Tuesday 20 December 2022

බිරිඳ ලියූ ගීතය - මල් වැස්සේ :: The song she wrote


මා ප්‍රිය බිරිඳ, (රණවක තන්ත්‍රිගේ) පුෂ්පා කුමාරී සූරියආරච්චි, පදපෙලක් ලිව්වා ය.

යමෙකු ලියන කවිපද කිහිපයක් ගීතයක් වන්නේ ඒවාට තනුවක් සම්පාදනය වී, සංගීතය නිමැවී, වැයී, ගායනය වූ විට ය. මේ ගීතය එලෙස බිහිවී දැන් මාස කිහිපයකි.

එය පේරාදෙණිය විශ්වවිද්‍යාලය පසුබිම් කරගත් ගීතයකි. එහි අන්තර්ගතයේ, ඇය 2019 දී ලියා පළ කළ Lost in Floral Rain නවකතාවට සම්බන්ධයක් ඇත. එසේම, ඇය ලියූ පළමු ගීතය ද මෙය වේ.

නමුත් අද වන විට ගීතයක් යනු සංගීතය සහ ගායනය පමණක් නොවේ. ගීතය සහිත වීඩියෝ පටයක් ද තිබිය යුතු ය. බොහෝ දෙනා ගී අසනවා පමණක් නොව නරඹනවා ද වන බැවිණි.

එලෙස නිපදවනු ලැබූ ගී වීඩියෝව පෙරේදා යූටියුබයට එකතු විය.

ගේයපද: පුෂ්පා සූරියාරච්චි
සංගීත නිර්මාණය: විශාරද රුක්මලී කුලතිලක
ගායනය: රුවී නිම්නදී

වයලීනය: රවි කුලතිලක
ගිටාරය: අර්ජුන ද සිල්වා
තාල තරංග: දිනේෂ් පෙරේරා


පදමාලාව මෙසේ ය.

තුරුලිය සරසන කුසුමින් නැහැවුණ
රෝස පාට මල් වැසි වැස්සා
රොබරොසියා තුරු පාමුල මල් වැසි
මල් වැසි, මල් වැසි, ඇද හැලුණා

ශිල්ප කරන්නට නවකයින් ඇවිත්
මල් වැස්සේ මංමුළා වෙලා
පාද තබා කඩිසර ගමනින්
මල් වරුසාවේ සිනාසෙමින්
මල් වැස්සේ මංමුළා වෙලා

මල් පිරි පාවඩ පලස් එළාලා
සුමට සුමුදු මල් ඇතිරිල්ලේ
සෙමින් සෙමින් පරිස්සමින්
ඇවිද ඇවිද යමු සිතින් දරාගෙන
රොබරොසියා මල් මල් සිහිනේ


ගේයපද: පුෂ්පා සූරියාරච්චි පෙර සඳහන් "Lost in Floral Rain" කෘතිය පිළිබඳ සියළු තොරතුරු රැගත් බ්ලොග් අඩවියක් සහ ෆේස්බුක් පිටුවක් ද ඇත.


බ්ලොග් අඩවිය: https://lostinfloralrain.blogspot.com/

ෆේස්බුක් පිටුව: https://www.facebook.com/Lost-in-Floral-Rain-1298502120314539/



-රසික සූරියආරච්චි

(image: edited from an PeraBeats image)

Thursday 8 December 2022

අනිච්චාවත සංඛාරා හෙවත් සුදු සාරියේ ශෝකය - Living according to social norms


ජීවිතය අනියතයි, මරණය නියතයි කියනවනේ. අපි පොඩි කාලේ අපේ සීයලා ආච්චිලා මැරුණා. ඊ ළඟට වැඩිහිටි ඥාතියෝ අවසන් ගමන යන්න පටන් ගත්තා. ඉඳලා හිටලා කවුරු හරි පෝලිමෙන් පිට නොපැන්නෙමත් නෑ.

කොච්චර දුක වුණත්, දවසක අපේ දෙමව්පියන්ට විතරක් නෙමේ, අපේ දරුවන් ගේ දෙමව්පියන්ටත් ඔය ගමන යන්න වෙනවා.

ඉස්සර මං කල් මරපු වැඩපොළේ කාන්තා පක්‍ෂයේ -බවලත්- උදවිය තමන් ගේ අම්ම හරි, තාත්ත හරි වගේ පවුලේ කෙනෙක් මිය ගිහින් නිවාඩුවෙන් පස්සේ වැඩට එන්නේ සුදු සාරියක් හරි සුදුපාට ස්කර්ට්-බ්ලවුස් සෙට එකක් හරි ඇඳගෙන.

එදා ඉඳං සතියක් දෙකක් විතර ඔන්න සුදු සාරි අඳිනවා.

ඊට පස්සෙ, සුදු සාරියේ පොඩි කළු තිත් වැටිච්ච, එහෙමත් නැත්තං ලොකු කළු තිත් වැටිච්ච සාරි එහෙම අඳින්න පටන් ගන්නවා. එහෙම නැතිනම්, පොඩි කළු තිත් වැටිච්ච, එහෙමත් නැත්තං ලොකු කළු තිත් වැටිච්ච සුදුපාට ස්කර්ට්-බ්ලවුස්.

තවත් සතියක් දෙකක් යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට තිත් වැටිච්ච සුදු සාරිවලට එහෙම නැතිනම් සුදුපාට ස්කර්ට්-බ්ලවුස්වලට බහිනවා.

තවත් සතියක් දෙකක් විතර යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට ඇඳුම්වලට බහිනවා. සුද නැහැ. පාට. හැබැයි ලා.

අන්තිමේ දී දන්නෙම නැතුව මෙන්න සුපුරුදු පරිදි "පාට, පාට, මල් වැටිච්ච සාරි, බ්ලවුස්, ස්කර්ට්" අඳින්න පටන් ගන්නවා.

අන්න එතකොට එතනින් ශෝක කාලය අවසානයි කියලා අපි දැනගන්න ඕනෑ.

ඔන්න අපේ වැඩපොළේ අපිට වඩා සීනියර් පොරක් හිටියා, හොඳ කොල්ලා. පොර බැඳලා හිටියේ අපේ එකවුන්ට්ස් සෙක්ෂන් එකේ රූබර අංශයක්. දෙන්න ළඟ ඇනෙක්සියක තමයි නතරවෙලා හිටියේ.

ඉතිං පොරගේ අම්මා මිය ගියා. ගම දුර පළාතක. අපේ කීප දෙනෙක්ම මළ ගෙදරත් ගියා.

සතියක් විතර ගියාට පස්සේ ඔන්න ජෝඩුවම වැඩට ආවා. මට දෙන්න හමුවුණා වැඩපොළේ ගේට්ටුව ළඟදී.

අපේ පොර වෙනදා ඇඳල ඉන්නවා දැකල පුරුදු හොඳ නිල් පාට එමරල්ඩ් බ්‍රෑන්ඩ් කමිසෙකුයි, දුඹුරු කලිසමකුයි ඇඳල හිටියේ.

ඒකටත් එක්ක වයිෆරේ.

සුදුම සුදු සාරියකුයි, හැට්ටෙකුයි විතරක් නෙමේ සුදු පාට කාන්තා සපත්තුත් දාලයි හිටියේ.

අම්ම මැරිච්ච පොර වෙනද ඇන්ද ඇඳුම් සෙට් එකම ඇඳගෙන වැඩට ආවට, නැන්දම්ම ගේ මරණයේ ශෝකයට ලේලි සති දෙක තුනක් විතර සුදු සාරි ඇන්දා.

ඊට පස්සෙ, සුදු සාරියේ පොඩි කළු තිත් වැටිච්ච, එහෙමත් නැත්තං ලොකු කළු තිත් වැටිච්ච සාරි එහෙම අඳින්න පටන් ගත්තා.

තවත් සති දෙක තුනක් යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට තිත් වැටිච්ච සුදු සාරිවලට බැස්සා.

තවත් සති දෙක තුනක් විතර යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට සාරි ඇඳීම ඇරඹුවා. සුද නැහැ. පාට. හැබැයි ලා.

අන්තිමේ දී සුපුරුදු පරිදි "පාට, පාට, මල් වැටිච්ච සාරි" අඳින්න පටන් ගත්තා.

මං හිතන්නේ ඒ විදියට ශෝක කාලය අවසානය සනිටුහන් වුණේ තුන් මාසේ දානෙන් පස්සෙයි.

අන්න නැන්දම්මලාට, ලේලිලා ගේ ආදරේ.

ඒකටත් එක්ක පුතාලා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ කතාව ලියා පළ වෙනත් තැනක කළේ මීට අවුරුදු දොළහකට කලින්. අද උදේ ආපහු මතක් වුණා.

Tuesday 1 November 2022

ටියුෂන් මුදලාලි හාමිනේලා නැත්තේ ඇයි සහ ජවිපෙ ආණ්ඩුවක ටියුෂන් කෙසේ වේද? - Answer if you can!


මේ ඡායාරූපය දැක්කාම හොඳටම හිනා ගියා. ඒ 2022 පෙබරවාරියේ දී. මේ සටහන ලිව්වේත් ඒ නිසයි. මේක රසිකොලොජියේ පළකරන අදත් තරමක් හිනා ගියා.

ලංකාවේ ටියුෂන්කාරයින් විසින් තමන් ම උත්සවයක් පවත්වලා තමන් ම තමන්ට ම සම්මාන ප්‍රදානය කරගෙන.

මේ ඡායාරූපයේ දැක්වෙන සම්මානය ලබා ගන්නේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඉගෙන ගෙන විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය ලබාගත් කීර්ති ධර්මසිරි විසින්. කීර්ති මට වඩා වසර කිහිපයක් ජේෂ්ටයෙක්.

සම්මානය දෙන්නේ නම් මොකාද කියා අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේද? අන්න හරි, ඌ තමයි.

කීර්ති ධර්මසිරි මේ උත්සවය පැවැත්වෙන්නට කලින් සතියේ ජාතික ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් රැස්වීමේ ස්ටේජ් එකේ හිටියා විය යුතුයි. මට ඇහුණා දෙපාරක්ම පූරකයා නම කියනවා. (හැබැයි අනුර දිසානායකට නම්, මට ඇහුණු විදිහට, නම වැරදුණා.)

ෆොටෝ එක දැක්කහම හිනා ගියේ කීර්ති ධර්මසිරි හින්දා නොවේ. මෙතැන සියයට සීයක්ම ඉන්නේ මිනිස්සු නිසා යි.

සාමාන්‍ය පාසැලක ගුරු මණ්ඩලයක් ගත්තොත් බහුතරයක් ගෑනු. හැබැයි ටියුෂන්කාරයින්ගෙන් සියට සීයක්ම මිනිස්සු. මේක අද ඊයේ තත්වයක් නොවෙයි මම උසස් පෙළ විභාගයට සූදානම් වෙන කාලෙත් තත්ත්වය ඒකයි.

පාසැල්වල අධ්‍යාපනය හොඳ නෑ කියන්නේ සහ ළමයින්ට විභාග පාස් වෙන්න නම් ටියුෂන් යන්න ඕනෑම ය කියන්නේ ඒ නිසාය කියා කාට හරි තර්කයක් ගොඩ නගන්න පුළුවන් නේද?

එහෙම තර්ක කළොත් වැරදි ද?

ටියුෂන් ව්‍යාපාරයක් කරන්න අධ්‍යාපන දැනුම විතරක් මදිනේ. අර enterprenurship හෙවත් ව්‍යවසායකත්වය කියන එකත් තියෙන්න ඕනේ. ගෑනු ටියුෂන් ව්‍යාපාර නොකරන එකෙන් කියවෙන්නේ ගෑනුන්ට ඒ ව්‍යවසායකත්වය නැහැ කියා ද?

දැවෙන ප්‍රශ්න!!!

-රසිකොලොජිස්ට්

ප/ලි:
හැබැයි එකක් පැහැදිලියි. ජවිපෙ ආණ්ඩුවක් ආවත් ටියුෂන් ව්‍යාපාර නම් නතර නොවෙන බව මේ උත්සවයෙන් පස්සේ තව පැහැදිලි වුණා. මොකද මේ ටියුෂන්කාරයින්ගේ සංගමේ නව සභාපති විදියට පත්වුණේ, මාත් සයිබරයේ හඳුනන, අධ්‍යාපනය අතින් ඔය කීර්ති ධර්මසිරිට සමාන පිරිමියෙක්. මට වඩා වසර කිහිපයක් කණිෂ්ඨයෙක්. රවීන්ද්‍ර බණ්ඩාර.

ටියුෂන් ගැන ද ලියවුණු වෙනත් සටහන්
1. කෙමිස්ට්‍රි ටීචර්ලා Chemistry is still a mystery
https://rasikalogy.blogspot.com/2016/12/chemistry-is-still-mystery.html


2. කෞෂල්‍යා ප්‍රනාන්දු ගැන කෙටි සටහනක් (ඇත්තට ම වෙනදා මෙන් ම අද මේ සටහන ද මා ගැන ම ය!) - Kaushalya Fernando (and me!)
https://rasikalogy.blogspot.com/2016/07/kaushalya-fernando-and-me.html


3. විභාගේ අභාගය - Tuition Pure, Tuition Bio, Chemistry, Physics!
https://rasikalogy.blogspot.com/2016/01/tuition-pure-tuition-bio-chemistry.html


(image: https://www.newsfirst.lk/2022/02/17/president-launches-green-teacher-website/)

Thursday 27 October 2022

රසිකොලොජි බ්ලොගයට සුබ උපන්දිනයක් වේවා - It has been eight years

රසිකොලොජි බ්ලොගය අරඹා අදට අවුරුදු අටකි.

බ්ලොගය ඇරඹූවේ මගේ උපන්දින සංවත්සර දිනයක් නිසා, අද මගේ උපන්දිනය ද යෙදේ. මෙන්න ඒ වෙනුවෙන් මගෙන් කෙටි ගී කණ්ඩයක්. මෙය වෝල්ටර් ප්‍රනාන්දුගේ ගීතයක කොටසක කොපියකි.
අවුරුදු හතලිස් තුනයි වයස
බැලුබැල්මට කියන්න බෑ
තවමත් කොල්ල වගේ ඉන්නේ
හැට පැන්නත් නාකි වෙන්නේ නෑ

- රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න පසුගිය බ්ලොග් සංවත්සර දිනවල පළ කළ සටහන් කිහිපයක්.

1. හයේ පන්තියේ ළමයෙකු ගේ වැඩ කිඩ - Double celebration...!!!
https://rasikalogy.blogspot.com/2015/10/double-celebration.html


2. ජාතික හෙළ උරුමියේ සාදුලා පාර්ලිමේන්තුවට ගියේ සාරි ඇඳගෙන ද? - Rasikology celebrates its second birthday!
https://rasikalogy.blogspot.com/2016/10/rasikology-celebrates-its-second.html


3. නාකි වෙන්නේ කවදා ද? - Forever young
https://rasikalogy.blogspot.com/2017/10/forever-young.html


4. සිංහල බ්ලොග් ලේඛන කලාවේ අවගමනය - A turning point?
https://rasikalogy.blogspot.com/2018/10/turning-point.html


5. සුබ පැතුමක් සහ පිළිතුරක් - My reply to an interesting birthday greeting
https://rasikalogy.blogspot.com/2019/10/my-reply-to-interesting-birthday.html


Thursday 20 October 2022

ඥාණවතී ද පබාවතී ද? Beauty Vs Brains

දැන් අවුරුදු කීපෙකට කලින් අපේ යාළුවෙක් පොඩි විවාද සම්පන්න මාතෘකාවක් ගැන කවියක් ලියලා එව්වා.

පොර ලිව්වේ දැන් හැදෙන කෙල්ලෝ බුද්ධියට වඩා රූපය ගැන සැළකිළිමත් වෙනවාය, ඒකෙන් මුළු සමාජයම අගතියට යනවාය වගේ කතාවක්.

ඕක බලපු මටත් නිකං ඉන්න වෙලාවක (ඒ දවස්වල කතන්දර බ්ලොග් එක පටන් අරං තිබුනේ නෑනේ) හිතුණා පිළිතුරු කවියක් ලියන්න.

මෙන්න ඒ කවි පන්තිය. රනින් කමෙන්ට්‍රියක් එක්කම දෙන්නං කෝ!

මගේ තර්කය වුනේ රූපය නැත්තං බුද්ධියෙන් වැඩක් නැතිය කියන එකයි.

රූපෙ ද බුද්ධිය ද විමසන කලණ මිත
ඉවතට දමන් ඔය හණමිටි බමුණු මත
ලස්සන වත මිසක නොපතන් මුහුණු කැත
රූපය නොමැති තැන බුද්ධිය පලක් නැත

මේ ගැන දෙන්න තියෙන හොඳම උදාහරණය කුස ජාතකය.

පසේ බුදු කෙනෙකුට පූජා කරපු කැවුමක් උදුරගත්තු පවට මූණ කැත වෙලා ඉපදුනත් කුස ගේ හිත ගියේ හොඳට ඇහැට කණට පේන ගෑණු පරාණයකට නේ.

මහෝෂධ අමරාදේවි දැක්කාම කෙරුවා වගේ බුද්ධි පරීක්‍ෂණයක් කළ බවක් අපි අහලා නෑනේ.

දන් දුන් කැවුම උදුරා කෑ එම පවිනේ
කුස කුමරුගේ වත කැවුමක් ලෙස දිලුනේ
එද සඳවන් පබවත වෙත සිත බැඳුනේ
බුද්ධිය ඇති නිසා දෝ මට කියනු මැනේ

ඒ එක්කම කියවෙන කතාව තමයි කුසගේ මල්ලී ජයම්පතිව පෙන්නට පබා කෙල්ලව රැවැට්ටුව කියන එක.

සොයුරු ජයම්පති කඩවසමින් යුත්ත
පෙන්වා පබවතව රුවටූ බව ඇත්ත
බෝසත් කුස කුමරු පස් පව් දෙක දත්ත
ඇයි ඒ ලෙස කළේ මදකට සිත යුත්ත

දවල්ට ජයම්පතිව පෙන්නුවට රෑට වැඩේ අතේ කෝට් වෙන්න ඇතිනේ. වැඩේ දෙල් වුණාම පබා කෙල්ල කළේ ද්වේෂ සහගත ලෙස කුස කොල්ලව අතහැර යාමයි.

කුස නෙමේ වැඩේ අතහැරියේ. අවුරුදු හතක්ම පබා ගේ ගෙදර බැල මෙහෙවර කළා!

හැබැයි අන්තිමේදී කැවුම් මූණත් සක්‍රයා ගේ පවර් එකෙන් නැති කරගත්තා.

ආපසු ගිය කලේ පබවත ඔහු හැරදා
සත් වස් බැල මෙහෙය කළ බෝසත් සමිදා
සක් දෙව් බලෙන් අවසන සිය පව් පිසදා
රූපය වටින බව පෙන්නුව නොවෙද එදා

රූපසම්පන්න පබාව දිනාගන්න හත් අවුරුද්දක් බැල මෙහෙවරකම් කරපු කුස, පස්සේ සිදුහත් කාලේ බුදුවෙන්න දුෂ්කරක්‍රියා කලේ අවුරුදු හයක් විතරයි!

පසු කල සිදුහත් ව ඉපදී බුදු වෙන්න
උපරිම බුද්ධි මට්ටම ලැබ සැනසෙන්න
සය වසරක් පමණි වුනෙ දුක් විඳගන්න
බුද්ධිය දෙවෙනි වේ රූපෙට පිළිගන්න

රූපෙ ලබාගන්න එකද අමාරු? බුද්ධියද ලබා ගන්න එකද අමාරු?

මං කවි පන්තිය අවසාන කළේ මෙන්න මෙහෙමයි!

කුරුලෑ පිරුණු කළු කැත මූණක් කිසිදා
ලැබුනොත් බොමිය වදකහ මා හිරු නැතිදා
අදහන මුත් නොතිර බව දෙසු බුදු සමිඳා
ඥාණවතී කුමටද මට පබා හොඳා

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ තර්කයේ වරදක් තිබේ නම් කෝප නොවී කරුණු පහදා දෙන මෙන් ඉල්ලමි.

සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා!

(image: )

Sunday 16 October 2022

උදන්ත අබේරත්න, රෙස්-ඇප් සහ ෆයිසර් - Click-bait headlines


මගේ විශ්වවිද්‍යාල සගයකු සහ දිගු කාලීන මිතුරෙකු වන ඉංජිනේරු උදන්ත අබේරත්න විසින් කලකට ඉහත සිදු කරන ලද ලද පරීක්ෂණයක ප්‍රතිඵල ලෙස සොයා ගත් ක්‍රමවේදයක් උපයෝගී කර ගනිමින් පසුව නිපදවන ලද චිකිත්සක මෘදුකාංගයක් බහුජාතික ෆයිසර් ඖෂධ සමාගම මගින් ඩොලර් මිලියන 179 කට මිල දී ගත් පුවත මේ වන විට ලංකාවේ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ මෙන් ම විවිධ සම්ප්‍රදායානුකූල පුවත් මාධ්‍යවල ද පළ වී කරණම් ගසමින් ඇත.

එවැනි ලාංකේය මාධ්‍ය ආයතන විසින් පළ කර ඇති වාර්තා සෑම එකක ම පාහේ උදන්ත අබේරත්න පිළිබඳව තොරතුරු සඳහන් කරද්දී කරුණු එකිනෙක අනා තරමක් විකෘති කර ඉදිරිපත් කිරීමට අමතරව තවත් ඉතා බරපතළ අපරාධයක් සිදුකර ඇත.

එය නම් ෆයිසර් ආයතනයෙන් උදන්තට ඩොලර් මිලියන ගණනක් ලැබුණි යැයි සාවද්‍ය ප්‍රකාශයක් කිරීමයි. මෙය හිතාමතා කරන ලද්දක් බව පැහැදිලිව ම කිව හැක්කේ මෙම පුවත හා සම්බන්ධ කිසිදු මූලාශ්‍රයක එවැනි පුද්ගලික මුදල් ගනුදෙනුවක සඳහනක් නොමැති හෙයිනි.

ලාංකිකයෙකුට ෆයිසර් සමාගමෙන් ඩොලර් මිලියන එකසිය හැත්තෑ නමයක් ගෙවූ බවට සඳහන් කර ශීර්ෂ පාඨයක් යෙදූ විට එම පුවත ශ්‍රී ලාංකිකයින් අතර ක්ෂණිකවම ජනප්‍රියවන බව අප කාටත් සිතාගත හැකි කරුණකි. මෙවැනි ශීර්ෂ-පාඨ click-baits ලෙස හැඳින්වෙන්නේ ද ඒ නිසා ය.

මා මේ සටහන ලියන්නට සිතුවේ දිගු කලක සිට මෙම නව ක්‍රමවේදය සොයා ගැනීම පිළිබඳවත්, මුදුකාංගය නිෂ්පාදනය පිළිබඳවත් පුද්ගලිකව හමු වූ අවස්ථාවලදී මෙන්ම, දුරකථනය ඔස්සේත්, වෙනත් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඔස්සේත් මා උදන්ත අබේරත්නගෙන් කරුණු අසා දැන සිටින නිසාත්, කොටින් ම ජංගම දුරකථන හරහා භාවිතා කිරීමට වැඩිදියුණු කරමින් තිබුණු මෙකී චිකිත්සක මෘදුකාංගයේ මූලික සංස්කරණයක් 2018 තරම් ඈත කාලයක දී ඔහු මට ක්‍රියාත්මක කර පෙන්වා තිබුණු නිසාත්, මේ වන විට ලංකාවේ මාධ්‍යවලින් පළ කෙරෙන පෙර කී පුවත් වාර්තා නිසා ඔහු තරමක හෝ අපහසුතාවයකට පත් වී ඇති බව හොඳින් ම දන්නා නිසාත් ය.

එලෙස ම පසුගිය සතියක පමණ කාලයක් තුළ ඔහු විසින් තමන්ට අති විශාල මුදල් ප්‍රමාණයක් ලැබුණා යයි කියන මෙම සාවද්‍ය ප්‍රවෘත්තිය නිවැරදි කරවා ගැනීමට ගන්නා ලද උත්සාහ සාර්ථක නොවීම පිළිබඳව ද උදන්ත අබේරත්න පසුවන්නේ කලකිරීමෙන් යයි මම සිතමි.

ඔහු විසින් ද ඔහුගේ සේවාදායකයා වන ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලය විසින් ද කෙරුණු කරුණු ඉදිරිපත් කිරීමෙන් පිළිබඳව සමහර ප්‍රවෘත්ති ආයතන ප්‍රතිචාර දක්වා තිබුණද ඔවුන් පවා තමන්ගේ වැරදි ශීර්ෂ පාඨ තවමත් නිවැරදි කර නැත.

මෙම නව තාක්ෂණය උදන්ත අබයරත්න විසින් සොයා වැඩි දියුණු කළේ ඔහු සහාය මහාචාර්යවරයෙකු ලෙස ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ සේවය කරන අවධියේ දී ය. පසුව එම සොයා ගැනීම උපයෝගී කර ගනිමින් මෙම චිකිත්සක මෘදුකාංගය නිපදවීම සඳහා විශ්වවිද්‍යාලය විසින් පුද්ගලික සමාගම අරඹන ලදී. එය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සොයාගනු ලැබුවේ පුද්ගලික සමාගම් සහ මෙවැනි නව ව්‍යාපාර සඳහා ආයෝජනය කරන පුද්ගලයින් ගෙනි.

රෙස්-ඇප් නම් වූ එම සමාගම කොටස් වෙළද පොළේ අලෙවි කෙරෙන පොදු සමාගමකි. උදන්ත අබේරත්න විසින් සොයා ගන්නා ලද තාක්ෂණයේ ශක්‍යතාව නිසාම මේ නිපදවීම සාර්ථක වූ අතර සමාගමේ කොටස් මිල ඉහළට ගිය අතර අන්තර්ජාතික ඖෂධ සමාගමක් වන ෆයිසර් ආයතනයේ ද අවධානය ඒ කරා යොමු විය. ෆයිසර් ආයතනය විසින් මිලට ගන්නා ලද්දේ එම රෙස්-ඇප් සමාගමයි. ඒ සඳහා ගෙවන ලදැයි පැවසෙන ඩොලර් මිලියන එකසිය හැත්තෑ නමය ලැබුණේ රෙස්-ඇප් සමාගමේ කොටස් හිමියන්ට මිස මා මිත්‍ර උදන්ත අබේරත්නට නොවේ.

උදන්තට ඩොලර් මිලියන ගණනක් ලැබුණු බව කීම අපරාධයක් වන්නේ ඒ නිසා ය.

"ඕක මොන ප්‍රශ්නයක් ද?" කියා මෙය කියවන ඔබට මුලින් සිතෙන්නට ඉඩ ඇත.

නමුත් ඔබ මෙවැනි තත්ත්වයකට පත්වුවහොත් ඇති විය හැකි ප්‍රශ්න පිළිබඳව මදකට සිතා බලන්න.

(හැකි නම් ෂෙයා කරන්න. ස්තුතියි.)

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ පුවත ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලය වාර්තා කළ අන්දම.
https://www.abc.net.au/news/2022-09-28/qld-pfizer-buys-uq-start-upresapp-health-covid/101478832

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලය මෙම ප්‍රවෘත්තිය නිකුත් කළ ආකාරය.
https://www.uq.edu.au/news/article/2022/09/uq-startup-acquired-pfizer

රෙස්-ඇප් සමාගමේ වෙබ් අඩවිය.
https://www.resapphealth.com.au/

(image: Udantha and Rasika enjoying Zero Alcohol Beer)

Sunday 14 August 2022

සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories


සල්මන් රුෂ්ඩි නම් ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ ජීවත් වූ මුස්ලිම් ලේඛකයා, ඇමරිකානු එක්සත් ජනපදයේ දී ආගමික පිස්සෙකු යැයි සැක කළ හැකි අපරාධකරුවෙකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ ආරංචිය ලැබුණු විට මට ඒ හා සම්බන්ධ මගේ අත්දැකීම් කිහිපයක් ම සිහියට නැගුණි.

එයින් මුල් සිදුවීම 1989 දක්වා ඈතට දිව යයි. සල්මන් රුෂ්ඩි යන නම අප බොහෝ දෙනකු මුල්වරට ඇසුවේ ඒ කාලයේ දී ය. එයට හේතුව වූයේ ඔහු විසින් ලියන ලද “සැටනික් වර්සස්” නමැති නවකතාව නිසා ඉස්ලාම් ආගමේ නිර්මාතෲ මොහොමඩ්ට අපහාසයක් සිදුවුවා යයි පවසමින් ඉරානයේ එවකට (ආගමික) නායකයා වූ අයතොල්ලා කොමේනි විසින් සල්මන් රුෂ්ඩි මරා දමන ලෙස ආඥාවක් හෙවත් ෆට්වාවක් නියම කිරීමයි.

අයතුල්ලා කුමේනි ගේ එම නියෝගය අනුව ක්‍රියාත්මක වී, කිසියම් ආගමික උන්මත්තකයෙකු විසින් සල්මන් රුෂ්ඩි මරා දැමීමට ඉඩ ඇති බව පෙනී යාම නිසා මේ ලේඛකයාට සිදුවූයේ අන්වර්ථ නාමයකින් සැඟ වී දිගු කාලයක් ජීවිතය ගත කිරීමටයි. ඔහු යළිත් ප්‍රසිද්ධියේ පෙනී සිටීමට පටන් ගත්තේ, මට මතක ආකාරයට දිගු කලකට පසුව ය.

මේ සිදුවීම් ඇතිවූ කාලයේ, එනම් 1989 දී, මා සිටියේ ලංකාවේ නොව වෙනත් රටක ඉගනුම ලබමිනි. මා සමග එකම පාඨමාලාව හැදෑරූ පිරිස් අතර එක්තරා බංග්ලාදේශ ජාතිකයෙකු ද විය. පසු කලෙක මා ඒ ගැන සිතා බලන විට ඔහු අන් අයට වඩා, කොටින් ම අන් බංග්ලාදේශ ජාතිකයින්ටත් වඩා, වෙනත් හැසිරීම් තිබුණු අයෙකි. උදාහරණයක් ලෙස ඔහු තමන් හදාරන්නේ නැති විෂයන්ගේ පවා දේශන සටහන් නිබන්ධන යනාදියේ ඡායා පිටපත් ලබා ගනී. තමන්ගේ දේශන සටහන්, පරිශීලනය කරන පාඨ ග්‍රන්ථ යනාදියේ වැදගත් තැන් වර්ණ පෑන් භාවිතයෙන් හයිලයිට් කිරීම එකල අප කාගේත් සිරිත විය. අපේ බංගලි මිතුරාගේ එවැනි සටහන් සහ පොත්පත් ගැන අප කළ නිරීක්ෂණය නම්, ඒවායේ ඕනෑම පිටුවක සියයට අනූපහක් පමණ ම විවිධ වර්ණයෙන් හයිලයිට් කර ඇති බවයි.

සල්මන් රුෂ්ඩි ගේ කෘතියට විරුද්ධව පෙර කී පරිදි අයතොල්ලා කුමේනි විසින් නිකුත් කළ මරණ ආඥාවේ උණුසුම තිබූ කාලයේ, මට මේ බංගලියා සමග යම්කිසි කාර්යයක් සඳහා බස් රථයක නැගී යාමට සිදුවිය. එහිදී අප අතර ඇති වූ සාකච්ඡාවේ දී මට පෙනී ගියේ ඔහු එක හෙළා ම එම මරණ ආඥාව අනුමත කරන බවයි.

අප දෙදෙනාම හදාරමින් සිටි පාඨමාලාව මූලිකව ම ගණිත සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමය මත පදනම් වූ එකක් වූ නිසා ඒ අනුව තර්ක කරමින් මා මේ පුද්ගලයාට පහත ප්‍රශ්නය ඉදිරිපත් කළෙමි.

“දැන් ඔබ හෝ අයතුල්ලා කුමේනි හෝ ඔය පොත කියවා තිබෙනවා ද? නැහැ නේද? එසේ කියවන්නේවත් නැතුව එහි අන්තර්ගතය වැරදි බවත්, එනිසා ලේඛකයාට මරණ දඬුවම හිමි විය යුතු බවත්, ඔබ කියන්නේ කවර පදනම මත ද?”

ඒ සඳහා ඔහු ලබාදුන් මට සාපේක්ෂව අසාර්ථක පිළිතුර අනුව මට පෙනී ගියේ, ආගමික උන්මත්තකයෙකුට මේ වැනි කාරණයක දී වත්, කිසිදු තර්කයක් හෝ සොයා බලා වටහා ගැනීමක් හෝ අනවශ්‍ය බවයි.

දැන් මෙන්න මගේ දෙවෙනි අත්දැකීම.

මුල් සිදුවීමට වසර හයකට පසු මම වෙනත් විශ්වවිද්‍යාලයක වෙනත් අධ්‍යයන කටයුත්තක නිරත ව සිටියෙමි. එහිදී මා සමග විශ්වවිද්‍යාලයේ එකම කාමරය බෙදාගනිමින් සිටියේ පෙර කී අයතොල්ලා කොමේනි ගේ දේශයේ ම වැසියෙකි, එනම් පර්සියානු හෙවත් ඉරාන ජාතිකයෙකි.

මේ දිනවල දී ම, අපේ ගමේ පුස්තකාලයෙන් ලබාගෙන මා කියවූ එක් නවකතාවක් වූයේ ඇමරිකානු ජාතික බෙටී මහමුඩී නම් ලේඛිකාව විසින් තම අත්දැකීම් අනුසාරයෙන් රචනා කර තිබුණු “Not without my daughter" නම් කෘතියයි.

මෙම නවකතාව කියවා නැති අයට එහි අන්තර්ගතය පිළිබඳව ඉතා සැකවින් කියනවා නම්, එහි අඩංගු වන්නේ ඉරාන ජාතික වෛද්‍යවරයකු හා විවාහ වන ඇමරිකානු කාන්තාවක්, ඔවුන්ගේ කුඩා දියණිය ද සමග, ඉරාන විප්ලවයෙන් පසු (එනම් අයතුල්ලා කුමේනි බලයට පැමිණීමෙන් පසු) ටික කලකට පදිංචිය සඳහා තම සැමියා සමග ටෙහෙරාන් නුවරට යන ආකාරයත්, එහි දී ඇය තම සැමියා ආපසු ඇමරිකාවට යෑමේ කිසිදු අදහසක් නොමැති බව වටහා ගන්නා නමුත් දියණිය නොමැතිව තනිව ම ආපසු යාමට අකමැති ව දිගු කාලයක් දුක් විඳිමින් සිට පසුව කෙසේ හෝ දියණිය ද සමඟ එයින් මිදී පලා යන ආකාරයත් ය.

මෙම නවකතාවේ එක් තැනක, ඉරානයේ කුකුල් මස් ව්‍යංජනයක් සාදන ආකාරය පිළිබඳව සඳහන් වේ. මගේ සිත ගත් විස්තරයේ වූයේ ඒ කුකුල් මස් කරිය සඳහා ලූනු විශාල වශයෙන් ද, ඊට අමතරව "සැෆ්රන්" යනුවෙන් හැඳින්වෙන කුළුබඩු වර්ගය ද භාවිතා කරන බවයි. සැෆ්රන් යනු ඉතා මිලාධික කුළුබඩු වර්ගයක් නිසා, ඉරානයේ සැෆ්රන් භාවිතය පිළිබඳව මගේ ඉරාන ජාතික මිතුරාගෙන් මම විමසුවෙමි.

ඒ කතාව ආරම්භ කිරීමේ දී, මට ඉහත නවකතාව පිළිබඳව සඳහන් කිරීමට ද සිදු විය. සැෆ්රන් ගැන මට පැවසීම කෙසේ වෙතත් මගේ ඉරාන ජාතික මිතුරා මුලින් ම කළේ, එම නවකතාවේ ඇත්තේ අමූලික බොරු බවත් එය ඉරානයේ තහනම් කර ඇති බවත් පැවසීමයි.

මා ඔහුගෙන් ද විමසා සිටියේ, මුලින් සඳහන් කළ බංග්ලාදේශ ජාතික මිතුරාගෙන් ඇසූ ප්‍රශ්නයට සමාන ප්‍රශ්නයකි.

“උඹ මේ පොත කියවා තිබෙනවා ද? නැහැ නේද? එසේ නොමැති නම්, මෙහි ඇති අන්තර්ගතය පිළිබඳව උඹ නිවැරදිව දන්නේ කෙසේද?”

ඔහුට ද එයට සාර්ථක තර්කානුකූලව පිළිතුරක් දිය නොහැකි විය.

දැන් මෙන්න තුන්වෙනි අත්දැකීම.

මේ මා සඳහන් කළ දෙවන සිදුවීමෙන් වසර 14 කට පසුව 2010 දී වූවකි. මෙයට සම්බන්ධ විදේශිකයෙකු නොව අපේ ම ශ්‍රී ලාංකික මිතුරෙකි.

අපේ යම්කිසි සංවත්සරයක් හා සම්බන්ධව සමරු කලාපයක් සකස් කර මුද්‍රණය කිරීමට ඒ දිනවල කටයුතු කෙරෙමින් තිබුණු අතර ඒ සඳහා අතීතකාමී සටහනක් ලියා දෙන මෙන් මට ඇරයුමක් ලැබුණි.

මට සාපේක්ෂව ඉතා වැදගත් කරුණු කිහිපයක් ඇතුළත්, සියලු දෙනා ම කිය කිය විය යුතු යැයි මා සිතන ආකාරයේ සටහනක් ලියූ මම එය මේ තුන්වෙනි මිතුරාට ලබා දුන්නෙමි.

එය කිය වූ ඔහුගේ ප්‍රතිචාරය වූයේ මෙය මෙලෙස ය.

“මේක නම් පළ කරන්න බැහැ මචං. මේක පළ කළොත් ගුටි කන්න තමයි වෙන්නේ!”

ඒ වදන් අසා අන්දුන්කුන්දුන් වූ මම ඔහුගෙන් මෙසේ අසා යැව්වෙමි.

“ඒ ලිපිය පළ නොකළාට කමක් නැහැ. මං ඒක වෙන තැනක පළ කරන්නම්. මට මෙන්න මේ ප්‍රශ්න කිහිපයට උත්තර දීපං.”
  1. ලිපිය පළ කළොත් කව්ද උඹට එහෙම ගහන්නේ?
  2. එහෙම ගහන්නේ මා ලියූ ලිපියේ වැරදි තියෙන නිසා ද? එසේ නම්, ඒවා මොනවාද?
  3. වැරැද්දක් තිබේ නම් එය පෙන්වා දෙනු වෙනුවට කිසියම් අයෙකු එය පළ කරන උඹට පහර දෙන්නේ ඇයි?”
ඒ ප්‍රශ්නය අසා දැන් වසර 12ක් පමණ ගත වී ඇතත් මට තවමත් පිළිතුරක් නම් ලැබුණේ නැත.

ස්ටැන්ලි තම්බයියා ලියූ බුඩිසම් බීට්‍රේඩ් නම් කෘතිය මෙන් ම, ඩෑන් බ්‍රව්න් ගේ ඩා-වින්චි කෝඩ් නවකතාව ද ලංකාවේ තහනමට ලක් වූ බව ම මෙවෙලේ සිහි වේ. ඒ තීරණ ගත් එවුන් එසේ කළේ ඒ පොත් කියවීමෙන් පසු යැයි මම කිසිසේත් ම නොසිතමි.

හොඳයි දැන් අපි නැවතත් මේ සටහන ඇරඹූ තැනට යමු.

සල්මන් රුෂ්ඩි නම් ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ ජීවත් වූ මුස්ලිම් ලේඛකයා, ඇමරිකානු එක්සත් ජනපදයේ දී ආගමික පිස්සෙකු යැයි සැක කළ හැකි අපරාධකරුවෙකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ ආරංචිය........................

- රසික සූරියආරච්චි

(image: https://www.salmanrushdie.com/)

Thursday 4 August 2022

අද්භූත නායකයෙකුගේ කතාවක් - Instant Leader


රහසක් නොවූ රහස් ඡන්දයකින් පත්වුණු පන්ති නායකයෙකු ගැන සටහනක් මං ලියා පළ කළේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න උං එකතුවෙලා පැනලා ගිය එකා වෙනුවට අලුත් ජනාධිපතියෙකු පත් කරගන්න රහස් ඡන්දයක් පවත්වපු වෙලාවෙයි.

අපි හුඟ දෙනෙකු හිතුවට වඩා ඒ ඡන්දේ රහස් ඡන්දයක් වුණා. අනුර දිසානායකට ඡන්දේ දුන්නු අය කවුද කියන එක විතරයි රහසක් නොවුනේ. නමුත් පස්සේ අර හදිසි නීතිය ගැන විවෘත ඡන්දයක් තිබුණු වෙලේ නම් සමහර රහස් එළි වුණා මගෙ හිතේ.

ඒ කෙසේ වෙතත්, මේ සටහන ලියන්න පටන් ගත්තේ එදා කියපු පකිස්ථානු-පිලිපීන රහස් ඡන්දයට වඩා රහසිගත් වූ ඡන්දයක් ගැන ලියන්නයි. නමුත් ඒක පසුවට කල් දාලා මේ ලියවෙන්නේ ඒ කතාවට පසුබිම සපයන වෙනත් කතාවක්.

ලංකාවේ ඉන්නේ ලොක්කන් මිස නායකයින් නොවේ ය කියා දිගු කාලෙකට ඉස්සර හාමුදුරුකෙනෙකු කියා තිබුණා. ඒක නිවැරදියි. නමුත් එයට ලොකුම හේතුව තමයි මහජනයා වෙන අපි ඡන්දය හෙවත් අපේ කැමැත්ත ලබා දෙන්නේ ලොකුකම අනුව වීමයි. එහෙම නැතුව නායකත්ව ගුණ හෝ සුදුසුකම් සලකා නොවීමයි. එච්චර දැනුමක් අපට නෑ. තිබුණා නම් ඉතිං මේ වගේ කෙලවෙන්නේ නෑනේ!

නායකයින් කියා අපි මුලින් ම දැන ගන්නේ පන්ති නායකයින් ගැනයි. ඊළඟට ශිෂ්‍ය නායකයින් ගැන. හැබැයි, ඒ බෝහෝ දෙනෙකුත් ටීචර්ලා විසින් තමන්ගේ කැමැත්ත අනුව පත් කරන අය මිස ශිෂ්‍යයින්ගේ සැබෑ නායකයින් නොවෙයි. ඔවුන්ගේ රාජකාරි වෙන්නේ, හුනුකුරු සම්පත් කළමනාකරණය, ඇටෙන්ඩන්ස් රෙජිස්ටර් ප්‍රවාහනය, කළුලෑල්ලේ දෛනික පුනර්ජීවනය වගේ මැනුවල් ලේබර් වැඩ සහ ෆ්‍රී පීරියඩ් වල පන්තියේ ඝෝෂාව අඩුකරල ආංබාං කිරීම වගේ සෙකුරිටි වැඩ මිස පන්තියේ ළමයින්ට නායකත්වය දීම වගේ නායකයන්ගේ වැඩ නෙමේ.

මං මුලින්ම පන්ති නායකයා කියන යෙදුම, වචන දෙක, ඇහැව්වෙ හතරෙ පන්තියෙදියි.

මේ දවස්වල මං ගියේ ගමේ තිබුණු කණිෂ්ඨ විදුහලටයි. ගමේ කිව්වට ඇත්තටම ඒක අපේ අල්ලපු ගම. අපේ තාත්තාගේ මහගෙදර තිබුණේ අපේ ගමේ පරිධියේ. අල්ලපු වැට, අල්ලපු ගම.

මේ කණිෂ්ඨ විදුහලේ හිටියේ ප්‍රින්සිපල් හෙවත් විදුහල්පති කෙනෙක් නොවේ, ඒ දවස්වල හැටියට හෙඩ්-මාස්ටර් හෙවත් ලොකු මහත්තයෙක්. පස්සේ මං දැන ගත්තු විදියට මිනිහා වාමාංශික දේශපාලනයේ යෙදුණු කෙනෙක්.

ඔන්න දවසක් උදේ රැස්වීම ඉවරවෙලා අපි පන්තියට ආපු ගමන් මේ කියන ලොකු මහත්තයා පන්තියට කඩාගෙන වැදුණා. මේ වෙන කොට අපි හොඳට දන්නවා මෑන් යන යන තැන තමන්ගේ ජාතික ඇදුමේ දකුණු අත අස්සෙ දිග වේවැලක් හංගාගෙන යන බව. තත්පරයක් ඇතුළත ඒ වේවැල එළියට අරගෙන ළමුන්ට පහර දීමේ සමසමාජ ක්‍රමයක් මිනිහා ප්‍රගුණ කරලා තිබුණා.

ඉතිං පොර පන්තියට ආව විතරයි, අපි සේරම සයිලන්ස් වුණා, මීයො වගේ.

මේ අපි කියල කියන්නෙ සේරම අවුරුදු අටේ, නමයේ පුංචි ළමයි. මගේ වයස අවුරුදු අටයි මාස දෙක තුනයි.

ඔන්න ඒ වෙන කොට අපේ පන්ති භාර රූපසිංහ ටීචරුත් ආව පන්තියට.

"මං බලාගෙන හිටියේ මේ ළමයි දැන් රැස්වීම ඉවර වෙලා පන්තියට ආවෙ කඩාගෙන බිඳගෙන. ඔහොමද ළමයි හැසිරෙන්නෙ පාසලේ? කවුද මේ පන්තියේ නායකයා?" ලොකු මහත්තය ඇහුවා.

"මේ නාලන්ද තමයි" අපේ ටීචර් කිව්ව.

කිව්ව විතරක් නෙමේ ඒ වචන වලින් අර "ඒහි පස්සිකෝ" ක්‍රමයට ඒ මොහොතේ නාලන්දව පන්ති නායක කමට පත්කළා!

"කෝ කවුද ඒ?"

නාලන්දය හෙමින් හෙමින් පන්තියේ ඉස්සරහට ගියා!

අපි සේරම චූ බර වෙලා බලං ඉන්නව. පව් නාලන්ද!

"හොඳයි, අදට කමක් නෑ, හෙට ඉඳල, උදේ රැස්වීමට යනකොටයි, එන කොටයි සේරම ළමයි එක පිළිවෙළකට යන්න එන්න ඕනැ." ලොකු මහත්තය කිව්ව. වේවැල එළියට ආවෙ නෑ, ඇති යංතං!

නිකං දේවදත්ත සිල්ගත්ත වගේ නේද? සොරි, සොරි, දේවදත්ත කොහොමටත් මහණවෙලානෙ හිටියෙ, අමුතුවෙන් සිල් ගන්න ඕනැයැ? අලව් යකා සිල්ගත්තා වගේ ය කියමු.

ඒ අද්භූත ආකාරයටයි නාලන්ද පියතිලක අපේ හතරේ පන්තියේ අද්භූත පන්ති නායකයා වුණේ.

ඉතිං ඔය සිද්ධිය වෙච්ච දවසෙ ඉඳල කාලයක් යනතුරු මං හිතං හිටියෙ මෙන්න මෙහෙමයි.
  • පන්තියෙ නායකයා කියන්නෙ කොල්ලන්ගෙන් එක් කෙනෙක්.
  • ඒ නායකයා කවුද කියල අපිට කියන්නෙ අපේ ටීචර්. කොටින්ම එදා උදේ වෙනකල්, පන්තියේ සිසුන් වුණු අපි තියා, නාලන්ද පියතිලකවත් දැනගෙන හිටියේ නෑ තමන් පන්තියේ නායකයා ය කියලා.
  • පන්තියෙ නායකයා කරන්න ඕනැ, අනිත් ළමයින් පෝලිමේ උදෑසන් රැස්වීමට යන එක සහ රැස්වීම ඉවර වෙලා ආපහු එන එක බලාගන්න එක යි.
මේ ගොඩක් දේවල් වෙනස් වුණේ ඊළඟ අවුරුද්දෙ මං පහේ පන්තියට ගියාමයි. ඒ කතාව ඊළඟට ලියන්නම්.

-රසික සූරියආරච්චි

(image: https://twitter.com/paperboatdrinks/status/795469066198609920)

Wednesday 20 July 2022

රහසක් නොවූ රහස් ඡන්දය - Election secrets revealed


අද, එනම් 2022 ජූලි මස 20 වැනි දින ලංකාවේ අලුත් ජනාධිපතියෙකු පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දය නරඹමින් සිටින විට මෙම පැරණි කතාව සිහිවිය.

මා මේ සටහන ලියා පළ කරන්නේ ඡන්ද ප්‍රතිඵල දැනගෙන නොවේ. ඊට පෙර ය.

අද ලංකාවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ඡන්දය රහස් ඡන්දයක් බව කියවේ. මා කියන්නට යන කතාව ද ඡන්දයක් ගැන ය. එසේම එය ද රහස් ඡන්දයක් විය. රහස් ඡන්දයක් යනු අප සැම දන්නා පරිදි, ඡන්දදායකයින් කුමන ඡන්ද අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කළා ද යන්න ඡන්දදායකයා මිස වෙනත් අය නොදන්නා ඡන්දයකි.

මේ මා කියන ඡන්දය පැවැත්වුණේ තායිලන්තයේ බැංකොක් නුවර උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති අන්තර්ජාතික විද්‍යායතනයක් වන, එවකට පශ්චාත් උපාධි ආයතනයක් වූ, ආසියානු තාක්ෂණික ආයතනයේ ය. ඒ ආයතනයෙන් පැවැත්වෙන කාර්මික ඉංජිනේරු හෙවත් Industrial Engineering and Management පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා මම එහි ගොස් සිටියෙමි.

විවිධ රටවල් වලින් පැමිණ සිටි අපේ කණ්ඩායමේ මා ඇතුළුව ලංකාවෙන් සිසුන් සිව් දෙනෙකු ද, ඉන්දියාවෙන් තිදෙනෙකු ද, බංගලාදේශයෙන් තිදෙනෙකු ද, පකිස්තානයෙන් එක් අයෙකු ද, පිලිපීනයෙන් දෙදෙනෙකු ද, වියට්නාමයෙන් දෙදෙනෙකු ද, තායිවානයෙන් තිදෙනකු ද, බුරුමයෙන් එක් අයෙකු ද, මැලේසියාවෙන් එක් අයෙකු ද, ඉන්දුනීසියාවෙන් එක් අයෙකු ද, සහ තායිලන්තයෙන් හත් අට දෙනෙකු ද වූහ. අප සියලු දෙනාම පාහේ එහි ගොස් සිටියේ ශිෂ්‍යත්ව ලබා ය. මගේ ශිෂ්‍යත්වය ලබා දුන්නේ ජර්මානු ෆෙඩරල් ජනරජයෙනි.

අපේ දේශන ඇරඹූ මුල් සතියේ ම, එක් විෂයයක් ඉගැන්වූ ආචාර්යවරයෙකු කියා සිටියේ යම්කිසි පොතක කොටසක් අප සියලු දෙනාම කියවිය යුතු බවත්, එහි පිටපතක් පුස්තකාලයේ නොමැති නිසා ඔහු සතුව ඇති පිටපත එක් අයකුට ලබා ගෙන අන් සියලු දෙනාටම ඡායාපිටපත් ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් ය. මේ සඳහා ස්වේච්ඡාවෙන් අප අතරින් අයෙකුට ඉදිරිපත් වෙන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

පකිස්ථානයෙන් පැමිණ සිටි කසීම් අලි ෂා මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. එපමණක් නොව ඔහු එම කටයුත්ත ද ඉතාමත් කැපවීමෙන් සිදු කළේ ය.

කොහොමටත් අලි ෂා යනු ඉතාමත් ප්‍රියමනාප පුද්ගලයෙකි. ඔහු ඕනෑම අයකු හමු වූ වෙන මොහොතේ දී ම අතට අත දී ගුඩ් මෝනින්, ආෆ්ටර්නූන් යනුවෙන් ආචාර කරයි. වචනයක් දෙකක් කතා කර නැවත වෙන් වී යන විට ද ඒ ආකාරයට ම අතට අත දී ආචාර කරයි.

අප ඉගෙනුම අරඹා දෙවන සතියේ දී අපේ පන්ති කාමරයට පැමිණි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයකු කියා සිටියේ, ශිෂ්‍ය සංගමයේ දී අපේ කණ්ඩායම නියෝජනය කිරීම සඳහා නියෝජිතයකු පත් කරගත යුතු බවයි. ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

අපෙන් එක් අයෙකු පකිස්තානු ජාතික අලි ෂා ගේ නම යෝජනා කළ අතර ඊළඟට නැගී සිටී පිලිපීන ජාතික සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු අනිත් පිලිපීන සිසුවා ගේ නම යෝජනා කළේය.

නම් යෝජනා කිරීමක් මිස ස්ථිර කිරීමක් අවශ්‍ය වූයේ යැයි මගේ මතකයේ නැත.

දැන් දෙදෙනෙකු ඉදිරිපත් වී ඇති නිසා රහස් ඡන්දයක් පැවැත්වෙන බව ශිෂ්‍ය සංගම් නියෝජිතයා අපට දැනුම් දුන්නේ ය.

ඔහුගේ මුලිකත්වයෙන් පැවතුණු ඒ රහස් ඡන්දයේදී අප කළ යුතුව තිබුණේ කඩදාසි කැබැල්ලක අප කැමති අපේක්ෂකයාගේ නම ලියා මුලසුනේ සිටි ඔහුට ගෙනැවිත් දීමයි.

ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්වූ විට අපට දැනගන්නට ලැබුණේ අලි ෂා පන්තියේ ඡන්ද වලින් දෙකක් හැර අන් සියල්ලම ලබා ගෙන ඇති බවයි.

විකල්ප අපේක්ෂකයා වූ පිලිපීන ජාතික ශිෂ්‍යයා ලබාගෙන තිබුණේ ඡන්ද දෙකක් පමණි.

ඒ ඡන්ද දෙක කාගේද යන්න කිසිවෙකුට රහසක් නොවී ය.

එනිසා අලි ෂාට ඡන්දය දුන්නේ කව්ද යන්න ද කිසිවෙකුට රහසක් නොවී ය.

රහස් ඡන්දයක්, රහසක් නොවුණු ඡන්දයක් බවට පත් වූයේ එලෙස ය.

අද පැවැත්වෙන ලංකාවේ ජනාධිපතියා තෝරා ගැනීමේ ඡන්දයේ දී ද අනුර දිසානායකට ලැබෙන්නේ ඡන්ද තුනක් පමණක් නම් ඒ කාගේ ඡන්ද ද යන්න පිළිබඳව කිසිවෙකුට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවනු ඇත.

ඡන්ද තුනකට වඩා ලැබුණොත් එය සෑහෙන සාකච්ඡා වලට බඳුන් වෙනු ඇති අතර ලැබුණේ ඡන්ද තුනකට වඩා අඩුවෙන් නම් එය සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් වෙනු ඇත.

-රසික සූරියආරච්චි

ප/ලි: ඡන්ද ප්‍රතිඵල දැන ගත් පසු මෙම සටහන සංස්කරණය කිරීමට අදහස් කළෙමි. සටහන පළ කර් පැය දෙකක් යන්නටත් පෙර ප්‍රතිඵල නිකුත් වූ අතර කිසිදු වෙනසක් කළ යුතු නැති බව පෙනේ.

මීටත් වඩා රහස්, එසේම රහස් මේ ආකාරයට එළිදරව් නොවුණු රහස් ඡන්දයක් ගැන කතාවක් තව දින දෙක තුනකින් ලියා පළ කරමි.

ප/ප/ලි:
ආසියානු තාක්ෂණ ආයතනය හා සම්බන්ධ මා ලියා ඇති වෙනත් සටහන්.

1. ආචාර්ය වෑන් ෆ්‍රෝසම් - Dr Yves Van Frausum
https://rasikalogy.blogspot.com/2016/07/dr-yves-van-frausum.html


2. විස්කි පිදුරු රහයි ද? - What taste is Whiskey?
https://rasikalogy.blogspot.com/2016/10/what-taste-is-whiskey.html


3. "සූදානම් ශරීරේ!" - ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස් යනු කුමක් ද? What the hell is Disaster Preparedness?
https://rasikalogy.blogspot.com/2017/06/what-hell-is-disaster-preparedness.html


(image: Captured for the live telecast by the Paliament of Sri Lanka)

Tuesday 5 July 2022

ජැක්සන් ඇන්තනිගේ අනතුර නිසා සිහියට ආ “අලි” අත්දැකීමක් - A near miss wild-elephant experience




ජැක්සන් ඇන්තනි සහ තවත් පිරිසක් ගමන් කළ වාහනය පාර හරහා පනිමින් සිටි අලියෙකු හා ගැටීම සම්බන්ධ ප්‍රවෘත්තිය සහ ඒ පිළිබඳ ඇතිවෙන සමාජජාල සාකච්ඡා දැක මා ලැබූ පැරණි අත්දැකීමක් සිහිවිය.

මෙය සිදු වූයේ මීට වසර තිහකට පමණ පෙර සමයකයි.

අපේ හොඳම මිතුරෙකුගේ විවාහ මංගල උත්සවය යෙදී තිබුණු දිනට පෙර දින සවස් යාමයේ එයට සහභාගි වීමට කොළඹ සිට පොළොන්නරුව කරා යන තවත් හොඳම මිතුරෙකුගේ මෝටර් රථයට මටත් පෙර පිනකට මෙන් ගොඩවීමට ඉඩ ලැබුණි.

පෙර පිනකට කියා කිව්වේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු ලෙස රුපියල් හාරදාහකින් පමණ ගත කරන තනිකඩ ජීවිතයේ බර වැඩිවීමට තුඩුදිය හැකි වූ කොළඹ සිට පොළොන්නරුවට බස් ගාස්තුව එයින් ඉතුරු වුණු නිසා ය. මෝටර් රථය හිමි මිතුරා හොඳම මිතුරෙකු වන්නේ ඒ කළ උපකාරය නිසා ය.

මුල් මිතුරා හොඳම මිතුරෙකු වන්නේ ඔහුගේ මංගල උත්සවයට මට ආරාධනා කළ නිසා ය. මාසේ පඩියෙන් දිවි ගෙවන අයට හොඳම මිතුරන්ට වඩා වැඩි පිරිසකට ආරාධනා කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. ඊට වසරකට පමණ පසු මා ද එය අත්දුටුවෙමි. මට ආරාධනා කළ හැකි වූයේ කොළඹ අවට සිටින මිතුරන් කීප දෙනෙකුට පමණි.

මගේ මතකයට අනුව, මෝටර් රථය පැදවූ මගේ මිතුරාට නම් එය ලැබී තිබුණේ ඔහු එවකට සේවය කළ පුද්ගලික අංශයේ සමාගමෙනි. ඒ රැකියාවට ඒමට, යාමට සහ පුද්ගලික ගමන් යාම සඳහා වූ පඩියට අමතර වරප්‍රසාදයක් ලෙසිනි.

වාහනය පැදවූයේ මෝටර් රථයේ භාරකාරීත්වය තිබූ මිතුරා වූ අතර අපේ තවත් හොඳම මිතුරෙකු ඉදිරිපස මගේ ආසනේ වාඩි වී සිටියේ ය. (මට හොඳම මිතුරන් විශාල සංඛ්‍යාවක් ඇති බව මෙය කියවන අයට දැන් තේරුම් යා යුතු ය!)

පසුපස අසුන් තුනේ සිටියේ මාත්, මිතුරා ගේ බිරියත්, ඇගේ උකුලේ ඔවුන්ගේ කුඩා අතදරු දියණියත්, තවත් කුඩා ළමයෙකුත් ය.

හවස් වරුවේ කොළඹින් පිටත් වූ අපේ අරමුණ වූයේ රාත්‍රී ආහාරය වන විට පොළොන්නරුවට ළඟා වීමයි.

හබරණ පසුකර අප පොළොන්නරුව දෙසට ගමන් අරඹන විට හතර වටින් හොඳටම කළුවර වී තිබුණි. එක්වරම මීටර් දහයක් පමණ ඉදිරියෙන් අපට පෙනුණ වන අලියෙකු (ඒ කාලයේ භාවිතයට අනුව වල් අලියෙකු) පාර අයිනේ සිටින බවයි. මෝටර් රථයේ ලාම්පුවේ එළිය නිසාදෝ ඌ නැවතී රථය දෙස බලාගෙන සිටින බවක් පෙනුණි.

වාහනයේ ඉදිරිපස මගී අසුනේ සිටි මිතුරා පොළොන්නරුව මාර්ගයේ රාත්‍රියේ ගමන් බිමන් කර ඇති “ගමේ කොල්ලෙකු” වූ නිසා ඔහු මේ අලියාගේ දර්ශනයෙන් පුදුමයට පත් වූ හෝ බියපත් වූ බවක් නොපෙනුණි. එසේ වුව ද, වාහනය පැදවූ මිතුරාට නම් මෙය කලින් මුහුණ දී නොතිබුණු තත්වයක් විය. එනිසා ඔහු, වාහනය මෙතැන් සිට පදවන් මෙන් “ගමේ කොල්ලා”ගෙන් ඉල්ලා සිටියේ ය.

ඉතිං, මගේ මේ හොඳම මිතුරන් දෙදෙනා කළේ දොරවල් ඇර එළියට බැස, වාහනේ ඉදිරිපසින් ගොස් අනිත් දොරෙන් ඇතුළට වී නැවතත් අසුන් ගැනීමයි.

වන අලියා තවමත් ඉදිරියෙන් සිටින බව වාහනයේ ලාම්පු එළියට පෙනෙන නිසා ඉදිරියට යාමට නොහැකි හෙයින් දැන් රියදුරු අසුනට පැමිණි මිත්‍රයා තීරණය කළේ වාහනය මේ වන විට නැවතී තිබුණු තැනින් තරමක් පිටුපසට ගැනීමයි.

එසේ පිටුපසට යත්ම, වාහනයේ ලාම්පුවේ එළියෙන් අපිට පෙනී ගියේ අර මුලින් වාහනය නවතා දෙදෙනා මාරු වුණු ස්ථානයේ ද පාර අසල අලි රාශියක්ම සිට ඇති බවයි!

ඉදිරිපස මාර්ගය පමණක් ලාම්පු එළියට පෙනෙන අතර, මීටර් දහයක් පමණ ඉදිරියෙන් සිටි “තනි අලියා” දෙස බලමින්, ඔවුන් දෙදෙනා ආසන මාරු කර ගැනීමට එළියට බැස කට්ට කරුවලේ ඇවිද ගොස් ඇත්තේ අප සිටියේ අලි රංචුවක් මැද බව නොදැන ය.

මද වේලාවකට පසු අලි රංචුව වනයේ පාරේ එක් පසෙක වන රොදට වැදී නොපෙනී ගියහ.

අපි නැවත ගමන ආරම්භ කර නිරුපද්‍රිතව ගමනාන්තයට ගියෙමු.

-රසික සූරියආරච්චි

ප/ලි: ජැක්සන් ඇන්තනි හා (යාන්තමට හෝ) සම්බන්ධ වෙනත් මා ලියූ ලිපි.

1. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html


2. ජැක්සන් ඇන්තනි රඟ පෑ නාට්‍යයක් (චූට්ටක් විතර) කොපි කළෙමි - Rasika Suriyaarachchi, the dramatist, director and actor, confesses...!
https://rasikalogy.blogspot.com/2016/10/rasika-suriyaarachchi-dramatist.html


3. ජැක්සන් ඇන්තනි ගේ හිස්-ස්ටෝරිය! - Jackson Anthony is history!
https://rasikalogy.blogspot.com/2015/12/jackson-anthony-is-history.html


4. ඇඩ්‍රස් නැති වුණා යැයි කියවුණු රූපවාහිනී සාකච්ඡාවේ දී ජැක්සන් කළ පැහැදිලි කිරීමේ ඇත්ත නැත්ත - In defence of Jackson Anthony
https://rasikalogy.blogspot.com/2015/11/in-defence-of-jackson-anthony.html


5. සිංහල කලාකරුවන් පිරිසක් නලාකරුවන් වීම නිසා අපට ඇතිවෙන වාසි! - Artistes and Artists Vs Henchmen
https://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html


(Video: ජැක්සන් ඇන්තනි මුහුණ දුන් අනතුර දැක්වෙන බව කියවෙන සමාජජාලාවල සංචරණය වන වීඩියෝවකි.)

Wednesday 22 June 2022

ගණ දෙයියා මිත්‍යාව - Oh My Goat



මේ පාසල් දරුවන් අතර මිථ්‍යාව පැතිරවීමේ කූඨ වැඩ පිළිවෙළක් පිළිබඳ කතාවකි.

උඩින් එකතු කර ඇති රූපයේ පෙනෙන්නේ කුමක්දැයි දන්නවාද? ඒ ගණ දෙයියා නම් මිනිස් අර්ධයක් ඇති අලි පැටියාගේ ඇඹූ රූපයකි.

මෙය පිහිටා ඇත්තේ කොහේදැයි දන්නවාද? මා ද හයවෙනි ශ්‍රේණියේ සිට නමවෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත් ගනේමුල්ල ගලහිටියාවේ මධ්‍යම විද්‍යාල භූමියේ ය.

මට දැන ගැනීමට ලැබුණු පරිදි මීට අවුරුදු හතරකට පමණ පෙර ගම්පහ ප්‍රදේශයේ පාසැල් පනහක් අතර මෙම අලි පැටියාගේ ඇඹූ රූප නොමිලේ බෙදා දී ඇත. එයට මූලික වී ක්‍රියා කර ඇත්තේ චතුර සේනාරත්න නම් හිටපු මන්ත්‍රී දේශපාලුවෙකු බව ද කියවේ.

මොකා දුන්නත් මේ පිළිල පාසල් තුළට වැද්දා ගැනීමේ දෝෂාරෝපණය කෙළින් ම එල්ල විය යුත්තේ විදුහල්පතිට ය.

මෙය පාසලේ දී ගුරුවරුන්ගෙන් සහ පත පොතින් ළමුන් ලබාගන්නා අධ්‍යාපනයේ ඇති වැදගත්කම අවතක්සේරු කරන ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

සමහරවිට දැනටම විභාගවලට පෙර මෙම ස්ථානයේ පූජා සංවිධානය කෙරෙනවා ද විය හැක.

මා දහවැනි ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලැබූ මරදානේ පිහිටි ආනන්ද විද්‍යාලයේ ගුරුවරුන් ද විභාගයට පෙර නිවසේ මැටි පිළිමයක් අබියස අබතෙල් පහනක් පත්තු කරන ලෙස දරුවන්ට උපදෙස් දෙන බව පසුගිය දිනවල මට ආරංචි විය.

මේ ගැන මගේ ප්‍රතිචාරය එක වචනයකින් පහත පරිදි දැක්විය හැක.

නොදකින්.

මෙන්න මේ සම්බන්ධයෙන් ප්‍රශ්න හා පිළිතුරු කිහිපයක්.

පාසැල්වල ඇති සියලුම ආගම් වලට අදාළ පිළිම කඩා ඉවත් කළ යුතුද?

පිළිම වන්දනාව යනු මොළේ ඇති මිනිසෙකු කරන වැඩක් නොවේ.

ගෞතම බුදුන්, සැරියුත් මුගලන් හාමුදුරුවරු පිළිම වන්දනා කළ අය නොවේ. පිළිම වන්දනාව යනු පසු කලෙක රජාලා සහ හොර ගනයින් විසින් එකතු කරන ලද දෙයක්.

නමුත් මේ ගණදෙයියා පිළිමයක් පාසලක පිහිටුවීම කියන එකේ විශේෂත්වයක් තිබෙනවා. මෙයින් ඉගෙනීමට අධිපති දෙයියෙකු ඉන්නවා ය, ඌ මේ අලි පැටියා ය කියන මිථ්‍යා සංකල්පය ළමයින් ගේ සිත් තුළට අනියමින් නොව කෙළින්ම කාවද්දනවා. පාසලේ ඉන්නා අමන ගුරුවරු ළමුන් ලවා ඔය පිළිමයට වන්දනාමාන කරවනවා.

අවසානයේ සිදුවන්නේ ඉගෙනීමෙන් දැනුම සහ සහ නිවැරදි චින්තනයක් ලැබීම වෙනුවට මිථ්‍යා විශ්වාසයෙන් හිත පිරුණු කොන්ද පණ නැති අනාගත පරම්පරාවක් බිහි වීමයි.

දැක්කෙ නෑ වගේ ඉන්න.

ලෝකයේ වැරදි කරන එවුන්ට වඩා සමාජ හානියක් කරන්නේ ඒ වැරදි දැක නිහඬව ඉන්නා බහුතරයයි.

මේ පිළිම වලින් තමන්ට හරි ගියා කියන අය ඉන්නව ඒ වගේම ඔක නිකම්ම මැටි ගොඩක් කියල හිතාගෙන වැඩ කරන අය ඉන්නවා. ඒත් පිළිමෙ නිසා තමයි මට වැරදුණේ කියන අය නෑ නේද?

ඔබේ තර්කය අර දෙයියො ඉන්නවා පුළුවන් නම් නැහැ ය කියා ඔප්පු කරන්න කියා අභියෝග කිරීමට සමානයි.

බුදුදහමේ සඳහන් වන්නේ "අත්තාහි අත්තනෝ නාථෝ, කෝහි නාථෝ පරෝසියා" කියා මිස අපේ පිහිටට දෙයියෙකු හෝ යකෙකු හෝ මල පෙරේතයකු හෝ ඉන්න බව නොවේ.

පාසල් අධ්‍යාපනය හරහා දැනුම සහ ස්වාධීන චින්තනයක් ගොඩ නගනු වෙනුවට මේ ආකාරයේ මිත්‍යා විශ්වාස කෙරෙහි දරුවන් යොමු කිරීමෙන් බිහිවන්නේ කොන්ද කැඩුණු එක එකාට වැඳ වැටෙන අසරණ චින්තනයකින් යුත් පිරිසක් පමණයි.

මේ දෙයියට වැඳලා විභාගයට ගියවුන් පාස් වුණොත් දෙයියා නිසා කියා හිතනවා ෆේල් වුණොත් හිතන්නේ තමන්ගේ අපලයක් බවයි. සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ විදිහටයි.

අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ දැනුම ලබා දීම සහ නිදහස් චින්තනයක් බිහි කිරීමයි. මේ මිථ්‍යා විශ්වාස හෙට ළමුන් යොමු කිරීමෙන් සිදු වන්නේ කොන්ද කැඩුණු අසරණ අනාගත පරම්පරාවක් බිහි වීමයි.

අමනයින්ගෙ ඡන්දයෙන් බලයට පත් වීමට බලාපොරොත්තු වෙන කපටි දේශපාලුවන්ට ඊට වඩා හොඳ දෙයක් නැහැ.

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ මා මීට දෙවසරකට පෙර 2020 ජූනි 20 දින ෆේස්බුක් අවකාශයේ පළ කළ සටහනකි. එය ඊයේ උපන්දිනය වෙනුවෙන් උඩට ගත් පසු 2020 දී ඇති වූවාට වඩා විශාල ප්‍රතිචාර සහ අදහස් දැක්වීම් ලැබුණි. මෙය මේ වන විට 300+ වරක් බෙදා හැරී ඇත. මෙහි වැදගත්කම් නිසා, ඊයේ ඇතිවුණු සාකච්ඡාවෙන් කොටස් ද එකතු කර, මෙලෙස නව සංස්කරණයක් ලෙස රසිකොලොජියේ ද පළ කිරීමට සිතුවෙමි.

තවත් අදහස්:

පාසලේ ආදී ශිෂ්‍යයෙකු / දෙමව්පියෙකු මෙසේ පවසා ඇත.

මේක චතුර සේනාරත්නගෙ අපලක් කියල කරපු එකක් කියලයි කියන්නෙ. මේ ගැන කියල වැඩක් නෑ මම මේක දැක්ක දවසෙම ගිහිල්ල හිටපු ව්දුහල්පති තිසේරට වැරද්ද කිව්ව මිනිහ ගණන් ගත්තෙ නෑ පස්සෙ පාසල් සංවර්ධන සමිතියෙ මහ සභාව වෙලේ මම මේක ඇද්දා. ඉවර වුණා මාව. මුලු හෝල් එකම මට විරුද්ධව කතා කළේ. ගුරුවරියක් ඇඬුව. මං ගමේ හිංද බේරුණා.

(image: from Facebook,exact location not recorded.)

Monday 23 May 2022

"ලෝකෙන් උතුම් රට ලංකාවයි" හෙවත් "අපි තමයි හොඳටම කළේ" - Feeling sick


මීට වසර තිහකට පමණ පෙර මට තායිවාන චීන ජාතිකයෙකු හමුවිය. මා ලාංකිකයෙකු බව දැනගත් විට ම ඔහු ඉතා සතුටින් මා සමඟ පැවසුවේ ශ්‍රී ලංකාවේ මිනිසුන් විසින් පරිත්‍යාග කරන ලද අක්ෂි කුණිත ඔහුගේ රටට ලැබෙන බවත්, ඒවා බද්ධ කරගෙන ඇස් පෙනීම නැවත ලබා ගත් සෑහෙන පිරිසක් එරට වෙසෙන බවත් ය.

ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු මෙලෙස මියගිය පසු ඇස් කුණිත දන් දීමට කැමැත්ත පළ කරන බව අප දනිමු. එය එක් අතකින් දාන පාරමිතාවක් පිදීම ලෙසද අර්ථ දැක්විය හැකිය.

නමුත් සත්‍යය නම් ඕස්ට්‍රේලියාව වැනි රටවල ද මිනිසුන් මියගිය පසු තම සිරුරේ කොටස් වෙනත් අයට දීම සඳහා කැමැත්ත පළ කරන බවයි. විශේෂයෙන්ම හදිසි අනතුරකින් මිය ගිය පසුව ඇස් පමණක් නොව තමන්ගේ සිරුරේ කොටස් ද වෙනත් අයගේ ප්‍රයෝජනය පිණිස භාවිතා කිරීමට කැමැත්ත පළ කිරීම රියදුරු බලපත්‍රයක් ගන්නා අවස්ථාවේදීම කළ හැක. මම ද ඕස්ට්‍රේලියානු වාහන බලපත්‍රය ලබාගැනීමේ දී එසේ කළෙමි.

යමෙකු එසේ කරන්නේ අන් අයගේ යහපත ගැන සිතා ය. එසේ නොමැතිව තමන්ගේ ලොකු කමකට නොවේ.

ලංකාවේ ඇස් කුණිත තායිවානයට යවන්නේ ඇස් නොපෙනෙන තායිවාන් ජාතිකයින් ගේ ප්‍රයෝජනය පිණිස මිස ලංකාවේ ලොකුකමක් පෙන්වීමට නොවේ.

ලෝකයේ විවිධ රටවල ගංවතුර භුමිකම්පා වැනි විවසන ඇතිවී ජනතාවට උන්හිටි තැන් නැති වූ සමහර අවස්ථාවල ඔවුනට ආධාර පිණිස ශ්‍රී ලංකාවේ තේ කොල පරිත්‍යාග කරන බව මම ලංකාවේ සිටිය දී පුවත්පත්වලින් දැක ඇත්තෙමි. ලංකාණ්ඩුව එසේ කරන්නේ තමන්ගේ ලොකුකමක් පෙන්වීමට නොව වෙනත් අයෙකු අසරණ තත්ත්වයට පත්වූ විට පිහිට වීම සඳහා ය.

ලංකාව මේ වන විට මුහුණ පා සිටින අසරණ තත්ත්වයට යම් කිසි ආකාරයකින් මුදල් වීම පිණිස දකුණු ඉන්දියානු තමිල්නාඩු රජයෙන් මේ වන විට ආධාර ලබා දී තිබේ. ඒ සඳහා එකතු කරන අරමුදලට කුඩා ඉන්දියානු දැරියක් තම කැට එකතු කර මුදල් ද, හිඟන්නෙකු විසින් අනුන්ගෙන් තම අසරණකම පෙන්වා ලබාගත් මුදල් ද ප්‍රදානය කර තිබෙන බව ප්‍රවෘත්ති සටහන් මගින් දැනගත්තෙමි.

තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් එසේ කරන්නේ ඔවුන්ගේ ලොකුකම පෙන්වීමට බවත්, ලංකාවට සමච්චල් කිරීමට බවත්, ලංකාවේ අසරණ බව මුළු ලෝකයටම පෙන්නවා ලංකාව පහත් තත්ත්වයකට ඇද දැමීමට බවත්, ඔවුන්ගේ අභ්‍යන්තර දේශපාලන වාසි සඳහා බවත් අපේ සමහර අයියලා ගේ අදහසයි.

එසේ නොව, ඔවුන් එලෙස ආධාර උපකාර කරන්නේ ලාංකිකයින් වැටී ඇති අසරණ තත්වය ගැන ඔවුන්ගේ සිතේ ඉපදුනු අනුකම්පාව නිසා සහ ඔවුන්ගේ දානමය සිතුවිලි නිසා බව පිළිගැනීමට සමහරු පැකිළෙති.

එවැනි අදහස් පිළිබඳව මට ඇති වන්නේ පිළිකුලකි.

මේ අර "ලෝකෙන් උතුම් රට ලංකාවයි" හෙවත් "අපි තමයි හොඳටම කළේ" යන අමන මානසිකත්වය ම ය.

-රසික සූරියආරච්චි

Thursday 14 April 2022

ගෝටාගෝගම ගියෙමි, සතුටෙන් ඇඬුවෙමි! - Once in a lifetime opportunity to change the country


මවගේ රෝගී තත්වය නිසා හදිසියේ ලංකාවට ආ මට, ඒ ශල්‍යකර්ම යනාදිය අවසාන වී, මද ඉසුඹුවක් ලැබුණේ දින හයකට පසුව ය.

ඒ ලද අවසරයෙන් මට ගෝටාගෝගම වෙත ගොස් හැකි පමණින් ඒ විරෝධතා ව්‍යාපාරයට සහභාගී වීමට ඉඩ ලැබුණි.

පිලියන්දල සිට පොදු ප්‍රවාහන සේවාවකින් කොටුව ප්‍රදේශයට ගොස්, පැරණි මතකයන් අවදිකරවන මගක් ඔස්සේ, ගෝටාගෝගම පිහිටා ඇති ප්‍රදේශය වෙත මා ළඟා වූයේ ලේහවුසිය, රීගල් සිනමාහල, මහලේකම් කාර්යාලය දුම්‍ රිය නැවතුම් පොළ, කොටුවේ පන්සල, ගලධාරි හෝටලය වැනි මං සළකුණු නිරීක්ෂණය කරමිනි.

පෙර එක් දිනයක යුවතියක සමග මේ මග ඔස්සේ ම කොටුවේ සිට ගාලුමුවදොර දක්වා ගිය ගමනක් මේ මොහොතේ මගේ සිහියේ ඇඳේ.

එදා ඒ යුවතිය සමග ඇවිද ගියේ තරුණයෙකි.

මෙදා තනිවම ඇවිද ගියේ මැදිවියේ පසුවන මිනිසෙකි.

තනිවම කීවාට තනිවම ම නොවේ. මා සමගම ඒ මාර්ගයේ තවත් බොහෝ දෙනෙකු ගෝටාගෝගම දෙසට ඇවිදිමින් සිටියහ. ඒ බොහෝ දෙනෙකු තරුණ තරුණියෝ වූහ.

ගෝටාගෝගම යනු කුමක්දැයි අද මේ ලිපිය කියවන කිසිවෙකුට අමුතුවෙන් විස්තර කළ යුතු නැතිවුවත්, පසු කලෙක අහම්බෙන් මේ සටහන දකින, ඒ ගැන අසා නැති අයෙකු වෙත් නම්, ඒ අයගේ ප්‍රයෝජනය පිණිස කියනවා නම් මේ ලංකාවේ සිටි වඩත්ම අදූරදර්ශී, වඩාත්ම ජඩ, වඩාත්ම අමන පාලකයා වූ ගෝටාබය (හෙවත් ගෝඨාභය) රාජපක්ෂ සහ ඔහුගේ ඇම්බැට්ට රජය පළවා හැරීම සඳහා පෙළ ගැසුණු තරුණ විරෝධතාකරුවන්ගේ සටන් බිමයි. නුදුරු දිනයක දී ඓතිහාසික ජයග්‍රහණයකින් අවසන් වෙනු ඇතැයි මා තරයේ විශ්වාස කරන අරගලයක මාතෘ භූමියයි.

වීඩියෝ සහ ඡායාරූප මගින් මේ සටන් බිම මා දැක තිබුණ ද, එය සැබැවින් මගේ දෙනෙතින් ම සජීවීව දැක, සටන්කරුවන් අතර සිටිමින් මා ලද අත්දැකීම එයට හාත්පසින් ම වෙනස් ය.

එකිනෙකා නාදුණන, එ මෙන් ම හඳුණන, තරුණ, මැදිවියේ අය, එක්වත්, කුඩා කණ්ඩායම් ලෙසත් විරෝධතාවය දක්වති. සටන් පාඨ කියති. විවිධ සටන් පාඨ ලියවුණු පිකට් බෝඩ් ප්‍රදර්ශනය කරති. අරගලකරුවන්ට විවිධාකාර සේවා සපයන අය ද බොහෝ ය. රාත්‍රියේ විවේකයක් ගැනීමට අවශ්‍ය අයට සෙවන සැපයීමට ඉදිකෙරුණු කූඩාරම් රාශියක් ද විය. මේ කිසිවකට ඇද හැලෙන මහ වැස්ස භාධාවක් නොවේ. කුඩ, වැසි කබා, සෙවන සළසන තාවකාලික මඩු මගින් අරගලකරුවන්ට මද පිහිටක් සැපයේ.

මෙය, මුඛ්‍ය අරමුණ සාක්ශාත් කර ගන්නා තුරුම, එනම් ගෝටාබය රාජපක්ෂ ඇතුළු අසංවේදී ජඩ හොර නඩය පන්නා දමන තුරුම පවතින සටනක් බව පෙණුනි.

පෙර කී මැදිවියේ පුද්ගලයාගේ නෙතට කඳුළු ගලා ආවේ ඒ මොහොතේ දී ය.

ඒ කඳුළට හේතුව කුමක් ද?

තාරුණ්‍යය සිහිවීම ය.

එදා ජේ.ආර්. ජයවර්දෙන නම් ජඩ පාලකයා සහ උගේ කල්ලිය විසින් ගත් ඇතැම් තීරණවලට විරුද්ධව සටන් පාඨ කියමින් ගලහ හන්දියේ ද, මහනුවර නගරයේ දී ද කළ විරෝධතා සිහිවීම ය.

අප පැතූ ඒ සාධාරණ සමාජය අපේ ජීවිත කාලය තුළ දී ම උදාවෙනු දකින්නට සැබෑ හැකියාවක් ඇති බව වැටහීම ය.

ඒ සඳහා සාමාන්‍ය සහභාගීත්වයට අමතරව වඩාත් සක්‍රීය දායකත්වයක් ලබා දෙන්නට අපහසුතා ඇති බව වැටහීමේ දුක ද එ අතර වී ය.

පැයක් පමණ ගෝටාගෝගමේ රැඳී සිටි මා ආපසු නිවස බලා ආවේ යහපත් හෙට දවසක්, සාධාරණ සමාජයක්, දූෂණය පිටු දකින අලුත් ආණ්ඩුවක් ගැන සිතේ ඇති වූ බලාපොරොත්තු ගොන්නක් ද සමගිනි.

සුතනඹුවන් කරා යාමට පෙර යළි දවසක ගෝටාගෝගම වෙත යාමට අදහස් කරමි.

-රසික සූරියආරච්චි, #gotagohome2022, #gohomegota2022

ප/ලි: එදින රාත්‍රියේ ගෝටාගෝගම දී මා දුටු සිත්ගත් සටන් පාඨයක් මෙසේ ය.

පළමුව විගණනය
දෙවනුව වැලිකඩ

(image: )

Saturday 2 April 2022

ඇළ කණ්ඩියේ සුනිල් - This was published in Sisila Sinhala Monthly Magazine in April 2022


සිඩ්නි නගරයේ පමණක් නොව සමස්ත ඕස්ට්‍රේලියාවේ ම සිටින සිංහල නවකතාකරුවන් අතරින් සමන් දිසානායක ප්‍රවීනතමයා බව අවිවාදාත්මක ය. වර්ෂ 2000 දී බඹරැන්දේ කඟවේනා කෘතිය සමගින් නවකතාකරණයට පිවිසි ඔහු පසුගිය දශක දෙකක කාලය තුළ කැන්ගරු නිම්නය, පුංචි සර්, රන්දෙණිගල වලව්ව, දුරුතු සිහිනය, ලංසි කෙල්ල, සුරඟන කුමරිය, අහස් ඉම, අනුෂ්කා, සහ ඇළ කණ්ඩියේ සුනිල් නම් අප දැක ඇති නවකතා ද, සුදු මැණික, වැල්ලේ කොල්ලා වැනි ළඟ දී මුද්‍රණය වූ හෝ මුද්‍රණයේ පවතින නවකතා ද ඇතුළුව නවකතා රාශියක නිර්මාපක රචකයා වේ.

මේ සටහන ලියවෙන්නේ සමන් දිසානායක ගේ දහවෙනි නවකතාව, එනම් සුරස පොතක් ලෙස 2019 දී ප්‍රකාශයට පත්වුණු “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාව පිළිබඳව ය.

නවකතා ප්‍රබන්ධ විය යුත්තේ සරල ජීවිත ගත කරන සාමාන්‍ය පුද්ගලයන්ගේ එදිනෙදා නීරස ජීවන අත්දැකීම් ගැන නොව, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එසේත් නැත්නම් දෛවයානුකූලව, සැමට පොදු නොවන සංකීර්ණ ජීවිත ගත කරන සුවිශේෂී පුද්ගලයන්ගේ අසාමාන්‍ය ජීවන අරගල ගැන ගැන බව මීට දශකයකට පමණ ඉහත දී සමන් දිසානායක ලියූ “දුරුතු සිහිනය” නවකතාව පිළිබඳ විචාරයක් කරමින් මම කීවෙමි. මා කියවා ඇති ඔහුගේ නවකතා ඇසුරින් මට කිව හැක්කේ සමන් දිසානායක මේ කාරණය ඉතා හොඳින් වටහා ගත් ලේඛකයෙකු බවයි. නවකතාකරුවෙකු ලෙස ඔහුගේ ප්‍රබලතම ශක්තිය ලෙස මා දකින්නේ සිය නවකතාවල චරිත වටා සුවිශේෂී සිදුවීම් රැසක් අපූරු ලෙස පෙළ ගස්වා, ඒවා එකිනෙක හා සියුම් ලෙස සම්බන්ධ කර, විශ්වාසනීය කතා වස්තුවක් ප්‍රබන්ධ කිරීමට ඔහුට ඇති හැකියාවයි. එසේම ඔහු නිර්මාණය කරන චරිත හුදෙක් සරල, සුදු-කළු චරිත නොව මිනිස් ගති පැවතුම් යථාර්ථවාදීව නිරූපණය කරන චරිත වෙති.

නවකතාවේ නමෙන් ම පැහැදිලි වන පරිදි මේ කෘතියේ ප්‍රධාන භූමිකාව “ඇළ කණ්ඩියේ සුනිල්” ගේ ය. සුනිල් නාගරික ලුම්පන් පවුලක උපන්, පාසල් කාලයේ දී ඉගෙනීමට සැබෑ උනන්දුවක් මෙන් ම ඉතා දක්ෂතාවක් ද පෙන්වූ නමුත් ඉන් පළ නෙලා ගන්නට පෙර තමන් ජීවත් වූ පරිසරය නිසා ම ජීවිතය වෙනස් කරවන අත්දැකීමකට මුහුණ දුන් අයෙකි. වසර කිහිපයකට පසුව තම ජීවිතය නිවැරදි මාර්ගයට යොමු කරගන්නට අවස්ථාවක් ලැබුණ ද, එය කර ගන්නට නොලැබුණු අයෙකි.

සිසිල සඟරාවේ පළ වන ජෙස්තරයගෙ කතන්දර කොලමේ පළ වූ සරදම් කතාවක මිනිස් ජීවිතයකට බලපාන සාධක කොටස් දෙකකට බෙදිය හැකි බව කියවුණි. ඒවා නම් ජානමය සාධක සහ පාරිසරික සාධක වේ. මෙය විස්තර කිරීමට එහි දක්වා තිබුණු උදාහරණය වූයේ මෙලොව ඉපදෙන දරුවෙකු තම මවගේ සැමියාගේ හැඩරුව ගන්නේ නම් එය ජානමය සාධකවල බලපෑමක් බවත් එසේ නොමැතිව අල්ලපු නිවසේ වෙසෙන පුද්ගලයාගේ රුව ගන්නේ නම් එය පාරිසරික සාධකයක් ලෙස දැක්විය හැකි බවයි. උපත කෙසේ වුව ද, ඇළ කණ්ඩියේ සුනිල් ගේ ජීවිතය ගලා යන්නේ පාරිසරික සාධක මත වුවත් සුනිල්ගේ නැගණිය වූ ගංගා ගේ නම් ජීවිතය ඇරඹෙන්නේ ද පාරිසරක සාධක බව මත පෙනේ.

ප්‍රධාන චරිතය සුනිල්ගේ වුවත්, කතුවරයා මෙම නවකතාව අපට ඉදිරිපත් කෙරෙන්නේ ඔහුගේ පාසල් මිතුරු ශ්‍රීනාත් විජේසිංහ ගේ දෘෂ්ටිකෝණයෙනි. ශ්‍රීනාත් යනු සුනිල් මෙන් නොව රිදී හැන්දක් මුව රුවාගෙන ව්‍යාපාරික පවුලක උපන්, සුවපහසු ජීවිතයක් ගත කරන එමෙන්ම විභාග සමත්වීම, විශ්වවිද්‍යාලයට යෑම වැනි සාමාන්‍ය අත්දැකීම් මිස වෙනත් කිසිදු සුවිශේෂී ජීවන අත්දැකීමක් නොලබා නීරස ජීවිතයක් ගෙවන චරිතයකි. කොටින් ම මෙම චරිතය ශ්‍රීනාත් නොව ශ්‍රීමත් එනම් සිරිමත් යැයි නම් කළ යුතුව තිබුණි. ඔහු එතරම් ම හොඳ ළමයෙකි. මවට කීකරු ය. උඹ, බං, බොලං වැනි වචන “පරුෂාවාචා” ලෙස සලකයි. කොටින් ම, තරුණ වියට පත් වූ පසු ශ්‍රීනාත් විවාහය සඳහා සොයන්නේ ද අම්මා කැමති වෙන ආකාරයේ, හොඳට ගෙදර දොර ඉවුම් පිහුම් දන්නා තරුණියකි!

ශ්‍රීනාත් ගේ මෑණියගේ චරිතය නවකතාකරුවා විසින් ගොඩ නැගුවේ තම මවගේ චරිතය ඇසුරෙන් බව ඔහු පවසා ඇත. සමහරවිට ශ්‍රීනාත්ගේ චරිතය නවකතාකරු විසින් තමාගේ අත්දැකීම් අනුසාරයෙන් ගොඩ නගාගන්නට ඇතැයි පාඨකයාට හැඟී යනු පිණිස යම් යම් සලකුණු එකතු කරන්නට ද ඇත.

හැටේ දශකයේ මැද භාගයේ සිට වසර විස්සක් පමණ ඉදිරියට කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ඇදී යන “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ අවසාන භාගයේ දී සැකෙවින් නමුත් සුවිශේෂී සිදුවීම් අනුසාරයෙන් ඉදිරිපත් කෙරෙන 1983 ජූලි මාසයේදී කෙරුණු කොළඹ දී කෙරුණු අමානුෂික දෙමළ ජන සංහාරය සහ දේපල විනාශය සහ මංකොල්ලකෑම් ගැන කියවන විට සංවේදී පාඨකයෙකුගේ ඇසට කඳුළක් නැඟෙනු නොඅනුමාන ය.

කරුණාවන්ත බවේ, මනුස්සකමේ සංකේතයක් බඳු විජේසිංහ මැතිණියගේ චරිතය ද පාඨක සිතට ගෙන එන්නේ පහන් සිතුවිලි ය.

පරිණත නවකතාකරුවෙකු වුව ද සමන් දිසානායක “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ දී මගේ මතයට අනුව වරදක් කර ඇත. එනම් නවකතාව පිටු 40කින් පමණ දීර්ඝ කිරීමයි. කරුණාසේන ජයලත් ගේ ගොළු හදවත නම් නවකතාව විසින් 1962දී ප්‍රකාශයට පත්වෙන තුරු එතෙක් ලියැවුණු සියලු ප්‍රේමකතා අඩංගු සිංහල නවකතා සුඛාන්ත පමණක් වූ බව කියවේ. සමන් දිසානායක ගොලු හදවත නවකතාව කියවා ඇති බවට මට සැකයක් නැති නමුත් තම දහවෙනි නවකතාවේ දී පවා ඔහු උත්සාහ කර ඇත්තේ එහි අවසානය සුඛාන්තයක් කිරීමටයි. මා පෙර සඳහන් කළ පිටු 40 එකතු වී ඇත්තේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ය.

වෙනත් වචනවලින් කියනවා නම්, මගේ මතයට අනුව, “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාව අවසාන විය යුතුව තිබුණේ සුනිල් ගේ නිවසට කෙරෙන මැර ප්‍රහාරයේ අරමුණු එලෙසින් ම සාර්ථක වීමෙනි. අප දන්නා යථාර්ථය නම් එයයි. එනම් දේශපාලුවන් කරන දේ “අහෝසි කම්ම”වේ. ඔවුන් සදාකල් යහතින් වැජඹෙති. නමුත් දේශපාලුවන් වෙනුවෙන් සියලු මජර වැඩ කරන ඇළ කණ්ඩියේ සුනිල්ලා කරන දේ දිට්ඨධම්මවේදනීය කර්ම ම වේ. ඔවුන් කෙටිකලකින් ම උපපජ්ජවේදනීය කර්ම ගෙවන්නට නික්ම යති.

සමන් දිසානායක විසින් රචිත, මා කියවා ඇති නවකතා අටකි. ඒ සියල්ලේ ම මෙන් “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ ද “මේසය මත නොතබා එක දිගටම කියවිය හැකි” පාඨක සිත් ඇද බැඳ තබා ගන්නා සුවිශේෂී ගුණය ඇත. ඒ සමන් ගේ භාෂාව සරල, සුගම නිසා ය. සංකීර්ණ සිදුවීම් විස්තර කිරීමේ දී වුව ද ඔහුගේ රචනා විලාසය පාඨක සිත් වෙහෙස නොකරන නිසා ය.

චේතනා පරිශුද්ධ පෙම් සටන් දෙක ම ජයගන්නා නිසා ද විය හැක.

අවසානයේ මෙය ද කිව යුතු ය.

දිගු කාලයක් තිස්සේ විදෙස් රටක වෙසෙමින්, සාහිත්‍යයෙන් දුරස් මෘදුකාංග ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙමින්, ක්‍රියාන්විත දවසේ වැඩි කාලයක් තිස්සේ ඉංගිරිසිය අසමින්, ඉංගිරිසිය භාවිතා කරමින් සිටින්නෙකුට සිංහල නවකතාකරනයේ දිගින් දිගටම යෙදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙම බාධක සියල්ල ම සමතික්‍රමණය කර මේ වන විට නවකතා දුසිමකටත් වඩා රචනා කර ඇති සමන් දිසානායක අපේ විගාමික නවකතාකරුවන්ට පමණක් නොව ලාංකේය අංකුර රචකයින්ට ද ආදර්ශයකි.

- රසික සූරියආරච්චි
ප/ලි:
ඇළ කණ්ඩියේ සුනිල් - සමන් මහානාම දිසානායක
සුරස (ෆාස්ට් පබ්ලිෂින්), 2019
මිළ රුපියල් 450

Friday 25 March 2022

නයා ඇරීමේ උපත - Some do, some don't


නයා අරිනවා යන යෙදුම නොදන්නා අය සිටී යැයි මම නොසිතමි.

එසේ වෙතත් කෙටියෙන් කියනවා නම් එයින් අදහස් කෙරෙන්නේ පම්පෝරි ගැසීම යන්නය්. විශේෂයෙන් ම, යමෙකු තමන් ගේ වත්කම, තරාතිරම ගැන කයිවාරු ගැසීම නයා ඇරීමයි.

නයාගේ ලොකුම එකා, අප දන්නා සාහිත්‍යට අනුව, මුචලින්ද වේ. ලොකුම පම්පෝරි ගසන්නෝ ද ඒ අනුව මුචලින්දලා ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ.

"නයා ඇරීම" යන යෙදුම ජනවහරට එකතු වී ඇත්තේ ඉරිදා පුවත්පතක පළවූ හාස්‍යජනක තීරු ලිපියකින් බව කිව හැක.

මේ මා ඒ කතාව දැනගත් ආකාරයයි.

මා හතරේ පන්තියේ පමණ ඉගෙන ගන්නා කාලයේ එක් දවසක මට එවකට කොළඹ නතර වී ජීඒකිව් විභාගයට සූදානම් වෙමින් සිටි මගේ පුංචි අම්මා කෙනෙකු සමග අම්මලාගේ මහ ගෙදරට, එනම් කලවානේ, යාමට අවස්ථාවක් ලැබුණි.

ගමේ යාම යනු එකල අපට ඉතා සතුටක් ගෙන දෙන අවස්ථාවකි. නමුත් ගමන නම් අපුල ය. බස්රථවල ඩීසල් ගඳට සහ වංගු ගන්නා විට ඇතිවන හෙල්ලුම් පෙරළුම් නිසා මට නිතිපතා වමනේ යයි. නමුත්, ඒ සියල්ල අවසානයේ මා එළැඹෙන්නේ තිත්තයෝ ද, බුලත් හපයෝ ද, තවත් නම් නොදන්නා විවිධ මාළු ද පිරි ගලා යන ජල ප්‍රවාහෙයෙන් ද, කුඩැල්ලෝ සැරිසරන හරිත කඳුවැටි, රබර්වතුවලින් ද වට වූ සුන්දර ගම් පෙදෙසකටයි.

මා පුංචි අම්මා සමග පිටකොටුවේ බස් නැවතුමට යන විට එතැන එක්තරා අමුත්තෙක් අප එනතුරු බලා සිටියේ ය.

මා පසුව දැනගත් පරිදි ඒ අපේ වෙන්ඩ බාප්පා ය.

අපි රත්නපුර බසයට ගොඩ වුණෙමු. මට එක් අසුනකත්, මා පිටුපස අසුනේ වෙන්ඩ බාප්පා සහ පුංචි අම්මාත් අසුන් ගත්හ.

මොහොතකට පසු බස් රථයට ගොඩ වැදුණේ පොත් වෙළෙන්දෙකි. ඔහු අත තිබූ එක් පොතක් මිලට ගත් බාප්පා එය මා අත තැබූවේ, පොත් ගුල්ලෙක් වන මා එතැන් සිට ඔවුන් දෙදෙනාට කිසිදු ප්‍රශ්නයක් නැතුව රත්නපුරය දක්වා ගමන් ගන්නා බව දන්නා සේ ය.

චන්ද්‍ර අනගිරත්න විසින් එවකට තිබූ “රිවිරැස” නම් සති අන්ත පුවත් පතට ලියන ලද "සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන්" නමැති තීරු ලිපිවල එකතුවක් වූ ඒ නවීන ගජබින්නාලංකාරය හොල්මන් නම් වූ පොත එදා මට රස සාගරයක් විය.

නයා අරින කතාව තිබුණේ ඒ පොතේ ය.

පසුකලෙක චන්ද්‍ර අනගිරත්න විසින් තමන් ලියන ලද ඒ තීරු ලිපි “නරලොව හොල්මන්” නමින් නැවත පළ කරන ලදී.

පහත පළ වෙන්නේ ඒ පොත්මාලාවේ තුන්වැන්නේ අඩංගු වූ “මුදලාලිගෙ ගෙට නයෙක් ඇවිත්” නම් උපහාසාත්මක රචනයයි.


මම ද, කලකට පෙර, මේ බ්ලොගයේ ම පොඩි පහේ නයෙකු ඇර ඇත්තෙමි. එය කියවා නැති අය සඳහා මෙන්න සබැඳියක්.
https://rasikalogy.blogspot.com/2016/09/size-depends-on-you.html

-රසික සූරියආරච්චි

(image: https://www.dinamina.lk/2020/11/05/)

Wednesday 9 March 2022

ආස්මී රසිකයින් සහ ආස්මී නොවන රසිකයින් - Ask-me or not-ask-me 😛


ඊයේ මම ආස්මී නම් කෑම වර්ගය ගැන කෙටි සටහනක් ලියා ෆේස්බුක් එකේ පළ කළෙමි. මා මිත්‍ර සතින්ද්‍ර සත්‍යප්‍රසාද් (ඒ බව කෙලින් ම නොකියා) මගේ සටහනට පිළිතුරක් ලෙස පෙනෙන සටහනක් ලියා ෆේස්බුක් එකේ පළ කර තිබෙනු මම අද දුටිමි.

පහත පළවෙන්නේ ඒ සටහන් දෙකයි.

කැමති පරිදි කියවා (හෝ නොකියවා), ඔබ ආස්මී රසිකයෙකු ද, ආස්මී නොවන රසිකයෙකු ද කියා දන්වන්න.


ආස්මී නොවන රසිකයෙකුවන රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි මෙසේ කියයි.


ඊයේ උත්සවයකට ගිය විට එහි ලාංකික රසකැවිලි මේසයක් ද දක්නට ලැබුණු අතර එහි තිබූ ආස්මී නම් සාමාන්‍යයෙන් සිංහල අලුත් අවුරුදු කාලයට දක්නට ලැබෙන රස කැවිල්ල දැක සිතට ආ කරුණක් මෙසේ ලියමි.

ආස්මී යනු මගේ මතයට අනුව මේ ලොකේ ඇති මෙලෝ රහක් ම නැති රසකැවිල්ලයි. මෙයට රසකැවිල්ලක් යැයි ඇත්තටම කිව හැකි ද යන්න ද ප්‍රශ්නයකි.

සාමාන්‍යයෙන් රස කැවිල්ලක ඇති පැණි රස වුවද මෙහි ඇත්තේ ඔය උඩින් යන්තම් දවටන සීනිවලින් හෝ පැණියෙන් යොදන සැරසිල්ලේ පමණි. සුදු පැහැයෙන් යුතු කොටස නම් මොන මංගල්ලයක් සඳහාදැයි නොතේරේ.

මෙලෝ රහක් නැති වීම හැර ආස්මී නම් ඊනියා රස කැවිල්ලේ තවත් ප්‍රශ්නයක් ඇත.

එනම්, විශිෂ්ට රසකැවිලි වන කොණ්ඩ කැවුම් මුං කැවුම්, වැලිතලප, කිරි ටොපි වැනි රසකැවිලි මෙන් නොව ප්‍රමාණයෙන් ඉතා විශාල වීමයි. කොටින්ම ආස්මී එකක් සාමාන්‍ය පිඟානකින් අඩකි.

ආස්මිලා හිතාගෙන ඉන්නේ තමන් හැලප තරම් රසවත් යැයි කියා විය යුතුය.

එනිසා වර්ණ ගන්වා ඇති සැරසිල්ල ට රැවටී හෝ දිගු කලකින් දැක නැති නිසා හෝ ආස්මී එකක් අතට ගන්නා තැනැත්තා එක් කටක් කෑමෙන් පසු ඉතුරු කොටස අවසන් කරන්නේ කෙසේද කියා ඉතා විශාල ප්‍රශ්නයකට අනිවාර්යෙන්ම මුහුණ දීමට නියමිත ය.

එවැනි අවස්ථාවක ඔබ ලග හිටිය හොත් බාගයක් ඕනෙද කියා ඔබෙන් ඇසීමට ද නියමිතය. ඊයෙ මට ද එම පැනය අල්ලපු පුටුවෙන් ලැබුණි. අපි අහුවෙයි ඕවට...!!!

ආස්මී සම්බන්ධයෙන් මගේ යෝජනාව මෙයයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ආස්මි එකක ප්‍රමාණය කොණ්ඩ කැවුමක් තරමට කුඩා කරන්න.

(ඡායාරූපය සොයාගත්තේ "සුදු" නම් ෆේස්බුක් පිටුවෙනි)
  ආස්මී රසිකයෙකුවන ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් මෙසේ කියයි.


රසකැවිලි මේසයේ මගේ ප්‍රියතම රසකැවිල්ල - ආස්මී

මේ සටහන ලියන්නට මෙතෙක් පමා වුණේ ආස්මී එකක් කන ගමන්ම, එහි පින්තූරයක්ද සහිතව, එසේ කිරීම මගේ අදහස වූ නිසයි. පින්තූරයේ ඇති රසකැවිල්ල සාම්ප්‍රදායික අර්ධ-වෘත්තාකාර හැඩයෙන් වෙනස්ව, තරමක් කැඩී, ඇත්තේ මන්දැයි මා නොකිව්වාට අනෙක් ආස්මී රසිකයෝ (ආස්මී නොවන "රසික"යෝත් සිටිත්!) දන්නවා ඇති. 😛

ආස්මී යනු කෙසෙල්ගෙඩි ළඟට අවුරුදු කැවිලි මේසයේ ඇති වඩාත්ම සෞඛ්‍ය හිතකාමී රසකැවිල්ලයි. ප්‍රමාණයෙන් විශාලව පෙනුණත් ආස්මී එකක් සාමාන්‍යයෙන් කැවුමකට, මුං කැවුමකට වඩා එහෙමට බරින් වැඩි නැත. ඒත් අන් සියලු අවුරුදු කැවිලිවලට වඩා සීනි, පිටි සහ තෙල් අඩුවෙන්ම අඩංගු ආස්මී වලයි.

නමුත් මට ආස්මී වැදගත් වන්නේ එහි මිහිරි රස නිසායි. අනෙක් කැවිල්ලක් දතින් හැපෙනවිට දැනන තෙල් රසට වඩා ආස්මී වල මෘදු රැල් සහිත ස්වභාවයට, හැපෙන විට දැනෙන සිහින් ක්‍රිස්පියට, තැනින් තැන රැඳුන පැණි රසට මම බෙහෙවින් ප්‍රිය කරමි. ආස්මී වැඩි කාලයක් තබා ගත හැකි අතර කිසි විටෙක මුඩු තෙල් සුවඳ හමන තත්ත්වයට පත් නොවේ.

ආස්මී වල ලොකුම වරද නම් හැමදෙනාටම හොඳ ආස්මී හදන්නට නුපුළුවන් වීමයි. එසේම බොහෝ දෙනා ආස්මී සාදන්නට නොදැන සිටීමයි. වෙළඳපොළේ ඇති සමහර නීරස ආස්මී මෙන් නොව දවුල් කුරුඳු හා පිටි මැනැවින් යොදා ගෙදරදී සාදාගත් ආස්මී වරක් කන්නට ලැබුණොත් හොය හොයා කන්නට සිතේ.

අවුරුදු තේ මේසයකට වාඩිවන මා ආස්මී තිබුණොත් අන් යමක් කන්නේම නැත. "ලයිට්වට යමක් කන්නට" හිතුණොත් ඒත් කරන්නේ එයමයි.

මා කිසිම විටෙක ආස්මී එකක් දෙකට කඩා බාගයක් පමණක් කා නැත. කලාතුරකින් දිනෙක එසේ කා ඇත්නම් ඒ මගේ ආස්මී එකට අමතරව යාබද අසුනේ සිටි අයෙකුගේ ආස්මී එකකින් අඩකි!

ආස්මී සැපයුමේ ස්තුතිය Keshara Nedungamuwa සහ පවුලේ සැමදෙනාට.


දැන් මෙන්න කලින් ඇසූ ප්‍රශ්නය නැවතත්.

ඔබ ආස්මී රසිකයෙකු ද, නැතිනම්, ආස්මී නොවන රසිකයෙකු ද?

-රසික සූරියආරච්චි

Thursday 3 March 2022

සුදු වැලි මතුපිට - කවියෙකු ගැන කතාවක් :: Maithri Panagoda and his lyrics


මෛත්‍රී පනාගොඩ ලියූ "සුදුවැලි - ගී පදමාලා" කෘතිය වෙනුවෙන් ලියවෙන සටහනකි

අපේ නිවසට ගුවන් විදුලි යන්ත්‍රයක් ලැබුණේ හැත්තෑව දශකයේ මුල් කාර්තුවේ මා ප්‍රාථමිකයෙන් ලොකු ඉස්කෝලෙට පිම්මක් පැන්න කාලයේ දී ය. අද මෙන් හැටහුට හමාරක් ගුවන් විදුලි නාලිකා එකල තිබුණේ නැත. සිංහල භාෂාවෙන් විකාශය වූයේ එකල අපට දැනුණු පරිදි නීරස ස්වදේශී සේවය සහ ගීත, නාට්‍ය ඇතුළු වෙනත් වැඩසටහන් වෙළඳ දැන්වීම් අතරේ අමුණා එවූ වෙළඳ සේවය පමණි.

ඒ සමගි පෙරමුණු රජය සමයයි. අවකළමනාකරණය නිසා අද මෙන්ම ලංකාව උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටි අවධියකි. මේ තත්වය පාලනය කිරීමට රජය තමන්ට අයත් ගුවන්විදුලි සේවය හැකි උපරිමයෙන් භාවිතා කළේ ය. තමන්ට අවශ්‍ය ප්‍රවෘත්ති පමණක් ප්‍රචාරය කිරීමට අමතරව මේ සඳහා වෙනත් වැඩසටහන් ද උපයෝගී කර ගන්නා ලදී. සෑම දිනකම උදෑසන අප පාසල් යාමට සැරසෙන හෝරාවේ ප්‍රචාරය වුණු “ජාතික සටනට එක්වෙයි රටතොට” මගේ මතකයේ රැඳී ඇති එවනි එක් ප්‍රචාරකවාදී වැඩසටහනකි. “ගිම්හාන ගීතය” වැනි ගුවන්විදුලි නාට්‍ය ද මේ ආකාරයේ ප්‍රචාරකවාදී නිර්මාණ වූ බව මගේ අදහසයි.

සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇතැයි කියවෙන්නාක් සේ මේ රාජ්‍ය ප්‍රචාරණය තුළින් ද එක් වැදගත් දෙයක් හෝ බිහිවිය. එය නම්, ප්‍රේමසිරි කේමදාස ගේ සංගීත නිර්මාණයෙන් ද, පසු කලෙක ජනප්‍රිය වූ නීලා වික්‍රමසිංහ, ටී එම් ජයරත්න, නිරංජලා සරෝජිනී වැනි ගායක ගායිකාවන්ගේ පමණක් නොව එච් ආර් ජෝතිපාලගේ සම්මාදමෙන් ද ඔප්නැංවී ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රබුද්ධ ගී නම් වැඩ සටහනයි. ට්‍රැක්ටරය නම් වචනය අඩංගු ගීයක් ද ඒ අතර වූ බව මගේ මතකයේ ඇති නමුත් මේ ප්‍රබුද්ධ ගී වැඩ සටහන සම්බන්ධයෙන් අද අපට වැදගත් කාරණය නම්, ඕස්ට්‍රේලියාවේ අප අතර දිගු කලක් ජීවත්වෙන මෛත්‍රී පනාගොඩ ගේයපද රචකයා එදා ඒ වැඩ සටහනේ සම්පත් දායකයෙකු වීමයි.

දශක හතකට පමණ පෙර සිංහල නිසදැස් කවියට ඔහු දුන් ආරම්භය නිසා දෝ තවමත් කවියෙකු ලෙස සැලකෙන ගුණදාස අමරසේකරට අනුව සිංහල කවිය නම් පුරන් වූ කේතේ වැවෙන වල් පැළෑටි වන්නේ ගේයපද හෙවත් ගී පදමාලා ය. නමුත් මගේ අදහසට අනුව නම්, කවියන් කෙතරම් කවි ලිව්වත් දනන් තුඩ තුග රැව් දෙන්නේ ද, එනිසාම කාලාන්තරයක් තිස්සේ පවතින්නේ ද, සාමාන්‍ය කවි නොව ගීත ලෙස ගැයෙන කාව්‍ය නිර්මාණ පමණි. එසේම, කවියන් ගැන අප දන්නේ ද, ඔවුන් ලියූ කවි නිසා නොව ඔවුන් ලියූ ගේයපද නිසා බව කිව හැක. කොටින්ම, මෑත යුගයේ මහා සිංහල කවියා ලෙස සැලකෙන මහගම සේකර ගැන කියවෙන විට අපේ මතකයට මුලින්ම එන්නේ ඔහු ලියූ ප්‍රබුද්ධ කාව්‍යයේ අඩංගු කවි නොවේ. “ඈත කඳුකර හිමව් අරණේ”, “මා මළ පසු”, “රත්න දීප ජන්ම භූමි” වැනි ගේයපද රචනා ය.

එදා මා කුඩා දරුවෙකු ලෙස ගුවන්විදුලියෙන් ඇසූ “සුදු වැලි මතුපිට”, “අහස බලාපන් පුතුණේ”, “පාවී පාවී මේ එන්නේ”, “හෙට උපදින පුංචි පුතේ”, “ජාතික රණබිම වෙත යනවා” වැනි ගීපද මාලා වසර පනහකට පමණ පසුවත් මගේ මතකයේ හොඳින් රැඳී ඇත. ඒ ගී සියල්ලේම පද රචකයා වූයේ “සුදුවැලි - ගී පදමාලා” කෘතියේ නිර්මාතෘ මෛත්‍රී පනාගොඩ ය.

තරුණ අවධියේ දී ම “වසන්ත උදානයක් නොව” නමින් තම මුල් කාව්‍ය ග්‍රන්ථය ප්‍රකාශනය කර ඇති මෛත්‍රී පනාගොඩ ඉන් පසු දිගු කාලයක් තම වෘත්තීය සහ පවුල් ජීවිත සඳහා කාලය ගතකර නැවත කලා රසිකයින් අතරට පිවිසියේ තම ගේයපද අනුව සැකසුණු ගී නිර්මාණ ඇතුළත් සං‍යුක්ත තැටි සමගිනි. ඒ සං‍යුක්ත තැටි වූයේ, සුදුවැලි (2011), හිරු මල හිනැහෙනවා (ළමා ගී, 2015), ළා හිරු රැස් (ළමා ගී, 2017) සහ මහමෙර සේ (සංයුක්ත තැටි යුගලකි, 2018) ය. මීට අමතරව මෛත්‍රී පනාගොඩ තම දෙවෙනි කාව්‍ය එකතුව “හද මුමුණන හඬ” නමින් 2018 දී එළි දැක්වීය.

“සුදුවැලි - ගී පදමාලා” කෘතියේ මෛත්‍රී පනාගොඩ විසින් රචනා කර ඇති ගේය පදමාලා බොහොමයක් අඩංගු වේ. විශේෂයෙන්ම පෙර නමින් සඳහන් කළ සං‍යුක්ත තැටි පහේ ම ඇතුළත් ගීතවල පදමාලා මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වී ඇත. ඊට අමතරව වෙනත් ගායක ගායිකාවන් විසින් මෑතක දී නිකුත් කෙරුණු සහ නිකුත් කිරීමට නියමිත සං‍යුක්ත තැටිවලට අඩංගු නිර්මාණ කිහිපයක මෛත්‍රී පනාගොඩ විසින් රචනා කරන ලද ගේයපද නිර්මාණ ද “සුදුවැලි - ගී පදමාලා” කෘතියට ඇතුළත් ය.

තම ජීවිතයේ තරුණ කාලයේ දී ගුවන්විදුලියේ ප්‍රබුද්ධ ගී වැඩ සටහනට සහභාගී වීමට වරම් ලැබුණු නිසා, දශක පහකට පසුවත් දනන් තුඩ තුඩ රැව් දෙන නිර්මාණ බිහිකරන්නට මෛත්‍රී පනාගොඩට හැකිවිය. නමුත් එනිසාම අප බොහෝ දුරට දන්නේ ඔහු ලියූ ඒ එක් ආකාරයකට දේශාභිමානී ගී ලෙසින් හඳුන්වන්නට හෝ තවත් ආකාරයකට ප්‍රචාරකවාදී ගී ලෙස ලේබල් කරන්නට හැකි කාව්‍ය නිර්මාණ පමණි. මනුෂ්‍ය සම්බන්ධතා අතරින් ඒ ගේයපද නිර්මාණවල වැඩි වශයෙන් අඩංගු වූයේ දෙමව්පියන් සහ දරුවන් අතර සම්බන්ධයයි.

නමුත් අප සැම අත්දැකීමෙන් ම ඉතා හොඳින් දන්නා පරිදි, තරුණ විය යනු ගතේ හෝමෝන නළියන, සිතේ පෙම් සිතුවිලි උපදින කාලයයි. පෙම් කවි, පෙම් ගී ලියවෙන කාලයයි.

තරුණ මෛත්‍රී පනාගොඩ කවියා එකල ලංකාවේ දී හෝ පසුව ලන්ඩනයේ දී හෝ පෙම් ගී ද ලියන්නට ඇත. නමුත් ඒ පෙම් ගී පදවැල් අපට ගීත ලෙස අසන්නට ලැබුණේ නැත. නිර්මාණ විරාමයෙන් පසු අප අතරට ඔහු පෙම් ගී ගෙනාවේ වුව ද ඒවා හෝමෝන නළියන පෙම් ගී නොව, කරුණාව, දයාව මත පදනම් වූ නිර්මාණ විය.

පෙම් ගී රසිකයෙකු ලෙස එය මගේ කනගාටුවට කරුණකි.

-රසික සූරියආරච්චි

මෛත්‍රී පනාගොඩ මෑත අතීතයේ ලියූ ගේයපද මාලාවක්

කළණ මිතුරියට

කළණ මිතුරිය දිගු ගමනේ
යවන සොඳුරිය හද අරණේ
බලන බැල්මේ දොඩන වදනේ
මිහිරි ආදරයේ

අඳුරු මේ කුළු සරණ අහසට
ඉන්ද්‍ර චාපය වී
වියළි දෙනෙතට කඳුළු කැඳවන
චමත්කාරය වී

නිසල දිය මත දිලෙන සෙලවෙන
රේඛාව ඔබ වේ
රැයක කළුවර මකා හිනැහෙන
තනි තරුව ඔබ වේ

පද රචනය: මෛත්‍රී පනාගොඩ
තනුව / සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: චමින්ද කුරුප්පු
(“සුදුවැලි” සං‍යුක්ත තැටියෙනි)

(කවර නිර්මාණය: ඒ ඩී රංජිත් කුමාර)

Tuesday 15 February 2022

චීන කවියක් නිසා ලියවුණු සටහනකි - Anything lost?


විශ්වවිද්‍යාලයේ අවුරුදු හතරක් සිටි නමුත්, පළමු වසරේ මුල් මාස දෙක හමාරේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ ජීවිතය සහ දෙවන මාස දෙක හමාරේ මෙන්ම සිව්වෙනි වසරේ මැද භාගයේ මසක් පමණ කාලයේ සවස්වරු කිහිපයක් අමතක කළ හොත්, මගේ ජීවිතය වැඩිපුර ම ගෙවුණේ මහවැලි ගඟේ වම් ඉවුරේ ය.

එනිසා ම නොවුණත්, මට නිකමට හෝ ශාස්ත්‍ර පීඨයේ එනම් කලා පීඨයේ දේශනයක් අහන්නට ලැබී නැත.

ඇත්තටම, මා ශාස්ත්‍ර පීඨයේ සිංහල අධ්‍යයන අංශයට ජීවිතය පළමුවෙනි වතාවට ගියේ විශ්වවිද්‍යාලයෙන් පිට වී දශක දෙකකටත් පසු 2008 අවුරුද්දේ දී යි. ඒ මා සංස්කරණය කළ, ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් ලියූ කෙටිකතා ඇතුළත් "තිරස තරණ" ග්‍රන්ථයේ පිටපත් කිහිපයක් එහි අධ්‍යයන කාර්ය මණ්ඩලයට ලබා දෙන්නයි.



"කන්දෙන් ලන්දට" යන ගීතයක අප අසා පුරුදු යෙදුම, උපහාස කතා රචකයෙකු වූ, (දිවංගත) මහාචාර්ය මිණිවන් පී තිලකරත්න විසින් තම නවකතාවක නම සඳහා යොදාගෙන තිබුණේ, ඔහු ද කළ ආකාරයට, කඳුරට පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගෙන, පහතරට පිහිටි විශ්වවිද්‍යාලයක සේවයට යෑම සංකේතවත් කිරීමට ය. ඒ වචනම උපයෝගී කරගෙන විස්තර කරනවා නම් මහාචාර්ය ලියනගේ අමරකීර්ති කියන්නේ "ලන්දෙන් කන්දට" ආ පුද්ගලයෙකි.

දෙවරක් පමණ හමු වී කතා බහ කර ඇති, මගේ ෆේස්බුක් මිතුරෙකු ද වන, ලියනගේ අමරකීර්ති විසින් ඊයේ අපට නවමු අත්දැකීමක් ලබා දුන්නේ ය. එය නම්, ඔහුගේ දේශනයක කොටසකට අනියම් ආකාරයකින් සම්බන්ධ වීමට අවස්ථාවකි.

පහත දැක්වෙන්නේ සහශ්‍රක දෙකකටත් ඉහත කාලයක ජීවත් වුණු (එසේ ම, රැවුල වවපු කොණ්ඩෙ බැඳපු) චීන අධිරාජයකු විසින් ලියන ලද විරහ කවියකි.

The sound of her silk skirt has stopped.
On the marble pavement dusk grows.
Her empty room is cold and still.
Fallen leaves are piled against the doors.
Longing for that lovely lady,
how can I bring my aching heart to rest?

Wu Ti, 6th Han Emperor, 157-87 BC
Translated by Arthur Waley

මහැදුරු ලියනගේ අමරකීර්ති අපට කියා තිබුණේ එම කවිය සිංහල භාෂාවට පරිවර්තනය කරන්න කියායි. එය ඔහුගේ යම්කිසි දේශනයක ද උපයෝගී කරගන්නා කවියක් බව කියවුණි.

අද උදෑසන පාතරසය රසවිඳින අතරතුර මට ඒ සඳහා යම් උත්සාහයක නිරත වෙන්නට කාලය් ලැබුණි.

මෙන්න එහි මුල් ප්‍රතිඵලය.

සේද සායෙන් ඇගේ, නැගුණු නද නැවතිලා
කිරිගරුඬ පුවරු මත ගොම්මන ද බෝ වෙලා

ඇගෙන් හිස් වූ කුටිය, සීතල ය, නිසසල ය
දොර අසල ගොඩ ගැසුණු මිලින වූ තුරු පත් ය

ඒ සොඳුරු කත කෙරෙහි ලාලසාවන් සිටිමි
රිදුම් දෙන හද මගේ කෙලෙස සතපා ලම් ද?


සියයට සියයක පරිවර්තනයක්, විශේෂයෙන් ම කවියක පරිවර්තනයක්, කිසිවෙකුට කළ හැකි වේ යැයි නොසිතමි. සෑම පරිවර්තනයක් ම, අඩුවැඩි වශයෙන් අනුවර්තනයකි. මෙහි ප්‍රතිශතය 90% පමණ වේ යැයි සිතමි. වචන සහ අදහස සම්බන්ධයෙන් එසේ වුව ද, කවියේ ධ්වනිතාර්ථය, මැවෙන රසය නම් එලෙස පරිවර්තනය කිරීම ඉතා අසීරු වේ. ඉංග්ලිෂ් භාෂාවෙන් Loss in translation කියන්නේ මේ කාරණය ගැනයි.

මෙහි දී අප නොදන්නා අනෙක් කාරණය නම්, මුල් චීන කවිය අප කියවන ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය වෙන අවස්ථාවේ කෙතරම් ප්‍රතිශතයක් නැති වූවා ද යන්නයි.

කෙසේ වෙතත්, මගේ උත්සාහය වූයේ නිසදැසක් නොව තාලයකට කිව හැකි කවියක් නිර්මාණය කිරීම බව ලියා තබමි.

පරිවර්තන සහ අනුවර්තන ගැන මා කාලයක් තිස්සේ අසා තිබුණත්, ඒ රේඛාවේ අනිත් අන්තයේ පිහිටි ප්‍රති-රචනය සහ සෙවනැලි රචනය ගැන මා දැනගත්තේ පිළිවෙලින් හෂිත අබේවර්ධන සහ ප්‍රියන්ත ෆොන්සේකා නිසා බව කිව යුතුයි.

අම්බලවානර් සිවානන්දන් ගේ When memory dies නම් කෘතියේ ප්‍රති රචනයක් හෂිත අබේවර්ධන විසින් මීට වසර කිහිපයක්ට පෙර "මතක මියෙන සඳ" ලෙස ඉදිරිපත් කළේ ය.


දශකයකටත් වඩා දිගු කාලයක් තිස්සේ විදෙස් කවි අනුසාරයෙන් තමන් කරන නිර්මාණ "කවි සෙවණැල්ල" නම් බ්ලොගයක පළ කළ ප්‍රියන්ත ෆොන්සේකා දැන් ඒ කවි එකතුව කවි පොතක් ලෙස ඉදිරිපත් කර තිබේ.


ඒ වගත් මෙසේ ම,

-රසික සූරියආරච්චි

(images: various sources in Internet)

Wednesday 19 January 2022

මගේ ඔමික්‍රොන් දිනපොතේ පිටු නිමවේ! - Last scroll of my Omicron diary


මගේ ඔමික්‍රොන් කතාව මෙතෙක් ගලා ගියේ මෙසේ ය.
අද එතැන් සිට.

ජනවාරි පළමුවෙනි දා

සති දෙකක කාලයක් තිස්සේ ගලා ගිය මගේ ඔමික්‍රොන් දිනපොතේ අද පළ වෙන්නේ අවසාන කොටසයි.

ඇත්තටම මේ අවසාන කොටස බව අප කිසිවෙකු ඊයේ දිනයේ දී දැන සිටියේ නැත. පෙර කතාංගයේ මේ ගැන කිසිදු සඳහනක් නොවුනේ ඒ නිසා ය.

පෙර දා රාත්‍රියේ සිසිල සඟරාවේ සියලු වැඩ නිමවා උදෑසන හයට ඊ-මේල් මගින් සඟරාව සිය ගණනකට බෙදා හරින්නට සකසා මා නින්දට යනවිට රාත්‍රී දෙකේ කණිසම ද ළඟා වී තිබුණු නිසා උදෑසන ඇඳෙන් බැස්සේම දහයට පමණ ය.

නව දවසක් උදා වී ඇත. නව මාසයක් ලබා ඇත. මේ නව වසරකි. ඒත්, නව වසරේ නව හිරුගේ, නව සඳුගේ කැළුම් වෙනදා මෙන් බලන්නට මට හෝ පවුලේ කිසිවෙකුට හෝ නොහැක. අප සිව් දෙනාම තවමත්, එක්තරා ආකාරයක සිරකරුවෝ ය.

මෙහෙම නව වසරක් ජීවිතේටම උදා වී නැත!

එක් සැනසිල්ලක් වනුයේ දියණිය සහ පුතා අද මේ සිරගත් ජීවිතයෙන් මිදීමට නියමිත වීමයි.

පාතරාසයෙන් පසු, නැවතත් වරකට 100 ක් දෙනාට එක් ඊ-මේලයක බීසීසී කරමින් “සිසිල” සඟරාව යවන්නට පටන් ගත්තෙමි. මොහොතකින් ගූගල් ජීමේල්කාරයා මට දැනුම් දුන්නේ අද දිනය සඳහා වූ මගේ ඊ-මේල් කෝටාව අවසාන බවයි. ඇත්තටම ඒ පණිවිඩය නොදැක ඒ වන විට මම තවත් ලිපින සීයක් සහිත ඊ-මේල් තුන් හතර වටයක් යවා තිබුණි.

ඒ ගැන විමසා බලා, නැවත යැවිය යුතු වේ. ඒ අද නොව හෙට ය. පැය විසි හතරකට පසු ය.

උදේ මා ඇඳේ සිටිද්දීම හෙදිය කතා කර රෝගී තත්වය ගැන විමසා, උෂ්ණත්වමානයේ ශ ඔක්සිජන්මානයේ පාඨාංක ද ලබා ගත්තාය. දැන් කැස්සද අඩු බව මම ඇයට පැවසීමි.

උදෑසන එකොළහට පමණ දියණිය අප අමතා ඇය මෙඩි-හෝටලයෙන් පිට වූ බවත්, සිඩ්නි බලා යන ගුවන්යානයට තව කල් වේලා තිබෙන නිසා හෝබාර්ට් නගරයේ දී දිවා ආහාරය ගෙන තරමක් වේලා රැඳී සිට පසුව ගුවන් තොටුපොළට යන බවත් දන්වා සිටියා ය.

පුතා ද, ගමන් මලු සකසා ගෙන දිවා ආහාරය ද ගෙන පිටව යාමට සැරසී හෙදියගෙන් පණිවිඩයක් එන තුරු අල්ලපු කාමරයේ බලා සිටී.

තවත් සුලු මොහොතකින් දියණිය කීවේ, ඇය ඊයේ ප්‍රවේශපතක් ලබාගත් ගුවන්යානය් අවලංගු කර ඇති බවත්, ඇය වහාම සොයා බලා, ඊට අඩ පැයකට පමණ පසු හෝබාර්ට් සිට සිඩ්නි බලා යන වෙනත් ගුවන් සේවයකට අයත් යානයක අසුනක් වෙන් කර ගත් බවත් ය. ගුවන්ගමන් අවලංගු වීම මේ කෝවිඩ් සමයේ ඉතා සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇති බව පෙනේ.

දහවල් දොළහහමාරට පමණ හෙදිය කතා කළා ය. ඇය පවසා සිටියේ අප කිසිසේත්ම බලාපොරොත්තු නොවූ කතාවකි. එනම්, අප දෙදෙනාටද අද දිනයේ ම, මෙඩි-හෝටලයෙන් පිට වී යාමට අවසර දීමට වෛද්‍යවරුන් තීරණය කළ බවත්, අපේ නිදහස් කිරීමේ ලිපිය සවස දෙකට පමණ ලබා ගත හැකි බවත් ය.

පුදුමයට කරුණ නම්, මට ඇතිවූයේ අපේක්ෂා භංග වූ විට ඇතිවෙන හැඟීමකි!

අනෙක් කාරණය නම්, මේ වන විට ලොන්සෙස්ටන් නගරයේ සිට සවස් වරුවේ සිඩ්නි බලා යන සියලුම ගුවන් යානා (සියලුම කීවාට දෙකකි!) පිරී ඉතිරී ගොස් තිබීමයි.

“අපි හෙට උදේ යන්න ටිකට් අරගෙන අද රැයත් මෙතැනම ඉඳිමු” යැයි මා බිරිඳට පැවසූ විට ඇය තරමක් කෝපයට ද පත් වුණා ය.

“කොහොම හරි යන්න බලමු, අද ටිකට් නැති වුණත්, මෙතැනින් ගිහින් වෙන හෝටලයක ඉම්මු!” ඇය කීවාය.

වාසනාවක මෙන්, අල්ලපු කාමරයේ සිට තම ජංගම දුරකථනයෙන් පිරික්සා, අප වෙනුවෙන් ද, ඔහු යාමට නියමිත මෙල්බර්න් හරහා යන දීර්ඝ ද්විත්ව ගුවන් ගමනට ප්‍රවේශ පත් දෙකක් ලබා ගැනීමට පුතා සමත් විය.

ඉතිං, සවස දෙකට පමණ, අප තිදෙනා කෝච්-හවුස් හොටේල් පරිශ්‍රයට සමු දුන්නෙමු.

අපට නිකුත් කර තිබුණු කොරන්ටීන් රැඳවීමෙන් නිදහස් කෙරෙන ලිපියේ වෛද්‍ය නිලධාරියා පවසා තිබුණේ, අප සිව් දෙනාම ආසාදිත වූයේ එක දිනයක නිසා, සිව් දෙනාම දැන් අවශ්‍ය දින ප්‍රමාණය කොරන්ටීන් වී ඇති බවයි.

ටැක්සියකින් ගුවන් තොටුපොළට ගිය අපි තිදෙනා පැය තුනකටත් වඩා එහි රැඳී සිට මුලින්ම ඉතා කුඩා ගුවන් යානයකින්, මට මතක් ආකාරය එහි ආසන තිබුණේ විසි හතරක් පමණි, මෙල්බර්න් ගුවන් තොටුපොළටත්, එතැනින් විශාල ප්‍රමාණයේ යානයකින් සිඩ්නි අභ්‍යන්තර ගුවන් තොටුපොළටත් ආවෙමු.

හෝබාර්ට් නගරයේ සිට පැමිණි දියණිය අපට මුණ ගැසුණේ රාත්‍රී අටහමාරට පමණ ය. අප සිව්දෙනා මෙලෙස මුණ ගැසුණේ දෙසැම්බර් 23 දිනට පසුව ය.

එය ඉතා සන්තෝෂජනක, එමෙන්ම සංවේදී, අවස්ථාවක් වූ බව, අමුතුවෙන් කිවයුතු නැතත්, මෙලෙස ලියා තබමි.

අනපේක්ෂිත සිදුවීම්, අපේක්ෂා භංගවීම් මෙන්ම ඉතා විශාල මුදල් නාස්තියක අත්දැකීමද අපට ලබා දුන් සූරියආරච්චි පවුලේ තැස්මේනියා සංචාරය එලෙස නිමා විය.

කොටස් දහහතරකින් යුතු මේ දීර්ඝ දින සටහන් මාලාව කියවූ ඔබට මගේ ස්තුතිය පිරි නමමි.

ජයවේවා.

-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html


6. ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html


7. නුඹ නාඩං, නුඹ නාඩං හෙවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ආ දා - Oh, what a feeling
https://rasikalogy.blogspot.com/2022/01/oh-what-feeling.html


8. අවසානයේ මෙඩි-හෝටලයට ආවෙමු - Medi-Hotel, at last!
https://rasikalogy.blogspot.com/2022/01/medi-hotel-at-last.html


9. මෙඩි-හෝටලයේ විස්තර - First night at our Medi-Hotel
https://rasikalogy.blogspot.com/2022/01/first-night-at-our-medi-hotel.html


10. ඔමික්‍රොන් දින පොතේ දහවෙනි කොටස - Life continues in Medi-Hotel
https://rasikalogy.blogspot.com/2022/01/life-continues-in-medi-hotel.html


11. ඔමික්‍රොන් මැද්දේ, ජීවිතේ පැද්දේ - When is this going to end?
https://rasikalogy.blogspot.com/2022/01/when-is-this-going-to-end.html


12. ඔමික්‍රොන් කළුවලාවේ රිදී රේඛාවක් - What was that silver line in the dark Omicron cloud?
https://rasikalogy.blogspot.com/2022/01/what-was-that-silver-line-in-dark.html


13. අවුරුද්දේ අවසන් දා ඔමික්‍රොන් මැද ගෙවුණු හැටි - Good bye Omicronian 2021
https://rasikalogy.blogspot.com/2022/01/good-bye-omicronian-2021.html


(ඡායාරූපය: ලොන්සෙස්ටන් ගුවන් තොටුපොලේ දර්ශනයක්)

Tuesday 18 January 2022

අවුරුද්දේ අවසන් දා ඔමික්‍රොන් මැද ගෙවුණු හැටි - Good bye Omicronian 2021


මේ මගේ ඔමික්‍රොන් දිනපොතේ දහතුන්වෙනි කොටස වේ. මීට කලින් ලියා පළකළ කොටස් දොළහ සඳහා සබැඳි මෙහි ද [1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12], ලිපියේ අවසානයේ ද ඇතුළත් කර ඇත.

මෙන්න පෙර කොටසේ නැවතූ තැන සිට ඉදිරියට කතාවෙන් කොටසක්.

දෙසැම්බර් 31 වෙනිදා

අද මාසයේ අවසාන දිනයයි. වසරේ අවසාන දිනයයි. නමුත් මගේ කෝවිඩ් ඔමික්‍රොන් සමයේ නම් අවසානයක් නම් පෙනෙන මානයේ නැත.

අද ලැබුණු එක් හොඳ ආරංචියක් නම්, අපේ දියණියට, හෙට උදයේ මෙඩි-හෝටලයෙන් නිදහස් වී යාමට ලැබෙන බවයි. ඇයට අවශ්‍ය වූයේ, දැනට ඇය සිටිනා හෝබාර්ට් නගරයෙන්, අප තිදෙනා සිටිනා ලොන්සෙස්ටන් නගරයට පැමිණ, හෝටලයක් නවාතැන් ගෙන, අපට ද පිටව යා හැකි දිනයක් එළැඹෙන තුරු සිටීමට වුව ද, පසුව ඇය අපේ ඉල්ලීමට කන් දී කෙළින් ම, සිඩ්නි බලා යෑමට තීරණය කළා ය. ඒ සඳහා අවශ්‍ය ටිකට් පතක් ද මිලට ගත්තා ය.

සවස් වෙන විට පුතාට ද හෙදිය විසින් පවසා ඇත්තේ ඔහුට ද, හෙට උදෑසන පිට වී යා හැකි බවයි.

මේ වෙනසට හේතුව වූයේ, නිරෝධායන කාලය දින දහයේ සිට දින හත දක්වා ලිහිල් කිරීමට, සෞඛ්‍ය උපදෙස් මත, තැස්මේනියානු රජය විසින් තීරණය කර තිබීමයි.

ඒ අනුව, ඔහු ද, හෙට, එනම්, ජනවාරි පළමුවෙනිදා, ලොන්සෙස්ටන් සිට සිඩ්නි බලා යාමට ගුවන් ප්‍රවේශපත්‍රයක් මිලට ගැනීමට තැත් කළ ද, ආසන සියල්ල විකිණී තිබුණි.

එසේ නමුත්, අවසානයේ දී, කෙළින්ම නොව, මුලින් මෙල්බර්න් නගරයට ගොස්, එතැනින් සිඩ්නි බලා යාමට ප්‍රවේශපත්‍රයක් සොයාගත හැකිවිය. එකම වෙනස වූයේ, ඒ සඳහා ගෙවූ මිල, සාමන්‍ය මිල මෙන් දෙගුණයක් පමණ වීමයි.

පුතාට හෙට නිරෝධායනයෙන් පිට වී යාමට හැකි නම්, ඔහු ආසාදිත වී ඇති බව සොයා ගත් පීසීආර් පරීක්ෂණය කළ දිනයේ ම කළ පීසීආර් පරීක්ෂණයක් අනුව ආසාදිතයෙකු බව සොයාගනු ලැබූ, ඔහු පැමිණි දිනයේ ම මේ නිරෝධායන මධ්‍යස්ථානයට පැමිණි මට එලෙස පිටත්ව යාමට හැකි බව දැනුම් නොදුන්නේ ඇයි ද යන ප්‍රශ්නය මගේ සිතේ නිරායාසයෙන් ම පැන නැගුණි.

හේතුව පැහැදිලිය. මට නිදහස් වී යාමට හැක්කේ, මා සමග දැන් එකම කාමරයේ නිරෝධායනය වන බිරිඳ නිදහස් වෙන දිනයේ දී ය.

එනිසා, හෙදිය අමතා මා පිළිබඳව තත්වය ගැන විමසීමට නොසිතුවෙමි.

ඒ කරුණු ගැන හිතනවාට වඩා වැදගත් කටයුත්තක් මා හමුවේ ඇත. එනම්, අද දිනය ඇතුළත, සිසිල සඟරාවේ ජනවාරි කලාපයේ සංස්කරණ කටයුතු නිමවා, සඟරාව පීඩීඑෆ් ගොනුවක් ලෙස පිළියෙල කොට, හෙට උදෑසන හයේ කනිසමට ජී-මේල් මගින් පාඨක පිරිස වෙත යැවීමට සම්පාදනය කිරීමයි.

බලාපොරොත්තු වූ පරිදිම සඟරාවේ මූලික කටයුතු සියල්ල රාත්‍රී දහයට පමණ අවසන් කර, සතුටු සිතින් යුතුව, ඒ කටයුත්තේ අවසානයත්, 2021 වර්ෂයේ අවසානයත්, 2022 වර්ෂයේ උදාවත් සැමරීම සඳහා වයින් බෝතලයක් ද විවෘත කර රසවිදිමින් රාත්‍රී ආහාරය ගන්නට පටන් ගත්තෙමි.

තව මට ඉතිරිව තිබුණේ මුල් පිටුවේ ඇතුළත් කරන කතුවැකිය ලියා අවසන් කර, දෙතුන් තැනක ලිපි ආසානයේ තිබුණු හිස් කොටස් පුරවා, පීඩීඑෆ් පිටපත සාදා, පසුදා උදෑසන හයේ සිට ඊ-මේල් මගින් බෙදා හැරීමට සකසා තබා නින්දට යාම පමණි.

තව වයින් වීදුරුවක් ද සමගින් රාත්‍රී කෑම අවසන් කර ඒ කටයුත්ත කිරීම සඳහා පුටුවේ වාඩි වූ විට මා දුටුවේ, මා රාත්‍රී ආහාරය සඳහා පරිගණකයෙන් දෑස් ඉවතට ගන්නට මොහොතකට පෙර නෝරා ගේ ඩයරියේ ජනවාරි එපිසෝඩය ලැබී ඇති බවයි.

දැන් ඉතින් මොනවා කරන්න ද?

තවත් පැයකටත් වඩා කල් ගත කරමින්, ඒ ලිපිය ද, සංස්කරණය කොට පිටු සකසා, සඟරාවට ඇතුළත් කළෙමි.

ඊළගට කතුවැකිය ලියූවෙමි.

කතුවැකිය කියවන කිසිවෙකු හෝ වෙතොත්, ඔවුන් ද එය කියවා නොනැවතී ඒ මොන අප්‍රභංශයක්දැයි ඇත්තටම සිතුවොත් පමණක් තේරෙන්නට මෙසේ වැකි කිහිපයක් කතුවැකියට එකතු කළෙමි.
මෙවර සඟරාව නිකුත්වන්නේ විවිධ බාධක කිහිපයක් හැකි උපරිමයෙන් සමතික්‍රමණය කරමිනි.

මේ සම්ප්‍රදායානුකූල නිවාඩු සමයයි.

ඊට අමතරව, ඉතා ඉක්මනින් බෝවන ඔමික්‍රොන් කොරෝනා වයිරසය ඕස්ට්‍රේලියාවේ මෙන් ම ලෝකයේ බෝහෝ රටවල ජනතාව ආසාදිත කරමින් සීඝ්‍රයෙන් පැතිර යයි.

වාසනාවට ඉලෙක්ට්‍රොනික් සඟරාවක් කියවීමෙන් කිසිවෙකුට කොරෝනා නොවැළඳේ.

ඊළගට, අවසාන පිටුවේ පාදයේ ඇතුළත් කෙරෙන සඟරාවේ ප්‍රකාශනය පිළිබඳ පාඨය මගේ තාවකාලික ලිපිනය යොදා මෙසේ වෙනස් කළෙමි.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය වෙනුවෙන් ග්ලෙන්මෝ පාර්ක්හි පදිංචි රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි විසින් සංස්කරණය කර 2022 ජනවාරි මස පළමුවෙනි දින ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඔස්සේ 10, යෝක් වීදිය, ලොන්සෙස්ටන්, ටැස්මේනියා සිට බෙදා හරින ලදී.


මේ සියල්ල අවසාන වෙන විට මැදියමට ද ආසන්න වී තිබුණි. ඒ සමගම මා දුටුවේ, සිසිල සඟරාව ආරම්භයේ සිටම හරස් පද ප්‍රහේලිකාව සකසා සපයන මලී දිසානායක විසින් ද තම වගකීම ඉටු කර ඇති බවයි. නමුත් අවාසනාව නම්, මට එය සඟරාවට ඇතුළත් කිරීම සඳහා දැන් කිසිසේත්ම කාලයක් නොමැති වීමයි. එය නිකම්ම එක ලේඛනයකින් කොපි කර අනෙක් ලේඛනයට ඇතුළත් කිරීමක් නොවේ. මා කරන මුල් ම කාර්යය වන හරස් පද ප්‍රහේලිකාව විසඳා බැලීමටම මට අඩ පැයක් පමණ ගත වේ.

එනිසා එම කටයුත්ත ඊළඟ සඟරාවට තබා, ඒ වෙනුවට වෙනත් ආකාරයක ප්‍රහේලිකාවක් “අකුරු බලය” නමින් කඩිනමින් සකසා සඟරාවට ඇතුළත් කළෙමි.

ඊළගට පීඩීඑෆ් පිටපත සැකසීමට පෙර සැකසූ සඟරාව මුල සිට අග දක්වා කියවීම ඇරඹුවෙමි. කලින් නොදුටු සුළු දෝෂ දෙක තුනක් ම ඇස ගැටුණි. ඉතිං, වහා ම ඒවා නිවැරදි කළෙමි.

දුටු දෝෂ සියල්ල සකසා, පීඩීඑෆ් පිටපත සකසා, වරකට බීසීසී (blind carbon copy) ආකාරයෙන් ඊ-මේල් යැවිය හැක්කේ 100 දෙනෙකුට පමණක් නිසා, එවැනි ඊ-මේල් වට කිහිපයක්, උදෑසන හයේ කනිසමේ සිට විනාඩියකට වරක් යැවෙන සේ සකසා මා නින්දට ගියේ පාන්දර දෙකට පමණ ය.

හෙට දියණිය හා පුත්‍රයා සිඩ්නි බලා යනු ඇත. අප දෙදෙනා පමණක් තැස්මේනියාවේ ලොන්සෙස්ටනයේ, මේ කෝච් හවුස් හෝටල් පරිශ්‍රයේ පිහිටුවා ඇති කෝවිඩ් රෝගීන් සඳහා වූ මෙඩි-හෝටලයේ ඉතුරු වෙනු ඇත.

දුක්බර සිතුවිලි මැද වුව ද, පසුදා උදෑසන දහය පමණ වෙනතුරු නිදා ගන්නට හැකිවිය. ඒ සඳහා වයින් බෝතලයට ද ස්තුතිවන්ත විය යුතු ය.

පසුදා, 2022 ජනවාරි මස පළමුවෙනිදා සිදුවූයේ අප නොසිතූ දෙයකි.

ඒ ගැන විස්තර, මගේ ඔමික්‍රොන් දිනපොත ලිපි මාලාවේ දහහතරවෙනි කොටසින් කියවන්න.

https://rasikalogy.blogspot.com/2022/01/last-scroll-of-my-omicron-diary.html

-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html


6. ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html


7. නුඹ නාඩං, නුඹ නාඩං හෙවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ආ දා - Oh, what a feeling
https://rasikalogy.blogspot.com/2022/01/oh-what-feeling.html


8. අවසානයේ මෙඩි-හෝටලයට ආවෙමු - Medi-Hotel, at last!
https://rasikalogy.blogspot.com/2022/01/medi-hotel-at-last.html


9. මෙඩි-හෝටලයේ විස්තර - First night at our Medi-Hotel
https://rasikalogy.blogspot.com/2022/01/first-night-at-our-medi-hotel.html


10. ඔමික්‍රොන් දින පොතේ දහවෙනි කොටස - Life continues in Medi-Hotel
https://rasikalogy.blogspot.com/2022/01/life-continues-in-medi-hotel.html


11. ඔමික්‍රොන් මැද්දේ, ජීවිතේ පැද්දේ - When is this going to end?
https://rasikalogy.blogspot.com/2022/01/when-is-this-going-to-end.html


12. ඔමික්‍රොන් කළුවලාවේ රිදී රේඛාවක් - What was that silver line in the dark Omicron cloud?
https://rasikalogy.blogspot.com/2022/01/what-was-that-silver-line-in-dark.html


(සේයාරුව: ගුඩ්බායි 2021, වෙල්කම් 2022!)