Friday 25 March 2022

නයා ඇරීමේ උපත - Some do, some don't


නයා අරිනවා යන යෙදුම නොදන්නා අය සිටී යැයි මම නොසිතමි.

එසේ වෙතත් කෙටියෙන් කියනවා නම් එයින් අදහස් කෙරෙන්නේ පම්පෝරි ගැසීම යන්නය්. විශේෂයෙන් ම, යමෙකු තමන් ගේ වත්කම, තරාතිරම ගැන කයිවාරු ගැසීම නයා ඇරීමයි.

නයාගේ ලොකුම එකා, අප දන්නා සාහිත්‍යට අනුව, මුචලින්ද වේ. ලොකුම පම්පෝරි ගසන්නෝ ද ඒ අනුව මුචලින්දලා ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ.

"නයා ඇරීම" යන යෙදුම ජනවහරට එකතු වී ඇත්තේ ඉරිදා පුවත්පතක පළවූ හාස්‍යජනක තීරු ලිපියකින් බව කිව හැක.

මේ මා ඒ කතාව දැනගත් ආකාරයයි.

මා හතරේ පන්තියේ පමණ ඉගෙන ගන්නා කාලයේ එක් දවසක මට එවකට කොළඹ නතර වී ජීඒකිව් විභාගයට සූදානම් වෙමින් සිටි මගේ පුංචි අම්මා කෙනෙකු සමග අම්මලාගේ මහ ගෙදරට, එනම් කලවානේ, යාමට අවස්ථාවක් ලැබුණි.

ගමේ යාම යනු එකල අපට ඉතා සතුටක් ගෙන දෙන අවස්ථාවකි. නමුත් ගමන නම් අපුල ය. බස්රථවල ඩීසල් ගඳට සහ වංගු ගන්නා විට ඇතිවන හෙල්ලුම් පෙරළුම් නිසා මට නිතිපතා වමනේ යයි. නමුත්, ඒ සියල්ල අවසානයේ මා එළැඹෙන්නේ තිත්තයෝ ද, බුලත් හපයෝ ද, තවත් නම් නොදන්නා විවිධ මාළු ද පිරි ගලා යන ජල ප්‍රවාහෙයෙන් ද, කුඩැල්ලෝ සැරිසරන හරිත කඳුවැටි, රබර්වතුවලින් ද වට වූ සුන්දර ගම් පෙදෙසකටයි.

මා පුංචි අම්මා සමග පිටකොටුවේ බස් නැවතුමට යන විට එතැන එක්තරා අමුත්තෙක් අප එනතුරු බලා සිටියේ ය.

මා පසුව දැනගත් පරිදි ඒ අපේ වෙන්ඩ බාප්පා ය.

අපි රත්නපුර බසයට ගොඩ වුණෙමු. මට එක් අසුනකත්, මා පිටුපස අසුනේ වෙන්ඩ බාප්පා සහ පුංචි අම්මාත් අසුන් ගත්හ.

මොහොතකට පසු බස් රථයට ගොඩ වැදුණේ පොත් වෙළෙන්දෙකි. ඔහු අත තිබූ එක් පොතක් මිලට ගත් බාප්පා එය මා අත තැබූවේ, පොත් ගුල්ලෙක් වන මා එතැන් සිට ඔවුන් දෙදෙනාට කිසිදු ප්‍රශ්නයක් නැතුව රත්නපුරය දක්වා ගමන් ගන්නා බව දන්නා සේ ය.

චන්ද්‍ර අනගිරත්න විසින් එවකට තිබූ “රිවිරැස” නම් සති අන්ත පුවත් පතට ලියන ලද "සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන්" නමැති තීරු ලිපිවල එකතුවක් වූ ඒ නවීන ගජබින්නාලංකාරය හොල්මන් නම් වූ පොත එදා මට රස සාගරයක් විය.

නයා අරින කතාව තිබුණේ ඒ පොතේ ය.

පසුකලෙක චන්ද්‍ර අනගිරත්න විසින් තමන් ලියන ලද ඒ තීරු ලිපි “නරලොව හොල්මන්” නමින් නැවත පළ කරන ලදී.

පහත පළ වෙන්නේ ඒ පොත්මාලාවේ තුන්වැන්නේ අඩංගු වූ “මුදලාලිගෙ ගෙට නයෙක් ඇවිත්” නම් උපහාසාත්මක රචනයයි.


මම ද, කලකට පෙර, මේ බ්ලොගයේ ම පොඩි පහේ නයෙකු ඇර ඇත්තෙමි. එය කියවා නැති අය සඳහා මෙන්න සබැඳියක්.
https://rasikalogy.blogspot.com/2016/09/size-depends-on-you.html

-රසික සූරියආරච්චි

(image: https://www.dinamina.lk/2020/11/05/)

Wednesday 9 March 2022

ආස්මී රසිකයින් සහ ආස්මී නොවන රසිකයින් - Ask-me or not-ask-me 😛


ඊයේ මම ආස්මී නම් කෑම වර්ගය ගැන කෙටි සටහනක් ලියා ෆේස්බුක් එකේ පළ කළෙමි. මා මිත්‍ර සතින්ද්‍ර සත්‍යප්‍රසාද් (ඒ බව කෙලින් ම නොකියා) මගේ සටහනට පිළිතුරක් ලෙස පෙනෙන සටහනක් ලියා ෆේස්බුක් එකේ පළ කර තිබෙනු මම අද දුටිමි.

පහත පළවෙන්නේ ඒ සටහන් දෙකයි.

කැමති පරිදි කියවා (හෝ නොකියවා), ඔබ ආස්මී රසිකයෙකු ද, ආස්මී නොවන රසිකයෙකු ද කියා දන්වන්න.


ආස්මී නොවන රසිකයෙකුවන රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි මෙසේ කියයි.


ඊයේ උත්සවයකට ගිය විට එහි ලාංකික රසකැවිලි මේසයක් ද දක්නට ලැබුණු අතර එහි තිබූ ආස්මී නම් සාමාන්‍යයෙන් සිංහල අලුත් අවුරුදු කාලයට දක්නට ලැබෙන රස කැවිල්ල දැක සිතට ආ කරුණක් මෙසේ ලියමි.

ආස්මී යනු මගේ මතයට අනුව මේ ලොකේ ඇති මෙලෝ රහක් ම නැති රසකැවිල්ලයි. මෙයට රසකැවිල්ලක් යැයි ඇත්තටම කිව හැකි ද යන්න ද ප්‍රශ්නයකි.

සාමාන්‍යයෙන් රස කැවිල්ලක ඇති පැණි රස වුවද මෙහි ඇත්තේ ඔය උඩින් යන්තම් දවටන සීනිවලින් හෝ පැණියෙන් යොදන සැරසිල්ලේ පමණි. සුදු පැහැයෙන් යුතු කොටස නම් මොන මංගල්ලයක් සඳහාදැයි නොතේරේ.

මෙලෝ රහක් නැති වීම හැර ආස්මී නම් ඊනියා රස කැවිල්ලේ තවත් ප්‍රශ්නයක් ඇත.

එනම්, විශිෂ්ට රසකැවිලි වන කොණ්ඩ කැවුම් මුං කැවුම්, වැලිතලප, කිරි ටොපි වැනි රසකැවිලි මෙන් නොව ප්‍රමාණයෙන් ඉතා විශාල වීමයි. කොටින්ම ආස්මී එකක් සාමාන්‍ය පිඟානකින් අඩකි.

ආස්මිලා හිතාගෙන ඉන්නේ තමන් හැලප තරම් රසවත් යැයි කියා විය යුතුය.

එනිසා වර්ණ ගන්වා ඇති සැරසිල්ල ට රැවටී හෝ දිගු කලකින් දැක නැති නිසා හෝ ආස්මී එකක් අතට ගන්නා තැනැත්තා එක් කටක් කෑමෙන් පසු ඉතුරු කොටස අවසන් කරන්නේ කෙසේද කියා ඉතා විශාල ප්‍රශ්නයකට අනිවාර්යෙන්ම මුහුණ දීමට නියමිත ය.

එවැනි අවස්ථාවක ඔබ ලග හිටිය හොත් බාගයක් ඕනෙද කියා ඔබෙන් ඇසීමට ද නියමිතය. ඊයෙ මට ද එම පැනය අල්ලපු පුටුවෙන් ලැබුණි. අපි අහුවෙයි ඕවට...!!!

ආස්මී සම්බන්ධයෙන් මගේ යෝජනාව මෙයයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ආස්මි එකක ප්‍රමාණය කොණ්ඩ කැවුමක් තරමට කුඩා කරන්න.

(ඡායාරූපය සොයාගත්තේ "සුදු" නම් ෆේස්බුක් පිටුවෙනි)
  ආස්මී රසිකයෙකුවන ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් මෙසේ කියයි.


රසකැවිලි මේසයේ මගේ ප්‍රියතම රසකැවිල්ල - ආස්මී

මේ සටහන ලියන්නට මෙතෙක් පමා වුණේ ආස්මී එකක් කන ගමන්ම, එහි පින්තූරයක්ද සහිතව, එසේ කිරීම මගේ අදහස වූ නිසයි. පින්තූරයේ ඇති රසකැවිල්ල සාම්ප්‍රදායික අර්ධ-වෘත්තාකාර හැඩයෙන් වෙනස්ව, තරමක් කැඩී, ඇත්තේ මන්දැයි මා නොකිව්වාට අනෙක් ආස්මී රසිකයෝ (ආස්මී නොවන "රසික"යෝත් සිටිත්!) දන්නවා ඇති. 😛

ආස්මී යනු කෙසෙල්ගෙඩි ළඟට අවුරුදු කැවිලි මේසයේ ඇති වඩාත්ම සෞඛ්‍ය හිතකාමී රසකැවිල්ලයි. ප්‍රමාණයෙන් විශාලව පෙනුණත් ආස්මී එකක් සාමාන්‍යයෙන් කැවුමකට, මුං කැවුමකට වඩා එහෙමට බරින් වැඩි නැත. ඒත් අන් සියලු අවුරුදු කැවිලිවලට වඩා සීනි, පිටි සහ තෙල් අඩුවෙන්ම අඩංගු ආස්මී වලයි.

නමුත් මට ආස්මී වැදගත් වන්නේ එහි මිහිරි රස නිසායි. අනෙක් කැවිල්ලක් දතින් හැපෙනවිට දැනන තෙල් රසට වඩා ආස්මී වල මෘදු රැල් සහිත ස්වභාවයට, හැපෙන විට දැනෙන සිහින් ක්‍රිස්පියට, තැනින් තැන රැඳුන පැණි රසට මම බෙහෙවින් ප්‍රිය කරමි. ආස්මී වැඩි කාලයක් තබා ගත හැකි අතර කිසි විටෙක මුඩු තෙල් සුවඳ හමන තත්ත්වයට පත් නොවේ.

ආස්මී වල ලොකුම වරද නම් හැමදෙනාටම හොඳ ආස්මී හදන්නට නුපුළුවන් වීමයි. එසේම බොහෝ දෙනා ආස්මී සාදන්නට නොදැන සිටීමයි. වෙළඳපොළේ ඇති සමහර නීරස ආස්මී මෙන් නොව දවුල් කුරුඳු හා පිටි මැනැවින් යොදා ගෙදරදී සාදාගත් ආස්මී වරක් කන්නට ලැබුණොත් හොය හොයා කන්නට සිතේ.

අවුරුදු තේ මේසයකට වාඩිවන මා ආස්මී තිබුණොත් අන් යමක් කන්නේම නැත. "ලයිට්වට යමක් කන්නට" හිතුණොත් ඒත් කරන්නේ එයමයි.

මා කිසිම විටෙක ආස්මී එකක් දෙකට කඩා බාගයක් පමණක් කා නැත. කලාතුරකින් දිනෙක එසේ කා ඇත්නම් ඒ මගේ ආස්මී එකට අමතරව යාබද අසුනේ සිටි අයෙකුගේ ආස්මී එකකින් අඩකි!

ආස්මී සැපයුමේ ස්තුතිය Keshara Nedungamuwa සහ පවුලේ සැමදෙනාට.


දැන් මෙන්න කලින් ඇසූ ප්‍රශ්නය නැවතත්.

ඔබ ආස්මී රසිකයෙකු ද, නැතිනම්, ආස්මී නොවන රසිකයෙකු ද?

-රසික සූරියආරච්චි

Thursday 3 March 2022

සුදු වැලි මතුපිට - කවියෙකු ගැන කතාවක් :: Maithri Panagoda and his lyrics


මෛත්‍රී පනාගොඩ ලියූ "සුදුවැලි - ගී පදමාලා" කෘතිය වෙනුවෙන් ලියවෙන සටහනකි

අපේ නිවසට ගුවන් විදුලි යන්ත්‍රයක් ලැබුණේ හැත්තෑව දශකයේ මුල් කාර්තුවේ මා ප්‍රාථමිකයෙන් ලොකු ඉස්කෝලෙට පිම්මක් පැන්න කාලයේ දී ය. අද මෙන් හැටහුට හමාරක් ගුවන් විදුලි නාලිකා එකල තිබුණේ නැත. සිංහල භාෂාවෙන් විකාශය වූයේ එකල අපට දැනුණු පරිදි නීරස ස්වදේශී සේවය සහ ගීත, නාට්‍ය ඇතුළු වෙනත් වැඩසටහන් වෙළඳ දැන්වීම් අතරේ අමුණා එවූ වෙළඳ සේවය පමණි.

ඒ සමගි පෙරමුණු රජය සමයයි. අවකළමනාකරණය නිසා අද මෙන්ම ලංකාව උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටි අවධියකි. මේ තත්වය පාලනය කිරීමට රජය තමන්ට අයත් ගුවන්විදුලි සේවය හැකි උපරිමයෙන් භාවිතා කළේ ය. තමන්ට අවශ්‍ය ප්‍රවෘත්ති පමණක් ප්‍රචාරය කිරීමට අමතරව මේ සඳහා වෙනත් වැඩසටහන් ද උපයෝගී කර ගන්නා ලදී. සෑම දිනකම උදෑසන අප පාසල් යාමට සැරසෙන හෝරාවේ ප්‍රචාරය වුණු “ජාතික සටනට එක්වෙයි රටතොට” මගේ මතකයේ රැඳී ඇති එවනි එක් ප්‍රචාරකවාදී වැඩසටහනකි. “ගිම්හාන ගීතය” වැනි ගුවන්විදුලි නාට්‍ය ද මේ ආකාරයේ ප්‍රචාරකවාදී නිර්මාණ වූ බව මගේ අදහසයි.

සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇතැයි කියවෙන්නාක් සේ මේ රාජ්‍ය ප්‍රචාරණය තුළින් ද එක් වැදගත් දෙයක් හෝ බිහිවිය. එය නම්, ප්‍රේමසිරි කේමදාස ගේ සංගීත නිර්මාණයෙන් ද, පසු කලෙක ජනප්‍රිය වූ නීලා වික්‍රමසිංහ, ටී එම් ජයරත්න, නිරංජලා සරෝජිනී වැනි ගායක ගායිකාවන්ගේ පමණක් නොව එච් ආර් ජෝතිපාලගේ සම්මාදමෙන් ද ඔප්නැංවී ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රබුද්ධ ගී නම් වැඩ සටහනයි. ට්‍රැක්ටරය නම් වචනය අඩංගු ගීයක් ද ඒ අතර වූ බව මගේ මතකයේ ඇති නමුත් මේ ප්‍රබුද්ධ ගී වැඩ සටහන සම්බන්ධයෙන් අද අපට වැදගත් කාරණය නම්, ඕස්ට්‍රේලියාවේ අප අතර දිගු කලක් ජීවත්වෙන මෛත්‍රී පනාගොඩ ගේයපද රචකයා එදා ඒ වැඩ සටහනේ සම්පත් දායකයෙකු වීමයි.

දශක හතකට පමණ පෙර සිංහල නිසදැස් කවියට ඔහු දුන් ආරම්භය නිසා දෝ තවමත් කවියෙකු ලෙස සැලකෙන ගුණදාස අමරසේකරට අනුව සිංහල කවිය නම් පුරන් වූ කේතේ වැවෙන වල් පැළෑටි වන්නේ ගේයපද හෙවත් ගී පදමාලා ය. නමුත් මගේ අදහසට අනුව නම්, කවියන් කෙතරම් කවි ලිව්වත් දනන් තුඩ තුග රැව් දෙන්නේ ද, එනිසාම කාලාන්තරයක් තිස්සේ පවතින්නේ ද, සාමාන්‍ය කවි නොව ගීත ලෙස ගැයෙන කාව්‍ය නිර්මාණ පමණි. එසේම, කවියන් ගැන අප දන්නේ ද, ඔවුන් ලියූ කවි නිසා නොව ඔවුන් ලියූ ගේයපද නිසා බව කිව හැක. කොටින්ම, මෑත යුගයේ මහා සිංහල කවියා ලෙස සැලකෙන මහගම සේකර ගැන කියවෙන විට අපේ මතකයට මුලින්ම එන්නේ ඔහු ලියූ ප්‍රබුද්ධ කාව්‍යයේ අඩංගු කවි නොවේ. “ඈත කඳුකර හිමව් අරණේ”, “මා මළ පසු”, “රත්න දීප ජන්ම භූමි” වැනි ගේයපද රචනා ය.

එදා මා කුඩා දරුවෙකු ලෙස ගුවන්විදුලියෙන් ඇසූ “සුදු වැලි මතුපිට”, “අහස බලාපන් පුතුණේ”, “පාවී පාවී මේ එන්නේ”, “හෙට උපදින පුංචි පුතේ”, “ජාතික රණබිම වෙත යනවා” වැනි ගීපද මාලා වසර පනහකට පමණ පසුවත් මගේ මතකයේ හොඳින් රැඳී ඇත. ඒ ගී සියල්ලේම පද රචකයා වූයේ “සුදුවැලි - ගී පදමාලා” කෘතියේ නිර්මාතෘ මෛත්‍රී පනාගොඩ ය.

තරුණ අවධියේ දී ම “වසන්ත උදානයක් නොව” නමින් තම මුල් කාව්‍ය ග්‍රන්ථය ප්‍රකාශනය කර ඇති මෛත්‍රී පනාගොඩ ඉන් පසු දිගු කාලයක් තම වෘත්තීය සහ පවුල් ජීවිත සඳහා කාලය ගතකර නැවත කලා රසිකයින් අතරට පිවිසියේ තම ගේයපද අනුව සැකසුණු ගී නිර්මාණ ඇතුළත් සං‍යුක්ත තැටි සමගිනි. ඒ සං‍යුක්ත තැටි වූයේ, සුදුවැලි (2011), හිරු මල හිනැහෙනවා (ළමා ගී, 2015), ළා හිරු රැස් (ළමා ගී, 2017) සහ මහමෙර සේ (සංයුක්ත තැටි යුගලකි, 2018) ය. මීට අමතරව මෛත්‍රී පනාගොඩ තම දෙවෙනි කාව්‍ය එකතුව “හද මුමුණන හඬ” නමින් 2018 දී එළි දැක්වීය.

“සුදුවැලි - ගී පදමාලා” කෘතියේ මෛත්‍රී පනාගොඩ විසින් රචනා කර ඇති ගේය පදමාලා බොහොමයක් අඩංගු වේ. විශේෂයෙන්ම පෙර නමින් සඳහන් කළ සං‍යුක්ත තැටි පහේ ම ඇතුළත් ගීතවල පදමාලා මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වී ඇත. ඊට අමතරව වෙනත් ගායක ගායිකාවන් විසින් මෑතක දී නිකුත් කෙරුණු සහ නිකුත් කිරීමට නියමිත සං‍යුක්ත තැටිවලට අඩංගු නිර්මාණ කිහිපයක මෛත්‍රී පනාගොඩ විසින් රචනා කරන ලද ගේයපද නිර්මාණ ද “සුදුවැලි - ගී පදමාලා” කෘතියට ඇතුළත් ය.

තම ජීවිතයේ තරුණ කාලයේ දී ගුවන්විදුලියේ ප්‍රබුද්ධ ගී වැඩ සටහනට සහභාගී වීමට වරම් ලැබුණු නිසා, දශක පහකට පසුවත් දනන් තුඩ තුඩ රැව් දෙන නිර්මාණ බිහිකරන්නට මෛත්‍රී පනාගොඩට හැකිවිය. නමුත් එනිසාම අප බොහෝ දුරට දන්නේ ඔහු ලියූ ඒ එක් ආකාරයකට දේශාභිමානී ගී ලෙසින් හඳුන්වන්නට හෝ තවත් ආකාරයකට ප්‍රචාරකවාදී ගී ලෙස ලේබල් කරන්නට හැකි කාව්‍ය නිර්මාණ පමණි. මනුෂ්‍ය සම්බන්ධතා අතරින් ඒ ගේයපද නිර්මාණවල වැඩි වශයෙන් අඩංගු වූයේ දෙමව්පියන් සහ දරුවන් අතර සම්බන්ධයයි.

නමුත් අප සැම අත්දැකීමෙන් ම ඉතා හොඳින් දන්නා පරිදි, තරුණ විය යනු ගතේ හෝමෝන නළියන, සිතේ පෙම් සිතුවිලි උපදින කාලයයි. පෙම් කවි, පෙම් ගී ලියවෙන කාලයයි.

තරුණ මෛත්‍රී පනාගොඩ කවියා එකල ලංකාවේ දී හෝ පසුව ලන්ඩනයේ දී හෝ පෙම් ගී ද ලියන්නට ඇත. නමුත් ඒ පෙම් ගී පදවැල් අපට ගීත ලෙස අසන්නට ලැබුණේ නැත. නිර්මාණ විරාමයෙන් පසු අප අතරට ඔහු පෙම් ගී ගෙනාවේ වුව ද ඒවා හෝමෝන නළියන පෙම් ගී නොව, කරුණාව, දයාව මත පදනම් වූ නිර්මාණ විය.

පෙම් ගී රසිකයෙකු ලෙස එය මගේ කනගාටුවට කරුණකි.

-රසික සූරියආරච්චි

මෛත්‍රී පනාගොඩ මෑත අතීතයේ ලියූ ගේයපද මාලාවක්

කළණ මිතුරියට

කළණ මිතුරිය දිගු ගමනේ
යවන සොඳුරිය හද අරණේ
බලන බැල්මේ දොඩන වදනේ
මිහිරි ආදරයේ

අඳුරු මේ කුළු සරණ අහසට
ඉන්ද්‍ර චාපය වී
වියළි දෙනෙතට කඳුළු කැඳවන
චමත්කාරය වී

නිසල දිය මත දිලෙන සෙලවෙන
රේඛාව ඔබ වේ
රැයක කළුවර මකා හිනැහෙන
තනි තරුව ඔබ වේ

පද රචනය: මෛත්‍රී පනාගොඩ
තනුව / සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: චමින්ද කුරුප්පු
(“සුදුවැලි” සං‍යුක්ත තැටියෙනි)

(කවර නිර්මාණය: ඒ ඩී රංජිත් කුමාර)