Monday, 31 October 2016

ටීචර්, සර්, මහත්තයා - Primary memories



ඇතැම් සම්මත සේවාවල රැකියාවල නිරතවන්නන්ට නියමිත නිල ඇඳුම් ඇත. මෙය රජයේ සේවාවල මෙන්ම පුද්ගලික අංශයේ ද දැකිය හැකි දෙයකි. සේවා දායකයාට, සේවා සපයන්නා පහසුවෙන් හඳුනා ගැනීමට ඉඩ සැලසීම මෙමගින් අපේක්ෂිත එක් ප්‍රතිඵලයක් විය යුතු ය.

ලංකාවේ රජයේ සේවා රැකියාවන් ගැන සලකා බලද්දී පොලීසිය, ත්‍රිවිධ හමුදා වැනි රැකියාවල මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවය, ආගමන විගමන සේවය, රේගු සේවය, හෙද සේවය වැනි රැකියාවන්හි යෙදෙන්නන්හට ද මෙසේ නිල ඇඳුම් ඇඳීමට නියම වී ඇත.

එසේ නමුදු ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිර පවතින විශාලතම සේවාව වූ රජයේ ගුරු සේවයේ නියුතු අයට නම් නිල ඇඳුමක් නියමිතව නැති බව පෙනේ.

නිල ඇඳුමක් තිබීම නිසා සේවකයින්ට ලැබෙන වාසියක් නම් ඒ නිල ඇඳුම් මෙන්ම ඒවා නඩත්තු කිරීම සඳහා දීමනාවක් ද ලැබීමයි. එය සෑහෙන ආර්ථිකමය වාසියකි. නිල ඇඳුමක් නොමැති නම් තමන්ට කැමති වර්ණයක හෝ ආකාරයක ඇඳුමක් සේවය සඳහා ඇඳිය හැකි වෙතත් ඒ සඳහා යන වියදම තමන්ගේ වේතනයෙන් පියවා ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ගුරු සේවය සඳහා නියමිත නිල ඇඳුමක් නැති යැයි මා ඉහත ලියූවේ එසේ නිල ඇඳුම් නිකුත් කිරීමක් හෝ පත්වීම් ලිපියේ නිල ඇඳුමක් තියා අඩු ගණනේ ඇඳිය යුතු ඇඳමක් ගැන සඳහනක් හෝ නොමැති බව අසා සැක හැර දැනගෙන ඇති නිසා ය.

නමුත් ප්‍රායෝගික සත්‍යය එය නොවෙන බව අපි දනිමු!

විවිධ සමාජ, චාරිත්‍ර, සම්මත, රීති නිසා සහ ඒ මත පදනම්ව බොහෝවිට තමන් ම පනවා ගෙන ඇති වාරණ මත ගුරු සේවයටද නොනිල නිල ඇඳුමක් නියමිතව ඇත.

ගුරුවරියන් සඳහා මේ නිල ඇඳුම වන්නේ සාරිය හෝ ඔසරියයි. සේවයේ නිරත නොවන කාල වේලාවේ දී ගවුම්, සාය හැට්ට, කමිස කලිසම්, ලූංගි, සල්වාර් කමීස් හෝ වෙනත් මොන ඇඳුමක් ඇන්දා වුවද ගුරු සේවයේ යෙදෙන කාන්තාවෝ අනිවාර්්‍යයෙන්ම එක්කෝ සාරිය හෝ නැතිනම් ඔසරිය සේවය සඳහා අඳිති.

මා කොලූ කාලේ උගත් පාසලේ ඉංගිරිසි ගුරුවරියක් ලෙස සේවය කළ වෑන් ඩයික් නම් වූ බර්ගර් යුවතියට ද සාරිය ඇඳ සේවයට එන්නට සිදුවූයේ මේ නිසා ය. ඇය ගවුමකින් සැරසී සේවයට පැමිණියා නම් සමහර විට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන්නට ද ඉඩ තිබුණි. නමුත් කිසි දිනෙක එය සිදු නොවුණි!

පූජ්‍ය පක්ෂයට අයත් නොවන පිරිමි ගුරුවරුන් සේවය සඳහා පැමිණියේ එක්කෝ කලිසම සහ කමිසය ඇඳගෙන ය. නැතිනම් ජාතික ඇඳුම ඇඳගෙන ය.

බතික් හෝ පිජාමා හෝ පලේකාට් හෝ සරමක් ඇඳ සේවයට පැමිණීමට කිසිවෙකු නොසිතූ බව පෙනුණි. ඒ ඇඳුම් තත්වයෙන් බාල වූ ඒවා වෙන්නට ඇත.

අතීතකාමයේ ගැලෙමින් මා මේ ලිපිය සඳහා කරුණු ගොනු කළේ එක් විශේෂ කරුණක් කියන්නටයි.

මා ප්‍රාථමික පන්තිවල උගත් කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දී අප ගුරුවර ගුරුවරියන් ඇමතීම සඳහා ආමන්ත්‍රණ පද යොදා ගත්තේ ඔවුන් ඇඳ සිටි ඇඳුම අනුව ය.
සාරිය හෝ ඔසරිය ඇඳ සිටි ගුරුවරියන් අප ඇමතූවේ ඉංගිරිසි බසින් ”ටීචර්” යන පදයෙනි. ඒ අය පිළිවෙලින් ප්‍රඥාවතී ටීචර්, සීලවතී ටිචර්, හේමවතී ටීචර්, රූපසිංහ ටීචර්, බමුණුසිංහ ටීචර් වූහ.

ජාතික ඇඳුම ඇඳි පිරිමි ගුරුවරුන් මහත්තයා ලෙස හඳුන්වනු ලැබූහ. චන්ද්‍රසේන මහත්තයා, නිකුලස් මහත්තයා, ලොකු මහත්තයා (විදුහල්පති) යනාදී වශයෙනි.

කලිසම සහ කමිසය හැඳ සේවයට පැමිණි ඒකනායක නම් ඉංග්ලිෂ් ගුරුවරයා සහ පාසලේ සිටි අන් එකම පිරිමි ගුරුවරයා යන දෙදෙනා පමණක් ”සර්” නමින් අපෙන් ඇමතුම ලද්දෝ ය.

”සර්” යන පදය ප්‍රාථමික පාසලේ වසර පහක් ඉගෙනුම අවසානයේ දී පහේ පන්තිය සමත්ව මා ඒ කණිෂ්ඨ විද්‍යාලයෙන් ඉවත්වන තුරුම කලිසම් අඳින ගුරුවරයෙකු සඳහා මිස ජාතික ඇඳුම අඳින ගුරුවරයෙකු සඳහා නොයෙදුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඇඳුම් ගැන මා මින් පෙර ලියූ ලිපි මෙන්න.
1. සුදු කලිසමේ පින්වන්තකම - What's so good about white?

2. ජැන්ඩියට ඇඳීම සහ ආත්මාභිමානය - You look dandy mate!

3. පිරිමි අපිට ඇයි කෙනෙහිළි? Black and white men and colourful women

4. ජාතික හෙළ උරුමියේ සාදුලා පාර්ලිමේන්තුවට ගියේ සාරි ඇඳගෙන ද?

ගුරුවරුන් ගැන ලිපි කිහිපයක් ද මෙහි පළ වී ඇත.
5. ඉංග්ලිෂ් ගුරුවරු - Flour Vs Flower

6. බලූ-මිනිසා සහ මිනිස්-බල්ලා - I cannot believe I did that!

7. හෝඩියේ පන්තියේ ගුරුවරිය එදා කළ දේ කුමක්ද? - Words can generate fear...!

8. ගුරු ගීතය, ගුරු තරුව සහ උත්ප්‍රාසය - Writing and reading

Thursday, 27 October 2016

ජාතික හෙළ උරුමියේ සාදුලා පාර්ලිමේන්තුවට ගියේ සාරි ඇඳගෙන ද? - Rasikology celebrates its second birthday!


(image: http://www.cafleurebon.com/cafleurebon-saffron-in-perfumery-golden-threads-of-spice-best-saffron-perfumes/)

මේ ලිපිය මා ලියන්නට සිටියේ මීට වසර කිහිපයකට කලිනි. නමුත්, ලිපියට අදාළ මූලාශ්‍ර නිවැරදිව එකල අන්තර්ජාලයෙන් සොයා ගන්නට නොහැකි වූ නිසා, එය ලිවීම දිනෙන් දින කල් ගොස්, පසුව මුළුමනින් ම අතපසු වී ගියේ ය.

පසුව ලියන්නට පටන් ගත් මොහොතේ සිට සිතට ආ විවිධ අදහස් සමග මේ ලිපිය ඇදි ඇදී ගිය හෙයින්, "සුදු කලිසමේ පින්වන්තකම", "ජැන්ඩියට ඇඳීම සහ ආත්මාභිමානය" සහ "පිරිමි අපට ඇයි කෙනෙහිළි" වශයෙන් ඒ අතුරු සටහන් වෙනම ම පළ කළෙමි.

ලංකා දේශපාලන තට්ටු මාරු ක්‍රමය පිළිබඳව නිරුවත හෙළිකරන, මා ජීවිතයේ අසා ඇති හොඳම කියමන මා මෙන් ම ලක්‍ෂ සංඛ්‍යාත ලංකාවාසීන් ගේ සවනට වැටුණු 1994 මහ ඡන්දයේ දී, පෙර කී කතාව කළ ජනතා විමුක්ති පෙරමුණේ චම්පා සෝමරත්න, ඇය ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණෙන් තරග කළ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරියක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් නොවුන ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් අසුනක්, ජවිපෙ ට හිමි විය.

ඡන්ද අපේක්‍ෂක ලයිස්තුවේ කවරෙකු කවර අනු පිළිවෙළට සිටිය ද, කවුරු කොපමණ මනාප සංඛ්‍යාවක් ලබා ගත්තද, ජනතා විමූුක්ති පෙරමුණට අවශ්‍ය වූයේ ඔවුන් ගේ එකල සිටි එක් නායක චරිතයක් වූ ගලප්පත්ති නමැත්තාව ඒ මන්ත්‍රී තනතුරට පත් කරවා ගැනීමටයි.

නමුත් ගලප්පත්ති ගේ නම, ඡන්දයට පෙර ඡන්ද කොමසාරිස්ට ලබා දී තිබුණු හම්බන්තොට දිස්ත්‍රික්ක ඡන්ද අපේක්‍ෂක ලයිස්තුවේ නොතිබුණි.

ඡන්ද නීතියට අනුව ඡන්ද කොමසාරිස් කරනුයේ, අදාළ මන්ත්‍රී තනතුර සඳහා මනාප ලයිස්තුවේ ඉහළින් ම සිටින අපේක්‍ෂකයා පත් කිරීමයි. ඉන් පසු ඒ පුද්ගලයා පාර්ලිමේන්තුවට ගොස් මන්ත්‍රී ලෙස දිවුරුම් දිය යුතුය.

මන්ත්‍රීවරයා ඉල්ලා අස්වුනහොත් හෝ මරණයට පත් වුණහොත් එවැනි තත්වයක් උද්ගත වුණහොත් එයින් හිස් වෙන මන්ත්‍රී තනතුර සඳහා මනාප ලයිස්තුවේ ඊළඟට සිටින්නා නම් කෙරේ.

තම නායකයෙකු වූ ගලප්පත්ති නමැත්තාව මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීකම සඳහා පත් කර ගන්නට පැවති පෙර කී නිතිය තුළ, ජවිපෙ සැරසුණේ ඡන්දයට කලින් ලබා දී තිබූ ලයිස්තුවේ අපේක්‍ෂකයින් සියලු දෙනාම එක් අයෙකුට පසුව අනෙකා මන්ත්‍රීයෙකු කර, වහාම ඒ නවක මන්ත්‍රීයාට තනතුරෙන් ඉල්ලා අස්වීමට සලස්වා, ලයිස්තුවේ අවසාන පුද්ගලයා ද මන්ත්‍රීකමෙන් ඉල්ලා අස් වූ පසු ගලප්පත්ති ගේ නම ඡන්ද කොමසාරිස්ට යවා, තම අභිප්‍රාය ඉටු කර ගැනීමටයි.

මේ උපාය මාර්ගයේ එක පොඩි කොස්සක් තිබුණි. එය මෙසේ ය.

ඡන්ද අපේක්‍ෂක ලයිස්තුවේ නම තිබුණත්, මනාප කොපමණ ලබා ගත්තත්, මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නම්, එක්කෝ යුරෝපීය ක්‍රමයේ ඇඳුම් කට්ටලයකින් සැරසී එහි යා යුතුය, නැතහොත් ජාතික ඇඳුමෙන් සැරසී එහි යා යුතුය, එසේත් නැතිනම්, කපටි ඇඳුම ලෙස සැලකෙන ටියුනික් කොලරය සහිත කමිසය සහ කලිසමක් ඇඳිය යුතුය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජවිපෙ ලයිස්තුවේ සිටි පිරිස එකිනෙකා මේ ආකාරයට දිවුරුම් දෙවන්නට තිබුණු එකම ප්‍රශ්නය වූයේ ඒ අයට පෙර කී ආකාරයේ ඇඳුම් නොමැති වීමයි. අඩු වශයෙන් ඒ එක ඇඳුම් කට්ටලයක් හෝ, බොහෝ විට උසට හතට ගැලපෙන පරිදි ඇඳුම් කට්ටල කිහිපයක් අලුතෙන් මසා ගත යුතු විය.

මා මේ කාරණය දැන ගත්තේ පෙර කී ඡන්දයෙන් සති කිහිපයකට පසු නුගේගොඩ පිහිටි ජවිපෙ රැස්වීමක දී කෙරුණු කතාවකට ඇහුම්කන්දුන් නිසා ය. ඒ කථිකයා (ඒ විමල් වීරවංශ නමින් පසු කලෙක කූප්‍රසිද්ධ වුණු පුද්ගලයා යැයි මට මෑතක දී සිතුණි) ඔය කපටි සුට් මැසීමේ කතාව පැවසූවේ ඒ සම්බන්ධව විස්තරාත්මකව පැවසූ වෙනත් දේශපාලන ඕපාදූප කතාවක කොටසක් ලෙසිනි.

ඒ ඕපාදුපයට අනුව, පෙර කී ආකාරයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජේවීපී ලයිස්තුවේ පිරිස එකා එකා අනු පිළිවෙළට දිවුරුම් දෙන්නට සැරසෙද්දී, එවකට චන්ද්‍රිකා බ. කුමාරතුංග ගේ අගමැති නායකත්වයෙන් පිහිටුවා තිබුණු පොදු පෙරමුණු රජයේ එක්තරා, එදා වීරවංශ ගේ වචනයෙන් "ජීවං නොවන", උප ඇමතියෙකු එක් ජවිපෙ ලයිස්තු අපේක්‍ෂකයෙකුට කොක්ක ගහන්නට තැත් කර ඇත. ඒ නිකං නොවේ, දිවුරුම් දීමට අවශ්‍ය පෙර කී ආකාරයේ ඇඳුම් කට්ටලයක් ද සපයමිනි!

"ජීවං නොවන" උප ඇමතියා ගේ අපේක්‍ෂාව වෙන්නට ඇත්තේ, අවම වැඩි ආසන සංඛ්‍යාවකින් පිහිටුවා තිබුණු ඒ පොදු පෙරමුණු රජයේ දෑත් එක පාර්ලිමේන්තු ආසනයකින් ශක්තිමත් කර ගැනීම විය යුතුය.

ඇඳුම් කට්ටල සැපයුව ද, ජීවං නොවන උප ඇමතියා ගේ සැලසුම සාර්ථක නොවුණු බව අපි දනිමු.

කෙසේ වුවත්, මේ කතාවෙන් අපට පැහැදිලි වන්නේ පිරිමියෙකු ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙකු ලෙස දිවුරුම් දීමට, සහ ඉන් පසු සභා වාරවලට සහභාගී වීමට, මහජනයාගෙන් වැඩි මනාප ලබා ගැනීමට අමතරව, පෙර කී ආකාරයේ ඇඳුම් කට්ටල ද අවශ්‍ය බවයි.

ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තාවන් සඳහා ද මෙවැනි නීතියක් ඇත. එනම්, කාන්තා මන්ත්‍රීවරියන් එහි පැමිණිය යුත්තේ සාරි (හෝ ඔසරි) පටලාගෙන බවය!

සාරියක් නොඇඳ, සර්වාර් කමීස් නමින් හැඳින්වෙන ඇඳුමකින් සැරසී එහි ආ තංගේෂ්වරී කදිරාමන් නම් මන්ත්‍රීවරියට වහාම ආපසු හැරී යාමට 2009 ජූනි මාසයේ දිනක නියෝග ලැබී ඇත.

දැන් මගේ මේ ලිපියේ මාතෘකාවෙන් කියවෙන කාරණයට එතොත්, පෙර කී 1994 පාර්ලිමේන්තු ඡන්දයෙන් දශකයකට පමණ පසුව 2004 දී පැවති ඡන්දයේ දී, ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ භික්‍ෂූන් දායක දායිකාවන් ගේ මනාපයෙන් සැබෑ මන්ත්‍රී හාමුදුරුවරුන් ලෙස තේරී පත්වූහ. ඒ, තිලක් කරුණාරත්න විසින් සිහළ උරුමය ලෙස අරඹා, පසුව සඟ සතුකොට පූජා කළ ජාතික හෙළ උරුමිය නම් පක්‍ෂයෙනි.

ඒ මන්ත්‍රී හාමුදුරුවරු සියලු දෙනා ම පිරිමින් බව සැක නැත!

ඇත්තටම කියනවා නම්, ඒ ඇතමුන් පිරිමින් ද කියා නිසැකවම දැන ගැනීම සඳහා වෘෂණ කෝෂ පරීක්‍ෂාවක් ද, එක් දිනයක පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණු බව දැන ගන්නට ලැබුණි.

එසේනම්, ඒ පැවිදි පිරිමින් නඩය එදා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට සහ පසුව දිගින් දිගටම පාර්ලිමේන්තුවට සහභාගීවීමට ඇන්දේ කොයි ඇඳුම් කට්ටලය ද?
යුරෝපීයානු කලිසම්, කමිස, කරපටි සහ කබා ද?
සිංහල හෝ දෙමළ පන්නයේ ජාතික ඇඳුමද?
එසේත් නැතිනම්, ටියුනික් කොලරය සහිත කමිසය සහ කලිසමෙන් සැදුම්ලත් කපටි සූට් එක ද?
ඒ එකක්වත් නොවේ.

ඒ මන්ත්‍රී හාමුදුරුවරුන් සියලු දෙනා දිවුරුම් දෙන්නට ඇන්දේත්, පසුව ඇන්දේත් සිවුරම ය.

එසේනම්, ඔවුන් පාර්ලිමේන්තු ඇඳුම් නීතියෙන් බේරුණේ කෙසේ ද?

ඒ අර කහ සිවුර, කාන්තාවන් සඳහා නියම වී ඇති සාරියක් ලෙස සැලකීමෙනි.

ඒ අනුව එදා ජාතික හෙළ උරුමීයේ සාදුලා පාර්ලිමේන්තු ගොස් ඇත්තේ සාරියේ පිහිටෙන් බව ඔප්පු වේ.

වත්මන් පාර්ලිමේන්තුව සඳහා කතානායක කරු ජයසූරිය විසින් පනවා ඇති නීතිවල ද, පිරිමි මන්ත්‍රීලා සඳහා සිවුරක් ඇඳීම අනුමත වී නැත.

එසේ නම්, අද පාර්ලිමේන්තුවේ සිටිනා අතුරලියේ රතන වැන්නන් එහි සිටින්නේ ද, පාර්ලිමේන්තු නීති පොතට අනුව නම් කහ සාරි පොරවා ගෙන කාන්තාවන් ලෙස ය!

ඇත්තටම ප/ලි [5:45pm AEST]:
මේ ලිපියේ කොටසක් මා ෆේස්බුකියේ වොයිස් කණ්ඩායමේ පළ කළ විට ප්‍රතිචාරයක් දක්වන ධනංජය මෙන්ඩිස් හෙළ උරුමිය මන්ත්‍රී හාමුදුරුවන්ට පෙර පාර්ලිමේන්තුවට ගිය සමසමාජයේ බද්දේගම සමිත පිළිබඳව සඳහන් කර තිබුණි.

බද්දේගම සමිත සාදු පාර්ලිමේන්තු ගොස් ඇත්තේ 2001 දී බව විකිපීඩියාව පවසයි. ඒ නිසා මුලින් ම සාරි නීතියෙන් පාර්ලිමේන්තු ගිය පිරිමියා වීමේ ගෞරවය ඔහුට හිමි ය.

හෙළ උරුමියේ සාදුලා පාර්ලිමේන්තු යන විට, සිවුර සරිය ලෙස සැලකීමේ සම්ප්‍රදායක් බිහිවී තිබුණු බව පෙනේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
රසිකොලොජි බ්ලොගය අරඹා අදට හරියටම වසර දෙකකි. අද මේ පලවෙන්නේ රසිකොලොජියේ 366 වෙනි ලිපියයි. ඒ සුවිශේෂී අංකයෙන් අදහස් වෙන දේ ඔබ සැම හොඳින් දන්නා බව මම දනිමි.

වසර දෙකක් තුළ ලිපි 366 ක් ලියා පල කිරීමටත්, හිට්ස් 400,000කට වඩා ලබා ගැනීමටත්, ෆලෝවර්ස්ලා 200+ ආකර්ෂණය කර ගැනීමත් මට නම් ලොකු ජයග්‍රහණයකි.

එසේ නමුත්, ගෙවුණු වසර මගේ බ්ලොග් ඉතිහාසයේ ඉතාම දුක්මුසු කාලය බව නොකියාම බැරි ය.

මා සිතන ආකාරයට දේශපාලනිකව මගේ හතුරන් විසින් අටවන ලද උගුල්වල අසුවී, විවිධ අඥානයින් විසින් මට අභූත චෝදනා එල්ල කිරීමත්, කිසිදු සාක්‍ෂියක් ගැන විමසීමකින් තොරව ඒ මුසාවාද පිළිගන්නා පිරිසක් බ්ලොග් ලියන්නන් සහ කියවන්නන් අතර සිටින බව දැන ගැනීමට ලැබීමත් මගේ බ්ලොග් ඉතිහාසයේ කනගාටුදායක ම සිදුවීම විය.

එකොළොස් වසරකටත් එපිට 2005 අප්‍රියෙල් මාසයේ සිංහල බ්ලොග්කරනයට පිවිස, 2009 ජූලි මාසයේ සිට ඉතා උනන්දුවෙන් ඒ කර්තව්‍යයේ නිරත වුණු මා සිංහල සැමවිට ම ක්‍රියා කළේ බ්ලොග් අවකාශයේ, බ්ලොග් ලියන්නන් ගේ යහපත පිණිස ම බව දන්නෝ දනිති.

මගේ එකම සතුට එයයි!

මිතුරු සතුරු සැමට ජයවේවා!

Wednesday, 26 October 2016

365. පිරිමි අපිට ඇයි කෙනෙහිළි? Black and white men and colourful women


මට මතක ආකාරයට විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රදානොත්සවයක් හෝ එවැනි වැදගත් ගරු ගාම්භීර උත්වයක් සඳහා හෝ මට ලැබුණු අවසර/ආරාධනා පතේ ඒ උත්සවයට සහභාගීවෙන්නන් ඇඳිය යුතු ඇඳුම් ගැන යම් ඉඟියක් දී තිබුණි. එහිදී පිරිමි පක්‍ෂයට තරමක සීමා පනවා තිබුණු අතර කාන්තාවන් සම්බන්ධයෙන් පවසා තිබුණේ ඔවුන් උත්සවයට "උත්කර්ෂයක්" සපයන ආකාරයේ ඇඳුමෙන් සැරසී එනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.

උත්කර්ෂයක් සැපයීම යනු මොන මංගල්‍යමය අරුතක්දැයි සොයා බැලූ මට දැන ගන්නට ලැබුණේ ඒ ආරාධනා පත්‍රයේ කියවුණේ, ඔබ පිරිමියෙකු නම් එක්කෝ සුදු ජාතික ඇඳුම නැතිනම් සුදු කමිසය සහ කළු කලිසම නැතිනම් තද වර්ණයේ යුරෝපීය ඇඳුම පමණක් ඇඳිය යුතු බව ද, නමුත් ඔබ කාන්තාවක නම් වර්ණාවලියේ ඕනෑම වර්ණයක ඇඳුමෙන් සැරසී එන්නට වරම් ලබා දී එලෙස සැරසී එන ලෙස ආදරබර ඉල්ලීමක් ද කර තිබුණු බව ය.

පිරිමි අපට ඇයි කෙනෙහිළි? මට සිතුණි!

මා ලියූ "සුදු කලිසමේ පින්වන්තකම" ලිපියේ සඳහන් කළ පරිදි, පාසල් යන කාලයේ ප්‍රාථමික පාසල් අවධියෙන් පසු, අපට නියමිත තිබුණේ තනිකරම සුදු කමිස සහ සුදු කලිසම් ඇඳීමට ය. නමුත්, උසස් පෙළ සමයේ දී පාසල් ඇඳුම් මස්සවා ගැනීමේ ක්‍රියාවලියේ දී දෙමව්පියන් ගේ තීරණවලට අපට ද යම් බලපෑමක් කළ හැකි වුණු නිසා, යාන්තම් ලා ක්‍රීම් පැහැති ඇඳුම් ඇඳ ෂේප් වීමට අපට ඉඩ කඩ ලැබුණි. පාසලේ සිටි අයිසා, දසයා, ජඩයා, එඩිසා ආකාරයේ ආදරණීය නම්වලින් හැඳින්වුණු විනය පාලකයින් ඒ ගැන වැඩි තැකීමක් කළ බවක් නොපෙනුණි. නෑදෑයින්ගෙන් ත්‍යාග ලෙස ලැබුණු මුදලකින් අප මිලට ගත්තේ ම, එක්කෝ සති අන්තයේ ටියුෂන් යෑම සඳහා අවශ්‍ය සුදු පැහැ නොවන ඇඳුම් ය.

එයින් පෙනෙන්නේ පිරිමින් ද විවිධ වර්ණයෙන් සැරසෙන්නට ප්‍රිය කරන බවයි. කොටින් ම, පන්සලකට, මළ ගෙදරකට පවා චාරිත්‍රානුකූලව අඳින සුදු කලිසම් නොඇඳ සිටිය හැකි නම් එසේ කිරීමට අපේ කිසිදු පැකිළීමක් නැත.

මෙහි දී මගේ සිහියට එන්නේ අපේ තාත්තා ය.

රැකියාවට, අවමගුලකට, මංගලෝත්සවයකට, රැස්වීමකට හෝ කුමනාකාරයේ කාරණයක් සඳහා වුව නිවසෙන් පිටතට යන විට තාත්තා ඇන්දේ සුදු ම සුදු ජාතික ඇඳුම පමණි. ඔහු පන්සල් යන්නෙකු වූවා නම් ද එහි කිසිදු වෙනසක් සිදු නොවෙනු ඇත.

තාත්තා වර්ණවත් යමක් ඇන්දා නම්, ඒ නිවසේ දී ඇඳි පිජාමා සරම් පමණකි. ඒ සරම් ද, ඉතා ලා පැහැති ඒවා විය. එනිසා ම, මා වුව ද කිසි දිනෙක ඔහුට බතික් සරමක් හෝ වෙනත් තද වර්ණයක කිසිදු ඇඳුමක් තෑගි දෙන්නට නොසිතූවෙමි.

ලංකාවේ රැකියා කළ සමයේ අපේ සේවා ස්ථානවල පිරිමින් සියලු දෙනා ම පාහේ ඇන්දේ, එක්කෝ අදාළ යුනිෆෝමයයි, නැතිනම්, ලා පැහැති කමිස සහ කළු, දුඹුරු වැනි තද පැහැති කලිසම් ය. කාන්තා පක්‍ෂයට ඒ ආකාරයේ නීති නොතිබුණි. ඔව්හූ විවිධ වර්ණයේ ගවුම් ද, සාය සහ හැට්ට ද, වර්ණාවලියේ සෑම වර්ණයකම සාරි සහ ඔසරි ද කිසිදු ප්‍රශ්නයකින් තොරව ඇන්දහ.

ගුරු සේවය වැනි සමහර වෘත්තීන් හි නිරත කාන්තාවන්ට සාරි මිස ගවුම් ඇඳීම නීති විරෝධී ආකාරයට තහනම් කර තිබීමත් කාන්තාවන් ඒ නීති මීක් නොකියා පිළිපැදීමත් වෙනම ම සාකච්ඡා කළ යුතු කාරණයකි.

ඕස්ට්‍රේලියාවේ මා සේවය කර ඇති, සේවය කරන කාර්යාලවල ද තත්වය ද ලංකාවේ සේ ම ය. පිරිමි අප සියලු දෙනා, ලා පැහැති බොත්තම් සහිත කමිසයෙන් ද, බොහෝ විට කළු හෝ සමහර විට තද පැහැති දිගු කලිසමෙන් ද සැරසී (කාලයට, දේශයට, දීපයට, කුලයට අදාළ පරිදි ටයි සහ කෝට් සහිතව) සේවයට එන්නෙමු.
තද පැහැති කමිසයක් හෝ ටී-ෂර්ටයක් හෝ අඳින්නේ සිකුරාදා නොහොත් "කැෂුවල් ෆ්‍රයිඩේ" දිනයට පමණි.

කාන්තා පක්‍ෂය නම් තමන් රිසි පරිදි විවිධ වර්ණයේ, විවිධ මෝස්තරයේ ඇඳුමින් සැරසී සේවයට එති. අත් දිග, අත් තුන්කාල, අත් කොට මෙන්ම අත් නැති බ්ලවුස් ද, දිග කලිසම්, දිග සාය, කොට සාය යනාදී විවිධාකාරයේ ඇඳුම් ද ඔව්හූ අඳිති.

ළඟ එළැඹෙන ගිම්හාන සමය මේ උත්කර්ෂයේ උච්ඡස්ථානයයි. මේ කාලයේ දී පිරිමින් ගේ ග්‍රීවානුබද්ධ උලුක්කු සෑදීමේ සම්භාවිතාව උපරිම අගය ගන්නා බව කියවේ.

පිරිමි ගැහැණු ඇඳුම් පැළඳුම් ගැන මේ කෙටි සටහන් කිහිපය මා ලියූවේ ලංකා දේශපාලනයට අදාළ එක්තරා හාස්‍යජනක කාරණයක් කියන්නටයි.

ඒ කොටස, මට ද, මගේ රසිකොලොජි බ්ලොගයට ද අදාලව ඉතා වැදගත් දිනයක් වන හෙට දවසේ මෙහි පළවෙනු ඇත.

-රසිකොලොජිස්ට්

(image: https://www.aliexpress.com/popular/black-gold-suits.html)

Tuesday, 25 October 2016

ජැන්ඩියට ඇඳීම සහ ආත්මාභිමානය - You look dandy mate


සිනුවර තද සීතලක් පැවතුනු පසුගිය ශීත සිසිිරයේ මා රාත්‍රියට නිවසේ දී ඇඳ සිටි අත් දිගැති ප්ලැනල් රෙදි කමිස (මේවා ජම්පර් යැයි හැඳින්වේ) සහ එවැනිම රෙද්දෙන් මැසූ දිග කලිසම් යනාදිය ශීත සිසිරය සඳහා ම විශේෂයෙන් නිපදවූ ඇඳුම් ය.

නමුත්, මා රාත්‍රියට සීතල අඩු වසන්ත සහ හේමන්ත කාලයේ මෙන් ම රස්නය වැඩි ගිම්හාන සමයේ නිවසේ දී අඳින ටී-ෂර්ට් යනාදිය නම්, ඒවායේ කලින් ආත්මයේ මා සමග වසර දෙක තුනක් තිස්සේ එළියේ-පහළියේ ගමන් බිමන් ගිය, කාලයත්, සේදීමත් නිසා ඔපය නැති වී පරණ වූ පසු දිවා සමයේ සිට රාත්‍රී කාලයේ නිවසේ දී පාවිච්චිය සඳහා තත්වයෙන් පහළ හෙළන ලද ඒවා ය.

මට අද කවුරු කීවේදැයි නිවැරදිව අමතක අයෙකු මා සමග වරක් කීවේ, ඔහු (හෝ ඇය) පරණ වුණු ඇඳුම් කිසි දිනක නිවසේ ඇඳීම සඳහා යොදා ගන්නේ නැති බවත්, නිවසේ දී අඳින්නේ ඒ සඳහා ම විශේෂයෙන් මිළට ගත් ඇඳුම් බවත් ය.

ඒ ඇයිදැයි ඇසූ විට ඇය (හෝ ඔහු) පවසා සිටියේ නිවසේ දී, සති අන්තයේ, සවස් යාමයේ හෝ රාත්‍රී කාලයේ දී වුව, වසර කිහිපයක් පැරණි ඒවා නොව අලුතින් ම ඒ සඳහාම මිලට ගත් නැවුම් ඇඳුම් ඇඳ පැළඳ සිටීමෙන් සිතට මහත් ප්‍රීතියක්, සතුටක්, ආත්ම විශ්වාසයක් ලැබෙන බවයි.

එවැනි අයෙකු නිතර ඇහැ ගැටෙන නිවසේ අන් අයට ද, ඒ දසුන, එවැනිම වූ ප්‍රසන්න අත්දැකීමක් වන බව සැකයෙන් තොරව අපට සිතිය හැක.

සරත් විජේසූරිය ගේ සුප්‍රකට හුචක්කුව කතාවෙන් කියවුනේ ඒ කාසියේ අනෙක් පැත්ත ගැනයි, එනම්, රෑට අඳින ඇඳුම උඩින් ම හවුස්කෝට් නොහොත් හුචක්කුව පටලවා ගෙන දිවා කාලය ද ගත කරන අර්ධ නාගරික ප්‍රදේශයන්වල වෙසෙන පහළ මධ්‍යම පන්තියේ ගෘහිණියන් ගේ ඒ චර්යාව පිළිබඳව ය.

ඒ කරුණු කෙසේ වෙතත්, ජැන්ඩියට හෙවත් ඩැන්ඩි ලෙස ඇඳ පැළඳ සිටීමෙන් සිතට මහත් ප්‍රීතියක් පමණක් නොව, ධෛර්යක් සහ ආත්මාභිමානයක් ද, ඉමහත් චිත්ත ශක්තියක් ද ලැබෙන බව මම පසුගිය මාස හතරක පමණ කාලයේ දී හොඳින් වටහා ගත්තෙමි.

පසුගිය මැයි මාසයේ දී සිදුවුණු, මා සේවය කරන කාර්යාලය සිනුවර උතුරු ප්‍රදේශයේ සිට අපේ නිවස පිහිටි බටහිර දෙසට කිලෝමීටර් තිහක් පමණ විතැත් වීමත්, ඒ සමගම කෙරුණු "වැඩ-අනුව-ඉඩ" යැයි මා නම් කළ කාර්යාල සැලසුමේ වෙනසත් පිළිබඳව මා මින් පෙර රසිකොලොජියේ ලිපි දෙකක් ම ලියා තිබේ.

ඒ වෙනසත් සමගම, අපේ ප්‍රදේශයට ශීත ශිශිරය ද උදා විය. අලුත් කාර්යාලයේ, අලුත් ජීවිතය වෙනස් ආකාරයකට ඇරඹීමට සිතු මම, සම්පූර්ණ යුරෝපීය ඇඳුමින්, එනම්, ටයි සහ කෝට් ද පැළඳ සේවයට යාම ඇරඹූවෙමි.

මා අවසන්වරට මේ ආකාරයේ ෆුල් සූට්කාරයෙකු ලෙස සේවයට ගියේ මීට වසර දහයකට කලින් බැලරැට් විශ්ව විද්‍යාලයේ සිඩ්නි ශාඛාවේ සේවය කළ සමයේ දී ය.

උසස් අධ්‍යාපන සේවයේ ඒ වෘත්තීය ජීවිතය සදහටම අතහැර දමා, ප්‍රාන්ත රජයේ අධිකාරියක සේවය ඇරඹූු පසු, මුලින් ම 2007 දී ම, කෝට් බෑය අතහැර දැමුවෙමි. ඉන් පසුව 2010 දී එලැඹි ගිම්හාන සමයේ දෙසැම්බරයේ දී ටයි පටිය ද අමතක කර දැමුවෙමි.

යළිත් ටයි පොල්ල බෙල්ලේ ගැට ගසා කෝට් බෑය හැඳගත් පසු ශීත ශිශිරයේ කරදරයෙන් බේරීමට ඉඩ ලැබුණා පමණක් නොව සිතට ද උදෑසනම විශාල ප්‍රබෝධයක් ඇති වී දවසම ඒ සතුට සිතේ පැවතෙන බව මම අත් වින්දෙමි.

මග තොට දී, කාර්යාලයේ දී මා දකින කාන්තා පාර්ශවයේ අයට ද, හුචක්කු විලෝම චින්තා පහල වෙන්නට ඇතුවාට සැක නැත!

කාර්යාලයේ ඇතමුන් මා අසලට පැමිණ "යූ ලුක් ඩැන්ඩි මේට්!" යැයි කියමින් මගේ ඒ පිළිවෙලට ඇඳීමේ වැඩපිළිවෙළට "ප්‍රසංශා" කළහ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ අපට ගෙවෙන්නේ මල්බර වසන්තයයි. තවත් මාසයකින් පමණ රුදුරු ගිම්හානය එළැබීමට නියමිත ය. දැනටමත් කෝට් බෑය අතැර දමා ඇති මම, ටයි පොල්ල ද ගලවන්නට කල් මරමින් සිටිමි. පසුගිය ගිම්හානයේ කළ ආකාරයට අත් දිග කමිසද අතහැර, අත්කොට කමිසයට බසින්නට මට හැකි වෙනු ඇත!

හැබැයි, මා සතුව ඇති එකම සුදු කලිසම නම් තවම මා කාර්යාලයට යෑමේ දී ඇඳ නැත.

Monday, 24 October 2016

සුදු කලිසමේ පින්වන්තකම - What's so good about white?


ලංකාවේ රජයේ පාසල්වල පිරිමි ළමුන් ගේ නිල ඇඳුම ලෙස සුදු කලිසම නියම කර ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි මට සිතා ගත නොහැක. සුදු කලිසමක් ඇඳීම යනු, මඩ, දුවිලි, කුණු සහ වෙනත් පැල්ලම්වලට "එන්න මෙයාලා!" කියා අත වැනීමකි.

ඒ වෙනුවට කළු කලිසමක් නියම කර තිබුණා නම්, අපේ කාලයේ නම් සන්ලයිට් හෝ වොන්ඩර්ලයිට් සබන් බාර් ගණනාවක් ම ඉතුරු කර ගන්න ද, දැන් කාලයේ නම් රෙදි සෝදන කුඩු ද, රෙදි සෝදන මැෂින් ක්‍රියාත්මක වන පැය දහස් ගණනක් ඉතුරු කර ගන්නට ද තිබුණි.

පාසල් කාලයෙන් පසු අප බොහෝ දෙනෙකු එකම සුදු කලිසමක් හෝ නොමහන්නේ, මිලදී නොගන්නේ ඒ සුදු කලිසම් ඇඳීමේ ඇති අපහසුකම මොනවට ඔප්පු කරමිනි.

සුදු කමිස සම්බන්ධයෙන් තත්වය මෙය නොවේ. යට බාගේ මෙන් නොව උඩ බාගේ කිලුටු වීම සාමාන්‍යයෙන් අඩුය. අනිත් වැදගත් කරුණ නම් කමිසයක් නිවසේ දී ම සෝදා පිරිසිදු කර ගැනීමට වැය කළ යුතු මුදල ද, එසේ නැති නම්, ලොන්ඩරි හෝ ඩ්‍රයි ක්ලීන් ගාස්තු ද කලිසමකට වැය වෙන ප්‍රමාණයට වඩා සෑහෙන්න අඩු වීමයි.

අනෙත් වැදගත් කරුණ නම්, සම්මුඛ පරීක්‍ෂණයක් වැනි අවස්ථාවක් සඳහා කළු පැහැති කලිසමක් සමග සාමාන්‍යයෙන් සුදු කමිසයක් ඇඳීම සිරිත වීමයි. සුදු කමිසයකට ඕනෑම වර්ණයක ටයි පොල්ලක් ද ජාඩියට මූඩිය මෙන් ගැළපේ.

පාසල් සමයෙන් පසු අපට සුදු කලිසමක් අවශ්‍ය වෙතොත් ඒ මළගමකට සහභාගී වීමට පමණි. ඒ සඳහා ද පෙර කී සම්මුඛ පරීක්‍ෂණවලට සහභාගී වීම සඳහා අඳින කළු කලිසම සහ සුදු කමිසය ම ඇඳ ෂේප් විය හැකි බව මගේ අත්දැකීමයි.

මීට වසර හතරකට පමණ පෙර ලංකාවට නිවාඩුවකට ගිය වේලේ, මගේ දීර්ඝකාලීන ඇඳුම් මසන්නා වන පිළියන්දල පුවක්ගස් හන්දියේ "නිව් රත්න ටේලර්ස්" සාප්පුවට මා ගියේ සුපුරුදු පරිදි කලිසම් කිහිපයක් මස්සවා ගැනීමටයි. කාර්යාලයට ඇඳීම සඳහා තද පැහැති කලිසම් දෙකතුනක් මැසීමට ඇණවුම් කළ මම, හදිසියේ ආ අදහසක් අනුව පාසල් සිසුන් අඳින ආකාරයේ සුදු පැහැති රෙද්දකින් ද කලිසමක් රත්නපාල ලවා මස්සවා ගතිමි.

මා සතුව තිබුණු සුදු පැහැති කමිසසයක් සමග මා මුල්වරට ඒ සුදු කලිසම ඇන්දේ ආපසු ඕස්ට්‍රේලියාවට පැමිණිමෙන් පසු, අපේ නිවසේ සිට බටහිරට කිලෝ මීටර් පනහක් පමණ දුරින් පිහිටා ඇති කටුම්බා ආරන්‍යයට යෑමටයි. ඒ එහි වැඩවසන කුඩාගල කෝවිද හිමියන් සහ තවත් සාදුලා දෙදෙනෙකුව, අපේ නිවසේ සිට ඊසාන දිගින් කිලෝමීටර් තිහක් පමණ දුරින් ස්කෝෆීල්ඩ් හි පිහිටි ලංකාරාමයේ එදින පැවැත්වීමට නියමිතව තිබුණු කටින පිංකම සඳහා වැඩම කරවාගෙන යාමටයි.

උදේ රුයින් ම නිවසෙන් පිටත් වී, විනාඩි හතළිස් පහක් පමණ කාලයක් මග ගෙවා කටුම්බා ආරණ්‍ය සේනාසනයට ළඟා වුණු මම, එහි නිත්‍යවාසී කුඩාගල කෝවිද හිමියන් සහ තාවකාලිකව ලංකාවෙන් පැමිණ සිටි තවත් භික්‍ෂුවක් ද කැටුව පිටත්වුණේ කටුම්බා ආරණ්‍යයට කිලෝමීටර් දහයක් පමණ දුරකින් පිහිටි වෙනත් ආරාමයක වසන චීන ජාතික භික්‍ෂුවක් වාහනයට නංවා ගැනීමටයි.

වාහනයේ දී කෝවිද හිමියන් මගෙන් විමසුයේ මා බලාපොරොත්තු නොවුණු ආකාරයේ පැනයකි.

"කොහෙන්ද මහත්තයා, ඔය සුදු කලිසම ගත්තේ?"

"මං සැප්තැම්බරයේ ලංකාවට ගිය වෙලේ මස්සවා ගත්තා හාමුදුරුවනේ!" මම පැවසීමි.

"ආ ඒක මිසක්!"

"ඇයි හාමුදුරුවනේ එහෙම ඇහැව්වේ?"

"නෑ මහත්තයා, සුදු කමිස ඇඳගත්තු පිරිමි ඈයෝ පන්සලට ආවට, සුදු කලිසමක් ඇඳපු කෙනෙක් දකින්නේ ම නැති තරම්!" කෝවිද හාමුදුරුවෝ පැවසූහ.

කළු, දුඹුරු, නිල් ආදී විවිධ වර්ණයේ රෙදිවලින් නිමවුණු කලිසම් ඕනෑ තරම් මිලට ගැනීමට ඕස්ට්‍රේලියාවේ සාප්පුවල තිබුණ ද, ඒ අතර සුදු පැහැති කලිසම් තිබෙනු මා ද දැක නැති බව මට එවෙලේ සිහිවිය. සුදු පැහැයෙන් යුතු එක කලිසම් වර්ගය නම්, ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අඳින වර්ගයේ ඒවා පමණි!

මසා නිම කළ කලිසම් මිස, ටේලර් මේඩ් / බෙස්පෝක් කලිසම් තමන් ගේ මිනුම්වලට මස්සවා ගැනීම ඕස්ට්‍රේලියාවේ අධික වියදම් සහගත වැඩකි. සාප්පුවකින් මිල දී ගන්නා ඇඳුමක, කකුලක් කොට කර ගැනීම වැනි දෙයකට පවා ලංකාවේ දී ටේලර් මේඩ් කලිසමක් මසා ගැනීමට යන මුදල ම වැයවේ.

වසරකට වරක් දෙවරක් පමණක් පන්සලට යන මට, සැදැහැවත් උපාසකයෙකු ලෙස ශ්වේත වර්ණයෙන් සැරසී අඩුවශයෙන් පිටතින් හෝ සිල්වත්කමක් පෙන්වීමට හැකිවීම ගැන මට ඇති වුණේ සතුටකි.

-රසිකොලොජිස්ට්

(image: http://www.intro-clothing.com/blog/2016/06/cristiano-ronaldo-summer-inspired-outfit/)

Friday, 21 October 2016

පෝලීන් හැන්සන්, තෑන්ක්ස් මේට්! - Pauline Hanson, Thanks Mate!


"මගේ දෙයියා සහ උඹේ දෙයියා" යන ලිපියෙන් ඇරඹී, "ගංගොඩවිල සෝම සහ දෙයියෝ" යනුවෙන් ශාකාවක්ව විහිදී, "පෝලීන් හැන්සන් යනු කවුද"" යනුවෙන් පැතිරී ගිය දිගු කතාවේ මේ දිග හැරෙන්නේ තවත් පුරුකකි.

මේ සටහනේ අන්තර්ගතය මා මුලින් ම ප්‍රකාශ කළේ 1996 දී මෙල්බර්න් නුවර 3ZZZ ගුවන් විදුලි සේවයේ සිංහල වැඩසටහනට දුරකථනයෙන් අමතමිනි. ඒ මා "පෝලීන් හැන්සන් යනු කවුද?" යන සටහනේ සඳහන් කළ පරිදි පෝලීන් හැන්සන් නමැති කාන්තාව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් තේරී පත් වී ඇගේ මංගල කතාව පැවත්වූ සමයේ දී ය.

ඉන් වසර දහතුනකට පමණ පසුව ඇය දෙවන වරට දේශපාලනයට පිවිසෙන්නට තැත් කර පරාජය ලැබූ සමයේ මගේ ඒ අදහස ලිපියක් ලෙස සැකසී ඕස්ට්‍රේලියාවේ "පහන" මාසික සඟරාවේ පළවිය.

පසුගිය ජූලි මස පැවැත්වුණු මහමැතිවරණයේ දී ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාවට පෝලීන් හැන්සන් තේරී පත්වූ අතර මගේ ලිපියේ සංස්කරණය කරණ ලද පිටපතක් "සන්නස" මාසික සඟරාවේ පළවිය.

පහත දැක්වෙන්නේ එහි රසිකොලොජි සංස්කරණයයි.

පෝලීන් හැන්සන් යනු කවුද ලිපියේ සඳහන් වූ පරිදි, ස්වදේශික ඇබොරිජිනල් ජනතාව පිළිබඳ ආන්දෝලාත්මක ප්‍රකාශයක් කිරීමේ වරදට තම පක්‍ෂයෙන් ඉවත් කරන ලද පෝලීන් හැන්සන් තමා පාර්ලිමේන්තුවේ දී කළ මුල් ම කතාව නිසා ඊටත් වඩා කූප්‍රසිද්ධියට පත් වූවා ය. නමුත් ඇයට සහය පළ කරන පිරිස් ද රට පුරා සිටියහ.

ඔවුන් ගේ සහය ද ඇතුව පෝලීන් හැන්සන් ”වන් නේෂන්” නම් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තාය. සාමාන්‍යයෙන් ප්‍රගතිශීලී කොටස් ඇයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළ ද, පොදු ජනතාවගෙන් සියයට දහයක පමණ විශාල ප්‍රමාණයක් ඇයට පක්ෂ බව පෙනී ගියේ ය. තවත් බොහෝ පිරිස් ඇයට නිහඬ සහයෝගය දක්වන බව පැහැදිලි විය.

සමානාත්මක සමාජයක් (Egalitarian) පවතින ඕස්ට්‍රේලියාව ජාති භේද මත ධ්‍රැවීකරණය වී, අපට ආපසු ශ්‍රී ලංකාවට යන්නට වේ දැයි විටෙක මට නොසිතුණා නොවේ.

කම්කරු පක්ෂය කෙසේ වුවද, ගතානුගතික දේශපාලකයෙකු වූ එවකට අගමැති ජෝන් හාවඩ් නම් පෝලීන් හැන්සන් ගේ අදහස් වලට විරුද්ධ නොවී ඇල්මැරුණු ස්වභාවයක් පෙන්නූයේ කලකට ඉහත ඔහු ද මෙවැනිම අදහස් පල කළ අයෙකු වූ බැවිනි. ස්වදේශික ඇබොරිජිනල් ජාතිකයන් ගැන නම් ඔහු ගේ අදහස් එවකටත් (1996) එලෙසම විය.

මුලදී යම් ප්‍රගතියක් පෙන්නුම් කළත්, පෝලීන් හැන්සන් ගේ දේශපාලන ගමන ඉතා වේගයෙන් වල පල්ලට ගියේය. ඇගේ පාර්ලිමේන්තු කාලය වසර තුනකට පමණක් සීමා වූ අතර, වන් නේෂන් පක්ෂය කැඩී දියවී අවසානයේ මැතිවරණ අරමුදල් වංචාවකට අසුවී ඇයට වසරක් පමණ කාලයක් සිරබත් කන්නට ද සිදුවිය.

ඉන් පසු ටික කලක් දේශපාලනයෙන් පසු බැස සිටි සහ වරක් එංගලන්තයට සංක්‍රමණය කරන්නට පවා සැරසුණු පෝලීන් හැන්සන් පසුව දෙතුන් වරක් ප්‍රාන්ත මට්ටමේ ඡන්දවලින් ද පැරදුණා ය.

නමුත් මෙවර වසර විස්සකට පසු 2016 දී ඇය යළිත් ජය ගත්තේ ෆෙඩරල් සෙනෙට් සභාවේ ආසන තුනක් ම ඇගේ වන් නේෂන් පක්ෂයට දිනා ගනිමිනි.

එදා 1996 දී මෙල්බර්න් 3ZZZ සේවයෙන් කතාකරමින් මා මේ පහත අදහස ප්‍රකාශ කළේ අපේ සිංහල සංක්‍රමණික ජනතාවට වැදගත් පණිවිඩයක් ලබා දෙන්නයි.
කවුරු මොනවා කිව්වත්, මා නම් පෝලීන් හැන්සන් ට සැමදා ස්තුතිවන්ත වෙන කාරණයක් තිබේ. එනම්, සුළු ජාතිකයෙකු ලෙස සිතීමේ අවස්ථාවක් ඇය සිංහල අපට ලබා දීමයි.

උපන් දා සිට දශක දෙක තුනක් ලංකාවේ මහ ජාතියේ සාමාජිකයෙකු වශයෙන් ජීවත් වෙමින් සිටි අපට සුළු ජාතිකයන් සිතන්නේ කෙලෙසද යන්න පිළිබඳව කිසිදු අත්දැකීමක් ලබා ගත නොහැකි වූ බව සත්‍යයකි.

"දෙමළ මිනිස්සුන් ට ඇත්තේ මොන ප්‍රශ්න ද ඕයි?" යනුවෙන් අවස්ථාවාදී ජාතිවාදී දේශපාලන මත දරන්නන් විසින් ප්‍රශ්න කරන විට එයට විරුද්ධ වීමට වඩා එකඟ වීම අප බොහෝ දෙනෙකුට ඉතා පහසු විය.

නමුත් පෝලීන් හැන්සන් සංසිද්ධියෙන් ඇති වී තිබෙන තත්වය නිසා, අප ඕස්ට්‍රේලියාව තුළ සුළු ජාතිකයින් ය යන හැගීම අපේ සිත් තුළට කා වැදෙන්නටත්, ඒ සමගම ඇතිවෙන බිය, සැක, චංචලත්වය සහ අනාරාක්ෂිත හැඟීම් නිසා, මහ ජාතියේ බලය පෙන්වන විට සුළු ජාතිකයෙකු මුහුණ පාන තත්වය ගැන සැබෑ අත්දැකීමක් ලබා ගන්නටත් අපට පෙර නොලැබුණු අවස්ථාවක් උදා වී ඇත.

පෝලීන් හැන්සන්, මම ඒ පිළිබඳව ඔබට සදා ණය ගැති වෙමි.
මා 1996 දී ඒ කළ ප්‍රකාශය ද, පසුව 2009 දී එය ලිපියක් ලෙස මුල් වරට පළ කිරීමෙන් ද, නැවතත් පසුගිය මාසයේ එහි සංස්කරණයක් පළ කිරීමෙන් ද, අද මේ බ්ලොග් ලිපිය නිසා ද, කිහිප දෙනෙකු හෝ මේ ගැන සිතන්නට පෙළඹුණා නම්, එය මගේ අරමුණ සාර්ථක වීමකි.

-රසිකොලොජිස්ට්

(image: sannasa.com)

Wednesday, 19 October 2016

තරුණ නළුවන් දෙදෙනෙකුට පොඩි ප්‍රචාරයක් - Have you seen "Moron's Vines and Stuff" YouTube Chanel?


"මාවෝ තූන්" නමැති සිරකරුවෙකු ලෙස "නොම් පෙන් ගේම්ස්" කෙටි නාට්‍යයේ රඟපාමින් මා පසුගිය සෙනසුරාදා ඉදිරිපත් කළේ මගේ මුල් ම ප්‍රසිද්ධ වේදිකා රංගනයයි. ඒ මාවෝ තූන් චරිතයට අමතරව, වේදිකාව පිටුපස සිට නොම් පෙන් සිද්ධස්ථානයේ පූජ්‍යපාද අධිපති ලෙස ද, ඔහු නොකළ මිනීමැරුම් ගැන මාවෝ තූන්ගෙන් පාපෝච්චාරණයක් ලබා ගැනීමට තැත් කළ වදකයින් දෙදෙනා වූ "පොල්" සහ "පොට්" ගේ ලොක්කා ලෙස ද, මම තිරයෙන් පිටුපස සිටිමින් ගුවන් විදුලි නාට්‍යයක මෙන් අමතර රඟපෑම් දෙකක් ද කළෙමි.

අපේ නාට්‍යයේ පොල් සහ පොට් චරිත ද්වය මනා ලෙස රඟපෑවේ භාෂිත හෙට්ටිගොඩ සහ ඉසුරු කළුබණ්ඩාර නම් සිනුවර වෙසෙන තරුණ නළුවන් දෙදෙනා ය.

"නොම් පෙන් ගේම්ස්" නාට්‍යය රඟ දැක්වුණු සිඩ්නි සිංහල කෙටි නාට්‍ය උලෙළේ දී වේදිකාගත වුණු තවත් නිර්මාණයක් වූ ශ්‍රියාකාන්ති රණසිංහ ගේ "එල්ලිල මැරුණනෙ පොඩි නෝනා" නම් නාට්‍යයේ ද, භාෂිත හෙට්ටිගොඩ සහ ඉසුරු කළුබණ්ඩාර දක්‍ෂ ලෙස රඟ පෑහ.

මා මේ සැරසෙන්නේ, රංගන කුසලතාවයෙන් පිරි මේ තරුණ නළුවන් දෙදෙනා රඟපාන විකට රංගන සහිත යූටියුබ් නාලිකාව ඔබට හඳුන්වා දෙන්නයි.

යූටියුබය හරහා තම රංගන ඉදිරිපත් කරන ශ්‍රී ලාංකිකයින් අතරින් ඉදිරියෙන් ම සිටින්නේ ජෙහාන් ආර් ය. මා සිතන ආකාරයට මෙල්බරන් නුවර වසන ඔහු නිර්මාණකරණයේ යෙදෙන්නේ ඉංග්ලිෂ් භාෂාවෙන් නමුත් නිරතුරුව සිංහල භාෂා යෙදුම් ද භාවිතා කරයි. පසුගිය දා, ඔක්ස්ෆර්ඩ් ඉංග්ලිෂ් ශබ්දකෝෂයට එක් වූ "අයියෝ" යන වචනය ප්‍රචලිත කිරීමේ ලා ජෙහාන් ද සම්මාදම් වූ බව මගේ අදහසයි.

මා ජෙහාන් ගේ නිර්මාණවලට කෙතරම් කැමති වූයේ ද යත්, බ්ලොග් ලොවෙන් තාවකාලික විරාමක් ගෙන සිටි 2014 වසරේ මැද භාගයේ මට ද යූටියුබය හරහා සිංහල වීඩියෝ බ්ලොගයක් හෙවත් "ව්ලොගයක්" ඇරඹීමට සිත් වූ නමුත් එය පසුවට කල් දැමීමි.

ඊළඟට මා දුටුවේ, ගප්පියා ගේ වීඩියෝ ය. ගප්පියා වාසය කරන්නේ සිනුවරට උතුරෙන් පිහිටි නිව් කාසල් නගරයේ යැයි සිතමි. ඔහු නිර්මාණය කළ මිහිඳු හිමියන් සමග සෙල්ෆියක් ගන්නට සැරසෙන දේවානම්පිය තිස්ස රජු ගේ කාටූනය නිසා ගප්පියා පිළිබඳ සෑහෙන සාකච්ඡාවක් සිංහල බ්ලොග් ලෝකයේ ද ඇතිවිය.

මෙල්බරන් නුවර වාසය කරන පොඩ්ඩා ගේ වීඩියෝ ද මා සිත ගත්තේ ය. ඔහු නම් මේ දිනවල ලංකාවේ බව කියවේ.

"නොම් පෙන් ගේම්ස්" නාට්‍යයේ රඟ පෑ, භාෂිත හෙට්ටිගොඩ සහ ඉසුරු කළුබණ්ඩාර ගේ යුටියුබ් චැනලය නම් කර ඇත්තේ "මෝරෝන්ස් වයින්ස් ඇන්ඩ් ස්ටෆ්" (Moron's Vines & Stuff) ලෙසිනි. එහි මේ වන විට වීඩියෝ 66 ක් අඩංගු අතර ඉන් අඩකට වඩා මම නරඹා ඇත්තෙමි.

කොළඹ නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ඉසුරු කළුබණ්ඩාර තම මව්පියන් සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කර ඇත්තේ මීට වසර දොළහකට පමණ පෙර ය. ඉන් පසු සිනුවර තදාසන්නයේ චෙරිබෘක් උසස් විද්‍යාලයේ සහ යුනිවසිටි ඔෆ් ටෙක්නොලොජි සිඩ්නි (UTS) හි අධ්‍යාපනය ලැබූ ඔහු අද ප්‍රධාන පෙළේ ආයතනයක රැකියාවක නිරත වයස විසි පහක පමණ තරුණයෙකි.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ උගත් භාෂිත හෙට්ටිගොඩ, ගිය වසරේ ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ අන්තර්ජාතික ශිෂ්‍යයෙකු ලෙස UTS හි අධ්‍යාපනය ලැබීමටයි. ඔහු වයස විසි එකක පමණ තරුණයෙකි.

"මෝරෝන්ස් වයින්ස් ඇන්ඩ් ස්ටෆ් යුටියුබ් නාලිකාවේ" මා නරඹා ඇති නිර්මාණ අතුරෙන් වැඩි කොටසක් මා සිත ගත්තේ ය. ඒ අපේ නළුවන් දෙදෙනා ගේ රංගනය සහ වීඩියෝවල අන්තර්ගතයේ අඩංගු වූ උපහාස රසය නිසා ය.

නමුත් සමහර නිර්මාණවල අන්තර්ගතය අප මීට කලින් අසා ඇති කතා අනුසාරයෙන් ගොඩ නගා ගත් ඒවා බව පෙනුණි. එසේම, එහි ඇති නිර්මාණ කිහිපයක් ඒවායේ ඇති පොලිටිකලි ඉන්කරෙක්ට්බව (not politically correct) නිසා ඉවත් කළ යුතු යැයි ද මම සිතමි.

අලුත් අදහස් උපයෝගී කරගෙන තමන්ගේ රංගන කුසලතාවය හරහා ඒවා ඉදිරිපත් කරමින් ඉදිරියට යාමට මේ තරුණ නළුවන් දෙදෙනාට සහ ඔවුන් ගේ සහය නළු, නිළි පිරිසට හොඳ ශක්‍යතාවක් ඇති බව පැහැදිලිවම පෙනේ.

යුටියුබ් අවකාශයේ ඔවුන් ගේ ඉදිරි ගමන සාර්ථකවන්නේ ඒ වීඩියෝ නරඹන පිරිස වැඩිවීම අනුව නිසා, "මෝරෝන්ස් වයින්ස් ඇන්ඩ් ස්ටෆ් යුටියුබ් නාලිකාව" නරඹා අපේ තරුණ නළුවන් දෙදෙනාට සහ ඔවුන් ගේ කණ්ඩායමට සහයෝගය දෙන්නැයි මම ඔබට යෝජනා කරමි.

ඔවුන් ගේ යූටියුබ් චැනලය: "Moron's Vines & Stuff"

ෆේස්බුක් පිටුව: https://www.facebook.com/MoronVinesAndStuff/

-රසිකොලොජිස්ට්

(Photo by Vijitha Thalpavila)

Monday, 17 October 2016

කොමිසාර් හුන් කෙන්, පොල්, පොට්, මාවෝ තූන් සහ නොම් පෙන් ගේම්ස් - A turning point? Lets hope so!


අසමසම නාට්‍ය ජීවිතයක් ගැන රේඛීය කාල රේඛාවක ලියවෙමින් තිබුණු කතාංග මාලාව මදකට නවතා, පසුගිය සෙනසුරාදා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යයේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ, සිඩ්නි තදාසන්න ඩියුරල් ග්‍රාමයේ රංග ශාලාවක දී පැවැත්වුණු සිඩ්නි සිංහල කෙටි නාට්‍ය උත්සවයේ එක් නාට්‍යයක් වූ "නොම් පෙන් ගේම්ස්" පිළිබඳව සටහනක් තබන්නට සිත්විය.

මා ලියා පළ කළ "පෝස්ටර් නිහාල්" නම් ලිපියෙන් රසිකොලොජියට හඳුන්වා දුන් සහ පසුව ලිපි දෙක තුනකම නම සඳහන් වුණු මා මිත්‍ර නිහාල් රූපසිංහ විසින් රචනා කරන ලදුව, නිහාල් රූපසිංහ ගේ සහ තිලක් රණසිංහ ගේ සම අධ්‍යක්‍ෂණයෙන් වේදිකාගත වුණු නොම් පෙන් ගේම්ස් හි අන්තර්ගතය කෙටියෙන් මෙසේ ය.

කාම්බෝජය නම් රටක "නොම් පෙන්" නුවරක වාසය කළ, එහි නීති සම්පාදක මණ්ඩලයේ කොමිසාර්වරයෙකු වන "හුන් කෙන්" වෙඩි වැදී මරණයට පත් වී ඇත. ඔහු ගේ මරණ පරීක්‍ෂණය භාර වී ඇත්තේ කාම්බෝජයේ සීඅයිඩී හි "පොල්" සහ "පොට්" නම් නිලධාරීන් දෙදෙනාට ය.

මූලික සාක්‍ෂි කැඳවීමේ දී, නොම් පෙන් සිද්ධස්ථානයෙන් අධිපති තැන මියගිය කොමිසාර් හුන් කෙන් ගේ සිල්වත්කම වර්ණනා කළ ද, හුන් කෙන් ගේ දියණිය, "සෝන්", පවසන්නේ ඇය කුඩා කල ඇගේ මව ද මෙලෙස මිය ගිය බවත්, එහි රහස ඇය හෙළි කරාවි යැයි සැක කළ ඇගේ පියා ඇයව බිය කර, මානසික රෝහලකට පවා යැවූ බවත්, ඉන් පසු නිවසේ කලින් කලට මෙහෙකාරියන් රැසක් සිටි බව සහ ඔවුන් බොහෝ දෙනෙකු ද නතර වූයේ රෝහල්වල බවත් ය.

නිවසේ මෙහෙකාරිය වූ "චණ්ඩා" පවසන්නේ ඇය මේ මරණය වූ දින කුස්සියේ වැඩ කරමින් සිටියදී, කොමිසාර් හුන් කෙන් පැමිණ, අධික ලෙස මත්පැන් පානය කර, ඇයට කාමරයට යාමට කතා කළ බවත්, ඇය එයට එකඟ නොවූ බවත් ය.

ඔවුන් ගේ සාක්‍ෂිවලින් කොමිසාර් හුන් කෙන් ගේ මරණය සිදු වූ ආකාරය හෙලිවීමට ඉඩ ඇති බව පොල් සහ පොට් ඔවුන් ගේ ලොක්කා ට දුරකථනයෙන් දන්වති. ලොක්කා ගෙන් උපදෙස් ලැබෙන්නේ හුන් කෙන් ගේ නිවසේ මෙහෙයකාරීය වන චණ්ඩා ගේ සැමියා වන මිනීමැරුම් චෝදනාවලට වරදකරුව සිරගත වී සිටින "මාවෝ තූන්" නම් පුද්ගලයා හිරෙන් පන්නාගෙන මේ මිනීමැරුමට පාපෝච්චාරණයක් ලබා ගන්නා ලෙසයි.

කොච්චි මිරිස් සාත්තුව, ධර්ම චක්‍රය සහ තවත් නොයෙකුත් දස වධ සහ පහරදීම්වලට ලක්වුණද මාවෝ තුන් තමන් නොකළ මිනීමැරුමක් සඳහා පාපෝච්චාරණය නොකරයි.

අවසානයේ ලොක්කා උපදෙස් දෙන්නේ මාවෝ තූන් ගේ බිරිදවන හුන් කෙන් නිවසේ මෙහෙකාරිය චණ්ඩා අත්අඩංගුවට ගෙන ඇය මරණ බවට තර්ජනය කර අවශ්‍ය පාපෝච්චාරණය ලබා ගන්නා ලෙසයි.

චණ්ඩා සහ මාවෝ තූන් වධකාගාරයේ දුක් විඳිද්දී ආණ්ඩු පෙරළියක් සිදු වේ. තම ස්ථාවරය වෙනස් කරන ලොක්කා සිරකරුවෙකුට දසවද දෙන බව තමන්ට ආරංචිවූ බව පවසමින් පොල් සහ පොට් පරීක්‍ෂකයින් දෙදෙනාට බැණ වැදී ඔවුන්ට අණ කරන්නේ සාධාරණ පරීක්‍ෂණයක් පැවැත්වීමටයි.

චණ්ඩා ගේ සාක්‍ෂිය ලෙස වේදිකාවේ දිග හැරෙන ජවනිකාවේ තමන් මාවෝ තූන්ව බොරු චෝදනා මත සිරගෙට නියම කළේ, චණ්ඩා මෙහෙකාර සේවයට ගෙන ලිංගික ප්‍රයෝජන ලබාගැනීමට බව කොමිසාර් හුන් කෙන් හෙළි කරන අයුරුය. ඔහු පිස්තෝලයක් රැගෙන චණ්ඩා බිය ගන්වා ඇය දුෂණය කිරීමට සැරසෙද්දී ඇයව බේරා ගැනීමට එහි දිව එන තම දියණිය සෝන්ට පහර දෙන කොමිසාර් සෝන් ගේ මව ද මරා දැමුවේ තමා බව වෙරිමතින් පවසයි.

එහිදී ඇති වෙන පොර බැදීමේ දී පිස්තෝලය පත්තු වී කොමිසාර් හුන් කෙන් මරණයට පත්වෙයි!

විනාඩි පහළොවක් පමණ වේලාවක් රඟ දැක්වුණු මේ නොම් පෙන් ගේම්ස් කෙටි නාට්‍යයේ කොමිසාර් හුන් කෙන් ලෙස සුජීව මුදළිගේ ද, පොල් සහ පොට් ලෙස භාෂිත හෙට්ටිගොඩ සහ ඉසුරු කළුබණ්ඩාර ද, චණ්ඩා ලෙස ශ්‍රියා රණසිංහ ද, සෝන් ලෙස මිහිරි ප්‍රනාන්දු ද රඟ පෑහ.

මා රඟපෑවේ මාවෝ තූන් නම් සිරකරු ගේ චරිතයයි. ඊට අමතරව, තිරයෙන් පිටුපස සිට නොම් පෙන් සිද්ධස්ථානයේ අධිපති ලෙස ද, පොල් සහ පොට් ගේ ලොක්කා ලෙස ද, මම හඬ සැපයූවෙමි.

මේ මා විශ්ව විද්‍යාලයකින් පිටත, ප්‍රසිද්ධ වේදිකාවක කළ මුල් ම රංගනයයි.

"මරල දාපියව් මාව! මං නොකළ දෙයක් මං පිළිගන්නේ නෑ යකෝ!! මට දැන් නැතිවෙන්න දෙයක් ඇත්තෙත් නෑ!!!"

-රසිකොලොජිස්ට්

(Photo by Vijitha Thalpavila)

Thursday, 13 October 2016

සුද්දා පරංගියා කළ හැටි හෙවත් අහවලා ගේ නාට්‍යය ජීවිතයෙන් බිඳක්! - Sinhala Short Drama Festival - 15 October 2016 @ Dural, NSW, Australia


ඔහු ශාස්ත්‍ර පීඨයේ හෙවත් ආට්ස් ෆැකල්ටියේ අවසන් වසරේ සිසුවෙකි. එනම් පළමු වසරේ සිසුන් ලෙස පේරාදෙණිය මාකස් ප්‍රනාන්දු ශාලාවේ නවාතැන් ගත් අපේ අති ජ්‍යෙෂ්ඨ උත්තමයෙකි. ඔහු ගේ සැබෑ නම කුමක්දැයි මම අද ද නොදනිමි. ඒ අප සැම ඔහු හඳුනා ගෙන සිටියේ පරංගියා යන අන්වර්ථ නමෙන් නිසා ය.

විශ්වවිද්‍යාලයේ දී පටබැඳෙන මේ ආකාරයේ අන්වර්ථ නාම බහුතරයක කිසිදු තර්කානුකූල පදනමක් නොමැති වුවත්, පරංගියා යන්න අපේ කථා නායකයාට හොඳින් ගැළපෙන්නක් විය. ඉතා පැහැපත් ඔලිව් වර්ණයේ ඡවි කල්‍යාණයකින් ද, තද පැහැති බුරුසු කේශ කලාපයකින් ද, උසින් අඩි හයක් පමණ සිහින් සිරුරකින් ද යුතු වූ ඔහු ලාංකිකයෙකුට වඩා සිහිපත් කළේ යුරෝපීයානු හෝ ලතින් ඇමරිකානු හෝ ජාතිකයෙකි.

මේ අන්වර්ථ නාමයට ඔහු කිසිසේත් ම ප්‍රිය නොකළේ ය. ඒ බව අපට හොඳින් දක්නට ලැබුණේ, නවක වධයේ කොටසක් ලෙස ඔහු ගේ ම මිතුරන් විසින් ශාලාවේ එක් කොනක පිහිටි ඔහු ගේ කාමරය අසලට ගොස් පරංගියා යනුවෙන් කෑ ගසන්නට නවක සිසුන් වූ අපට නියම කළ විට, එයට දඬුවම ලෙස ඩිප්ස් පනහක් පමණ ගසන්නට ඔහුගෙන් අණ ලැබුණු බැවිනි.

අප එසේ කෑ නොගැසුවොත් එයට දඬුවම ලෙස ද ඩිප්ස් පනහක් ගහන්නට වෙන නිසා, අපේ විකල්පවල සැබෑ වෙනසක් නොතිබුණත්, එක් වරක් මුල් විකල්පය තෝරා ගත් පසු නැවතත් එසේ කරන්නට තරම් අප මෝඩ නොවුනෙමු.

කෙසේ වෙතත්, අපේ සමහර නවකයින් ගේ සිත් තුළ පරංගියා ගැන තරමක කෝපයක් ශේෂ වී තිබෙන්නට ඇත. නැතිනම්, අපේ මාකස් ප්‍රනාන්දු නවකවද සමයේ තිබුණු එකම මතක තියෙන ආකාරයේ අත්දැකීම ඒ පරංගියා යැයි කැ ගන්නට ලැබීම විය හැක.

ඒ කුමක් වුවත්, නවකවද සමය අවසානයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් අප වෙනුවෙන් සංවිධානය කරන ලද පිළිගැනීමේ සාදයේ දී, අප ඉදිරිපත් කළ කෙටි නාටකයට අපේ කතානායක පරංගියා ඇතුළු වූයේ ඒ නිසා බව කිව හැක.

අප එදා ඉදිරිපත් කළේ, බොහෝ දෙනෙකු අසා දැක හුරු පුරුදු "විනෝද සමය" විකටාංගයකි. ඒ ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු සහ බර්ටි ගුණතිලක චරිත නිරූපණය කළ කොලුවාට සුද්දෙකු ළඟ ආප්ප හැදීමේ ජොබ් එකක් සෙට් කිරීමට යාමේ කතාවයි.

සුද්දා කතා කරන්නේ ඉංග්ලිෂ් පමණකි. කොලුවාට ඉංග්ලිෂ් නොතෙරේ. ඉතිං අමාරිස් අයියා කරන්නේ සුද්දා විසින් ඇසීමට නියමිත ප්‍රශ්න ත්‍රිත්වය සහ ඒවාට දිය යුතු පිළිතුරු කොලුවාට කියා දී කට පාඩම කරවීමයි.

ප්‍රශ්නය: වට් ඊස් යුවර් නේම්?
පිළිතුර: අයි. ඕ. සිරිසේන

ප්‍රශ්නය: වට් ඊස් යුවර් ඒජ්?
පිළිතුර: ටුවෙන්ටි එයිට්

ප්‍රශ්නය: වට් ඩු යූ ලයික් ටු ඊට් ඉන් ද මෝරිනින් බ්‍රෙඩ් ඕ බටර්?
පිළිතුර: බෝත්

කොලුවා ඒ උත්තර ඒ පිළිවෙළට කට පාඩම් කර ගන්නා මුත් සුද්දා ප්‍රශ්න අහන්නේ වෙනත් ආකාරයකට ය.

නොදන්නා අය, එහිදී සිදුවුණු දේ මෙතැනින් නරඹන්න.



අප එදා කළේ ඒ විනෝද සමය ජවනිකාවේ අමු කොපියකි. අප කළ එකම නිර්මාණාත්මක වෙනස වූයේ, සුද්දා වෙනුවට ඒ චරිතය පරංගියා ලෙස නම් කිරීමයි.

මගේ අසමසම නාට්‍ය දිවිය ඇරඹුණු හැටි විස්තර කෙරුණු ලිපියේ සඳහන් කළාක් මෙන් පරංගියා ගේ චරිතය සඳහා බෝසත් ලක්‍ෂණ අවශ්‍ය නොවූ නමුත්, ඒ චරිතය රඟපාන්නට පැවරුණේ මට ය.

මා ජැක්සන් ඇන්තනි රඟ පෑ, උපතිස්ස බාලසූරිය ගේ නාට්‍යයකින් චූට්ටක් කොපි කළේ මේ සිද්ධියට මාස තුන හතරකට පසුව ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිනුවර සිංහල කෙටි නාට්‍ය උළෙල සාර්ථක තුන්වෙනි වරට ඔක්තෝබර් 15 සෙනසුරාදා ඩියුරල් හි දී පැවැත්වේ.

නිහාල් රූපසිංහ රචනා කර, ඔහු සහ තිලක් රණසිංහ ගේ අධ්‍යක්‍ෂණයෙන්, ඒ උලෙළේ දී රඟ දැක්වීමට නියමිත "නොම් පෙන් ගේම්ස්" නම් කෙටි නාට්‍යයට මා ද රංගනයෙන් සම්මාදම් වෙන බව සතුටින් දන්වමි.

සැමට සාදර ආරාධනා!

Tuesday, 11 October 2016

ජැක්සන් ඇන්තනි රඟ පෑ නාට්‍යයක් (චූට්ටක් විතර) කොපි කළෙමි - Rasika Suriyaarachchi, the dramatist, director and actor, confesses...!


පාසලේ දී හතේ පන්තියේ දී සිංහල පාඩමේ කොටසක් ලෙස රඟ දැක් වූ එක්තරා කෝලමක, කච්ඡපුට බෝසත් චරිතය නිරූපණය කර ඇති මම පසු කලෙක, කෙටි නාට්‍ය දෙකක් රචනා කර, නිෂ්පාදනය කර ඇත්තෙමි. ඒ මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උගන්නා කාලයේ පළමු වසරේ දී සහ තෙවන වසරේ දී ය.

කෙටිය කී ලෙසින් ම කෙටි වූ නමුත්, නාට්‍ය කීවාට ඒවා නාට්‍ය ම දැයි නිසැකව ම කිව නොහැක. වන් ඇක්ට් ප්ලේ හෝ ස්කිට් කියා කීම වඩාත් යෝග්‍යවේ යැයි සිතමි.

එසේ වුවද, නිසැකවම කිව හැකි එක් කරුණක් නම් ඉන් මුල් නාට්‍යයේ එන ජවනිකා දෙකම මා ඊට වසර පහකට පෙර නැරඹූ පාසල් කෙටි නාට්‍යයක ජවනිකාවකින් සොරා ගත් සංකල්පයක් මත පදනම් වූ බවයි!

ඒ පාසල් නාට්‍යය වූයේ 1976 දී පමණ මා ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ ඉගෙන ගත් කාලයේ ලොකු පන්තිවල සිසුවෙකු වූ උපතිස්ස බාලසූරිය ලියා අධ්‍යක්‍ෂණය කළ, ජැක්සන් ඇන්තනි, කුමාරි මුණසිංහ, උපතිස්ස බාලසූරිය සහ තවත් මට නමින් අමතක නළුවන් කිහිප දෙනෙකු රඟ පෑ කෙටි නාට්‍යයකි.

මේ නාට්‍යය ඉදිරිපත් කළ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් නාට්‍ය තරගාවලියේ පූර්ව අවසාන වටය නැරඹීමට නැරඹීමට පාසලේ නතර වී මට සිදු වූ ඇබැද්දිය ගැන මා මින් පෙර දිනයක ලියා ඇත.

ඒ නාට්‍යයේ කතා වස්තුව මගේ මතකයේ හැටියට කෙටියෙන් මෙසේ ය.

පිරිමි දරුවන් දෙදෙනෙකුගෙන් සහ මවගෙන් පමණක් සමන්විත පවුලකි. මේ දුප්පත් පවුලේ අම්මා කුමාරි මුණසිංහ ය. අම්මාගේ සහ මල්ලී ගේ උපදෙස්, ආයාචනා නොතකා දුසිරිතට යොමුවෙන අයියා රංජිත් නමැති නළුවෙකි. පවුලේ හොඳ ළමයා වූ මල්ලී ගේ චරිතය රඟපෑවේ, නාට්‍ය පිටපත රචනාකර එය නිෂ්පාදනය කළ උපතිස්ස බාලසූරිය යි.

මේ නාට්‍යයේ ආ දෙබස් අතරින් එක් ඛණ්ඩයක් පමණක්, වසර හතළිහකට පසුව ද මගේ මතකයේ ඇත.

තම වැඩිමල් සොහොයුරාට, හිතන්න කෝ අයියේ, දැන්වත් හැදෙන්නකෝ ආකාරයේ උපදෙස් දෙන මල්ලී අමතා අයියා මෙසේ කියයි.

"උඹ මොනවද මිනිහෝ මං ගැන දන්නේ? උඹ මොනවද මිනිහෝ මං තරම් ලෝකෙ ගැන දන්නේ?"

උපදෙස් නොතකන අයියා ජීවිතයේ අඳුරු අගාධයකට වැටෙන ආකාරය නාට්‍යයේ නිරූපණය කෙරුණේ යක්‍ෂයන් සිව් දෙනෙක් හූ තියාගෙන හතර පැත්තෙන් කඩා පැන, වියරු සිනා නගමින් වැඩිමහල් සොහොයුරාව ගොදුරු කරගන්නා භයානක දර්ශනයකිනි.

ඒ එක් යක්‍ෂයෙකුගේ චරිතය රඟපෑවේ, පසු කලෙක බෙර හඬ නාට්‍යයේ ද යක්‍ෂ චරිතයක් රඟ පෑ, ජැක්සන් ඇන්තනි ය.

ඒ යක්‍ෂයින් හතර දෙනාගෙන් කිසියම් විෂ ඝෝර බලවේග හතරක් නිරූපණය කෙරුණේ ද යන්න මට නිවරැදිව මතක නැත. එසේ ම, අද කවුරුත් හොඳින් දන්නා මත් කුඩු වැනි දේ ගැන මා නම් එකල අසා තිබුණේ ද නැත.

කෙසේ වෙතත්, මා විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී ලියා නිෂ්පාදනය කළ කෙටි නාට්‍යයේ ජවනිකාවකට ඒ යක්‍ෂයින් සිව් දෙනා වේදිකාවේ හතර දෙසින් කඩා පනින දර්ශනය උපයෝගී කර ගත්තෙමි.

මගේ නාට්‍යයේ පිටපත සැකෙවින් මෙසේ විය.

උසස් පෙළ අසමත්ව උකටලීව "විශ්ව විද්‍යාලයට යන්න කොතරම් කැමැත්ත තිබුණත්, මට නම් ආපහු උසස් පෙළ විභාගෙ කරන්න බැරියෝ!" යනුවෙන් වේදිකාව මත කොලුවෙකු මරහඬ තලන දර්ශනයකින් නාට්‍යය ඇරඹේ.

ඔහු ගේ සහයට වේදිකාව දෙපසින් දෙවියන් දෙදෙනෙකු මතු වේ. එක දෙවියෙකු "අධිෂ්ඨානය" නම් වෙන අතර අනෙකා "ධෛර්යය" නම් වේ.

මේ දෙවියන් දෙදෙනා ගෙන් අධිෂ්ඨානය සහ ධෛර්ය ලබන කොලුවා ඒ අත් වැලේ පිහිටෙන් නැගී සිටියි. තිදෙනාම වේදිකාව මත වටයක් කැරකී ඉනික්බිති පිවිසෙන්නේ විශ්ව විද්‍යාලයට ය.
එහි ළඟාවෙත්ම හතර අතින් කඩා පනින යක්‍ෂයින් හතර දෙනෙකු ගේ තර්ජන හමුවේ බියවෙන දෙවිවරු දෙදෙනා පලා යන අතර, කොලුවා යකුන්ට බිය වී බිම ඇද වැටේ. දර්ශනය අවසාන වෙන්නේ, යක්‍ෂයින් සිව් දෙනා විසින් කොලුවාව ගිල ගැනීමෙනි.

යක්‍ෂයින් හතර දෙනා නම් කෙරුණේ කැන්ටින් යකා, කෝස්වර්ක් යකා, හෝල් යකා සහ කඩු යකා යනුවෙන් පළමු වසරේ සිසුන් වූ අපට මුහුණ පාන්නට සිදුවී තිබුණු විවිධ කරදර කම්කටොලු නිරූපණය කිරීමට ය.

නාට්‍යය පිටපත ලියා අධ්‍යක්‍ෂණය කළ මා රඟපෑවේ අධිෂ්ඨානය නම් දේයියා ගේ භූමිකාවයි. අනෙත් දෙයියා ලෙස පසු කලෙක ගායකයෙකු ලෙස රටේ ජනප්‍ර්‍රිය වුණු සමන් ජයනාත් ජිනදාස රඟපෑවේ ය. ශිෂ්‍යයාගේ චරිතය රඟපෑවේ පියතිස්ස බණ්ඩාර තෙන්නකෝන් ය.

යකුන් හතර දෙනාගෙන් කැන්ටින් යකා, කෝස්වර්ක් යකා සහ හෝල් යකා ලෙස රඟපෑවේ කවුදැයි අද මට අමතකව වී ගොස් ඇති නමුත් කඩු යකා ලෙස සුමනරත්න බණ්ඩාර වෑත්තෑවේ රඟ පෑ බව නම් හොඳින් මතකය.

මේ නාට්‍යය රඟ දැක්වීම පිළිබඳව මගේ මතකයේ ඇති තවත් කරුණු දෙකක් වේ.

කඩු යකා ගේ චරිතය රඟ පාන්නට වෑත්තෑවේ තෝරා ගැනුණේ ඔහු අප අතර සිටි කඩු කාරයා වීම නිසා ය. අප ඉංජිනේරු පීඨයට ගිය මුල් දිනයේ ම පැවැත්වුණු ඉංග්ලිෂ් පරීක්‍ෂණයෙන් සමත්වී ඉංග්ලිෂ් පන්තිවලින් නිදහස් කරනු ලැබූ අතළොස්සක් දෙනාගෙන් වෑත්තෑවේ එක් අයෙකි.

කඩු යකාගේ චරිතයට සිංහල මෙන්ම ඉංග්ලිෂ් දෙබසක් ද ඇතුළත් වී තිබුණි.

පීඨයේ කටයුතු වලදී කළ යුතු, කඩුව භාවිතය ගැන නවක ශිෂ්‍යයා බිය ගන්වන වැකි ගණනාවක් කියා අවසානයේ උඹ දැනගනින් මිනිහෝ මම තමයි කඩු යකා. අයෑම් ද ඩෙවිල් ඔෆ් ඉංග්ලිෂ් යැයි පිටපත ලියවී තිබුණි.

අප නාට්‍යය පුරුදු වුණු කිහිප වතාවෙන් දෙතුන් සැරයක ම, වෑත්තෑවේට ඒ අවසාන වැකිය කියවුණේ අයෑම් ද ඩෙවිල් ඔෆ් ඉංග්ලිෂ් කියා නොව අයෑම් ද ඩීන් ඔෆ් ඉංජිනියරිං කියා ය!
වේදිකාවේ දී ද එලෙස කියවෙතැයි මා බිය වී සිටිය ද, වාසනාවකට මෙන් වෑත්තෑවේ ජාම් බේරා ගත්තේ ය.

මගේ මතකයේ රැඳී ඇති දෙවන සිදුවීම නම් මෙයයි.

හත් දෙනෙකුගෙන් යුතු අප නාට්‍ය කණ්ඩායම අපේ වාරය එනතුරු වේදිකාව පිටුපස පසෙකින් ඇති කාමරයේ සිටියදී, එදා නිවේදක කටයුතු ද කළ, නවකයින් පිළිගැනීමේ උත්සවයේ ප්‍රසංගය සංවිධානය කළ ඉංජිනේරු පීඨ කලා කවයේ සභාපති තනතුර දැරූ තුන්වෙනි වසරේ ජ්‍යෙෂ්ඨයෙකු වූ හෙන්රි වර්ණකුලසූරිය වෙතට ගිය මම අපේ නාට්‍ය කණ්ඩායමේ නළුවන් ගේ නම් ලයිස්තුව ලබා දෙන්නට සැරසුණෙමි. ඒ අපේ අංගය හැඳින්වීමේ දී නිවේදනය විස්තර කරන්නයි.

නම් අනව්‍යයි කියා එවේලේ කී නමුත් අපේ අංගය ඉදිරිපත් කිරීමේ දී හෙන්රි මෙසේ කීවේ ය.

"දැන් මෙන්න රසික හරිශ්චන්ද්‍ර සොයුරා ප්‍රමුඛ පළමු වසරේ සිසුන් සමග ඉදිරිපත් කරන නාට්‍යය."

"අපේ කොල්ලෝ එක්ක නාට්‍යයක් කරලා, උඹ හෙන්රියට කියලා උඹේ නම විතරක් කියවා ගත්තා නේද?" කියා ඊළඟ සතියේ මා මිතුරු විජේදාස කෝණාරගෙන් චෝදනාවක් එල්ල වූ විට, නිහඬව සිටීම හැර මට කළ හැකි වෙනත් දෙයක් නොතිබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිනුවර සිංහල කෙටි නාට්‍ය උළෙල සාර්ථක තුන්වෙනි වරට ඔක්තෝබර් 15 සෙනසුරාදා ඩියුරල් හි දී පැවැත්වේ.

සැමට සාදර ආරාධනා!

Saturday, 8 October 2016

මල්සරා නොහොත් අනංගයාට මොකද වුණේ? - An extinct creature?


මල්සරා නොහොත් අනංගයා යනු අපේ අම්මලා ගේ, පුංචි අම්මලා ගේ තරුණ කාලයේ රට හෙල්ලු චරිතයකි. අපි පොඩි කාලයේ ද, මේ අපුරු සත්වයා පිළිබඳ එහෙන් මෙහෙන් අසන්නට ලැබුණු නමුත්, පසුකාලීනව ඌ ලොවෙන් නොදන්වා ම අතුරුදහන් වී ගියා සේ පෙනේ.

මේ කවුරුන්දැයි නොදන්නා හුදී ජනයාගේ දැන ගැනීම පිණිස කියනවා නම්, මල්සරා නොහොත් අනංගයා යනු ඉංග්ලිෂ් භාෂාවෙන් ඊරෝස් හෙවත් ක්‍යුපිඩ් ලෙසින් ද හඳුන්වන ආදරයට අධිපති දේව පැටියා ය.

මල්සරා හෙවත් අනංගයා අතේ දුන්නක් සහ ඊතල ඇත. ඔහු ඒ ඊතලවලින් තරුණ, තරුණියන්ගේ හදවත්වලට විද ඔවුනොවුන් එකිනොකා හා ප්‍රේම සම්බන්ධතාවල පටලවති.

අපේ අම්මලා තරුණ කාලයේ එකල ජනප්‍රිය ගායකයින් දෙදෙනෙකු වූ ජෝතිපාල සහ මිල්ටන් පෙරේරා අතර අනංග වාදය නම් ගී තරගයක් ද තිබී ඇත.

අනංගයා මං අනංගයා යැයි ජෝතිපාල ගැයී ය.



මිල්ටන් පෙරේරා එයට පිළිතුරු ලෙස සුපෙම් ලොවේ කුසුම් සරා මල්සරා යනුවෙන් ගැයී ය.



පෙම්වතුන්ට සරණේ, අනංගයා මම නේ යනුවෙන් යළි ජෝතිපාල ගැයී ය.



මේ සුජාතා අත්තනායකට මල්සරා ලැබූ අවස්ථාවයි.



කොටින්ම අමරදේව ද මල්සරා ගැන ගී ගයා ඇත. ඔහු මල්සරා ගැන කියන්නේ මින්දද කියා ය. මින් දද යනු මාළුවෙකු ගේ රූපය රැගත් අනංගයා ගේ කොඩියයි.



නමුත්, අපේ තරුණ කාලයවන විට ඒ අනංගයා හෙවත් මල්සරා හෙවත් මින්දද ගැන අසන්නට නොලැබුණි. කවියන් ඒ සත්වයා ගැන කවි නොලිවූහ. ගී පද නොබැඳුණි. ගායනා නොකෙරුණි.

අපට ඉතිරිව ඇත්තේ දශක ගණනාවක් පැරණි ගීත රොත්තක් පමණි!













කරුණාකර ඔබ දන්නා වෙනත් මල්සරා ගී වෙතොත් මේ ලිපියට එකතු කරන්න.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා අනුමාන කරන පරිදි කරුණාරත්න අබේසේකර විසින් මිල්ටන් පෙරේරා වෙනුවෙන් ලියන ලද ගීතයක මෙසේ කියවේ.

රෑ කවුද කෙනෙක් එළැඹී මගේ කනට මුව තියා
මින්දද ගේ දුන්නේ මල් හී පහකැයි කියා ගියා

එයින් කියවෙන්නේ ඔබට එක්වරක් නොව පස්වරක් මල්සරා විසින් විදීමට ඉඩ ඇති බවයි. මා කලින් දිනයක කියූ ආකාරයට, මට නම් පස්වරක් නොව දහතුන්වරක් ම, මල්සරා විද්දේ ය.
අවාසනාවට බොහෝ වාර ගණනක දී ඒ ඊ පාරවල් වැදී තිබුණේ මට පමණි!

(image: http://www.holidayinsights.com/valentine/cupid.htm)

Thursday, 6 October 2016

විස්කි පිදුරු රහයි ද? - What taste is Whiskey?


වෑන් ෆ්‍රෝසම් සහ වෑන් ඔයුඩියුස්ඩන් නම් බෙල්ජියන් ජාතික ආචාර්යවරුන් ගැන මා ලියූ ලිපි ද්වයේ සඳහන් වුණු, මා පශ්චාත් උපාධියක් ලබාගත් තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි හෙවත් ආසියානු තාක්‍ෂණික ආයතනය, අද වන විට වසර හැටකට කිට්ටු ඉතිහාසයක් ඇති විශ්ව විද්‍යාලයකි. සියැටෝ ග්‍රැජුවේට් ස්කූල් ලෙස මෙය ඇරඹී ඇත්තේ වසර 1959 දී ය.

සියැටෝ (SEATO) යනු සවුත් ඊස්ට් ඒෂියා ට්‍රීටි ඕගනයිසේෂන් හෙවත් අග්නිදිග ආසියා ගිවිසුම් සංවිධානය නම් නේටෝ (NATO) ආකාරයේ ආරක්‍ෂක එකමුතුවකි.

තායිලන්තයේ පිහිටා තිබුණද ආසියානු තාක්‍ෂණික ආයතනය ජාත්‍යන්තර ආයතනයකි.

කොටින් ම එකල මේ ආයතනයේ සේවය කළ විදෙස් රටවලින් පැමිණි කාර්ය මණ්ඩලයට තීරු බද්දෙන් තොර මත්පැන් පවා මිලට ගත හැකි විය. ආයතනය තුළ පිහිටුවාගෙන තිබුණු අපේ ශ්‍රී ලාංකික සංවිධාධනය විසින් අධ්‍යයන වාරයකට දෙවරක් සංවිධානය කළ, පිළිගැනීමේ සාදය සහ සමුගැනීමේ සාදය යන උත්සව ද්වයට තමන් ගේ තීරු බදු රහිත කෝටාවෙන් ලබා ගන්නා විස්කි බෝතලයක් දෙකක් පරිත්‍යාග කිරීමට අධ්‍යයන මණ්ඩලයේ සිටි ශ්‍රී ලාංකික ආචාර්යවරු ත්‍යාගශීලි වූහ.

ලංකාවේ දී පොල්, ඕල්ඩ්, මෙන්ඩිස් යනාදී අරක්කු වර්ග සහ බියර් පමණක් පානය කර තිබූ මා මුලින් ම විස්කි පානය කළේ ආසියානු තාක්‍ෂණික ආයතනයේ දී ය. ඒ බැලන්ටයින් නම් ස්කොට්ලන්තයේ නිෂ්පාදිත විස්කි වර්ගයයි.

ඒ කඩඉම් අත්දැකීමෙන් අද මගේ මතකයේ රැඳී තිබෙන්නේ, අයිස් සහ කෝකා කෝලා සමග පානය කළ මුල් ම විස්කි වඩියේ මට දැනුණේ "පිදුරු රහක්" බව පමණකි.

දැන් ඔබ ඒ ප්‍රශ්නය මගෙන් අසන්නට පෙර ම අදාළ පිළිතුරු දෙනවා නම්, එදා බැලන්ටයින් විස්කි වඩිය බිව් දිනයට කලින් හෝ ඊට පසු හෝ මා පිදුරු අනුභව කර හෝ පිදුරුවලින් නිපදවනු ලැබූ දෙයක් පානය කර හෝ නොමැත.

මෙහිදී, බැලන්ටයින් විස්කි වඩියේ පිදුරු රසයක් දැනුණා ය යන්නෙන් මා අදහස් කරන්නේ අපේ ආච්චී තමන් ගේ කුඹුරු ලියදි කිහිපය විකුණන්නට පෙර මා ළමා කාලයේ දී වසරකට දෙවරක් මුලින් ම කමත පිහිටි බදුවත්තේත්, පසුව බැත නිවසට ගෙනා පසු නිවස පුරාත් පැතිරුණු, අපූරු සුවඳ එහි තිබුණු බව ය.

ආසියානු තාක්‍ෂණික ආයතයේ උපාධිය නිමවා, සමුගැනීමේ සාදයේ දී ද විස්කි වඩියක් පානය කර පෙරළා ලංකාවට පැමිණි පසු, යළිත් -සියරට දේ සිරි සැප දේ- යන්න අකැමැත්තෙන් නමුත් පිළිපදින්නට වීම නිසා ඒ ස්කොට්ලන්ත විස්කි රස මට ක්‍රමක්‍රමයෙන් අමතක ම වී ගියේ ය.

යළි ඒ නැවුම් "පිදුරු රසය" විඳගන්නට මට ඉඩ ප්‍රස්ථාවක් ලැබුණේ තවත් වසර තුනකට පමණ පසුව ය.

එය වෙනම ම ලිවිය යුතු කතාවක් හෙයින් අදට මෙයින් නවතිමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පාරිභෝගික අවවාදය.
  • මත්පැන් බීම ශරීර සෞඛ්‍යට අහිතකර ය.
  • ස්කොට්ලන්ත විස්කි බීම බැංකු ගිණුම් ශේෂයට අහිතකර ය.

ප/ප/ලි:
විස්කි වර්ග ගැන කතා කරන විට මේ යර්ස් මිනිස්ටර් කතාංගය අමතක කරන්න බෑ!



(image: https://www.linkedin.com/pulse/whisky-ballantines-shirley-yuan)

Tuesday, 4 October 2016

කන්දෙන් ලන්දට - මිණිවන් පී. තිලකරත්න, සරත් විජේසූරිය, ඒ.වී. සූරවීර සහ ලියනගේ අමරකීර්ති :: What's the issue with Sinhala language departments in Sri Lankan Universities?


මේ ලිපියේ මාතෘකාව සඳහා මා යොදාගත්තේ සිංහල නවකතාවක නමයි. "කන්දෙන් ලන්දට" ලියූ මිණිවන් පී. තිලකරත්න කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල මහාචාර්යවරයෙකු ලෙස සේවය කර විශ්‍රාම සුවයෙන් පසුවී පසුව මිය පරලොව ගොස් දැන් කලක් ගතවී ඇත.

මිණිවන් පී. තිලකරත්න උපහාස කතා කලාවේ ශූරයෙකු විය. මෙහි ලා සඳහන් කල යුතු ඔහුගේ "උසාවි සාවිය", "පුංචි එක්නැලිගොඩ" ආදී නවකතා ද, "මගෙ ගම සරිගම" ආදී කෙටිකතා සංග්‍රහ ද අතර මගේ ප්‍රියතම කෘතිය වූයේ "කන්දෙන් ලන්දට" නවකතාවයි. එය ඔහුගේ සේවා ස්ථානය වූ කැලණිය විශ්ව විද්‍යාලය ගැන පොදුවේත්, එහි සිංහල අංශය සහ එහි සේවය කල චරිත කිහිපයක් විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කරන අනිසි ක්‍රියා රාශියක් ගැන සුවිශේෂීවත් සාකච්ඡා වෙන උපහාසාත්මක රචනා ශෛලියෙන් ලියවුණු අගනා කෘතියකි.

"කන්දෙන් ලන්දට" නවකතාවේ එන චරිත සියල්ලම පාහේ කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල විෂයය පිළිබඳ ඇදුරන් වූහ. මෙයින් කතා නායකයා හැර අන් සියලුම ආචාර්යවරුන් ගේ වෘත්තීමය හැසිරීම වූයේ ශිෂ්‍යයින් ගේ ශ්‍රාස්ත්‍රෝද්ග්‍රහණය හෝ ඥාන වර්ධනය හෝ පොදුවේ දැනුම වැපිරීම හෝ පිණිස වැඩ කිරීම නොව හුදෙක්ම තම පැවැත්ම ගැන පමණක් සිතා කටයුතු කිරීමයි. ඒ සමගම, තමන්ට ශ්‍රාස්තී්‍රය වශයෙන් හෝ සමාජමය වශයෙන් තර්ජනයක් කරතැයි සිතෙන ඇදුරෙක් සිටී නම් තම සියලු බලතල සහ උත්සාහය ඔහු හෝ ඇය මැඩලීමට යෙදවීමයි.

මේ නවකතාවේ එන රසවත් කතා කිහිපයක් තවමත් මගේ මතකයේ රැඳී පවතී. එක් ආචාර්යවරයෙකු ට සිසුවියක් සිංහල විෂයය නිබන්ධනය වෙනුවට වැරදීමකින් භාර දී ඇත්තේ භූගෝල විද්‍යා නිබන්ධනයයි. ඇයට ඒ සඳහා සම්මාන සාමාර්ථයක් ලැබේ. සිසුවිය ඇදුරා හමුවී මේ ගැන පැමිණිලි කරන විට (පැහැදිලිවම, එම නිබන්ධන සඳහා ඔහු ලකුණු දී ඇත්තේ කිසිම කියවා බැලීමකින් තොරව ය) ඔහු කියා සිටින්නේ අවශ්‍ය නම් එම නිබන්ධනය භූගෝල විද්‍යා අංශයට ද ඇගයීම පිණිස දෙන්න, නමුත් එයට වඩා හොඳ ලකුණු ලැබේවිද යන්න නම් සැක සහිත බවකි!

"කන්දෙන් ලන්දට" නවකතාවේ ප්‍රධාන චරිතය තරුණ මිණිවන් තිලකරත්න නියෝජනය කළා යයි මම සිතමි. එය එසේ නම් සහ මෙම නවකතාවේ එන ඇතැම් චරිත වලට භාවිතා කර ඇති පුද්ගල නාම දෙස සලකා බලන විට මට වැටහුණු දේ නිවරදි නම්, තිලකරත්න තම ශ්‍රාස්ත්‍රපති උපාධිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ සිංහල නවකතාවට රුසියානු සාහිත්‍යයෙන් ඇතිවූ බලපෑම පිළිබඳ ලියවුණු නිබන්ධනයකි. මෙහිදී ඔහු මාර්ටින් වික්‍රමසිංහ ගේ නවකතාවල ඇති රුසියානු ආභාෂය පිළිබඳව විශ්ලේෂණයක් කර ඇත. මේ බව දැන දැනම, තිලකරත්නගේ ශ්‍රාස්ත්‍රපති උපාධි පර්යේෂණයේ උපදේශකයා වූ එදිරිවීර සරච්චන්ද්‍ර එම නිබන්ධනය ඇගයීම සඳහා බාහිර පරීක්ෂක ලෙස, තිලකරත්න ගේ අනුදැනීමක් නොමැතිව, තෝරා ගෙන ඇත්තේ ද වික්‍රමසිංහ ව ය!

තම නවකතාව සඳහා තිලකරත්න යොදා ගෙන තිබූ "කන්දෙන් ලන්දට" යන පදයේ "කන්ද" යනුවෙන් අදහස් කෙරුණේ ඔහු අධ්‍යාපනය ලැබූ කන්ද උඩරට පිහිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයයි. "ලන්ද" යනුවෙන් අදහස් කෙරුණේ ඔහු පසුව සේවය කළ ලන්දේ පිහිටි කැලණිය විශ්ව විද්‍යාලයයි. පනහ දශකයේ අග භාගයේ දී විද්‍යාලංකාර (පසුව කැලණිය) විශ්ව විද්‍යාලය ඇරඹුණු සමයේ දී එහි සේවය සඳහා පැමිණි අය අතර පේරාදෙණිය සරසවියේ උපාධිධාරීන් සහ එහි සේවය කළ ආචාර්ය, මහාචාර්යවරුන් බොහෝ වූහ. කන්දේ සිට ලන්දට පැමිණි ඔවුන් ගේ කතාව මෙලෙස "කන්දෙන් ලන්දට" ලෙස නම් කර තිබේ.

මා ද එලෙස කන්දේ උගෙන ලන්දේ සේවයට පැමිණි අයෙක් මි. මා මේ නවකතාව කියවූයේ කැලණිය විශ්ව විද්‍යාලයේ සේවය ඇරඹීමෙන් පසුව වීම නිසා මට එහි අපූර්වත්වය වඩාත් වැඩියෙන් දැනෙන්නට ඇත.

මේ ආකාරයේ ම අන්තර්ගතයක් අඩංගු තවත් කෘතියක් පසු කලෙක සිංහල සාහිත්‍යයට එකතු විය. එය කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ සරත් විජේසූරිය ලියූ "මගේ නඩුව ඉවරයි" නම් වූ අර්ධ වාර්තාත්මක නවකතාවයි. විජේසූරිය ගේ කෘතිය පිළිබඳව මා දැනගත්තේ සිංහල භාෂාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්යවරයෙක් වන, කවදත් තම ලිපි මගින් ලංකාවේ විශ්ව විද්‍යාලයන් හි සිංහල භාෂා අධ්‍යයන අංශවල වත්මන් ආචාර්ය මහාචාර්යවරුන්ගේ දැනුම පිළිබඳ සරදම් සටහන් ලියූ, සුචරිත ගම්ලත් ගේ ලිපියකින් බව ද මෙහිදී සඳහන් කළ යුතුය.

සරත් විජේසූරිය ගේ "මගේ නඩුව ඉවරයි" කෘතියේ සහ මිණිවන් පී තිලකරත්නගේ කන්දෙන් ලන්දට නවකතාවේ සමානකම් මේ ග්‍රන්ථ ද්විත්වයේ ම අන්තර්ගතය විශ්ව විද්‍යාල සහ එහි සිංහල භාෂා අධ්‍යයන අංශ වලට මුලිකව පදනම් වීම, ඒවායේ ප්‍රධාන චරිත විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වීම සහ ඒ චරිත වල ක්‍රියාකාරකම් වල මුලික ස්වභාවයේ සමරූපී බවට පමණක් සීමාවේ.

විජේසූරිය ගේ කෘතිය තුළින් හෙළිදරව් කර ඇති අක්‍රමිකතාවන් ගේ බරපතල කම සලකා බලන විට නම්, තිලකරත්න ගේ දුක් ගැනවිලි හුදෙක් අහසට පොළොව මෙන් බව කිව හැක. "මගේ නඩුව ඉවරයි" නවකතාවේ විස්තර කෙරෙන ඒ විශ්ව විද්‍යාල ඇදුරන් ගේ අක්‍රමණිකතාවයන් අතර තම සිවිල් බලය උපයෝගී කර ගෙන සුදුස්සන් ට සුදුසු තැන නොදී පාගා දැමීම, නුසුදුසු වුවද තම ප්‍රියයන් ට තනතුරු, ශිෂ්‍යත්ව, ප්‍රතිපාදන යනාදිය ලබාදීම සහ මෙකී නොකී මූල්‍ය, ලිංගික සහ වෘත්තීමය අපචාරයන් රාශියකි.

මීට අමතරව, විජේසූරිය ගේ "මගේ නඩුව ඉවරයි" කෘතිය තිලකරත්නගේ "කන්දෙන් ලන්දට" මෙන් උපහාසාත්මක ප්‍රබන්ධයක් නොව දැඩි සංවේගය දනවන්නකි. කොටින්ම, මෙහි එක් තැනක දැක්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් දෙදෙනෙකු "අපෙන් පස්සේ මේ කටයුතු කරගෙන යන්න අපි ගෝලයෝ හදලා නැහැ!" යැයි කියමින් සිනාසෙන අවස්ථාවේ ද එය උපහාසයක් නොව පුදුමය, සන්ත්‍රාසය සහ දොම්නස පමණක් ජනිත කරයි.

ඒසේ ම, "කන්දෙන් ලන්දට" හි කතා නායකයා මෙන් සර්ව නිර්දෝෂී නොවන "මගේ නඩුව ඉවරයි" කෘතියේ කතානායක සනත් ජයසූරිය නම් කථිකාචාර්යවරයා, කේලම් සහ ගතු කීම, අනුන්ගේ ලිපි බැලීම සහ සුළු ප්‍රමාණයේ අධිමානය වැනි මානුෂික ගුණයෙන් යුක්ත ය.

මේ කෘති දෙකම ලියවෙන්නට කලින් 70 දශකයේ දී, එවකට විශ්ව විද්‍යාල සේවයේ යෙදී සිටි (පසුව 1994 දී පමණ දේශපාලඥයෙකු ලෙස කල එළි බට) ඒ.වී. සූරවීර ගේ "අත්ත බිඳෙයි පය බුරුලෙන්" නවකතාව සිංහල සාහිත්‍යයට එක් වී තිබුණි.

විද්‍යෝදය විශ්ව විද්‍යාලය ආශ්‍රිතව ලියවී තිබුණද එම කෘතිය මූලික වශයෙන් විශ්ව විද්‍යාල ඇදුරන් අතර ඇති බල අරගලය පොදුවේ විදහා පාන්නක් පමණක් විය. පුද්ගලික අත්දැකීම් මත පදනම් වූවද ඒවා ඉදිරිපත් කර තිබූ දුරස්ථ විලාසය නිසා විජේසූරිය ගේ සහ තිලකරත්නගේ කෘති තරමට ඇඟට දැනෙන ගතියක් සුරවීර ගේ නවකතාවේ නොතිබුණි.

සිංහල භාෂා විශාරදයෙකු වන සුරවීරගේ හොඳම කෘතිය ”හෙය්යම්මාරුව” යයි මම සිතමි. සිංහල ගැමි උච්චාරණය වාග්-විෂයයික ලෙස යොදා ලියවී තිබුණු මෙම නවකතාවෙන් ග්‍රාම්‍ය නිර්ධන පන්තිය ලක් වී ඇති සූරාකෑම හොඳින් විග්‍රහ කර තිබුණු බව මගේ මතකයයි.

ඉහත විස්තරය කියවන අයෙකුට නිසැකවම ඇති විය හැකි ප්‍රශ්නයක් නම්, විශ්ව විද්‍යාල ඇදුරන් ගේ අක්‍රමණිකතා ගැන ලියවුණු නවකතා සියල්ලේ ම කතුවරුන් සිංහල භාෂාව පිළිබඳ ආචාර්යවරුන් ම වී ඇත්තේ යම් සුවිශේෂී වූ හේතුවක් නිසාද යන්නයි.

මෙය විප්‍රකාරීව හෝ අහඹු ලෙස හෝ වූ සමපාතවීමක් නම් නොවේ.

සිංහල භාෂා ආචාර්යවරුන් ගේ භාෂා දැනුම සහ නිර්මාණාත්මක හැකියාවන් අන් විෂයයන් පිළිබඳ ආචාර්යවරුන්ට වඩා ඉහළ නිසා බොහෝ විට මෙය සිදුවුණා විය හැක.

නැතිනම් තම විෂයය ක්ෂේත්‍රයේ සුවිශේෂීත්වය නිසාවෙන් මෙවැනි නිර්මාණාත්මක කෘති ද තම ප්‍රකාශන ලයිස්තුවලට ඇතුළත් කර මහාචාර්ය තනතුරු වැනි උසස්වීම් සඳහා භාවිතා කළ හැකි නිසා සිංහල භාෂා ආචාර්යවරුන් මෙලෙස නවකතාකරණයට වැඩි ප්‍රවණතාවයක් දක්වනවා විය හැක.

එසේත් නැතිනම් මේ නවකතා දෙකෙන් ඉදිරිපත් කෙරුණු ආකාරයේ අක්‍රමණිකතා බහුලව පවතින්නේ විශ්ව විද්‍යාලවල සිංහල අධ්‍යයන අංශවල වීම නිසා ද විය හැක. කැලණිය විශ්ව විද්‍යාලයේ කාර්මික කළමනාකරණ අංශයේ වසර ගණනාවක් සේවයේ යෙදී සිටි මට ඒ කාලය සම්බන්ධයෙන් නවකතාවක් ලියනවා තබා කෙටිකතාවක් ලිවීමට කරුණු සොයා ගැනීම ද දුෂ්කරය.

සැබෑ තත්වය පෙර සඳහන් සියලූ කරුණු වල සංකලනයක් යයි මම සිතමි.

මේ ලිපියේ මීළඟ කොටසින් කන්දේ සහ ලන්දේ විශ්ව විද්‍යාල අතර සමාජමය වෙනස් කම් පිළිබද විස්තරයක් බලාපොරොත්තුවන්න.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිය මා ලියන ලද්දේ 2009 ජූනි මාසයේ දී ඉරිදා ලක්බිම පුවත්පත සඳහා ය. පසුගිය දිනක කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ යම් අයථා ක්‍රියාවක් පිළිබඳව ලියවුණු පුවත්පත් ලිපියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ලියනගේ අමරකීර්ති විසින් ෆෙස්බුක් හි බෙදා හැර තිබෙනු දැක මට මේ ලිපිය ගැන සිහිවී සඳහන් කළෙමි. එය නැවත පළ කරන ලෙස ඔහුගෙන් ද ඉල්ලීමක් ලද නිසා, පැරණි ඊ-මේල් අතර තිබී සොයා ගෙන මද සංස්කරනයකින් පසුව මෙසේ පළ කරමි.

මාතෘකාවට අදාළව තවත් කරුණක් කිව යුතුයි. කන්දෙන් ලන්දට ගොස් ඇත්තේ මිණිවන් පී තිලකරත්න පමණක් නොවේ. ඒ වී සුරවීර ද කන්දේ සිට ලන්දේ විද්‍යෝදය විශ්වවිද්‍යාලටය ගිය අයෙකි. සරත් විජේසූරිය නම්, ලන්දේ උගෙන ලන්දේ ම වෙසෙයි.

ලන්දෙන් කන්දට ආ එකම සිංහල ඇදුරා ලියනගේ අමරකීර්ති පමණක් දෝ යි සිතේ!

(images: www.silumina.lk/2015/12/27/_art.asp?fn=sm1512272; https://www.youtube.com/watch?v=eIU6X6_mts8; http://newsfirst.lk/english/2014/01/renowned-novelist-t-suraweera-passes-away/14788; http://www.boondi.lk/CTRLPannel/ArticleImages/SINT/)

Sunday, 2 October 2016

කැල්කියුලේටර් පූජාව - Yet another untold story


මා කලකට පෙර ලියා පළ කළ ලිපියකට අන්තර්ගතය සැපයූ "අතහැර දැමූ ගුවන් හමුදා ප්‍රහාරය පිළිබඳ කතාව" මෙන් මෙතුවක් කල් නොකී රහසක් නොවූව ද මේ අද මා ලියන කැල්කියුලේටරයක් හා සම්බන්ධ සිදුවීම ද මෙතෙක් නොකී කතාවක් ම වේ.

මෙය කියවන ඔබට ශාන්ත රසයක් ම ලැබේ යැයි උදක් ම සිතමි.

සිය නැගෙණියන් තිදෙනාගෙන් වැඩිමහලු නැගෙණිය හෝ විවාහ කර දෙන තුරු සිටි නිසා දෝ, මගේ පියා විවාහ වී ඇත්තේ සිය ජීවිතයේ පස්වෙනි දශකය ආරම්භ වී දින කිහිපයකිනි. පසුව, මා මෙලොවට බිහිවූ දින වෙන විට ඔහු සිට ඇත්තේ සිය ජීවිතයේ හතළිස් දෙවෙනි වසර ද අවසාන කරමිනි. අද තත්වය ඊට වඩා වෙනස් වුවත්, ජීවිතයේ පස්වෙනි දශකයේ දී පියෙකු වීම ඒ කාලයේ සාමාන්‍ය තත්වයක් වෙන්නට ඇතැයි සිතීමට පවා හැකිවෙන තරමේ උදාහරණ රාශියක් මගේ සම වයසේ අය ගේ දෙමව්පියන් අතරින් සොයා ගත හැකි බව ද මෙහි දී කිව යුතුයි.

කෙසේ වෙතත් එහි එක් දුර්විපාකයක් වූයේ, මා එකොළොස්වන ශ්‍රේණියේ සිටිද්දී ම තාත්තා සිය පනස් අටවන උපන් දිනය දා විශ්‍රාම යෑමයි. මා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම අරඹන කාලය වෙන විට තාත්තා ගේ ආදායම වූයේ විශ්‍රාම වැටුප සහ විශ්‍රාම ගන්නා විට ලැබෙන දීමනාව බැංකුවේ ස්ථාවර තැන්පතුවක යෙදූ නිසා ඉන් ලැබෙන ආදායම පමණි.

ඒ දිනවල අප පදිංචිව සිටියේ පරකන්දෙනියේ පිහිටි තාත්තා ගේ මහගෙදර නිසා ගෙවල් කුලී යනාදී ප්‍රශ්න නොතිබුණත්, ඒ ආදායමෙන් අප පස් දෙනෙකු ජීවත් වූ ආකාරය, රුපියල් දෙදහස් පන්සීයකින් පවුලකට මසක් ජීවත් වෙන්නට හැකි යැයි කලකට පෙර කියූ බන්දුල ගුණවර්ධන වැනි ආර්ථික විද්‍යා ටියුෂන්කාරයින්ට, හොඳ කේස් ස්ටඩි උදාහරණකි.

අපේ පවුලේ ආර්ථික තත්වය සලකා බලන කල, මට කරන්නට තිබුණු සෙන්සිබල් ම දේ වූයේ මොරටුව විශ්ව විද්‍යාලය තෝරාගෙන, පිළියන්දල නැන්දා ගේ නිවසේ පදිංචි වී බස් රථයෙන් විශ්ව විද්‍යාලයට යෑමයි. නමුත් ගඟ ළඟ පෙම් මග හා බැඳුණු හන්තාන සිහිනයක ඇලී ගැලී සිටි මට අවශ්‍ය වූයේ බොල්ගොඩ ඇලේ පල් ගඳ විඳිමින් අව්වේ වේලෙන්නට නොව මුදු මද නල පහස ලබමින් රොබරෝසියා මල් පියලි මත පා තබන්නටය. එය ඒ කාලයේ මසකට රැපියල් පන්සීයක් පමණ වියදම් වෙන මෝඩකමකි.

"උඹ පේරාදෙණියේ පලයං. මං වියදම් කරන්නම්!" තාත්තා කීවේය.

මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ඇරඹුණු ඒ කාලයේ ලබා දුන් ශිෂ්‍යත්ව කිහිපයෙන් එකක් මට නොලැබුණි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට ලබා ගත හැකි බැංකු ණය ක්‍රමයක් තිබුණද, මට ඒ සඳහා සුදුසුකම් නැති බව දන්වන ලදී.

මට කලිසම් කමිස කිහිපයක් මිලට ගෙන දුන් මල්ලිකා පුංචි අම්මා හැම මසකම මට රැපියල් සීයක් දෙන්නට පොරොන්දු වූවා ය. අශෝකා පුංචි අම්මා රැපියල් පන්සීයක් දුන්නා ය. සුනීතා පුංචි අම්මා නොයෙකුත් අඩුම කුඩුම මිලට ගෙන දී මුදල් ද දුන්නා ය. නන්දාවතී නැන්දා රුපියල් හත්සීයක් දුන්නා ය. කරුණාවතී නැන්දා ද මුදල් දුන්නා ය.

මම පේරාදෙණියේ ගියෙමි.

මුල් දිනයේ සිට ම මම දිනපොතේ එදිනෙදා සිදුවෙන වියදම් ලියූවෙමි. සතියක දත්ත විශ්ලේෂණය කළ මට මාසයක් ගත කිරීමට රැපියල් හාරසීයක් පමණ අවශ්‍යවෙන බව පෙනී ගියේය. සති අන්තයේ නිවෙසට යෑම යනු බස් ගාස්තු සහ පේරාදෙණියේ කෑම වියදම් අතර වෙනස ලෙස රුපියල් කීපයක් ඉතුරුකර ගැනීමකි. මෙය දරාගත හැකි තත්වයකි.

නමුත් ප්‍රශ්නය වූයේ එදිනෙදා රිකරන්ට් වියදම් නොවේ. විශ්ව විද්‍යාලයේ විවිධ වැඩ කටයුතු සඳහා අවශ්‍ය කැපිටල් ආම්පන්න මිලට ගැනීම සඳහා මුදල් ය.

නැන්දා දුන් මුදල මුළුමනින් ම වැය වූයේ යාන්ත්‍රික ඇඳීම විෂයය සඳහා අවශ්‍ය කවකටු පෙට්ටිය, විහිත චතුරශ්‍ර, කෝදුව සහ අනෙකුත් දේ මිලට ගැනීමටයි. ඊළඟ අවශ්‍යතාවය වූයේ කැල්කියුලේටරයකි. ඒ සඳහා අවශ්‍ය මුදල ද යාන්තමින් සපයා ගැනීමට මට හැකි විය.

අවශ්‍ය වර්ගයේ FX-80 කැෂියෝ කැල්කියුලේටරයක් මහනුවර වෙළඳ ශාලාවකින් රුපියල් 800 කට මිලට ගැනීමට හැකි බව එසේ කළ සහෘද සිසුවෙකුගෙන් අසා දැනගත් මා කළේ, වෙනත් කාර්යයක් සඳහා මහනුවර යන අයෙකුට මුදල් දී එය ගෙන්වා ගැනීමයි. එවකට පැණිදෙණියේ සිට මහනුවරට බස් ගාස්තුව රුපියල් හතරක් විය. තේ කෝප්පයකට යන වියදමත් සහිතව, මා කැල්කියුලේටරය සඳහා වැයවෙන ඕවර්හෙඩ් වියදමෙන් රුපියල් දහයක් ඉතුරු කර ගත්තේ එලෙසිනි.

මා විශ්ව විද්‍යාලයේ තෙවන වසර අරඹන විට මගේ මල්ලී මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලැබුවේ ය. ඔහු පිළියන්දල නැන්දා ගේ නිවසේ නවාතැන් ගත් නිසා, අවශ්‍ය වියදම තරමක් අඩුවුවත්, මට මෙන් ම අනෙකුත් වියදම් ඔහුට දරන්නට සිදුවී තිබුණි.

යාන්ත්‍රික ඇඳීම් සඳහා මා මිල දී ගත් උපකරණ කට්ටලය, මා සමග ආනන්ද විද්‍යාලයේ දී කලක් එකට ඉගෙනුම ලැබූ මා දෙවන වසරේ සිටියදී පේරාදෙණියට පැමිණි පාලිත ඒකනායකට පාවිච්චි කිරීම සඳහා දී තිබුණි. මල්ලීට දීම සඳහා මා එය ඔහුගෙන් ඉල්ලා සිටි විට පාලිත කියා සිටියේ ඒ සියල්ල කැඩී බිඳී ගිය බවයි. කාලයක් පවතින්නට සැලසුම් කර චෙකොස්ලෝවියාවේ නිෂ්පාදිත සුදු යකඩ උපකරණ දෙවසරක් යන්නටත් පෙර කැඩෙන්නේ කෙසේ දැයි මා පාලිතගෙන් විමසුවේ නැත.

මල්ලීට අලුතෙන් ම කවකටු පෙට්ටියක් සහ අනෙකුත් අදාළ උපකරණ මිලට ගැනීමට මුදල් වැය කිරීමට තාත්තාට සිදු විය.

මට කළ හැකි එකම දෙය වූයේ මා සතුව තිබූ FX-80 කැල්කියුලේටරය මල්ලීට දී, එමගින් තාත්තා ගේ බර තරමක් හෝ සැහැල්ලු කිරීම පමණකි.

පළමු වසරේ යාන්ත්‍රික ඇඳීම සඳහා උපයෝගී කරගන්නා කවකටු පෙට්ටියේ උපකරණ අවශ්‍ය වෙන්නේ පළමු වසරේ දී පමණි. මගේ උපකරණ පාලිතට දීමට මට හැකි වූයේ එනිසා ය.

නමුත්, කැල්කියුලේටරය යනු හැම වසරකදී ම විවිධ අධ්‍යයන කටයුතු සඳහා නිරතුරුවම අත්‍යවශ්‍ය වෙන උපකරණයක් වේ. කැල්කියුලේටරයක් නොමැතිව තවත් වසර දෙකක්ම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නට මා ගත් තීරණයට ඒ කරුණ නිසා වැඩි වැදගත්කමක් එක් වේ යැයි සිතමි.

මේ වෙන විට මා පදිංචිව සිටියේ විශ්ව විද්‍යාලය ඇතුළේ ම පිහිටි නේවාසිකාගාරයක් අපේ කණ්ඩායමේ තවත් විශාල පිරිසක් සමග වීමත් අප එකිනෙකාට සාමාන්‍ය දිනවල දී කැල්කියුලේටරයක් අවශ්‍ය වූයේ එකම වේලාවට නොවීම නිසාත්, මට ජාම් බේරාගත හැකි විය. තෙවන වසරේ විභාගය සඳහා පෙනී සිටීමට මා කැල්කියුලේටරයක් ඉල්ලා ගත්තේ අවසන් වසරේ සිසුවෙකු වූ රංජිත් ඒකනායකගෙනි.

ටික දිනකින්ම සිදු වූයේ නොසිතූ විරූ දෙයකි. මොරටුව විශ්ව විද්‍යාලයේ තුළ දී මල්ලීට දුන් ඒ කැල්කියුලේටරය අස්ථානගත විය. අලුතෙන් කැල්කියුලේටරයක් මිලට ගැනීම සඳහා තාත්තා මල්ලීට මුදල් ලබා දුන්නේ ය. මේ වෙන විට තාත්තා ද නොතාරිස්වරයෙකු ලෙස තරමක හෝ අමතර ආදායම් මාර්ගයක් සාදා ගෙන තිබුණි.

තාත්තා ගේ වියදම් අඩු කිරීම සඳහා මා කළ ඒ මහා කැල්කියුලේටර් කැප කිරීම අවසානයේ දී ගඟට ඉනි කැපුවා වැනි වූයේ එලෙසිනි.

පේරාදෙණිය විශ්ව විද්‍යාල ජීවිතයේ අවසානය දක්වා ම ණයට ගත් කැල්කියුලේටර්වලින් ජාම් බේරා ගත් මා, නැවත කැල්කියුලේටරයක් මිලට ගත්තේ තවත් වසර තුනකට පමණ පසුව පශ්චාත් උපාධි සමයේ දී ය.

-රසිකොලොජිස්ට්

ප/ලි
මෙන්න කැල්කියුලේටරයක් ළඟ ඇති අයට අප එකල කාලය මැරීම සඳහා භාවිතා කළ පැරණි අභියෝගයක්.

කැල්කියුලේටරය පණ ගැන් වූ වහාම දර්ශන තලයේ දිස්වන්නේ 0 අංකයයි. මෙතැනින් අරඹා, අංක කිසිවක් භාවිතා නොකර, විවිධ ශ්‍රිත පමණක් උපයෝගී කරගෙන, අංක 1 සිට 9 දක්වා වරකට එක් අංකයක් බැගින් එහි දර්ශනය කරවීමට ඔබට හැකි ද?

(http://electricimage.deviantart.com/art/Casio-fx-80-calculator-116310807)