Wednesday, 13 November 2024

ඡන්දෙ ඉල්ලන බ්ලොගර්ස්ලා දෙන්නෙක් - Two bloggers contesting parliament seats



මේ විස්තරය මුලින් වැදගත් වෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ අයට ය.

ඔවුන් කළ යුත්තේ මේ දෙදෙනා පාර්ලිමේන්තුවට යැවීමයි. ඉන්පසු මේ දෙදෙනා ලංකාවට ම වැදගත් පුද්ගලයින් වෙනු ඇත.




පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලැබූ රවීන්ද්‍ර බණ්ඩාර 2016 දී තම ජීවිත සටහන් "රබාගේ ලෝකය" නම් බ්ලොගයේ ලිවීය.

තම විදුලි ඉංජිනේරු උපාධියෙන් සම්මත රැකියාවක් කරනු වෙනුවට දිගු කලක් තිස්සේ උසස් පෙළ ගණිතය ටියුෂන්කරුවෙකු ලෙස කටයුතු කරන ඔහු තම බ්ලොගයේ ලිපි දෙක තුනක් ලියා පළ කර ඇත. ඔහු ගැන වෙනත් අය ලියූ සටහන් ද එහි ඇත.




කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇති සමන්ත විද්‍යාරත්න මුලින් රජයේ ගුරුවරයෙකු ලෙස සේවය කර පසුව වෘත්තියෙන් ම දේශපාලනයේ යෙදෙන්නෙකි. චන්ද්‍රිකා-සෝමවංශ සභාග රජයේ උප ඇමතියෙකු ලෙස ද කටයුතු කර ඇත.

සමන්ත විද්‍යාරත්න ලියූ බ්ලොගය "දුයිෂෙන්ගේ අඩවිය" නම් විය. ඔහු එහි ලිපි දහයක් පළ කළේය.



බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලයේ ආදී සිසුන්වන මේ දෙදෙනාම බ්ලොග් ලිවීමට පොළඹවන ලද්දේ ඔවුන්ගේ සමකාලීනයෙකු වන කවිඳු ජයසිංහ යන අන්වර්ථ නමින් "Down the memory lane සොඳුරු අතීතයෙන් බිඳක්" බ්ලොගය ලියන්නා බව සිහිවේ.

- රසික සූරියආරච්චි

මා බදුල්ලේ සිටින්නේ නම්, මගේ තෙවන මනාපය අම්බිගා සැමුවෙල්ට දෙමි.



(images: 1. AI generated, 2,3,4 from Facebook)

Tuesday, 12 November 2024

ඉලෙක්ෂන් ඇබ්බැහිය - Are you addicted to AKD speeches?


සාමාන්‍යයෙන් ඇබ්බැහිය කියලා කියන්නේ නරක දෙයක් නේ? මත්පැනට ඇබ්බැහිවීම, සිගරැට්වලට ඇබ්බැහිවීම, වීඩියෝ ගේම්වලට ඇබ්බැහිවීම, බඩවැල් සේ ඇදෙන ටෙලිනාටක බැලීමට ඇබ්බැහිවීම වැනි දේවල් තමයි අපේ සිහියට එන්නේ.

ඒ නමුත් පොතපත කියවීමට ඇබ්බැහිවීම වැනි තව වෙනත් සමහර දේ නරක ලෙස සැලකෙන්නේ නැහැ.

දැන් මාස තුනක පමණ කාලයක සිට මා යම්කිසි දෙයකට ඇබ්බැහි වුණා.

ඒක තමයි දේශපාලන කතා යූටියුබ් එක හරහා නැරඹීමට ඇබ්බැහි වීම. ඒ විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ කතා.

අනූවේ දශකයේ මුල් කාලයේ අවුරුදු හතරහමාරක් විතර මාත් කැලණිය විශ්වවිද්‍යාලයේ සිටි නිසා සමහර විට ඔය අනුර දිසානායකගේ බැච්මේට්ස්ලා කිහිප දෙනෙකු ගැන මා දන්නවා විය යුතුයි. නමුත් මා ඔහුව මුලින්ම දුටුවේ සහ දේශපාලකයකු ලෙස ඔහු ගැන දැන හොඳින් දැනගත්තේ 2010 වසරේ අග භාගයේ දී අනුර දිසානායක සිඩ්නි නගරයට පැමිණි අවස්ථාවේ දී පැවැත්වුණු සම්මන්ත්‍රණයක් වැනි අවස්ථාවකට සහභාගී වූ නිසයි.

ඔහු එදා මෙහි පැමිණියේ අර්ජුන රණතුංග සමඟ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ ව්‍යාපාරය යනුවෙන් කළ, එවකට සිරභාරයේ සිටි සරත් ෆොන්සේකා බේරා ගැනීමේ, උද්ඝෝෂණයක කොටසක් ලෙසයි.

එහිදී ම අනුර කුමාර දිසානායක ඉතා සාරගර්භ කථාවක් කළා. ඒ අවසානයේ මට ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසීමට ද අවස්ථාවක් ලැබුණා.

තවත් කලකට පසුව, ලංකා පාර්ලිමේන්තුවේ පවත්වන කතාවල කොටස් පවා යූටියුබෙන් නැරඹීමට අවස්ථාව ලැබුණු පසු මා ඔහු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශ කිහිපයක කොටස් දැක තියෙනවා.

ඉන්පසු, මීට අවුරුදු දෙකකට පමණ පෙර සූම් තාක්ෂණය ඔස්සේ අනුර කුමාර දිසානායක ඕස්ට්‍රේලියාවේ වාසය කරන පිරිසක් සමග කළ සාකච්ඡාවකට සහභාගී වන්නට මට අවස්ථාව ලැබුණි.

ඒ ගැන රසවත් කතාවක් තියෙනවා. පසුව ලියන්නම්.

ඊටත් පසුව, ඔහු දෙවනවරට සිඩ්නි පැමිණි අවස්ථාවේ, එනම් පසුගිය වසරේ 2023 ජූලි මාසයේ දී මිතුරෙකු සමග ගොස් මං ඔහුගේ කතාවට සවන් දුන්නා.

නමුත් මෙහි අදහස් කරන අනුර දිසානායකගේ කතා ඇසීමට ඇබ්බැහිකම ඇතිවුණේ මීට මාස තුනකට පමණ පෙර ජනාධිපති ඡන්දයේ උණුසුම නිසායි.

එක දිනකට දෙක තුන බැගින් සේ පැවැත්වුණු මේ කතාවල බොහෝ විට කියවුණේ එකම දේ වුණත්, නැවත නැවත අහන්නට අවුලක් වුණේ නෑ.

ජනාධිපති ඡන්දය අවසාන වී වැඩිකල් නොගොස් තව ඡන්දයක් පැමිණීම නිසා මේ ඇබ්බැහිවීම දිගටම අද දක්වා ආවා.

යාපනය වවුනියාව පෙරේදා, ගම්පහ සහ පිළියන්දල ඊයේ ද නැරඹුවා.

දැන් ඉතින් මේ ඒ ඇබ්බැහියේ අවසානය විය හැකියි.

මේ වන විට මා, ඊයේ රාත්‍රී විකාශය වී ඇති රූපවාහිනී නාලිකාවක් සමග අනුර කුමාර දිසානායක කරන සාකච්ඡාවත් නරඹා අවසානයි.

ඒ රූපවාහිනී සාකච්ඡාව නොදුටු අයෙකුගේ ප්‍රයෝජනය පිණිස මෙන්න ඒ සඳහා සබැඳියක්.



- රසික සූරියආරච්චි

(image: AI generated)

Monday, 11 November 2024

එක සතියක්, චිත්‍රපට හතරක් - Hope I can continue with this


මාස දෙකක් පමණ දිගු කාලයක් තිස්සේ විවිධ හේතූන් නිසා කිසිදු සිනමා නිර්මාණයක් නරඹන්නේ නැතුව සිට මම පසුගිය දින කිහිපය ඇතුළත චිත්‍රපට හතරක් ම නැරඹුවෙමි. එයින් කෙතරම් වින්දනයක් ලැබුවේ ද කියතොත් මේ සටහන ලියන්නට ද සිත්විය.

සාමාන්‍යයෙන් සිනමා ලෝලියෙකු වන මා චිත්‍රපට නොනැරඹීමට හේතු වූයේ බොහෝ දුරට ඒ සඳහා සුදුසු කාල වේලාවක් සොයා ගැනීමට නොහැකිවීමයි. එක දිගට චිත්‍රපටියක් නරඹනු මිස කොටස් වශයෙන් නැරඹීමේ පුරුද්දක් අප බොහෝ දෙනෙකුට මෙන් මට ද නැත. එසේම, අවස්ථාව සහ කාලය තිබුණු දිනවල ද, ඊට වඩා වෙනත් විනෝදාංශයක යෙදීමට සිත්වීම ද, නැරඹීම ආරම්භ කළ චිත්‍රපටයක් දෙකක් විනාඩි කිහිපයකින් පසු එපාවීම ද මෙයට හේතු විය.

මා සාමාන්‍යයෙන් චිත්‍රපට නරඹන්නේ නෙට්ෆ්ලික්ස් නම් සේවාව ඔස්සේ ය. ඒ 2017 තරම් ඈත කාලයක සිට ය. දැන් ඩීවීඩී මිලට ගෙන හෝ සිනමාහළකට ගොස් චිත්‍රපට නැරඹූ කාලය ඉක්ම ගොසිනි.

ඕස්ට්‍රේලියාවට ආ මුල් කාලයේ වාණිජ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වූ චිත්‍රපට නැරඹුව ද, දැන් දැන් වසර ගණනාවක සිට මම වෙළඳ දැන්වීම් ප්‍රචාරය වන ටෙලිවිෂන් නාලිකා නොබලමි. නැරඹුවොත් නරඹන්නේ Australian Broadcasting Corporation නම් ඕස්ට්‍රේලියානු රජය විසින් පවත්වාගෙන යනු ලබන සේවාවේ නාලිකා හතර අතරින් එකක් වන, පැය විසිහතර පුරාම ප්‍රවෘත්ති ප්‍රචාරය වන, ABC News 24 නාලිකාවයි.

එසේ නමුත් දින කිහිපයකට පෙර එක් රාත්‍රියක මා ටෙලිවිෂනය ඉදිරිපිට වාඩි වී එය ක්‍රියාත්මක කළ මොහොතේ එය සුසර වී තිබුණේ අංක නමයේ Channel 9 නාලිකාවටයි. ඒ සමගම එහි චිත්‍රපටිය ප්‍රදර්ශනය වීම ඇරඹුණි. ආහාර ගන්නා අතරේ නිකමට මෙන් ටෙලිවිෂනය මද වේලාවක් නරඹන විට ඒ චිත්‍රපටය මට රහ වැටුණු අතර, අවසානය දක්වාම, පැය එකහමාරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ එය නරඹා හමාර කළෙමි.

එයින් යළි පන ගැන්වුණු මගේ සිනමා රසිකත්වය මේ වන විට චිත්‍රපටි හතරක් නැරඹීම දක්වා වැඩි දියුණු වී ඇත.

මේ සටහන ලියන්නේ ඒ බව සනිටුහන් කරන්නට සහ ඒ සිනමා නිර්මාණ පිළිබඳ මතකය නොනැසී ඉතිරි කරගන්නටයි.

1. No escape (2015)

තම බිරිඳ හා කුඩා දරු දෙදෙනෙකු සමඟ රැකියාවක් සඳහා තායිලන්තය වැනි ආසියාතික රටකට එන ඇමරිකානු ඉංජිනේරුවෙකු එදින රාත්‍රියේ රටේ පැන නැගුණු මහජන කැරැල්ලකට මැදි වී පණ බේරා ගැනීමට කරන උත්සාහය මේ චිත්‍රපටියේ ඉතා හොඳින් තිර රචනය වී, නිර්මාණය වී ඇත.

ප්‍රධාන චරිතය රඟපාන්නේ ඕවන් විල්සන්ය. ඔවුන්ට මරණයෙන් ගැලවීමට උදව් කරන කරන බ්‍රිතාන්‍ය චරපුරුෂයාගේ චරිතය නිරූපනය කරන්නේ ජේම්ස් බොන්ඩ් ලෙස චිත්‍රපට කිහිපයකම රඟ පෑ පියර්ස් බොස්නන් ය.

ත්‍රාසජනක සිදුවීම් රැගත්, වේගයෙන් දිවයන හොඳ නිර්මාණයකි.


2. Made in Italy (2020)

තමන්ට හිමි නිවසක් විකිණීම සඳහා ඉතාලියට යන පියෙකු සහ පුතෙකු පිළිබඳ සරල නමුත් සංවේදී කතාවකි. අතිශය නිර්මාණශීලී ලෙස, මනරම් දර්ශන ද උපයෝගී කරගනිමින් නිපදවා ඇත. පියා ලෙස රඟපාන්නේ ලියෑම් නීසන් ය.

මේ චිත්‍රපට හතර අතරින් මා කැමතිම නිර්මාණය මෙයයි. ඒ එහි මට දැනුණු සංවේදීබව නිසාය.


3. Plane (2023)

සිත්ගන්නා ත්‍රාසජනක සිදුවීම් රැගත්, වේගයෙන් දිවයන හොඳ සිනමා නිර්මාණයකි.

සිංගප්පූරුවේ සිට ගමන් අරඹන ගුවන්යානයක් අකුණු කුණාටුවකට අසුව අකර්මණ්‍ය වන අතර ගුවන්නියමුවෝ යානය නොදන්නා දූපතක කැලයක් මැද ගොඩනගමින් තිබී අතහැර දමා ඇති මාර්ගයකට අනතුරකින් තොරව ගොඩබස්වති. එය පිලිපීනයට අයිති දිවයිනක් නමුත් රජයේ පාලනයකින් තොර බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන සිටින එකකි. මේ ත්‍රස්තවාදීන් මුදල් සොයා ගන්නේ විදේශකයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගැනීම තුළිනි.

ඒ අවාසනාවන්ත තත්ත්වයෙන් ගුවන්නියමුවන්, ගුවන් සේවිකාවන් සහ සුළු පිරිසක් වූ මගී කණ්ඩායම ගැලවෙන ආකාරය මේ චිත්‍රපටයේ දැක්වේ. අවි සටන් ඇතුළත් ය.

4. The Good Liar (2019)

මහළු වයසේ පසුවෙන වැන්දඹු පිරිමියෙකු සහ වැන්දඹු කාන්තාවක ඉන්ටර්නෙට් සේවාවක් ඔස්සේ හමුවී මිතුරුකමක් බැඳෙන ආකාරය පෙන්වමින් ඇරඹෙන මේ චිත්‍රපටය දෙවන ලෝක යුද්ධය දක්වා ඉතිහාසයකට දිවගොස් අවසාන වන්නේ අපට ආරම්බයේ දී, මැද දී තියා අවසානය දර්ශනයට පෙර දර්ශනය වන තුරු කිසිසේත්ම නොසිතෙන ආකාරයකට ය.

ඒ අතින් ඉතා අපූරු චිත්‍රපටයකි. කතාව ද සංවේදී ය.



මේ ලැබුණු උත්තේජනය එලෙසම තබාගෙන සතියකට එකක් හෝ දෙකක් චිත්‍රපට නැරඹීමටත්, ඒ ගැන සටහන් තැබීමටත් අදහස් කරමි.

- රසික සූරියආරච්චි (images: Wikipedia )

Friday, 8 November 2024

පව්කාරයාට ගල්ගැසීමේ බයිබල් කතාවේ අවුලක්? - Throwing the first stone


ඔක්තෝබර් දෙවෙනි දින මහනුවර දී පැවැත්වුණු ජාතික ජන බලවේගයේ ඡන්ද රැස්වීමක් ඇමතූ එම දේශපාලන ව්‍යාපාරයේ නායකයෙකු මෙන්ම මෙවර මහඡන්දයේ අපේක්ෂකයෙකු ද වන කුරගමගේ දොන් ලාල්කාන්ත සහෝදරයා බයිබලයේ සඳහන් ජේසුස් ගණිකාවකට ගල් ගසා මැරීමට තැත්කිරීමේ අවස්ථාවක් විසඳූ ආකාරය ගැන කතාව සිහිපත් කරනු ඒ කතාව යූටියුබයේ තිබේ ඊයේ නැරඹූ මට පෙනුණි.

දේශපාලනිකව ඔහු පැවසුවේ, මීට කලින් අවස්ථාවල දී වෙනත් දේශපාලන පක්ෂවලට සහය දුන්, ඒ අනුසාරයෙන් දූෂණයට වංචාවට සහය දැක්වූ අයට පහරදීමට නම්, අප ද කිසිදු වරදක් නොකළ පාරිශුද්ධ අය විය යුතු බවයි.

ඒ කතන්දරය හැඳින්වෙන්නේ “පව්කාරයාට ගල්ගැසීම” යනුවෙනි.

“පව්කාරයාට ගල්ගැසීම” නමින් මාටින් වික්‍රමසිංහ මීට අවුරුදු අනූවකට පමණ පෙර ලියූ “කෙටිකතාවක්” ඇත. කතාවකි. අද අප දන්නා මිණුම් දඬු අනුව නම් එය කෙටිකතාවක් ලෙසින් නම් කර නොහැකිය. මා සිතන පරිදි ඒ “කතාව” ඔහු විසින් සිළුමිණ පුවත්පත සඳහා ලියන ලද කොළමක එක් එපිසෝඩයක් විය හැක.

ඒ කෙසේ වෙතත් මේ “පව්කාරයාට ගල්ගැසීම” නම් රචනයේ එක් තැනක බයිබලයේ එන පෙර සඳහන් කතාවක් ගැන කියවේ.

බයිබලයේ නව තෙස්තමේන්තුවේ යොයාන් (ජෝන්) ගේ ශුභාරංචියේ එන එම කතාවේ සරල සිංහල පරිවර්තනය ලුතරන් මිෂනාරි සංගමයේ වෙබ් අඩවියෙන් උපුටා මෙසේ දක්වමි.
....ලියන්නන් සහ පරිසිවරුන් කාමමිත්‍යාචාරයේ හැසිරෙද්දී හසුවුන ස්ත්‍රියක් අරන් එනවා, සහ ඔවුන් ඇයව මැද සිටෙව්වාට පසු ඔහුට කියනවා, “ගුරුතුමනි, මේ ස්ත්‍රිය කාමමිත්‍යාචාරයේ යෙදී සිටිනවිට අල්ලා ගත්තා. එහෙත් මෝසස් නීතියේ අපට අණ කරා, මෙවැනි අය ගල් ගසා මැරීමට. එම නිසා ඔබ කුමක්ද කියන්නේ?”

නමුත් ඔවුන් මෙසේ කිව්වේ ඔහු පරීක්ෂා කිරීමටයි. එවිට ඔහුට චෝදනා කිරීමට ඔවුන්ට යම් දෙයක් තිබෙයි. නමුත් යේසුස් වහන්සේ බිමට නැමී ඔහුගේ ඇඟිල්ලෙන් පොළවේ ලියමින් සිටියා.

එවිට ඔවුන් ඔහුගෙන් දිගින් දිගටම ඇහුවාට පසු, ඔහු හිස ඔසවා ඔවුන්ට කිව්වා, “ඔබ අතරේ පවක් නැති කෙනා පළමුව ඇයට ගලක් ගසන්න.”

...නැවතත් ඔහු හිස නමා පොළොවේ ලියන්න පටන් ගත්තා.

එවිට ඔහුට ඇහුම්කන් දුන් අය, වැඩිහිටියන්ගේ සිට බාලයනුත් එකිනෙකා එතැනින් ඉවත් වුනා,....
මේ කතාව සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ:

1. සමාජයේ සියළුදෙනා ම පාහේ විවිධාකාරයේ වැරදි කර ඇති අය, එනම් පව්කාරයින් බව පවසන්නටයි.

එසේම, මට සිතෙන ආකාරයට මේ කතාව ලියූ පුදගලයා එයින් කියන්නට අදහස් කළත් නැතත් පහත සඳහන් කරුණු ද කියවේ.

2. ගල්ගසා මැරීම වැනි දඬුවම් ම්ලේච්ඡය යන්න

3. ගණිකාවක වීම යනු දඬුවම් ලැබිය යුතු වරදක් නොවන බව

පෙර කී ඡන්ද රැස්වීමේ දී මේ කතාව සඳහන් කළ ලාල්කාන්ත එහි රැස්ව සිටි ප්‍රේක්ෂකයින් අමතා, මෙතැන කවුරුහරි ඉන්නවා නම් අත උස්සන්න දේශපාලනයේ දී හෝ පෞද්ගලිකව හෝ වෙනත් ආකාරයකට් හෝ වරදක් නොකළ යැයි කීවේය.

ජාතික ජන බලවේගයේ රැස්වීම් භූමියේ සිටි කිසිවෙකු අත එසෙව්වේ නැත. වේදිකාවේ සිටි අයෙකු අත එසෙව්වාදැයි පෙනෙන්නට කැමරාව ඒ පැත්තට යොමු නොවුණි.

ඒ මොහොතේ මගේ සිතට ආ කුකුස මෙයයි.

ලාල්කාන්ත අත ඔසවන්න යැයි කීවිට කිසිවෙකු අත නොඉස්සීමේ පුදුමයක් නැත.

නමුත් එදා ජේසුස් කීවාය කියා ඒ කතන්දරයේ ලියවී ඇත්තේ අත ඔසවන්න යැයි කියා නොවේ. අර අසරණ කාන්තාව ගල් ගසා මැරීම ආරම්භ කිරීමට පළමු ගල ගහන්නට කියායි.

එනිසා, මට සිතුණේ එතැන කිසිදු වරදක් නොකළ එක් අයෙකු හෝ සිටින්නට ඇත කියාය.

එසේ සිටියා නම් ඒ කිසිදු වරදක් නොකළ තැනැත්තා ඒ අසරණ කාන්තාව ගල් ගසා මැරීම ආරම්භ කිරීමට පළමු ගල නොහැසුවේ ඇයි?

මක්නිසාද යත් තම ජීවිත කාලයටම කිසිදු වරදක් නොකළ තැනැත්තෙකු, තම ජීවිතයේ පළමු වරද කරමින් අසරණ කාන්තාවක් ගල් ගසා මැරීම ආරම්භ කිරීමට පළමු ගල තියා එකදු ගලක් නොගසන නිසා ය.

එනිසා බයිබලයේ කතාව සමග මූලිකවම කියවෙන පැහැදිලිකිරීමේ අවුලක් ඇතැයි මට සිතේ.

- රසික සූරියආරච්චි

(image: Generated using Microsoft designer)

Wednesday, 6 November 2024

හරිනි අමරසූරිය සිටින ඡායාරූපයක් දැක සිහිවුණු අතීතය - A nostalgic note

හරිනිට පිරිත් ළණුවක් බඳින මේ තෝරපිටියේ ආනන්ද නම් සාදු, සාමනේරයෙකු ලෙස අපේ ගමේ පන්සලේ මහණවුණු දිනය මගේ මතකයේ ඇත.

ගමේ පන්සලේ කිව්වාට, අපේ නාමමාත්‍රික ගම් වූ පරකන්දෙණියේ පරිධියේ (එනම් අල්ලපු වැටේ ගෙදර කොස්සින්න ගමේ ය) ජීවත් වූ අපට පන්සල වුණේ කොස්සින්න පුරාණ රජමහා විහාරයයි.

ඒ කාලේ මම පොඩි ළමයෙක් මි. මේ ආනන්ද සාදු ද එදා ළමාවියෙන් ඔබ්බ්ට යමින් සිටි අයෙකි. ඔහු මට වඩා අවුරුදු හත අටක් වැඩිමල් ය කියායි මා හිතන්නේ. පසුව කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ට පාසලේ ඇරඹුණු, මා ද දෙවසරක් පමණ සහභාගී වුණු දහම් පාසලේ ලොකු ළමයින්ගේ පන්තියක ඔහු ඉගැන්නූ බව මගේ මතකයේ ඇත.

ඉරිදා දිනවල උදේ වරුවේ පැවැත්වුණු මේ කියන දහම් පාසලේ දී මං මොනවා හරි වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම්, ඒ එකම එක දෙයකි.

එක දවසක් අපේ පන්තියට ඉගැන්වූ ෂෙල්ටන් වැනි නමක් ඇති අයෙකු අපේ කන් හෙවත් කර්ණවල කළාඳුරු නම් ද්‍රව්‍යයක් නිපදවෙනවා, නෑමෙන් පසු ඒවා ඉවත් කිරීම හොඳ දෙයක් බව කීවා මට මතකයි. මේ ෂෙල්ටන් යනු අපේ ආච්චීගේ පරම හතුරෙකු වූ රොමියෙල් ගේ පුතෙකු යැයි සිතමි. ොමියෙල් ආච්චීගේ හතුරෙකු වන්නේ ඇයට අයත් ලියදි කෑල්ලකට රොමියෙල් සමග අවුරුදු දහයක් පමණ ඇදී ගිය ඉඩම් නඩුවක් තිබුණු නිසා ය. අවසානයේ ආච්චී මේ නඩුව දිනුවා ය.

දහම් පාසලේ අපේ පන්තියට ජේපින් නෝනා නම් වයෝවෘධ කාන්තාව ද ඉගැන්වූවා යැයි මට පොඩි මතකයක් ඇත. මේ කියන්නේ මං සාමාන්‍ය පාසලේ හයවෙනි ශ්‍රේණියේ පමණ ඉන්නා කාලේ නිසා දැන් ලොකු දෙයක් මතකයේ නැති වීම අරුමයක් නොවේ. එසේම, මතක තියාගන්නට තරම් වැදගත් වූ, සහ, පාසලේ බුද්ධාගම නම් විෂයයෙන් ආවරණය නොවුණු දෙයක් දහම් පාසලේ උගන්වන්නට ඇතැයි මම නොසිතමි.

දහම් පාසලේ දී මා ලද සුවිශේෂී අත් දැකීමක් නම්, මගේ දහම් පාසල් පන්තියේ සිටි කෙල්ලකට ලියුම් කිහිපයක් ලිවීමයි. එය ඇගෙන් මා ලද ඇරයුමෙන් කළ දෙයක් මිස මගේ අවශ්‍යතාවක් මත වූ දෙයක් නොවේ.

එහි ඇති අනිත් සුවිශේෂීත්වය නම් ඇය ඉරිදා දිනයේ දහම් පාසලේ මගේ පන්තියේ සිටිය ද, සතියේ දිනවල සාමාන්‍ය පාසලේ මට වඩා වසරක් ඉහළ පන්තියක සිටි කෙල්ලක වීමයි.

ලියුම් තුනකට පමණ පසු අමුද්‍රව්‍ය හිඟවීම සහ මට "රයිටර්ස් බ්ලොක්" එක වැනි දෙයක් සෑදීම නිසා අපේ "ලව් එෆෙයාර්" එක නැති වී ගියේ ය. ඇයගෙන් ලදුව, මගේ දහම් පාසල් ලියන පොතේ අවසන් පිටු දෙක කවරය අමුණා සාදා තිබූ රහස් කුටීරයේ බහා තිබුණු පෙම් හසුන් දෙක, මා අතින් කීතු-කීතු වී, පන්සල් කන්ද පාමුළ 2/6 බෝක්කුව යටින් දිවෙන දිය පහර හා මුසු වී ගියේය.

ඒ සමගම වාගේ සිදු වූ අපේ චූටි බාප්පා වූ චන්ද්‍රසිරි ගේ හදිසි මරණයත් සමගම, ලොකු බාප්පා වූ ධර්මදාස ගමට පැමිණ කළ කළබගෑනි නිසා අපේ පවුලට, අප පදිංචිව සිටි තාත්තාගේ මහගෙදරින් පිට වී මාස දෙක තුනක් අහිකුණ්ටික ජීවිත ගතකොට පසුව ගණේමුල්ලේ කුලී නිවසකට යාමට සිදුවූයෙන් දහම් පාසල ද මගේ මතකයේ එක් කුඩා ගැටිත්තක් ලෙස පමණක් ඉතුරු විය.

මා නැවත දහම් පාසලකට නොගියෙමි. එනිසා බුද්ධාගම නම් විෂයයට මා ලැබූ විශිෂ්ට සාමාර්ථයට කිසිදු දහම් පාසලක් වගකිව යුතු නැති බව පෙනේ.

එදා කොස්සින්න පන්සලේ ආනන්ද පමණක් නොව නාලන්ද නමින් සිවුරු අන්දන ලද ගැටවරයෙකු ද මහණ විය. පොර නම් පසුව සිවුර හැර ගිය බව මට සැළවිය.

ඒ අනුව ආනන්ද ස්ථවිර හොඳ භික්ෂූවක බව පෙනේ. හරිනි ඔහු ළඟ දණ නැමීමේ ලොකු වරදක් නැත.

ආනන්ද සාදු අකුදිගේ ගම්පහ රැළියටත් සහභාගී වූ බව මට තේරුණේ ඔහුගේ නම කියවුණු නිසාය. නමුත් මේ ඔහු බව වටහා ගත්තේ නම ගම සමග පළ වූ මේ පින්තූරය නිසා ය.

- රසික සූරියආරච්චි

ප/ලි:
මෙය Facebook එකේ මා දුටු ඡායාරූප ගොනුවක් සහ ඒ පිළිබඳ කෙටි විස්තරයක් දැක මගේ අතීතකාමය අවදි වී ලියවුණු සටහනකි.

මෙය හරිනි අමරසූරිය හෝ තෝරපිටියේ ආනන්ද හෝ ගැන නොව මා ගැන සටහනක් බව කරුණාවෙන් සලකන්න.

(image: https://www.facebook.com/permalink.php?story_fbid=pfbid02n9SPdqf7ZKgZJyXQyMjoeZud8UssY9u8NnrQMJkri9bUpvZS2D5VwRPBZAd4Gk9sl&id=61552670000719)

Monday, 4 November 2024

චූවක දුර - A new measure of distance


"චූවක දුර" යනු මවිසින් සොයා ගත් අලුත් ම දුර මනින ඒකකයකි.

"හූවක දුර" යන දුර මැනීමේ ඒකකය පිළිබඳ අපි සියලුදෙනා ම අසා ඇත්තෙමු. ඔබ එක් තැනක සිට "හූ" හඬක් නැගූ විට එය ඇසෙන දුර ප්‍රමාණය හූවක දුර වේ.

මා සොයාගත් අලුත් මිනුම් ඒකකය ද ඒ ආකාරයේ ම එකකි.

"චූවක දුර" මා අර්ථදක්වන්නේ මෙලෙස ය.

ඔබ වෙනත් අයකු සමග ව්‍යායාමය පිණිස ඇවිදීමේ මගක ගමන් කරමින් සිටිය දී ඔබට මුත්‍රා කිරීමට අවශ්‍ය වුණේ යැයි සිතන්න. එවිට ඔබ මේ ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ මාර්ගය අසල පිහිටි වැසිකිළියක් තුලට යනු ඇත.

ඔබේ ගමන් සගයාට ඔබ ආපසු එන තුරු වැසිකිලිය අසල නතර නොවී සිට දිගට ම ගමන් කරන ලෙස කියා ඔබ වැසිකිළිය තුළට ගොස් චූ බරෙන් නිදහස් වී එළියට පැමිණෙන මොහොත වෙන විට ඔබේ ගමන් සගයා එතන සිට ගමන් කර ඇති දුර "චූවක දුර" ලෙස අර්ථ දක්වමි.

හූවක දුර යන මිනුම හූ කියන්නාගේ කටහඬේ තීව්‍රතාව, අවට පරිසරයේ හුළං හමන දිශාව සහ පරිසරයේ වෙනත් ශබ්ද ආදිය මත රඳා පවතින නිශ්චිත මිනුමක් නොවන්නා සේ ම, හූවක දුර යන්න ද ඔබේ චූ බරේ ප්‍රමාණය සහ ගමන් සගයාගේ ගමන් කිරීමේ වේගය මත රඳා පවතින බව සැලකිය යුතුයි.

අයිසෙක් නිවටන් ගුරුත්වාකර්ෂනය පිළිබද සංකල්පය ඉදිරිපත් කළේ ඇපල් ගසක් යට දී ලද අත්දැකීමක් අනුසාරයෙන් බව අපි දනිමු. මේ "චූවක දුර" සම්බන්ධ මුල් අදහස මගේ සිත ආවේ, සහ, ඒ ඇසුරෙන් මේ සංකල්පය මා ගොඩනැගුවේ ප්‍රායෝගිකව ඒ හා අදාල අත්දැකීම ලැබීම හරහා බව අමුතුවෙන් කිව යුතු යැයි නොසිතමි.

මේ ඉහළින් පළ කර ඇත්තේ ද, ඒ වැසිකිළියයි. මෙය පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ, පෙන් රිත් (Penrith) නගරය හරහා ගලා යන නේපියන් (Nepean) ගංගාව අසබඩ පිහිටා ඇති මනරම් උද්‍යානයේ ය. ගඟ තරණය කිරීමට සාදා ඇති මගී පාළමක් සහ මහා-මාර්ග පාළමක් උපයෝගී කරගෙන නේපියන් ගංගාවේ ඉවුරු දෙක අසබඩ ඇති ඇවිඳින මංතීරු ඔස්සේ අපට කිලෝමීටර් හතක පමණ පා ගමනක යෙදිය හැක.

ගිය වසරේ (2023) ජූනි මාසයේ දී ගිය ඒ පාගමනේ දී මා සොයාගත්, එදිනම ෆේස්බුක් එකේ පළ කළ මේ "චූවක දුර" මිනුම් සංකල්පය මෙලෙස රසිකොලොජි බ්ලොගයට එකතු කරන්නට සිහිවූයේ ඊයේ නැවතත් ඒ මග ගිය බැවිනි.

- රසික සූරියආරච්චි