Friday 30 June 2017

වීරවංශ නම වෙනස් කරයි - A day begins for Mr Harris Chandrasuriya



"හැරිස්, කෝ පොඩ්ඩක් මේ පැත්ත බලන්න!"

හැරිස් චන්ද්‍රසූරිය තම බිරිඳ ගේ අණට කීකරු වී ඇය දෙසට හැරුණේ ය.

වෙනදා හැරිස් චන්ද්‍රසූරිය උදෑසන අවදිව හැඳ පැළඳ සූදානම් වී කාර්යාලය බලා නිවසෙන් පිටත්වෙන්නේ තම බිරිඳට කලින් ය. ඔවුන් ගේ පුතණුවන් පාසල කරා ගෙන යාම බිරිඳට භාර වී ඇති රාජකාරියක් නිසා, ඇය සැම දිනම පාහේ නිවසෙන් පිටත් වෙන්නේ හැරිස් නික්ම ගිය පසුවයි.

අද ඒ රටාව වෙනස් වූ දිනයකි.

වෙනදාට වඩා ප්‍රමාද වී නිවසෙන් පිටත් වීමට සැලසුම් කළ හැරිස් චන්ද්‍රසූරිය කුස්සියේ සිට තේ කෝප්පයක් බොමින් නිදන කාමරය වෙත පැමිණෙන විට ඔහු ගේ බිරිඳ පැට්‍රීෂියා හැඳ පැළදගමින් සිටියා ය. තම සැමියා ගේ මුහුණේ වෙනසක් දුටු ඇය ඒ පිළිබඳව හොඳින් පරීක්‍ෂා කිරීම සඳහා ඉහත කී විධානය නිකුත් කළේ ඒ මොහොතේ ය.

"පොඩ්ඩක් ලං වෙන්න."

"මුණ පාත් කරන්න."

හැරිස් චන්ද්‍රසූරිය ඒ විධානයන් ද එකහෙළා පිළිපැද්දේ ය.

"අයියෝ, ඔයාගේ ඇස් යට කළු පාට වෙලා නේද? මොකද ඒ? ඊයේ නින්ද ගියේ නැද්ද හරියට? ඇස් යට පොඩ්ඩක් විතර මහත්වෙලා වගේ!"

"මං තාම ෂවර් කළේ නෑ නේ. නා ගත්තාම, මොකක් වුණත් ඒක, නැතිවෙලා යාවි!" හැරිස් චන්ද්‍රසූරිය ඉවත් වී යන්න සැරසුණේ ය.

"මං කියන්නම්, ඔයා නිදා ගන්න යන්න කලින් මෙන්න මේ ක්‍රීම් එකෙන් පොඩ්ඩක් ඇස් යටින් ගාන්න. මේක හරි හොඳයි, ඩිපාර්චර් පැත්තේ ඩියුටි ෆ්‍රී ෂොප් එකක විතරයි තියෙන්නේ. ගිය පාර ගත්තු එක ඉවර වෙන්න කලින් මං මේ පාර ලංකාවට යන කොට දෙකක් ම ගත්තා" පැට්‍රීෂියා කුඩා කුප්පියක් පෙන්වමින් හැරිස් චන්ද්‍රසූරියට කීවා ය.

"දැන් මට ඔය ක්‍රීම්වලින් පලක් නෑ. කොහොමටත් ඕවා ගෑනුන් ගේ වැඩ!" හැරිස් චන්ද්‍රසූරිය පැවසුවේ තමා පිළිබඳ තවමත් දැඩි සැලකිල්ලක් දක්වන තම බිරිඳ කෙරෙහි සාගර රළ ලෙස නැගී ආ, ආදර බර මිහිරි කල්පනා අමාරුවෙන් සඟවා ගනිමිනි.

"දැන් ඉක්මනට යන්න, අද සිකුරාදා වුණත් තරමක් ට්‍රැෆික් ඇති!" යළිත් හිස පහළට හැරවූ ඔහු පැට්‍රීෂියාට උණුසුම් හාදුවක් දුන්නේ ය.

හේමන්තය ගෙවී දැන් ශීත සිසිරය ලබා තිබුණ ද, තමන් බොමින් සිටි තේ වතුර නිසා දෙතොල් උණුසුම් වී තිබුණු බව හැරිස් චන්ද්‍රසූරියට වැටහිණි.

නිමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉයන් ලිංතොට ප්‍රනාන්දු ගේ සම්බෝල කෙටිකතා අභියෝගය සඳහා කෙටිකතා ලියන්නට පටන් ගත්ත ද, සම්බෝලයක් ලෙස කොටන්නට තබා නොගෙන දිගටම කතාව ලියා පළ කරන්නට මට සිතේ. අද වූයේ ද එයයි.

මේ කෙටිකතාවේ ආ ප්‍රධාන චරිතය ඇතුළත් වූ මුල් කෙටිකතාවේ දී ඔහු නම් කෙරුණේ හැරිස් වීරවංශ ලෙසින් වූ නමුත්, වීරවංශ යන නාමය සමහර පාඨකයින් ටපලාගෙන තිබුණු නිසා, එය හැරිස් චන්ද්‍රසූරිය ලෙසින් වෙනස් කළ බව කරුණාවෙන් සලකන්න.

මෙන්න කලින් මා ලියූ කෙටිකතා කිහිපය.
  1. සම්බෝල කෙටිකතාවකට එක වස්තු බීජයක් - Those were the days!
    https://rasikalogy.blogspot.com/2017/06/those-were-days.html
  2. පෙම්වතිය ගේ අක්කා හමුවීම - Destiny
    https://rasikalogy.blogspot.com/2017/06/destiny.html
  3. වීරවංශ මහතාගේ කතා වස්තුව හෙවත් "මරණ බිය දැනුණු විට" - A short story
    http://rasikalogy.blogspot.com/2017/06/short-story.html

Tuesday 27 June 2017

පොඩි කම්මැලිකමක් සිතට ආවාම මොකද කරන්නේ? - Winter blues


හිරු උතුරු අර්ධගෝලය දෙසට වැඩියෙන් සලකන, දකුණු කුරු දිවයිනේ ඉන්නා අපට කුඩම්මාගේ සැලකිලි දක්වන, මේ දිනවල හේමන්තය ගෙවී, සිසිරය උදා වී, සිනුවර අවට පරිසරය සීතල වී ඇත.

අද දිවා කාලයේ උෂ්ණත්වය අංශක දා හත නොඉක්මවනු ඇත. රාත්‍රියේ අවසානය වන විට එය අංශක පහට පමණ අඩුවෙනු ඇත. මේ තත්වය ජූලි මාසයේ අග වන විට තවත් දරුණු වෙනු ඇත. හිම වැටෙන, අයිස් මිදෙන යුරෝපියානු, කැනේඩියානු සිසිර සෘතුවක් සේ සෘණ අන්තයටම නොගිය ද, මෙය අපේ ජීවිතවලට විවිධ අපහසුතා එකතු කරන කාලයකි.

පරිසරයේ සීතලත් සමග මට නම් සිදු වී ඇත්තේ, ජීවිතයට කම්මැලිකමක් එකතු වීමයි.

උදෑසන අවදිවන්නට කම්මැලි ය.

ඇඳෙන් බසින්නට කම්මැලි ය.

නාන කමරයේ වතුර මල යටට යන්නට කම්මැලි ය.

උණුසුම් ජල ධාරාව යටට වී ඉන්නට කම්මැලිකමක් නැතත්, ඉන් ඉවතට එන්නට කම්මැලි ය.

වැඩට යන්නට කම්මැලිය!

කොටින් ම, දැන් සති කිහිපයක සිට මා, කාර්යාලයට ළඟා වූයේ උදෑසන දහයේ හෝරාවටත් පසුව ය.

කාර්යාලයේ සිට ආපසු නිවස කරා පැමිණි පසුවත්, සිත ගත තාවකාලිකව පිනවීමට හැර වෙනත් ප්‍රයෝජනවත් යමක් කිරීමට නොසිතේ.

මේ තත්වයට හේතුව අපේ නිවසේ උෂ්ණත්ව පාලක යන්ත්‍රයේ දෝෂයක් නම් නොවේ. සිසිරය නිසා, ස්වභාවිකව ම, ගතට සිතට වදින සාපයකි.

මේ තත්වයෙන් මිදීමට සිතී අද උදෑසනින් අවදි වී රැකියාව සඳහා පිටව යන්නට සිතුවෙමි.

එලාමය සැකසුවේ නැති වුව ද, සිතූ ආකාරයට පහයි හතළිස් පහට නෙත් හැරුණි. එහෙත්, ඇඳෙන් බැසීමට නම් නොසිතුණි.

ඊළඟට හෝරාව පිරික්සන විට විනාඩි පහළොවක් ගත වී තිබුණි.

යාන්තමින් ඇඳෙන් බැස නාන කාමරට ඇදුණේ හයයි කාලට ය. එය කළ හැකි වූයේ ද, විනාඩි පහෙන් පහට ඔරලෝසුව දෙස බලමින්, සිත දිරිමත් කර ගනිමින් ය.

අවසානයේ හතේ කෝච්චියට නැග මේ සටහන කෙටීම ඇරඹිය හැකි විය.

මේ සියල්ල කීවේ, "සතුටු සිතුවිලි" නම් අලුත් බ්ලොගයක් හඳුන්වා දීමටයි.

සතුටු සිතුවිලි :: http://sathutusithuvili.blogspot.com/

මෙය දිගු සටහන් පළවෙන බ්ලොගයක් නොවේ.

විවිධ පුද්ගලයින් විසින් පවසන ලද, අපේ කම්මැලි සිත් දිරිමත් කර ගන්නට උදව් වෙතැයි සිතන, කෙටි ප්‍රකාශන ඇතුළත් එකකි.

ඇරඹූ දින සිට දිනපතා එක් වැකියක් බැගින් සතුටු සිතුවිලි බ්ලොගයේ පළ වී ඇති අතර, එය දිගටම නිතිපතා යාවත්කාලීන වෙනු ඇතැයි සිතමි.

-රසිකොලොජිස්ට්

Sunday 25 June 2017

සිංහල මැංචෝසන් සාමි ගේ නික්ම යාම - In memory of Don Baldwin Kuruppu


අප බොහෝ දෙනෙකු කුඩා කළ සිටම කතන්දර ඇසීමට ප්‍රිය කළ අය වෙමු. අකුරු නොදන්නා කුඩා කාලයේ අපේ කතන්දර ඇසීමේ සා පවස නිවුණේ වැඩිහිටියන් කියූ ”එකමත් එක කාලයක” අච්චුවේ කතන්දර ඇසීමෙනි. පරම්පරා ගණනාවක් තිස්සේ පැවතෙන ඒ ගැමි කතා අපේ සිත්වල ඇති කළේ අපූරු චමත්කාරයකි.

පසුව කෙමෙන් කෙමෙන් අකුරෙන් අකුරු ගැට ගසන්නට අපට හැකිවුනු සමයේ දී, "සාමා-අමර" පාඩම් පොතෙන් ඔබ්බට කියවන්නට ළමා කතන්දර පොත් අපට එතරම් නොතිබුණි. පාසලේ පහළ පන්තිවල දී අමතර කියවීම් ලෙස අභව්‍ය සුරංගනා කතන්දර පොත් කිහිපයක් ද රුසියන් ළමා කතා පරිවර්තන පොතක් ද කියවු බව මගේ මතකයයි. අද තරම් ප්‍රමාණයක් ළමා කතා පොත් එකල ලංකාවේ මුදුණය නොවුණු බව පැහැදිලිය.

ළමා පොත් වෙනුවට අපට ලේක් හවුස් ප්‍රකාශනයක් වූ "මිහිර" පත්තරය තිබුණි. මා ප්‍රාථමික පාසලේ උගන්නා කාලයේ මිහිර පත්තරයට ලියූ කවියක් එහි පළවීම නිසා අමන්දානන්දයට පත්වූ හැටි තවමත් මගේ සිතේ රැඳී ඇති තවත් එක් සොඳුරු මතකයකි.

මිහිර පත්තරය වසර කිහිපයක් කියවීමෙන් පසු ළමා සිතක් එයින් ඔබ්බට පය තබන්නට සිතනු අපේක්ෂා කළ යුතුය. මා එම පිම්ම පැන්නේ පාසලේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අවදියේ දී අපේ නිවසේ තිබී හමුවුණු ගුණදාස ලියනගේ ලියූ "මුළු හදින් මම ඇයට පෙම් කොට" නමැති නවකතාව කියවීමෙනි. "අඹ යහළුවෝ" සහ "මඩොල්දූව" ළමා නවකතා මා කියවූයේ ඉන් පසුව පස්වෙනි ශ්‍රේණියේ දී ය.

ද්විතීයික අධ්‍යාපනය සඳහා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ගිය පසු අපට ලැබුණු එක් වරප්‍රසාදයක් වූයේ පාසල් පුස්තකාලයෙන් පාසල් වාරයකට පන්තියට දුන් පොත් හතළිහකින් වරකට එක බැගින් නිවසට රැගෙන ගොස් කියවීමට හැකිවීමයි. පසුව මට "ගුණසේන ළමා පොත් සමාජය" ට බැඳී තැපැල් මගින් පොත් ගෙන්වා ගැනීමට ද හැකි වීය. නමුත්, මෙලෙස මා කියවූ බොහෝ පොත් භාෂා විලාසය අතින් අති නීරස ඒවා විය. එයට හේතුව, ගුණසේන සමාගම විසින් අඩු මුදලක් නියම කර ළමා පොත් සමාජයට එක් කරන්නේ විකුණාගත නොහැකි නීරස පොත් නිසා විය යුතු බව මට පසුව වැටහිණි.

මේ සියල්ල වෙනස් වූයේ මා අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී උදාවුණු ඔක්තෝබරයේ එක් සෙනසුරාදාවක ය. එදා මම ජීවිතයේ මුල්වරට පිටකොටුවේ "ගුණසේන" පොත් සාප්පුවට පිය නැගුවෙමි. මහල් ගණනාවක පැතිරුණු ඒ විසල් ආයතනය දැක මට "කඩවත" නම් වූ නව දැලි හේනේ පිහිටා තිබූ අප පාසල් පොත් මිලට ගත් "මහජන පොත්හල" නමැති වැඳිරිය වහා සිහිවිය.

මගේ ආදරණීය සුනීතා පුංචි අම්මා ගේ අනුග්‍රහයෙන් මට එදා ලැබුණු පොත් අතරින් අද ද මගේ මතකයේ රුඳී ඇති සුවිශේෂී කෘති දෙකක් වේ. මේ පොත් දෙක ම පරිවර්තන කෘති වීම ද විශේෂයකි. ඉන් පළමුවැන්න නම් "ඇලෙක්සැන්ඩර් ඩූමා" නම් ප්‍රංශ ජාතික නවකතාකරුවා ගේ "ද කවුන්ට් ඔෆ් මොන්ට ක්‍රිස්ටෝ" නවකතාවේ සිංහල පරිවර්තනයවූ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නම් වූ කෘතියයි. මුදල් බලයෙන් මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කළ කී දේ පිළිබදවා කියවා සිත කුල්මත් වූවද, එය එක්තරා ආකාරය පරාජිත කතාවක් විය. ඒ සිතුවිලිවලින් මා ගලවා වචනයේ අර්ථ පරිසමාප්තාර්ථයෙන් ම මා සිතට වික්‍රමාන්විත සිතුවලි ගෙන දුන්නේ එදා මට ලැබුණු දෙවන පොත, එ නම්, "රුඩොල්ෆ් රාස්ප්" ගේ "ද සර්ප්‍රයිසින් ඇඩ්වෙන්චර්ස් ඔෆ් බැරන් මැන්චෝසන්" (The Surprising Adventures of Baron Munchausen by Rudolph Erich Raspe) කෘතියේ සිංහල පරිවර්තනය වූ "මැංචෝසන් චාරිකා" නමැති කෘතියයි.

කතාවේ අන්තර්ගතයට ම නිවැරදිව ගැලපෙන පරිදි සැකසුණු බසකින් ලියවී තිබුණු මේ පරිවර්තන කෘතිය පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ ඩීී.බී. කුරුප්පු ගේ හපන්කමක් විය.

මැංචෝසන් සාමි ගේ වික්‍රමයන් පිළිබඳව කියවන්නට පටන් ගත් විගසම ඒවා අමූලික බොරු බව හොඳින් තේරුම් ගියද, ඒ කතන්දර ලියා ඇති සරල භාෂා විලාසය සහ අන්තර්ගතයේ ඇති අපූර්වත්වය නිසා පොත දෙතුන් වරක් කිය වූව ද කිසිසේත්ම එය නැවතත් කියවීමේ ආශාව අඩු නොවේ. මේ පොත් පිංච, උපහාසය හා හාස්‍යය කැටිකොට ගත් රචනා විලාශයක් ප්‍රිය කරන රචකයෙකුට අත් පොත් ම වන බව පසුගිය දා මෙහි දෙවන මුද්‍රණයේ පිටපත් කියවද්දී මට සිතුණි.

අද බ්ලොග්කරුවෙකු ලෙස මා නොකඩවා සිංහලෙන් ලියන්නේ "මැන්චෝසන් චාරිකා" කියවා එදා ලද වින්දනය නිසා යැයි මට සිතේ.

වෙනත් වචන වලින් කිවහොත්, එදා අටේ පන්තියේ දී මා ඇරඹූ ඒ අපූරු "මැන්චෝසන් චාරිකාවේ" මම අද ද නිරතව සිටිමි.

මැන්චෝසන් සාමි ගේ අන්දර සිංහලෙන් ලියා මගේ සිත උත්තේජනය කළ, ඊට අමතරව තවත් විවිධ ග්‍රන්ථ පනහකට අධික ප්‍රමාණයක් සිංහලෙන් සහ ඉංග්ලිෂ් භාෂාවෙන් ලියූ, පරිවර්තනය කළ ඩී බී කුරුප්පු ලේඛකයා පෙරේදා මෙල්බර්න් නගරයේ දී තම ජීවන චාරිකාව නිම කළේ ය.

මේ ලිපිය ඔහු ගේ නාමයට උපහාරයක් ම වේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
The Surprising Adventures of Baron Munchausen by Rudolph Erich Raspe කෘතිය ඔබ ඉංග්ලිෂ් භාෂාවෙන් මෙතැනින් කියවීමට හැකිය. මෙහි එක පරිච්ඡේදයක් අපේ අටවෙනි ශ්‍රේනිය සඳහා වූ ඉංග්ලිෂ් පාඩම් පොතට ඇතුලත් කර තිබුණි!
https://www.gutenberg.org/files/3154/3154-h/3154-h.htm

(image: https://www.facebook.com/DB-Kuruppu-544346445758395/)

Friday 23 June 2017

වීරවංශ මහතාගේ කතා වස්තුව හෙවත් "මරණ බිය දැනුණු විට" - A short story


හැරිස් වීරවංශ මහතා නින්දෙන් අවදිවූයේ පපුව ප්‍රදේශයේ තරමක වේදනාවක් සමගිනි. ඒ වේදනාව සමගම, තමන්ට තරමක දාඩියක් ද දමා ඇති බව ඔහුට වැටහුණි.

"බුදු අම්මෝ, හාට් ඇටෑක් එකක් එන්න එනවා ද?"

තමාට වඩා වසර කිහිපයකින් වයසින් වැඩිමහලු සුමින්ද ජයකොඩි ද හදිසියේ මිය ගියේ හදවතේ රෝගී තත්වයක් නිසා ය. ඒවන විට සුමින්ද ජයකොඩි විශ්‍රාමගෙන දෙවසරක්වත් ගත වී නොතිබුණි. ඔහු පෙර දින රාත්‍රියේ රෝහලට ඇතුළත් කළ පුවත අසා, සේවය නිමවී සුමින්දව බැලීමට යන අතරතුර මරණය පිළිබඳ ආරංචිය ජංගම දුරකථනයට ලැබුණු හැටි පස් වසරකට පසුව වුවත් හැරිස් වීරවංශ මහතාට අද මෙන් මතක ය.

තමන් ගේ පපුව ද, මේ ආකරයෙන් මුල් වරට සලිත වුණේ එදා බව හැරිස් වීරවංශ මහතා විශ්වාස කරයි.

කෙසේ නමුත්, ඒ දිනවලට ම, මුලින් ටවුමේ ඩිස්පැන්සරියේ ඇම්බීබීඇස් දොස්තර ද, පසුව රෝහල අසල චැනලින් සෙන්ටර් එකෙන් නොම්බරයක් ගෙන කාඩියොලොජිස්ට් මහතා ද මුණ ගැසී, ලේ පරීක්‍ෂණයකින් ද, ව්‍යායාම මැෂිමක නැග කළ ඊ සී ජී පරීක්‍ෂණයකින් ද පසු අවවාද ලැබුණේ, සතියකට දෙතුන්වරක් ඇවිදීම හෝ වෙනත් ව්‍යායාමයක් කිරීමටත්, තෙල් කෑම සහ සීනි අඩු කිරීමටත් පමණි.

ගතවුණු වසර පහ මුළුල්ලේ් තමන්ට හැකි උපරිමයට ම ඒ අවවාද පිළිපදින්නට හැරිස් වීරවංශ මහතා උත්සාහ ගත්තේ ය. ඉඳහිට හෝ දවසක රාත්‍රී කෑමෙන් පසු සීනි සහිත දෙයක් කෑම, කාර්යාලයට දිවා ආකාරය ගෙන නොගිය දිනවල තෙල්, කිරි නොබලා හොඳ කෑමක් ගැනීම මිස, තමන් කළ වරදක් නැති බව ඔහු දනී.

හය මසකට පමණ වරක් ලේ පරීක්‍ෂා කර ගත යුතු බවට අවවාද ලැබුණ ද, අවසාන වරට තමන් එසේ කළේ අවුරුදු එකහමාරකට පමණ පෙර බව හැරිස් වීරවංශ මහතාට සිහිවිය.
කොලොස්ටරෝල් වැඩිවෙලාවත් ද මන්දා?

කෙසේ වෙතත් දැන් කළ යුත්තේ කුමක් ද?

සයනයේ වම් පස නිදා සිටිනා තම බිරිඳ පැට්‍රීෂියා ගේ රුව අඩ අඳුරේ වුව හැරිස් වීරවංශ මහතාට පෙනේ. ඇයට ඇහැරවා මේ ගැන කියනවා ද? නැති නම් උදෑසන පහන්වන තුරු සිටිනවා ද?

පපුවේ සිරවීමක් සෑදුණු විට අතීතයේ නම් කළේ සිද්ධාර්ථ නම් ආයුර්වේද තෛලය ගා හොඳින් පිරිමැදීම බව හැරිස් වීරවංශ මහතා කියවා ඇත. දැන් ඒ තෙල් කොහෙන් හොයන්න ද?

බටහිර වෙදකමේ, මේ සඳහා කුමක් හෝ පෙති වර්ගයක් ඇති බවත්, එය දිව යට තබා ගත යුතු බවත් ඔහු අසා ඇත. නමුත් තම වෛද්‍යවරයා එවැනි බෙහෙතක් ගැන ඉඟියක්වත් දී නොමැත.

හැරිස් වීරවංශ මහතා හිස මදක් කරකවා නිදන කාමරයේ එක් බිත්තියක එල්ලා ඇති හෝරා යන්ත්‍රය දෙස බැලුවේ ය.

"හතර හමාරයි!"

එළිය වැටෙන්නට තව පැයකටත් වඩා වේලාව තිබේ. එහෙත්, ඒ අලුත් දවසේ, අලුත් හිරු එළිය දකින්නට තමන්ට වාසනාව තියේ ද?

හැරිස් වීරවංශ මහතා කල්පනා කරන්නට පටන් ගත්තේ ය. හෙට උදේට තමා මියගොස් සිටියහොත් කුමක් වේද?

බිරිය තනිවෙනු ඇත. එහෙත් ඇයට විවාපත් දියණියගෙන් යම් කිසි හව්හරණයක් ලැබෙනු ඇත. ඊට අමතරව, තමන් ගේ අර්ථසාධක අරමුදලින් යෙදූ ස්ථාවර තැන්පතුවේ පොලිය ජීවත්වන තුරු ඇයට උපකාරී වෙනු ඇත.

විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන පුත්‍රයාට ද තව එහි ගෙවන්නට ඇත්තේ මාස කිහිපයක් පමණි.

"පුතාටත් හොඳ ජොබ් එකක් ලැබේවි!"

පපුවේ හිරවීම තවමත් දැනෙයි. ඒ අතරම වැසිකිළියට යාමේ දැඩි අවශ්‍යතාවයක් ද එක්වරම ඇති විය.

සෙමෙන් සෙමෙන් ඇදෙන් නැගිටුණු හැරිස් වීරවංශ මහතා, රබර් සෙරෙප්පු කුට්ටම ද පයලාගෙන නාන කාමරය දෙසට ඇවිද යන්නට විය.

තමන් ඇඳෙන් නැගිටි සැණෙන් ම වාගේ එතෙක් තිබුණු පපුවේ හිරවීම තරමක් අඩු වී යනවා හැරිස් වීරවංශ මහතාට හැඟිණි. වැසිකිළි කෘත්‍යය අවසාන වන විට එය නැත්තටම නැතුව ගියා හා සමාන විය. අත් සෝදාගත් ඔහු, දත් මැද, වතුර උගුරු කිහිපයක් ද බී, නැවතත් කාමරයට පැමිණ ඇදේ හාන්සි විය.

පපුව හිරවීම යළිත් ආරම්භ වූ බව ඔහුට දැනුණි.

ඔහු කොට්ටය දිගු අතට හරවා, තවත් කොට්ටක් ද තබා තරමක් හිස එසවෙන ආකාරයට තම ඉරියව්ව වෙනස් කළේය.

එවර, තරමක පහසුවක් දැනුණි.

වැසිකිළියේ දී යාන්තමට මෙන් සිතට නැගුණු සිතුවිල්ල එයින් තහවුරු විය.

"ඊයේ කාපු දෙයක් වෙන්න ඇති. තාමත් උගුරට එනවා වගේ!"

තමන් සිටි ඉරියව්ව වෙනස් නොකරම හැරිස් වීරවංශ මහතා දෑස් පියා ගත්තේ ය.

උදෑසන ඔහුට අවදිවෙන විට හොඳින් හිරු පායා තිබුණි. පැට්‍රීෂියා වීරවංශ විසින් සාදා කාමරයට ගෙනැවිත් ඇඳ අසල කනප්පුවේ තබා තිබුණු තේ කෝප්පය සීතල වී ඇත.

තේ කෝප්පය අතට ගත් හැරිස් වීරවංශ මහතා, එහි බඳ දිගේ ඉහළට නගිමින් සිටි කුඩා කුහුඹුවෙකු තම ඇඟිල්ල නවා ඈතට විද දැම්මේ ය.

නිමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙය ද, කලින් ලියා පළ කළ කෙටිකතා මෙන් ම, ඉතා හදිසියේ පැයක් වැනි කාලයක් තුළ ලියූවකි. ඉයන් ලින්තොට ගේ "සම්බෝල අභියෝගය" හිතන තරම් ලෙහෙසි නැති බව පෙනේ!


(image: http://www.dailymail.co.uk/health/article-2191667/Spouses-heart-attack-victims-prone-anxiety-depression-shock-similar-post-traumatic-stress-disorder.html)

Wednesday 21 June 2017

පෙම්වතිය ගේ අක්කා හමුවීම - Destiny


රනුක ද, අක්කා ද වාඩි වී සිටියහ. ඒ මුහුණට මුහුණට ලා නොව, කුඩා ටීපෝවක් වටා තබා තිබුණු ඒ සුවපහසු පුටු හතරෙන් එක ළඟින් තිබූ පුටු දෙකක ය.

ඒ නිවසක විසිත්ත කාමරයක් නොවේ. අගනුවර රජයේ ආයතනයක අමුත්තන් පිළිගැනීමේ ශාලාව ය.

ඒ රනුක ගේ අක්කා නොවේ. ඇය රනුක ගේ පෙම්වතිය ගේ අක්කා ය.

"මං අක්කට ඔයා ගැන කිව්වා. එයාට ඕනැ ලු ඔයාව බලන්න" ශිරාණි එවූ ලිපියක කියා තිබුණි. "ඔයාට මං කියල තියෙනවා නේ එයා වැඩ කරන්නේ කොළඹයි කියලා. සතියේ දවසක ඔෆිස් එකට ගිහින් අක්කාව පොඩ්ඩක් හම්බ වෙන්න. සෙකුරිටි ගේට්ටුවෙන් එතැන ලොකු බිල්ඩිම ඇතුළට ගිහින් රිසෙප්ෂන් එකට අක්කා ගේ නම කියන්න. එතකොට එයා ඒවි."

ශිරාණි රනුක ප්‍රේමය ඒ දිනවල ගලා ගියේ මසකට හෝ දෙකකට වරක් වූ සුන්දර හමුවීමකින් ද, ඒ අතරේ සතියකට දෙවරක් පමණ හුවමාරු වූ පෙම් හසුන් ද හරහා ය.

ජීවිතයේ සැබෑ කතාව

ඔබ නැතිනම් මා සනසාලන්නට
සැතපුම් සියයක් එපිට දෙසේ සිට
එවන හසුනකින්
සීතල වැඩි වී
රුධිරය ගල් වී
මා මියගොස් දිගු කලක් විය යුතුයි

ඔබ මට දිරියකි
ඔබ මට සවියකි
ඈත එපිට සිට ගෙන එන්නේ
කුරිරු ලෝකයේ රුදුරු බවින් මා
මුදවා ගෙන සනසාලන්නේ

පෙළකට ඈඳුණු පබළු වැලක් සේ
අකුරු පිරුණු සෙනෙහසේ හසුන් පත්
මවෙත ලැබෙන සඳ
මුළු ලෝකෙම දේ අමතක කරලා
සිනා නැගිය හැක

ලොව සොඳුරුම දේ ආදරයයි!


ඒ රනුක ඒ දිනවල ලියූ කවියකි.

"ඉතිං මල්ලී, ඔයාට කොහොමද නංගීව මුණ ගැහුණේ?" අක්කා ඇසුවා ය.

"මෙන්න මෙහෙමයි වුණේ අක්කේ" රනුක පිළිතුරු දුන්නේ ය.

"මම එදා සෙනසුරාදා දවසේ ටවුමට බස් එකේ ගිහින් බැහැලා පේව්මන්ට් එක දිගේ උඩහට ඇවිද ගෙන ගියා. මං ඉස්සරහට එන දෙනෝ දාහක් සෙනග අතරේ මං ශිරාණියි එයාගේ යාලුවයි දෙන්නා එනවා දැක්කා. ශිරාණි මගේ මුණ ඉස්සරහට ම ආවාම මගේ හිත එකපාරටම මට කිව්වා මේ තමයි මට ගැලපෙන කෙනා කියලා."

"මං තත්පරයකින් දෙකකින් විතර ආපහු හැරිලා බස් හෝල්ට් එක දිහාවට ඇවිදින්න පටන් ගත්තා. මං දැක්කා ශිරාණි එතැන නවත්තලා තිබුණු බස් එකකට නගිනවා. මාත් ඒකට නැගලා, එයා ළඟින් වාඩි වෙලා, එයාට කතා කළා."

"එච්චරයි!"

අක්කා අති සුන්දර සිනහවක් පෑවා ය.

නිමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ඉයන් ප්‍රනාන්දු ගේ "සම්බෝල කෙටිකතා අභියෝගයට" මුහුණ දෙන්නට වස්තු බීජ සොයමින් "ඩවුන් ද මෙමරි ලේන්" ගිය ගමනක දී හමුවූවකි. සම්බෝල නොකර, අච්චාරු නොදමා, හිතට ආ දේ කෙළින් ම ලියා දැමුවෙමි.

(image: https://au.pinterest.com/pin/104497653827246884/)

Monday 19 June 2017

සම්බෝල කෙටිකතාවකට එක වස්තු බීජයක් - Those were the days!


ඉයන් ලින්තොට විසින් ආරම්භ කර ඇති නවතම බ්ලොග් ව්‍යාපෘතියට එකතු වීම පිණිස "සම්බෝල ප්‍රවර්ගයේ" කෙටිකතාවක් ලිවීම සඳහා වස්තු බීජ දෙක තුනක් සොයා ගැනීමට සිත පීරමින් සිටියදී, යටි හිතේ කොහේදෝ කොනක සැඟවී තිබුණු එක් සුන්දර සිදුවීමක් යළි මතකයට නැගුණි.

සම්බෝල, අච්චාරු, චට්නි, සලාද, පපඩම් සියල්ල අමතක කර ඒ වස්තු බීජය ඉතා සැකෙවින් ලියා පළ කරන්නට මට වහා සිත්විය.

මෙය කොල්ලෙකු සහ කෙල්ලක සම්බන්ධ කතාවකි.

අපේ කතා නායකතා තම ජීවිතයේ ප්‍රථම රැකියාව ඇරඹූ වයස අවුරුදු විසි තුනක පමණ තරුණයෙකි. සේවය අරඹා දෙවෙනි දිනයේ දී පමණ සම වයසේ යැයි හැඟී ගිය පියකරු තරුණියක් ඔහු නෙත ගැටුණේය. ඇය විශ්වවිද්‍යාලයක පාඨමාලවක් හදාරමින්, ඒ පාඨමාලාවට අදාළ පුහුණුවක් සඳහා මේ ආයතනයේ මාස කිහිපයක් ගත කරමින් සිටි යුවතියකි.

නිතර එකිනෙකා දුටුවේ වුව ද, ඔවුන් දෙදෙනාට කතා බහ කිරීමට වැඩි ඉඩකඩක් සේවා ස්ථානයේ දී, සේවා කාලය තුළ නොලැබුණි. කෙසේ වෙතත්, තරුණයා ඇය දුටු සැම මොහොතකම සසල සිතින් ඇය දෙස බලනු ඇය නොදකින්නට හේතුවක් නොතිබුණි.

කොටින් ම, "කුච්, කුච් හෝතා හේ" තත්වයක් ඇරඹී තිබුණි.

මාස කිහිපයක් ම ගත විය. සේවා ස්ථානයේ අන් මිතුරු මිතුරියන් සමග සිටි අවස්ථාවල, කෝල, මනලෝල බැල්මක්, වචනයක් දෙකක් හුවමාරු වූ නමුත්, සම්බෝල තියා ජම්බෝල ප්‍රවර්ගයේ කෙටිකතාවකටවත් සුදුසු කිසිවක් ඊට අමතරව සිදුවෙන බවක් නොපෙනුණි.

ඒ, ආයතනයේ අවුරුදු නිවාඩුවට පෙර දා සවස් යාමයයි.

නිවාඩුවට පෙර අවසන් කිරීමට යුවතියට සුවිශේෂී කාර්යක් පැවරී තිබුණු නිසා, ඇය සවස් යාමය තෙක් ම ආයතනයේ රැඳී සිටිනු තරුණයා දුටුවේ ය.

මද වේලාවකින් ඇය පැමිණ ඔහුගෙන් මෙලෙස ඇසුවා ය.

"රනුක, මට අද රෑ අට විතර වෙනකම් මෙතැන ඉන්න වෙනවා. ඔයා ඕෆ් වෙන්නේත් ඒ වෙලාවට නම්, මා එක්ක බෝඩිම ළඟට යන්න එන්න පුළුවන් ද? ඒ පාර ටිකක් කරුවලයි, පාරේ ලයිට් නෑ."

තරුණයා ගේ බෝඩිම පිහිටියේ ද, ඒ පැත්තේ ම, නමුත් වෙනත් අතුරු මාර්ගයකයි.

"හා හොඳයි, මං එන්නම්!" ඔහු යාන්තම් කියා ගත්තේ ය.

රාත්‍රී අටට පමණ සේවා ස්ථානයෙන් පිටත් වූ ඔවුන් දෙදෙනා, කතා බසයෙන් ම, මහා මාර්ගය තරණය කොට, කන්ද උඩට දිවෙන මාර්ගයේ මද දුරක් ගොස්, එතැනින් යුවතියගේ බෝඩිම දෙසට දිවෙන ගුරු පාරට පිවිසුනහ.

"කාලෝ අයං තේ!"

ඒ, මේ සැදැහැවත්, දැහැමි, බෝ පැළයක් බඳු, තරුණයා ගේ සිත ඔහුට කොඳුරා කියූ දහම් පදයකි.

"සංජි"

"ඇයි රනුක?"

"මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි...." රනුක අප සියලු දෙනාම දන්නා කතාව කියාගෙන ගියේ ය. ඔහු එය අවසන් කළේ ද නැවතත් අප හොඳින් දන්නා "මං ඔයාට කැමතියි, ඔයා මොකද හිතන්නේ?" යැයි විමසමිනි.

සමහර විට රනුක ඒ "මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි" කතාව කියා ඒ ප්‍රශ්නය එලෙසින් ම, ඒ සවස් යාමයේ දී අසාවි යැයි සංජි ද අපේක්‍ෂා කළා විය හැක.

"රනුක, මං හෙට ගෙදර යනවා, ආපහු එන්නේ සතියකින් විතර අලුත් අවුරුද්දේ. ඒ ආවට පස්සේ අපි කතා කරමු!" ඇය කලින් සූදානම් වී සිටියාක් සේ කීවා ය.

"එහෙනම් ඒ අලුත් අවුරුද්ද ඔයාට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා මං ප්‍රාර්ථනය කරන්නම්!" රනුක වහා පිළිතුරු දුන්නේ ය.

නිමි.

-රසිකොලොජිස්ට්

(image: https://thumb9.shutterstock.com/display_pic_with_logo/165386934/611563286/stock-photo-heart-shape-made-of-nails-for-father-s-day-anniversary-or-valentine-611563286.jpg)

Saturday 17 June 2017

තනේ වැනේ සහ තවත් කෙටි කවි - Short and sweet


වත්මන් යුගයේ සම්මත සිංහල සඳැස් කවිය යනු එළිසමය සහ එළිවැට සහිත පද හතරකින් සමන්විත වූවකි. ඒ එක් එක් පදයේ දිග (හෙවත් මාත්‍රා ප්‍රමාණය) අනුව කවියේ විරිත, සමුද්‍රඝෝෂ, මහ පියුම් යනාදී වශයෙන් වර්ගීකරණයක් ද කෙරේ.

එසේ නම්, මේ සම්මත සිංහල කවි ආකෘතියෙන් ලියවෙන කවි අතර, කෙටිම කවිය වන්නේ එක පදයකට එක වචනයක් පමණක් ඇති කවියකි.

මා මීට දශක කිහිපයකට පෙර එවැනි ඉතා කෙටි කවියක් සඟරාවක පළ වී තිබෙනු මම දුටුවෙමි. සාහිත්‍ය සභාවක දී, කාන්තාවක් විසින් එක වචනයේ පද ඇති සිව් පද කවියක් කියන්න යැයි කළ අභියෝගයකට පිළිතුරු ලෙස කියවුණි යැයි පැවසෙන ඒ කවිය මෙසේ ය.
අනේ
පනේ
තනේ
වැනේ

නොවැටහෙන අය සඳහා ඒ කවියෙන් දැක්වෙන අදහස මෙසේ දක්වමි.
අහෝ මාගේ ප්‍රාණයවන් කාන්තාව, ඔබේ පියයුරු දෙපසට හෙලවෙන හැටි මට පෙනේ.
සමහර තැනක මෙය, තනේ වැනේ නොව, තනේ පෙනේ ලෙස ද ලියවී තිබෙනු මා දැක ඇත. ඒ වෙනසත් සමගම මේ කවියෙන් දැක්වෙන අදහස මෙලෙස වෙනස් වේ.
අහෝ මාගේ ප්‍රාණයවන් කාන්තාව, ඔබේ පියයුරු මට දර්ශනය වේ.
මා කුඩා කාලයේ කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන අවදියේ දී ඒ පාසල අසල නිවසක විසූ වෙලුං නම් මිනිසෙකු පිළිබඳව අපේ පන්තියේ සිටි කොලුවෙකු කියූ කවියක් මෙසේ ය.
වෙළුම්
පැටලුම්
ලෙහුම්
ඇඹරුම්

මේ තනි පදයේ කවි පිළිබඳ මට සිහිවූයේ, සිංහල බ්ලොග් අවකාශයේ සම්මත සිංහල සඳැස් කවියෙන් ප්‍රතිචාර දක්වන, "දුමී" නමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන දුමින්ද අබේසේකර ගේ කවි නිර්මාණ දුටු විට ය.

දුමින්ද අබේසේකර තම "දුමී" බ්ලොග් අඩවියේ පළ කර තිබුණු එක වචනයේ පද සහිත කවි කිහිපයක් සහ ඒවාට පිළිතුරු ලෙස මා පබැඳූ පිළිතුරු කවි කිහිපයක් ද පහත දක්වමි.

මෑතක දී දුමින්ද අබේසේකර පළ කර තිබූ නිර්මාණයක් මෙසේ විය. ඔහු මෙම නිර්මාණය පද අටකින් දක්වා තිබුණ ද, මම සම්මතයට අනුව එය පද හතරකින් පෙන්වමි.
හොර මැර
නරවර
සුර පුර
දොර දුර

මෙහි මට වැටහුණු අර්ථය "හොරකම්, මැරකම් කරනා රජ, තොපට දිව්‍ය ලෝකයේ ද්වාරය නම් (ඉතා) දුර වේ!" වැන්නකි.

මා ලියූ පිළිතුරු කවිය මෙලස විය.
ගොරතර
කරදර
සැර වැර
හැර වර

එහි අදහස වනුයේ මහා ඝ්‍රෝර වූ කරදර ද, සැරවැර කිරීම් ද හැර දමා (මෙහි) එනු යන්නයි.

මෙය කුඩා වෙනසකින් පහත ආකාරයට වඩාත් අර්ථවත් කර ගත හැකි ය.
ගොරතර
කරදර
හැර වර
සුර පුර!

එහි අදහස වනුයේ මහා ඝ්‍රෝර වූ කරදර හැර දමා සුරපුර වෙන එනු යන්නයි.

මේ දුමින්ද අබේසේකර විසින් දෙල් පිළිබඳව රචනා කරන ලද පෙර ආකාරයේ කවියකි.
කැලේ කොළේ
දෙලේ බලේ
මලේ තොලේ
පැලේ බොලේ

මට වැටහුණු ආකාරයට, මෙහි අදහස වන්නේ, කැලෑ වනාන්තර ප්‍රදේශවල වැවෙණා දෙල් (මේ රට දෙල් නොව වල් දෙල් විය යුතුයි!) කෙතරම් සැර ද යත්, අසන්න මලණුවනි, ඒවා කෑ විට තොල් පැලේ යන්නයි.

ඒ ආකෘතියට අනුව මම පහත කෙටි කවිය පද බැන්දෙමි.
ඇළේ දොළේ
රැළේ බලේ
කැලේ වැලේ
නොවේ මලේ

නිශ්චිත තේරුමක් සහිතව ලියූවක් නොවූවද, අවශ්‍ය නම් එහි අරුත "ඇළක, දොළක නැගෙන රැළිවල බලය කැලයක වැවෙන වැලක නැත!" ලෙස දැක්විය හැකි ය.

මේ දුමින්ද අබේසේකර ලියූ තවත් කවියකි.
විතේ මතේ ඇතේ
මතේ ගතේ එතේ
අතේ සතේ නැතේ
පුතේ සෙතේ නැතේ

මත්පැන් බීමේ ආදිනව කියවෙන ඒ කවියට පිළිතුරක් ලෙස මම පහත කවිය පබැඳුවෙමි.
බත පත ඇත
මත විත නැත
ගත වෙව්ලත
සිත ලත වෙත

එයින් කියවෙන්නේ මත්පැනට ඇබ්බැහි වූවෙකු මත්පැන් නොමැතිව ආහාර ගැනීමට ගොස් නොහැකිව ලතවෙන ආකාරයයි.

මේ කෙටි කවි විරිත අනුව යමින් දිගු කලකට ඉහත මා විරහ වේදනාවෙන් යුතුව ලියූ කෙටි කවියකි.
සිතුම් බොඳවිය
පැතුම් සුන්විය
සුසුම් හිමිවිය
පියුම් පරවිය

සාමාන්‍යයෙන් කවියක් ලිවීම ලෙහෙසි කටයුත්තක් නොවේ. එසේ හෙයින්, මේ ආකාරයේ විශේෂ ආකෘතිවලට අනුකූලවන අන්දමින් කවි ලිවීම ඉතා දුෂ්කර බව අමුතුවෙන් කිව යුතු නැත!

-රසිකොලොජිස්ට්

(image: https://allpoetry.com/poem/12032305-A-Rainy-Night-by-Mel-Patterson)

Thursday 15 June 2017

පරිධියේ ජීවිතේ - At the edge


කරුණාකර මේ මාතෘකාව වරදවා වටහාගන්න එපා!

මේ කියන්නට යන්නේ ලකාන් හෝ ෂිෂැක් හෝ ජිජැක් හෝ ඩෙරීඩා හෝ කියූ පරිධියක් ගැන හෝ ඒ ආකාරයේ පරිධියක සිට කේන්ද්‍රය දෙස බැලීමක් ගැන හෝ නොවේ. මා ඒ පඬියන් ගේ නම් අසා දැක තියෙනවා මිස, ඔවුන් කියූ ලියූ කිසිවක් අසා, දැක, කියවා නැත.

මා මේ කියන්නේ ලංකාවේ ගම්මානයක පරිධියේ ජීවත්වීම ගැනයි.

අප කුඩා කාලයේ ජීවත් වුනු තාත්තා ගේ මහගෙදර පිහිටා තිබුණේ පරකන්දෙණිය නම් ගම්මානයේ ය. එහි ද, ඈත බටහිර අන්තයේ ය.

මා පසුව දැනගත් පරිදි, මේ කියන කාලය වෙන විටත් අපේ ආච්චී ගේ නිවස සහ වතුපිටි තිබුණු මේ ප්‍රදේශය ලඩ්කාණ්ඩුවෙන් කටුවාලමුල්ල ලෙස නම් කර ගැසට් කර තිබුණ ද, එය කිසිසේත් ම ප්‍රායෝගිකව නම් භාවිතා නොවුණි. අපි කැපුවත් පර, කැපුවත් දෙණි, පරකන්දෙණියන් ම වීමු.

සාමාන්‍යයෙන් ගමක ගුරුත්ව කේන්ද්‍රය ලෙස සැළකිය හැක්කේ පාසල, පන්සල, කඩ මණ්ඩිය යනාදිය පිහිටා ඇති ස්ථානයයි. සුදෝ-සුදු කවි කතාවේ විස්තර වුණු කටුරොද ගම්මානයේ කඩ මණ්ඩිය ගම කෙලවර පිහිටා තිබුණ ද, සාමාන්‍යයෙන් ගමක කඩ මණ්ඩිය ස්වභාවිකව ගොඩ නැංවෙන්නේ පාරවල් දෙකක් එක්වෙන හෝ කැපෙන ස්ථානයක වීම නිසා, එය ගමේ ගුරුත්ව කේන්ද්‍රය වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි ය.

පරකන්දෙණිය ගමේ බටහිර කොනේ ජීවත් වූ අප සිටියේ, ඒ ගුරුත්ව කේන්ද්‍රයෙන් ඉතා දුරිනි. ඇත්තටම කියනවානම් අප සිටියේ පරකන්දෙණිය ගමේ පරිධියේ ය.

මගේ ඥාතියෙකු මෙන් ම, එකම පන්තියේ සගයෙකු ද වූ ආනන්ද ජයතිලකලා ගේ නිවස පිහිටා තිබුණේ අපේ වත්තට අල්ලපු වත්තේ ය. ඔවුන් අයත් වූයේ කොස්සින්න නම් ගම්මානයට ය.

ඒ අනුව ආනන්ද ජයතිලකලාත් සිටියේ කොස්සින්න ගම්මානයේ පරිධියේ වුව ද, වාසනාවකට මෙන් කොස්සින්න ගම්මානයේ ගුරුත්ව කේන්ද්‍රය හෙවත් පන්සල, කඩ වීදිය සහ පාසල පිහිටා තිබුණේ අපේ නිවෙස්වල සිට කිලෝමීටරයකටත් වඩා අඩු දුරකිනි.

එනිසා කොස්සින්න වාසී විතානගේ ආනන්ද ජයතිලක මෙන් ම පරකන්දෙනිය වාසී රසික සූරියආරච්චි වූ මම ද, හෝඩියේ පන්තිය හෙවත් පළමුවෙනි ශ්‍රේනියේ ශිෂ්‍යයින් ලෙස පාසල් අධ්‍යාපනය ඇරඹුවේ කොස්සින්න ශ්‍රී ශීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ය.

එසේම, මාස් පතා පසලොස්වක පෝයට ද, වාර්ෂික බණ මඩු කාලයට දිනපතා ම වාගේ ද, අම්මා සමග (තාත්තා මා දන්නා කාලයේ පන්සල් ගියේ නැත!) අප ගියේ කොස්සින්න යටවත්ත පුරාණ රජමහා විහාරට ය. ආනන්ද ජයතිලකලා නම්, අපට වඩා වැඩි වැඩිවාර ගණනක් පන්සල් ගිය හ. ඔහු ගේ උපන්දිනය දා ද පන්සලේ පින්කමක් පැවැත්වුණු බව මගේ මතකය යි.

ගනේමුල්ල සහ කඩවත අතර ධාවනය කෙරුණු 218 බස් රථය ද, අප සමහර විට හැඳින්වූයේ කොස්සින්න බස් එක ලෙස යි. එය පරකන්දෙණිය හරහා ද ගිය බව මෙන් ම, නිල වශයෙන් හැඳින්වුනේ පරකන්දෙණිය බසය නමින් බව ද අපි අමතක කෙරුවෙමු.

කොටින් ම, ගතින් පරකන්දෙණියේ සිටියද, මම ප්‍රායෝගිකව කොස්සින්නේ කොලුවෙකු වූයෙමි.

කෙසේ වෙතත්, මට තරමක හෝ දුකක් ඇතිවුණේ, පරකන්දෙණියේ අයෙකු වූ මට පරකන්දෙණිය සමග කිසිදු ප්‍රායෝගික සම්බන්ධතාවක් නොතිබීම ගැනයි. පරකන්දෙණිය පන්සලට මා එක් දිනක් හෝ ගොස් නැත. මායාදුන්නේ නමින් කණිෂ්ඨ විද්‍යාලයක් ද, මහා විද්‍යාලයක් ද පරකන්දෙණිය ගමේ තිබුණු නමුත්, ඒ පාසල්වලට යන කිසිවෙකු ගැන මම දැන නොසිටියෙමි. සීයා ගේ නෑදෑයින් සිටිය ද මා පරකන්දෙණිය ගමේ ඒ ප්‍රදේශයට ගොස් ඇත්තේ එකම එක ඇට්-හෝම් උත්සවයකට සහභාගී වීමට පමණි.

ගමේ වෙනස සමගම ආ තවත් වෙනස්කම් ද තිබුණි.

අප හතරවෙනි ශ්‍රේනියේ ඉගෙන ගන්නා කාලයේ, සිංහල පාඩමේ දී අපට අභ්‍යාසයක් ලෙස ලිපියක් ලියන්නට පැවරුණි. ලිපිය ආරම්භ කළ යුතුව තිබුණේ ලියන්නා ගේ ලිපිනයෙනි.

මා අසල සිටි ආනන්ද ජයතිලක තම ලිපිය අරඹමින් ලිපිනය ලෙස:
220,
කොස්සින්න
ගණේමුල්ල
කියා ලිව්වේ ය. මෙහි ගණේමුල්ල යනු ප්‍රධාන තැපැල් කාර්යාලය පිහිටා තිබුණු ස්ථානයයි.

අපේ මහගෙදර උළුවස්සේ අලවා තිබුණු සංගණන ලේබලය නිසා නිවසේ අංකය 101 යැයි මම දැන සිටියෙමි.

මම මගේ ලිපිය අරඹමින්:
101
පරකන්දෙණිය
ගණේමුල්ල
කියා ලිව්වෙමි.

"රසිකලා ගේ ගෙදර තියෙන පරකන්දෙණියට තැපැල් එන්නේ ගණේමුල්ලේ ඉඳලා නොවෙයි ඉඹුල්ගොඩ තැපැල් කන්තෝරුවෙනුයි!" ආනන්ද මට කීවේ ය.

මේ ඉඹුල්ගොඩ යනු කොළඹ නුවර පාරේ පිහිටා ඇති කඩ මණ්ඩියයි. කොටුවේ සිට දුවන 138 බස් රථවල පසු කාලයක ගමනාන්තය වූයේ මේ ස්ථානයයි.

-රසිකොලොජිස්ට්

(image: https://www.wired.com/2008/12/abstract-dlc-re/)

Tuesday 13 June 2017

පසුගිය දශකය තුළ මගේ වැටුප වෙනස් වූ අන්දම - Sky is perhaps not the limit?


කාන්තාවකගෙන් වයස කීයද කියා අසන්නට ද, පිරිමියෙකුගෙන් වැටුප කීයද කියා අසන්නට ද එපා යැයි කියමනක් ඇත.

නමුත්, රජයේ සේවයේ යෙදෙන අය ගේ වැටුප් විස්තර නම් රහස් නොවේ. උදාහරණයක් ලෙස, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට අයත් ආයතනයක සේවය කරන මගේ වැටුප නම්, අන්තර්ජාලයේ තරමක සෝදිසියකින් සොයා ගත හැක.

එතෙක් කල් මා කළ "තොරතුරු තාක්‍ෂණය" පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්ය රැකියාවට ආයුබෝවන් කියා, "පර්මනන්ට් හෙඩ් ඩැමේජයක්" (PhD) වෙනුවෙන් ලියමින් සිට අමතක වෙමින් තිබුණු තීසියය ද අලුයම කෙළ පිඬක් මෙන් ඉවත හෙළා අමතක කර, මා රජයේ සේවයේ "බිස්නස් ඇනලිස්ට්" තනතුරකට පැන ගත්තේ මීට වසර දහයකට පෙර ය.

ඇත්තට ම කියනවා නම්, මා එලෙස රැකියාව මාරු කළේ ජීවිතයේ වෙනසක් අවශ්‍ය වූ නිසා ම හෝ නොකෙරෙන පීඑච්ඩී එකකින් ගැලවීමට අවශ්‍ය වූ නිසා ම හෝ පමණක් නොවේ. ඒ රැකියා වෙනස නිසා මගේ වැටුප ද සෑහෙන තරමකින් (>25%) වැඩි වූ නිසා ය.

මා රජයේ සේවය ඇරඹූ කාලයේ තනතුරට හිමි වාර්ෂික වැටුප් වර්ධකවලට අමතරව, සේවක-සේවා යෝජක කේවල් කිරීමේ ක්‍රමවේදයේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව 4% කින් ද වැටුප් වැඩි විය.

ඒ රැකියාවේ වසර දෙක හමාරක් පමණ ගත කළ පසු මම, අපේ ආයතනයේ ම වෙනත් අංශයක, "ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරියෙකු" ලෙස සේවය ඇරඹුවෙමි. ඉන් වසරකට පමණ පසු මා දැනට නිරත "බිස්නස් සිස්ටම්ස් මැනේජර්" තනතුර සඳහා පත්වීමි.

වැදගත් කරුණක් කිව යුතු ය.

මේ කිසි තනතුරක්, කාලයත් සමග ඉබේ කඩා වැටුණු ඒවා නොවේ. නිසි ලෙස සැකසූ අයැදුම්පත් යොමු කිරීම, සම්මුඛ පරීක්‍ෂණ ඇතුළත් දීර්ඝ තරගකාරී තෝරා ගැනීමේ ක්‍රියාවලියකින් පසු මා දිනාගත් තනතුරු ය.

මගේ වැටුප සම්බන්ධයෙන් ගතහොත්, පසුගිය වසර කිහිපය ඇතුළත සිදුවූ වෙනස්කම් දෙකකි.

මුලින් ම, පැවති කම්කරු පක්‍ෂයේ රජය වෙනුවට දැන් පවතින කන්සර්වේටිව් පක්‍ෂ රජය පැමිණීමත් සමගම සේවකයින් ගේ කේවල් කිරීමේ බලය අඩු වී ගොස් අපේ වාර්ෂික වැටුප් වැඩවීම 4% සිට 2.5% දක්වා අඩුවිය.

දෙවෙනුව, මා එකම රැකියාවේ වසර තුනකට වඩා රුඳුණු නිසා, තනතුරට හිමි වැටුප් වර්ධක ලැබී අවසාන විය. එනිසා මුල් කාලයේ වසරකට දෙවරක් ලැබුණු වැටුප් වැඩිවීම් වෙනුවට දැන් ලැබෙන්නේ වසර මැද ලැබෙන 2.5% පමණි!

දැන් මා සක්‍රීයව වෙනත් රැකියාවක් සොයන නිසා, පසුගිය වසර දහය තුළ මගේ වැටුප වැඩිවුණු ආකාරය විශ්ලේෂණය කර බැලීමට නොබෝදා මට සිත්විය.

පහත ප්‍රස්තාරයෙන් දැක්වෙන්නේ ඒ විශ්ලේෂණය යි.


ඒ අනුව, රජයේ සේවය අරඹන්නට පෙර මා විශ්වවිද්‍යාල සේවයේ දී ලැබූ වැටුපට මෙන් දෙගුණයකටත් වඩා මා වැටුප් ලබන බවත්, එසේ ම රජයේ සේවයේ ද, ලැබූ වෙනත් තනතුරු සහ වාර්ෂික වැටුප් වැඩිවීම් නිසා, වසර දහයක් ඇතුළත 80% කින් පමණ වැටුප් වැඩි වී ඇති බවත් පෙනේ.

මේ සටහන ආරම්භයේ දී මම කාන්තාවන් ගේ වයස ගැන ද, පිරිමින් ගේ වැටුප ගැන ද, සඳහන් කළෙමි. වයස වැඩිවීම ගැන ගැහැණු පිරිමි වෙනසක් නොමැතිව කිසිවෙකු ගේ කැමැත්තත් නැත. එසේ වුව ද, වැටුප තව තවත් වැඩිවීම ගැන නම් අප කිසිවෙකු ගේ අකමැත්තක් ඇති යැයි නොසිතමි!

-රසිකොලොජිස්ට්

(image: http://www.lovethispic.com/image/46574/always-be-positive)

Sunday 11 June 2017

ජොබ් කරන අයට අවවාදයක් හෙවත් කුරුවල්වීම - Rolling stones and moss


රැකියාවක ඇති වැදගත්කම දන්නේ විරැකියාවෙන් පෙළෙන අයයි. සමහර විට සති කිහිපයක් නොව, මාස ගණනාවක් ම, වසර කිහිපයක් ම, විරැකියාවෙන් දුක් විඳින්නට අප සමහරුන්ට සිදුවේ.

මා ද, ජීවිතයේ දෙතුන් වරක් ඒ කට්ට කා ඇත්තෙමි. ඒ පිළිබඳ විස්තර, මගේ ස්වයං චරිතාපදානයේ කොටස් ලෙස, කෙමෙන් කෙමෙන් ලියවෙනු ඇත.

කෙසේ හෝ දුක් විඳ, රුකියාවක් සොයා ගත් පසු, අර මුලින් කෑ කට්ට පිළිබඳ මතකය කෙමෙන් කෙමෙන් තුනී වී යන්නට පටන් ගනී.

නමුත් චක්කරේ ආපසු කැරකෙන්නට පුළුවන.

චක්කංව වහතෝ පදං!

මේ සටහනේ මාතෘකාවේ දැක්වෙන පරිදි ජොබ් කරන අයට මා දෙන අවවාදය මෙයයි.
එකම රැකියාවේ, එකම කාර්යය කරමින්, අවුරුදු තුනකට වඩා ඉන්න එපා!

හැකි විගස වෙනත් රැකියාවකට යන්න.

ආණ්ඩුවේ රැකියා කරන අය සම්බන්ධයෙන් කියනවා නම්, අඩු වශයෙන් තමන් දැනට කරන රැකියාවට හිමි වාර්ෂික වැටුප් වර්ධක සියල්ල ලැබී අවසාන වූවාට පසු ඒ රැකියාවේ තව දුරටත් රැඳී නොසිට වෙනත් රැකියාවක් සොයා ගන්න.

පුද්ගලික අංශයේ සේවය කරන අයට නම්, මා දන්නා පරිදි, නිත්‍ය වාර්ෂික වැටුප් වර්ධක නැති නිසා, අවුරුදු තුනේ සීමාව උපයෝගී කර ගැනීම වඩා යෝග්‍ය වේ.

මේ අවවාදය මා ඔබට දෙන්නේ දශක කිහිපයක අත්දැකීම් ඇසුරෙන් හොඳින් වටහා ගෙන බව සැබෑවක් නමුත්, නීරෝගී බවේ වැදගත්කම ගැන අපට වැටහෙන්නේ රෝගී වූ විට පමණක් සේ ම, මගේ මේ අවවාදය මට ම වැටහුණේ තරමක් කල් ඉකුත් වූ පසුව ය. එනම්, මට මෙය වැටහුණේ මා දැනට කරන රැකියාවේ සිව් වසරකටත් වඩා ගෙවූ පසු ය.

මෙහි දී, වෙනත් රැකියාවක් සෙවීම යන්නෙන් මා අදහසක් කරන්නේ තමන් සේවය කරන ආයතනයෙන් අස්වී යාම ම නොවේ. ඒ ආයතනයේ ම වුව ද, වෙනත් කාර්යයන් කිරීමයි.

මේ ආකාරයේ වෙනස්කම් නිකම්ම ඇති නොවේ. ඒ සඳහා උත්සාහය, අධිෂ්ඨානය මෙන් ම, තමන් ගේ කුසළතා වර්ධනය කර ගැනීම ද, කුසලතා පරාසය පුළුල් කර ගැනීමට ද අපට අවශ්‍ය වෙනු ඇත.

එනිසා, එවැනි වෑයමක් දැරීම කිසිසේත් ම අපතේ යන්නක් නොව අපේ වෘත්තීමය දියුණුවක් ලෙස සැලකිය හැකිය.

එකම රැකියාවේ වසර දෙක තුනක් ගත කරන විට, අපට අනවශ්‍ය සුරක්‍ෂිතබවක් දැනෙන්නට පටන් ගනියි. ඒ සමගම, අප නොදැනුවත්ව ම අපේ කටයුතු අකාර්යක්‍ෂම වීම ඇරඹේ.

මම මෙය කුරුවල්වීම ලෙස හඳුන්වමි.

තවත් කලක් ගතවෙන විට සිදුවන්නේ අප වෙනස් කම් නුරුස්සන, කල් පැන ගිය, යාන්ත්‍රික රොබෝලා බවට පත් වීමයි.

පුද්ගලිකව මා ගැන පවසනවා නම්, මේ වසරේ ජූනි විසි අට වෙනිදාට මා මේ දැන් කරන රැකියාව අරඹා වසර හතක් සම්පූර්ණ වේ.

ඊට කලින් මම මේ ආයතනයේ ම වෙනත් රැකියාවක වසරක් පමණ සේවය කළෙමි. ඊටත් කලින් මම මේ ආයතනයේ සේවය සඳහා එකතු වූ තනතුරේ වසර දෙක හමාරක් පමණ සේවය කළෙමි.

කල්පනා කර බැලූ විට, මා මීට පෙර, ලංකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ හෝ එකම ස්ථානයක එකම රැකියාවක් වසර තුනකට වඩා එක දිගට කර නැත. අතර මගදී කුමක් හෝ සාර්ථක වෙනසක් සිදු වී රැකියාව ඒකාකාරීවීම හෙවත් කුරුවල්වීම නැවතී තිබේ.

මා පෙර සඳහන් කළ ආකාරයට, මේ රැකියාවේ අවශ්‍ය කාලයට වඩා දිගු කලක් මා රැඳී ඇති බව මට ම වැටහුණේ මින් දෙවසරකට පමණ ඉහත දී ය.

එතැන් සිට වුව ද මා සෙවූයේ සෑම අතින් ම දැන් මා කරන රැකියාවට වඩා හැම අතින් ම ඉහළ රැකියාවකි. එය ද දුරාවාරයේ ය. ඒ අතර, වසරකට පෙර ඇරඹුණු ආයතනයේ ප්‍රතිව්‍යුහකරණය වැඩ පිළිවෙළක් නිසා, එලෙස කළ වෙනත් රැකියා සෙවීම ද මම මදකට නතර කර දමා සිටියෙමි.

කෙසේ නමුත්, දැන් මේ තත්වය වෙනස් කිරීමට කාලය පැමිණ ඇතැයි සිතේ.

මට ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සටහන ලියා, සංස්කරණය කර පළ කිරීමට නියමිත ගොනුවේ බහා දින හිහිපයකට පසුව, පසුගිය ඉරිදා රාත්‍රියේ දී, වෙනත් රැකියාවකට අයැදුම් පතක් යොමු කළෙමි! මේ සති අන්තයේ ද තවත් අයැදුම් පතක් සැකසීමට සිතා සිටිමි.

රැකියා කරන ඔබ ද, කුරුවල්නොවී සිටීමට උත්සාහ ගන්නා මෙන් ආදරයෙන් ඉල්ලමි.

(image: http://lastrada.blogspot.com.au/2011/04/rolling-stone-gathers-no-moss-anzio.html)

Friday 9 June 2017

මයුරි ගේ "ආගම් මාරුව" - This is an old story


මෙය පැරණි කතාවකි.

වසර කිහිපයකට පෙර තමා එතෙක් ඇදහූ හෝ නොඇදහූ ආගම මාරු කර වෙනත් ආගමක් ඇදහීම අරඹන මිනිසුන් පිළිබඳ ලොකු කතාවක් ඇති වී තිබුණා ඔබට මතක ඇතැයි සිතමි.

ආගම යනු උපතින් අපට ලැබෙන රට, ජාතිය, ජාන, ලෙඩ රෝග වැනි දෙයක් නොවේ. උප්පැන්න සහතිකයේ ආගමක් ගැන සඳහනක් නැත්තේ ද ඒ නිසා ය.

ආගම යනු අප අඳින සරමක් හෝ කලිසමක් වැනි දෙයකි. තමන් කැමති දෙයක් ඇඳීමට, සරමෙන් කලිසමට මාරු වීමට සහ කලිසමෙන් සරමට වැසීමට නිදහස තිබිය යුතු ය. එය මූලික ප්‍රජා අයිතියකි.

ආගම් මාරු කිරීමට විරුද්ධව නීති ගේනවා යැයි කියා පාර්ලිමේන්තු ගිය උන්දලා ද, පසුව ඒ කතා අමතක කර දැමුවේ ඒ නිසා ය.

මීට දස වසරකටත් වඩා ඉහත ඒ සමයේ දී, මිතුරු නිවසක පැවති සුහද සාදයකට සහභාගී වීමට අපට සිදුවිය.

පිරිමින් පිරිස මද පමණින් දෂ්ඨ කරමින් සිටිය දී, "අයෑම් එ බුඩිස්ට්, අයි ඩොන්ට් ඩ්‍රින්ක්!" වර්ගයේ කාන්තාවන් පිරිසක් විසිත්ත කාමරයේ අසුන්වලට බර දී ලොකු කතා බහක නිරතවෙමින් සිටියහ.

"ඉතිං අනේ එයා දැන් මුළුමනින් ම ක්‍රිස්තියානි ආගමට හැරිල නෙ!" ඒ මහා විස්සෝපයකින් යුතුව කතා කරමින් සිටියේ මයුරී ය. "මේ සේරම පටන් අරගෙන තියෙන්නෙ එයා දවසක් ෂොපින් යනකොට අඳුනන්නෙවත් නැති එක්කෙනෙක් එක්ක කතා කරලා යි. ඊට පස්සෙ දෙන්නා කතාවට වැටිලා. පස්සේ ගෙදරත් ඇවිල්ලා දෙගොල්ලෝ හොඳම හිතවත් වෙලා. අන්තිමේ දී, දැන් ආගමත් මාරු කරල. හිතන්න පුළුවන් ද අනේ?"

එතැන සිටි අනෙක් කාන්තාවන් කිහිප දෙනා ද හූමිටි තබමින් මයුරිට සවන්දෙමින් සිටියහ.

"මාත් අහල තියෙනවා ඔය විදියෙම ආගම මාරු කරපු කතාවක්” එතැන නැවතුණු මම කියූවෙමි.

කාන්තා පිරිස ගේ අවධානය මට යොමුවිය.

"ඔන්න මේ කියන මනුස්සය එක දවසක් අනුරාධපුර පැත්තෙ කැලෑ පාරක යනකොට කවුද කතා කළා ලු නමෙන් ම තිස්ස තිස්ස කියල".

"ඉතිං?"

"ඉතිං තමා, එතන එදා කතාව ඉවරවෙලා තියෙන්නෙම මේ මනුස්සය විතරක් නෙමේ එයා දන්න අඳුනන හැම දෙනාම ඒ ආගමට හැරිලයි".

"ආනේ!" මයුරි ඇස් දෙක ද විශාල කොට ඉතා පුදුමයෙන් යුතුව කීවා ය "කවුද අනේ ඔය තිස්ස කියන්නේ? කොහේ කෙනෙක්ද ඔය ඔයා ගේ යාළුවා? පේරාදෙණියෙ කෙනෙක් ද?"

"මේ මගෙ යාළුවෙක් නං නෙමේ, මේක මාත් තුන් හතර පාරක් ම අහල තියෙන හරි පරණ කතාවක්".

"මං නං ඔය කතාව ඇහුවෙම මේ අදයි".

"වෙන්න බෑ, ඇයි ඔයා තුනේ පන්තියෙදි බුද්ධාගම පාඩම ඉගෙන ගත්තෙ නැද්ද?"

"රසික, ඔය අඹ කතාව හැර වෙනත් අඹ කතා තියෙනවා ද?" කරුණු වටහා ගත් වෙනත් අයෙකු සිනාව අතරින් ම පවසනවා මට ඇසුණි.

-රසිකොලොජිස්ට්

(image: http://wallpaperswide.com/buddha_buddhism_blue_calm_digital_art-wallpapers.html)

Wednesday 7 June 2017

රසික සූරියආරච්චි යනු කවුද? - Who is Rasika Suraweeraarachchi


"මචං, මයි කොන්ග්‍රැජුලේෂන්ස් ෆෝ යුවර් එවෝඩ්ස් ඇට් ද ටෙලිඩ්‍රාමා ෆෙස්ටිවල්. දැට් වෝස් එ නයිස් සෝන්ග් රසික, ඇන්ඩ් එ නයිස් ටෙලෙඩ්‍රාමා ඈස් වෙල්.

බට්, ඉට් ඊස් සොරි ටු සී දැට් සම් ඔෆ් දීස් නිවුස් පේපර්ස් හෑව් ස්පෙල්ට් යුවර් ෆැමිලි නේම් ඉන්කරෙක්ට්ලි!"

ලංකාවේ වෙසෙන මගේ විශ්වවිද්‍යාල සගයෙකුගෙන් මීට වසර හයකට පමණ පෙර මට ලැබුණු ඊ-මේල් පණිවිඩයක අන්තර්ගතය දළ වශයෙන් එසේ විය.

මොන ටෙලි ඩ්‍රාමා එකක් ද?

මොන සින්දුවක් ද?

මොන සම්මානයක් ද?

මා කිසිසේත් සම්බන්ධ නැති ක්‍ෂේත්‍රයක නිර්මාණකරණය වෙනුවෙන් ලංකාවේ පවත්වා ඇති සම්මාන උළෙලක දී පිරිනැමුණු සම්මානයක් මට ලැබී ඇති යැයි මෙලෙස සුභ පතන්නේ ඇයි?

කොතැනක හෝ අවුලක් සිදු වී ඇත.

මේ කුමක් නිසාදැයි සිතා ගත නොහැකිව සිටින විට මට තවත් සුභ පැතුම් පණිවිඩ කිහිපයක් ම ලැබුණි. දිනකට පමණ පසු, අන්තර්ජාලිත පුවත්පත් කියවද්දී මට මෙහි දී සිදු වී ඇති අවුල ලිහා ගැනීමට හැකි විය.

"රසික සුරවීරආරච්චි" නම් අයෙකු ටෙලි නාට්‍ය පිටපතක් ලියා ඇති අතර, ලංකාවේ පැවති සම්මාන උළෙලක දී, ඒ නාට්‍ය පිටපත සඳහා ද, ටෙලි නාට්‍යයේ අඩංගු වූ ගීයක් සඳහා ද ඔහුට වසරේ හොඳම ටෙලිනාට්‍ය පිටපත සහ ගී පදමාලාව සඳහා පිරිනමන සම්මාන ද්වය ම ලැබී ඇත.

එය ඇතැම් මාධ්‍ය විසින් නිවරැදිව වාර්තා කර තිබුණද, මා ද දුටු අයුරින්, මාධ්‍ය කිහිපයක "සුරවීරආරච්චි" යන පෙළපත් නම වෙනුවට සඳහන් වී තිබුණේ "සූරියආරච්චි" කියා ය.







විශ්වවිද්‍යාල සමයේ දී ඉංජිනේරු පීඨ කලාකවයේ මා කුකවි පළ කළ බව ද, ඉන් පසුව 2005 දී පෙම් ගී නමින් ගී පදමාලා ඇතුළත් බ්ලොග් අඩවියක් ඇරඹූ බව ද දන්නා මගේ මිතුරා, මා ලංකාවෙන් පිටත විසුවත්, රසික සූරියආරච්චි යන නම සම්මාන ලයිස්තුවේ දුටු විට, මා ලංකාවේ ටෙලිනාට්‍යයකට පිටපතක් හෝ ගීතයක් රචනා කරන්නට ඇතැයි විශ්වාස කිරීම පුදුමයක් නොවේ.

එසේ වෙතත්, හාස්‍යජනක කාරණය වූයේ, නම වරද්දා නොගෙන නිසි අයුරින් "සුරවීරආරච්චි" ලෙස සඳහන් කළ මාධ්‍යයන්ට මගේ මිතුරා කළ චෝදනාවයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ සූරියආරච්චි පෙළපත් නම ගැන ය. මුල් නම රසික පිළිබඳව වූ අවුලක් ගැන මා කලකට පෙර ලියා පළ කළ මේ කතාව ද කියවන්න.

මයි ඩාලින් රසිකා - Rasika, my darling!
https://rasikalogy.blogspot.com/2016/11/rasika-my-darling.html


(images: https://www.facebook.com/rasika.suraweeraarachchi, sundaytimes.lk, sarasaviya.lk, dailynews.lk)

Monday 5 June 2017

475. ආපහු කසාදයක් කර ගැනීම වැරදි ද? - No one can accuse me of bigamy!


සාමාන්‍ය නීතිය යටතේ එක් වරක් විවාහ වී ඇති අයෙකුට ඒ විවාහයෙන් ඉවත් නොවී නැවත විවාහ විය නොහැක. එසේ දෙවන විවාහයක බැඳීම හෙවත් බිගමි යන්න සැලකෙන්නේ බරපතල වරදක් ලෙසයි.

එසේ නොවන අවස්ථාවල පවා, උදාහරණයක් ලෙස, වැන්දඹු පිරිමියෙකු වූ වික්ටර් රත්නායක පසුගිය දා විවාහයක් කර ගත් විට කොයි තරම් හා හෝවක් ඇති වුණි ද?

කෙසේ වෙතත්, පැවති විවාහය එසේ ම තිබිය දී, මම යළිත් විවාහයක් කර ගැනීමට, මුදු මාරු කර, ගිවිස ගත්තෙමි.

එකට එක කරන්නට සිතා දෝ, මගේ බිරිඳ ද එසේ ම කළා ය.

නමුත්, අප දෙදෙනාට විවාහ නීතිය කඩ කිරීමේ චෝදනාව නම් එල්ල නොවෙනු ඇත.

ඒ මක් නිසා ද යත්, මුදු මාරු කර ගෙන, මා අලුතෙන් විවාහ ගිවිස ගත්තේ මගේ ම ආදරණීය බිරිඳ සමග නිසාත්, ඇය විවාහ ගිවිස ගත්තේ මා සමග නිසාත් ය.



කෙසේ වුවත්, මේ දෙවෙනි විවාහ ගිවිස ගැනීමේ එක් අතුරු ප්‍රතිඵලයක් වූයේ, අප්‍රියෙල් 17 දින සිට ජූනි පළමුවෙනිදා දක්වා, නොනවත්වා, මුලින් බ්ලොග් වසන්තය නිසාත්, එය අවසාන වීමෙන් පසුවත්, දිනපතා සටහන් පළ කරමින් පවත්වාගෙන ගිය රසිකොලොජියට පොඩි විවේකයක් දෙන්නට සිදුවීම යි.

දින හතරක නිවාඩුවෙන් පසු යළි අද පටන් "රසිකොලොජිය" යාවත්කාලීන කිරීම ඇරඹුණ ද, ඉදිරියේ දී මා සටහන් පළ කරන්නට අදහස් කරන්නේ මේ වසරේ මුල් මාස තුනහමාරක පමණ කාලයේ දී කළාක් මෙන් දින දෙක තුනකටවරක් පමණි.

පසුගිය ඒක පුද්ගල බ්ලොග් මැරතන් සමයේ දී, "රසිකොලොජිය" නිරතුරු කියවා, ප්‍රතිචාර දක්වා, දිනකට පිවිසුම් වාර 1,500 පමණ සටහන් කළ (බොට්ලා ඇතුලු) සියලු දෙනාට ම මගේ ස්තුතිය හිමි වේ.

ඔබටත් වාසනාවන්ත නැවත විවාහයක් සහ මධු සමයක් වේවා යැයි ඉත සිතින් පතමි!



-රසිකොලොජිස්ට්

ප/ලි
ඉහළින් ම ඇති පින්තූරයේ ඉන්නේ එලිසබෙත් ටේලර් සහ රිචර්ඩ් බර්ටන් යුවළයි.

(image: http://www.telegraph.co.uk/culture/tvandradio/bbc/10190932/Richard-Burton-and-Elizabeth-Taylor-the-deadly-love-that-never-died.html)

Thursday 1 June 2017

"සූදානම් ශරීරේ!" - ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස් යනු කුමක් ද? What the hell is Disaster Preparedness?


"ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" යන වචනය මා මුලින් ම ඇසුවේ තායිලන්තයේ බැංකොක් නගරාශ්‍රිතව පිහිටා ඇති ආසියානු තාක්‍ෂණික ආයතනයේ (AIT) ඉගෙනීම ඇරඹූ සමයේ දී ය. සිංහලෙන් ඒ සඳහා "ආපදා පෙර සූදානම" යන්න යෙදිය හැකි ය.

එකල පශ්චාත් උපාධි ආයතනයක් වූ ආසියානු තාක්‍ෂණික ආයතනයේ "ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" නමින් සුවිශේෂී මධ්‍යස්ථානයක් විය. එක්සත් ජාතීන් ගේ සංගමයේ වාර්තාවක ප්‍රතිඵලයක් ලෙස පිහිටුවා තිබුණු මේ මධ්‍යස්ථානය මගින් සිදු කළ මූලික ම කර්තව්‍යයක් වූයේ ආසියාකරයේ රාජ්‍ය නිලධාරීන් සඳහා මේ විෂය සම්බන්ධයෙන් සති අටක කෙටි පාඨමාලා පැවැත්වීමයි. ඒ පාඨමාලා සඳහා ලංකාවෙන් ද, දිසාපතිලා, උප දිසාපතිලා, ලේකම්ලා සහ වෙනත් නිලධාරීන් සහභාගී වූ බව කියවිණි.

"ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" හෙවත් "ආපදා පෙර සූදානම" යන්න එතෙක් මා අසා නොතිබුණු, එසේ ම, අමුතු ආකාරයක යෙදුමක් වූ බැවින් මම එයින් අදහස් කෙරෙන්නේ කුමක්දැයි මදක් සොයා බැලුවෙමි.

මට වැටහුණු ආකාරයට, "ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" යන්නෙන් අදහස් කෙරෙනුයේ ආපදාවකට සාර්ථකව මුහුණ දීම සඳහා, කල් වේලා ඇතුව, මනා සේ සූදානම් වීමයි. එමගින් අපේක්‍ෂා කෙරෙන්නේ ආපදාවේ අනිසි ඵල ලෙස අනතුරු ඇතිවීම හැකි උපරිම දුරකට වලක්වා ගැනීම සහ එවැනි අනතුරු නිසා සිදුවන හානිය හැකි උපරිම දුරට අඩු කර ගැනීමයි.

ආපදාවකින් අනතුරු, ජීවිත හානි, දේපල හානි සිදු වූ පසු ඒ තත්වය කළමනාකරණය කිරීම "ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" විෂයයට අදාළ, නමුත්, වෙනස් වැඩ කොටසකි. "ඩිසාස්ටර් මැනේජ්මන්ට්" හෙවත් ආපදා කළමනාකරණය ලෙස හැඳින්වෙන්නේ ඒ විෂයයයි.

ගංවතුර, සුනාමි, ගිනිකඳු, නායයාම්, භූමි කම්පා, ලැව් ගිනි යනාදී ආපදා තත්වයන් උදා කරන ස්වාභාවික ව්‍යවසන ඇති බව අපි දනිමු. එසේ ම, දුම්රිය, ගුවන්යානා අනතුරු, ගිනි තැබීම්, ගිනි ගැනීම් යනාදී අවාසනාවන්ත සිදුවීම් ද, ආපදා තත්වයන් උදා කරයි.

"ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" ක්‍රමවේදයෙන් අදහස් කෙරෙන්නේ එසේ ස්වභාවික හෝ මිනිසුන් විසින් ඇති කරන ලද විපත් මගින් අනතුරුදායක තත්වයන් ඇති වීමේ හැකියාව අවම කර ගැනීමයි. එසේ ම, නොවැළැක්විය හැකි අනතුරු මගින් සිදුවන ජීවිත හානි, දේපල හානි සහ ජන ජීවිතය අවුල්වීම අඩු කර ගැනීමයි.

වැස්ස අපට නැවතිය නොහැක. අවම කළ නොහැක. කෙටි කාලයක් තුල විශාල වැස්සක් විශාල ප්‍රදේශයකට ඇද හැලුණු විට, ඒ වතුර සාමාන්‍ය ස්වභාවික සහ කෘතිම ජල ප්‍රවාහන පද්ධති පරයා පිටාර ගැලීම ද අපට වැලැක්විය නොහැක. මක් නිසා ද යත්, සෑම පද්ධතියක් ම, උපරිම ධාරිතාවය සහිතව සකසා තැබීම ආර්ථිකවශයෙන් ඵලදායී නොවන ඊටත් වඩා බොහෝ විට ප්‍රායෝගිකව කළ නොහැකි කටයුත්තක් වන නිසා ය.

එසේ නම්, අපට කළ හැක්කේ කුමක් ද?

වර්ෂාව වැටුණු පළියට ම, අප එයට තෙමිය යුතු නැත. එසේ ම, වැරදීමකින් හෝ වැස්සට තෙමුණු පළියට හෙම්බිරිස්සාව හදා ගත යුතු ද නැත. එසේ ම, හැදුණු හෙම්බිරිස්සාව, පසුව නිව්මෝනියාවට පෙරළා ගත යුතු ද නැත. නිව්මෝනියාව සැදුණ ද ඒ හේතුවෙන් මිය යා යුතු ද නැත.

ඒ සැම එකකින් ම වැලකී සිටීමට ක්‍රම තිබේ. එසේ ම, අනිසි ප්‍රතිඵල අවම කර ගැනීමට ද ක්‍රම තිබේ. අප කළ යුත්තේ ඒවා සොයා බලා, සැළසුම් කර, සූුදානම් ශරීරේ තත්වය උදා කර ගැනීමයි.

එසේම, අනෝරා වැසි වැටුණු පමණින්, ගංවතුර පිටාර ගැලූ පමණින්, කඳු නාය ගිය පමණින් මිනිස් ජීවිත නැති විය යුතු නැත. නිවාස විනාස විය යුතු නැත. ජන ජීවිතය මෙතරම් අඩාල විය යුතු නැත. ඒ සියලු දේ බොහෝ දුරට හෝ වලක්වා ගැනීමට මෙන් ම, සිදුවන ජීවිත හානි සහ දේපල හානි අවම කර ගැනීමට ද ක්‍රම ඇත.

මේ අනුව, ආපදාවක් ඇති වුණු පසු එයින් වැනසෙන අවුල්වෙන සියළු දේ යථාතත්වයට පත් කිරීම සඳහා මනා ආපදා කළමනාකරණය අවශ්‍ය වුව ද, ඊට වඩා වැදගත් වන්නේ, ආපදා පෙර සූදානම බව පැහැදිළි ය.

හරියටම කිවහොත්, ලෙඩ සෑඳී, වැඩ අවුල් වී, ප්‍රතිකාර ගැනීමට පෙර, ලෙඩ නොසෑදෙන පරිදි සෞඛ්‍ය සම්පන්නව සිටීම වැනි ය.

අවාසනාවන්ත තත්වය නම්, ආපදා පෙර සූදානම පිළිබඳව හොඳින් දන්නා අය කිහිප දෙනෙකු හෝ ලංකාවේ සිටිති. තම අමාත්‍යාංශය විසින් ස්වභාවික ආපදාවල දී සිදුවන ජීවිත හානි, යටිතල පහසුකම්වලට සිදුවන හානි සහ ආර්ථියට සිදුවන හානි අවම කර ගැනීමේ වැඩ පිළිවෙලක් පෙළ ගස්වා ඇති බව ආපදා කළමනාකරණ ඇමති, මේ ව්‍යවසනය සිදුවීමට පෙර, අන්තර්ජාතික සමුළුවක දී පුරසාරම් දොඩා ඇති බව ද කියවේ.

නමුත් ප්‍රායෝගිකව ඒ කිසිවක සාර්ථකත්වයක් අපට දක්නට ලැබුණේ නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිළිබඳව පුද්ගලික මට්ටමෙන් වැදගත් විය හැකි සටහන් කිහිපයක් පහත අඩවියේ ඇත.
http://fluxdesignlabs.com/infographics/disaster/

(image: http://www.uctv.tv/series/Disaster-Preparedness-The-Impact-of-Dealing-with-the-Unexpected-822)