Tuesday, 31 May 2016

නොකියා නොහොත් නොවැදගත් නොස්ටැල්ජික් නෝට්ස් - Dont worry about reading


"මම ආමි!" කියා කවුරුන් හෝ කී විට "ආ, ඇත්තද? මං හිතුවේ නේවි ය කියලා!" යැයි කියවෙන සරදම් බස විචාරකලා, කල්‍යාණ මිත්‍රලා, නොකී කතාලා පමණක් නොව ඔහේලා අපි ද දනිමු. ඒ ආකාරයේ ම තවත් පට්ට ගැසූ කෑල්ලක් වනුයේ "මං නොකියා එකක් ගත්තා!" කීමත්, එයට පිළිතුරු ලෙස, "ඇයි ඉතිං නොකියාම ගත්තේ?" හෝ "ඇයි ඉතිං කලින් නොකීවේ?" හෝ "කමක් නෑ පස්සේ හරි මතක් කළා නේ!" වැනි යමක් කීමයි.

මම ද, වසර 1999 දී නොකියාම නොකියා එකක් ගත්තෙමි.

ඕස්ට්‍රේලියාවේ මා දන්නා කාලයේ සිට ක්‍රියාත්මක වුණු ජංගම දුරකථන සමාගම් වූ ටෙල්ස්ට්‍රා සහ ඔප්ටස් ද්වයට අමතරව මේ වන විට වෝඩාෆොන් නම් යුරෝපියානු ජංගම දුරකථන සමාගමේ ශාඛා ජාලයක් ද ඇරඹී තිබුණු අතර, මගේ මතකයට අනුව, මූලිකව සීඩීඑම්ඒ තාක්‍ෂණය හරහා ක්‍රියාත්මක වූ ඔරේන්ජ් නම් වූ ජාලයක් ද ඇරඹී තිබුණි.

තරගකාරීත්වය නිසා ජංගම දුරකථන වෙළඳ පොළ රත් වී තිබුණු මේ සමයේ සෑම සමාගමකම පාහේ කෙටිකාලීන අරමුණ වූයේ තමන් ගේ පාරිභෝගිකයින් සංඛ්‍යාව වැඩි කර ගැනීමයි. මේ සඳහා, රාත්‍රී කාලයේ එකම ජාලවල ජංගම දුරකථන අතර නොමිලේ ඇමතුම් වැනි වෙළඳ උපක්‍රම ඔවුන් විසින් භාවිත කරන ලදී. විශේෂයෙන් ම ජංගම දුරකථන සමාගම්වල සේවා නැවත අළෙවි කරන සමාගම් නොහොත් රී-සෙලර්ස් විසින් පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට අසමසම සේවාවන් ලබා දෙන ලදී.

මේ සඳහා හොඳම උදාහරණය වූයේ ඔප්ටස් සමාගම විසින් සැම සතියේ දිනකම රාත්‍රී අටේ සිට මැදියම දක්වාද, සති අන්තෙයේ සෙනසුරාදා රාත්‍රී අටේ සිට ඉරිදා අවසානය දක්වා ද වරකට විනාඩි විස්සක් තම ජාලයේ දුරකථන අතර නොමිලේ ඇමතීමට ඉඩ දුන් "යර්ස්-ටයිම්" නම් සැළසුමයි.

අලුතෙන් ම පිටියට බට වෝඩාෆොන් තමන් ගේ ජාලයට එක්වන ගිනුම් හිමියන් සඳහා පෙර කී යර්ස්-ටයිම් කාලයේ ඕනැම ස්ථිර දුරකථනයකට නොමිලේ මසකට විනාඩි 200 ක් ඇමතීමට හැකි සැළසුමක් ඉදිරිපත් කළේය. ඔවුන් ගේ සේවා නැවත විකුණන සමාගමක් විසින් එක්තරා විශේෂී කාල සීමාවක මේ නොමිලේ ඇමතුම් විනාඩි ප්‍රමාණය දෙගුණයක් කර ලබා දුනි.

මා නොකියාම නොකියාවක් ගත්තේ ඒ සමාගමෙන්, ඒ විශේෂ දීමනා කාලයේ ය.



මට ලැබුණු, නොකියා 6210 (හෝ ඒ සමාන මොඩල අංකයක) ජංගම දුරකථනය සඳහා මට ගෙවීමට සිදුවූයේ එක් ඩොලරයක් පමණක් වූ අතර, මසකට ඩොලර් නමයක ගාස්තුවකට මට පෙර කී පරිදි විනාඩි 400 නොමිලේ ඇමතුම් ලැබුණි. ඉතාමත් හදිසි වැඩකට මිස ජංගම දුරකථනයක් භාවිතා කිරීමට මේ වන විටත් සෑබෑ අවශ්‍යතාවක් නොතිබුණු නිසා, මට අමතර ඇමතුම් සඳහා ගෙවිය යුතු වූයේ කලාතුරකින් සුළු මුදලක් පමණි.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ "එස්එම්එස්" නොහොත් කෙටි පණිවිඩ සේවය ආරම්භ වී තිබුණු අතර ඒ සඳහා ගාස්තුව ශත විසිපහක් (අද මුදලින් රුපියල් තිහක්) ද විනාඩියක ඇමතුමක් ශත හැටක් ද පමණ විය.

මගේ නොකියාවේ ස්ථාවරව ස්ථාපනය කර තිබුණු "ස්නේක්" සහ "ස්පේස් ඉම්පැක්ට්" ක්‍රීඩා තවමත් මගේ මතකයේ ඇත!

එතැනින් ඇරඹුණු මගේ නොකියා සම්බන්ධයේ ඊළඟ පියවර වූයේ ප්‍රමාණයෙන් වඩාත් සුරුබුහුටි මොඩලයක් වූ 3310 (හෝ එවැනි ඟොඩලයක) ජංගම දුරකථනයි. එය මගේ බිරිඳ දෙවසරක් ම පාවිච්චි කළ පසු, මා ඇය ගේ උපන් දිනයට 2004 දී කැමරාවකින් ද, අන්තර්ජාල සම්බන්ධතාවකින් ද, වීඩියෝ ඇමතුම් දීමේ පහසුකමින් ද යුතු වූ මෝටරෝලා දුරකථනයක් මිළට ගෙන දුන් පසුව, ඉවත් කරන ලද දුරකථනය විය.



මද කලකට පසු ඒ දුරකනය ක්‍රමයෙන් අභාවයට යන ලකුණු පෙන්වන්ණට වූ අතර, මා එවර මිලට ගත්තේ ද නොකියාවකි. එය කිසිම සමාගමක් සමග ගිවිසුමකට නොබැඳී, අද ලංකාවේ අති බහුතරයක් දෙනා කරන්නාක් මෙන්, පෙර ගෙවීම් හෙවත් රී-ලෝඩ් ක්‍රමයෙන් භාවිතා කිරීමට ගත් අඩු මිල දුරකථනයක් විය.

වසර 2007 දී මා විශ්ව විද්‍යාල කෙරුවාවෙන් මිදී, වෘත්තීමය වෙනසක් පතා, බිස්නස් ඇනලිස්ට්වරයෙකු සේ ප්‍රාන්ත රජයේ සේවයට බැඳුනෙමි. මගේ කළමනාකරුවා අත තිබූ බ්ලැක්බෙරි නම්, සම්පුර්ණ QWERTY යතුරු පුවරුව ද, මුහුණතේ ඉතිරි අඩක් පැතුරුණු විශාල තිරය ද සහිත ජංගම දුරකථනය මා නෙත ගැටුණේ එහිදී ය.

එතැන් සිට කතාව වෙනම ම ලිවිය යුතු ය.

-රසිකොලොජිස්ට්

(images: http://en.yeni.mobi/images/?q=Nokia+logo; https://en.wikipedia.org/wiki/Nokia_6210; http://www.neogaf.com/forum/showthread.php?t=633931)

Monday, 30 May 2016

එරික්සන් සිට සැම්සුන් දක්වා කථාවේ ඇරඹුම (පුද්ගලිකයි නමුත් රහසිගත නැත)! - Ericson to Samsung


මා මුලින් ම ජංගම දුරකථනයක් මිලට ගත්තේ 1998 වසරේ නොවැම්බර් මාසයේ දී ය. ඒ හුදෙක් ආශාවට කළ මිල දී ගැනීමක් නොව ඇත්තට ම අවශ්‍යතාව නිසා කළ එකකි.

එවකට මෙල්බර්න් මහ නගරයේ තදාසන්න ප්‍රදේශයක පදිංචිව සිටි අපි, ඒ වසරේ දෙසැම්බර් මාසයේ සතියක පමණ කාලයක් ඕස්ටේ‍ර්ලියාවේ අග නගරය වන කැන්බරා නුවර සහ සිනුවර හෙවත් සිඩ්නි නගරය දැක බලා සිරි නැරඹීමේ චාරිකාවක් සැලසුම් කළෙමු.

ලංකාවේ සිට සංක්‍රමණය කළ දිනයේ පටන් සෑම සති දෙකකටම වරක් බැගින් බිරිඳත්, මාත් දෙදෙනාම, ලංකාවේ සිටින දෙමව්පියන් ගේ සහ ඥාතීන් ගේ සුව දුක් විමසීමට දුරකථනයෙන් කතා කරන්නට පුරුදු වී සිටියෙමු. මා ගිය සතියේ ලියා පළ කළ ලිපියේ සඳහන් වූ පරිදි, මගේ දෙමව්පියන් ගේ නිවසේ ඒ වන විටත් දුරකථන පහසුකම නොතිබුණු නිසා, මා නම් කතා කළේ මගේ සොහොයුරා ගේ කාර්යාලයටයි.

කැන්බරා හරහා සිඩ්නි චාරිකාව සම්බන්ධයෙන් අපට ඇති වූ එක් ගැටලුවක් නම්, නිවසෙන් බැහැරව සිටින ඒ සතියක කාලයේ දී, අප ලංකාවට දුරකථන ඇමතුම් දෙන්නේ කෙසේද යන්න ම නොව, ලංකාවෙන් අපට හදිසි ආරංචියක් දෙන්නට අවශ්‍ය වුවහොත්, ඔවුන් අපව සම්බන්ධ කර ගන්නේ කෙසේ ද යන්නයි.

ඒ සඳහා ඇති හොඳම නම්, අප ජංගම දුරකථනයක් ලබා ගෙන, නිවසේ දුරකථනයට ලැබෙන ඇමතුම් එහි අංකයට තාවකාලිකව හැරවීම බව මට වැටහුණි.

ඒ සමගම කිලෝමීටර් දෙහසක් පමණ වූ මේ චාරිකාවේ දී, අප ගමන් ගන්නා මෝටර් රථයට ආපදාවක් වුණහොත් පිහිටාධාර ලබා ගැනීම සඳහා පහසු සන්නිවේදන ක්‍රමයක් ද අපට අවශ්‍ය වුණි.

මේ කරුණු සලකා මම මගේ මුල්ම ජංගම දුරකථනය මිලට ගැනීමට සැරසුණෙමි.

දිනවල, ඕස්ටේ‍ර්ලියාවේ ජංගම දුරකථන ජාලා දෙකක් (ටෙල්ස්ට්‍රා සහ ඔප්ටස්) තිබුණු අතර, ඒ සමාගම් දෙකෙන් ම ජංගම දුරකථනයක් සහ සම්බන්ධතාවක් ලබා ගැනීමේ ක්‍රම දෙකක් විය.

එක් ක්‍රමයක් වූයේ පෙර ගෙවීම් ක්‍රමය හෙවත් දුරකථනය සමාගමෙන් ඔවුන් නියම කර ඇති මුදල ගෙවා මිලට ගෙන, තමන් දුරකථන සේවාව භාවිතා කරන ප්‍රමාණයට අඩු වී යන පරිදි එහි ගිණුමට නිතිපතා මුදල් බැර කිරීමයි. එසේත් නැති නම් රී-ලෝඩ් කිරීමයි. සමාගම් දෙකේ ම මේ ක්‍රමය යටතේ අදාළ මිල ගෙවා හිමිකර ගත හැකි ජංගම දුරකථන කිහිපයක් බැගින් තිබුණි. මේ දුරකථන සෑමෙකක් ම අදාළ සමාගමේ ජාලය හරහා පමණක් භාවිතා කළ හැකි පරිදි සකසා තිබුණු අතර, එනිසා ම ඒවායේ මිල නිෂ්පාදන මිලට වඩා අඩු විය. ඒ සමගම, ඒ කාලයේ වුව ද තත්වයෙන් ඉහළ, මිලෙන් වැඩි, ජංගම දුරකථන මේ ක්‍රමය යටතේ හිමි කර ගත හැකි නොවුණු බව ද කිව යුතු ය.

දෙවැනි ක්‍රමය වූයේ, මාසික සැලසුමකට අනුව මුදල් ගෙවීමට දුරකථන සමාගමක් හා නිශ්චිත කාලයකට ගිවිසුමකට බැඳී ඒ සමග දුරකථනයක් හිමිකර ගැනීමයි. මේ ක්‍රමය යටතේ හිමි කර ගත හැකි දුරකථන හැමෙකක් ම ඉහළ ප්‍රමිතියේ ඒවා වු අතර අදාළ ගිවිසුම බොහෝ විට වසර එකහමාරක් හෝ දෙකක් සඳහා විය.

ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ගෙන් අති බහුතරයක් දෙනා අනුගමනය කරන ක්‍රමය වන දුරකථනය සම්පුර්ණ මුදලම ගෙවා මිලට ගැනීමේ ක්‍රමයක් ඒ දිනවල ජනප්‍රියව නොතිබුණි. එසේ කිරීම අද ද ඕස්ටේ‍ර්ලියාවේ දී නම් බොහෝ විට ලාභදායී ක්‍රමයක් නොවේ.

ඩොලර් සීයයක පමණ මුදලක් ගෙවා, මා මුලින් ම මිලට ගත්තේ සාමාන්‍යයෙන් ගඩොල් කාලක් පමණ ප්‍රමාණයේ වූ, කුඩා නමුත් ස්ථිරව සවි කෙරුණු ඇන්ටෙනාවකින් ද, එක පේළියේ දර්ශන තිරයකින් ද, මුහුණත පුරාම විහිදුණු යතුරු පුවරුවකින් ද යුතු එරික්සන් දුරකථනයකි. මෙය සෝනි එරික්සන් නොවේ. මේ ඊට පෙර කාලයයි. අවශ්‍ය නම් වෙනස් කළ හැකි, වර්ණ තුනක මුහුණත් තහඩු ද ඒ සමගම ලැබුණි.

මේ දුරකථනය හිමිකර ගැනීම සඳහා මට මාසිකව ඩොලර් විස්සක් බැගින් ගෙවීමට මාස දහ අටක ගිවිසුමක් අත්සන් කිරීමට සිදු වූ අතර, ඒ මුදලින් මට මසකට ඩොලර් දහයක වටිනාකම ඇති ඇමතුම් ලබා ගත හැකි විය. ඒ ප්‍රමාණය පසු කළ පසු මා ලබා ගන්නා ඇමතුම් සඳහා අමතර මුදල් ගෙවිය යුතු විය.

මේ දිනවල, ජංගම දුරකථන සම්බන්ධතාවක් ලබා ගැනීමට මූලික ගාස්තුවක් ලෙස ඩොලර් හැටක් පමණ ගෙවිය යුතු වූ අතර, සමහර සති අන්තයන් හි දී, වෙළඳ උපක්‍රමයක් ලෙස මේ ගාස්තුව අය නොකරන ලදී. මා එරික්සන් ජංගමය ලබා ගත්තේ එවැනි සති අන්තයක දී ය.

මාස දහ අටේ ගිවිසුම් කාලය ගෙවී, තවත් වසරක් පමණ ගත වූ පසු, භාවිතයේදී සිදුවුණු අත් වැරදීම්, බීම වැටීම් යනාදිය නිසා එහි අත්‍යාවශ්‍ය කොටසක් වුණු කුඩා නමුත් ස්ථීර ඇන්ටෙනාව කැඩී යන තුරුම මම ඒ එරික්සන් දුරකථනය භාවිතා කළෙමි.

භාවිතා කළා ය කීවාට නිවසෙන් පිටත යන විට සාක්කුවේ දමා ගෙන ගියෙමි. නියමිත ඩොලර් දහයේ ප්‍රමාණය ඉක්මවා ගොස් මට ඔප්ටස් සමාගමට අමතර මුදල් ගෙවන්නට සිදුවුණේ ඉතා කලාතුරකිනි. ඉන්ටර්නෙට් පහසුකම් තියා කෙටි පණිවිඩ සේවාව පවා නොතිබුණු ඒ යුගයේ ජංගම දුරකථනයකින් කළ හැකි එකම කර්තව්‍යය වූයේ තවෙකෙකුට කතා කිරීම පමණි! පුදුමයි නේද?

එරික්සන් ජංගම දුරකථනයේ ඇන්ටෙනාව බිඳී ගිය පසු වුව ද, එයට පේපර් ක්ලිපයක් ඈඳු විට දුරකථනයට හොඳින් සංඥා ලැබුණු නමුත් ඒ වන විට මගේ සිත හුරුබුහිටි නෝකියාවකට බැඳී ගොස් තිබුණි.

-රසිකොලොජිස්ට්

(image: http://www.mobot.net/mobile-phone-stories)

Sunday, 29 May 2016

දුයිෂෙන්ලාට වැරදෙන තැන - Just my opinion


තණ බිමක හරකුන් දෙදෙනෙකු තණ කමින් සිටි අතර ඉන් එකෙකුට තණකොළ අස්සේ තිබී මොනවා දෝ යමක් තදට හැපුණි. මූ කම්මැලි හරකෙකු වූ නිසා, ඒ මොනවාදැයි හරියට විපරම් කර නොබලා ඔහේ ගිල දමන්නට වූයේ පසුව වමාරා කන වේලේ දී, එය අනවශ්‍ය කෑමක් නම් ඉවත් කර දමන්නෙමි යන සිතුවිලේලෙනි.

නමුත්, මේ තණකොළ සමග හැපෙන ද්‍රව්‍යය හැපීම තරමක් අසීරු වූ නිසා, මේ හරකා දෙඇස ඇර ඒ මොනවාදැයි විපරම් කර බැලීය. තමා මේ කන්නේ සිනමා පටයක සෙලෝලයිට් කෑලි බව ඌ දුටුවේ එවිටය.

මේ බව දුටු එතැන සිටි අනෙක් හරකා "කොහොමද සහෝදරයා චිත්‍රපටිය හොඳද?" කියා විමසුවේ සරදමට ය.

"වරදක් නෑ මචං, හැබැයි මේකේ නවල් එක නං මීට වඩා හොඳට දැනුණා!" මුල්හරකා පිළිතුරු දුනි.

ඒ කථාවෙන් කියවෙන්නේ අප දන්නා සිංහල හෝ හොලිවුඩ් සිනමාවේ පමණක් නොව මා සිතන විදියට විශ්ව සිනමාවේම ඇති පොදු ප්‍රශ්නයක් පිළිබඳව සරදම් කතාවකි. ඒ ප්‍රශ්නය නම්, මුද්‍රිත නවකතාවක් හෝ කෙටිකතාවක් ආශ්‍රයෙන් සිනමා කෘතියක් නිපදවුණු විට ඒ සිනමා නිර්මාණයෙන් මුල් කෘතියේ රසය නොමරා ඉදිරිපත් කර ඇති ද යන්නයි.

අපට බොහෝ විට අසන්නට ලැබෙන්නේ, සිනමා අධ්‍යක්‍ෂක විසින් නවකතාව භක්‍ෂණය කර ඇතැයි යන මැසිවිල්ලයි.

මේ තත්වයට බොහෝ විට හේතුව වන්නේ සිනමා නිර්මාණය නැරඹීමට යන බොහෝ දෙනෙකු තමන් කියවූ නවකතාවෙන් ලද තෘප්තිය, ආස්වාදය නිසා සිනමා පටය නැරඹීමට යාමත්, එහිදී, සිනමාව යනු මුද්‍රිත කෘතියකට වඩා වෙනස් වූ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් බවත්, එනිසා ම මුද්‍රිත කෘතිය සේම එය ද ස්වාධීන නිර්මාණයක් බවත් අමතක කිරීමත් ය.

නවකතාවේ තමා ගේ කියවීම, තමන් ගේ සිතේ මැවුණු චරිත ලක්‍ෂණ, හැසිරීම් සිනමා නිර්මාණයේ නොදකින මොව්හූ මුසප්පු වෙති.

මේ මා වෙනත් අය ගැන කරන දෝෂාරෝපණයක් නොවේ. මා ද, බැද්දේගම වැනි සිනමා පට නරඹද්දී, මේ තත්වයට පත් වී ඇත්තෙමි.

තමන් නොකියවූ නවකතාවක් ඇසුරෙන් නිමවුණු සිනමා පටය නැරඹීමේ වැදගත් වන්නේ ඒ නිසා ය.

දුයිෂෙන් නම් ගුරුවරයෙකු ද, අල්තීනා නම් කෙල්ලක ද, පොප්ලර් ගස් දෙකක් ද සම්බන්ධ ගුරු ගීතය නම් රුසියානු නවකතාවක සිංහල පරිවර්තනයක් ගැන මා මුලින්ම ඇසුවේ මීට වසර දෙක තුනකට පමණ පෙර වත්පොත හරහා ය. විශේෂයෙන් ම එහි ගොඩ නැගී ඇති සාර්ථකම කණ්ඩායමක් වන "පොත් කියවන අය" නම් සංවාද මණ්ඩපයේ දී ය.

මේ ගුරු ගීතය නම් පරිවර්තන කෘතියේ අන්තර්ගතයට වශී වූ අය දක්වන ප්‍රතිචාර මෙන්ම මේ කෘතිය සෝවියට් ප්‍රචාරකවාදී කඩමාල්ලක් ලෙස පිළිකෙව් කෙරෙන ප්‍රතිචාර ද මම පොත් කියවන අය කණ්ඩායම හරහා දැක ඇත්තෙමි. කෙසේ වෙතත්, රුසියානු පරිවර්තන කෘති විශාල සංඛ්‍යාවක් කියවා ඇති මා, ලංකාවේ බොහෝ දෙනෙකු කියවා ඇති මේ කෘතිය කියවා නොතිබීම ගැන මට ඇති වුණේ පුදුමයකි.

වසර කිහිපයකට පෙර ලංකාවට ගිය අවස්ථාවක දී, ගුරු ගීතය පොත් පිටපතක් මා රැගෙන ආවේ එනිසා ය.

එසේ නමුත්, එය තවමත් එකදු වචනයක් නොකියවී මගේ පොත් අල්මාරියක කොහේ හෝ කොනක නිරුපද්‍රිතව තිබේ!

ගුරු ගීතය ඇසුරෙන් සිනමා පටයක් නිපදවෙන බව ද මට දැන ගන්නට ලැබුණේ අන්තර්ජාලය හරහා ය. ඒ සිනමා නිර්මාණය මා වසන ඕස්ටේ‍ර්ලියාවේ සිනුවර ප්‍රදර්ශනය කෙරෙන බව දැන ගන්නට ලැබුණු විගස එය නොවරදවා නැරඹිය යුතු යැයි මම තීරණය කළෙමි.

ගුරු ගීතය පොත මා තවමත් කියවා නැති නිසා මා දන්නේ සිනමා පටය ගැන පමණි. නිර්මාණයක් ලෙස සෑහෙන දුර්වලකම් තිබුණු ඒ සිනමා පටයේ නැරඹීමෙන් නම් කිසිවෙකු දුයිෂෙන් ගේ චරිතයට වශීවෙනු හෝ අල්තීනා ගේ චරිතය ගැන දුක්වෙනු හෝ ඇතැයි මම නොසිතමි.

කෙසේ වෙතත් මා මේ ලිපිය ලියන්නේ ගුරු ගීතය සිනමා නිර්මාණය ගැන විචාරයක් කිරීමට නොවේ.

සිනුවර ගුරු ගීතය සිනමා දර්ශනය සංවිධානය කළේ මා මිත්‍ර ජගත් බණ්ඩාර විසිනි. එයින් ලැබෙන ලාභය ඔහු සම්බන්ධ සංවිධානයක් විසින් පියාපත් යන නමින් ආරම්භ කර ඇති ලංකාවේ ළමුන්ට ශිෂ්‍යත්ව ලබාදෙන අරමුදලකට යොමු කරන බව කියවුණි. ටිකට් පත සඳහා මා වැය කළ ඩොලර් විසිපහෙන් ශාලා වියදම් හැර ඉතිරිවෙන සුලු මුදලෙන් යම් ප්‍රයෝජනයක් සිදුවෙන බවට දැනගත් මට ඇති වුණේ සතුටකි.

ජගත් බණ්ඩාර යනු එවකට සිඩ්නි නගරයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකවරයා විය. යුද්ධය පැවති සමයේ මානෙල් මල් විකුණුවේ ද ඔහු ය. අනුර කුමාර දිසානායක 2010 අග භාගයේ සිනුවරට පැමිණ පැවැත්වූ සම්මන්ත්‍රණ සභාවේ මූලාසනය ගත්තේ ද ඔහු ය. ජගත් බණ්ඩාර ඒ දිනවල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ පැවැත්වුණු ජනතා විමුක්ති පෙරමුණේ මහා සමුළුව අමතන ඡායාරූප ද මම දැක ඇත්තෙමි.

කෙසේ වෙතත්, සිනුවර යනු ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ වැයික්කියයි. එනිසා, වසර 2012 දී සිදුවුණු ජනතා විමුක්ති පෙරමුණ බෙදී යාමේ දී සිනුවර බලය හිමිවූයේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයටයි. අත් අඩංගුවෙන් මිදී, ලංකාවෙන් පිටුවහල් කරනු ලැබූ ප්‍රේමකුමාර් ගුණරත්නම් මුලින්ම ප්‍රසිද්ධව කතා කළ රැස්වීමේ මුලසුන හෙබවූයේ ද ජගත් බණ්ඩාර ය.

ඒ කරුණු වැදගත් වන්නේ වෙනත් මෙයටම අදාළ කරුණක් නිසා ය.

ගුරු ගීතය පරිවර්තිත නවකතාවේ එන දුයිෂෙන් නමැති පරමාදර්ශී ගුරුවරයා ගුරුකොට තම ජීවිතය හැඩ ගස්වා ගත් පොඩි දුයිෂෙන් කෙනෙකු ඊයේ බ්ලොග් ලෝකයට පිවිස ඇති බව අපි බොහෝ දෙනෙකු දනිමු. ඒ ලංකාවේ බොහෝ දෙනෙකු ප්‍රිය කරන තරුණ වාමාංශික දේශපාලකයෙකු බව ද තව දුරටත් රහසක් නොවේ.

මා සිනමා නිර්මාණය තුළින් පමණක් දුටු ගුරු ගීතයේ දුයෂෙන් ගැන මට කිව හැක්කේ, ඔහු ක්‍රියා කළේ තමන් ගේ හෘද සාක්‍ෂියට අනුව වුවත්, ඒ එහිදී තමන් ගේ පක්‍ෂයෙන් නොහොත් රජයෙන් තමන්ට ලැබුණු නියෝගය සහ ඔහුගේ අවංක බලාපොරොත්තුව සමපාත වූ නිසා බවයි. සිනමා නිර්මාණයට අනුව පක්‍ෂයෙන් අණ ලැබුණු පසු ඔහු යුද බිමට ගොස් ඇත්තේ ද ඒ අනුව ම ය.

බ්ලොග් ලෝකයට සම්ප්‍රාප්ත වූ අපේ දුයිෂෙන් ගැන මට කීමට ඇති දේ මා මේ ආකාරයට "දුයිෂෙන් ගේ අඩවිය" බ්ලොගයේ සටහන් කළෙමි.
දැන් ඉතිං දුයිෂෙන් කවුදැයි දන්නා නිසා මේ ටිකත් කිව යුතුයි.

ඔබ හොඳ අවංක මනුස්සයෙකු බව මා හඳුණා ගත්තේ දේශපාලන චරිතයක් ලෙස ඔබේ කියුම් සහ කෙරුම් දැකයි. ඇත්තට ම පසුගිය අගෝස්තු මැතිවරණයේ බදුල්ල ප්‍රතිඵලයෙන් මා කම්පාවට වුනා කීවොත් නිවැරදියි.

දැන් මේ විස්තරය අසා බොහෝ දෙනෙකු මෙන් මා ද ඔබ ගැන සිතා සිටි දේ තවත් ස්ථිර වුණා.

නමුත් මේ ටිකත් කිව යුතුයි.

මගේ අත්දැකීමට අනුව, ඕනෑම හොඳ පුද්ගලයෙකු පක්‍ෂයකට බැඳුණු පසු තමන් ගේ හෘද සාක්‍ෂිය පාවා දෙන්න වෙනවා. පක්‍ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට වෙනවා. ඔහු හෝ ඇයට තව දුරටත් තමන්ගේ ම හෘද සාක්‍ෂියක් නැතුව යනවා.

ප්‍රේමකුමාර් ගුණරත්නම් කියා කෙනෙකු පක්‍ෂයේ සිටයේ නැත වගේ බයිලා කියන්නට වෙන්නේ එවිටයි. ඒ එය පක්‍ෂයේ ප්‍රකාශය නිසායි.

ඔබට දිගටම තමන්ට අවංකව ක්‍රියා කිරීමට ලැබේවා යි මම ප්‍රාර්ථනය කරනවා.

එසේම, ප්‍රධාන පක්‍ෂ දෙකට බහුතර බලයක් නැති, ඔබේ පක්‍ෂයට බල තුලනය කළ හැකි පාර්ලිමේන්තුවක ඔබ ද සිටිනවා දකින්නට මා කැමතියි.
ඔබ මේවන විටත් "දුයිෂෙන් ගේ අඩවිය" බ්ලොගයේ පදනම සැපයෙන මුල් ලිපිය කියවා නැති නම්, එය අනිවාර්යෙන් ම කියවන මෙන් මම නිර්දේශ කරමි.

http://duishengeadawiya.blogspot.com/2016/05/blog-post.html

-රසිකොලොජිස්ට්

Friday, 27 May 2016

ජංගමේට කලින් ලෝකයේ විසිතුරු - No phone, no worries


නාන කාමරයක, පාළු දුම්රිය මැදිරියක, නිහඬ මෝටර් රථ ගමනක හෝ එවැනි ස්ථානයක තනි පංගලමේ සිටිද්දී සිත දුර ගමං ඒක චරං යන බණ පදයට අනුව වැඩ කරන්නට පටන් ගනී. අර ඩවුන් ද මෙමරි ලේන් ද මොකක් ද එක කරයි.

එවැනි එක් කල්පනා ලොව මල් වනයේ සැරිසැරූ අවස්ථාවක දී මට වැටහුණු දෙයක් නම්, තනි තනිව සහ පොදුවේ සමාජයක් ලෙස අප කොයිතරම් වෙනස්කම්වලට භාජනය වුවද, මුලදී පිළිගැනීමට අපහසු තරම් සාපේක්‍ෂව ඉතා කෙටි කාල සීමාවක දී අප ඒ අලුත් වාතාවරණයට පුරුදු වෙන බවත්, ඒ අනුගත වීම කෙතරම් බලවත් ද යත්, පෙර තත්වය යටතේ අප කටයුතු කළේ කෙසේදැයි සිතා ගැනීම පවා අපට අසීරු වෙන බවත් ය. ආපසු පෙර පැවති වාතාවරණය යටතේ කටයුතු කරන්නට සිදුවීම නම් මරණ දණ්ඩනයට ලක්වීමට සමාන ය.

මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය දුරකථන සන්නිවේදනය වේ.

මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකව ඉගෙනුම ලබන සමයේ නිවසටද, පාසල් මිතුරන්ට ද ලිපි ලියවෙමි. නිවාඩු කාලයේ විශ්ව විද්‍යාලයේ මිතුරන් සමග ද ලිපි ගනුදෙනු කළෙමි. ඒ හැර වෙනත් සන්නිවේදන ක්‍රමයක් අපට තිබුණේ නැත.

විශ්්ව විද්‍යාලය මැදින් දිව යන ගලහ මාර්ගය අසල ඉහළින් පිහිටි තැපැල් කාර්යාලයේ සහ විශේෂයෙන් ම සවස් කාලයේ ඒ අසල ඇති දුරකථන හුවමාරු පොළේ (telephone exchange) සිසුන් රැඳී ඉන්නවා මා දැක ඇත. ඒ තම නිවෙසේ දුරකථන පහසුකම් ඇති සිසුන් දෙමව්පියන් සමග දුරකථනයෙන් කතා කරන්නට පෝලිමේ ඉන්නා ආකාරයි.

ඒ අයගෙන් සමහරු හදිසි කාරණා සම්බන්ධයෙන් කතා කිරීමට ඒ ඇමතුම් දෙනවා විය හැකි වුවද, බොහෝ දෙනෙකු එසේ ඇමතුම් දීමට ප්‍රධානතම හේතුව ද, ඔවුන් ගේ නිවසේ දුරකථන පහසුකම් තිබීම ම විය හැක.

අපේ කාලයේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති කාන්තාවක් මේ පිළිබඳව මා සමග කියා සිටියේ තමන් විශ්ව විද්‍යාලයට සුවසේ පැමිණි බව කීමට මෙන් ම සාමාන්‍ය සුවදුක් දන්වා සිටීමට අඩු වශයෙන් සතියකට වරක් හෝ නිවසට දුරකථනයෙන් ඇමතීම තමන්ගෙන් දෙමව්පියන් බලාපොරොත්තු වූ බවයි.

අපේ නිවසට දුරකථනයක් නොමැති වූ නිසා, මම පේරාදෙණියේ නොව රටෙන් පිට ගිය අවස්ථාවල දී වුව, කළේ දෙමව්පියන්ට ලිපියක් ලිවීමයි. නැතිනම්, දිවා කාලයේ දී සොහොයුරා ගේ කාර්යාලය කතා කොට දෙමව්පියන් ගේ සුවදුක් විමසීමයි.

කොටින් ම මා මගේ මව සමග මුලින්ම දුරකථනයෙන් කතා කළේ, 1996 වසරේ පෙබරවාරියේ පමණ දිනයක ඇය සහභාගී වූ මංගල උත්සවයකට සහභාගී වුණු මගේ මස්සිනා ගේ දුරකථනයෙනි. දෙමව්පියන් ගේ නිවසට දුරකථනයක් ලබා ගැනීමට යටිතල පහසුකම් ගොඩ නැගුණේ ඊටත් පසුව ය. එය ද, සීඩීඑම්ඒ සම්බන්ධතාවක් විය.
මිනිසුන් සංඛ්‍යාවට වඩා දුරකථන සංඛ්‍යාවක් ඇති අද තත්වය මීට හාත්පසින් ම වෙනස් ය.

අප ලංකාවට ගිය විට ඥාතියෙකු ගේ නිවසට ගොස් කතා බස් කරමින් සිට ආපසු අප නිවසට ගිය විගස, දුරකථන පණිවිඩයක් දී සුවසේ පැමිණිබව සනාථ කළ යුතුය. එසේ නොමැති නම්, ඒ ගැන විමසා අපට ඇමතුම් ලැබේ. දුරකථන හරහා, ඥාතීහූ එකිනෙකා ගේ එදිනෙදා දෛනික කටයුතු පිළිබඳ අන්තිම තත්පරයට යාවත්කාලීන වී සිටිති.

අප මේ තත්වයට කෙතරම් දැන් හුරු වී ඇති ද කියනවා නම්, මා මුලින් කීවාක් මෙන්, හදිසියේ මේ තාක්‍ෂණය නැති වී ගිය විට අප අන්ත අසරණ තත්වයකට වැටෙනු ඇත. එසේම, අන්තර්ජාලයට සම්බන්ධ දුරකථන නොමැතිව අප එදා කටයුතු කළේ කෙසේ ද කියාත් අපට දැඩි විමතියක් ද ඇති වෙනු ඇත.

අවශ්‍යතා සපුරා ගැනීම පිණිස මෙවලම් භාවිතය කරනවා යැයි සිතුවත්, අප ඇතැම් විට කරන්නේ මෙවලම් භාවිතය අවශ්‍යතා නිමවා ගැනීම නොවේදෝ යැයි මට සිතේ.

-රසිකොලොජිස්ට්

(image: http://www.gizmodo.com.au/2010/03/from-tin-cans-to-touchscreens-the-40-most-important-phones-in-history/)

Thursday, 26 May 2016

මගේ ජංගම දුරකථන ඉතිහාසය - Chapter zero


කාලයක් තිස්සේ පාවිච්චි කළ නිසා දෝ තරමක් කිලුටු වී තිබුණු මගේ සැම්සුන් ගැලක්සි ජංගම දුරකථනය ඩෙනිම් කලිසමක සාක්කුවේ දමා සෝදා මා එයට "නිවන් පුර රුවන් දොර" හැර දුන්නේ ගිය සති අන්තයේ ය.

එතැන් සිට හද්දා පරණ නෝකියා කට්ටක සිම් පත දමාගෙන දැන් සතියක් පමණ ගත වී ඇති අතර, කලක් තිස්සේ හුරු පුරුදු වුණු ඉන්ටර්නෙට් ස්මාට් වැඩ කෑලි තියා හදිසියකට ඡායාරූපයක්වත් ගන්නට නොහැකිව මේ දිනවල මා සිටින්නේ දැඩි දුකෙනි.

මේ තාවකාලික ගන්ධබ්බ සමයේ දී අනායාසයෙන් ම මගේ මතකයට විටින් විට නැගෙන්නේ මගේ දශක දෙකක ජංගම දුරකථන ඉතිහාසයයි.

අනූව දශකයේ මුල් වසරක, කුමක් දෝ උතුරු ඇමරිකානු රූපවාහිනී වැඩ සටහනක් තුළින් මෝටර් රථයක සවි කළ දුරකථනයක් නළුවෙකු විසින් භාවිතා කෙරෙන අයුරු දැක තිබුණත්, මා මුලින් ම සැබෑ ජංගම දුරකථනයක් ඇස් ඉදිරිපිට දුටුවේ 1993 දී පමණ එක් දිනක ය. එම දුරකථනය හිමිකරුවා වූ මගේ මස්සිනා එදින අප නිවසට පැමිණි විගස කළේ ජංගම දුරකථනයේ බැටරිය බල ගැන්වීමට විදුලි පේනු තුඩකට සවි කිරීමයි.

මට මතක හැටියට මෝටරෝලා වැනි කට්ටලයක් වූ ඒ ජංගම දුරකථනය අර කතාවට කියනවා සේ ම ගඩොල් භාගයක් සේ දිස් විය. ඒ පරිමාවෙන් හරි අඩක් ම ජංගම දුරකථනය එහි බැටරිය වූ බව විශේෂ කාරණයකි. එය අපේ සමහරුන් ගේ ඇඟෙන් භාගයක් ම හරි හරියට මොළේ තියන්නාක් වැනි අපූරු සංයෝජනයකි.

ඒ දිනවල ලංකාවේ ක්‍රියාත්මක වූයේ දිවයිනේ මුල් ම ජංගම දුරකථන ජාලය වූ සෙල්ටෙල් පමණි. එය ඇනලොග්, එනම් අද මෙන් ඩිජිටල් නොවන, සන්නිවේදන ජාලයක් විය. මුල්ම ජංගම දුරකථන ජාලය සෙල්ටෙල් වූ නිසා, පසු කලෙක වුව ද ජංගම දුරකථන හැඳින්වුණේ සෙල්ටෙල් කියා ය. දැන් නම් සමහරු හෑන්ඩ් ෆෝන් යයි කියති. මගේ ජංගම දුරකථනයට කතා කරන්න කියා කියන කිසිදු හුදු හෙලයකු මට මෙතෙක් නම් මුණ ගැසී නැත.

සෙල්ටෙල්වලට අමතරව, තවත් ටික දිනක් යත් ම, මොබිටෙල් නම් ජාලයක් ද තරග බිමට එක් වූ බව මගේ මතකයයි. එසේ නමුත්, ජංගම දුරකථනයක් හිමි කර ගැනීමට මට අදහසක් ඇති නොවිණි. එයට හේතුව වූයේ එවැන්නක පැහැදිලි ප්‍රයෝජනයක් අති බහුතරයක් ජනතාවට මෙන් ම මට ද, නොතිබීමයි.

නිවසෙන් පිට අතරමග සිටින මොහොතක දුරකථන ඇමතුමක් ගැනීමට අවශ්‍ය නම් අප කළ යුතුව තිබුණේ හැම හන්දියකම තැඹිලි, කහ, රතු යනා දී විවිධ වර්ණ ගන්වා දෙක තුන බැගින් පිහිටුවා තිබුණු දුරකථන පෙට්ටියක් කරා යාමයි. අවශ්‍ය පරිදි රුපියල් දෙකේ හෝ පහේ කාසි ද, නැතිනම් තැඹිලි, කහ, රතු වර්ණයේ පෙර ගෙවූ ඇමතුම් පත් ද මගේ පොකැට්ටුවේ නොවරදවා තිබුණි!

ඒ කාලයේ මා දැන සිටි ජංගම දුරකථන හිමිකරුවන් ටික දෙනා ද, තමන්ට ලැබෙන ඇමතුම් විනාඩියකට අඩුවෙන් සීමා කිරීමට වග බලා ගත්හ. ඒ ඊට වඩා දිගු ඇමතුම් සඳහා ඇමතුම ලබන්නා ද මුදල් ගෙවිය යුතු වූ බැවිනි.

අද මෙය කියවන සමහර දෙනෙකුට විහිළුවක් සේ හැඟෙන්නට හැකි මුත්, මට මේ අපූරු උපකරණයේ වැදගත්කම හොඳින් වැටහුණේ, 1994 වසරේ එක් දිනක මගේ සේවා ස්ථානයේ දෙපාර්තමේන්තු ප්‍රධානියා සමග කොරිඩෝරක ඇවිද යමින් සිටියදී ඔහු ගේ ජංගම දුරකථනයට ඇමතුමක් පැමිණි අවස්ථාවේ දී ය.

කොනීචිවා, වකිරිමස්තකා යනාදී ජපන් වදන් ඇසෙද්දී මට වැටහුණේ මේ ඔහුට අමතා ඇත්තේ ජපානයේ සිටින ඔහු ගේ මිතුරෙකු බවයි. ඒ මිතුරා ද ජපානයේ යොකොහාමා නගරයේ කොහේ හෝ ගොඩනැගිල්ලක් ඇතුළේ කොරිඩෝරයක ඇවිදිමින් සිටිනවා විය හැක. ලෝකයේ දෙකොනක සිටිනා දෙදෙනෙකුට, තාවකාලිකව ස්ථානගත නොවී, රැහැනින් නොබැඳී, මෙලෙස නිදහසේ සම්බන්ධවෙන්නට ලැබීම ආශ්චර්යක් ම නොවේදෝ යි මට ඒ මොහොතේ සිතුණි.

මා මුලින් සඳහන් කළාක් මෙන් අද ඒ කතාව කියවන සමහර දෙනෙකුට එය විහිළුවක් සේ හැඟෙන්නට හැකි බව මම දනිමි.

මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන කාලයේ මෙරටේත් තිබුණේ පෙර කී ඇනලොග් වර්ගයේ ජාල දෙකක් පමණි. භාවිතා වූ ජංගම දුරකථන ද ගඩොල් බාග ඒවා විය.

දිනක් මා එකල අප පදිංචි වී සිටි කානගී නම් ප්‍රදේශයේ මාර්ග බද මගී මං තීරුවේ ඇවිදින විට මගේ නෙත ගැටුණේ පාර අයිනේ බිම වැටී තිබුණු පෙර කී ආකාරයේ ජංගම දුරකථනයකි.

එහි පළල දාර දෙකේ අලවා තිබුණු ස්ටිකර දැන්වීම් මගින් මේ කුඩා ට්‍රක් කොම්පැනියකට අයිති ජංගම දුරකථනයක් බව මම වටහා ගත්තෙමි. අද වෙළඳපොළේ ඇති ස්මාට් දුරකථනවල මෙන් කී ලොක්, පින් ලොක්, ස්වයිප් ලොක්, ෆේෂල් ලුක්, ෆින්ගර් ප්‍රින්ට් ලොක් යනාදිය ඒ දිනවල නොතිබුණු නිසා, මට ක්‍ෂණයකින් ම ඒ දුරකථනය පණ ගන්වා එමගින් ම හිමිකාර සමාගම ඇමතීමට හැකි විය.

පසුව මා ඔවුන් ගේ ගරාජය වෙත ගොස් ඒ ජංගම දුරකථනය භාර දුන්නෙමි.

කෙසේ නමුත්, අවසානයේ මා ජංගම දුරකථනයක් මිලට ගන්නට හිත හදාගත්තේ තවත් වසරකට පමණ පසුව 1998 දෙසැම්බරයේ දී ය. නමුත්, ඒ ද එදිනෙදා කතා බහට සඳහා නොව එක්තරා සුවිශේෂී අවශ්‍යතාවක් වෙනුවෙනි.

එය වෙනම ම ලිවිය යුතු කථාංගයකි.

-රසිකොලොජිස්ට්

(image: http://www.gsmhistory.com/vintage-mobiles/)

Wednesday, 25 May 2016

ජෝර්ජ් ලොක්කාට කන්න යමක් දෙමු - Sri Lankan Samosa?


මීට පෙර දෙවසරක පමණ කාලයක් ඇතුළත හතර පස් වරක් රාජකාරි රැස්වීම්වලදී හමුවුණු අවස්ථාවලදී සහ දුරකථනයෙන් කතා බස් කර හඳුනන මගේ රාජකාරි සගයෙකු, මීට සතියකට පෙර අපේ ආයතනයේ සිදුවුණු කාර්යාල ස්ථාන මාරුව නිසා, දැන් දිනපතා ම පාහේ මුණ ගැසේ.

මම මෙහිදි ඔහුව ජෝර්ජ් කියා හඳුන්වන්නෙමි. එය ඔහු ගේ සැබෑ නම වීමට ඉඩ ඇත. එක්සත් රාජධානියෙන් සංක්‍රමණය කළ හෝ එසේ සංක්‍රමණය කළ අයගෙන් පැවත එන බොහෝ ඕස්ටේ‍ර්ලියානු පිරිමින්ට ඇත්තේ ජෝන්, මාක්, පීටර්, ලූක්, ඩේවිඩ් හෝ ජෝර්ජ් වැනි මුල් නමක් නිසාත්, මේ කථාවේ කිසිදු අවකැපෙන දෙයක් නැති නිසාත්, එහි අවුලක් නැත.

රාජකාරී කටයුතු සඳහා මුණ ගැසෙන විට මෙන් නොව, ඕනෑම අයෙකු දිනපතාම පාහේ මුණ ගැසෙන විට එදිනෙදා කරුණු පිළිබඳව සුහද කතාබහක යෙදෙන්නට අවස්ථාව ලැබෙන බව නොරහසකි. එනිසා, ජෝර්ජ් සහ මා අතර අලුත් සේවා ස්ථානයේ අප ගතකළ හැම දිනකම සුලු-සුලු කතාබහ ඇති විය.

"වැඩට-ඉඩ" ක්‍රමයට සේවය කරන අපේ කාර්යාලයේ ඊයේ දවසේ අප දෙදෙනා පාවිච්චි කළ සේවා මේස පිහිටියේ දුරින් වුවද, තේ කෝප්පයක් බීමට මා කුස්සි කෑල්ල පැත්තේ ගිය මොහොතක ජෝර්ජ් මා කතාවට වැටුණේය.

"උඹලා ගෙදර සමෝසා හෙම හදනවා ඇති නේද? ඒවා මාර රහයි. හැදුවාම දවසක ගෙනෙං ඔෆීසියට!" ජෝර්ජ් කීවේ ය.

නොදන්නා අය සිටීනම් ඔවුන් ගේ පහසුව පිණිස කිව යුත්තේ සමෝසා යනු ඉන්දියානු කෑමක් බවයි. මේවා මැදට එළවළු, අල, මස් හෝ මාළු දමා සාදන පේස්ටී්‍ර හෝ පැටිස් හෝ වැනි වර්ගයකි.

"මං සමෝසා ගැන දන්නවා. නමුත් ඒක ඉන්දියන් කෑමක්. මම ශ්‍රී ලංකාවෙන් ආවේ. අපේ ගෙවල්වල සමෝසා හදන්නේ නෑ ඕයි!" මම කීවෙමි.

"ආ ඇත්තද? ඉතිං ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි නිකං සේම් සේම් නොවෙයිද?" ජෝර්ජ් ඇසුවේ ය.

"අපෝ නෑ, අපි වෙනස් බං!"

"එතකොට, ලංකාවේ නැද්ද ඒ වගේ කෑමක්?"

සමෝසාවල රසයට සමාන රසයක් ඇති ලංකාවේ කෑම ලෙස මට හිතා ගත හැකිවූයේ කට්ලට්, පැටිස්, රෝල්ස් සහ වඩේ වැනි දේ ය. නමුත් ඒවා තනිකරම ශ්‍රී ලාංකික යැයි කිව හැකිද?

කියුබාකාර, ප්‍රිසමාකාර, පිරමීඩාකාර ආදී විවිධාකාරයෙන් සැදෙන එළවළු රොටී, මස් රොටී මෙන්ම මාළු පාන් ගැන ද ඒ පැනය ම නැගේ.

හැලප, අග්ගලා, වැලිතලප ගැන මට සිහිවුණු නමුත්, ඒවා රසකැවිලි මිස කුළුබඩු යෙදූ එළවළු හෝ මාංශ සහිත අතුරු කෑම නොවේ.

ජෝර්ජ්ට දිය හැකි නිසි පිළිතුරක් ගැන මම තවමත් සිතමි.

ආප්ප, ඉදිආප්ප පමණක් නොව අවුරුදු මේසය සරසන කැවුම්, කොකිස් වැනි රසකැවිලි වර්ග ද විදේශීය මූලාශ්‍ර ඇති ඒවා වන කල්හි, මුළුමනින් ම ශ්‍රී ලාංකික වූ සමෝසා වැනි කෑමක් ඇති යැයි සිතීම විහිළුවක් පමණක් ද?

-රසිකොලොජිස්ට්

Tuesday, 24 May 2016

"සරල ද සරළ ද?" අජිත් පැරකුම් ජයසිංහ වෙත නිර්නාමිකයෙකු එවූ අනගි පිළිතුර හෙවත් කැකුණ රජ බොදුන් - Wow....!


පසුබිම් කතාව මෙසේ ය.

"ශාස්තෲ" නමින් දේශපාලන පසුබිමකින් යුතු නවකතාවක් ද රචනා කර ඇති W3Lanka බ්ලොග් අඩවියේ හිමිකරු ලේඛක අජිත් පැරකුම් ජයසිංහ විසින් පසුගිය දා ලියා පළ කරන ලද "ලංකාවේ ආගමික ශාස්තෘවරුන්ගේ යාවත්කාලීන කළ ලේඛනය" නම් ලේඛනයට අදාළව ඔහු හා නිර්නාමික පාඨකයෙකු අතර මහා විවාදයක් ඇති වී තිබේ.

මේ විවාදයේ එක් අතුරු මාතෘකාවක් වී ඇත්තේ Simple, Plain යන අරුත් දෙන සිංහල වදනේ නිවැරදි අක්‍ෂර වින්‍යාසය "සරල" ද, "සරළ" ද යන්නයි.

ලේඛක අජිත් පැරකුම් ජයසිංහ විසින් එය "සරළ" ලෙස ලියා තිබුණු අතර නිර්නාමික පාඨකයා විසින් නිවැරදි අක්‍ෂර වින්‍යාසය සරල විය යුතු බව පැවසූ පසු එයට පිළිතුරු ලෙස ලේඛක අජිත් පැරකුම් ජයසිංහ කියා සිටියේ ඒ දෙආකාරය ම නිවරද බවයි.

මේ පිළිබඳව නිර්නාමික පාඨකයා අද උදෑසන එවා තිබෙන අනර්ඝ විස්තරයකින් යුතු පිළිතුර කියවූ වහාම එය රසිකොලොජියේ ද පළ කිරීමට මට සිත් විය.

එයට එක් හේතුවක් නම්, පළ වී දින කිහිපයක් ම ගතවී ඇති උක්ත ලංකාවේ ආගමික ශාස්තෘවරුන්ගේ යාවත්කාලීන කළ ලේඛනය නම් ලිපියේ ප්‍රතිචාර සඳහා ලියාපදිංචි වී ඇති අයට අමතරව එකි නිර්නාමික පාඨකයා ගේ විශ්ලේෂණය තවත් පිරිසක ගේ අවධානයට යොමු කිරීමයි.

අනෙක් හේතුව නම්, වරක් නිර්නාමික පාඨක ප්‍රතිචාරයක් නැවත පළ කිරීමෙන් පසු ලේඛක අජිත් පැරකුම් ජයසිංහ විසින් තමන් නැවත එවැනි ක්‍රියාවක් නොකරන බවට කර තිබූ ප්‍රකාශයයි.

නිර්නාමික පාඨකයා ගේ සරල ද, සරළ ද නිවැරදි යන්න පිළිබඳ විශ්ලේෂණය පහත පළ වේ. සරල-සරළ විවාදයට කෙළින් ම අදාළ නොවෙන ස්ථාන කිහිපයක් සුදු හුණු ගා වසා ඇත. ඒ කොටස් කියවීමට කැමැත්තෝ හයිලයිට් කර කියවත්වා!

ඩබ්ලිව් තුන ලංකාහි සංවාද නො වන්නට සිතා සිටිය ද, ඔබ විසින් විමසා ඇති කරුණ පිළිබඳ විග්‍රහ නො කර සිටීමට අපගේ ශාස්ත්‍රකාමය විසින් අනුබල නො දෙනු ලබ යි. පැරකුම් විමසන වදන “සරල” විය යුතු බවත් එය “සරළ” නො විය යුතු බවත් අප පවසන්නේ සහේතුක ව ය.

භාෂාවක නීති, රීති හා සම්ප්‍රදායන් යනු දේවභාෂිතයන් නො වේ. ව්‍යාකරණ නීති යනු සද්භාෂා ව්‍යවහාරයන් දීර්ඝ කාලයක් තිස්සේ නිරීක්ෂණය කර, විමසුම් කර, අධ්‍යයනය කර එකී විෂයේ පණ්ඩිතයන් විසින් සම්මත කර ගත් නිගමනයන් ය. නීතියක්, රීතියක්, සම්ප්‍රදායක් නැත්තෝ අශිෂ්ටයෝ ය. අප විසින් අනුයනු ලැබ යුත්තේ ශිෂ්ටයන්ගේ ව්‍යවහාරය විනා අශිෂ්ටයන්ගේ ව්‍යවහාරය නො වේ. “ශිෂ්ටප්‍රයෝගාඃ සාධවඃ” යැයි සකුවෙහි නිතොර පැවසේ. අප විසින් ශිෂ්ටන්ගේ ව්‍යවහාරය ම අනුයනු ලැබ යුත්තේ කුමක් නිසා ද යන්න කුමරතුඟුවෝ තම මාහැඟි සිදත් සඟරා විවරණයෙහි ලා මෙසේ පවසති:

“අශිෂ්ටයෝ තමන් බසෙහි පිහිටා නො සිටිති. ඊයේ එක් ලෙසෙකින් කියූ දැය අද අන් ලෙසෙකින් කියත්; අද එ ලෙස කී දැය ද හෙට වෙනස් වූ ලෙසෙකින් පවසත්. ඔවුන් මසක් වහරට ගත් දෑ විමැසුව හොත්, එක් එක් දිනැ ගත්, එක් එක් ශබ්දයට එක් එක් පදයට එක් එක් වාක්‍යයට එක් එක් රීතිය බැගින් පහළ කළ යුතු සේ පෙනී යෙයි. භාෂාව කෙලසවන්නාහු අඥානයෝ යැ. ‘යම් කිසිවක් පැවැසියැ යුත්තේ ඔවුන් ගේ මන වඩන බසිනැ‘ යි කියමින් ‘සියල් සද’රුත් විදි අසේ පියෝනනට අනුරූ’ කරන්නට සැරැසෙන භාෂා පරිවර්තකයෝ ස්වකීය අඥ භාවය, නොදන්නා පාලකයන් ගෙන්, සඟවන්නට තැත් කෙරෙති.”
පැරකුම් විසින් අපගේ ආලෝවනයක් විසංයෝජනය කරමින් “ව්‍යාකරණය ගැන හොඳම වාග් විද්‍යාත්මක සංකල්පයක් සිදත් සඟරාවේ තිබේ. එහි තිබෙන වහරනු සෙරෙන් සපයා යන්නෙහි අරුත විමසා බලන්න” යැයි යෝජනා කළ විට, අප එකී කරුණ අලළා සැපයූ ආලෝචනය පැරකුම්ගේ වාරණයේ අයෝමය පාදපාවට යට වී ලෝපණය විණි. පැරකුම් තමා එවැනි ලෝපණයක් නො කළ බව පවස යි. එසේ නම් එම ආලෝචනය ඩබ්ලිව් තුන ලංකාහී අරක්ගත් බහිරවයෙකු විසින් ගිල දමන ලද්දේ ද? පැරකුම් විසින් එය කියවනු ලැබ, ඉන්පසු ලෝපණය කෙරිණි නම් එය ම ප්‍රමාණවත් ය; අවුල්වියවුල් නැත. එම අලෝචනය අපගේ ඇකමතයේ තිබිය යුතු ය. පැරකුම් එය ලෝපණය කළේ නො කියවා නම්, අපි පසු ව එය පැරකුම් වෙත එවන්නෙමු.
“සරල හා සරළ යන දෙක ම ව්‍යවහාරයේ පවතී” යැයි පැරකුම් පවස යි. එනිසා “ඒ දෙක ම නිවැරදි ය” යන සාධනයක් ද පැරකුම් අනියමින් පවස යි. එහි දී පැරකුම් පෙර පැවසූ සිදත් වැකියේ සාවද්‍ය අර්ථකථනයක් අනුයයි (එය සාවද්‍ය වන්නේ කුමක් නිසා ද යන්න ලෝපණය වූ ආලෝචනයේ සඳහන් ය).


සිංහල භාෂාවේ දන්තජ “ල” අන්ත පද සමූහයක් ද මුර්ධජ “ළ” අන්ත පද සමූහයක් ද පවතී.

හසළ, අදාළ, අග්ගළ, අඩාළ, පළ, පහළ, ඉළ, ඉහළ, එළ, ඇසළ, කසළ, කඳුළ, වෙරළ, සක්වළ, දෙමළ, රළ ඈ පද “ළ” අන්ත පද ය.

බාල, බහුල, නිසල, නිෂ්ඵල, නිර්මල, අමිල, අචල, දුබල, සකල, සසල, සිංහල ඈ පද “ල” අන්ත පද ය. මේවා බොහෝමයක් විශේෂණ පද ය. සරල යන ප්‍රස්තුත වදන ද මෙවැනි “ල” අන්ත පදයකි.

සරල යන්න සරළ යනුවෙන් වියත් වහරේ දී යොදනු අප නම් දැක නැත. “වහරනුසෙරෙන් සපයා” යනු “බහුතරය වහරන ඕනෑ ම ආකාරයක්” නො වන බව යළිදු සිහි කරනු රිසි ය.

සිංහලයේ ඇතැම් පද “ල” අන්ත වූ කල එක් අරුතක් ද “ළ” අන්ත වූ කල වෙනත් අරුතක් ද පවස යි. නිදර්ශන කීපයක් මෙසේ ය:

අපුල (අප්‍රිය අරුත් දේ)
අපුළ (ඇපිළීම ඈ ක්‍රියා අරුත් දේ)

ඇල (ඇල පිල්ල, ඇල වීම ඈ පැත්ත යන අරුත් දේ)
ඇළ (ඇළ දොළ, ඇළ වේලි ඈ දිය පහර අරුත් දේ)

අලු (එකලු ඈ ආලෝකය අරුත් දේ)
අළු (මිනී අළු ඈ භෂ්ම අරුත් ද, අළු හම්, අළු ගෝමර, අළු පුහුල් ඈ අළු වර්ණ අරුත් ද පා අළු ඈ ආධාර අරුත් ද දේ)

කල (තරුණ කල ඈ කාලය අරුත් ද මනකල ඈ ආකර්ෂණීය අරුත් ද දේ)
කළ (දිය කළය ඈ ඝටය අරුත් ද අවසන් කළ ඈ ක්‍රියා අරුත් ද දේ)

අසල (අසල රුඳි ඈ සමීප අරුත් ද අසලිඳු ඈ නො සෙලවෙන අරුත් ද දේ)
අසළ (හෙළ, පෙළ, සකු හසළ ඈ පුරුදු අරුත් ද පෙර කල අසළ ඈ ඇසුරු කළ අරුත් ද දේ)

නල (මද නල ඈ සුළඟ අරුත් ද නල මැද දැවී ඈ ගින්න අරුත් ද දේ)
නළ (ජල නළය ඈ බටය අරුත් ද නළඟන ඈ රඟන අරුත් ද දේ)

එහෙත් සරල යන්නට අනුරූප ව සරළ යන්නක් එකී ව්‍යවහාර විධි ක්‍රමය තුළ හෝ අපට හමු නො වේ. රළ යන්නට පෙර ව “ස‍” යොදා මනා රළ යන අරුතක් සරළ යන්නට නිමැවිය හැකි වුව ද වියත් වහරේ එවැන්නක් නො පවතී. එවැනි සරළ යන නව්‍ය පදයක ලිහිල් යන අරුතක් පවතින්නේ ද නැත. ඒ වූ කලී “සපැමිණි සසියලු සුවියත් සතුන් සාදරණීය ව සපිළිගනිමු” වැනි සෑම පදයකට ම පෙර “ස” කාර යොදා සුවියත් වන්නට දත කන විසුළු නිවේදකනිවේදිකා රළකගේ වහරකි.

සිංහලයේ ඇතැම් පදවල “ල” යෙදිය යුතු ද නැතහොත් “ළ” යෙදිය යුතු ද යන්න වියතුන් අතර ද එකඟතාවයක් නැති අවස්ථා පවතී. එවැනි අවස්ථා අල්ප ය. නිදර්ශන කීපයක් මෙසේ ය:

ලිහිණි හෝ ළිහිණි හෝ
ඇතුල් කිරීම හෝ ඇතුළු කිරීම හෝ
නෙලුම් යාය හෝ නෙළුම් යාය හෝ
(අජිත් ධර්මගේ යාය මෙනයින් නිවැරදි ය!)
ලිප හෝ ළිප හෝ
මාලිගාව හෝ මාළිගාව හෝ
මලුව හෝ මළුව හෝ (මිදුල අරුතින්)
තුරුල් හෝ තුරුළු හෝ
ගඩොල් හෝ ගඩොළු හෝ
කුකුල් හෝ කුකුළු හෝ
සතලිස හෝ සතළිස හෝ
(එහෙත් අතළොස්, සතළොස් ඈ වදන් නම් මුර්ධජ “ළ” සහිත ව ම ලියැ වේ)

එහෙත් සරල යන්නට අනුරූප ව සරළ යන්නක් එකී ව්‍යවහාර විධි ක්‍රමය තුළ හෝ අපට හමු නො වේ.

අපගේ සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ විවරණ රැසක ම සරල යන්න යෙදේ. එළු අත්තනගලු වංශ විවරණ සංඥාපනයේ ද මුවදෙව් දා විවරණයේ ද කුමරතුඟුවෝ “සරල” එලෙස ම යොදති. සියබස් ලකර විවරුවේ අලවුඉසි සැබිහෙළයෝ ද “සරල” එලෙස ම යොදති. ලෝකෝපකාරයේ සම්මත සම්භාව්‍ය සංස්කරණය “සරල සන්න සහිත ලෝකෝපකාරය” නමි.

සිඛවළඳ හා සිඛවළඳ විනිස ද මජ්‌ඣිම නිකාය ද බුද්ධ පුත්‍රයන්ගේ ද බුදුන්ගේ ද අල්පාහාරය විස්තර කිරීමට සරළු යන වදනක් උපයුක්ත කර ගනී. ධම්පියා අටුවා ගැටපදයේ පංච කල්‍යාණය විස්තර කිරීමට ද සරළු යන වදනක් යොදා තිබේ (කේස කල්‍යාණ නම් කළු සිනිඳු සරළු කෙහෙ). එහෙත් ඒ කිසිඳු තැනෙක සරළ යන වදනක් නම් නැත.

වර්ෂා, හිරු, ආදරය ගින්දරක්, උතුම් පැතුම්, බොඳ මීදුම් ඈ “අතිසම්භාව්‍ය” ග්‍රන්ථරත්නයන්ගේ සරළ යන වදන තිබේ දැ යි අපි නො දනිමු.

මෙම භාෂා ගැටලුව විමැසුමට ඇති විදුහුරු තවත් ක්‍රමයක් නම් පාරකාලික (diachronic) විශ්ලේෂණීය වාග්විද්‍යාව විධි ක්‍රමයක් මඟින් විමසීම ය. එනම් මෙකී ප්‍රස්තුත වදනෙහි නිරුක්ති විමසීම ය.

සරල යන වදන සංස්කෘත භාෂාවෙන් සිංහලයට තත්සම වූ වදනක් බව අපගේ විශ්වාසය යි. සංස්කෘතයේ එය සරල ය. ලිහිල්, පහසු, ලෙහෙසි, සෘජු ඈ අරුත් සරල යන්නට යෙදේ. මේඝ දූතයේ “තං චෙද්වායෞ සරති සරලස්කන්ධසංඝට්ටජන්මා” යනු සුළං හමන කල සරල ගස් එකිනෙක ගැටීමෙන් හටගත් ළැව්ගිනි යන්න ය. (සරල නම් ගස්; ආමාවතුර ගැට පද විවරණයේ ද සළල යන්නට සරල හෙවත් සොර ගස් යන අරුතක් පවස යි)

සංස්කෘතය ලියනු ලබන දේවනාගරී අක්ෂරයෙන් සරල යන්න सरल ලෙස ලියැ වේ. සංස්කෘත දේවනාගරියේ මුර්ධජ “ළ” නො මැත. කුමක් නිසා ද යත්, දිව අග තල්ලෙහි මුඳුනේ හෙවත් මුර්ධයෙහි ගැටීමෙන් උපදින “ළ” ශබ්දයක් සකුවෙහි නොමැති බැවින් ය. දේවනාගරියේ එන ल යනු සිංහලයේ දන්තජ “ල” ශබ්දයට ආසන්න ශබ්දයේ අක්ෂරීය නිරූපණය යි. සංස්කෘත “සරල” සිංහලයට තත්සම වන්නේ ද “සරල” ලෙස ම ය. මේ අරුතින් සරල යන්න විනා සරළ යනුවෙන් වියත් වහරක් නො පවතී.

එහෙත් සංස්කෘතයෙන් හෝ පාලියෙන් හෝ සිංහලයට තත්භව වූ ඇතැම් වදන්වල දී මාතෘ භාෂාවේ අදාළ වදන්වල පවතින “ට”, “ඨ”, “ඩ”, “ඪ” අක්ෂර වෙනුවට මුර්ධජ “ළ” ආදේශ වේ. නිදර්ශන කීපයක් මෙසේ ය:

කුටි (පාලි) --> කිළි (සිංහල)
(පැරකුම් ගඳකිළි පිළිබඳ කලකට පෙර ලියූ බව අපට මතක ය!)
භට (පාලි) --> බළ (සිංහල)

පාඨ (පාලි) --> පෙළ (සිංහල)
පඨම (පාලි) --> පළමු (සිංහල)

බිඩාල (සංස්කෘත) --> බිළාල (සිංහල)
ක්‍රීඩා (සංස්කෘත) --> කෙළි (සිංහල)

මූඪ (සංස්කෘත) --> මුළා (සිංහල)
ආෂාඪ (සංස්කෘත) --> ඇසළ (සිංහල)

එහෙත් සරල යන්නට අනුරූප ව සරළ යන්නක් එකී ව්‍යවහාර විධි ක්‍රමය තුළ හෝ අපට හමු නො වේ.

සංස්කෘතයේත් පාලියේත් යන ද්විභාෂාහි ම පවතින ඇතැම් වදන් සිංහල භාෂාවට පැමිණි කල, ඒවා පාලියට අනුකූල ව මුර්ධජ “ළ” සහිත ව ද සංස්කෘතයට අනුකූල ව දන්තජ “ල” සහිත ව ද ලියැ වේ. ඒ දෙයාකාරය ම විදුහුරු ය. පාලියට ළැදි අයෙක් මුර්ධජ “ළ” සහිත ව ලියති. සකුවට ළැදි (අප වැනි) අයෙක් දන්තජ “ල” සහිත ව ලියති. නිදර්ශන කීපක් මෙසේ ය:

කෝමල (සංස්කෘත) හෝ කෝමළ (පාලි) හෝ කොමළ (සිංහල) හෝ
වූල වංශය(සංස්කෘත) හෝ වූළ වංසය (පාලි) හෝ
නාලි (සංස්කෘත) හෝ නාළි (පාලි) හෝ
පාලි භාෂාව (සංස්කෘත) හෝ පාළි බස (පාලි)

එහෙත් සරල යන්නට අනුරූප ව සරළ යන්නක් එකී ව්‍යවහාර විධි ක්‍රමය තුළ හෝ අපට හමු නො වේ. පාලියේ බිළාර සිංහලයට බළල් ලෙස ද පාලියේ යුගළ සිංහලයට යුවළ ලෙස ද පාලියේ කීලා සිංහලයට කෙළි ලෙස ද පාළියේ ගුළිකා සිංහලයට ගුළි ලෙස ද මුර්ධජ “ළ” සහිත ව ම පාලියෙන් සිංහලයට පැමිණ තිබුණ ද, සරළ යන සිංහල වදනක් පාලියේ සරළ යන වදනකින් පැමිණි බව කිව නො හැකි ය. එයට හේතුව පාලියේ සරළ යන වදනක් නැති වීම ය. පාලියට ද සරල යනු සරල ම ය.

පැරකුම් සමඟ එකඟ වීමට ඇති දෘඪාපේක්ෂාව නිසා ම පාලියේ යම් තැනක සරළ තිබේ දැ යි අපි සිතා බැලුවෙමු. අවාසනාවක මහත! සම්භාව්‍ය පාලි භාෂාවේ සරළ ඇති තැනක් අපගේ මතකයට නො නැඟේ. දශක ගණනකට පෙර පරිශීලනය කළ පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ පාලිභාෂාවතරණයේ හෝ “සරළ” තිබූ බවක් මතකයේ නැත. බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ගේ පාලි ශික්ෂකයේ ද “සරළ” තිබූ බවක් මතකයේ නැත. උන්වහන්සේගේ පොතේ නම ම වුව “සරල පාලි ශික්ෂකය” ය.

පාලි ග්‍රන්ථ කීපයක කරහම්පිටිගොඩ සුමනසාරාභිනන්දන සංස්කරණවල ද “සරළ” සොයා ගත නො හැකි ය. ත්‍රිපිටක පාලියේ මජ්‌ඣිම නිකායේ හා දීඝ නිකායේ යම් තැනෙක “සරළ” තිබේ දැ යි තැනින් තැන (තිබිය හැකි යැයි සිතුණු තැන් කීපයක) බැලුවෙමු. හමුවුයේ නැත. වෙනත් කරුණක් විමර්ශනය කරන කල හමුවුවහොත් නො ලසා, නො සඟවා පැරකුම්ට දන්වන්නම්. එසේ “සරළ” යන්නක් තිබිය නො හැකි බව අපගේ විශ්වාසය ය.
(පැරකුම් පවසන පරිදි “ගතානුගතික මාර්ක්ස්වාදීන්” වන අප ත්‍රිපිටක පාලිය විමර්ශනය කරන්නේ ශාස්ත්‍රීය ව්‍යායාමයක් ලෙස ය. එසේ නැති ව ඔය කෙහෙල්මල් ආගම්වලින් අපට ඇති වැඩක් නැත!)
මේ අනුව හමාර දෙසුමේ දී අපට පවසන්නට වන්නේ “සරල” යන්න විනා “සරළ” යන්න විදුහුරු නො වන බව ය. පැරකුම් අප සමඟ උරණ නො වේවා!

ස්තුතියි නිර්නාමිකය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිංහල භාෂාව යනු ව්‍යහවහාරයට අනුව වෙනස් වෙන, වෙනස් කළ හැකි භාෂාවක් යන මතය සනාථ කිරීම පිණිස ඇතමුන් විසින් උපුටා දක්වන සිදත් සඟරාවේ එන වහරනු සෙරෙන් සපයා යන වාක්‍යාංගය පිළිබඳව ද කියවිය යුතු ම විශ්ලේෂණයක් මේ නිර්නාමිකයා මීට පෙර කළේ ය.

එය කියවීමට කැමති අයගේ ප්‍රයෝජනය සඳහා, බ්ලොගයේ මේ වන විට දක්නට නැති එම විශ්ලේෂණය ද පහත පළ කරමි.


ජයසිංහයන් කතිකාවට ගෙන එන සිදතෙහි “වහරනුසෙරෙන් සපයා” හි සම්පූර්ණ වැකි පෙළ විමසමු.

“සදරුත් විදි සියල් – අනුරූ සේ පියෝනන්
ඉති සන් සඳ සමස් ඈ – වහරනුසෙරෙන් සපයා”

“සදරුත් විදි සියල්” යනු ශබ්දාර්ථ විධි සියල්ල යන්න ය. “අනුරූ සේ පියෝනන්” යනු පණ්ඩිතයන්ගේ යෙදුමට අනුරූප ලෙස යන්න ය. (සේ යනු සංස්කෘතයේ පණ්ඩිත යන අරුත් දෙන සෙව් ප්‍රකෘතියෙන් බිඳෙන වදනකි. පියෝනන් යනු ප්‍රයෝග හෙවත් යෙදවුම් ය.)

“ඉති සන් සඳ සමස් ඈ” යනු මෙලෙස සංඥා, සන්ධි හා සමාස යනාදිය යන්න ය. “වහරනුසෙරෙන් සපයා” යනු ව්‍යවහාරය අනුසාරයෙන් සම්පාදනය කර ගනු යන්න ය.

මේ අනුව සිදත් සඟරාකරු පවසන්නේ ශබ්දාර්ථ විධි සියල්ල පණ්ඩිතයන්ගේ යෙදුමට අනුරූප ලෙස ව්‍යවහාරය අනුසාරයෙන් සම්පාදනය කර ගනු යනුවෙන් ය. සිදත් සඟරාකරු පවසා ඇත්තේ ශබ්දාර්ථ හෙවත් වියරණ පිළිබඳ පණ්ඩිතයන්ගේ (ඡේකයන්ගේ) ව්‍යවහාරයට අනුකූල ව භාෂාවේ ව්‍යාකරණය සකසා ගනු කියා මිස අවියත් බකපණ්ඩිතයන්ගේ ව්‍යවහාරයට අනුව භාෂාවේ ව්‍යාකරණය සකසා ගනු කියා නො වේ.



Monday, 23 May 2016

හති වැටෙන කල් කිස් කිරීම - Time to slow down


කිස් කිරීමට කෙළින්ම අදාළ වුවත්, බ්ලොග් ලිවීමට කෙළින් ම අදාළ නැති, මේ වංකගිරි කතාව පොඩි කාලේ මතකයන් ඇසුරෙන් මගේ සිතට හදිසියේ කඩා වැදුණේ බ්ලොග් ලිවීම ගැන ම සිතමින් සිටිද්දී ය.

මා පොඩි කාලයේ ඇසූ බයිලාවක පද දෙකක් මෙසේ විය.

මේ ගායිකාව ගේ බයිලාවකි.
ඉෆ් යූ වොන්ට් ටු කිස් මී ඩාර්ලින් ඩූ නොට් කම් ඇට් සික්ස්
මමා විල් බී ඇට් ද ගේට් විත් එ බෲම් ස්ටික්

තමන්ව කිස් කිරීමට හෙවත් උම්මා කිරීමට හෙවත් තමන්ට චුම්බනයක් දීමට අවශ්‍ය නම්, නිවසට පැමිණිය නොයුත්තේ කුමන හෝරාවේ දැයි ඇය මේ අච්වුවේ ම පද දෙකේ කොටස් හරහා දිගින් දිගට ම ඇදෙන මේ වැල් බයිලාවෙන් තම පෙම්වතාට කියයි. මේ ගීතයේ ඒ දෙපදය හැර අන් කිසිදු පදයක් මට නිවැරදිව සිහි ගන්වා ගත නොහැකිය. නමුත්, අවසාන පද යුගල හැර අන් හැම පද යුගලයක ම මුල් පදයෙන් කියවෙන්නේ අහවල් හෝරාවේ නොපැමිණෙන්න කියාත්, දෙවෙනි පදයෙන් එසේ නොපැමිණිය යුත්තේ ඇයි ද කියාත් ය. ගායිකාව ඒ නොපැමිණ සිටිය යුතු යැයි කීමට හේතු වන්නේ "මමා" සිටි ආකාරයට ම එක්කෝ "පපා" හෝ නැතිනම් අන් අයෙකු හෝ, යම් ගෘහස්ථ භාණ්ඩයකින් ආම්පන්න වී දොර ළඟ ආරක්‍ෂාවට සිටීමයි!

මේ බයිලාව අවසාන වන්නේ කිසිදු බාහිර උපද්‍රවයකින් හෝ කරදරයකින් තොරව අනිවාර්යෙන් ම ඇයව කිස් කිරීමට හෙවත් උම්මා කිරීමට හෙවත් ඇයට චුම්බනයක් දීමට නම්, ඔහු පැමිණිය යුත්තේ කුමන හෝරාවටදැයි පෙම්වතාට නිවැරදිව පැවසීමෙන් යැයි සිතමි.

කිස් දීම පිළිබඳවම තවත් සිංහල බයිලාවක් ද ඒ දිනවල ජනප්‍ර්‍රිය විය. මෙය ගායනා කරන ලද්දේ ජිප්සීතස් කණ්ඩායමයි. ුය ද වැල් බයිලාවක් ම වූ අතර, සෑම පද යුගලක් ම පහත අච්චුවේ විය.
මම දුන්නෙ කිස් එකයි, කිස් එකයි
මම දුන්නෙ කිස් එකයි, කිස් එකයි
මම දුන්නෙ කිස් එකයි, හැබැයි ඒ්ක මුල් එකයි
ඉතිං දුන්න තව එකක් දැන් දෙකයි
එපා යන්න තවත් දෙන්න
ඇඟේ වෙලි වෙලි ඈ යළි යළි පවසයි

ජිප්සීස් ලා ගේ ඉහත බයිලාව අවසන් වන්නේ කිස් දහයක් පමණ දීමෙන් පසුවද අනේ තවත් දෙන්න යැයි ඉල්ලන පෙම්වතියට "මට දැන් හති අදට ඔපමණයි" කියා පෙම්වතා කීමෙනි.

කිස් දහයක් දීම තියා, කෙල්ලක ගේ අතින් අල්ලා හෝ නැති කොලු කුරුට්ටන් අතර ජිප්සීස්ලා ගේ ඒ බයිලාව අති ජනප්‍ර්‍රි වීම කිසිසේත් ම පුදුමයක් නොවේ.

මා සිතන විදියට නිහාල් නෙල්සන් පහත බයිලාව කියුවේ ජීප්සීස්ලා ගේ කිස් බයිලාවට පිළිතුරු ලෙසිනි.
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ
දෙන්න ගිහින් කිස් දහයක් කොල්ලෙකු කිච වුණෝ

මගේ මතකයේ හැටියට එතැන් සිට කියවුණේ මුල් කිස් එක දෙන්නට ගොසින් කනේ පාරක් කෑ බවත්, දෙවැනි කිස් එකට ලැබුණේ කම්මුල් පාරක් බවත් යනාදී වශයෙන් කිස් දහය අවසාන වෙන තුරු ඇදෙන වැල් බයිලාවකි.

හින්දි ගීයක තනුවකට අනුව සැකසුණු ජෝතිපාල ගයන "කිස් නම් හාදුව වේ, ආශාවන් පිබිදේ" නම් වේග රිද්ම ගීයක් ගැන මද මතකයක් ඇති නමුත්, ඒ පිළිබඳව ඊට එහා යමක් සොයා ගත නොහැකි විය.

මේ වැල්-බයිලා සියල්ල මට සිහිවුනේ ඇයිදැයි කීමට මේ හොඳම වේලාවයි.

මා නිවසෙන් බැහැරව නිවාඩුවක් ගත කරමින් සිටි අප්‍රියෙල් මාසයේ මැද දිනයක, 2015 වසරේ දී ඉන්දික කොඩිතුවක්කු සහ දුෂාන් කුරුවිට ගේ මූලිකත්වයෙන් ඇරඹි, බ්ලොග් වසන්තය නම් වැඩ සටහන මේ වසරේ ද මාසයක් පුරා ක්‍රියාත්මක වන බව කියවන්නට ලැබුණි.

ඉතිං, සුවච කීකරු බ්ලොග්කරුවෙකු ලෙස මා අප්‍රියෙල් 22 දා සිට කළේ දිනපතා ම වාගේ රසිකොලොජියේ ලිපි පළ කිරීමයි.

දැන් මාසයක් ම ගෙවී ගොස් ඇත. මේ මා ලියන්නේ 2016 බ්ලොග් වසන්තයේ 27 වෙනි ලිපියයි!

මට දැන් කියන්නට අවශ්‍ය වන්නේ අර ජිප්සීස්ලා ගේ "මම දුන්නෙ කිස් එකයි" වැල්-බයිලාවේ අවසන් පදයේ සංස්කරණයකි.

මට දැන් හති දැනට ඔපමණයි!

බ්ලොග් වසන්තයට ආයිබෝවන්.

-රසිකොලොජිස්ට්

(image: http://ticketcrusader.com/kiss-presale-passwords/)

Sunday, 22 May 2016

මං ගොඩ ආ හැටි සහ අකරතැබ්බය බෝනස් එකකට හරවා ගත් හැටි - Not unhappy at all


මගේ යතුරු කැරැල්ලට එකතු කරගෙන තිබූ යූඑස්බී මෙමරි ස්ටිකයකින් (ලංකාවේ භාෂාවෙන් කියනවා නම් පෙන් ඩ්‍රයිව් එකකින්) එක් පරිගණයකින් තවත් පරිගණකයකට දත්ත මාරු කිරීම පිණිස, පසුගිය දා සිදුවුණු මගේ කාර්යාලයේ ස්ථාන මාරුවෙන් පසු අප වැඩකරන ඇක්ටිවිටි-බේස්ඩ්-වර්කින් මේසයක පරිගණක තිරයේ පසු පස සැඟවී ඇති යූඑස්බී පෝටයක මෝටර් රථයේ සහ නිවසේ යතුරු සහිත එම යතුරු කැරැල්ල ද හොම්බෙන් එල්ලු හැටිත්, වැඩ කරන දවස අවසානයේ එය අමතක කර කාර්යාලයෙන් පිටව ගිය හැටිත්, සුපුරුදු ජංගම දුරකථනය ද අහිමිව තිබුණු නිසා කාර්යාලයේ කිසිවෙකුට කතා කිරීමට නොහැකිව පාළු රථගාලක අසරණ වුණු හැටිත්, මම ඊයේ පළ කළ "මට වෙච්ච වැඩක් හෙවත් ඔහෙලාටත් හොඳ පාඩමක්" නැමති සටහනේ ලියුවෙමි.

නිවසෙන් පිට සිටින වේලාවන් හි දී තමන් ගේ යතුරු කැරැල්ල කිසි විටෙක තම සිරුරෙන් දුරස්ථ කළ නොයුතු බවත් එසේ ම, මෙමරි ස්ටික් යනු යතුරු කැරලි සමග කිසි විටෙකත් එකට ඈඳිය නොයුතු අඩුමකුඩුමයක් බවත් මම එදා ජීවිතයේ දෙවන වරටත් උගත්තෙමි.

අද ලියන්නේ මා ඒ කරදරයෙන් ගොඩ ආ හැටි සහ මා ලක් වූ අකරතැබ්බය බෝනසයකට හරවා ගත් හැටි ය.

දුම්රිය පොළේ සිට නිවසට කිලෝමීටර් අටකි. එය නම් ටැක්සියක යා හැක. මේ වේලාව වන විට පාසල නිම වී පුතා නිවසට පැමිණ ඇති නිසා, නිවසේ දොර හැර ගැනීමේ ප්‍රශ්නය ද නැත. බිරිඳ නිවසට පැමිණි පසු නිවසේ ඇති අමතර යතුර රැගෙන ඇය සමග දුම්රිය රථ ගාලට පැමිණ මගේ කාර් කට්ට නිවසට දැක්කිය හැකිය.

නමුත්, වඩා වැදගත් කාරණය වන්නේ යතුරු කැරැල්ල ආරක්‍ෂිත කර ගැනීමයි. දස වසරකට පෙර මේ නස්පැත්තිය ම සිදුවුණු මොහොතේ මා අත කාර්යාල සගයින් ගේ අංක ඇතුළත් කර තිබුණු ජංගම දුරකථනයක් තිබුණු නිසා, එක ඇමතුමකින් මට යතුරු කැරැල්ල සොයා එය ආරක්‍ෂිත තැනකට යොමු කිරීමට හැකි විය.

බිරිඳ ගේ සහ දරුවන් ගේ අංක පමණක් ඇතුළත් කර තිබෙන මේ තාවකාලික ජංගම දුරකථනයෙන් මට ඒ සඳහා අද පිහිටක් නැත.

මම විනාඩි කිහිපයක් තක්බීර් වී කල්පනා කරමින් සිටියෙමි.

ඒ කළු වලාවේ රිදී රේඛාවක් ඇඳුණා මෙන් මට ස්වල්ප වේලාවකට පසු සිහි වුණේ, එදින උදයේ අපේ ආයතනයේ ම වෙනත් කාර්යාලයක සේවය කරන මිතුරෙකු මගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන් බවයි.

වහාම ඒ අංකය සොයාගෙන ඔහු ඇමතූ මම ඔහු හරහා මගේ කාර්යාලයේ ම සේවය කරන වෙනත් මිතුරෙකු අමතා ඔහු එදින කාර්යාලයේ දී මා වාඩි වී ස්ථානයට යවා පරිගණක තිරය පිටුපස හොම්බෙන් එල්ලී සැඟවී සිටි මගේ යූඑස්බී මෙමරි ස්ටිකය සහිත යතුරු කැරැල්ල සොයා ගත්තෙමි.

තව මොහොතකින් කාර්යාලයෙන් පිටත් වීමට නියමිත ඔහුට එය රැගෙන යන ලෙස ඉල්ලා සිටි මම, කාර්යාලය සහ මගේ ගමනාන්තය අතර නැවතුමක් වූ ඔහු ගේ දුම්රිය ගමනාන්තයේ දී ඔහු හමු වී යතුරු කැරැල්ල ලබා ගන්නා බව ද පැවසීමි.

ඒ කටයුත්ත අවසාන කර මා නිවසට යන විට පුරා පැය තුනක් ම ගත වී තිබුණි.

ඉතින්, මා මුහුණ දුන් ඒ අකරතැබ්බය බෝනසයක් කර ගත්තේ මෙසේ ය.

අතරමග දී මුණ ගැසී මගේ යතුරු කැරැල්ල ලබා ගැනීම පිණිස මිතුරා මුණ ගැසීම සඳහා ආපසු යාමට දුම්රියට ගොඩ වුණු වහාම මා කළේ, ලැප්ටොප් පරිගණකය දිග හැර ගෙන මට වුණු අකරතැබ්බය ගැන මේ ලිපිය ලිවීම ඇරඹීමයි.

මේ ලිපිය සඳහා ඉංග්ලිෂ් නම ලෙස "ඕල් ඉන් එ ඩේස් වර්ක්" යන්න හොඳ යැයි මට එවෙලේම සිතුණි. ඒ යෙදුම මා මුලින් ම දුටුවේ අපේ තාත්තා ගනේමුල්ලේ තම්ෂර් සුරුට්ටු කඩෙන් කිලෝ ගණනට රැපියල් දී ගෙනා පරණ රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවලින් බව මට ඊළඟට සිහිවිය.

මේ ලිපිය ලිවීමට පසුවට කල් තබා මා තාත්තා සම්බන්ධ ඒ කතාව ලියන්නට පටන් ගත්තෙමි. එදා දුම්රියේ මා ගත කළ පැයක පමණ අමතර කාලයේ දී එය ලියා සම්පුර්ණ කිරීමටත්, පසුදා සේවයට යද්දී, එය සංස්කරණය කර "හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට්" නමින් පළ කරන්නටත් මට හැකි විය.

අහම්බෙන් සිදුවුණු අකරතැබ්බය, හැකි තරමට හොඳ අතට මා පෙරළා ගත්තේ එසේ ය. වෙනදා දවසකට පැය දෙක හමාරක් පමණ මා දුම්රියේ බ්ලොග් ලියමින්, කියවමින් ගත කළ ද, පසුගිය සතියේ සිට එය පැයකට පමණ අඩු වී ඇති නිසා, මට ඒ ලිපිය ලියා ගැනීම බෝනස් එකක් ම විය.

අතීතයේ කිමිදෙමින් මා ලියූ ඒ ලිපිය, බොහෝ දෙනෙකු ගේ අතීතකාමය ඇවිස්සීමට සමත් වීම තවත් සුපිරි ම බෝනසයක් විය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ දිනවල මගේ බ්ලොගය වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම බ්ලොගයක් (BLog) එනම් "වෙබ් හි ලොග්" (weB Log) ලිවීමක් බවට පත් වී ඇත.

මෙය නම් බ්ලොග් වසන්තයක් ම ය!

(image: https://railish.wordpress.com/)

Saturday, 21 May 2016

මට වෙච්ච වැඩක් හෙවත් ඔහෙලාටත් හොඳ පාඩමක් - Yet another lesson learnt


මගේ කාර්යාලයේ ස්ථාන මාරුවත් සමගම අප "ඇක්ටිවිටි-බේස්ඩ්-වර්කින්" හෙවත් "වැඩට-ඉඩ" නම් ක්‍රමයකට මාරු වුණු නිසා මගේ වෘත්තීය දිවියේ මුල්වරට මගේ ම කියා මේසයක් පුටුවක් නොමැති තත්වයක් උදාවුණි.

අප සියලු දෙනා දැන් කාර්යාලයට ගිය විගස කරන්නේ, කලින් දිනයේ නික්ම යෑමට පෙර අපේ ලොකර හෙවත් කුඩා කබඩ්වල දමා ගිය ලැප් ටොප් පරිගණකය ද, අනෙකුත් අත්‍යවශ්‍ය අඩුමකුඩුම ටික ද රැගෙන තමන්ට රිසි, තවමත් පුරප්පාඩුව පවතින, සේවා මේසයක් කරා ගොස් එහි පරිගණකය ඩොකින් කරගැනීම, එනම්, මේසයේ ඇති විශාල තිරය, ජාල කේබලය, රැහැන් නැති යතුරු පුවරුව සහ මූසිකය සම්බන්ධ කරගැනීමයි.

උදෑසන කුකුළා අතින් රැගෙන කාර්යාලයට පැමිණියහොත් නම්, සැමදා තමන්ට එකම මේසය අයිතිකරගත හැකි නමුත් එය තාවකාලික හිමිකමක් පමණක් වන අතර මා මුලින් සඳහන් කළාක් මෙන්, සැමදා කාර්යාලයෙන් බැහැරව යන විට තමන් ගේ අඩුමකුඩුම සියල්ල මේසයෙන් ඉවත් කර ගෙන ලොකරයේ බහාලිය යුතු වේ.

මේ හේතුව නිසා මට මගේ ආදරණීය තේ බෑග් එකතුව වෙනදා මෙන් මේසයක් මත තබා ගැනීමට නොහැකිව ඇතිවා පමණක් නොව පෑන්, පෑඩ්, පැන්සල් යනාදියට ද ලබා ඇත්තේ ද ඒ නරක දසාව ම ය.

මේ බව දැන සිටි නිසා, පසුගිය සිකුරාදා අපේ පරණ කාර්යාලය හැර යද්දී මා කළ එක් දෙයක් නම්, මගේ එක් යූඑස්බී මෙමරි ස්ටිකයක් (ලංකාවේ භාෂාවෙන් කියනවා නම් පෙන් ඩ්‍රයිව් එකක්) යතුරු කැරැල්ලට එක් කර ගැනීමයි.

නිවසේ යතුරු සහ මෝටර් රථයේ යතුර සහිත මගේ යතුරු කැරැල්ලට යූඑස්බී මෙමරි ස්ටිකයක් එකතු කර තබා ගැනීම මා නතර කළේ මීට දස වසරකට පෙර සිදුවුණු එක්තරා ඇබැද්දියක් හේතුවෙනි. ගිය සිකුරාදා මා නැවත යූඑස්බී මෙමරි ස්ටිකයක් යතුරු කැරැල්ලට අමුණද්දී අතීතය පුනර්ජීවනය වෙතැයි මට මොහොතකට හෝ සිතුණේ නැත.

නමුත් සිදුවුණේ ද එය ම ය.

මගේ පුද්ගලික ලැප්ටොප් පරිගණකයේ තිබුණු යම් ලියවිල්ලක් කාර්යාලීය ලැප්ටොප් පරිගණකයට එකතු කර ගැනීම පිණිස මම පෙරේදා දවල් වරුවේ මගේ යූඑස්බී මෙමරි ස්ටිකය භාවිතා කළෙමි. ලැප්ටොප් පරිගණකයේ යූඑස්බී පෝට් සියල්ල වෙනත් දේ සඳහා ඒ වන විට භාවිතා වෙමින් තිබුණු නිසා මා කළේ යූඑස්බී මෙමරි ස්ටිකය එල්සීඩී තිරයේ පසු පස සැඟවී ඇති යූඑස්බී පෝටයකට සවි කිරීමයි.

ඉතින්, මා එදින සවස තුනහමාරට පමණ සේවය නිමවා, ලැප්ටොප් පරිගණකය සහ අඩුමකුඩුම සියල්ල මගේ ලොකරයේ බහා, පැරමටා දුම්රිය ස්ථානය වෙත පයින් ගොස්, එතැනින් අපේ ගම් පැත්තට යන දුම්රියට ගොඩ වී, ජගත් එදිරිසිංහ ගේ උපදේශක සංස්කරණයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බරන් නගරයේ ප්‍රකාශයට පත්වෙන "සන්නස" මාසික සඟරාවට මා ලියන "අපේ කාලේ කතන්දර" නමැති කොළමේ ජූනි මාසය සඳහා මා කෙටුම්පත් කර තිබුණු "මහණවීම සහ මහණවීම" නම් කතාංගය සංස්කරණය කරමින් නිදි නොකිරූ ගමනක යෙදී, මගේ ගමනාන්තය වූ කිංස්වුඩ් දුම්රිය ස්ථානයේ දී දුම්රියෙන් බැස, එහි රථගාලේ එක් කෙළවරක නවතා තිබුණු මගේ මෝටර් රථය වෙත ගොස්, එහි දොර හැරීම සඳහා සෙවූ මොහොත වෙනතුරු ම, මගේ යතුරු කැරැල්ල, එයට මා ඈඳා තිබූ යූඑස්බී මෙමරි ස්ටිකයේ පිහිටෙන් කාර්යාලයේ මගේ තාවකාලික පරිගණක තිරයේ පිටුපස හොම්බෙන් එල්ලී සැඟවී තිබුණි.

සති අන්තයේ මා මගේ ජංගම දුරකථනය රෙදි සෝදන යන්ත්‍රයේ දමා සෝදා එහි අඩංගු කර තිබුණු සියලුම දුරකථන අංක අහිමි කරගෙන තිබුණු අවාසනාවන්ත තත්වය යටතේ කාර්යාලයේ කිසිවෙකුට කතා කරන්නට නොහැකි බව මට පසක් විය.

දුරකථන අංක මතකයේ තබා ගත් සමය නිමා වී බොහෝ කල් ය.

පැරණි කාර්යාලයට වඩා තරමක් අපේ නිවසට ලඟින් පිහිටා ඇති අලුත් කාර්යාලයට උදෑසන ම ගොස්, කලින්ම නිවසට ඒ මා ඇරඹූ තුන්වෙනි දවසේ ම එය කඩාකප්පල් වී මා යතුරක් නැති මෝටර් රථය අසල අතරමං වීමි!

මෙහිදී මා උගත් ප්‍රධානතම පාඩම වනුයේ නිවසෙන් පිට සිටින වේලාවන් හි දී තමන් ගේ යතුරු කැරැල්ල කිසි විටෙක තම සිරුරෙන් දුරස්ථ කළ නොයුතු බවයි. එසේම, මෙමරි ස්ටික් යනු යතුරු කැරලි සමග කිසි විටෙකත් එකට ඈඳිය නොයුතු අඩුමකුඩුමයක් බවයි.

ඒ පාඩම නම් අප බොහෝ දෙනෙකු දැනටමත් දන්නා එකක් විය හැකි ය.

තවත් වැදගත් පාඩමක් තිබේ.

එය හෙට ලියමි!
https://rasikalogy.blogspot.com/2016/05/not-unhappy-at-all.html

-රසිකොලොජිස්ට්

(image: http://www.thinkstockphotos.ae/image/stock-photo-keys-of-many-sizes-and-a-usb-memory/533442151)

Friday, 20 May 2016

කොට කලිසම ඉනේ බැඳං ගෙදර දොරේ වැඩපල කළ සකලබුජං මතකද? - Who can relate to this?


මීට දොළොස් වසරකටත් ඉහත කාලයක, මගේ දියණියව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ අනුග්‍රහය සහිතව ඒ දිනවල සිඩ්නි බටහිර තදාසන්න නගරයක් වූ සෙන්ට් මේරීස් හි පවත්වාගෙන ගිය සිංහල භාෂා පාසලට රැගෙන යන ඉරිදා දිනවල දී, මිතුරන් සමග කතා බහේ යෙදීම, වූල්වර්ත් සුපිරි සිල්ලර බඩු කඩයට ගොස් සතියක පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ මිලට ගැනිම, අයිවන් අප්පුහාමි ගේ ලංකා කුළුබඩු කඩයට ගොඩ වැදී කතා බහ කිරීම වැනි කටයුතුවලට අමතරව ඉතුරු වෙන වේලාවේදී මෝටර් රථයේ පිටුපස ආසනයට වී පොත් පත්තර කියවීමට මම පුරුදු වී සිටියෙමි.

මෙවැනි එක් දවසක, මට ආ සිතුවිල්ලක් කවියක් ලෙසින් ලියවුණේ මෙලෙස ය.

සකලබුජං

වයස හතේ අටේ පටං
කොට කලිසම ඉනේ බැඳං
අපේ ගෙදර බැල මෙහෙවර
කරපු කොලූ සකලබුජං
අම්මෙක් නැති සකලබුජං
අප්පෙක් නැති සකලබුජං
මා පාසල් ගොස් එනතුරු
ගෙදර හිටිය සකලබුජං
අම්ම කියයි පොල් ගාපං
අක්ක කියයි අතු ගාපං
දිය ඇදපං, දර පලපං
හැම දේට ම සකලබුජං
නිදිමැරුවා සකලබුජං
ටොකු කෑවා සකලබුජං
ළමා දිවිය බැල මෙහෙයට
දිය කෙරුවා සකලබුජං
තිස් වසකට පෙර දිනයක
අපේ අතින් වුණු වරදට
සකලබුජං
අනේ මචං
සමාවෙයං


මේ කවිය ඊට පසු කලෙක, මෙල්බර්න් නගරයේ, මා සිතු ආකාරයට, ජවිපෙට සම්බන්ධ සංවිධානයක් මගින් අරඹා කෙටි කලක් පවත්වාගෙන යනු ලැබූ "දිවැස" නම් සතිපතා පුවත්පතට යොමු කරන ලදුව එහි පළ විය.

අර්ථ රසය මෙන්ම ශබ්ද රසය ගැන ද සිතා මා ගෙතූ ඒ කවියට හොඳ ඉතා ප්‍රතිචාර ලැබුණි.

ඒ ප්‍රතිචාර කළ අය අතරින් සමහරු මා මේ කවිය ලියන්නට ඇත්තේ මා කුඩා කාලයේ අපේ නිවසේ මෙහෙකාරකමට සිටි ළමයෙකු සම්බන්ධයෙන් මගේ පුද්ගලික අත්දැකීම් ද මුසු කර යැයි අනුමාන කර ඇති බව පෙනුණි.

එයට විශේෂයෙන් ම හේතුව වූයේ, කවියේ අවසන් පද කිහිපයයි.

මට ප්‍රතිචාරයක් එවූ එක් රසිකාවියක්, අනේ රසිකයියේ, අපේ ගෙදර වැඩට සිටි ළමයෙකු සිහි වී මට දැඩි දුකක් දැනුණා. අපිට ඒ පොඩි කාලේ මේවා තේරුණේ නෑනේ! යැයි ඊ-මේලයකින් කියා එව්වා ය.

නමුත්, සත්‍යය නම්, අපේ නිවසේ හෝ අපේ ඥාතියෙකු ගේ නිවසක හෝ කිසිදු බාලවයස්කරුවෙකු හෝ බාලවයස්කාරියක කිසිදා මෙහෙකාරකමක නොසිටි බවයි.

මා ඒ කවිය ලීවේ මුළුමනින් ම ශිරෝමී ප්‍රනාන්දු ගේ කූප්‍රකට සකලබුජං ගීතයේ පදමාලාව සහ ඒ ගීතය ඇසීමෙන් මා ලද අත්දැකීම අනුසාරයෙනි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සකලබුජං කවියේ පසුබිම එසේ වෙතත්, මා මෙතෙක් ලියා ඇති විරහ කවි සහ ගී සියල්ල ම මගේ ම අමු ම අමු අත්දැකීම් වේ!

Thursday, 19 May 2016

හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට් - Once again down the memory lane


මා කුඩා කාලයේ අපේ තාත්තා හවසට සුරුට්ටුවක් බොන්නට පුරුදු වී සිටියේ ය. දිගැටි දුඹුරු පැහැති මේ සුරුට්ටු වර්ගයේ වෙළඳ නාමය තම්ෂර් වැනි එකක් බව මගේ මතකයයි. ඒ තම්ෂර් සුරුට්ටු අසුරා තිබුණේ වැනිස්ට්‍රා වැනි තුනී ලෑලි වර්ගයකින් තැනූ හුරුබුහුටි පෙට්ටිවල ය.

සුරුට්ටු පෙට්ටියක් ම නොව, තාත්තා එක් වරෙකට මිල දී ගන්නේ සුරුට්ටු කිහිපයක් පමණක් වුවද, ඒ සුරුට්ටු කිහිපය පෙට්ටියේ අවසාන ඒවා වූ විට තාත්තාට ගනේමුල්ලේ සුරුට්ටු කඩේ මුදලාලිගෙන් නොමිලේ ම ලැබුණු නිසා දෝ, අපේ නිවසේ ඒ වර්ගයේ හිස් සුරුට්ටු පෙට්ටි කිහිපයක් ම තිබුණි.

තාත්තා ගේ විනෝදාංශ වූ කැඩුණු ෆවුන්ටන් පෑන් සෑදීම, කැඩුණු කණ්ණාඩි රාමු සෑදීම වැනි කටයුතුවලට අවශ්‍ය වූ පරණ පෑන් කැබලි යනාදිය බහා තිබුණේ ඒ පෙට්ටි කිහිපයේ ය.

දිනක් පාසලේ සේවය නිමවා නිවසට එන අතරතුර සුරුට්ටු කඩයට ගිය තාත්තා දැක ඇත්තේ, කඩේ මුදලාලි තම්ෂර් සුරුට්ටු ඔතා දෙන්නේ අප බොහෝ දෙනෙකු දන්නා හඳුනන ඉංග්ලිෂ් ප්‍රකාශනයක් යැයි මා සිතන රීඩර්ස් ඩයිජෙස්ට් සඟරා පිටපත්වලින් කඩා ගන්නා කොළවල බවයි.

රීඩර්ස් ඩයිජෙස්ට් යනු කලක් සිංහලෙන් පළවුණු මනහර නම් සඟරාව මෙන් කුඩා හුරුබුහුටි ප්‍රමාණයේ එකකි. මනහර සේ ම විවිධ විෂයයන් හා සම්බන්ධව ලියවුණු ලිපි ලේඛනවලින් රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව සමන්විත විය. බොහෝ විට මනහර සඟරාවේ පළවුනේ රීඩර්ස් ඩයිජෙස්ට් හෝ ඒ ආකාරයේ වෙනත් ඉංග්ලිෂ් සඟරාවල පළවුණු ලිපිවල පරිවර්තන විය යුතු යැයි මම සිතමි.

මේ ගැන කඩේ මුදලාලිගෙන් මදක් විපරම් කළ තාත්තාට දැන ගන්නට ලැබී ඇත්තේ කාගේ දෝ නිවසකින් විකුණු පරණ පත්තර ගොඩක රීඩර්ස් ඩයිජෙස්ට් සඟරා එකතුවක් තිබී ඇති බවත්, ඒ සඟරාවල අප දන්නා හුරුබුහුටි ප්‍රමාණය තම්ෂර් සුරුට්ටු ඔතන්නට අපූරුවට ගැලපෙන නිසා මුදලාලි ඒ සඟරා තොගය ම කිලෝ ගණනට රුපියල් දී මිලට ගත් බවත් ය.

අපේ තාත්තා එදා ගෙදර ආවේ තම ජාතික ඇඳුමේ පැත්තේ සාක්කුවේ දැමූ තම්ෂර් සුරුට්ටු කිහිපයක මිටිය සහ එක් අතකින් ගුණසිරි කඩෙන් ගත් කුළු-බඩු, හාල්මැස්සන්, කරවල රැගත් සිමෙන්ති උර ප්‍රතිචක්‍රීකරණය කර සෑදූ බෑගය පමණක් නොව, අනෙක් අතෙන්, කිලෝ ගණනට රුපියල් දී තම්ෂර් සුරුට්ටු කඩේ මුදලාලිගෙන් මිලට ගත් රීඩර්ස් ඩයිජෙස්ට් සඟරා විශාල තොගයක් එක පිට එක තියා කොහු ලණුවකින් බඳින ලද මිටියක් ද රැගෙනයි.

මා මුලින්ම රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවක් ලෙස දැක්කේ ඒ ගනේමුල්ලේ තම්ෂර් සුරුට්ටු කඩෙන් කිලෝ ගණනට ගෙනා ඒවා ය.

මනහර සඟරාව බිහිවුණේ මීට වසර කිහිපයකට පසුව යැයි සිතමි. අපේ තාත්තා මනහර මිලට ගත්තේ නැත. තම්ෂර් සූරුට්ටු කඩේ මුදලාලි ට මනහර සඟරා නොලැබුණි. එසේ නමුත්, මනහර සඟරාවේ පිටපත් කිහිපයක් අපේ ඥාතියෙකු ගේ නිවසේ තිබී, නිවාඩු කාලයකට එහි ගිය විටෙක මා කියවා තිබේ.

මනහර සඟරාවට වඩා රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ තිබූ එක් වෙනසක් වන්නේ සඟරාවේ අන්තර්ගතයට කෙරෙන පාඨක සම්මාදමයි. පාඨකයින් විසින් ලියා එවන කුඩා විහිළු-තහළු යනාදිය සඟරාවේ තැනින් තැන ලිපිවල අග ඉතුරු වී ඇති ඉඩ පුරවන්නට ද, ඊට අමතරව "ලාෆ්ටර් ද බෙස්ට් මෙඩිසින්", "ඕල් ඉන් එ ඩේස් වර්ක්" යනාදී නමින් යුතු නිත්‍ය විශේෂාංගවල ද දකින්නට ලැබුණි.

අපේ තාත්තා ගේ තම දරුවන්ට ඉගැන්වීමේ ප්‍රතිපත්තිය වූයේ "උඹලට ඕනෑ නම් ඔය පොත් කියවහල්ලා, අමාරු වචනයක් හරි නොතේරෙන තැනක් හරි තියෙනවා නම් මගෙන් අහපල්ලා!" යන්න නිසා, ඒ රීඩර්ස් ඩයිජස්ට් සඟරාවලින් මා කියවා ඇත්තේ පෙර කී විහිළු-තහළු පමණකි. ඒ ද, කොන්දේසියක් ලෙස, එක් වාක්‍යයක අමාරු වචන තුන හතරකට වඩා නැත්තේ නම් පමණි. ඇවිදින ඉංගිරිසි-සිංහල ඩික්ෂණරියක් බඳු තාත්තා සිටියද, වාක්‍යයක ඇන්ඩ්, එ, ද, ආ, බට් වැනි වචන හැර අන් සියලුම වචන අමාරු වචන වන විට කියවීම එපා වේ!

මනහර සඟරාව නම් පසු කලෙක අභාවප්‍රාප්ත විය. එයට හේතුව එහි අයිතිකරු වූ මූ අරුක්ගොඩ අතුරුදහන් වීම යැයි මා අසා තිබේ. මුතුහර නමින් ද පෙර කී හුරුබුහුටි තම්ෂර් ප්‍රමාණයේ සඟරාවක් බිහි වී තිබුණි. එයට කුමක් වූවාදැයි මම නොදනිමි.

රීඩර්ස් ඩයිජස්ට් සඟරාව නම් අද ද පළ වේ. එහි ඕස්ටේ‍ර්ලියානු ප්‍රකාශනය ඇතැම් සුපිරි සිල්ලර කඩවල කවුන්ටර් අසල විකිණීමට ඇතත්, මා දන්නා විදියට එය බොහෝ දෙනෙකු මිලට ගන්නේ වසරකට පමණ කාලයකට කලින් මුදල් ගෙවා ලියා පදිංචි වී තෑපෑලෙන් ගෙන්වා ගෙන ය. ඒ සඳහා විශාල අලෙවිකරණ වැඩ සටහනක් ද ඇත.

දොස්තර හමුවීමට ගොස් වේලාව එනතුරු පුටු රත් කරන ශාලාවේ සිටින ඇතැම් දිනයන් හි දී මම එහි ඇති රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව පෙරළා බලමි. නමුත්, මා අද ද කියවන්නේ ඒ සඟරාවේ ලිපි අග ඇති ඉඩ පිරවීමට පළ කර ඇති විහිළු-තහළු සහ "ලාෆ්ටර් ද බෙස්ට් මෙඩිසින්", "ඕල් ඉන් එ ඩේස් වර්ක්" යනාදී නමින් යුතු නිත්‍ය විශේෂාංග ද පමණි.

තවත් එක් කරුණක් කිව යුතු ය.

මේ ලිපිය ලියන අද දවසේ, දුම්බීම යනු වැරදි වැඩක් බවට සාමාන්‍ය පිළිගැනීමක් තියෙන නිසා, දවසට එකක් වුව ද තම්ෂර් සුරුට්ටු බිව් තාත්තා වැරදි වැඩක් කළ අයෙකු යැයි තරමක චකිතයක් ඇතිවීම වැළැක්විය නොහැක. නමුත්, මා මේ කියන කාලය යනු පුවත්පත්වල පිටු ගණන් සිගරැට් දැන්වීම් පළ වුණු, රට හැම තැනම සිගරැට් දැන්වීම් රැගත් කටවුට් සවි කර තිබුණු, දුම්කොළ සමාගම් විසින් ක්‍රීඩාවලට අනුග්‍රහය දැක්වූ, කොටින් ම ප්‍රේමසර ඈපාසිංහ විසින් ඉදිරිපත් කරන ලද බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු අප සාමාන්‍යයෙන් අසන ගුවන් විදුලි වැඩ සටහනක් වූ කාලයයි.

මා දන්නා කාලයේ එලෙස දිනකට එක් තම්ෂර් සුරුට්ටුවක් පමණක් බිව් අපේ තාත්තා, පසුව එය ද කෙමෙන් අඩු කොට අන්තිමට සහමුලින් ම නතර කළේ ය.

මගේ සොහොයුරන් හෝ මා හෝ දුම්බීමට පුරුදු නොවුනේ, අපේ තාත්තා ඒ ආකාරයට සුළු වශයෙන් හෝ දුම් බිව් නිසා යැයි මට සිතේ.

නමුත්, අපේ තාත්තා කෙදිනකවත් මත්පැන් පානය කරනු මා දැක නැත.

තාත්තා පාවිච්චි නොකර ඉතුරු කළ ඒ මත්පැන් කෝටාව මට තනිකරම අයිති නොවූ බව පවසන්නේ ඉතා කණගාටුවෙනි!

-රසිකොලොජිස්ට්

(images: http://www.hitc.com/en-gb/2012/07/25/bottoms-up-stodgy-magazine/ and http://www.readersdigest.co.uk/health/health-centre/break-habit-smoking-cigarettes)

Wednesday, 18 May 2016

බෞදිය නොහොත් පට්ට ගැසූ මාතෘකාවක් - Expanding your vocabulary


"බෞදිය" යන වදන මගේ නිර්මාණයක් නොවේ.

බෞද්ධ සහ සවුදිය යන වදන් ද්වයේ එකතුවක් ලෙස ඒ ඒකාබද්ධ අර්ථය ම ගෙන දෙන්නට වාත්තු කර ඇති ඒ වචනය මා දුටුවේ චමීර දේද්දුව ගේ වත්පොත් සටහනකිනි.

මේ අරුත ම ගෙන දෙන්නට මා ද ඇතුළු බොහෝ දෙනෙකු මෙතෙක් භාවිතා කළ "සිංහල තලේබාන්" යන යෙදුමේ ඇති නොගැලපෙන උප කුලකය ඉවත් කෙරෙන "බෞදිය" අනිවාර්යෙන් ම සිත්ගන්නා සුලු අරුත්බර නිමැවුමකි!

වත්පොතේ සැරිසරන විට නොයෙකුත් කියුම්-කෙරුම් හමුවේ. "බෞදිය" යන්න මාතෘකාවට යොදාගෙන මා මේ සැරසෙන්නේ සයිබරයේ පට්ට ගැසූ කාරණයක් ගැන අලුතෙන් මා වත්පොතේ දුටු කරුණක් ගැන ලියන්නටයි.

එනම් ලංකාව නමැති බුදුන්ට පිදූ රට ගැන ය.

වත්පොතේ කෙටි සටහනක් ලියන අමිල අබේධීර (හම්බන්තොට ජීවත් වෙන ඔහු උග්‍ර ම.රා. වාදියෙකි!) පසුගිය දෙසැම්බරයේ දී මෙසේ පවසා තිබුණි.
"නත්තල සමරන බෞද්ධයින් සිටිනා අමුතු රටක් මේක.

නත්තල් සුභ පැතුම් පණිවුඩ වලට මාව ටැග් නොකිරීමට කටයුතු කරන්නේ නම් හොද යැයි ආරම්භයේදී ම පවසමි.

අප කතා කරන්නේ මෙරට තුන්වතාවක් සම්බුද්ධ සාසනයට පූජා කර ඇති බවයි, නමුත් එරටේ මුග්ධ ජනී ජනයා මිත්‍යාදෘෂ්ඨික ආගම් සැමරීම අද විලාසිතාවක් කැරගෙන තිබීම සම්මා දිට්ඨියද?

සිහි එලවා ගන්න. අවදි වන්න. එළැඹෙන්නේ යක්ෂයාගේ හෝරාවයි.

තෙරුවන් සරණයි."
මගේ කෙටි පිළිතුර වූයේ මෙයයි.

"හොදයි එහෙනම් අපි ලංකාව බොදු තලේබාන් රටක් හෝ සවුදි අරාබියක් කරමු!"

එය චමීර ගේ වචනය යොදා මෙලෙස නැවත ලිවිය හැකිය.

"හොදයි එහෙනම් අපි ලංකාව බෞදියක් කරමු!"

මට එවෙලේ ලියන්නට කාලවේලා නොතිබුණු දිගු ප්‍රතිචාරය මෙසේය.

ලංකාව බුද්ධාගම පූජා කළ මේ වාර තුන ගැන මට එක්වර ම සිහිකර ගත නොහැක. නමුත්, ඉන් පළමු වාරය, බුදු දහම ගැන අශෝක් නම් ඉන්දියානු ව්‍යාප්තවාදී අධිරාජවාදියා ගේ පණිවිඩයක් රැගෙන පැමිණි මිහිඳු හාමුදුරුවන් ගේ මිෂනාරි ගමනට සම්බන්ධ යැයි අනුමාන කරමි.

එදා පැවති රාජාණ්ඩුක්‍රමය අනුව, රජු පාලනය කරන සමස්ත භූමි ප්‍රදේශයම අයිති වූයේ ඔහුූට ම නිසා, ඕනෑ තෑගි ඔප්පුවකින් ඒ දේපල ඕනෑ ම අයෙකුට ප්‍රදානය කිරීමට රජුට හැකි විය.

ඒ සමගම රජු ගේ යටත් වැසියන් සියලු දෙනාම ඒහි පස්සිකෝ ක්‍රමයටත් වඩා සරල ක්‍රමයකින් බෞද්ධයින් වූ බව සැලකේ.

එය වනාහී බුදුන්ටත්, ඔහු ජීවත්ව සිටි කාලයේ දී කිරීමට නොහැකි වූ මහා ප්‍රාතිහාර්යයකි!

බුදුන්ට සිදුවුණේ දේශ දීපංකරවල පයින් ඇවිඳිමින්, ධර්ම දේශනා කරමින්, තම දාඩිය මහන්සියෙන්, මහජනයා තමන්ගේ අනුගාමිකයින් බවට පත් කර ගන්නටයි.

ලංකාව මුල්වරට බුද්ධාගමට පූජා කළේ "තිස්ස-මුවා-මහින්ද-අඹ ගහ කතාවේ" අවසානයේ දී විය හැකි වුව ද, දෙවෙනි සහ තුන්වෙනි වරට බුද්ධාගම පූජා කළා යැයි සැලකෙන අවස්ථා ගැන නම් මම නොදනිමි. ඒ ගැන විස්තර දන්නා අයෙකු වේ නම් කරුණාකර සඳහන් කරන්න.

වාසනාවකට හෝ අවාසනාවකට හෝ, පළමුවෙනි රාජසිංහ හින්දු ආගම වැළඳගත් සමයේ හෝ දොන් ජුවන් ධර්මපාල කතෝලික ආගම වැළඳගත් සමයේ මේ ආකාරයට ලංකාව අදාළ ආගමට ම පූජා කළේ හෝ නොකළේ හෝ වුව ද, එයින් අපට ලොකු බලපෑමක් වී නැතැයි සිතේ!

නමුත්, මා අසා, කියවා ඇති පරිදි මැලේසියාව, ඉන්දුනීසියාව, මාලදිවයින වැනි රටවල් පසු කලෙක බහුතර මුස්ලිම් රටවල් බවට පත් වී ඇත්තේ මේ ආකාරයට ම ය. එනම් බලයේ සිටි උන් විසින් මුළු රටම ආගමික පූජකයින් වෙත දොර දන් දීමෙනි.

අමිල අබේධීර වැන්නන්ට අවශ්‍ය වී ඇත්තේ කුමක්දැයි පැහැදිලිය. එය නම්, ලංකාව බෞදියක්, එනම්, වෙනත් කිසිදු ආගමකට ඉඩ නැති, ඒකාගමික බෞද්ධ රටක් කිරීමටයි.

මගේ අදහස නම්, අනුන්ට කරදරයක් නොවෙන ආකාරයට, තමන්ට කැමති ඕනෑම ආගමක් අදහමින් නිදහසේ ජීවත්වීමට රටේ සෑම පුද්ගලයෙකුට ම අයිතියක් ඇති බව සහ රාජ්‍යය ආගමෙන් වියුක්ත සංස්ථාවක් විය යුතු බවයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලකට පෙර ලියන ලද මේ ලිපිය මගේ පරණ "වැඩ මල්ලේ" තිබී අද හමුවිය. බෞදිය යන්න මෙන් ම වැඩ මල්ල යන්න ද මා වත්පොතේ තිබී අහුලා ගත් වචනයකි. එය භාවිතා කර තිබුණේ බ්ලොග්(කාරයින් ගේ) හිතවතෙකු වෙන ශාන්ත කේ හේරත් චිත්‍ර ශිල්පියා ය.

(image: http://awaretheory.com/wiki/index.php?title=Religious_Tolerance_and_Awaretheory)

Tuesday, 17 May 2016

බැක් ටු නොකියා - What's so funny, mate?


මා ලංකාවේ ඉන්නා කාලයේ දී "ඇමරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" නම් වැඩසටහනක් නරඹා ඇත. මෙහි අඩංගු වූයේ වීඩියෝ කැමරා හිමි අය විසින් තමන් ගේ පවුලේ සාමාජිකයින් ගේ විවිධ ක්‍රියාකාරකම් පටිගත කරද්දී අහම්බෙන් සිදුවුණු අතපසුවීම්, වැරදීම්, ලිස්සා වැටීම් සහ වෙනත් අනතුරුදායක අවස්ථාවල දර්ශන විය.

නරඹන්නන් විසින් රූපවාහිනී නාලිකාවට එවා තිබුණු ඒ සෑම දර්ශනයක් ම විකාශය වෙද්දී ඒවාට උසුළු විසුළු හඬ එකතු කර තිබුණු අතර, ඊට අමතරව ඒවා ශාලාවක නරඹන්නන් ඉදිරියේ පෙන්වා පටිගත කරගත්තාක් සේ හැඟුණු සිනාසෙන හඬ ද අඩංගු විය.

මෙහිදී මා නිරීක්‍ෂණය කළ වැදගත් කාරණයක් නම්, වඩාත් හොඳින් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුණේ (හෝ ලැබුණා සේ හැඟවෙන්නට හඬ එක් කර තිබුණේ) බොහෝ විට මිනිසුන් ගේ කකුල් පැටලෙන, ලිස්සා යන, බිම ඇද වැටෙන දර්ශනවලට බවයි.

ඇද වැටෙන පුද්ගලයා ගේ ශරීර ප්‍රමාණය විශාලවත්ම, එකතු කර තිබුණු උසුළු-විසුළු හඬ මෙන්ම සිනා-අත්පොළසන් ප්‍රතිචාරය ද තීව්‍ර විය.

මේ වැඩසටහන නරඹද්දී මට සිහිවුනේ මා කුඩා කළ වූ සිදුවීමකි.

මා හත්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ දී සම වයසේ මිතුරන් කිහිප දෙනෙකු ඉන්නා තැනක මා පා පැකිලී ඇද වැටුණු අතර, මගේ වැලමිට තුවාල වී තරමක් ලේ ගලන්නට ද විය. මා වේදනාවෙන් නැගිටින විට දුටුවේ, මට වුණු අනතුර එහි සිටි බොහො දෙනෙකුට හාස්‍යයක්, සිනහවක් ගෙන දෙන කාරණයක් වී ඇති බවයි.

මට නැගිටින්නට අත දෙන්නට කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර, වැලමිටෙන් ගලන ලේ පිළිබඳව ද කිසිවෙකු උනන්දු වූයේ නැත.

මට ඇති වුණේ කලකිරීමකි, කෝපයකි.

"ඇමරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" යනු මා අකමැති ම වැඩ සටහනක් බවට පත් විය. ඕස්ට්‍රේලියාවට මා සංක්‍රමණය කළ සමයේ ද ඒ "ඇමරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" හි කොපිකැට් වැඩ සටහනක් "ඕස්ට්‍රේලියාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" නමින් ප්‍රචාරය වුණු අතර මම එය ද වර්ජනය කළෙමි.

මේ සියල්ල මට සිහි වුයේ පසුගිය ඉරිදා මට සිදුවුණු ඇබැද්දියක් නිසා ය.

කෙටියෙන් කියනවා නම් සිදුවීම මෙසේය.

සෙනසුරාදා උදේ, අපේ පුත්‍ර රත්නයට පුස්තකාලයට යන්නට අවශ්‍ය යැයි මම උදෑසන ඇඟපත සෝදා මගේ ප්‍රියතම ඩෙනිමෙන් ද, ටී ෂර්ටයකින් ද සැරසුණෙමි. අවසාන මොහොතේ සැලසුඟ වෙනස් වී, මා වෙනුවට බිරිඳට ඒ රාජකාරිය පැවරුණේ, හවස අපේ නිවසට පැමිණීමට අනුෂ්කලාට ආරාධනා කෙරුණු නිසා, ඒ සඳහා කඩේ යාමට ද අවශ්‍ය වූ බැවිනි.

නිවසේ සිටිමින් මා කළේ රෙදි තොගයක් වොෂින් මැෂිමේ සේදෙන්නට දමා පරිගණක ගත වීමයි. ඒ තොගය සේදුණු පසු ඒවා නිවස පිටුපස අදාළ පරිදි ස්ථානගත කර තවත් රෙදි තොගයක් මැෂිමට දැම්මෙමි. උදේ මා ඇඳි මගේ ප්‍රියතම ඩෙනිම ද, එයට එකතු කළෙමි.

ඒ තොගය සේදෙන අතරේ නැවතත් පරිගණක ගත වී "පුතාගෙන් අතීතය දකින තාත්තා ගේ කතාව" ලියා පළ කළෙමි. තේ කෝප්පයක් බීමට කුස්සිය දෙසට එන විට වොෂින් මැෂිමෙන් අමුතු සද්දයක් ඇසුනද මම එය නොසලකා සිටි බව ද පසුව සිහිවිය.

තේ බොන අතරේ, ආපසු පරිගණක ගත නොවී මගේ සැම්සන් ගැලක්සි මොබයිලයෙන් බ්ලොගය පිරික්සීමට සිතා මොබයිලය සෙවුවද, සොයා ගත නොහැකි විය.

මේ අතර බිරිඳ ද නිවසට පැමිණියා ය. ඇය සමග මදක් කතා බහ කරමින් සිට, වොෂින් මැෂිමේ හේදීම අවසාන වෙන්නට තව කෙතරම් වේලාවක් ඇතිදැයි දැන ගැනීමට ඒ දෙසට ගිය විට මා දුටුවේ, මැෂිමේ කැරකෙන කොටසින් එළියක් විහිදෙන බවයි.

මට වහා සිදු වී ඇති දේ පසක් විය.

ඩෙනිම් කලිසමේ සාක්කුවේ තිබුණු මගේ සුරුබුහුටි සැම්සන් ගැලක්සි මොබයිලය ඇඳුම් තොගය සමග පැයක් පමණ වොෂින් මැෂිමේ හොඳින් සේදී දැන් වතුර ඉවත්වීමට 1400 වේගයෙන් කැරකෙමින් පවතී! එනමින් ම යුතු කාටූන් විත්‍රපටයේ වොලී නම් චරිතය සිහිපත් කරමින් මොබයිලයේ ෆ්ලෑෂ් ලයිට්ටුව පත්තු වී ඇත.

වොෂින් මැෂිම නවතා, මොබයිලය ඉවතට ගත්තද, ඒ වන විට එය මිය පරලොව ගොස් අවසාන වී තිබුණි. එයට නැවත පණ දීම සඳහා මා කළ සියලුම ප්‍රයත්න ව්‍යවර්ථ විය.

වසර තුනහමාරක් මගේ එදිනෙදා ජීවිතයේ කොටසක් මට අහිමි වී ගියේ එලෙසය. ආර්ථික පාඩුව මෙන්ම, සිතට ද දැඩි දුකකි. මගේ බැක්අප් නොකළ සති තුනක පමණ වැදගත් ඡායාරූප රාශියක් ද අහිමි වී ඇත. ඊට අමතරව, සිය ගණනක් දුරකථන අංක සහ අනෙකුත් විස්තරද නැවත සොයා එකතු කර ගත යුතුව ඇත.

මට ඇතිවූ ප්‍රශ්නය මෙයයි.

මේ කතාව ඇසූ සියලු දෙනාම පාහේ එයින් විනෝදයක් ලබනු මට පෙනුණි. හරියටම අර ඇමරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස් හි මිනිසුන් පය පැකිලී ඇඳ වැටී පස්ස බිම ඇනෙන දර්ශන නරඹන්නන් මෙනි!

අඩු වශයෙන් එක් අයෙකු හෝ මගේ දුක මා හා විඳගන්නට එක් වුණේ නැත.

මම ද පාඩමක් ඉගෙන ගතිමි.

දැන් මා ඒ අවාසනාවන්ත සිදුවීම විස්තර කරන්නේ මෙලෙස ය.

"මං සති අන්තයේ දී මගේ ෆෝන් එක කිලුටු වෙලා තියෙනවා දැකලා වොෂින් මැෂිමේ දාලා හොඳට හෝදා ගත්තා!"

එවිට අප සියලු දෙනාටම එක්ව සිනාසිය හැකිය.

-රසිකොලොජිස්ට්

ප/ලි
පසුවදා වසර දහයක් පමණ පැරණි නෝකියාවක් සොයා ගෙන එයට සිම් පත දා ගත්තෙමි.


(image: https://www.youtube.com/watch?v=K_1vDrWl88Y)

Monday, 16 May 2016

මුලින්ම අරක්කු බීපු දවසේ වෙරි වුණේ බොරුවට ද? - A question I ask myself


ඒ ප්‍රශ්නය, මේ ලිපිය ලියන මා එය කියවන ඔබෙන් අසන ප්‍රශ්නයක් නොව, මා මගෙන් ම අසා ගන්නා ප්‍රශ්නයකි.

මගේ අතීතකාමය සන්තර්පනය කර ගැනීමට ලියවෙන, එසේම කියවන්නන්ගෙන් බහුතරයක ගේ ද අතීතකාමය ඇවිස්සීමට හේතු කාරක විය හැකි, මේ ලිපියේ මුඛ්‍ය කතාවට ඒමට පෙර මගේ සිතට ආ අතුරු කතා කිහිපයක් ලියවෙනු ඇත.

මා මුලින් ම, මද්‍යසාර බිඳක් තොල ගෑවේ උසස් පෙළ සහ විශ්ව විද්‍යාලය අතර ගන්ධබ්ක කාලයේ දී බව පෙර ලිපියක ලියූවෙමි. ඒ දිනවල මගේ වයස අවුරුදු දහඅට ඉක්මවා තිබුණි. නමුත්, මා දැන සිටි පරිදි පාසල් යන කාලයේ ද සමහර සිසුහු බියර් පානය කළහ.

අප එකොළොස්වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ පැවති ආනන්ද නාලන්ද වාර්ෂික ක්‍රිකට් තරගයේ අවසාන දිනයේ දී මා නිවසට යන්නට මරදාන දුම්රිය පොළට පැමිණියේ මගේ පන්තියේ සගයෙකු සහ අපට වඩා වසරක් පහළ පන්තියක සිටි ඔහු ගේ කඳානේ දුම්රිය මිතුරෙකු සමගය.

එකල, මරදාන දුම්රිය ස්ථානයේ වේදිකා අංග 5-6 ප්‍රදේශයේ ආපන ශාලාවක් පිහිටා තිබුණි. අපි එහි ගියෙමු.

මගේ මිතුරා බියර් බෝතලයක් ඇණවුම් කළ අතර, ඔහු ද, අනෙකා ද එයට වග කීවෝ ය. මම තේ එකක් ඇණවුම් කළෙමි. ඒ කාලේ ටින්කිරි දමා සාදන තේ කෝප්පයක මිල, මරදානේ දුම්රිය පොළේ ම ඉහළ මාලයේ පිහිටා ඇති ආපන ශාලාවේ නම්, ශත විසි පහකි. නමුත්, මෙදින මගෙන් රුපියල් දෙකයි ශත පනහක් අය කෙරුණු අතර, ඒ හිලව්වට මේසයට ම ලැබුණේ තේ ජෝගුවක්, කුඩා කිරි කෝප්පයක්, සීනි බඳුනක් සහ හැන්දක් තැබූ බන්දේසියකි.

සමහර විට මා ඒ තේ කෝප්පයකට වැය කළ මුදලෙන් එදා අඩු වශයෙන් බියර් බෝතල් භාගයක්වත් මිලට ගන්නට හැකිකම තියෙන්නට ඇත!

මගේ මුල් ම අරක්කු අත්දැකීම මට ලැබුණේ, ඉන් වසර දෙක හමාරකට පමණ පසු මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ඇරඹුවායින් පසුවය.

නවකවද සමයේ අවසානයත් සමගම මා පදිංචිව සිටි මාර්කස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේ ජ්‍යෙෂ්ඨ සිසුවෝ අප පිළිගැනීම සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් සහිත උත්සවයක් සංවිධානය කළෝය.

ඒ උත්සවය සම්බන්ධයෙන් අමතක නොවන කාරණා තුනක් කීමට ඇත.

ඉන් එකක් නම්, එදා අපට ලැබුණු කෑම පාර්සලය දිග හැර එහි තිබුණු කුකුල් මස්, බිත්තරය, අච්චාරු, පරිප්පු සහ සම්බා කහ බත් දුටු, එතෙක් කල් ලොකු ඇට හාල්, මුං ඇට, කොළ ගෝවා මැල්ලුම සහ හරක් මස් හම් කෑලි කමින් සිටි අප අතර සිටි උඩුගම නම් මිතුරා විසින් "අද නම් ගෙදර වගේ!" යැයි ප්‍රකාශයක් කිරීමත්, අප වහාම ඔහු "බුරියානි නයා" ලෙසින් බෞතීස්ම කිරීමත් ය.

නවක සිසුන් වෙනුවෙන් අප ඉදිරිපත් කළ ප්‍රහසනයේ මා චරිතයක් නිරූපණය කිරීම ද වැදගත් මතකයකි. ඒ ප්‍රහසනය වනාහී අර අමාරිස් අයියලා ගේ ප්‍රසංගයක එන ආ යූ මෑඩ් ඕ ඈම් අයි මෑඩ් කියා සුද්දෙකු අසන විට බෝත් කියා පිළිතුර දෙන කතාවේ අනුවර්තනයකි. අප කළ එක් වෙනසක් නම් සුද්දා වෙනුවට පරංගියෙකු ඇතුළත් කිරීමයි. එයට හේතුව පරංගියා යැයි අන්වර්ථ නමෙන් හැඳින්වුණු කළා පීඨ අවසාන වසර ශිෂ්‍යයෙකු මාකස් ප්‍රනාන්දු ශාලාවේ ඒ දිනවල නේවාසිකව සිටීමයි. මා රඟපෑවේ ඒ පරංගියා ගේ චරිතයයි.

මගේ දහනමවෙනි උපන් දිනයට දින හතරකට පසුදින පැවති අපේ වෙල්කම් පාටියේ මගේ මතකයන් අතරින් අද මේ ලිපියට අදාළ සිදුවීම වන්නේ, එදින මා මුල්වරට අරක්කු පානය කිරීමයි.

වෙල්කම් පාටිය දා යමක් කරමු යැයි අප අතරේ සිටි කිහිප දෙනෙකු ගේ යෝජනා ස්ථීරත්වයෙන් සම්මත වී තිබුණි. වෙල්කම් පාටියේ දී ද, යම් කිසි පානයක් අපට ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් ලැබෙන බවට රාවයක් තිබුණ ද, අපට අවශ්‍ය වූයේ ඒ තනුක මිශ්‍ර බීම නොව කෙළින් ම අහවල් වර්ගයේ පානයක් කිරීමටයි.

සම්මාදම් වීමට කැමති අයගෙන් රුපියල් කිහිපයක් බැගින් සම්මාදම් කෙරුණු අතර, එකල පේරාදෙණිය අවට ගම් හතකවත් බෝතල් කඩයක් හෙවත් අද භාෂාවෙන් වයින් ස්ටෝරුවක් නොතිබුණු නිසා, අපේ අයෙකුට මහනුවර කොළඹ වීදියට ම යාමට ද සිදුවිය.

එදා නවක සරසවි සිසුන් ගේ තේරීම වූයේ, මගේ ආතා ද (මව ගේ පියා) පානය කරනවා යැයි මා දැන සිටි අරක්කු වර්ගය වූ සංස්ථා පොල් අරක්කු ය. අවර්ණ බෝතලයක් ද, සුදු කළු ලේබලයක් ද මෙහි දී මගේ සිහියට නැගේ. මෙය අද සිංහල බ්ලොග්කරුවන් ගේ ප්‍ර්‍රියතම පානය ලෙස හැඳින්වෙන, කොළ පැහැති ලේබලයකින් යුතු වර්ගයට වඩා රුපියල් කීපයක් මිලෙන් වැඩි අරක්කු විශේෂයක් විය.

මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේ එක් කාමරයක රැස් වුණු අපි, භෝජනාගාරක් නොමැති අපේ ශාලාවේ තිබුණු කුඩා ආපන ශාලාවෙන් සොයා ගත් අඬු කැඩුණු කෝප්ප කිහිපයක් උපයෝගී කොටගෙන, සම්මාදමෙන් ගෙනා පොල් අරක්කු රස බැලුවෙමු. එක් අයෙකුට කෝප්ප භාගයක් පමණ හිමි වුණු බව මගේ මතකයේ ඇත.

ඉන්පසු අප කළේ, නවකවදය සමයෙන් පසු අප ලද නිදහස උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින්, මහ හඬින් ගී ගයමින්, නටමින් මාකස් ප්‍රනාන්දු ශාලාව පුරා යාමයි.

මේ අතරතුර මට නැගුණු ප්‍රශ්නය නම්, මගේ මුව තුළින්, මගේ උගුර හරහා, මගේ ම ආමාශය කරා ඇදුණු, පොල් අරක්කු අඬු කැඩිච්ච කෝප්ප භාගයෙන් මා සිතූ ආකාරයට මත් වීමක් කිසිසේත් ම ඇති නොවීමයි.

අයියෝ සල්ලි!

දැන් ඉතින් කුමක් කරන්නද?

ඇත්ත මත් වීමක් සිදු නොවෙයි නම්, මත් වූ බවට රඟ පෑමක්වත් කළ යුතු යැයි මට ඒ මොහොතේ ඇත්තට ම සිතුණි.

මගේ රඟ පෑමට අයත් වූයේ මත් වුණු හඬින් කතා කිරීමත්, උස් හඬින් ගායනයත්, ඇවිදින විට තරමක් ඇදට ඇවිදීමත් ය.

ඒ මොහොතේ අපේ කැරොල් කණ්ඩායමේ මා අසලින්ම වාගේ සිටියේ මාරස්සනින් පැමිණි විද්‍යා පීඨයේ සිසුවෙකි. ඔහු එදා මත්පැන් පානයට සම්මාදම් නොවුණු අයෙකි. "මචං රසිකට පොඩ්ඩක් වැඩියි වගේ!" යැයි මාරස්සන මිතුරා පවසනවාත්, ඒ අසා මට කට කොනකින් සිනා යනවාත්, මගේ රඟපෑමේ සාර්ථකත්වය දැනී, මා එය දිගටම පවත්වාගෙන යනවාත්, මාරස්සනයා මා වත්තම් කර ගන්නවාත් මගේ මතකයේ ඇත.

හැබැයි, එතැනින් පසුව පසුවදා උදෑසන වෙනතුරු සිදුවුණු දේ පිළිබඳව නම් මගේ මතකය එපමණ පැහැදිලි නැත!

කෙසේ වෙතත්, යළිත් මුදල් සම්මාදම් කර නුවර ගොස් පොල් අරක්කු ගෙනැවිත්, නේවාසිකාගාරයේ භෝජනාගාරයෙන් ගෙනා අඩු කැඩුණු කෝප්පවලින් රහ බලන්නට මට ඉඩ ලැබුණේ නම් අක්බාර්-නෙල් නම් නේවාසිකාගරයේ දී මුල් අත්දැකීමෙන් මාස නමයකට පමණ පසු අපේ පළමු වසර විභාගය අවසන් වූ දිනයේ දී බව නම් මට නිසැකව ම කිව හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ අවවාදය නම්, මත්පැන් පානය යනු හැකි තරම් දුරස් කළ යුතු දෙයක් බව සහ නිරතුරු මත්පැන් පානය ඇබ්බැහියකට පෙරළීමට ඉඩ ඇති බවයි.

දිනපතාම අනුමත වුව ද, එමගින් බීමට ඇබ්බැහි නොවී සිටින්නේ කෙලෙසද යන්න ගැන උපදෙස් ගැනීමට අවශ්‍ය නම් මෞර්ය රාජ් බ්ලොග්කරුවා අමතන්න.

(image: http://www.panoramio.com/photo/2972580)

Saturday, 14 May 2016

පුතාගෙන් අතීතය දැකීම - Back to the future


කාලය ගත වෙන ඉක්මන!

මගේ පුතා ගේ පහළොස්වෙනි උපන් දින සැමරුම පසුගිය සතියේ යෙදුණි. දැන් ඔහු ඉගෙනුම ලබන්නේ දහවෙනි ශ්‍රේණියේ ය. ඔහු මෙලොව උපත ලද කාලය නම්, තරමක් අතීතයේ බව හැඟෙතත්, පුතා මුලින් ම පාසල් ගිය කාලය නම් මට අද ඊයේ මෙනි. මා කලින් දිනයක ලියූ සටහනක දී කියූ පරිදි මා අද ජීවත්ව සිටින්නට එක හේතුවක් ද ඔහු යැයි මට සිතේ!

මම මගේ පුතා දෙස බලා මගේ අතීතය දකිමි. මා මෙන් ම බොහෝ පියවරුන් ද මේ අත්දැකීම ලබනවා විය හැක.

අප පොඩි කාලයේ අද මෙන් දිනපතා, සතිපතා, මාස් පතා තියා වසරකට වරක්වත් ඡායාරූප ගැනීමක් නොතිබුණු ද, මා සතුව ඇති මගේ ළමා කාලයේ ඡායාරූප කිහිපයේ දකින්නට ඇති මගේ රැවත්, මගේ පුතා ගේ හැඩරුවත් අතර බොහෝ සමානකම් මම දකිමි. ඉහත ඇත්තේ එවැනි පුතා සහා තාත්තා ගේ සම වයසේ ඡායාරූප සන්සන්නදයකි.

එසේම, අද ඔහු සිතන පතන ආකාරය ගැන යම් ආකාරයක හැඟීමක් ලබා ගන්නට අවශ්‍ය නම් මා කරන්නේ අතීත පටු මග ඔස්සේ මගේ සිත නමැති ඩ්‍රෝනය මෙහෙයවා මේ වයසේ දී ඒ දිනවල මා කළ කී දෑ, සිතූ පැතූ අයුරු ගැන මදක් මෙනෙහි කිරීමයි. කාලය පමණක් නොව දීපය සහ දේශය ද වෙනස් වී ඇති නිසා, සම වයසේ දී මගේ සිතුම් පැතුම්, අදහස් උදහස්, හැසිරීම්වලට වඩා පුතා ගේ සිතුම් පැතුම් අදහස් උදහස්, හැසිරීම් සෑහෙන තරමකට වෙනස් බව සැබවක් නමුත්, මා කරන ඒ අභ්‍යාසයේ යම් ප්‍රයෝජන නැත්තේ නොවේ.

හොඳින් සලකා බලන විට මා සහ පුතා ගේ ළමා දිවිය අතර කාලයේ, දීපයේ, දේශයේ පමණක් නොව කුලයේ සහ මව ගේ ද වෙනස් කම් ඇත. මගේ මව නිවසේ රැඳී කුටුම්බය රැකබලා ගත් කාන්තාවකි. මගේ පුතා ගේ මව, විශාල වගකීම් සහිත වෘත්තියක නිරත, අතිශය කාර්ය බහුල තැනැත්තියකි.

කුලය වෙත් පියා ගේ රැකියාව ද දැන් නම් වෙනස් ය. මගේ පියා රජයේ ගුරුවරයෙකි. මගේ පුතා මෙලොව උපත ලබන කාලයේ දී නම් මා ද විශ්ව විද්‍යාලයක දේශකයෙකු වූ නමුත්, ඔහු ගේ ජීවිතයේ හයවන වසර වන විට මම ඒ ගුරුකුලයෙන් ඉවත්ව දවසෙන් අඩක් නිවසෙන් බැහැරව දිවි ගෙවන රාජපුරුෂයෙකු වීමි.

මව සහ පියා ගේ දවස ගෙවෙන ආකාරය ද, දරුවෙකු ගේ ජීවිතයට බලපාන බව කිව යුතු නොවේ.

උදාහරණයක් ලෙස, මා (සම මගේ බාල සොහොයුරන් දෙදෙනා) ඒ දිනවල පාසල නිමවී නිසට එන විට අපේ මව, දිවා ආහාරය පිළියෙල කොට අප එනතුරු නිවසේ බලා සිටී. පාසල නිමවී පියා ද, තවත් පැයකින් පමණ නිවසට පැමිණේ.

නමුත්, මේ දිනවල අපේ පුතා සවස තුනයි විස්සට තම පාසල නිමවූ පසු හතරට පමණ නිවසට පැමිණියත්, ඔහු තම මව දකින්නේ බොහෝ විට තවත් පැය දෙකකට පසුව ය. සවස හයට කාර්යාලයෙන් පිටවෙන මා නිවසට එන විට රාත්‍රී හත හමාර පසු වේ. පවුලේ බාලයා වූ පුතා ගේ හවස් වරුව ගෙවෙන්නේ තනිවම පරිගණක තිරයක් ඉදිරිපිට ය.

මා මුලින් කියූ ආකාරයට පුතා ගේ පහළොස්වෙනි උපන් දිනය දා මා සිහි කළේ මා ඒ වයසේ දී කළ කී දෑ ගැන සහ සිතූ පැතූ ආකාරය ගැනය.

අප කුඩා කාලයේ කළ ආකාරයට, ගස් නගින්නට, මිදුලේ ක්‍රීඩා කරන්නට, වත්ත පිටුපසට ගොස් චූ කරන්නට, කඩේ ගොස් බඩු ගෙනෙන්නට, පාසලට පයින් ඇවිඳගෙන යන්නට ඔහුට හැකියාවක් නැති නමුත් ඔහු මට වඩා පුළුල් දැනුමක් සහ නිවැරදි ලෝක දෘෂ්ටියක් ඇති කොලු ගැටයෙකු බව මට පසක් විය. මගේ දියණිය ද, තම මලණුවන් ගේ පුළුල් දැනුම සහ නිවැරදි දෘෂ්ටිය ගැන පැවසූයේ ඉතා ප්‍රසාදයෙනි. මල්ලී තමන් ඒ වයසේ දී සිටි තත්වයට වඩා ඉතා ඉදිරියෙන් සිටින බව ඇය පැවසුවාය.

ඉතින්, කුමක් නිසා මා සමග සන්සන්දනයක් කරන්නද?

නමුත්, මට ඇති එකම ප්‍රශ්නය මෙයයි.

මේ වයසේ බොහෝ පිරිමි ළමයින් මෙන් මගේ පුතා ගේ පොත් කියවීම ද ඉතා අඩුය. එනිසා, ඔහු පොතක් ලියාවි යැයි සිතීම තරමක් අපහසු ය. ඒ සමගම, ඔහු අකුරු ලිවීම කරන්නේ ද ඉතා අඩුවෙනි. එනිසා, පුතා ගේ අත් අකුරුවල කිසි ප්‍රිය මනාප බවක් මට නොපෙනේ.

මෙයින් අපට පෙනෙන්නේ ඔහු දැනුම ලබා ගන්නේ අප මෙන් පොත් හරහා ම නොවන බවත්, අනාගතයේ දී ඔවුන් ගේ සන්නිවේදන මාර්ගවලට අද අප මෙන් අකුරු උපයෝගී කර ගැනීම අත්‍යවශ්‍ය නොවන බවත් ය.

මම ද, අද මගේ මගේ පුතා මෙන් මේ වයසේ දී, දහවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියෙමි. සම වයසේ ගෑල්ළමයින් පිළිබඳව අමුතු සිතුවිලි වඩාත් තදින් සිතට දැනෙන්නට වූයේ ඒ වයසේ සිටය.

පහත දැක්වෙන්නේ මා ලියූ මගේ ප්‍රථම පෙම් ගීයයි. එය ලියූ දිනපොත තවමත් මා සතුව ඇති නිසා, එදින මගේ වයස හරියටම දාසයයි මාසයයි බව කිව හැක!

ඔබ නිසාය

ඈත අහසෙ පාවි පාවි
හෙමින් හෙමින් ඇදිලා යන
පුළුන් වලාකුළු වල ඇති
සුන්දර බව මා දුටුවේ

සඳ පෑවූ රෑ යාමේ
එහෙන් මෙහෙන් පොකුරු පොකුරු
පිපිලා ඇති තරු මල් වල
අමුතු ලස්සනක් දුටුවේ

කිචි බිචි ගා කෑ ගසමින්
ලිය ගොමුවල දුව පනිනා
පුංචි බටිති මලිතන් ගේ
ගී නාදය කණ වැටුනේ

සුපිපුණු අරලිය මල්වල
සුවඳින් මා සිත පිරුනේ
බැස යන හිරු ගේ දසුනේ
නොදුටු ලස්සනක් දුටුවේ

කුමරිය ඔබගේ දෙනෙතින්
මා හද පණ ලැබු නිසාය
ඔබ දෙනෙතේ මුව මඩලේ
රුඳී තිබුණු ඒ කැල්මෙන්
මා සිත පිබිදුණු නිසාය
මා ජීවය ලද නිසාය


-රසිකොලොජිස්ට්

Friday, 13 May 2016

ජර්මන්කාරයෙකු සමග නුවර එළියේ දී බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුවෙමි...! - Beer bottle bet


අරක්කු හා සසඳන විට වතුරවලට වඩා සුළු ප්‍රමාණයක් පමණක් මද්‍යසාර ඇති බියර් බීමට අපේ කාලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් නොපෙළඹුනේ, බියර් බීමෙන් රුපියලකට ලැබෙන මත්වීම අරක්කුවලට සාපේක්‍ෂකව ඉතා අඩු නිසා බව මම ඊයේ පළ කළ ලිපියේ ලීවෙමි.

සිව් වසරක් පේරාදෙණියේ ගත කර, මුල් රැකියාව ලෙස නුවර එළියට ගිය පසු, ඒ පරිසරය නිසාත්, අතේ මුදල් ගැවසුණු නිසාත්, ඒ තත්වය ක්‍රමයෙන් වෙනස් විය.

මා ජර්මන්කාරයෙකු සමග බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුවේ ඒ දිනවල ය.

මේ ඒ කතාවයි.

මා මුල්ම රැකියාව කළේ, නුවර එළියේ පිහිටි, එකල ඇඩ්ලර් නම් වූ ජර්මන් සමාගමකට හිමිව තිබුණු ඉන්ටර් ෆැෂන් නම් ඇඟලුම් කම්හලේ ය. මේ කතාවේ මා ජර්මන්කාරයා යනුවෙන් හඳුන්වන්නේ ෂීරා නමැති ඒ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන කළමනාකරුවා ය. සහකාර නිෂ්පාදන කළමනාකාර පුහුණුවන්නෙකු ලෙස සේවය අරඹා තිබුණු මගේ බොසා ද ඔහු විය.

ජර්මානුවො බියර් බීමට රුස්සෝය. ඔවුන් බියර් බොන්නේ පයින්ට් එකේ හෝ ඊටත් වඩා විශාල විදුරු වලිනිි. ඔක්ටෝබර්ෆෙස්ට් නමින් හැඳින්වෙන ජර්මානු බියර් උත්සවය ලෝක ප්‍රසිද්ධ එකකි.

මා මීට වසර තුනකට පමණ පෙර ජර්මනියේ දී දුටු පරිදි, සෑම සිල්ලර කඩයක ම පාහේ බියර් (වයින් සහ අනෙකුත් මත්පැන් වර්ග) විකුණන්නට තිබෙන අතර, ඒවායේ මිල ද, ඕස්ට්‍රේලියාවට සාපේක්‍ෂව ඉතා අඩු විය.

නුවර එළියේ හරස් විදියක පිහිටා තිබුණු සිලෝන් බෲවරියේ බියර් කඩෙන් කරාමයෙන් වීදුරුවට වත්කර දෙන ඩ්‍රාෆ්ට් බියර් බොන්නට අප ඉඳහිට ගිය විට, අපේ කර්මාන්ත ශාලාවේ සේවය කරන ඇතැම් ජර්මානු ජාතිකයින් ද එහි පැමිණ බියර් බොනවා පෙනේ. ඇතමෙකු ආපසු නිවසට යන්නේ බියර් බෝතල් විසි හතරකින් යුතු ක්‍රේට් එකක් මිලට ගෙන එය තම වාහනයේ පටවාගෙන ය.

මගේ කළමනාකරණ පුහුණුවේ සති හතරක් පිරීමටත් කලින්, හදිසියේම මා පුහුණුවෙන් ඉවත් කර, කර්මාන්ත ශාලාවේ රෙදි කපන අංශයේ නිත්‍ය තනතුරකට පත් කරන ලදී. එයට හේතුව වූයේ, මගේ සුපිරි දක්ෂකමකටත් වඩා, මා ඒ අංශයේ මා සති දෙකක් පමණ පුහුණවක් ඒ වන විට ලබා සිටීමත්, එහි කෝඩිනේටර් නම් තනතුරේ කටයුතු කළ තිලක් නම් පුද්ගලයා, සති අන්තයේ නිවාඩුවට කොළඹ පිහිටි තම නිවසට ගොස් ආපසු පැමිණ නොසිටීමත් ය. එහි කලින් පුහුණුව ලැබූ අයට සාපේක්‍ෂව මා ඒ තනතුරට සුදුසු බව ෂීරාට වැටහී තිබෙන්නට ඇත. අපට "වර්ක් ස්ටඩි" නම් ක්‍රමවේදය උගන්වන්නට ජර්මනියෙන් පැමිණ සිටි වෙයිස් නම් පුහුණුකරුවා ගේ පැසසුමට මා ලක් වී තිබීම ද බොහෝ විට හේතු වන්නට ඇත.

කෙසේ වෙතත්, ඒ ඇති වුණු ක්‍ෂණික වෙනසෙන් මම ඉතා සන්තෝෂයට පත් වීමි. මූලික පඩියේ වැඩි වීමක් නොතිබුණත්, සාමාන්‍යයෙන් අටේ-පහේ (එනම් දිවා කාලයේ) රැකියාවක් වුව ද, එය කාර්ය බහුල එනිසාම, අතිකාල දීමනා බහුලව ලැබෙන රැකියාවකි. නිවසෙන් පිට බෝඩිමක ජීවත්වෙන, කළ යුතු වෙනත් කාර්යක් නැති අවුරුදු විසි තුනක තනිකඩයෙකු වූ මට කාලය පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොතිබුණි!

දින දෙකකින් පමණ ගමේ ගිය තිලක් ආපසු වැඩට පැමිණියත්, ඔහු සමග මටත් දිගටම ඒ අංශයේ සේවය කරන ලෙස ෂීරා පවසා සිටියේ ය. තවත් සති කිහිපයකින්, අප දෙදෙනාට දිනකට පැය දොළහ බැගින් දවසේ පැය විසි හතර ආවරණය කරන ලෙස නියම විය. මේ කර්මාන්ත ශාලාව සතියේ දින හයක්, දවසේ පැය විසි හතරම නොනවත්වා නිෂ්පාදන කටයුතු කෙරෙන තැනකි.

තවත් මාසයක් පමණ ගෙවී ගිය පසු නැවතත් සති අන්තයේ කොළඹ ප්‍රදේශයේ තම නිවසට ගිය තිලක් සඳුදා සේවයට පැමිණියේ නැත. මා එහි සිටි නිසා, විශාල ප්‍රශ්නයක් ඇති නොවුණි.

දෙවෙනි දිනය ද උදාවිය. තිලක් එදින ද පැමිණියේ නැත.

මගේ මේසය අසලට පැමිණි ෂීරා "අයි ඩොන්ට් තින්ක් තිලක් විල් කම් ඇට් ඕල් දිස් ටයිම්, අයි විල් ගෙට් යූ සම් හෙල්ප්!" යැයි කීවේය.

"නෝ, හී විල් කම් ප්‍රොබබ්ලි ටුමාරෝ" මම කීවේ, තිලක්ට කලින් වාරයේ මෙන් අසනීපයක් වැළඳි ඇතැයි සිතමිනි.

"නෝ, හී වෝන්ට් කම් දිස් ටයිම්. හී ප්‍රොබබ්ලි ගොට් අනදර් ජොබ්" ෂීරා නැවත කීවේය.

තමන් නොදන්වා සේවයෙන් ඉවත්ව වෙනත් රැකියාවකට යන බවට ඉඟියක්වත් තිලක්ගෙන් මට ලැබී නොතිබුණු නිසා, මම මුරණ්ඩු ලෙස මගේ මතයේ ම සිටියෙමි.

ෂීරා සහ මා අතර ඒ කතාබහ අවසාන වූයේ තිලක් ගේ පැමිණීම නොපැමිණීම ගැන අප දෙදෙනා බියර් බෝතලයක ඔට්ටුවකට එකඟ වීමෙනි.

පාසලේ දී අෂාඩ් පෙරේරා සමග මා ඇල්ලූ ඡන්ද ඔට්ටුවෙන් දිනුවා මෙන් මෙවර ද මට ජය ලැබේ යැයි මම සිතුවෙමි.

නමුත් තිලක් යළි අපේ කම්හලේ සේවයට පැමිණියේ නැත.

සතියකට පමණ පසු, තමන් රැකියාවෙන් අස්වෙන බව කියා තිලක්ගෙන් විදුලි පණිවිඩයක් ලැබී තිබුණි. මා ද පසුව වටහා ගත් පරිදි, ඒ දිනවල සාමා්‍යයෙන් විදුලි පණිවිඩයක් කොළඹ සිට නුවර එළියට ඒමට දින තුන හතරක් ගතවේ!

විදුලි පණිවිඩය රැගෙන මවෙත පැමිණි ෂීරා ජයග්‍රාහී විලාසයෙන් "යු ලොස්ට් ද බෙට්!" රසික කියා කීවේ ය.

මම පරාජය භාර ගත්තෙමි.

එදින හවස, අරවින්දනාදන් ද සමග නුවර එළියේ හරස් විදියක පිහිටා තිබුණු සිලෝන් බෘවරියේ බියර් කඩේට ගිය මම, ඔහු සමග චීස් සහ ක්‍රීම් ක්‍රැකර් කමින් පිල්ස්නර් බෝතල් දෙකක් ද හිස් කොට, තවත් බෝතලයක් මිලට ගෙන, පයින් ම හාවා එළියේ පිහිටි කම්හල වෙත පැමිණ, ඒ වන විටත් කම්හල තුළ සේවය කරමින් සිටි ෂීරා පිටත්ව යන මොහොතේ දී ඔහු ගේ මෝටර් රථය ගේට්ටුව අසල නවත්වා ගෙන, බෝතලය ඔහුට දී, ඔට්ටුවේ කොන්දේසිය ඉටු කළෙමි.

අපට ගේට්ටුව අසල රැඳී සිටින්නට සිදුවූයේ, මත්පැන් කිසිවක් කම්හල් පරිශ්‍රය තුළට ගෙන යාමේ තහනමක් තිබුණු බැවිනි!

මා ජර්මන්කාරයෙකු සමග බියර් බෝතලයකට ඔට්ටුවක් අල්ලා පැරදුණු කතාව එසේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මත්පැන් ඇබ්බැහියක් වීමට ඉඩ ඇත. නොබී සිටීමට අපහසු ම අවස්ථාවල පමණක් ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. කිසිදාක මත්පැන් නොබී සිටියොත් එය වඩා හොඳ ය.

(image: Google street view)

Thursday, 12 May 2016

බියර්, බියර්, බියර්!!! (බියර් මතක කිහිපයක්) - Beer, beer, beer


මා මුලින්ම බියර් බිඳක් තොල ගෑවේ උසස් පෙළ අවසන්ව විශ්ව විද්‍යාලයට යාමට කල් මරමින් සිටි ගන්ධබ්බ සමයේ එක් දිනක ඥාතී නිවසක පැවති වැඩිහිටියන් ගේ සාදයක් අතර මැද දී ය. ඒ වන විට මා වයස දහ අටක් සම්පුර්ණ කර තිබුණු බව හදිසියේ දෝ මතක් වූ කරුණාවන්තයෙකු විසින්, බියර් බිඳක් කුඩා වීදුරුවකට දමා හොරෙන් මෙන් මට දෙන ලදී.

ඒ බියර් උගුරු එක හමාරේ අමුතු රසයක් හෝ නීරසක් හෝ මට දැනුණා යැයි දැන් මගේ මතකයේ නැත. නමුත්, කිසිමාකාරයක මත් වීමක් නම් ඉන් ඇති නොවුණු බව ඉඳුරාම කිව හැකිය.

විශ්ව විද්‍යාල සමයේ දී, නවකවද සමය අවසාන වූ දිනයේ, වසරවසාන විභාගයේ අවසන් දිනයේ, ප්‍රතිඵල නිකුත් වූ දිනයේ, වාර්ෂික චාරිකා දිනයේ වැනි අතළොස්සක් දිනවලදී, රහමෙර බිඳක් එහෙන් මෙහෙන් තොල ගෑවුණද, බියර් නම් ඇස නොගැටුනා හා සමාන විය.
එයට මූලිකම හේතුව වූයේ, අපේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව බව අමුතුවෙන් කිව යුතු නැත.

එක රුපියලකට වැඩිපුර මත් වෙන්නේ අරක්කු බීමෙන් වූ කළ, දරිද්‍රතාවයේ ගිලුණු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් බියර් බීමට පෙළඹෙතොත් එය පුදුමයකි. බියර්වල අඩංගු මද්‍යසාර ප්‍රතිශතය 5%ක් පමණ වූ අතර, අරක්කුවල එය 30%-35%ක් පමණ වූයේ යැයි සිතමි.

විශ්ව විද්‍යාල දෙවන වසරේ අග භාගයේ දී, මාස දෙකහාමරක් පමණ කාලයක් නුවර එළියේ ඉඳිකිරීමේ වැඩ බිමක කල් ගෙවන කාලයේ, නගරයේ එක් විදියක පිහිටි සිලෝන් බෲවරියේ කඩයට ආශාවට මෙන් දෙවරක් පමණ මම ගොඩ නැගී ඇත්තෙමි. ඒ කඩයේ තිබුණු ලොකුම ආකර්ෂණය වූයේ, බෝතලයක් කඩා නොව, කරාමය හැර වීදුරුවට වත්කර දෙන ඩ්‍රාෆ්ට් බියර් බොන්නට හැකි වීමයි.

මේ කාලයේ එක් දිනක්, මා කුරුණැගල බස් නැවතුම අසල පිහිටි, ගෙඩි සහිත බිලිං ගසක් වටකර සාදා තිබුණු, හෝටලයේ පොඩි පහේ ප්‍රේම සල්ලාපයක යෙදෙමින් සිටියෙමි. මට නුදුරු මේසයක සිටියෙකු කෑමට පෙර පාවිච්චිය සඳහා බියර් බෝතලයක් ද, සෝඩා බෝතලයක් ද ගෙන්වා ගෙන ඒවා මිශ්‍ර කර බොනු දැක මම පුදුමයට පත්වීමි. යාන්තම් මද්‍යසාර 5% අඩංගු (එනම් 95% වතුර සහිත) බියර් තවත් කුමකට තනුක කරන්නේ ද යන්න මට ඇති වූ ප්‍රශ්නයයි.

ඇත්තටම කියනවානම් බියර් හොඳ වන්නේ අරක්කු තනුක කිරීමටයි!

එහෙත්, මත්පැන් පානයේ දී බියර් සහ අරක්කු කවලම් වුණොත් සිදුවෙන ඩෝප් වීම, ඒ ද්‍රව්‍ය වෙන වෙනම පානය කළ විට සිදුවෙන ඩෝප් වීමට වඩා බොහෝ වැඩි බවට ඒ දිනවල අප අතර කතාවක් පැතිර තිබුණි. නමුත්, එවැන්නත් ප්‍රායෝගිකව එය අත්විඳ තිබුණු අයෙකු නම් අප අතර නොවීය.

එක් දිනක් මට ම ඒ කතාව සත්‍යයක් බව අත්දැකීමෙන් ම වටහා ගැනීමට ඉඩ ලැබුණි. හොඳ වෙලාවට මට එදා ඒ ආකාරයෙන් මුදලට වඩා වෙරි වීමට තරමක අවශ්‍යතාවක් ද ඇතිවී තිබුණි. ඒ පුද්ගලික ජයග්‍රහණයක් තනිව ම සැමරීමටයි.

නමුත්, එදා මා කොයි තරම් මත්වූයේ ද කිවහොත්, අර පුද්ගලික ජයග්‍රහණය පසුවදා ම මට අහිමි වෙන්නට ගොස්, යාන්තම් ජාම් බේරා ගත්තේ ඉතා අසීරුවෙනි!

ඒ වසර අග දී මගේ මුල්ම රැකියාව ලෙස දෛවා්පගත අයුරින් නැවතත් නුවර එළියටම යාමට සිදුවුණු සඳ, මට නවාතැන් ගන්නට ලැබුණේ සිලෝන් බෲවරියට අල්ලපු වැටේ පිහිටි මහා මාර්ග සංවර්ධන අධිකාරියට අයිති නිල නිවසක ය. එපමණක් නොව කාලයක් තිස්සේ ආහාර ගත්තේ ද, බ්‍රෘවරියේ නිල නිවාසක ජීවත් වූ පවුලක සාදර අනුග්‍රහයෙනි.

දවසේ තුන් තිස් පැයම බියර් මල් සුවඳ දරා ගනිමින් ඒ කාලයේ අපි ජීවත් වීමු. ඉඳහිට දවසක පෙර කී කරාමයෙන් වීදුරුවට දැමෙන ඩ්‍රාෆ්ට් බියර් බීමට හැකි කඩයට ගොඩ වැදී, කරාමයෙන් ද, සාමාන්‍ය බෝතලයෙන් ද බියර් රස වින්දෙමු.

මේ ආකාරයට ටිකෙන් ටික බියර් ගැන යහපත් අදහසක් සිත තුළ ඇති කර ගැනීමට හැකි විය. අපේ ආර්ථික තත්වය ද යහපත් වී තිබීම එයට ප්‍රධාන හේතුවක් විය.

මගේ ජර්මානු ජාතිකයෙකු සමග බියර් බෝතලයක ඔට්ටුවක් ඇල්ලුවේ ඒ මගේ ජිවිතයේ නුවර එළිය දිනවල දී ය.

ඒ කතාව පසුව ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මත්පැන් ඇබ්බැහියක් වීමට ඉඩ ඇත. අවශ්‍යම අවස්ථාවල පමණක් ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. මත්පැන් නොබී සිටින්නට හැකි නම් වඩාත් හොඳය.

(image: http://www.alamy.com/stock-photo/crates-of-beer-shop.html)

Wednesday, 11 May 2016

විශ්ව විද්‍යාල නවකවදය මුලිනුපුටා දැමීම අසීරු ඇයි? ප්‍රියන්ජිත් පෙරේරා ගේ මතය - Priyanjith Perera on Ragging


පහත දැක්වෙන්නේ මා මිත්‍ර ප්‍රියන්ජිත් පෙරේරා විසින් නවකවදය සම්බන්ධයෙන් වත්පොතේ බෙදා හැර තිබූ අදහස් ය. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරියෙකු වන ප්‍රියන්ජිත් පෙරේරා, තම පශ්චාත් උපාධිවලින් අනතුරුව කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ද කලක් සේවය කළේය.

සිංහල පරිවර්තනය මගේ ය.

University Ragging: Why is it so hard to eradicate?

These are a few of reasons why we have failed to eradicate 'ragging' from our universities as I see it.
  1. For the majority of 'freshers' it is only 'one' of many problems they have to cope up with. And it is the only 'transient' problem as all others are 'permanent'. Therefore, every year, as by some unseen consensus, they decide to tolerate it for this 'short' period of time.
  2. 'Ragging' the 'juniors' has been a characteristic feature of our culture for a long time although nobody calls it 'ragging'. We call it 'respecting elders'. From the day we are born till we are dead we are being harassed by our parents, teachers, bosses, police, judges, doctors and practically everybody, from whom we need to get something done. Therefore, a few weeks of 'ragging' by our 'seniors' is not a big deal because university ragging is not the beginning nor the end of the 'lifelong' other 'ragging'.
  3. The public institutions in our country are 'owned' by the people, who work for them. Although in theory 'clients', for whose benefit these institutions are run, are the most important 'stake holder' practically they cannot override the 'workers' under any circumstance. In the university, although the academic staff 'own' the students' academic life the private lives of students are owned by the 'fellow students'. In the case of 'freshers' it is the 'seniors'.
  4. Majority of our university students have a less developed personalities, which is not resulting from any fault of theirs but from many other factors including our education system, socio-cultures factors etc. Their lack of confident in themselves is compensated by sense of belonging to a group from the day they stepped into the university. As a result, both the 'fresher' and 'senior' try their level best to integrate into the group while shedding whatever little 'individualism' they carried into the university. This point is well illustrated by the fact that students coming from upper middle class and/or Colombo/City schools are generally against 'ragging' as seniors and are not being 'ragged' as 'freshers'.
  5. Majority of 'freshers' think that without 'seniors' help they cannot pass the exams and survive in the university. (Actually these ideas are given to them by the seniors themselves.) Therefore, they do not want to antagonise their 'seniors' by not being subject to 'ragging', complaining to authorities and cooperating with the academic staff. (After all this is only a 'transient' problem isn't it?)
  6. The 'freshers' and the 'seniors', who are against ragging, cannot trust their teachers as there is a huge 'gap' between the 'student' and 'academic' staff. The same cultural trait of respecting 'seniors' works in this area as well. Therefore, whatever the academic staff does to eradicate 'ragging' is hampered by lack support from both the 'freshers' and 'seniors'.
  7. It is my opinion that even if there can be 'sadistic' and 'mentally deranged' monsters among the perpetrators of 'ragging' there number should be insignificant. Most of them are driven by tradition and culture. It cannot be denied that majority of them get some kind of satisfaction by being in a position of power in the first time of their life. However, at least a few of them believe the 'Myth of Sri Lankan Student Movement' ලාංකීය ශිෂ්‍ය වියාපාරය and its importance. Corollary to this is the belief that to achieve the objectives of the movement all the student should work as 'one'. Ragging is considered as a way of getting all the 'students' under one banner and making them think as one single organism.
  8. There is a possibility that 'ragging' is used by one political movement to recruit cadres for their movement and 'brain wash' the others into their line of thinking about the 'education system' in particular and 'political system' in general.

These are some of the reasons why it is so hard to eradicate this problem from our universities, in my opinion. The criminal justice system has only a very limited role to play in this regard. The day that every 'fresher' thinks that he/she can survive in the University by his/her own without any senior's help there won't be 'ragging' in our universities. Empowering the 'freshers' both economically and psychologically is the way to their 'freedom'. Can we do it in the foreseeable future?
විශ්ව විද්‍යාල නවකවදය මුලිනුපුටා දැමීම අසීරු ඇයි?

මා දකින ආකාරයට, විශ්ව විද්‍යාලවලින් නවකවදය මුලිනුපුටා දැමීමට අප අසමත් වී තිබීමට හේතු කිහිපයක් ම තිබේ.
  1. නවක සිසුන් බහුතරයකට නවකවදය යනු තමන්ට මුහුණ දීමට ඇති ප්‍රශ්න රාශියෙන් එකක් පමණි. එසේම, එය අනෙකුත් ස්ථිර ප්‍රශ්න අතර ඇති එකම තාවකාලික ප්‍රශ්නය ද වේ. එ නිසා, හැම වසරකම, නොපෙනෙන සම්මුතියකින් මෙන්, එය බලපාන කෙටි කාලයේ දී නවකවදය ඉවසා දරා ගැනීමට ඔව්හූ තීරණය කරති.
  2. කිසිවෙකු එය නවකවදය ලෙසින් හඳුන්වන්නේ නැති වුවද, කණිෂ්ඨයින් නවකවදයට ලක් කිරීම දිගු කලක් තිස්සේ අපේ සංස්කෘතියට ආවේණික වූ ලක්ෂණයක්ව පවතී. අප එය වැඩිහිටියන්ට ගරු කීරීම ලෙස හඳුන්වමු. අප ඉපදුණු දිනයේ සිට මිය යන දිනය දක්වා ම, අපේ දෙමව්පියන්, ගුරුවරුන්, ලොක්කන්, පොලීසිය, නඩුකාරයින්, වෛද්‍යවරුන් සහ ප්‍රායෝගිකව ගත් කළ අපට ඔවුන් ලවා යමක් කර ගත යුතු සියලු දෙනාම පාහේ, අපව වධයට ලක් කරති. එ නිසා, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කරනු ලබන සති කිහිපයක නවකවදය අපට බැරෑරුම් කාරණයක් නොවේ. විශ්ව විද්‍යාලයේ නවකවදය යනු, ජිවිත කාලය පුරාම අපට මුහුණ දීමට සිදුවෙන අනෙකුත් වද හිංසාවල ආරම්භය හෝ අවසානය හෝ නොවේ.
  3. අපේ රටේ මහජන ආයතන, ඒවායේ සේවය කරන අයගේ පුද්ගලික බූදල් වේ. න්‍යායාත්මකව ගත් කල, ආයතනයෙන් සැපයෙන සේවාවන් ලබා ගන්නා සේවාදායකයා ආයතනයේ වඩාත්ම වැදගත් කොටස්කරුවා වුවද, ප්‍රායෝගිකව, ඔවුන්ට කිසිසේත්ම සේවකයින් අභිබවා ගිය නොහැක. විශ්ව විද්‍යාලවලදී, ශිෂ්‍යයින් ගේ අධ්‍යයන ජීවිත, අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයිති වුණද, පුද්ගලික ජීවිතවල අයිතිය හිමිවන්නේ අන් සිසුන්ට ය. නවක සිසුන් ගේ පුද්ගලික ජිවිතවල හිමිකරුවන් වන්නේ ජ්‍යෙෂ්ඨ සිසුන් ය.
  4. අපේ සිසුන් බහුතරයකට ඇත්තේ අඩුවෙන් දියුණු වූ පෞරුෂයකි. එය ඔවුන් ගේ වරදකින් සිදුවන්නක් නොව, අපේ අධ්‍යාපන ක්‍රමය, සමාජ-සංස්කෘතික කාරණා යනාදිය නිසා වෙන්නකි. තමන් පිළිබඳ ඇති විශ්වාසයේ අඩුකම, ඔවුන් විශ්ව විද්‍යාලයට පියවර තැබූ දිනයේ සිටම, යම් කණ්ඩායමට තමන් අයිතිය යන හැඟීමෙන් සමනය වේ. මෙහි ප්‍රතිඵලය ලෙස, නවකයා ද, ජ්‍යෙෂ්ඨයා ද යන දෙදෙනා ම, තමන් විශ්ව විද්‍යාලයට ගෙන ආ යම් පුද්ගලවාදයක් වුණි නම් එය හැරදමා, කණ්ඩායමට ඒකාබද්ධවීමට හැකි උපරිම ප්‍රයත්නය දරති. ඉහළ මධ්‍යම පන්තියේ සහ කොළඹ හෝ නාගරික පාසල්වලින් පැමිණෙන සිසුන් ජ්‍යෙෂ්ඨයින් ලෙස නවකවදයට විරුද්ධවීමත්, නවකයින් ලෙස නවකවදයට ලක් නොවීමත් මගින් මේ කාරණය හොඳින් පෙනේ.
  5. බහුතරයක් නවකයෝ තමන්ට ජ්‍යෙෂ්ඨයින් ගේ උදව් නොමැතිව විභාග සමත් විය නොහැකි බවත්, විශ්ව විද්‍යාලය ජයගත නොහැකි බවත් සිතති. ඇත්තටම, මේ අදහස් නවකයින්ට දෙන්නේ ද ජ්‍යෙෂ්ඨයින් ම ය. එනිසා, නවකවදය මගහැර හෝ පාලකයින්ට පැමිණිලි කර හෝ අධ්‍යයන කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කර හෝ ජ්‍යෙෂ්ඨයින් අමනාප කර ගැනීමට නවකයින්ට අවශ්‍ය නැත. (කොහොමටත්, මේ ප්‍රශ්නය තාවකාලික එකක් නොවැ?)
  6. ශිෂ්‍යයින් සහ අධ්‍යන කාර්ය බණ්ඩලය අතර විශාල පරතරයක් ඇති නිසා, නවකවදයට විරුද්ධ නවකයින්ට සහ ජ්‍යෙෂ්ඨයින්ට තම ගුරුවරුන් විශ්වාස කළ නොහැකි වී ඇත. කලින් සඳහන් කළ, වැඩිහිටියන්ට ගරු කිරීමේ සංස්කෘතිකමය හුරුව මෙහිදී ද බලපායි. එනිසා, නවකවදය මුලිනුපුටා දැමීමට අධ්‍යයන කාර්ය මණ්ඩලය කරන සෑම දෙයක් ම නවකයින්ගෙන් සහ ජ්‍යෙෂ්ඨයින්ගෙන් සහයෝගයක් නැතිව අඩපණ වේ.
  7. නවකවදය දෙන්නන් අතර පරපීඩනයෙන් වින්දනයක් ලබන සහ මානසික ව්‍යකූලතාවයෙන් පෙළෙන අති දුෂ්ටයින් සිටියේ වුවද, ඒ නොසැලකිය හැකි ප්‍රමාණයක් බව මගේ අදහසයි. නවකවදය දෙන්නන් බොහෝ දෙනෙකු ඒ සඳහා යොමුවන්නේ සම්ප්‍රදාය සහ (උප!)-සංස්කෘතිය නිසා ය. එසේම, නවකවදය දෙන්නන් බහුතරයක්, තම ජීවිතයේ මුල්වරට බලය ඇති තැනකට පත්වීමෙන් යම් තෘප්තියක් ලබන බවද ප්‍රතික්‍ෂේප කළ නොහැක. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු හෝ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සහ එහි වැදගත්කම යන මිථ්‍යාව විශ්වාස කරති. මෙහි උපප්‍රමේය වන්නේ, මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අරමුණු ඉටුකර ගැනීම පිණිස ශිෂ්‍යයින් සියලු දෙනාම එකාවන්ව කටයුතු කළ යුතු බව ය. නවකවදය යනු ශිෂ්‍යයින් සියලු දෙනා එක් පතාකයක් යටතට ගෙන ඔවුන්ව එක් ජීවියෙකු ලෙස සිතීමට සකසා ගැනීමේ එක් ක්‍රමයක් ලෙස ද සැලකේ.
  8. තම ව්‍යපාරය සඳහා ක්‍රියාකාරිකයින් බඳවා ගැනීමටත්, විශේෂයෙන් ම අධ්‍යාපන ක්‍රමය ගැනත්, පොදුවේ දේශපාලන ක්‍රමය ගැනත් අනෙකුන් ගේ මොළ සේදීමට, එක්තරා දේශපාලන ව්‍යාපාරයක් විසින් නවකවදය උපයෝගී කර ගන්නවා ද විය හැක.

මගේ අදහස අනුව, අපේ විශ්ව විද්‍යාලවලින් නවකවදය මුලිනුපුටා දැමීම මෙතරම් අපහසුවීමට හේතු සමහරක් එසේ ය. ඒ සඳහා අපරාධ අධිකරණ ක්‍රමයට කළ හැකි දේ අවම වේ. තමන්ට තනිව ම විශ්ව විද්‍යාල ජීවිතය ජය ගත හැකිය යනුවෙන් සෑම නවකයෙකු ම සිතන දිනයේ දී අපේ විශ්ව විද්‍යාලවල නවකවදය නොතිබෙනු ඇත. මනෝවිද්‍යාත්මකව සහ ආර්ථිකමය වශයෙන් නවකයින් බලගැන්වීම ඔවුන් ගේ නිදහසට මාර්ගයයි. අපට දැකිය හැකි අනාගතයක එය කළ හැකි වේද?


-රසිකොලොජිස්ට්

(image: http://www.satyamevjayate.in/when-masculinity-harms-men/episode-6article.aspx?uid=s3e6-ar-a4)