Monday, 15 December 2025

දයා පතිරණ ගැන මීට කලින් මා නොලියූ, එනිසාම කිසිවෙකු නොදන්නා පොඩි කතාවක් - What is Socialism?


කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ අසූවේ දශකයේ මැද යාමයේ නායකයාව සිටි දයා පතිරණ අමානුෂික ආකාරයට මරා දමා අදට වසර තිස් නමයකි.

එවකට ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ මෙන්ම පොදුවේ දේශපාලනයේ පැවති තත්වය අනුව මේ ඝාතනයේ වගකීම පැවරෙන්නේ එවකට පැවැති ජනතා විමුක්ති පෙරමුණට ය.

දයා පතිරණ ගැන සහ එකල පැවති දේශපාලන ගැටුම ගැන මගේ මතකය අනුසාරයෙන් මා දීර්ඝ ලිපියක් ලියා ඇත. එය රාවය සති අන්ත පුවත්පතේ ද පළ වූ අතර අවශ්‍ය අයට එය පහසුවෙන් කියවීම සඳහා සබැඳියක් පහත දැක්වේ.

දයා පතිරණ පිළිබඳ මතකය - Forcing the sun to rise at mid-night
https://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


මේ සටහනේ අරමුණ ඒ ලිපියට ඇතුළත් කිරීමට මට අමතක වුණු වෙනත්, ඇත්තටම සරල, නමුත් අවශ්‍ය නම් තරමක් දුරට හෝ හිතන්නට ඉඩ සලසන, කරුණක් සනිටුහන් කිරීමයි.

මා විශ්වවිද්‍යාලයට ගියේ අවුරුදු දහනමයකට ආසන්න වයසක සිටි වැඩිහිටියෙකු ලෙස ය. නීත්‍යානුකූලව ඡන්ද බලය හිමි අයකු නමුත් මට නිරවුල් දේශපාලන දෘෂ්ටියක් නොතිබුණි.

එසේ නමුදු 1980 වැඩ වර්ජනය හා බැඳුණු කරුණු නිසා මට එවකට පාලකයින්ව සිටි එක්සත් ජාතික පක්ෂය පිළිබඳව තිබුණේ දැඩි කෝපයකි. පැවති රජයට දේශපාලනව වැඩිම විරෝධයක් දැක්වූයේ ජනතා විමුක්ති පෙරමුණ නිසා මට ඔවුන් කෙරෙහි පැවතුණේ ප්‍රසාදයකි.

විශ්වවිද්‍යාලයේ විවිධ දේශපාලන මතවා ද පැවතුන ද ඉන් කිසිවක් සමග මගේ අදහස් කෙළින්ම සමපාත නොවුණු නිසා මම නිදහස් මතධාරියෙකු වී සිටියෙමි. එසේ නමුදු 1984 පමණ වනතුරු ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධවන්නට ද මට හේතුවක් නොවිණි.

මා ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධවූයේ අප තුන්වෙනි වසරේ දී පොලීසිය විසින් කළ පද්මසිරි අබේසේකර නම් ශිෂ්‍යයාගේ ඝාතනයෙන් පසුව, ඒ වන විට රජය මගින් සංගම් අහෝසි කර තිබුණු වාතාවරණය යටතේ, අප විසින් පිහිටුවා ගන්නා ලද ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හරහා ය.

මට දයා පතිරණ හමුවූයේ ඒ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම, අද සමහරු මෙම සංවිධානය අමතන්නේ අන්තරේ යන් විකට නමින් ය,) රැස්වීම්වලට සහභාගීවන අවස්ථාවල දී ය.

සුමිත් අමරලාල් නාකන්දල යනු මගේ සමාන්තර වසරේ කෘෂිවිද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවෙකි. මා ඔහු අඳුරා ගත්තේ පෙර කී ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධ වූ පසු ය. ඔහුගේ නිවස පිහිටියේ ගම්පහ නගරයේ වූ නිසා සහ මගේ චූටි නැන්දා ද ගම්පහ නගරයේ ම පදිංචිව සිටි නිසා මට කිහිප වරක්ම නාකන්දලගේ නිවසට යාමට අවස්ථාව ලැබුණි.

නාකන්දල සතුව අපේ එදා මට්ටමේ හැටියට හොඳ පොත් එකතුවක් තිබුණි. ඔහුගේ නිවසට ගිය එක් දිනයක මම ඒ පොත් එකතුවෙන් එක පොතක් කියවා බලා ආපසු භාර දෙන්නට ඉල්ලා ගත්තෙමි. දැනට මගේ මට නම අමතක රුසියානු ලේඛකයෙකු විසින් ලියන ලද පොතක සිංහල පරිවර්තනයක් වූ එහි සිංහල නම වූයේ "සමාජවාදය යනු කුමක් ද?" යන්නයි.

එක් දිනක් පේරාදෙණියේ සිට කොළඹ පැවැත්වෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ රැස්වීමට සහභාගී වීමට යද්දී ඒ ගමනට පැය තුනක පමණ කාලයක් ගත වෙන නිසා ඒ අතරතුර කියවීම සඳහා මම නාකන්දලගෙන් ණයට ඉල්ලාගෙන තිබූ "සමාජවාදය යනු කුමක් ද?" යන කෘතිය රැගෙන ගියෙමි.

බස් රථයේදී මා එහි පිටු කිහිපයක් කියවන්නට ඇත. ඉන්පසු සාමාන්‍යයෙන් මෙවැනි පොතක් කියවීමේ දී අප බොහෝ දෙනෙකුට සිදුවෙන පරිදි මා නින්දට වැටෙන්නට ඇත.

එදින රැස්වීම අවසානයෙන් පසු එක්කෝ පේරාදෙණියට එසේ නොමැති නම් රාත්‍රිය ගත කිරීම සඳහා පරකන්දෙණියේ පිහිටි අපේ නිවසට ගිය පසු මට වැටහුණේ "සමාජවාදය යනු කුමක් ද?" යන ණයට ඉල්ලා ගත් පොත මා රැස්වීම පැවැත්වුණු ස්ථානයේ අමතක කර දමා පැමිණ ඇති බවයි.

තවත් මාස කිහිපයකට පසු දයා පතිරණ සහ කේ එල් ධර්මසිරි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණියහ. එහි දී මට දයා පතිරණගෙන් දැනගන්නට ලැබුණේ පොත අමතක වී දමා ගිය ඒ "සමාජවාදය යනු කුමක් ද?" පොත රැස්වීමෙන් පසුව ඔහු දැක එය රැගෙන ගිය බවයි.

ඔහු සාමාන්‍යයෙන් තුම්මුල හන්දියට නුදුරින් හයිලෙවල් පාරේ පිහිටි නේවාසිකාගාරයේ සිටින බවත්, කොළඹ පැමිණි දිනක එහි පැමිණ ඔහු හමු වී එම පොත ලබා ගත හැකි බවත් දයාපතිරණ මට කීවේය.

මේ 1985 වසරේ තුන්වෙනි කාර්තුවේ පමණ කාලයේ දිනයක දී ය.

මා දයාපතිරණ දුටු අවසාන දිනය ද එයයි.

කිසි දිනක කොළඹ ගොස් ඔහු හමු වී "සමාජවාදය යනු කුමක් ද?" නමැති පොත ඉල්ලා ගැනීමට මට අවස්ථාවක් නොලැබුණි.

එනිසා ම "සමාජවාදය යනු කුමක් ද?" යන පොතේ මුල්පිටු කිහිපය හැර ඉතුරු කොටස් කියවීමට මට කිසි දිනක අවස්ථාවක් ද නොලැබුණි.

දයා පතිරණ නම්, මා මෙන්, ඒ පොත කියවන්නට අවශ්‍යතාවයක් තිබුණ අයෙකු යැයි මම නොසිතමි.

මක්නිසාද යත් ,ඔහු කොමියුනිස්ට් ප්‍රකාශනය නැමැති ග්‍රන්ථය අකුරෙන් අකුර කියවා පැහැදිලි කරන්නට තරම් දැනුමක් ලබා සිටි අයෙකු බව මීට අවුරුදු තිස් නවයකට පෙර එවකට ජනතා විමුක්ති පෙරමුණ විසින් දයා පතිරණ මරා දමද්දී ඔහු සමග සිටි නමුත් මරණයෙන් ගැලවීමට වාසනාව තිබූ සෝමසිරි පුංචිරාළ විසින් අද ලියා පළ කර තිබුණු සටහනක සඳහන් වී තිබුණු හෙයිනි.

- රසික සූරියආරච්චි

ප/ලි:
කෘෂිවිද්‍යාව ඉගෙන ටික කලක් පරිසරය පිළිබඳ රාජ්‍ය ආයතනයක සේවය කළ "සමාජවාදය යනු කුමක් ද?" පොතේ අයිතිකාර සුමිත් අමරලාල් නාකන්දල තම ජීවිකාව ලෙස තෝරා ගත්තේ රාජත්‍රාන්තික සේවාවයි.

මෙහි නම සඳහන් කේ. එල්. ධර්මසිරි, දයා පතිරණ ගේ මරණයෙන් පසුව "ප්‍රා" වැනි කණ්ඩායමක් හා සම්බන්ධ වී පලිගැනීමේ මිනීමරු දේශපාලනයක නිරත වී ජනතා විමුක්ති පෙරමුණෙන් මරණ දඬුවම ලබා ගත්තේ ය.

සෝමසිරි පුංචිරාල නම් අද ද ක්‍රියාත්මක දේශපාලනයේ යෙදෙන බව පෙනේ.

මම?
මම "සමාජවාදය යනු කුමක් ද?" පොතේ පිටපතක් සොයමින් සිටිමි.

(image: )

2 comments:

  1. දයා පතිරණගේ පුකේ ඇගිල්ල ගහලා සුවඳ බලපන් පොන්නයා

    ReplyDelete
    Replies
    1. මා මේ ප්‍රතිචාරය කපා නොදමා පළ කළේ මෙවැනි අපතයින්ද මේ ලෝකයේ සිටින බව පෙන්වීමටයි

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.