
පසුගිය මාසයේ සිඩ්නි නගරයේ "එදා මෙදා ගී රංග සොබා" නමින් ප්‍රසංගයක් පැවැත්වුණි.
පේරාදෙනිය විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථීන් ගේ නිව් සවුත් වේල්ස් ඕස්ටේර්ලියා සංගමය මගින් සංවිධානය කරන්නට යෙදුණු මේ ප්‍රසංගය ඉදිරිපත් කළේ අද ලංකාවේ සිටින ජනප්‍රියතම මෙන්ම විශිෂ්ඨ රංග ශිල්පීන් වන, ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, රොඩ්නි වර්ණකුලසූරිය සහ මාධනී මල්වත්ත විසිනි.
එහිදී ජයලත් මනොරත්න ගැයූ එක් ගීතයක් වූයේ ආ අප බොහෝ දෙනෙක් අසා පුරුදු "ශාන්ත ජෝන් ගේ වීදියේ කඩේ" නම් වූ නාඩගම් ගීයයි. මෙය "බැලසන්ත" නම් නාඩගමේ ආ ගීතයක් බව කියවුණි.
මෙන්න ඒ ගීතය ජයලත් මනෝරත්න ම ගයන වෙනත් අවස්ථාවක දර්ශනයක්.
මේ ගීතයේ අවසාන පද කිහිපය හොඳින් අසන්න.
ගීතය අවසානයේ ජයලත් මනෝරත්න වේදිකාවෙන් ඉවත්ව ගිය පසු, ඒ වන විට ප්‍රසංගයේ ගීත ඉදිරිපත් කරමින් සිටි රොඩ්නි වර්ණකුලසූරිය, ඒ ගීතය් සම්බන්ධ අපූරු පුවතක් ප්‍රේක්‍ෂක අප සමග පැවසීය.
එනම්, මේ ගීතයේ අවසන් පද දෙකෙන් කියවෙන්නෙ ගීතයේ පද රචකයා ගේ නම බවයි.
සිරිලක තුල පින්වත් අපෙ සිංහල නාමෙට ගෞරවශාන්ත ජෝන් ගේ වීදියේ කඩේ ගීතය විසි තිස් වාරයක් එකල ගුවන් විදුලියෙන් සහ පසුව විවිධ මාධ්‍ය මගින් අසා තිබුණද මේ බව අප බොහෝ දෙනෙකුට වැටහුණේ එවිටයි.
මේ පද බැන්දේ සතොසින් ඒ ජෝශප් ඇන්ඩෲය මම
විශේෂයෙන්ම ගුවන් විදුලි නාලිකාවලින් ගීත ප්‍රචාරය කිරීමේදී ගායක ගායිකාවන් ගේ නම් සඳහන් වූවද, ගී පද බැඳි රචකයා ගේ නම සඳහන් වෙන්නේ කලාතුරකිනි. අද කතාබහට ලක්වෙන ඒ ප්‍රශ්ණයට එදා නූර්ති සමයේ සිටි ජෝශප් ඇන්ඩෲ පද රචකයා සොයාගත් විසඳුම කදිමට ගැලපෙන බවද රොඩ්නි වර්ණකුලසූරිය පැවසූයේ මුලු ප්‍රේක්‍ෂකාගාරයම සිනාවේ ගිල්වමිනි!
-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)
ප/ලි
අන්තර්ජාලයේ ඇති ඇතැම් මේ ගීතයේ පිටපත්වල පෙර කී නම සහිත දෙපදය ඇතුලත් නොවෙන බව මේ ලිපිය ලිවීම සඳහා කළ සොයා බැලීම්වලදී මට වැටහුණි.
(image: http://www.ozlanka.com/2104-albums/puaan-edamedagee/)