Wednesday, 25 August 2021

සිසිල මාසික ඉලෙක්ට්‍රොනික සඟරාව - Sisila monthly electronic magazine



මේ 2021 වසරේ මුල් කාලයේ සිට පෙරුම් පුරා අලුත් වැඩකට අත ගැසුවෙමි. අලුත් කිව්වාට අරුම පුදුම අලුත් නව නිර්මාණයක් නොවේ.

පැරණි නොවන පැරණි දේ පැරණි තාක්‍ෂණයකින් ම ඉදිරිපත් කිරීමකි.

මා තනියම කරන වැඩක් ද නොවේ. බොහෝ දෙනෙකුගේ සම්මාදමෙන් සහ මගේ සංස්කරණ මහන්සියෙන් කෙරෙන අලුත් සඟරාවක් දියත් කිරීමකි.

සඟරාවේ නම "සිසිල" වේ.

එය මා විසින් යෝජනා කර අනුමත කරගත් නමකි. එහි අරුත වන්නේ සිනුවර සිංහල යන්නයි.

සිනුවර යනු සිඩ්නි නුවර හැඳින්වෙන කාව්‍යමය නාමය බව දන්නෝ දනිති.

සිසිල සඟරාව පළවෙන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ වාර ප්‍රකාශනයක් ලෙස ය.

සඟරාවේ සංස්කාරක ලෙස මේ වසරේ කටයුතු කරන්නේ රසික සූරියආරච්චි වන මම වෙමි.

පළවෙනවා යැයි කීවද මෙය මුද්‍රණය වෙන සඟරාවක් නොව ඊ-මේල් මාර්ගයෙන් බෙදා හැරෙන සඟරාවකි.

විවිධ මාතෘකා යටතේ ලියවුණු ලිපි, සටහන් මෙන්ම කවි, කෙටිකතා මෙන්ම කොටස් වශයෙන් පළවෙන නවකතාවක් ද සිසිල සඟරාවට අඩංගුවේ.

ඔබේ පිටපත සඳහා පහත ලිපිනයට පණිවිඩයක් යවන්න.

sisila.sangarawa@gmail.com

සැප්තැම්බර් මස සිට ලොව පුරා බෙදා හැරෙන සිසිල සඟරාවේ ඔබේ නිර්මාණ ද පළ කළ හැක. ඒවා ද ඉහත ලිපිනයට එවන්න.

ස්තුතියි.

රසික සූරියආරච්චි
සංස්කාරක, සිසිල මාසික සඟරාව

(image: )

Thursday, 5 August 2021

රටගිය ඇත්තන්ගේ වර්ගීකරණය - My classification of SL migrants



මේ සටහනේ මුල් සංස්කරණය ලියවුණේ ඉහත පළ කර ඇති කතෘ අඥාත ඇස ගැටුණු වෙලේ ය. එය ෆෙස්බුක් අවකාශයේ කිහිප තැනකම බෙදා හැරිය පසු මට බ්ලොගය ද සිහිවිය. මේ දෙවන සංස්කරණය සකසන්නේ ඒ සඳහා ය.

ලංකාවෙන් පිටත වෙනත් රටක ජීවත්වෙන අතරතුර ලංකාව සෑදීම සඳහා කුඩා හෝ දෙයක් කිරීම මානසික රෝගයක් නම් ඒ රෝගය වැළඳුණු අය කොටස් කිහිපයක් සිටිනා බව මගේ නිරීක්ෂණය අනුව කිව හැක.

1. පළමුවෙනි කණ්ඩායම
ලංකාවේ ගංවතුරක් හෝ වෙනත් ව්‍යවසන තත්ත්වයක් හෝ ඇති වූ විගසම තමන් ජීවත් වෙන රටේ පිහිටුවාගෙන තිබෙන විවිධ සංවිධාන හරහා මුදල් එකතු කර ඒ මුදල් හෝ එරටෙන් මිල දී ගන්නා භාණ්ඩ හෝ ලංකාවට යවන සංක්‍රමණික පිරිස.

මෙවැනි ව්‍යාපෘති කිහිපයකටම අපට ද සහභාගි වන්නට ඉඩ ලැබුණි. උදාහරණයක් ලෙස ඉතාම ආසන්නයේ දී අප සම්මාදම් වූ ලංකාවේ කෝවිඩ් රෝගීන් සඳහා රෝහල්වලට වෛද්‍ය උපකරණ යැවීමේ ව්‍යාපෘතිය නම් කළ හැකි යි.

2. දෙවන කණ්ඩායම
තම තමන් ගෙන ගත් පාසැල් හෝ විශ්වවිද්‍යාල හෝ පදනම කරගනිමින් කුඩා කණ්ඩායම් වශයෙන් විද්‍යාර්ථීන්ගේ සංගම් සහ ආදි ශිෂ්‍ය/ශිෂ්‍යයා සංගම් ගොඩනඟාගෙන ඒ හරහා මුදල් එකතු කර තමන් ඉගෙනගත් ආයතන වල විවිධ ව්‍යාපෘති සඳහා මුදලින් ආධාර කරන පිරිස.

මෙවැනි සංගම් කෙරෙහි මගේ කිසිම උනන්දුවක් නැති නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මා සමග ඉගෙනුම ලැබූ දැනට විදෙස් රටවල වාසය කරන සගයින්ගේ මූලිකත්වයෙන් මේ සතියේ ලංකාවේදී අරඹන ඉංජිනේරු පීඨයේ ඊඕඊ පෙරේරා ශාලාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියකට මට සම්මාදම් වීමට අවස්ථාව ලැබුණි.

3. තුන්වෙනි කණ්ඩායම
විදෙස් රටවලදී තමන් උපයා ගන්නා මුදලින් පසුකලෙක ලංකාවේ විවිධ කර්මාන්ත, ව්‍යාපාර යනාදිය ආරම්භ කරන පිරිස.

එවැනි කිහිප දෙනෙකුව මා පුද්ගලිකව හඳුනන බව පවසමි.

4. සිව්වෙනි කණ්ඩායම
මීට අවුරුදු දොළහකට ඉහත කාලය දක්වා නොරටක හාන්සි පුටුවල වාඩි වී ලංකාවේ එවකට පැවති යුද්ධයට පොහොර දමමින් සිටි, යුද්ධයෙන් රට හදන්නට තැත් කළ සිංහල මෙන්ම දෙමළ පිරිස්

යුද්ධයේ අවසානයෙන් පසු ඔවුන්ගෙන් සමහරු වහල් හිමියා යටතේ වහලුන් ලෙස හැසිරෙමින් ලංකාව හදන්නට පටන් ගත් බව දක්නට ලැබුණි. තවමත් ඒ වහල් භාවයෙන් මිදුණේ නැති පිරිසක් ද සිටින බව මගේ නිරීක්‍ෂණයයි. මෙයින් මා හිතන පරිදි බොහෝ දෙනෙකු ඉඩ ලද පළමු අවස්ථාවේදී ම ලංකාවේ පුරවැසිකම හැරදා ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගත් තවදුරටත් ශ්‍රී ලාංකික පුරවැසකම නොමැති අයයි.

5. පස්වෙනි කණ්ඩායම
පෙර කී කිසිදු සංවිධානාත්මක කටයුතු වලට සම්බන්ධ නොවුණත් ද්විත්ව පුරවැසිභාවය ඇති, දෙරටේම තොරතුරු පිළිබඳව එක සේ උනන්දුවක් දක්වමින්, තමන්ට හැකි ආකාරයට රට සෑදීම සඳහා අර්ථයෙන් කෙසේ වෙතත් ධර්මයෙන් සම්මාදම් වෙමින් කල්ගත කරන පිරිසක් ද දැකගත හැකියි.

මීට අමතරව කෙළින් ම රට හැදීමේ ව්‍යාපෘති වලට සම්බන්ධ නොවුණත් පුද්ගලිකව තමන්ගේ දෙමව්පියන්ට, ඥාති මිත්‍රාදීන්ට, වැඩිහිටි නිවාස ආගමික සිද්ධස්ථාන වැනි පුණ්‍යායතනවලට මුදල් යවන පිරිස නම් අති විශාලයි. ඔවුන් ලංකාවේ විදෙස් විනිමය සංචිතය ඉහළ නංවා ගැනීමට ලොකු සේවයක් කරන අතර එමගින් රට හැදීමට දායක වෙන බව ද පැවසිය යුතුයි. ඉහත රූපය සාදා ඇත්තේ ඉහත පිරිස් ගැන නොවේ.

පසුගිය කාලය තුළ මා නිරීක්‍ෂණය ඇති කරුණක් නම් ලංකාවේ වෙසෙන සමහරුන්ට ලංකාවෙන් පිටත ජීවත්වෙන අය සමග මොකක් දෝ ආරවුලක් තිබේ. ඒ අය පිළිබඳව ද මගේ විශ්ලේෂණයක් ඇත.

එය පසුව ලියමි.

-රසික සූරියආරච්චි (image: from Facebook, creator unkown)

Thursday, 27 May 2021

පුරසඳ, අවසඳ සහ සෝමරත්න දිසානායක - Lunar-tic thoughts



මෙවර වෙසක් පුරසඳ වෙනුවට සිනුවර අපට දක්නට ලැබුණේ අවසඳකි.

ඒ අවසඳ මට සිහිකළේ 1993 දී පමණ ලංකාවේ විකාශය කෙරුණු "අවසඳ" නම් ටෙලිනාට්‍යයයි. එය අධ්‍යක්‍ෂණය කළේ කලකට පෙර සිනුවර වැසියෙකු වූ සෝමරත්න දිසානායක විසිනි. ඔහු මේ වසරේ තිස්වෙනි සංවත්සරය සමරන ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ආරම්භක සභාපති ද වේ.

"අවසඳ" ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ගෝතමී පතිරාජ සහ ඩග්ලස් රණසිංහ බව මගේ මතකයයි. භීෂණ සමයේ අතුරුදහන් වූ තම පෙම්වතා ගැන කම්පනයෙන් සිටින යුවතියක පිළිබඳ කතාවක් රැගත් "අවසඳ" නිර්මාණය එකල ආණ්ඩුවේ ලොක්කන්ට ඇල්ලුවේ නැත. එනිසා, කතාව අවසන් වෙන්නට කලින් එය විකාශය කිරීම අත්හිටුවන ලදී.

ඒ තහනම පිළිබඳ අදහස් දැක්වූ එවකට මාධ්‍යය පිළිබඳ රාජ්‍ය ඇමතියෙකු වූ ඒ ජේ රණසිංහ නමැත්තා ප්‍රකාශ කළේ එම නිර්මාණය "අවසඳ" නොව "නව ගඳ" ලෙසින් නම් කළ යුතුව තිබුණු බවයි.

ඒ ජේ රණසිංහ නමැත්තා ගඳ සුවඳ හඳුනන්නෙකු නොවේ. එවකට ජනාධිපති ර. ප්‍රේමදාසගේ සුවට කීකරු බලු කුක්කෙකු වූ ඔහු එකල පැවසූ තම "ස්වාමියාගේ සෙරෙප්පුවලින් තමන් සුප් එකක් හදා බොන්නට වුව සූදානම්" ය යන කූප්‍රකට ප්‍රකාශයෙන් ඒ බව අපට හොඳින් වැටහී තිබුණි.

පැවති යූඇම්පී ආණ්ඩුව වෙනුවට 1994 දී පොදු පෙරමුණු බලයට පත්වූ පසුව ද "අවසඳ" ටෙලි නාට්‍යය නැවත විකාශය වූයේ යැයි නොසිතමි.

ඒ ආණ්ඩු පෙරළිය සඳහා සෝමරත්න දිසානායක ද යම් වැඩ කොටසක් ඉටු කළා විය යුතුයි. එදා 1994 මහ ඡන්දයේ දී පොදු පෙරමුණට සහය දක්වමින් කලාකරුවන් ගේ සංවිධානයක් විසින් නුගේගොඩ දී පවත්වන්නට යෙදුුණු, කාලෝ ෆොන්සේකා, ලූෂන් බුලත්සිංහල, කේ බී හෙරත් සහ බන්දුල විජේවීර වැනි පුද්ගලයින් කතා කළ රැස්වීමේ නිවේදක කටයුතු කළේ රේණුකා බාලසූරිය (සහ සෝමරත්න දිසානායක?) බව මගේ මතකයයි.

වරක් මෙල්බර්න් නගරයේ දී ද, දෙතුන් වරක් සිනුවර දී ද, දෙවරක් කොළොම්පුරයේ දී ද, මට සෝමරත්න දිසානායක හමු වී කතාබස් කර ඇති නමුත්, ඔහුගෙන් කිසි දිනක අවසඳ ටෙලිනාට්‍යය අවසන් වීමට නියමිතව තිබුණු ආකාරය ඇසීමට මට අමතක විය.

ඒ කාලයේ දී ම විකාශය වූ, සෝමරත්න දිසානායක ම ලියා අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍යයක් වූ "ඉටිපහන්-1" නරඹන කාලයේ දී ද මට ඔහුගෙන් විමසීමට ප්‍රශ්නයක් තිබුණි. එනම්, "කතාව අවසානයේ දී හෝ සුද්දා ආපසු ඒවි ද?" යන්නයි. නමුත් "ඉටිපහන්-1" අවසාන වෙනවිට ද සුද්දා ආවේ නැත.

සුමිත්‍රා රාහුබද්ධ ලියූ "ඉටිපහන" නවකතාව ඇසුරෙන් නිපදවුණු "ඉටිපහන්-2" ටෙලිනාට්‍යය නැරඹීම අරඹන විට සුද්දා කිසි දිනෙක ආපසු නොඑන බව අපට වැටහී තිබුණි!

එසේනම් අපි පොසොන් මහේ දී පුරසඳ නරඹමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න මා ලූෂන් බුලත්සිංහලගෙන් ඇසූ ප්‍රශ්නයක් පිළිබඳ කතාවක්.
https://rasikalogy.blogspot.com/2016/08/lucien-bulathsinhala-trapped-in-vicious.html

(image: https://www.abc.net.au/news/2021-05-26/see-how-the-rare-super-blood-moon-lit-up-the-australian-sky/100168486)

Saturday, 8 May 2021

අම්මා සිනාසුණා ය - The best use of 50 Rupees


මගේ උසස් පෙළ ප්‍රතිඵල දැනගත් මොහොතේ අම්මා හැඬුවාය.

ගණිත විෂයයන් හැදෑරු මා ලබා තිබුණේ අධි සම්මාන (බී සාමාර්ථ) දෙකක් සහ සම්මාන (සී සාමාර්ථ) දෙකක් පමණි. අම්මලා එච්.එස්.සී. හැදෑරූ කාලයේ නම් මේ වනාහී අති විශිෂ්ට ජයග්‍රහණයකි. එකල, සම්මාන, අධි සම්මාන නොව සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබා ගන්නා ශිෂ්‍යයෙකු පවා විශ්වවිද්‍යාල වරම් ලැබීම අරුමයක් නොවීය.

නමුත් මේ පනහ දශකයේ අග භාගය නොවේ. අසුවේ දශකයේ මුල් කාලයයි. උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය සංඛ්‍යාව, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවේ වැඩි වීමට වඩා ඉහළ වේගයකින් වැඩි වී තිබුණි. ඒ සමගම, සමස්තයක් වශයෙන් අපේ පරම්පරාවේ ඉගෙනුමට ඇති අවශ්‍යතාවයේ, හැකියාවේ, මෙන්ම උනන්දුවේ ද පරිණාමික වර්ධනයක් ද දක්නට ලැබුණි.

මේ පරිණාමික වර්ධනය ගැන උදාහරණයක් දෙන්නේ නම්, අපේ අම්මලාගේ කාලයෙන් දශකයකට පසුව වුවද, සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩ හයක් සමත් වී සම්මාන තුනක් ලබන්නා මහා වීරයෙක් වූ බව කියවේ. ඔහු හෝ ඇය, විෂයයන් දෙකක් ම ගෙඩි පිටින් අසමත් බව කිසිවෙකු නොතැකූහ. එනමුදු මා උසස් පෙළ කරන කාලය වන විට සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ අටක් ම ලබා ගන්නෝ සිය ගණනින් බිහිවන්නට පටන් ගෙන සිටියහ.

අම්මා ඇඬූයේ බැලූ බැල්මට ප්‍රමාණවත් නැති යැයි සිතෙන මගේ විභාග ප්‍රතිඵල හෙවත් "B-දෙකයි, C-දෙකයි" නිසා ම නොවේ. උසස් පෙළ විභාගයට "හිතට අරගෙන" වැඩ කරන්නට පටන් ගත් දින සිටම වාගේ ස්වයං-උත්තේජනයකට මෙන්ම ධනාත්මක අභිප්‍රේරණයකට ද මා ලක් කරගන්නට සිතා, කඩදාසියක ඇඳ කාඩ්බෝඩයක අලවා සාදා ගෙන ලියන මේසයේ මා දෙනෙත ඉදිරිපිට හොඳින් පෙනෙන්නට සවිකරගෙන සිටි ඉංගිරිසි "A" අකුරෙන් යුතු පුවරුව ද නිසා ය.

උදේ හවා එකී "A" අකුර සහිත පුවරුව ඉදිරිපිට සිට මා පාඩම් කටයුතු කරනු දැක, උසස් පෙළ විභාගයෙන් සත්‍ය වශයෙන්ම මා "A" සාමාර්ථ හෙවත් විශිෂ්ට සාමාර්ථ හතරක් ම ගනු ඇතැයි ඇය ස්වයං-මායාවකට අසුවී සිටි නිසා ය.

මා ලැබූ ප්‍රතිඵල ගැන මට ද දුකක් නොදැනුණේ නොවේ. අම්මාගේ කඳුළු මුලින් දැක කාමරයට ගිය මා මගේ පෙර කී "A" අකුර සහිත පුවරුව දුටුවේ කඳුළු අතරිනි.

"A" සාමාර්ථ හතරක් කෙසේ වෙතත් යාන්තමින් "A" තුනක් සහ රසායන විද්‍යාවට "A" සම්මාන සාමාර්ථයක් ලැබේ යැයි විභාගයෙන් පසු මා ප්‍රශ්න පත්‍ර සහ අදාළ සටහන් පොත් උඩු යටිකුරු කර සසඳමින් ඇස්තමේන්තු කර තිබුණි.

සැමවිටම මගේ ඇස්තමේන්තු මට වාසියට සිදුවෙන්නට ඉඩ-කඩ ඇති බව සැබවි. එහෙත් එය එසේ වුවද, මට "B" සාමාර්ථ තුනක් හෝ අඩු වශයෙන් ලැබිය යුතුව තිබුණු බව මට වැටහිණ. ලැබී තිබුණේ ඊට වඩා අඩු ප්‍රතිඵලයකි. මේ සියල්ල මැද මට දරාගන්නට නොහැකි වූ පරාජය වූයේ මා විශිෂ්ට සාමාර්ථයක් හෙවත් "A" එකක් අනිවාර්යෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වූ ව්‍යවහාරික ගණිතය විෂයයට මට ලැබී තිබුණේ "C" සාමාර්ථයක් පමණක් වීමයි.

ඉල්ලුම තරමට සැපයුම නැති ලංකාවේ විශ්වවිද්‍යාලයකට තේරීමට සහ එහි දී ද තමන්ට අවශ්‍ය පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබීමට විභාග ප්‍රතිඵල අනුව අපොහොසත් වේ යැයි සිතන සිසුන් හමුවේ, නැවත වරක් විභාගයට පෙනී සිටීමට අමතරව, ඇති විකල්පයක් වන්නේ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයැදුම් කිරීමයි.

අපේ වාරයේ දී අගෝස්තුවේ පැවති අපේ උසස් පෙළ විභාගය ඊළඟ වසරේ දී, අප්‍රියෙල් දක්වා ඉදිරියට පමුණුවා තිබුණි. ඒ සඳහා අයැදුම් කිරීමේ අවසාන දිනය ඉතා අසාධාරනව යොදා තිබුණේ, අපේ විභාග ප්‍රතිඵල නිකුත් කරන්නට මාසයකට පමණ කලිනි. මා ඒ සඳහා ඒ කාලයේ හැටියට විශාල මුදලක් වූ රුපියක් අසූවක් ම ගෙවා මේ වන විට අයැදුම් කර හමාරය. නව නිර්දේශය සඳහා වූ විභාගය අගෝස්තුවේ දී පැවැත්වීමට නියමිත වූ බැවින් මගේ සමහර මිතුරෝ එය තම විකල්ප ගැලවුම ලෙස යොදාගෙන සිටියහ.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා එක් විෂයයකට ගාස්තුව රුපියල් පනහකි. ව්‍යවහාරික ගණිතය සඳහා මා ලබා තිබූ ප්‍රතිඵලය පිළිබඳව මා සිත තුළ කෙතරම් සැකයක් තිබුණේ වුවද, දෙමව්පියන් ගේ සල්ලිවලින් තවත් රුපියක් පනහක් වැය කිරීමට මට සිත් නොදුනි.

මා ලෙසම හිතුවාට වඩා අඩු ප්‍රතිඵල ලැබූ මා මිතුරෙකුට ඔහුගේ දෙමව්පියන් පවසා තිබුණේ, එක්කෝ විෂයයන් තුනම නැවත සමීක්ෂණයට රුපියක් දෙසීයක් දීමට හැකිය, එසේ නැතිනම්, නැවත විභාගයට අගෝස්තුවේ දී පෙනී සිටීමට විභාග ගාස්තු සහ අනෙක් වියදම් සඳහා ඒ මුදලම දිය හැකිය, නමුත් ඒ කාරණා දෙකටම මුදල් වියදම් කිරීම නම් කිසිසේත්ම කළ නොහැකිය, කියායි.

මේ අවස්ථාවේ දී මගේ පිහිටට ආවේ මගේ මවගේ බාලම නැගණිය හෙවත් මගේ ආදරණීය සුනීතා පුංචි අම්මා ය.

"ප්‍රතිඵල වෙනස් වේවි යැයි පුතාට හොඳටම විශ්වාසය ඇති විෂය නැවත සමීක්ෂණයට ඉල්ලුම් කරන්න!" යැයි පවසා ඇය මට රුපියක් පනහක් දුන්නා ය.

මම ඒ මුදලින් ව්‍යවහාරික ගණිතය විෂයය නැවත සමීක්ෂණයට ඉල්ලුම් කළෙමි.

කාලය ගත වී ගියේය. මම අප්‍රියෙල් මාසයේ දෙවන වරටත් උසස් පෙළ සඳහා පෙනී සිටියෙමි. ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය සහ භෞතික විද්‍යාව යන විෂයයන් සඳහා මා මුල් වතාවට වඩා හොඳින් විභාගයට මුහුණ දුන්නා යැයි විභාගය අවසානයේ මට වැටහිණි. රසායන විද්‍යාව විෂයය පිළිබඳව නම් මගේ සිත තුළ ඉතිරි වූයේ කුකුසක් පමණි.

විභාගයෙන් පසු මුළු දිවා කාලයම ගලහිටියාව ගම් සභා පුස්තකාලයේ ගතකරමින් පොත් කියවීමටත්, රාතී්‍ර කාලය පුස්කාලයෙන් දිනපතා ගෙන එන පොත කියවීමටත්, ගත කරන්නට පුරුදු වූ මගේ සිතට නිරතුරු වද දුන් ප්‍රශ්නාවලිය වූයේ විභාග ප්‍රතිඵල සහ විශ්ව විද්‍යාල ප්‍රවේශයයි.

"B" සාමාර්ථ දෙක සහ "C" සාමාර්ථ දෙක සඳහා මට අවම වශයෙන් ලකුණු දෙසිය හතළිහක් ලැබී තිබිය යුතු වූ අතර, උපරිමය ලෙස ලකුණු දෙසිය හැත්තෑ හයක් ද ලැබී තිබෙන්නට ද ඉඩ ඇත. ඒ වනාහී ලකුණු තිස් හයක දැවැන්ත පරතරයකි.

ඒ අවමය මට කොළඹ දිස්ත්‍රික්කයෙන් ගණිත ධාරාවේ විශ්ව විද්‍යාල පාඨමාලාවකට ඇතුළුවීමට ප්‍රමාණවත් වේද? ඒ උපරිමය මා බලාපොරොත්තු වූ පරිදි ඉංජිනේරු පීඨයට ඇතුළුවීම සඳහා ප්‍රමාණවත් වේවිද? මගේ ලකුණු ප්‍රමාණය සෑහෙන්නේ විද්‍යා පීඨයට ඇතුළුවීමට පමණක් නම්, ඒ අවස්ථාව ඉවත දමා, මගේ උසස් පෙළ දෙවෙනි උත්සාහයේ ප්‍රතිඵල මත බලාපොරොත්තු තබා ගන්නද? මගේ මනස සැම විටම අවුල් ජාලයක් විය.

මේ තුන් තේරවිල්ලට මුහුණ දී සිටියේ මා පමණක් නොවන බවද, තවත් මා වැනි සිය ගණනක් සිසුන් සිටි බවද, මෙහිදී කිව යුතු ය.

එදා අප මුහුණ දුන් තත්වය ඉන් පසු කාලයට වඩා තවත් අසීරු වීමට හේතුවක් වී තිබුණේ, අපට පෙර වසරවල දී සිසුන් සඳහා ඔවුන් උසස් පෙළ සඳහා ලැබූ නිවරදි ලකුණු ප්‍රමාණය නිකුත් කර නොතිබීමයි. එනිසා, යම් යම් අනුමානයන් මිස ඒ එක් එක් පාඨමාලාව සඳහා අවශ්‍ය වෙන අවම ලකුණු මට්ටම් පිළිබද ඉතිහාසයක් කිසිවෙකු දැන නොසිටියහ.

මගේ තාත්තා ගේ මිතුරෙක් මේ දිනවල විභාග දෙපාර්තමේන්තුවේ සේවය කළේ ය. තාත්තා ඔහු හමුවීමට ගොස් මේ පිළිබඳව පවසා මගේ විභාග අංකය ඔහුට ලබා දී ඇත. එක් දිනක් රාත්‍රී කාලයේ අප නිවසට ඔහු ගොඩ වැදුණේ මගේ උසස් පෙළ ලකුණු ප්‍රමාණය අපට පවසන්නටයි.

"පුතා ට ලකුණු දෙසීය හැත්තෑ හතක් තියෙනවා!" ඔහු කීවේය.

මට මගේ දෙසවන් විශ්වාස කළ නොහැකි විය.

” වෙන්න බෑ. මගේ විභාග ප්‍රතිඵල අනුව මට තියෙන්න පුළුවන් උපරිමය දෙසිය හැත්තෑ හයයි නේ!” මම පවසා සිටියෙමි.

” දෙසිය හැත්තෑ හතක් බව මට විශ්වාසයි, ඇස් දෙකින්ම දැක්කා!” තාත්තාගේ මිතුරා තමා දෙපාර්තමේන්තුවේ දී ලියා ගත් කොළ කැබැල්ල තාත්තා අත තැබීය.

පසුව මට වැටහුණු පරිදි මෙහිදී මගේ තාත්තා ගේ මිතුරා කර තිබුණේ කිසියම් ආකාරයක අයුතු දෙයක් නොවේ. අපේ උසස් පෙළ ලකුණු, මේ සිදුවීමෙන් දින කිහිපයක් ඇතුළත පාසල ට එවා තිබුණි. මේ ආකාරයට තමන්ගේ උසස් පෙළ විභාගයේ මුළු ලකුණු සංඛ්‍යාව දැනගත් මුල්ම කණ්ඩායම අප විය.

පසුදින මා පාසල වෙත ගියේ සහතිකයක් ලබා ගැනීමටයි. පුස්තකාලයෙන් ”සන්ඩේ ඔබ්සෝවර්” පත්‍රයේ ඇබෑර්තු කියවා රැකියාවක් සඳහා අයැදුම් කරන්නට සැරසී සිටි මට පාසලෙන් යම්කිසි ආකාරයක සහතිකයක් අවශ්‍ය වී තිබුණි.

නම, ශිෂ්‍ය අංකය, උසස් පෙළ ප්‍රතිඵල, බාහිර ක්‍රියාකාරකම් යනාදී විස්තර අයැදුම් පතේ පුරවා විදුහලේ කාර්්‍යාලයට බාර දුන් මම, ඉන් පැය කිහිපයකට පසු නැවත එහි ගොස් නිල ලාංඡනය සහිත මුද්‍රිත කොළයක ටයිප් කර සකසා තිබූ මගේ සහතිකය ලබා ගත්තෙමි.

පුදුමයකට මෙන් මගේ උසස් පෙළ ප්‍රතිඵල ලෙස එහි සඳහන් වූයේ ”බී” සාමාර්ථ තුනක් සහ එක් ”සී” සාමාර්ථයකි. මම වහාම කාර්්‍යාලයේ නිලධාරියා ට මේ බව කීවෙමි. ඔහු පවසා සිටියේ ඒ මගේ නිවැරදි නිල ප්‍රතිඵලය බවයි. මගේ නැවත සමීක්ෂණ ඉල්ලීම සාර්ථක වී ව්‍යවහාරික ගණිතය සඳහා වූ ප්‍රතිඵලය ”බී” සාමාර්ථයක් ලෙස වෙනස් වී ඇති වග ඊට පෙර දින පාසලට දන්වා ඇති බව මට දැනගන්නට ලැබුණේ එවේලේ ය.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා මා ගෙවූ රුපියල් පනහක මුදල මට ආපසු ලැබුණි ද, නැද්ද යන්න පිළිබඳව නිවැරදි අදහසක් මගේ මතකයේ නැත. ඒ කෙසේ වූව ද මගේ සුනීතා පුංචි අම්මා විසින් සිදු කර ඇති හොඳම රුපියල් පනහක ආයෝජනය එය වන්නට ඇතැයි මට අද ද සිතේ.

මේ ආකාරයට සුබ ලකුණු දැක ගැනීමට ලැබීමෙන් මා සිත අමන්දානන්දයට පත් වූ බව අමුතුවෙන් කිව යුතු නැති වුවද මෙහි ලියා තැබිය යුතුම ය. ලකුණු දෙසිය හැත්තෑ හතක් ලැබීම යනු මා බලාපොරොත්තු වූ ආකාරයටම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළුවීමට මට හැකිවෙන බවට කෙරුණු සහතිකයි.

ඊටත් වඩා මා උද්දාමයට පත් වූ කාරණය නම්, මගේ නව ප්‍රතිඵලය වූ ”බී” සාමාර්ථ තුනක් සහ ”සී” සාමාර්ථය සඳහා මට ලබාගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය වූ දෙසිය අසූ හයට වඩා මා ලබා තිබුණේ ලකුණු නමයක් පමණක් අඩුවෙන් වීමයි. විෂයයන් හතර අතර බෙදන විට එය ලකුණු දෙකක පමණ වෙනසක් පමණි.

මේ දෛවෝපගත දිනයෙන් මාස දෙකක් පමණ ඇතුළත මගේ විශ්ව විද්‍යාල සිහිනය සැබෑවිය. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉංජිනේරු පීඨයට යාම සඳහා අවශ්‍ය වූ අවම ලකුණු ප්‍රමාණය දෙසිය හැට නමයක් බව අපට දැනගන්නට ලැබුණි.

මේ අතර, දෙවන වරට මා පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද නිකුත් වූ අතර බැලූ බැල්මට වඩාත් හොඳ යැයි සිතෙන ”ඒ” සාමාර්ථ දෙකක්, ”බී” සාමාර්ථයක් සහ සාමාන්‍ය සාමාර්ථයක් සඳහා මා ලබා තිබුණේ ලකුණු දෙසිය හැත්තෑ තුනක් පමණි.

මා පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත යෑමට ලක ලැහැත්ති වී නිවසින් පිටත් වූ දිනය අද මෙන් මගේ මතකයේ ඇත.

එදා මගේ උසස් පෙළ ප්‍රතිඵල දැනගත් මොහොතේ හැඬු අම්මා මෙදා මා දෙස බලා සතුටින් සිනාසුණාය.

රුපියල් පනහක තම ආයෝජනය මගින් සිදුවූ යහපත දැක සුනීතා පුංචි අම්මා ද සිනාසුණාය!

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ සටහන සහ එහි මුල් කොටස මා ලියා පළ කළ "සිව් වසරක් මරදානේ" කෘතියේ අඩංගු වේ.

(https://www.leftovercurrency.com/exchange/sri-lankan-rupees/withdrawn-sri-lankan-rupees-banknotes/50-rupees-central-bank-of-ceylon-banknote-armorial-ensign-1977/)

Friday, 7 May 2021

අම්මා ඇඬූ දා - My A/L Results


මගේ ලියන මේසය මත ඇති චිමිනි ලාම්පුවේ දීප්තිමත් එළියෙන් අපේ කුඩා කාමරය ආලෝකමත් වී ඇත. ඔහු ගේ මේසය මත ඇති චිමිනි ලාම්පුව නිවා දමා මල්ලී නින්දට ගියේ දැන් මද වේලාවකට කලිනි. මල්ලීටත් මටත් දෙදෙනාටම නිදාගැනීමට ඇති කුඩා ඇඳේ ඔහුගේ කොටසට ගුලි වී ඔහු මේ වන විටත් හොඳ නින්දේ ය.

වේලාව රාත්‍රී දහය ද පන්නා ඇති බව අපේ එලාම් ඔරලෝසුව කියයි. මට නිදිමතක් දැනේ. මම මා කියවමින් සිටි කාබනික රසායනය සටහනෙන් හිස ඔසවා ඈනුමක් යවමි.

ඈනුම අවසානයේ මගේ නෙත් විවර වෙනවාත් සමගම මා දකින්නේ හාෆ් ෂීට් කඩදාසියක ලියා, කාඩ්බෝඩ් පුවරුවක අලවා සකසා මේසය උඩ තබා ඇති පුවරුවකි. බැලූ බැල්මට එහි පෙනෙන්නේ එක් විශාල අකුරකි. ඒ අන් කිසිවක් නොව ඉංගිරිසි අකාරාදියේ මුල් අකුරයි. උසස් පෙළ හදාරන සිසුන් ගේ සිත් සතන් තුළ පැල පදියම් වූ පරමාදර්ශී ශුද්ධ වූ කුසලානයි. ආණ්ඩුවේ විභාගයෙන් ලබාගත හැකි විශිෂ්ටතම සාමාර්ථය නිරූපණය කෙරෙන "A" අකුරයි!

"A" අකුරට අමතරව එම පුවරුවේ ඉංගිරිසියෙන් ලියූ කෙටි වැකි කිහිපයක් වේ.

මට "A" සාමාර්ථ හතරක් ගැනීමට අවශ්‍යය!
මා "A" සාමාර්ථ හතරක් ගත යුතුමය!!
ඔව්, මම "A" සාමාර්ථ හතරක් අනිවාර්යෙන් ම ගනිමි!!!

මේ පුවරුව දකින මගේ නිදිමත නැති වී යයි. උදෑසන පහට පමණ අවදි විය යුතු බව, පහයි හතළිස් පහට අප නිවස පසු කරන බසය අල්ලා ගත යුතු බව, ඒ බසයෙන් දුම්රිය ස්ථානයට ගොස් මරදාන බලා යන දුම්රියකට ගොඩ විය යුතු බව මට අමතක වී යයි.

"A" හතරක් ගැනීම යනු, සාපේක්ෂව හොඳින් ජීරණය වන විෂයයන් වන ව්‍යවහාරික ගණිතය, භෞතික විද්‍යාව සහ ශුද්ධ ගණිතයට පමණක් නොව තරාදියේ අනෙත් පස ඇති රසායන විද්‍යාවට ද විශිෂ්ට සාමාර්ථයක් ගැනීමයි. මම නැවතත් රසායන විද්‍යා සටහනේ ඇති "ටොලුයීන්" නම් වූ සංයුක්තය "මීතයිල් සැලිසිලෙට්" බවට පරිවර්තනය කිරීම සඳහා ඇති ක්‍රමවේදය දෙස සිත යොමු කරමි.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කවදත් සැකසී ඇත්තේ මනාව සකසා ඉදිරිපත් කර ඇති තිර රචනා කිහිපයක් ද සමගිනි. පහේ පන්තියේ විභාගය සමත් වූයේ නම් ගමේ පාසලේ සිට අසල නගරයේ පාසලට යා යුතුය. ඉන් පසු ඇති සාමාන්‍ය පෙළ වැනි විභාගයක් ඉහළින් සමත් වූයේ නම් උසස් පෙළ සඳහා විද්‍යාව හැදෑරිය යුතු වෙන අතර ඊට අතමරව හැකි නම් වඩා හොඳ, ඇතැම් විට අගනුවර හෝ ප්‍රධාන නගරයක ඇති ජාතික මට්ටමේ පාසලකට යා යුතු ය. ගණිතය සඳහා දස්කම් දක්වන්නන් උසස් පෙළ සඳහා භෞතික විද්‍යා විෂයය ධාරාව තෝරා ගත යුතුය. විද්‍යාව සඳහා දස්කම් ඇත්තන් ජීව විද්‍යාව විෂයය ධාරාව තෝරා ගත යුතුය. එතැනින් ඔබ යා යුත්තේ එක්කෝ ඉංජිනේරු පීඨයට ය. නැතිනම් වෛද්‍ය පීඨයට ය.

ධාවන පඨ ඉතා සරල ය. අපට ඇත්තේ පිටපත අනුගමනය කිරීම පමණි.

එක් කුඩා ප්‍රශ්නයකට තිබුණේ, පිටපතේ විදියට රඟපා අපේක්ෂිත පරිදි ඉංජිනේරු පීඨයට හෝ වෛද්‍ය පීඨයට හෝ යෑමට නම් උසස් පෙළ විභාගය ඉතා ඉහළින් ම සමත් වීමට සිදුවීමයි. එය තිර රචනය කියවද්දී නම් ඉතා ලෙහෙසි දෙයක් ලෙස පෙනෙන නමුත් ප්‍රායෝගිකව ඉතා අසීරු කර්තව්‍යයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ අසීරු ඉලක්කය කරා හඹා යන ගමන ආරම්භ වීමත් සමගම පාහේ ඒ සඳහා මගේ උනන්දුව සැමදා නො අඩුව තබා ගැනීමට මා මෙහිදී අනුගමනය කළේ ඉතා සරල අභිපේ්‍රරණ විධික්‍රමයකි. එය නම්, උසස් පෙළ විභාගයෙන් ලැබිය හැකි හොඳම ප්‍රතිඵලය හෙවත් විශිෂ්ට සම්මාන හතරක්, "A" හතරක්, ගැනීමට සැලසුම් කිරීමයි. එම සැලැස්ම නිතර දෙවේලේ, මවිසින්, මට ම, සිහිපත් කරවා ගැනීමයි.

මට්ටකුණ්ඩලී ගේ පියා පිළිස්සූ කරවල කැබැල්ලක් තම නැහැය ඉදිරියේ තබා ඒ සුවඳ විඳිමින් අමු අමුවේ බත් කෑ බව කියවේ. නීරස වූ රසායන විද්‍යා පාඩම් රසවත් සේ ගිල දැමීමට මෙන්ම, අන්තර්ගතය එතරම් ප්‍රශ්නයක් නොවූ නමුත් කාලය පිළිබඳව සැමවිටම අභියෝග මැවූ, භෞතික විද්‍යාව, ව්‍යවහාරික ගණිතය සහ ශුද්ධ ගණිතය විෂයයන් ගේ අත ගැසෙන මානයේ වූ සියලුම උදාහරණ, ගැටලු, පසුගිය විභාග ප්‍රශ්න සහ අභියෝග හැදෑරීමට ද මට උපකාරී වූයේ පෙර විස්තර කෙරුණු පරිදි අපේ කාමරයේ මගේ ලියන මේසය ඉදිරියේ පුටුවේ මා අසුන් ගත් කළ, මූණට පොල්ලෙන් ගැසුවාක් සේ නොවැරදී පෙනෙන්නට තබා තිබුණු "A" අකුරේ සටහනය.

මේ පුවරුව මගේ මවගේ දැඩි ඇගයුමට ද, සොහොයුරන් ගේ සරදමට ද ලක්වූ බව කිව යුතු ය. කෙසේ වුවද, අගෝස්තු මස පැවති උසස් පෙළ විභාගයේ අවසානයත් සමගම මට වැටහුණේ, මගේ උත්සාහය මුළුමනින්ම නිෂ්ඵල නොවී, ”ඒ” හතරක් කෙසේ වෙතත්, යාන්තමින් හෝ "A" සාමාර්ථ තුනක් සහ "B" සාමාර්ථයක් ලබාගන්නට මට ඉඩ කඩ ඇති බවකි. "B" සාමාර්ථය ගණිතය ධාරාවේ උසස් පෙළ සිසුන්ගේ බියකරු සිහිනය වූ රසායන විද්‍යාව සඳහා ය.

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් වීමත් සමගම විභාග පටිපාටිය ද වෙනස් වෙමින් පැවතුණු නිසා අපේ සුවිශේෂී උසස් පෙළ විෂයය නිර්දේශය සඳහා වූ ඊළඟ වසරේ විභාගය නියමිත වූයේ අප්‍රියෙල් මාසයට ය. ඒ සඳහා මුදල් ගෙවා අයැදුම් කරන්නට දිනය අත ළඟටම පැමිණියේ වුවද, අගෝස්තුවේ පැවැත්වූ අපේ විභාගයේ ප්‍රතිඵලය නම් නිකුත් කරන සේයාවකුදු නොවී ය. සිදුවෙමින් පැවතියේ මහා අසාධාරණයකි. එහෙත්, ශී්‍ර ලංකාව වැනි රටක මේ ගැන කාට නම් පැමිණිලි කරන්නද? කණගාටුවෙන් මෙන් මා ඇතුළු, පෙර ලියු පිටපතට අනුව ඉංජිනේරු සහ, වෛද්‍ය පීඨයන්ට යාමට සිහින මවමින් සැදී පැහැදී සිටි, එනමුත් තම විභාග ප්‍රතිඵල පිළිබඳ සියයට සීයක ස්ථිරත්වයක් නැති, බොහෝ දෙනෙකුට සිදුවූයේ නැවතත් විභාගයට පෙනී සිටීමට අයැදුම් කිරීමටයි.

අවසානයේ විභාග ප්‍රතිඵල නිකුත් විය. මා එදා පාසලේ සිට නිවස බලා ආයේ කැළඹුණු සිතින් ද, දැවෙන හදවතින් ද, යුතුව බව කිව යුතු ය.

මා ගෙට ගොඩවත්ම අම්මා හා තාත්තා මා ඉදිරියට පැමිණියහ.

"කොහොමද? මොනවද ප්‍රතිඵල?" අම්මා ගේ දෑස් දැඩි උනන්දුව නිසාම ප්‍රභාමත් වී ඇති අයුරු මම දිටිමි.

"බී දෙකයි, සී දෙකයි" බිඳුණු හඬින් මා පැවසූයේ අම්මා හෝ තාත්තා හෝ දෙස නොබලා ම ය.

තාත්තා නිසොල්මන්ව බලා සිටියේය. අම්මා ගේ මුහුණේ ඇඳී ගියේ අමුතුම ආකාරයක හිනාවකි.

"ඔයා ඔය බොරු නේද කියන්නේ? ඇත්ත කියන්නකෝ ළමයෝ විහිළු නොකර?"

"බොරු නෙමේ අම්මේ මේ ඇත්ත තමයි. බී දෙකයි, සී දෙකයි මට ඇවිත් තියෙන්නේ."

අම්මා ගේ කඳුළින් පිරුණු දෙනෙත දුටු මට ඇතිවූයේ බලවත් සංකාවකි.

"කමක් නෑ අම්මේ, මං මේ අප්‍රියෙල්වල ආපහු විභාගේ කරනවා, කොහොමටත් ඇප්ලිකේෂනුත් දාල නේ තියෙන්නේ" මම අමාරුවෙන් වචන ගලපා ගතිමි.

"උඹ ආයේ විභාගේ කරපන්" තාත්තා සුපුරුදු එඩිතර හඬින් පැවසීය.

කාමරයට ගිය මම ඇඳ මත දිගාවී මගේ ලියන මේසය දෙස බැලූවෙමි.

"A" අකුර සහිත පුවරුව මගේ දෙනෙතට අසුවිය. කෙමෙන් තෙත් වී ගෙන ගිය මගේ දෑසෙන් ඒ රුව බොඳවී යන්නට ගතවූයේ තත්පර කිහිපයක් පමණි.

(දෙවන කොටස: අම්මා සිනාසුණා ය - The best use of 50 Rupees
https://rasikalogy.blogspot.com/2021/05/best-use-of-50-rupees.html
)

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ සටහන සහ දෙවන කොටස මා ලියා පළ කළ "සිව් වසරක් මරදානේ" කෘතියේ අඩංගු වේ. (image: )

Sunday, 11 April 2021

බිත්තර පාං නො-කා-පාං - Decades ago



මා කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ හදාරද්දී ලැබූ අත්දැකීම් මත පදනම් වූ මේ සටහන මුලින්ම සන්නස සඟරාවේ පළ වූ අතර පසුව මා පළ කළ සිව් වසරක් මරදානේ කෘතියේ අඩංගු විය. අද මෙම සටහන මෙලෙස පළ කිරීමට හේතුව අවසානයේ දී දක්වමි.


පරකන්දෙණිය නම් වූ මගේ උපන් ගම පිහිටියේ කොළඹින් සැතපුම් පහළොවක් පමණ නුදුරින් වුව ද, පමා නොවී අකුරට යන්නට නම් අපට උදේ රැයින් ම අවදි වෙන්නට සිදුවිය. පාසල් යන දිනවල පාන්දර පහට පමණ තාත්තා පැමිණ මල්ලීත්, මාත් නිදාගත් නිවසේ ප්‍රධාන කොටසින් වෙන්ව පිහිටා ඇති ඉස්තෝප්පු කාමරයේ දොරට තට්ටු කරයි. මම පහයි කාලට පමණ වදෙන් පොරෙන් ඇඳෙන් නැගිට කුස්සියට යමි. උදේ බස් රථය අපේ නැවතුමට ලඟාවෙන්නේ තවත් පැය භාගයකින් පමණ ය. මා මුලින්ම කරන්නේ, අම්මා උණුවතුර බෝතලයට දමා ඇති කහට වතුර ටිකක් කෝප්පයක දමා, සීනි හා කිරි පිටි සමග මුසුකර තේ කෝප්පයක් සාදා බීමයි.

ඊළඟට හනසු අඟුරු ස්වල්පයක් ගෙන ඇඟිල්ලෙන් දත් මදින මම, වහ වහා මුහුණ, අත, පය සෝදමි. බඹ එකළොහක් ගැඹුරු ළිඳක් මිස නාන කාමර හෝ විදුලියවත් නොතිබුණු නිවසක වාසය කල අපට, සතියේ දිනවල උදේට ඇඟ සේදීමට අවකාශ නොමැත. ඇඳ පැළඳ ගත් පසු මම උදේ ආහාරය ගනිමි. එය බොහෝ විට රොටියකි, නැතිනම් ඉඳිආප්ප ය. බොහෝ දිනවල මේ වෙලාව වනවිට පාරේ ඈතින් බස් රථය එන හඬ ඇසෙයි. සීනි ස්වල්පයක් මැදට දමා දෙකට නවා ගත් රොටිය කන ගමන් ම, මම ගුරු පාර දිගේ මීටර් පන්සීයක් පමණ දුරින් පිහිටි මහ පාරට දිව යමි.

සැතපුම් දෙකක් පමණ දුරින් පිහිටි ගනේමුල්ලට යෑමට බස් රථයට බොහෝ විට ගත වෙන්නේ විනාඩි දහයක් වැනි සුළු කාලයකි. එතැන සිට දුම්රියෙන් මරදානට යා යුතුය. ආනන්ද විද්‍යාලය පිහිටියේ දුම්රිය ස්ථානයේ සිට කිලෝ මීටරයක පමණ දුරිනි. උදෑසන හතට පෙර මා පාසලේ ය.

හවස පාසල නිමවීමෙන් පසු මුල්ම දුම්රියෙන් මරදානෙන් පිටත් වෙන මා, හවස 2:35 ට ගනේමුල්ලට පැමිණිය ද, අපේ පාරේ දුවන්නේ එකම එක බස් රථයක් නිසා එය එනතුරු සිට, විනාඩි දහයක ගමනින් පසු නිවසට ළඟාවෙන විට 3:40 පමණ වෙයි. මා කෙළින් ම දිව යන්නේ අම්මා බෙදා කෑම මේසය මත තබා ඇති බත් පිඟානට බව අමුතුවෙන් කිව යුතු නැත. උදේ රොටිය කමින් දුවන වේලාවේ සිට හවස බත් පිඟානට වග කියන වේලාව දක්වා පැය දහයක කාලය අතර තුර මගේ කුස පුරවා ගැනීම සඳහා අම්මා සමහර විට තවත් කුඩා රොටියක් ඔතා දෙයි. එසේ නොමැති වූ දිනවල මගේ පිහිට ට ඇත්තේ පාසල් කැන්ටිමයි.

පාසලේ ඉන්නා ළමුන් සංඛ්‍යාවට සාපේක්ෂව බලන විට ආනන්දයේ කැන්ටිම ඉතා කුඩා එකක් විය. මෙනිසාම, විවේක කාලයේ එය නිරතුරු පිරී ඉතිරී තිබුණි. කැන්ටිමට යන පාසල් ළමුන් අතර තේ බොන්නෝ හිඟ ය. පෝටෙලෝ, ෂැරෝනා, පැෂෝනා වැනි බීම තිබුණද (ෆැන්ටා, කොකා-කෝලා යුගය එළැඹියේ මින් පසු කාලයක දී බව තරුණ පාඨකයෝ සලකත්වා!), ඒවායේ මිල ගණන් පොදු වශයෙන් ශිෂ්‍යයින් ගේ ක්‍රය ශක්තියෙන් ඔබ්බේ විය. වැඩි පිරිස කරන්නේ මොනවා හෝ කඩචෝරුවක් කෑමයි. ඉන්පසු වතුර පයිප්පයකට කට අල්ලා බඬේ ඉතිරි ටික පුරවා ගත හැක.

කෑම සඳහා කැන්ටිමේ මාළු පාං වර්ග තුනක් විය. ශත විසිපහකට අලෙවි වූ අඟල් තුනක පමණ විශ්කම්භයක් ඇති වෘත්තාකාර ලූණු පාං ගෙඩිය ඉන් මිලෙන් අඩුම ආහාරය විය. ඊළඟට තිබුණේ, තුන් හුලස් හැඩයෙන් යුතු, අල සහ ළුෑණූ මිශ්‍රණයක් සහිත එකකි. එහි මිල ශත තිස් පහක් විය. කෙසේ වෙතත් මා සිත ගත්තේ නම්, අඟල් හයක පමණ දිග සබ්මැරිනයක හැඩ ගත් බිත්තර පාං ගෙඩිය විය. එය මැදින් පලා තැම්බූ බිත්තර තීරු දෙකක් ද, තක්කාලී තීරුවක් ද, අමු මිරිස් කැබලි දෙකක් ද යොදා ගනිමින් වෛවර්ණව සරසා තිබුණි. දුටු සැණින් රස නහර උත්තේජනය වී කටට කෙළ උණා එයි. එහි මිල ශත පනහක් විය.

බිත්තර පාං වලට ඇති දැඩි කැමැත්ත කෙසේ වූව ද, ආනන්දයට ගිය සිව් වසර තුළදී ම, මම කිසි දිනක ශත ශත පනහක් දී බිත්තර පාං ගෙඩියක් මිල දී නොගත්තෙමි. මුදල් අතේ තිබූ දිනවල වුවද, එක්කෝ ශත විසිපහේ ලූණු පාං එකක් හෝ ශත තිස්පහේ එළවළු පාං එකක් මිස, බිත්තර පාං කන්නට මට සිත් වූයේ ම නැත.

බිත්තර-පාං, නො-කා-පාං ම විය.

සතියට දින දෙකක් පමණ විවේක කාලයට පෙර කාල පරිච්ඡේදයේ අපට නියමිත විෂයය වූයේ ඉංග්ලිෂ් භාෂාවයි. අපට ඉංගිරිසි ඉගැන්වූ දිසනායක ටීචර් ගේ පුතා උගත්තේ දහවැනි ශ්‍රේණියේ ම වෙනත් පන්තියක ය. විවේක කාලය සඳහා සීනුව හැඬ වූ විගසම, ඔහු තම මව සොයා එයි. අම්මා සිය පසුම්බියෙන් ගෙන යම් මුදලක් පුතුට දෙයි. පසුව කැන්ටිමට ගියහොත් දක්නට ලැබෙන්නේ ශත පනහේ බිත්තර පාං ගෙඩියක් රස කරමින් කමින්, ෂැරෝනා හෝ පැෂෝනා බෝතලයක් බොන දිසනායක සිසුවාය. මම සුපුරුදු පරිදි ශත තිස්පහේ මාළු පාං එකක් රැගෙන එය කා දමා වතුර පයිප්පයෙන් බඩ පුරවා ගනිමි.

මේ කතාව සඳහා දශක කිහිපයකට වඩා පැරණි මගේ මතකය අළුත් කරද්දී මට වැටහී ගියේ එදා ඇත්තටම බිත්තර පාං පිළිබඳව මගේ සිතේ තිබී ඇත්තේ මේ කාලයෙන් වසර තුන හතරකට පසු සුනිල් ආරියරත්න විසින් ලියන ලදුව නන්දා මාලිනී ගැයූ අර ”නෙලාගන්න බෑ, මගේ අත දිග නෑ, ඒත් අනේ තව මල් පිපියං! කෝටි ගණං තව මල් පිපියං!!” ගීතයෙන් ගම්‍ය වන ආකාරයේ සංකීර්ණ චින්තනයක් බවයි.

දුඹුරු, රතු, සුදු, කහ, කොළ වර්ණාවලියෙන් අලංකාර වූ බිත්තර පාං දැක සතුටු වූවද, ඒවා රස විඳීම සඳහා අවශ්‍ය අමතර මුදල් ප්‍රමාණය වැය කිරීමට මම කෙදිනක හෝ නොසිතුවෙමි.

”අනුං ඇවිත් මල් නෙළුවාවේ! එමල් දකින පින ලැබුණාවේ!!”

ඒ බිත්තර පාං වල රසය අදත් මම සිතෙන් පමණක් විඳින්නෙමි.

-රසික සූරියආරච්චි

පසු සටහන:
මීට වසර කිහිපයකට පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවති නන්දා මාලිනී ගේ ගීත පිළිබඳ සම්මන්ත්‍රණයක දී මහාචාර්ය සුචරිත ගම්ලත් පවසා සිටියේ, ”නෙලාගන්න බෑ” ගීතය, ධනපති පැළැන්තියට උඩ ගෙඩි දෙන, ධනවාදී ක්‍රමය සාධාරණීකරණය කරන, ප්‍රතිගාමී, සමාජ විරෝධී අදහසක් දෙන්නක් බවයි. ආර්ථික යේ ඵළ සැම දෙනාටම එක සේ අයත් විය යුතු බවටත්, සමහරුන් ට ඒ සඳහා අත දිග නැත්තේ සමාජ ක්‍රමයේ වැරදි නිසා බවත්, සත්‍යය එසේ වෙද්දී නිර්ධන පන්තියට ඉච්ඡා භංගත්වය ඇති කරවන මෙවැනි ගීත ලිවීම සමාජ විරෝධී වන බවටත් ඔහු තර්ක කළේය.

ඉහත සඳහන් නන්දා මාලිනී ගේ ගීතයේ සම්පුර්ණ පදමාලාව මෙන්න.
නෙලාගන්න බෑ, මගේ අත දිග නෑ,
අනේ ඒත් තව මල් පිපියං! කෝටි ගණං තව මල් පිපියං!
මට විතරද මල් පිපෙන්නෙ? මං විතරද මල් කඩන්නෙ?
අනුන් ඇවිත් මල් නෙළුවාවේ! මලේ සුවඳ මට දැනුණාවේ!
අතින් නෙළන මල් පිපෙන්නෙ, පෙර පිනටයි මට හිතෙන්නෙ
මුළු ලොවටම මල් පිපුණාවේ! එ මල් දකින ඇස් ලැබුණාවේ

පසු සටහන 2:
දශක එකහමාරකට පමණ කලින් ලියන ලද මෙම සටහන අද මෙලෙස පළ කරන්නට සිතුණේ මෙහි සඳහන් කෙරෙන දිසානායක ගුරුවරියගේ බිත්තර පාං කෑ පුතා, වසන්ත සේනානායක, මියගිය පුවත දැනගන්නට ලැබුණු නිසා ය. උසස් පෙළ අධ්‍යාපනයෙන් පසු වසන්ත කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍යවිද්‍යා උපාධිය ලබා මහරගම පිළිකා රෝහලේ පරිපාලක ලෙස කටයුතු කරමින් සිටියේය. එදා පාසල් කාලයෙන් පසු මට ඔහු ගැන දැන ගන්නට ලැබුණේ මීට වසර දෙකකට පමණ පෙර රෝහලේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔහු කළ අමාවතුර ප්‍රකාශයක් නිසා ය.

(image: https://4.bp.blogspot.com/-xDE6Sck52Dk/U7ACElbMJ3I/AAAAAAAALT0/62ZrW-M9coQ/s1600/sri+lanka+tangalle+beach+curry+and+rice+wattpalam+kottu+roti+21-10-2012+4-54-04+PM.JPG)

Saturday, 6 March 2021

ඇත්තම ඇත්ත කතාවක් - That was the time that was!

පොතක් පිළිබඳ අදහස් දැක්වීමක් අතරේ තරමක පරණ කතාවක්, තරුණ කාලේ කතාවක්, සිහිවිය.

කෙටියෙන් ලියා තබමි.

වරක් එක්තරා යුවතියක මට ලියූ අවසාන ලිපියේ මෙලෙස සඳහන් කර තිබුණි.
රසික, මේ ආත්මයේ දී ඔබේ පතිකුලයේ පතිනිය වීමට මා පින් කර නැති බව පෙනේ. ලබන ආත්මයේ දී මට ඔබේ පතිනිය වීමට වරම් ලැබේවා යන්න මගේ පැතුමයි.
මා ඇයට පිළිතුරක් යැව්වාද, නැතිනම් ඇමතුමක් පමණක් දුන්නාද යන්න මට නිවැරදිව මතක නැත. මා පිළිතුරු ලිපියක් ලිව්වා නම් එහි මෙලෙස ලියන්නට ඇත.
ඔබේ කැමැත්ත ඒ ආකාරයෙන් ම සිදුවේවා යන්න මගේ ද ප්‍රාර්ථනයයි.
ඒ සිදුවීමෙන් වසරකට පමණ පසු මට වෙනත් යුවතියක විසින් මෙලෙස ලියා එව්වා ය.
රසික, මගේ ආගමේ හැටියට මං නැවත ඉපදීමක් විශ්වාස කරන්නේ නෑ, නමුත් එලෙස ඉපදෙනවා නම් මට මේ ආත්මයේ බැරිවුණාට, ලබන ආත්මයේ ඔයාගේ ආදරණීය බිරිඳ වෙන්නට ලැබේවා කියායි මං ප්‍රාර්ථනය කරන්නේ? ඔයා ඒකට ඉඩ දෙනවා නේද?
මම ඇයට නම් පිළිතුරු ලිපියක් ලිව්වෙමි.
ඔයාගේ ඒ ප්‍රාර්ථනය ගැන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මීට මාස කිහිපයකට කලින් මගේ ඊළඟ ආත්මය වෙනත් අයෙකු ඉල්ලා මා ඊට කැමැත්ත දී තිබීම. එනිසා, ඊළඟ ආත්මය නොව ඊටත් පසු ආත්මය අවශ්‍ය නම් ඔයාට දෙන්න පුළුවනි.
තවත් අවුරුදු දෙකකට පමණ පසු මට මගේ අනාගත බිරිඳ හමුවිය.

මා ඇයට කීවේ මේ ආත්මෙන් පස්සේ එළැඹෙන ආත්ම දෙකක්ම වෙනත් අය වෙන් කර ගෙන ඇති බවයි.

"කමක් නෑ, මට එක ආත්මයක් හොඳටෝම ඇති!" ඇය කීවා ය.

දැන් නම් සමහරවිට ඇය එකක් නොවෙයි භාගයක් වුණත් ඇතිය කියා සිතනවා ද විය හැක.

-රසිකොලොජිස්ට්

(image: )

Wednesday, 24 February 2021

ඇන්ජෙලා හටී සිදුවීම නිසා මතකයට ආ පැරණි නොවැදගත් කතාවක් - Who is Angella Hutti

පැරණි නොවැදගත් කතාව කීමට පෙර මේ සටහනේ පසුබිම විස්තර කළ යුතුවේ.

ඇන්ජෙලා හුටී යනුවෙන් ශබ්දවෙන ආකාරයට අනුව සිංහල අකුරෙන් ලිව්වාට මෙහි හුටී යන්න ලතින්/රෝමන් අකුරෙන් ලියන්නේ Hutti කියා ය.

ඇන්ජෙලා හුටී ඇමරිකානු එක්සත් ජනපදයේ මාධ්‍යවේදිනියකි. සිංග්ලිෂ්වලින් ලියන කියවන සමහරෙකුට ඇගේ වාසගමේ අකුරු ගෙන දුන්නේ මහත් වූ අමන්දානන්දයකි. තමන් කැමති ජුගුප්සා රසයක් විඳ සැනසී චූ කර නිදා ගන්නවා වෙනුවට මේ අය කළේ ඇන්ජෙලාගේ ෆේස්බුක් පිටුවට ගොස් ඇයට ඇගේ වාසගම සිංහලෙන් ලියමින් ප්‍රතිචාර දැක්වීමයි. ඇගේ කුඩා පුතාගේ ඡායාරූප යටින් පවා ඔබට සිතාගත හැකි ආකාරයේ ප්‍රතිචාර දක්වා තිබුණි.

මෙය කෙතරම් දරුණු ලෙස සිදුවී ඇති ද යත් දැන් ලංකාවේ අන්තර්ජාල පහසුකම් සපයන්නන් හරහා ඇගේ ෆේස්බුක් පිටුවට පිවිසිය නොහැකි ආකාරයට සීමා පනවා ඇතිබවක් කියවේ.

නමුත්, අපේ සමහරු ඉන් පසුබට නොවී, ලංකාවේ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් තහනම්කර ඇති ලංකාඊනිවුස් වැනි වෙබ් අඩවිවලට පිවිසීම සඳහා භාවිතා කරන වීපීඑන් හෙවත් අතත්‍ය පුද්ගලික ජාල හරහා ගොස් තවදුරටත් ඇන්ජෙලාගේ වාසගම අවඥාවට ලක් කරන බව පෙනේ.

එක් භාෂාවක වචන තවත් භාෂාවකින් වෙනත් අරුත් ගෙන දෙන බව අමුතු දෙයක් නොවේ. ඒ වෙනත් අරුත් සමහර විට හාස්‍යය උපදවන මෙන්ම, තිත්ත කුණුහරුප වීමට ද ඉඩ ඇත.

උදාහරණයක් ලෙස මා අසා ඇති කතාවක් නම්, ලංකාවේ නිෂ්පාදිත කරදිය ඉඟිනළුව (හෝ එහි ආ ගීතයක්) රුසියාවේ වේදිකාගත වූ අවස්ථාවක "හොයියා හෝයියා" නම් ගීතය අසා රූසියානුවන් හිනා වෙන්නට පටන් ගෙන ඇති බවයි. හුයියා යනු රුසියන් භාෂාවෙන් ෆක් යන අදහස ගෙන දෙන බව කියවේ.

නම් ගැන සඳහන් කරනවා නම් දික්වැල්ල යන නම Dickwalla ලෙස ලියා එයම "ඩික් වල්ලා" කියා ශබ්දකොට අපට ගුජුප්සා රසයක් ලබන්නට හැක. "කැරී" වැනි යුරෝපියානු නමක් සම්බන්ධයෙන් ද එලෙසම කළ හැක. කාරියකරවන වැනි නමක් වුවද, ලතින් අකුරෙන් ලියා නැවත වෙනත් ආකාරයකට කියවිය හැක.

පුක යන වචනය සහ එහි විවිධාකාර වරනැගීම් සහිත ස්ථාන නාම නවසීලන්තය පුරාම ඇත. පුක යන්න මෞරි භාෂාවෙන් ගෙන දෙන්නේ සිංහල අරුත නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

දැන් මෙන්න පරණ කතාව.

මා මගේ මව අමතන්නේ අම්මා කියා ය. මගේ බිරිඳ ඇගේ මව ඇමතූයේ ද එලෙස ය. නමුත් අපේ දරුවන් තමන්ගේ මව අමතන්නේ අම්මී කියා ය.

අම්මා අම්මී වෙන්නට පටන් ගත්තේ අප කුඩා කාලයේ ය. එවිට අපේ වයසේ සිටි අය බහතෝරා හමාර නිසා අම්මා අම්මාම විය. ඇත්තෙන්ම මට වඩා වයසැති තම මවට අම්මී කියා අමතන මිතුරන් මට ඇත්තේ එක් අයෙකු පමණි!

එසේ නමුත්, ඒ කාලයේ අලුත ඉපිදී බහතෝරන ළමුන්ට ඔවුන්ගේ අම්මලා තමන්ව අම්මී ලෙස හඳුන්වා දීම ඇරඹී තිබුණි. එසේම, ඒ වෙනව භාෂාව භාවිතයේ සිදුවෙන ස්වභාවික වෙනසක් ලෙස නොව සංකරවීමක් ලෙස සලකා එයට විරෝධවූ භාෂාවල්ලන් ද වූහ.

එක්තරා වසරක අපේ ගමේ පන්සලේ පිංකම්වාරයේ බණක් දෙසන්නට පැමිණි සාදුකෙනෙකු එවැන්නෙකු බව බණ කියන අතරේ ඔහු පැවසූ කතාවක් නිසා මට පෙනුණි.

ඔහු පැවසූ අදහස මෙසේ ය.
මිසරයේ (ඒ කියන්නේ ඊජිප්තුවේ) අම්මී කියන්නේ මිරිස්ගලටයි. ඔබේ අම්මාට ඔබ මිරිස්ගල කියා අමතනවා ද? නෑ නේද? එසේ නම් ඒ අරුත දෙන අම්මී කියා ඔබේ මව අමතන්න එපා!
ප්‍රාථමික පාසලේ ශිෂ්‍යයෙකු වුව ද, මේ මොන විකාරක් ද කියා මට එදා සිතුණි. අප අම්මාට කතා කළේ අම්මා කියා මිස අම්මී කියා නොවන නිසා, ඊට වඩා කළ යුතු දෙයක් නොතිබුණි.

ඇන්ජෙලා හටී සිදුවීම නිසා මතකයට ආ පැරණි නොවැදගත් කතාව එයයි!

-රසික සූරියආරච්චි

ප/ලි:
1. ඇත්තටම මට වඩා වසර දහයකින් සහ දොළහකින් බාල මගේ නැන්දාගේ දරුවන් දෙදෙනා පවා ඔවුන්ගේ මව අමතන්නේ අම්මා කියා බව මට මේ මොහොතේ සිදුවිය.

2. ඊජිප්තුවේ භාවිතාවෙන්නේ භාෂාව අරාබි භාෂාවයි. ගූගල් පරිවර්තකය ඇසුරෙන් විමසා බැලූ විට අම්මී යන ශබ්දය ඇති عَمّيّ යන්නේ අදහස "මගේ මාමා" බව පෙනුණි.
(image: https://www.bizjournals.com/austin/news/2017/10/20/austin-area-economic-leaders-under-police.html)

Thursday, 21 January 2021

"පෙම් කිරීමට වයස වැඩියි" යැයි කිව හැකි වයසක් තිබේ ද? - How old is it too old to love?

"අනේ පෙම් ගී කියන්න මං දැන් නාකි වැඩියි!" මගේ මිතුරෙකු මා සමග ඊයේ පෙරේදා දවසක කීවේය.

ඒ ඔහුට මා මගේ "පෙම් ගී" ගේය පද වෙබ්අඩවිය ගැන පැවසූ මොහොතක ය.

හැබැයි ඔහු මයික් අරගෙන සභාවල සින්දු කියා වීඩියෝ කර ෆේස්බුක් එකේ දානවා විටින් විට මා දැක තිබේ. ඔහු එලෙස ගයන්නේ මිල්ටන් මල්ලවාරච්චිගේ, ක්ලැරන්ස් විජේවර්ධනගේ සින්දු ය. අසා සිටින අපට ඒවා පෙම් ගී ලෙස තේරුණත්, ගායකයින් දෙදෙනා මිය පරලොව ගොස් දැන් කලක් ගතවී ඇති නිසා, මගේ මිතුරා හිතන්නේ ඒ ගීත පැරණි ගී කියා විය යුතුය.

මා ඔහුට කීවේ මෙයයි.

"මචං උඹට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල් වික්ටර් රත්නායකත් තාම පෙම් ගී කියනවා. ඊටත් වඩා වැඩිමල් අමරදේවත් ජීවිතේ අඩසාන කාලෙත් පෙම් ගී ගැයුවා. හැබැයි ඉතිං උඹට ලැජ්ජා නං නිකං හිටපං, මට මොකද?"

ඉතිං පෙම් කිරීමට වයස වැඩි යැයි කිව හැකි වයසක් තිබේද?

මගේ අදහස නම් "නැත!" යන්නයි.

මා කලකට පෙර ලියූ කවි අතරින් තෝරාගත් කවි අනුසාරයෙන් ගී පදමාලා සකසා ඒවා පළ කරන්නට සිතා "පෙම් ගී" නම් වෙබ් අඩවිය ඇරඹුවේ 2005 වසරේ ය. ඒ ගැන කතාව කලින් ලියා ඇති නිසා නැවත නොලියමි.

ගීපදමාලා විසිපහක් පළ කිරීමෙන් පසු ඉතා දිගු කාලයක් යාවත්කාලීන නොවුණු ඒ අඩවියට මා යළි අත ගැසුවේ පසුගිය ඔක්තෝබර් 27 වෙනි දා ය.

කතාව ද කලින් ලියා ඇති නිසා නැවත නොලියමි.

එතැන් සිට, මා ම, මා සඳහා ම, සාදා ගත් ඉලක්කයක් හඹාගොස් 2020 දෙසැම්බර් 31 දින එහි සියවෙනි ගී පදමාලාව පළ කළෙමි.

දැන් ෂැපදර්?

ඔව් සැපයි, යකෝ!

ඇත්තටම එදා මගේ සිතට දැනුණේ පුදුමාකාර සතුටකි.

දින සියයක් ඇතුළත යූටියුබ් වීඩියෝ සීයක් නිපදවා RASIKALOGY නම් නාලිකාවේ පළ කර හමාර කළ දා ලැබුණේ ද එවැනි ම වූ සතුටකි.

ඒ සතුට දෙගුණ, තෙගුණ වෙන සිදුවීමක් පසුගිය දිනක සිදුවුණි.

ඒ, සංගීතඥයෙකු සහ ගායකයෙකු වන දොන් සිරිමාන්න නම් කැන්බරා නඑවඑර වාසය කරන එතෙක් මා දැන හඳුණා නොසිටි පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබීමයි.

තනු, සංගීතය යොදා ගායනා කිරීම පිණිස දොන් සිරිමාන්න මා ලියූ ගී පදමාලා පහක් තෝරා ගත්තේ ය.

ඒ 2020 ජනවාරි හතරවෙනිදා ය.

සති දෙයක් යන්නටත් පෙර ඔහු එයින් එක් පදමාලාවක් සඳහා තනුවක් නිර්මාණය කොට, සංගීතය සකසා, වීඩියෝවක් ලෙස නිකුත් කළේ ය.

"මතකයි හන්තානේ" ලෙසින් නම් කර ඇති ඒ පදමාලාව සහ වීඩියෝව පහත සබැඳිය ඔස්සේ ගොස් කියවා නැරඹිය හැක.

https://pemgee.blogspot.com/2020/12/mathakayi-mata.html

ස්තුතියි.

-රසික සූරියආරච්චි

ප/ලි
පෙම් කිරීමට වයස වැඩි යැයි කිව හැකි වයසක් තිබේයැයි සිතෙන විවාහක අයට නම් ඉතිං විවාහ සංවත්සරයට අමතරව වෙනත් සංවත්සරයක් ද සැමරිය හැක.

මෙන්න ඒ ගැන පොඩි වීඩියෝවක්.

Wednesday, 6 January 2021

ගැහැණියකට බුදුවිය නොහැකි ද? - Dogmatic idiots






















පරණ පිනක් පළ දී මට බුඩ්ඩාගං කල්ට් එකකට අයිති ෆේස්බුක් කණ්ඩායමකට එකතු වෙන්නට අවස්ථාවක් ලැබුණු බව සහ එහිදී ධර්මලොජිස්ට්වරයෙකු මෙන් ධර්ම ගැටලු විසඳන්නට අවස්ථාව ලැබුණු බව මම මීට කලින් පළ කළ සටහනේ දී සඳහන් කළෙමි.

එම ෆේස්බුක් කණ්ඩායමේ සාමාජිකාවක විසින් අසා තිබුණු ඉතා වැදගත් ප්‍රශ්නයක් මෙලෙස විය.
බුද්ධත්වය ලබන්න නම් අනිවාර්යයෙන්ම පිරිමි ආත්මයක් ම ලබන්න ඕනෑ ද?
මම එම ප්‍රශ්නයට මෙලෙස පිළිතුර දුන්නෙමි.

ගෑනුන්ටත් බුදු වෙන්න පුළුවන්. තාරා නමින් හැඳින්වෙන්නේ බුදුකෙනෙකු නේද? හැබැයි කසාද බැඳලා රාහුල ඉපදුනාට පස්සේ ගිහිගෙයින් නික්මෙන කොට නම් තරමක දුකක් දැනේවි.

හාමුදුරුකෙනෙකු යැයි සිතෙන නමක් ඇති අයෙකු මට ප්‍රතිචාර දක්වා තිබුණි. එහි දී ඇතිවුණු අදහස් හුවමාරුව මෙලෙස විය.
කාන්තාවන්ට බුදුවිය නොහැකී. තාරා යනු මහායාන ඇදහිල්ලකි
ඇයි ඉතින් මහායාන කියන්නේ බුද්ධාගම නොවේද?

අම්මා බුදු වේවා කියා පපුවේ පච්චයක් කොටා ගෙන සිටි මරුසිරාගේ අම්මත් මේ වෙනවිට බුදු වෙලා ඇති.

මහායානය බුදු දහම වුණත් ඒක ගොඩක් වෙනස් විදියට සකස් කර ගත්ත එකක්
ඉතිං මොකක්ද ප්‍රශ්නේ? හීනයෙ හානියත් ඒ ආකාරයටම වෙනස් විදියකට සකස් කර ගත්තු එකක් නොවේද?

ගෑනුන්ට බුදු වෙන්න බෑ කියලා කියන්නේ බුදුන් කියපු කතාවක් ද, එහෙම නැත්තං බුද්ධාගම විකෘති කරලා දෙයියායි අරවයි මේවයි දාගත්තු බමුණන් විසින් ඇතුළත් කරන ලද පුරුෂෝත්තමවාදී අමන තකතීරු මරිමෝඩ කතාවක් ද?

නැ බුදුවෙන්න නම් අභිනීහාර ධර්ම අට සම්පූර්ණ වෙන්න ඕන. ඒකෙ සදහන් ස්ථිර වශයෙන්ම පුරුෂයෙක් වෙන්න ඕන කියල.
ඔය කතාව කවුරු හරි තකතීරු බමුණෙකු විසින් එකතු කරන ලද එකක් බව ඉතා පැහැදිලියි.

හාමුදුරුවරුන් ක්‍රියාකළ යුත්තේ එවැනි ජරා කතා අදාළ ලේඛන වලින් ඉවත් කිරීමට නොවේද?

අනිත් එක, කොහේ හරි තැනක ලියලා තිබුණා කියා ගැහැණියෙකුට බුදු වෙන්න ඕනේ නම් බුදු වීම වළක්වන්න බැහැ.

මොකද බුදු වෙන්න කලින් අහවල් කොලේ මෙහෙම ලියලා තිබුණා කියා ඒකට තහනම් දාන්න කවුරු හරි ඉන්නවායැ මේ ලෝකෙ?

කොහොමද පැහැදිලි හේතුවක් කියන්න එය එසේ නොවේ කියන්න
හේතුවක් අවශ්‍ය වෙන්නේ එය එසේ යැයි කීමට මිස එය එසේ නොවේ යැයි කීමට නොවේ.

බුද්ධත්වය යනු උපරිම බුද්ධි මට්ටම ලබා ගැනීම නම් සමාන මොළ ඇති ගැහැණියෙකු සහ පිරිමියෙකු අතරින් එය ගැහැනියට බැරිය කීම තමයි ඔප්පු කර පෙන්විය යුත්තේ.

වෙනත් උදාහරණයක් කියනවා නම් ඇසට නොපෙනෙන දෙවියන් භූතයන් ඇති යැයි විශ්වාස කරන අය තමයි එවන්නං ඇති බව ඔප්පු කර පෙන්විය යුත්තේ. එවැන්නන් නැති බව අමුතුවෙන් ඔප්පු කිරීමට දෙයක් නැත.

ආ හරි ඔබේ මතය එයනම් ම් හොදයි එයට අනුව කටයුතු කරන්න යහපත අයහපත් තම තමා මත රැදෙන එකක්නෙ නේද
මගේ අදහස නම් බුදු වීමට ඔබට සහ මට ඇති හැකියාව මගේ මවට මෙන්ම ඔබේ මවට ද ඇති බවයි.

එය එසේ නොවේ යැයි කියන්නා වසල සූත්‍රය අනුව වසලයෙකු වෙනු ඇත.

හරි හොදයි හොදයි මන් වසලයෙක් වෙන්නම්කො
අනේ එහෙම වෙන්න එපා.

නිවැරදි අවබෝධය ලබාගෙන ක්‍රියාවෙන් සිතුවිල්ලෙන් වචනයෙන් සංවර වී හොඳ ජීවිතයක් ගතකරන්න.

ඔබට බමුණු මතයෙන් තොර නිවැරැදි දැක්ම ලැබේවා යි සිතමි.

මතුදිනක පිරිමියෙකු ලෙස හෝ ගැහැනියක ලෙස හෝ ලිංග භේදය මත පදනම් වූ අසාධාරණයෙන් තොරව බුදු බව ලැබීමට ද ඉඩ ලැබේවායි ප්‍රාර්ථනය කරමි.


මගේ නම ඉංග්ලිෂ් භාෂාවෙන් ලියූ විට කියවිය හැකි ආකාරය නිසා මෙන්ම සහ මා කාන්තාවන්ට බුදුවීමට ඇති අයිතිය ගැන කතා කරන නිසා ද, වෙනත් අයෙකු මා කාන්තාවක ලෙස වරදවා වටහා ගෙන මෙලෙස කියා තිබුණි.
සමාවෙන්න මිස්. ධර්මාවබෝධයෙන් යුතුව ධර්මය ගැන කතා කරන්න. කාන්තාවකට බුදුවෙන්න බෑ. රහත් බෝධියෙන් නිවන් දකින්න පුළුවන්. උතුම් මනුෂ්‍ය ජීවිතේ කාන්තා උත්පත්තියක් ලබන්නෙකත් සසරේ පෙර කළ පවට. තෙරුවන් සරණයි. උතුම් ධර්මාවබෝධය ලැබේවා.
මම ඇයට මෙලෙස පිළිතුරු දුන්නෙමි.

තක්කඩි බමුණන් විසින් පසු කලෙක එකතුකර ඇති එවැනි පුරුෂෝත්තම වාදී අගතිගාමී කතා සාධාරණීකරණය කරන්නේ ඇයි?

අප කළ යුත්තේ එවැනි පදනම් විරහිත තක්කඩි මුසාවාද ඉවත් කොට පිරිසිදු බුදු දහම වටහා ගෙන නිවන් මග අවබෝධ කර ගැනීම නොවේද?


පසුව වෙනත් භික්‍ෂු නාමධාරියෙකු පැමිණ මෙසේ කියූවේය.
ඇඩ්මින් මහත්මයා මේ කමෙන්ට්ස් ටික බලල ඉවත් කරල දාන්න.

මේ වගේ බුදු දහම ගැන දන්නෙ නැති අය ගෲප් එකට විතරක් නෙවෙයි බුදු දහමටත් හානියක් කරන්නෙ
ඒ දුටු උපාසකයෙකු එය අනුමත කළේ මෙසේ ය.
ඒක ඇත්ත ස්වාමීන්වහන්ස පුළුවන් නම් ගෘප් එකෙන් පවා ඉවත් කළත් කමක් නැ.
තවකෙකු මට මෙලෙස උපදෙස් දී තිබුණි.
වයසට ගියාට නුවණ පෑදිලා නෑ අපරාදෙ මනුෂ්‍යය ජීවිතේ, නොදන්න මඟුල් කතා නොකර දන්න දෙයක් කරන් ඉන්න මහත්මයා සමාජෙට විහිළුවක් නොවී
මගේ අවසාන පිළිතුර මෙලෙස විය.

කුරානය වැනි පොත්වල ලියා තියෙන දේට විරුද්ධ මතකයක් ප්‍රකාශ කළොත් මරා දමන්නට පවා ඉඩ තියෙනවා ලු. අර සල්මන් රෂ්ඩිට පවා මරණ දණ්ඩනය නියම කළේ පූජකයෙක්. නමුත් බුදු සාදු නම් කර ඇත්තේ විවිධ මත දරන බමුණන් පවා තමන් හමුවීමට පැමිණ මතවාදී අභියෝග කරන විට පළවා දැමීම නොව අදහස් හුවමාරු කර ගැනීමයි.

මේ බුඩ්ඩාගම් පොතේගුරලා යෝජනා කරන්නේ බුදුන්ට පවා නිගා කරමින් මා කණ්ඩායමෙන් පන්නා දැමීමයි.

නොම දකින් මෙවැනි අමන මිනිසුන්!


මා අනුමාන කළාක් මෙන් අවසානයේ එකී තලේබාන් අයෙතුල්ලා කණ්ඩායම විසින් මාව බ්ලොක් කර දමන ලදී.

බ්‍රව්සරය නොවැසීම නිසා නොමැකී කේෂ් වී තිබුණු පිටුවෙන් ස්ක්‍රීන් ෂොට් ලබා ගැනීම මට හැකිවිය.

පැය කිහිපයක තාවකාලික විනෝද සමයක් එසේ නිමාවිය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මෙකී ෆේස්බුක් කණ්ඩායමක් ඇති බව දැන ගත්තේ ද එහි සාමාජිකයෙකු විසින් එයට මා එකතු කරනු ලැබූ බව දැඛ එහි ගිය විට ය. එසේ නොමැතිව මා අනාරාධනයෙන් එහි ගොස් අනාචරේ හැසිරුණා නොවේ!

(image: Female Buddha by Arturo Rhodes - https://www.pinterest.com.au/pin/423197696213323544/)

Tuesday, 5 January 2021

රසිකොලොජිස්ට්ගෙන් ධර්ම උපදෙස් - Rasikologist, the Darmalogist






















පිනක් පළ දෙන්නට නියමිත නම් එය කිසිසේත්ම වෙනස් කළ නොහැකි බව සාක්ෂාත් කර ගැනීමට උපයෝගී කරගත හැකි අපූරු සිදුවීමක් ඊයේ උදේ සිදුවිය.

කවුදෝ මන්දා අයෙකු ධාර්මික කල්ලියක ෆෙස්බුක් අවකාශයේ ඇති කණ්ඩායමකට මාව ද එකතු කර තිබුණි. උදෑසනම එම පුණ්‍යභූමියට පා තැබූ මට දකින්නට ලැබුණේ සිතන නිවන කතා ගොඩකි.

ඒ අතරේ කිහිප දෙනෙකු විසින් විවිධාකාරයේ ධර්ම ප්‍රශ්න ද අසා තිබෙනු දක්නට ලැබුණු අතර මට හැකි පමණින් ඉන් කිහිපයකට පිළිතුරු ලබා දීමට මට හැකි විය.

මේ බ්ලොග් සටහන ලියන්නට සිතුණේ, ඒ ප්‍රශ්න , මා දුන් පිළිතුරු සහ ඉන්පසු ඒ ඇතැම් තැනක ඇතිවුණු සාකච්ඡාව අනාගත රස වින්දනය පිණිස සුරක්‍ෂිත කර තැබීමටයි.

මෙන්න එක ප්‍රශ්නයක්, මගේ පිළිතුර සහ අදහස් හුවමාරුව.
ප්‍රශ්නය මරන්න අරන් යන එළුවෙක්ට ජීව දානය දෙන්න කියක් වගේ යයිද? කොහොමද කරන්නෙ, දන්න කෙනෙක් කියනවද?
මගේ පිළිතුර මෙසේ වී ය.
කිලෝ ගානට ගෙවන්න වෙයි. ඒ අනුව උස මහත එළුවෙකුව බේරා ගත්තොත්, වැයවෙන මුදල වැඩියි, පොඩි එළුවෙකුව බේරගන්න වැයවෙන මුදල අඩුයි.

නමුත් කොහොම කළත් බේරෙන්නෙ එක ජීවිතයක් පමණක් නිසා ලැබෙන පින සමානයි නේද?

මට පෙනෙන විදිහට හොදම වැඩේ පොඩි එළුවෙකුව මරණයෙන් බේරා ගැනීමයි.
මම ද ඇයගෙන් ප්‍රශ්නයක් ඇසුවෙමි.
සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ නම් මරණයට නියමිත හරකෙක් වුව බේරා ගැනීමයි. ඔබ එළුවෙකු බේරා ගැනීමට සිතුවේ ඇයි ද කියා දැනගැනීමට කැමතියි.
මට ලැබුණු පිළිතුර මෙසේ ය.
ගොඩාක් සල්ලි නෑ ඒකයි.
ඇයට මගේ අවවාදය මෙසේ විය.
වැල්ලට ගිහින් මුහුදෙන් ගොඩට ගෙන විත් ඇති තවමත් පණ තියෙන පොඩි මාළුවෙකු බේරා ගත්තනම් එක ප්‍රාණයක් බේරාගත් පිනත් ලැබෙනවා. වැයවෙන මුදලක් සෑහෙන අඩුයි.

එළුවෙකු බේරා ගැනීමට යන මුදලෙන් සාලයෙන් සූඩයින් හාල්මැස්සන් සිය ගණනක් බේරා ගැනීමට අවස්ථාව ලැබේවි. ඒ අනුව සිය ගුණයක පිනක් කර ගත හැකියි.
වෙනත් අයෙකු මෙසේ පවසා තිබුණි.
පැටියෙක් නම් 2500 ක් වගෙ. මන් එහෙම බෙරගත්ත. එ ගාන තමා ගියෙ.
එයට මගේ ප්‍රතිචාරය මෙලෙස විය.
එසේ බේරා ගත් පැටියා හොඳින් හැදුණු වැඩුණු පසු දහදාහක් පමණ වියදම් කර මරණයෙන් බේරා ගෙන තවත් කෙනෙකුට පින් කර ගත හැකි වෙනු ඇත.

ඊයේ මට එම කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් ලැබුණේ පරණ පිනක් පළ දීම නිසා බව අපි අනිමු. එසේම, ධර්ම දානය ද පිනක් බව අපි දනිමු. එනිසා, ධර්ම කරුණු කියා දීමෙන් මා ඊයේ කර ගත් පින සුළුපටු නැත.

ඒ ගැන තවත් කතාවක් මීළඟ සටහනෙන් ගෙන එමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඔබේ ධර්ම ප්‍රශ්න තිබේ නම් මට යොමු කරන්න.

(image: https://rajblogs8.wixsite.com/thedharmalogist)

Monday, 4 January 2021

අතිශය පුද්ගලික සටහනක් - A personal note to welcome 2021

මෙය අතිශය පුද්ගලික සටහනක් නමුත් ඔන්න ඔහේ ඕපූ කියා පළ කිරීමට සිතුවෙමි. ෆෙස්ක්බුක් එකේ නම් දෙසැම්බර 31 දිනම මෙහි පෙර සංස්කරණයක් පළ කළෙමි. දැන් අලුතින් එකතු වූ කාරණයක් දෙකක් ද ඇත.

දෙසැම්බර් 31 දා ගෙවී ගිය 2020 වසර යනු මගේ ජීවිතයේ කාලකන්නිම වසරයි. එනම් මවිසින් කාලය වැඩියෙන් ම කා දැමූ වසරයි.

මට 2020 ජීවිතයේ කාලකන්නිම වසර වූයේ ඇයි දැයි කියන්නට අමුතුවෙන් වෙහෙස නොවෙමි. එසේ කිරීමට උත්සාහ කිරීම ම, තවත් කාලය කා දමන කර්තව්‍යයක් වෙනු ඇත.

නමුත් සතුටට කාරණය නම්, 2020 වසර වනාහී, ඒ කාලකණ්ණිකම සමගම, ජිවිතයේ යම් කෙටිකාලීන අරමුණු සාදාගෙන ඒවා සාක්ශාත් කර ගත් වසර ද මෙය ම වීමයි.

මා 2020 වසර තුළ දී ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණ දෙකක් ඇත.

1. දින සීයක් ඇතුළත වීඩියෝ සියයක් නිමවා යූටියුබයේ රසිකලොජි නාලිකාවේ පළ කිරීම.

මෙන්න මගේ රසිකලොජි නම් යූටියුබ් නාලිකාව: https://bit.ly/RasikalogyYouTube.

මෙන්න මගේ ජයග්‍රහණය සමරා මා ලියූ බ්ලොග් සටහන: https://rasikalogy.blogspot.com/2020/06/celebrating-double-century-with.html

2. වසර අවසානය සමග සමපාත වෙන්නට මගේ පෙම් ගී වෙබ් අඩවියේ ගී පදමාලා සියයක් පළ කිරීම.

මෙන්න මගේ පෙම් ගී වෙබ් අඩවිය: https://pemgee.blogspot.com/

කලකට පෙර අරඹා අමකත කර දමා තිබු මේ වෙබ් අඩවියේ 26 වෙනි ගීපදමාලාව පළ වූයේ ඔක්තෝබර් 27 වෙනිදාට යෙදුණු මගේ උපන්දිනය දා ය.

එනම්, දින 66 ක් ඇතුළත මා ගීපදමාලා 75 ක් පළ කර සකසා ඇත. ඒ සැම එකකටම පාහේ පදනම සැපයූයේ මා වසර 18 දී හෝ ඊට පෙර ලියන ලද කවි පද වීම සතුට දනවන කරුණකි.

මගේ ජීවිතය 2020 දී කාලකණ්ණි වීමට බලපෑ කාරණය 2021 සඳහා වූ මගේ පහත දැක්වෙන අධිෂ්ඨානය කියවන අයෙකුට තේරුම් යනු ඇත.

මෙන්න එය වචනයෙන්.

මා සහ මා අතර දිනපතා ඇතිවෙන සටනේ දී මින් පසු මා සහයෝගය දක්වන්නේ මා වෙනුවෙනි.
මේ වසරේ දී මා පරදා ජය ගැනීම මගේ එකම අපේක්‍ෂාවයි.
සුබ නව වසරක් වේවා!


ඒ වියුක්ත ප්‍රකාශයට අමතරව මා 2021 සඳහා කළ ප්‍රමාණාත්මක අධිෂ්ඨාන දෙකක් ද වේ.

ඉන් පළමුවැන්න නම් මේ වසර අවසානය වෙන විට විශ්වවිද්‍යාලයේ මා ගත කළ සිව් වසර පිළිබඳ කෙටි සටහන් 100 ක් ලිවීමයි.

දෙවැන්න නම්, මා මෙතෙක් ලියා ඇති විවිධ සටහන් සහ කතන්දර අනුසාරයෙන් කෙටිකතා පනහක් ලිවීමයි.

පළමුවැන්න අරඹා එක් සටහනක් දැනටම ලියා ඇත. වසරකට සීයක් යනු සතියට දෙකකි.

දෙවන්න නම් තවම අරඹා නැත. වසරකට පනහක් යනු සතියට එකකි.

බලමු!

-රසික සූරියආරච්චි
(Image by USA-Reiseblogger from Pixabay)