
අප අසා ඇති අන්දමට බක් මහේ විරුවෝ සිටිති. සුනිල් අංකල් ලියා මන්දා නාලනී ගැයූ සින්දුවේ කියවෙන පරිදි ඒ ඇත්තෝ පිළිම නෙලා නැති විරුවෝ ය.
ඉල් මහේ විරුවෝ ද සිටිති. සුනිල්-නන්දා ගේ සුසංයෝග සින්දු එකල ගැයූ, ගයමින් විරුවන් වූ, ඔවුන් ගැන නම් පසු කලෙක සුනිල්-නන්දා පෙර පරිදි සුසංයෝගයක් කළා යැයි මගේ මතකයේ නැත.
ඇත්තට ම මේ බක් මහ සහ ඉල් මහ හෝ "විරුවෝ සිටිති" ය කියා ලිවීම, වියරණ අනුව කෙසේ වෙතත්, අරුතෙන් සාවද්‍ය වේ. එසේ වන්නේ ඒ වීරයින් යනු ජීවත්වන අය නොව මිය ගිය අය වීම නිසා ය.
කෙසේ වෙතත් මා මේ කියන්නට යන්නේ ඒ බක් මහ හෝ ඉල් මහ හෝ ආකාරයේ වීරයෙකු ගැන නොවේ.
ඒ ආකාරයේ වීරයින් හා සටන් කළ රණ විරුවන් ගැන ද නොවේ. ඒ වීරයින් මළ පසු, මානෙල් මලින් පුද ලද රණ විරුවන් ගැන ද නොවේ.
මේ කතාව ඔබ මා වැනි දෙකයි පනහේ විරුවෙකු ගැන ය.
අපේ කතානායකයා, අපි ඔහුට රනුක යැයි කියමු, භද්‍ර යෞවනයේ සිටිද්දී, එක් යෞවනියක පිළිබඳ සිතක් පහළ විය. ප්‍රශ්නය වූයේ ඒ වසන්ත සමයේ මෙකී යෞවනිය ගේ අත පතා, පුරාණ ස්වයංවර අවස්ථාවක දී මෙන්, කුමාරවරු රාශියක් ඉදිරිපත් වී සිටිමයි.
මේ තරුණයා කළේ ක්‍රමානුකූලව සිතා මතා සැලසුමකට අනුව ක්‍රමක්‍රමයෙන් ප්‍රස්තූතයට එළැඹීමයි.
ඔහු ඇය සමග දීර්ඝව කතා කළ මුල් දවසේ පැයක පමණ කාලයක් ගත කළේ තමාව ඇයට හඳුන්වා දීමටයි.
ඒ පළමු පන්තිය විය.
දෙවන පන්තියේ දී, ඇගෙන් විවිධාකර ප්‍රශ්න අසමින් ඇය ගැන විස්තරාත්මක වැටහීමක් ඇති කර ගැනීමට ඔහු උත්සාහ කළේ ය.
තුන් වෙනි අවස්ථාව ඔහු යොදා ගත්තේ, ඔවුනොවුන් අතර ඇති ගැළපීම් ගැන සාකච්ඡාවක් කිරීමටයි.
පන්ති පහක් ම කරන්නට ඔහු මුලින් සිතා සිටිය ද, ඒ සඳහා කාලය ගත නොකර ඔහු ඊළඟට කෙළින් ම ඇයට ප්‍රශ්නය යොමු කළේ ය.
"මට හිතෙනවා අපි දෙන්නා ගැලපෙනවා ය කියලා. ඔයා මොකද කියන්නේ?"
ඇය දිනක් කල් ඉල්ලා පසු දින මුණ ගැසුණු විට මෙසේ කීවා ය.
"මගේ ජීවිතයේ පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත සිදුවුණු දේ නිසාත්, දැන් මං ඉන්නා තත්වය නිසාත්, මට ඔයා කියන දේට කැමති වෙන්න බෑ!"
"අනේ, මා එක්ක තරහා වෙන්න එපා රනුක!" ඇය ඒ සමගම ඔහුගෙන් ඉල්ලා සිටියා ය.
අපේ කතා නායකයා, තම ජීවිතයේ දී කියූ හොඳම දෙවන වචන කිහිපය ඔහු ගේ මුවින් පිටවුණේ ඒ මොහොතේ දී ය.
"මං කොහොමද ඔයා එක්ක තරහා වෙන්නේ? මං ඔයාට ආදරෙයි නේ. ඒ ආදරය හැමදාම පවතීවි!"
තම සිත ඒ මොහොතේ සසල වූ බව ඇය පසුව ඔහුට කීවා ය.
කෙසේ නමුත්, ඒ හමුවීම් එතැනින් අවසන් විය.
කාලය ගත විය.
සමස්ත පරිසරය ම සුන්දර වෙන, කහපාට, දම්පාට මල් පිපෙන මැයි මාසය උදා විය.
අපේ කතානායකයා ට පෙර කී යෞවනිය ගේ මිතුරියක අලුත් අවුරුදු සමයේ දී හදිසියේ මුණ ගැසී තිබුණි.
"ඔය දෙන්නා හොඳට ගැලපෙනවා රනුක. ඔයයි, එයයි එකතු වෙනවා නම් අපි ඔක්කොම කැමතියි!" ඇය එදා කීවා ය.
එයින් දිරිගත් කතානායකයා කළේ නැවතත් යෞවනිය මුණ ගැසී පෙර ප්‍රශ්නය ම නැවතත් ඉතා කෙටියෙන් ඉදිරිපත් කිරීමයි.
පිළිතුර සඳහා යළිත් කල් ඉල්ලීමක් කෙරුණි.
දින දෙකක් පමණ ගත විය.
"හෙට නිවාඩු නේද රනුක? අන්න අරයා හවස් වරුවේ ඇවිත් හම්බ වෙන්න කිව්වා!" මග දී කතා නායකයාව නැවැත්වූ පෙර සඳහන් කළ මිතුරිය කීවා ය.
"ඔව් හෙට නිවාඩු නේ.
හෙට ජාතික වීර දිනය. මං එන්නම් කියන්න!" අපේ කතා නායකයා මිතුරියට පැවසුවේ ය.
එදා තම සිත ගත් යෞවනිය හමු වී, බලාපොරොත්තු මල් පුබුදාගෙන, ඇය සමග දෙපැයක් පමණ අති සොඳුරු කතා බහක ද යෙදෙමින් සිට, ආපසු එන ගමනේ අතරමග දී ඇය වෙනුවෙන් පොඩි කඩේ යෑමක් ද කර, අපේ කතා නායකයා, දෙමහල් තෙමහල් මැදුරු, මල්වතු, උයන් වතු, පටු පාලම් යනාදිය පසු කරමින් සිය නේවාසික ස්ථානය වෙත පැමිණියේ වීරයෙකු ලෙසිනි.
නිකම්ම නිකං විරුවෙකු ලෙස නොව මැයි මහේ විරුවෙකු ලෙසිනි.
මුලින් මා සඳහන් කළ ආකාරයට ඔබ මා වැනි දෙකයි පනහේ විරුවෙකි ලෙසිනි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
ඒ වීර කතාව රැගත් සමනල වර්ණ සිහින සිත්තම මාස දෙකක් පමණ බොක්ස් ඔෆිස් ෆුල් කරමින් දිව්වේ ය!
(http://www.ft.lk/2014/05/08/university-of-peradeniya-a-treasure-of-beauty-and-wisdom/)