Friday 12 May 2017

වෙසක් එක? - WTH?


වෙසක් දින දෙක ම ගෙවී ගියත් තවමත් මගේ සිත ඇත්තේ වෙසක් කවි සහ වෙසක් කූඩු නිසා ඇති වූ වෙසඟේ නිරාමිස ප්‍රීති ප්‍රමෝදයේ ගිලෙමිනි.

සඳට කොහේ කෙදිනක පසළොස්වක පෝය ලැබුවත් ඕස්ට්‍රේලියාවට සැම විට ම පෝය ලබන්නේ ම සති අන්තයේ ය. ඒ අනුව, සිනුවර ලංකාරාමයේ වෙසක් පිංකම් මේ සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වේ. එදින සවසට ස්කෝෆීල්ඩ් ගම පැත්තේ ගියහොත්, වෙසක් කූඩු නැරඹීමට ද, කඩල කෑමට ද හැකිවෙනු ඇත.

ඊයේ ඔළු බක්කන් ගැන ලියමින් සිටිද්දී, මීට වසර දහයකට පමණ පෙර මා සංස්කරණය කළ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුවේ "සිංහල" නම් වූ ත්‍රෛමාසික සඟරාවට, මවිසින් ලියන ලද කතුවැකියක් මගේ මතකයට නැගුණි.

එය සිංහල භාෂාවේ එක්තරා අපූර්වත්වයක් පිළිබඳව ලියවුණු එකකි. මේ එයින් කුඩා කොටසක්, යළි ලිවීමකි.

අපේ සිංහල භාෂාවට පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ වචන එකතු කර ගැනීම ඉතා ලේසි බව අප දනිමු.

අදාළ වචනය පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ ක්‍රියා පදයක් නම් අප කරන්නේ එයට අගින් "කරනවා", "වෙනවා" වැනි සිංහල ක්‍රියා පදයක් එකතු කර පැවසීමයි.

උදාහරණ ලෙස ටයිප් කරනවා, පෝස්ට් කරනවා, කමෙන්ට් කරනවා, මොඩරේට් කරනවා, ඇපෲ කරනවා වැනි යෙදුම් ද, හිට් වෙනවා, හැක් වෙනවා වැනි යෙදුම් ද දැක්විය හැක.

එසේ ම, අදාළ වචනය පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ නාම පදයක් නම් අප කරන්නේ එයට අගින් "එක" යන සිංහල වචනය එකතු කර පැවසීමයි.

උදාහරණ ලෙස එකවුන්ට් එක, බ්ලොග් එක, කමෙන්ට් එක, රිප්ලයි එක වැනි යෙදුම් දැක්විය හැක.

මීට අමතරව ටීවී එක, කාර් එක, බස් එක, ඔෆිස් එක, බිල්ඩින් එක, ටේ‍ර්න් එක, පාක් එක, බීච් එක, ගවර්න්මන්ට් එක යනාදී වශයෙන් පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ වචන කෙළ-කෝටියක් අපි අපේ ම කරගෙන පාවිච්චි කරමු.

දැන් මේ පින්බර වෙසඟේ මගේ සිතට ආ කාරණය මෙයයි.
වෙසක් "එකට" මොකද කළේ?
වෙසක් "එකට" කූඩු හැදුවා ද?
වෙසක් "එකට" දන්සැල් වැන්දා ද?
වෙසක් "එකට" පන්සල් ගියා ද?
මළා!

අප "වෙසක් එක" කියා කියන්නේ ඒකත් පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ වචනයක් ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
වෙසක් එක විතරක් නොවෙයි, ඇයි "පොසොන් එක"?

මට හිතෙන විදියට පොසොන් එක පමණක් නොව වෙසක් එක ද, පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ ආක්‍රමණයක් නොව, අශෝකලා ගේ, මිහිඳුලා ගේ, මෝඩිලා ගේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ කොටසක් වේ!

වහා කළු කොඩි දමනු!

(image: http://english.fastnews.lk/44266)

13 comments:

  1. කටවහරට හුරුකම නිසා ඒ යෙදුම එන්නේ.. වෙසක් පෝය වෙසක් දවස වගේ වදන් ද භාවිතයට ගත හැකියි එක නැතුව.

    ReplyDelete
    Replies
    1. කට වහරට "එක" පසුවදන ආවේ ඇයි?
      විදේශීය නිසා නේද?

      Delete
    2. පර සුද්දාගේ වචන පමණක් නොව බොහෝ නාම පද වලට “කරනවා“ යන්න එකතු කර ක්‍රියාපද සාදාගැනීම අපේ ක්‍රමය නේද? දැන් බලන්න, අනුගමනය කරනවා, අනුශාසනා කරනවා, භාවනා කරනවා, අනුභව කරනවා, පරිභව කරනවා.

      නාම පද වල කේස් එක මෙහෙමයි.

      සිංහල අප්‍රාණවාචී නාම පද සාමාන්‍යයෙන් කෙළවර වෙන්නෙ සංවෘත “අ“ අකුරකින්.
      උදාහරණ: ගෙඩිය, ගෙඩියට කියන අනිත් නම, පැලය, ගස, තවාන, කුඩය, පාත්තිය, උදැල්ල, ඇඳ, පුටුව, මේසය, පොත, පෑන, බිත්තිය, කාලය, ධර්මය, අච්චුව, කණ්ණාඩිය
      ඉතින් එහෙම නැති වචනයක් තිබුනොත් අනිවාර්යයෙන් “එක“ කියල දාන්න වෙනවා.

      ඒ විතරක් නෙවෙයි, ප්‍රාණවාචී නාම පද කෙළවර විය යුත්තේ “ආ“ අකුරකින්. උදාහරණ: හාවා, බල්ලා, නයා, කූරා, රජා, කුමාරයා, මෝඩයා, පණ්ඩිතයා.
      එහෙම නොවුනොත් කරන්න වෙන්නෙ “තුමා“ වගේ කෑල්ලක් අමුණන එක. ඒකනේ ජනාධිපති-තුමා වෙන්නෙ. ගුරුතුමා වෙන්නෙ. තාපසතුමා වෙන්නෙ.
      අපහාසාත්මක ලෙස සැළකෙන නිසා ජනාධිපතියා, ගුරා, තාපසයා වගේ ලියන්න අපි අකමැතියි. අනිත් එක, ප්‍රවෘත්ති කියවනකොට ප්‍රෙසිඩන්ට් ඩොනල්ඩ් ට්‍රම්ප් කියල ඉංග්‍රිසියෙනුත් ඩොනල්ඩ් ට්‍රමප් ජනාධිපතිතුමා කියල සිංහලෙනුත් කියන්න වෙන්නෙත් ඒ නිසාමයි.

      දැන් කාලෙ සුදත්, සරත් වගේ නම් තිබුනට ඉස්සර කාලෙ හිටියෙ මොහොට්ටාල, පුංචිරාල වගේ අය. තව කණ්ඩායමක් හිටිය ලමින්දුවා වගේ නම් තිබුනු.

      ඔය ඔක්කොම කිව්වට, වෙසක් කියන්නෙ නාම පදයක් නෙවෙයි, නාම විශේෂණයක්. වෙසක් උත්සවය, වෙසක් පෝය, වෙසක් හඳ වගේ තැන්වලයි පාවිච්චි වෙන්න ඕනැ. අපි ලේසියට වෙසක් එක කිව්වට ඒක වෙසක් උත්සවය ඇත්තටම. අපි මතකද “ජනමත විචාරණය“ පසු කාලයේදී නිකම්ම “ජනමතේ“ වුනා. පත්තර වල දැම්මෙත් ජනමතය කියල. ඇත්තටම ජනමතය කියන්නෙ වෙනම එකක්නෙ. ජනයාගේ මතය නෙ. ඔය වගේම තමයි ත්‍රස්තවාදියා වෙනුවට ත්‍රස්තයා යෙදීමත්. ත්‍රස්තවාදියා කරන්නෙ බය කරන එකා. ත්‍රස්තයා කියන්නෙ බය වෙච්ච එකා. කම්මැලිකමට ත්‍රස්තවාදියා අන්තිමට ත්‍රස්තයා වුණා.

      සිංහලයා කම්මැලියි කියන්න වෙනත් උදාහරණ අවශ්‍ය නැත.

      (සිරා කොමෙන්ටුවක් දැමීම ගැන සමාව භජනය කරන සේක්වා)

      Delete
  2. කටුනායක එයාපෝට් එකේ ඉඳගෙන ඉන්නකොට ළඟ ඉන්න කෙනෙක් ඇහුවා කොහෙද කොරියන් එකේද ඉන්නෙ කියල. මම කිව්ව නෑ ජපානෙ කියල. මම ඇහුවා ඔයා කොහෙද කියල. එයා කියනව මම කටාර් එකේ වැඩ කරන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. කටාර් එකේ චාටර් "වෙනවා" ඇති!

      Delete
  3. ඔය ඉංග්‍රීසි වචන "එක" දාලා හරි "කරනවා වෙනවා" දාලා හරි සිංහල කරගන්න එක ඇත්තටම සිංහල භාෂාවේ තියෙන අපූරු බුහුටි කමක්.
    හැබැයි රසික කියනවා වගේ අපේම ඒවටත් මොකට දානවද ඔය "එක"
    ඒක හිතන්න ඕනේ කාරනයක්.

    ReplyDelete
    Replies
    1. දෙමළ භාෂාවෙත් ඔය දෙයුම් තියෙනවා. මට ඇහිලා තියෙනවා දෙමළෙන් කතා කරන කොට cut පන්න, cross පන්න ආදී ලෙස කියනවා!

      Delete
    2. පන්න = කරනවා දෙමළ බසින්.

      එක = ඔන්ඩ්‍රෘ. Drink ඔන්ඩ්‍රෘ = drink එකක් වශයෙන් ...

      Delete
  4. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. වෙසක්වලට / පොසොන්වලට / අවුරුදුවලට /නත්තල්වලට

      Delete
  5. කළු කොඩි එක කිව්වොත් හරියාද මන්දා

    ReplyDelete
  6. වෙසක් කාලයට , වෙසක් දවසට ... වෙසක් විශෙෂණ පදයක් ලෙස. මෙය වෛශාඛ්‍ය පුුර්ණිමා ⁣යන්න මුුලය විය හැකියි ?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.