Saturday, 23 November 2024

අර්ජුනා රාමනාදන් වස්තුව - The curious case of Ramanathan Archchuna


මේ පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ 2024 නොවැම්බර් මස 21 වැනි දා ශ්‍රී ලංකාවේ නව පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹුණු දින සිදුවීමකි.

කලින් දැක නැති අය මුලින් ම මේ වීඩියෝව නරඹන්න.



මෙහි සිටින රාමනාදන් අර්ජුනා (Ramanathan Archchuna) නම් මන්ත්‍රීවරයා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ඔහු ප්‍රථමවරට මෙවර පාර්ලිමේන්තුවට තේරී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායමක වැඩිම මනාප ගත් තැනැත්තා හැටියට ය. ඔහු එහි දී ලබා ඇති මනාප ප්‍රමාණය යාපනය දිස්ත්‍රික්කයෙන් තේරී පත්වුණු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ම ලබාගත් මනාප සංඛ්‍යාවට වඩා වැඩිය.

පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සහ ඔවුන් අතරින් තෝරා ගන්නා ලද අගමැති, ඇමැති, විපක්ෂ නායක වැනි තනතුරු දරන්නන් එකිනෙකා සභා ගර්භයේ කුමන ආසනයක වාඩිවිය යුතු ද යන්න පිළිබඳව සම්ප්‍රදායක් පවතී.

ආණ්ඩු පක්ෂයේ අය අසුන් ගන්නේ කතානයකට වම් දකුණු පැත්තේය. විපක්ෂයේ මන්ත්‍රීවරු වම් පැත්තේ අසුන් ගත යුතුය. දෙපැත්තේම ඉදිරිපෙළ අසුන් වෙන්වන්නේ ඇමතිවරුන් හෝ ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ටය. අගමැති, සභානායක, ආණ්ඩු පක්ෂයේ සංවිධායක, විපක්ෂනායක, විපක්ෂයේ සංවිධායක වැනි අයට ද නියමිත අසුන් ඇත.

නමුත් පාර්ලිමේන්තුව ඇරඹෙන මුල් දිනයේ මන්ත්‍රීවරුන් සඳහා කිසිසේත් ම ආසන වෙන් කිරීමක් සිදු නොවන බවත්, ඔවුන්ට ඕනෑම තැනක අසුන් ගත හැකි බවත්, ලංකාවෙන් මුහුදු හතක් එපිට වාසය කරන මම පවා දැනගෙන සිටියෙමි. ඒ මා යූටියුබය ඔස්සේ මේ දිනවල නරඹන ලංකාවේ ප්‍රවෘත්ති වාර්තා නිසාය. මෙය පසුගිය මාස දෙකක් තිස්සේ පැවති ඡන්ද උණුසුම නිසා ඇති වූ ඇබ්බැහියකි.

රාමනාදන් අර්ජුනා දැන හෝ නොදැන (ඔහු පසුව රූපවාහිනී සාකච්ඡාවක දී කී ආකාරයට නොදැන) වාඩි වී ඇත්තේ විපක්ෂයේ ඉදිරිපස පේළියේ සාමාන්‍යයෙන් විරුද්ධ පක්ෂ නායකයාට නියම වෙන අසුනේ ය.

මේ වීඩියෝවෙන් පෙනෙන පරිදි ඒ සභාව ඇරැඹීමට දිගු වේලාවකට පෙර බව පෙනේ. ඔහු පසුපස අනිත් සියලු ආසන හිස්ව ඇත.

පසුව සභාවට පිවිස, විපක්ෂ නායකයා සාමාන්‍යයෙන් වාඩිවෙන ආසනයේ වෙනත් අයකු වාඩි වී සිටින බව දැක ඇති සජිත් ප්‍රේමදාස, ඇත්තටම මේ වන විට ඔහු විපක්ෂ නායක බව නිවේදනය කර නොතිබුණි, පාර්ලිමේන්තුවේ කාර්ය සහායකයෙකු අමතා එහි සිටින පුද්ගලයා ඉවත්කර ඒව අසුන ඔහුට ලබා දෙන ලෙස ඉල්ලා ඇත. කාර්ය සහායකයා අර්ජුන රාමනාදන්ගෙන් මෙලෙස ඉල්ලන්නේ ඉන් පසුව බව කියැවේ.

රාමනාදන් අර්ජුනා මේ වීඩියෝවේ නිවැරදිව පවසන පරිදි මුල් දිනයේ කිසිවෙකුට විශේෂ අසුන් පනවන්නේ නැති නිසා විපක්ෂ නායකට අවශ්‍ය නම් වාඩිවීම සඳහා රාශියක් එහි ඇත. අර්ජුනා රාමනාදන් තමන් වාඩිවී සිටින ආසනයෙන් ඉවත් විය යුතු නැත.

එනිසා, මේ වීඩියෝවෙන් දැක්වෙන තත්පර කිහිපය තුළ තමන් වාඩිවී සිටින අසුනෙන් ඉවත් නොවන බවට ඔහු කරන ප්‍රකාශයේ කිසිදු වරදක් නැත. එය මගේ සිත් ගත්තේය.

එසේම මේ පිළිබඳව තවත් කරුණක්ද කිව යුතුය.

මේ නවක මන්ත්‍රීවරයා මේ සිදුවීමට පෙර කළ, කී කිසිදු දෙයක් හෝ මේ සිදුවීමට පසුව කරන, කියන කිසිදු දෙයක් හෝ මේ සිදුවීමේ වරදක් නැතැයි පවසන්නට හා ඒ ආස්ථානය හා එකඟ වෙන්නට බාධාවක් නොවේ.

මේ හා සමානකමක් ඇති වෙනත් කරුණක් මගේ මතකයට එයි.

ඒ මේ සිදුවීමට ද සම්බන්ධ සජිත් ප්‍රේමදාස පිළිබඳව ය.

අප සියලු දෙනා දන්නා පරිදි දෙවරක් ජනාධිපති ඡන්දයෙන් ද, දෙවරක් මහ චන්දයෙන් පරාජය වී ඇති සජිත් ප්‍රේමදාස සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ බුද්ධි හීනයෙකු ආකාරයට ය. බොහෝ විට පවසන්නේ අපට සාපේක්ෂව අමන කතා ය.

නමුත් ඔහු කරන කියන සියලුම දේ බුද්ධිගෝචර නොවේ යැයි එයින් නිගමනය කළ නොහැක.

ඔහු විටින් විට විශ්මයජනක ලෙස වැදගත් දේ ද පවසයි. ඔහු පැවසූ එවැනි කරුණු දෙකක් කෙතරම් අගනේ ද යත් මම ද එය ප්‍රශංසා කරමින් රසිකලොජි බ්ලොගයේ ලිපි දෙකක් ලියා පල කරමි.

මෙන්න ඒ ලිපි.
1. ඡන්ද පොරොන්දුවක් ලෙස 2019 ජනාධිපති ඡන්දයේ දී ඔහු පැවසූ තරුණ පාසැල් සිසුවියන්ට ආවර්ථ කාලවල දී භාවිතා කිරීම සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ පාසල් හරහා ලබා දෙන බවට කළ ප්‍රකාශය
https://rasikalogy.blogspot.com/2019/10/slaves-have-no-use-of-their-brain.html

2. තමන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගැනීම සඳහා නිරන්තරයෙන්ම ඉගෙන ගන්නා බවත්, ඒ සඳහා තමන්ගේ අතේ දුරින් සැමවිටම ඉංග්‍රීස් තිසෝරස් (thesaurus) ග්‍රන්ථයක් තබාගන්නා බවත් පැවසීම
https://rasikalogy.blogspot.com/2020/08/sajiths-has-good-advice-for-all-of-us.html

- රසික සූරියආරච්චි

(image: created using gemini.google AI service)

4 comments:

  1. වරදක් නැති බව කීම නිවැරදි බව පැහැදිලි කරන්නත් සිදුවීම කනගාටුවට කරුණක් තමයි. ඒත් බොහෝ දෙනකු පෝස්ට් එකක් තියා එක වාක්‍යයක කොමෙන්ටුවක් පවා තේරුම් ගන්නෙ එයාට කැමති හැටියට මිසක් ලියල තියන එක නොවන නිසා, වෙන කරන්න දෙයකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. අපට පවා දිගු ලිපියක් කියවා තේරුම් ගැනීමට නොව, කෙටි ලිපියක් කියවීමට හෝ සිත එකඟ කර ගැනීමට දැන් අසීරුයි නේද?

      Delete
  2. රසික, හත් අවලං නීච ජඩ නාකි සොම්බියා වන රනිලා පාර්ලිමේන්තුවෙන් තොලොංචිවීම ගැන මොකද හිතෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔහු ඡන්දයට ඉදිරිපත් වූයේ නෑ නේද?

      කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට නියෝජිතයින් පත්කෙරෙන්නේ ජනතා කැමැත්ත අනුව ය.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.