Thursday, 1 October 2015

සිඩ්නි නගරයේ සිංහල ලේඛකයෝ - Sydney based Sinhala writers


වසර සීයකටත් වඩා ඉහත කාලවල පවා, ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ සිංහලුන් ගැන ඓතිහාසික තොරතුරු ඇතත්, සිංහල සම්භවයක් ඇති පිරිස් බහුලව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම ඇරඹී ඇත්තේ අසූවේ දශකයේ අගභාගයේ දී ය. මා පෙර ලිපියක සඳහන් කළ ආකාරයට, මේ වන විට රට පුරා විසිරී සිටින සිංහල සම්භවයක් ඇති පිරිස පනස් දහසක් පමණ වේ.

ඕස්ට්‍රේලියාවේ සිංහල අග නගරය මෙල්බර්න් නුවර යැයි සැලකිය හැක. ඒ ඔළු ගෙඩි සංඛ්‍යාව ගැන සිතීමෙනි. මම ද වසර හයක් මෙල්බර්න් හි වාසය කළෙමි. නමුත්, සිංහල ලේඛකයින් ගැන සැලකීමේ දී නම්, සිඩ්නි නගරය හෙවත් සිනුවර ලෙහෙසියෙන් ම මෙල්බර්න් නුවර අභිබවා යයි.

මේ සටහනේ මූලික අරමුණ සිඩ්නි නගරබදව වාසය කරන සිංහල ලේඛකයින් හැකි පරිදි ඔබට හඳුන්වා දීමයි.

ලයිස්තුව දිගු නිසා අද පලවෙන්නේ එයින් කිහිප දෙනෙකු ගැන විස්තර පමණි.


කුඩාගල කෝවිද

සිඩ්නි නගරය අවට ගම් දනව්වල වෙසෙන ලේඛකයින් අතරින් පොත් පත් විශාලතම සංඛ්‍යාවක් ලියා පළ කර ඇත්තේ කටුම්බා ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන කුඩාගල කෝවිද හාමුදුරුවන් විසින් යැයි මම සිතමි.

කෝවිද හිමියන් ලියා පළ කර ඇති පොත් සියල්ලම පාහේ බණ දහම් කරුණු ඇතුළත් සරල කාව්‍ය ග්‍රන්ථ වේ. ඒවා බහුතරය කුඩා දරුවන් සඳහා ලියූ කුඩා පොත් බව ද පෙනේ.

පන්සලේ දායකයින් ගේ අනුග්‍රහයෙන් මුද්‍රණය කර ඇති මේ පොත් හාමුදුරුවෝ විසින් පන්සලට යන එන අයට දහම් පඬුරු ලෙස පරිත්‍යාග කරති.

මේ පහත දැක්වෙන්නේ කෝවිද හිමියන් විසින් ලියූ පොත් විශාල සංඛ්‍යාව අතරින් පොත් කිහිපයකි.



මීගහකුඹුරේ ධම්මගවේෂී

සිනුවර පිහිටා ඇති ලංකාරාමයේ අධිපති පූජ්‍ය මීගහකුඹුරේ ධම්මගවේෂී හාමුදුරුවෝ ද ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් ලියා පළ කර ඇති අයෙකි. ධම්මගවේෂී හාමුදුරුවෝ දෙවසරකට පමණ පෙර ඕස්ටේ‍ර්ලියාවේ සංඝ නායක පදවියක් ලංකාවේ දී ලදහ.

ධම්මගවේෂී හාමදුරුවන් විසින් ලියා පළ කර ඇති පොත් සියල්ල ම බුදු දහම ගැන වැඩිහිටියන් සඳහා සැකසුණු ඒවා ය. ඉන් පොත් කිහිපයක් ලියා පළ කර ඇත්තේ ඉංගිරිසි භාෂාවෙනි.

ලංකාරාම පන්සලේ දායක සභාව විසින් ප්‍රකාශනය කර ඇති මේ ධර්ම ග්‍රන්ථ වලින් මා සතුව ඇත්තේ එකක් පමණි.



සේනාධීර පියසේන

සේනාධීර පියසේන පිළිබඳව මා මීට පෙර රසිකොලොජියේ ලිපියක් ලියා ඇත. දීර්ඝ කාලයක් සිනුවර විසූ ඔහු මේ දිනවල ලංකාවේ ජීවත් වෙයි. තවමත් පුවත්පත්වලට නිතිපතා ලිපි සපයන අනූ තුන් වියැති ඔහු අද ලංකාවේ ජීවත්වන ජ්‍යෙෂ්ඨතම සිංහල මාධ්‍යවේදියා වේ.

ඔහු මෑතදී ලියූ ග්‍රන්ථ අතර "ඡන්ද ඝාතනය" (1992), "තට්ටු මාරුව", "පවුල් වාදය සහ විනාශය" (2001), "අන්ධානුකරණයෙන් විනාශයට" (2001), "කසාය බීපු ගොළුවෝ" (2003), "රටවල් තුනක මාධ්‍ය සමග දශක හතක්" (2007), "කළු ජූලියේ රිදී ජුබිලිය සහ ජේමිස් ගේ නිදහස" (2009), "දුර රූපයේ ආවර්ජන" (2013) සහ "හුදකලාවේ ආවර්ජන" (2014) වේ.



සමන් මහානාම දිසානායක

දයාවංශ ජයකොඩි සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇති නවකථා රාශියක කතුවරයා වන සමන් මහානාම දිසානායක සිනුවර වෙසෙන ප්‍රමුඛ ලේඛකයෙකි.

සමන් දිසානායක ලියා ඇති නවකථා නම්: "බඹරැන්දේ කඟවේනා", "කැන්ගරු නිම්නය", "පුංචි සර්", "දුරුතු සිහිනය", "රන්දෙනිගල වලව්ව", "ලංසි කෙල්ල", "සුරඟන කුමරිය" සහ මෑතකදී ප්‍රකාශනය වූ "අහස් ඉම" වේ. මීට අමතරව සමන් මෙල්බර්න් නුවර පළවෙන පහන සඟරාව සඳහා ද කොටස් වශයෙන් පල වූ නවකථාවක් ලියූවේය.

සමන් දිසානායක ගේ නවකථා සියල්ලම ඉතා සූක්‍ෂ්ම ආකාරයෙන් ගෙතූ සංකීර්ණ කතා රැගත් තරමක් දුරට රහස් පරීක්‍ෂක නවකථා ගණයේ ලා සැලකිය හැකි ඒවා වීම විශේෂයකි.



පාලිත ගනේවත්ත

පාලිත ගනේවත්ත කවියෙකු, කෙටිකතාකරුවෙකු මෙන්ම නවකතාකරුවෙකු ද වේ.

ඔහු මුලින්ම ප්‍රකාශයට පත් කළේ "බොඳ වූ ලොව" නම් කාව්‍ය සංග්‍රහයයි. ඉන් අනතුරුව 2005 දී "ඇසිපිය" නමින් කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශයට පත්විය.

ඔහු ලියා පළකර ඇති ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රයන් වන්නේ "ලේ හුරු සුවඳ" (2001) සහ "තුන් පෙර නිමිති" (2015) ය. මීට අමතරව පාලිත ගනේවත්ත ඇන්ටන් චෙකොෆ් ගේ කෙටිකතා සංග්‍රහයක් මුල් රුසියානු බසෙන් සිංහලට පරිවර්තනය කර 2004 දී පළ කළේය.

පාලිත ගනේවත්ත ගේ නවකථා නම් "ඇවිත් නොරටක" (2006) සහ "මාවත අබියස" (2009). මෙයින් "ඇවිත් නොරටක" කෘතිය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ සිංහල පවුලකගේ ජීවන අරගලය ගැන ගෙතුණු එකකි.

මීට අමතරව පාලිත ගනේවත්ත විසින් ලියා ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ නම්, "ගුණදාස අමරසේකර සංවාද" (2013) සහ "දොස්තර චෙකෝෆ්" (2013) වේ.



ලක්‍ෂ්මන් කොඩිතුවක්කු

ලක්‍ෂ්මන් කොඩිතුවක්කු කවියෙකි, කෙටිකතාකරුවෙකි, නවකතාකරුවෙකි. ඔහු 2005 දී "පැය අටේ මිත්‍රයෝ" නමින් සිය ප්‍රථම කෘතිය ලෙස කාව්‍ය ග්‍රන්ථයක් එළි දැක්වීය. ලක්‍ෂ්මන් ලියූ කෙටිකතා ලක්බිම වැනි ඉරිදා පුවත්පත්වල නිතර පළවෙයි.

ඔහු මේ වන විට "පරමේෂ්වරී සහ වෙනත් රටක්" සහ "හුස්ම" යන කෙටිකතා සංග්‍රහ ද්වය ලියා පළ කර ඇති අතර තුන්වෙනි කෙටිකතා සංග්‍රහයක් ද මුද්‍රණයේ පවතින බව සැලයි.

ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ලියූ "පරාරෝපණය" නම් යොවුන් නවකතාව ද පසුගිය දා සුරස ප්‍රකාශනයක් ලෙස එළි දැක්විණි. ඔහු "පුංචි ටොමී සිඩ්නි ගියා" නමින් ළමා කතාවක් ද ලියා පළ කර ඇත.



හෙන්රි කුමාරප්පෙරුම

වසර 1995 දී "සමනල දූතය" නමින් කාව්‍ය සංග්‍රහයක් ලියා පළ කළ හෙන්රි කුමාරප්පෙරුම මූලිකව ම කවියෙකි. පුරාණ සිංහල සන්දේශ කාව්‍ය සම්ප්‍රදාය අනුව යමින් නිර්මාණය වී ඇති "සමනල දූතය" සිඩ්නි නගරයේ සිට ලංකාවට සමනළයෙකු මගින් යවනු ලබන සන්දේශයකි.

ඉන් පසු නවකථාකරණයට බට හෙන්රි "ගම් සරණිය" නවකතාව ද, "නිහඬ කල්පනා" සහ "සුදු සඳ රැස්" යන කෙටි නවකතා පළ කළේය. ඔහු පංචතන්ත්‍රය ඇසුරෙන් "වන රජ දහන" නම් පරිවර්තන කාව්‍යයක් ද ලියා පළකර ඇත.

හෙන්රි කුමාරප්පෙරුම දකුණු කුරු දිව් කව් - Australia: Sinhala poetic impressions නම් ඕස්ට්‍රේලියාව පිළිබඳ ලියවුණු සිංහල කාව්‍ය සංග්‍රහයේ සම සංස්කාරකයා ද වේ.

සිඩ්නි නගරය සඳහා නිමවුණු "සිනුවර" නම් වචනයේ නිර්මාතෘවරයා ද හෙන්රි කුමාරප්පෙරුම ය.




සිනුවර වාසී සිංහල ලේඛකයින් තවත් කිහිප දෙනෙකු ගැන විස්තර මේ ලිපියේ දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිය පලවෙන්නේ ඊයේ දිනයෙන් ගෙවී ගිය 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia
8. ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya
9. W3Lanka අජිත් පැරකුම් ජයසිංහ ගේ "ශාස්තෲ" නවකතාව ගැන පසුවදනක් - HBD2U APJ