Saturday, 3 December 2016

අල කරගත් මංගල දඩ කොළයේ කතාව නොහොත් මගේ රියැදුරු බඹසර බිඳුණු හැටි - My first traffic offence


ඇතුල්කෝට්ටේ දෙසින් කොරොල්ලා කාරය පදවාගෙන පැමිණි මට පාර්ලිමේන්තු පාරට අවතීර්ණව බොරැල්ල දෙසට මීටර් පන්සියයක්වත් යන්නට වුයේ නැත. මා එක් වරම දුටුවේ ඈත සිට වාහනය එන මගට පිනූ පොලිස්කාරයෙකු මට නවතින්නට අණ කරන ආකාරයයි. වහාම තිරිංග තද කළ මම, පොලිස්කාරයින් දෙදෙනෙකු මෝටර් සයිකලයක් නවත්වා ගෙන සිටි ස්ථානය මදක් පසු කර වාහනය නවත්වා ගතිමි.

පාර පැත්තෙන් මා අසලට පැමිණි පොලිස්කාරයා විවර කළ කවුළුවෙන් මා අමතා "මහත්තයා වේග සීමාව කැඩුවා!" කියා ඔහු අත තිබුණු උපකරණයක් මට පෙන්වී ය. වේග මාපකයක් යැයි මා අනුමාන කළ මා ජීවිතයේ මුල්වරට දුටු ඒ උපකරණයේ මුහුණතේ 64 යන ඉලක්කම දුඹුරු පැහැයෙන් දිලිසෙමින් තිබුණි.

මම ඇස් කොනෙන් ඉදිරිපස මගී අසුනේ සිටි බිරිඳ දෙස බැලුවෙමි. අවුලක් නැති සෙයක් පෙනේ. මේ අපේ වාහනය පොලිසිය විසින් නවත්වන ලද මුල් ම අවස්ථාවයි.

එකල ඇතුල්කොට්ටේ පදිංචිව සිටි අප සාමාන්‍යයෙන් මේ මාර්ගයේ ගමන් කරන උදේ කාර්යාල වේලාවේ දී පැයට කිලෝ මීටර් විස්සක වේගයකින් වාහනය පදවන්නට ලැබෙන්නේ නම් එය වාසනාවකි. මේ වන විට වේලාව දහවල් එකොළහ පමණ වී තිබුණු අතර, වෙනදා දැක පුරුදු වාහන පෝලිම වෙනුවට හොඳටම හිස්ව ගිය මාර්ගය දුටු මගේ දෑස, මෂ්තිෂ්කය හරහා දකුණු කකුලට උත්තේජනයක් ලබා දී ඇක්සලරේටරය ලෑල්ලට ම නොවෙතත් ලෑලි භාගයකට පමණ පාගවා තිබුණි.

"එහෙනම් මහත්තයා දඩයක් ගෙවමු නේද?" පොලිස්කාරයා පැවසී ය.

වෙන කුමක් කරන්න ද? මම මද සිනහවක් පෑවෙමි.

නවක වාහන හිමිකරුවෙකු මෙන් ම, ඊටත් වඩා නවක වාහන පදවන්නෙකු ද වූ මට ඒ දිනවල පොලිස්කාරයින්ට "බනිස් කා තේ බොන්නට සල්ලි දීම" ගැන කිසිදු වැටහීමක් තිබුණේ නැත. එය කෙසේ වෙතත්, අද පමණක් නොව එදා ද කිසි ලෙසකින් අල්ලසක් දීම හෝ දීමට තැත් කිරීම හෝ මගේ ප්‍රතිපත්තිය නොවේ.

"එහෙනම් ලයිසන් එක දෙන්නකෝ!"

එදා මට එතැනින් නික්ම යන්නට ලැබුණේ මගේ තෙමසක් වයසැති රියදුරු බලපත්‍රය පොලිස්කාරයාට දී, ඒ වෙනුවට තාවකාලික බලපත්‍රයක් යැයි සැලකිය හැකි පොඩි තුණ්ඩු කැබැල්ලක් සහ රුපියල් එකසිය පනහක් වැනි මුදලක දඩයක් ගෙවීම සඳහා ඉන්වොයිසියක් ද රැගෙන ය.

ඕනෑම තැපැල් කාර්යාලයකින් ඒ දඩය ගෙවීමට හැකි බවත්, ගෙවූ කුවිතාන්සිය සමග වැලිකඩ පොලිසියේ රථවාහන අංශයට පැමිණ රියදුරු බලපත්‍රය ආපසු ලබාගැනීමට හැකි බවත් පොලිස්කාරයා මට කාරුණිකව දැනුම් දුන්නේ ය.

අවාසනාවක මහත!

මා කළ යුතුව තිබුණේ, "අද කළ යුතු දේ හෙටට කල් නොදමනු!" යන අප කුඩා කාලයේ අපේ ආච්චී නිතර කියනු අසා තිබූ ආත්තෝපදේශය අනුගමනය කරමින් රුපියල් එකසිය පනහේ දඩය එදින ම ගෙවා දැමීමයි. නමුත්, එය දිනෙන් දිනම අතපසු වී අවසානයේ මට අමතකම වී ගියේ ය.

සති දෙක තුනකට පසු මගේ වොලට්ටුවේ තිබුණු කඩදාසි තුණ්ඩුවක් දැක සිහිය සැපත් වුණි. වහාම තැපැල් කන්තෝරුවකට ගොස් එය ගෙවන්නට සැරසුණු වෙලේ එතැන සිටි ලිපිකරුවා මට පැවසූයේ දඩය ගෙවිය යුතු අවසාන දිනය ඒ වන විට ඉක්මවා ගොස් ඇති බවයි.

අවසානයේ මට සිදුවුණේ, උසාවියක දවසක් රස්තියාදු වී, කළ වරද ද ප්‍රසිද්ධියේ පිළිගෙන, විනාඩි කිහිපයක් උසාවියේ හිර කූඩුවේ ද ලැග, එකසිය පනහේ දඩය වෙනුවට ගෙඩි රුපියල් පන්සීයක ම දඩයක් ගෙවා නිදහස් වීමටයි.

එදා ඇරඹුණු දඩ කොළ සෙල්ලම එතැනින් අවසාන නොවී ය. පසුව ඕස්ටේ‍ර්ලියාවේ දී ද, නවසීලන්තයේ දී ද මම ඒ සුන්දර දඩ කොළ ක්‍රීඩාවේ යෙදුණෙමි.

මේ ලෙස ම නීරස ඒ විස්තර පසු දිනයක ලියමි.

-රසිකොලොජිස්ට්

(image: http://uncova.com/the-latest-joy-selfies-with-police-officers-giving-you-a-ticket)