Tuesday, 28 March 2017

දේශපාලුවන් සම්මාන දුන් අපි නොදන්නා සයිබර් සම්මාන උළෙලක් - Cyber Awards 2016 (Blogs, Vlogs, Twitter, Instagram and all included)


දේශපාලුවන් පැමිණ සම්මාන ප්‍රදානය කළ නමුත්, ඒ ගැන කිසිදු කචල්-බචල් ඇති වූ බවට ආරංචියක් නැති සම්මාන උළෙලක් ගැන විස්තරයක් පසුගිය දා මට අසන්නට ලැබුණි.
මේ සම්මාන උළෙල බ්ලොග් සඳහා පමණක් පැවැත්වූ එකක් නොවේ.

මෙය බ්ලොග්වලට පමණක් නොව ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, ව්ලොග් හෙවත් වීඩියෝ බ්ලොග් ඇතුළු සයිබර් අවකාශයේ සමස්ත සමාජ මාධ්‍ය සියල්ලට ම වාගේ සම්මාන පිරිනැමූ අප නොදන්නා සම්මාන උත්සවයකි.

සම්මාන පිරිනැමීම සංවිධානය කර තිබුණේ ලංකාවේ රාජ්‍ය ආයතනයක් වන ජාතික තරුණ සංවර්ධන කාර්යාංශය (National Youth Development Bureau - NYDB) විසිනි.

ඒ කටයුත්ත පිළිබඳව මා දැන ගත්තේ ෆේස්බුක් හි සහෘද බ්ලොග්කරුවෙකු විසින් පළ කර තිබුණු පහත රූ සටහන නිසා ය.



මෙය ඒ ඒ කාණ්ඩවල හොඳම සයිබර් නිර්මාණකරුවන් සඳහා සම්මාන දීමක් නොව ජනප්‍රිය ම නිර්මාණකරුවන් සඳහා සම්මාන දීමකි. ජනප්‍රියත්වය නීර්ණය කරනුයේ වෙබ් අඩවියක ඡන්ද විමසීමක් මගින් බව පැවසුනි.

ෆෙස්බුක් හි ඉහත ඡායාරූපය සමග පළ කර තිබුණු පෙර කී ජාතික තරුණ සංවර්ධන කාර්්‍යාංශයේ වෙබ් අඩවියට ගිය විට දක්නට ලැබුණේ ඒ අදාළ පිටුව ක්‍රියාත්මක නොවන බවයි.



එසේම මේ සම්මාන ලබා දීමට නිර්දේශ වී තිබුණු ඒ ඒ සයිබර් නිර්මාණ කෙසේ කවුරුන් කෙලෙසක තෝරා තිබුණේ ද යන්න පිළිබඳව දැන ගැනීමට ක්‍රමයක් ද ඒ වෙබ් අඩවියේ අනෙක් ස්ථානවල හෝ නොතිබුණි.

කෙසේ නමුදු මෙකී සම්මාන උත්සවය පැවැත් වී තිබේ.

ඒ අවස්ථාවේ දී රූපගත කරන ලද තත්වයෙන් බාල වීඩියෝවක් පහත දක්වා ඇත.

විඩියෝව අපහසුවෙන් නරඹා මා දැනගත් පරිදි, සම්මාන උළෙලේ දී ප්‍රකාශ කෙරී ඇත්තේ ඔවුන් වෙබ් ඡන්ද විමසීම පැවැත්වීමට සූදානම් කර තිබූ දත්ත ගබඩා පද්ධතිය විනාශ වූ බවයි.

සම්මාන ප්‍රධාන දිනයට පෙර එය යථා තත්වයට පත්කර ගැනීමට නොහැකිවුනු නිසා ඔවුන් කර ඇත්තේ, ජනප්‍රියතම නිර්මාණකරුවා තේරීම නොව අවසන් වරට දකින විට ඡන්ද ලයිස්තුවේ සිටි ඒ ඒ කාණ්ඩයේ තිදෙනෙකුට සම සම්මාන ප්‍රදානය කිරීමයි.

කෙසේ වුවද, මේ සම්මාන සඳහා නිර්දේශිත නිර්මාණකරුවන්ට උත්සවය ගැන දන්නවා ආරාධනා කිරීමට නම් සංවිධායකයින්ට අමතක වී තිබුණු බව පෙනුණි!

මේ සම්මාන ප්‍රදානය කෙරුණේ ඇමතියෙකු නොවුන ද, පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලුවෙකු අතිනි. එනිසා ම දෝ, මේ උත්සවය පවත්වා තිබුණේ නෙළුම් පොකුණ රඟහලේ නොව ඒ අසල භූමියේ ය.

සිංහල බ්ලොග් අංශයේ ජනප්‍රියතම සම්මාන ත්‍රිත්වය හිමිවී ඇත්තේ, අලුත්, මාතලන් සහ අමා ගේ හීන සාප්පුව නම් බ්ලොග්වලටයි.

මෙන්න ඒ කොටස පමණක් නැරඹීමට සබැඳියක්.

https://youtu.be/SFK21lh3kyQ?t=891

මෙන්න සම්පූර්ණ යූටියුබ් වීඩියෝව.



-රසිකොලොජිස්ට්

ප/ලි:
ලිපියේ ඉහලින් ඇති දේශපාලුවෙකු අතින් සම්මාන ගැනීෙම් අර්ශනය ගැන මට කිය හැක්කේ මෙපමණකි.

"කෝණ මානයක් තිබේ ද?"

ප/ප/ලි:
මෙන්න තවත් දේශපාලුවෙකු අතින් සම්මාන ගැනීමක්. කෝණ මාන අවශ්‍ය නැත. කශේරුකා ලබ්බකව තිබේ!



(image: http://dailynews.lk/2016/12/19/features/102247)

Friday, 24 March 2017

එළිසමය, මංගල සමරවීර සහ නන්දිකඩාල් - What a mix!


සිංහල කවියක් කියන්නැයි යමෙකු ඔබෙන් ඉල්ලා සිටියොත්, ඔබේ සිහියට එන්නේ කවරාකාරයේ කවියක් ද?

ඔබ කුඩා කාලයේ මා වැනි හොඳ ළමයෙකුව සිටියා නම් එය බෝහෝ විට මෙවැනි කවියකි.
සෙත්   සිරි දෙන මහ ගුණ   මුහුදාණන්
සත්   හට වන බව දුකට   වෙදාණන්
තිත්   ගණඳුුර දුරලන   දිනිදාණන්
සිත්   සතොසින් නමදිම්   මුනිදාණන්
ඒ ලෝවැඩ සඟරාවේ එන කවියකි.

කුඩා කාලයේ සිංහල සාහිත්‍යයට ආශාවක් තිබුණා නම්, මේ ආකාරයේ කවියක් සිහිවීමට ඉඩ ඇත.
සුර රද   සමන් සමගින් සුරඟන    එවර
පැහැනද   මදාරා පරසතු මල්    පතර
කර පුද   වඳින මුනි සිරි පා    තඹර
සකි සඳ   පෙනේ සමනොළ ගිර    නැගෙනහිර
ඒ සැළලිහිණි සංදේශයේ එන කවියකි.

අඩු වශයෙන් පහත ආකාරයේ ජනකවියක් හෝ සිහිවිය යුතු ය.
මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ    පැටියා
බෙල්ල දිගයි තල්ලේ ගෝමර    කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන    හිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ    පැටියා
එකක් අනෙකට වඩා සාහිත්‍යමය ගුණයෙන් අඩු වැඩි වුණත්, මා ඉහත උදාහරණ ලෙස දැක්වූ ඒ කවි සැමෙකම ඇති පොදු ලක්‍ෂණයක් නම් ඒවා පද හතරකින් යුතු, එළිසමය සහිත, සඳැස් කවි වීමයි.

මෙහි දී එළිසමය යනුවෙන් අදහස් කෙරෙන්නේ කවියේ පද හතරම එකම ආකාරයෙන් අවසන් වීමයි.

එසේම එහිදී සඳැස් යනුවෙන් අදහස් කෙරුණේ ඡන්දසක් නොහොත් විරිතක් ඇති, එනම් තාලයකට ගායනා කළ හැකි යන්නයි.

ඉහත කවි සියල්ලේම විරිත නොහොත් තාලය මාත්‍රා දහසයකින් සමන්විත වූ සමුද්‍රඝෝෂ නම් වේ.

මීට අමතරව මුල් කවි ද්වයේම දැකිය හැකි පොදු ලක්‍ෂණයක් නම් එ කවියක සෑම පදයකම මුල් වචනය (සෙත්, සත්, තිත් සහ සිත් ලෙස) එකම ආකාරයේ නැතහොත් එකම තාලයේ වීමයි. මෙය එළිවැට ලෙස හැඳින්වේ.

වත්මන් ලංකාවේ ප්‍රබුද්ධම සිංහල කවියන් ලෙස සැලකෙන්නේ 1974 දී මියගිය මහගම සේකර, රත්න ශ්‍රී විජේසිංහ, ආරියවංශ රණවීර වැන්නන් ය. ඔවුන් ලියූ බොහෝ කවි පෙර කී සඳැස් කවි මෙන් එළිසම, එළිවැට, සිව්පද සහ විරිත්වලින් සීමා වූ ඒවා නොව නිදහස්ව ලියවුණු ඒවා ය.

නමුත්, මා පෙර කී පරිදි, සිංහල කවියක් කියන්නැයි යමෙකු ඔබෙන් ඉල්ලා සිටියොත්, මහගම සේකර ගේ හෝ රත්න ශ්‍රී විජේසිංහ ගේ හෝ කවියක් සිහියට එන්නේ කීයෙන් කී දෙනෙකු ගේ ද?

සමහර විට ඔවුන් ගේ කවි වෙනුවට, ඔවුන් විසින් ලියූ ගී පදමාලා නම් සිහියට එනු ඇත!

මා මේ කියන්නට අදහස් කරන්නේ ප්‍රබුද්ධ, සම්භාව්‍ය, ජනතා පාදක, පීචං කතා කෙසේ වෙතත්, කවි වශයෙන් නම් වී දනන් තුඩ තුඩ රැව් දෙන්නේ, මා උදාහරණ දැක් වූ ආකාරයේ සිව් පදයෙන් සමන්විත, සදැස්, එළිසමයෙන් යුතු කවි බවයි.

එළිසමයෙන් යුතු සඳැස් සිව්පද කවි ගැන ඇති ප්‍රධාන චෝදනාව නම්, ඒ ආකාරයේ කවි රචනා කිරීමේ දී, අන්තර්ගතයට වඩා ආකෘතියට මුල් තැන දීම නිසා, කවි රසය මැරෙන බවයි.

ඒ චෝදනාව පදනම් විරහිත නොවේ.

නමුත්, උසස් කවි රසයෙන් යුක්තව මෙන්ම විශේෂයෙන් ම හාස්‍ය රසය මවමින් ද, සිව්පද සඳැස් කවි අද ද ලියවෙනු මා නිරතුරු දැක තිබේ.

එසේම, මා හොඳින් දන්නා එක් කරුණක් නම්, සඳැස් කවියක් ලිවීම පහසු කාර්යයක් නොවන බවයි. පෙර කී එළිවැට රැකීම නොව එළිසමය සකසා ගැනීම ද අසීරු කාර්යයකි.

එයට හේතුව එකම ආකාරයට ශබ්ද කළ හැකි, එකම අකුරෙන් අවසාන වන ඇත, නැත, සිත, බත, හෝ සුසුම, කුසුම, පැතුම, සිතුම වැනි වචන සීමා සහිත වීමයි.

මේ නිසා බොහෝ අංකුර සිව්පද කවියන් කරන්නේ, වා-යන්නෙන් හෝ නේ-යන්නෙන් හෝ එවැනි අකුරකින් අවසාන වන වචන සහිතව කවි ලිවීමයි.

එසේම සිඩ්නි වැනි වචන කවියේ යොදා ගැනීම අසීරු නිසා, සිනුවර වැනි වචන නිර්මාණය කරන්නට ද, කවි පදයේ මාත්‍රා සම්පුර්ණ කිරීම සඳහා සක්ක පද යැයි හැඳින්වෙන, අරුතක් එක් නොකරන, වචන යොදා ගැනීමටත් සිදුවේ.

මේ සියල්ල මට සිහිවූයේ ළඟදී දිනයක විදේශ ඇමති මංගල සමරවීර කළ කථාවක කොටසක් අසන්නට ලැබුණු වෙලේ ය.

මෙන්න ඒ කථාව.

https://youtu.be/1CDUwo_aQTM?t=160

මට ක්‍ෂණයකින් සිහිවූයේ, මංගල සමරවීර එහි දී යොදාගත්, නන්දිකඩාල්, හන්දිකඩාල්, ගෙවල්කඩාල් සහ කකුල්කඩාල් යන වචන හතර යොදා එළිසමය සහිතව හොඳ සිව්පද කවියක් ලිවිය හැකි බවයි.

මෙන්න මා ලියූ ඒ කවිය.
යමු ඉදිරියට, මග දිගටම    හන්දිකඩාල්
හන්දිය අවට ඇති සියලුම    ගෙවල්කඩාල්
ගෙවල්වල ඉන්න උං ගේ    කකුල්කඩාල්
අවසානයේ ජයගත්තෙමු    නන්දිකඩාල්
කොහොමද හොඳඳ?

මගේ ඊළඟ ප්‍රයත්නය ඉහත වචන උපයෝගී කරගෙන එළිසමය පමණක් නොව එළිවැට ද යොදා සිව්පද කවියක් ලිවීමයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලකට පෙර අප අතර පැවති කවි සංවාදයක දී, කවි ලියන විට එළිසමය රැකීම ගැන කතා බහක් ඇති විය.

මේ මා එතැන දී ලියූ කවියකි.
ඇත   පිහිනා   එතෙර පැදි නදි  සුකුමාලී
නැත   දැනිලා   වෙහෙස, හති,  බැඳ පද පේලී
සිත   පිරිලා   ඇතොත් කිති කැවෙනා  කෑලී
අත   හැරලා   නොයන් එළිසම  හද ලෝලී

ප/ප/ලි:
මංගල සමරවීර ගේ කතාවේ තවත් කොටස්-


(image: https://www.yamu.lk/blog/7-sinhala-books-we-read-as-kids)

Wednesday, 22 March 2017

කව්ද ඇත්ත කියන්නේ - නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල පාදක කොට පැවැත්වුණු ස්වාධීන රූපවාහිනී වැඩ සටහන නරඹමු - ITN Television Program on Sinhala bogging


ඊයේ, 2017 මාර්තු 21 බදාදා ස්වාධීන රූපවාහිනී සේවාවේ සජීවිව පැවැත්වුණු සිංහල බ්ලොග්කරනය පිළිබඳ වැඩසටහනේ පිටපතක් මේ වන විට ඒ නාලිකාවේ වෙබ් අඩවිය හරහා නැරඹිය හැක.

http://tv.itn.lk/2017/03/21/kawuda-eththa-kiyanne-2017-03-21/

අපට යූටියුබ් හරහා ද ඒ වැඩ සටහන කොටස් වශයෙන් නැරඹිය හැකිය.

මුල් කොටස:



දෙවෙනි කොටස:



තුන්වෙනි කොටස:



මගේ මූලික නිරීක්‍ෂණය නම් සාකච්ඡාවට සහභාගී වූ සියලු දෙනාම ද, විශේෂයෙන් ම වැඩසටහන මෙහෙය වූ රූපවාහිනී මාධ්‍යකරුවා ද හොඳින් තම කාර්යය ඉටු කළ බවයි. ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යයක මේ ආකාරයෙන් බ්ලොග් ගැන සාකච්ඡා වීම ඉතා වැදගත් බව මගේ අදහස යි.

ස්තුතියි.

මෙවර නෙළුම් යාය සම්මාන සඳහා නිර්දේශ වූ සියලුම සහෘද බ්ලොග්කරුවන්ට මගේ සුබ පැතුම්!

-රසිකොලොජිස්ට්

ප/ලි
අදාල වෙනත් ලිපි කිහිපයක්:
  1. මා බ්ලොග් ලියන්නේ ඇයි? - My car, my petrol
  2. සියපත සුවඳමය - Bloggers blog blogs.....!!!
  3. නෙළුම් යාය සම්මාන ප්‍රදාන උත්සවය පිළිබඳ මගේ සටහන - My highlights of the awards ceremony
  4. "නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල සහ බයි වෛරය - Nelum Yaya Blog awards ceremony 2017

Monday, 20 March 2017

අතුලත්මුදලි ලලිත් සහ ආරච්චිසූරිය ශ්‍රීපති - What's in a name? A lot, I would say!


පසුගිය සතියේ සිට විවිධ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන එක්තරා මාතෘකාවක් පිළිබඳව මම සටහනක් ලියමින් සිටියෙමි. එහි ඇතුළත් වෙනු ඇත්තේ මහපොළ ශිෂ්‍යත්වය සහ එහි නිර්මාතෘ ලලිත් අතුලත්මුදලි පිළිබඳව මගේ පුද්ගලික අත්දැකීම් කිහිපයකි.

කාලය පිළිබඳ ප්‍රශ්නයක් නිසා තවමත් අවසන් කර ගත නොහැකි වුණු ඒ සටහනේ ආරම්භය ලෙස මා ලියූ මේ කොටස මුලින් පළ කිරීමට සිතුවෙමි.

මෙය මුට්ටිය දැමීමකට වඩා වෙනත් ආකාරයක කළමනාකරණ විසඳුමක් බව සලකන්න.

පසුගිය දිනවල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇතිවුණු සිදුවීම පිළිබඳව අදහස් දැක්වීමේ දී, අති බහුතරයක් දෙනා නොදැන කරනා වරදක් මුලින් ම නිවරද කළ යුතුය. එනම්, වර්ෂ 1981 දී මහපොළ නම් ශි’ෂ්‍යත්ව ක්‍රමය ඇරඹූ, එවකට පැවති යූඇම්පී රජයේ වෙළඳ ඇමතිවරයා ගේ පෙළපත් නම ඇතුලත්මුදලි නොවේ. එය අතුලත්මුදලි වේ.

අතුලත්මුදලි සහ ඇතුලත්මුදලි අතර වෙනසට හේතුව හෙළ හවුල හෝ ඔවුන් විසින් ගෙන ගිය අසාර්ථක ඇ-කාරයේ විකාරය ව්‍යාපාරය නොවේ.

එය මනාප පොරය පිළිබඳ ප්‍රශ්නයකි. ඇත්තට ම, ප්‍රශ්නයක් නොව, විසඳුමක් යැයි සිතමි.

අප එතෙක් කල් ලලිත් ඇතුලත්මුදලි යැයි දැන සිටි පුද්ගලයා ගේ නම ඇතුලත්මුදලි නොව අතුලත්මුදලි බව අප දැන ගත්තේ, පසුගිය සියවසේ අසුවේ දශකයේ දී, ඒකල ඡන්ද කොට්ඨාස ක්‍රමය අහෝසි කර, සමානුපාත ක්‍රමයට නියෝජිතයින් තෝරන දිස්ත්‍රික්ක ක්‍රමය ඇරඹුණු පසු පැවැත්වුණු දෙවැනි ඡන්ද විමසීමේ දී ය.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වුණු මුල් ම ඡන්දයේ දී, ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා නියෝජිතයින් පත් කිරීමට අවශ්‍ය අපේක්‍ෂක අනු-පිළිවෙළ මැතිවරණ කොමසාරිස්ට දැනුම් දුන්නේ ඒ ඒ දේශපාලන පක්‍ෂ විසිනි. ඒ ඒ පක්‍ෂයට හිමිවෙන නියෝජිතයින් සංඛ්‍යාව අනුව ඒ ඒ ලයිස්තුවලින් අපේක්‍ෂකයින් තෝරා ගැනුණි.

ඒ මුල් මැතිවරණයේ දී, එවකට ලංකාවේ ජනාධිපති සහ යූඇම්පියේ නායක ජේ.ආර්. පප්පාට තේරුම් ගියේ ලයිස්තුවේ මුලින් ඉන්නා අපේක්‍ෂකයින් තමන් අනිවාර්යෙන් ම තේරී පත්වෙන බව දන්නා නිසා ඡන්දයට බැහැලා වැඩ කිරීමක්, ඇඟෙන් ම වැඩ කිරීමක්, නොකරන බවත්, එසේම, ලයිස්තුවේ අගින් ඉන්නා අපේක්‍ෂකයින් ද තමන් ද කිසිසේත් ම තේරී පත් නොවෙන බව දන්නා නිසා, ඡන්දයට බැහැලා වැඩ කිරීමක්, ඇඟෙන් ම වැඩ කිරීමක්, නොකරන බවත් ය.

එනම්, එකිනෙකා අතර තරගයක් නොමැති නිසා, පොදු අරමුණට තරමක් හෝ කෙළවෙන බවයි.

ඉතිං, ජේ.ආර්. පප්පා කළේ, මනාප ක්‍රමය හඳුන්වා දීමයි.

ද රෙස්ට් ඊස් හිස්ටරි!

මේ මනාප ක්‍රමය යටතේ ජනතා මනාපය දිනා ගැනීමට අපේක්‍ෂකයින්ට ජනප්‍ර්‍රියත්වය සමග හොඳ අංකයක් ද අවශ්‍ය විය.

අංක එක යනු හොඳ අංකයක් පමණක් නොවේ, ලයිස්තුවේ මුල්ම අංකය ද වේ.

ලයිස්තුව සාදන්නේ සිංහල අකාරාදිය අනුව නිසා, ඇ-යන්නට පෙර, අ-යන්න ලයිස්තුගත වේ.

ඉදින්, අප එතෙක් දැන සිටි ඇතුලත්මුදලි, ලලිත් වෙනුවට අතුලත්මුදලි ලලිත් යූඇමපීයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා දුන්නේ යැ.

කොහොමටත් ඉංග්ලිෂ් අකුරෙන් ලියූ විට යොදන්නේ ඉංග්ලිෂ් අකාරාදියේ මුල්ම අක්‍ෂරය වෙන A නොවැ?

පේරාදෙණිය සිද්ධිය අරබයා මා ලියන්නටැ යන ලිපියේ ඉන්නේ ඇතුලත්මුදලියෙකු නොවැ අතුලත්මුදලියෙකු බවැ සලකන්නැ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ආරච්චිසූරිය ශ්‍රීපති ගැන මතකද?

(image: https://www.linkedin.com/pulse/tribute-hon-lalith-athulathmudali-srimal-fernando-srimal-fernando)

Saturday, 18 March 2017

කෙල්ලන් ගණිතය විෂයට අදක්‍ෂ ය! - Have a look at the statistics


මැවිසුරු නොහොත් ඉංජිනේරු වෘත්තිය අද මේ විසි එක්වන සියවසේ දෙවන දශකය ගෙවී යන කාලයේත් සෑහෙන දුරට පිරිමින් ගේ ක්‍ෂේත්‍රයකි.

මා පේරාදෙණිය විශ්වවිද්‍යාලට ඇතුළත් වූ මීට පරම්පරාවකටත් වඩා ඉහත කාලයේ අපේ කණ්ඩායමේ සිටි විද්‍යාර්ථීන් 250 දෙනාගෙන් ගෑල්ළමයින් සිටියේ 10% ක් පමණ සංඛ්‍යාවකි. කුමක් දෝ හේතුවක් නිසා අපට වසරක් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ නම් ඒ සංඛ්‍යාව 16% ක් විය. නමුත්, මා එහි සිටි සිව් වසරක කාලය තුළ කාන්තා ප්‍රතිශතය 10% ඉක්මවා ගියේ නැති තරම් ය.

ඒ පේරාදෙණියේ ය. කටුබැද්දේ අපට සමාන්තර කණ්ඩායමේ කාන්තා නියෝජනය ආසන්නව 14% වූ බව මා මිත්‍ර ප්‍රේමරත්න සමරනායක පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇති දත්ත අනුව, 2015 වසර වන විට පවා මේ ප්‍රතිශතය වැඩි වී ඇත්තේ 20% දක්වා පමණි. ඒ, අද ලංකාවේ ජනගහනයෙන් 51% ක් කාන්තාවන් වන වාතාවරණයක දී ය.

ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ කාන්තා නියෝජනය අඩු වී ඇත්තේ, තරුණ ගැහැණු ළමුන් ජීව විද්‍යා අංශයට වඩා කැමති වීම නිසා හෝ ගණිතයට අකමැති නිසා හෝ යැයි තර්කයක් ගෙන ආ හැකි නමුත්, දත්ත විශ්ලේෂණයකින් පසුව මා නිගමනය කළේ, මේ තත්වයට මූලික හේතුව නම්, කාන්තාවන් ගණිතය විෂයට අදක්‍ෂ නිසා බවයි.

අපේ කාලයේ විශ්වවිද්‍යාල භාෂාවෙන් කිවහොත් කෙල්ලන්ට මැත හොර බවයි!

මා මේ නිගමනයට එළැඹියේ, පෙර සඳහන් කළ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දත්ත අනුසාරයෙනි.

පහත වගුව බලන්න.

පාඨමාලාවකාන්තා ප්‍රතිශතය
ඉංජිනේරු විද්‍යාව20%
තොරතුරු තාක්‍ෂණය44%
වාස්තු විද්‍යාව/ප්‍රමාණ සමීක්‍ෂණය40%
(සම්පූර්ණ දත්ත ලිපියේ අවසානයේ දක්වා ඇත).

එයින් පෙනී යන පරිදි, ඉංජිනේරු පාඨමාලා සඳහා අවස්ථාව ලබා ඇති සිසුන් අතුරෙන් කාන්තා ප්‍රතිශතය 20% වූව ද, ගණිතය විෂය ධාරාවේ අනෙක් විශ්වවිද්‍යාල පාඨමාලා වන පරිගණක තාක්‍ෂණය සඳහා ඒ ප්‍රතිශතය 44% ක් ද, වාස්තුවිද්‍යා/ප්‍රමාණ සමීක්‍ෂණ සඳහා ප්‍රතිශතය 40% ක් ද වශයෙන් ඉහළ අගයන් ගනී.

මෙයින් පෙනී යන්නේ, උසස් පෙළ සඳහා ගණිතය විෂයය ධාරාව හදාරන සිසුවියන්ට ඉහළ ලකුණු ගෙන ඉංජිනේරු පීඨවලට ඇතුළත් වීම සාපේක්‍ෂව අසීරු බවයි.

එනම්, කාන්තාවන් ගණිතය විෂයට අදක්‍ෂ බවයි.

අපේ කාලයේ විශ්වවිද්‍යාල භාෂාවෙන් කිවහොත් එදා පමණක් නොව අද ද කෙල්ලන්ට මැත හොර බවයි!

ජීව විද්‍යා සහ භෞතික විද්‍යා ධාරාවන් එකට ගත් කළ, විද්‍යා පීඨයන්ට ඇතුළත් වූ කාන්තාවන් ගේ ප්‍රතිශතය 46% බව ද සඳහන් කළ යුතුයි.

දැන් ජීව විද්‍යා විෂය ධාරාවන් හි සමාන දත්ත සහිත පහත වගුව බලන්න.

පාඨමාලාවකාන්තා ප්‍රතිශතය
වෛද්‍ය59%
දන්ත වෛද්‍ය59%
පශු වෛද්‍ය56%
කෘෂි විද්‍යා68%
පරිපූරක වෛද්‍ය68%
(සම්පූර්ණ දත්ත ලිපියේ අවසානයේ දක්වා ඇත).

එහි දී වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය පාඨමාලා සඳහා තේරී ඇති කාන්තාවන් ගේ ප්‍රතිශතය අඩු වැඩි වශයෙන් සමාන මට්ටමක පවතී. කෘෂි විද්‍යා සහ පරිපූරක වෛද්‍ය පාඨමාලා සඳහා ප්‍රතිශතය කිසිසේත් ම දෙගුණ වීමක් නැත.

එනම්, ජීව විද්‍යා විෂයන් සඳහා කාන්තාවන් සහ පිරිමින් අතර වෙනසක් නැත.

මේ කරුණු සලකා බැලූ විට, එදා ද, අද ද වෙනසක් නැතුව කෙල්ලන්ට මැත හොර බව මෙලෙස ඔප්පු වේ යැයි සිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා කලින් සඳහන් කර ඇති කාරණය, එනම් තරුණ ගැහැණු ළමුන් ජීව විද්‍යා අංශයට වඩා කැමති වීම සහ ඔවුන් ගණිතයට අකමැති වීම ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ කාන්තාවන් අඩු වීමට හේතු වී ඇත යන්නට අමතරව, එහි විලෝමය, එනම් පිරිමි ළමුන් ජීව විද්‍යා අංශයට වඩා අකැමති වීම සහ ඔවුන් ගණිතයට වඩා කැමති වීම ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ පිරිමින් වැඩි වීමට හේතු වේ යන්න ද සත්‍යයක් යැයි සිතමි.

මා අතීතයේ දිනක, දෙමව්පියන් කුමක් සිතුවත් ගණිතය ම තෝරා ගත්තේ, ජීව විද්‍යාවට තිබුණු අකමැත්ත නිසා ය.

ප/ප/ලි:
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නිකුත් කළ දත්ත (2015) පහත දැක්වේ.


(image: http://www.pdn.ac.lk/eng/pages/societies/ieee/wp-content/uploads/2016/05/13072807_1339040626112972_3650589393304844123_o.jpg)

Thursday, 16 March 2017

පරකන්දෙණියේ ධම්මවංශාභිධාන කතා වස්තුව – Buddhism betrayed


එකල්හි අප මහා පස්වෙනි ජෝර්ජ් මහ රජාණන්දෑ හිරු නොබසින අධිරාජයේ දැහැමෙන් සෙමෙන් රාජ්‍යය විචාරමින් කල් යවනා කාලයේ, ඉන්දීය සයුරේ කඳුළු බිඳුව නම් වූ විරුදාවලි ලද එක්තරා කොදෙව්වක බස්නාහිර පළාතේ සියනෑ කෝරළයේ පරකන්දෙණිය නම්වූ පසල් දනව්වේ විසුවා වූ කෙළෙඹි පුත්‍රයෙකි.

තම බිරින්දෑ සමග කාලයක් තිස්සේ පවුල් කෑවා වුව ද, දරුවෙකු නොමැති වූ නිසා, ඔහු විසුවේ තරමක කනස්සලෙන් බව අද අපට සිතිය හැක.

මේ කාරණය නිසා හෝ වෙනත් හේතු කාරණා නිසා හෝ මේ අඹුසැමි යුවළ අතර නොහොඳ නෝක්කාඩු, අමනාපකම්, හැල හැලැප්පීම්, වලි හෝ කචල් තිබුණේ දැයි පාරම්පරික ප්‍රවාදයෙහි සඳහන් නොවේ.

එසේ වතුදු, මේ කෙළෙඹි පුත්‍රයාට තම බිරිඳ ගේ කනිටු සොහොයුරිය සමග යම් කිසි පහිරු-පාසානයක්, අනියම් සබඳකමක්, ඇති කරගන්නට මූලික වූ යම් යම් කාරණා තියෙන්නට ඇත.

එකල මේ ධර්මද්වීපයෙහි ප්‍රීති ය, මිතුරි ය, කොන්ඩොම් ය, මෝනිං ආෆ්ටර් ෆිල් ය යනාදී විවිධාකාර උපත් පාලන විධික්‍රම නොතිබුණි. එසේ තිබුණේ වුව ද, මේ පටලැවිල්ලට ඒවා අවැසි නොවන්නට ඉඩ තිබුණි.

මෙසේ කාලයක් කොටු පනිමින් සිටියායින් අනතුරුව, තම අනියම් බිරිඳ හෙවත් ස්පෙයාවීලය ගැබ්ගත් කල් හී අප කෙළෙඹි පුත්‍රයාණෝ කල්පනා කරන්නේ, මා මේ නූපන් දරු ද, උන් මෑණියන් ද දෙඇස මෙන් රකින්නෙමියි සිතා අදිටන් කොට ගෙන තම පසල් දනව්වේ අනිත් කෙළවර ගෙපැලක් අටවා තම ගැබ්බර පෙම්බරිය එහි පදිංචි කරාවාලූ හ.

මෙසේ දස මස් ඇවෑමෙන් පින්වත් පුත් කුමරුවෙක් එමව්කුසෙන් මෙලොවට ජනිත විය. හේ සූරියආරච්චිගේ බුද්ධදාස ලෙසින් නම් ලද්දේ ය.

තම පියා සපයා දී, මව උයා පිහා දෙන අහරින් මනාව පෝෂණය ලද එකුමරු තෙමේ කෙමෙන් වැඩී පුෂ්ටිමත්, බුද්ධිමත් දරුවෙකු බවට පත්විය. ගමේ පාසලේ ගුරුන් ගේ සිත් දිනා ගනිමින් අකුරු උගත්තේ ය.

මෙලෙස තව කලක් ගත විය.

ආරෝහ පරිණාහ උත්තුංග දේහයෙන් ද, මනා ඡවි කල්‍යානයෙන් ද, සිය පිය පාර්ශවයෙන් හොඳින් සම්මාදම් ලද පිරිපුන් සඳක්වන් පින්වන්ත මුහුණෙන් ද යුතු වූ අප බුද්ධදාස තරුණ තෙමේ, ජන්මාන්තර පුරුද්දක් නිසා දෝ කල්පනා කළේ මහණ දම් පිරීමටයි.

බුද්ධදාස කුමරා වාසය කළ නිවස පිහිටි පසල් දනව් ග්‍රාමයට අයිති වූයේ නුදුරින් තිබූ කොස්සින්න රජමහා විහාරයේ හතර පේරුවටයි. මෙකී කොස්සින්න රජමහා විහාරය වනාහී තායිලන්ත නිකායේ අස්ගිරි චැප්ටරයට අයත් වූවකි. ඒ නඩයේ පන්සලක මහණ දම පුරන්නට වරම් ලැබෙන්නේ උභය කුල පාරිශුද්ධ අයට පමණි.

එනම් මූලිකව ම. මහණ දම් අපේක්‍ෂිත පින්වත් කුමරුවා ගේ මව්පිය දෙපළ ම ගොවිගම කුලයේ විය යුතු ය.

එපමණක් නොව කුමරුවා ගේ පැටිකිරිය ද පාරිශුද්ධ විය යුතුය.

අප කතානායක බුද්ධදාසයන්ට නොතිබුණේ මේ දෙවැනි සුදුසු කමයි.

සිය මව, සිය පියා ගේ නීත්‍යානුකූල බිරිඳ නොව ස්පෙයාවීලය වූ හෙයින් ගමේ පන්සලේ සංඝරාජලාට අනුව බුද්ධදාස යනු අවජාතකයෙක් වී ය.

එදා සුනීතලා, සෝපාකලා, අංගුලිමාලලා මහණ දම් පිරුවේ ද, නන්දලා, ආනන්දලා, රාහුලලා සමග එකම ශාසනයේ, එකම දෙව්දම් වෙහෙරේ, එකම අනාථපිණ්ඩිකස්සාරාමයේ බව මෙකී මහණුන්ට අමතක වී තිබුණි.

එයින් උකටල වූයේ අපේ බුද්ධදාසයන් නොවේ.

බුද්ධදාස තෙමේ වාසය කළ පසල් දනව්වට ගව්වක් දුරින් පිහිටි සූරිගම නම් වූ ග්‍රාමයේ පන්සල අයත් වුයේ රාමඤ්ඤ නිකායට ය. මේ නිකාය වනාහී පෙරකී තායිලන්ත නිකාය මෙන් කුල-මල, වත-ගොත, පෙළපත, කසාද සහතික යනාදිය මත මහණකම දෙන නිකායක් නොවේ.

එසේ හෙයින් අප බුද්ධදාසයන් ගේ මහණදම් පුරන ප්‍රාර්ථනය ඒ ආකාරයෙන් ම ඉෂ්ටප්‍රාප්ත වී ය. හේ පරකන්දෙණියේ ධම්මවංශ නමින් පැවිදි දිවියට ඇතුළත් විය.

එතැන් සිට මෙම වෘතාන්තය ඉතා කෙටියෙන් පවසන්නේ නම් මෙසේ ය.

මනා ලෙස තම පිරිවෙන් අධ්‍යාපනය නිමවා ප්‍රාචීන, පණ්ඩිත ආදී උපාධි ලැබූ ධම්මවංශ හිමියෝ පසු කලෙක ඉන්දියාවේ කල්කටා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව එහිදී ශ්‍රාස්ත්‍රවේදී (Bachelor of Arts) සහ ශ්‍රාස්ත්‍රපති (Master of Arts) උපාධි ලබා යළි සිරිලකට වැඩම කොට සූරිගම නාගර්ජුන පිරිවෙනේ පරිවේනාධිපති ලෙස සඟ පරපුරට ද, සුමධුර ධර්ම කථිකයෙක් ලෙස උපාසක, උපාසිකා පරපුරට ද සේවය සලසමින් වැඩ වාසය කරමින් හිඳ, සංඝ නායක තනතුරකින්ද පිදුම් ලදුව, පසු කලෙක තම ආයුෂහරණය වූ කල් හී අපවත්වී වදාළ හ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සූරියආරච්චිගේ බුද්ධදාස කුමරුන් මෙලොව එළිය දුටු විසිවන සියවස මුල් කාලයේ ලක්බිම පැවති බුද්ධ ශාසනයේ අජූත නිකාය භේදය ගැන විස්තර දැන ගැනීමට පියදාස සිරිසේන ලියූ "විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය" නමැති කෘතිය කියවන්න.

වසර සියයකටත් පසුව තවමත් ඒ තත්වය බොහෝ දුරට නොවෙනස්ව පවතින බව පසුගිය දා මහනුවර මගුල් මඩුවේ දී පැවැත්වුණු කැප්පෙටිපොළ ෂෝ එකේ දී, සිදුවී ඇතැයි පැවසෙන නිකාය පිළිබඳ කේසය නිසා අපට වටහා ගත හැක.

වසර කිහිපයකට කලින් ලියවුණු මේ ලිපිය යළි සකසා පළකරන්නට සිතුණේ එනිසා ය.

(image: http://www.panoramio.com/photo/79103209#)

Tuesday, 14 March 2017

ෆේස්බුක් විනෝද සාගරේ - Facebook: Entertainment Galore


"ෆෙස්බුක් තියෙන්නේ පොඩි ෆන් එකක් ගන්නනේ අපෙ හාමුදුරුවනේ!" වැනි ප්‍රකාශයක් එක්කෝ මහාබයියා විසින් හෝ නැතිනම් වෙනත් අයෙකු විසින් හෝ කියන වීඩියෝවක දර්ශනයක් මීට වසර දෙකහමාරකට පමණ පෙර මා දුටු බවට මතයක් තිබේ.

එය සත්‍යයකි. සත්‍යයක් මිස වෙනකක් නොවේ. කොටින් ම, ෆෙස්බුක් යනු විනෝද සාගරයකි.

ඒ බව සනාථ කරවන, මා නොබෝදා ලැබූ, අපූරු අත්දැකීමක් අද ඔබ සමග බෙදා ගැනීමට සිතුවෙමි.

මේ කතාවේ ඇති උත්ප්‍රාසය නම්, ඒ "ෆේස්බුක් යනු රස සාරයකි!" යන්න මට හොඳින් පෙන්වා දුන්නේ ද, පෙර කී මහබයියා ගේ අනුගාමිකයින් වීම යි.

හැබැයි, ඒ ඔවුනුත් ෆන් එකක් ගනිමින් නම් නොවේ. ඒ වෙනුවට, ඔවුන් සිටියේ කෝපයෙන් දැවෙමින්, ලේ රත්කර ගනිමින්, කක්කා බර හදා ගනිමින් බව පහත විස්තරය කියවන ඔබට ද පැහැදිලි වෙනු ඇත.

පසුගිය දින කිහිපය බෝ ගස් පිළිබඳව අපේ අවධානය යොමු වූ කාලයක් බව අපි හොඳින් දනිමු.

මුලින් ම, තම පියා, වික්ටර් රත්නායක, ගේ දෙවන විවාහය කඩාකප්පල් කිරීම සඳහා බෝධි පූජා පවත්වන ලෙස ඔහු ගේ කනිටු පුත් ලෙලුම් ඉල්ලා සිටියේ ය.

ඒ සමගම බෝධි පූජා සම්බන්ධයෙන් මට අසන්නට ලැබුණු අතුරු කතා දෙකතුනක් පිළිබඳව ද මම ලිපියක් ලියා පළ කළෙමි.

බෝධි පූජා සම්බන්ධව ඒ ආකාරයේ එක් කතාවක් වූයේ, W3Lanka බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ විසින් මතු කරන ලද, "බෝගස්වලට ආදරේ කිසිවෙකු තමන්ගේ වත්තේ හෝ බිත්තියක හෝ බෝ ගසක් පැළ වීමට නො දෙන්නේ ඇයි?" යන බඩ කොරවෙන ප්‍රශ්නය යි.

ඇත්තටම, එලෙස කළා නම්, අප සැමට නිවසේ සිට ම විමධ්‍යගත මොඩලයේ බෝධි පූජා දිනපතා ම හෝ දිනකට කිහිප වරක් හෝ පවත්වා දැහැමෙන් සෙමෙන් රෝගාබාධයෙන් තොරව කල් ගත කළ හැකි වෙනු ඇත.

මේ ආකාරයේ අදහස් ෆේස්බුක් හි සඳහන් වුණු තැන් කිහිපයකට ම, මම මෙලෙස පැවසීමි.

මං දවසක බුදුවුණොත් බුදුවෙන්නේ තැඹිලි ගහක් යටයි.

මම මේ අදහසම, තැඹිලි ගසක ඡායාරූපයක් ද සමගින් මගේ ම ෆේස්බුක් කාල රේඛාවේ ද පළ කළෙමි.

"අපෙ හාමුදුරුවනේ, ෆෙස්බුක් කියන්නේ රස සාගරයක්!" බව මට තේරුණේ එයින් පසුවයි.

මෙන්න පළමුවෙනි උදාහරණය.
(https://www.facebook.com/apjayasinghe/posts/10155031104789326)



මෙන්න දෙවෙනි උදාහරණය.
(https://www.facebook.com/nadeesha.chandrasena/posts/10210385872178023)


මට ප්‍රණීත වචනයෙන් සංග්‍රහ කරමින් සටහන් තබා, ෆේස්බුක් යනු රස සාගරයක් බව ස්ඵුට කළ ඒ පින්වතුන් දෙදෙනා ම හිටපු රජා ගේ අමු වහල් බයියන් බව ඔවුන් ගේ ෆේස්බුක් කාල රේඛා දෙස බැලීමෙන් මට වැටහිණි.

බයියන් ෆෝම් කිරීම රස උල්පතක් බව මා පෙර සිටම දැන සිටියත් මේ අත්දකින්නට ලැබුණේ නම් බලාපොරොත්තු නොවූ බෝනස් රසයකි.

ඔබටත් ෆන් බෝ වේවා!

-රසිකොලොජිස්ට්

(image: http://www.strippedpixel.com/ten-thousand-buddhas-hong-kong/)

Saturday, 11 March 2017

කඩේ ගියෙමි! - My shopping cart this week


අප සාමාන්‍යයෙන් කඩේ යන්නේ සති අන්තයේ ය. දෙන්නා ජෝඩු දමා නොවේ. එක්කෝ බිරිඳ ය, නැති නම් මා ය.

ලංකාවේ ඇති කීල්ස්, සතොස සහ කාර්ගිල්ස් ආකාරයේ කොම්පැනි කඩ ප්‍රධාන වශයෙන් තුනක් අපේ පළාතේ තිබේ. නම් වශයෙක් කිවහොත් ඒවා වූල්වර්ත්ස්, කෝල්ස් සහ අල්ඩි ය. මීට අමතරව අයිජීඒ නමින් ස්වාධීන කඩකරුවන් ගේ කඩවර්ගයක් ද ඇත. ෆෑන්ක්ලීන්ස් නමින් ද කඩ වර්ගයක් කාලයක් තිස්සේ තිබුණු නමුත්, දෙවසරකට පම පෙර ඒ සමාගම බංකොලොත් වී ගියේ ය.

අප සාමාන්‍යයෙන් බඩු ගන්නේ වූල්වර්ත් කඩයෙන් හෝ අල්ඩි කඩයෙනි. එයට මූලික හේතුව ඒ කඩ පිහිටා ඇති ස්ථාන කරා යාම අපට පහසු වීමයි. මීට අමතරව, අප සාමා්‍යයෙන් එළවළු වර්ග ගන්නා කඩ දෙකක් ද ඇත.

සාමාන්‍යයෙන් අපේ නිවසේ කඩේ යන්නා මා නමුත් මේ වසරේ මුල් දෙමස තුළ මට සති අන්තවල යෙදුණු වැඩ රාජකාරී නිසා ඒ වගකීම ඉටු කරන්නට නොලැබුණි. බිරිඳ කඩේ ගියා ය.

සති දෙකකට ඉහත ඇය ගොස් තිබුණේ කෝල්ස් නමැති සමාගමේ කඩයකටයි. ඒ සමාගමේ ඇති පාරිභෝගික ප්‍රසාද දීමනා ක්‍රමයේ මේ දිනවල ඇති විශේෂ දීමනාවක් නිසා (සති හතරක් එක දිගටම වරකට ඩොලර් අසුවක බඩු මිලට ගතහොත් ඩොලර් පනහක දීමනාවක් ලැබේ!) කඩේ යාමේ රාජකාරිය යළි මා භාරයට ගත් පසු, මට ද, කෝල්ස් කඩයටම යන්නට සිත් විය.

ඉතිං, අද සෙනසුරාදා පුතාව පුස්තකාලයට බස්සවා ආපසු එන ගමනේ දී මම කෝල්ස් පිහිටි කඩමණ්ඩිය අසල නවත්වා කඩේ ගියෙමි.

කඩෙන් බඩු ගැනීමේ දී මා භාවිතා කරන මූලික තීරක කිහිපයකි.

1. බඩු ගන්නේ වෙළඳ නාමය අනුව නොවේ. වැඩි වාසිය අනුව ය.

2. ඒ ඒ සතියේ විශේෂ වට්ටම් දී ඇති භාණ්ඩ, හදිසියේ අවශ්‍ය නොවුණත්, පසුව ප්‍රයෝජන සඳහා මිලට ගනිමි.

3. බොහෝ විට ඒ සතියට පමණක් නොව සති දෙක තුනකට සෑහෙන භාණ්ඩ ප්‍රමාණයක් මිලට ගනිමි.

මා අද ගෙනා විවිධ භාණ්ඩ පිළිබඳ විස්තරයක් පහත දක්වමි. මේවායින් බොහෝ දේ, මේ සතියේ විශේෂ වට්ටම් සහිතව විකිණීමට තබා තිබූ ඒවා ය.

කෙසෙල් කිලෝවක් 1.99 බැගින් කිලෝ තුනක් පමණ.


පෙයාර්ස් කිලෝවක් 1.90 බැගින් කිලෝ එකහමාරක් පමණ.
ඇපල් කිලෝවක් 3.00 බැගින් කිලෝ එකහමාරක් පමණ.


ශීත කරන ලද කල් තබා ගත හැකි බෙරී පළතුරු වර්ග ග්‍රෑම් 500 පැකට්ටුව ඩොලර් හතරයි.


සෝයි කිරී ලීටරයක පැකට්ටුවක් ඩොලර් 1.80 බැගින් (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 2.50 ක් පමණ වේ).

ඒ සියල්ල බිරිඳ ගේ සහ මගේ උදෑසන ආහාරය සඳහා ය.

ඕරියෝ බිස්කට් පැකට්ටුව ඩොලර් 2.80 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 3.00 කි).
මාරි බිස්කට් පැකට්ටුව ඩොලර් 1.60 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 2.00 කි).


හෙල්ගාස් පාන් ගෙඩියක් ඩොලර් 3.50 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.00 ක් පමණ වේ).


බ්‍රෙක්ෆස්ට් බාර් නමින් හැඳින්වෙන කෑම වර්ගය පැකට්ටුවක් ඩොලර් 3.00 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 4.00 කි).


ඉරිගුවලින් සෑදූ අති ප්‍රනීත (සීනි නිසා) උදෑසන කෑමකි. කිරි මුසු කර අනුභව කළ යුතුයි. පැකට්ටුවක් ඩොලර් 2.32 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.50 කි).


කිරි ලීටර් දෙකක්. ඩොලර් 2.00. කිරි මිල මේ වෙළඳ සමාගම් අතර තරගය නිසා දරුණු ලෙස පහත වැටී ඇත. කිරි ගොවියන් ගේ අනාතතය අනතුරේ.


රට කජු පැකට්ටුව ඩොලර් 2.10. මට හවස නිවසට පැමිණි පසු විකීම සඳහා.


කඩා සෝදා වියලන ලද සලාද කොළ. පැක්ටුවක් ඩොලර් 3.00 යි.


මස් පෙති පැකට්ටුවක් ඩොරල් නමයයි.

සඳුදා සිට මා දිවා ආහාරය සඳහා කන්නට යන්නේ සැලඩ් සහ මස් පමණි. පාන් නැත.

අයිස්ක්‍රීම් ලිටර් දෙකක් ඩොලර් 3.54 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.00 ක් පමණ වේ).
යෝගර්ට් ලීටරයක් ඩොලර් හතරයි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.50 ක් පමණ වේ).


වැසිකිලි කඩදාසි (toilet paper) පැකට්ටුව ඩොලර් 9.00 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 12.00 ක් පමණ වේ).


ඒ කඩ මණ්ඩියේම ඇති එළවළු කඩයෙන් එළවළු වර්ග දෙකක්ගත්තෙමි.
බෝන්චි කිලෝවේ බෑගය ඩොලර් තුනයි.


මල්ගෝවා ගෙඩිය ඩොලර් දෙකයි.


කෝල්ස් සමාගමටම අයිති ලිකර්ලෑන්ඩ් නම් වයින් කඩයක් එතැනම ඇත. ඒ කඩයේ ප්‍රදර්ශනය කර තිබුණු සුදු වයින් බෝතලයක් ද ආසාවට මෙන් ගත්තෙමි. මිල ඩොලර් හතකි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 12.00 ක් පමණ වේ).

එලෙස ආසාවක් ඇති වුනේ මේ වයින් වර්ගය නිපදවන නවසීලන්ත ප්‍රදේශයේ අප කළ සංචාරයක් සිහිවුනු නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිටකොටුවේ වෙළඳ පොලේ මිල පිළිබඳව මේ ලිපිය කියවන්න.

පිටකොටුවේ තොග වෙළඳපොළේ බඩු මිල නොහොත් අපට පාන් ද? ::
http://rasikalogy.blogspot.com/2016/06/no-escape-from-trivial-infomation.html


(imageL GettyImages)

Thursday, 9 March 2017

ලෙලුම්ලා ගේ, කාලෝලා ගේ සහ අපේ අංකල්ලා ගේ "බෝධි පූජා" පිළිබඳ කතා දෙක තුනක් - Neo-Rationalists or anti-rationalists?


පසුගිය දින කිහිපය තුළ බෝධි පූජා පිළිබඳ ජොලි කතා කිහිපයක් ම අසන්නට ලැබුණි.

ඒවාට එක් මුලාශ්‍රයක් වූයේ, හදිසියේ ඇතිවුණු, නමුත් කාලයක් තිස්සේ පැවත ඇති, ආබාධයක් නිසා සැත්තකමට මුහුණ දෙන්නට සිදුවුණු මිතුරෙකුට සුවය පතා සිනුවර ලංකාරාමයේ දිනපතාම වාගේ පැවැත්වුණු බෝධි පූජා මාලාවකි.

මේ බෝධි පූජා මාලාව පැවත්වීම ඇරඹුණේ, මගේ මතකයේ හැටියට ඒ මිතුරා ගේ ශල්‍යකර්මයට පෙර දිනයේ සිට ය. ඒ සිනුවර දැඩි උෂ්ණත්වය නිසා පීඩා විඳි කාලයකි.
දැන් සති තුනකට පසු, අපට උදා වී ඇත්තේ දැඩි වැසි සහිත අඳුරු අහසෙන් යුතු සමයකි.

දිනයක් වැස්ස නිසා අපේ පොදු කටයුත්තක් කල් දමන්නට සිදුවුණු විට, පෙර කී බෝධි පූජා මාලාවට සම්බන්ධ වී තිබුණු මිතුරෙකු මෙලෙස කීවේ ය.

"මචං දැන් දිගටම ගිහින් පන්සලේ බෝධියට වතුර දැම්මා. දැන් මේ මොර සූරන වැස්සේත් වතුර දාන්න ඕනැ ද මන්දා?"


මේ බෝධි පූජා මාලාව සංවිධානය කෙරුණේ, රෝගාතුරව ශල්‍යකර්මයකට භාජනය වුණු මිතුරා ගේ කළ්‍යාන මිත්‍රයෙකු විසිනි. මේ දෙදෙනා ම හොඳින් පිනට දහමට සිතැති සත්පුරුෂයින් ය.

ඒ සංවිධායක මිතුරා මට සති අන්තයේ මුණ ගැසුණි.

"රසික දන්නවද කතාවක්?" ඔහු මට කීවේ ය. "ඊයේ බෝධි පූජාව වෙලේ අපේ යාළුවෙක් මගෙන් අහනවා මචං දැන් අර වික්ටර් රත්නයාක ගේ කේස් එකත් උඹ ද මැනේජ් කරන්න යන්නේ කියලා!"

"මං ෆුල් හොල්මං වුණා ඒ හතර බීරි කතාව අහලා!!"

"පස්සේ තේරුම් කරලා දුන්නාමයි මං දැන ගත්තේ ඒ පවුල කඩන්න බෝධි පූජා තියන්න කියලා වික්ටර් ගේ පුතා කරපු ඉල්ලීම ගැන!!!"


බෝධි පූජා ගැන තුන්වෙනි කතාව කියවන්නට ලැබුණේ අද උදැසන ෆේස්බුක් සංචාරයක දී ය.

ඒ කතාවට අනුව, පසුගිය සති අන්තයේ කැලණිය විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් විසින් කැලණි පන්සලේ මහා බෝධි පූජාවක් සංවිධානය කර ඇත.

ඒ කාගේ හෝ විවාහයක් කඩාකප්පල් වෙන්න කියා ප්‍රාර්ථනා කිරීමට නොවේ.

එසේ ම, සයිටම් ආයතනය නැති කුජීත වී, භංගස්ථාන වී යන්නැයි කියා ප්‍රාර්ථනා කිරීමට ද නොවේ.

මේ බෝධි පුජාව පැවැත්වී ඇත්තේ එකී වෛද පීඨ ද්වයේ භෞතවේදය පිළිබඳ හිටපු මහාචාර්යවරයෙකු වූ ද, පීඨාධිපතිවරයෙකු වූ ද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (හිටපු?) සභාපති වූ ද, මේ දිනවල අසනීප වී සිටින කාලෝ ෆොන්සේකාට සුවය පතා ය.

එසේ නොමැතිව, ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් ගේ අනුගාමිකයෙකු වූ ද, හේතුවාදී සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ද, කාලෝ ෆොන්සේකා සඳහා නම් නොවේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
රෝගාතුර අයට සුවය පතා කෙරෙන බෝධිපූජා පිළිබඳව මගේ අදහස වනුයේ, ඒවා කෙරෙන්නේ ඒ කටයුතු සංවිධානය කරන සහ සහභාගී වන අයගේ හිත සුව පිණිස බවයි.

එනම්, ඒ බෝධි පූජාවලින් ඔවුන් ගේ සිතට සහනයක් ලැබෙන්නේ, රෝගාතුරව සිටින තම ඥාතියා හෝ මිතුරා හෝ ගුරුවරයා හෝ සුව කිරීම පිණිස තමන්ට වෙනත් කිරීමට දෙයක් නොමැති වීමේ දුකට ය.

කසාද කඩා, පවුල් විසුරුවා හැරීම පිණිස සංවිධානය වෙන බෝධිපූජා වලින් නම් කවරෙකුට සහනයක් ලැබේදැයි මම නොදනිමි.

ප/ප/ලි:
අජිත් පැරකුම් ජයසිංහ විසින් ෆේස්බුක් හි තබන ලද සටහනකින් ඔහු පහත අදහස දෙන පැණයක් අපට ඉදිරිපත් කර ඇත.

බෝධි පූජා ඔතරම් ගුණදායක නම්, බෝ ගස් ඔතරම් අගනේ නම් බෞද්ධයින් සැම දෙනාම තමන් ගේ ගෙවත්තේ බෝ ගසක් හිටුවා නොගන්නේ ඇයි?

(image: https://www.staff.uni-giessen.de/~gk1415/kovoor.htm)

Tuesday, 7 March 2017

ප්‍රශ්න, ප්‍රශ්න, ප්‍රශ්න (වික්ටර් රත්නායක ගැන නම් නොවේ) - My own problems


රැකියාවක් නැති අයට එය ප්‍රශ්නයකි. අතේ මිල මුදල් නැත. සිතට සහනයක් ද නැත. තමන් ගැන ද, එපමණක් නොව මුළුමහත් සමාජය ගැන ද කලකිරීමක් ඇති වේ.

රැකියාවක් ඇති අයට ඇත්තේ වෙනම ප්‍රශ්න මාලාවකි. පඩි මදි ය. වැඩ වැඩි ය. විවේකයක් නැත. මහමගට ජීවිතය දියවේ. රැකියාවේ උසස්වීම් නැත. ලොක්කා වාතයකි. එකට වැඩ කරන අයගෙන් සමහරු වාත කේස් ය.

පසුගිය කාලය තුළ, මට ද ඉහත ප්‍රශ්න කිහිපයක් ම ඇති වුණි. මට මගේ රැකියාව කෙරෙහි පෙර කල තිබුණු ඇල්ම කෙමෙන් කෙමෙන් අඩු වී යන බව දැනී ඇත.

ඒ සියලු ප්‍රශ්න ගැනත්, ඒ තත්වයට හේතු කාරක වූවේ යැයි මා සිතන කාරණා ගැනත් මේ සටහනේ ලිවීමට අදහස් නොකරමි. ඇත්තටම, ඒ සියල්ල වෙන වෙන ම කොටස් වශයෙන් සටහන් මාලාවක් ලෙස ලියා සාකච්ඡා කළ යුතු තරම් වටී.

ඒ හේතු රාශිය නිසා, අවසානයේ ඇතිවුණු තත්වය නම්, මා කළ යුතු සමහර රාජකාරි කටයුතු කර අවසන් කිරීමට නොව, ඇරඹීමට පවා නොසිතීමයි. අත්‍යාවශ්‍ය නොවන සමහර කටයුතු, මේ ප්‍රශ්නය නිසා ම, කල් අරිමින් සිට අවසාන මොහොතේ කිරීමට මම ක්‍රමයෙන් පෙළඹුණෙමි.

පසුගිය සතියේ දිනක දිවා විවේකයේ දී, සුපුරුදු පරිදි කාර්යාලය අසල ඇති නදී තීරයේ ව්‍යායාම සඳහා ඇවිදිමින් සිටියදී මා සමග සිටි කාර්යාල මිතුරියගෙන් මේ ගැන මම නිකමට මෙන් විමසුවෙමි.

"සාමා, ඔයාට ඔෆිස් එකේ සමහර වැඩ කරන්න තියා පටන් ගන්නත් සමහර වෙලාවට එපා වෙන්නේ නැද්ද?"

"දැන් නම් එහෙම ප්‍රශ්නයක් නෑ රසික, නමුත්, කාලෙකට ඉස්සර නම් මටත් ඔය වගේ අපහසුතා තිබුණා. සමහර දවස්වල උදේ අවදි වුණා ම ඔෆිස් යන්න තියෙනවා කියා මතක් වෙන කොට එපා වෙනවා."

"ඉතිං ඔයා මොකක් ද ඒකට කළේ?"

"සිත ධෛර්මත් කරගෙන සතුටෙන් හැම වෙලේම ඉන්න උත්සාහ කළා. කොටින් ම මං ඒ දවස්වල, මගේ ලොගින් පාස්වර්ඩ් එක විදියට දාගෙන තිබුණේ බී-පොසිටිව්, හෑව්-එ-නයිස්-ඩේ, ටුඩේස්-වර්ක්-ටුඩේ වගේ සිත දිරිගන්වන විදියේ දේවල්!"

මට ක්‍ෂණයකින් සිහිවූයේ, කාර්යාල පරිසරය නිසා මට ඇති වී ඇති ප්‍රශ්නවලට අමතරව, මා ද, මට ම, ප්‍රශ්න නිර්මාණය කරගෙන ඇති බවයි.

"තෑන්ක් යූ සාමා, ඔයා මගේ එක ප්‍රශ්නයක් විසදුවා!" මම සාමා ට කීවෙමි.

ඇය විමතියෙන් මා දෙස බැලුවා ය.

"මොකක්ද ඒ?"

"මේ දවස්වල මගේ පාස්වර්ඩ් එක විදියට මං දාගෙන ඉන්නේ අයි-හේට්-වර්ක් කියලයි. උදේ ම එහෙමයි මං වැඩ අරඹන්නේ. ඉතිං වෙන කුමන කතා ද?"

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න තවත් ඔෆීසියේ කතා කිහිපයක්.

1. විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨයා ගේ අවවාදය - Beat the bugger

2. ජෝර්ජ් ලොක්කාට කන්න යමක් දෙමු - Sri Lankan Samosa?

3. ඩ්‍රයි ජුලයි හෙවත් පිං අතේ වැඩ! - Dry July in blogging

Saturday, 4 March 2017

පියා ගේ විවාහය ගැන ලෙලුම් රත්නායක කියන කතාවෙන් මතුවෙන ලාංකික අමනකම - Love? WTF is that?


වික්ටර් රත්නායක ගේ කණිටු පුත් ලෙලුම් රත්නායක අද සයිබර් අවකාශයට මුදා හැර ඇති වීඩියෝව නරඹන අවස්ථාවේ එහි කියවුණු යම් යම් කරුණු පිළිබඳව සිත තරමක් හෝ හැඟුම් බර වුණ ද, ඔහු කී එක්තරා අමන කතාවක් නිසා මගේ මුවට නැගුණේ සිනාවකි.

ඒ අමනකම අදත් ලංකාවේ කීප දෙනෙකු හෝ පෙළෙන අමනකමක් බව වැටහීම සිනහව අතරින් දුකක් ද ජනිත කළේ ය.

නෑ, නෑ, මේ ඔබ සිතන අමනකම නොවේ. මේ වෙන එකකි.

ඒ ගැන කියන්නට පෙර මුලින් ම මෙයට අදාළ කරුණක් කිව යුතුයි.

සැත්තෑ පස් වියැති වැන්දඹු වික්ටර් රත්නායක වයස තිස් තුනක කාන්තාවක් හා විවාහ වීම යනු මේ වසරේ ලංකාව තදින් ම හෙල්ලූ සිද්ධිය බව පැහැදිලි ය.

ඒ ගැන මා මීට කලින් ලියූ ලිපියේ කෙටියෙන් කතා කළේ, වික්ටර් ගේ විවාහය නිසා ඉස්මතු වෙන විවාහක පිරිමින් ගේ ප්‍රශ්නය බවයි.

මේ ගැන මා ලියූ අදහස කියවා සමහරු අසා තිබුණේ අර සුපුරුදු ප්‍රශ්නය ම යි. එනම්, "හා උඹේ දුවක් ඔය වයසෙදී නාකි මිනිහෙකු හා කසාද බැන්ඳොත් උඹ ඔහොම කියයි ද?" යන්නයි. එසේ අසන අයට තියෙන්නේ ලෙලුම් රත්නායකටත් එහා ගිය ප්‍රශ්නයක් බව කිව යුතු නැත. ඔවුන් හිතන්නේ වැඩිවියට පත් ගැහැනුන් සහ පිරිමින් තමන් ගේ පුද්ගලික කටයුතු කළ යුත්තේ තම කැමැත්ත පරිදි නොව පවුලේ අයට අවශ්‍ය විදියට බවයි!

දැන් ලෙලුම් රත්නායක ගේ වීඩියෝ පණිවිඩය දෙස අවධානය යොමු කළහොත්, එහි දී ඔහු දෙතුන් විටක් ම තම පියා ගේ ආදරය දිනාගත් තරුණිය පිළිබඳව කියන කතාව මතක ද?

ලෙලුම්ට අනුව, වයස හැත්තෑ පහේ වික්ටර් රත්නායකට මේ වයස තිස්තුනේ තරුණිය විසින් වශී ගුරුකමක් කර, ඔහු ගේ සිත වශී කරගෙන ඇත!

ලෙලුම් ඒ කියන්නේ වසර පනහකටත් වඩා කාලයක් තුළ දහසක් පෙම් ගී ගැයූ වික්ටර් රත්නායකට ඇත්තට ම නැවතත් කාන්තාවකට ආදරය කිරීම් හැකියාවක් නැත, මේ ආදරය ඉනාවක් කැවීම, වශී ගුරුකමක් කිරීම වැනි බ්ලැක් මැජික් එකක් නිසා ඇතිවුණු කෘතිම එකකි යන්නයි.

ඊටත් වඩා ඔක්කාරය ඇති කරවන කාරණය නම්, ලෙලුම් රත්නායක වැනි තරුණයෙකු මේ ඉනා, වශී ගුරුකම් වැනි දේ විශ්වාස කරනවා ය යන්නයි.

වසර සීයකට පෙර, බහුතර ලාංකික ජනතාව අතර අවිද්‍යාව රජ කළ සමයේ තරුණයෙකු මෙසේ සිතුවා නම් එක අතකට කම් නැති යැයි සිතිය හැක.

නමුත් මේ අද, 2017 දී?

අවාසනාව නම් ලෙලුම් රත්නායක මෙහි දී තනි වී නැති වීමයි.

එනම්, මේ ආකාරයේ "බ්ලැක් මැජික්" තිබේ යැයි විශ්වාස කරන බයියෝ තවත් රටේ එමට සිටිති යන කාරණයයි.

පසුගිය කාලයේ මහ බයියා විසින් වශී බෝල කරකවමින්, රට ආපස්සට ගෙන ගිය ආකාරය පිළිබඳව මෙය ඉතා හොඳ උදාහරණයක් බව කිව හැක.

ලෙලුම් රත්නායක ගේ වීඩියෝ ප්‍රකාශයේ අඩංගු වූ ඊළඟ විහිළුව කුමක්දැයි දන්නවා නේද?

තම පියා මේ ඉනාවෙන් බේරා ගන්නට ආගමික වශයෙන් කටයුතු කරන ලෙසත්, යාඥා කරන ලෙසත්, බෝධි පූජා පවත්වන ලෙසත් ඔහු අපෙන් ඉල්ලා සිටී!

අම්මෝ, මට කලන්තේ වගෙයි.

සින්දුවක්වත් අහලා බලමු!



-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මීට පෙර ලියූ ලිපියට පාර මෙසේ ය:

වික්ටර් රත්නායක ගේ විවාහයෙන් හෙළිවෙන පිරිමින් ගේ කඳුළු නොපෙනෙන දුක! - Secret men's business :: https://rasikalogy.blogspot.com/2017/03/secret-mens-business.html

(image: https://www.facebook.com/photo.php?fbid=128251634358516&set=a.128251717691841.1073741826.100015210405009)

Friday, 3 March 2017

වික්ටර් රත්නායක ගේ විවාහයෙන් හෙළිවෙන පිරිමින් ගේ කඳුළු නොපෙනෙන දුක! - Secret men's business


වික්ටර් රත්නායක පසුගිය මාර්තු පළමුවෙනිදා විවාහ වී ඇති බව දැන ගන්නට ලැබී ඇත.

ඉතිං අපිට මොකද හලෝ?

මේ ඔහු ගේ දෙවෙනි විවාහයයි.

ඉතිං අපිට මොකද හලෝ?

ඔහු ගේ පළමු බිරිඳ මිය ගොස් දැනට වසර දහතුනක් පමණ ගත වී ඇති බවත්, ඔහු මේ දෙවන බිරිඳ සමග වසර නමයක පමණ කාලයක් තිස්සේ සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් කියවෙනවා.

ඉතිං අපිට මොකද හලෝ?

වික්ටර් රත්නායක ගේ වයස අවුරුදු හැත්තෑ පහකි.

හෑ?

වික්ටර් ගේ අලුත් බිරිඳ ගේ වයස අවුරුදු 33 ක් ලු!

හෑ?

ප්‍රසිද්ධ පුද්ගලයෙකු හා සම්බන්ධ කතාවක් වුවද, මෙය එක අතකින් සරල ඕපාදූපයකි. නමුත් මට මේ සිදුවීමට අදාළව වචන කිහිපයක් ලියන්නට සිතුණේ, තැටිය රත් වී ඇති වෙලාවේ රොටි පිච්චීමේ අවශ්‍යතාවක් නිසා නොව මේ වික්ටර් රත්නායක සිදුවීම හා බැඳී ඇති පොදුවේ පුරුෂ පක්‍ෂයට අදාළ කාරණයක් නිසා යි.

එය ලොව ජනගනගහනයෙන් 49% ක පිරිමින්ට පමණක් නොව ස්ත්‍රීන්ට ද එක සේ වැදගත් සියලු දෙනාම දැන ගත යුතු කරුණකි. එසේ ම ජීව විද්‍යාත්මක සත්‍යයකි.

එනම්, වයසට ගිය ද, පිරිමින් ගේ ලිංගික අවශ්‍යතා නො අඩුව පවතින බවයි.

මෙය ඩොනල්ඩ් ට්‍රම්ප්ලාට, වික්ටර් රත්නායකලාට, හියූ හෙෆ්නර්ලාට පමණක් නොව අති බහුතරයක් පිරිමින් සඳහා සත්‍ය කාරණයකි.

නමුත්, විවිධ සමාජමය කාරණා නිසා, මේ තත්වයට පිළියමක් නොමැතිව ලතවෙන වයසක පිරිමින් කොතරම් ලොව ඇති ද?

ගම්බඳ ප්‍රදේශයක විසූ මා දන්නා සීයා කෙනෙකු ඒ ගමේ මැදිවියේ කාන්තාවක විසින් පවත්වාගෙන යන ලද අරක්කු විකුණන තිප්පොලකට යන බව ඔහු ගේ පුතාට ආරංචි විය.

වයස අසූවක් පමණ වූ තම පියා අරක්කු බීම ගැන පුතා අසතුටට පත් විය.

"තාත්තේ අරහේ යන එක නම් හොඳ මදි!" පුතා තාත්තාට කීවේය.

තාත්තා එදා වස පානය කර සිය දිවි හානි කර ගත්තේ ය.

පසුව ආරංචි වුණේ, පෙර කී අරක්කු තිප්පොලේ අයිතිකාරිය තව තව දේ ද විකුණන බවයි.

පුතා ගේ පස්වෙනි ශික්‍ෂාපද අවවාදය ගැන තාත්තා වරදවා සිතා ඇත්තේ තුන්වෙනි ශික්‍ෂාපදය ගැන ද කියවුණු එකක් කියා ය!

ලංකාවේ සමහර පිරිමින් වයසට යනවාත් සමගම බණට, දහමට යොමුවන්නේ මේ නිසා විය යුතුයි.

වික්ටර් රත්නායක කතාවට අදාළ අවාසනාවන්ත සිදුවීම නම් ඔහු ගේ පුත් ලෙලුම් විසින් ෆෙස්බුක්හි තබන ලද "අප්පච්චි මළා!" නම් සටහනයි.



එවැනි පුතුන් ගැන මට කිව හැක්කේ නොදකින් කියා පමණි!

තම ජීවිතයේ මේ වැදගත් සංධිස්ථානයට එළැඹි වික්ටර් රත්නායකට මම ඉත සිතින් සුබ පතමි.

යූ ගෝ බෝයි!

යූ ආ ද මෑන්!!

අනඟ තරුණ බඹරු අපී
අමර වරම අපට හිමී
අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ!!

හැරමිටියෙන් ඇවිදින්නෝ
අපට එරෙහි වී එන්නෝ
සීමා මායිම් වැටකොටු
ඒ කිසිවක් අපට නැතේ!



-රසිකොලොජිස්ට්

ප/ලි:
පියා ගේ විවාහය ගැන ලෙලුම් රත්නායක නිකුත් කළ වීඩියෝ කතාවෙන් මතුවෙන ලාංකික අමනකම - Love? WTF is that?

http://rasikalogy.blogspot.com/2017/03/love-wtf-is-that.html


ප/ප/ලි:
මෙන්න වික්ටර් රත්නායක ගැන සඳහන් තවත් ලිපියක්.

අමරදේව, නන්දා මාලනී, වික්ටර් රත්නායක සහ රසික ඔබ! (හැම දෙනාගේ ම කියවීම පිණිස නොවේ) - WARNING: Not for general consumption :: http://rasikalogy.blogspot.com/2016/11/warning-not-for-general-consumption.html

(image: https://en.wikipedia.org/wiki/Victor_Rathnayake)

Wednesday, 1 March 2017

ඔබ අප්‍රිය කරන තිංග්ස් දහයක් නම් කරන්න - Ten things you hate


මේ දිනවල මම එක්තරා පුහුණු පාඨමාලාවකට සහභාගී වෙමි. එහි දී අපට විවිධ ලිවීමේ අභ්‍යාස පැවරේ. මුල් දිනයේ දී ම කරන්ට සිදුවුණු දෙයක් නම්, මා අකමැති තිංග්ස් දහයක (ten things you hate) ලයිස්තුවක් සැදීමයි.

මා මෙහි දී තිංග්ස් කියා ම ලියන්නේ "things" සඳහා සුදුසු සිංහල වචනයක් සොයා ගැනීමට නොහැකි වූ නිසා ය. තිංග්ස් යන්න සඳහා "දේවල්" කියා කියන්නට හැකි නමුත්, එය එතරම් ව්‍යක්ත වචනයක් සේ මට නොහැඟේ. එසේ ම "දේ" කියා ලිවූ විට යම් අඩුවක් දැනේ.

කෙසේ වෙතත් මට එදා වැඩසටහනේ දී මා අප්‍රිය කරන තිංග්ස් දහයේ ලයිස්තුව සඳහා සිහියට ආවේ අටක් පමණි.
  1. දුරකථනය මගින් විවිධ සේවා ලබා ගැනීම සඳහා ඇමතු විට මගේ වාසගම ඉංග්ලිෂ් අකුරෙන් එකින් එක කීමට සිදුවීම
  2. අමද්‍යප අය විසින් තම නිවසේ සංවිධානය කරන ප්‍රිය සම්භාෂණ සාද සඳහා සහභාගී වීමට සිදුවීම
  3. උණුවතුරට තේ බෑගයක් දමා දෙන තේ කෝප්පයට ද, ඩොලර් දහසේ යන්ත්‍ර මගින් කාලය සහ ශ්‍රමය වැය කර සාදන කෝපි කෝප්පයකට ගෙවන මුදලම ගෙවන්නට සිදුවීම
  4. ආයතන ප්‍රතිව්‍යුහකරණය (corporate restructuring)
  5. සල්ලි කප්පරක් ගෙවා දත් සම්බන්ධ පිළියමක් කළ පසු ආසාදන වැළැක්වීමට බේත් බොන අතර, එනිසා ම සතියක් පුරා අනුමත නොවී සිටීමට අණ ලැබීම
  6. නොදන්නා බව නොදන්නා නමුත්, ඒ ගැන දැන ගැනීමට අකමැති අය සමග කතා බහ කරන්නට සිදුවීම
  7. සිතා බැලීමකින් තොරව, ඇසෙන, දකින දේ ඒ ආකාරයෙන් ම විශ්වාස කරන අය සමග ආශ්‍රය කරන්නට සිදුවීම
  8. කළ යුතු සැම දෙයක් ම කිරීමට කාලය මදබව සිහියට ඒම
  9. ...........
  10. ...........
ඔබ අකමැති "තිංග්ස්" මොනවාද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ මා සහභාගී වෙන්නේ කේන්තිය කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක් සඳහා නම් නොවේ. මෙය විනෝදාංශයක් පිළිබඳ එකකි.

(image: http://www.pocketfulofbooks.com/p/top-tens.html)