![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguwufzp1AzUbmzd934GNdpCilylnnlHjL-HMsAYsSIc1Lace822CXDHSEiwz8Lnh41luWXIAoJ5gWeSMt9B9dxEQQ32p7en_FNFqgkSqda4imKdJrN7W27b79ffJFi1qhMdvkKTySRWDnb/s1600/SivSithKav-FullCover.jpg)
සිදත්ගෙ සිතුවිලි
කන්ථක අසු පිට දිවා කලේ
සිංහ සෙයින් ගම් දොර සැරිසැරුව ද
අයිතිය මට නොව යසෝදරාටයි
ඉස්සර කොච්චර ලං වී හිටියත්
කසාදයක් බැඳ ගත්තට පස්සේ
ඉඳහිට මිස මේ පැත්තෙ එන්නෙ නැහැ
චන්නගෙ මිතු දම දැන් වියැකීලා!
මහලු ලෙඩෙක් මල කඳක් දුටුවෙ නැති
දිනයක් නැහැ මගෙ මෑත මතකයේ
කලකිරෙන්න ඔය නිමිති ඕනැ ම ද?
රාහුල පැටියා පාසැල් යනවා!
කුරුල්ලෙක් වගේ පියාපත් සලා
සුළං හමන පැත්තට පියඹන්නට
රතී රඟාලගෙ නැටුම් බලන්නට
අබිනික්මන් පාරමී පුරයි සිත.
පසුම්බියේ රන් කහවණු ඇත්නම්
සුජාතලා ගේ කිරිපිඬු එමට ය.
පාත්තරේ උඩුගම් පා කෙරුවොත්
ආපහු මේ ගම් ඒම සිතනු බොරු!
අභිනිෂ්ක‍්‍රමනය කුමන පලක් දෝ්?
කඩතිර එල්ලූ යහන් ගැබේ සිට
සුරුඟුම් පෙන්වන ළඳුන් නොමැති මුත්
චිත්ත සමාධිය සමාපත්ති වී
සුපුරුදු කර කර්මයෙන් සතුටු වෙන්!
-රසික සූරියආරච්චි
ප/ලි:
මේ කවිය ලියවෙන්නට ඇත්තේ 1999 දී පමණ ය. ඉන් දශකයකට පමණ පසු 2008 නොවැම්බරයේ දී මුද්‍රණය වුණු "සිව් සිත් කව්" කාව්‍ය සංග්‍රහයට එය ඇතුළත් විය.
ප්‍රකාශනය: විදර්ශන
ISBN: 978-955-8033-12-7