Wednesday, 31 August 2016

ගංගොඩවිල සෝම සහ දෙයියෝ - Once upon a time


අදින් වසර ගණනාවකට ඉහත, මගේ මතකයේ හැටියට 1997 වසරේ දී පමණ, එක් දිනක මම එවකට අප පදිංචිව සිටි මෙල්බර්න් තදාසන්නයේ පිහිටි තට්ටු නිවාසයේ සාලයේ කවිච්චියේ හරිබරි ගැසී රූපවාහිනිය නැරඹීමට පටන් ගතිමි. එවෙලේ ඕස්ට්‍රේලියානු විකාශන සංස්ථාව (Australian Broadcasting Corporation) හෙවත් ඒබීසී චැනලයේ ප්‍රචාරය වෙමින් තිබුණේ ලෝක සාමය සංහිඳියාව වැනි බරපතල කාරණයක් සම්බන්ධයෙන් වූ සර්ව ආගමික පූජකයින් සහභාගී වූ සාකච්ඡාමය වැඩසටහනකි.

එය සජීවී වැඩසටහනක් නොව පෙර පටිගත කරන ලද්දක් වූ අතර, විකාශය වූ දිනය සහ වේලාව සලකා බලන කළ බොහෝ දුරට නැවත ප්‍රචාරයක් වෙන්නට ඇතැයි මට සිතේ.

ඒ සාකච්ඡාවට සහභාගීවූවන් අතර කතෝලික, ක්‍රිස්තියානි, යුදෙව්, මුස්ලිම්, හින්දු පුජකයින් මෙන් ම, ලංකාවේ අයෙකු යැයි හැඟෙන බෞද්ධ භික්‍ෂුවක ද සිටින බව මට පෙනුණි.

මොහොතකට පසු කතාව ඇරඹූ එහි සිටි එක් පූජකයෙකු, තියොලොජිකලි යම් යම් වෙනස්කම් තිබුණත්, මෙහි සිටින අප සියලු දෙනාම යම් දෙයියෙකු විශ්වාස කරන ආගම් නියෝජනය කරන අය නොවේද, එනිසා අපට අහවල් කාරණය පිළිබඳ යම් මූලික එකඟතාවකට පත්විය හැකි නොවේදැයි පවසමින් ඒ අහවල් කාරණය විස්තර කිරීමට පටන් ගත්තේ ය.

එවිට කතා කළ ඒ සාකච්ඡා සභාවේ සිටි බෞද්ධ භික්‍ෂුව පවසා සිටියේ පුජකයා ගේ ඒ කතාව සාවද්‍ය බවත්, අන් අය කෙසේ වෙතත්, තමන් නියෝජනය කරන බුදු සමය නම් කිසිසේත් ම දෙයියෙකු විශ්වාස කරන දේව ආගමක් නොවන බවත් ය.

අදහන මැවුම්කාර දෙයියෙකු නොමැති වීම, බුදු සමය අන් ආගම්වලින් අතිශය පැහැදිලිව වෙන් කරන මූලික ම කරුණක් බවත් ඒ බෞද්ධ භික්‍ෂුව වැඩි දුරටත් ප්‍රකාශ කළේ පෙර කී පූජකයා නිරුත්තර කරමිනි.

එදා ඒ රූපවාහිනී සාකච්ඡාවට සහභාගී වූ බෞද්ධ භික්‍ෂුව වනාහී ගංගොඩවිල සෝම හිමියන් බව මම පසුව දැන ගතිමි. ඔහු, එවකට මෙල්බර්න් තදාසන්නයේ නෝබල් පාක් ග්‍රාමයේ පිහිටුවා තිබුණු සිංහල-බෞද්ධ පන්සලේ නේවාසික භික්‍ෂුවක් වූ බව ඒ පන්සලේ සාමාජිකයෙකු වූ මා මිත්‍ර අජිත් මාම්පිටිය පසු දිනක මා සමග පැවසී ය.

එදා මට පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් පිළිබඳව ඇතිවුණේ ඉමහත් ප්‍රසාදයකි.

නොබෝ කලකින් ම ඕස්ටේ‍ර්ලියාව හැරදා ලංකාව කරා ගිය ගංගොඩවිල සෝම හිමියන්, ලංකාවේ පන්සල් සංස්ථාවල පිළිලයක් සේ ඔඩු දා පැතිර ගොස් තිබුණු මිථ්‍යාදෘෂ්ටික දේවාගමට එරෙහිව රූපවාහිනීයෙන් ද, වෙනත් මාධ්‍ය මගින් ද බොදු ජනයා ගේ නුවණැස පාදා අඳුරෙන් එළියට ගෙන ඒම අරමුණු කරගත් ව්‍යාපාරයක් අරඹා ඇති බව අන්තර්ජාලය හරහා ද, දුරකථන ඇමතුම් හරහා ද, මට දැන ගන්නට ලැබුණි.

පුජ්‍ය ගරු ගංගොඩවිල සෝම හිමියන් පිළිබඳ මගේ ප්‍රසාදය තවත් වැඩිවිය.

නමුත්, 1999 වසර අග භාගයේ දී නිවාඩුවකට ලංකාවට ගිය මට දක්නට ලැබුණේ, බෞද්ධයින් අඳුරෙන් මුදවා ගැනීමේ තම අදේවවාදී ව්‍යාපාරය අමතක කර දමා ඔහු දේශපාලනය නම් මඩ ගොඩට බැස ඇති බවයි.

තමා දෙයියන් ඇදහීමට විරුද්ධව ගෙන ගිය ව්‍යාපාරයට සහ බුදු දහම පිළිබඳව කළ දේශනවලට පැහැදුණු අය තමන් ගේ දේශපාලන වැඩ පිළිවෙළ සඳහාත් නම්මා ගත හැකි වේදැයි සිතා දෝ, ඒ වසරේ (1999) දෙසැම්බරයේ පැවැත්වුණු ජනාධිපති ඡන්දය වර්ජනය කරන ලෙස ඉල්ලා පුවත්පත් දැන්වීම් පවා පළ කරමින් ඔහු දේශපාලන මඩ ගොහොරුවේ ගිලී කිමිදෙන්නට පටන් ගත්තේ ය.

ගංගොඩවිල සෝම පිළිබඳව මගේ සිතේ ඇතිව තිබූ ප්‍රසාදය ඒ ක්‍ෂණයකින් නැති වී ගියේ ය.

ඒ සමගම සිදුව තිබුණේ, අදේවවාදී, බුදු දහමේ අගය දන්නා අය ගංගොඩවිල සෝම කෙරෙන් දුරස් වී, ඒ වෙනුවට අති ජාතිවාදී බලවේග ඔහු වටා එක් වීමයි.

සෝම දියත් කළ ජනාධිපති ඡන්ද වර්ජනය පුස්සක් වූ අතර, අති බහුතරයක් ජනයා අපූරුවට තම සර්වජන ඡන්ද බලය පාවිච්චි කළහ. මම ද, ජීවිතයේ දෙවන සහ අවසාන වරට සිල් බිඳ ගත්තෙමි.

සෝම ගේ ඉල්ලීම නිසා නොවුණත්, තවත් අති ජාතිවාදී ව්‍යාපාරයක් වූඑල්ටීටීඊ සංවිධානය නම් ඡන්දය වර්ජනය කළ බව මගේ මතකයයි.

ඔහු ගේ ඒ අති ජාතිවාදී දේශපාලන ව්‍යාපාරයේ දී ගංගොඩවිල සෝම අවියක් ලෙස පාවිච්චි කළේ ඔහු ඕස්ට්‍රේලියාවේ සිටි අවසාන කාලයේ දී අල්ලා ගත්තා යැයි මා සිතන බංකොලොත් තර්කයකි.

බංකොලොත් වුණත්, රට එකක් නොවැ!

ඒ කතාව විස්තරාත්මකව ඊළඟට ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජූලි මාසයේ දී පැවති ඕස්ට්‍රේලියානු මැතිවරණය අවසානයේ දී මා ලියූ මේ ලිපියේ මුල් කොටස "මගේ දෙයියා සහ උඹේ දෙයියා" නමින් පසුගිය සතියේ පළ කෙරිණි.

ඕස්ට්‍රේලියානු මැතිවරණයට නිසා මට ගංගොඩවිල සෝම සිහිවුනේ ඇයිදැයි ලිපියේ ඊළඟ කොටසින් කියවන්න.

(image: http://www.sbs.com.au/guide/article/2016/07/18/pauline-hanson-please-explain)

Monday, 29 August 2016

විශ්වාස කිරීම, බුදු දහම සහ ලෝවැඩ සඟරාවේ සහ යමක වග්ගයේ කවි - The truth will eventually prevail


මගේ දෙයියා සහ උඹේ දෙයියා යන මැයෙන් මා රසිකොලොජියේ පළ කළ පසුගිය ලිපියට ප්‍රතිචාර දක්වන අජිත් ධර්මකීර්ති මෙසේ පවසා ඇත.
1. රසික දෙවියන් විශ්වාස කරන්නේ නැත.
2. රසික බුදු දහම දර්ශනයක් ලෙස විශ්වාස කරයි.
මගේ ප්‍රශ්නය? රසික බුදු දහමේ කර්මවාදය , පුනරුත්පත්තිය සහ නිවන යන අදහස් විශ්වාස කරනවාද?
එසේ විශ්වාස කරන්නේ නම් රසික (....) දෙබිඩ්ඩෙකි.
මා අද පළ කරන්නට සිතා සිටි ලිපිය තරමක් ප්‍රමාද කර මේ ගැන මගේ අදහස ලියන්නට සිතුවෙමි. විශේෂයෙන් මා මට කියන්නට අවශ්‍යව ඇත්තේ විශ්වාසය යන පදය පිළිබඳ මගේ නිරුක්තිය සහ එය බුදු දහමට කෙසේ අදාළ වේද යන්නයි.

විශ්වාසය යන වචනයේ අදහස් දෙකක් ඇතැයි (ශබ්දකෝෂ නොබලා) මම සිතමි. මට ඔබ විශ්වාසයි කියා කියූ විට ඉන් අදහස් කෙරෙන්නේ ඉංග්ලිෂ් භාෂාවෙන් ට්‍රස්ට් යන අරුතයි. එසේ වුව ද, මූලිකවම ආගම් හා ඒ ආකාරයේ දේ සම්බන්ධයෙන් යෙදෙන බීලීෆ් යන තේරුම දීමට සඳහා ද සමහර විට විශ්වාසය යන්න යොදා ගැනේ.

බිලීෆ් යන තේරුම දීම සඳහා වඩාත් සුදුසු සිංහල වචනය ඇදහීම යන්න බව මම (මෙවරත් (ශබ්දකෝෂ නොබලා) සිතමි.

ආගම් ආදී විවිධ සංකල්ප, මතිමතාන්තර ගැන සලකන විට අප යමක් විශ්වාස කළ යුතු වේ ද, බිලීව් කළ යුතු වේ ද, එසේත් නැතිනම් ඇදහිය යුතු වේ ද, ඒ නම් අනිවාර්යෙන් ම අපට ඉන්ද්‍රිය ගෝචර නොවන දෙයක් ම ය. එනම්, අපේ ඇසට නොපෙනෙන, කනට නොඇසෙන, වෙනත් ඉන්දී්‍රයන්ට සංවේදී නොවන දේ ම ය.

මම ඉන්ද්‍රිය ගෝචර නොවන දේ පිළිනොගනිමි. එනම්, විශ්වාස නොකරමි, එනම් නොම අදහමි.

ඒ ආකාරයෙන් අද මා පිළිනොගන්නා, විශ්වාස නොකරන, නොම අදහන දේ ලයිස්තුව ඉතා දිග ය. එයට අනිවාර්යෙන් ම අයිතිවන සංකල්ප අතර, දෙවියන්, යකුන්, පෙරේතයින්, වෙනත් ඇසට නොපෙනෙන අමනුෂ්‍යයින්, කේන්දර, පලාපල, කර්මය, පරලොව, පුනරුත්පත්තිය, නිර්වාණය ආදිය වේ.

මා සිතන ආකාරයට අප අතර පවතින බුද්ධාගම යනු බුදුන් දෙසූ ධර්මය හෙවත් බුදු දහම නොවේ. බුද්ධාගම යනු අර්ධ සංවිධානාත්මක සංස්ථාවකි. බුදු දහම යනු බොහෝ දුරට තාර්කික සංකල්ප එකතුවකි.

මා දන්නා බුදු දහමේ ඇදහිල්ලක්, විශ්වාස කිරීමක්, බීලීව් කිරීමක් නැත!

ඕනෑම අයෙකුට බුද්ධාගමට අයත් නොවී, බුදු දහමේ එන කරුණුවලින් තමන්ට වැටහෙන, තමන්ට ප්‍රශ්න නැති දේ පිළිගත හැක. ඒ අනුව කටයුතු කළ හැක. මම එවැන්නෙක් මි.

ඇත්තටම බුදු දහමේ ඇති අතිශය වැදගත් ගුණය නම් එකී තම තම නැණ පමණින් දැන ගත යුතු, එව බලව නම් ලක්‍ෂණයි. මම ඒවා ප්‍ර්‍රිය කරමි.

තම තම නැණ පමණින් දැනගත යුතු යන කියමන ලෝවැඩ සඟරාව නම් කාව්‍ය ග්‍රන්ථයේ එන්නකි. ඒ කවි පදය මා අගය කළ ද, ඒ කවියේ ම අවසාන පදය වන මම නමදිම් සදහම් පහදා සිතු යන්න මට ගෝචර අදහසක් නොවේ.

එනම්, බුදු දහමේ බොහෝ දේ ගැන අපට අවුලක් නැති වුව ද, දහමක් යනු වැඳිය පිදිය යුත්තක් යැයි මා නොසිතන බවයි.

කර්මය, පරලොව ගැන සලකන විට, ලෝවැඩ සඟරාවේ ම එන මා සිත ගත් තවත් කවියක් සඳහන් කළ යුතුය. එය මෙසේ ය.

ඇතත් නැතත් පරලොව සුදනෙි මහත
හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතොත් එපරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

මා සම්මත පව් වැඩ නොකරන්නේ ඒ තර්කයට අනුව ය. එසේ නොමැතිව, කර්මයක්, පරලොවක්, අපායක් ගැන බියකින් නොවේ.

ස්තුතියි අජිත් ධර්මකීර්ති.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පසුගිය සෙනසුරාදා සිට මට විරුද්ධව සයිබර් අවකාශයේ අතිශය පරුෂ වචනයෙන් බැණ වදිමින් අභූත චෝදනා එල්ල වෙමින් පවතී.

මා කිසි දිනක නොකළ, නොසිතූ, අනාගතයේ ද කිසි දිනක නොකරන දේ ගැන ඒ ආකාරයෙන් චෝදනා කීරීම සිත රිදවන අත් දැකීමකි.

නමුත්, අපට කුඩා කල සිටම කියා දී ඇති පරිදි සත්‍යය දිනක ජය ගනු ඇතැයි මම සිතමි.

චිංචි මානවිකාව ගේ බඩ බැඳි දරමිටිය ද ලෙහී ගියේ ය. සුන්දරී පරිබ්‍රාජිකාව පිළිබඳ සත්‍යය ද හෙළිවිය.

මේ වැනි අවස්ථාවල දී බුදු දහමේ (ධම්ම පදය, යමක වග්ගය) එන පහත ආකාරයේ තාර්කික ධර්ම කරුණු අඩංගු කවි ද අපට ප්‍රයෝජනවත් වේ.

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසං න සම්මති

ඔහු මට බැන්නේය, ඔහු මට හිංසා කළේ ය, ඔහු මා පැරදවූයේ ය, ඔහු මා සතු දේ පැහැර ගත්තේ ය යැයි වෛර බඳින්නා ගේ වෛරය නොසංසිඳේ.

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං න උපනය්හන්ති
වෙරං තෙසූපසම්මති

ඔහු මට බැන්නේය, ඔහු මට හිංසා කළේ ය, ඔහු මා පැරදවූයේ ය, ඔහු මා සතු දේ පැහැර ගත්තේ යැයි වෛර නොබඳින්නා ගේ වෛරය සංසිඳේ.

ඒ ආකාරයේ තර්කානුකසළ ධර්මය පිළිබඳව විශ්වාස කිරීමක්, බිලීව් කිරීමක් හෝ ඇදහීමක් කිසිසේත් ම අවශ්‍ය නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

අදාළ පරිදි ගලපා ගැනීම පිණිස, ඒ යමක වග්ගයේ ම මුල් කවිය සහ එහි අරුත මෙලෙස ය.

මනොපුබ්බංගමා ධම්මා
මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙති
චක්කංව වහතො පදං

කුසල්-අකුසල් ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තෝ ය, සිත ප්‍රධාන කොට ඇත්තෝ ය. සිතින් ම උපන්නාහු ය. එනිසා යමෙක් දූෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම්, නපුරු වචන කියයි නම් ඒ කරණකොට ගෙන, කරත්තේ බැඳී ගොනා ගේ පය අනුව යන රෝදය මෙන්, දුක ඔහු පසු පස්සේ ගමන් කරනු ඇත!

(image: https://www.flickr.com/photos/23404069@N07/8353743960)

Sunday, 28 August 2016

අසව්, අසව්, අසව්! - Hear ye, hear ye, hear ye!


රසිකොලොජි බ්ලොගය කියවන සියලුම පාඨකයින්ට කෙරෙන කාරුණික දැනුම් දීමයි.
  1. මා බ්ලොග් ලියන්නට පටන් ගෙන දැන් වසර එකොළයි මාස හතරකි. මේවන තුරු කිසි දිනක, කිසි තැනක මගේ නමින් හෝ මුලකුරුවලින් හෝ රසිකොලොජිස්ට් වැනි බ්ලොග් නමින් හෝ මිස නිර්නාමිකයෙකු ලෙස කමෙන්ටු, ප්‍රතිචාර හෝ උත්තර ලියා නැති බව සියලු දෙනා වෙත මෙයින් අවධාරණය කොට පවසා සිටිමි.

  2. ඒ ප්‍රතිපත්තිය මතු කිසි දිනයක වෙනස් කිරීමට ද අදහස් නොකරමි.

  3. මගේ රසිකොලොජි බ්ලොගයේ ලිපිවලට ප්‍රතිචාර දැක්වීමේ දී කරුණාකර අදාළ මාතෘකාව ගැන පමණක් කතා කරන්න.

  4. සිකුරාදා රාත්‍රියේ සිට තාවකාලිකව ප්‍රතිචාර පළ වීම සිදු වෙන්නේ අනුමැතියෙන් පසුවයි. සම්මත කුණුහරුප සහිත ප්‍රතිචාර පළ නොවෙනු ඇත. මේ තාවකාලික අනුමැතිය දීමේ ක්‍රමය පසුව ඉවත් කෙරෙනු ඇත.

  5. ඉන් පසුව වුවද, සම්මත කුණුහරුප සහිත ප්‍රතිචාර වෙතොත් ඒවා හැකි විගස ඉවත් කරනු ලැබේ. නිතර සෝදිසියෙන් සිටීමට නොහැකි කාර්යබහුල දිනයක් වෙතොත්, ඒ දිනවල තාවකාලික අනුමැති ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන අතර සියලුම ප්‍රතිචාර පළ කෙරෙනු ඇත්තේ සෝදිසියකින් පසුව ය.

  6. කරුණාකර වෙනත් පුද්ගලයනි් සමග ඇති ප්‍රශ්න ඔවුන් සමග සමග ඔවුන් ගේ බ්ලොග්වල දී හෝ ෆෙස්බුක් හි දී හෝ විසඳා ගන්න. රසිකොලොජිය ඒ සඳහා ස්ථානය නොවේ!

  7. විවිධාකාර හේතු නිසා අසනීපව පසුවන අයට ඉක්මන් සුවය පතමි.

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

(image: https://nocrunners.com/2015/06/26/hear-ye-hear-ye-hear-ye/)

Friday, 26 August 2016

මගෙ දෙයියා සහ උඹේ දෙයියා! - Synthetic God


ඉනික්බිති දෙයියා විසින් මිනිසා මවන ලදී යයි බයිබලයේ ලියා ඇත.

මා නම් සිතන්නේ එය සිදුවූයේ ඒ ආකාරයට නොව එහි ප්‍රතිවිරුද්ධ ආකාරයට කියා ය.

එනම්, ඉනික්බිති මිනිසා විසින් දෙයියා මවන ලදී!

විශ්වය සෑදුණේ කෙසේද, පෘථිවිය සෑදුණේ කෙසේද, මිනිසුන් සතුන් බිහිවූයේ කෙසේද, අපේ ශරීර ක්‍රියාත්මකවන්නේ කෙසේද, කුරුල්ලන් පියාඹන්නේ කෙසේද, අපට පියාඹන්න බැරි ඇයි, ලෙඩ රෝග සෑදෙන්නේ කෙසේද, අප මිය යන්නේ ඇයි, අප වසනා මේ ලෝකයේ වර්ෂාව, ගංවතුර, භූමිකම්පා, ගිනිකඳු, අකුණු, සුනාමි, හිරු, සඳු පෑයීම, බැසයාම යනාදී විවිධ දේ ඒ ඒ ආකාරයට සිදුවන්නේ කෙසේද යනාදී ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත නොහැකි වූ කල්හි ඒ ස්වාභාවික සංසිද්ධීන් විස්තර කිරීම සඳහා මිනිසා විසින් දෙයියා නමැති සංකල්පය නිර්මාණය කර ගත්තා යැයි සිතිය හැක.

එසේ සිතීම, නොපෙනෙන දෙවියෙකු විසින් ඒ සියල්ල කරනවා ය කියා සිතීමට වඩා තර්කානුකූල සිතුවිල්ලක් වේ.

ශිෂ්ටාචාරයේ මුල් කාලයේ දී එසේ නිර්මාණය කරගත් දෙයියා දඩමීමා කරගෙන මිනිසුන්ගෙන් සුළු කොටසක්, මිනිසුන් අති බහුතරය මර්දනය කර ඇති බව ද ඉතිහාසය දෙස් දෙයි.

දෙයියෙකු හෝ දෙයියන් යනුවෙන් පිරිසක් හෝ සිටින බව ද, දෙවියෙකු විසින් මිනිසා ද අනෙකුත් සත්වයින් ද මවන ලදී යන්න ද විශ්වාස කළ යුතුම නම්, එය විශ්වාස කළ හැක්කේ එක්තරා සුවිශේෂී උපකල්පනයක් සමග පමණක් බව මගේ අදහසයි.

ඒ උපකල්පනය නම්, මේ කියන දෙයියා යනු පිට සක්වල ජීවියෙකු බව සහ ඔහු හෝ ඇය පෘථිවියට පැමිණි ශිෂ්ටාචාරය වනාහී ජාන තාක්‍ෂණයේ ද, ක්ලෝනීකරණ තාක්‍ෂණයෙන් ද ඉතා දියුණු තත්වයක පැවති එකක් ද බවයි.

නමුත්, එවිට නිසැකයෙන් ම ඇති වෙන අතුරු ප්‍රශ්නය නම්, ඒ පිටසක්වල දෙයියාව මැව්වේ කවුරුන් ද යන්නයි!

එයට උත්තර නැත.

සර්වබලධාරී එකම එක දෙයියෙකු ඇතැයි අදහන ඒබ්‍රහාමික ආගම්වලින් ද, මහා බ්‍රහ්මයා සහ තවත් දුසිම් කිහිපයක දෙයියලා අදහන හින්දු ආදී ආගම්වලින් ද සහමුලින් ම වෙනස් වූ කිසිදු දෙයියා මාක් පරාණයක් හෝ ගෑවී නොමැති බුදු සමයට අයත් අපේ අයියලා සහ අක්කලා ද විවිධ අවස්ථාවල දෙයියන් සරණ යෑම මට නම් හරිම ලොල් සහගත තත්වයකි.

මා ගිය වසරේ ලියා පළ කළ "එළ හරකයි, මී හරකයි" ලිපියේ ඒ ආකාරයෙන් ලංකාවේ මහ ජනයාට කොකා පෙන්නමින් දෙයියන් සරණ යන දේශපාලුවන් පිළිබඳව ලිව්වෙමි.

මේ දෙයියා සරණ යෑමේ ලොල් ම ලොල් උච්චතම තත්වය නම්, පසුගිය දවස්වල අසන්නට ලැබුණු, විභාගයට මුහුණ දෙන්නට සැරසෙන උසස් පෙළ සිසුන්ට සෙත් පැතීම සඳහා අලියෙකු ගේ මූණත් තහඩුවක් සහ මිනිස් සිරුරක් හිමි ගණ නම් දෙයියෙකු ගේ සරණ ලබා දෙන ව්‍යාපාරයක් පිළිබඳ පැතුරුණු ආරංචියයි. එයට අනුග්‍රහය දක්වා තිබුණේ ආණ්ඩු පක්‍ෂයේ දේශපාළුවෙකු නිසා ඒ ලොල් කර්මය රජයේ වියදමෙන් පැවැත්වෙන්නේ දැයි සැකයක් ද ඇතිවුණි.

මේ මිථ්‍යා දෘෂ්ටික දෙයි රජාලාගෙන් සිංහල බෞද්ධයින් ගලවා ගැනීමට ශක්‍යතාවය සහ අවශ්‍යතාවය සහිත දේව දූතයෙකු දෙයියන් විසින් දෝ පසුගිය සියවසේ අග භාගයේ දී සිරි ලංකාවට එවන ලදී.

අවාසනාවට මෙන් ඒ දෙයි පටලැවිල්ලෙන් සිංහල බෞද්ධයින් ගලවා ඔවුන්ට මෝක්‍ෂය ළඟා කර දීම වෙනුවට ඔහුට ද අවසානයේ සිදුවූයේ දෙවියන් ගේ පිහිට ම පැතීම පමණි.
ඒ කවුද? අනුමාන කරන්නට හැකි ද?

ඔහු කවුද කියාත්, ඔහු කළේ කුමක් ද කියාත් පසුව ලිපියකින් බලාපොරොත්තුවෙන්න.

-රසිකොලොජිස්ට්

(http://loltheists.com/?attachment_id=662)

Wednesday, 24 August 2016

අත බලා සාස්තර කීමට දැන සිටීමේ හොඳ ප්‍රතිඵල - Those were the days!


මම ඊයේ මගේ දෙඅල්ලේ ම ඡායාරූප විස්තර කතාවක් ද සහිතව රසිකොලොජියේ පළ කර මා මැරෙන දවස හැකි නම් කියන ලෙස අභියෝගයක් ද කළෙමි. ඒ ඊට පෙර දින ෆෙස්බුක් හි දකුණු අල්ලේ ඡායාරූපයක් පළ කර මුට්ටිය දමා බැලීමෙන් අනතුරුවයි.

මට මා මිය යන දිනය දැන ගන්නට අවශ්‍ය වී ඇත්තේ, වෙන දේකට නොව, මැරෙන්නට පෙර කළ යුතුම වැඩ රාජකාරී කිහිපයක් ඇති නිසා ය. ඉන් එකක් වන මා මළ පසු සයිබරයේ දුක් ගීයක් ලියනු මැනවි කේස් එකට අදාළ යටිතල පහසුකම් සැපයීම නම් දැනටමත් කර තිබේ.

ඉතිරි වැඩ කටයුතුවලින් එකක් වන්නේ ලංකාවේ දී මිලට ගෙන සිනුවරට ගෙනැවිත් ඇති කිලෝ පනහක පමණ විශාල පොත් ප්‍රමාණය කියවීමයි. තවත් සාහිත්‍යමය වැඩ කිහිපයක් ද සැලසුම් කරගෙන සිටිමි.

මගේ ෆෙස්බුක් පෝස්ටුවට පිළිතුරු දෙන සගයෙකු පවසා ඇත්තේ මට අවුරුදු 75 වන තුරු ජීවත් විය හැකි බවයි.

නමුත්, බ්ලොග් ලිපියට ලබා ඇති කමෙන්ටුවකින් කියවෙන්නේ අවුරුදු 56 දී මා වැලිගම්පිටි යන බව ය. මේ දෙවෙනි අනාවැකිය තරමක් මගේ සිත සසල කළ නමුත් පසුව, ඕපු කියා, සිත හදා ගත්තෙමි.

සාමාන්‍යයෙන් අත බලවා ගන්නේ අතේ හිමිකරුවාගේ අවශ්‍යතාවයට සහ ප්‍රයෝජනයට ය. නමුත්, අත බැලීමට දැන සිටීමෙන් සහ ඒ නැති වුණත්, දන්නා බව හැඟවීමෙන් ද, අත බලන්නාට ද නොයෙකුත් ප්‍රතිඵල ලැබීමට ඉඩ ඇත.

විවාහ බැඳුමෙන් බැදෙන්නට පෙර තරුණ කාලයේ අත බලා සාස්තර කීමට ඇති හැකියාව (හෝ නොහැකියාව නිසා) මම අවස්ථා කිහිපයක දී ම අහිංසක සතුටක් ලබා ඇත්තෙමි.

ඒ ආකාරයේ අතීතකාමී කතා කිහිපයක් මට සිහිවුනේ, ඊයේ ෆෙස්බුක් හි, තරුණ ගෑල්ළමයෙකු තමන් ගේ අතේ ඡායාරූයක් පළ කර, අනේ මටත් සාස්තරයක් කියන්නකෝ යනුවෙන් අත බලා සාස්තර කියන්නට දන්නා හෝ දන්නා බව පෙන්වූ වෙනකෙකුගෙන් ඉල්ලනවා දුටු වෙලේ ය.

මා පෙර ඉඟි කළ ආකාරයේ අහිංසක සතුට ලබන්නට එසේ සයිබර් අවකාශයේ දී අත බලා නම් කිසිසේත් ම නොහැකි ය. එසේ ඔන්-ලයින් නොව, මුහුණට මුහුණ ලා හිඳ ගෙන අත බලා සාස්තරය කිව යුතුවේ.

මා කියන මේ අහිංසක සතුට නම්, ඕනෑම තරුණ, වැඩිහිටි කාන්තාවක ගේ අත ඇල්ලීමට, අත පිරි මැදීමට, අත මිරිකීමට හැකි වීම යි.

අත බලා සාස්තර කීමට දන්නා හෝ දන්නා බව පෙන්වන අය බොහෝ විට පිරිමි වීමත්, අත බලා සාස්තරයක් කියවා ගැනීමට කාන්තා පාර්ශවයේ විශාල උනන්දුවක තිබීමත් නිසා, මෙය දෙපාර්ශවයට ම අහිංසක සතුටක් ලැබෙන කාර්යයකැයි මම සිතමි.

මේ අහිංසක සතුට පිළිබඳව මා දැනුවත් කළේ සිසිර කුමාර නම් මගේ මිතුරා ය. ඒ අප තරුණ කාලයේ සම වයසේ තරුණියන් ගැන සිහින මවමින් සිටි කාලයේ දී ය. සිසිර ඒ කාරණය මගේ ඇස් ඉදිරිපිටම මට පෙන්වා දුන් ආකාරය මගේ මතකයේ තවමත් රැඳී තිබේ.

මේක තමයි ජීවන රේඛාව, මෙතැනින් කියන්නේ ඔයා ගේ ජීවිතයේ වෙනස් කම් සිදුවෙන හැටියි. හොඳ හබියෙක් ලැබෙන බව පේනවා. එයා ඔයාට හරිම ආදරෙයි. දරුවන් තුන් දෙනයි, යනාදී වශයෙන් කටට එන, තැනට ඔබින ඕනෑම පලාපලයක් අතේ මවා කීමට යම් මුඛරිකමක් ඇති වීම මේ අහිංසක සතුට ලැබීමට හොඳටම සෑහේ.

තරුණ ළමයින්ට අවශ්‍ය නම් මෙය අත් හදා බැලිය හැක. පිරිසක් ඉන්නා තැනක ප්‍රසිද්ධියේ මේ සාස්තර කීම ඇරඹුවහොත් ඔබ ඉදිරියේ පිරිස් පෝලිම් ගැසී එනවා නියතයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මීට පරම්පරාවකට පමණ ඉහත කාලයකදී වරක් තරුණියක් මුණ ගැසුණු විට මා සාර්ථකව අත් හදා බැලූ තවත් ක්‍රමයක් මෙසේ ය.

"ඔයා දන්නවාද, මට ඇස් පියාගෙන ඇඟිලි තුඩෙන් ඕනෑම දෙයක පාට කියන්න පුළුවන් බව?"

"බොරු කියන්න එපා අනේ!"

"ඔන්න බලන්න බොරුද කියලා!"

දැන් දෑස් පියාගෙන මුලින් ම ඔබ ළඟ ඇති ගෘහ භාණ්ඩයක් හෝ එවැනි යමක් අල්ලා එහි වර්ණය පවසන්න. ඉන් පසු ඇගේ ඇඳුමෙන් අල්ලා එහි වර්ණය පවසන්න. අවසානයේ ඇගේ මුහුණ ඇඟිලි තුඩින් පිරිමැද සුදු යැයි පවසන්න.

තලඑළළු යැයි පැවසෙන ඡවි කල්‍යාණයක් ඇති යුවතියන් සඳහා විශේෂයි!

(image: http://curiousinkling.com/graphic-t-shirts/chick-magnet.php)

Tuesday, 23 August 2016

කේන්දර, නැකත් සහ හස්ත රේඛා සාස්තර - Was Nancy Regan a Sri Lankan?


පසුගිය සතියේ සිංහල බ්ලොග් අවකාශයේ වඩාත් ම අවධානයට ලක් වූ මාතෘකාව වූයේ හඳහන් බැලීම යැයි සිතමි. ඒ කතාබහ ඇතිවුණේ යාං හෑල්ල බ්ලොගයේ රචක සුරංග ඔහු ගේ පිටරට යෑමේ සිහිනය ගැන ලියූ ලිපියේ අතුරු සාකච්ඡාවක් ලෙසිනි.

කේන්දර පලාපල අදහන්නන් ගේ මතය වන්නේ ලංකාවෙන් පිට වී වෙනත් රටකට තාවකාලිකව හෝ යෑමට නම්, අදාළ ග්‍රහ යෝගය කේන්දරයට අනුව උදාවිය යුතු ම බවයි. එසේ සෙනසුරා හෝ කෙහෙතා හෝ මොකා හෝ උං ගේ සංකලනයක් හෝ අවශ්‍ය පරිදි කෙන්දරයේ පිහිටා නැති නම්, අයිඊඑල්ටීඑස් විභාගයේ දී බෑන්ඩ් නයින් ලැබූව ද, එසේත් නැතිනම් ටෝෆල් විභාගයේ දී ලකුණු 667 ක් ලැබූව ද, කොරියන් භාෂා විභාගය සමත් වූව ද, ඇමරිකන් වීසා ලොතරැයිය ඇදුන ද, කිසිදු ප්‍රයෝජනයක් නොවෙනු ඇත.

වෙනත් ආකාරයකට කියනවා නම්, අදාළ රට යෑමේ ග්‍රහ යෝගය කේන්දරයේ උදා වී නොමැති නම්, අයිඊඑල්ටීඑස් හෝ ටෝෆල් හෝ කොරියන් විභාගයෙන් හෝ සමත් වීමට නොහැක. ඇමරිකන් වීසා ලොතරැයියෙන් ද දිනුම හිමි නොවේ!

ඊයේ අසනීප නිවාඩු මත මගේ පාඩුවේ නිවසට වී සිටි මම, ක්‍ෂණිකව ඇතිවුණු අදහසක් මත මගේ දකුණු අත්ලේ ඡායාරූපයක් ෆේස්බුක් හි පළ කළෙමි. ඒ හස්ත රේඛා බලා පලාපල කියන හැටි ඉගෙන ගන්නා අයගේ ප්‍රයෝජනය පිණිස ය යනුවෙන් කෙටි සටහනක් ද සමගිනි.

මගේ පෝස්ටුවට කෙළින් ම ලැබුණු ප්‍රතිචාර ද, පුද්ගලිකව ලැබුණු පණිවිඩවලින් ද මට වැටහුණේ, හඳහන් ගැන ඇති උනන්දුවට සමාන උනන්දුවක් හස්ත රේඛා පලාපල කෙරෙහි ද ඇති බවයි. එසේම, හඳහන් ගැන කෙරෙන සරදම්වලට, උපහාසවලට සමාන සරදම් සහ උපහාස ද, හස්ත රේඛා බලා පලාපල කීම ගැන ඇති බව ද මට වැටහුණි.

නැකත් බැලීම පිළිබඳව ද අදහස් ඒ ආකාරයට ම එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වාම පැතිරී පවතී.

මේ සියල්ල පිළිබඳ මගේ අදහස මෙසේ ය.

මිනිස් සිත දුර්වල ය. අටලෝ දහම් චක්‍රය කැරකී දුක, අලාභ, අයස, නින්දා ලැබෙන විට ඒ දුර්වල සිත තවත් දුර්වල තත්වයකට පත් වේ.

ඒ දුර්වල වූ මිනිස් සිතට දෙවියන් පිළිබඳ මිථ්‍යා සංකල්පයෙන්, හඳහන්, නැකත්, හස්ත රේඛා පලාපල යනාදී විවිධාකාර ගුප්ත ශාස්ත්‍රවලින් මානසික සහන, උපකාර ලැබේ.

එපමණකි.

එසේම, ඒ දෙවියන් වැනි මිථ්‍යා විශ්වාස සහ ගුප්ත ශාස්ත්‍ර යනාදිය පවතින්නේ ලංකාවේ සහ පෙරදිග පමණක් නොවන බව ද කිව යුතුය. එක් උදාහරණයක් පමණක් සඳහන් කරනවා නම්, කලක් ලෝකයේ ලොක්කා වූ රොනල්ඩ් රේගන් ඇතැම් තීරණ ගත්තේ ඔහු ගේ බිරිඳ වූ නැන්සි රේගන් බැලූ පේන සහ ඇසූ සාස්තර අනුව බව පසුගිය කාලයේ අසන්නට ලැබුණි.

පෙර කී ආකාරයේ දුර්වල වූ සිතකට මානසික සහනය ලබා ගැනීම සඳහා දෙවියන් යැදීම, නැකත්, කේන්දර බැලීම යනාදියේ නිරත වීම කෙසේ වෙතත්, ඒ මිථ්‍යා විශ්වාස සහ ගුප්ත ශාස්ත්‍ර මත පදනම්ව ජීවිතය පිළිබඳ තීරණ ගැනීම නම් මහා අනුවණ කමක් බව මගේ අවංක අදහසයි.

මා නම් කිසි දිනක මගේ ජීවිතය පමණක් සම්බන්ධ කටයුතුවලදී සහ පිටරට යෑම, නිවාස සෑදීම වැනි අවස්ථාවලදී දෙවියන්, නැකත්, කේන්දර යනාදිය මත පදනම්ව තීරණ ගෙන නැත. අනාගතයේ එසේ කිරීමට තරම් මගේ සිත දුර්වල තත්වයකට ඇද වැටේ යැයි ද සිතිය නොහැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
හැකි අයෙකු සිටී නම් ඉහත හස්ත රේඛා සටහන් බලා කරුණාකර මා මැරෙන වයස නිවැරදිව කියන්න.

එදින උදා වීමට පෙර නිම කළ යුතු වැඩ රාශියක් තිබේ!

Monday, 22 August 2016

සැප්තැම්බර් කිට්ටු කිට්ටු - It is that time of the year again


මදර්ස් ඩේ හෙවත් මව්වරුන් ගේ දිනය, ෆාදර්ස් ඩේ හෙවත් පියවරුන් ගේ දිනය, වැලන්ටයින් ඩේ හෙවත් ආදරවන්තයින් ගේ දිනය වැනි බටහිර සංකල්පවලට විරුද්ධව පොර ටෝක් දෙන සුනිල් ආරියරත්නලා(*) වැනි පිරිස් පතුරවා හරින පසුගාමී මතවාදය නම්, අපි සැම දිනම අපේ මවට ආදරය කරමු, සැම දිනම අපේ පියාට ආදරය කරමු, සැම දිනම ලෝ වැසි සියලු දෙනාට ආදරය කරමු (ඒ විතරක් යැ, මෛත්‍රී ද කරමු!) එනිසා අපට ඔය බටහිරෙන් එන අර දිනය, මේ දිනය වැනි ආගන්තුක දේ එපෝ ය, යන්නයි.

නමුත් සැම දිනම නිදහසේ ඉන්නා අපට නිදහස් දිනයක් කුමට ද, සැම දිනම සිල් රැකගෙන ඉන්නා අපට පෝය දිනයක් කුමට ද යනුවෙන් පෙර කී තර්කය දිගු වෙනවා මා නම් දැක නැත.

මගේ මතය නම්, සැම දිනකම මවට සැබෑවටම ආදරය කරන, සැම දිනකම පියාට සැබෑවට ම ආදරය කරන, සැම දිනකම ලෝ වැසි සියලු දෙනාට ම සැබෑවටම ආදරය කරන, සැබෑවටම මෛත්‍රී කරන අයට, තවත් පිරිසක් ඒ ඒ ආදරය සුවිශේෂීව දැක්වීම සඳහා වෙන් වෙන් දින යොදා ගැනීම ගැන කිසිම රුදාවක් ඇති විය නොහැකි බවයි.

සාහිත්‍යයට ආදරය කිරීම ගැන ද කතාව එලෙස ම ය. මා කොස්සින්න ඉස්කෝලේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ කාලයේ ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කයේ සාහිත්‍ය දිනයක් පැවැත්වුණු බවටත්, ඒ සඳහා පහේ පන්තියේ සිටි අප අතරින් රචනා ලිවීම සඳහා වූ තරගයට මා තේරී එයට සහභාගී වෙන්නට ගුරුවරුන් සමග ගම්පහ ගිය බවත් මගේ මතකයේ ඇත.

ඉන් පසුව නම්, ඒ ආකාරයේ සිංහල සාහිත්‍ය උත්සව පැවති බවක් මතකයට නොඑතත්, එකල නාට්‍යය තරග පැවති බවට නම් සාක්‍ෂි මා කලින් දිනයක ලියූ "ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..!" නම් ලිපියේ ලා සඳහන් කළෙමි.

කෙසේ වෙතත්, අද ලංකාවේ එක් සාහිත්‍ය දිනයක් නොව සාහිත්‍යය සඳහා පුරා මාසයක් ම ඇත.

සැප්තැම්බර් කිට්ටු, කිට්ටු යැයි සාහිත්‍ය මාසය එළැඹෙන බව කියමින් කොහෝ කුරුල්ලෙකු හඬ නගනු අද උදයේ මගේ සවනෙහි වැටුණි.

කොහෝ කුරුල්ලන් නාද කරන්නේ මාර්තුවේ එළැඹෙන වසන්තයේ දී බව මට නොකියන්න. ඒ උතුරු අර්ධ ගෝලයේ පිහිටි ලංකාවේ ය.

දකුණු කුරු දිවයිනේ ඉන්නා අපට වසන්තය එළැඹෙන්නේ සැප්තැම්බරයේ ය.

මෙවර බ්ලොග් වසන්තය ඇරඹීම සනිටුහන් කරමින් මා ලියූ ලිපියේ ද ඒ බව සඳහන් කළෙමි.

පැවති ශීත සිසිරය කෙමෙන් නිමවෙමින් පවතී. කප්පාදු කළ රෝස පඳුරු නව දළු මතු කරයි. උදෑසන හිරු පෑයීම ද කෙමෙන් කෙමෙන් සාමාන්‍ය වේලාවට පත්වෙමින් පවතී.

වසන්තය අත ළඟ ය.

සැප්තැම්බර් කිට්ටු කිට්ටු ය.

සැප්තැම්බරය සඳහා මගේ එකම අධිෂ්ඨානය නම්, ලංකාවේ සිටි ජනවාරියේ ද, අප්‍රියෙල් මාසයේ දී ද ගෙනා පොත් කිලෝ ගණනින් කිහිපයක් හෝ කියවීම ය. අඩු වශයෙන් අපේ සහෝදර බ්ලොග්කරුවන් ගේ පොත් ගොඩවත් කියවිය යුතුය.

හැපි සෙප්ටෙම්බර් ගයිස්!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සුනිල් ආරියරත්න ගැන සඳහන් කළේ ඔහු ලියූ "වැලන්ටයින්" ගීතය නිසා ය. මදර්ස් ඩේ හෙවත් මව්වරුන් ගේ දිනය, ෆාදර්ස් ඩේ හෙවත් පියවරුන් ගේ දිනය පිළිබඳ ඔහු ගේ අදහස නොදනිමි.

"වැලන්ටයින්" ගීතය නම්, මා කැමති ගී දහසයට තබා, කැමති ගීත දහසටවත් ඇතුළත් නොවෙනු ඇත!

Friday, 19 August 2016

මොන්ටිසෝරි ආදරේ - Montessori love affairs


කවට කමට ඔබෙයි මගෙයි නම ලියා
යහළු ළමයි විහිළු තහළු මට කළා
ඔබ ආදරේද ඇ(හැ)ව්වා - මම දන්නෙ නැහැයි කිව්වා


දිගු කලකට ඉහත ජනපි‍්‍රය වී තිබූ ඉහත ගීතයෙන් කියවෙන්නේ පාසැල් යන තරුණ වියේ සිසුවෙකු සහ සිසුවියක අතර ආදර සම්බන්ධයක් ක‍්‍රම-ක‍්‍රමයෙන් ඇතිවූ ආකාරය යි.

ගීතයෙන් පැවසෙන කථාවේ හැටියට ඒ ආදර සම්බන්ධයට මුල වී ඇත්තේ යහළු යෙහෙළියන් ගේ කවට කතා හෙවත් නම් පට බැඳීම යි. මිශ‍්‍ර පාසැල් හි ඉහළ පන්තිවල සිසු සිසුවියන් අතර ආදර සම්බන්ධකම් එදා මෙන් ම අදත් තිබෙන බව පුවත්පත් කියවන විට දකින්නට ලැබෙන කතා වලින් හොඳින් පෙනේ.

නමුත් ඇත්ත වශයෙන් ම මේ ආදර සිතුවිලි ඇතිවන්නට පටන් ගන්නේ ඉහළ පන්ති වලදී නොව සමහර විට ඉතා පහළ පන්ති වලදී සිට ය. කොටින් ම කියනවා නම් මොන්ටිසෝරි කාලයේ සිට ම ය.

ඒ ප‍්‍රාථමික විදුහල් ආදර සිතුවිලි අනිවාර්යෙන් ම ඉතා බොළඳ ඒවා ය. ඉහත සඳහන් ගීයේ විස්තර කෙරෙන පරිදි බොහෝ විට අනෙක් සිසුන් ගේ නම් ලියා කවටකම් කරන්නට සිතෙන්නේ ද මේ බොළඳ ආදර සිතුවිලි වල එක් අතුරු ඵලයක් ලෙස යැයි මට සිතේ.

මා කණිෂ්ඨ පාඨශාලවේ උගත් සමයේ ප‍්‍රථමයෙන් ම එලෙස නම් පට බැඳීමකට ලක් වූයේ තුන් වන වසරේ දී යැයි සිතමි.

කොයි ලෙසක ඇරඹිණි දැයි දැන ගත නොහැකි වුණත් එක් වරම අප පන්තියේ සිසු සිසුවින් කොළ කැබලි වල ගැහැණු-පිරිමි නම් යුගලයන් ලියා අතිනත යවන්න ට වූහ. මේ සිද්ධිය අවසන් වූයේ මෙයින් කොළ කැබලි කිහිපයක් මිදුල අමදිමින් සිටි ඉහළ පන්තියක සිසුවියන් කිහිප දෙනෙකු අතින් විදුහල්පති තුමා කරා යොමුවී, අපේ පන්තියේ සිටි දඩබ්බරයෙකු වේවැල් පහර කිහිපයක් කෑමෙනි.

මේ කාලය වන විට මගේ සිතේ ද සම වයසේ දැරිවියන් පිළිබඳව යම් යම් පහන් සංවේග මතු නොවී නොතිබුණා නොවේ. එහෙත් ඒවා, කඩදාසි කැබලි වල නොම ලියවී සිතට පමණක් සීමා වූ ඒවා විය.

එසේ වතුදු, එලෙස ප‍්‍රාටමිකයේ දී ඇරඹි මෙවැනි සිතුවිලි, මධ්‍ය විද්‍යාලය, උසස් විද්‍යාලය සහ විශ්ව විද්‍යාලය හරහා, පසු කාලයක විවාහ සහකාරිය හමු වෙනතුරුම විවිධ කාල වකවානු තුළ දී විවිධ ආකාරයෙන් මතුවිය. ඒ බොහොමයක් සිතුවිලි 50% ක් පමණක් සාර්ථක වූ ඒවා ලෙස උපහාසාත්මකව හැඳින්විය හැකිය. මේ කාල පරිච්ඡේදය තුළ දී, කෙමෙන් කෙමෙන් මේ සිතුවිලි ධාරාවෝ ගද්‍යයටත්, පද්‍යයටත් නැගෙන්නට ද පටන් ගති.

ගැටවර වියේ දී මේ පද්‍යා රසය දෝරේ ගලා ගියේය.

ඒ කවි වට්ටෝරු පමණක්, කාවුන් කෑ අභ්‍යාස පොත් මැද්දේ, අද ද ඉතිරිව ඇත.

ඒ කෙසේ වෙතත්, මගේ කෝෂ්ටාගාරයේ මොන්ටිසෝරි ආදරය යන දෙපදයෙන් අර්ථ දැක්වෙන්නේ නම්, ගැහැණු පිරිමි යුවලක් අතර පවතින, හිතින් මිස ගතින් ලං නොවූ ආදර සම්බන්ධයකි. වෙනත් වචන වලින් කිවහොත්, දෙදෙනෙකු අතර ඇති වී සිප ගැනීමක් කෙසේ වෙතත් අඩු වශයෙන් අතින් ඇල්ලීමකින් හෝ තොරව පැවතෙන ආදර සම්බන්ධයකි.

මෙහි මොන්ටිසෝරි යන පදයෙන් අදහස් වන්නේ, අදාළ යුවළගේ වයස් සීමාව නොව, ආදර සම්බන්ධයේ ස්වභාවයයි. මෙවැනි මොන්ටිසෝරි ආදර සංසිද්ධීන් අර්ථ දැක්වීමෙන් ම බාලාංශ මට්ටමේ ඒවා වන බව මෙයින් හැඟේ.

තවදුරටත් මෙම වදනේ මගේ අර්ථය පැහැදිලි කිරීම උදෙසා පහත උදාහරණය ඔබ හමුවේ තබමි.

මා පොඩි අවදියේ සිටම, සිංහල ආදර කතා ඉතිහාසයේ අසිරිමත් මග සලකුණක් ලෙස පතල වී තිබූ, එක්තරා නවකතාවක් ගැන අසා දැන සිටියෙමි. මගේ මතකයේ හැටියට 60 දශකයේ මුල් කාලයේ පමණ ලියවී තිබුණු එම කෘතිය ඉතා සංවේගාත්මක වූ, ශෝකාන්තයක් ලෙස නම් දරා තිබිණි. මා ඇසූ, කියවූ පරිදි මෙම පේ‍්‍රම කතාව ප්‍රථම සිංහල ප්‍රේම ශෝකාන්තය යි. එතෙක් පළවී තිබූ සියලු නවකථාවන් හී පෙම් සටන් සියල්ල ජයග‍්‍රහනයෙන් අවසන් වු, සුඛාන්තයන් වී තිබුණි.

මෙම නවකතාවෙන් ශෝකාන්ත නවකථා රැල්ලක් ඇරඹුණු බව කියනු ලැබේ.

වෙනත් නොයෙකුත් නවකථා, පොත් පත් යනාදිය නිරතුරු කියෙවූවද, අපේ නිවසේ හෝ මා භාවිතා කළ පුස්තකාලයක හෝ මෙම කෘතියේ පිටපතක් නොතිබුණු හෙයින්, උස් මහත් වී වසර ගණනාවක් යන තුරුම මා මෙම කෘතිය කියවා තිබුණේ නැත. කෙසේ වෙතත්, ඒ වන විට මා මේ කෘතියේ දෙවන භාගය යැයි සැලකෙන එම කතුවරයා ගේ ම වෙනත් නවකතාවක් නම් කියවා තිබුණි.

අවසානයේ අහම්බෙන් මෙන් පිටපතක් ලැබී ඉහත කී අසිරිමත් පෙම් කතාව කියවු පසු, ඒ ගැන ලියවී තිබුණු බොහෝ දේ කියවා, බොහෝ දෙනා ඒ ගැන කී කතා අසා, මහා පේ‍්‍රම වෘතාන්තයක් යැයි එම නවකතාව පිළිබඳව මා එතෙක් සිතා සිටි සියලු දේ හුදු විහිළුවක් ම පමණක් නොවේදෝ යැයි මට සිතිණි.

මෙම නවකතාව නම් කරුණාසේන ජයලත් ලියූ "ගොළු හදවත" යි.

කිසි දින ආදරයක් ගැන කතා නොකළා වූ, ආදර බස් නෙම තෙපලූ, සිප ගැනීමක් තබා අතකින් අතවත් ස්පර්ශ නොකළා වූ, සුගත් සහ දම්මි යුවළ ගේ ආදර කතාව යි.

මට නම් සුගත් සහ දම්මි ගේ "ගොළු හදවත" ආදරය වචනයේ අර්ථ පරිසමාප්තයෙන් ම මොන්ටිසෝරි ආදරයක් ම පමණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉහත ලිපිය මා කලකට ඉහත මෙල්බර්න් නගරයේ පළ කෙරෙන "පහන" මාසික සඟරාවට ලියන ලද එකකි. මෙහි සඳහන් වන "ගොළු හදවත" නම් නවකතාවේ ප්‍රේම වෘතාන්තය මා මොන්ටිසෝරි ආදරයකට කරන සම කිරීම අසා සිත රිදුනු ප්‍රසිද්ධ ගීත රචකයෙකු වන ප්‍රියානන්ද විජේසුන්දර, මගේ ලිපියට පිළිතුරු ලිපියක්ද ලියූ බච ප්‍රීතියෙන් සඳහන් කරමි!

"කවට කමට ඔබෙයි මගෙයි නම ලියා" - සීඩී ෆොන්සේකා ගයන ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ලියූ ගීතය මෙතනින් නරඹන්න.



(image: http://kathandara.blogspot.com/2012/06/montessori-love-affairs.html)

Thursday, 18 August 2016

ඔබේ පෙම්වතියන් අතරින් හොඳම පෙම්වතියන් දාසය දෙනා තේරිය හැකිද? - What is the best selection criteria?


ඔබේ පෙම්වතියන් අතරින් හොඳම පෙම්වතියන් දාසය දෙනා තේරිය හැකිද?

බැහැ නේද? මට නම් බැරි ය.

මට එසේ මගේ හොඳම පෙම්වතියන් දාසය දෙනා තේරීමට නොහැකි වීමට එක් ප්‍රධාන හේතුවක් ඇත.

එය නම්, දාසය වෙනි වියේ සිට දුම්රියේ යනෙන විට නෙත ගැටුණු සම වියේ සිටි දේවි බාලිකාවියක, ආනන්ද බාලිකාවියක, යශෝදරාවියක, විශාකාවියක, ඒ අනු පිළිවෙලින් එකිනෙක ඈඳුණු කාල පරාසයන් හි දී දැක, ප්‍රේමයෙන් කුල්මත් වී, පෙම් කවි ලියන්නට පටන් ගත් අයෙකු වුව ද, පසු කාලයේ මට මේ දක්වා ජීවිතයේ පෙම්වතියන් දාසය දෙනෙකු සිට නොමැති නිසා ය.

මට සිට ඇත්තේ පෙම්වතියන් දහතුන් දෙනෙකු පමණි.

ඒ මදිවාට ඒ දහතුන් දෙනාගෙන් වැඩි දෙනෙකු සහ මා අතර තිබුණේ ද අර මොන්ටිසෝරි ප්‍රභේදයේ ආදර සම්බන්ධතා ය.

පෙර කී වයස දාසයේ දී නෙත ගැටුණු දේවි බාලිකාවිය, ආනන්ද බාලිකාවිය, යශෝදරාවිය, සහ විශාකාවිය වැනි සියයට පනහක් හරි ගිය පෙම්වතියන් හෙවත් සිතෙන් පමණක් පෙම් කළ යුවතියන් ද, ඒ දහතුන් දෙනා අතරට එකතු කර ගත හැකි නම්, ඔන්න මගේ කවුන්ටරය විසි පහක් පමණ දක්වා වැඩි කර ගත හැකිය.

ඉයන් ලින්තොට (ප්‍රනාන්දු) විසින් බ්ලොග් ලෝකයට බෝ කළ කැමතිම ගී දාසය රැල්ලට කර මුලෙන් ම අහුවුණු මා මගේ මතක ගබඩාවේ සදාකල් රැඳී ඇති ගී අතුරෙන් වඩාත්ම කැමති ගී දාසය තෝරන්නට පටන් ගත්තෙමි. මේ උගුලේ වැටුණු අන් සියලු දෙනාට සේ ම, මට ද වැටහුණේ, ඒ ආකාරයට ගී දාසයක් තේරීම ඉතා අසීරු කාර්යයක් බවයි.

එනිසා, මේ කාර්යය සඳහා යම් කිසි නිශ්චිත තේරීම් පටිපාටියක් වෙවත් සිලෙක්ෂන් ක්‍රයිටීරියාවක් අවශ්‍ය බව මට වැටහුණි.

මුලින් ම, මගේ සිහියට ආවේ මගේ හිටපු පෙම්වතියන් ගේ ද, සියයට පනහේ යුවතියන් ගේ ද ලයිස්තුවක් සාදා, එයින් දාසය දෙනෙකු තෝරා, ඒ එක් එක් යුවතිය ගේ නමට සම්බන්ධව ගීතයක් තේරීමයි. සිංහල ගීත බොහොමයක් ලියවී ඇත්තේ ගෑල්ළමුන් ගේ නම් ආශ්‍රිතව නිසා මෙය ඉතා හොඳ ක්‍රමයක් බව වැටහුණි.

නමුත් අවාසනාවකට මෙන් දැන් දශක දෙක හමාරකට පසුව අදාළ නම් කිහිපයක් ම, දහතුන් දෙනාගෙන් තිදෙනෙකු ගේ ද, සියයට පනහේ ගොඩෙන් වැඩි දෙනෙකු ගේ ද, සිතෙන් ගිලිහී ගොස් ඇති නිසා ඒ ක්‍රමෝපාය ද අතහැර දමන්නට සිදුවිය.

ඊළඟට මා සිතුවේ, මගේ ජීවිතයේ මතකයේ රැඳී ඇති කාල වකවානුව, වසර දෙකේ, තුනේ කුට්ටිවලට වෙන් කර, ඒ ඒ කුට්ටිය සඳහා ගැලපෙන ගීතයක් තෝරා ගැනීමයි.

එය ද එතරම් සාර්ථක නොව බව වැටහුණේ, පසුගිය දශකයේ, එනම් අවුරුදු තුනේ කුට්ටි තුනක් තුළ ම, ජීවිතයේ ගැයෙන්නේ එකම එක ගීතය වීම නිසා ය. එනම්, දශකයකට ඉහත එලොව ගොස් මෙලොව විත් ඉන්පසු අයිරාවකින් දිග්ගස්සවා ගත්තාට පසු, ජීවිතය වැඩි හැලහැප්පීමක්, වෙනසක් නොමැතිව සාමකාමීව, ඔහේ වේගයෙන් ගලා යෑමයි.

ඉන්පසු මා සිතුවේ, කුට්ටි කිරීම අමතක කර, ජීවිතයේ වැදගත් සිදුවීම් සිහියට නංවා ගනිමින් ඒ අනුසාරයෙන් ගී තේරීම කරන්නටයි.

එය එනම් තරමක් හෝ සාර්ථක එකක් විය.

තරමක් තටමා ගීත දාසයක් තෝරාගත් මම, ඒ පිළිබඳව විස්තර ලියන්නට පටන් ගත්තෙමි. නමුත් ගී දෙකක් පිළිබඳව ලියා අවසන්වන විට මට වැටහුණේ, ඒවන විටත් මගේ ලිපිය අනවශ්‍ය තරමට දිගු වී ඇති බවත්, මේ සියල්ල එක්වර පළ කිරීම කිසිවෙකුට ඵලදායක කාර්යයක් නොවන බවත් ය.

එනිසා, ඒ ගී දාසය පිළිබඳ විස්තර සති දාසයක් පමණ කාලයක් තිස්සේ කල් බැඳගෙන ලියා පළ කරන්නට සිතාගෙන, අදට මේ විස්තරය පමණක් ලියන්නට සිතුවෙමි.

වසර කිහිපයකට ඉහත මේ ආකාරයේ ම, රැල්ලක් සිංහල බ්ලොග් අවකාශයේ පැතුරුණි. ඒ "අපිට පිස්සු ඕයි" යැයි කියා එකම මාතෘකාව ද, එකම රූපය ද සහිතව පෝස්ටු පළ කිරීමයි.

මේ වත්මන් රැල්ලේ ඇති වෙනස නම්, අපේ මාතෘකාවේ පිස්සු යන වචනය එක එල්ලේ නැතිවීම පමණි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
දාහත්වෙනි ගීයක් ද තේරීමට හැකි නම්, එය අනිවාරයෙන් ම පිස්සන් පිළිබඳ ලියවුණු එකක් වෙනු ඇත!

(image: http://magesanda.blogspot.com.au/2013/02/blog-post.html)

Wednesday, 17 August 2016

කලාකරුවෙකු වෙන්නේ කෙසේද? - A pipe dream?


යමෙකු කලාකරුවෙකු වෙන්නේ කෙසේ ද? ඒ සඳහා උපතින් ම ලද හැකියාවක් තිබිය යුතු ම ද? ඒ හැකියාව පමණක් ප්‍රමාණවත් ද? හැකියාවක් ඇති අයෙකුට එතැනින් ඔබ්බට යාමට අවශ්‍ය ජවය හෝ උත්තේජනය හෝ වරම හෝ මොකක්ද එක හෝ ලැබෙන්නේ කෙසේද?

ඉහත ප්‍රශ්න මාලාව මගේ සිතට ආවේ, පසුගිය දා සිනුවර දී ලූෂන් බුලත්සිංහල සමග පැවති සුහද සාකච්ඡාවේ දී ඔහු මුලින් පැවසූ දෙයටත්, නිහාල් රූපසිංහ ගේ ප්‍රශ්නයකට ලූෂන් බුලත්සිංහල දුන් පිළිතුරටත් ඇහුම් කන් දී සිටි අවස්ථාවේ දී ය.

නිහාල් රූපසිංහ විසින් විමසන ලද ඒ ප්‍රශ්නය වූයේ, නාට්‍යවේදියෙකු, ගීත රචකයෙකු ලෙස ලූෂන් බුලත්සිංහල පැමිණි ගමනේ මූලාරම්භය කෙසේ වූයේ ද යන්නයි.

ලෙක්හවුසියේ සරසවිය සිනමා සඟරාව හෝ සති අන්ත පුවත්පතක් සමග ලැබෙන වෙනත් ඒ ආකාරයේ සඟරා අතිරේකයකින් කලාකරුවෙකු සමග කෙරෙන සම්මත අච්චුවේ සම්මුඛ සාකච්ඡාවකදී නිරතුර ඇසෙන්නා වූ ප්‍රශ්නයක් වූ එය, බැලු බැල්මට වැදගත්කමක් නැති එකෙකැයි සිතුණ ද, ඇත්තටම කලාකරුවා ඇතිවීම හෝ නැතිවීම පිළිබඳ තීරණාත්මක තොරතුරු ලබා දෙන ප්‍රශ්නයක් බව හොඳින් විශ්ලේෂණය කර බලන කල පෙනේ.

නිහාල් රුපසිංහ ගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස එදා ලූෂන් බුලත්සිංහල පැවසූ ඔහු ගේ ජීවිතය පිළිබඳ කරුණු කිහිපයක් මෙසේ ය.

වේදිකා නාට්‍යයට ඇති ඔහු ගේ ඇල්ම ආරම්භ වී ඇත්තේ, කුඩා කාලයේ රත්මලාන ප්‍රදේශයේ පෙන්වූ ටීටර් නාඩගම් නිසා ය. නමුත් ඔහුට ඒ නාටක රිසි සේ නරඹන්නට මුදල් තිබී නැත. කුඩා ලූෂන් බුලත්සිංහල කර ඇත්තේ වෙරළබඩ පොල් අතුවලින් වට කළ තාවකාලික වේදිකාවේ නාට්‍යය පුහුණු වන ආකාරය, පොල් අතු අස්සෙන් හොරෙන් බලා රස විඳීමයි.

වරක් මේ ආකාරයට තමන් නාට්‍යයක් පුහුණු වන ආකාරය හොරෙන් නරඹමින් සිටිනවා දුටු නාට්‍යයේ සංවිධායකයෙකු තමන්ව කණෙන් ඇද එළවා දැමූ බව ද ලූෂන් බුලත්සිංහල අප සමග පැවසී ය.

කුඩා කල සිට ම චිත්‍ර ශිල්පයට දක්‍ෂ සිසුවෙකු වූ ලූෂන් බුලත්සිංහල සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු හේවුඩ් ආයතනයේ ශිෂ්‍යයෙකු ලෙසින් චිත්‍ර කාලව වැඩිදුර ඉගෙනීම අරඹා ඇත. නමුත් ඒ අධ්‍යාපනය දිගටම කරගෙන යාම සඳහා වියදම් කිරීමට ඔහු ගේ පියාට මුදල් නොතිබුණු නිසා, ඔහු චිත්‍ර කලාව ඉගෙනීම අත හැර යළිත් පාසලට ගොස් උසස් පෙළ හදාරන්නට පටන් ගෙන තිබේ.

එදා එය එසේ නොවුණා නම්, අද සමහර විට ලූෂන් බුලත්සිංහල නම් නාට්‍යකරුවෙකු නොසිටින්නට ද ඉඩ තිබුණි.

ඒ හැටේ දශකයේ මුල් කාලයයි.

ඉන්පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට බැඳී අධ්‍යාපනය හදාරන්නට වරම් ලබන ලූෂන් බුලත්සිංහලට ඒ කාලයේ ජීවත් වීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට ලිපිකරුවෙකු ලෙස පූර්ණකාලීනව රැකියාවක නිරතවෙන්නට ද සිදු වී ඇත. ඒ පිළිබඳව ද රසවත් කතාවක් ඔහු අප සමග පැවසූ අතර එය පසුව ලිපියක ලියන්නට අදහස් කරමි.

කෙළින් ම ඒ බව නොකියවුණ ද, මට වැටහුණු ආකාරයට, විශ්ව විද්‍යාලයට යන්නට පෙර සිටම වේදිකා නාට්‍යවලට සම්බන්ධව සිටියද, ලූෂන් බුලත්සිංහල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී නාට්‍යවලට සම්බන්ධ වූ අයෙකු නොවන බව පෙනුණි.

කෙසේ නමුත්, තමන් වේදිකා නාට්‍යවේදියෙකු වීමට මූලිකවම බලපෑවේ, කුඩා කාලයේ අමාරුවෙන් දැක බලා ගත් ඒ ටීටර් නාටක නිසා බව ලූෂන් බුලත්සිංහල එක හෙළා පැවසී ය.

නමුත් කුඩා කාලයේ නාට්‍යය නැරඹීමෙන් පමණක් නාට්‍යකරුවෙකු වීමට නොහැකි බව පැහැදිලි ය. උදාහරණයක් ලෙස මා නැරඹුූ මුල්ම වේදිකා නාට්‍යය වූයේ (ලූෂන් බුලත්සිංහල ගේ ම නිෂ්පාදනයක් වූ) රතු හැට්ටකාරී නාට්‍යයයි. ඒ මා අටවෙනි ශ්‍රේණියේ පමණ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ දී ය.

එසේ වෙතත්, මට නම් තවමත් නාට්‍යකරුවෙකු වීමට හැකි වුයේ නැත. එදා සුහද සංවාදය අවසානයේ තේ බොන අතර දී මම ලූෂන් බුලත්සිංහල සමග ද මේ බව පැවසූවෙමි.

එයින් මා කියන්නට අදහස් කළේ, කලාකෘතියක් නැරඹීමෙන්, රස විඳීමෙන් පමණක් කලාකරුවෙකු වීමට හැකියාව නොලැබෙන බවයි.

සිනුවර සිංහල සංස්කෘතික හමුවෙන් කෙටි නාට්‍ය උලෙළක් ඇරඹුණේ මින් වසර තුනකට ඉහත දී ය. ඒ මුල් ම උත්සවය සඳහා නාට්‍යයක් ලියා නිෂ්පාදනය කරන්නට මම ඉටා ගත්තෙමි.

තුන්වෙනි වරට පැවැත්වෙන නාට්‍ය උත්සවය සඳහා අත් පිටපත් භාර ගැනීම පසුගිය ජූලි 15 දා අවසන් විය. පසුගිය වසර කිහිපය තුළ දී විවිධ නාට්‍යකරුවන් ඇසුරු කළ ද, මට තවමත් එක් වචනයක් හෝ ලියා ගැනීමට නොහැකි විය.

කලාකරුවෙකු වීම ලේසි පහසු වැඩක් නොවේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
හදිසියේ ම මෙන් සංවිධානය වූ ලූෂන් බුලත්සිංහල හමුව නිසා රසිකොලොජියට සෑහෙන්න කාර්ය බහුල කාලයක් එළැඹුනි. එදා මා ලද අත්දැකීම් ආශයෙන්, පසුගිය සතිය තුළ මා රසිකොලොජියේ ලියා පළ කළ ලිපි ලයිස්තුව මෙසේ ය.

1. ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා - Lucien Bulathsinhala, l'artiste suprême!
http://rasikalogy.blogspot.com/2016/08/blog-post.html


2. පේරාදෙණිය වළේ හූ කීම ඇරඹුණු හැටි ලූෂන් බුලත්සිංහල හෙළි කළ වගයි! - A tale from the past
http://rasikalogy.blogspot.com/2016/08/blog-post.html


3. තවත් හූවක් - One more yarn
http://rasikalogy.blogspot.com/2016/08/one-more-yarn.html


4. ලූෂනයියාගෙන් මා ඇසූ ප්‍රශ්නය සහ ඔහු ගේ පිළිතුර - Lucien Bulathsinhala trapped in a vicious circle
http://rasikalogy.blogspot.com/2016/08/lucien-bulathsinhala-trapped-in-vicious.html


5. ලූෂන් බුලත්සිංහල ගේ කථාවේ අතුරු කතාව - Election promises
http://rasikalogy.blogspot.com.au/2016/08/election-promises.html


(image: http://www.canstockphoto.com/pipe-dream-10179134.html)

Tuesday, 16 August 2016

ලූෂන් බුලත්සිංහල ගේ කථාවේ අතුරු කතාව - Election promises


පසුගිය දා ලූෂන් බුලත්සිංහල සමග සිනුවර තදාසන්නයේ දී පැවති සුහද සංවාදයේ දී, නිහාල් රූපසිංහ ප්‍රශ්න අසද්දී, පාලිත මංචනායක පරණ කතා කියද්දී, මා ද ප්‍රශ්නයක් ඇසූ බව පෙරේදා රසිකොලොජියේ ලියූවෙමි.

ලූෂන් බුලත්සිංහලගෙන් මා ඒ ප්‍රශ්නය අසද්දී මගේ සිත වසර විසි දෙකකට ඉහත අතීතයක මතකයකට දිව ගියේ ය.

මේ ඒ මොහොතේ මගේ සිහියට නැගුණු, නමුත් මා ලූුෂන් බුලත්සිංහල සමග නොපැවසූ මගේ ඒ මතකයයි.

නිදහස ලැබුණු කාලයේ කෙසේ වෙතත්, පසුව දෙවන දේශපාලන බලවේගය ලෙස සොලමන් බණ්ඩාරනායක සහ පිලිප් ගුණවර්ධන ගේ මහජන එක්සත් පෙරමුණ කරළියට ආ පසු ලංකාවේ ආණ්ඩු පිහිටවීම සිදුවුණේ තට්ටු මාරු ක්‍රමයට බව අපි දනිමු.

ආණ්ඩුව කරන මුං එපා වූ විට, කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු අය හැර අන් ජනතාව තම ඡන්දයෙන් අරුංට ආණ්ඩු බලය දෙති. ඊළඟ ඡන්දය ළඟාවෙන විට අරුංව එපා වී හමාර ය. එනිසා, මුංට නැවතත් ආණ්ඩු බලය දෙති.

එලෙස තට්ටුමාරු ක්‍රමයට ආණ්ඩු වෙනස් වීම සඳහා බලපෑ එක් ප්‍රධාන හේතුවක් වූයේ අරුං හෝ මුං විසින් දෙනු ලැබූ විවිධාකාරයේ ඡන්ද පොරොන්දු ය.

මට මතක ආකාරයට 1970 ඡන්දයේ දී, එවකට පැවති යූඇම්පී හත් හවුලේ රජය පරදා, සිරිලංකා, සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂවල සමගි පෙරමුණ ජය ගැනීමට මූලික හේතුවක් වූයේ හාල් සේරු දෙකක් දීමට දුන් පොරොන්දුවයි.

ඡන්දය දුන් සමහරු සිතා සිට ඇත්තේ, මේ හාල් දෙන්නේ නොමිලයේ බවයි. නමුත්, හදේ සිට හාල් ගෙන ඒම නොමිලයේ කළ නොහැකි බව පසුව පැහැදිලි විය.

සමගි පෙරමුණ සත් වසක ශාපය අවසාන වූයේ 1977 දී ය. ඒ යූඇම්පී-තොණ්ඩමාන් රජය පිහිටුවීමෙනි. ඒ ඡන්දය පැවැත්වෙන කාලය වන විට කැපුවත් නිල්, කැපුවත් රතු අයට කෙසේ වෙතත්, අති බහුතරයක් අන් අයට නම් පැවති රජය සදහටම එපා වී තිබුණි. එසේ වුවද, යූඇම්පීය විසින් ඇට රාත්තල් අටක් ලබා දෙන බවට කළ කුප්‍රකට ඡන්ද පොරොන්දුව, ඔවුන් ගේ අති විශාල ජයග්‍රහණයට මූලික හේතුවක් වූ බව නොදන්නා අයෙකු නැති තරම් ය.

ඉන් පසු උදා වූයේ දාහත් වසක ශාපය යි. ඒ අවසානයේ 1994 මැතිවරණය වන විට නැවතත් පොදු පෙරමුණ නම් බෝං ලීයේ ගැට ගැසී සිටි සිරිලංකා, සමසමාජ, කොමියුනිස්ට් කණ්ඩායම යූඇම්පීයට සටනක් දිය හැකි ආකාරයක සෑහෙන්න තරගකාරී මට්ටමක සිටියහ. අපේ කාලයේ දේශපාලන ආන්ටි කෙනෙකු ගේ සුප්‍රකට "කාගෙන, කාගෙන, කාගෙන" යාමේ කතාව කෙසේ වුවද, යාන්තම් අළු පිසදමමින් නැගිටිමින් සිටි ජවිපෙ නෂ්ටාවශේෂයේ ද, අනියම් සහය පොදු පෙරමුණට ම ලැබුණි.

මා ලූෂන් බුලත්සිංහලගෙන් ඇසූ ප්‍රශ්නයේ සඳහන් කෙරුණු චන්ද්‍රිකා බණ්ඩාරනායකට සහය දෙන්නට කලාකරුවන් ගේ සංවිධානයක් ගොඩ නැගුණේත්, ඔවුන් නුගේගොඩ දී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූයේත් ඒ 1994 මැතිවරණය හේතු කොට ගෙන ය.

එකල ඇතුල්කෝට්ටේ පදිංචිව සිටි මා ද නැරඹීමට ගිය එකී දේශපාලන ප්‍රචාරක රැස්වීමේ නිවේදක කටයුතු කළේ රේණුකා බාලසූරිය බව මගේ මතකයයි. සමහර විට සෝමරත්න දිසානායක ද ඉන්නට ඇත.

මා ඒ රැස්වීම් භූමියේ රැඳි සිටි කාලය ඇතුළත ජනතාව අමතා කතා කළ අය අතර, නාට්‍යවේදී කේ.බී. හේරත්, ගායක බන්දුල විජේවීර, ගීත රචක කාලෝ ෆොන්සේකා මෙන් ම, නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල ද වූහ.

ලූෂන් බුලත්සිංහල අපට නොබෝදා ඉදිරිපත් කළ නිර්වචනය අනුව ඒ කලාකරුවන් ගේ සංවිධානයට එක් වී සිටි සමහරුන් කලාකරුවන් නමුත් බොහෝ දෙනා නිකම්ම නිකං කලා ශිල්පීන් පමණක් යැයි මට සිතේ.

ඒ කෙසේ වෙතත්, එදා නුගේගොඩ රැස්වීමේ දී ලූෂන් බුලත්සිංහල කියූ එක් කරුණක්, වසර විසි දෙකකට පසුව වුව ද, තවමත් මගේ සිතේ හොඳින් රැඳී ඇත.

හාල් සේරු දෙක, ඇට රාත්තල් අට වැනි පැරණි ඡන්ද පොරොන්දු ගැන සිහි කළ ලූෂන් බුලත්සිංහල ඒවා උපමා කළේ මහ ජනතාව නම් කුකුළු රංචුවට "බා, බා, බා!" කියා විසි කරන පොරි වශයෙනි.

වෙනදා ඡන්ද විමසීම්වල දී මහ ජනතාව, කුකුළන් පොරිවලට වහ වැටෙන්නා සේ, ඒ ඒ පොරොන්දුවලට ආකර්ෂණය වී ඒ පැත්තට, මේ පැත්තට ඡන්දය දී ආණ්ඩු මාරු කළා වුව ද, මෙවර ඡන්දයේ දී නම්, දූෂණය, භීෂණය පිරි දාහත් වසක දුර්දාන්ත පාලනය අවසන් කිරීමට මහ ජනතාව ඡන්දය දෙන්නේ කිසිම ඡන්ද පොරොන්දුවක් නිසා නොවන බවත් ලූෂන් බුලත්සිංහල පැවසීය.

ලූෂන් බුලත්සිංහල එදා රැස්වීමේ දී එසේ කියූවද, පොදු පෙරමුණ මගින් ද, ඒ කුකුලන්ට පොරි ආකාරයේ ඡන්ද පොරොන්දුවක්, එනම් පාන් ගෙඩියක මිල රුපියල් තුනයි ශත පනහක් කරනවා ය යනුවෙන්, ඒ වන විටත් ඉදිරිපත් කර තිබුණි.

එදා 1994 ඡන්ද ප්‍රතිඵලයට ඒ තුනයි පනහේ පාන් ගෙඩි පොරොන්දුවේ බලපෑම අතිශය තීරණාත්මක වී දැයි මට නිවැරදිව කිව නොහැකි නමුත්, කිසිදු බලපෑමක් නොවී යැයි කියන්නට නම් කිසිසේත් ම නොහැකි ය.

ඒ සමගම, ලූෂන් බුලත්සිංහල එදා සුහද සංවාදයේ එක් අවස්ථාවක සඳහන් කළා සේ, දාහත් වසරක යූඇම්පී පාලනය අවසාන කරන්නට ඔවුන් කලාකරුන් ගේ සංවිධානය පිහිටුවාගෙන පොදු පෙරමුණට උදව් කර ඇත්තේ, තමන් ගේ ඉල්ලීමක් ද, චන්ද්‍රිකා කුමාරතුංගගෙන් පොරොන්දුවක් සේ ලබා ගෙන ය.

එය නම්, කොළඹ නගරයේ සුවිසල් රංගන ශාලාවක්, රජයේ වියදමෙන් ඉඳි කරනවා ය යන පොරොන්දුවයි.

ඒ සඳහා කොළඹ හත ප්‍රදේශයේ පිහිටි ජෝන් ද සිල්වා රඟහල අසල ස්ථානයක් තෝරා ගෙන, මූලික සැලසුම් කෙරුණු බවත්, එසේ වතුදු ඒ සැලසුම් කිසි දිනෙක ඒ ආකාරයෙන් ක්‍රියාවට නැංවුනේ නැති බවත්, ඒ භූමි භාගයේ පසු කලෙක, නෙළුම් පොකුණ රඟහල ඉඳි වූවත්, එය සංදර්ශනයක් හෝ නාට්‍යයක් සඳහා පැය කිහිපයකට කුලියට ගැනීමට මුදලින් රුපියල් ලක්‍ෂ හතක් වැය වෙන තත්වය යටතේ කිසිසේත් ම, ජනතා කලාවක් දියුණු වීමට හේතු කාරක නොවෙනු ඇති බවත් ලූෂන් බුලත්සිංහල එදා අප සමග කීවේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් ලූෂන් බුලත්සිංහල කතා කිහිපයක් ම අවශ්‍ය පරිදි ලිවිය හැකි බව සතුටින් දන්වමි.

(https://motherhensnest.wordpress.com/category/current-events/entertainment/page/2/)

Sunday, 14 August 2016

ලූෂනයියාගෙන් මා ඇසූ ප්‍රශ්නය සහ ඔහු ගේ පිළිතුර - Lucien Bulathsinhala trapped in a vicious circle


සිය ඕස්ට්‍රේලියානු නාට්‍ය සංචාරයේ කොටසක් ලෙස ලූෂන් බුලත්සිංහල කලාකරුවා පසුගිය දා සිනුවරට පැමිණි අවස්ථාව උපයෝගී කොට ගෙන ඔහු සමග පැවැත්වුණු සුහද සංවාදයේ දී, නිහාල් රූපසිංහ නැගූ ප්‍රශ්නය ගැන ද, පාලිත මංචනායක පැවසූ අතීත කතාව ගැන ද, මම පසුගිය දා රසිකොලොජියේ ලියූවෙමි.

ලූෂන් බුලත්සිංහල යනු කලාකරුවකු මෙන් ම, දේශපාලන සත්වයෙකු ද නිසා, ඔහුගෙන් අසන්නට වැදගත් ප්‍රශ්නයක් මට ද තිබුණි.

මේ මා ඇසූ ඒ ප්‍රශ්නය සහ ඔහු ගේ පිළිතුරයි.

රසිකොලොජිස්ට්    ලූෂන්, ඔබ ඔබේ කතාවේදී කිව්වා 1994 දී කලාකරුවන් එකතු වෙලා ආණ්ඩු වෙනසක් කරන්න කටයුතු කළා ය කියලා, ඒ සමගම, ඔබව හඳුන්වාදීමේ දී පාලිත ගනේවත්ත සඳහන් කළා පසුගිය වසරේ ලංකාවේ සිදුවුණු පාලනයේ වෙනස්කම සඳහා වූ ඔබේ සම්මාදම ගැන. අපේ ජීවිත කාලය ඇතුළත දී අප දැකලා තියෙනවා ඒ වගේ කලාකරුවන් එකතු වෙලා පවතින දුර්දාන්ත පාලනය ඉවත් කරන්නට, 1970 දී, 1977 දී, 1994 දී, මටත් මතකයි ඒ අර නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ තිබුණු රුස්වීම බලන්න මාත් ගියා, දැන් 2015 දී, කටයුතු කළ ආකාරය.

මගේ ප්‍රශ්නය මේකයි. ඊළඟට කවදාද ඒක ආපහු කරන්නේ? ඊළඟට කවදාද පවතින දුර්දාන්ත පාලනය වෙනස් කරන්න කලාකරුවන් එකතු වෙන්නේ? ඒ චක්‍රය අප කොපමණ කල් පවත්වාගෙන යනවාද?

ලූෂන්     ඒක හොඳ වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම අපි ඒකට මූණ දීලයි ඉන්නේ, ඊළඟට මොකද කරන්නේ කියලා.

පසුගිය දා මට අවස්ථාව ලැබුණා කැන්බරා පාර්ලිමේන්තුව බලන්න යන්න. මං ලංකාවේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා නෑ තවමත්.

වෙනස පැහැදිලිව පෙනුණා. මේ රටේ මිනිස්සුන්ට පාර්ලිමේන්තුව බලන්න යන්න, ඒ ගැන අවබෝධයක් ලබාගන්න, පහසුකම් හදලා දීලා තියෙනවා. අපේ මන්ත්‍රීලා කැමති නෑ පාර්ලිමේන්තුව බලන්න එනවට කවුරුවත්. මොකද දන්නවා ඔක්කොම අහුවෙනවා ය කියලා. පොඩි ළමයින්ට තමයි පාර්ලිමේන්තුව බලන්න යන්න ඉඩ දෙන්නේ සාමාන්‍යයෙන්.

මෙහේ කැන්බරා පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවක් තියෙනවා. ආණ්ඩුවෙන් සම්මත කරන පනත් ඒ සෙනෙට් සභාවෙන් අනුමැතිය ලබන්න ඕනෑ. එහෙම අනුමැතිය නොලැබුණු අවස්ථාවල ආණ්ඩුකාරයාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න.

ලංකාවේ සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කරපු දවසේ අපට අහිමිවුණේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයයි. එදා අපට දුන්නු ලණුව තමයි අපි මේ අධිරාජ්‍යවාදීන් එක්ක බැඳුම් තියාගෙන ඉන්න අවශ්‍ය නෑ කියා දේශානුරාගය ඇවිස්සීමයි.

මිනිසුන් සතුව තිබුණු බලය කෙළින් ම දේශපාලකයින් අතට ගත්තා.

අද මිනිසුන් ගේ බලය ශූන්‍යයි. ඔවුන්ට කළ හැකි දෙයක් නෑ. ඡන්දේ දෙන්නේ සිල් රෙදි වගේ දේවල් වෙනුවෙනුයි. සල්ලිවලටයි. ඉතිං පාර්ලිමේන්තු ගිය අය කියන්නේ අපි උඹලාගේ ඡන්දේ ගත්තේ සල්ලිවලටයි. දැන් උඹලත් එක්ක අපේ තවදුරටත් ගනුදෙනුවක් නෑ කියලයි.

වර්ෂ 1972 දී ඇරඹුණු ඒ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීම පසු කාලේ දී වඩාත් සීඝ්‍රව සිදුවුණා. පාර්ලිමේන්තුව කවදාකවත් නැති විදියට බිස්නස්කාරයින් ගෙන් පිරෙන්න පටන් ගත්තා. සෝල්බරි ව්‍යවස්ථාව තියෙන කාලේ බිස්නස් කරන, රැකියා කරන අයට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව තිබුණේ නෑ. එනවානම් ඒවායින් ඉවත් වෙලා එන්න ඕනෑ.

නමුත් 1977 න් පස්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රීලාට වයින් ස්ටෝර්ස් ලයිෂන් ගන්න පුළුවන් වුණා. ඕනෑම බිස්නස් එකක් කරන්න පුළුවන් වුණා. අද පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම වගේ හොඳ බිස්නස්කාරයෝ.

අද අපේ රටේ තියෙන ජනමාධ්‍ය ආයතන ගොඩක් කරන්නේ, සල්ලි දාලා තියෙන්නේ අපේ දේශපාලඥයිනුයි.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඡන්ද තියෙනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. එහෙම නම්, සිම්බාබ්වේ රටේත් ඡන්ද තියෙනවා.

අපව ලොකු මංමුළා කිරීමකට ලක්කරලා තියෙනවා පසුගිය කාලේ. ඉතිං අපි බලාගෙන හිටියා. අපට කරන්න දෙයක් නෑ. කලාකරුවන් හැටියට රජයේ පොඩි රස්සාවල් කරන් හිටපු අය හැටියට අපට කරන්න දෙයක් තිබුණේ නෑ.

අපට හොඳ ප්‍රජාවක් නැති එක තමයි ප්‍රධානම හේතුව.

අර ප්‍රශ්නයට උත්තරේ විදියට මං කියන්නේ ආණ්ඩු නෙමෙයි වෙනස් කරන්න ඕනෑ. දැන් වෙනස් කරන්න වෙලා තියෙන්නේ මිනිස්සුන්වයි.

ආණ්ඩු වෙනස් කරලා හරි යන්නේ නෑ. මිනිස්සු වෙනස් කරගන්න පුළුවන් වුණොත් මං හිතනවා අපට හැකිවේවි සිස්ටම් එක වෙනස් කරගන්න.

අපි කලා සංවිධානය පිහිටුවලා චන්ද්‍රිකාට ඡන්දෙ දුන්නේ සිස්ටම් එක වෙනස් කරනවා ය කියලා පොරොන්දු වුණ නිසයි. එයා පොරොන්දු වුණා, ජනාධිපති ක්‍රමය නැති කරනවාය, ජාතික ප්‍රශ්නය විසඳනවා ය කියලා, ඒ නිසයි අපි ඡන්දේ දුන්නේ. එයත් බොරු කළා.

මේ ගොල්ලොත් පොරොන්දු වුණා.

අද අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. අපි ඉල්ලන්නේ සිස්ටම් එක වෙනස් කරන්නයි.

ලූෂන් බුලත්සිංහල ගේ ඉහත පිළිතුරෙන් මට හැඟී ගියේ තවමත් ඔවුන් පරාජය භාර නොගෙන තවදුරටත් බලාපොරොත්තු සහගතව සිටිනා බවයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් ප්‍රශ්න කිහිපයක් ඒ වැඩ සටහනේ දී සාකච්ඡා වූ අතර, ඒ සියල්ලම රසිකොලොජියට අදාළ නොවේ.

කෙසේ වෙතත්, අවසානයේ පැවසිය යුත්තේ, ලූුෂන් බුලත්සිංහලට, ඔහු ගේ නිසි නමෙන් ආමන්ත්‍රණය නොකර, ලූෂන් අයියා, ලූෂනයියා, ඔබතුමා වැනි අනවශ්‍ය පර්යා පද යොදමින් අපේ ම මිතුරන් කළ අපහාසය නම් මට දිරවූයේ නැති බවයි.

Saturday, 13 August 2016

තවත් හූවක් - One more yarn


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිහිටි සුප්‍රකට සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය හා සම්බන්ධ ලිපි දෙක තුනක් ම මේ වනවිට රසිකොලොජියේ පළ වී ඇත.

ඒ ලිපි අතරින් මා හිතාමතා ලියූ ලිපි ඇත්තේ එකකි, එය නම්, "වළේ" ඉඳං නාට්‍ය බැලූ හැටි : සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිලිබඳ අතීත ආවර්ජනාවකි! - Nostalgia යන්නයි.

ඒ ලිපිය ලියන ලද්දේ මින් වසර ගණනාවකට ඉහත කාලයක එදිරිවීර සරච්චන්ද්‍ර ගේ රත්තරං සහ එලොව ගිහින් මෙලොව ආවා නම් කෙටි නාට්‍ය යුගල මෙල්බර්න් පුර වාසී යශෝදරා සච්චන්ද්‍ර සහ කුසුම්සිරි ලියනාරච්චි ගේ නව නිෂ්පාදනයක් ලෙස ඕස්ටේ‍ර්ලියාවේ දී රඟ දැක්වුණු අවස්ථාවේ දී එහි සිනුවර දර්ශනය සඳහා මුද්‍රණය කෙරුණු සමරු කළඹ සඳහා ය.

ඉන් පසුව පසුව රසිකොලොජියේ පළ කෙරුණු ලිපි දෙක ම, එනම්, පේරාදෙණිය සරච්චන්ද්‍ර වළේ දී කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ දුටු තැන අල්ලනු වේදිකා නාට්‍යයට හූ කීම සහ මීට වසර පනහක් පමණ ඉහත සමයක, මැටි කරත්තය නම් වේදිකා නාට්‍යයට හූ කීම, නිසි අවස්ථාව ඉබේම උදා වූ විට මා අතින් ලියවුණු ලිපි වේ.

මා අද ලියන්නට යන්නේ ද, ඒ පසු සඳහන් ආකාරයේ ම, ඉබේම අවස්ථාව උදාවුණු, කතාවක් අඩංගු ලිපියකි.

මේ කතාව ද, පේරාදෙණිය වළේ නාට්‍යයකට හූ කීමේ සිද්ධියක් සම්බන්ධ එකකි. පසුගිය දා, අපේ ලේඛක සංසදය සංවිධානය කළ ලූෂන් බුලත්සිංහල සමග කෙරුණු සුහද සංවාදයේ දී මේ කතාව අප සමග බෙදා ගත්තේ සිනුවරවාසී පාලිත මංචනායක ජ්‍යෙෂ්ඨ මැවිසුරුවා ය.

වසර 1972 දී පේරාදෙණිය වාර්ෂික නාට්‍ය උලෙළේ රඟ දැක්වුණු එක් නාට්‍යයක් වී ඇත්තේ නාමෙල් වීරමුනි ගේ "නැට්ටුක්කාරි" වේදිකා නාට්‍යයයි. ප්‍රංශ ජාතික නිළියක් වූ සාරා බර්න්හාර්ඩ් ගේ චරිතය ඇසුරෙන් ලියවුණු නාට්‍යයක අනුවර්තනයක් වන "නැට්ටුක්කාරී" වේදිකා නාට්‍යය එය නිෂ්පාදනය වූ වසරේ හොඳම රචනය, හොඳම නිෂ්පාදනය, හොඳම නිළිය සහ හොඳම පසුතල නිර්මාණය ඇතුළු රාජ්‍ය නාට්‍ය සම්මාන රැසක් ද දිනා ගෙන ඇත.

එසේ වුවත්, "නැට්ටුක්කාරී" නාට්‍යය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රංග පීඨයේ දී රඟ දැක්වීම අරඹා ටික වේලාවකින් එහෙන් මෙහෙන් හූ හඬ ඇසෙන්නට පටන් ගෙන ඇත. මේ කතාව අප සමග පැවසූ පාලිත මංචනායකට අනුව එයට හේතුව වී ඇත්තේ පැවති මද වැස්සත්, එනිසා ම, දෙබස් නොඇසී යාමත් ය.

"නැට්ටුක්කාරී" නිෂ්පාදක නාමෙල් වීරමුනි, පේරාදෙණියේ ආදී විද්‍යාර්ථියෙකු මෙන් ම, එදිරිවීර සරච්චන්ද්‍ර ගේ නාට්‍යවල ද රඟ පා ඇත්තෙකි.

හූ හඬ වැඩිවෙත් ම, ඉදිරිපෙලේ වාඩි වී සිටි සරත්චන්ද්‍ර වෙතට පැමිණි නාමෙල් වීරමුනි, "සර් නාට්‍යය නවත්තන්න ද?" යි අසා, අවසර ලැබුණු පසු නාට්‍යය නවත්වා ඇත.

එවිට වේදිකාවට ගොඩ වී ඇත්තේ, පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යෙකු වූ ඇෂ්ලි හල්පේ ය.

වර්ෂාව මධ්‍යයේ නාට්‍යය රඟ දක්වන්නේ අසීරුවෙන් බව පැහැදිලි කර ඇති ඔහු, නාට්‍යය රස විඳින්නට නොහැකි අය සිටී නම්, ඒ අය කළ යුත්තේ, නාට්‍යය රස විඳින අයට බාධා නොකර පිටවී යෑම බව පවසා ඇත.

ඈෂ්ලි හල්පේ තම කෙටි කතාව නිමවා වේදිකාවෙන් ඉවත්වන විටම ප්‍රේක්‍ෂාගාරයේ එක් පසෙකින් හඬ නගා පැවසී ඇත්තේ මෙයයි.

"මචං, අපරාදෙ කියන්න බෑ, ඌ නං හොඳට රඟපෑවා!"

සරච්චන්ද්‍ර, හල්පේ ඇතුළු මුළු ප්‍රේක්‍ෂාගාරය ම සිනාවේ ගිලී ගිය බව පාලිත මංචනායක වැඩි දුරටත් පැවසී ය.

-රසිකොලොජිස්ට්

(image: http://www.sundayobserver.lk/2008/12/14/spe02.asp)

Friday, 12 August 2016

පේරාදෙණිය වළේ හූ කීම ඇරඹුණු හැටි ලූෂන් බුලත්සිංහල හෙළි කළ වගයි! - A tale from the past


මේ දිනවල ඕස්ට්‍රේලියාවේ නාට්‍යය සංචාරයක නිරතව සිටින ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා සමග සුහද සංවාදයක් අපේ ලේඛක සංසදය විසින් පසුගිය දා සිනුවර දී සංවිධානය කරන්නට යෙදුණු බව මම ඊයේ රසිකොලොජියේ ලියා පළ කළ ලිපියේ සඳහන් කළෙමි.

එදින, සංවාද සභාවේ සිටි මා මිත්‍ර නිහාල් රූපසිංහ විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය හෙවත් වළේ දී, කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ "දුටු තැන අල්ලනු" වේදිකා නාට්‍යයට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් හූ කීමේ සිදුවීම පිළිබඳව ප්‍රවීණ නාට්‍යවේදියෙකු මෙන් ම පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථියෙකු ද වන ලුූෂන් බුලත්සිංහල කලාකරුවා ගේ අදහස විමසන ලදී.

මේ හූ කීමේ සිද්ධිය පිළිබඳ මගේ මතය මීට පෙර දිනක මම ලියා ඇත්තෙමි.

ඒ ප්‍රශ්නයට ලූෂන් බුලත්සිංහල විසින් දුන් පිළිතුර කාගේත් ඇස් ඇරවන්නක් විය. එසේ වූයේ්, පේරාදෙණිය වළේ හූවේ ආරම්භය ගැන ද යම් කිසි වැදගත් කරුණු ලූෂන් බුලත්සිංහල ගේ කථාවෙන් හෙළි වූ නිසා ය.

පේරාදෙණියේ ම පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරක් ද කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ලෙස ලූෂන් බුලත්සිංහල ඉගෙනුම ලබා ඇත්තේ මීට වසර පනහකට පෙර 1963-1967 පමණ කාලයේ දී ය. අවසාන වසරේ දී ඔවුන් හැදෑරූ සිංහල සාහිත්‍යය වැනි විෂයක අවසාන දේශනය පවත්වා ඇත්තේ මනමේ, සිංහබාහු වැනි නාට්‍ය නිර්මාණය කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසිනි. එදා ඒ දේශනයට මාතෘකාව වී ඇත්තේ ප්‍රකට සංස්කෘතික නාට්‍යයක සිංහල පරිවර්තනය වන "මැටි කරත්තය" නම් කෘතියයි.

දේශනය අවසාන කරමින් එදිරිවීර සරච්චන්ද්‍ර පවසා ඇත්තේ විෂය නිර්දේශානුකූලව හදාරන්නේ ඒ නාට්‍යයේ පෙළ පමණක් වුව ද, නාට්‍යය කෘතියක් සම්පූර්ණ වන්නේ එය වේදිකාවේ රඟ දැක්වෙන විට බවත්, පී වැලිකල ගේ අධ්‍යක්‍ෂණයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනය වී ඇති "මැටි කරත්තය" නාට්‍යය පසු දිනයක විශ්ව විද්‍යාලයේ එළිමහන් රංග පීඨයේ දී රඟ දැක්වෙන විට ශිෂ්‍යයින්ට එය නැරඹිය හැකි බවත් ය.

එසේ කී උගත් මහාචාර්යවරයා තම දේශනය අවසාන කර ඇත්තේ, හැබැයි ඉතිං නොබැලුවත් කමක් නෑ යන උපහාසාත්මක, කට කැඩිච්ච, කථාවත් සමගිනි.

ගුරා ගේ ඒ කතාව ඇතැම් ගෝලයින් ගේ සිතට හොඳින් කා වදින්නට ඇත.

නියමිත දිනයේ දී විශ්වවිද්‍යාලයීය එළිමහන් රංග පීඨයේ දී මැටි කරත්තය නාට්‍යය රඟ දැක්වීම ඇරඹී ටික වේලාවකින් එහෙන් මෙහෙන් උසුළු විසුළු නාද ද, ඉන් පසු හූ හඬ ද, නැගෙන්නට පටන් ගෙන ඇත. තවත් සුලු වේලාවකින් ගල් කැට කීපයක් වේදිකාව දෙසට එල්ල වී ඇත.

ඊළඟට සිදුවුණු කැඩුණු පුටු කකුලක් මිසයිලයක් ලෙස වේදිකාව මත පතිත වීමත් සමග ම "මැටි කරත්තය" නාට්‍යය රඟ දැක්වීම අවසාන වී ඇත.

මේ අතත කතාව කියා වැඩි දුරටත් අදහස් දැක් වූ ලූෂන් බුලත්සිංහල කලාකරුවා පවසා සිටියේ, වේදිකා නාට්‍යයක් හෝ වෙනත් ඕනෑම ප්‍රදර්ශනයක් හෝ නැරඹීමේ දී තමන්ට එය රුචි නොවේ නම් කළ යුත්තේ, එය නරඹන අන් අයට බාධා නොකර හිමින් සීරුවේ එතැනින් නික්ම යාම බවත්, තමන් ගේ විවේචන පසුව ඉදිරිපත් කළ හැකි බවත් ය.

එසේ ම, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි ලලිතකලා විශාරදයෙකු ඒ කාරණය තම ශිෂ්‍යයින් ට පහදා නොදී, හැබැයි ඉතිං නොබැලුවත් කමක් නෑ යන කට කැඩිච්ච කතාව මගින් ඔවුන් අනියම් ආකාරයෙන් උසි ගැන්වීම කළ නොයුතුව තිබුණු දෙයක් බවත් ය.

වේදිකා නාට්‍යයක් හෝ වෙනත් නිර්මාණයක් නරඹා රස විඳීමට ද යම් කිසි බුද්ධි මට්ටමක් අවශ්‍ය බවත්, එවැනි තත්වයක සමාජයක් යනු සැම විටම සංස්කෘතියෙන් උසස් සමාජයක් බවත් ලූෂන් බුලත්සිංහල කලාකරුවා වැඩි දුරටත් පැවසී ය.

සිනුවර සිංහල නාට්‍ය කණ්ඩායමක් පිහිටුවා පසුගිය වසර දෙකක පමණ කාලයක් තිස්සේ නාට්‍ය වැඩමුළු පවත්වාගෙන යන ප්‍රවීණ නාට්‍යවේදී ධනංජය කරුණාරත්න අපට පවසා ඇත්තේ ද, කලා කෘතියක් සැබෑ ලෙස රස විඳීමට නම් ඒ සඳහා නිසි පුහුණුවක් ද ලැබිය යුතු බවයි!

-රසිකොලොජිස්ට්

ප/ලි
සමහර විට "මැටි කරත්තය" වේදිකා නාට්‍යයට හූ කියා කඩාකප්පල් කළ දිනයට පෙර ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රංග පීඨයේ රඟ දැක්වුණු වේදිකා නාට්‍යයන්ට ද හූ කීම් සිදුවන්නට ඇත.

Thursday, 11 August 2016

ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා - Lucien Bulathsinhala, l'artiste suprême!


ඔහු ගේ ජනප්‍රියතම නිර්මාණය වූ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය සමග මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ලූෂන් බුලත්සිංහල සමග සුහද සංවාදයකයට සහභාගීවන්නට අවස්ථාවක් ඊයේ සිනුවර වසන අපට ලැබුණි.

ඒ සංවාදය සංවිධානය කෙරුණේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි. ඒ අවස්ථාවේ දී ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා පිළිබඳ කෙරුණු හැඳින්වීම සහ ඔහු විසින් කරන්නට යෙදුණු කෙටි දේශනය පහත සබැඳියෙන් නැරඹිය හැකිය.



ඒ වීඩියෝවේ දැක්වෙන දේශනය අවසානයේ දී එළැඹි ප්‍රශ්නෝත්තර සහිත සුහද සංවාදයේ දී ලූෂන් බුලත්සිංහල විසින් ඉතා වැදගත් කරුණු රාශියක් පවසන්නට යෙදුණි.

ඉන් ඉතා වැදගත් කරුණක් වනුයේ කලාකරුවා යනු කවරෙක්ද පිළිබඳව ඔහු ලබා දුන් නිර්වචනයයි.

ලූෂන් බුලත්සිංහල පැවසූ අන්දමට ලංකාවේ කලා ශිල්පියෝ ද සිටිති. කලාකරුවෝ ද සිටිති. මේ දෙපිරිස වෙන් කර හඳුනා ගැනීම කලා රසිකයින්වන අපට වැදගත් වනු ඇත.

කලා ශිල්පියා යනුවෙන් ඔහු අදහස් කළේ යම් කිසි නිසජ හැකියාවක්, සතත අභ්‍යාසය මගින් ඔප් නංවාගෙන ඒ කලා නිර්මාණය ජනතාවට ඉදිරිපත් කරන පිරිසයි.

ඒ හා සංසන්දනාත්මකව ඉහළ තලයක සිටිනා කලාකරුවන් යනු, ලූෂන් බුලත්සිංහල ඝේ නිර්වචනයට අනුව, ඔවුන් සතු ඒ කලා කුසලතාව, හුදෙක් ශිල්ප දැක්වීමකට පමණක් සීමා නොකර, එය සමාජ ප්‍රගමනය, ජනතා යහපත පිණිස යොදවන්නෝ ය. කලාවෙන් අප බලාපොරොත්තු විය යුතු සැබෑ සමාජ ප්‍රතිලාභය නම් එවැනි කලාකරුවන්ගෙන් කෙරෙන ඒ ධනාත්මක සම්මාදමයි.

කලාකරුවන් පිරිසක් නළාකරුවන් වීම සහ ඉන් මට සිනුවර දී ලැබුණු ඩොලර් වාසි පිළිබඳව ලිපියක් මම පසුගිය වසරේ දිනයක ලියා රසිකොලොජියේ පළ කළෙමි.

http://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html

සැබෑ කලාකරුවෙකුට කිසිදා නලාකරුවෙකු විය නොහැකි බවත්, ඒ ඉතිහාසය පුරා නළාකරුවන් වී ඇත්තේ, නළාකරුවන් බවට පත්වෙමින් සිටින්නේ සහන අනාගතයේ දී එසේ නළාකරුවන් වනු ඇත්තේ කලාකරුවන් නොව කලාශිල්පීන් බව මට ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා ගේ ඒ කතාව ශ්‍රවණය කිරීමෙන් පසු පසක් විය.

තවත් විස්තර පසුව.

-රසිකොලොජිස්ට්

Tuesday, 9 August 2016

නිහාල් සිල්වා, විජය නන්දසිරි සහ යූ ටියුබ් - When Maname is defeated again, this time by a Politikka


නිහාල් සිල්වා යනු කවුරුන්දැයි ඔහු පිළිබඳ නොදන්නා අද පරම්පරාවක අයෙකු ඇසුවොතින් ලැබෙන නිසැක පිළිතුර වනුයේ "ඒ සාජන්ට් නල්ලතම්බි නේ!" යන්නයි.

ඔහු ජීවත්ව සිටි අවසාන කාලයේ දී තමන් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළ බර්ටොල් බ්‍රෙෂ්ට් ගේ නාට්‍යයක් ඇසුරෙන් හෙලේනා ලෙත්මකී නිෂ්පාදනය කළ "පුන්තිලා" නම් නාට්‍යය රඟ දක්වමින් සාජන්ට් නල්ලතම්බිගෙන් වෙනස් වූ අනන්‍යතාවක් ගොඩ නංවා ගන්නට නිහාල් සිල්වා තැත් කළ ද, එය සාර්ථක නොවූ බව අමුතුවෙන් කිව යුතුව නැත.

නිහාල් සිල්වා යන නාමය නොමැකී පවතිනු ඇත්තේ "දවාලේ පායපු චන්ද්‍රයා සේ මේ ආවා!" ය කියමින් විකට රංගනයක් ඉදිරිපත් කළ හිස මුඩු ගෑ නළුවා ලෙස ය.

මම "පුන්තිලා" නාට්‍යය වරක් නරඹා ඇතත් "නල්ලතම්බි" නාට්‍යය කිසි දිනෙක නරඹා නැත්තෙමි. එසේ වුව ද, ද නිහාල් සිල්වා නම ඇසූ පමණින් මගේ සිතට එන්නේ ද, "නල්ලතම්බි" මිස "පුන්තිලා" නොවේ.

සත්‍යය කටුක ය.

"මනමේ", "සිංහබාහු", "සුභ සහ යස" වැනි සම්භාව්‍ය ප්‍රවර්ගයේ නාට්‍ය ගණනාවක රඟ පෑ විශිෂ්ට රංගධරයෙකු වූ විජය නන්දසිරි ඊයේ ජීවිතය හැර ගියේ ය. කනගාටුවට මෙන් විජය නන්දසිරි කියූ විටද අපේ සිතට එන්නේ පෙර කී වේදිකා නාට්‍ය නොව, ඔහු මෑත කාලයේ දී දේශපාලුවෙකු ගේ චරිතය නිරූපණය කරමින් රඟ පෑ "එතුමා" යනාදී විකට ටෙලි නාට්‍යය සහ "සුහද කොකා" වැනි චිත්‍රපට ය. වේදිකා නාට්‍ය ගැන කියතොත් "බල්ලොත් එක්ක බෑ!" වර්ගයේ නිෂ්පාදන ය.

ඔහු ගේ රංගනය ගැන දනන් තුඩ තුඩ රැව්දෙනු ඇත්තේ මනමේ කුමරා ගේ ~නීච වනචරය එව සටනට~ කාහල නාදය නොව, "මට ඇහුණේ නෑ!", "සොයිසා", "මගුලක් කතා කරනවා!" ආදී කෑලි බෑලි ය. ඔහු දිගටම මනමේ රඟපාමින් සිටියා නම්, අද විජය නන්දසිරි මිය ගියා යන පුවත ඇසූ විට ඊළඟට නැගෙන ප්‍රශ්නය වනු ඇත්තේ "ඒ කවුද අනේ?" කියා ය.

විජය නන්දසිරි ගේ මරණය පිළිබඳ තරිඳු උඩුවරගෙදර ලියූ බ්ලොග් ලිපිය ඔබ කියවන්නට ඇතැයි සිතමි.

ඒ ලිපියට ප්‍රතිචාරයක් ලෙස මා සඳහන් කළේ විජය නන්දසිරි ගේ රංගන ප්‍රතිභාව සදාකල් නොමැකී පවතිනු ඇත කියා ය. ඒ අපේ චිත්ත සන්තානයේ හෝ වෙනත් අහවල් තැනක හෝ නොව "යූ ටියුබයේ" ය.

මම ද ඊයේ ම, විජය නන්දසිරි සහ රොඩ්නි වර්ණකුල රඟන "කෝ එතුමා" නම් මාලා ටෙලිනාටක ප්‍රහසනය නරඹන්නට පටන් ගත්තෙමි.

එතුමා නාටක පෙළ පිළිබඳ මගේ අදහස නම්, නිසි පිටපතක් හෝ නිසි සංස්කරණයක් නොමැති නිසා ප්‍රශස්ත මට්ටමටක පැමිණ නැති වුව ද, ඒ සිංහල "යර්ස් මිනිස්ටර්" ම බවයි. එක අතකට, වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන එංගලන්තයේ පොලිටීෂියන්ස් ලා සහ ලංකාවේ දුෂිත පොලිටික්කන් සසඳා බලන කළ එතුමා නාටකය ඔයිට වඩා ඉහළ මට්ටමකට යා නොහැක.

ඒ නාටක මාලාවේ ලොකුම අඩුව වූයේ ලංකාවේ දේශපාලුවන් විසින් සිදු කරන මහා පරිමාණයේ දූෂණ, වංචා පිළිබඳව කිසිවක් සඳහන් නොකර හුදු සරල වින්දනයට පමණක් සීමා වීමයි.

ඒ් සමගම මෙයත් කිව යුතු ය.

නල්ලතම්බි නාට්‍යයේ සොහොන් පිිටියේ රඟන ගිතය අඩංගු ජවනිකාවේ පිටපත් කිහීපයක් ම තිබුණ ද, පුන්තිලා ගේ පුළුටක්වත් යූටියුබයේ නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි:
විජය නන්දසිරිගේ අභාවය ගැන ලියවුණු වෙනත් බ්ලොග් ලිපි

1.
http://uduwaage.blogspot.com/2016/08/blog-post_8.html :: විජය නන්දසිරිගෙන් පසු ගිහාන් ප්‍රනාන්දුට මොකක් වෙයිද?


2. http://lankanian.blogspot.com/2016/08/blog-post_8.html :: ගරු මහතානෙණි ඔබට නිවන් සුව

3. http://www.w3lanka.com/2016/08/blog-post_9.html :: විජය කුමාරතුංගට තරහකාරයන් සිටියදී විජය නන්දසිරිට එවැන්නන් නැත්තේ ඇයි?

4. http://ansathudinapotha.blogspot.com/2016/08/blog-post.html :: මගුලක් කතා කරනවා, විජය නන්දසිරි

ප/ප/ලි:
මසකට පමණ පෙර මම ව්ලොගයක් (Vlog) ඇරඹීම ගැන සිතා බැලුවෙමි. එය හැකි විගස ක්‍රියාවට නැංවිය යුතුයි කියා අද අදිටන් කොට ගතිමි.

(image: http://archives.dailynews.lk/2006/10/13/fea04.asp)

Sunday, 7 August 2016

අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය - Sunday, funday!


අලස දවසකි.

අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය.

ඊයේ සවස් යාමයේ සිනුවර පැවැත්වුණු විවිධ ප්‍රසංගයක් නැරඹීමට ගියෙමි. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මගින් සංවිධානය කර තිබුණු "මියැසි රංගන" නම් වූ ඒ ප්‍රසංගය පැවැත්වුණේ ග්ලෙන්මෝ පාක් නම් මා වසනා ගමෙන් කිලෝමීටර් හැටක් පමණ දුරින් පිහිටා ඇති නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ රංග ශාලාවේ දී ය.

මේ ප්‍රසංගය සඳහා මා ටිකට්පත් දෙකක් මිලට ගත්තේ බිරිඳ සමග එය නැරඹීමට යාමට ය. නමුත් හදිසි අධ්‍යාපන/වෘත්තීය කටයුත්තක ලියවිල්ලක් සම්පාදනය කිරීමට කාලය ගත කරන්නට සිදු වූ නිසා, ඇයට ඒ අවස්ථාව අහිමි විය.

නමුත් ඒ ඩොලර් පනහක මුදල අපතේ නොයවා ඒ ප්‍රවේශ පත්‍රය මගේ මිතුරෙකුට ලබා දුනිමි.

රාත්‍රී හතේ කනිසමට ඇරඹී අඩ පැයක පමණ විවේකයක් ද සහිතව රාත්‍රී එකොළහ දක්වා පැවැත්වුණු "මියැසි රංගන" ප්‍රසංගයේ දී මේ ප්‍රාන්තයේ වෙසෙන සිංහල කලාකරුවන් රැසක ගේ ප්‍රතිභාපූර්ණ දස්කම් රැසක් රස විඳින්නට අපට අවස්ථාව ලැබුණි.

කිලෝ මීටර් හැටක් ගෙවා මා ආපසු නිවස කරා ළඟා වන විට මධ්‍යම රාත්‍රිය ද පසු වී තිබුණි.

සෙනසුරාදා දිනවල මෙවැනි ප්‍රසංගයන්ට සහභාගීවීමේ දී යම් කැප කිරීමක් කරන්නට සිදුවේ. එනම්, මද පමණින් අනුමත වීමට අවස්ථාවක් නොමැති වීමයි.

බිග් බෑන්ග් දෙයියන් ලෝකේ මවන විට සතියකට දින හතක් ලබා දුන් නිසා, එය ලොකුම ප්‍රශ්නයක් නොවෙතත්, අනුමත වීම සඳහා සෙනසුරාදා රාත්‍ර්‍රිය තරම් වෙනත් රාත්‍රියක් ළොවෙත් නැති බව නොරහසකි.

අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය.

ඉරිදා යනු මගේ ජීවිතයේ මේ දිනවල සතියේ හොඳම දවසයි.

කලකට පෙර මට ඉරිදා උදෑසනින් ම අවදිව දරුවන් රැගෙන සිංහල පාසලට යෑමට නියමිත වී තිබුණි. ඉන්පසු වස් වරුවේ දියණියව නැටුම් පන්තියට රැගෙන යාමට ද, වෙළඳ ශාලාවකට ගොස් එළවළු, පලතුරු, පාන් සහ අනෙකුත් බඩු භාණ්ඩ රැගෙන ඒම ද ඉරිදා දිනයේ රාජකාරී අතරේ විය.

දැන් ජීවිතය ඊට වඩා සරල ය.

අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය.

දැන් මා කරන්නේ ඉරිදා උදෑසන අටට පමණ අවදිව, මුත්‍රාශය සැහැල්ලු කරගෙන නැවතත් ඇඳට ගොඩ වී ජංගම දුරකථනයෙන් ජාලයට පිවිසීමයි.

බ්ලොග් ලෝකයේ, ඊ-ලිපි ලෝකයේ සහ ෆෙස්බුක් ලෝකයේ යන ත්‍රෛලෝකයේ කරක් ගසා, එක්කෝ බිරිඳ විසින් හෝ නැතහොත් මා විසින් සාදනු ලබන තේ කෝප්පයක් ද පානය කරමින්, ඊළඟට මා කරන්නේ ඒබීසී සේවයේ විකාශනය වන ඉන්සයිඩර්ස් නම් කාලීන පුවත් විශ්ලේෂණ රැගත් දේශපාලන වැඩසටහන නැරඹීමයි.

උදෑසන නමයේ හෝරාවට ඇරඹෙන ඉන්සයිඩර්ස් යනු පැයක වැඩ සටහනකි. දවසේ අනෙකුත් වැඩ රාජකාරි සඳහා මා යොමුවන්නේ උදෑසන දහයෙන් පසුවය.

අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය.

අද දහයට ඇදෙන් ඉවත් වී කුස්සියට ගිය මා කළේ මගේ ප්‍ර්‍රියතම පාතරාසය වන පලතුරු මුදු පානය බෝතලයක් ම පිළියෙල කරගෙන නැවතත් ඇඳට ගොඩවීමයි.

රසිකොලොජියේ පළ කරන්නට මා කෙටුම්පත් කර ඇති ලිපිය කිහිපය පිරික්සු විට මට හිතුණේ, ඉන් එකක් පළ කරනු වෙනුවට, අද ඉරිදා වෙනුවෙන් අලුතෙන් ම ලිපියක් ලිවිය යුතු බවයි.
මේ ලියා අවසානවන්නේ ඒ ලිපිය ය.

නමුත් අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය.

ඔබටත් මෙවැනි සුවබර දිනයක් ප්‍රාර්ථනා කරමි!

-රසිකොලොජිස්ට්

(image: http://therepublicsocialhouse.com/event/sunday-funday-with-rare-form-dj-crew/2016-07-24/)

Friday, 5 August 2016

ජම්පිං ෆිෂ් හෙවත් කවියෙන් කෙටිකතාවට - End of the World...!!!


ඊයේ සිය පස්වෙනි කෙටිකතා සංග්‍රහය වූ "නිරුවත් ජීවිත" ජනගත කළ, හෙන්රි වර්ණකුලසූරියව මා හඳුනා ගත්තේ කවි නිසා ය. ඒ මා විශ්වවිද්‍යාලයට යන්නට පෙර කාලයේ ලියූ පෙම් කවි සහිත පොතක් මගේ පුංචි අම්මා විසින් ඇය සේවය කළ ආයතනයේ එකල සේවය කළ බණ්ඩාර ඇහැලියගොඩට කියවන්නට දීම නිසා ඇතිවුණු අතුරු ඵලයකි.

මගේ කවි පොත කියවූ බණ්ඩාර ඇහැලියගොඩ කළේ කවි ලියන එකෙකු පේරාදෙණියේ ඉංජිනේරු පීඨයට එන බව ඒ වන විට එහි ශිෂ්‍යයෙකු වූ හෙන්රි වර්ණකුලසූරියට දැන්වීමයි. හෙන්රි සහ මගේ හිතවත්කම ඇරඹුණේ එලෙස ය.

මා විශ්වවිද්‍යාලයට ඇතුළත්වන විට හෙන්රි වර්ණකුලසූරිය තෙවන වසරේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු වූ අතර, ඉංජිනේරු පීඨ කලා කවයේ සභාපති ලෙස කටයුතු කළේ ය. හෙන්රි ගේ යෝජනාව පරිදි මා ඒ වසරේ කලාා කවයේ කමිටු සාමාජිකයෙකු වී ඒ වැඩකටයුතුවලට සහභාගී වීමි.

මගේ පේරාදෙණියේ දෙවන වසරේ දී කලා කවයේ සංස්කාරක ලෙසින් ද, තුන්වන වසරේ දී ලේකම් ලෙසින් ද මට කටයුතු කරන්නට අවස්ථාව ලැබුණු නමුත්, මගේ සිව්වන වසරේ දී ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස ද, විශ්ව විද්‍යාල ක්‍ර්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන්නට සිදු වුණු නිසා මට කලා කවයේ සංවිධාන වැඩකටයුතුවලින් ඈත්වන්නට සිදුවිය.

හෙන්රි වර්ණකුලසූරියලා ඇතුළු ජ්‍යෙෂ්ඨයින් අපට උගන්වන්නට සැදී පැහැදී සිටි කවි ගැන යම් සඳහනක් නොකී කතා බ්ලොගයේ ලිපියක දුටු ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකුට නොසෑහෙන්න කේන්ති ගොස් ඇති බව පසුගිය දා පෙනුණි.

නමුත් අප හිතවත් ඇනෝනිමස් කමෙන්ට්කරුවා සමහරවිට නොදන්නා කාරණය නම්, ඒ ලිපියේ හෙන්රි වර්ණකුලසූරිය විසින් සඳහන් කර තිබුණු සුවිශේෂී සරසවි සාහිත්‍යය පෝෂණය කරන්නට නොගිය අප දෙදෙනාම කළේ අප දන්නා භාෂාවෙන් කවි ලිවීමයි.

මා පේරාදෙණියේ ගත කළ සිව් වසරක කාලය තුළ ලියූ කවි, ඒ කාලයේ දී ම හන්තානේ කඳු පාමුල සහ මායාවෝ නමින් පොත් අත් පිටපත් දෙකකට ගොනු කළෙමි. මේ අත්පිටපත් ක්‍රියාවලිය මා හඳුන්වන්නේ "හස්තද්වාරයෙන් එළිදැක්වීම" (TM) ලෙසිනි.

ඒ අත් පිටපත් ද්වයේ අඩංගු වූ කවි සියල්ලම පාහේ යුනිකෝඩ්ගත වී මේ වන විටත් අන්තර්ජාලයට එකතු වී ඇති අතර ඒවා චිරාත් කාලයක් සයිබර් අවකාශයේ පවතිනු ඇතැයි මම විශ්වාස කරමි.

හෙන්රි වර්ණකුලසූරිය තවත් කවියන් දෙදෙනෙකු සමග (රණතුංග මල්ලවආරච්චි සහ ලීවර් තිරාණගමගේ) සමග එක්ව තම කවි මුද්‍රණද්වාරයෙන් ම එළිදක්වා ඇත. ඒ ඔහු විශ්වවිද්‍යාලයෙන් පිට වූ අලුත ම ය. මට ද, මා ලියූ කවි එකතුවක් "සිව් සිත් කව්" නමින් 2008 වසරේ දී විදර්ශන ප්‍රකාශනයක් ලෙස එළිදැක්වීමි.

තමන් ගේ කවිකම ඒ කවි පොතෙන් නතර කළ බවත්, ඉන් පසු තමා ගද්‍ය නිර්මාණයට වඩාත් යොමු වුණු බවත් හෙන්රි වර්ණකුලසූරිය පසුගිය දා රූපවාහිනී සාකච්ඡාවක දී පැවසීය.

විශ්වවිද්‍යාලයට යාමට පෙර කාලයේ මා ලියූවේ කවි පමණක් නොවේ. මම ඒ දිනවල කෙටිකතා ද රචනා කළෙමි. එපමණකින් නොනැවතී කෙටිකතා සංග්‍රහ දෙකක් ම (පියෙකු ගේ කතාවක්, ගමන) පෙර කී හස්තද්වාර(TM) ක්‍රමයෙන් එළිදැක්වීමි.

ඒ අත්පිටපත් දෙකෙන් එකක් තවමත් මා සතුව නිරුපද්‍රිතව ඇති අතර, ඉන් එක් නිර්මාණයක් කලකට පෙර රසිකොලොජියේ පළ කිරීමට ද මට හැකි විය.

අවාසනාවකට මෙන්, විශ්වවිද්‍යාලයේ දී කවි ලිවීමට මිස, කෙටිකතාවට මට උනන්දුවක් ඇති නොවී ය. අපේ කලා කවයෙන් කවි මිස, කෙටිකතා හෝ වෙනත් නිර්මාණ පිළිබඳව කිසිදු උත්තේජනයක් ද නොලැබුණි.

කොටින් ම පාසල් සමයේ අවසානය සහ විශ්වවිද්‍යාල ජීවිතයේ ආරම්භය අතරතුර ගන්ධබ්බ සමයේ කෙටිකතා ලිවීමෙන් පසු මා මෙතෙක් ලියා ඇත්තේ කෙටිකතා තුනක් පමණි. ඉන් එකක් 2005 දී ය. අනෙක 2006 දී ය. තුන්වැන්න 2008 දී ය.

කෙටිකතා ලියන්නට ගත් ඒ උත්සාහයන්ගෙන් පසු මම 2009 දී කෙටිකතා වෙනුවට කතන්දර ලියන්නට පටන් ගත්තෙමි.

එතැන් සිට ඉතිහාසය දන්නෝ දනිති.

පසුගිය මසක පමණ කාලය තුළ ෆෙස්බුක් මාධ්‍යය හරහා හෙන්රි වර්ණකුලසූරිය සහ ඔහු ගේ කෙටිකතාකරණය පිළිබඳ පළවුණු පුවත්පත් ලිපි කියවා, විකාශය වුණු රූපවාහිනී සම්මුඛ සාකච්ඡා නරඹා හිත ප්‍රමෝදයෙන් පිරී පිටාර ගලමින් ඇති මේ මොහොතේ මට අපූරු සිතුවිල්ලක් පහළ විය.

එනම්, මා මින් පෙර ලියා ඇති විවිධාකාරයේ එක් දහස් හාරසීයකට වැඩි වූ කතන්දර, තීරු ලිපි යනාදියෙන් කුඩා කොටසක් හෝ කෙටිකතා බවට පෙරලීමයි. එසේ නොමැති නම් ඒ වස්තුබීජ උපයෝගී කරගෙන කෙටිකතා නිර්මාණය කිරීමයි.

එහෙත් එය ක්‍රියාවට නැංවීම වචනයෙන් කියනවාක් සේ ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව මම දනිමි.

නමුත්, මගේ සිත දිරිමත් කරන කරුණ වනුයේ, ඒ පෙර කී කතන්දර සහ තීරු ලිපි අති විශාල සංඛ්‍යාවෙන් අඩු තරමේ කෙටිකතා සියයක් සකසා ගතහොත්, මා මිත්‍ර හෙන්රි වර්ණකුලසූරිය ගේ කෙටිකතා පොත් පහේ වාර්තාව ඉතා කෙටි කාලයකින් ම සමතික්‍රමණය කර, ඔහුට මා පරදන්නට නොහැකිවන ආකාරයේ වේගයකින් ඉදිරියට පනින ජම්පිං ෆිෂ් කෙනෙකු වන්නට මට ශක්‍යතාව ඇති බව හැඟී යාමයි.

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න!

-රසිකොලොජිස්ට්

ප/ලි:

"එතකොට තුන් ඈදුතු නවකතාව ලිවීම?"

"ආ, ඒක කරනවා කෙටිකතා ලියන අතරතුරේ ලැබෙන පොඩි පොඩි විවේකකාලවල දී!"

(image: http://mysteryreadersinc.blogspot.com.au/2015/09/cartoon-of-day-short-story.html)

Wednesday, 3 August 2016

බ්ලොගර්ස්ලා සහ බ්ලොග් කියවන්නන් බ්ලොගින් ප්‍රවර්ධනය නොකිරීම හෙවත් අපි වෙනුවෙන් අපි නැතුව අපි වෙනුවෙන් තොපි ද? - Long title but one important point for bloggers and blookers?


ඊයේ කාර්යාලයේ දී මගේ ඩී-කන්ස්ට්‍රක්ටඩ් ටූනා ඇන්ඩ් සැලඩ් සැන්ඩ්විචය හපන අතරේ ජංගම දුරකථනයෙන් ෆේස්බුක් දෙස බැල්මක් හෙළුෑ විට මා දුටුවේ තමන් ලංකාවේ වේලාවෙන් උදෑසන 830ට ස්වාධීන රූපවාහිනීයේ නිල්මිණි දිසානායක මෙහෙයවන පොත් පිළිබඳ වැඩසටහනට සහභාගීවෙන බව, නොකී කතා බ්ලොග්කරු, මා මිත්‍ර, හෙන්රි වර්ණකුලසූරිය විසින් සටහනක් තබා තිබෙන ආකාරයයි.

ලංකාවේ වේලාවෙන් උදෑසන 8:30 යනු සිනුවර මගේ වේලාවෙන් දහවල් 1:00 ය. ඒ මා නිතිපතා කරන්නා වූ දිවාකල ඇවිදීමේ වේලාවයි.

වහා සැන්ඩ්විචය ගිල දැමූ මම, මගේ අහවල් ජංගම දුරකථනයට හිස කුඩුච්චිය නොහොත් හෙඩ් සෙට් එක ද සවි කරගෙන කාර්යාල ගොඩනැගිල්ලෙන් නික්මී අපේ පා ගමන් මාර්ගයට වැටුණෙමි.

මුලින් මහපාරේ පදික මං තීරුවේ ද, ඉන්පසුව පැරමටා ගඟ අසබඩ ඇති පා ගමන් මගේ ද, වේගයෙන් ගමන් කරමින්, වෙනදා මෙන් අවට සිරිය නොවිඳ, මගේ ගමන් සගයා සමග ද වැඩි කතා බහක නොයෙදී, විනාඩි විසි අටක පමණ කාලයක් තිස්සේ විකාශය වුණු ඒ සල්මල් යාය නම් සඟරාමය වැඩ සටහනෙන්, වෙළඳ දැන්වීම් අතහැර ඉතිරි විනාඩි විස්සක පමණ කාලයේ සිදු කෙරුණු සම්මුඛ සාකච්ඡාව නැරඹුවෙමි.

පසුගිය සති කිහිපය තුළ, පුවත්පත් සමග ද, රූපවාහිනී නාලිකා සමග ද සම්මුඛ සාකච්ඡා පවත්වමින් හෙන්රි වර්ණකුලසූරිය මේ සැරසෙන්නේ ඔහු ගේ නවතම කෙටිකතා සංග්‍රහය ජනගත කරන්නයි. ඒ උත්සවය හෙට, එනම් 2016 අගෝස්තු හතර (4) වෙනිදා සවස 3:30ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී දී පැවැත්වීමට නියමිත ය.

ස්වාධීන රූපවාහිනීයේ සිත්මල් යාය වඩසටහන වෙනුවෙන් ඉඳුනිල් දිසානායක විසින් හෙන්රි වර්ණකුලසූරිය සමග කරන්නට දෙයුණු ඒ සාකච්ඡාවේ අන්තර්ගත වූ කරුණුවලින් මා සිත් ගත් කාරණා තුනක් මෙහි සඳහන් කිරීම මගේ මේ ලිපියේ මුල් අරමුණයි.

  1. කලකට පෙර මා මුලින් ම ඔහු හඳුනා ගත්තේ තරුණ කවියෙකු ලෙසින් වුවද, මා ද පසුව වටහා ගත් පරිදි හෙන්රි වර්ණකුලසූරිය යනු තව දුරටත් කවියෙකු නොවේ. ඇත්තටම මා අවසාන වරට ඔහු ලියු කවියක් මුද්‍රිත මාධ්‍යයක දුටුවේ 1990 වසරේ දී පමණ ය. ඒ තරුණි පුවත් සඟරාවේ පළ වූ පැන්ෂොන් යන යුද සෙබළෙකු පිළිබඳව ලියවුණු එකකි.

    මේ සාකච්ඡාවේ දී හෙන්රි වර්ණකුලසූරිය තමා තව දුරටත් කවියෙකු නොවන බව ඉඳුරාම ප්‍රකාශ කළේ ය.
  2. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මට වඩා වසර දෙකකින් ජ්‍යෙෂ්ඨයෙකු වූ හෙන්රි වර්ණකුලසූරිය යනු එනිසා ම මගේ පරම්පරාවේ සමකාලීනකයෙකු ලෙස මා මෙතෙක් සිතා සිටියද එය එසේ නොවන බව මට මේ සාකච්ඡාවේ දී වැටහිණි. ඔහු පැරණි පරම්පරාවේ අයෙකි.

    එසේ තීරණය කිරීමට හේතුව වන්නේ, අනෙකක් නොව, හෙන්රි වර්ණකුලසූරිය යනු කෙළින් ම තමන් ලියන දෑ යතුරු පුවරුව හරහා පරිගණකයට එක් නොකරන, ඒ වෙනුවට තවමත් පැරණි ක්‍රමයට පෑනෙන් කඩදාසි කොළවල ලියා, ඉන් පසු ඒවා අතින් සංස්කරණය කරන, අපට කලින් පරම්පරාවේ පුඟුලෙකු බවට ඔහු මේ වැඩ සටහනේ දී ප්‍රකාශ කිරීමයි!
  3. ඊළඟ වැදගත් කරුණ වනුයේ තමා විසින් ලියන ලද නවතම කෙටිකතා ඇතුළත් නිරුවත් ජීවිත කෙටිකතා සංග්‍රහය එළිදැක්වෙන දිනයේ, විද්වතුන් විසින් පැවැත්වෙන දේශන ඒ අදාළ ග්‍රන්ථය පිළිබඳව ගොනු නොකර, ඒ වෙනුවට තමා විසින් මීට පෙර ලියන ලද නවකතා ද්වය ගැන කතිකාවක් ගෙන ඒමට හෙන්රි වර්ණකුලසූරිය විසින් ගෙන ඇති තීරණයයි.

    මා ද විශ්වාස කරන ආකාරයට, එදින එළි දැක්වෙන පොතක් පිළිබඳව කෙරෙන විශ්ලේෂණයක් ඒවන විට ඒ පොත කියවා නැති අයට එතරම් ප්‍රයෝජනයක් නැති දෙයකි. අප කළ යුත්තේ පොත එළි දක්වා එය පාඨකයින් විසින් කියවූ පසු, ඒ ගැන කතිකාවක් කිරීමයි.

    මා සාමාජිකයෙකු වන ඕස්ටේ‍ර්ලියාවේ නිව් සවුත්වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය මගින් පවත්වුණ ලබන පොත් එළිදැක්වීමේ උත්සවවලට අමතරව, පසුගිය ඔක්තෝබරයේ දී අප රස විඳුම නමින් සාහිත්‍ය වැඩසටහනක් ඇරඹුවේ ද මේ කාරණය (තවත් අරමුණු) නිසා ය.
දැන් මේ ලිපිය ලිවීමේ දෙවන අරමුණ වෙත යොමුවෙමු.

හෙන්රි වර්ණකුලසූරියගේ ස්වාධීන රූපවාහිනී සිත්මල් යාය සාකච්ඡාවේ අන්තර්ගත විය යුතු වූ නමුත් අවාසනාවට මෙන් එසේ නොවූ කරුණුවලින් මෙහි සඳහන් කළ යුතු ම වන එක් වැදගත් කාරණාවක් වේ.

ඉඳුනිල් දිසානායක හෙන්රි වර්ණකුලසූරියගෙන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඔහුට අප සියලු දෙනා සම්බන්ධ සිංහල බ්ලොග් පිළිබඳව සඳහන් කළ හැකි වූ අවස්ථා අඩු වශයෙන් දෙකක් තිබුණි. නමුත් අපේ අවාසනාවට මෙන් ඒ අවස්ථා දෙකම ඔහුගෙන් ගිලිහී ගියේ ය.

ඉන් මුල් අවස්ථාව වූයේ හෙන්රි වර්ණකුලසූරිය විසින් මීට පෙර රචනා කළ "නොකී කතා" නම් ග්‍රන්ථය පිළිබඳව සාකච්ඡා වුණු මොහොත ය. ඒ ග්‍රන්ථයේ අන්තර්ගතය වූ ලිපි පෙළ පුවත්පත් දෙකක තීරු ලිපි ලෙස ලියවුණු ආකාරය හෙන්රි වර්ණකුලසූරිය විස්තර කළ නමුත්, තමන් තව දුරටත් "නොකී කතා" මාලාව බ්ලොගයක් ලෙස දිගටම ලියන බව පැවසීම ඔහුට අතපසු විය.

දෙවෙනි අතපසු වීම ඊට වඩා කනගාටුදායක එකකි.

සාකච්ඡාවේ අවසාන භාගයේ දී ඉඳුනිල් දිසානායක, ප්‍රවීන ලේඛකයෙකු ලෙස අලුත් පරම්පරාවේ ලේඛන කටයුතු ඔහු දකින්නේ කෙලෙසදැයි හෙන්රි වර්ණකුලසූරියගෙන් විමසුවා ය.

අවාසනාවට මෙන් ඒ මොහොතේ දී ද, අලුත්ම ලේඛන මාධ්‍යය වූ බ්ලොග් ගැනත්, එයින් බිහි වෙමින් පවතින අලුත් ලේඛක පරපුර ගැනත්, බ්ලුක් ගැනත් කියනු වෙනුවට මෙහිදී හෙන්රි වර්ණකුලසූරිය ගේ කටට ආවේ ඊ-බුක් නමැති සිංහල ලේඛනය ගැන සලකන විට ලොවෙත් නැති තවමත් මනස්කල්පිතයක් පමණක් වන ලේඛන ප්‍රවර්ගයක් ගැන පමණි.

අඩු වශයෙන්, හෙට අගෝස්තු හතරවෙනි දා සවස 3:30ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේදී පැවැත්වෙන හෙන්රි වර්ණකුලසූරිය ගේ පස්වෙනි කෙටිකතා සංග්‍රහය වන "නිරුවත් ජීවිත" ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේ දී වත්, විශේෂයෙන් තමන් ගේ "නොකී කතා" බ්ලොගය පිළිබඳවත්, පොදුවේ සිංහල ලේඛන කලාවේ නවතම මාධ්‍යය වන බ්ලොග්කරනය පිළිබඳවත් මා මිත්‍ර ලේඛකයා විසින් සඳහන් කරනු ඇතැයි මම උදක් ම බලාපොරොත්තු වෙමි.

බ්ලොගර්ස්ලා සහ බ්ලොග් කියවන්නන් විසින් බ්ලොගින් ප්‍රවර්ධනය නොකරන්නේ නම් එය කවුරුන් විසින් කරාවි ද? අපි වෙනුවෙන් අපි නැතුව අපි වෙනුවෙන් තොපි ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිත්මල් යාය සම්මුඛ සාකච්ඡාව මෙතැනින් නැරඹිය හැක.
http://www.itn.lk/2016/08/02/salmal-yaya-2016-08-02/


ඔහෙලාත් ඇහැක් නම් හෙට ඒ අහ යන්න!

Monday, 1 August 2016

මගේ මහා පාද යාත්‍රාව - Shed kilos, get fit, walk every day!


පසුගිය බ්‍රහස්පතින්දා මා ලද අත්දැකීමක් ඇසුරෙන් ලියවෙන මේ ලිපිය ලංකාවේ පසුගිය දිනවල පැවැත්වෙන පාද යාත්‍රා සන්දර්ශනයට කිසිදු සම්බන්ධයක් නැති බව කරුණාවෙන් සලකන්න.

අපේ කාර්යාලයේ සිදුවුණු ස්ථාන මාරුවෙන් පසු වෙනදා කාර්යාලයට පෙරවරු 9:30ට ළඟාවෙන්නට නිවසෙන් පිටවුණු මා, ඊට වඩා උදෙන් පිටත් වී පෙරවරු 7:45 ට පමණ වැඩ අරුඹන්නට පටන් ගත්තෙමි.

තරමක් දුක තිබුණ ද, ඒ වෙනස සැප බව කලින් ලිපියක ලියූවෙමි.

පසුගිය බ්‍රහස්පතින්දා මා උදේ සේවයට යන්නට සැරසුණේ තරමක් ප්‍රමාද වී ය. කොටින් ම මා ඇඳ පැළඳ නිවසෙන් පිටවීමට සූදානම් වී අවසාන වන විට අපේ පුතා පාසලට ඇරලවා ඒ පාසල අසලම ඇති තම සේවා ස්ථානයට යාමට මා ප්‍රිය බිරිඳ ද සූදානම් වී හමාර ය.

සුපුරුදු පරිදි, මගේ උදෑසන ආහාරය වන පලතුරු ස්මූති පානය ද, දිවා අහාරය වන කෙලවල්ලා සැන්ඩ්විචයට අවශ්‍ය ද්‍රව්‍ය ද, අතරමග දුම්රිය ගමනේ දී රසිකොලොජි ලිපි ලියන්ට භාවිතා කරන ලැප්ටොප් පරිගණකය ද සහිත මල්ල කරේ දමාගත් මා, බිරිඳට වුම්බනයකින් සංග්‍රහ කර, පුත්‍රයාට සැමදාම කරන සරදම වන අද සිට හොඳ ළමයෙකු වෙන්න යැයි පවසා නිවසෙන් පිටත්වන්නට අඩියක් තිබ්බා පමණි. මට එක්වරම දැනුණේ, මට යතුරු කැරැල්ල අමතක වී ඇති බවයි.

නිවසේ යතුර කෙසේ වෙතත්, මෝටර් රථයේ යතුර අත නොමැතිව කෙසෙලක නම් දුම්රිය ස්ථානයට යන්නද?

අමතර යතුරක් තිබුණද, එය ද ඒ හදිසියේ සොයා ගත නොහැකි විය.

ඉතින් මා කළේ, පුතා ද රැගෙන දුම්රිය ස්ථානය අසලටම යන බිරිඳ සමග සම්මුතියකට එළැඹීමයි.

ඒ අනුව, මා ඇගේ වාහනය පදවා ගෙන මුලින් ම පුතා ගේ පාසල අසලට ගොස් ඔහු එහි බස්සවා, ඉනික්බිති දුම්රිය ස්ථානයට ගියෙමි. වෙනදා මෙන් දුම්රිය ස්ථානයේ රථ ගාලේ නොව එහි ඇති "කිස් ඇන්ඩ් රයිඩ්" ස්ථානයේ වාහනය තාවකාලිකව නවතා එතැන් සිට, නුදුරෙන් ඇති ඇගේ සේවා ස්ථානයට යාමට රථය බිරිඳට භාර දුනිමි.

කෙසේ හෝ මෙයින් සිදුවූයේ බිරිඳට මගේ චුම්බන එකක් නොව දෙකක් ම ලැබීමයි.

හවස් වරුවේ මා කළ යුතුව තිබුණේ, ඇයට දුම්රිය ස්ථානයෙන් මා එකතු කර ගැනීමට හැකිවෙන පරිදි, කලින් බිරිඳ සමග ජංගම දුරකථනයෙන් කතාබස් කරගෙන එහි ළඟා වීමයි.

නමුත්, එය එසේ කරනු වෙනුවට මගේ සිතට ඇති වූයේ අපූරු සිතුවිල්ලකි.

එනම් දුම්රිය ස්ථානයේ සිට නිවසට පයින් ම ගමන් කිරීම ය.

කිලෝමීටර් හතක් පමණ යාමට ඇති බව දන්නා නිසා, මුලින් තරමක දෙගිඩියාවක් ඇති වුණද, පසුව එය මග හරවා ගතිමි.

"මං බස් එකේ එන්නම්, ඔයා පරක්කු නොවී ගෙදර යන්න!" යැයි මා ඇමතූ බිරිඳට තරමක සම්‍යක් බොරුවක් දෙසා බෑමි.

සූදානම් ශරීරේ කියා මා කාර්යාලයෙන් පිටවුණේ ද, ඇවිදීමට මා පළඳින සපත්තු ජෝඩුවෙන් සැරසීය.

කිලෝ මීටර් හය හමාරක් පමණ වූ මගේ පාද යාත්‍රාව මට පැයකින් අවසන් කිරීමට හැකිවිය. එකම ප්‍රශ්නය වූයේ ලැප්ටොප් පරිගණකය සහිත මල්ල පමණි.

හැම දිනකම මෙසේ පැයක් පමණ ඇවිදීම, කාර්යාලවල පුටු උඩට වී "බගන්දරා මල්" වවමින් සිටිනා මා වැනි සියලු දෙනාට ම යෝග්‍ය අභ්‍යාසයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

පාද යාත්‍රා මගින් සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් හොඩ නැගීමට කැප වී සිටින හොරු වෙනුවෙන් හොරු කණ්ඩායම ද මගේ ප්‍රණාමය පිරිනමමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අතරමගදී ගත් ඡායාරූප කිහිපයක්.