Sunday 26 February 2017

දත් දොස්තරෙකු මට කළ හදියක මහත! - Oh, those torturers!


දත් දොස්තරෙකු මට කළ හදියක් නිසා මා මේ දිනවල සිටින්නේ තරමක දුකෙනි. තව දින දෙක තුනක් මේ තත්වය පවතිනු ඇත!

නමුත් හැම කළු වලාකුළක ම රිදී රේඛාවක් තිබෙන්නා සේ, මේ හදිය නිසා හෙළිදරව් වුණු මගේ ආත්ම ශක්තිය ගැන මට දැඩි සතුටක් ද ඇත.

කතාව මෙයයි.

මගේ දත් වහල්ල පෙන්වීමට ගමේ දත් දොස්තර වෙතට ගිය දිනයක, ඔහු මා අසල නගරයේ පිහිටි විශේෂඥ දන්ත ශල්‍යාගාරයේ දොස්තරෙකු වෙත යොමු කළේ මගේ මුඛයේ විදුරුමස් නමින් හැඳින්වෙන කොටස පිළිබඳ ප්‍රතිකාර කිරීමටයි.

මේ විශේෂඥ විෂයය හැඳින්වෙන්නේ පෙරියොඩොන්ටික්ස් නොහොත් පරිදන්තවේදය නමිනි.

මා එහි ගිය මුල් දවසේ, මගේ දත් වහල්ලේ ඉතිරි වී ඇති දත් ගොන්න ගැන බලා, ඒ එකින් එක පිළිබඳ සටහන් රාශියක් ලියා, එක්ස්-රේ රාශියක් ද ගත් ඔහු මා ඩොලර් දෙසිය පනහකින් පමණ දුප්පත් කළා පමණක් නොව, මගේ දත්වල විදුරුමසට යටින් ඇති කොටස් දිරායාම වැළැක්වීම සඳහා දත්වල ඒ කොටස් විශේෂ පිරිසිදු කිරීමකට ලක් කළ යුතු බවත් පැවසීය.

මේ පිරිසිදු කිරීම, කටේ එක් පසක් පමණක් එක් දිනක බැගින් සතියක පරතරය සහිතව දින දෙකකදී කළ යුතු බවත්, එසේ කරන්නේ සීමිත නිර්වින්දනය යටතේ බවත් මට දැන්වීය. වෙනත් විකල්පයක් නොතිබුණු බැවින්, පොකැට්ටුව හිල්වීම ගැන නොසිතා (එක දතකට ගාස්තුව ඩොලර් හැට පහකි!) දින වෙන් කර ගතිමි.

ඒ මුල් දිනය වූයේ පසුගිය සඳුදා ය.

උදේ වරුවේ අඩ පැයක පමණ කාලයක දී සිදු කෙරුණු මෙම කාර්යය සඳහා දවසක් ම ලෙඩ නිවාඩු දැමීමට සිදුවීම, නිර්වින්දක ඉන්ජෙක්‍ෂන් වේදනාව, නිර්වින්දිනය කෙසේ වෙතත් විදුරුමස් අස්සේ කටු ගසමින් හූරණ විට දැනුණු වේදනාව, කටේ අඬුපඬු ගසා සිටියදී හුස්ම ගැනීම ආදී කටයුතු නිසා ඇති වූ වේදනාව, ඩොලර් අටසීයකින් දුප්පත් වීමේ වේදනාව වැනි කිඹුලන් කන වේදනා සියල්ල ඌයි නොකියා ඉවසා සිටිය ද අවසානයේ දී මහා දරුණු කොහිල කටුවක් ඇනුණි!

ඇන්ටිබයෝටික් නොහොත් ප්‍රතිජීවක ඖෂධ දෙකක් ෆාමසියෙන් මිලට ගැනීම සඳහා බෙහෙත් වට්ටෝරුවක් ලියා දුන් ඔහු ඊළඟට කීවේ මෙයයි.

"රසික, මේ අද කළ ගැඹුරු පිරිසිදු කිරීමෙන් පසු ඔබේ විදුරුමස්වලට ආසාදන ඒම වළක්වා ගැනීම සඳහා මේ බෙත් වර්ග දෙක සතියක් එක දිගට නොකඩවා ගන්න. ඒ අතරතුර කිසි ලෙසකින් මත්පැන් පානය කරන්න එපා!"

ඌයි!

සතියේ සාමාන්‍ය දවස් අමතක කරමු.

නමුත්,

සිකුරාදා කලාකාමී මිතුරන් පිරිසක් මුණ ගැසී රංගකලාව පිළිබඳ සාකච්ඡාවක් කිරීමට තිබේ.

ඌයි, ඌයි!!

සෙනසුරාදා සවස නිවාඩු පාඩුවේ නිවසට වී සිනමා සිත්තමක් නැරඹීම වැනි විනෝදාත්මක යමක් කිරීමට සැලසුමක් ද තිබේ.

ඌයි, ඌයි, ඌයි!!!

ඉරිදා සවස උපන්දින සාදයක් ද තිබේ.

ඌයි, ඌයි, ඌයි, ඌයි!!!!

දත් දොස්තරෙකු මට කළ හදියක මහත එසේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ලෙඩ රෝග, බේත් හේත් සමග සෙල්ලම් නැත.

මම තවමත් සිල් බිඳ නොගෙන හොඳ ළමයෙකු ලෙස සිටිමි. මගේ ලොකුම ජයග්‍රහණය වූයේ, සිකුරාදා පැවති කලාකාමී මිතුරු සාදයට සහ සාකච්ඡාවට සහභාගී වී අමුවෙන් ම නිවසට පැමිණීමයි.

ප/ප/ලි:
යළිත් වරක් මාර්තු පළමුවෙනිදා දත් වහල්ලේ ඉතුරු අර්ධය සඳහා මේ ප්‍රතිකර්මය ලබා ගැනීමට යා යුතුව ඇත. නැවතත්, සතියක් පුරා මේ බෙහෙත් ම ගත යුතු වෙනු ඇත!


අපොයි!!

(image: http://www.joblo.com/movie-news/director-bryan-singer-shares-magnetos-tools-implying-there-will-be-either-torture-or-dental-work-in-x-mendofp)

Wednesday 22 February 2017

400. තෙල් ටැංකි වස්තුව සහ අනුකලනය - Mathematics is useful but not for me


මගේ මතකයේ පතුලේ දිගු කලක් සැඟවී තිබී හදිසියේ ම උඩට මතුවුණු මේ කතාවට වෙනදා මෙන් පෙර-පසු සම්බන්ධකම් දැනට නැති නමුත් පසුව අතුරු කතාවක් දෙකක් ලියවෙන්නට ද ඉඩ තිබේ.

මේ සිදුවීමට අදාළ කාලයේ මා සිටියේ රජයේ සංස්ථාවක මැවිසුරුවෙකු ලෙස සේවය කරමිනි. ආයතනයේ, අපේ අංශයේ ම සේවය කළ කාන්තාවක් වූ ජයංගනී දිනක් මගෙන් උදව්වක් ඉල්ලා සිටියා ය. ඒ, මගේ මතකයට අනුව කාර්මික අංශයේ කිසියම් වෘත්තියක නිරතව සිටි, ඇගේ සැමියා, සුරංග, වෙනුවෙනි.

සුරංග ගේ සේවා ස්ථානයේ සිලින්ඩ්‍රිකාකාර තෙල් ටැංකියක් තිරස් (Horizontal) අතට පොළොවේ වල ලා තිබේ ලු. බවුසරයකින් අවශ්‍ය පරිදි ගෙන එන තෙල් මෙහි ගබඩා කරන අතර වැඩපොළේ විවිධ කර්තව්‍යයන් සඳහා පොම්පයක් හරහා නිතිපතා තෙල් ලබා ගන්නේ මේ තෙල් ටැංකියෙනි.

ටැංකියේ මතුපිට සිට ගන්නා මිනුමකින් එය කෙතරම් ගැඹුරට හිස්ව ඇත්දැයි දැන ගැනීමට ක්‍රමයක් එහි ඇති අතර ටැංකියේ දිග සහ විෂ්කම්භය ද අදාළ ලේඛනවලින් සුරංග විසින් සොයා ගෙන ඇත. නමුත් නිසි කලට, නිසි ප්‍රමාණයෙන් තෙල් ඇණවුම් කිරීම සඳහා පෙර කී මිනුම සහ ටැංකියේ මූලික දත්ත අනුසාරයෙන් එහි තෙල් ලීටර් කොපමණ ප්‍රමාණයක් තිබේ ද යන්න නිශ්චිතව දැන ගැනීමට ක්‍රමයක් සුරංගට නැත.



ජයංගනී මට කී ආකාරයට, සුරංගට අවශ්‍යව ඇත්තේ තිරස් අතට වල ලා ඇති ටැංකියේ උඩ සිට කොපමණ සෙන්ටිමීටර් ප්‍රමාණයක් හිස්ව තිබේදැයි මැන සොයා ගත් පසු ඒ ප්‍රමාණයට හිස්වූ ටැංකියේ තවත් තෙල් ලීටර් කීයක් ඇති දැයි සොයා ගැනීමට පහසු ක්‍රමවේදයකි.

ටැංකිය වළ ලා ඇත්තේ සිරස් (Vertical) අතට නම්, මෙය තරමක් පහසු වැඩකි. මක් නිසා ද යත්, එවැනි ටැංකියක ඇති තෙල් සැම විටම ගන්නේ සිලින්ඩ්‍රිකාකාර හැඩයක් බැවිනි.

නමුත්, මේ ටැංකිය පිහිටුවා ඇත්තේ තිරස් අතට නිසා, එහි ඇති තෙල් ප්‍රමාණයේ හැඩය සැමවිටම ටැංකිය කොපමණ හිස්ව ඇති ද යන මිනුමට අනුව වෙනස් වෙන්නේ සරල රේඛීයව නොවේ.

උසස් පෙළ සඳහා ශූද්ධ ගණිතය හදාරා ඇති ඕනෑම අයෙකුට මේ ප්‍රශ්නය විසඳීම සඳහා අනුකලනය (Integration) උපයෝගී කර ගත හැකි බව වැටහෙනු ඇත.

ජයංගනී ගේ ඉල්ලීම ඉටු කිරීමට මා කළේ, ඒ සරල අනුකලන මොඩලය විසඳා, ටැංකියේ ඉතුරු වී ඇති තෙල් පරිමාව ටැංකියේ හිස් බව මනින මිනුමට අනුව සෙන්ටිමීටර් බාගෙන් බාගෙට වෙනස්වන ආකාරය සහිත වගුවක් සැකසීමයි.

මේ කාලයේ අපේ ආයතනයේ පීසී (PC) නමින් හැඳින්වෙන ක්‍ෂුද්‍ර පරිගණක (Micro Computer) නොතිබුණු අතර ගිණුම් කටයුතු සඳහා භාවිතා කළේ Wang නම් මිනි-කොම්පියුටර් පද්ධතියකි (Mini Computer System). එහි බොහෝ වැඩ කටයුතු කෙරුණේ කොබෝල් නමැති පරිගණක භාෂාවකිනි.

මා දන්නා කොබෝලයක් නැත. නමුත්, වාසනාවකට මෙන් මේ මිනි-කොම්පියුටරයේ බේසික් (Basic) නමැති පරිගණක භාෂා කම්පයිලරයක් ද විය.

මම ජයංගනී ගේ සැමියා සුරංග ගේ ගැටලුව විසඳීම සඳහා බේසික් ප්‍රෝග්‍රෑමයක් ලිව්වෙමි. ඒ ප්‍රෝග්‍රෑමය ක්‍ර්‍රියාත්මක කළ විට අදාළ දුර-පරිමා වගුව මුද්‍රණය වෙන ආකාරයට ය.
එලෙස මුද්‍රණය වන වගුවේ අවසාන පේළිය ලෙස මම මේ වගන්තිය ඇතුළත් කළෙමි.

Programmed by: Rasika H. Suriyaarachchi

මා මුද්‍රණය කර දුන් වගුව ජයංගනී ස්තුති පූර්වකව භාර ගත්තා ය.

එදා සේවය නිමවා නිවසට යාමට පෙර කතුරක් අතට ගත් ජයංගනී, මගේ නම ඇතුළත් වගුවේ අවසාන පේළිය සහිත කොටස කපා කුණු බක්කියට දමනු මම නෙත් කොනකින් දුටුවෙමි.

ඇය එසේ කළේ, එදා නිවසට ගොස් මෙන්න මං ඔයා ගේ ප්‍රශ්නය විසඳුවා කියා මා සාදා දුන් වගුව පෙන්වා සැමියාගෙන් ලකුණු ලැබීමට නොව, සුරංග ඒ වගුව ඔහු ගේ සේවා ස්ථානයේ ප්‍රයෝජනය සඳහා ගෙන යෑමට නියමිත නිසා, මගේ නම ඉවත් කිරීමෙන් සුරංගට සේවා ස්ථානයේ දී ලකුණු ලබා ගැනීමට හැකි නිසා යැයි සිතා මම නිහඬව සිටියෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අනුකලනය ගැන පරණ කතාවක් සිහිවිය!

උසස් පෙළ ශුද්ධ ගණිතය පන්තියේ දී ලියූ මගේ කවියෙන් කියවෙන අදටත් වලංගු යතාර්ථය - Maths and law, not a good mix? :: https://rasikalogy.blogspot.com/2015/04/maths-and-law-not-good-mix.html

ප/ප/ලි
මේ රසිකොලොජියේ 400 වෙනි ලිපියයි!

(image: http://www.oiltanksolutions.com/dispose-oil-tank/)

Friday 17 February 2017

උදේට උම්මා, හවසට උම්මා - බැඳපු අයට උපදෙසක් :: My advice to married couples


ජීවිතයේ මුල් වතාවට මා කෙල්ලෙකු සිප ගත් දිනය මට අද මෙන් මතක ය.

ඒ මගේ වයස දාසයයි මාසයේ දී නම් නොවේ. මා ඒ වන විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුවෙකි. ඇයත් මාත්, අප දෙදෙනා, ඒ මොහොතේ සිටියේ කාන්තා නේවාසිකාගාරයක ආලින්දයේ කුළුණක් අසල ය.

පඩිපෙළ දිගේ කන්ද බැස, ගලහ පාරට එළැඹ, සරසවි උද්‍යානය ඔස්සේ පැමිණ, පටු පාලමෙන් මහවැලිය තරණය කර අක්බාර්-නෙල් ශාලාවට මා එදා ගියේ ඇවිදගෙන නොව පියාසර කරමින් විය යුතුයි.

ඇත්තටම මා එදා කර තිබුණේ නියමාකාරයේ සිප ගැනීමක් නොව, තරමක් දුරට හපා කෑමක් වැනි දෙයකි. මා ඒ බව දැනගත්තේ පසු කලෙක නිවැරදිව සිප ගන්නා ආකාරය පිළිබඳව පාඩමක් ඉගෙන ගත් දිනයේ ය.

ඒ කනගාටුදායක කාරණය කෙසේ වෙතත්, සිප ගැනීම යනු ලෝකයේ ඇති සුන්දරම අත්දැකීමක් බව අවිවාදාත්මක ය.

ඒ සුන්දරත්වය උපරිමයෙන් දැනෙන්නේ මා කී ආකාරයේ මුල් ම මුල් දිනයේ දී ය. එතැන් පටන් විවාහ වෙන්නට පෙරාතුව පෙම්වතිය සීමා සහිතව හමුවන කාලයේ දී ද, අඩු වැඩි වශයෙන් ඒ මිහිර පවතී.

විවාහ වූ පසු, දැන් ඉතිං නීතියෙන් ම, ඇයට මාත්, මට ඇයත් හිමි නිසා, සිප ගැනීමේ ආශ්චර්යය ටිකෙන් ටික ගිලිහී යන්නට පටන් ගනී.

කොටින් ම සිප ගැනීම යනු පෙර-කෑමක් හෙවත් ඔන්ට්‍රේ (entrée) එකක් පමණක් බවට පත්වේ.

එ කිස් ඊස් ඇන් ඇප්ලිකේෂන් ඇට් ද ටොප් ෆ්ලෝර් ෆො එ ජොබ් ඇට් ද බේස්මන්ට් (A kiss is an application at the top floor for a job in basement) කියා කියන්නේ ඒ නිසා ය.

මීට දශකයකට පමණ ඉහත දිනයක ඉන්දියානු කඩයකින් මිලට ගත් පැරණි හින්දි චිත්‍රපටයක් නරඹමින් සිටියෙමි. මේ චිත්‍රපටයේ නම කුමක්දැයි මට නිවැරදිව කිව නොහැකි මුත්, එහි අඩංගු වූ කතා වස්තුවේ ගුවන් නියමුවෙකු මිය ගොස් එතැන් සිට ඔහුට දාව උපන් තම දරුවා රැකබලා ගන්නා කාන්තාවක ගේ චරිතයක් ඇතුළත් වූ බව මගේ මතකයයි.

තවත් විස්තරයක් එකතු කරනවා නම්, ඒ මව තම පුතා නළවමින් කියන දරු නැළවිලි ගීයේ තාලයට ම "චන්ද්‍රා වාගේ මෙ රෑ නීළඹරේ හී" යනුවෙන් ගැයෙන සිංහල දරු නැළවිලි ගීයක් ද ඇත.

මේ චිත්‍රපටයේ ගුවන් නියමුවා මිය ගිය පුවත ලැබුණු පසු මට එක්වරම සිහිවූයේ, ඔහු එදින සේවය සඳහා පිටත්ව ගියේ තම බිරිඳට යාන්තම් මං ගිහින් එන්නම් වැනි දෙයක් පමණක් පවසා බවයි. මා ඒ බව වීඩියෝවේ ඒ මොහොත නැවතත් වරක් නරඹා තහවුරු කර ගත්තෙමි.

ඒ තමන්ට තම බිරිඳදක්නට ලැබෙන අවසාන දිනය බව ඔහු කිසිසේත් ම දැන සිටියේ නැත. ඒ බව ඔහු දැන සිටියා නම් ඒ සමුගැනීම කෙතරම් වෙනස්වන්නට නොතිබුණේ ද කියා මට ඒ මොහොතේ සිතුණි.

ඒ සමගම මට සිහිවූයේ ඉඳහිට දවසක් ඇය හෝ මා නිවසෙන් පිටත්වන විට සිපගෙන සමුගත්තත්, නිවසට ළඟා වූ පසු සිපගෙන පිළිගත්තත්, මගේ බිරිඳ සහ මා බොහෝ විට අප නිවසෙන් පිටත්ව යන මොහොත සහ නිවසට ළඟා වෙන මොහොත එතරම් වැදගත් ලෙස නොසලකන බවයි.

වහාම ඒ තත්වය වෙනස් කර, සිපගෙන සමුගැනීමේ සහ සිපගෙන පිළිගැනීමේ රෙජීමයක් ඇරඹිය යුතු යැයි මට සිතුණේ ඒ මොහොතේ දී ය.

ඒ සිතූ ආකාරය ම පසුදා සිට ඇරඹු ඒ වත්පිළිවෙත අද දක්වාම, මා හිතන ආකාරයට දශකය එකහමාරක් පමණ කාලයක් දැන් ක්‍රියාත්මකව පවතී!

දැන් ඉතින්, උදෑසන නිවසෙන් පිටවන මා පෙර කී සිනමාපටයේ ගුවන් නියමුවා මෙන් යළි කිසි දිනක නිවසට නොපැමිණියහොත්, අපේ චරිත රැගත් සිනමාපටය නරඹන රසිකයින්ට, මට පෙර දා ඇති වූ ප්‍රශ්නය පැන නොනඟිනු ඇත!

-රසිකොලොජිස්ට්

ප/ලි:
බැඳපු අයට මගෙන් උපදෙසක්:

සැමදාම නොවැරදීම ඔබේ සහකරුට/සහකාරියට උදේට උම්මා එකක් ද, සවසට උම්මා එකක් ද දෙන්න.

"ජොබ් ඇප්ලිකේෂන් ඇට් ටොප් ෆ්ලෝර්" කතා ඊට අමතරව ය.

(image: http://www.snopes.com/politics/obama/photos/kissing.asp)

Monday 13 February 2017

හතර මහ බැලුම් - පුතා ගැන කෙටි සටහනක් :: A note about my son


මෙය පුද්ගලික කරුණු රැගත් සටහනකි. නමුත් ඕනෑම පුද්ගලික විස්තරයක වුව ද පොදු වශයෙන් වැදගත් වෙන කරුණු යම් ප්‍රතිශතයක් තිබේ.

මේ සටහනේ ඒ ප්‍රතිශතය 50% ඉක්මවනු ඇතැයි සිතමි.

මගේ පුතා මොලොව එළිය දුටුවේ 2001 මැයි මාසයේ නමවෙනිදා ය. ඒ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යයේ, වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් පුරවරය තදාසන්නයේ ක්ලේටන් නම් නගරයේ පිහිටි රෝහලේ දී ය.

වික්ටෝරියාව, නිව් සවුත් වේල්සය, තැස්මේනියාව ආදී විවිධ ජනපද එකතු වෙමින් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යය බිහි වී ඇත්තේ ඊට වසර සියයකට පෙර 1901 වසරේ දී නිසා අපේ පුතාට සුවිශේෂී සැලසුමකින් යුතු උප්පැන්න සහතිකයක් ද ලැබුණි.

දරුවෙකු පිළිසිඳ ගැනීම පිළිබඳ ආරංචිය සිතට කෙතරම් සතුටක් ගෙන ආව ද, ඒ දරු උපත සිදුවන්නේ මැයි මාසයේ දී බව දැනගත් විට නම් මගේ සිතට එක්තරා ආකාරයක දුකක් දැනුණි.

එයට හේතුව මෙසේ ය.

ඕස්ට්‍රේලියාවේ නව පාසල් වසර ඇරඹෙන්නේ ජනවාරි මස අවසන් දින කිහිපයෙන් එකක දී ය. තවත් විස්තර කළ හොත් ඒ දිනය ජනවාරි මස 26 වෙනිදාට යෙදෙන ඕස්ට්‍රේලියානු ජාතික දිනය සැමරීමේ නිවාඩු දිනයට දිනයකට පමණ පසුව එන සතියේ දිනයක් වේ.

ලංකාවේ මෙන්ම පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් බල පවත්වන වික්ටෝරියානු රජයේ නීතිවලට අනුව ළමයෙකුට නව පාසල් වසරේ දී පාසල් යාමට සාමාන්‍යයෙන් අවසර ලැබෙන්නේ වයස වසර පහක් සම්පූර්ණ වීමෙන් පසුව ය.

ලංකාවේ නව පාසල් වසර ඇරඹෙන්නේ ජනවාරි මස මුල සතියේ නිසා, ඒ අවුරුදු පහේ නීතියට අනුව තම උපන් දිනය දෙසැම්බරයෙන් පසු යෙදුණු අයට පාසල් අධ්‍යාපනය ඇරඹීමට අන් අයට වඩා වැඩිපුර කාලයක් බලා සිටීමට සිදුවේ. ලංකාවේ දී මේ සීමාවට පුරා මාසයක සහන කාලයක් ද එකතු කොට කඩඉම ජනවාරි 31 දක්වා කල් දමා තිබේ.
මොන සහනයක් ලබා දුන්නේ වුවද, උපතින් එක් දිනයකින් පමණක් වෙනස් වූ (ජනවාරි 31 සහ පෙබරවාරි 1) ළමුන් දෙදෙනෙකු එකිනෙකා හා වසරක පරතරයක් ඇතුව තම අධ්‍යාපනය ඇරඹීම වැළැක්විය නොහැක.

මගේ මල්ලිලා දෙදෙනාගෙන් බාලයා ඉපදුණේ මාර්තු මාසයේ ය. ඒ දිනවල ලංකාවේ පාසල් යාම ඇරඹීමේ අවම වයස වසර හයක් ලෙස නියම කර තිබුණු බැවින් මල්ලී පාසල් අධ්‍යාපනය අරඹන විට ඔහුට වයස හත සම්පූර්ණ වීමට අඩුව තිබුණේ දෙමසක් පමණි!

මෙහිදී වික්ටෝරියානු ප්‍රාන්තය ලංකාවට වඩා වෙනස් වෙන කාරණය නම්, පෙර සඳහන් කළ ආකාරයේ සහන කාලයක් ද සහිතව, වසර පහ සම්පූර්ණ විය යුතු දිනය අප්‍රියෙල් මස තිස්වෙනිදා ලෙස නියම කර තිබීමයි.

දේශය, දීපය, මව සහ පියා යන සිව් මහ බැලුම් හොඳින් සොයා බලා ගලපාගෙන තිබුණු නමුත් අපේ පුත්‍ර රත්නය මෙලොව එළිය දකින්නට සැලසුම් කර තිබුණේ ඒ පාසල් ඇරඹීමේ සහන කාලය අවසාන වී එළැඹෙන වෙසක් මාසයේ දී වීම, මා මුලින් සඳහන් කළ මගේ දුක්ඛප්‍රාප්තියට හේතුව විය.

එදා සිදුහත් පැටියා කළාක් මෙන් තම උපත වෙසක් මාසය වෙනතුරු කල් නොදමා, අඩු වශයෙන් දවස් නමයකට කලින් බක් මාසයේ දී මෙලොව එළිය දුටුවා නම් අපේ පැටියාට 2006 ජනවාරි මස අග දී පාසල් අධ්‍යාපනය ඇරඹිය හැකිව තිබුණි. දින නමයේ ප්‍රමාදය නිසා දැන් ඒ සඳහා 2007 ජනවාරි මස අවසානය වෙන තුරු වැඩිපුර වසරක් බලා සිටින්නට සිදුවේ.

එපමණක් නොවේ.

පුතා පුර්ණකාලීන අධ්‍යාපනය නිමවා පූර්ණකාලීන රැකියාවක් ඇරඹීම ද වසරකින් ප්‍රමාද වේ. ඔහු ගේ විශ්‍රාම වයස එළැඹෙන විට ගෙවා ඇති සේවා කාලය ද, වසරකින් අඩු ය.
ඔහුට ඒ කාලයේ දී සිදුවන පාඩුව මිලියන් කිහිපයක් වීමට ඉඩ ඇත.

නමුත්, ඒ සියල්ල මාස හයක් වැනි සුලු කාලයක් ඇතුළත වෙනස් විය.

එතෙක් මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ගත කළ ගන්ධබ්බ ජීවිතය හැර දැමූ මම, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයේ රැකියාවක් සඳහා ගිවිසුම් අත්සන් කර, සුතනඹුවන් ද සමග උතුරට සංක්‍රමණය කළෙමි.

වසර සියයකට පෙර ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යය බිහි වීමෙන් පසුව ද, පාසල් අධ්‍යාපනය ප්‍රාන්ත රාජ්‍යවල විෂයක් ලෙස දිගටම පැවතෙන නිසා, පාසල් අධ්‍යාපනය ඇරඹීමේ අවම වයස් සීමාව සඳහා දී ඇති සහන කාලය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් බවත්, අප පදිංචි වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඒ කඩ ඉම ජූනි 30 දින බවත් පසක් වූ දින මා පෙර කී දුක්ඛ චිත්තයෙන් මිදී ආහ්ලාදයට පත් වුණෙමි.

පුතා 2006 ජනවාරි 30 දින, වයස අවුරුදු හතරයි මාස අටක ළමයෙකු ලෙස තම පාසල් ගමන ඇරඹී ය.

-රසිකොලොජිස්ට්

Wednesday 8 February 2017

හොමෝෆෝබික් දොස්තරලා! - Homophobic doctors


මිනිසා ඇතුළුව ලොව වසන අනෙකුත් සත්ව ප්‍රභේද සියල්ලේ ම පාහේ ශරීර නිර්මාණය වී ඇත්තේ තම වර්ගයා ගේ ඉදිරි පැවැත්ම සඳහා ම බව පිළිගත් සත්‍යයකි.

උදාහරණයක් ලෙස, කාන්තාවක ගේ තොල් පෙති පරිණාමනය වී ඇත්තේ හුදෙක් මුව වසා ආරක්‍ෂා ගැනීමට නොවේ. එය කාන්තා ලිංගෙන්ද්‍රියේ සංකේතයකි. එසේ ම කාන්තාවක ගේ පියයුරු යුගල නිර්මාණය වී ඇත්තේ දරුවෙකුට කිරි දීම සඳහා නොවේ. එය ද, ලිංගික එක්වීම සඳහා උත්තේජනය සැපයීම පිණිස, පශ්චාත් ප්‍රදේශයේ හැඩරුවට වාත්තු කෙරුණු අවයවයකි.

ඒ කරුණු මැනවින් විස්තර කර තිබුණේ, අප කුඩා කළ කියවූ ඩෙස්මන් මොරිස් ගේ නේකඩ් ඒප් සහ හියුමන් ඩ්සූ ග්‍රන්ථ ද්වයේ බන්දුසීල පරිවර්තන වූ නිරුවත් වානරයා සහ මනුසත් උයන යන ග්‍රන්ථයන් හි ය.

වැඩි දුරටත් මේ ගැන සලකා බලන කළ, මිනිස් ජීවිතයේ සෑම කාර්යයක් ම කෙරෙන්නේ ලිංගික ක්‍රියාවලිය, ප්‍රජනනය සහ ඉදිරි පරපුර බෝ කිරීම සඳහා ය. කොටින් ම, අප හොඳින් ඉගෙන ගත යුත්තේ ද, වඩා හොඳ ජීවන තත්වයක් ලබා ගෙන, වඩා හොඳ සහකරුවෙකු ආකර්ෂණය කොට ගෙන, වඩාත් හොඳින් ලිංගික ක්‍රියාවලියේ යෙදී, තත්වයෙන් වඩා උසස් ඉදිරි පරම්පරාවක් බිහි කිරීම සඳහා බව කිව හැක.

මෙහි දී අදාළ වෙන එක් අනිවාර්ය කොන්දේසියක් තිබේ.

එනම්, පරපුර බෝ කිරීම සඳහා ලිංගික ක්‍රියාවලිය සිදුවිය යුත්තේ විරුද්ධ ලිංගිකයින් අතර ය. එනම් ගැහැනියක සහ මිනිසෙකු අතර ය.

එය ස්වභාව ධර්මයේ පොදු අවශ්‍යතාවයි.

නමුත්, අප වසන ලෝකය එසේ ගැහැනුන්ට සමග ලිංගිකව එක්වීම ප්‍රිය කරන පිරිමින්ගෙන් සහ පිරිමින් සමග ලිංගිකව එක්වීම ප්‍රියකරන ගැහැනුන්ගෙන් පමණක් මුළුමනින් ම සමන්විත වූ එකක් නොවේ.

පිරිමින් ප්‍රිය නොකරන නමුත් ගැහැනුන් ප්‍ර්‍රිය කරන ගැහැනුන් ද, ගැහැනුන් ප්‍රිය නොකරන නමුත් පිරිමින් ප්‍රිය කරන පිරිමි ද, මේ ලෝකයේ ස්වාභාවිකව ම බිහි වී සිටිති. එසේම වෙනත් ආකරවල මිශ්‍ර කොටස් ද සිටිති.

එම පිරිස් සමකාමී නැතහොත් හොමෝසෙක්ෂුවල් ලෙස හැඳින්වෙන බව අපි දනිමු.

සමකාමීත්වය ස්වභාව ධර්මයේ විකෘතියකට වඩා, ස්වභාව ධර්මයේ ම කොටසක් ලෙස හඳුන්වා දීමට මම කැමැත්තෙමි.

මැවුම්කාර මිථ්‍යා දෙයියෙකු ගේ නොපෙනෙන හෙවණැල්ලට මුවා වී පුරාතන යුරෝපයේ තම ඒකාධිපති බලය පතුරුවාගෙන සිටි කතෝලික පල්ලිය ද, ඒ ආකාරයේ ම ඒබ්‍රහාමික දෙවියෙකු අදහන ඉස්ලාම් ඇතුළු අන් බොහෝ ආගම් කල්ලි ද, දෙවියන් විසින් පිරිමියා ද, ගැහැනිය ද වෙන වෙන ම නිර්මාණය කර මිනිස් වර්ගයා බෝ කිරීමේ කර්තව්‍යය භාර දුන් බව විශ්වාස කරමින්, එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් වන සමකාමීත්වයට එකහෙළා විරුද්ධ වූහ. අද ද ඒ බොහෝ පිරිස් සමකාමීත්වයට විරුද්ධ වෙති.

එසේ ආගමික හෝ වෙනත් හේතු මත සමකාමීත්වයට විරුද්ධ වූ ආකල්ප දරණ පිරිස් මෙන් ම, සමකාමීත්වය පිළිබඳව පිළිකුලක් හෝ බියක් ඇති පිරිස් ද, හෝමෝෆෝබියා
ලෙසින් හැඳින්වෙන මානසික ව්‍යාධියකින් පෙළෙන අය ලෙස සැලකේ.

විවිධ සංස්කෘතිකමය හේතු නිසා, අප බොහෝ දෙනෙකු අතර මෙකී හෝමෝෆෝබියාව විවිධ මට්ටමෙන්, අඩු වැඩි වශයෙන්, පවතින බව කිව හැක. නමුත්, නිවැරදි අධ්‍යාපනය මගින් ඒ මානසික ව්‍යාධියෙන් ගැලවිය හැකි බව මම දනිමි.

හොමෝෆෝබියාවෙන් පෙළෙන්නෙකුට වුව ද, තමන් සමකාමීත්වයට විරුද්ධ වීමෙන් ඇත්තටම කරන්නේ වෙනත් මානවයෙකු ගේ මානව හිමිකමකට විරුද්ධ වීම බව වටහා ගැනීමට හැකියාවක් තිබිය යුතුය. එසේ නොමැති අය සත්ව කොට්ඨාශයක් ලෙස වඩාත් සමානවන්නේ අමනුෂ්‍යයින්ට බව මගේ අදහසයි.

හෝමෝෆෝබියාවෙන් පෙළෙන ඇතමුන්, සමකාමී හෙවත් හෝමෝසෙක්ෂුවල් පිරිසේ අයිතිවාසිකම් ගැන කතා කරන සමකාමී නොවන අය සමග කතා බහේ දී යොදා ගන්න එක් විසුළු තර්කයක් ඇත.

එය නම්, ඔය හොමෝසෙක්ෂුවල් වැඩේ බරපතලකම ඔහේට තේරෙයි ඔහේ ගේ පුතෙකු හරි දුවක හරි හෝමෝසෙක්ෂුවල් වුණොත්! යන්නයි.

ලංකාවේ දේශපාලන පක්‍ෂ පිළිබඳව සැලකුව හොත්, පසුගාමී, මනාප ලෝලී පක්‍ෂ කෙසේ වෙතත්, පෙරටුගාමී චින්තනයක් ඇති පක්‍ෂ සමකාමීත්වය පිළිබඳ මානව හිතවාදී අදහසක් දරනු ඇතැයි මම අපේක්‍ෂා කළෙමි. ඒ අනුව, අතීතයේ දී මානව හිමිකම් කඩමින්, ගල්කටස්, ටී-56, ජාතිවාදී දේශපාලනයක නිරත වුව ද, ජනතා විමුක්ති පෙරමුණ අංශු මාත්‍රයක හෝ පෙරටුගාමී චින්තනක් ඇති පක්‍ෂයක් යැයි මම සිතුවෙමි.

එසේ වුව ද, ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු සහ අධ්‍යාපන සුදුසුකම් අනුව දොස්තරෙකු ද වන නලින්ද ජයතිස්ස නමැත්තෙකු, තම විමුක්ති නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙද්දී කළ සමකාමී අයිතිවාසිකම් පිළිබඳ හොමෝෆෝබික් ප්‍රකාශයක් අසා මගේ ඒ අදහස නිවරද නොවන බව වැටහී ගියේ ය.

නලින්ද ජයතිස්ස නමැත්තා ගේ ප්‍රකාශය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හයිරාකියේ ඊට ඉහළින් සිටින නායකයින්ගෙන් සද්ද බද්දයක් නොනැගීම ඒ තත්වය තහවුරු කරන්නට හේතු විය.

මේ ලිපිය ලියන්නට මූලික හේතු වූ උත්ප්‍රාසාත්මක සිදුවීම මෙසේ ය.

ෆේස්බුක් සහ බ්ලොගින් වැනි සයිබර් කටයුතු නිසා මා හඳුනා ගත් එක්තරා චරිතයක් සමග මම දිනක් සයිබරයේ චැනලයක් හරහා අදහස් හුවමාරු කර ගනිමින් සිටියෙමි.
මේ පුද්ගලයා ඉගෙනීමෙන් සහ වෘත්තියෙන් වෛද්‍ය ක්‍ෂේත්‍රයේ අයෙකි. එසේ ම, මා අනුමාන කරන පරිදි ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව යම් කිසි ආකාරයක සහයෝගයක් දක්වන්නෙකි.

කුමක් දෝ සංගීත වැඩ සටහනක් ගැන කතාබහක දී පෙර කී නලින්ද ජයතිස්ස නම් ජේවීපීකාරයා ගේ නම ඇදී ආවේ ය.

"නලින්ද ජයතිස්ස කියන්නේ අර හොමෝෆෝබියාවෙන් පෙළෙන ජේවීපීකාරයා නොවේද"" යැයි අසමින් මම සයිබර් මිතුරාට පහත ලිපියට ද පාදක වී ඇති නලින්ද ජයතිස්ස ඩේලි නිව්ස් පුවත්පත හා කර තිබුණු සම්මුඛ සාකච්ඡාව පිළිබඳව සඳහන් කළෙමි.

අපේ කතාබහේ ඊළඟ දෙබස් කොයි ආකාරයේ වූයේ දැයි අනුමාන කළ හැකි ද?

මේ වෛද්‍ය උපාධිධාරී, ජේවීපී සපෝටර් සයිබර් මිතුරා ද මගෙන් විමසූයේ මා මුලින් සඳහන් කළ විසුළු තර්කයයි.

"හිතට එකඟව පිළිතුරක් දෙන්න රසික. ඔබේ පුතා තවත් කොල්ලෙකු සමග සම්බන්ධයක් ඇති කර ගත්තොත් ඔබට මොනවාද හිතෙන්නේ?" ඔහු මගෙන් විමසීය.

"මං හැම විටම කතා කරන්නේ හිතට එකඟව තමයි. හිතේ එකක් තියාගෙන වෙන එකක් කීම හෝ කිරීම මා කරන්නේ නෑ."

"මගේ දරුවන් වැඩිවිය පත් වූ පසු ඔවුන් ගේ ලිංගික චර්යාවන් කෙරෙහි කිසිම බලපෑමක් කරන්නට මගේ කිසිම අදහසක් නෑ."

"අනික ඔය ප්‍රශ්නයම පසුගාමී එකක් නේද? ඒ කියන්නේ පිටට එකක් කියා තමන්ට සම්බන්ධව වෙනත් ක්‍ර්‍රියා කලාපයක් අනුගමනය කරන්නේදැයි මා නම් කිසිවෙකුගෙන් අහන්නේ නෑ!"

මම ඔහුට එලෙස කීවෙමි.

ඔහු සමකාමීත්වය ගැන සිතන්නේ -එය ක්‍රියාවෙන් ම හුරු වූවක් මිස ජීව විද්‍යාත්මකව පිහිටි චර්යාවක් කියා නොවන බව- මිතුරා මා සමග පැවසීය.

"ඔහේත් නලින්ද ගේ ඩිග්‍රියම ද කළේ?" මම ඇසුවෙමි!

"ඔව්" යැයි පිළිතුරු ලැබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කෙටුම්පත් කර තිබුණු මේ ලිපිය අවසන් කර ඉක්මනින් පළ කරන්නට තුඩු දුන්නේ සමකාමීත්වය සහ හෝමෝෆෝබියාව සම්බන්ධව රුවන් ජයතුංග ගේ බ්ලොගයේ පළ වූ පහත සාකච්ඡාවයි.
http://transyl2014.blogspot.com/2017/02/blog-post_74.html


(image:http://www.sunshinecoastdaily.com.au/news/embarrassing-bodies-doco-tests-shocking-gay-cures-/2203464/)

Monday 6 February 2017

xxන්න නිදහස - Exercising your freedom to think


ඊයේ ශ්‍රී ලංකාවේ 69 වෙනි නිදහස් සමරුව පැවැත්විණි.

සමහරුන්ට මෙය වැදගත් වූයේ 69 නිසා ය. ඒ වැට් 69 නම් විස්කි වර්ගය නිසා නොව වෙනත් 69 කි.

ෆෙස්බුක් හි කෙටි සටහනක් තබන බ්ලොග්කරු මෞර්ය රාජ් "මොනවා නැතත් හිතන්න නම් නිදහස අවශ්‍ය තරම් ඇත!" යැයි කියා තිබුණි.

"හිතුවට කමක් නෑ, ඒත් කට පියාගෙන සිටින්න" යැයි වෙනකෙකු එයට පිළිතුරු දී තිබුණි.

ලංකාවේ නිදහස් සැමරුම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ද ඊයේ පැවැත්වුණි. සාමාන්‍යයෙන් මේ උත්සවය සිනුවර පැවැත්වෙන්නේ පෙබරවාරි හතරවෙනිදා ම නොව, ඊට නුදුරුම සෙනසුරාදා දිනයේ ය. වසර ගණනාවකට පසු ඊයේ පෙබරවාරි හතර වෙනිදා සෙනසුරාදාවක් වී තිබුණි.

උත්සවය සංවිධානය කෙරුණේ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව විසින් සිඩ්නි නගරයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ සහභාගීත්වය ඇතුව සහ සංක්‍රමණික ලාංකික ජනතාව විසින් සිඩ්නි ප්‍රදේශයේ පිහිටුවාගෙන ඇති ප්‍රජා සංවිධාන කිහිපයක එකමුතුවෙනි. සිඩ්නි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ලාල් වික්‍රමතුංග ද, නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙපළක් ද උත්සවයට සහභාගී වී සිටියහ.

ඊයේ දහවල ෆේස්බුක් හරහා ලංකාවේ වාසය කරන මිතුරෙකු හා චැටක යෙදී සිට අවසානයේ "තව ස්වල්ප වේලාවකින් නිදහස් දින සැමරුමට යාමට තිබේ" යැයි මා පැවසූ විට, ඔහු, "කාගේ නිදහස ද සමරන්නේ"" යැයි පවසමින් "එදා සුද්දාගෙන් නිදහස ලැබුණේ මහ ජනතාවට නොවේ කළු සුද්දන්ට" යනා දී වශයෙන් දේශනයක් කිරීමට ඇරඹූ විට, "නෑ මං එහි යන්නේ උත්සව ශාලවේ අපේ ලේඛක සංගමය විසින් කරන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් ලියූ පොත් ප්‍රදර්ශනයේ රාජකාරි සඳහා ය" කියා ගැලවුණෙමි.

ඇත්තටම මා මගේ මිතුරාට කිව යුතුව තිබුණේ "මා සමරන්නේ ලංකාවෙන් ගැලවීමේ නිදහස ය" කියා ය. එසේ නම් එය සැමරිය යුත්තේ පෙබරවාරි නොව අප්‍රියෙල් මාසයේ මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ දිනයේ ය.

නමුත්, ඇත්තට ම මා එලෙස නිදහස් වී නැති බවත්, තවමත් අපේ ජාති(ක)වාදී අයියලා ගේ බුල්ෂිට් දෙපයට පෑගෙන බවත් මම දනිමි.

මෙන්න උදාහරණයක්.

ඊයේ ෆෙස්බුක් සමූහයක තම අදහස් දක්වන මිතුරෙකු මෙලෙස පවසා තිබුණි.
යාළුවෙක් එක්ක තේකක් බොන අතරෙ පොඩි චැට් එකක් දාන ගමන් ඌ මගෙන් ඇහුවා ලංකාවෙ උන් ජාතිවාදීන් විදියට පිල් බෙදිල මරාගන්න හදන එක නවත්වන මොකද්ද කරන්න ඕන කියල.

ඉතින් මම ඌට මෙන්න මෙහෙම කිව්ව.

"මචං, ලංකාවෙ මිනිස්සු ජාතිවාදය අවුස්සන් පිල් බෙදිල මරාගන්න හදන එක නවත්තන්නනම් උන්ට තේ බොන හැටි අලුතින්ම උගන්නන්න ඕන.

කොටින්ම සුහදත්වය ඇතිකරගන්න තේ කෝප්පෙකට තියන පවර් එක ගැන උන්ට කියල දෙන්න ඕන. සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් උන් එකට එකතු වෙලා තේ බොන සංස්කෘතියක් රටේ ඇති කරන්න ඕන. උන්ට තේකක් බොන ගමන් එකිනෙකා හඳුන ගන්න, අවබෝධ කරගන්න,අනෙකා තේරුම් ගන්න අවස්ථාව සලසලා දෙන්න ඕන. ඔය හිත්වල තියන කහට කැපිල යන්නත් එක්ක ඉඟුරු කෑල්ලක් එකතු කරගත්තත් වරදක් නෑ.
ඒ සමගම ඔහු ඒ අදහස ඇතුළත් පහත චිත්‍රය පළ කර තිබුණි.


මෙවැනි දේ දැකීම ඊනියා ජාතිකවාදී බයියන්ට "නයාට අඳුකොළ" මෙන් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉහත චිත්‍ර සටහන දැක මට මුලින් ම සිහිවුනේ කලකට පෙර ටැබූසබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා විසින් ලංකා ජාතික කොඩිය ජාතිවාදීන් විසින් දකින අයුරු පෙන්වමින් ඉදිරිපත් කර තිබුණු පහත චිත්‍රයයි.

සිංහයා තේ සාදන චිත්‍රය දැක කුපිත වූ ඊනියා ජාතිකවාදීන් විසින් ජාතික කොඩියට අපහාස කර ඇති බවට ලොකු ගාලගෝට්ටියක් කරද්දී ඇති වූ අදහස් හුවමාරුවේ දී වෙනත් මිතුරෙකු විසින් පහත දැක්වෙන රූප සටහන් ඉදිරිපත් කර තිබුණි.

නරඹා සතුටුවෙන්න.


(https://www.facebook.com/photo.php?fbid=10154203730717703&set=p.10154203730717703&type=3&theater)


(https://static1.squarespace.com/static/567c18b105f8e2f75c69a9eb/t/567dc63bd82d5e8736669835/1451091809819/Skiz's+original+logo.jpg)


(http://www.shawfundraising.com/wp-content/uploads/2016/01/shaw_widget3.png)


(http://www.währungsrechner.org/images/flags/lk.png)


http://images.clipshrine.com/wheel/medium-Flag-of-Sri-Lanka-0-106534.png


(https://thumb9.shutterstock.com/display_pic_with_logo/1425809/203317378/stock-vector-swimsuit-lettering-seascape-sun-inscription-summer-landscape-painted-on-a-bathing-suit-203317378.jpg)

ඔබටත් සියලු බැමිවලින් නිදහස ලැබේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
xxන්න නිදහස යනු හිතන්න නිදහස ය.

හිත වෙනුවට xx යෙදුවේ මට ඒ සඳහා නිදහස ඇති බැවිනි. වැරදි වැටහීම් ඇති වූවා නම් කනගාටුවෙමි!

ප/ප/ලි:
ජාතික කොඩිය ගැන මේ ජාතික චින්තනවාදීන් සහ ජාතිවාදීන් මෙතරම් කළබළ වෙන්නේ ඇයි කියා දන්නවා ද?

ඔවුන් තම මානසික නිරුවත වසා ගන්නේ මේ රෙද්දෙනි. එනිසා කිසිවෙකු ඒ රෙද්ද කඩනවාට උං කැමති නැත!

Friday 3 February 2017

තම නිර්මාණ සම්මාන සඳහා ඉදිරිපත් කීරීමෙන් ලේඛකයින් තත්වයෙන් බාල වෙනවා ද? - There is nothing demeaning about self nominating your creative work for awards!


පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තිබෙන්නා වූ සහ මත්තටත් තවත් ලියනට හිතේ ඇඳී ඇතිවාට සැක නැති මා මිත්‍ර අර්ධකාලීන ගත්කතුවරයෙකු මෙන්ම, "නීල චන්ද්‍ර" බ්ලොග්කරුවෙකු නිසා දෝ රූපවාහිනී සම්මුඛ සාකච්ඡා සහ පොත් එළිදැක්වීම් වැනි වැදගත් අවස්ථාවල දී ඒ තොප්පිය හිස ලෑම අමතක කරන සහෘද බ්ලොග්කරුවෙකු ද වන හෙන්රි වර්ණකුලසූරිය සහ මා අතර මෑත දවසක දී ෆේස්බුක් හි ඇති වූ කතාබහක් නිසා මේ ලිපිය ලිවීමට සිත්විය.

අපේ ඒ කතාබහට මූලාශ්‍රය සැපයූවේ 2016 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු ග්‍රන්ථ සඳහා රාජ්‍ය සම්මාන පිරිනැමීමට සලකා බැලීම සඳහා, ඒ අදාළ කෘතිවලින් පිටපත් දෙක බැගින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස පොත් ප්‍රකාශකයින්ගෙන් මෙන් ම ලේඛකයින්ගෙන් ද කෙරුණු ඉල්ලීමක් සහිත පුවතකි.

මෙතෙක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ සඳහා සලකා බැලීම සිදු කෙරුණේ, අයිඑස්බී අංකයක් ලබාගෙන මුද්‍රණය කළ පසුව එයින් රාජ්‍ය ලේඛණාගාරයට පිටපත් යැවූ ග්‍රන්ථ බව පොත් හතක් අටක් ලියා දා නැති අපි ද දනිමු. එසේ සලකා බැලෙන ග්‍රන්ථ ලයිස්තුව දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර තිබෙනු ද මා දැක ඇත.

පෙර කී පුවතට අනුව මෙවර මෙසේ ප්‍රකාශකයින්ගෙන් සහ ලේඛකයින්ගෙන් පසුගිය වසරේ ප්‍රකාශයට පත්කරන ලද ග්‍රන්ථ පිටපත් ලබා දෙන ලෙසින් ඉල්ලීමක් කර ඇත්තේ සමීක්‍ෂණ ක්‍රියාවලිය වඩාත් විධිමත් සහ කාර්යක්‍ෂම කිරීමේ අරමුණෙනි.

මා දැක ඇත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ මූලාශ්‍ර පුවත් නිවේදනය නොව, ඒ ගැන ලියවුණු පුවත් වාර්තාවක් පමණක් නිසා, තවමත් අපැහැදිලි කරුණක් නම්, මෙවර සම්මාන සඳහා ඔවුන් සලකා බලන්නේ මේ ඉල්ලීමට අනුව ලැබෙන ග්‍රන්ථ පමණක් ද, නැතහොත් වෙනදා අනුගමනය කළ ක්‍රියා මාර්ගය අනුව තව දුරටත්, ජාතික ලේඛණාගාරයට පිටපත් එවා ඇති පොත් ලයිස්තුව ද ඇතුළත් කරගන්නේද යන්නයි.

කෙසේ වෙතත්, වෙනදා සමීක්‍ෂණයට පොත් පිටපත් ලබා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවට වැයවුණු මුදල (හෝ ඉන් කොටසක් හෝ) ඔවුන්ට මෙවර ඉතිරි කර ගැනීමට ලැබෙන බව නම් පෙනේ.

මේ කරුණ අරභයා හෙන්රි වර්ණකුලසූරිය සහ මා අතර ඇතිවුණු අදහස් හුවමාරුවේ තිබුණු විවාදාත්මක කරුණ වූයේ ලේඛකයින් සම්මාන ඉල්ලා පාලකයින් පස්සෙන් යා යුතුව ඇතැයි ඔහු මෙය අර්ථ දැක්වීම ය. මෙසේ සම්මාන සඳහා අයැදුම් කිරීම යනු ලේඛකයින් විසින් කළ නොයුතු සහ එසේ කළහොත් ලේඛකයින් පීචං වෙනවා ය (වචන මගේ ය) වැනි අදහසක් ද හෙන්රි වර්ණකුලසූරියගෙන් ප්‍රකාශ වී තිබුණි.

ෆෙස්බුක් ක්‍රියාකාරිකයෙකු වන මනෝරම වීරසිංහ ද, ඒ හා සමාන අදහස් මෙහි දී ප්‍රකාශ කර තිබුණි.

මේ ගැන මා එහි දී දැක්වූ (සහ අදාළ වෙනත්) අදහස් මෙසේ ය.

අප වැනි සාමාන්‍ය වැසියන්ට-
  • උප්පැන්න සහතිකයට අයැදුම් කළ යුතුය. උපත ලබා තිබුණු පමණින් සහතිකයක් ඉබේ පහළ නොවේ.
  • පාසල් අධ්‍යාපනය ඇරඹීමට අයැදුම් කළ යුතුය. නැති නම් සැමදා නිවසට වී සිටීමට සිදුවෙනු ඇත.
  • ශිෂ්‍යත්ව විභාගයට, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට අයැදුම් කළ යුතුය. පාසල් ගිය පමණින් ඒවා ඉබේ සිදු නොවේ.
  • උසස් පෙළ සමත් වීම ප්‍රමාණවත් නැත. විශ්වවිද්‍යාලයට යැමට අයැදුම් කළ යුතුය.
  • විවිධ ශිෂ්‍යත්ව සඳහා සහ අධ්‍යාපනය අවසානයේ රැකියා සඳහා ද අයැදුම් කළ යුතු ය.
  • අයැදුම් නොකර කිසිවක් ලැබෙන්නේ නම් ඒ ඉතා කලාතුරකින් සුවිශේෂී තත්වයන් යටතේ ය. ඒ සඳහා වුව ද, වෙනත් අයෙකු ඒ සම්බන්ධයෙන් ස්වාධීනව කටයුතු කර තිබිය යුතු වේ.
ඒ අප වැනි සාමාන්‍ය පුරවැසියන් සම්බන්ධයෙනි.

කලාකරුවන් ගැන සලකා බලමු.
  • සිනමා නිර්මාණයක් ලංකාවේ ප්‍රදර්ශනය සඳහා අයැදුම් කළ යුතුය.
  • එසේම සිනමා නිර්මාණ දේශීය/විදේශීය චිත්‍රපට උලෙළකට ඉදිරිපත් කිරීමට අයැදුම් කළ යුතුය.
  • රාජ්‍ය නාට්‍ය උලෙළට හෝ තරුණ නාට්‍ය උලෙළට නාට්‍යයක් ඉදිරිපත් කිරීමට අයැදුම් කළ යුතුය.
  • ඩී.ආර්. විජේවර්ධන, දයාවංශ ජයකොඩි, ගොඩගේ යනාදී නවකථා අත්පිටපත් තරගවලට තම නිර්මාණ ඉදිරිපත් කිරීමට අයැදුම් කළ යුතු ය.
ඉතිං, රාජ්‍ය සාහිත්‍ය උලෙළේ සම්මාන සඳහා සලකා බැලීමට තමන් ගේ කෘතියක් ඉදිරිපත් කිරීමේ ඇති වරද කුමක් ද?

එයින් ලේඛකයාට සිදුවෙන අවමානය කුමක් ද?

මා යම් දවසක වැරදීමකින් හෝ නවකථාවක් රචනා කළහොත් එය ඕනෑම සම්මාන උත්සවයක් සඳහා ඉදිරිපත් කිරීමට නොපැකිළෙමි.

තමන් කිසිදා සාහිත්‍ය සම්මාන පසුපස නොයන බව හෙන්රි වර්ණකුලසූරිය ගිය වසරේ ප්‍රකාශ කර තිබුණි. නමුත්, ස්වර්ණ පුස්තක සම්මානය වැන්නක් තමන්ට ලැබුණොත් එය ප්‍රතික්‍ෂේප නොකරන බව ඔහු මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කීවේ ය.

ගිය වසරේ ඔහු ලියූ "ඳඩ කඳවුර" නවකතාව රාජ්‍ය සම්මාන සඳහා ඉදිරිපත් කිරීම හෙන්රි විසින් නොකරනු ඇතැයි සිතමි. නමුත්, එය ඔහු කළ යුතු දෙයක් නොවේ. ඒ "ඳඩ කඳවුර" යනු කතෘ ප්‍රකාශනයක් නොවන බැවිනි. එය සුරස (ෆාස්ට් පබ්ලිෂින්) ප්‍රකාශක ගේ වගකීමයි.

එසේ ම, තමන් ගේ නොකී කතා බ්ලොගය නෙළුම් යාය සම්මාන සඳහා සලකා නොබලන ලෙස ද ඔහු ඉල්ලා තිබුණි.

ඇත්තටම නෙළුම් යාය සම්මාන සඳහා විවිධ තේමාවල බ්ලොග් ලිපි යෝජනා කිරීමට මේ කාලයයි. මෙහි දී, පාඨකයින් විසින් තමන් කැමති බ්ලොග් ලිපි සම්මාන සඳහා යෝජනා කරන විට, ලේඛකයින්ට ද තමන් ලියූ ලිපි ඉදිරිපත් කිරීම කළ හැකි විය යුතු ය.

ඒ සඳහා ළඟදී ම ආරම්භයක් දීමට මම අපේක්‍ෂා කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි

මෙන්න තවත් ජාතික මට්ටමේ සම්මාන උත්සවයක්. මේකටත් අයැදුම් කරන්න වෙනවා. ෆොටෝග්‍රැෆර්ස්ලා ගේ තත්වය අඩුවෙයි ද?


(imageL http://nokieekatha.blogspot.com.au/2015/09/blog-post.html)