
මා මුලින් ම
බියර් බිව් ආකාරය ගැන පෙර දිනයක පළ කළ ලිපියක සඳහන් කළෙමි. මුලින් ම අරක්කු බිව් දිනයේ දී, ඇත්තටම හෝ බොරුවට හෝ මත් වුවද, බියර් නිසා මත් වී ඇත්තේ කලාතුරකිනි.
ජර්මන්කාර බොසා සමග බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුූ දිනයේ දී නම්, බියර් බෝතලයක් ම බිව් නිසා තරමක මත්වීමක් ඇති වුණද, එදා රාත්‍රියේ නුවරඑළිය ටවුමේ සිට හාවා එළියට ඇවිද ආ පසු, ඒ බියර් මත හිරු දුටු පිනි බිඳුවක් සේ වාෂ්ප වී ගියේය.
ලංකාවේ දී මා කළ බියර් බීම යනු
අර ජපානයේ මිනිසුන් තේ බොන්නට අනුගමනය කරන ක්‍රියා මාර්ගය මෙන් මහා චාරිත්‍රානුකූල කර්තව්‍යයකි.
නිවසේ දී බියර් බොන්නට නම්, මුලින් ම කළ යුත්තේ, එම්ටීස් හෙවත් හිස් බියර් බෝතල් සොයා ගැනීමයි. මේ බෝතල් යනු මිලිමීටර් 750 ධාරිතාවේ වීදුරු බෝතල් විය.
මා ලංකාවේ දී අවසාන වරට කඩෙන් බියර් මිලට ගෙදර ගෙනැවිත් බිව් කාලයේ දී, එනම් 1995 දී, ලංකාවේ බියර් කොම්පැනි දෙකක්, ලංකා බෘවරීස් සහ මැකලම්, තිබුණු අතර හිස් බෝතල් එයින් කවර කොම්පැනියේ ද යන්න බියර් මිලට ගැනීමේ දී වැදගත් කරුණක් නොවුණි.
හිස් බෝතල් නොමැති නම්, ඒ වෙනුවට අරක්කු විකුණන කඩේට ඩිපොසිට් එකක් තබා, එනම් බෝතල් සඳහා මුදල් තැන්පතුවක් කර, බියර් මිලට ගත හැකි විය. මා මෙහිදී අරක්කු විකුණන කඩේ යැයි කියන්නේ එකල ඔය කියන කුඩා කඩවලට වයින් ස්ටෝර්ස් යැයි කියනු මතකයේ නැති නිසා ය. අද වුව ද, ඒ වයින් ස්ටෝරස් යැයි බෝඩ් ලෑලි ගසා ඇති කඩවල එක වයින් බෝතලයක්වත් විකිණීමට තිබේ යැයි මම නොසිතමි.
මා ඒ දිනවල පදිංචිව සිටියේ පිටකෝට්ටේ බංගලා හන්දිය අසලය. බියර් මිලට ගැනීටම නුගේගොඩ දක්වාම යා යුතුව තිබුණි. ඒ දිනවල නුගේගොඩ අරක්කු කඩෙන්, (මේ කියන කඩය තිබුණේ නාවල පාර පටන් ගන්නා හරියේ බව මගේ මතකයයි) මේ තැන්පතුව ලෙස එක් බෝතලයක් සඳහා රුපියල් දහයක් අය කෙරිණි.
එකල බියර් බෝතලයක මිල ප්‍රමාණය මට නිවැරදිව මතකයේ නැති වුවත්, රුපියල් දහයක් යනු බියර්වල මිලෙන් 25% පමණ වූයේ යැයි සිතමි.
සමහර විට නුගේගොඩ යන විට හිස් බෝතල් ගෙනියන්නට සිහියට එන්නේ නැත. සමහර විට බියර් බීම ගැන අදහස පහළවෙන්නේ ම නුගේගොඩට ගිය පසුව ය. එවිට, හිස් බෝතල් ගෙනෙන්නට ආපසු පිටකෝට්ටේ පිහිටි නිවසට යෑම කිසිසේත් ම ප්‍රායෝගික ක්‍රියාවක් නොවේ. මේ හේතු නිසා, නුගේගොඩ අරක්කු කඩේට මා අතින් සෑහෙන්න ඩිපොසිට් තැබුණු බව කිව යුතුය.
අනිත් කාරණය වූයේ, එදා වේල ටුවර්ස් මෙන් බියර් බීවා මිස, අද කරනවා මෙන් බීම වර්ග කලින් මිලට ගෙන නිවසේ රැස්කර තබා ගැනීම එදා මට අවශ්‍ය යැයි නොසිතුණු දෙයක් වීමයි.
ලංකාවෙන් ඕස්ට්‍රේලියාව බලා සංක්‍රමණය කරන දා, කුස්සියෙන් එපිට එළිමහන් ගරාජ කොටසට ගිය මට සෑහෙන දුකක් දැනුණේ, හිස් බියර් බෝතල් හරියටම දාහතරක් එහි ගොඩ ගැසී තිබෙනු දැකීමෙනි.
එයින් අදහස් කෙරෙන්නේ මා විශාල වශයෙන් බියර් බිව් බවක් නොවේ. වසර 1993 ජනවාරියේ සිට 1995 දෙසැම්බරය දක්වා අප ඒ නිවසේ පදිංචිව සිටි කාලයේ පස් හය වතාවකට වඩා නිවසේ බියර් බොන්නට අවස්ථාව නොලැබුණි.
මා ප්‍රිය කළේ පිල්ස්නර් නමැති බියර් වර්ගය බීමටයි. එය නුවරඑළියේ සිලෝන් බෘවරීස් සමාගමේ නිෂ්පාදනයක් විය. ඔවුන් ගේ නිෂ්පාදනයන් අතර ලයන් නම් වූ තද දුඹුරු පැහැති ස්ටවුට් වර්ගයක් ද විය. මා බී නොමැති වුවත්, මැකලම් බියර් වර්ග අතර සැන්ඩෝ ස්ටවුට් නම් වූ බීමක් තිබුණු බවට යාන්තම් මතකයක් මට ඇත.
හිස් බෝතල ඇතුව හෝ නැතුව නුගේගොඩ අරක්කු කඩෙන් එදිනට අවශ්‍ය බෝතල් ප්‍රමාණය පමණක් මිලට ගෙන නිවසට ගෙනා පසු ඒවා ශීතකරණයේ බහාලමි. අද මෙන් කුඩා ප්‍රමාණයේ කෑන් නොව මේ බියර් බෝතල් ප්‍රමාණයෙන් විශාල නිසා, ඒ සඳහා අපේ සාමාන්‍ය ප්‍රමාණයේ ශීතකරණයේ ඉඩකඩ සොයා ගැනීම ද සාමාන්‍යයෙන් ප්‍රශ්නයකි.
ඊළගට බියර් බොන අතර කන්නට දෙයක් ද අවශ්‍යය. මෙපමණ මහන්සි වී, නුගේගොඩ සිට රැගෙන විත්, ශීතකරණයේ ලා ප්‍රවේශමෙන් රැකබලා ගත් බියර්වලට නිසි ලෙස සලකන්නට නම් ඒ සඳහා ඩෙවල්ඩ් බීෆ් හෝ චිකන් වැනි යමක් අත්‍යාවශ්‍ය වේ.
ජපනුන් ගේ තේ බීමේ චාරිත්‍රය සේ යැයි මට සිතෙන අපේ බියර් බීමේ ක්‍රමවේදයේ ඊළඟට ඇත්තේ එදින රාත්‍රියේ ආහාරය සැලසුම් කිරීමයි. බොහෝ විට මේ බියර් බොන්නේ එක්කෝ මස්සිනා හෝ නැතහොත් මිතුරෙකු හෝ සමග නිසා, අප කළේ චීන කඩයකින් කෑම පාර්සල් ගෙන ඒමයි.
මේ සඳහා ජුබිලි කණුව හන්දියේ තිබුණු හෝටලයකට මා දෙතුන් වරක් ගොස් ඇත. පිටකෝට්ටේ හන්දියෙන් තරමක් ඔබ්බෙන් පිහිටා තිබුණු කාර් සර්විස් ස්ථානය අසල ද තරමක් හොඳ චීන කෑම කඩයක් තිබුණි. පසුව, අපේ නිවස අසලම කුෂ්මි නම් ස්ථානයක් ද, කොටුබැම්ම හන්දියේ තවත් කඩයක් ද ඇරඹුණි.
දෙදෙනෙකුට නම් අවශ්‍ය වෙන්නේ බියර් බෝතල් දෙකකි. තිදෙනෙකු සිටී නම් සමහර විට බෝතල් හතරක් වුවමනා වේ.
වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපී!
කා බී අවසාන වූ පසු, ඇත්තටම, බී කා අවසාන වූ පසු, හිස් බෝතල් කිහිපය කුස්සියෙන් එපිට තිබුණු විවෘත ගරාජයේ පසුපස තැන්පත් කරන්නේ, යළි දිනක බියර් ගැනීමට නුගේගොඩ යන විට රැගෙන යන්නට ය.
වසර තිස් එකක් තිස්සේ විකාශය වෙන
"නේබර්ස්" නම් වූ ඕස්ට්‍රේලියානු ටෙලිවිෂන් මාලා නාට්‍යයේ් කොටස් කිහිපයක් අපේ නිවසට මුලින් ම ටෙලිවිෂන් යන්ත්‍රයක් ගෙනා 1991 දී පමණ මා නැරඹූවෙමි.
එහිදී මා දුටු දර්ශනයක් වූයේ, අසල්වැසියෙකු නිවසට පොඩි කතාබහකට හෝ පැමිණි විට, "යූ වොන්ට් එ බියර් මේට්?" යැයි අසන නිවසේ වැසියා කෙළින් ම ශීතකරණයේ දොර හැර කුඩා බියර් කුප්පි දෙකක් හෝ කෑන් දෙකක් ගෙන එකක් අසල්වැසියා වෙත විසි කරන ආකාරයයි. ඉන් පසු ඔවුන් දෙදෙනා ඒ කුප්පි හෝ කෑන් විවර කර ගෙන, කට තියා බොති.
හිස් බෝතල් රැගෙන නුගේගොඩ අරක්කු කඩේ යෑම් නැත. කට ගැසුම් සෑදීමක් නැත. වීදුරු භාවිතයක් නැත.
"මරු නේ!" ඒ දර්ශන දුටු මට සිතුණි.
ඒ දිනවල ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීම මා අයැදුම් පතක් ඉදිරිපත් කර තිබුණු නිසා, කෙදිනක හෝ එහි ගිය පසු, බියර් බොන ආකාරය මා නෙත් ඉදිරියේ මැවී පේන්නට පටන් ගත්තේ ය.
-රසිකොලොජිස්ට්
ප/ලි:
අනතුරු හැඟවීමයි. බියර් පමණ ඉක්මවා බීමෙන් බඩ වැඩිවීමටත්, ශරීර සෙෘඛ්‍යය පිරිහීමට් ඉඩ ඇත.
(image: https://en.wikipedia.org/wiki/Beer)