Thursday, 8 May 2025

විදෙස් රටකදී හමුවුණු සිංහල අංකල්ලා දෙදෙනා - Three bald men


අප්‍රේල් මාසයේ සති දෙකකට පමණ යුරෝපයේ සංචාරයත් සඳහා ගිය අවස්ථාවක මා ඉතාලියේ රෝම නගරයේ දී ලද අත්දැකීමකි මේ.

මා නවාතැන් ගෙන සිටි රෝම නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටා තිබුණු හෝටලයෙන් සවස්වරුවේ පිටත් වූ මා ලෝරෙන්තිනා නම් දුම්රිය පොළට ගියේ එතැන් සිට දුම්රියේ නැගී කොලෝසියම් දුම්රිය පොළ දක්වා ගමන් කිරීමටයි.

මා දුම්රිය ස්ථානයේ ආලින්දයට පිවිස මඳක් නැවතී බලා සිටියේ හිතවතෙකුගෙන් පණිවිඩයක් ලැබෙන තුරුයි.

මා මෙන්ම තවත් දෙතුන් දෙනෙකු ද ඒ ස්ථානයේ රැඳී සිටින බව මම දුටුවෙමි. එයින් සමහරෙකු එහි සිටින්නේ දුම්රියෙන් යමෙකු පැමිණෙන තුරු බව මට පැහැදිලි වූයේ නගරය පැත්තෙන් දුම්රියක් පැමිණි විගස එයින් බැස එන අය සමහරුන් පෙර ගමන් කර පිළිගෙන ඔවුන් කැටුව යන බව දුටු නිසා ය.

මෙසේ විනාඩි දහයක් පමණ ගත වූ පසු, මේ කාලය තුල දුම්රිය දෙකක් පමණ නගරයේ සිට එහි ළඟාවූයේ යැයි සිතමි, දුම්රිය පොළේ උඩ මාලයේ ඉතිරි වූයේ දෙතුන් දෙනෙකු පමණි. එක්වරම මගේ කනට ඇසුණේ “මොකද එයා කියන්නේ? ආවේ නෑ නේද? එනවා ද?” වැනි සිංහල වචන කිහිපයකි.

ලාංකිකයින් හෝ ඉන්දියානුවන් බව බැලූ බැල්මට සිතෙන, සිංහල භාෂාව භාවිතය නිසා ලංකාවෙන් පැමිණ සිංහලුන් බව පෙනෙන දෙදෙනෙකු මට දැකිය හැකිවිය.

“හලෝ, කොහොමද? සිංහල වචනයක් ඇහුණා ටික දවසකට පස්සේ” යැයි කියමින් මම ඔවුන් දෙදෙනා සමඟ කතා කළෙමි.

මේ දෙදෙනා පිළිබඳ විස්තරයක් පැවසුවහොත් මෙසේය.

මා හා සමාන වයසේ පිරිමි දෙදෙනෙකි. දෙදෙනාම උසින් එක සමාන ය. දෙදෙනාම කලිසම් කමිස සපත්තු ඇඳ පැළඳ, එදින වැඩි සීතලක් නොතිබුණත් ජැකට් ද ඇඳ සිටියහ.

එක් අයෙකුගේ තට්ටය පෑදී තිබුණු අතර හිස පසුපස සහ දෙපසින් පමණක් කෙස් ස්වල්පයක් දක්නට ලැබුණි. සමේ වර්ණය සලකතොත් ඔහු සෑහෙන්න තල එළලු පුද්ගලයෙකි.

අනෙක් පුද්ගලයා තොප්පියක් පැළඳ සිටියේය. සමේ වර්ණය ගැන කියනවා නම් ඔහු මුල් තැනැත්තාට වඩා පැහැපත් සමක් ඇති අයෙකු බව පැවසිය හැක.

ඉතින් අප කතාවට වැටුනෙමු.

මෙහිදී මා අප යයි කීවාට මා සමඟ කතා කළේ තොප්පිය පැළඳ සිටි පුද්ගලයා පමණි. අනිත් තැනැත්තා හිස වනමින් ප්‍රතිචාර දක්වමින් සිටියා පමණක් යැයි කිව හැක.

මා දැනගත් පරිදි ඔවුන් දෙදෙනාම දිගු කලකට පෙර ඉතාලියට පැමිණි අය වන අතර තොප්පිය පැළඳ සිටි තැනැත්තා මීට අවුරුදු විස්සකට පමණ පෙර ඉතාලියේ සිට එංගලන්තය බලා ගොස් දැන් ජීවත් වෙන්නේ එහිය.

ඔහු මෙහි පැමිණ ඇත්තේ කෙටි නිවාඩුවකට යැයි කියවුණි.

මා ද නිවාඩුවකට ඕස්ට්‍රේලියාවේ සිට අඟහරුවාදා මෙහි පැමිණි බවත් සඳුදා උදෑසනම නෙදර්ලන්තය බලා පිටත් වන බවත් මම පැවසුවෙමි.

“අයියෝ, අපරාදෙනේ එච්චර දුර ඉඳලා ඇවිත් ඔච්චර ඉක්මනට යන එක!” තොප්පිය පැළැඳි පුද්ගලයාගේ ප්‍රතිචාරය එය විය.

“ඇයි එහෙම කිව්වේ? මම සංචාරයකට නේ ආවේ දවස් හතක් ඉඳලා යන්න යනවා,” මම පිළිතුරු දුනිමි.

“ඒ වුණාට ඉතිං කොච්චර දේවල් තියෙනවද බලන්න?”

“කොච්චර බැලුවත් ඉතින් ඔච්චර තමයි. මං කලින් වතාවකත් ඇවිල්ලා සතියක් විතර ඉඳලා ගියා” මම එයට ද පිළිතුරු බැන්ඳෙමි.

පරාජය පිළිගෙන කතාව වෙනතකට යොමු කිරීමට දෝ තොප්පිය පැළඳගත් පුද්ගලයා මට අනිත් තැනැත්තා පෙන්නමින් මෙසේ කීවේය.

“අර ඉන්නේ මගේ ම මල්ලී. හිතන්න බැහැ නේද අපි දෙන්න අයියයි මල්ලි කියලා?”

ඔහු අදහස් කළ දේ මට හොඳින් වැටහිණි. මෙය කියවන ඔබට එහි අදහස වැටහුණේ නැතිනම් මදක් ආපසු ගොස් මේ දෙදෙනා පිළිබඳ විස්තරය කියවා බලන්න.

එසේ නමුත් එය වැටහුණේ නැතුවා සේ ම මම මෙසේ කීමි.

“අයියයි, මල්ලියි බව හොඳින්ම වටහා ගන්න තිබුණා. ඔයාගේ ඔය තොප්පිය ගැලෙව්වා නම්.”

එසේ කීමෙන් නොනැවතුණු මම, මගේ හිසේ පළඳා තිබුණු තොප්පිය ගලවා බූ ගා ඇති මගේ තට්ටය ඔහුට පෙන්වීමි.

ලැජ්ජාවට පත් වූ තොප්පිකාර අයියා “හපෝ නෑ මගේ එච්චර තට්ටෙ පෑදිලා නැහැ” යයි කියමින් තම තොප්පිය ගලවන්නට මෙන් එය යාන්තමට මෙන් අතින් ඇල්ලුව ද, එසේ නොකර ලැජ්ජා සහගත සිනාවක් පා නිහඬ විය.

ඒ මොහොතේම කළු තට්ට මල්ලිගේ දුරකථනයට ආ පණිවිඩයක් අනුව සුදු කොණ්ඩඤ්ඤ අයියා සහ කළු තට්ට මල්ලි මට අත වනා එතනින් පිටව ගියහ.

මොහොතකට පෙර තමන්ට හමුවුණු අයෙකු ඉදිරියේ තමන්, තමාගේ එකකුස උපන් මල්ලීට වඩා කඩවසම්, පැහැපත් අයෙකු බව පෙන්නන්නට තැත් කළ ඒ අයියාකාරයා මගෙන් සල්ලම් වුණේ එසේය. විනාඩි කිහිපයකට පසු මම ද ලවරෙන්තිනා දුම්රිය පොළෙන් පිටත් වී කොලෝසියම් දුම්රිය ස්ථානය වෙත මගේ ගමන ආරම්භ කළෙමි.

- රසික සූරියආරච්චි

(image: created using Canva AI)

8 comments:

  1. කථාව තේරුනේම නැහැ. නයෙක් අදින්න ගිහින් අනා ගත්තා වගේ.

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ පැහැදිලිවම ලියා ඇති පරිදි මේ අයියා සම පැහැපත්, කඩවසම් අයෙක්. මල්ලී ඊට් වෙනස්, ලංකාවේ කියන විදියට තළඑළලු එකේත් කළු පැත්තට බර අයෙක්. මල්ලීගේ තට්ටය හිසෙන් අඩක් ඇති නිසා සහ දෙපස යාන්තම් කෙස් ඇති නිසා ඔහු අයියාට වඩා වයස වැඩි සහ වෙනත් පවුලක අයෙකු බවයි පේන්නේ.

      අයියා කියන්නට උත්සාහ කළේ ඒකයි.

      තොප්පියෙන් වසා සඟවාගෙන සිටි අයියාගේ තට්ටය ගැන ඔහුට මතක් කර දී මා ඔහු නිහඬ කළේ එනිසයි.

      Delete
  2. අයියාගෙ ආසාවනේ... නිකං ඉන්නයි තිබ්බේ.

    ReplyDelete
  3. සිංහලු පට්ට පම්පෝරිකාරයෝ...

    ReplyDelete
  4. පුදුම අයියෙක්

    ReplyDelete
  5. අන්කල්ලා දෙන්නම දන්නෙ නැති වුණාට සමහරවිට තාත්තලා දෙන්නෙක්ගෙ වෙන්න ඇති, එක්කෙනෙක් අම්මගෙ ස්වාමියා, අනික් එක්කෙනා අල්ලපු ගෙදර අන්කල්ගෙ වෙන්නත් පුළුවන්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.