
ඉංග්ලිෂ් භාෂාවෙන් සර් කියන්නේ මහත්මයා යන්නටයි. සැවොම එකිනෙකා "මේට්" වශයෙන් හෝ මුල් නමින් අමතන ඉගලිටේරියන් සමාජයක් ඇති ඕස්ට්‍රේලියාවේ දී වුව, සේවා සපයන ස්ථානයකට ගිය හෝ දුරකථනයෙන් එවැනි සේවාවකට ඇමතූ හෝ ඒ වැනි අවස්ථාවලදී මේ සර් පදයෙන් අමතනු අසා ගත හැකි ය.
ලංකාවේ දී බොහෝ විට සර් කියා අමතන්නේ පාසල් සිසුන් විසින් තම ගුරුවරුන්ට බව අපි දනිමු. ගුරුවරුන් අතර ද එකිනෙකා ඇමතීමට ද සර් යන පදය භාවිතා කෙරෙනු මා අසා ඇත.
ඊට අමතරව, සේවා ස්ථානවල, සේවා සැපයෙන ආයතනවල, දුරකථනයෙන් පාරිභෝගික කටයුතු සඳහා කතා කරද්දී වැනි අවස්ථාවලදී සර් වචනය භාවිතා වේ.
මීට මාසය කිහිපයකට පෙර නන්දා මාලනී සහ වික්ටර් රත්නායක ගේ ද්වි පුද්ගල සංගීත ප්‍රසංගයක් සිනුවර දී පැවැත්වුණු අතර, ඉතා කණගාටුවෙන් වුව ද, මට එයට සහභාගීවීමට සිදුවිය.
ඒ ප්‍රසංගයේ දී නන්දා මාලනී, අමරදේව පිළිබඳව සඳහන් කළ දෙතුන් වතාවේ දී ම ඔහු හැඳින්වූයේ "අමරදේව සර්" යනුවෙනි. මීට පෙර නන්දා මාලනී ගේ සංගීත ප්‍රසංග නැරඹීමට මා ගිය තෙවතාවේ දී ම (2000, 2005 සහ 2010) ඇය අමරදේව පිළිබඳව සඳහන් කළේ "අමරදේව සර්" යනුවෙන් බව මගේ මතකයයි.
නමුත්, ඉහත ප්‍රසංගයේ දී මෙන් ම, 2005 දී ද, වික්ටර් රත්නායක විසින් අමරදේව පිළිබඳව කතා කළේ ඔහුව "අමරදේව සූරීන්" ලෙස හඳුන්වමිනි.
නන්දා මාලනී ගේ "අමරදේව සර්" හැඳින්වීම, මා හඳුනා ගත්නේ, ඇය අමරදේව ගුරු තනතුරෙහි ලා සැලකීමක් ලෙසයි. එනම්, මෙහි දී සර් යන වචනය භාවිතා වෙන්නේ එහි මූලාශ්‍ර ඉංග්ලිෂ් තේරුම වන මහත්මයා යන අරතෙන් නොව ගුරුවරයා යන සිංග්ලිෂ් අරුතෙන් බවයි.
පාසල් දැරියක ලෙස ගුවන් විදුලියේ ළමා වැඩ සටහන්වල ගීත ගායනා කිරීමට පැමිණි නන්දා මාලනීගේ ගායන කුසලතාව ඔප් නංවා ගැනීමට, එවක ගුවන් විදුලියේ වාද්‍ය මණ්ඩල ප්‍රධානියා වූ අමරදේව විවිධ අවස්ථා උදා කර දුන් අයුරුත්, අවසානයේ අමරදේව විසින් සංගීත අධ්‍යක්‍ෂණය කළ රන්මුතුදූව චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනා කිරීමට තෝරා ගත් අයුරුත් නන්දා මාලනී විසින් විවිධ අවස්ථාවල කෘතවේදීව සඳහන් කර තිබන අයුරු මම කියවා ඇත්තෙමි.
එසේම, නන්දා මාලනී යනු අමරදේව ගේ ගුරු කුලයට අයත් ගායිකාවක් බව තවත් ස්ථිර කෙරෙන උදාහරණයක් ද ඇත.
එය නම්, අන් ගායක ගායිකාවන්ට සාපේක්‍ෂව අමරදේව සහ නන්දා මාලනී දෙදෙනා සංගීත ප්‍රසංගවලදී ශ්‍රාවකයින් අමතන ආකාරයයි.
මා කිහිප විටක් අසා ඇති පරිදි වික්ටර් රත්නායක සාමාන්‍යයෙන් සංගීත ප්‍රසංගවලදී ශ්‍රාවකයින් අමතන්නේ "රසික රසිකාවියන්" කියා ය.
"නංගිලා, මල්ලිලා, නැන්දලා, මාමලා" යනාදී වශයෙන් තමන් ගේ සනුහරයට ගී ගයන අය හැර අන් බොහෝ ගායක ගායිකාවන් ද භාවිතා කරන්නේ මේ "රසික රසිකාවියන්" යන යෙදුම යි.
නමුත්, අමරදේව මෙන් ම නන්දා මාලිනී ද මෙහි දී භාවිතා කරන්නේ "රසික ඔබ" යනුවෙනි. මෙහිදී "රසික" යන වචනය ඔවුන් යොදා ගන්නේ නිර්ලිංගික එනම් ජෙන්ඩර් නියුට්‍රල් ආකාරයට බව පෙනේ.
නමුත් නමින් රසික වන මට, ඇගේ ඒ "රසික ඔබ" යන කියමන ඇසෙන්නේ, දැනෙන්නේ මට ම කෙරෙන ඇමතුමක් ලෙස ය.
මා සහභාගී වූ නන්දා මාලනී ගේ පෙර ප්‍රසංගයවල දී ඇය "රසික ඔබ" යැයි පවසනු ඇසී එය මතකයේ රැඳී තිබුණු හෙයින් මම 2010 ප්‍රසංගයේ දී, මා හඳුනන කිහිප දෙනෙකුට, ඔන්න අද නන්දා මාලනී මා වෙනුවෙන් ගීතයක් ගයනවා යැයි පැවසීමි.
එය ඒ ලෙසම සිදුවිය.
ඇය දෙතුන් විඩක් ම "ඊළඟ ගීතය මා තෝරා ගත්තේ රසික ඔබ වෙනුවෙන්" යැයි කියා ගී ගැයුවා ය.
එපමණක් නොව මෙවර 2016 ප්‍රසංගයේ දී, "මීළඟ ගීතය ගායනා කිරීමේදී මා හා එක්වන ලෙස රසික ඔබෙන් මා ආදරයෙන් ඉල්ලා සිටිනවා" යැයි කී වෙලේ, "අන්න රසික ඔයාට කතා කරනවා!" යැයි අවට සිටි කිහිප දෙනෙකු මට කී නිසා මට අසුනෙන් නැගිට වේදිකාවට යන්නට ද මොහොතකට සිතුණි.
නමුත්, අමරදේව ගේ ප්‍රසංගයක දී (2005) සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.
"පීනමුකෝ කළු ගඟේ" නම් ගීතය ගයන්නට පෙර ඒ ගැන යාන් හෑල්ලක් කියන්නට පටන් ගත් අමරදේව, එය ඇරඹුවේ මෙසේ කියමිනි.
"රසික ඔබට මතක ඇති වර්ෂ 1945 දී කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැත්වුණා ස්වර මේලා නම් සංගීත ප්‍රසංගයක්. ඒ සඳහා තමයි මා මුලින් ම...."
මගේ සැබෑ වයස අමරදේව නිසා හෙළි වූයේ එලෙස ය.
-රසිකොලොජිස්ට්
ප/ලි:
මා මුලින් ම කී පරිදි, මේ සටහන හැම දෙනාගේ ම කියවීම පිණිස නොවේ.
මා ලියා ඇති මේ පොදුවේ නොවැදගත් යැයි පෙනෙන කාරණා නිවැරදිව තේරුම් ගැනීමට හැක්කේ තවත් රසික නමැත්තෙකුට ම පමණක් යැයි සිතමි.
(images: various sources)