Saturday, 30 April 2016

බාප්පලා ගේ අපේ වැඩ...! - P. P. Perera, Management Consultant on ISO 9001:2015

අද නිවාඩු දවසේ, මගේ බාප්පා කෙනෙකු ගේ කළමනාකරණ උපදේශක සේවාවක් පිළිබඳව ප්‍රචාරක පත්‍රිකාවක් රසිකොලොජිය හරහා බෙදා හැරීමට සිතුවෙමි.



ස්තුතියි.

-රසිකොලොජිස්ට්

Friday, 29 April 2016

නිර්මාණය සහ විචාරය හෙවත් මේ කොන සහ අනිත් කොන - A lesson learnt in 2007



මේ මීට වසර නමයකට පමණ පෙර මා ප්‍රායෝගිකව උගත් පාඩමකි.

එවකට මා සංස්කාරකවරයා ලෙස ස්වේච්ඡා තනතුරක් දැරූ ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සිංහල සංස්කෘතික හමුව විසින් සිය සාමාජිකයින් සහ අනෙකුත් හිතවතුන් වෙනුවෙන් ආරංචි නමින් මාසික පුවත් හසුනක් නිකුත් කරමින් සිටියේ ය. මෙහි මූලික වැඩ කටයුතු කෙරුණේ සංස්කාරක අතින් නොව මාධ්‍ය අංශයේ වගකීම දැරූ සිංහල සංස්කෘතික හමුවේ උප සභාපති ස්වේච්ඡා තනතුර දරන්නා විසිනි.

පුවත් හසුනට මගේ සම්මාදම ලෙස මා එම වසරේ යෝජනා කළේ, ඒ ඒ මාසයට අදාළ ඡායාරූපයක් සමග විශේෂයෙන් රචනා කෙරුණු කවියක් පළ කිරීමයි.

ආරංචි පුවත් හසුනේ 2007 ජූනි මාසය වෙනුවෙන් නිකුත් කෙරුණු කලාපයේ මේ විචිත්‍රාංගය සඳහා මා යොදා ගත්තේ ඒ පොසොන් මාසයට අදාළ පට්ට ගැසූ සිදුවීමක් නිරුපණය කෙරෙන මිහිඳු හිමි, දේවානම්පිය තිස්ස රජු සහ මුවා සහිත චිත්‍රයකි.

ඒ චිත්‍රය සමග පළ කිරීමට මා පහත සිව් පද කවිය ගෙතූවෙමි.

යෙදුනත් පොසොන් මස යුගලක් පොහෝ දින
නොපෙනෙත් මොහඳුරෙන් දැය ගැලවෙන ලකුණ
හෙටවත් දඩ කෙළිය නිම කරවන ලෙසින
නැවතත් වඩිනු මැන නිකිලිටි දහම ගෙන


මේ කවියේ තුන්වෙනි පදයේ දඩ කෙළිය යන්නෙන් කියවුණේ ඒ සමයේ ලංකාවේ යුද්ධය හා සම්බන්ධව උතුරේ ද, දකුණේ ද පැවතුණු අතුරුදහන් කිරීම් සහ මිනීමැරීම් ය.

මගේ කවියෙන් මට කියන්නට අවශ්‍ය වුණු අදහස ඉතා හොඳින් කියවුණා යැයි සෑහීමට පත්වුණු මම, අදාළ පුවත් හසුන නිකුත් වුණු පසු, ඒ රූපය සහ කවිය පමණක් එවකට ඊ-මේල් ඔස්සේ අප කවි හුවමාරු කරගනිමින් සිටි පිරිසකට යැවූයෙමි.

ඒ ඊ-මේලයට පිළිතුරු ලෙස එවකට මා ඊ-මේල් සහ දුරකථනය හරහා පමණක් හඳුනා ගෙන සිටි ජගත් ජේ එදිරිසිංහ මෙලෙස ලියා එවීය.

මේ කවියේ යොදා ඇති මිහිඳු හිමියන්ට නැවත එන්නට යැයි කීම පට්ට ගැසූ අදහසක් නොවේද?

මගේ නිර්මාණයේ මූලික අදහස ගැබ් වුණු තුන්වෙන පදය ගැන කිසිදු සඳහනක් නොමැතිව, එහි සිව්වෙනි පදයේ අන්තර්ගතය ගැන පමණක් ජගත් කළ ප්‍රතිචාරයට පිළිතුරක් යවමින් මා කීවේ, "ඔබ තුන්වෙනි පදය නොදැක, නොකියවා සිව්වෙනි පදයට ගියේ කෙලෙසද යන්න මට පුදුමයකි!" යනුවෙනි.

එය මා නොකළ යුතුව තිබූ දෙයකි!

නිර්මාණකරණය සම්බන්ධයෙන් මා කලින් අසා තිබූ, එදා අත්දැකීමෙන් ම උගත් වැදගත් කාරණයක් වන්නේ, යමෙකු නිර්මාණයක් කර එය පොදු රස වින්දනයට ඉදිරිපත් කළ පසු, එය රස විඳින අය කවර ආකාරයෙන් එහි අන්තර්ගතය ග්‍රහණය කර ගන්නේද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීමට නිර්මාණකරුවාට අයිතියක් නැති බවයි.

නිර්මාණකරුවා විසින් ජනගත කළ නිර්මාණය පිළිබඳව තම අදහස් දැක්වීමට ශුද්ධ වූ අයිතියක්, රසිකයින්ට ඇත.

ඒ පිළිබඳව යළි නිදහසට කරුණු දැක්වීම අනවශ්‍ය දෙයකි. එසේම, නිර්මාණය ගැන කෙරෙන විචාර, විවේචන, එලෙස නොව මෙලෙස විය යුතුය, විචාරකයා අල්ලාගෙන ඇත්තේ වැරදි කොනෙන් ය, එයට වැරදි අර්ථ කථනයක් දී ඇත, නිර්මාණකරණයේ දී තමන් කිසිසේත් ම අදහස් නොකළ දේ පිළිබඳව විචාරකයා කතා කර ඇති අතර එය වරදකි යනා දී වශයෙන් ආඩපාලි කීම ද, නිර්මාණකරුවා නොකළ යුත්තකි.

අවසානාවකට මෙන් මා ඇතුළු බොහෝ නිර්මාණකරුවන්ට පිළිපැදීමට ඉතා අසීරු පිළිවෙතක් වන්නේ ද එය ම ය!

-රසිකොලොජිස්ට්

(image: http://wilsonalmanac.com/ in 2007)

Thursday, 28 April 2016

ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life


මගේ තාත්තා අපූරු මිනිසෙක් විය. රැකියාවෙන් පාසල් ගුරුවරයෙකු වුවද, ඔහු තම දරුවන් ට ගෙදරදී ටියුෂන් පන්ති දැම්මේ නැත. ඔහු ගේ අදහස වූයේ අප නොදන්නා දෙයක් තිබේ නම් පමණක් ඔහුගෙන් අසා ඉගෙනගත යුතු බවයිි.

ගමේ කණිෂ්ඨ පාසලෙන් ඇරඹුණු මගේ පාසල් දිවියේ ගමන් මග තීරණය වූයේ ද මා ඒ ඒ විභාග සමත් වූ ආකාරයට මිස, අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටි තාත්තා ගේ මිතුරන් හෝ ගෝලයින් ගේ පිහිටාධාර ඇතුව නොවේ.

මා කිසි දිනෙක තාත්තා ඉගැන්වූ පාසලක උගත්තේ නැති නිසා, ඔහු තම සිසු සිසුවින් ට සැර වැර කරන්නෙක් වූයේ ද, කරුණාවෙන් සලකන්නෙක් වූයේ ද යන්න ගැන නිවරද අදහසක් නොමැත. නිවසේදී නම්, අපේ ඇතැම් ක්‍රියාකාරකම් දැක කිපෙන ඔහු අපට බැණ වැදීම සාමාන්‍ය සිද්ධියක් විය. මා කළ ඇතැම් නොපනත්කම් නිසා කිහිපවරක් මට ඔහු ගේ ගුටි පූජාවලට මුහුණ දෙන්නට ද සිදුවිය.

මා අවසන් වරට තාත්තාගෙන් ගුටි කෑවේ, අටවැනි ශ්‍රේණියේ සිසුවෙකු ලෙස ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවදියේ ය. මේ ඒ කතාවයි.

අපේ පාසලේ හයවැනි ශ්‍රේණියේ සිට, උසස් පෙළ දක්වා සිසුන්ට පන්ති පැවැත්වුණු අතර, අපේ සිටි පන්තිවල පිරිමි සිසුන් කිහිප දෙනෙකු පමණක්, ශිෂ්‍යභට කණ්ඩායමේ සහ බාලදක්ෂ පෝතක කණ්ඩායමේ වැඩවලට සහභාගී වූහ. බහුතරයක් පිරිමි සිසුහු ද, ගැහැණු සිසුන් සමස්තයම ද කිසිදු අමතර ක්‍රියාකාරකමක නිරත නොවුනහ. වසරකට වරක් පැවැත්වෙන නිවාසාන්තර මලල ක්‍රී්‍රඩා තරගයට අමතරව වෙනත් කිසිදු සංවිධානාත්මක ක්‍රීඩාවක් ද පාසලේ නොපැවැත්වුණි.

පාසලක තිබෙන ඉහළ පෙළේ රාජකාරි කටයුතු වූ ශිෂ්‍ය නායක, ක්‍රීඩා නායක, නිවාස නායක තනතුරු දැරුවෝ ද, තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකත්වය දැරුවෝ ද උසස් පෙළ සිසුවෝ ය.

උසස් පෙළ සිසුන් සහභාගී වූ තවත් අමතර ක්‍රියාකාරකමක් වූයේ පාසල් මට්ටමේ කෙටි වේදිකා නාට්‍ය ලියා, නිපදවා, රඟ දැක්වීමයි. එකල, අධ්‍යාපන දිස්ත්‍රික්ක මට්ටමෙන් පාසල් නාට්‍ය තරගාවලියක් විය. එය සමස්ත ලංකා තරගාවලියක කොටසක් ද වූ බව මගේ මතකයයි.

ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කයේ පාසල් අතර පැවැත්වුණු තරගාවලියට අපේ විදුහලේ නියෝජනය තෝරා ගැනීමට වෙනම ම තරගයක් ද පාසල් මට්ටමින් මෙකල පැවැත්වුණි.

මේ දිනවල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් නාට්‍ය රඟ දැක්වූවන් අතර කලා ශිල්පී ජැක්සන් ඇන්තනි, ගායිකා කුමාරි මුණසිංහ මෙන්ම, ජනප්‍රිය රූපවාහිනී ප්‍රහසනයක් වන ”ඇන්-කොම්පැනි”යේ විපක්ෂ නායක තනතුර රඟපාන උපතිස්ස බාලසූරිය ද වූහ.

ඒ වසරේ, අපේ පාසලේ නිපදවුණු එක් නාට්‍යයක් ලියා නිෂ්පාදනය කළේ උපතිස්ස බාලසූරියයි. පවුලක පුතුන් දෙදෙනෙක් අතර ඇතිවන ගැටුමකුත්, මවගේත්, සොහොයුරාගෙත් බස් නො අසා, අනෙක් සොහොයුරා නොමග යන අයුරුත් එයින් කියවිණි. මෙහි හොඳ පුතා ගේ චරිතය උපතිස්ස ට ද, මවගේ චරිතය කුමාරි ට ද හිමිවී තිබුණු අතර, ජැක්සන් ඇන්තනි රඟපෑවේ නරක පුතා නොමගට යොමුවීම විස්තර කෙරුණු නාට්‍යමය ජවනිකාවේ දී, එක් දුසිරිතක් නිරූපණය කරන යක්ෂයෙකු වශයෙන් සුළු චරිතයක් පමණි.

දිස්ත්‍රික්ක තරගයේ දී පාසල නියෝජනය කිරීමට හොඳම නාට්‍යය තේරීමේ තරගය පවත්වන ලද්දේ පාසල් වේලාවේ දී ම ය. තවත් හොඳ මට්ටමේ නාට්‍ය කීහිපයක් ම තිබුණ ද, ඒ තරගයෙන් ජයගත්තේ උපතිස්ස බාලසූරිය ගේ නාට්‍යයයි.

මින් දින කිහිපයකට පසු එක් දිනක පාසලේ දී මට අසන්නට ලැබුණේ, ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කයේ පාසල් නාට්‍ය තරගයේ මූලික වටය පැවැත්වෙන්නේ ද අප පාසලේ බවයි. මේ වන විට මද පමණක නාට්‍ය ලෝලියෙකු වී සිටි මට මෙය සුබ ආරංචියක් ම විය.

අවට පාසල් කීපයකින් ඉදිරිපත් වුණු නාට්‍යයන් මෙහිදී රඟ දැක්වීමට නියමිත බැවින්, නාට්‍ය තරඟය නරඹා මිස නිවසට නොයෑමට මම තීරණය කළෙමි. එකම ප්‍රශ්නය වූයේ දවල් වරුවේ ඇරඹි නාට්‍යය රඟ දැක්වීම සාමාන්‍යයෙන් පාසල් නිමවන වේලාව වන විට අවසන් වී නොතිබීමයි.

දැවි, දැවී එන කුසගින්න ඇල්වතුරෙන් නිරතුරු නිවා ගනිමින් මා එදින සියලුම නාට්‍යයන් රඟ දක්වා අවසාන වන තුරු ම පාසලේ රැඳී සිටියෙමි.

පාසලේ සිට අප නිවසට දුර ප්‍රමාණය සැතපුමක් පමණ විය. පාසල් නාට්‍ය තරඟයේ උසස් නිර්මාණ රස විඳ, නව නළු රසයෙන් කුල්මත් වූ සිතැතිව ද, ඇල්වතුරෙන් තව දුරටත් රැවටිය නොහැකි වූ කුසගින්නෙන් දැවෙන සිරුරින් ද යුතුව මා එදින නිවසට ළඟා වූයේ සවස හතරට පමණ ය.

මේ වන විට, මා එන මගට පෙර ගමන් කරමින් සිටියේ, සේවය නිමවා නිවස බලා විත්, ඒ වනතුරුත් මා පාසලේ සිට නිවසට පැමිණ නැති බව දැන, මා සොයා යමින් සිටි මගේ පියා ය.

යාන්තමින් ගොනු කර ගත් නිදහසට කරුණු තටම තටමා කටින් පිට කර හමාර කරන්නටත් පෙර මා ලම්බ-කර්ණයෙක් බවට පත්වෙන්නේ ය යන සංවේගාත්මක හැඟීම ද, එතැන් සිට ගැහෙමින් නිවසට ළඟා වූ වහාම කෝටු පහර කිහිපයක් තට්ටම හරහා හමා යන වේදනාත්මක දැනීම ද, මට නොඅඩුව ලැබුණි.

ඒ තාත්තා මට එලෙස දඩුවම් කළ අන්තිම දිනයයි.

වේදිකා නාට්‍ය පිළිබඳ ඇල්ම පසකෙ තබා මම එතැන් පටන් ගණිතය වැනි සුන්දර විෂයයන් කෙරෙහි මගේ අවධානය යොමු කරන්නට පටන් ගත්තෙමි.

-රසිකොලොජිස්ට්

(image: https://en.wikipedia.org/wiki/Galahitiyawa_Central_College)

Wednesday, 27 April 2016

"දකුණු කුරු දිව් කව්" - ඒ මොකක්ද හලෝ ඒ හරුපේ? :: Australia - Sinhala Poetic Impressions


මා මිතුරෙකුට ලියූ කවි ලිපියකින් කොටසක් ඉන් පසුව මතු අනාගතයේ ලියවීමට ඉඩ ඇති කුකුබරා සංදේශය නම් මහා කාව්‍යයක සිනුවර වැනුම නම් සර්ගයක් ලෙස නම් කළ බවක් පසුගිය දිනයක ලියූවෙමි.

ඒ සිනුවර වැනුම වසර 2010 දී ප්‍රකාශනයට පත් කළ දකුණු කුරු දිව් කව් නම් ග්‍රන්ථයක ඇතුළත් කෙරිණි. සිඩ්නි නුවර සඳහා සිනුවර යන නම දුන් හෙන්රි කුමාරප්පෙරුම සහ මගේ සංස්කරණයෙන් සැකසුණු ඒ දකුණු කුරු දිව් කව් නම් ග්‍රන්ථය පළකෙරුණේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව නම් ප්‍රජා සංවිධානය විසිනි.

මෙහි පහත පළ කෙරෙන්නේ "දකුණු කුරු දිව් කව්" කාව්‍ය සංග්‍රහය සඳහා හෙන්රි සහ මා විසින් ලියන ලද පෙරවදනයි.


දකුණු කුරු දිව් කව් - සකසු පෙර වදන

එකල් හි තිලොවට තිලක වූ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ සූ අසූ වසරක තම අනුපමේය ලෝකානුකම්පික ධර්ම සේවය නිමවා, පංච සහශ‍්‍රකයක කාලයක් ලොව සුදනන් සුරකින්නට තම නිමල දහම ලොව රඳවා, ජම්බුද්වීපය නොහොත් උතුරු කුරු දිවයිනේ මලල රට කුසිනාරා වේ දී පිරිනිවා වදාළ සමයේ, එකී උතුරු කුරු දිවයිනෙන් නැව් නැගි විජය නම් රාජ කුමාරයෙක් සත් සියයක් වූ තම බල සෙනඟ ද පිරිවරා ගෙන තම්බපණ්ණී ලෙස නම් ලද ලඬ්කාද්වීපයට ගොඩ බැස, එහි තම රාජ්‍යය පිහිටුවා ලූ හ.

විජය රාජ කුමාරයා ඇතුළු පිරිස ගෙන ආ ජම්බුද්වීප මහා සංස්කෘතිය ද, යක්‍ෂ, නාග, දේව ආදී විවිධ දේශීය සංස්කෘතීන් ද මූලාශ‍්‍ර කොට ගෙන එදා ඇරඹි නව සංස්කෘතිය, එතැන් පටන් අද දක්වා විටින් විට ජම්බුද්වීපයේ විවිධ ප‍්‍රාන්තයන් ගෙන් ලඬ්කාද්වීපයට පැමිණි චෝල, පාණ්ඩ්‍ය ආදී පෙරදිග සංස්කෘතියෙන් ද, යුරෝපාකරයේ පෘතුගිරිසි, ලන්දේසි සහ ඉංගිරිසි ආදී අපරදිග සංස්කෘතියෙන් ද ඔප් නැංවී සිංහල සංස්කෘතිය ලෙස අද දක්වා චිරාත් කාලයක් තිස්සේ ලඬ්කාද්වීපයේ පැවතගෙන එන්නේය.

තවද, පෘථිවිය නම් වූ අප මහා ධරණිතලයේ දක්‍ෂිණාර්ධ ගෝලයේ එක් කෙලවරෙක පිහිටි එක් සුවිශාල දිවයිනකි. නෙත් සිත් අස්වසන්නා වූ ද, ගත සිසිල් කරවන්නා වූ ද, ශාන්තිකර සහ ඉන්දියානු තුමුල සාගර ද්විත්වයෙන් වට වී සැදුනු මේ සුන්දර භූමිය එහි භූගෝලීය පිහිටීම නිසා ම හෙල කවි බසින් "දකුණු කුරු දිවයින" ලෙසින් නම් ලද්දේය.

උත්තර සූර්්‍යා ගේ සෞම්‍ය හිරු රැුස් මැද ශීත සිසිරයේ ගිලෙනා ස්වේත වර්ණ හිම කන්දෙන් ද, දක්‍ෂිණ සූර්්‍යා ගේ චණ්ඩ හිරු රැුසින් මැඩෙමින් නීල වර්ණය විහිදුවන තුරු පිරි නිල් කඳු පෙලින් ද, යොදුන් ගණන් එක යායට විහිදුණු හරිත වර්ණ ගෝ පාලන තණ බිම් සහ කෙත් වතු වලින් ද, දුඹුරු වන් දුහුවිලි පස මිස අන් කිසිදු ජීව ගුණයකින් තොර වූ කර්කෂ ශුෂ්ක කාන්තාරයෙන් ද, ලොව අන් කිසි බිමෙක දක්නට නොලැබෙන්නා වූ කැන්ගරු, ප්ලැටිපුස්, ක්වෝලා, වොම්බැට් ආදී සත්ව විශේෂයෙන් ද, ඉයුකැලිප්ටස්, ඇකේසියා, බෑන්ක්සියා ආදී වෘක්‍ෂ ලතාවෙන් ද හෙබි, ශීත කලාපීය දක්‍ෂිණ ධ‍්‍රැවය සමීපයේ ම වාගේ සිට ඝර්ම කලාපීය සමකාසන්නය දක්වා ම වාගේ විහිදෙන්නා වූ මේ මහා භූමිය, පුරා වසර හැට දහසකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ඇබොරිජිනල් ස්වදේශිකයින් විසින් ඔවුන් ගේ වන සරන, දඩයක්කාර, පලවැල රැුස්කරන ජීවන රටාවට අනුව ජනාවාස කරන ලදුව පැවතිණ.

"ටෙරා ඔස්ට‍්‍රාලිස්" හෙවත් දකුණු බිම නමින් ඇසින් නොදැක හඳුන්වන්නට යෙදුනු දක්‍ෂිණාර්ධ ගෝලයේ පිහිටි මහා භූමියක් ගැන යුරෝපීයන් අතර දිගු කලෙක සිට අනුමානයක් පැවතිණ. අදින් සියවස් හතරකටත් ඉහත සමයෙක රුවල් බැඳි නෞකාවෙන් සමුද්‍ර ගවේෂණය කලා වූ විවිධ නෞකාපතීන් විසින් විවිධාකාරයෙන් මෙය සනාථ කරන ලදුව, අනතුරුව ජේම්ස් කුක් නමැති බිරිතානි කප්පිත්තා විසින් නිසැකවම දැන සිතියම් ගත කරන ලදී. ඉනික්බිත්තෙන් එංගලන්ත රාජාණ්ඩුවේ අණ පරිදි සිරකරුවන් රැසක් ද සමග මෙහි ගොඩ බට ආතර් පිලිප් නම් වූ කප්පිත්තා විසින් මේ මහා දක්‍ෂිණ භූමියේ නගර මං මාවත් වගා බිම් සහිතව ජනාවාස පිහිටුවන්නට යෙදිණි. එයිනුත් වර්ෂ ශතකයක් පමණ ගෙවී ගිය තැන් හි, එවකට පිහිටුවා තිිබූ සියළු ජනපද එක් කර අද පවතින ඕස්ටේ‍්‍රලියාව නම් වූ රාජ්‍යය මේ බිමේ ස්ථාපිත කරන ලදී.

මුල් කාලයේ දී ස්වදේශික ඇබොරිජිනල් ජාතිකයින් පීඩනයට ලක් කරමින්, ඔවුන් ගේ වාස භූමි කොල්ල කමින්, මේ භූමියේ වාසය සඳහා පැමිණීම යුරෝපාකරයේ සුදු ජාතිකයින් ට පමණක් සීමා කරමින් රාජ්‍යය පවත්වා ගෙන ගිය ද, මෑත අතීතයේ දිනෙක ස්වදේශිකයින් හා සමගි සන්ධාන කි‍්‍රයාවලික් අරඹා, සුදු ඕස්ටේ‍්‍රලියානු පිළිවෙත අහෝසි කර ලොව සියළු ජන කොටස් වලට ඕස්ටේ‍්‍රලියාව හෙවත් දකුණු කුරු දිවයින හිමි කර දෙමින් බහු සංස්කෘතික රාජ්‍යයක් පිහිටුවන්නට සැලසුම් කර කි‍්‍රයාත්මක කරන්නට යෙදුණි.

මේ අවසරයෙන්, පෙරකී ලඬ්කාද්වීපයේ පසල් දනව්වල සිට මෙකී දකුණු කුරු දිවයින ට සංක‍්‍රමණය කල සිංහල පිරිස් බොහෝ ය. ඔවුනතුරෙන්, දකුණු කුරු දිවෙහි පූර්ව දිශාවෙහි පිහිටි නව දකුණු වේල්ස ප‍්‍රාන්තය තම අභිනව වාස භූමිය ලෙස තෝරා ගත්තාවූ ද, තම සිංහල භාෂාව සහ සංස්කෘතිය මේ නව බහු සංස්කෘතික සමාජය තුල ස්ථාපනය කර ඉදිරි පරපුර සඳහා ද සුරක්‍ෂිත කල යුතු යැයි අධිෂ්ඨාන පූර්වකව ප‍්‍රාර්ථනා කලා වූ ද පිරිසක් එකතුව අදින් දශක දෙකකට පෙරාතුව සිංහල සංස්කෘතික හමුව නමින් ප‍්‍රජා සංවිධානයක් පිහිටුවා ලූ හ.

එදා මෙදාතුර, මෙකී සිංහල සංස්කෘතික හමුව විසින් ඉෂ්ඨ කරන්නට යෙදුනා වූ සද්කාර්යයන් රාශියෙකි. මේ දේශයේ වාසය කරමින් සිංහල සංගීත, නර්තන, රංගන යනාදී කලා කටයුතු වල නිරතවන්නන් ගේ ද, එවැනි කලාවන් රසවිඳින්නන් ගේ ද යහපත පිණිස නිතිපතා කලා මහෝත්සව සංවිධානය කිරීම ද, ඉදිරි පරපුරට අපේ සිංහල භාෂාව හා සිංහල සංස්කෘතික උරුමය දායාද කර දීමට සිංහල භාෂා පාසල් පිහිටුවා පවත්වාගෙන යාම ද, මේ දකුණු කුරු දිවයින තුල සිංහල ලේඛන කලාවේ උන්නතාභිවෘද්ධිය සඳහා සිංහල නමින් ත්‍රෛමාසික සඟරාවක් ප‍්‍රකාශයට පත් කිරීම ද මේ අතර වේ.

මේ කටයුතු තවත් ඉදිරියට රැගෙන යමින්, ලේඛන කලාවේ යෙදෙන ඕස්ටේ‍්‍රලියානු වාසී සිංහලූන් විසින් තම සංක‍්‍රමණික අත්දැකීම් අළලා ප‍්‍රබන්ධිත කෙටිකතා අඩංගු පුස්තකයක් ද පසුගිය දා එලි දක්වන්නට යෙදුණි. ශී‍්‍ර ලංකාව කේන්ද්‍රස්ථානය කොට ගත් සිංහල සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ එක් වැදගත් අංගයක් වන විගාමික සිංහල සාහිත්‍යයෙහි පෝෂණය සඳහා මෙවැනි ප‍්‍රකාශනයන් හි ඇති වැදගත්කම මෙහිදී විශිෂ්ඨ ලෙසින් දෘශ්‍යමාන විය.

සිංහල පද්‍ය සාහිත්‍යයට ද යම් කිසි ආකාරයකින් විගාමික සිංහලූන් ගෙන් සම්මාදමක් කල යුතුය යන සංකල්පය ඇති වූයේ ඉන් අනතුරුව ය. සිංහල සංස්කෘතික හමුවේ විසිවන සංවත්සරය පිණිස "දකුණු කුරු දිව් කව්" නමින් මෙලෙස ඔබ වෙත පිදෙන මේ කාව්‍ය සංග‍්‍රහය ඒ සංකල්පයේ ප‍්‍රථිඵලයයි.

මෙම කෘතිය සම්පාදනය කර ප‍්‍රකාශයට පත් කිරීමෙහි ලා හේතු සාධක වූ මුඛ්‍ය අරමුණු කීපයකි. පෙරකී ලෙසින් පොදුවේ සිංහල පද්‍ය සාහිත්‍යයට සහ සුවිශේෂීව විගාමික සිංහල සාහිත්‍යයට අනන්‍ය වූ සම්මාදමක් කිරීම, ශී‍්‍ර ලාංකික සිංහල පාඨකයින් ට ඕස්ටේ‍්‍රලියාව පිළිබඳ පද්‍යයෙන් හැඳින්වීමක් ලබාදීම, දකුණු කුරු දිව් වාසී සිංහල කවි කිවිදියන් ට තම නිර්මාණාත්මක හැකියාවන් පොදු රසාස්වාදනයට නැංවීමට ඉඩකඩ ලබා දීම ඒ අරමුණු අතර වෙයි.

"දකුණු කුරු දිව් කව්" කාව්‍ය සංග‍්‍රහය සැකසී ඇත්තේ සිංහල මහා කාව්‍ය සම්ප‍්‍රදායේ ලක්‍ෂණ උපයෝගී කොට ගනිමිනි. එසේ නමුදු මේ කෘතිය මුළුමනින් ම ශී‍්‍ර ලංකාවෙන් පිටස්තර පරිසරයක් විස්තර කරන්නක් වේ. ඒ සමගම, මේ සඳහා කාව්‍යමය දායකත්වය සැපයුනේ එක් කවියෙකු ගෙන් නොව කවි කිවිඳියන්් විශාල පිරිසකගෙනි. මේ ආකාරයෙන් බලන විට මේ දකුණු කුරු දිව් කාව්‍ය සංග‍්‍රහය වනාහී මින් පෙර සිංහල සාහිත්‍යයේ නොතිබුණු ආකාරයේ සුවිශේෂී කෘතියක් යයි අපි සිතමු.

"පෙදෙහි රස හව් විඳිනා, දෙනෙතා ඉතා දුලබෝ" යයි කව් සිළුමිණ කතුවරයාණෝ පැවසූහ. මේ කෘතිය ප‍්‍රකාශනයෙහි ලා අපේ අවසාන අරමුණ වන්නේ එවන් දෙනෙත් වඩාත් සුලබ කිරීමය.

මේ වගට,

නව දකුණු වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව වෙනුවෙන්,

"දකුණු කුරු දිව් කව්" සකසුවෝ

රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි සහ හෙන්රි ඩෙල්සන් කුමාරප්පෙරුම වම්හ.


-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ කෘතිය දයාවංශ ජයකොඩි පොත්හළෙන් ඉතා සුළු මුදලකට ලබාගත හැක.



Tuesday, 26 April 2016

හෝඩියේ පන්තියේ සිත්තරාවී - Written in the heart!


සිරිලකට වසන්තය උදා වී තිබුණත්, සිනුවර මා සිටින්නේ හේමන්තයේ බව කියන්නට මා ලියූ ලිපිය ඇරඹුණේ බටහිර වෙරළේ වැසියන්ට කන්ද කපා පායන, මුහුඳ පලා බැස යන හිරු නැගෙනහිර වෙරළේ අය දකින්නේ වෙනස් ආකාරයට බව කියායි.

අප මුහුදු වෙරළ ඇන්දේ පාසලේ චිත්‍ර කර්මය සඳහා නිසා, ඒ සම්බන්ධයෙන් තුනේ පන්තියේ දී මා ලද අත්දැකීම් ගැන ඊළඟට සටහන් කළෙමි.

මා මේ සැරසෙන්නේ පෙර ලියූ ලිපියක් ප්‍රතිචක්‍රීකරණය කරමින් හෝඩියේ පන්තියේ දී මට ලැබුණු හොඳම චිත්‍ර පාඩම ගැන කියන්නටයි.

හෝඩියේ පන්තිය හෙවත් පළමුවැනි ශ්‍රේණියේ සිටින සිසුන් සඳහා විෂය නිර්දේශයක් එදා තිබුණේදැයි මම නොදනිමි. එවැන්නක් තිබෙන්නට ද ඇත. නොතිබෙන්නටද ඇත.

ඒ කෙසේ වෙතත් එදා අප කළේ හෝඩි පොත කියවීමයි. අකුරු ලිවීමයි. චිත්‍ර ඇඳීමයි. ඒ මොනවා ලිව්වත්, ඇන්දත් ඒ සඳහා අපට තිබුණේ එකම එක උපකරණ කට්ටලය කි. එනම්, අද පෑඩ් නමින් හැඳින්වෙන ගැජට්ටුවේ ආරම්භය වූ ගල්ලෑල්ල සහ අද ස්ටයිලස් නමින් හැඳින්වෙන ගැජට්ටුවේ ආරම්භය වූ ගල්කූරයි.

අකුරු ලිවීම මට ලෙහෙසි කටයුත්තක් විය. අපට තිබුණේ එක්කෝ හෝඩි පොතේ සාමා හෝ අමර ගැන ලියවී තිබුණු වචනයක් ගල්ලෑල්ලේ ලිවීමයි. නැතිනම් අපේ පන්තිය භාර ප්‍රඥාවතී ටීචර් කළුලෑල්ලේ ලියන අකුරක් හෝ වචනයක් ගල්ලෑල්ලේ ලිවීමයි. සමහර විට එකම අකුර හෝ වචනය කීප පාරක්ම ගල්ලෑල්ලේ ලියන්ට සිදුවිය.

එය එසේ වී නමුදු මට අසීරු කාර්යය වූයේ අදත් මට විශාල අභියෝගයක් වන චිත්‍ර ඇඳීමයි.

අප මේ කතාකරන්නේ, පසුව තුන්වෙනි ශ්‍රේණියේ සිට අප අත්විඳි පාට පැන්සල් හෝ පැස්ටල් කූරු හෝ දිය සායම්වලින් සුදු කොළ මත චිත්‍ර ඇඳීම ගැන නොවේ. ගල්ලෑල්ල මත ගල්කූරෙන් චිත්‍ර ඇඳීමයි. මේවා වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම කළු සුදු රේඛා චිත්‍ර විය.

එසේම මේ සඳහා අපට ලැබුණේ ද පස් වසරක ළමා සිතකින් ඔබ්බට යන අභියෝගාත්මක මාතෘකා යැයි අද මට සිතේ.

ප්‍රඥාවතී ටීචර් අපට ඇඳීමට නියම කළ මගේ මතකයේ රුඳී ඇති එක් චිත්‍රයක් වනුයේ චීත්ත මෝස්තරයකි.

අපේ ආච්චී නිවසට, අහල පහළ ගමන් යාමට, ඇන්දේ චීත්තය. අම්මා ඇඳි දිගැති ගවුම් වුව ද මසා තිබුණේ චීත්ත රෙද්දෙනි. ඒවායේ තිබූ මෝස්තර, පොඩි මල්, ලොකු මල්, ඉරි, තිත් යනාදී ලෙසින් විස්තර කළ හැකිවුවද ඒවා ළමා සිතකට සරල ඒවා නොවීය.

මෙහිදී වැදගත්වන අනිත් කරුණ නම් වදෙන් පොරෙන් එක මලක් ඇඳගත්තා වුවද, ඒ හා සමාන රුවෙන් යුතු තවත් මල් රාශියක්ම ඇඳ මෝස්තරයක් මවන්නේ කෙසේද යන්නයි.

මේ දැවෙන ප්‍රශ්නයෙන් මා ගලවාගෙන ඉතා සරල නමුත් ශූර විසඳුමක් මට ලබා දුන්නේ හෝඩියේ පන්තියේ මගේ පුටුවට ඉදිරිපස පුටුවේ වාඩිවී සිටි රාජිකා පොද්දල්ගොඩ දැරියයි.

දශක කිහිපයකට පසුව අදත් මගේ සිතේ නොමැතී පැවතෙන ඒ චීත්ත මෝස්තරය අඳින ආකාරය පහත පරිදි වේ.

පළමුව, ගල්ලෑල්ල පුරා දිග් අතට සහ හරස් අතට එක සමාන අඟලක පමණ පරතරයකින් යුතුව ඉරි ඇඳ කොටුරූල් පොතක මෙන් සකසා ගන්න. දෙවනුව ඒ කොටුවල විකර්ණ රේඛා ඇඳගන්න.



තෙවනුව, තිරස් සහ සිරස් රේඛා සහ ගැලපෙන විකර්න රේඛා මැදිවන පරිදි ඒ දිගේ කොටුවල කොන් යා කරමින් සිහින් දිගැති මල් පෙති අඳින්න.



අවසානයේ තිරස්, සිරස් සහ විකර්ණව ඇඳි රේඛා මකා දමන්න. අටපෙති මල් මෝස්තරයක් එහි මැවෙනු ඇත.



මේ චීත්ත මෝස්තරය ඇඳීම පිළිබඳව රාජිකාට සමහරවිට වැඩිහිටියෙකුෙ ග් උපදෙස් ලැබෙන්නට ඇත. එසේ වුවද, ඒ ආකාරයෙන් මල් මෝස්තරයක් නිර්මාණය කිරීම පස් වසරක් වයැසැති ළමයෙකුට එක්තරා ආකාරයකට විශ්වකර්මාකාරයේ ක්‍රියාවක් විය.

රාජිකාගෙන් මා උගත් දෙවන විත්‍රකර්ම පාඩම වූයේ මුහුදු වෙරළක දර්ශනක් ඇඳීමයි. එය චීත්ත මෝස්තරයකට වඩා විස්තර සහිත, නමුත් පෙරටත් වඩා ශූර නිර්මාණයක් විය.

කුඹුරු, ලියැදි, කමත්, ගුරුපාර, දෙවට, බඩවැටිය, කලාතුරකින් බසයක් යනෙන තාර පාර, පොල් ගස්, කජු ගස් පිරි වතු, පන්සල, පාර දෙපස තැන තැන පිහිටි කුඩා සිල්ලර කඩ වැනි අංගයන්ගෙන් සමන්විත ගම්බද පරිසරයක් ජීවත්වුණු අපට මුහුදු වෙරළ යනු හුරු පුරුදු දර්ශනයක් නොවීය.

අපේ ගම්මානයේ සිට කොළඹට තිබුණේ සැතපුම් පහළොවක පමණ දුරකි. ඒ ගෝල්ෆේස් යනවා නම් ය. කඳාන හෝ ජාඇල හරහා බටහිර මුහුදු වෙරළට ළඟාවීම නම් ඊට වඩා අඩු දුරක් ගෙවා කළ හැකි විය. නමුත් අපේ පන්තියේ මා ඇතුළු බහුතරයක් සිසුන් ට මුහුදු වෙරළක දර්ශනයක් සිතින් මවා ගැනීම මහා අභියෝගයක් වූවාට සැක නැත.

ඒ අභියෝගය ජය ගන්නා හැටි රාජිකා මට කියා දුන්නේ මෙලෙස ය.

පළමුව ගල්ලැල්ල දෙකට බෙදෙන පරිදි තිරස් ඉරක් අඳින්න. මෙය ක්ෂිතිජ රේඛාවයි. මේ රේඛාව උඩින් අඩක් ගිලෙන හිරු ද, නවතා ඇති නැවක් ද සරල ඉරි කිහිපයකින් අඳින්න.



අහසේ පියාඹන කුරුල්ලන් රංචුවක් එකතු කරන්න. මේ සඳහා අවශ්‍යවන්නේ ද ගල්කූරෙන් කුඩා රේඛා කීපයක් ඇඳීම පමණි.

දැන් මුහුද ඇති කොටස පුරා රැළි මාලාවක් අඳින්න. අවශ්‍ය නම් බෝට්ටුවක් ද එකතු කරන්න. වෙරළ අයිනෙන් පොල් ගසක් හෝ දෙකක් සරල රේඛා කීපයක් මගින් ඇඳ ගැනීමත් සමගම චිත්‍රය සම්පූර්ණ වේ.



මේ සරල ක්‍රමවේදය අනුගමනය කිරීමේදී ගල්කූරු පහරින් ගල්ලැල්ල මත මැවෙන්නේ අනර්ඝ රේඛා චිත්‍රයක් බවට ඔබ මා සමග එකඟවනු ඇත.

එදා මට හෝඩියේ පන්තියේදී චිත්‍ර කර්මය කියා දුන් රාජිකා පොද්දල්ගොඩ නම් සිත්තරාවිය මා පරදවා පන්තියේ පළමුවැනියා වූවා ය. පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍යවේදී උපාධිය ලබාගත් ඇය අද හෘද රෝග පිළිබඳ විශේෂඥවරියකි.

අද ප්‍රතිචක්‍රීකරණය කළ මේ සටහන මා මුලින්ම ලියූයේ මේ සිදුවීමෙන් දශක හතරකට පමණ පසු කාලයකය. ඒ සා දිගු කලක් මගේ හදවතේ රැඳී තිබුණු ඒ චිත්‍ර පාඩම, එය සදහටම නැවතෙන දිනය දක්වා එලෙසම පවතිනු ඇත.

-රසිකොලොජිස්ට්

(image: http://www.123rf.com/photo_1789583_drawing-of-a-scenery-on-a-slate.html)

Sunday, 24 April 2016

කාන්තාවන් ගර්භණී නොකරවන, රජුන්ට වන්දිබට්ඨකම් නොකරන කුකුබරා සංදේශයේ සිනුවර වැනුම! - A poetic impression of Sydney


සිංහල පද්‍ය සාහිත්‍යයේ අග්‍ර ගණයේ නිර්මාණ ලෙසින් සැලකෙන සංදේශ කාව්‍යයන් ලියවී ඇත්තේ බොහෝ විට ඒ ඒ කාලයේ සිටි රජාලාට වන්දිබට්ඨකම් කිරීමට ය. ඒ සමගම, ඇතැම් විට, දුරස්ථ පාලකයක් වැනි උපකරණයක් මගින් අග බිසවක ගර්භණී කරවීම ද අපේක්‍ෂා කර ඇති බව පෙනේ.

සැළලිහිණි, ගිරා, හංස යනාදී මීට වසර සිය ගණනකට පෙර ලියවුණු සංදේශ කාව්‍යයන්ට අමතරව, අරමුණු කෙසේ වෙතත්, ඒ කාව්‍ය සම්ප්‍රදායම අනුගමනය කරමින් මෑත කාලයේ ද විවිධ සංදේශ කාව්‍යයන් ලිය වී ඇති බව කිව හැක.

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ පිහිටි සිනුවර සිට ශ්‍රී ලංකාව බලා සමනළයෙකු අත යැවෙන සන්දේශයක් ඇතුළත්, සමනළ දුතය මා කියවා ඇති ඒ ආකාරයේ නූතන සන්දේශ කාව්‍යයකි. මේ කාව්‍යය රචනා කළේ මා දන්නා හඳුනන කවියෙකු වන හෙන්රි කුමාරප්පෙරුම විසිනි. සිඩ්නි නගරය කවි බසින් සිනුවර ලෙස නම් කළේ ද ඔහු ය.

හෙන්රි කුමාරප්පෙරුම ගේ සමනළ දූතයේ අරමුණ වූයේ එවකට පැවති දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදය මර්දනය කරන ලෙස එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් ඉල්ලීමයි.

සන්දේශ කාව්‍යයන් හි එක් වැදගත් අංගයක් වනුයේ සන්දේශය ගෙන යන පක්‍ෂියා විසින් ඒ ගමනේ දී පසු කරන නගර පිළිබඳව කෙරෙන විස්තරයයි.

මිතුරෙකු සමග කළ කවි සංවාදයක් සඳහා, සිනුවර පිළිබඳව කවි කිහිපයක් රචනා කළ මා ඉන් පසුව කළේ, පෙර කී සංදේශ කාව්‍යයන් ගේ ආකෘතිය අනුගමනය කරමින්, මගේ කවි පන්තිය, කුකුබරා සන්දේශයේ සිඩ්නි පුර වැනුම ලෙස නම් කිරීමයි.

කුකුබරා යනු ඕස්ට්‍රේලියාවට ආවේණික පක්‍ෂියෙකි.

මෙන්න ඒ අනාගතයේ ලියවීමට ඉඩ ඇති කුකුබරා සංදේශයේ සිනුවර වැනුම සර්ගය.

කුකුබරා සංදේශය සිනුවර වැනුම

සසර දිනූ බුදු සමිඳුට සිරස නමා
ගෙදර බුදුන් සිහිකර හද ඇතිව පෙමා
මෙවර බඳිමි කවි සොඳ උපමේය දමා
නුවර සිඩ්නි වරුණය දනු මිතුරු තුමා

තල්මස් රංචු ගැවසෙන පැසිපික් සයුරේ
මල් ගස් සෙමෙර සලනා නිල් කඳු අතරේ
පෙම් බස් දොඩන වන රොද දකුණේ උතුරේ
සිත් අස් වසයි මායිම් මැද සැදි නගරේ

ඔපෙරා මැදුර ලොව සුපතල සළකුණකී
ගජරාමෙට සෙනග ගැවසෙන අඩවියකී
මදිරා සුරා පැන් හල් අඩු නැතිය සකී
මිතුරා කැමති නම් රස ගුණ බැලිය හැකී

අහස උසට විහිදෙන සුවිසල් මැදුරූ
පහස ලබති සීතල මේකුළු සොඳුරූ
දහස සියක් නෙක පැහැ මල් පිපි පඳුරූ
කෙලෙස කවෙන් ඒ රුව වණමි ද මිතුරූ

නගරය මැදින් බැස යන ගංගා ලලන
කරදිය කලපුවෙන් නිමවයි ඇගෙ ගමන
සිතිජය දිගට නෙකවන් පැහැ රුසිරු ගෙන
අසිරිය බලනු සුමිතුර නෞකා යනෙන

කලපුව උඩින් විහිදෙන පාලම විසල
සලකුණු කරයි සිප්කම් වැඩ ලොව පතල
රළ පෙළ නගන කරදිය පිරි විල පතුල
බල මැන මිතුර යන වාහන උමං තුළ

අරන් නෙක පිරිස සිය දහසින් සොඳිනේ
තුළින් උමං දුම්රිය යේ අතුරු සැනේ
බලන් මිතුර නැත දුම් පිට වනු එයිනේ
සොඳින් ජවය විදුලියෙනුය ඉපද වුණේ

නුවර වට නගර උප ඇත සතර අතේ
පවර මහා මං ජාලෙන් යා කෙරෙතේ
මිතුර යොමනු නෙත ඉසි ගති නැතුව සිතේ
නතර නොවී යා හැක රතු එළි නොමැතේ

අවට නගර බද ගම් සිය ගණන් ඇත
සොඳට සැදි ගෙවල් දොරවල් නිමක් නැත
යසට ජයට සිය ගණනින් දන වෙසෙත
සැපට කැමති නැති කවුරුද කලණ මිත


මා මාතෘකාවේ සඳහන් කළාක් මෙන් දුරස්ථ පාලකයක් වැනි උපකරණයක් මගින් කාන්තාවන් ගර්භණී කරවීමක් හෝ රජුන්ට වන්දිබට්ඨකම් කිරීමක් හෝ කුකුබරා සංදේශය ලිවීමේ අරමුණක් වෙතැයි කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක.

-රසිකොලොජිස්ට්

(image: http://claytonkashuba.com/tag/cartoon-animals/)

Saturday, 23 April 2016

තුනේ පන්තියේ චිත්‍ර පාඩම - Third class art?


පෙර සටහනක මා ලියූ පරිදි, අප කුඩා කාලයේ තුනේ පන්තියේ සිට පහේ පන්තිය දක්වා පාසල් විෂයය නිර්දේශයේ චිත්‍ර කර්මය නමින් විෂයයක් තිබුණි. ඊට පෙර මා පාසල් ගිය වසර දෙකේදී, එනම්, පළමුවෙනි ශ්‍රේණියේ දී සහ දෙවෙනි ශ්‍රේණියේ දී ද, අප පාසලේ දී චිත්‍ර ඇඳිමුත්, ඒවා ගල්ලෑල්ලේ ගල්කුරෙන් ඇඳුණු, අද දැනුමෙන් කියනවානම්, කළු-සුදු වර්ගයේ රේඛා චිත්‍ර පමණක් විය.

තුනේ පන්තියේ දී, ගල්කූර සහ ගල්ලෑල්ලෙන් අප පැන්සලට සහ ඇක්සයිස් පොතට මාරු වීමත් සමග, චිත්‍ර කර්මය යනු වෙනම ම විෂයයක් වී, ඒ සඳහා අවශ්‍ය ආම්පන්න ලෙස, පාට පැන්සල්, පැස්ටල් කූරු, දිය සායම්, පින්සල් සහ චිත්‍ර පොත් යනාදිය ද වාර්ෂික පොත් ලයිස්තුවට ඇතුළත් විය.

චිත්‍ර කර්මය අපට අනිවාර්ය විෂයයක් විය. එනම්, මේ වෙනුවට වෙනත් විකල්පක් නොතිබුණි.

ඇත්තටම ඔය විකල්ප යන සංකල්පය කුඩා දරුවන් සඳහා එදත්, අදත් අදාළ වෙන්නක් නොවේ. කියන දෙයක් කළ යුතු විය. ඇසෙන දෙයක් අසා සිටිය යුතු විය. උගන්වන දෙයක් ඉගෙන ගත යුතු විය.

ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා!

චිත්‍ර කර්මය යනු, කරුමයක්ම නොවුණත්, මා එතරම් ප්‍රිය කළ විෂයයක් නම් නොවුණි. එයට එක් හේතුවක් වූයේ එකල පාසල්වල ඉංග්ලිෂ් විෂයය හැර අන් සියලුම විෂයයන් ඉගැන්වූ පන්ති භාර ගුරුවරියන්ට වාර පරීක්‍ෂණයන් හි දී, චිත්‍ර කර්මය විෂයය සඳහා තමන්ට අවැසි අවැසි පරිදි ලකුණු දිමට හැකි වීම සහ ඒ ලකුණු අපට ඒ ලැබෙන ආකාරයටම බාර ගැනීම හැර වෙනත් කළ හැකි කිසිවක් නොවීමත් ය.

අනෙක් විෂයයන්ට අදාළව තත්වය මෙය නොවූ බව අමුතුවෙන් කිව යුතු නැත. උදාහරණක් ලෙස, ගණිතය සඳහා අපට ලැබෙන ප්‍රශ්න දහයට නිවැරදි පිළිතුරු දුන් විට මුලු ලකුණු ප්‍රමාණය ම ලැබිය යුතුය. බුද්ධාගම සඳහා අපට මිහිඳු හිමි සමග ලංකාවට ආ අනෙක් පිරිස කවුදැයි නම් කරන්න කියා ප්‍රශ්නයක් ලැබුණු කළ, ඉත්තියඋත්තියසම්බලබද්දසාලසුමනසාමනේරයන්වහන්සේසහපණ්ඩුකනම්බෑණා යැයි කට පාඩමෙන් (අවැසි පරිදි පද වෙන් කර කොමා ලකුණු යොදා) ලියූ කළ මුලු ලකුණු ප්‍රමාණයම ලැබිය යුතුය.

නමුත්, මා අඳින චිත්‍රයකට හේමාවතී ටීචර් දෙන්නේ ලකුණු හැට පහක් නම්, එය හැටක් හෝ හැත්තෑවක් නොවී හරියටම හැට පහක් ම වූයේ කෙසේ දැයි දන්නේ ඇය ම පමණි!

මේ ගුරුවරියන් චිත්‍ර ශිල්පය දන්නා අය යැයි මම නොසිතමි. ඔවුන් කළ එකම කාර්යය වූයේ, ආ ළමයි, අද මෙන්න මේක අඳින්න කියා කළුලෑල්ලේ යම් මාතෘකාවක් සඳහන් කිරීමයි.

මෙසේ අපට චිත්‍ර අඳින්නට ලැබුණු මාතෘකා අතර, චීත්ත මොස්තරය, වැසි දිනයක දර්ශනයක්, හිරු බැස යාම, හිරු නැග ඒම, පෙරහැරක්, පෝය දා පන්සලේ දර්ශනයක් වැනි දේ විය.

අප කළ යුතු වූයේ, අප දන්නා පරිදි ඒ මාතෘකාවට අදාළ යැයි අපට සිතෙන දේ අපේ චිත්‍ර පොතේ ඇඳීමයි.

චිත්‍ර පිළිබඳව හෝ චිත්‍ර අඳින්නට ඉගැන්වීම පිළිබඳව හෝ දැනුමක් නොමැති අයෙකුට වුවද, චිත්‍රයක් දෙස බලා යම් ආකාරයකට අගැයීමක් කළ හැකිය. සතිපතා අප අතින් ඇඳුණු චිත්‍රවලට සහ වාර විභාගවල දී අප කළ නිර්මාණවලට ලකුණු ලැබෙන්නට ඇත්තේ ඒ ආකාරයට විය යුතු යැයි මට සිතේ.

තුන්වෙනි ශ්‍රේණියේ දී හේමාවතී ටිචර්ගෙන් හෝ හතරවෙනි ශ්‍රේණියේ දී මැ.පෙ. රූපසිංහ ටීචර්ගෙන් හෝ පමණක් නොව පස්වෙනි ශ්‍රේණියේ දී බමුණුසිංහ ටිචර්ගෙන් හෝ මා චිත්‍ර සඳහා ලද ලකුණු පිළිබඳව සෑහීමකට පත් නොවූ බව කිව හැක. කෙසේ නමුත්, පස්වෙනි ශ්‍රේණියේ දී අපට වඩා වැදගත් වූයේ, චිත්‍ර කර්මය වැනි විෂයයන් නොව, ගණිතය, සිංහල සහ බුද්ධි පරීක්‍ෂණය යන විෂයයන් ත්‍රිත්වයයි. ඒ ඊළඟ වසරේ සිට ද්වීතීයික අධ්‍යාපනය හැදැරීමට වෙනත් පාසලකට යාම සඳහා සුදුසුකම් ලබා ගැනීමේ විභාගය සඳහාය.

පස් වසරක් උගත් අල්ලපු ගමේ පාසල වූ කොස්සින්න ශ්‍රී ශීලානන්දයට සමු දී, හයේ පන්තියේ සිට ඉගෙනීම සඳහා මා අපේ මහ ගෙදරට කිලෝ මීටර් හතරක් පමණ දුරින් පිහිටි ගලහිටියාව මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වූ පසු, චිත්‍ර කර්මය විෂයයට විකල්ප ලෙස නැටුම් හෝ සංගීතය හෝ හදාරන්නට අපට වරම් ලැබුණු අතර, මම දෙවරක් නොසිතා ම එයින් එක් විකල්පයක් කරා යොමු වුණෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
බ්ලොග් හේමන්තයේ ආරම්භය සනිටුහන් කිරීම පිණිස මා ලියූ සටහන ඇරඹුවේ පාසලේ චිත්‍ර පාඩම් පිළිබඳව කළ සටහනකින් නිසා, ඒ තේමාව ඉදිරියට ගෙන යාම පිණිස මේ කෙටි සටහන ලිව්වෙමි.

මේ ආකාරයේ තවත් කතා දෙක තුනක් ම ඇත!

(image: https://sites.psu.edu/badar/about-me-page/)

Friday, 22 April 2016

බ්ලොග් හේමන්තය උදා විය! - A note from down under


මා කුඩා කාලයේ තුනේ පන්තියේ සිට පහේ පන්තිය දක්වා පාසල් විෂයය නිර්දේශයේ චිත්‍ර කර්මය නම් අනිවාර්ය විෂයයක් තිබුණි. මේ සඳහා අපට පාට පැන්සල්වලින් හෝ පැස්ටල්වලින් ඇඳීමට නියම වූයේ, චිත්ත මෝස්තරයක්, මුහුදු වෙරළක දර්ශනයක්, වැසි දිනයක දර්ශනයක්, හිරු උදාව, පෙරහැරක් වැනි දේ ය.

කොළඹ උතුර අධ්‍යාපන දිස්ත්‍රික්කයේ පිහිටි මා ඉගෙනුම ලැබූ පාසලේ සිටි හැම සිසුවෙකුම, සිසුවියකම හිරු උදාව ලෙස ඇන්දේ කන්දක් උඩින් හිරු පායා එන ආකාරයයි. හිරු බැස යන දර්ශනයක් ලෙස සිත්තම් කළේ මුහුදු වෙරළක සිට පෙනෙන ආකාරයට ක්‍ෂිතිජයේ හිරු ගිලෙන ආකාරයයි.

නමුත් මේ චිත්‍රම නැගෙනහිර පළාතේ සිසු, සිසුවියන් අඳින්නට ඇත්තේ කෙලෙසද?

මා හිතන්නේ ඔවුන් ගේ චිත්‍රවල හිරු පායන්නට ඇත්තේ ක්‍ෂිතිජයෙනි.

හිරු බැස යන්නට ඇත්තේ කඳු වැටියක් තුළට වැටීමෙනි.

දෙවුන්දර හෝ පේදුරු තුඩුවේ තත්වය මීට වඩා තරමක් වෙනස් වෙන්නට ඇත.

ඕස්ටේ‍ර්ලියාවේ නැගෙනහිර මුහුදු වෙරළේ පිහිටි, සිනුවර නමින් කවි බසෙන් හැඳින්වෙන, සිඩ්නි නගරය ද, මුහුදෙන් හිරු නැග එන, කන්දෙන් හිරු බැස යන ප්‍රදේශයකි.
කොළඹ ජීවිතය සහ සිනුවර ජිවිතය අතර අදට වැදගත් තවත් වෙනසක් ඇත.

සමකය ආසන්නයේ වුවද, නාමිකව ලෝකයේ උතුරු අර්ධ ගෝලයේ පිහිටි, ලංකාවට වසන්තය උදාවෙන්නේ මාර්තුවේ දී ය. වසන්ත කාලයේ ප්‍රශස්තය ලෙස හැඳින්වෙන්නේ අප්‍රියෙල් මාසයයි.

නමුත්, ලෝකයේ දකුණු අර්ධගෝලයේ පහළින් පිහිටා ඇති මා වෙසෙන සිඩ්නි ප්‍රදේශයට නම් වසන්තය උදාවෙන්නේ සැප්තැම්බරයේ ය. අප්‍රියෙල් කාලයේ අපට ඇත්තේ හේමන්තයයි.

නමුත්, උතුරු අර්ධගෝලයේ වසන්ත උදාව සිනුවර සිංහලයෝ සම්ප්‍රදායානුකූලව අප්‍රියෙල් මාසයේම සමරති. කොටින්ම, කාලයක් තිස්සේ සිනුවර පැවත්වුණු බක් මහ රංගන නම් සංස්කෘතික විවිධ ප්‍රසංගය එක් වසරක නම් කර තිබුණේද වසත් රාව යන නමිනි.

ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි යැයි පැවසුනද, ජන්මය වසා පුරුදු ඇති කර ගැනීම ලෙහෙසි නොවන බව පෙනේ!

සිනුවර ගැන ලියද්දී මට සිහිවුණු එක්තරා කවියකින් මේ සටහන අවසන් කරමි.

ඕස්ටේ‍ර්ලියාවේ අගනුවර වන කැන්බරා නුවර වෙසෙන මගේ මිතුරෙකුට මා ලියූ කවි ලිපියක මා මෙසේ සඳහන් කළෙමි.

කැන්බරා නුවර සිට නුඹ දුක් විඳින්නේ
අන් ජරා දෙසක් ගැන මා නොදන්නේ
පුන්සරා සිඩ්නි සඳ මෙහි දිලෙන්නේ
පින්බරා අපට විතරය පෙනෙන්නේ!

මේ කවියම මා මෙල්බර්න් නුවර වෙසෙන මිතුරෙකුට යැවීමට මෙලෙස වෙනස් කළෙමි.

මෙල්බන් නුවර සිට නුඹ දුක් විඳින්නේ
හොල්මන් දෙසක් ගැන වෙන මා නොදන්නේ
රන්වන් සිඩ්නි සඳ මෙහි අද දිලෙන්නේ
පින්වන්තයින් හට විතරය පෙනෙන්නේ!

පර්ත් නුවර වෙසෙන මිතුරෙකු සඳහා මගේ කවිය මෙලෙස වෙනස් කළෙමි.

නුවර පර්ත් සිට නුඹ දුක් විඳින්නේ
කවර පවින් දෝ මා නම් නොදන්නේ
පවර සිනුවරේ පුර සඳ දිලෙන්නේ
මිතුර පින් කරපු අයටය පෙනෙන්නේ!

බ්ලොග් හේමන්තයට ජයවේවා!

-රසිකොලොජිස්ට්

(image: https://www.youtube.com/watch?v=sfMBGWN_crk)

Sunday, 17 April 2016

සිනිපඑආසාගේතා,එපතආසාගේපුව"මරා"පුපකගිපසනොඇ? නොහොත් ලොකු ලොකු ලේඛකයින් බ්ලොග් ලියන්නට ඒමේ ප්‍රීතිය! - Jagath J Edirisinghe enters the Sinhala blogsphere!


මේ සටහනට මා යොදා ඇති මාතෘකාවේ [සිනිපඑආසාගේතා,එපතආසාගේපුව"මරා"පුපකගිපසනොඇ?] යන කොටසින් අදහස් කෙරෙන්නේ [සිරිලංකා නිදහස් පක්‍ෂයේ එක් ආරම්භක සාමාජිකයෙකු ගේ පුතා, එම පක්‍ෂයේම තවත් ආරම්භක සාමාජිකයෙකු ගේ පුතෙකු වන මහින්ද රාජපක්‍ෂව පුම්බන්න පළ කරන්නට ගිය පත්තරේට සල්ලි නොදැම්මේ ඇයි?] යන්නයි!

බ්ලොග්කරනය යනු ලියන්නට කැමැති ඕනෑම අයෙකුට හෙවත් ලේඛකයෙකුට පුවත්පත් සහ සඟරා ඉඩකඩ සීමාවලට කොටු නොවී, පුවත්පත් සහ සඟරා සංස්කාරකවරුන් ගේ රසඥතාවයට සීමා නොවී තමන් ලියන දේ, තමන් ගේ නිර්මාණ ඒවා කියවා රස විඳින පිරිසක් අතරට ගෙන යා හැකි හොඳම ක්‍රමය බව මම පෙර දිනයක ලියූවෙමි. පාඨකයින් වශයෙන් අපට බ්ලොග් අවකාශය වැදගත් වෙන්නේ ඇයි ද යන්න ගැන ද එහිම සඳහන් වේ.

කෙසේ වෙතත්, තවමත්, සිංහල බ්ලොග්කරනය පවතින්නේ ළඳරු අවදියකයි. මුද්‍රිත මාධ්‍යවල ආධිපත්‍යය (එහි ලොකු අවුලක් නැත!) තව සෑහෙන කාලයක් පවතින ලකුණු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

බ්ලොග්කරුවන් තම ලිපි පුවත්පත් සඟරාවල පළ කරගැනීම වැදගත් කාරණයක් ලෙස සැලකෙන්නේ ද, බ්ලොගයක් ඇසුරෙන් පොතක් පළ කිරීම විශාල ජයග්‍රහණයක් ලෙස සැලකෙන්නේ ද එ නිසා ය.

මේ තත්වය යටතේ, මෙතෙක් කල් පුවත්පත් පිටු අතර, මුද්‍රිත පොත් අතර රජකම් කළ අය, බ්ලොග් ලියන්නට පැමිණීම බ්ලොග්කරුවන් ලෙස අපට වැදගත් කරුණකි.

වසර තිහකටත් වැඩි කාලයක් තිස්සේ මා දැන හඳුනන, "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙන, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳී ඇති", හෙන්රි වර්ණකුලසූරිය එසේ පොත් පත්තර ලෝකයෙන්, බ්ලොග් ලෝකයට ආ එක් අයෙකි. ඔහු ලියන නොකී කතා බ්ලොගය ගැන අපි දනිමු.

මා මේ සටහන තබන්නට සිතුවේ තවත් ඒ ආකාරයේ, එනම්, "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙන, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳී ඇති", කෘතහස්ත ලේඛකයෙකු ගේ බ්ලොග් ආගමනය ගැන ලියන්නටයි.

ඒ මා දැන් වසර පහළොවකට පමණ ඉහත කාලයක ඉහත මුලින් ඔහු ලියූ දේ තුළින් ද, පසුව වසර දහයකට පමණ කාලයකට පෙර ඊ-මේල් මගින්ද, අනතුරුව දුරකථනයෙන් ද, තවත් කාලයකට පසුව සැබැවින් මුණ ගැසී ද හඳුනා ගත් ජගත් ජේ එදිරිසිංහ නම් සහෘදයාය.

ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂාවෙන් මුද්‍රිත ප්‍රකාශන ඇරඹීමේ ලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ, ජගත් ගේ පොත් එළි දැක්වීම් උත්සව දෙකකට ද මම සහභාගී වී ඇත්තෙමි.

මා ජීවත් වන ප්‍රදේශයෙන් කිලෝමීටර් අටසීයක් පමණ දුරින් මෙල්බර්න් නුවර ජීවත්වෙන ජගත් ජේ එදිරිසිංහ නම් ඒ කෘතහස්ත ලේඛකයා අරඹා ඇති බ්ලොගය මානව ලෙසින් නම් කර ඇත.

http://maanawa.blogspot.com/

ජගත් දැනටමත් ලිපි කිහිපයක් ම එහි පළ කර ඇති අතර, මේ සටහනේ මාතෘකාවේ කොටසක් සඳහා මා යොදා ගත්තේ ඉන් එක් සටහනක් සම්බන්ධ කාරණයකි.

මට අවශ්‍ය කාරණයක් මා මට අවශ්‍ය ආකාරයෙන් උපුටා ගත්ත ද, ඔහු ලියා ඇති නවකථා, කෙටිකතා, කවි, සහ සිහි සටහන් ලිපි අති විශාල සංඛ්‍යාවක් කියවා ඇති මට කිව හැක්කේ ජගත් ජේ එදිරිසිංහ ගේ මානව බ්ලොගය විවිධාංග බ්ලොගයක් ලෙස සිංහල බ්ලොග් අවකාශයට වැදගත් යමක් එකතු කරන්නට නියමිත බවයි.

ඒ සඳහා ජගත්ට අවශ්‍ය උත්තේජනය ලබා දීම සඳහා ඔහු ලියන දේ කියවා අපේ අදහස් දක්වන මෙන් රසිකොලොජි පාඨක ඔබට යෝජනා කරමි.

ස්තුතියි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජගත් ජේ එදිරිසිංහ පිළිබඳව රසිකොලොජියේ මීට කලින් ලියවුනු අවස්ථා මෙසේ ය.

1. කැටපත්පවුරක මතකය - Mirror mirror on the wall?

2. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ නිරුවත, පුකත්වය සහ තගරි හෙළිවේ..! - Sri Lankan High Commissioner in Australia threatens a local journalist

3.

4.

Tuesday, 12 April 2016

ප්‍රේමකුමාර් ගුණරත්නම් (යාන්තමට) සම්බන්ධ පැරණි මතක සටහනක් - Революция и контрреволюция


ශ්‍රී ලංකාවේ ආගමන නීති කඩ කිරීම පිළිබඳව නැගුණු චෝදනාවට වරදකරු වී පසුගිය දා වසරක සිර දඬුවමක් ලද ප්‍රේමකුමාර් ගුණරත්නම් පිළිබඳව අජිත එදිරිසිංහ, අජිත් පැරකුම් ජයසිංහ සහ හෙන්රි වර්ණකුලසූරිය වැනි මිතුරන් සයිබර් අවකාශයේ ලියූ විවිධ සටහන් නිසා මගේ පැරණි මතකයක් අවදිවිය.

ප්‍රේමකුමාර් ගුණරත්නම් මගේ මේ මතකයේ ගෑවී ඇත්තේ යාන්තමට පමණක් වුවද, එහි යම්කිසි වැදගත්කමක් ඇතැයි මම සිතමි.

ප්‍රේමකුමාර් ගුණරත්නම් සහ මා අතර අසමානකම් ඉතා විශාල සංඛ්‍යාවක් ඇති බව අමුතුවෙන් පැවසිය යුතු නැත.

උදාහරණයක් ලෙස ප්‍රේමකුමාර් ගුණරත්නම් දේශපාලන ප්‍රශ්නයක් නිසා විදේශගත වූ නීත්‍යානුකුල ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි. ඔහුට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා අවසරයක් අවශ්‍ය වේ.

මම පුද්ගලික කැමැත්ත මත විදේශගත වුණු ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෙක් මි. මට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා අවශ්‍ය නැත.

ඒ ආකාරයේ දහසක් වෙනස්කම් මැද, ප්‍රේමකුමාර් ගුණරත්නම් හා මා අතර සමානකම් ද අඩු වශයෙන් තුන හතරක් ඇති බව මට පෙනේ.

ඉන් පළමුවැන්න අප දෙදෙනාම එකම විශ්ව විද්‍යාලයේ එකම පීඨයේ ඉගෙනුම ලැබීමට වරම් ලද්දන් වීමයි. ඒ සිව් වසරක පරතරයක් ඇතිවය.

දෙවෙනි සමානකම නම්, ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ බිරිඳ ද, මගේ බිරිඳ ද, දෙදෙනාම, එකම විශ්ව විද්‍යාලයේ එකම පීඨයේ ඉගෙනුම අවසන් කළ අය වීමයි. ඒ වසරක පරතරයක් ඇතිවය.

තුන්වෙනි සමානකම නම් මගේ බිරිඳට සහ මට වැඩිමහල් දුවක සහ බාල පුතෙකු සිටින අතර, චම්පා සෝමරත්න සහ ප්‍රේමකුමාර් ගුණරත්නම් යුවලට සිටින්නේ ද වැඩිමහල් දුවක සහ බාල පුතෙකු ය.

ඒ සමානකම් තුනටම වඩා මට නම් වටින්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම් සහ රසික සූරියආරච්චි යන දෙදෙනාම කොණ්ඩය නැට්ටටම බූ ගා ස්කින් හෙඩ් නමැති පියකරු කේශ විලාසිතාවෙන් සැරසී සිටීමට දක්වන කැමැත්තයි!

ප්‍රේමකුමාර් ගුණරත්නම් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වූ කාලය වන විට මම එහි සිව් වසරක අධ්‍යාපනය හමාර කොට අවසන් පරීක්‍ෂණයට පෙනී සිටිමින් සිටියෙමි. මට වඩා වසරක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු සිට ඉගෙනුම ලබමින් ද, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දේශපාලනය මූලිකව ද, විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලනයේ ද්විතිකව ද කටයුතු කරමින් ද සිටි රංජිතම් ගුණරත්නම් ගේ බාල සොහොයුරා ලෙස ප්‍රේමකුමාර් ගුණරත්නම් වරක් හෝ දෙවරක් ඒ කාලයේ දී මගේ ඇස ගැටී තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දේශපාලනය මූලිකව ද, විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලනයේ ද්විතිකව ද කටයුතු කරමින් සිටි, එනම් අද භාෂාවෙන් ජෙප්පන් ලෙස හැඳින්විය හැකි, ශිෂ්‍යයින් අතලොස්ස මගේ නිර්ණායකට අනුව කොටස් දෙකකට බෙදිය හැක.

ඉන් මුල් කොටස වන්නේ හොඳ ජෙප්පන් ය. ඔවුන් සාධාරණව, තාර්කිකව කතා කළහ. සාධාරණව තම කටයුතු කළහ. පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ එකල උගත් ආනන්ද ඉඩමේගම සහ රංජිතම් ගුණරත්නම් මා වර්ගීකරණය කරන්නේ මේ ආකාරයේ හොඳ ජෙප්පන් යනුවෙනි.

මගේ වර්ගීකරණයේ දෙවෙනි කොටස වූයේ නරක ජෙප්පන් ය. ඔව්හූ තම අරමුණු ඉටුකර ගැනීම ගැන මිස, සාධාරණය ගැන සිතුවෝ නොවූහ. ඔවුන් සමග තර්කයෙන් වැඩක් නැත. මත මතය අනුන් මට බලෙන් ආරෝපණය කිරීමට ඔවුන් නොපැකිළුණහ.

අපේ කාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙකු වූ මොහොමඩ් නිස්මි මා දමන්නේ මේ ගොඩටයි. ඒ කාලයේ ම, වෛද්‍ය පීඨයේ උගත් ජයශ්‍රී ද මේ වර්ගීකරණයේ නිදර්ශකයක් ලෙස මම හඳුන්වමි.

ප්‍රේමකුමාර් ගුණරත්නම්ව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දේශපාලනයට බඳවා ගෙන ඇත්තේ ඒවන විට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දේශපාලනය මූලිකව ද, විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලනයේ ද්විතිකව ද කටයුතු කරමින් සිටි ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ වැඩිමහල් සොහොයුරු රංජිතම් ගුණරත්නම් නොව වෙනත් අයෙකු බව කියවේ.

ඒ හේතුව නිසා දෝ, මට පසුව හැඟී ගියේ ප්‍රේමකුමාර් ගුණරත්නම් විශ්ව විද්‍යාලයේ දී අයත් වූයේ වෛද්‍ය පීඨයේ ජයශ්‍රී සහ ඉංජිනේරු පීඨයේ මොහොමඩ් නිෂ්මි අයත් වූ මගේ වර්ගීකරණ කණ්ඩායමට බවයි.

ඇත්තටම කියනවා නම්, දශක කිහිපයකට පසු කාලයක ඕස්ට්‍රේලියාවේ සිනුවර දී මුණ ගැසුණු තුන් වතාවට කලින් මා ප්‍රේමකුමාර් ගුණරත්නම්ව අවසාන වතාවට දුටුවේ ඔහු පෙර කී වෛද්‍ය පීඨයේ ජයශ්‍රී සමග සිටින මොහොතක දී ය.

ඒ වන විට මා විශ්ව විද්‍යාලයෙන් පිටවී වසරක් ගත වී තිබුණි. මා එදින විශ්ව විද්‍යාල භූමියට පැමිණයේ පසුදා පැවැත්වුණු උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමටයි. මට ජයශ්‍රී සහ ප්‍රේමකුමාර් ගුණරත්නම් කට්ටුව මුණ ගැසුණේ එදින රාත්‍රිය මා ගත කළ මාර්ස් ශාලාව ඉදිරිපිට දී ය.

මා ලියූ දයා පතිරණ ලිපි මාලාවේ විස්තර කළ පරිදි මේ කාලය වන විට ජනතා විමුක්ති පෙරමුණ මගින් තමන්ට අනුබද්ධ සම්ප්‍රදායික සමාජවාදී ශිෂ්‍ය සංගමය වෙනුවට විශ්ව විද්‍යාල කේන්ද්‍රස්ථානය කරගෙන මිලිටන්ට් ස්වභාවයක් ගත් දේශප්‍රේමී ශිෂ්‍ය සංවිධානය පිහිටුවමින් තිබුණු අතර කොළඹ විශ්ච විද්‍යාලය තුළ දී දයා පතිරණ නායකත්වය දුන් ස්වාධීන ශිෂ්‍ය සංගමය ඒ ක්‍රියාවලියට විරුද්ධව දැඩි ලෙස කටයුතු කරමින් තිබුණි.

මා ඡන්ද බලය හිමි තරුණයෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට ද, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය දේශපාලනයට ද කලක් හිතවත්ව සිටි නමුත්, පසු කලෙක ඔවුන් දේශප්‍රේමයේ සළුවෙන් වසා ගෙන ආ ජාතිවාදී සටන් පාඨ නිසා, ඒ තත්වය කෙමෙන් වෙනස් විය.

මගේ වර්ගීකරණයට අනුව නරක ජෙප්පෙකු වූ වෛද්‍ය පීඨයේ ජයශ්‍රී තම අතාර්කික දර්ශනයට අනුව සිතන්නට ඇත්තේ මා ද නියෝජනය කරන්නේ දයා පතිරණ නායකත්වය දුන්, කොළඹ විශ්ව විද්‍යාලයට පමණක් සීමා වූ, ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මතවාදය බවයි.

මාර්ස් ශාලාවේ දොරකඩ දී ප්‍රේමකුමාර් ගුණරත්නම් සමගින් සිටි වෛද්‍ය පීඨයේ ජයශ්‍රී, එහි යමින් සිටි මා දැක කට කොනකට සරදම් සිනාවක් නගා ගෙන මා ඇමතුවේ ඒ සිතුවිල්ල ඇතුව විය යුතුය.

"ආ, කොහොමද, සහෝදරයා? කොහොමද ඔහෙලා ගේ විප්ලවය?"

ඔහු ගේ ඒ කථා විලාශයත්, හැසීරීමත් මට අරුමයක් ම විය.

වසරකට පෙර විශ්ව විද්‍යාලයේ දී නිරතුරු මුණ ගැසුණු විට දී හෝ ඊට මාස හයකට පමණ පෙර හදිසියේ නුවරඑළියේ දී මුණ ගැසුණු අවස්ථාවේ දී හෝ නොතිබුණු පසමිතුරුබවක් ඒ කථා විලාසයේ සහ අංග චලනයේ ගැබ් වී තිබුණි.

මද සිනාවක් නැගීමට අමතරව, වෙනත් කිසිවක් කීමට මට නොහැකි වූයේ ඒ විමතිය නිසාය.

ප්‍රේමකුමාර් ගුණරත්නම් ද මද සිනාවක් සහිතව පසෙකට වී සිටියේය.

"ඔහෙලා විප්ලවය කරන දවසට අපිටත් කියන්නකෝ, ආසයි දැන ගන්න!" වෛද්‍ය පීඨයේ ජයශ්‍රී තම උපහාසාත්මක හඬින්, මෙවර පෙරට වඩා උස් හඬින්, කීවේ මගේ මද සිනහව යම් ආකාරයක බියගුලුකමක් ලෙස සලකා විය යුතුය.

ක්‍ෂණයකින් මා සිතට ආ අදහසක් වචනයට නගමින් ඔහු නිහඬ කරවීමට මා කීවේ මෙපමණකි.

"අපි විප්ලවය කරන දවස ගැන අමුතුවෙන් ඔහෙලාට කියන්න ඕනෑ නෑනේ ජයශ්‍රී, මොකද ඔහෙලා එදාට ම නේ ඔහෙලා ගේ ප්‍රතිවිප්ලවය පටන් ගන්නේ!"

මොහොතකින් අපි වෙන් වී දෙපසට ගියෙමු.

පසුදා උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූ මා දින දෙකකට පසු පේරාදෙණියෙන් නික්ම නිවසට පැමිණියෙමි.

තවත් දින දෙකකට පසු මා පුවත්පතකින් කියවූයේ, කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ මරා දමා ඇති බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ අභිනව දේශප්‍රේමී ශිෂ්‍ය සංවිධානය වැඩ අරඹා ඇති බව ඉන් මට පැහැදිලි විය.

ඒ සමගම, දින කිහිපයකට පෙර මා අත් විඳි, වෛද්‍ය පීඨයේ ජයශ්‍රී ගේ ප්‍රහාරාත්මක හැසීරීම, පිළිබඳව ද මට කරුණු පැහැදිලි විය.

මොහෙමඩ් නිශ්මි සහ වෛද්‍ය පීඨයේ ජයශ්‍රී පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ශිෂ්‍ය සංගමයේ නායකයින් ලෙස කටයුතු කළ බව මම දනිමි.

ප්‍රේමකුමාර් ගුණරත්නම් එකල කටයුතු කළේ ද ඔවුන් ගේ නායකත්වය යටතේ ය.

ජනතා විමුක්ති පෙරමුණත්, ඒ හා අනුබද්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය, දේශප්‍රේමී ශිෂ්‍ය සංගමය යනාදී විවිධ කඩතුරා සංවිධානත්, ඉන්දියානු විරෝධයක් මත පදනම්ව, දේශප්‍රේමයට මුවාවී, දේශයේ දේපල විනාශ කරමින් දැඩි ලෙස කඩාකප්පල්කාරී ක්‍රියා කරන්නට පටන් ගත්තේ ඊළඟ වසරේ මැද භාගයේ සිටය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ප්‍රේමකුමාර් ගුණරත්නම් සිනුවර දී මුණ ගැසුණු දිනය පිළිබඳ සටහනක් මීළඟට බලාපොරොත්තු වන්න.

ප/ප/ලි (17/04/2016):
ඒ සටහන ලියා පල කිරීම තවමත් නිවාඩුව ගත කරන නිසාත්, අත්‍යවශ්‍ය ඡායාරූපයක් මේ මොහොතේ මගේ පරිගණකයේ නොමැති නිසාත් පසුවට කල් තබමි.

(image: https://www.pinterest.com/pin/545850417310229147/)

Sunday, 10 April 2016

පශ්චාත්-සුනාමි පුනරුත්තාපනය සහ ප්‍රේමකුමාර් ගුණරත්නම් හෙවත් අදිසි මිනිසා - අජිත එදිරිසිංහ ගේ මතක සටහන් : Post-Tsunami reconstruction and Premakumar Gunaratnam alias invisible man


මා හිතවත් අජිත එදිරිසිංහ විසින් ලියා වත්පොතේ බෙදා හැර තිබුණු මේ සටහන රසිකොලොජියේ අවසර සහිතව පළකරන්නට සිතුවේ එහි ඇති වැදගත්කම නිසාය.

මේ සටහනට ප්‍රධාන වස්තු බීජය වී ඇති, මා ද තරමක් හඳුනන, ප්‍රේමකුමාර් ගුණරත්නම් හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ වත්මනෙහි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයා, ඕස්ටේ‍ර්ලියානු ඒකල පුරවැසියෙකු ලෙස ලංකාවට පැමිණ තම වීසා කාලය ඉක්මවා රැඳී සිටීමේ වරදට හසුවී දැන් වසරක සිර දඬුවමක් විඳිමින් සිටියි.

මුලින්, අපි අජිත එදිරිසිංහ ගේ සටහන කියවමු.


හිමි නමකගේ අලුත් මුද්‍රාවක් සමග යන සංවාදය කදී කිසිවෙකු කුමාර් ගුණරත්නම් සිහි කොට පල් හොරා නමින් අමතා තිබෙනු දැක මා හට බලවත් කම්පාවක් ඇතිවුනි.

සුනාමි අනතුර හමුවේ ධිවර අමාත්‍යාංශය ධීවරයාට නැතිවූ ජිවිත හැර සියලු අනිකුත් දේ නැවත ලබාදීමට කටයුතු කළ අතර සාර්ථකව එම කාර්යය ඉටුකිරීමේ පිටුපස සිටි මහා සංවිධානකරු කුමාර් ය. ඔහු කල කාර්යය හෙළි කිරීමට හැක්කේ ඔහුටම පමණි. මන්ද ඔහුත් සමග එම කාර්යට සහාය වූ කිසිවෙකු ඔහු ගැන සඳහන් කිරීමට ඉදිරිපත් නොවන නිසාය. මම ඉතාම අල්පයක් දනිමි. කුමාර් ගැන නොදන්නා ඔහුට ද්වේශ කරන්නන් හමුවේ එය්නුත් අල්පයක් ඉදිරිපත් කරමි.

ගුණරත්නම් ගැන දන්නා ටිකක්.

ඒ 2004 දෙසැම්බර් 26 සවස 2.00 ට පමණ ඇති. ලංකාවම උඩු යටිකුරු කල සුනාමි රල බැස ගියා පමණි. සියල්ලෝම අන්ද මන්ද වී සිටි මොහොතක්. මම අම්බලන්ගොඩ වැල්ලේ සිදුවූ විනාශය දෙස සන්ත්රාශයෙන් බලා සිටි මොහොතක්. මගේ ජංගම දුරකථනය නාද දුනි. "අජ්ජෝ වහාම ධිවර අමාත්‍යංශයට වරෙන්" ඒ මා මිත්‍ර ගුන්ඩා ගෙනි. එකල ජවිපෙ ධිවර අමාත්‍යංශයේ වගකීම් භාර ගෙන සිටි සමයයි. මම ද ධිවර අමාත්යංශය යටතේ වූ ආයතනයක වගකිව යුතු තනතුරක් දරමින් සිටියෙමි.

ලැබූ නියෝගය ධිවර අමාත්‍යංශයේ අදිසි බලවතාගෙනි. වහාම ගමනට පිටත් උනෙමි මුහුදු බඩ මාර්ගය අවහිර වී ඇත. අභ්‍යන්තර මාර්ග තුලින් අමාත්‍යංශයට යනවිට රාත්‍රී 8.00 පමණ වන්නට ඇති. ඒ වනවිට, ධිවර සංස්ථා සභාපති (ඉංජිනේරු) නෙවිල් (දැන් ජිවතුන් අතර නැත), ධිවර වරාය සභාපති (ඉංජිනේරු) ගාල්ලගේ, එම විධායක අධ්‍යක්ෂ (ඉංජිනේරු) සේනක (දැන් ජිවතුන් අතර නැත), ධිවර සංස්ථා විධායක අධ්‍යක්ෂ (ඉංජිනේරු) CW සමග ධිවර අමාත්‍ය චන්ද්‍රසේන විජේසිංහ, පව්ද්ගලික ලේකම් නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් සමග ගුණරත්නම් ද පැමිණ සිටියහ. ඒ මම ගුණරත්නම් ධිවර අමාත්යංශය තුලදී දුටු මුල් දවසයි. ධිවර අමාත්‍යාංශය ගුණරත්නම් ගේ ස්රිජු අධීක්ෂණය යටතේ පවතී බව දැන සිටි නමුත් ඔහු අමාත්‍යාංශය තුලට ආව ගිය කෙනෙකු නොවිය.

රැස්වීම ඇරඹුණි. එතන සිටියේ අමාත්‍යාංශය තුල වූ දේශපාලන අධිකාරිය පමණි. කිසිම නිලධාරියෙක් නොවිය. අමාත්‍යවරයා ගේ මුලාසනය ගුණරත්නම් ගේ විරෝධය මැද උවද ඇමති විසින් ගුණරත්නම්ට භාරදී ඇමති අප අතරට එක් වුනි. නිසි බලධරයා පළමු වරට හෙළිවිය. සුපුරුදු පරිදි වය්ද්‍යා නලින්ද ජයතිස්ස ලේකම් කාර්යයේ යෙදුනි. රැස්වීම ඉතාම කෙටි විය ඇමතුවේ ගුණරත්නම් පමණි.

"සහෝදරවරුනි අප මුහුණ දී සිටින ඛේදවාචකය පිලිබඳ අපට කිසිම පුර්ව අත්දැකීමක් නොමැත. මෙයට මුහුණදෙන්නේ කෙසේදැයි සොයාගත යුත්තේ අපි අපිම විසිනි. මෙතන රැස්වී සිටින ආයතන ප්‍රධානින් සියලුම දෙනා ක්සේශ්ත්රයේ පළපුරුදු බොහෝ සමාජ සම්බන්ධකම් ඇති ඉංජිනේරුවන්. ඔවුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ වහාම ඛේදවාචකය තුලට ගොස් ඔබගේ සම්බන්ධකම් ඇසුරෙන් ගතයුතු පියවරයන් ගන්නා ගමන් මේ පිලිබන්ධව ඔබ ලබන අත්දැකීම් තුලින් යෝජනා තව දින දෙකකින් නැවත මෙවැනි රැස්වීමක් සවස 6:00 පවත්වනවා එදිනට රැගෙන එන ලෙස. එහිදී ඔබ ගන්නා සියලු පියවර වල වගකීම අමාත්‍යාංශය බාරගන්නා බැවින් උපරිම වගකීම ගෙන ආපදාවට පත්වූ ජනතාවට සහන සලසන්න ක්‍රියාත්මක වන්න."

ඉන්පසු ලහි ලහියේ වගකීම් පැවරීම සිදුවිය. සිදුවූ විනාශයේ සැබෑ තක්සේරුව විනාශවූ, ධිවර ජිවිත නිවාස, යාත්‍රා, මෙවලම් පිළිබදනිවැරදි සංගණනයක් පැවැත්වීම අමාත්‍යාංශය හා ධිවර දෙපාර්තුමේන්තුව භාරව කටයුතු කරන අමාත්‍ය වගකීම් තුල දෙපාර්තුමේන්තු නිලධාරින් මගින් කිරීමටද, සුන්බුන් වූ ධිවර පරිසරය හැකිතාක් යථා තත්වයට පත්කිරීම, අනාථවූ පිරිස් සුභ සාධන, අහාරපාන බෙදාදීම් සඳහා ජවිපෙ පක්ෂ යාන්ත්රණය මගින් ද, තාවකාලික ධිවර නිවාස ඉදිකිරීම් හැකිතාක් ඉක්මනට නැවත ධිවර වරායන් ගේ බිඳ වැටි ඇති සැපයුම් සලසා දීම ධිවර වරාය හා ධිවර සංස්ථා ව මගින් ද, විනාශ වූ ධිවර යාත්‍රා සහ ධිවර ආම්පන්න අලුත්වැඩියාව ආදිය සඳහා කටයුතු කිරීම ධිවර අමාත්යංශය යටතේ වූ සිනොර් ආයතනය මගින්ද සිදුකිරීමට ද තීරණය විය. අදාළ සැලසුම් දින දෙකක් තුල රැගෙන ආ යුතුය. මෙහෙයුමේ නියමුවා කුමාර් ය. රැස්වූ සුළු පිරිස හැර වෙන කිසිවෙකු එය නොදනිති. මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ධිවර ඇමති චන්ද්‍රසේන විජේසිංහ හරහාය.

ඇත්තටම ඒ වචන තුලින් තමයි අපිටත් තේරුනේ ධිවර ජනතාවට අදාළ සියලුදේ කලයුත්තේ අපි බව. ගිය පාරෙන් රෑම ගෙදර ආවෙමි. මා භාරයේ තිබුනේ සිනොර් ආයතනයයි. විනාශවු ධිවර යාත්‍රා සහ මෙවලම් දැල් ආම්පන්න නැවත පිළිසකර කරදී ධීවරයා රැකියාවට පිටත් කිරීම මගේ වගකීම් අතර විය. 27 උදේම ගියා හික්කඩුව ධිවර වරායට. මාස 6, 7 ක් පමණ ආයතනයේ සේවය කිරීම තුල බොහෝ ධිවර මුදලාලිලා (බෝට්ටු හිමියන්) මා ඒ වනවිට හඳුනා සිටියා. ධිවර වරාය තුල බෝට්ටු විශාල ප්‍රමණයක් ගිලි තිබුනා. සමහර ඒවා අනිත් පැත්ත පෙරලිලා පාවෙමින් තවත් සමහර ඒවා රලත් සමග ගොඩට ඇවිත් පෙරලි තිබුනා. මා ධිවර වරායට ගිය විගස මා දන්නා හඳුනන ධිවර මුදලාලිලා සමග ධිවරයින් සියලු දෙනා මා වටකර ගත්තා. ඔවුන්ගේ ඉල්ලීම් වුවේ:

"අනේ සර් අපේ බෝට්ටු ටික ගොඩට අරන් දෙන්න"

"මේ පෙරලිච්ච බෝට්ටු ටික කෙලින් කරලා රෙපෙයාර් කරගන්න පුළුවන් විදිහට කොට උඩ තියල දෙන්න"

මේ ඉල්ලීමට අවශ්‍ය ක්‍රෙන් එකක් (දොඹකරයක්) මගේ පරන සේවා ස්තාන්යේ (වැලිගම) හිටපු මා මිත්‍ර පිලානවිතාන මහතා භාරයේ තිබු දොඹකර දෙකක් පැය දෙකක් තුල එතනට ගෙන්වා ගන්න පුළුවන් උනා. දැන් මිනිස්සුන්ගේ රණ්ඩුව මුලින්ම ගන්න බෝට්ටු ගැන. සියලු දෙනාගේ සැක සංකා ඉවත් කරා සියලුම බෝට්ටු ගොඩ දා දෙන බවට. සියල්ලෝම එකෙනේකාට උදව් කරමින් සහයෝගයෙන් වැඩේ කලයුතු බවට දේශනයකුත් කරා, දුර තිබෙන බෝට්ටු ලඟට ඇදගෙන එන්න බෝට්ටු කිහිපයකුත් යෙදෙව්වා. මොබයිල් ක්‍රෙන් වලට වැල්ලේ යන්න අවශ්‍ය ලෑලිත් මිනිස්සුම ගෙනාවා. ක්‍රෙන් වලට අවශ්‍ය ඩිසල් බෝට්ටු වලින්ම ගත්තා. දැන් යමරෙට වැඩ.

එතන තවත් කීපදෙනෙක් මම ලඟට ආවා. සර් අපේ ක්‍රෙන් එකත් තියනවා. ජි එම් මහත්තයට කියල අවසර අරන් දෙන්න අපිත් උදව් කරන්නම්.

ඔයගොල්ල කව්ද ?

අපි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ. අපි ක්‍රෙන් එක අරන් ආවේ පැරෑලියේ පෙරලිච්ච කෝච්චිය කෙලින් කරන්න. එතනට යන්න බැහැ වතුර. තව මිනි අස්කරලත් ඉවර නැහැ. අපිත් කැමතියි මේ මිනිස්සුන්ට උදව් කරන්න.

එයාල දුන්න GM ගේ නම්බර් එකට මම කතාකලා. අදාළ ගෙවීම් අවශ්‍ය නම් ධිවර අමාත්‍යාංශයෙන් කරන්නම් කිව්වම එයා බය නැතුව අවසර දුන්න.

දිනක් ඇතුලත ක්‍රෙන් තුනක් යොදවලා හික්කඩුව ධිවර වරායේ පෙරලුනු ගිලුණු සේරම බෝට්ටු ගන්න පුළුවන් උනා. එතනට ආපු ධිවර අමාත්‍යංශ නිලධාරීන් භාර්කලා එතැන් සිට වෙරල දිගේ ගාල්ලට සියලුම පෙරලුනු බෝට්ටු ගොඩ ගන්න සහ කෙලින් කරලා ගන්න. ඔවුනුත් කැපවීමෙන් භාරගත්තා.

සවස මම් ගියා දොඩන්දුවේ වල්ලම් තොටුපොළට. වල්ලම් බොහොමයක් රල සමග ගොඩට ඇවිත් කැඩිලා බිඳිලා තුවාල වෙලා. වල්ලම් වල තිබුණු ධිවර දැල් සියල්ලම නැවත ලිහාගන්න බැරි තරමට පැටලිලා වැලි කුණු ගොඩවල් අස්සේ. එතනත් ප්‍රධාන ධිවරයින් කිහිපදෙනෙක් මම අඳුනනවා. ඒ වගේම සිනොර් ආයතනයේ අලෙවි ප්‍රවර්ධන ප්‍රසාද් මහතා වසර 20 ක් පමණ ධිවරයින් සමගම කටයුතු කල කෙනෙක් ඔහු දිගටම එතනින් එහාට මාත් එකක්ම රැඳී හිටිය තවත් ධිවර නිලධාරීන් කිහිපදෙනෙක්ම අපිත් සමග එකතු උන නිසා ධිවරයින් ලෙහෙසියෙන්ම අප හඳුනාගෙන අපේ ලඟට ආවා.

දොඩන්දුවේ ධීවරයින්ගේ තිබුනේ වෙනත් ඉල්ලීමක්.

"සර් අපේ වල්ලම් හදාගන්න ෆයිබර් බඩු නයට දෙන්න. තියනවනම් දැල්නුත් නයට දෙන්න"

ඇත්තටම ඒ වෙලාවේ මිනිස්සුන්ටවත් අපිට වත් අදහසක් තිබුනේ නැහැ ආධාර ලැබෙන විදිහක්. නිකන් බඩු දෙන්න පුළුවන් විදිහක්. ඒ උනාට ගුණරත්නම් දුන්නු වගවිමේ පණිවිඩය මට ඕනෑම තීරණයක් ගන්න බය නැති කරලා තිබුනේ.

එත් තීරණ ගත හැකි ඉහල ආයතන තිබියදී අත පුච්චා නොගන්න වසර 10 ක පමණ රජයේ සේවය මට අත්දැකීම් දීල තිබුණ. මම ධීවරයින්ගේ අවශ්‍යතාවය ධිවර ඇමතිට දැනුම් දුන්නා. "ඉන්න අජිත අපි තාම රැස්වීමේ මම කුමාර සහෝදරයට දෙන්නම්". අපිට රැස්වීම ඉවර උනාට කුමාර සැමෝටම රැස්වීම ඉවරකරලා නැහැ. ඔව්න් තවමත් අදාළ කාර්යයන් සඳහා පිරිස් යොමු කරනවා. සැලසුම් හදනවා.

මගේ දවසේ ප්‍රගතිය ගැන කුමාර දැඩි ලෙස තෘප්තිමත් උනා. ප්‍රශ්නයක් නොවන විදිහට අදාළ නම් ගම් රැගෙන අවශ්‍ය කටයුතු කරන්න. කුමාර උත්තර දුන්න.

උපදෙස් ප්‍රමාණවත් ........

ෆයිබර් බඩු අවශ්‍ය ප්‍රමාණයන් සහ නම් ලිස්ට් එක හදලා ආයතනේ ගබඩාවට දැනුම් දුන්න අදාළ බඩු වහාම ලිස්ට් එක අනුව නිකුත් කරන්න කියලා. ආයතනයේ ලොරියෙන්ම පහුවදා උදේම බඩු බෙදුවා. මිනිස්සුම තම තමන්ගේ අලුත් වැඩියා කල හැකි ප්‍රමාණයේ වල්ලම් අලුත්වැඩියා කරගත්තා. ගොඩක් ආපදාවට පත්වූ වල්ලම් අලුත්වැඩියා කරන්න ආයතනේ ෆය්බර් කරුවන් ගෙන්නුවා. නිලධාරියෙක් සමග හදිසි ජංගම ෆයිබර් අලුත්වැඩියා පොලක් දැම්ම.

මේවා කරන්න පුළුවන් උනේ මානසිකව නොවැටී සිටිය ගෙදර දොර ජිවිත අහිමිවීම් නැතුව සිටි ධිවරයින් සඳහා නමුත් බිමටම සමතලා උණු අන්ත අසරණ බොහොමයක් හිටියා තමන්ගේ එකම යාත්‍රාව පවා සුන් බුන් වී ගිය. ඒ අය වෙනුවෙන් ක්‍රියා කල යුතු විදිහ ගැන අදහසක් මට ලැබෙමින් තිබුනා ප්‍රායෝගිකව ගත් මේ මැදිහත් වීම තුල.

බේරුවල මිගමුව තංගල්ල වැනි ධිවර වරයන් වල ඔය කාර්යම කිරීමට ඊළඟ දවසේ නිලධාරීන්ට පැවරුවා. අදාළ ක්‍රෙන් ලබාදුන්න සමහර පුද්ගලික ආයතන වලින්නුත් ගත්තා දෙන්නම් කාසි වලට. නැගෙනහිර පැත්ත අන්තිම බරපතලයි. මීගමුවෙන් උඩට ප්‍රශ්නයක් තිබුනේ නැහැ.

ප්‍රසාද් අවශ්‍ය විස්තර සිය සම්බන්ධකම් මගින් ලබාගත්තා. විනාශ වූ ධිවර යාත්‍රා අලුත්වැඩියා කිරීම සඳහා වැඩ පිළිවෙලක දල සැලැස්මක් සාදා ගත්තා සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවංක, බරපතල කැපකිරීමකට සුදානම් ෆය්බර් මෝටර්,එන්ජින් අලුත් වැඩියාව ගැන දන්න පිරිසක් එකතු කර ගත යුතුය්. පේරාදෙණියේ ඉංජිනේරු අවසන් වසර ව්භාග අවසන් වෙලා තිබුන එයින් යාන්ත්‍රික ඉංජිනේරු කොල්ලෝ ටිකක් එකතු කරගත්තොත් ෆය්බර් තාක්ෂනය ගැන පොඩි පුහුණුවක් දීලා වැඩේට ගන්න පුළුවන්. ඔය අදහස් හාෆ් ෂීට් එකකට අරන් පසුවදා රැස්වීමට ගියා.

රැස්වීමට පැමිණෙන්න හිටියේ එදා පිටව ගිය ආයතන ප්‍රධානින් කීප දෙනා විතරයි. අනිත් සේරම එදා ඇදපු ඇදුම් වලින්ම තවමත් රැස්වීම් කටයුතුවල. නලින්ද හිටියේ බාගෙට මැරිලා. ඇමතිතුමා ඇතුළු පිරිස දින දෙකක් එක දිගට නිදිමරමින් කාර්යයේ යෙදී සිටි බව අහන්න දෙයක් තිබුනේ නැහැ. කට්ටියට එතරම්ම වෙහෙසයි. නමුත් කුමාර් එදා උද්යෝගයෙන්ම ධ්‍ය්ර්ය සම්පන්නව වැඩෙහි යෙදී සිටියා. මගේ යෝජනා ඔහු හොඳින් කියවා බැලුවා. එවලේම කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (නම පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුළුවන් එයත් එකල ජවිපෙට අයත් අමාත්‍යාංශයක ආයතනයක්) සභාපතිව සිටි පේරාදෙණිය ඉංජිනේරු පිටයේ අචාර්ය අලහකෝන් අමතා අපට අවශ්‍ය නවක යාන්ත්‍රික ඉංජිනේරුවන් 12 ක් ලබාදෙන ලෙස දන්වා සිටියා. එදා එළිවෙනකම් රැස්වීම අවසානයේදී කලයුතු කාර්යයන් සදහා අවශ්‍ය සැකැස්ම මෙහෙයුම කෙරෙනා විධිය වගකිව යුතු අය ආදී වශයෙන් ජාතික වැඩපිළිවෙලක් සාදා ගත්තා. සිදුවූ විනාශයේ තොරතුරු සහ මෙහෙයුමේ මුල්‍ය විශාලත්වය ගැන තවමත් තිබුනේ දල අදහසක් . අවශ්‍ය නිවරදි වාර්තා ලබාදීම සදහා අමාත්‍යංශ නිලධාරින් සති දෙකක කාලයක් ඉල්ලා තිබුනා.

එම සති දෙක අපගේ සැලසුම් සදහා යාන්ත්‍රනය සකසා ගත්තා. ඉන්පසු සියලු දෙනාම තම තමන්ට භාරවූ කාර්යයන්හි බරපතල ලෙස කාර්යය බහුල වූ බැවින් හදිසි කෙටි රැස්වීම් මිස පොදු දීර්ඝ රැස්වීම් පැවැත්වුනේ නැහැ. කුමාර් නිතරම පසු විපරම් කරමින් අපගේ කාර්යයන් පහසු කළා.

මාගේ වගකීමට අයත්වූ හානිවූ ධිවර යාත්‍රා සහ ආම්පන්න පිලිබඳ නිවැරදි විස්තර නම් ගම් අදාළ ධිවර නිලධාරි බලප්‍රදේශය සහිතව සති දෙකකින් මට ලැබුනා. ලංකාව පුරාම එකවර ක්‍රියාත්මක වන යාත්‍රා අලුත්වැඩියා කිරීමේ තාවකාලික වැඩපොළවල තිහක් පමණ අරඹා කාර්යය කළමනාකරණය කිරීම අපහසු නොවුනේ සියලුම කාර්යයන් මුලසිටම නිවැරදිවම සැලසුම් කරගැනීමට හැකි වූ නිසයි. එම වැඩපොලවල් මිගමුව මට්ටක්කුලිය, පානදුර, බේරුවල, බලපිටිය, හික්කඩුව, දොඩන්දුව, ගාල්ල, වැලිගම, මිරිස්ස ආදී දකුණු පළාතේ සිට කන්කසන්තුරේ, කොකිලාය්, සල්ලිසාම්පල්තිව්, ත්‍රිකුණාමල, ඔට්ටමාවඩි, මඩකලපු, එරාවුර්, නින්දවූර්, පොතුවිල්, පානම ආදී උතුරු නැගෙනහිර පළාත් දකවාම සියලුම ධිවර වරායයන් නැංගුරම් තොටුපල වල් ක්‍රියාත්මක උනා. සියලුම ධිවරයින් ධිවර අමාත්යංශය සමග ලියාපදිංචි වී සිටින බැවින් කිසිවෙකු මගහැරුනේ නැහැ.

ඊළඟට ආවේ ආධාර සුනාමියයි. ධිවර අම්මත්යාංශය ට අදාළ කාර්යයන් සදහා ලැබූ ලෝක අහාර සහ කෘෂිකර්ම (World Food and Agriculture Organization)සංවිධානයේ ආධාර, ජපන් ආධාර, වෙනත් රටවල මෙන්ම හා වගකිව යුතු දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන වලින් වැල නොකැඩි එන්න පටන් ගත්තා. ඒවා හසුරවපු හැටි ඇත්තටම කතා නොකර බැහැ. මුලින්ම ආවේ WFAO නියෝජිතයා දේශීය නියෝජිතයා සමග. එම බොහෝ රැස්වීම් වලට සුනාමියෙන් විපතට පත් වූ ධිවරයින් නගා සිටුවීමේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙක් විදිහට මමත් සහභාගී උනා. WHO එක ඩොලර් මිලියන 2 ක ආධාර මුලික වටයේදී කඩිනමින් දෙන්න ඉදිරිපත් උනා. අපි බොහොම සතුටු උනා. නමුත් ඒගොල්ලෝ ඒක කෙලින්ම අමාත්‍යංශයට දෙන්න එකඟ උනේ නැහැ. ඔවුන් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළා සුනාමියට හසුවූ ප්‍රදේශ කලාප 8 කට බෙදා ඔවුන්ගේ කාර්යාල 8 ක් මගින් හානි වූ ධිවරයින්ට සහන දෙනවා කියල. WFAO එකේ දේශීය නියෝජිත මහතා ඒවා අපුරුවට පොතක් හදල විස්තර සහිතව ඉදිරිපත් කළා. ඩොලර් මිලියන දෙකෙන් 1.7 ක්ම යන්නේ කාරයාල වල නිලධාරි සේවක වාහන ආදී වියදම් ධිවර යට දශම 3 යි. අපි එයට තදින් විරුද්ධ උනා. අපි දැනටමත් මහපොළවේ ස්ථානගත කරමින් තියෙන අපේ වැඩ පිළිවෙලට දෙනවා නම් දීපන් නැත්නම් මේ විහිලු ආධාරය අපි භාර නොගන්නා බව තදින්ම කියා සිටියා. දේශීය නියෝජිතයා දුර්මුක උනා. WFAO නියෝජිත අපේ සැලැස්ම එතන ඉඳන්ම කියෙව්වා ඔහු ගෙන් ආවේ සාධනීය පිළිතුරක්. ඔහු යෝජනා කළා කාර්යාල 8 වෙනුවට එක ප්‍රධාන කාර්යාලයකුත් අපගේ අලුත්වැඩියා කටයුතු සඳහා WFAO ආධාර නිසිලෙස ක්‍රියාත්මක වන බව පෙන්වන පසු විපරම් වැඩ පිලිවෙලකුත් අධික්ෂණ නිලධාරින් කිහිප දෙනෙකුත් සමග එක ප්‍රධාන කළමනාකරුවෙක් සමග අදාළ ආධාර මුදල ලබාදෙන්න. ධිවර ඇමති වහාම ඉදිරිපත් උනා අවශ්‍ය ප්‍රධාන කාර්යාලයට ඉඩ කඩ ධිවර අමාත්‍යාංශය තුලින්ම දෙන්න.

එය අපිට විශාල පෙරහුරුවක් උනා ආධාර කළමනාකරණය කර ගන්නා අයුරු අවබෝධ කර ගැනීමට. ඉන්පසු සියලුම ආධාර කණ්ඩායම් සමග වැඩ කලේ එහෙමයි. ක්‍රියාකාරකම් සහ ආධර සියල්ලම ධිවර අමාත්‍යංශය සකස් කල ජාතික වැඩ පිළිවෙල තුලින් ක්‍රියාත්මක කරන ලෙස ධිවර අමාත්‍යාංශය තදින් කියා හිටියා. එසේ නොවන්නේ නම් එම ආධාර සුනාමියෙන් හානියට පත් ධිවරයින් වෙනුවෙන් ලංකාවට ලැබුණු බවට අමාත්යංශය කිසිම සහතිකයක් නොදෙන බව දන්වා සිටියා.

ඒ අනුව ඉන්පසු ආපු ආධාර කණ්ඩායම් එක්කෝ අපේ වැඩ පිළිවෙලට ආධාර කළා නැත්නම් අපේ වැඩ පිලිවලේ කොටසක් එයාල අරගෙන ක්‍රියාත්මක කලා. එහෙමත් නැත්නම් අපගේ වැඩපිළිවෙලේ කොටසක් අපි ලවා ක්‍රියාත්මක කරන්ගමන් එයාලා අධික්ෂණය කරමින් ආධාර කළා. එසේ කල එක ස්ථානයක තමයි ගාල්ලේ උණවටුනේ ඉදිකළ අංග සම්පුර්න බහුදින යාත්‍රා නිපදවීමේ යාත්‍රාඟනය. කුරියර් ඒඩ්ස් ඔස්ට්‍රියා කියල NGO එකක් ආධාර කලේ. එම යත්රාන්ගනය තුලින් පමණක් එකක් ලක්ෂ 40 කට වඩා වටිනාකමින් යුතු බහුදින යාත්‍රා 50 ක් පමණ නිෂ්පාදනය කොට අලුත්ම බුක් එන්ජිම සහිතව එයත් ලක්ෂ 7 ක් විතර ඇති සමාන යාත්‍රා සම්පුරන්යෙන්ම විනාශ වී අහිමි වූ ධිවරයින්ට බෙදා දුන්නා. ගාල්ලේ අයට එම යාත්රාන්ගනය මතක ඇති. දැන් ඒක සම්පුර්ණයෙන්ම විනාශ කරලා ගාල්ල නගරය අලංකාර කරනවා කියල.

වසරකට යෝජනාවූ සුනාමියෙන් හානි වූ ධිවර යාත්‍රා අලුත් වැඩියා කිරීමේ සහ දැල් ඇතුළු ධිවර ආම්පන්න නැවත ලබාදීමේ වැඩ පිලිවල මාස 8 ක් ඇතුලත නිම උනා. 80% කට වඩා විනාශ වූ ධිවර කර්මාන්තය සම්පුර්ණයෙන්ම නැවත ගොඩ නැගුවා. සුනාමිය ආවා කියල ධිවර කර්මාන්තය සම්පුරන්යෙන් විනාශ වුවා උනත් එක දවසක් හෝ ලංකාවේ මිනිස්සුන්ට මාළු නැතුව බත් කන්න සිද්ද උනේ නැහැ නේද කියල මතක් කරලා බලන්න. මේ මහා කර්තව්‍ය පිටුපස හිටි අයෝමය පුරුෂයා තමයි කුමාර් ගුණරත්නම්. එහෙව් මිනිහට තමයි මේ උඩක් පළලක් දන්නැති අමනයෝ පල් හොරා කියන්නේ.

කුමාර් ගේ වැඩ පිළිවෙල නැත්නම් සුනාමි ආධාර වලින් බෝට්ටු ලැබෙන්නේ මුද දැකපු වත් නැති එවුන්ට. එකාට පහ හය නොවෙය් විස්ස තිහ ලැබිල තියෙයි. ආපදාවට පත්වූවන්ට හුලන් තමයි. සුනාමියට ලැබුණු ආධාර මිලියන සිය දහස් ගණන් ගසා කාපු එවුන් ට මහරජා කියල වැඳ වැටෙන මුන් සත පහක වංචාවක් නොකළ යුග මෙහෙවරක් සදහා දායක උණු අසමාන මානුෂිකත්වය ට සලකන හැටි අපුරුය්.

මේ විස්තරය අද වඩාත් වැදගත් වෙන්නේ එහි පැසසුමට ලක්වෙන ප්‍රේමකුමාර් ගුණරත්නම් නිසාය. ඊට අමතරව මට මෙහි ඇති වැදගත් කාරණා කිහිපයකි.
  1. ප්‍රේමකුමාර් ගුණරත්නම් එළිපිට නොව යටිබිම්ගතව ක්‍රියාත්මක වෙන අදිසි හස්තයක් ලෙස වැඩ කිරීම.
    මට හිතෙන ආකාරයට, තවමත් ටිල්වින් ද සිල්වා ලා, අනුර කුමාර දිසානායකලා ගෙන යන්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම් නම් කෙනෙකු ජනතා විමුක්ති පෙරමුණේ නොමැතිය යනුවෙන් ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ නායකත්වයෙන් රැස්වුණු දේශපාලන මණ්ඩලය වැනි පක්‍ෂ සංවිධානයක් ගෙන ඇති තීරණයට අදාල ලයින් එකයි!
  2. ප්‍රේමකුමාර් ගුණරත්නම් ධීවර අමාත්‍යාංශයේ අදිසි නිසි බලධාරියා ලෙස (සුනාමි සහන වැඩසටහනට පෙර පවා) ක්‍රියාත්මක වී ඇති "විනිවිද නොපෙනෙන" ආකාරයේ ක්‍රියාව.
    මෙහිදී විස්තර කෙරෙන පරිදි සුනාමි සහන වැඩ පිළිවෙල ඔහු මෙහෙයවා ඇති ආකාරය අගය කළ යුතු නමුත්, ඔහු කළ අන් වැඩ අප නොදන්නා නිසා, ඒ අතර යම් කිසි පක්‍ෂග්‍රාහී වැඩකටයුතු, අකටයුතු සිදුවුනේදැයි අපට සිතා ගත නොහැක. ඔය කාලයේ ජවිපේ සිටි වීමලසිරි ගම්ලත් වැන්නවුන් ගේ ක්‍රියා හෙළිදරව් වුනේ පසු කාලීනව බව සළකන විට ඟෙය ඉතා වැදගත් කාරණයකි.
  3. ජවිපෙ වුවද, සභාගයට එක්වී ඇමතිකම් ගෙන කර ඇත්තේ තමන්ගේ පාක්‍ෂිකයින් සංස්ථා සභාපතිකම්වලට, ක්‍රියාකාරී අධක්‍ෂක තනතුරුවලට පත් කිරීම බව.
    මෙහි නම් සඳහන් කිහිප දෙනෙකුම මා පුද්ගලිකව දන්නා අය ය. පෙර කාලයේ විශ්ව විද්‍යාලයේ සමවාදී ශිෂ්‍ය සංගමයේ වැඩ කළ අයට යුඇන්පීයෙන් මෙවැනි තනතුරු පිණිනැමිණි. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ අපේ මිතුරන්ටද, එලෙසම තනතුරු ලැබී ඇත.
  4. අවසාන වශයෙන් ගෝත්‍රික මනසකින් යුතුව කිව යුත්තේ මෙයයි.
    කොහොමද, පේරාදෙනියේ ඉංජන්ගේ වැඩ?
    ;-)

-රසිකොලොජිස්ට්

(image: https://hollywoodhatesme.wordpress.com/2012/07/16/the-invisible-mans-best-pickup-line/)

Friday, 8 April 2016

බොනවා නම් චීන විස්කි බොමු! - Sour grapes?


වසර කිහිපයකට පෙර මා ලංකාවට ගිය එක් අවස්ථාවක, මා වැනිම නො රට සිට නිවාඩුවට පැමිණ සිටි මිතුරන් කිහිප දෙනෙකු සහ ලංකාවේ වාසය කරන තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් රාත්‍රී ආහාරය ගැනීමේ අවස්ථාවක් උදාවිය.

අප එදා ගියේ කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නාව අසල ම වාගේ පිහිටි ආපන ශාලාවකටයි. මේ ආපන ශාලාවේ අප අසුන් ගත් මේසයට ආසන්න මේස කිහිපයක ම සිටියේ චීන ජාතියකින් ය. ඔවුන් ගේ ප්‍රියතම පානය ලෙස මට පෙනී ගියේ කළු පැහැති ලේබලයෙන් යුතු අපි කවුරුත් වාගේ හොඳින් දන්නා මිශ්‍ර විස්කි වර්ගයයි. අපේ පිරිස ප්‍රිය කළේ සුදු පැහැති බීම ජාතියකට නිසා, මම එය මග හැර කුඩා බියර් කුප්පියකින් සංතර්පණය වුණෙමි.

විස්කි සඳහා ලොව සුපතල ප්‍රදේශය ස්කොට්ලන්තයයි. හෝටලයේ සිටි චීනුන් කණ්ඩායම ස්කොට්ලන්තයේ නිෂ්පාදිත මිශ්‍ර විස්කි පානය කළ ද, චීනයේ ද විස්කි නිපදවෙන බව මම දැන සිටියෙමි. මා මේ මෑතක් දක්වා ම නොදැන සිටි කරුණක් වෙන්නේ එකී චීන විස්කි වර්ග අතර ප්‍රමිතියෙන් මෙන්ම මිලෙන් ද ඉතා ඉහළ වර්ග කීපයක් ම ඇති බවය.

සතියකට පමණ ඉහත දිනයක අප කිහිප දෙනෙකුට තම අත්දැකීමක් විස්තර කරමින් ඊ-ලිපියක් එවූ මගේ මිතුරෙකු කියා තිබුණේ, කාගෙන් දෝ තෑග්ගකට ලැබුණු යම් වර්ගයක චීන විස්කි බෝතලයක් තමන් සමග හොංකොං හි සිට චීනය හරහා ඇමරිකාවට ගිය හැටිත්, එහිත්, වෙනත් මැද පෙරදිග රටකත් කාලයක් තිස්සේ නිරුපද්‍රිතව තිබී මෙයින් සති දෙකකට පමණ පෙර තමන් ගේ ඊළඟ සේවා ස්ථානය පිහිටි රටට යාමට නියමිත වූ දිනයට පෙර දිනයේ දී එහි මූඩිය විවර වූ හැටිත්, එදා තම මිතුරෙකුත් තමාත්, ඒ පානයේ ඇති අති සුමිහිරි බව අත්විඳ වශී වූ හැටිත් ය. ඔහු ගේ ඇගයීම අනුව, ඒ ඔහු පානය කර තිබූ විවිධාකාරයේ බීම අතරින් අගනාම බීම වර්ගයයි.

ඒ ඊ-ලිපිය දුටු මගේ මතකයට නැගුණේ මීට වසර ගණනාවකට පෙර දිනයක මා මුහුණ දුන් එක්තරා අපූරු සිදුවීමකි.

මේ සිදුවීම වූ කාලයේ මම "තිත්ත මිදි" පිළිබඳ ආචාර්ය උපාධි නිබන්ධනයක් ලියමින් වෙනත් විශ්ව විද්‍යාලයක සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටියෙමි. මට පැවරී තිබුණු එක් රාජකාරියක් වූයේ මුල් උපාධි අපේක්‍ෂකයින් ගේ පාඨමාලාවේ කොටසක් වූ වෙබ් අඩවි සංවර්ධනය පිළිබඳව සැකසුණු විෂයය ඒකකය සම්බන්ධීකරණය කිරීමයි. මේ විෂයය ඒකකය සඳහා හාරසියයක් පමණ සිසුන් විශ්ව විද්‍යාලයේ මණ්ඩප තුනක ලියා පදිංචි වී සිටි අතර, ඔවුන් සඳහා දේශන පැවැත්වීමට වෙනත් දේශකයින් දෙදෙනෙකු ගේ ද, විද්‍යාගාර සහායකයින් සිව් දෙනෙකු ගේ පමණ සේවය ද මට ලැබුණි.

දේශකයෙකු ලෙස මගේ කාර්යාලය තිබූ මණ්ඩපයේ පැවැත්වෙන දේශනය සහ එක් විද්‍යාගාර පන්තියක් භාරව කටයුතු කිරීමට අමතරව, සම්බන්ධීකාරක ලෙස මගේ වගකීමක් වූයේ විෂයය ඒකකයට අදාළ පාඨමාලාව සංවර්ධනය කිරීම සහ සියලුම සිසුන් ගේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමයි.

මේ විෂයය ඒකකයට අවසන් පරීක්‍ෂණයක් නොතිබුණු අතර විෂයය සමත්වීම සඳහා සිසුන්ට විද්‍යාගාර අභ්‍යාස, කෙටි විභාග සහ පැවරුම් හරහා ලකුණු ලබා ගත යුතු විය.

අවසන් පරීක්‍ෂණයක් නොමැති වීම, විද්‍යාගාරය පන්තිවලට පැමිණීම අනිවාර්ය නොවීම, පළමු වසර විෂයය ඒකකයක් වීම යනාදී විවිධ හේතු නිසා, මා සේවය කළ පරිගණක සහ තොරතුරු තාක්‍ෂණ පීඨයයේ සිසුන් විශාල පිරිසට අමතරව, අල්ලපු වැටේ පිහිටි ඉංජිනේරු විද්‍යා පීඨයේ සිසුන් ද මේ වෙබ් අඩවි සංවර්ධනය විෂයය ඒකකයට ලියා පදිංචි වුවද, ඒ අය අතරින් අතර මගදී හැලෙන්නන් (අත් හැර දමන්නන්) ගේ මෙන්ම, විෂයය ඒකකය ඇණ ගන්නන් (අසමත් වෙන්නන්) ගේ ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ඉතා ඉහළ විය. මා කලින් කියූ පරිදි මේ විෂයය ඒකකයේ අගැයීම් සෙමීස්ටරය පුරා සිදු වූ නිසා, අවසාන මොහොතේ දී පමණක් තමන් ගේ ලකුණු ප්‍රමාණය ඉහළ මට්ටමකට පත් කර ගැනීම ඉතා අපහසු කරුණක් විය.

මේ විෂයය ඒකකයේ සම්බන්ධීකරණය මට පැවරුණු පසු, පළමු සෙමීස්ටරයේ දී මේ කරුණු හොඳින් වටහා ගත් මා, දෙවන සෙමීස්ටරයේ දී ලියා පදිංචි වුණු කණ්ඩායම සඳහා සුවිශේෂී වැඩ පිළිවෙළක් හොඳින් සැලසුම් කර දියත් කළෙමි.

එහි ප්‍රධාන අංගයක් වූයේ, සෙමීස්ටරයේ මුල් අඩ තුළදී විද්‍යාගාර අභ්‍යාසවලට, කෙටි පරීක්‍ෂණයන්ට සහ පැවරුමට ලකුණු අඩුවෙන් ලබන සිසුන් සොයා ඔවුන්ට ඒ ගැන ඊ-මේල් මගින් දැනුම් දී, උපකාර සහ උපදේශ සැපයීමයි.

මේ කරුණු නිසා,
සිසුන්ට මා හමුවීම සඳහා මා වෙන් කර තිබූ පැය කිහිපය තුළ දී ද, ඉන් පිටස්තර දින සහ කාලවේලාවල දී ද, මා හමුවීමට මගේ කාමරයට එන පිරිස සාපේක්‍ෂකව ඉතා ඉහළ විය.

මේ සෙමීස්ටරයේ අවසන් සති කිහිපය තුළ එක් දිනක මගේ කාර්්‍යාල කාමරයේ දොරට තට්ටු කරනවා ඇසුණි. දොර විවර කළ විට ඒ ඉදිරියේ සිටියේ තරමක් හුරු පුරුදු මුහුණකින් යුතු කාන්තාවකි. ඒ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් බව මොහොතකින් පසක් විය. මේ ආකාරයට සිසුන් දේශකයින් හමුවීමට එන්නේ බොහෝ විට තමන් ගේ ලකුණු පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

මගේ ඇරයුමෙන් කාමරයට ඇතුළත පැමිණි ඇය අසුන් ගෙන ඇගේ නම සහ ශිෂ්‍ය අංකය පැවසුවා ය. මම පරිගණකයෙන් ඇගේ විස්තර සහිත වාර්තාව සොයා ගතිමි. ප්‍රශ්නය වී තිබුණේ මේ සිසුවියට හදිසියේම විදෙස් ගත වීම නිසා සති දෙකක දේශන සහ විද්‍යාගාර පැවරුම් අතපසු වීමයි.

මා වහාම විශ්ව විද්‍යාලයේ පැවති නීති රීතිවලට අනුකූලව ඒ පිළිබඳව නිසි උපදෙස් ලබා දුනිමි. ඒ විස්තරවලින් සෑහීමට පත් වූ ඇය පිටවී යන්නට සැරසී නැගී සිටියා ය.

මා ඇයට සමුදෙනවාත් සමගම ඇය තමා ළඟ එතෙක් තබාගෙන සිටි බෑගයකින් ගත් සිලින්ඩිකාකාර පාර්සලයක් මා වෙත දිගු කළාය.

"මේ මොකක්ද?" මම විමසුවෙමි.

"මේ චීන විස්කි වර්ගයක්. ගෙදර ගොස් එන විට ගෙනාවේ. ඔබට තෑග්ගක්!" ඇය කීවාය.

"එපා, බොහොම ස්තුතියි!" මම කාරුණිකව එය ප්‍රතික්‍ෂේප කරමින් කීවෙමි.

"කරුණාකරලා බාරගන්න!" එවිට ඒ චීන ජාතික සිසුවිය ආයාචනා කළේ "මගේ සැමියා තමයි කීවේ ඔබට තෑගි කරන්නට කියා" යනුවෙන් නිදහසට කරුණක් ද එකතු කරමිනි.

"නැවතත් බොහොම ස්තුතියි. නමුත්, විශ්ව විද්‍යාලයේ නීති-රීති අනුව මට ඔබෙන් තෑගි බාරගන්න බෑ!" මම ස්ථිරසාර හඬකින් කීවෙමි.

ඇය එය වටහාගත් සේ මද සිනාවක් පා කාමරයෙන් පිටත්ව ගියා ය.

නීති රීති සාදා තිබේ ද, නැති ද යන්න කෙසේ වුවත්, පාසලක හෝ විශ්ව විද්‍යාලයක වේවා, සේවා ස්ථානයක වේවා, මේ ආකාරයේ තෑගි දීමක් හෝ පිළිගැනීමක් නුසුදුසු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එදා තියා අද දක්වා ම එකී සුමිහිරි චීන විස්කි රහ බලන්නට කිසිදු අවස්ථාවක් නොලැබීම ගැන මට අබමල් රේණුවක තරම් හෝ දුකක් නැත!

-රසිකොලොජිස්ට්

(image: copyright DdeS)

Wednesday, 6 April 2016

වෙස්සන්තර නම් ආත්මාර්ථකාමියෙකි, එතකොට සුමනාවතී? - I dont get this!


මේ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට සහභාගී වීම සඳහා මා ලංකාවේ ගතකළ කාලයේ දී ලද අපූරු අත්දැකීමකි.

කාලය පිළිබඳ ප්‍රශ්නයක් නිසා හැකි තරම් කෙටියෙන් ලියන්නට අදහස් කරමි.

අපේ අම්මා සාමාජිකාවක් වන ගමේ වැඩිහිටි සමිතිය නිසා, මහලු වයසේ පසුවෙන, තම සැමියන් මිය ගොස් වැන්දඹුවී කල් ගත කරන, කිසිදු ආදායම් මාර්ගයක් නොමැති, විවාහ වූ දරුවකුගේ නිවසේ කල් ගත කරන, ජීවිතයේ මේ සෑඳෑ සමයේත් අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් වී සිටින කාන්තාවන් කීප දෙනෙකු ගැන මම දනිමි.

මගේ මවට වඩා වසර කිහිපයකින් වයසෙන් අඩු ඉන් එක් කාන්තාවක් විටින් විට පැමිණ මගේ මවට විවිධ උදව් උපකාර කිරීමට පුරුදු වී සිටියි. ඇය කලක් මගේ මවගේ තනියට නිවසේ නවාතැන් ගෙන ද සිටියාය. මගේ මව ද ඇයට හැකි අයුරින් උදව් උපකාර කරන්නීය. එය වින්-වින් තත්වයකි.

මෙවර ලංකාවේ මා ගත කළ කාලයේ දෙතුන් දිනක්ම ඇය නිවසේ දී මුණ ගැසුණි. අවසන් දිනයේ දී ද ඇය අප නිවසට උදේ පාන්දරින් ම ආවේ වෙනත් ගමනක් යාමට සැරසීය.

"පුතේ මේ නැන්දාට දැන් පැන්ෂන් එකක් ලැබෙනවා නේ. මේ ඒක ගන්න යන ගමන් ලු!" අම්මා පැවසුවාය.

මා දැන සිටියේ ඇයට කිසිදු ආදායමක් නොමැති බවකි.

"ආ, හොඳයිනේ. ළඟදී ඉඳලාද ඒ?" මම විමසුවෙමි.

"ඔව්, මෙයා කොහොම හරි ග්‍රාම සේවකට කියලා හදාගෙන. රුපියල් දෙදාස් පන්සීයක් ම ලැබෙනවා!" අම්මා කීවේ මද සිනාවකිනි.

ඒ මිතුරු සරදමක් බවත්, ඇයට ලැබෙන්නේ මසකටම රුපියල් දෙසිය පනහක් බවත් මම මොහොතකින් දැන ගත්තෙමි.

මා කළේ, "මෙන්න එහෙනම් මගෙනුත් නැන්දාට!" කියා රුපියක් දෙදහස් පන්සීයක් ඇය අතට දීමයි.

පැයක් පමණ කාලයක් අප නිවසේ ගත කළ ඇය පිටව යාමට කලින් මා අමතා කීවේ, "පුතා මං පන්සලේ කුළුණක් හදන්න රුපියල් අටදාහක් දෙන්න ලියලා තියෙනවා. පුතා දුන්නු සල්ලිවලින් ඒකට ගන්නම් පුතාටත් පින් සිද්ධ වෙයි!" කියාය.

මම තරමක විස්මයට පත්වීමි.

"අපෝ මට ඔය තියෙන පින් ඇති. ඔය සල්ලි කෑමට බීමට ගන්න!" මම ස්ථිරවම කීවෙමි.

කවුරුන් හෝ දෙන මුදලක් සහ මසකට ලැබෙන රුපියල් දෙසිය පනහේ පින් පඩිය හැර වෙනත් කිසිදු ආදායමක් නැති, ඥාතියෙකු ගේ නිවසේ තාවකාලිකව නතර වී සිටින ඇය වැන්නියක, ඇගේ තත්වයේ හැටියට අති විශාල මුදලක් වන රුපියල් අටදාහක් පන්සලේ කුළුණක් සෑදීම වැනි නොවැදගත් වැඩක් සඳහා දීමට පොරොන්දු වී ඇත්තේ, එයින් පින් ලැබේය, ඒ පින් බලෙන් මතු ආත්මයේ හෝ මීට වඩා හොඳ ජීවන තත්වයක් ලැබේය යන චේතනාවෙන් බව පැහැදිලිය.

ඒ ගැන මගේ අවුලක් නැත.

මා දුන් මුදල දැන් ඇගේ ය. එය ඇය කැමැති ආකාරයකට වියදම් කළ හැක. ඒ ගැන ද මගේ අවුලක් නැත.

නමුත්, මෙවැනි අයගේ වත්මන් අසරණකම සහ එ නිසාම ඇතිවෙන අනාගතය උදෙසා පින් කිරීමේ අවශ්‍යතාවය දඩමීමා කරගෙන කුළුණු වැනි අනවශ්‍ය ඉදිකිරීම් සැලසුම් කරන පන්සල් ගැන නම් මට ඇති වෙන්නේ කෝපයකි.

මගේ අතිරික්ත මුදල් එවැනි නිෂ්ඵල වැඩවලට දීමට වඩා නැති බැරි අයෙකුට දීමට මා කැමති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් මට ඇති අතුරු ප්‍රශ්නයක් නම්, මා දුන් මුදල ඇය පන්සලේ කුළුණ සෑදීම සඳහා පරිත්‍යාග කළහොත්, එයින් පිං ලැබෙන්නේ කාටද? ඇයට ද, මට ද? යන්නය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
වෙස්සන්තර නම් රජා රාජ්‍ය දේපල පමණක් නොව තම බිරිඳ සහ දරුවන් ද දන්දුන්නේ ආත්මාර්ථකාමී ප්‍රාර්ථනයක් සහිතව නොවේද?


(image: https://en.wikipedia.org/wiki/Blind_Faith)

Monday, 4 April 2016

ජනාධිපති ර. ප්‍රේමදාස සහ අගමැති ඛලීඩා ෂියා ගැන පරණ කතාවක පුනරුත්පත්තිය! - To shake or not to shake


පසුගිය දිනවල කාර්යාලයේ දී අසන්නට ලැබුණු සිදුවීම් දෙක තුනක් නිසා එයට යම් ආකාරයක සම්බන්ධයක් ඇති මේ අතීත සිදුවීම මගේ සිහියට නැගුණි.

ලංකාවේ ජනාධිපති ර. ප්‍රේමදාස සහ බංගලාදේශයේ අගමැති ඛලීඩා ෂියා සම්බන්ධයෙන් මේ විස්තර කරන්නට යන නිරීක්‍ෂණය මා කළේ 1991 වසරේ, දෙසැම්බර් මාසයේ, විසිඑක්වෙනිදා ය.

මෙහිදී එතරම් පැහැදිලිව ඒ දිනය මට පැවසිය හැක්කේ මගේ අතිශය නිරවුල් මතකයක් නිසාම නොව, මේ අදාළ නීරීක්‍ෂණය, ලංකා ඉතිහාසයේ ලියවී ඇති අන්තර්ජාතික මට්ටමේ සිදුවීමක් හා කෙළින්ම සම්බන්ධ නිසා ය.

ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින සහ භූතානය යන රාජ්‍යයන් එකමුතු වී ගොඩ නගා ගන්නා ලද සාර්ක් හෙවත් දකුණු ආසියානු කලාප සහයෝගීතා සංගමය ගැන අපි හොඳින් දනිමු.

මේ සංගමයේ රාජ්‍ය නායකයින් ගේ සමුළුවක් ඉහත සඳහන් දිනයේ දී කොළඹ දී පැවැත්වුණු අතර එහි සමාරම්භක උත්සවය ජාතික රූපවාහිනිය මගින් සජීවීව ප්‍රචාරය කරන ලදී.

අප දන්නා පරිදි, ලෝකයේ සාක් රටවල් පිහිටා ඇති මුල්ලේ වෙසෙන ජනයා අතර එකිනෙකාට ආචාර කිරීමේ ප්‍රධාන ක්‍රමය නම් අත් එකිනෙක බැඳ ඉහළට ඔසවා ආයුබෝවන්, නමස්තේ, නමස්කාර්, නමොෂ්කාර්, වණක්කම් වැනි දේශීය පදයකින් සංග්‍රහ කිරීමයි.

මීට අමතරව, ගෝලීය ආචාර ක්‍රමයක් වෙන අතට අත දී අල්ලා සෙලවීම හෙවත් ෂේක් හෑන්ඩ් කිරීම ද, බහුලව සිදු වේ. විශේෂයෙන් ම දෙරටක දෙදෙනෙකු මුණ ගැසුණු විට, ඒ අන්තර්ජාතික ක්‍රමයට ආචාර කිරීම සාමාන්‍ය සිරිතයි.

එදා සාර්ක් සමුළුවේ සංග්‍රහකාරක රටේ නායකයා වූ ජනාධිපති ර. පේ්‍රමදාස, ඉන්දියාව නියෝජනය කරමින් පැමිණි (හින්දු ආගමික) අගමැති රාවෝ ද, භූතානයේ (බෞද්ධ) රජු (වැන්ග්චක්) ද, මාලදිවයිනේ එවකට ජනාධිපති ඉස්ලාම් ආගමික අබ්දූල් ගයූම් ද, පකිස්ථාන් අගමැති නවාස් ෂරීෆ් ආදී විවිධ රාජ්‍ය නායකයින් පිළිගත්තේ ඒ ආකාරයට අතට අත දී අල්ලා සෙලවීමෙනි.

නමුත් මා හොඳින් නිරීක්‍ෂණය කළ පරිදි බංග්ලාදේශ අගමැතිනිය වූ, ඛලීඩා ෂියා එදින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව කරා ළඟා වූ විට සිදුවූයේ අමුතුම ආකාරයේ දෙයකි.
  • ඛලීඩා ෂියා මෝටර් රථයෙන් බැස ඉදිරියට ආවාය.
  • ර. ප්‍රේමදාස අත් ඔසවා කෙරෙන (ආයිබෝවන් ක්‍රමයේ) ආචාරය කළේ නැත.
  • ඛලීඩා ෂියා ද අත් ඔසවා කෙරෙන (නමොෂ්කාර් ක්‍රමයේ) ආචාරය කළේ නැත.
  • ර. ප්‍රේමදාස අතට අත දී සොලවන්නට තම අත ඉදිරියට යොමු කළේ ද නැත.
  • ඛලීඩා ෂියා ද අතට අත දී සොලවන්නට තම අත ඉදිරියට යොමු කළේ නැත.
  • දෙන්නා ඔහේ දික්කසාද වුණු ජෝඩුවක් පසු දිනයක නඩත්තු නඩුවක් සඳහා උසාවියේ දී හමුවුණාක් මෙන් හිටගෙන සිටයහ.
ඉන් පසු එතැනට ළඟා වූ රාජ්‍ය නායකයින් ට ජනාධිපති ර. ප්‍රේමදාස පෙර මා කී පරිදි අන්තර්ජාතික ක්‍රමයට ආචාර කළේය.

අපට වටහා ගත හැකි පරිදි මෙතැන දී සිදුවෙන්නට ඇත්තේ මෙයයි.

ඛලීඩා ෂියා මුස්ලිම් කාන්තාවක්, ඇය මගේ මතකයේ හැටියට වැන්දඹුවකි, නිසා ඇය වෙනත් පිරිමියෙකු ගේ අත නො අල්ලයි.

එසේම, බංග්ලාදේශය ඉන්දියාව ගොඩ බිමෙන් සම්බන්ධ දකුණු ආසියානු රටක් වුවද, ඔවුන් කාලාන්තරයක් තිස්සේ මුස්ලිම්කරනය වී ඇති නිසා, ලංකාව ඉන්දියාව ඇතුළු රටවල කෙරෙන අත් එකතු කොට නමස්තේ/ආයුබෝවන් ආචාරය ද ඔවුන් ගේ රාජ්‍ය නායකයාට අකැප වී ඇත.

එනිසා ඛලීඩා ෂියාට සහ ර. ප්‍රේමදාසට සිදුවූයේ බකං නිලා සිටීමටයි. සමහර විට ටෙලිවිෂන් කැමරාවට අසු වෙන නොවෙන ආකාරයේ හිස සෙලවීමක් හෙවත් නොඩින් කිරීමක් ද, වචනයක් දෙකක් හුවමාරුවක් ද සිදුවෙන්නට ඇත.

සාමාන්‍යයෙන් මේ ආකාරයේ අන්තර්ජාතික හමුවීම්වලට පෙරාතුව සිදුවෙන පරිදි ඛලීඩා ෂියා කිසිදු ආචාරයක් නොකරන බව බංග්ලාදේශයේ තානාපති කාර්යාලය විසින් ර. ප්‍රේමදාස ගේ ජනාධිපති කාර්යාලයට දැනුම් දී තියෙන්නට ඇත. එසේම, ඛලීඩාට අතට අත දෙන්නට උත්සාහ නොකරන ලෙසට, ර. ප්‍රේමදාසට උපදෙස් ලැබී තියෙන්නට ඇත. එසේ නොමැතිව පුරුද්දට මෙන් අත දිගු කරන්නට ගියා නම් සිදුවන්නේ එසේ මෙසේ අපහසුතාවක් නොව රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ අපහසුතාවක් හෙවත් එම්බැරේස්මන්ට් එකකි.

මට ඒ අතීත කතාව සිහිවූයේ අපේ කාර්යාලයේ සේවය කරන මිතුරු මැවිසුරුවියකගෙන් අසන්නට ලැබුණු කතා දෙක තුනක් නිසා ය.

මීට වසරකට පමණ පෙර ඇයට කාර්යාලයේ අලුත් තනතුරක් ලැබුණු දින එය දැනගත් වෙනත් ඉංජිනේරුවෙකු ඇය අසලට පැමිණ "කන්ග්‍රැජුලේෂන්ස්" කියා වචනයෙන් සුබපතා ඇත. බංග්ලාදේශයෙන් සංක්‍රමණය කළ ඉස්ලාම් භක්තිකයෙකු වූ ඔහු ඒ සමගම පවසා ඇත්තේ, "සොරි බට් අයි වොන්ට් බී ඒබල් ටු ෂේක් හෑන්ඩ්ස් විත් යූ ඇස් අයි ඩොන්ට් ෂේක් හෑන්ඩ් විත් විමෙන්" කියා ය.

එය ඇසූ ඇය විස්මයට පත් වී ඇත. ඇගෙන් ඒ කතාව ඇසූ මම ද කරුණු කිහිපයක් නිසාම විස්මයට පත්වීමි.

ඉන් ප්‍රධාන කරුණ වූයේ, අන්තවාදී මුස්ලිම් සමාජවල කාන්තාවන්ට විවිධ පීඩාකාරී තහනම් නීති පැනවී තිබුණ ද, පිරිමින්ට මත්පැන් බීම හෝ සූකර මාංශ කෑම හැර මේ ආකාරයේ නීති තිබෙන බවක් මා නොදැන සිටීමයි.

දෙවැනි කරුණ නම්, සාමාන්‍යයෙන් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගී වීමේ දී, අනිවාර්යෙන් අතට අත දෙන්නට සිදුවෙන නිසා, එවැනි අවස්ථාවක දී, සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ ඉන්නා කාන්තාවකට අතට අත නොදී සිටීම යනු සාමාන්‍යයෙන් රැකියා අපේක්‍ෂකයෙකු කිරීමට නො සිතන දෙයක් වීම නිසාත් ය.

අතට අත දීම ප්‍රතික්‍ෂේප කිරීමේ මේ ආකාරයේ ම තවත් අත්දැකීමට මුහුණ දෙන්නට මගේ කාර්යාලයේ මිතුරියට පසුව සිදුවී ඇත. ඒ අලුතින් පියෙකු වූ වෙනත් ඉස්ලාම් භක්තික මැවිසුරුවෙකුට සුබ පතන්නට ගොසින් ය.

මේ අතට අත නොදීමේ ප්‍රතිපත්තිය ඉස්ලාම් භක්තිකයින් එක් කෙනෙකු දෙන්නෙකුට පමණක් අදාළ කරුණක් නොවෙන බව n=3 සඳහා ද එය සත්‍යවීම නිසා වැටහේ.

මේ තුන්වෙනි අවස්ථාවේදී සිදුවී ඇත්තේ එකම ආයතනයේ වෙනත් කාර්යාලයක සිට අපේ කාර්යාලයට සේවය සඳහා පැමිණීමට නියමිත, නැවතත් ඉස්ලාම් භක්තිකයෙකු වන මැවිසුරුවෙකු, ඔහු එසේ පැමිණීමට දිනකට පෙර ඒ කොටසේ සේවය කරන මා පෙර කී කාන්තාව සහ තවත් යෙකට, තමන් ප්‍රතිපත්තියක් වශයෙන් කාන්තාවන්ට අතට අත නොදෙන බවත්, ඉදිරියේදී සිදුවිය හැකි අපහසුතාවන් මග හරවා ගැනීම පිණිස ඒ බව මෙසේ දන්වන බවත් කියමින් ඊ-මේලයක් එවූ නිසා ය.

මා කලින් කීවාක් මෙන් සාමාන්‍යයෙන් ගෑනුන්ට පමණක් පීඩාකාරී නීති දමන පිරිමින් අතර මේ ආකාරයේ තමන්ට ද ඒ ආකාරයේම පීඩාකාරී නීති පනවා ගන්නා අය ඇති බව මේ සිදුවීම නිසා මම දැන ගතිමි.

මේ පුද්ගලයින් තිදෙනාගේ බිරින්දෑවරුන්ට මීට වඩා දරුණු පීඩාකාරී නීතිවලට අනුකූලව ජීවත්විමට සිදුවී තිබෙනවා විය හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කාන්තාවන්ට පීඩාකාරී නිති දමන්නේ අන්තවාදී මුස්ලිම් සමාජවල පමණක් නොවේ. ලංකාවේ සිංහල බෞද්ධ ජනකොටස් අතරේ ද එවැනි මානව විරෝධී නිති ඇත.

ගුරුවරියන් සාරි ඇඳිය යුතුය යනුවෙන් නොනිල නීතියක් ඇති බව සත්‍යයකි. පිරිමි ගුරුන්ට එසේ නොනිල තහනමක් නැත. අවැසි පරිදි යුරෝපියානු කලිසම ඇඳිය හැක.

පාසලට එන අම්මලා සාරි ඇඳිය යුතුය යනුවෙන් ද නිල වශයෙන් තහනමක් ඇති බව මා මේ ළඟදී දැන ගත්තේ එය ඉවත් කරන්නට යනවාය යන ආරංචිය සමගයි.

අතට අත දීමේ තහනමක් ගැන පැවසුණු මේ ලිපිය අවසාන කරන්නට පෙර මෙය ද පැවසිය යුතුය. අතට අත දී ආචාර කීරීම කෙසේ වෙතත් ගැහැණු පිරිමි දෙදෙනෙකු අතිනත පටලාගෙන සිටීම, බුද්ධ ධර්මයට අවුලක් නොවුන ද, බුඩ්ඩාගං සංස්ථාවට නම් අගෝචර දෙයක් බව පෙනෙන්නට ඇති බවයි!

(image: http://www.serendib.btoptions.lk/article.php?id=1540&issueId=59)

Friday, 1 April 2016

වසල කහකඩයින්ට දිය යුතු උත්තර දෙමු! - Shitmonks


තමා රහත් බවට පත්වූවෙකු යැයි තමන්ම පවසා ප්‍රසිද්ධිය ලැබූ පිටිදූවේ සිරිධම්ම නම් සිවුරුධාරියා ගැන අපි බොහෝ දෙනා දනිමු. ඔහුගේ විසිතුරු උපන්දින සාද නිසා ද ඔහු එසේම ප්‍රචලිතව ඇත. විටින් විට සමාජ මාධ්‍ය ජාලයන් හි හුවමාරු වෙන වීඩියෝවලින් මා දැක ඇත්තේ මේ චීවරධාරියා සිංහාසනයක් වැනි පුටුවක එක් ගාතයක් ද උඩට නමා ගොං රාජ සෙයියාවකින් අසුන්ගෙන බයිලා ගසමින් සිටිනාකාරයයි.

ළඟදී ඔහු පැවසූ එක් අවලම් කතාවක් වූයේ පෙර හොර රජුන් අනුභව කළ ආකාරයට රාජ භෝජන නොවළදා තවමත් තමන් ගේ බිරිඳ විසින් පිස, කෙසෙල් කොළයක ඔතා දෙන බත් මුලක් දිවා ආහාරයට ගන්නා ජනාධිපති සිරිසේන එනිසාම ජනාධිපතිවරයෙකු නොව ග්‍රාම සේවකයෙකු බවයි.

එවැනි වසල කතාවක් මා මීට පෙර අසා නැත!

ඒ කෙසේ වෙතත්, මා මේ ලියන්නේ මේ ආකාරයේ මගේම අත්දැකීමක් කියන්නටයි.

නිවාඩුවට ලංකාවට පැමිණි පසු සැමදා කෙරෙන මගේ එක් කර්තව්‍යයක් වනුයේ ඥාතීන් ගේ නිවෙස් කරා නෑගම් යෑමයි. මේ එක් ගමනකදී මගේ එක් වැඩිහිටි ඥාතියෙකු පැවසූ කතාවකින් මම තූෂ්නිම්භූත වීමි.

මගේ ඥාතියා තම ජීවිතයේ අටවෙනි දශකයට පා තබන විශ්‍රාමලත් ගුරුවරියකි. ඇය මා සමග පැවසූයේ, තමා පාසලේ සේවය කරන සමයේ වූ එක්තරා සිදුවීමකි.

ඒ පාසලේ විදුහල්පති වී සිට ඇත්තේ භික්‍ෂුවකි. පාසල් නිවාඩු කාලයේ තවත් පිරිසක් හා එක්ව දඹදිව වන්දනාවක නිරතවී ඇති මගේ ඥාතියා, නව වාරයේ පාසලට ගොස් ඇත්තේ ඇය ඉන්දියාවේ දී මිලට ගත් සාරියක් ඇඳ ගෙනය.

විදුහල්පති භික්‍ෂුවට ත්‍යාගයක් ලෙස ඉන්දියාවෙන් යමක් රැගෙන විත් තිබුණු නිසා, එය ඔහුට ලබා දීමට මගේ ඥාතියා කාර්යාලයට ගොස් ඇත.

ඇගේ අලුත් සාරිය දුටු සැණින් මේ විදුහල්පති භික්‍ෂුව පවසා ඇත්තේ "අයියෝ මල්ලිකා මිස් මොකක් මේ ඇඳලා ඉන්නේ. මේ අර ඉන්දියාවේ කක්කුස්සි හෝඳන ගෑනු අඳින සාරියක් නේද?" කියායි.

මගේ ඥාතියා ඒ කතාවෙන් කොයි තරම් දුකට පත් වී ඇතිද යත්, ඊට වසර දශකයකටත් පසුවත් මා සමග "අනේ පුතේ, මං කවදාකවත් ඒ සාරිය ආපහු ඉස්කෝලේ යන්න ඇන්දේ නෑ!" කියා පැවසූයේ දුකිනි.

"ඉතිං පොර එහෙම කීවාම පුංචි අම්මා මොකක් ද කීවේ?" කියා මා ඇසුවේ සිතේ කෝපය හිර කරගෙනය.

"අනේ පුතේ මං මොකුත් කියන්න ගියේ නෑ ප්‍රින්සිපල් සාදුට!" ඇය තවමත් දුක්මුසු වූ හඬින් කීවාය.

"ඇයි පුංචි අම්මා කීවේ නැත්තේ ඔව් සාඳු මේ ඒ කක්කුස්සි හෝදන අය අඳින සාරියක් තමයි, ඇත්තටම මේක සුනීත ගේ අම්මා ගේ සාරියමයි කියලා?"

මගේ කතාවට පිළිතුරු ලෙස ලැබුණේ මද සිනාහවක් පමණි.

ඒ විදුහල්පති භික්‍ෂුව ද වසලයෙකු බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙවැනි වසල කහකඩයින්ට වන්දනාමාන කරන අයත් සිටී ද?

-රසිකොලොජිස්ට්

(image: https://www.youtube.com/)