Tuesday 20 February 2024

ඇත්තටම "සිදු" වීම - Role bleed and emotional carry-over


ටික කලකට ඉහත ම නාට්‍ය කණ්ඩායමක් හා සම්බන්ධ වී සිටියෙමි. අපේ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද නාට්‍යය කෙටි කලක් තුළ රට වටා දර්ශන තිහක් පමණ රඟ දැක්වීමට හැකි විය.

නාට්‍යයේ අන්තර්ගතය වූයේ මැදිවියේ විවාහක යුවළක් අතර ඇතිවන ගැටලු සහගත තත්ත්වයකි. ප්‍රධාන චරිත ද්වය රඟපෑ නිළිය සහ නළුවා දෙදෙනාම ඉතා දැඩි කැපවීමකින් පුහුණුවකින් තම රංගනය ඉදිරිපත් කළ අතර එම රඟපෑම් ප්‍රේක්ෂකයින් ගේ සිත් කළඹන, කම්පා කරවන, දෙනෙත් තෙත් කරවන ආකාරයේ ඉතා උසස් තත්වයේ අතිශය තාත්වික "රඟපෑම්" විය.

දීර්ඝ කාලයක් තිස්සේ කළ පුහුණුවීම් එදිනෙදා දර්ශනයට පෙර කෙරෙන පුහුණුවීම් මෙන්ම දර්ශන ද මා නරඹා තිබුණු නමුත් අවසාන දර්ශනයේ දී පවා මේ රඟපෑම් දැක මා සිත කම්පනය වූ බවත් විශේෂයෙන්ම කාන්තා චරිතයේ එක් රඟපෑමක දී හදවත බර වී දෙනෙත තෙත් වූ බවත් සඳහන් කළ යුතුය.

එසේ නම් මේ නාට්‍යය මුල්වරට නරඹන අය ගැන කුමන කතා ද?

නාට්‍ය නැරඹූ සියලු දෙනාම පාහේ එම අත්දැකීමට ආශක්ත වූ අතර තමන් ලැබූ කම්පනය පිළිබඳ ඉතා ඉහළින් කතා කළහ.

එක් දර්ශනයක් නැරඹූ ප්‍රේක්ෂිකාවක් ඊට අමතරව වෙනත් වැදගත් කරුණක් ද පැවසුවා ය. එය නම්, නාට්‍යය නරඹා ප්‍රේක්ෂකයින් කම්පනය වනවා සේම, එම අවස්ථාවේ ජීවත් වෙමින් ඉතා තාත්විකව රංගනය ඉදිරිපත් කරන නළු නිළියන් ද, ප්‍රේක්ෂකයින්ටත් වඩා දැඩි ආකාරයකට මානසික කම්පනයකට ලක්වන බවයි. මෙය දීර්ඝ කාලීනව සිදුවීම අහිතකර විය හැකි බව වෘත්තියෙන් මනෝ වෛද්‍යවරියක වූ ඇගේ අදහස විය.

දිගු කාලයක් තිස්සේ සාජන්ට් නල්ලතම්බි ලෙස පොලිස් චරිතයක් රඟපෑ නිහාල් සිල්වා නම් නළුවා මියගියේ පොලිස් මුරපොලක දී නොනවත්වා රථය ධාවනය කිරීමේදී වෙඩි වැදී බව මේ මොහොතේ මට සිහිවේ.

මේ කතාව සිහිපත් වූයේ ටෙලිනාට්‍යයක දිගු කාලයක් තිස්සේ ශ්‍රමණ චරිතයක් රඟ පෑ ළමයෙකු, ඒ නාටකය අවසන් වූ පසු ඇත්තටම මහණ දිවියට පිවිසීම ගැන ආරංචිය ලැබුණු මොහොතේ ය.

(image: from the Facebook)