති ජයවර්දෙන විසින් තහනම් කරන්නට දෙයුණු වාමාංශික දේශපාලන පක්‍ෂ තුන අතරින් කොමියුනිස්ට් පක්‍ෂයේ තහනම ටික දිනකින් ම ඉවතට දැමුණි.

නව සමසමාජ පක්‍ෂයේ බාහු, වාසු, සිරිතුංග වැන්නෝ පක්‍ෂ තහනමෙන් පසු තම ආරක්‍ෂාව පිණිස යටි බිම්ගතව සිටියහ. ලංකාව මේ තිරශ්චීන ජාතිවාදයෙන් සහ එහි විනාශකාරී ප්‍රතිඵලවලින් ගලවා ගන්නට තමන්ට දේශපාලනිකව කළ හැක්කේ කුමක්දැයි ඔවුන් අතර සාකච්ඡාවට බදුන් වෙමින් තිබෙන්නට ඇත.

පක්‍ෂ තහනමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ද එලෙසම යටි බිම් ගත වී සිටි අතර, මට සිතෙන විදියට, ඔවුන් ගෙන් බහුතරයක් දෙනා නම් රටේ දකුණේ ඒ වෙන විට උත්සන්න වී උතුරා ගොස් තිබුණු සිංහල මහජාතිවාදය තම ප්‍රයෝජනය පිණිස යොදාගන්නේ කෙලෙස ද යන්න පිළිබඳව පිඹුරුපත් සකසමින් සිටින්නට ඇත.

රටේ උද්ගතවූ තත්වය ද, වෙනත් හේතු ද මත විධිමත් අධ්‍යාපන කටයුතු මදකට ඇණ හිට තිබුණු බැවින් මම විවිධ ස්ථානවල රස්තියාදු වෙමින් මේ කාලය ගත කළෙමි.

වැඩිහිටි පිරිසක් අතර කෙරෙමින් තිබුණු යම් කතාබහකට ඇහුම් කන් දෙන්නට මට ඉඩ ලැබුණේ මේ ආකාරයේ එක් රස්තියාදුවක අතරතුර දී ය.

එතැනදී මගේ කණ වැටුණු කතා බහෙන්, වසර තිස් තුනකට පසු මට අද මතක ඇත්තේ එක් පුද්ගලයෙකු කළ ප්‍රකාශයක් පමණි.

එය මෙසේ ය.
"අපේ ගෙවල් ළඟත් දාලා තියෙනවා දෙමළ අනාථ කඳවුරක්. මං දැක්කා ඒකේ ඉන්නවා පොඩි පොඩි දෙමළ පැටව් රොත්තක් ම.

එවුනුත් විෂඝෝර නයි පැටව් වගේ.

මට හිතෙන්නේ ඒ දෙමළ පැටව් රොත්තම මරලා දාන්න ඕනෑ. නිකං නොවෙයි, අපේ පොඩි එවුන් දාලා ටොකු අන්නලා මරලා දාන්න ඕනෑ!"
මේ ප්‍රකාශය පිළිබඳ කළ යුතු බිහිසුණුම අනාවරණය මෙන්න.

මේ කතාව කී වැඩිහිටියා ගැහැනියකි.

එසේම, ඇය නිකම්ම නිකං ගැහැනියක නොව වයස අවුරුදු පහක පමණ කුඩා දරුවෙකු සිටි මවකි.

මා පසුව දැන ගත් පරිදි, ඇය එවකට මාස කිහිපයක පමණ ගැබිණියක් ද වූවා ය.

මේ කතාව අසා මා මුලින් ම වික්‍ෂිප්ත වීමි. එහි ගැබ්වුණු මිනීමරු චින්තනයේ සැබෑ බැරෑරුම්කම මට නිසි අයුරින් වැටහෙන්නට පටන් ගත්තේ කාලයත් සමගයි.

එකල මා පොඩිහිටියෙකු ම නොවුණත්, ඒ මොහොතේ මේ වැඩිහිටියන් ගේ කතාවට හොම්බ දමන්නට මට තත්වයක් තිබුණේ නැත.

එනිසා වික්‍ෂිප්ත වූ සිතින් ම මුවින් නොබැණ සිටීමට මට සිදුවිය.

දැන් තම ජීවිතයේ හත්වෙනි දශකය ගෙවන මේ කාන්තාව මට තවමත් ඉඳහිට මුණ ගැසුන ද, අද දක්වාම මේ කතාව සිහිකර ඒ සම්බන්ධයෙන් ඇයව ප්‍රශ්න කිරීමකට ලක්කරන්නට මට ඉඩකඩ නොලැබුණි. කිසි දිනෙක එවැනි අවස්ථාවක් උදා නොවෙන්නට ද ඉඩ ඇත.

එය මගේ ජීවිතයේ ඇති එක් දුක්බරම පශ්චාත්තාපයකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ අති භයානක ජාතිවාදී ප්‍රකාශය ගැන මේ සටහන ලියන මොහොතේ, ඇගේ එදා උපමාවම සහිතව මගේ සිතට නැගුණේ, මේ කාන්තාව ගේ සියොළඟ පිරි ජාතිවාදී නයි විෂ, ඇගේ දරුවන්ට බිඳුවක් හෝ උරුම වී නොතිබේවා යන ප්‍රාර්ථනයයි.

(image: http://olocomeu.com/wp-content/uploads/2009/01/cruela-300x221.jpg)

Wednesday, 24 February 2016

"හව් ඊස් ඉට් ගොයිං?" සහ "හව් ආයා ගොයිං?" මගේ ඕස්ට්‍රේලියානු අත්දැකීමක් - A page from my diary


මා පාසල් සමයේ පරිහරණය කළ "ඇන් ඉංග්ලිෂ් කෝස් ෆෝ ග්‍රෙඩ් සික්ස්/සෙවන්/එයිට්/නයින්/ටෙන්" වැනි අච්චුපොත්වල ද, පසු කලෙක කියවූ "බීබීසියේ", "ෆලෝ මී!" නමැති ගුවන් විදුලි ඉංගිලිසි ඉගැන්වීමේ වැඩ සටහනේ අත් පොතේ ද, ගම්පහ "ලාල් සෑර්" ගේ "ඉස්පෝකන් ඉංග්ලිෂ්" පන්තියේ දී බෙදා හැරුණු රෝනියෝ කළ පත්‍රිකාවලද සඳහන් වූ පරිදි අපට කිසිවෙකුව අලුතෙන් හඳුන්වා දුන් විට ඇති විය යුතු සම්ප්‍රදායානුකූල දෙබස මෙසේය.
හව් ඩූ යූ ඩූ?
හව් ඩූ යූ ඩූ?
ප්‍රශ්න පමණි. පිළිතුරු නැත.

නමුත් අප කලින් දන්නා හඳුනන අයෙකු මුණ ගැසුණු විට ඇති විය යුතු දෙබස මෙලෙස වේ.
හව් ආ යූ?
අයෑම් ෆයින් තැන්ක් යූ. හව් ආ යූ?
අයෑම් ෆයින් තැන්ක් යූ.
අදාළ වූ තැන්වලදී, මා ලංකාවේ කතා කළේ ද, ඒ අච්චු පොතේ ආකාරයටයි. තායිලන්තයේ පශ්චාත් උපාධිය හදාරන්නට ගිය විට දී ද, පොට්ට චාන්ස් එකක් වැදී ඉන්දියාවේ සම්මන්ත්‍රණයකට ගිය විට දී ද, ඒ දෙබස් භාවිතා වුණු වාර ගණන අප්‍රමාණ ය.

වසර විසි එකකට පෙර දිනයක ඕස්ට්‍රේලියාවට ගොඩ බට මා බලාපොරොත්තු වූයේ ද ඔය ආකාරයේ දෙබස් ය.

නමුත් මා පැමිණ තිබුණේ "ස්ට්‍රයින්" නම් භාෂාවක් කතා කරන "ස්ට්‍රායා" නම් රටකටයි.

මේ කතාව කීමේ දී, මගේ ජීවිත කතාව විස්තරාත්මක ලිවීම පසුවට තබා මා මුහුණු දුක් එක් අවස්ථාවක් පමණක් විස්තර කරන්නට අදහස් කරමි.

අප්‍රියෙල් මාසයේ එක් සීතල රාත්‍ර්‍රියක මෙල්බර්න් නුවරට ගොඩබට මා පසු දින අත්‍යාවශ්‍ය කාරණා සඳහා ලියාපදිංචි වීම්, බැංකු ගිණුමක් ඇරඹීම වැනි දේ සඳහා ගතකර, ඉන්පසු එළැඹුණු මහ සිකුරාදා, පාස්කු සඳුදා දීර්ඝ නිවාඩුවද ගත කර ඊළඟ දවසේ කෝෆීල්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇති මොනෑෂ් විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික සහ කාර්මික ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙත ගියෙමි.

ඒ අංශයට ඇතුළු වෙන විටම මා නෙත ගැටුණු පරිපාලන සහායකවරිය වෙත ගිය මම, පීඑච්ඩීයක් හෙවත් "පර්මනන්ට් හෙඩ් ඩැමේජයක්" කිරීමට මට ඇති අවශ්‍යතාවය ගැන කීවෙමි.

ඒ මොහොතේ එතැනට පැමිණ සිටි පුද්ගලයෙකු -හලෝ මම සහාය මහාචාර්ය ජෝන් ෆිෂර්, මං තමයි මේ දෙපාර්තමේන්තු ප්‍රධානියා- යැයි කියා මා ඔහු ගේ කාර්යාලයට කැඳවා ගෙන ගියේය. "ඔළුව අවුල් කර ගැනීම" සඳහා වූ මගේ අවශ්‍යතාවය ගැන විස්තර කිරීමේදී මට මගේ අධ්‍යාපනික පසුබිම සහ වෘත්තීමය අත්දැකීම් ගැන ද තොරතුරු පැවසීමට සිදුවිය.

ඒ ඇසූ අංශ ප්‍රධාන සහාය මහාචාර්යවරයා පැවසුවේ, හිස කුඩුච්චියක් දා ගැනීම සඳහා ලියාපදිංචි වීම ලෙහෙසියෙන්ම කළ හැකි බවත්, නමුත් ඊට පෙර, ඔහුට මගෙන් වෙනත් උපකාරයක් අවශ්‍ය බවත් ය.

ඊළඟ මොහොතේ මා වටහා ගත් පරිදි එම දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන බීටෙක් උපාධියේ නිෂ්පාදන කළමනාකරණ විෂයේ සේවය කළ එක් අයෙකු පසුගිය සතියේ සිට ඉවත් වී ඇති හෙයින්, දෙපාර්තමේන්තු ප්‍රධානියා සිට ඇත්තේ ඒ පන්තිය පැවැත්වීමට අයෙකු සොයමිනි. මා ඒ මොහොතේ එතැනට පැමිණ ඇත්තේ දෙයියෝ දුන්නාක් මෙනි!

සතියකට පැය දෙකක පන්තියක් සෙමීස්ටරයේ ඉතිරි කාලය තුළ කළ හැකි දැයි සහාය මහාචාර්ය ජෝන් ෆීෂර් මගෙන් විමසීය. දින කිහිපයකට පෙර නොරටක සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කර, පීඑච්ඩීයක් සඳහා ලියාපදිංචි වීම ගැන විමසමින් සිටි මට ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමේ හැකියාවක් නොතිබුණි.

එකම ප්‍රශ්නය වූයේ මේ අදාළ පන්තිය යෙදී තිබුණේ පසුදා පස්වරු දෙකට වීමයි. තව ඇත්තේ පැය විසි අටක කාලයක් පමණි.

දෙසතියකින් ආපසු ලංකාව බලා යාමට කර තිබුණු සැලසුම් සිතන් ඉවත් කළ මා මේ යෝජනාව සඳහා කැමැත්ත ප්‍රකාශ කළ පසු, ඔහු මා කැටුව ගොස් දෙපාර්තමේන්තුවේ උප ප්‍රධාන මාටින් ස්මිත්ට හඳුන්වා දුන්නේ ය.

මා පසුව දැනගත් පරිදි මා සමග මුලින් කතාබහ කළ දෙපාර්තමේන්තු ප්‍රධානියා කේම්බ්‍රිජ් විශ්ච විද්‍යාලයේ උගත් ඉංගිලිසි ජාතික සංක්‍රමණිකයෙකු වූ අතර, උප ප්‍රධානියා පරම්පරාගත ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු විය.

අදාළ අච්චු පොත සහ පන්තියේ සාකච්ඡා කළ යුතු දේ පිළිබඳ වැඩ සටහන මට ලබා දුන් උප ප්‍රධානියා පැවසුවේ යැයි මට හැඟී ගියේ "හෝප්යා කැන් හෙල්පස් හිය මේට්. සී වාට්යා කැන්ඩූූ. ඉෆ්යා ඩොන්ට් ගෙට් ටයිම් ටු ප්‍රිපෙයා, විල් කෑන් ද ක්ලාස් ටුමාරෝ ඇන් ස්ටාට් ෆ්‍රොම් නෙක්ස්ට් වීක්!" කියාය.

මා ජීවිතයේ මුල්වරට ඒ ආකාරයේ උච්චාරණයක් ඇසුවේ මේ උප ප්‍රධානියාගෙනි.

පසුදා උදයේ මා යළිත් මොනෑෂ් කෝෆීල්ඩ් කැම්පසය වෙත ගියේ හවස පන්තිය සඳහා නිවසේ දී සූදානම් වී ය.

මට ලබා දී තිබුණු මේසය අසලට පැමිණියේ දෙපාර්තමේන්තු උප ප්‍රධානියා ය. "හව් ඊස් ඉට් ගොයින්?" ඔහු මා අමතා කීවේය.

දෙපාර්තමේන්තු උප ප්‍රධාන මාටින් ස්මිත් මේ අසන්නේ හවස පැවැත්වීමට නියමිත පන්තියට මගේ සූදානම ගැනය!

"අයි හැඩ් එ ලුක් ඇට් ද මෙටීරියල් ඉන් ද ටෙක්ස්ට් බුක්. අයෑම් වෙල් ෆැමිලියර් විත් දිස් ස්ටෆ්. අයිල් බී ඒබල් ටු මැනේජ් දිස්!" මම කිවෙමි.

"ගුඩ් ඔන්යා!" කියූ මාටින් ඉවතට ගියේය.

එදිනම සවස හතරට පන්තිය නිමවූ පසු දෙපාර්තමේන්තු කුස්සි කෑල්ලේ තේ කෝප්පයක් තොල ගාමින් සිටි මා දැක මාටින් නැවතත් මගෙන් විමසූයේ "හව් ඊස් ඉට් ගොයින්?" කියාය.

මම මදකට වික්‍ෂිප්ත වීමි. ඇත්තටම ඔහු ඇසිය යුතුව තිබුණේ "හව් ඩිඩ් ඉට් ගෝ?" කියා නොවේද? මා පන්තිය අවසාන කර දැන් පැය කාලක් පමණ ගත වී ඇත.

"ඕහ්, ද ක්ලාස් වෙන්ට් වෙරි වෙල්. නියර්ලි ඕල් ස්ටුඩන්ට්ස් වර් දෙයා. වී හැඩ් එ ගුඩ් සෙෂන් ඩිස්කසින් ද ප්‍රොබ්ලම්ස් ෆ්‍රොම් දැට් චැප්ටර් ඇන්ඩ් දෙයර් සොලුෂන්ස්!" මම කෝකටත් කියා මා පැවැත්වූ පන්තිය ගැන සැකෙවින් විස්තරයක් කළෙමි.

"ගුඩ්, ගුඩ්, ගුඩ් ඔන්යා, සීයා ටුමාරෝ!" කියා ඔහු එතැනින් ඉවත්ව ගියේය.

"හව් ඊස් ඉට් ගොයින්?" කියා මේ මාටින් මගෙන් විමසන්නේ පන්තිය සඳහා මගේ සූදානම ගැන හෝ එහි ප්‍රගතිය ගැන හෝ නොවන බවත්, ඒ ඔහු "කොහොමද ඉතිං?" හෙවත් ඔහු "හව් ආ යූ?" යන්න අසන ආකාරය බවත් මා තේරුම් ගත්තේ පසු දින ද මේ තත්වයට මුහුණ දී, පසුව මිතුරෙකුගෙන් ද මේ ගැන ඉඟියක් ලැබුණු පසුවයි.

"හව් ඊස් ඉට් ගොයිං?" යන්න ද සමහරු අසන්නේ "හව් ආයා ගොයිං?" කියා ය.

යමෙකු හමුවූ විගසම මේ ප්‍රශ්නය (එනම්, හමුවීමක් අවසානයේ දී ඇසිය යුතු යැයි සිතෙන "ඔබ යන්නේ කොහොමද?" යන්න) අසනු ලැබූ කල්හි එහි අදාළත්වය ගැන තරමක් විස්මයට පත් වුවද, "අයිල් බී ටේකින් ද ටේ‍ර්න් හෝම්!" හෝ "අයිල් බී ඩ්‍රයිවින්!" යැයි කියා පිළිතුරු දුන් අය ද වෙති.

බ්‍රිස්බේන්වාසී තිසර ඊයේ පැවසූ පරිදි, සමහරු "හව් ආ යා ගොයින් ටු-ඩායි?" කියා අප මැරෙන විදිය ගැන විමසනවා අපට ඇසේ!

"හව් ඊස් ඉට් ගොයිං", "හව් ආයා ගොයිං?" හෝ "හව් ආයා ගොයින් ටුඩායි?" යන කවරාකාරයෙන් විමසනු ලැබූවද, පිළිතුර විය යුත්තේ "අයෑම් ගුඩ් තැන්කියු, හව් ආ යූ?" කියා බව ද මම ඉගෙන ගතිමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ වචන නමසීය ලියන්නට අතීතයට ගිය කෙතරම් එයින් වින්දනයක් ලැබුවේද යත්, පොදු ජන රසාස්වාදය හෝ කාලීන වැදගත්කම හෝ කෙසේ වුවද, මගේ අත්දැකීම් අමු අමුවේ ම වුව ද ලියා දාන්නට සිත් විය.

(image: http://australiacalling.com.au/hi-howya-goin-mate-vs-hello-how-are-you/)

Monday, 22 February 2016

අසුන්දර ඉංගිලිසි - I dont know "melo-deyak"


ආයුබෝවන් ළමයිනි,

මූලිකවම දේශපාලන බ්ලොග්කරුවෙකු වෙන අජිත් පැරකුම් ජයසිංහ තම W3Lanka බ්ලොග් අඩවියේ, කවි, විචාර වැනි විවිධාංග ලිපි ද විටින් විට පළ කරයි. ඉංග්ලිෂ් භාෂාව උගන්වන රජයේ ගුරුවරයෙකු ලෙස සෑහෙන කලක් සේවය කර ඇති ඔහු කලකට පෙර සුන්දර ඉංග්‍රීසි නමින් ලිපි මාලාවක් සතිපතා W3Lanka හි පළ කළේය. ඒ ඔහු ජනරළ හෝ එවැනි වාමාංශික පුවත්පතකට ලියූ තීරු ලිපි යැයි සිතමි.

ඉංග්ලිෂ් (English) යන වචනය සිංහලට පෙරළී අද භාවිතා වෙන්නේ ඉංග්‍රීසි කියා ය. ඉංග්‍රීසි යන්නේ ඇති "ර" ශබ්දය මුල් වචනයේ ඇති එකක් නොව පරිවර්තනයේ දී එකතු වූ එකක් ලෙස පෙනේ.

මේ ලිපියේ මාතෘකාව සඳහා යොදා ගෙන ඇති ඉංගිලිසි යන වචනය මා මුලින්ම දුටුවේ බලංගොඩ ආනන්ද මෛත්‍රී විසින් ලියන ලද "සරල ඉංගිලිසියට මග" යන කෘතියෙනි. ඒ පොත මා කියවූයේ උසස් පෙළ අවසාන කොට, පේරාදෙණියේ සිව් වසරක් ඉසුඹුලන්නට යන්නට පෙරාතුව තරම් ඈත කාලයක වුව ද තවමත් එහි තිබූ එක් වැදගත් කරුණක් මගේ මතකයේ රැඳී ඇත.

එය W සහ V අකුරු දෙකේ යෙදීම පිළිබඳව වේ.

මා මිත්‍ර චානුක වත්තේගම ද කලකට පෙර දිනක වත්පොතේ ලියා තිබුණු පරිදි සිංහල අප ඉංගිලිසි V අකුරු අවශ්‍ය ස්ථානවලදී බොහෝ විට තෝරා ගන්නේ W අකුරයි. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ ද වත්තේගම කියා ලිවීමයි. නිවරැදි Vaththegama වෙනුවට අප Waththegama කියා ලිවීම පිළිබඳව කිසිදු තර්කානුකූල හේතුවක් නොමැති බව චානුක වත්තේගම පවසා තිබුණි.

බලංගොඩ ආනන්ද මෛත්‍රී ගේ පොතේ මේ W සහ V ශබ්ද ද්වය නිවැරදි ස්ථානවල යොදා ගැනීම පහසු කිරීම සඳහා දී තිබුණු ඉඟිය වූයේ මෙයයි.

අප W යෙදිය යුත්තේ උව් ශබ්දයක් එන තැන් සඳහා පමණි. සාමාන්‍ය ව් ශබ්දය සඳහා නිවැරදි යෙදුම V ම වේ.

එසේම, W සහ V අකුරු සහිත ඉංගිලිසි වදන් ශබ්ද කිරීමේ දී ද, ඒ ඒ ආකාරයට ම කළ යුතුය.

ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස සරල ඉංගිලිසියට මග කෘතියෙහි දක්වා තිබුණේ ජනේලය යන අරුත දෙන Window යන වචනයයි. මෙය ශබ්ද කළ යුත්තේ "වින්ඩෝ" කියා නොව "උවින්ඩෝඋ" කියාය.

වින්ඩෝ යනු Vindo යන වෙනත් කිසිවෙකු නොදන්නා වචනයකි!

නමුත් Went/Vent සහ Wiper/Viper වැනි යෙදුම් වලදී උවෙන්ට්/වෙන්ට් සහ උවයිපර්/වයිපර් උච්චාරණ තම අදහස ඉංගිලිසි ජාතිකයෙකුට ප්‍රකාශ කිරීමේ දී ප්‍රයෝජනවත් වෙනු ඇත.

ඒ සමගම සියලුම වසන්තලා තමන් Wasantha නොවන බවත් Vasantha බවත් තේරුම් ගත යුතුයි. මා දන්නා වසන්ත/වසන්ති/වසන්තා ලා ගෙන් තම නම V අකුරෙන් අරඹා ලියන්නේ වසන්ත සපරමාදු පමණි.

එ පළමු පාඩම ඔබ සැමට තේරුම් යන්නට ඇතැයි සිතමි. මගේ මේ අසුන්දර ඉංගිලිසි ලිපියේ දෙවන පාඩම මෙයයි.

කණ්ඩායම යන අරුත දෙන බැච් Batch යන වචනය විශාල ලෙස භාවිතා වෙන්නේ විශ්ව විද්‍යාලවල ය. මේ වචනයේ සිංහල යෙදුම වන බැච් එක යන්න ආශ්‍රයෙන් එකම කණ්ඩායමේ සගයා වෙනුවෙන් බැචා ලෙසද, එකම කණ්ඩායමේ ගෑල්ළමයා වෙනුවෙන් බැචී ලෙසද, කණ්ඩායම් හැඟීම වෙනුවෙන් බැචත්වය කියා ද වර නැගී භාවිතා වේ.

කුමක් දෝ යැයි මට වටහා ගත නොහැකි හේතුවක් මත සමහරු මේ බැච් එක වෙනුවට බැජ් එක යනුවෙන් කියනු ලියනු මට අසන්නට කියවන්නට ලැබී ඇත. බැජ් (Badge) යනු ලාංඡනය යන අරුත දෙන ඉංගිලිසි වදන බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉංග්ලිෂ් යන්නේ නොමැති ර-කාරයක් එකතු කරගෙන ඉංගිලිසි වෙනුවට ඉංගිරිසි හෙවත් ඉංග්‍රීසි යයි අප අද වහරන්නාක් සේ, මේ බැජ් යන්නද, එහි බැජා, බැජී, බැජත්වය වැනි වරනැගුම් ද දිනක සම්මතය බවට පත්වෙන්නට ද ඉඩ ඇතැයි මට සිතේ.

තවත් එක් අසුන්දර ඉංගිරිසි පාඩමක් සිහියට නැගෙයි. කාල පරිච්ඡේදය අවසාන වෙන සීනු හඬ ඇසුණු බැවින් එය පසුවට තබමි.

සුබ දවසක් වේවා ළමයිනි!

-රසිකොලොජිස්ට් සර්

ප/ලි:
වසර විස්සකට පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි පසු මා උගත් එක් දෙයක් නම් ප්‍රායෝගිකව ඒ නමින් රටක් නොමැති බවයි. මෙරට "ස්ට්‍රායා" නම් වේ. ඒ මෙහි භාවිතාවෙන සම්මත "ස්ට්‍රයින්" නම් භාෂාවෙනි.

ඒ ගැනත් පසුවට!

(http://www.sundayobserver.lk/2010/05/23/mon05.asp)

Saturday, 20 February 2016

අමුතුම අභ්‍යාසයක ප්‍රතිඵල - What is lost in translation?


පසුගිය දෙසැම්බරයේ දී මා ලංකාවට යන්නට පෙර රසිකොලොජියේ "කරුණාකර මේ වාක්‍ය කිහිපය සිංහලට පරිවර්තනය කර දෙන්න - Can someone translate these few sentences into Sinhala, please?" මැයෙන් කෙටි ලිපියක් පළ කළේ එක්තරා කාරණය සිතේ රඳවා ගෙනයි.

ඒ ගැන වැඩි විස්තර සපයමින් ඒ ලිපියට තවත් කරුණු එකතු කරන්නට සිතා සිටි නමුත්, ලංකාවේ දී පොත් එළි දැක්වීම් එකකට, දෙකකට යැමටද, වෙනත් විවිධ කාරණා කටයුතුවලට කාලය යොදවන්නට සිදුවුණු නිසා එය අද වෙනතුරු අතපසු විය.

අද එය යළි සිහියට නැගුණේ, ජගත් ජේ එදිරිසිංහ සහ ලියනගේ අමරකීර්ති නමැති ලේඛකයින් දෙදෙනා නිසා ය.

එදා දෙසැම්බරයේ දී මා ඉල්ලා සිටියේ පහත ඉංගිරිසි පද්‍යමය රචනය සිංහලට පරිවර්තනය කරන්න කියායි.
When, how and where did we meet?
I asked you everyday, but you did not reply.

How many days did you make me cry since that day?
How many days did you comfort me since that day?

Having got closer one day, going far away on another,
Coming one day but hiding on another.

When, how and where did we meet?
I asked you everyday but you did not reply!

That is how it has been so far, is it going to be the same today tomorrow and in the future?
Where and how will path we travel end?

It is more than sufficient for life, if is just like this.
Love is not sweet if it is NOT like this!

When, how and where did we meet?
I asked you everyday, but you did not reply!
එදා මා නොකී කාරණය වූයේ ඒ ඉංගිරිසි වැකි පේළිය මා ලියූවේ කරුණාරත්න අබේසේකර කවියා විසින් මිල්ටන් පෙරේරා ගායකයා සඳහා රචනා කරන ලද කවදාද කොහෙද කොයි තැනකද ඔබ හමුවූයේ යන පදමාලාව සිංහලට පරිවර්තනය කරමින් බවයි.
කවදාද කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිමි ඔබ නැත මට පිළිතුරු කීයේ

ඔබ එදා ඉඳන් කී දවසක් මා හැඬෙව්වද
ඔබ එදා ඉඳන් කී දවසක් මා නැලෙව්වද
දිනකදි ළංවී දිනකදි ඈතට යනවා
දිනකදි එනවා තව දිනකදි සැංගෙනවා

කවදාද කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිමි ඔබ නැත මට පිළිතුරු කීයේ

දිගටම එහෙමයි අද හෙට මතුත් එහෙමද
අප යන මග නිමවන්නේ කොහෙන් කොහොමද
ජීවීතයට හොඳටම ඇති මේ ලෙස ඇත්නම්
ආදරයක් රසවත් නැත ඒ වගෙ නැත්නම්

කවදාද කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිමි ඔබ නැත මට පිළිතුරු කීයේ
මා දින කිහිකයකට පෙර ඒ ඉංගිරිසි රචනාව මුහුණු පොතේ බෙදාගෙන තිබුණු නිසා දෝ, එසේත් නැතිනම් ඔවුන් ගේ හැකියාව නිසා දෝ රසිකොලෙජිය කියවූ සමහරු එය ක්‍ෂණිකව වටහාගෙන ප්‍රතිචාර දැක්වූ අතර තවත් කිහිප දෙනෙකු මගේ සිහලෙන් ඉංගිරිසියට පරිවර්තිත රචනාව, යළි සිංහලට පරිවර්තනය කරන්නට හොඳින් උත්සාහ කර තිබුණි.

මේ එයින් මා සිත ගත් පරිවර්තන කිහිපයකි.

සජ්ජාගේ පඩංගුව

කෙදිනක කොතැන කෙලෙසින් අප හමුවූයේ - විමසමි කිසිදු දින නැත ඔබ තෙපලූයේ
හැඬුවෙමි මෙනෙහිකොට ඔබ නැත හිමිවූයේ - සිත දුක් නිවන්නට ඔබ කවදද ආයේ

Its going to be funny after that.. cheer up

දිනයක ලංව දහසක් පැතුමන් බැන්දා - පසු දින පොලු තබා මාහට උඹ පැන්නා
හැමදින වෙන්නෙ මේකයි හොඳ හැටි දන්නා - හරකෙකි මමත් අවසානය නොමදන්නා

Serious again

ගල්මුල් කම්කටොළු බාධක පොදි බැන්දා - දිවිමග පිරිපුන්ද නැතිනම් දුක් කන්දා
දුකනැති ආලයද කිසි රස නැති හන්දා - ආලය දිවිමගද එකසම කොට වින්දා

කල්‍යාණ මිත්‍ර

කවදාද.. කොතනද.. කොහොමද.. අප හමුවුයේ..
ඇසුවා.. සැමදා ම'ඔබගෙන්.. නැහැ පිළිතුරු ලදුයේ..

කිව හැකිද දින ගණන්.. ඔබ නිසා මා වැළපුණු එදිනේ ඉඳලා..
කිව හැකිද දින ගණන්.. ඔබ ඇසුරේ මා සැනසුනු .. එදිනේ ඉඳලා..

දිනෙක අප ලං උනා.. තව දිනෙක වෙන් වුනා..
දිනෙක හමුවුණු නියා..දිනෙක සැඟවී ගියා..

කවදාද.. කොතැනද.. කොහොමද.. ....

ආ ගමන් මඟ එලෙසට.. සතුට පෙනී පෙනී දුරගිය..
අපේ ඉදිරියේ ලියා ඇත්තෙත් අනියතම බව විතරද?
අද ගෙවන මේ කතර දුර මග
නිමාවක් කොතැනක වෙද?

විඳි ගැහැට මෙතුවක් සරි
තවත් නම් වින්දවනු බැරි..
අහෝ! බාධක නොමැති කල පෙම
රසය හිඟ විද සුන්දරී.

Muhammad Fawaz

කොතැනද දී කොහේදී කෙසේද ද අප හමුවූයේ?
සැමදා ඇසුමුත් ඔබ නැත පැවසුයේ

එදා පටන් අද වෙන තුරු කෝපමණ වාරයක් ඔබ මා ඇඩ්වූවාද
එදා පටන් අද වෙන තුරු කෝපමණ වාරයක් ඔබ මා සැනසුවද

ළං වෙමින් එක් දවසක්, බෝහෝ ඇතට යනවා තව වරක්
එමින් තව දවසක්, ඒ නමුත් සගවමින් තව මොහොතක්

කොතැනද දී කොහේදී කෙසේද ද අප හමුවූයේ?
සැමදා ඇසුමුත් ඔබ නැත පැවසුයේ

එය එසේ විය අද වෙනතේක් එය ඒසේම වේයි අදටත් හේටටත් පෙරටත්
කෝහිද කෙස්ද අප මග කෙලවර වේයි දෝ?
පන නලට ඉහට උඩින් ය එසේ වෙනවානම්
ආදරය අමිහිරි මෙය නොවූවා නම්


ගීතයක් නොව වෙනත් ආකාරයක කවියක් සමග මම ද ඊයේ මෙවැනි ව්‍යායාමයක යෙදුනෙමි. ඒ පිළිබඳ විස්තර හෙට පළ කරන්නට බලාපොරොත්තු වෙමි.

-රසිකොලොජිස්ට්

(image: http://www.timeout.com/london/film/lost-in-translation)

Thursday, 18 February 2016

මගේ අසමසම නාට්‍ය දිවියේ මුල් පියවර! - One small step at a time


මා මුලින්ම වේදිකාවක කෙරුණු නාට්‍යමය රංගනයක් දුටුවේ කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ පස්වෙනි ශ්‍රේණියේ සිටි කාලයේ යැයි සිතමි.

ඒ වසරේ පාසලේ වසරාවසාන විවිධ ප්‍රසංගයට අටේ පන්තියේ ලොකු ළමයින් පිරිසක් එකතුව කෙටි නාට්‍යයක් ඉදිරිපත් කළහ.

අටේ පන්තියේ ළමයි, ලොකු ළමයින් ලෙස මෙහි දී හැඳින්වූණේ, මා එකල පහේ පන්තියේ උගත් වයස අවුරුදු දහයක පොඩි ළමයෙකු වූ නිසා ම පමණක් නොවේ. අපේ පාසලේ පැවති ලොකුම පන්තිය ද ඒ අටේ පන්තිය වූ නිසාත් ය.

මේ කෙටි නාට්‍යයේ සම්පුර්ණ කතා වස්තුව අද දශක කිහිපයකට පසුව මගේ සිතින් ගිලිහී ගොස් ඇති වුවද, එහි පොලිස් පරීක්‍ෂකයෙකු මෙන් ම, පොලිස් සාජන්ටුවෙකු ද සිටි බවත්, ඔවුන් සාර්ථක ලෙස හොරෙකු අල්ලා ගත් බවත් මගේ මතකයේ හොඳින් රැඳී ඇත. ඒ වීර චරිත දෙක මගේ මෙන්ම පාසලේ සියලුම සිසුන් ගේ සිත් පැහැර ගත්තාට සැක නැත.

මගේ සිත වඩාත් ඇදී ගියේ ඔවුන් ගේ රඟපෑමට නොව, රංග වස්ත්‍ර කෙරෙහි ය. පොලිස් පරීක්‍ෂකයා හැඳ සිටියේ කාකි දිග කලිසමකි. දිග කලිසම් යනු එකල අපේ පාසලේ සිටි පිරිමි ගුරුවරුන් දෙතුන් දෙනාගෙන් දෙදෙනෙකු පමණක් හැඳි ලොක්කන් ගේ ඇඳුමක් විය.

හොරා ඇල්ලීමේ දී සාජන්ටුවා අත තබාගෙන සිටියේ බැටන් පොල්ලක් පමණක් වුවද, පොලිස් පරීක්‍ෂකයා අත කළු පැහැති පිස්තෝලයක් තිබෙනු දක්නා ලදී.

දිගු කලිසමක් හැඳ, සෙල්ලම් වුවත්, පිස්තෝලයක් අතැතිව ඒ ආකාරයේ වීර චරිතයක් රඟපාන්නට ලැබෙන්නේ නම් හොඳ නොවේදැයි මට එදා සිතුණි.

ඒ වනවිට ගාමිණී ෆොන්සේකා රඟපෑ වැලිකතර චිත්‍රපටය නරඹා තිබුණු අපේ එකල ප්‍ර්‍රියතම ක්‍රීඩාවක් වූයේ ලී කැබැලි දෙකකින් සාඳන ලද මැෂින් තුවක්කු උපයෝගී කරගනිමින් කළ හොරා පොලිස් ක්‍රීඩාවයි. එය, ගාමිණී ෆොන්සේකා ම ද්විත්ව චරිත රඟපෑ දෙමළ චිත්‍රපටයක කොපියක් වූ ආත්ම පූජා නරඹා අප උගෙන තිබූ කඩු සටන්වලට වඩා විනෝදාත්මක එකක් විය.

පොලිස්කාරයෙකු ගේ චරිතය රඟපෑමට සිතේ ඇති වූ කැමැත්ත කෙසේ වුවද, මට මුලින්ම අර්ධ රංගනයක් ලෙස හෝ ඉදිරිපත් කරන්නට ලැබුණේ එයින් වසර දෙකකට පසු මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ හත්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි කාලයේ දී ය. ඒ එක්කෝ සේරිවාණිජ ගේ චරිතයයි, නැතිනම් කච්ඡපුට ගේ චරිතයයි. නම කෙසේ වෙතත්, මා මේ කියන්නේ අර යහපත් වෙළෙන්දා ගේ බෝසත් චරිතය ගැනයි, නපුරු දේවදත්ත චරිතය නම් නොවේ.

මේ අවස්ථාව මට ලැබුණේ අපේ සිංහල පාඩමේ කොටසක් ලෙසිනි. සිංහල පාඩම් පොතේ තිබුණු එක් කතාවක් වූයේ සේරිවාණිජ ජාතකයයි. අපට සිංහල ඉගැන්වූ ජයමහ නම් ගුරුවරිය ඒ පාඩම අකුරු, වචන, වාක්‍ය සහ පරිච්ඡේදවලින් ඔබ්බට ගෙන ගොස් එයින් නාට්‍යයක් රඟ දක්වන මෙන් අපට පැවරුවා ය.

ජාතක කතාවේ එන යහපත් වෙළෙන්දා ගේ, කච්ඡපුට නේද?, චරිතය පැවරුණේ මට ය.

මෙහිදී මට දෙවසරකට පෙර මා සිඩ්නි නගරයේ දී නැරඹූ බොර දිය පොකුණ චිත්‍රපටයේ එන දර්ශනයක් මට සිහිවේ.

එහි ආ කෞෂල්‍යා ප්‍රනාන්දු වැඩිහිටි කාලය රඟ පෑ චරිතයේ ළමා අවදියේ දී, තෝරා ගැනීමේ පරීක්‍ෂණයේ දී කවි, ගී යනාදිය ඉතා හොඳින් ගායනය කර තම දක්‍ෂතාවය පෙන්වූයේ වුව ද, පාසලේ විවිධ ප්‍රසංගය සඳහා නිපදවුණු බෝසත් චරිත කතාවේ යශෝදරා ගේ චරිතය රඟපෑම සඳහා එම කුඩා දැරියට අවස්ථාව නො ලැබේ. ඒ වෙනුවට ඇයට ලැබෙන්නේ ප්‍රජාපතී ගෝතමී ගේ චරිතයයි.

යශෝධරා ගේ චරිතය සඳහා කවි ගායනා නිවැරදිව නොකළමුත්, හොඳ පෙනුමක් තිබුණු වෙත් ගෑල්ළමයෙකු පන්තියේ ගුරුවරිය විසින් තෝරා ගෙන ඇත!

ගුරුවරිය මේ ආකාරයට චරිත බෙදීමට හේතුව ලෙස කුමක් කීව ද, ප්‍රේක්‍ෂක අපට සැබෑ හේතුව ලෙස වටහා ගන්නට ඉඟි කෙරුණේ මේ දැරිය කාලවර්ණ ඡවි කල්‍යානයකින් සමන්විත, සම්මත සුරුපී ලක්‍ෂණ නොමැති අයෙකු වීම, යශෝදරා වීමට ඇයගේ නුසුදුසුකම වූ බවයි.

දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් හෙබි, දුටුවන් නෙත් සිත් බඳින, නිබ්බුත පද කියවෙන සිදුහත් ගේ බිරින්දෑ වූ යශෝධරා ලෙස රඟපෑම සඳහා කළු, කැත, කොට කෙල්ලෙකු යෝග්‍ය නොවන බව අමුතුවෙන් කිව යුතු නැත!

බොර දිය පොකුණේ අයිරාංගනී සේරසිංහ ගුරුවරියට කෙසේ වෙතත්, අපේ ජයමහ ගුරුවරියට නම්, යහපත් කච්ඡපුට වෙළෙන්දා ගේ බෝසත් චරිතය රඟපෑම සඳහා තෝරා ගත යුත්තේ පන්තියේ දිගින් දිගටම පළමුවෙනියා වෙන දක්‍ෂතම සිසුවා ද, නැතිනම් දුටුවන් නෙත් සිත් බඳින, නිබ්බුත පද කියවෙන, කඩවසම් බවින් අග තැන්පත් සිසුවා ද යන්න පිළිබඳව කිසි ගැටලුවක් ඇති නොවිණි.

ඒ, මේ සිසුන් දෙදෙනා ම එක් අයෙකු වූ නිසා ය!

මිත්තනිය, මිනිබිරිය සහ සේරිවාණිජ චරිත කවුරුන් නම් රඟපෑවේ ද, ඔවුන් ඒ සඳහා තෝරා ගනු ලැබුවේ කවර පටිපාටියක් මත ද යන්න පිළිබඳව කිසිදු අදහසක් මගේ මතකයේ අද නැත.

ජයමහ ගුරුවරියගෙන් මට ලැබුණු උපදෙස් අනුව, කොට කලිසමට උඩින් නිවසෙන් ගෙනා සරමක් හැඳ, එකල පාසලේ බෙදූ බිස්කට් අසුරා තිබෙන විශාල ප්‍රමාණයේ පෙට්ටියක් කදා වළලු පෙට්ටිය ලෙස සකසා ගෙන මම නාට්‍යය සඳහා සැරසුණෙමි.

එදා පන්තිය පැවැත්වුණේ පන්ති කාමරය ඇතුළේ නොව එළිමහනේ ය. දුරින් පිහිටි අරලිය ගස් පේළි අතරින් කදා වළලු, ලාබයි, ලාබයි කියමින් මිත්තනිය සහ මිනිබිරිය සැදී පැහැදී සිටි පන්ති කාමරය දෙසට එන්නට මට සොඳුරු ආඥාදායක ජයමහ ගුරුවරියගෙන් අණ ලැබුණි.

පාඩම් පොතේ තිබූ දෙබස්වලට අනුව නාට්‍යය ගලා ගියේය. නාට්‍යයක් කියුවාට එය ඇත්තටම නාට්‍යයක් නොවේ. අප ඇත්තටම කළේ පොත බලාගෙන එහි පෙළ කියවීම පමණි.

එකම වෙනස වූයේ මා සරමක් හැඳ සිටීමයි!

කෙසේ වුවද, වසර දහතුන හමාරක් තුළ දිවගිය මගේ පාසල් දිවියේ මා කළ එකම රංගනය එය ම පමණක් විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අසමසම යන වදනේ තේරුම දන්නවා නේද?

(image: http://blog.dzone.lk/2014/12/06/serivanija-jataka-003/)

Tuesday, 16 February 2016

බීලා මැරෙමු ද, නොබී මැරෙමු ද හෙවත් ආච්චීට කට උත්තර නැත! - Running in the family?


මගේ මව ගේ පියා සහ මව වයසෙන් වෙනස් වූයේ වසර තුනකින් පමණකි.

ඔවුන් දෙදෙනා ම වෘත්තියෙන් ගුරුවරු වූහ. ආච්චී පේෂකර්මය පිළිබඳ ගුරුවරියක් ලෙස සේවය අරඹා ඒ සේවයේම විශ්‍රාම ගියාය. ඇය සේවය කළේ පළාතේ පිහිටුවා තිබූ මධ්‍යම විිද්‍යාලය හෙවත් සෙන්ට්‍රල් කොලීජියේ ය. ආතා, උප ගුරුවරයෙකු ලෙස සේවය අරඹා, කුඩා පාසලක මුල් ගුරුවරයා, එනම් ඒ දිනවල හැඳින්වුණු ආකාරයට ලොකු මහත්තයා, ලෙස කලක් සේවය කර විශ්‍රාම ගියේය.

දෙදෙනාගේ ම ගම් පළාත කළුතර දිස්ත්‍රික්කයේ වුවද, ඔවුන් විවාහ වී වසර හත අටකට පමණ පසු සේවය ඇරඹූ රත්නපුර කලවාන ප්‍රදේශයේ කුඩා ඉඩම් කෑල්ලක් මිලට ගෙන නිවසක් සාදා එහි පදිංචි වී සිටියහ. මැදි වයසේ සිට, ජීවිතයේ අවසානය දක්වා ඔවුන් දෙදෙනා ජීවත් වුණේ ඒ නිවසේ ය.

ආච්චී නම් අප දන්නා කාලයේ පටන් සවස් වරුවේ බුදුන්ට මල් පූජා කර වැඳ පන්සිල් සමාදන් වී ජීවත් වූ අයෙකු වුවද, ආතා නම් පස්වෙනි ශික්‍ෂාපදය තුට්ටුවකටවත් මායිම් කළ අයෙකු නොවීය.

නිවස ඉදිරිපිටට තිබුණු කුඩා කුඹුරු කෑල්ලෙන් ලැබෙන සහල් සහ කුඩා ගෙවත්තේ වවාගත් එළවළු, පලාවර්ග බුදිමින් ඔවුන් ගෙවුයේ, අද අපේ මිම්මෙන්, සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතකි.

නමුත්, තරමක් ස්ථුල ශරීරයකට හිමිකම් කියූ ආච්චීට විශ්‍රාම ගොස් වසර කිහිපයකින්ම විවිධ රෝගාබාධ වැලදුණි. ඒවා කවරක්දැයි මා , නිවැරදිව නොදන්නා මුත්, ආච්චී රාත්‍රියට බත් කෑම නොකළ බවත්, සීනි පැණි රස වර්ග කෑම, තෙල් කෑම යනාදිය නො කළ බවත් මගේ මතකයේ ඇත.

මෙසේ කාලයක් ගතවුණු පසු ආතාට ද යම් රෝගාබාධ ඇතිවුණි. මේ කාලය වෙන විට දෙදෙනාම ගත කළේ ඔවුන් ගේ ජීවිතවල අටවෙනි දශකයයි.

මේ මා අපේ පුංචි අම්මාගෙන් ඇසූ කතාවකි.

දිනක් ආතා ගේ අසනීපය ගැන ඇතිවුණු කතාබහක දී ආච්චී ආතාට දෝෂාරෝපණය කර ඇත්තේ, "දන්න කියන කාලේ ඉඳලා බොන එකමනේ වැඩේ! ඉතිං ඔහේට ඔය අසනීප නොහැදී තියේවියැ?" යැයි කියමිනි.

විවාහ වූ දිනවල සිටම පාහේ ඔහු අසා තිබෙන්නට ඇති මේ බීම පිළිබඳ කතාව ඇසූ ආතා තරමක් කෝප වී ඇත.

ආච්චී ගේ කතාවට පිළිතුරු ලෙස ඔහු පවසා ඇත්තේ මේ වදන් කිහිපය පමණි.

"හොඳයි, මං ලෙඩ වුණේ අරක්කු බීලා ය කියමුකෝ. එතකොට ඔහේ ලෙඩ වුණේ මොනවා බීලා ද?"

ආච්චීට කට උත්තර නැති වී ඇත්තේ එවිට ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ආතා වසර හැත්තෑ නමයක්(*) ජීවත් වූ අතර, ආච්චී ඉන් වසර අටකට පසුව(*) වසර අසූ දෙකක(*) තම ජීවිතය අවසන් කළා ය.

ඉකොනොමැට්ටා මේ ලිපිය ද කියවන්න.
http://economatta.blogspot.com/2016/02/blog-post_10.html

(*) ප/ප/ලි:
මේ ලිපියේ දැක්වෙන ආතා සහ ආච්චිගේ ජීවිත කාලය පිළිබඳ මිනුම්වල යම් වරදක් ඇත. ඒ වරද පිළිබඳව දොස් පැවරිය යුත්තේ, ඒ වරද පෙන්වා දීම පිළිබඳ ස්තුතිය ද හිමි විය යුතු ඉකොනොමැට්ටාට ම ය.
;-)

මේ ලිපිය ලියන මොහොතේ ආතා ගේ උපන් දිනය මා නිවැරදිව දැන සිටියේ නැත. මරණය සිදුවූ වසර සහ මාසය ගැන පමණක් අපැහැදිලි අදහසක් තිබුණි. ඇය ජීවත්ව සිටි කාලයේ දී ආච්චී ගේ උපන් දිනයට සහ ඇය මිය ගිය පසු ඒ සංවත්සරයට සිදු කළ දාන මාන කටයුතු නිසා ආච්චි ගැන එසේ අවුලක් නොතිබුණි.

ලිපිය අවසාන කර පළ කිරීමට යද්දී ඉකොනොමැට්ටා ගේ අදාළ ලිපිය ගැන සිහිවී එයට සබැඳියක් යෙදීමට එය නැවත කියවන විට ගැහැණු පිරිමි අපේක්‍ෂිත ආයු කාලයේ වෙනස පැහැදිලි වීමට සිතා ලිපියේ අවසන් වගන්තියෙ වෙනස් කළෙමි. එහි දී සිදුවුණු අවුල ද, අන් ස්ථානවලදී නොසලකා හැරි ආසන්න කිරීමේ දෝෂයන් ගේ ද සියලු වැරදි මගේ ය.

අම්මාගෙන් අසා දැනගත් කරුණු අනුව මෙන්න නිවැරදි විස්තරය.

ආතා ආච්චීට වඩා අවුරුදු තුනකුත් මාස නමයක් වැඩිමහලු ය. ඔහු මිය යන විට වයස අවුරුදු අසූවකුත් මාස දෙකකි.

ආච්චී මිය ගියේ අවුරුදු අසූ තුනකුත් මාස දහයක් ආයුෂ ගෙවා ය. ඒ ආතා මිය ගොස් අවුරුදු හතකුත් මාස පහකට පසුවය.

තවත් නොකියා කියූ කරුණු කිහිපයක් මෙන්න.

1. මට වැටහෙන විදියට මේ දෙදෙනාම අපේක්‍ෂිත සාමාන්‍ය ආයු කාලයට වඩා ජීවත් වී ඇත.

2. මගේ මාතෘකාවේ "රනින් ඉන් ද ෆැමිලි" යන යෙදුම මයිකල් ඔන්ඩච්චි ගේ පොතක නමකි. එය මෙහි දී දෙආකාරයකින් වැදගත් වේ.

3. ආච්චී සහ ආතා අතරේ මෙහි ඇති දෙබස ඇතිවෙන කාලයේ ආතා අමිතාබ් බච්චන් ගේ වයසේ සිටි අතර, ආච්චී ජයා බහදුරි ගේ වයස තරමක් පසු කර සිටියා ය.

(image: http://www.hindustantimes.com/bollywood/amitabh-jaya-bachchan-wedding-anniversary-seven-times-they-romanced-onscreen/story-QPJoJH93KlR1WRSeAAvSUN.html)

Sunday, 14 February 2016

ඉංජිනේරු හාමුදුරුවරු ගැන අසා නෑ නේද? - Fake monks and the real ones


මා දින දින කිහිපයකට පෙර ලියා පල කළ "නානසාරලාට පිස්සු ද නැතිනම් අපට පිස්සු ද?" යන ලිපිය සඳහා භාවිතා කළ ඡායාරූපය මතක ද?

ඒ මා එක්තරා දවසක සිවුරක් පෙරවූ හෝරාවක දී ගන්නා ලද එකකි.

නමුත්, එය නිකම්ම නිකං විහිළුවට කළ සිවුරු පෙරවීමක් නොවේ. උපන් භුමිය හෙවත් ශ්‍රී ලංකාව හෙවත් සිංහ-ලේ හෙවත් සිව්-හෙළය හෙවත් මව්බිම හෙවත් සිරි ලංකාව වෙනුවෙන් කළ සිවුරු පෙරවීමකි.

මෙහි ඇත්ත ම ඇත්ත කතාව මෙසේය.

මා තායිලන්තයේ පිහිටි ආසියානු තාක්‍ෂණික ආයතනය නම් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටි සමයේ අපට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි පැවැත්වුණු විවිධ ප්‍රසංගයකට සහභාගී වීමට සිදුවිය. අප එදා ඉදිරිපත් කළ ග්ලිම්ප්සස් ඔෆ් ශ්‍රී ලංකා නම් කෙටි විචිත්‍රාංග රංගනයේ මට පැවරුණේ බෞද්ධ භික්‍ෂුවක ගේ චරිතය නිරූපණය කිරීමයි.

ඒ මා සහජයෙන් ලබා ඇති මගේ ශාන්ත දාන්ත අහිංසක සුපේශල ශික්‍ෂාකාමී පෙනුම නිසා යැයි සිතමි.

අසල හන්දියේ බාබර් සාප්පුවකින් සල්ලි සල්ලි කියා නොබලා බාට් දහයක් දී කොණ්ඩය කොටට කපා ගත් මම, හොඳ වර්ගයේ තායි සිවුරක් ද පොරවා ගෙන සියම් රටේ දී මම මා ම, මහණ වීමි.

මගේ අභාග්‍යයට සහ බුද්ධ ශාසනයේ භාග්‍යයට ඒ ඉංජිනේරු විද්‍යාවේදී බක පණ්ඩිත පරකන්දෙනියේ රසිකාභිධාන ස්ථවිර නම් සුපේශල ශික්‍ෂාකාමී භික්‍ෂූ චරිතය මෙලොව පැවතුණේ පැය කිහිපයක්, එනම් විවිධ ප්‍රසංගය අවසාන වෙනතුරු, පමණි.

ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති වැනි කලා උපාධි නාමධාරී භික්‍ෂූන් ගැන නිරතුරු අසා ඇතිමුත්, ඉංජිනේරු විද්‍යාවේදී භික්‍ෂුවක ගැන කෙරෙන සඳහනක් ඔබ මීට පෙර අසා නැහැ නේද?

නමුත් මා දන්නා පරිදි එවැන්නෝ, එනම් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිධාරී බෞද්ධ භික්ෂූන්වහන්සේලා, දෙනමක් ම අද ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරති.

මේ ඉන් පළමුවැන්නා ය.


ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් 1981 දී සිවිල් ඉංජිනේරු උපාධිය ලබා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කලක් සේවය කිරීමෙන් පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කර, මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරුපති පශ්චාත් උපාධියක් ද, වික්ටෝරියානු විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද ලබා, ඕස්ට්‍රේලියාවේ විවිධ ආයතන කිහිපයක ම කලක් සේවය කළ සුනිල් දයාරත්න ය.

මා දන්නා තරමින් පසුගිය වසරේ දී, මාකොළ ධම්මදින්න නමින් ශ්‍රී ලංකාවේ දී පැවිදි බව ලැබූ උන් වහන්සේ දැන් මීතිරිගල ආරණ්‍යයේ වැඩ වාසය කරයි.

මේ දෙවැන්නා ය.


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ම යාන්ත්‍රික ඉංජිනේරුවෙකු ලෙස සුදුසුකම් ලැබූ සංජීව නම් වූ ඔහු, දශකයක් පමණ කාලයක් ලංකාවේ සේවය කිරීමෙන් අනතුරුව උඩුදුම්බර කාශ්‍යප නමින් පැවිදි බව ලබා මහව ඉහළගම ගල්ලෑවවෙහෙර ආරණ්‍ය සේනාසනාධිපති ලෙස වැඩ වාසය කරයි.

එසේ ම උන්වහන්සේ ලංකාවේ ද, විදේශයන් හි ද ප්‍රචලිත සුමධුර ධර්ම දේශකයෙකි. උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේ පසුගිය ජනවාරියේ ඕස්ට්‍රේලියාවේ දී ද ධර්ම දේශනා පැවැත්වූවේය.

රට, ජාතිය, ආගම වැනි බැටළුහම්වලට මුවා වී, ජාතිවාදය, ආගම්වාදය, ගෝත්‍රවාදය යනාදී වෛර චේතනා, ක්‍රෝඩ චේතනා වපුරන, ජඩ, අවලං, මැර ක්‍රියාවෙහි යෙදෙන සිවුරු දරාගත් පඩත්තලයින් පිළිබඳව නිබඳව අසන්නට ලැබෙන මෙවන් කාලයක, දීපයක, දේශයක මාකොළ ධම්මදින්න සහ උඩුදුම්බර කාශ්‍යප වැනි භික්‍ෂුන්වහන්සේලා ගැන අසන්නට ලැබීම පමණක් වුවද සිත සන්සුන් කරන්නේයැයි පැවසීම කිසිසේත් ම අතිශයෝක්තියක් නම් නොවේ!

ඔබ සැමට යහපතක් ම වේවා!!

සාධු, සාධු, සාධු!!!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉංජිනේරු විද්‍යාවේදී, විනයාචාර්ය, කම්මට්ටනාචාර්ය, විචිත්‍ර ධර්ම කථික උඩුදුම්බර කාශ්‍යප භික්‍ෂූන්වහන්සේ ගේ ධර්ම දේශනාවකට දැන් සවන් දෙමු.



මේ උන්වහන්සේ ගේ වත්පොත් පිටුවයි.
https://www.facebook.com/u.kashyapa

ප/ප/ලි:
මාකොල ධම්මදින්න හිමියන් බරපතල ලෙස රෝගාතුර වුණු බවත්, එනිසා උපැවිදි වීමට සිදුවුණු බවත් දැන ගන්නට ලැබුණා.
ඒ ගැන දැන්වූ සමන්ට මගේ ස්තුතිය.

Friday, 12 February 2016

මරණ සහතිකය සහ නැවත මැරීම - Dead people and the living


අප ඉපදුණු මේ ලෝකයේ ජීවත්වීම, ඉපදුණු පලියටම නිකම්ම කළ හැකි දෙයක් නොවේ. පුද්ගලික අවස්ථාවන්ගෙන් ඔබ්බට ගිය තැන්වල දී අප අප ම ය කියා හඳුන්වා දීමට නම, ගම කීම ප්‍රමාණවත් නැත. ඒ නම සහ ඔබේ මුණත්තහඩුව සහිත අනන්‍යතා පත්‍රයක් හෝ ගමන් බලපත්‍රයක් හෝ ඉදිරිපත් කළ යුතුය. එවැන්නක් සාදා ගැනීමට අත්‍යවශ්‍ය ලියවිල්ලක් වන්නේ ඔබේ උප්පැන්න සහතිකයයි.

උප්පැන්න සහතිකයක් නොමැතිවීම යනු උපන්නේ නෑ යන්නයි.

ඒ විහිළුවක් නොවේ. සත්‍ය, ප්‍රායෝගික, නෛතික තත්වයයි.

කොටින්ම, උප්පැන්න සහතිකයක් නොමැතිවීම යනු ඔබට මේ ලෝකයේ ජීවත් වීමේ අයිතියක් නැතිය යන්නයි!

ඒ මක්නිසා ද යත්, ඔබ මෙලොව උප්පත්තිය ලබා නැති බැවිනි!

මරණ සහතිකය ද ඒ ආකාරයේ ම අතිශය විහිළුකාර මෙන්ම අතිශය වැදගත්කමක් ද ඇති ලියවිල්ලකි.

මැරුණු අයෙකු ගේ මරණ සහතිකයක් නොමැති වීම යනුවෙන් අදහස් කෙරෙන්නේ, ඒ පුද්ගලයා මැරී නොමැති බවයි.

එයද විහිළුවක් නොවේ. සත්‍ය, ප්‍රායෝගික, නෛතික තත්වයයි.

එකම වෙනස වනුයේ උප්පැන්න සහතිකය අවශ්‍ය උප්පත්තිය ලැබූ පුද්ගලයාට වුවද, මරණ සහතිකය අවශ්‍ය වෙන්නේ මැරුණු පුද්ගලයාට නොව ජීවත්වෙන පුද්ගලයින්ට වීමයි.

පසුගිය දශක කිහිපක කාලය තුළ ලංකාවේ දහස් ගණනක පිරිසක් අතුරුදහන් වූ බව අප දනිමු.

ජාතිවාදී, ත්‍රස්තවාදී, විප්ලවවාදී මැරකම් නිසා අතුරුදහන්වූ බොහෝ දෙනෙකු ටයර් චිතකයන් හි අවසන් ගමන් ගියහ. බඩ පලා දැමූ කොන්ක්‍රීට් සහිතව ඈත මුහුදු පතුලේ සදාකාලික නින්දට ගිය අයද ඇති බව කියවේ. වෙනත් ක්‍රම තියෙන්නට ද ඇත. අපි තවමත් ප්‍රගීත් එක්නැලිගොඩට සිදුවුණු දේ නිවැරදිව නො දනිමු.

ඒ ආකාරයට අතුරුදහන්වූවන්ට මරණ සහතික නැත. මක්නිසාද යත්, මේ සඳහා විශේෂයෙන් පත් කර ඇති සුදුසුකම් ලැබූ අය විසින් මරණ සහතිකයක් නිකුත් කෙරෙන්නේ, මළ සිරුර පරීක්‍ෂා කර, එහි අනන්‍යතාවය තහවුරු කරගෙන, මරණයට හේතු සොයා ඒ සියල්ල ඇතුළත් කර වීමයි.

ඒ කාරණා සිදු කළ නොහැකි වූ විට මරණ සහතියක් නිකුත් කළ නොහැකි බව පැහැදිලිය!

මා පෙර කී ආකාරයට අතුරුදහන් වී ටයර් මතින් හෝ මුහුදු පතුලේ හෝ වෙනත් තැන්වල හෝ අවසන් ගමන් ගිය අය සඳහා මරණ සහතික නොමැත්තේ ඒ නිසාය.

මරණ සහිතික නොමැතිවෙන, වෙනත් අවස්ථා ද ඇත.

උදාහරණයක් ලෙස, අසූව දශකයේ මුල් භාගයේ දී මැලේසියාවේ සිට ගුවනින් පැමිණෙද්දී අතුරුදහන් වූ ව්‍යාපාරික උපාලි විජේවර්ධන ඇතුළු පිරිස සම්බන්ධ සිදුවීම දැක්විය හැක. ඔවුන් මියගිය බවට සැක කෙරෙන නමුත්, මළ සිරුරු හමු නොවුණු නිසා, සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ මරණ සහතික නිකුත් කළ නොහැක.

ඒ ප්‍රදේශයේ දී ම අතුරුදහන් වූයේ යැයි කිව හැකි මැලේසියානු ගුවන් යානයේ සිටි අයගේ ද තත්වය එයයි.

තම සැමියා මිය යන විට හොඳ තරුණ වියේ සිටි ලක්මිණි රත්වත්තේ විජේවර්ධන, ලක්මිණි වෙල්ගම වීමට සෑහෙන කලක් ගත වූයේ ද ඒ මරණ සහතිකයේ ප්‍රශ්නය නිසා විය යුතුය.

මේ සියලු කරුණු මගේ සිහියට ආවේ වෙනත් කතාවක් නිසායි.

මගේ මිතුරෙකු ගේ බිරිඳ අවාසනාවන්ත ලෙස අකාලයේ මිය ගියාය. ඇය වෛද්‍යවරියක වීම නිසාත්, ඇගේ මරණයට හේතුව වෙනත් වෛද්‍යවරයෙකු ගේ වෘත්තීමය වරදක් නිසා වීමත් හේතුවෙන්, ඒ මරණයට පුවත්පත් සහ වෙනත් මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලැබුණි.

ඒ මරණය සිදුවූයේ මින් අවුරුදු එක හමාරකට පෙර ය. තවත් නිවැරදිව කියනවානම් 2014 වසරේ අගෝස්තු 12 දා ය.

තම මිය ගිය සොඳුරිය ගේ අවසන් කටයුතු ද, දානමය පුණ්‍යකර්ම ද සිදු කළ මගේ මිතුරා, තම රැකියාවද කරමින්, දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සහ වෙනත් අවශ්‍යතා සඳහා ද වෙහෙසෙමින් පසුගිය වසර එක හමාරක කාලය ගත කළේ කෙතරම් වේදනාවකින් දැයි යන්න මට සිතා ගත හැකි වුවද ඒ අංශු මාත්‍රයකින් පමණකි.

නමුත් ගහෙන් වැටුණු මිනිහාට ගොනා ද ඇන්නා සේ ඔවුන්ට අද දක්වාම ජීවත්වෙන්නට සිදුව ඇත්තේ ඒ දුක තවත් වැඩිවෙන ආකාරයේ කලකිරීමක් ද සමගිනි.

මරණය සිදුවී වසර එක හමාරක කාලයක් ගතවී තිබුණ ද, තවමත් ඒ සඳහා මරණ සහතිකයක් නැත!

ඇගේ මරණය හදිසි මරණයක් නිසා, ඒ ගැන රස පරීක්‍ෂ වාර්තාවක් අවශ්‍ය වේ. මරණ සහතිකය ප්‍රමාදවෙන්නේ ඒ වාර්තාව තවමත් ලැබී නොමැති හෙයිනි.

අදාළ රජයේ ආයතනයෙන් මේ වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද වීම සඳහා විශේෂඥයින් ගේ අඩුවක් හෝ උපකරණවල අඩුවක් හෝ වෙනත් සම්පත් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා විය හැක. එහෙත්, ඒ වෙනුවෙන් දිනෙන් දිනම අපහසුතාවයට පත්වෙන්නේ තම බිරිඳ වියෝ වූ දුකින් ජීවත්වෙන සැමියා ය. තම මව නොමැති දුකින් ජීවත්වෙන දරු දෙදෙනා ය.

කෙනෙක් මළ පසු මරණ සහතිකයක් කුමන රඹ පුෂ්පයක් සඳහාදැයි යමෙකුට සිතෙන්නට ඉඩ ඇත. නමුත් එය එසේ නොවේ.

මා කලින් කීවාක් මෙන් මරණ සහතිකයක් නැති නම්, කිසිවෙකු මැරුණු බව නෛතිකව ඔප්පු කළ නොහැක.

මරණය පිළිබඳ පුවත්පත් වාර්තා, ඡායාරූප, වීඩියෝ වැනි කිසිවක් මරණ සහතිකය වෙනුවට නීතිමය කටයුතුවලදී බාර නොගැනේ.

නමුත්, රස පරීක්‍ෂක වාර්තාව වෙනුවට ඉහත කී සාක්‍ෂි හෝ දිවුරුම් පෙත්සමක් හෝ උපයෝගී කරගෙන තාවකාලික, නමුත් නෛතික තත්වය ඇති, මරණ සහතිකයක් හෝ ලබා දිය නොහැකි ද?

රස පරීක්‍ෂක කාර්යාලයේ ඇති අකාර්යක්‍ෂමතාවට පිළියමක් නැති ද?

තුවාලයේ වේදනාව දන්නේ තුවාලය ඇති අයයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මිතුරා ගේ බිරිඳ මිය ගිය විට ඒ ගැන විස්තර වාර්තා පල කළ පුවත්පත් සහ වෙනත් ජනමාධ්‍යවලට මේ උද්ගතව ඇති තත්වය ගැන ද වාර්තා කිරීමට සදාචාරාත්මක යුතුකමක් ඇතැයි මම සිතමි.

ඒ කෙසේ වෙතත්, පොදු ජනතාවට ද මේ ගැන දැන ගැනීම වැදගත් වේ යැයි සිතමි.

පසු විපරම කෝ?

(image: http://all4desktop.com/4247647-father.html)

Wednesday, 10 February 2016

මා මළ පසු මෙන්න මෙහෙම කරන්න, හොඳේ? - What to do when I die (if you are still around!)


මගේ සීයා, එනම් පියා ගේ පියා, කලකට පෙර මිය ගියේය. ඔහු ගේ සිරුර දැවූ සොහොනේ අළු සහිත මුට්ටිය රුගෙන කුලී කාර් එකකින් කැලණි ගඟ අසබඩ දන්නා හඳුනන ස්ථානයකට රැගෙන ගිය මගේ පියා ඒ අළු මුට්ටිය හිල් කර ගඟේ පා කර යැවීය.

ඔහු ඒ ගමනට මා ද මගේ සොහොයුරෙකු ද එක් කර ගත්තේය. ඒ අප මෝටර් රථයකින් රැගෙන ගොස් සතුටු කිරීමට ම නොවෙන බව පසුව මට වැටහිණි.

එය මට වැටහුණේ මීට වසර පහකට කලිනි. ඒ මගේ පියා මිය ගිය පසුය.

පියා ගේ භෂ්මාවශේෂ රැගෙන මාත් මගේ මල්ලීත්, මල්ලී ගේ පුතාලා දෙදෙනා ද සමග ඔහු ගේ වාහනයෙන් කැලණිය පන්සල අසලට ගියෙමු. පාරුවෙන් ගඟ මැදට ගිය අපි ඒ අළු බඳුන හිල් කර දියේ පා කර හැරියෙමු.

මොහොතකින් තාත්තා ගේ භෂ්මාවශේෂ සහිත මුට්ටිය දියේ ගිලී නොපෙනී ගියේය.

දිනෙක මට ද, මගේ මල්ලීට ද අයත් වෙනු ඇත්තේ ඒ ඉරණමයි.

සොහොන් නැත. සැමරුම් නැත.

"මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි!" යැයි මහගම සේකර ලියා අමරදේව ගැයුවේ ය.

මගේ අදහස නම් සොහොන් කොත් යනු අනවශ්‍ය දෙයක් බවයි. මේ ලෝකයේ ඉපදී මිය යන සියලු දෙනා වෙනුවෙන් සොහොන් කොත් බැන්ඳොත් ලෝකය විනාශ වී යනු ඇත. ඉතුරුවෙනු ඇත්තේ සොහොන් කොත් පමණි.

ඒත් සොහොන් කොත්වල ලියන්නට යැයි පැවසෙන දුක් ගී?

දුක් ගීවල නම් යම් වැදගත්කමක් ඇත. ඒ මිය ගිය පුද්ගලයින්ට නොව, ඔවුන් වෙනුවෙන් දුක් ගී ලියන ජීවත්වන්නන්ට ය.

නමුත්, ඒ ආකාරයට දුක් ගී ලිවීමට සොහොන් කොතක් බැඳීම ම අවශ්‍ය නොවේ!

කෙදිනක හෝ මා මළ පසු මා වෙනුවෙන් දුක් ගී ලියන්නට සිතැති අයගේ ප්‍රයෝජනය පිණිස, සයිබර් දුක් ගී පිටුවක් අරඹන්නට මා සිතුවේ ඒ නිසාය.

එය මේ රසිකොලොජි බ්ලොගයේ ම පිටුවකි. දැනට ම එය සකසා අනාගතයේ දිනයක් සහ වේලාවක් යොදා පළවීමට සලසා ඇත්තෙමි.

දිනෙන් දින ඒ නියමිත දවස කල් දැමීමට අදහස් කරන නිසා, එය ඔබට පෙනෙනු ඇත්තේ යම් දිනක මා මිය ගොස්, එසේ දිනය වෙනස් කිරීමට මට නොහැකි වූ විටය.

කොහොමද මගෙ ටිකිරි මොළේ?

යම් හෙයකින් මගේ මරණයට පෙර මට අකර්මණ්‍ය වී කල් ගත කරන්නට සිදුවුණුහොතින් ඒ පිටුව පළවීමේ අනතුරක් ඇත. එසේම, වෙනත් හේතු නිසා, මට මගේ බ්ලොගර් ගිණුමට පිවීසිමට නොහැකි වුවහොතින් ද එය එසේ සිදුවිය හැකි බව මම දනිමි. නමුත්, ඒ සියල්ල පිළිගත හැකි මට්ටමේ අන්තරායන් ය.

එහෙනම්:

මා මළ පසු සයිබරයේ දුක් ගීයක් ලියනු මැනවි
දන්නා යුනිකෝඩයකින් දුක් ගීයක් ලියනු මැනවි


-රසිකලොජිස්ට්

ප/ලි:
මෙය ද කිව යුතුය!

මගේ පියා මිය ගිය විට නම් ඔහු ගේ කිසිදු මිතුරෙකු ඔහු වෙනුවෙන් දුක් ගී ලියුවේ නැත. කොටින්ම ඔහු ගේ කිසිදු මිතුරෙකු ඔහු ගේ අවමංගල්‍යයට ද සහභාගී නොවූහ.

ඒ රණ්ඩු, වලි, හිත් අමනාපකම් නිසා නම් නොවේ.

මගේ පියා මිය යන විට ඔහු ගේ මිතුරන් සියලු දෙනාම මිය ගොස් ය!

Monday, 8 February 2016

මැරෙන එක ද පණ යන වැඩකි! - Near death experience of Rasikologist


දස වසරකට පෙර සිදුවීමක් ගැන මා ලියූ කවි පන්තියක් පෙරේදා එහි සංවසත්සරය සමරීම පිණිස රසිකොලොජියේ නැවත පල කළෙමි. ඒ සිදුවීම ගැනම, මා ගද්‍යයෙන් ලියා පල කළ “කතන්දරයක්" ද ඇති බව මතක් වුණු නිසා, එය ද, පොඩි සංස්කරනයකින් පසුව, නැවත පල කළ යුතු යැයි සිතුණි.

මෙය කලින් කියවූ ඇත්තෝ සමාවෙත්වා.

කතන්දරය කියවා එහි යටින් ඇති පැහැදිලි කිරීම ද කියවන මෙන් ඉල්ලමි.

මෙන්න මා 2011 මැයි මාසයේ ලියූ ඒ කතන්දරය.
නිරෝගීකම කියන එක නිකං පිරිසිදු වාතය වගේ දෙයක්. අපිරිසිදු වාතය නහයට දැනෙන කොට තමයි තේරෙන්නේ පිරිසිදු වාතයේ වැදගත්කම. ඒ වගේම, අසනීප වෙනකං අපිට තේරෙන්නේ නෑ නිරෝගීකමේ තිබුණු වැදගත්කම!

මාත් හිතං හිටියේ මං හොඳ සනීපෙන් ඉන්නව කියලයි. නමුත් අන්තිමේදී කපල දැම්ම වගේ ඇදගෙන වැටෙන තුරුම දන්නේ නෑ.

එදා මං පුතාව ඉස්කෝලෙ දාන්න ගියේ උදේටත් නොකා බඩගින්නේ. කාර් එක නැවැත්තුවට බහින්න හිතුණේ නෑ. බැස්සට ඇවිදින්න හිතුණේ නෑ. ඇවිද්දට, ඒ ඇවිද්දේත් මහා අමාරුවෙන්.

මං බඩගින්නේ හිටියේ ලේ පරීක්‍ෂාවක් කරන්නයි. ඇගට පණ නැතිකම මං හිතුවේ කලින් දවසේ රෑ නමයට විතර කෑවට පස්සේ තේ එකක්වත් නොබීපු නිසා එන එකක් ය කියලයි.

බැරිම තැන මං ඉස්කෝලේ මිදුලේ තිබුණු පොඩි බංකුවක වාඩි වුණා. එතකොටම බෙල් එක ගහනවා ඇහුණා. මේ පුතා ඉස්කෝලේ යන දෙවෙනි සතිය. කොල්ල බෙල් එක ඇහිල බය වුණා, "යං, යං!" කියල මගේ අතින් ඇද්දා.

මට නැගිටලා ඇවිදගෙන පුළුවන් වුණේ අඩි දෙක තුනයි. මං දැක්කා මගේ කකුල් යටින් තියෙන තණකොළ පදාසය නිකං මොසැයික් කොටු කොටු වේගෙන යනවා. කපල දැම්ම වගේ වැටුණේ ඊළඟටයි.

හැබැයි මාව ඉස්පිරිතාලේට අරං ගිය ගමන මං ගියේ හොඳ සිහියෙන්. යන ගමන් හාමිනේට කෝල් කළා මගේ මොබයිල් එකෙන්.

හාමිනේ මාව බලන්න දුවගෙන එනවා මට මතකයි. වැටිච්ච වෙලේ නහයෙන් ලේ ආපු නිසා, ස්කෑන් එකක් කරන්න ෆෝම් අත්සන් කරනවාත් මට මතකයි.

ඊ ළඟට මං හිටියේ ඇඳක් උඩ වැතිරිලා. "ලෙඩා ගේ හාට් එක නතර වුණා!" නර්ස් කියනව දොස්තරට.

"ඔව්, මටත් තේරුණා ඒක. හරිම සැන්ශේෂණල් ෆීලින් එකක් නේ තියෙන්නේ!" මං නර්ස්ට කිව්වා.

නර්ස් නෝනට ඒක ඇහුණේ නැද්ද, ගණං ගත්තේ නැද්ද අනේ මන්දා.

හැමෝම බලං ඉන්නේ ඇඳ උඩින් පැත්තක හයි කරල තියෙන ඊ.සී.ජී. මොනිටර් එක දිහා. මාත් ඒක දිහා තමයි බලං ඉන්නේ.

පොඩ්ඩක් ඉන්න. මං කොහොමද ඒ මොනිටර් එක දිහා මේ විදියට බලං ඉන්නේ. එතකොට අර ඇඳේ දිගාවෙලා ඉන්නේ මං නේද? ඒ මං නං, එතකොට කොහෙමද මට මාව ම පේන්නේ?

හාට් එක නැවතෙනවා කියන්නේ මගේ කාලේ හරිද? මට යන්න වෙලාද?

නෑහ්, දැන්ම යන්න බෑ!

දැන්ම ගිහිල්ලා කොහොමද? පොඩි කාලේ ඉඳලා කවි ලිව්වට, තාම බැරිවුණා පොතක් අච්චු ගහන්න. දැම්ම ගිහින් කොහොමද ඒක කරන්නේ?

ඊටත් වඩා, මං දැම්ම යන්න ගියොත් තාම අවුරුදු පහක්වත් නැති පුතා ලොකු වෙනකොට ඌට තාත්ත කෙනෙක් නෑ නේද? මාව කොල්ලගේ මතකයේවත් තියෙන එකක් නෑ.

නෑහ්, දැන්ම යන්න බෑ!

ඔන්න මං යනවා හෙලිකොප්ටරයක. මාව වෙන ඉස්පිරිතාලෙකටවත් අරං යනවද මන්දා?

හෙලිකොප්ටරේ දොර ඇරුණා. දොරෙන් එහා පැත්ත පුදුමාකාර එළියයි. ඉර දෙකක්, තුනක් පායලා වගේ.

"යන්න, පුතා යන්න". හෙලිකොප්ටරේ හිටිය දෙන්නගෙන් එක්කෙනෙක් මට කියනවා. මට පොරව දැකල පුරුදුයි වගේ. මේ අර මාව ඉස්කෝලේ ළඟ ඉඳලා ඉස්පිරිතාලෙට ගෙනාව මනුස්සයා නේද? එකම වෙනස මෙයා ගේ උඩුරුවුලයි, එළු රුවුලයි දෙකම සුදුම සුදුයි!

මං හෙලිකොප්ටරෙන් බැහැල පයින්ම ඇවිදගෙන යනවා ඉස්සරහට. කිසිම දෙයක් පේන්නේ නැති තරමට ආලෝකය හැම තැනම.

මං දොරක් ඇරගෙන ඇතුළත ගියා. නර්ස් කෙනෙක් වාඩිවෙලා ඉන්නව. මොනවද කෙරෙන්න ඕනෑ? එයා මගෙන් අහනව.

"ඉස්සෙල්ලාම මට ඉඳගන්න පුටුවක් දෙන්න!"

මේ මරණාසන්න අත්දැකීම මගේ සත්‍ය මතකයයි. මට සිහිය එව විට මා ඇත්තටම සිතුවේ හෙලිකොප්ටර් ගමනෙන් පසුව මා ඉන්නේ වෙනත් රෝහලක බවයි.

මේ කතාවේ ඇති යම් යම් සිදුවීම්, මා මීට පෙර අසා ඇති මේ ආකාරයේ කතාවල ආ ආකාරයේ ම වීමේ පුදුමක් නැත. මක් නිසා ද යත්, මා දන්නේ මා අසන, දකින, කියවන, අත්දකින දේ පමණක් බැවිනි.

ජයවේවා.

-රසිකොලොජිස්ට්

Saturday, 6 February 2016

අවුරුදු දහයකුත් ගියා එහෙනම්? - A decade old memory...!


හෙට, පෙබරවාරි හත්වෙනිදා, මගේ ජීවිතයේ එක්තරා සංවත්සරයකි.

මේ විවාහ සංවත්සරය නොවේ. එය මැයි විසි අටවෙනිදා ය. උපන් දිනය ද නොවේ. එය ඔක්තෝබර් විසි හත්වෙනි දා ය. නමුත් මේ සංවත්සරය උපන් දින සංවත්සරයකට බොහෝ දුරට සමාන එකකි.

මේ සංවත්සරයට අදාල මුල් සිදුවීම සැමරීම පිණිස ඒ කාලයේ ම ලියා, දෙතුන් සැරයක් විවිධ තැන්වල පළ කළ කවි පන්තියක් නැවත රසිකොලොජියේ ද පළ කිරීමට සිතුවෙමි.

"හන්තාන අඩවියේ ගීතයේ" තාලයට මා ලියූ "ඝණ්ඨාර ශබ්දයෙන් ගීතයේ" අරුත සමහර දෙනාට නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වුවද, මේ සරල කවි පන්තිය ගැන එවැනි ප්‍රශ්න ඇතිවේ යැයි නොසිතෙමි.

කෙසේ වෙතත්, නොරේරෙන තැනක් තියේ නම් කරුණාකර අසනු මැනවි. පසුව පහදා දෙමි.

දවස තාමත් තරුණයි

කපා දැමූ රඹ කඳ මෙන් වැටුණි ඇද
දපා එලෙස සිටියෙමි තණ පිටිය මැද
සැපා කියා දිය කෙළි විඳි කටක රද
තොපා දුන් ඔවා මට මිත අකැප විද

බඳවා රැහැන් ඉඳිකටු ලා දුබල ගතේ
හඬවා සයිරනය ඉගිලුනි ගිලන් රතේ
කැඳවා යන්න ආ මරුවා සිනාසෙතේ
වඩවා විරිය ගත දිරි ඉපිදවිමි සිතේ

නහර තුළ බැඳුණු කාරම් බලය දිදී
නතර කළා හදවත ගත සිසිල සැදී
වැතිර සිටි මගෙ ම රුව නිසසලව බැඳී
අතර තුර බැලූවෙමි සිට අහසෙ රැඳී

සිව් සාලිස් වසක ගතවෙන දිවි මගෙහී
ලිව් කවි මිසක කළ පොතකුදු නැති සඳෙහී
පව්! පුතු සිතෙන් යයි පිය මතකය ගිලිහී
එව් සිතුවිලි රැසින් ඇතිවිය දිරි සිතෙහී

එන් නට බැහැ තවම දාතම පැමිණ නැත
යන් නට පෙර කළ යුතු වැඩ අපරිමිත
සන් කර මරු යවා ආපසු එලොව වෙත
සන් සුන් ගත තුළට යළි වැද ගතිමි මිත

වැතිර ඇඳක දැඩි සැලකුම් ඒකකයේ
වයර ලා අතේ නාසයෙ ගෙලේ ළයේ
නිතර සිහින මැද ඔසු බල දරා කයේ
සසර කළ පවද ඒ ලෙස ගෙවී ගියේ


ඔබ සැමට නීරෝගී සැප පතමි. ජයවේවා!

-රසිකොලොජිස්ට්

Thursday, 4 February 2016

මරණය ගැන "ඒවං මේ සුතං" විහිළු කතා දෙකක් - Two funny stories about death


උපන්නොත් මිය යාම නියත නමුත් එලෙස තමන් මිය යන්නේ කවදාද යන්න සැමදා සැම දෙනාට ම රහසකි. එනිසාම, ඒ දිනය දැන ගැනීමට අපට ඇත්තේ කුතුහලයකි.

මේ කාරණය ඔස්සේ ගෙතුණු කතා දෙකක් මතකයේ යට ස්තරයක තිබී හදිසියේ උඩට මතුවිය.

මෙන්න එයින් පළමුවෙනි කතාව.

තමා මිය යන දිනය නිශ්චිත කවදාද යන්නත්, ඒ මිය යන්නේ නයෙකු දෂ්ට කර බවත් අතීතයේ විසු එක් පුද්ගලයෙකුට පේන කියන්නෙකු විසින් පවසන ලදී.

කරන්නට වැඩ රාශියක් තිබියදී එලෙස මිය යන්නට කැමති කවුරුන්ද?

මේ මිනිසා කළේ, ඒ කියවුණු දිනයේ නැවක නැගී මුහුදට යාමයි. මුහුදේ මැද පාවෙන නැවක සිටින විට නයෙකු දෂ්ට කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නැව තුළ කිසිදු සර්පයෙකු නොමැති බව සැක හැර දැනගත් නිසා, මරණයෙන් බේරිමට කළ තම සැලැස්ම සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන බවට අපේ කතානායකයාට සැකයක් තිබුණේ නැත.

ඒ දිනය කෙමෙන් ගෙවී යද්දී, තමා මරණයෙන් ගැලවීමේ ප්‍රීතිය ඔහු නැවේ සිටි අන් අය සමග බෙදා ගන්නට පටන් ගත්තේය.

දිනය ගෙවී යන්නට විනාඩි ගණනාවක් තිබිය දී, කයිවාරුවක් ගසමින්, නැව් බඳේ නයෙකු ගේ රුවක් ඇඳි ඔහු, "මෙන්න මේ වගේ එකෙක් දෂ්ට කරලා තමයි මගේ මරණය සිද්ධ වෙනවා කීවේ!" යැයි කියමින් ඒ නයි රූපයේ පෙණයට ඇඟිල්ලෙන් ඇන ඇත.

ඔහු නොදැන සිටි කාරණක් වූයේ ඒ නයි රූපයේ පෙණය ඇදුණු ස්ථානයේ මලකඩ කෑ පරණ යකඩ ඇණයක් තිබුණු බවයි.

ඒ මල බැඳුණු ඇණය ඇනීම නිසා, පිටගැස්ම වැළඳුණු කතා නායකයා එයින් ම මළේ ය.

අනාවැකිය සත්‍යය විය!

පේන කීමේ ඇත්ත නැත්ත කෙසේ වුණත්, මේ කථාවෙන් අපට කියන්නේ මැරෙන්න තියෙන දිනයේ මැරෙන බවයි.

මෙන්න දෙවෙනි කතාව.

මුල් කථාවේ ආකාරයටම එක් පුද්ගලයෙකුට ඔහු මිය යන දිනය නිශ්විතව ම, තම ජ්‍යොතිෂවේදි සුමනදාසගෙන් දැන ගන්නට ලැබුණි.

නමුත් පෙර කථාවේ සිදුවූ ආකාරයට මෙන් නොව, පැන්ෂන් යන වයසට ළංවී සිටින්නෙකුට තමා සේවය කරන සමාගමෙන් වන්දි ගෙවා සේවකයින් අස්කරන බව දැන ගන්නට ලැබුණු විට සිදුවෙන්නාක් මෙන් මේ අවස්ථාවේ දී සිදුවුණේ මේ පුද්ගලයා ඒ අනාවැකිය පිළිගෙන මිය යන්නට සූදානම් වීමයි.

ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා යන උපදෙස සහමුලින්ම අනුගමනය කරන්නෙකු වූ ඔහු කළේ එදින සිට සුරා, සූදූ, අවල කෙළි, වැනි තාවකාලික ජොලියක් ලැබෙන එනමුත් මුදල් වැයවෙන විනෝදාංශවල නිරත වීමයි. තම මුදල් සහ දේපල අවසාන වූ පසු ඔහු කළේ මේ විනෝද කටයුතු සඳහා විශාල වශයෙන් ණය තුරුස් වීමයි.

අවසානයේ මරු එන දා එළැඹියේ ය.

දවස ගෙවී ගොස් ඊළඟ දිනය උදා වීම ද ළංවිය.

අපේ කතා නායකයා මිය යන ආකාරයක් නොපෙනුණි.

තම මුදල්, දේපල විනාශ කරගෙන, ඊට අමතරව විශාල ණයකරුවෙකු ද වී සිටි ඔහුට පසු දින ජීවත්වීමට හැකියාවක් නොතිබුණි.

ඉතින්, ඔහු කළේ සිය දිවි නසා ගැනීමයි!

පේන කීමේ ඇත්ත නැත්ත කෙසේ වුණත්, මේ කථාවෙන් ද අපට කියන්නේ මැරෙන්න තියෙන දිනයේ මැරෙන බවයි.

මෙය ලෝවැඩ සඟරාවේ කවියක පැවසෙන්නේ මෙලෙසය.
කොතැන වුණත් නැත මරු හට බාදා
විඳින මෙසැප පින් ඇති තෙක් වේදා
ගෙවන සසර දුක් බුදු බණ නාදා
කුමන නැටුම් කෙළි කවට සිනා දා

කරුණාරත්න අබේසේකර විසින් රී-කන්ඩිෂන් කළ ඉහත අදහස අමරදේව ගයන්නේ මෙලෙස ය.
කුමන නැටුම් කෙළි කවට සිනා දා
මරුට නොමැත කිසි විටකදි බාධා
ඔබට නොදන්වා මරු මෙහි ආ දා
යන්නට සිදුවන්නේ
ඉන්නට බැරි වෙන්නේ
නොතිර සසර සාගරේ
ඉපිද මැරේ, යළි ඉපිදේ
නොතිර සසර සාගරේ
නොතිර සසර සාගරේ

-රසිකොලොජිස්ට්

(image: http://srudut.com/death-inevitable/)

Tuesday, 2 February 2016

නානසාරලාට පිස්සුද, නැතිනම් අපට පිස්සු ද? - Are they crazy or are we crazy?


කුඩා කල සිටම සංගීතයට, ගීත ඇසීමට, ගීත ගැයීමට, ප්‍ර්‍රිය කළ විනීතා නම් තරුණියක් විවාහයෙන් පසු තම සැමියා ගේ නිවසේ පදිංචියට ගියා ය.

නිවසේ ඉවුම්, පිහුං, අතුපතු ගෑම් යනාදී විවිධ වැඩ රාජකාරීවල නිරතවෙන වේලාවල්වල දී, ඇයට සුපුරුදු පරිදි සෙමින් ගීතයක් මුමුණනවා ඇසුණු විනීතා ගේ සැමියා ගේ සොහොයුරිය සුනීතා, "ඒයි උඹට පිස්සු ද බං හැම තිස්සෙම සින්දු කියන්නේ?" යැයි විමසා ඇත.

සුනීතා ගේ ඒ ප්‍රශ්නයේ ඇති අවුල උඹ බං කීම නොවේ. එය ඇත්තටම සුහදත්වයෙන් කළ ඇමතීමකි.

එහි ඇති සැබෑ අවුල නම්, එක් කාන්තාවක ගේ එදිනෙදා සාමාන්‍ය චර්යාවක් දෙයක් වූ ගීයක් මිමිණීම, අනෙකාට නුහුරු නුපුරුදු විස්මයට කාරණාවක් වීම සහ, ඒ හැසිරීම පිස්සුවක් නොහොත් මානසික ව්‍යාධියක් ලෙස දිස්වීම යි.

මේ කතාව අසන යමෙකු සුනීතා එවැනි ප්‍රශ්නයක් ඇසුවේ ඇයට පිස්සු නිසා යැයි සිතන්නට ද ඉඩ තිබේ!

අප සාමාන්‍ය චර්යාව යැයි කියා සලකන දෙයින් ඔබ්බේ ඇති දේ අපට පිස්සු වැඩ යැයි කියා සිතීම සාමාන්‍ය තත්වයි. එවැනි පිස්සු වැඩ කරන්නෝ පිස්සෝ වෙති!

මේ පිස්සු වැඩ සහ පිස්සන් පිළිබඳව ඔබ බොහෝ දෙනෙකු එකඟවෙන බව මා දන්නා කාරණා කිහිපයක් මෙසේය.
  • අප බොහෝ දෙනෙකු විවිධාකාරයේ පිස්සු හෙවත් මානසික ව්‍යාධියෙන් පෙළෙමු.
    ඒ ඒ පිස්සු වර්ග අපට, ලා මට්ටමේ සිට සිරා මට්ටම දක්වා, විවිධ තීව්‍රතාවයෙන් වැළදී තිබෙනු දක්නට හැක්කේ පිටතට පෙනෙන රෝග ලක්‍ෂණවලිනි.
  • මේ සමහර පිස්සුවල රෝග ලක්‍ෂණ එතරම් කැපී නොපෙනේ. එනම්, කාට කාට ඒ ඒ පිස්සුව කොයි කොයි මට්ටමින් ඇතිදැයි අන් අයට නො පෙනේ.
  • මේ බොහෝ පිස්සු, ඒවා වැළඳී ඇති අය ලෝකයේ අති බහුලව සිටින නිසා, සැලකෙන්නේ සාමාන්‍යය ම ලෙසයි. එනම්, පිස්සන්ට අනිත් පිස්සන්, පිස්සන් කියා නො සිතේ.
  • ඒ සමගම, මේ සමහර මානසික ව්‍යාධීන් අනෙකුත් ඒවාට වඩා හොඳ ඒවා යැයි ද සැලකේ. එනම්, පිස්සු ලෝකයේ පිස්සන් අතර, හොඳ පිස්සන් ද මෙන්ම නරක පිස්සන් ද වෙති.
    උදාහරණයක් ලෙස, මට සාපේක්‍ෂව, පොත් පිස්සුව සහ පොත් පිස්සන් හොඳය. එසේම, ජාති, ආගම් පිස්සුව සහ ජාති, ආගම් පිස්සන් නරක ය.
ඔබට ඇත්තේ කුමන පිස්සුවදැයි කරුණාකර සඳහන් කරන්න.

කිසිම පිස්සුවක් නැතියැයි කියන්න නම් එපා. එය සත්‍යය නොවන බව, මා කෙසේ වෙතත්, ඔබ ම හොදින් දනී!

-රසිකොලොජිස්ට්