Wednesday 30 September 2020

අපේ කාලේ කතන්දර - ටැලිගිරැං එක

University of Peradeniya












මේ මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම ලබන අවධියේ වූ සිදුවීමකි.

දිගු කලක් තිස්සේ ඇදී ගිය විරෝධතා ව්‍යාපාරයක් අවසානයේ ශිෂ්‍ය සංගමයේ නායකත්වය යටතේ ශිෂ්‍යයින් කිහිපදෙනෙක් මාරාන්තික උපවාසයක් ඇරඹූහ. විශ්වවිද්‍යාල පරිපාලනය විසින් වහාම විශ්වවිද්‍යාලය වසා දමන ලද අතර ශිෂ්‍යයින් සඳහා විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් ලෙස නම් කර සියලු දෙනාටම ඉවත් වන ලෙස අණ කරන ලදී.

මාරාන්තික උපවාසය සහ විරෝධතා ව්‍යාපාරය නොනවත්වා පවත්වාගෙන යාමටත්, විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් නොවීමටත් පොදු එකඟතාවක් ශිෂ්‍යයන් තුළ ඇතිවිය.

දෙවන වසරේ ඉගෙනුම ලබන පිරිමි සිසුන්ට විශ්වවිද්‍යාලය තුල නවාතැන් පහසුකම් නොලැබෙන නිසා ඒ වන විට මා ඇතුළු පිරිසක් පදිංචිව සිටියේ ඊරියගම බෝඩිමක ය. එනිසා විශ්වවිද්‍යාල භූමියෙන් පිටත්ව යාම යනු අපට අදාල වූ කරුණක් නොවී ය.

කෙසේ වුවද, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමූ බව සහ සිසුන්ට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් බවට නම් කළ බව ගුවන් විදුලියෙන් සහ පුවත්පත් හරහා නිවසට ආරංචි වෙන බව දන්නා නිසා, මා දිගටම බෝඩිමේ නතර වී සිටීමට අදහස් කරන බව නිවසට දැන්විය යුතුවිය.

මා කළේ, පේරාදෙණිය තැපැල් කාර්යාලයට ගොස් තාත්තාට විදුලි පණිවිඩයක් යැවීමයි.

"දිගටම බෝඩිමේ ඉන්නවා. සති දෙකකින් ගෙදර එන්නම්.
-රසික"

මා සමඟම එහි ගිය, එකම බෝඩිමේ සිටි මගේ මිතුරෙකු ද තම පියාට විදුලි පණිවිඩයක් යැවීය.

දින දෙකක් ගත විය.

විශ්වවිද්‍යාල භූමියේ උපවාසය පැවැත්වෙන ස්ථානය අසල දවස පුරාම රැඳී සිට සවස බෝඩිමට ගිය අප දුටුවේ මිතුරාගේ පියා එහි පැමිණ සිටින බවයි.

"ඇයි තාත්තා ආවේ?" මිතුරා විමසීය.

"අර ට්‍රෙලිග්‍රෑම් එක ලැබුනහම නෑවිත් පුලුවන්ද?" පියා ද ප්‍රශ්නයකින් ම උත්තර දුන්නේ ය "මං හිතුව උඹට ලොකු කරදරයක් වෙලා ඇති ය කියලා!".

මොහොතකින් අප දැනගත් පරිදි අප මිතුරා තම පියාට යැවූ විදුලි පණිවිඩයේ ලියා ඇත්තේ මෙලෙස ය.

"විශ්වවිද්‍යාලය වසා දැම්මා. මට කිසි කරදරයක් නැහැ.
-රෝහණ"

-රසික සූරියආරච්චි

(image: https://arts.pdn.ac.lk/)

Friday 11 September 2020

ප්‍රගතිය ද, අගතිය ද – හයේ පන්තියේ කතාවක් :: Dux or dud


සාමාන්‍යයෙන් පාසල් වාර පරීක්ෂණ පවත්වා, එහි ප්‍රතිඵල ඇතුළත් කර සකසන වාර්තාව හැඳින්වෙන්නේ "ප්‍රගති වාර්තාව" ලෙසිනි.

මෙය ද එවැන්නකි.

මේ 1973 දී හයවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ ප්‍රගති වාර්තාවකි.

ඒ කාලයේ අධ්‍යාපනය පිළිබඳ මගේ මූලික නිරීක්‍ෂණ මෙසේ ය.
  • වසරේ වාර පරීක්‍ෂණ තුනක් ඇත.
  • විෂයයන් දොළහකි.
  • චිත්‍ර, නැටුම් සහ සංගීතය යන සෞන්දර්ය විකල්ප විෂයයන්ගෙන් එකක් තෝරා ගත යුතුව තිබී ඇත.
  • ස්වභාවික සම්පත් යනු වෙනමම විෂයයකි!
  • ජ්‍යාමිතික හා යාන්ත්‍රික ඇඳීම ද වෙනමම විෂයයකි!
  • මෙහි ඇති ලී වැඩ නම් විෂයය සඳහා විකල්ප වූයේ ලෝහ වැඩ, මැටි වැඩ, කෘෂිකර්මය යනාදියයි.
  • සත්ව පාලනය සඳහා විකල්පයන් වූයේ වාණිජ්‍යය වැනි විෂයයන් ය.
  • සිසුවාගේ ලකුණු ප්‍රතිශතය මෙන්ම, පන්තියේ පළමුවෙනි ස්ථානය ලබා ගත් සිසුවාගේ ලකුණු ප්‍රතිශතය ද, පන්තියේ සියලුම සිසුන්ගේ ලකුණු ප්‍රතිශතයේ සාමාන්‍ය අගය ද දක්වා ඇත.
මෙය ප්‍රගති වාර්තාවක් ලෙස අප හඳුනා ගත්තද මේ සිසුවා අති බහුතරයක් විෂයයන් සඳහා වාර පරීක්‍ෂණ තුනේ දී ලබා ඇති මෙහි දැක්වෙන ලකුණු දෙස බලන විට එක්වරම පෙනී යන කාරණයක් නම්, මෙය මෙම හයවෙනි ශ්‍රේණියේ සිසුවාගේ ප්‍රගතිය පෙන්වන වාර්තාවක් නොව අගතිය පෙන්වනන්නක් බවයි.

තවත් හොඳින් පරීක්ෂා කර බැලුවොත් මේ පන්තියේ සිටි ප්‍රමාණයෙන් හතළිස් දෙනෙකු පමණ වූ සමස්ත සිසුන් පිරිසකගේම අගතිය මෙම වාර්තාවෙන් පෙන්නුම් කරන බව ද පෙනී යනු ඇත.

පන්තියේ පළමුවෙනියා වීම යනු අධ්‍යාපනයේ ප්‍රගතිය මැනීමට කිසිසේත්ම අදාළ නැති නිර්ණායකයක් බව මේ වාර්තාව අපූරුවට විදහා දක්වයි.

මේ වීඩියෝව ද නරඹන්න.


-රසික සූරියආරච්චි

ප/ලි
පාසල් විෂයය මාලාවේ අද තත්වය කෙසේ ද?
තවමත් පාසල් වාර පරීක්‍ෂණ පවත්වා සිසුන් මුළු ලකුණු අනුව පෙළ ගස්වා ඒ තත්වය වාර්තා කෙරෙනවා ද?

(image: )