Friday, 17 November 2017

විවාහ වීමේ සම අයිතිය සහ ඔසී-සිංහලයෝ - Australian marriage equavility and Australian Sinhala people


ඕස්ට්‍රේලියාවේ මෙතෙක් කල් ලිංගිකව පුරුෂයෙකු ලෙස තමන් හඳුන්වා ගන්නා අයෙකු සහ ලිංගිකව ස්ත්‍රියක ලෙස තමන්ව හඳුන්වා ගන්නා අයෙකු යන යුගලයක් අතර පමණක් කළ හැකිව තිබූ නීතිමය විවාහයට එළැඹීමේ අයිතිය, කිසිදු වෙනසක් නොමැතිව, එකී නිශ්චිත යුගලයෙන් පරිබාහිර යුගල සඳහා ද ලබාදීම සඳහා නීති සම්පාදනය කළ යුතු ද යන කරුණ පිළිබඳව මහජන මතය පිරික්සීම සඳහා පසුගිය දිනවල මාසයකට වඩා වැඩි කාලයක් තිස්සේ පැවති තැපැල් ඡන්ද ජනමත විචාරණයේ ප්‍රතිඵල පේරේදා නිකුත් කෙරුණි.

ඡන්දය හිමි ජනතාවගෙන් ඡන්දය පාවිච්චි කළ 80% පමණ පිරිසෙන් 61% පමණ බහුතරයක් දෙනා, නීතිමය විවාහයකට එළැඹීමේ අයිතිය රටේ පුරවැසියන් සැම දෙනාට ම, ඔවුන්ගේ ලිංගික නැඹුරුව නොසලකා, ලබා දීමට තම එකඟත්වය පළ කර ඇත.

එදින සවස් වරුවේ ම, කාලයක් තිස්සේ සාකච්ඡා මගින් කෙටුම්පත් කරමින් තිබුණු, නව විවාහ නීති පනතක් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, වාද, විවාද, සංශෝධන යනාදියෙන් පසුව අවශ්‍ය නීති දෙසැම්බර් මාසය වන විට සම්මත වෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

එයින් පසු, දැනට සිවිල්-එකමුතු නම් නිතිමය අවසරය පමණක් හිමි, විෂම ලිංගක නොවන ජෝඩුවලට, එනම්, ලිංගික පිරිමින් දෙදෙනෙකුට ද, ලිංගික ගැහැනුන් දෙදෙනෙකුට ද, සංක්‍රාන්ති ලිංගිකයින්ට ද, නීතිමය විවාහයට ඇතුළත් වීමට හැකිවෙනු ඇත.

දිගු කාලයක් තිස්සේ මා වාසය කරන ඕස්ට්‍රේලියාවේ සාකච්ඡා කෙරෙමින් තිබුණු විවාහ සමානතා ප්‍රශ්නයේ ඉතිහාසය හෝ අනාගතය පිළිබඳ වැඩි විස්තර කතා කිරීමට වඩා, මේ ඓතිහාසික අවස්ථාවේ දී මා අදහස් කරන්නේ, පෙර කී තැපැල් ජනමත විමසුම පැවති කාලයේ දී අපේ ඕස්ටේ‍ර්ලියානු සිංහලයින් අතර මා නිරීක්‍ෂණය කළ කරුණු කිහිපයක් විස්තර කරන්නටයි.

මූලික ම මට කීමට යුත්තේ, තැපැල් ජනමත විමසුමේ දී විවාහ සමානතාවයට අකමැති යැයි ඡන්දය දුන් මා දන්නා ඕස්ට්‍රේලියානු සිංහලයින්, ඒ පිළිබඳ දරන මතවාද මට සිහිකළේ අන්-සාන්-සුකී ගේ ද නිරුවත හෙළි වූ බුරුමයේ රොහින්ගා ජනතාව පිළිබඳ සිදුවීමේ දී පොදුවේ අපේ සිංහලයින් පෙන්වූ පුකත්වය ම ය. එය හොමෝෆෝබියාවේ ද, නොදන්නාකමේ ද, තක්කඩිකමේ ද සංකලනයක් විය.

තමන් විවාහ සමානතාවට විරුද්ධව ඡන්දය දීම සාධාරණීකරණය කිරීමට අපේ අයියලා (සහ අක්කලා) විසින් ගෙන ආ හේතු කිහිපයක් සහ ඒ කරුණු අසා මා (සහ අනෙකුත් අය) දැක්වූ ප්‍රතිචාර මෙලෙස ය.


මචං, සමලිංගික කපල්ස් ළමයි හදනවාට මං විරුද්ධයි. ඒ හින්දා මං ඡන්දෙ දුන්නේ නෝ කියලායි.

ඉතිං බං, දැනටත් ළමයි අවශ්‍ය සමලිංගික ජෝඩුවලට ළමයි ඉන්නවානේ. හදන්න කිසිම නීතිමය ප්‍රශ්නයකුත් නෑනේ. ඒ ජෝඩු විවාහ වුණා කියලා මොකක්ද ඇතිවෙන වෙනස?


අනේ ඔය නීතිය ආවොත් මගේ ළමයි හෝමෝ සෙක්ෂුවල් වේවි, ඒ හින්දා මං විරුද්ධයි.

ඔයාගේ ළමයින්ට ජාන එන්නේ ඔයාගෙනුයි ඔයාගේ හබියාගෙනුයි නේද? ළමයි දැන් ඉපදිලා ලොකු වුණු අය. රටේ නීතියකින් කොහොමද ඒ අය හෝමෝසෙක්ෂුවල් වෙන්නේ? එහෙම නීති රීතිවලින් මිනිස්සුන්ගේ ජාන වෙනස් කරන්න පුළුවනි කියලා ද ඔයා කියන්නේ?


මං බුද්ධාගමට අනුකූලව ජීවත්වෙන නිසා මං ඔය නීතිය ගේනවාට විරුද්ධයි.

ඔයාගේ බුද්ධාගමේ කොයි ධර්ම පාඨයෙන් ද, සමලිංගික විවාහය විරුද්ධවෙලා තියෙන්නේ? මං දන්න බුද්ධාගමේ නම් එහෙම දෙයක් නෑ.


මචං මං විරුද්ධවයි ඡන්දේ දෙන්නේ.

මචං, ඒ බයිබලේ නිසා නේද? උග්‍ර කතෝලික රටවල් වෙන අයර්ලන්තයේ, ප්‍රංශයේ සහ රෝමයේත් හොමෝසෙෂුවල් අයට විවාහ වෙන්න පුළුවන් නම්, ඇයි උඹේ අවුල?

අපොයි නෑ, ආගම නිසා නොවෙයි. ඒත් මං විරුද්ධයි.


ඊළඟට කියාවි සත්තු එක්කත් විවාහ වෙන්න ඕනෑ කියලා. ඒ නිසා මං විරුද්ධයි.

මේ ජනමත විචාරණයේ නැති විකාර දේවල් මේකට ඈඳා ගන්නේ ඇයි බං? ඉතිං සත්තු එක්ක විවාහ වෙන එකට විරුද්ධ වෙයං එහෙම ජනමත විචාරණයක් ආවාම. මේ යෝජනා කරන නීති වෙනස කරන්න යන්නේ මිනිස්සු සඳහානේ.


පෙර කී සංවාදවලට සහභාගී වූ අය ලංකාවේ දේශපාලනය ගැන දරණ මත පිළිබඳව විශ්ලේෂණාත්මකව සලකා බලන විට මට එක් අතිශය වැදගත් කරුණක් පෙනී ගියේ ය.

එනම්, ඕස්ට්‍රේලියාවේ විවාහ නීතිය සැමට සමාන කිරීමට විරුද්ධවෙන අයගෙන් අති බහුතරය, ලංකාවේ දේශපාලයේ දී පසුගිය වනචර දශකය පිළිබඳ තවමත් ළතැවෙන මරාවාදීන් බවයි!

එහි පුදුමයක් නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් සිනාසීමට (හෝ ඇඬීමට) අවශ්‍ය නම් ඉහත දැක්වූ එක් සාකච්ඡාවක් දිගට ම ඇදුණු පසු අදාළ පුද්ගලයා කියු මේ පහත කතාව බලන්න.

මිනිසුන් කරන දේ පව් (ද පින් ද කියා) තීරණයවන්නේ බොහෝ විට රටේ නීතිය අනුවයි.
(Most of bad karma will depend on the legal situation in the country)

තේරුණා ද?

මට ද එහි අදහස වැටහුණේ දෙවරක් කියවූ පසුව ය.

Monday, 6 November 2017

ෂොපින් සෙන්ටරයේ දී ය - Kuch Kuch Nahee Hota Hai


ජිවීතයේ විවිධ වකවානුවල අපට සතුටක් ලැබෙන්නේ වින්දනයක් ලැබෙන්නේ විවිධාකාර දේ නිමිති කොට ගෙන ය. උදාහරණයක් ලෙස අප කුඩා කාලයේ සඳ දැක, සමනලුන් දැක, දේදුනු දැක සතුටු වූයෙමු. තරුණ කාලයේ අප සතුටු වූයේ ඒ දේවලින් නොව වෙනත් ආකාරයේ, එනම් සඳමාලී, සමනලී සහ දේදුනු වැනි සිත, නෙත පිනවල දසුන්වලිනි.

අප තරුණ කාලයේ දැක සතුටු වූ සමහර දේ පිළිබඳව වයසට ගිය පසු අපට සිතෙනු ඇත්තේ ඒවා විසූක දස්සන කියා වීමට බොහෝ ඉඩ ඇත.

තරුණ කාලයේ නෙතට ලැබුණු දසුනකින් අපට ලැබුණු හැඟුමක්, වින්දනයක්, පසුව නොදැනී තිබී නැවතත් එක් දිනයක ලැබුණොත්, එය කෙතරම් අපුරු අත්දැකීමක් වෙනු ඇති ද?

මේ කවිය පසුගිය ජූලි මාසයේ මුල සතියේ මා අතින් ලියවෙන්නට ආසන්නතම හේතුව වූයේ එවැනි සුන්දර නොස්ටැල්ජියානූ අත්දැකීමකි.

එදා ලියවුණු මේ කවිය අද කියවන දුමිදු දොඩම්තැන්න රසිකයින්ට, එහි එන කුහුඹුවන් සහ පායනා කාලයේ වැනි යෙදුම් නිසා, අනවශ්‍ය දේ සිතීමට ඉඩ තිබේ. නමුත් මේ නිර්මාණය පාතාල ලෝකය සමග හෝ චංචනිකයින් සමග හෝ සම්බන්ධකර නොගත යුතු බව තරයේ පවසමි.

නුපුරුදු ය, නුරාගික කිතිකැවුම
ඩොලර් ශත ඇද හැලෙන
ණයපතෙන් මිණි කිකිණි හඬ නැගෙන
පායනා කාලයේ කුහුඹුවන් සැරි සරන
වස්සාන කාලයට ගබඩාව පුරවන්න දේ සොයන
හන්දියේ මහ කඩය මැද මහා දහවලේ, ගිලන් හද කිති කැවිණ
දශක දෙක හමාරක කාලයක අත් නොවිඳි අයුරකින්, සිත නුරාවෙන් පිරිණ

ඉලිප්සාකාර වූ වුවනතක දෙතොල් පට දිග හැරී මද සිනාවක් නැගිණ
පෙළෙන සිත සුව කරන, ගිලන් හද පණ වඩන, අමා ඔසුවක් ලැබිණ
දෙනෙත නෙත, නෙත දෙනෙත, නිමේෂයකට ගැටිණ
විදුලි සර පැන නැගිණ, නෙක රිදී රූ ඇඳිණ
ගත පුරා පියාඹා යනු දැනිණ
ශ්වේතවන් වූ සමනල් රෑන!

-රසිකොලොජිස්ට්


(image: sannasa.com)

Friday, 27 October 2017

නාකි වෙන්නේ කවදා ද? - Forever young

වසර පනස් පහක් පැරණි මේ ඡායාරූපය මගේ මුල් ම ඡායාරූපයයි. මගේ වයස සති කිහිපයකි. අම්මාගේ වසය අවුරුදු විසි තුනයි මාස දෙක තුනකි.
කරුණු කිහිපයක් නිසා, අද මගේ ජීවිතයේ වැදගත් දවසකි.

එයට එක් හේතුවක් නම් මේ රසිකොලොජි නම් වූ බ්ලොගය ලිවීම අරඹා අදට තුන් වසරක් පිරීමයි.

මා රසිකොලොජිය ඇරඹුවේ 2014 වසරේ මගේ උපන් දින සැමරුම් දිනය දා ය. ඒ අද දිනය මට වැදගත් වීමට දෙවෙනි හේතුවයි.

උපන් දින සැමරුම් යනු සෑම වසරක ම යෙදෙන අවස්ථාවකි. නමුත්, මේ වසරේ උපන් දින සැමරුමේ මට ඇති විශේෂ වැදගත්කම නම්, මේ මා සමරන්නේ මගේ ජීවිතයට වසර 55 ක් පිරීම වීමයි.

එය අද දිනය මට වැදගත් වීමට තෙවැනි හේතුවයි.

මා උපන්නේ 1962 වසරේ ඔක්තෝබර් 27 වෙනි සෙනසුරාදා රාත්‍රී 10:34 ට කොළඹ මහ රෝහලේ ද සොයිසා සූතිකාගාරයේ දී ය.

එදා සිට අද දක්වා ගතවුණු අවුරුදු පනස් පහක මගේ ජීවිත කාලයෙන් දළ වශයෙන් තිස් වසරක් පමණ ගෙවී ඇත්තේ ලංකාවේ ය. දෙවසරක් පමණ තායිලන්තයේ ය. විසි දෙවසරක් ඕස්ටේ‍ර්ලියාවේ ය.

පේරාදෙණියේ ගෙවූ සිව්වසරක කාලය හැරුණු විට ලංකාවේ මගේ ජීවිතයේ වැඩි කොටසක් ගෙවුේ කඩවත-ගනේමුල්ලට නුදුරු පරකන්දෙනියේ ය. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල මකුළුදුවේ සහ ඇතුල්කෝට්ටේ ද පදිංචිව සිටියෙමි.

මගේ ඕස්ටේ‍ර්ලියානු ජීවිතයේ මුල් හය වසර ගෙවුණේ මෙල්බර්න් තදාසන්නයේ වුව ද, දැන් වසර දාසයක් මා පදිංචිව සිටින්නේ බටහිර සිඩ්නි ප්‍රදේශයේ ය.

ජීවිතයේ ඉතිරි කාලය ද මේ ප්‍රදේශයේ ම ගෙවෙතැයි සිතේ.

දැන් මගේ මේ සටහනේ මාතෘකාවට යතොත්, මිනිසෙකු ඇත්තටම නාකි වෙන්නේ කවදා ද?

කුඩා කල මා සිතා සිටියේ තරුණ දිවිය අවුරුදු දහ අටේ දී ලබන බවත්, වයස තිස් දෙකේ දී මැදි විය එළැඹෙන බවත්, වයස පනස් පහේ දී මහලු වියට එළැඹෙන බවත් ය.
ඒ කාලයේ ම එක් දිනයක ව්‍යවහාර වර්ෂ 2000 ගැන කතා බහක යෙදී සිටි මොහොතක ඒ වර්ෂය උදාවෙන විට මගේ වයස අවුරුදු තිස් හතක් බව සිතා, එතරම් මහලු වයසක ජීවත් වීමක් ගැන මම කණගාටු වුණෙමි.

මගේ පියාගේ වයස අවුරුදු පනස් පහ වී ඔහුට විශ්‍රාම යාමට සිදුවුණු විට (ඔහු තවත් වසර තුනක්, සේවා දිගු වරම ලබා සේවය කළේ ය) ද මම ඒ වයස ගැන කණගාටු වුණෙමි.

මගේ වයස වසර තිස් දෙක පසු කළේ ය. මට කිසිදු වෙනසක් නොදැනුණි.

වසර 2000 උදා විය. මට කිසිදු වෙනසක් නොදැනුණි.

අද මගේ වයස වසර පනස් පහක් සම්පුර්ණ වී තිබේ. මට කිසිදු වෙනසක් නොදැනෙයි.

නාකි වීම මම අවුරුදු හැට දක්වා කල් දමමි.

එසේ වුචත්, මීට මාස කිහිපයකට පෙර මා සැළසුම් කළ එක්තරා ලිවීමක් අරඹන්නට නම් "කාලෝ අයං තේ" යැයි සිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අද දිනය මට වැදගත් වීමට සිව්වැනි හේතුවක් ද ඇත.

එය නම්, මා අද දිනයේ සිට අලුත් බ්ලොගයක් ඇරඹීමයි. වඩාත් පුළුල් පාඨකයින් සංඛ්‍යාවක් කරා ළඟා වීමත්, මෙතෙක් මා ලියූ බ්ලොග් සටහන්වල අන්තර්ගතයට වඩා තරමක් වෙනස් වූ කරුණු සාකච්ඡා කිරීමත් අරමුණු කරගෙන මා එහි සටහන් ලියවෙනු ඇත්තේ ඉංග්ලිෂ් භාෂාවෙනි.

මගේ අලුත් බ්ලොගය A Sri Lankan in Australia ලෙසින් නම් කෙරෙනු ඇත.

(image: වසර පනස් පහක් පැරණි මේ ඡායාරූපය මගේ මුල් ම ඡායාරූපයයි. මගේ වයස සති කිහිපයකි. අම්මාගේ වසය අවුරුදු විසි තුනයි මාස දෙක තුනකි.)

Tuesday, 24 October 2017

කූඹියෝ ටෙලිවෘතාන්තය නිසා සිහිපත් වූ නරුම කතාවක් - White collar ants


මා කියන්නට යන මේ සිදුවීම කලකට පෙර වූවකි. ඒ කතාව ඇසීමේ අත්දැකීම මා ලද්දේ ද මීට වසර එකහාමරකට පමණ පෙර ය. ඉඩ ලද විටක ඒ ගැන ලියා රසිකොලොජියේ පල කරන්නට සිතා සිටි නමුත්, එය ක්‍රමයෙන් අමතක වී ගොස් තිබී, මේ දිනවලට ෆේස්බුක් සහ බ්ලොග් අවකාශවල දිග හැරෙන කූඹියෝ නම් ටෙලි වෘතාන්තය පිළිබඳ කතා බහ නිසා අද උදෑසන යළි සිහිපත් විය.

නොසිතා ම, සැලසුමකින් තොරව බ්ලොගයට මා දුන් දිගු විරාමය අවසන් කර දමන්නට මෙය හොඳ අවස්ථාවක් බව පෙනේ.

මෙන්න කතාව.

පසුගිය වසරේ ලංකාවේ දී අප තරමක් දන්නා හඳුනන පවුලක සාමාජිකයින් පිළිබඳ යාන්තමින් සඳහනක් කෙරුණු අවස්ථාවක, "කොහොමද දැන් ඒ අයට?" යැයි මම එතැන සිටි අයගෙන් විමසීමි.

"ඒ ගොල්ලන්ට පහුගිය දවස්වල පොඩි කරදරයක් වෙලා තිබුණා නේ. දැන් නම්, ඒක විසඳිලා වගෙයි!" යැයි පිළිතුරු ලැබුණි.

"මොකක්ද ඒ කරදරය?"

"ඒ පවුලේ ළමයෙක් පොඩි වංචාවකට අහුවුණා නේ!"

"ඉතිං?"

එදා මා අසා දැනගත් පරිදි සිදුවීම මෙයයි.

මේ පවුලේ තරුණයෙකු, රාජ්‍ය අනුබද්ධ ආයතනයක සේවයේ නිරතව සිට ඇති අතර එහි දී ඔහු මුදල් වංචාවක් සිදු කර ඇත. පොඩි වංචාවක් යැයි මට කියූවද හොරකමේ වටිනාකම රුපියල් ලක්‍ෂ පහකි. චංචා කළ මුදල කොටස් පහකට බෙදු ඔහු, කාර්යාලය අසලම පිහිටා ඇති බැංකු ශාඛාවකට ගොස්, තමා ද ඇතුළුව තම පවුලේ පස් දෙනෙකුගේ නම් යොදා ගිණුම් පහක් අරඹා ඒ මුදල් තැන්පත් කර ඇත.

බොහෝ විට ඒ නිසා ම, මේ වංචාව පිළිබඳ සොයා බැලූ අයට, ඒ සියලු විස්තර ලේසියෙන් ම සොයා ගැනීමට හැකි වී ඇත් අතර, වංචා කළ මුදල් ද, සාක්‍ෂි සමගම ආපසු ලබා ගැනීමට හැකි වී ඇත.

කෝටි ගණං වංචා කෙරෙන රටේ සිදු වූ මේ කතාවේ ඇති මහ ලොකු වැදගත්කම කුමක්දැයි දැන් ඔබ සිතනවා විය හැක.

මට එහි වැදගත්කම ඇත්තේ ඒ පිළිබඳව විස්තර ඉදිරිපත් කෙරුණු ආකාරයේ ය.

"අනේ බලන්නකෝ මේ වගේ ළමයෙක්. එක ම බැංකුවේ එක ම දවසේ, තමන්ගේ ම පවුලේ අයගේ නමින් සල්ලි දාලා නේ. ඒ හින්දා තමයි ඒ ළමයා ඒ අහුවෙලා රිමාන්ඩ් එකට වැටුණේ."

ඒ විස්තර ප්‍රචාරය ඇසූ මට අසූ හාරදාහට කේන්ති යාම පුදුමයක් නොවී ය.

ඒ බව සඟවා ගත් මම මෙලෙස ඇසූවෙමි.

"අපරාදේ නේද? ඒ සල්ලි ටික කාලයක් යනකං හංගලා තිබ්බා නම් හරි ඕනෑම නම් ටික ටික පොලියට දුන්නා නම් හරි ඔහොම අහුවෙන්නේ නෑ නේද?"

මගේ ලණුව කෑ එතැන සිටි දෙදෙනා මගේ කතාව අනුමත කරන ආකාරයේ හඬ නැගූ හ.

මම නැවතත් කට ඇරියෙමි.

"අනේ ඇත්තටම ඔය ගොල්ලෝ හිතන විදිහ නම් මට අදහා ගන්න බෑ. මහජනතාවගේ සල්ලි ලක්‍ෂ පහක් හොරකම් කරපු අමු හොරෙක් ගැන කියන කොට ඔය ගොල්ලෝ කතා කරන්නේ උගේ හොරකම ගැන කේන්තියෙන් නොවෙයි, ඌ අහුවුණු එක ගැන දුකෙන් විතරයි නේද? ඇත්තටම ඔයගොල්ලෝ ලැජ්ජා වෙන්න ඕනෑ ඒ ගැන."

වරද වැටහීම නිසා දෝ ඒ කතාව එතැනින් නතර වුණි.

මේ පිළිබඳ වැඩිදුරටත් කල්පනා කරන විට මට සිතුණේ ලංකාවේ ජනතාව රටේ කෙරුණු සහ කෙරෙන දූෂණ, වංචා, හොරකම් ප්‍රමාණය නිසා ම, නිතර දකින කුකුළා ගේ කරමල සුදට පෙනීමේ පාරාන්ධ තත්වයට පත් වී ඇති බවයි. හොරකමක් ගැන ඇසූ විට, ඒ ගැන කෝපයක් ඇති නොවී හොරා සහ හොර බඩු අසුවීම ගැන කණගාටුවක් ඔවුන්ට ඇති වන්නේ ඒ නිසා ය.

අසාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් ගැන කණගාටු වෙනවාට අමතරව, ඔවුන් සාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් පිළිබඳව සතුටට ද පත්වෙති.

සූක්‍ෂ්ම ආකාරයෙන් හොර මැරකම් කරන, දුෂණයේ වංචාවේ යෙදෙන ජෙහාන් නම් චරිතය වටා ගෙතුණු කුඹියෝ නම් ටෙලිවෘතාන්තයේ ජනප්‍රියත්වයට ඉහත කාරණය එක් හේතුවක් විය යුතු ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ නාට්‍යයේ අවසානයේ කුමක් සිදුවිය යුතු ද යන කාරණය පිළිබඳව ද සයිබර් අවකාශයේ සාකච්ඡා කෙරෙනු මම දුටුවෙමි.

සමහරු පවසන්නේ මේ කතාව යතාර්ථවාදී වීමට නම් ජෙහාන් නම් හොරා, වංචනිකයා, දුෂිතයා ලංකාවෙන් පලා ගොස් ගැළවෙනවා පෙන්විය යුතු බවයි. ඒ යතාර්ථය කෙසේ වෙතත්, තම වීරයා කෙසේ හෝ නීතියෙන් ගැළවෙනවා දකින්නට කැමති ප්‍රේක්‍ෂකයින් කොටසක් සිටින බව නම් සැකයකින් තොරව පැවසිය හැක.

ප/ප/ලි:
කූඹියෝ ටෙලි වෘතාන්තය පිළිබඳව ලියවුණු තවත් ලිපි දෙකක් මෙන්න.

1. කූඹියන්ගේ ගේම කුමක්ද?
http://economatta.blogspot.com/2017/10/blog-post_3.html


2. කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය
http://www.w3lanka.com/2017/10/blog-post_23.html



(image: http://www.itntv.lk/current-dramas/dramas-on-weekend/koombiyo/)

Friday, 15 September 2017

අතිථිභීතිකාව හෙවත් සෙනෆෝබියාව නිසා නැති වී යන අපේ මිනිස්කම - Arseholedness


මා ඊයේ නිර්මාණය කර ෆෙස්බුක්හි පළ කළ ඉහත පෝස්ටරය පිළිබඳ විස්තර කරන්නට පෙර යම් අතීත කතාවක් කිව යුතුය.

මා අටවැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි කාලයේ, සවස් වරුවේ රබර් බෝල ක්‍රිකට් ගැසීමට එක් වීමට පුරුදු වී සිටියෙමු. ඇත්තටම මේ ස්ථානයේ පැවතුණේ ටියුෂන් පන්තියකි. නමුත්, අප එහි යාමේ මූලික අරමුණ වූයේ සම වයසේ මිතුරන් සමග කරන ක්‍රිකට් ක්‍රීඩාවයි.

එක් දිනක් මේ පරිශ්‍රයේ දුවද්දී මා පය ලිස්සා ගොස් ඇද වැටුණි. දණහිස් සහ වැළමිටි නිසා හිස ඒ බොරළු පොළොවේ නොගැටී වළක්වා ගත් නමුත්, මා ඊළඟ මොහොතේ නැගිටින විට වැළමිටි දෙකම පතුරු ගොස් තිබුණු අතර දණහිස්වලින් ලේ ගලා එමින් තිබුණි.

ඒ තුවාල නිසා මට දැනුණු වේදනාව ගැන අමුතුවෙන් කිව යුතු නැත.

නමුත්, ඒ මොහොතේ මා දුටුවේ ඒ අසල සිටි එක් කොලුවෙකු මහ හඬින් සිනාසෙන බවයි. එය මට මහත් ප්‍රහේලිකාවක් විය.

"යකෝ, මං ඇදගෙන වැටිලා, තුවාල වෙලා, ලේ ගලන වෙලේ උඹ ඇයි හිනාවෙන්නේ?" මම ඔහුගෙන් ඇසුවේ කෝපයෙනි.

ඔහු කට වසා ගත්තේ ය.

නමුත්, මේ සිදුවීම දශක ගණනාවකට පසුව ද, මගේ සිතේ නොමැකී පවතී.

මනුෂ්‍යත්වය යනු තවත් අයෙකුගේ දුකක දී, ආපදාවක දී, අඩු වශයෙන් ඒ ගැන කණගාටුවීමයි, හැකි අයුරකින් උපකාරයක් කිරීමයි, ඔවුන් සමග ඒ දුක බෙදා ගැනීමයි.
සිරියාවේ පැවති කලබල නිසා දස දහස් සංඛ්‍යාත පිරිස් පලා යද්දී අප යුරෝපයේ දුටුවේ ඒ මානුෂිකත්වයයි.

එසේ නොමැතිව, වෙනත් අයෙකුගේ ආපදාවකදී සිනාසීම හෝ ඒ පිළිබඳව අවඥාවෙන් කතා කිරීම යනු, වෙනත් බොහෝ දෙනෙකුට මෙන්ම, මට ද සිතෙන පරිදි අමානුෂිකත්වයේ ලකුණකි.

මියන්මාරයේ පසුගිය දිනවල මහා ජන සංහාරයක් සිදුවුණු බව අපි සැම දනිමු. රජයේ හමුදාවන්ගේ ප්‍රහාර මැද දහස් සංඛ්‍යාත පිරිස් තමන් ගේ ගම් ප්‍රදේශ හැර දමා පලා යන්නට වූහ. ඔවුන් අද අසල්වැසි බංග්ලාදේශයේ සරණාගතයින් ලෙස අසරණව සිටිති.

දැන් සරනාගතයින්ව තම රටට භාර ගැනීම යනු හැම දේශයකට ම කළ හැකි දෙයක් නොවේ. ලංකාවේ රජයෙන් එවැනි තිරණයක් ගෙන ඇතැයි කියවෙන, ව්‍යාජ යැයි පැවසෙන සංවිධානයක් විසින් නිකුත් කරණ ලද ප්‍රකාශයක් දුටු විගස අපේ සමහර අයියලා අඳු කොළ දුටු නාගයින් මෙන් පෙණ පුප්පන්නට පටන් ගනු මම දුටුවෙමි.

ඔවුන්ගෙන් ඇතමෙකු සාධාරණ ලෙස කරුණු දක්වා තිබුණ ද, කැබිනට් ප්‍රකාශකයින් ගෝනියක් ම සිටින ලංකාවේ, ව්‍යාජ සංවිධානයකින් නිකුත් කළා යැයි කියවෙන ප්‍රකාශයකින් පමණක් කලබල වීම නම් විහිළුවකි.

ඒ සුළු පිරිස හැර අන් බහුතරය කර තිබුණේ, මේ අගතියට පත් ජන පිරිස පිළිබඳව වෛරී ප්‍රකාශ වැපිරවීමයි.

මා මුලින් කියූ පරිදි මානුෂික ගුණය වන්නේ දුකට පත් අයට වචනයකින් හෝ පිහිට වීමයි. එසේ නොකිරීම කෙසේ වෙතත්, එවැනි අයගේ දුක දැක සිනාසෙන්නෝ, අවඥා කතා කියන්නෝ නම් අමනුෂ්‍යයෝ ම ය.

ඒ අමනුෂ්‍යත්වයට හේතුව, අප කාගේත් සිත්වල ඇති ජාතිවාදයයි. එසේම අතිථිභීතිකාව හෙවත් සෙනෆෝබියාව නමින් හැඳින්වෙන අපට ආගන්තුක දේ පිළිබඳව ඇති බියයි.

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලද අවුන් සාන් සූ කී පවා, මියන්මාර් ජන ඝාතන පිළිබඳව මුක පූට්ටු කරගෙන සිටියදී, අප වැන්නන් ගැන කවර කතා ද?

මගේ පෝස්ටරයෙන් කියවෙන්නේ එයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න සංශෝධිත මෛත්‍රී භාවනාව.

මියන්මාරයේ රොහිංගලා හැර අන් සියළු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා, සැපවත්වෙත්වා, දුකෙන් මිදෙත්වා, නිවන් දකිත්වා!

Tuesday, 12 September 2017

සිඩ්නි පැත්තේ ඒ-ලෙවල් විභාග විස්තර - My son is entering his last year at school soon!


ෆෙඩරල් රාජ්‍යයක් වන ඕස්ටේ‍ර්ලියාවේ පාසල් අධ්‍යාපනය යනු ප්‍රාන්ත රාජ්‍යවලට අයිති විෂයයකි. එනිසා, සමස්තයක් ලෙස රටේ අධ්‍යාපන ක්‍රමවේදයේ මූලික සමානතා තිබුණ ද, එක් එක් ප්‍රාන්තයේ සුළු වෙනස්කම් ද තිබේ.

ඒ සඳහා එක් උදාහරණයක්, එනම් පාසල් අධ්‍යාපනය ඇරඹීම සඳහා ළමුන් සපුරා තිබිය යුතු අවම වයස පිළිබඳ නීතියේ වෙනස පිළිබඳව මම "හතර මහ බැලුම් - පුතා ගැන කෙටි සටහනක් :: A note about my son" ලිපියේ සඳහන් කළෙමි.

තවත් උදාහරණයක් සඳහන් කරතොත්, අප මුලින් ජීවත් වූ වික්ටෝරියා ප්‍රාන්තයේ ඒ වන විට ද පැවතියේ ප්‍රෙප් නොහොත් ප්‍රිපෙයාටරි නම් වූ වසරෙන් ඇරඹෙන පාසල් අධ්‍යාපනය එක එල්ලේ වසර දහතුනක් ලැබූ පසු ළමුන්ට ලංකාවේ උසස් පෙළ විභාගයට සමාන වූ වීසීඊ (වික්ටෝරියන් සර්ටිෆිකේට් ඔෆ් එඩියුකේෂන්) නම් වූ විභාගයට පමණක් මුහුණ දෙන්නට සිදුවෙන ක්‍රමයකි.

ලංකාවේ සාමාන්‍ය පෙළ වැනි විභාගයක් කලකට පෙර වික්ටෝරියාවේ දහවෙනි ශ්‍රේණියේ සිසුන්ට සඳහා ද පැවැත්වී ඇති නමුදු ඒ කාලය වන විට එය අහෝසි කර තිබුණි.
ඒ ගැන මා එකල මගේ පර්යේෂණ නියාමක ආචාර්ය ඇන්ඩෘ වර්ත්ගෙන් විමසූ විට ඔහු කීවේ, දහවෙනි ශ්‍රේණියේ පැවති විභාගය අවසානයේ පාසල්වලින් හැලෙන සිසුන් සංඛ්‍යාව, ඒ විභාගය අහෝසි කළ පසු, විශාල වශයෙන් අඩු වූ බවයි. වෙනත් වචනවලින් කිවහොත් දහවෙනි ශ්‍රේණියේ විභාගය අහෝසි කිරීමෙන් පසු දහතුන් වසරක් පුරා පාසල් අධ්‍යාපනය ලබා ගන්නා ප්‍රතිශතය ඉතා ඉහළ ගොස් ඇත.

එනම්, ඕ ලෙවල් පමණක් සමත් වික්ටෝරියානු වැඩිහිටි පිරිස අඩු වී ඇත!

නමුත් අප සිඩ්නි නගරය පිහිටි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණි පසු දුටුවේ, මෙහි පාසල්වල දහවෙනි ශ්‍රේණිය අවසානයේ පාසල් සහතිකය (ස්කූල් සර්ටිෆිකේට්) නමින් විභාගයක් පැවැත්වෙන බවයි. අපේ දියණියට ද එයට පෙනී සිටීමට සිදුවිය.

පෙර කී හේතුව නිසා ම දෝ, අපේ දියණිය පෙනී සිටි වසරෙන් පසුව ඒ පාසල් සහතිකය විභාගය නැවත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැවැත්වුණේ නැත.

ඇත්තටම ඒ පැවති පාසල් සහතික විභාගය කිසි වැදගත්කමකින් යුතු වූ එකක් නොවුනේ එහි ප්‍රතිඵල කිසිදු කාරණයක් සඳහා ඒ වන විටත් උපයෝගී කර ගැනුණේ නැති වීමයි!

විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්ති සඳහා සිසුන් තම විෂයයන් තෝරා ගන්තේ ඒ දහවෙනි ශ්‍රේණියේ පැවති විභාගයේ ප්‍රතිඵල මත නොව තම තමන් ගේ කැමැත්ත අනුව ය. වසර කිහිපයකට පෙර, ඒ දහවැන්නේ ඕ/ලෙවල් විභාගය අහෝසි කළායින් පසුව වුවද, උසස් පෙළ සඳහා දහවැන්නේ දී හැදෑරු විෂයයන් මත පදනම් නොවී තමන්ට කැමති විෂයයන් තෝරා ගත හැක. නමුත්, විෂය නිර්දේශයේ ඇති හැට-හුටහාමරක් වූ සෑම විෂයයක් ම, සෑම පාසලක ම උගන්වන්නේ නැති බව ද කිව යුතු ය.

පුතා ගේ අද වයසේ මා එදා සිටියදී, මගේ අම්මා ගේ කැමැත්ත වූයේ මා උසස් පෙළ සඳහා ගණිතය නොව ජීව විද්‍යා විෂයයන් තෝරා ගැනීම වුව ද, මම ඒ විකල්පය පිළිබඳව දෙවරක් තියා එක් වරක්වත් නොසිතුවෙමි. වෘත්තියෙන් ගුරුවරයෙකු ද, ශාස්ත්‍රපති උපාධිධාරියෙකු ද වූ, මගේ තාත්තා නම් කීවේ උඹට කැමති දෙයක් උඹ කරපන් කියා ය. ඔවුන් කුමක් කීව ද, උසස් පෙළ සඳහා ගණිතය හැදෑරීමට මා ගෙන තිබුණු තීරණය වෙනස් වෙන්නට ඉඩක් නොතිබුණි.

එනිසා, මගේ පුතා, තම සොහොයුරිය කළ පරිදි ම, විද්‍යා විෂයයන් හැදෑරීම සහමුලින් ම ප්‍රතික්‍ෂේප කිරීම ගැන මට කිසිසේත් ම ප්‍රශ්නයක් වූයේ නැත.

මා ප්‍රිය බිරිඳ, අද පුතා ගේ වයසේ සිටිය දී මේ උසස් පෙළ විෂයය තීරණය ගන්නට සිදු වුණු අවස්ථාවේ දී, ඇගේ පාසලේ ගුරුවරියන් මෙන් ම, මා අසා ඇති පරිදි ඇගේ දෙමව්පියන් ද පවසා ඇත්තේ, ඇය සාමාන්‍ය පෙළ විභාගයේ දී ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ඇති නිසා, ජීව විද්‍යා විෂයයන් නොව, ගණිතය තෝරා ගන්නා ලෙසයි. කෙසේ නමුත්, ඇය ගේ කැමැත්ත වූයේ ජීව විද්‍යාවයි.

පසු කලෙක ඇය කළ තවත් එක් වැදගත් තේරීමක් මෙන් ම, උසස් පෙළ සඳහා ජීව විද්‍යා ධාරාව (එනම්, උද්භිද, සත්ව, රසායන සහ භෞතික විද්‍යාව) තෝරා ගැනීම ද, ඉතා නිවැරදි, ජීවිත කාලය පුරා අතිශය සතුටුදායක ප්‍රතිඵල ලබා දෙන තීරණයක් විය.

පුතා විද්‍යා විෂයන් තෝරා නොගැනීම පිළිබඳව ඇයට මද කනස්සල්ලක් ඇති වුණේ යැයි මට සිතේ.

අඩු තරමේ රසායන විද්‍යාවවත්?

අපේ පුතා එච්.එස්.සී නමින් හැඳින්වෙන උසස් පෙළ සඳහා තෝරා ගත් විෂයයන් මෙසේ ය.
ගණිතය (විෂයය ඒකක තුනක්)
භාෂාව (විෂයය ඒකක දෙකක්)
ආර්ථික විද්‍යාව (විෂයය ඒකක දෙකක්)
ඉතිහාසය (විෂයය ඒකක දෙකක්)
සමාජය සහ සංස්කෘතිය (විෂයය ඒකක දෙකක්)
ආගම් අධ්‍යයනය (විෂයය ඒකක එකක් පමණි)
මේ ගෙවෙන්නේ ඔහුගේ එකොළොස් වෙනි ශ්‍රේණියේ අවසන් වාරයේ අවසන් සති දෙකයි. ඔක්තෝබර් දෙවන සතියේ යළි පාසල ඇරඹුණු විට එළැඹෙනු ඇත්තේ පුතාගේ අවසන් පාසල් වසර ය.

ඒ වසරේ අවසානය ඔහුගේ මෙන්ම දෙමව්පියන්වන අපේ ජීවිතවල ද සුවිශේෂී කඩඉමක් වෙනු ඇත!

-රසිකොලොජිස්ට්

(image: )

Wednesday, 6 September 2017

හතර විලිලැජ්ජාවයි හෙවත් අපේ දියණිය උසස් පෙළ සඳහා කලා විෂයයන් තෝරා ගත් කතාව සහ පසු විපරම! - Arts and crafts


මගේ දියණිය උසස් පෙළ විභාගය සඳහා කලා විෂයයන් තෝරා ගැනීම ගැන මීට වසර කිහිපයකට පෙර මා ලියූ ලිපියක සරදම් බසින් මා නෝක්කාඩුවක් ලියූවේ මේ ආකාරයටයි.
මගේ හදවත බරය. සිත දුකෙන් පිරී ඇත. වෙලාවෙන් වෙලාවට හෝස් ගා සුසුමක් පිටවේ. මුළු ඇඟම කඩා වැටෙන්න යනවා සේ දැනේ.

ඒ මදිවාට මගේ නෙත් දෙක ද තෙත් වී ඇත!

අනේ ඇයි මේ වගේ දුක්බර දෙයක් සිද්ධ වුණේ?

අපේ දියණියට උසස් පෙළ විභාගයට කලා විෂයයන් ඉගෙන ගැනීමට අවශ්‍ය වී ඇත!

විද්‍යා විෂයද කලාවද?
කලාව කිව්වොත් මළා වගේ!
චී, චී, චී ලැජ්ජ නැද්ද
අපේ එකෙක් කලාව කරන්න?
කවුද උඹ දිහා බලන්නේ?
විද්‍යාවයි ගණං ගන්නෙ
අඩු තරමේ වාණිජවත්?
(ඉතිං පුතේ නම්බුවක් නේ
ෆේල් වුණත් විද්‍යාවෙන් විභාගේ කරලා!)

අනේ, සෝමලතා සුබසිංහ වටහාගෙන හිටි ඒ සත්‍යය, දූගේ අම්මයි, මායි දෙන්නම හොඳින් වටහාගෙන පිළිපැදපු ඔය සත්‍යය, අනේ, ඒ සත්‍යය අපේ දුවගේ හිතට කා-වද්දන්න.

අනේ දුවේ මේ මොකක්ද ඔයා කරගන්න යන්නේ?

ඔයා පොඩි කාලේ ම, අම්මා ඔයාට සෙල්ලම් කරන්න මෙව්වා එකක් අරං දුන්නා ඔයාට මතකද?

සීයාගේ වයස මගේ වයස වගේ දෙගුණයයි. ඔයා ගේ වයස මගේ වයසෙන් හතරෙන් එකයි. තව අවුරුදු දහයකින් සීයා ගේ වයස ඔයාගේ වයස වගේ කී ගුණයක්ද? වගේ ගණං ප්‍රශ්න අහලා මං ඔයා ගේ හිතේ ගණිතයට තියෙන උනන්දුව වැඩි කරන්න හැදුවා මතකද?

මෙගා ෆැන්ටා බෝතලේ දාන්න ඕනෑ, ෆ්‍රිජ් එකේ දොරේ කොයි කෙළවරේද, හැන්ඩ්ල් එක තියෙන පැත්තේද, සරනේරුව තියෙන පැත්තේද? වගේ එදිනෙදා සරල ගැටලු ගැන කතා කරලා මං ගූර්ණය වගේ භෞතික විද්‍යා සංකල්ප ඔයාට වටහලා දෙන්න හැදුවා මතකද?

ඉස්සෙල්ලා තාත්තා වගේ කැම්පස් යනවා, ඊට පස්සේ අම්මා වගේ හොස්පිටිතාලේ යනවා කියලා ඔයා පොඩි කාලේ කියනවා අහලා අපේ බබාත් අපි වගේමයි හිතන්නේ පතන්නේ කියලා ඔයාගේ අම්මත් මාත් කොච්චරක් කියලා සතුටු වුණාද?

"තාත්තේ, මට ජර්නලිස්ට් කෙනෙක් වෙන්න ඕනෑ!" ය කියලා මේ ළඟදී දවසක ඔයා කිව්වහම මං මුලින්ම හිතුවේ ඔයා නිකං විහිළුවක් කරනවා කියලයි.

ඒත් අවස්ථාව ලැබුණු ගමන් ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වගේ විෂයයන් ඔයා අලුයම ඉවත ලූ කෙළ පොදක් වගේ බැහැර කරද්දී මට තේරුණා වැඩේ කපෝතියි කියලා දුවේ.

මේ සුව පහසු කොට්ටේ ඉන්නේ නැතුව කූඩැල්ලෙක් වගේ ඉවතට ඇදිලා යන්නේ ඇයි දුවේ?

අඩු තරමේ වාණිජවත්?

ප/ලි
සෝමලතා සුබසිංහ ඇය ගේ ඉහත ගීතයේ කෙලෙස ලිව්වද අන්තිමේ දී ඇගේ දුව කෞෂල්‍යා ෆර්නැන්ඩු ඉගෙන ගත්තේ කලා විෂයයන් ය. ඒ මදිවාට නියමිත අවුරුද්දේ උසස් පෙළ විභාගය නොකළ ඇය ඒ වෙනුවට සුගතපාල ද සිල්වා ගේ මරාසාද් නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන්නට ගියා ය. ඇය කොළඹ විශ්ව විද්‍යාලයට ගියේ ඉන් පසුවයි. ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම චිත්‍රපටයේ රඟපානවා දුටු පසු මා ඇය දැක නැත.

ප/ප/ලි
මගේ පියා ජීවත්ව සිටියා නම් ඔහු තම ලොකු මිනිපිරිය තමා මෙන් ඉතිහාසය, භාෂාව වගේ කලා විෂයයන් ඉගෙන ගැනීම ගැන සතුටු වෙනු නොඅනුමාන ය.
ඒ එදා මා පළ කළ ලිපියේ ව්‍යාකරණ සඳහා සංස්කරණය කළ පිටපතකි.

-රසිකොලොජිස්ට්

පසු විපරම

ලිපියේ අන්තර්ගතය ගැන
මා එදා ඉහත දැක්වූ ලිපිය ලිව්වේ සරදම් ස්වරයෙනි. නමුත්, එය කියවූ කිහිප දෙනෙකු ම අපේ දියණිය උසස් පෙළ සඳහා ගණිතය හෝ විද්‍යාව හෝ තෝරා නොගැනීම ගැන මා ඇත්තටම දුක් වෙනවා යැයි සිතා මගේ සිත සැනසීමට විවිධ ප්‍රතිචාර දක්වා තිබුණි.

අපේ දියණිය ද උසස් පෙළ සඳහා විෂයයන් තෝරා ගත්තේ මගේ බිරිඳ සහ මා අප ඒ වයසේ දී කළ ආකාරයට ම, තම කැමැත්ත අනුව යි.

මගේ දියණිය
ඇය උසස් පෙළ සඳහා හැදෑරූ විෂයයන් මෙසේ ය.

භාෂාව (ඒකක හතරකි)
ඉතිහාසය (ඒකක තුනකි)
නාට්‍යය (ඒකක දෙකකි)
සංසන්දනාත්මක ආගම් (එක් ඒකකයකි)

ඇය ඒ විභාගයේ දී මගේ මිම්මට අනුව අති විශිෂ්ට ප්‍රතිඵල (එනම් විෂයය ඒකක දහයෙන් එකකය පමණක් 88% ක් ද, අන් සියල්ලටම 90%ට වඩා ද ලබා ඒටාර් (ATAR) නම් ඕස්ට්‍රේලියානු තෘතියික අධ්‍යාපන රෑන්කයේ 97.45) ලබාගත් බව සඳහන් කළ යුතු ය.

සන්නිවේදනය (Communications) පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (Bachelor of Arts) හදාරන කාලයේ ම, මුලින් අර්ධකාලීනව ග්‍රීන්පීස් (Greenpeace) ආයතනයේ ඩිජිටල් මාධ්‍ය සහායක (Digital Assistant) තනතුරක සේවය ඇරඹූ ඇය පසුව පුර්ණ කාලීනව සේවය කරමින් ම පසුගිය වසරේ අග දී උපාධිය නිම කළා ය. ඇය දැන් යුනිසෙෆ් (UNICEF Australia) ආයතනයේ ඩිජිටල් අන්තර්ගත නිෂ්පාදක (Digital Content Producer) ලෙස සේවය කරයි. වෙනත් වචනවලින් කියන්නේ නම් ඇය වෘත්තීය බ්ලොග් ලියන්නියකි.

මෙන්න ඇය ලියූ බ්ලොග් ලිපි කිහිපයක්.

ග්‍රීන්පීස් ආයතනය: https://www.greenpeace.org.au/blog/author/rsuriyaa/#.WaipX8ax9OQ

යුනිසෙෆ් ඕස්ට්‍රේලියා: https://www.unicef.org.au/blog?author=3e024094-1069-4696-9d22-744a2aa15735

කෞෂල්‍යා ප්‍රනාන්දු
ආකාස කුසුම චිත්‍රපටයෙන් පසු මා ඇය බොරදිය පොකුණ චිත්‍රපටයේ ද, මීට වසර දෙකකට පමණ පෙර කොළඹ දී මා නැරඹූ දුටු තැන අල්ලනු වේදිකා නාට්‍යයේ අධ්‍යක්‍ෂකවරිය ලෙසින් ද දුටුවෙමි.

තාත්තා
මගේ පියා ජීවත්ව සිටියා නම් තම මිනිපිරිය තමා මෙන් කලා විෂයයන් තෝරා ගැනීම ගැන සතුටු වෙන්නට ඉඩ තිබුණේ ඔහු ගේ යටි සිතෙනි.

මා එසේ කියන්නේ මක් නිසා ද යත්, ඔහු කිසි දිනක මගේ මල්ලිලා දෙදෙනාට හෝ මට හෝ ඔහු මෙන් කලා විෂයයන් ඉගෙන ගන්නට යැයි කියා නැති හෙයිනි. එසේ කීවා නම්, මුලින් ජීව විද්‍යාව හදාරා පසුව භාෂා, නීතිය සහ පුරා විද්‍යාව කරා යොමු වුණු මගේ සමන් මල්ලී අධ්‍යාපනයට ගත කළ කාලය මීට වඩා ඵලදායීවන්නට ඉඩ තිබුණි.

තාත්තා මිය ගොස් මේ වසරේ දෙසැම්බරයට වසර හතකි!


(image: https://www.youtube.com/watch?v=jyyPTOEpcH8)

Thursday, 31 August 2017

රාජ්‍යය සහ සංස්ථාපිත ආගම් අතර අශුද්ධ සන්ධානය පිළිබඳ සටහනක් - Axis of evil


සංවිධානය වූ ආගම් යනු මූලිකව ම මිනිසුන්ගේ රැවටීම මත ගොඩ නැගී, සවිමත් වී, පැවතෙන කූට ව්‍යාපාර විශේෂයක් ය යන්න ආගමික අන්ධයින්ට හැර අන් සියලු දෙනාට ම සක්සුදක් සේ පැහැදිලි විය යුතු සත්‍යයකි.

එසේ ම, අල්ලාගෙන සිටින රාජ්‍ය බලය රැකගෙන දිගින් දිගට ම පවත්වාගෙන යාම තම ප්‍රධාන පරමාර්ථය ලෙස සලකන දේශපාලුවන්ට ද ඒ සඳහා අවශ්‍යවන්නේ ජනතාව දිගින් දිගම රැවටීමට බව ද අපි දනිමු.

එනිසා, සංවිධානය වූ ආගම් සහ රාජ්‍යය කරන දේශපාලුවන් ඒ එකම අරමුණ උදෙසා එකට කඳවුරු බැඳීමේ කිසිදු පුදුමක් නැති බව පෙනේ.

මේ අශුද්ධ සංධානය අද ඊයේ සිදු වූවක් නොව මිනිස් ශිෂ්ටාචාර ආරම්භයේ සිට ම සිදු වූවකි. බුදුන් සහ ජේසුන් වැනි ආගම් කතුවරු තම දහම රාජ්‍ය බලයෙන් තොරව පැතිරවූයේ වුව ද, ඔවුන්ගේ මරණයෙන් පසු ඒ දහම විකුණමින් බෞද්ධ සහ කතෝලික ආගම් දෙක සංස්ථාපිත වූයේ රජුන් හා එකතුව ජනතාව රැවටීමේ පොදු අවශ්‍යතාවය පෙරදැරී කරගෙන ය. ඒවා අද පැවතෙන්නේ ද, බොහෝ දුරට ඒ ආකාරයෙන් ම බව ද පැහැදිලිව පෙනේ.

ලංකාවේ අද පවතින සියලුම ආගමික සංස්ථා ද මුලින් ඇරඹුණේ, ඒ ඒ කාලවල සිටි රජුන්ට බෝලය බස්සවා, ඇම කවා බව අප අසා ඇත. තමන් නිරතුරු කරන ජඩ වැඩ එළිපිට කරනවාට වඩා ආගමට මුවා වී කිරීම ඊසි-පීසි බව පහසුවෙන් ම වටහා ගත් රජාලා ද, ක්‍ෂණයකින් ම වැඩේට සෙට් වූහ.

මා කියවා නැති වුණත්, මැකියවේලීලා ද, කෞටිල්‍යලා ද, විෂ්ණු ශර්මාලා ද, මේ ආකාරයෙන් පූජකයින් සහ රජය කරන්නන් යන දෙපාර්ශවයට වින්-වින් තත්වයක් උදා කරන ඔවුන් ගේ අශූද්ධ සන්ධානයේ ඇති වැදගත්කම ගැන ලියා තියෙනවාට සැක නැත.

කෙසේ වෙතත් මේ අශුද්ධ සන්ධානය කඩා ආගම සහ රාජ්‍යය වෙන් කිරීම නම්, අර නිර්ධන පන්තියේ ආඥාදායකත්වය උදා කිරීම වැනි, කිසිදාක කළ නොහැකි තරමේ අසීරු කාර්යයක් දෝ යැයි සිතේ.

මා වසන ඕස්ට්‍රේලියාව යනු සෑහෙන දුරකට ආගම සහ රාජ්‍යය වෙන්කර පවත්වාගෙන යන රටකි. උදාහරණ කිහිපයක් සඳහන් කළහොත්, රජයේ පාසල් ආරම්භයේ දී පන්සිල් ගැනීම් වැනි ආගම් සිහි කිරීමක් නැත. පාසල අවසානයේ දී "යෝවද තම්පව" හෝ "රෝමනු ජේසු" හෝ කීමක් නැත. රජයේ වියදමෙන් පාසල්වල ආගම උගන්වනු නොලැබේ. අවශ්‍ය අය සඳහා හැමට පොදු පාඩමක් ඇති අතර, දෙමව්පිය කැමැත්ත මත අපේ ළමුන් කළාක් මෙන් ඒ වෙලාවේ පුස්තකාලයට යාමට හැක. විෂයයක් ලෙස සංසන්දනාත්මක ආගම් ගැන උසස් පෙළ සඳහා ඉගෙන ගැනීමට නම් පහසුකම් සැපයෙතත් ආගම් සඳහා පොදු බදු මුදල් වැය කිරීමක් ගැන අසන්නට නැත.

තත්වය එසේ නමුත්, තවමත් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව ඇරඹෙන අවස්ථාවේ දී දෙවියන්ට යාඥාවක් කියනු ලැබේ. මෙය වසර සියයකටත් ඉහත කාලයක දී ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව ඇරඹූ කාලයේ සිට පැවත එන, තවමත් ඉවත් කර නැති, සම්ප්‍රදායකි.

ඒ හැර ආගම් සහ රාජ්‍යය අතර සම්බන්ධයක් ඕස්ට්‍රේලියාවේ දැකිය නොහැකි තරම් ය.

පාසල් ආරම්භයේ දී මෙන් ම, වෙනත් රාජ්‍ය උත්සව ආරම්භයේ දී ද, පන්සිල් ගැනීම ආදී ආගමික කටයුතු කෙරුණ ද, ලංකාවේ පාර්ලිමේන්තුවේ නම් සිල් ගැනීම් හෝ වෙනත් ආගමික කටයුතු නොකෙරෙන බව මගේ විශ්වාසයයි. කොහොමටත්, පාර්ලිමේන්තුවේ ඉන්නා බහුතරයක් හොරුන් සහ බොරුකාරයින් බවත්, තවත් පිරිසක් බඩුකාරයින් සහ අනියම් මිනීමරුවන් බවත්, ඒ මිස පන්සිල් රකින්නන් නොවන බවත්, අමුතුවෙන් කිව යුතුව නැත.

ලංකා පාර්ලිමේන්තුවේ ආගම් ඇදහීමක් නොවුණත්, රාජ්‍යයේ කටයුතුවලට ආගම්වල බලපෑම ඉතා විශාල බව බැලු බැල්මට ම පෙනේ.

මෙහි දී මුලින් ම අපට පෙනෙන්නේ, සංස්ථාපිත ආගම් ප්‍රෝඩාව රාජ්‍ය මට්ටමෙන් ද පවත්වා ගෙන ගොස් ජනතාව දිගින් දිගටම මුළා කිරීමේ ව්‍යාපෘතිය සඳහා, රජය විසින් ආරම්භ කර විශාල පිරිවැයක් දරමින් පවත්වාගෙන යන බුද්ධ ශාසන, ක්‍රිස්තියානි කටයුතු, හින්දු ආගමික කටයුතු සහ මුස්ලිම් ආගමික කටයුතු යනා දී අමාත්‍යාංශ ගොන්නයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්‍ෂාව, නීතිය හා සාමය වැනි කරුණු නම් රාජ්‍යයේ විෂයය පරාසයට ඇතුළත් විය යුතු බව පැහැදිලි වුවත්, අතිශය පුද්ගලික කාරණයක් වූ ආගමික කටයුතු සඳහා අමාත්‍යාංශ අවශ්‍යවන්නේ ඇයි දැයි මට නම් නොතේරේ.

බෞද්ධ කටයුතු සඳහා ඇමතියෙකු පත් කරන ලෙසත්, ප්‍රතිපාදන සපයන ලෙසත්, බුදුන් කිසි දිනයක කොසොල් රජාගෙන් හෝ, සුද්දෝධනගෙන් හෝ ලිච්ඡවිලා සෙට් එකෙන් ඉල්ලූ බවක් මා නම් අසා නැත.

ලෝකයේ ඇති අනෙකුත් ආගම්වන ෂින්ටෝ, යුදෙව්, සීක්, බහායි වැනි ආගම් ලංකාවේ නැත්තේ රටේ අයවැයේ යහපතට බව පෙනේ.

බුද්ධිමත් රාජ්‍ය නායකයෙකු සහ රජයක් ලංකාවේ වැරදීමකින් හෝ බිහිවුණු දිනයක මේ ආගමික අමාත්‍යාංශ සියල්ල විසුරවා දමනු ඇතැයි සිතා සැනසීම හැර අපට කළ හැකි අන් දෙයක් තියේ ද?

සංස්ථාපිත ආගම් සහ රාජ්‍යය අතර ඇති මේ අශුද්ධ සන්ධානය නිසා ලංකාවේ සිදු වී ඇති සහ සිදුවෙමින් පවතින ව්‍යවසනයන් බොහෝ ය. ඒ බොහොමයකට හේතුව වී ඇත්තේ, රාජ්‍යය සමග තමන් අයිති සංස්ථාපිත ආගමේ ඇති අශුද්ධ සංධානයේ බලයෙන් මත් වෙන ආගමික නියෝජිතයින් ඉන් පසු රාජ්‍යයේ කටයුතුවලට අයුතු ලෙස බලපෑම් කරන්නට යෑම නිසා ය.

සඟ බලවේගය කරට ගෙන රජ පුටුවට ගිය සොලමන් බණ්ඩාරනායකට වූ දෙය ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය වේ.

මේ කරුණු සියල්ල මගේ සිතට නැගුණේ පසුගිය දිනවල, විශේෂයෙන් ම ෆේස්බුක් හරහා, අසන්නට ලැබුණු සංස්ථාපිත ආගම් ලොක්කන්ගේ පිස්සු කෙළි කිහිපයක් නිසා ය.

විවිධ හේතු මත අනවශ්‍ය කළල ගබ්සා කිරීමට නීතියෙන් අවසර දීමට ඇති සැලසුම පිළිබඳව කතෝලික පල්ලිය විසින් නගා ඇති විරෝධය ඉන් එක් කරුණකි.

අන් බොහෝ දෙනෙකු පවසා තිබුණාත් මෙන් ම, මේ සම්බන්ධයෙන් මගේ අදහස ද වන්නේ, කතෝලික පල්ලියට තමන් අවශ්‍ය නම් තම අනුගාමිකයින්ට නීති පනවා ගන්නවා මිස, රටේ පොදු නීති සම්පාදනයට බලපෑම් කරන්නට අයිතිවාසිකමක් නැති බවයි. මෙය මීට කලින් ඔවුන් සාර්ථකව කර ගත් ආකාරයේ ඩාවින්චි කෝඩ් පොත හෝ චිත්‍රපටය තහනම් කිරීම වැනි සරල කාරණාවක් නොවේ.

ඒ ආකාරයේ දෙවන සිද්ධිය වූයේ, කතරගම පැත්තේ දේවාලයක වුණු කලබගෑනියයි. බුද්ධිමත් රාජ්‍ය නායකයෙකු සහ රජයක් අද ලංකාවේ වැරදීමකින් හෝ බිහිවී තිබුණා නම් මේ අවස්ථාවේ දී සිදුවිය යුතුව තිබුණේ ඒ මහා ප්‍රෝඩාව සදහටම නතර කර දැමීමයි.

ඒ වෙනුවට සිදුවුණේ, මෝඩයින් හැත්තක ගේ මුදල් කපටියන් කිහිප දෙනෙකු අතර කෙසේ බෙදී යා යුතුද වැනි අදින්නාදාන පාපයක් සම්බන්ධ මේ කුණු ගොඩ නිරාකරණය කර ගැනීම සඳහා හොරකම පවක් ලෙස සලකන බුද්ධාගම තම දඩමීමා කරගෙන සිටින බුද්ධ ශාසන අමාත්‍යාංශය මැදිහත් වීමයි!

තුන් වෙනි කාරණය ගැන ෆේස්බුක් හි ආරංචිය පැතුරුණේ ඊයේ ය. පොළොන්නරුවේ කවුදෝ ගනින්නාන්සේ කෙනෙකු පෝයදාට කඩ වහන්නට යැයි කියා නගරයේ ව්‍යාපාරික ස්ථානයකට ලිපියක් යවා ඇත.

බබා ස්වරයෙන් ලියා තිබුණද, එහි අන්තර්ගතයේ ඇති තර්ජනය ඉතා පැහැදිලි වේ. කොටින් ම, දැන් සති කිහිපයකට කලින් පුවත් මැවූ භාවනා කරපං ඩෝ *රියා සහ යනවද නිවන් නැතිනම් අපි අරින්ඩ ද ආකාරයේ මහා කාරුණික ඉල්ලීමකි.

වසර තිහකට කලින් භීම සමයේ ජවිපෙ බළල් අතක් වූ කුඩහපොළ බලකාය වැනි ත්‍රස්තවාදීන් මේ ආකාරයේ කඩේ වහපිය ඩෝ සෙනෙහෙ කොළ යැවූ අතර, ඒවා පිළි නොපදින බුලත් තට්ටුකාරයින් පවා ජවිපෙ මිනීමරු අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් මරා දමන ලදී. ඒ ඉන්දු ලංකා ගිවිසුම දඩමීමා කරගත් ජාතිවාදී ව්‍යාපාරයක ක්‍රියා ය.

කාලයක් තිස්සේ ජඩ වැඩ කරමින් රට ගඳ ගැස්සවූ නානසාර නිහඬ වී ඇති මේ මොහොතේ සිදුවුණු මේ ගනින්නාන්සේගේ ක්‍රියාව ප්‍රාදේශීය ආගමික ත්‍රස්තවාදයක පෙරනිමිත්තක්දැයි සැකයක් ඇති වීම සාධාරණ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සංස්ථාපිත ආගම්වලට රැවටී ඉන්නා අයගේ සහයෝගය ලබා ගැනීම පිණිස ලංකාවේ රාජ්‍යය විසින් කර ඇති එකම අකටයුත්ත මා පෙර සඳහන් කළ අමාත්‍යාංශ පිහිටුවා මහජන මුදල් නාස්ති කිරීම පමණක් නොවේ.

ඊට අමතරව, ව්‍යවස්ථාවේ බුද්ධාගම සුරැකීමක් ගැන නොමනා සඳහනක් කිරීම, පෝය නිවාඩු දහතුනක් රජයේ නිවාඩු දින ලෙස නම් කර රටේ ඵලදායීතාව අඩු කිරීම, "ගනිං ඩෝ පන්සිල්" න්‍යායෙන් පෝය දිනවල මත්පැන් අලෙවිය තහනම් කිරීම, පන්සල් සහ පල්ලිවලට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පරිසරය දුෂණය කරන්නට ඉඩ දීම, ආගමික දිනයන් හි දී, බැනර් දැමීමට, ගොඩනැගිලි ආලෝකමත් කිරීමට මහජන මුදල් නාස්ති කිරීම යනාදිය ද දැක්විය හැකි ය.


(image: )

Thursday, 24 August 2017

කොහොමද ඉතිං තොරතුරු? - Goss 'bout me!


කොහොමද ඉතිං තොරතුරු?

හොඳයි වරදක් නෑ. රුකියාවේ නම් පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් වුණා. ඒවා එක් අතකට ධනාත්මක වෙනස්කම් කියන්න පුළුවනි, නමුත්, ඒ සාපේක්‍ෂකව බැලුවාමයි. ඇත්තට ම නම් කතාව කෙටියෙන් කියන්න පුූළුවන් බැක් ටු ද ෆියුචර් කියලා.

ඒ වුණත්, අගෝස්තු මුල් සතියේ ඉඳලා උදේ ම වැඩට ගිහින් හවස් වෙලා එන්න පටන් ගත්තා. ඒ නිසා ම දෝ, වෙනදා වගේ දුම්රියේ දී පරිගණකය දිග හැරගෙන බ්ලොග් ලිපි ලියන්න හිතුණේ නෑ. ඒ වෙනුවට එක්කෝ කල්පනාවේ ගිලෙමින්, නැතිනම් ජංගම දුරකථනයෙන් මොනවා හරි කියවමින් කාලය ගත කළා.

ඒ අතරතුර, සති අන්තවල දින දෙක තුනක් ම, මගේ තවත් විනෝදාංශයක් වෙන නාට්‍යය කලාව හා සම්බන්ධ කටයුතුවලට ගත කරන්නට සිදුවුණා.

ඒ නාට්‍ය විස්තර පසුව ලියන්නම්.

කාලයක් තිස්සේ නොකඩවා කළ ලිවීම ගැන කියනවා නම්, මෙතැන සඳහන් කළ යුතු එකම වැදගත් සිදුවීම තමයි, මීට මාස දෙක තුනකට කලින් සිදුවුණු සිත තිගැස්සූ එක්තරා සුන්දර අත්දැකීමක් ගැන අමුතුම ආකාරයක ආකෘතියකින් කවියක් මා අතින් ලියවීම. ඊට කලින් මං ලියපු "අවසාන රෝසමල" ගැන කවියට වඩා මං මේ අලුත් කවියට කැමතියි. පසුව දවසක පළ කරන්නම්.

ඒ වෙනුවට මෙන්න පොඩි වාර්තාමය පද්‍ය පේළියක්. මේක නම්, අද උදේ කෝච්චියට නැග්ග ගමන් ලියවුණු එකක්.

කොහොමද ඉතිං තොරතුරු?

එකාකාරී ලෙසින්
ගෙවී ගිය ජීවිතය
නොසිතු ලෙස, ක්‍ෂණයකින් නොපිට පෙරළිලා ඇත
කුසීතව, අලස ලෙස
දිවි ගෙවූ කාලයට
විරාමය තබන්නට නිමේෂය පැමිණ ඇත

ලොකු උපන් දිනට පෙර කරන්නට සිතා සිටි
පොඩි වුණත් සිතට ලොකු ව්‍යාපෘති රාශියකි
එයින් දෙක තුනක්වත් හොඳින් නිම කර ගන්න
මෙවර හෝ හැකි වුණොත් එය කදිම තෑග්ගකි

ඒ වුණත්,

සැම දිනම සිදුවෙනා විලසින් ම
විදුලි දුම්රිය ගමන අවසනට එළැඹුණා
වසා පරිගණකය දුකෙන්
ගමන් මල්ලට දමා නික්මෙන්න සිදුවුණා
කාලයක් පට්ට ගැසු
පරණ ආකෘතියෙන් ම
මේ කවත් ලියන්නට සිදුවුණා!


-රසිකොලොජිස්ට්

(image: Captured at Kingswood Railway Station, NSW, Australia)

Thursday, 17 August 2017

කියවන විට ලිවීම හෙවත් google key board app එකෙන් ලියන පළමු ලිපිය - Long live GBoard App


මේ මා උත්සාහ කරන්නේ නොබෝදා ගූගල් සමාගමෙන් නිකුත් කෙරුණු wood apple (GBoard App) එකෙන් මගේ පළමු බ්ලොග් ලිපිය ලියන්නයි.

මට මතකයි 1992දී කොළඹ යිටි (IT) ප්‍රදර්ශනයක් පැවැත්වුන මේ කාලයේ අයිතිය (IT) යන වචනය සමහරුන් උච්චාරණය කළේ (ඉට්) කියයි. ඒ තරම් අතීත කාලය cry (කාලයකයි) මේ ප්‍රදර්ශනය පැවැත්වුණේ.

එහිදී ප්‍රදර්ශනයට තබා තිබුණා මට මතකයි voice typing මෘදුකාංගයක්. එය ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන විට එවලේම ටයිප් වෙන ලියැවෙන මෘදුකාංගයක්. නමුත් ඒ දිනවල එවැන්නක් මිලට ගැනීමට තබා පරිගණකයක් වත් මට තිබුණේ නෑ.

meter යට (මීට) වසර පහකට පමණ පසු 2007 දී පමණ මා ඕස්ට්‍රේලියාවේ දී මෙවැනි මෘදුකාංගයක් මිලට ගත්තා. එය වැඩි ප්‍රයෝජනයක් වුනේ නැහැ. එයට මූලිකම හේතුව වුණේ අප කියන වචනය ඒ ආකාරයෙන් ම හඳුනාගෙන ටයිප් කිරීමට එකල තිබුණු voice recognition software වලට හැකි නොවීමයි.

මේ අලුත් ඇප් එක මගේ දුරකතනයට දමාගෙන විවිධ පරීක්ෂණ කරමින් විවිධ පරීක්ෂණ kala mata (කළ මට) එය සෑහෙන හොඳ තත්ත්වයක තිබෙන බව පැහැදිලිවම පෙනුනා. එවිටයි මට එමගින් බ්ලොග් ලිපියක් ලියන්නට උත්සාහ කරන්නට අදහසක් ආවේ.

නමුත් ට තවමත් හොයාගන්නට බැරි උනා නැවතීමේ ලකුණ විරාමය semi colon ප්‍රශ්නාර්ථ ලකුණ වැනි දේ ලියන ආකාරය එනම් අකුරු type prefom චනයක් කිව යුතු ද යන්න පිළිබඳව සොයා බැලීමේදී මට දැනගන්නට ලැබුණේ මේ චිපය නිපදවා ඇත්තේ ලේඛන කිරීමට නොව සාමාන්‍ය කතාබහ සදහා ය කියායි.

කෙසේ වෙතත් මට හිතෙන පරිදි මෙමගින් අපේ කාලය විශාල ලෙස ඉතුරු වෙනවා.

මෙමඟින් ලැබෙන අනිත් වාසිය තමයි පැහැදිලිව නිරවුල්ව වචන උච්චාරණය කරමින් සෙමෙන් කථා කරන්ට අපට පුහුණුවක් ලැබීම. නිවැරදිව වචන උච්චාරනය කළොත් අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්නට බැහැ.

නමුත් වේගයෙන් කියවීම එතරම් ප්‍රශ්නයක් නොවෙයි.

මේ ලිපිය අවසාන කිරීමට මා කුඩා කාලයේ ඉගෙනගත් දැනගත් කවියා වේගයෙන් කියන්නම්.

codl (ගොඩ) මඩ දෙකම සරු සාරය පල බරය
කටුරොද ගම්මාන තරමක පිටිසරය
මේ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය

මෙන්න දමා (වෙනදා මා) කරන ආකාරයට ලිපිය ලියා, එහි අක්ෂර වින්‍යාසය සොයා බලා, සුබස නම් වෙබ් අඩවියෙන්ද පරීක්ෂාකර, සංස්කරණය කර පළ කිරීම අද කරන්නේ නෑ.

මේ ලිපිය නිකුත් (නොයෙකුත්) වැරදි තියෙන්න පුලුවන්. වැරදි තිබේ නම් google ට බනින්න. ලිපිය හොඳින් ලියවී ඇත මට ප්‍රශංසා කරන්න.

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා කියවන විට බගූගල් ලියූ සටහනට පසුව පහත දැක්වෙන වෙනස්කම් කළෙමි.
1. නැවතීමේ ලකුණ එකතු කිරීම
2. පරිච්ඡේද කැඩීම
3. වැරදියට ටයිප් වී තිබුණු වචන නිවැරදි අකුරෙන් ලියා වරහන් තුළ යෙදීම
4. ප/ලි කොටස සාමාන්‍ය ක්‍රමයට ලියා එකතු කිරීම

(image: https://www.youtube.com/watch?v=CCZxbw0UWYs)

Thursday, 10 August 2017

මොන රෙද්දක් ද මන්දා? - Shut eyes, shut mouth, shut or!


මගේ බ්ලොග් ලිවීමේ වැදගත් සන්ධිස්ථානයක් වූ ලිපි 500 කඩ ඉම පසුවුනේ පසුගිය සතියේ සිකුරාදා ය.

එදින වන විට බ්ලොගය අරඹා ගතවී තිබුණේ දින 1012 ක් පමණි. එනම් සෑම දෙදිනකට ම වරක් මා ලිපියක් ලියා පළ කර ඇත.

මගේ වාර්තාව දැක කවුරු ඇස් වහගත්තා ද, කට වහගත්තා ද (සහ ගිය සතියේ මුල්වරට මා උගත් පරිදි - තෑන්ක්ස් සුජීව කොකාවල) හෝ වහගත්තාදැයි නොදනිමි. මා දන්නේ එදින සිට අද වෙන විට සතියක පමණ මට සාපේක්‍ෂව දිගු කලක් ගත වී ඇතත් රසිකොලොජි බ්ලොගයේ කිසිවක් පළ නොවූ බව පමණි.

ඇත්තට ම කියනවා නම් අගෝස්තු මාසයේ මේ දක්වා පළ වී ඇත්තේ ලිපි දෙකෝ ම දෙකකි.

මොන රෙද්දක් ද මන්දා?

මෙය රයිටර්ස් බ්ලොක් එකක් හෙවත් ලේඛකයින්ට වැළදෙනවා යැයි කියනු ලබන භයංකාර රෝගය නම් නොවේ. මම සන්නස සඟරාවේ මගේ කොලමට මාසික ලිපිය සකසා යැව්වෙමි.

ඒ අතරතුරේ කවියක් ද ලියා වෙනත් සඟරාවකට යැවීමි. වෙනත් අයෙකුගේ ලිපියක් සංස්කරණය කළ අතර, ළඟඳී පළවීමට යන පොතක් සඳහා තවත් ලිපියක් ලියමින් සිටිමි.
එසේනම්, ඇත්තට ම සිදුවූයේ මොන රෙද්දක් ද?

රසිකොලොජිය ලියන්නට සාමාන්‍යයෙන් මා පාවිච්චි කරන, සතියේ දිනවල දුම්රිය ගමනට ගතවෙන කාලය, මේ සති දෙක තුනේ පෙර කී ආකාරයේ වෙනත් ලේඛන වැඩවලට යොදන්නට සිදුවීම එක් හේතුවකි.

ඒ වෙනත් ලේඛන කටයුතුවලට සාමාන්‍යයෙන් ගත කරන නිවසේ ඉන්නා විවේක කාලය, මගේ තවත් විනෝදාංශයක් වූ නාට්‍යය වැඩ කටයුතු සඳහා ගත කරන්නට සිදුවීම ඒ හේතුවට හේතුවයි.

කල් වේලා ඇතුව රසිකොලොජිය සඳහා කෙටුම්පත් කළ ලිපි කිහිපයක් ම තිබුණ ද, ඒවා පණ ගස්සා ගැනීමට හිත නොදීම අනෙක් හේතුවයි.

ඒ මොන රෙද්ද වුණත්, අවසාන ප්‍රතිථලය වුණේ, රසිකොලොජි බ්ලොගයේ කිසිවක් පළ නොවීමයි.

එසේ වූ නමුත් දැන් අඩ පැයකට පමණ පෙර, කාර්යාලයේ වැඩ අවසන්ව බ්ලොග් රෝලට ගොඩවුණු වෙලේ ඇස ගැටී මා කියවූ "මොන (සෙද්ද/මගුල/රෙද්ද)ක් ද?" යන මැයෙන් ලියවුණු ලිපි කිහිපය නිසා ගලා යන රැල්ලට මට ද එක්වන්නට සිතුණි.

මේ රැල්ල ඇරඹූ කල්‍යාණ මිත්‍රයාටත්, රැල්ලට අසු වූ ඉයන් සහ හැලපේටත් කිය වූ සැමටත් ජයවේවා.

මගේ "මොන රෙද්දක් ද මන්දා?" සටහන දැන් අවසන් ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පින්තූරයේ දැක්වෙන්නේ අපේ නිවසේ වැවෙමින් තිබුණු ගස්ලබු ගස් දෙකට සිදුවී ඇති නස්පැත්තියයි.

Friday, 4 August 2017

500 ඕස්ට්‍රේලියානු ටී-ෂර්ට් එක! - Rugby Top T-shirt from Australia


මේ සිදුවීම වසර දහ අටකට පෙර මතකයක් ඊයේ පෙරේදා අලුත් වීම නිසා රසිකොලොජියේ ලියවෙන්නෙකි.

උෂ්ණත්වය දහවලේ පවා තනි අංශකයට පහළ බසින, රාත්‍රියට අයිස් මිදෙන තරමටම අඩුවෙන වින්ටරය හෙවත් සිසිර සෘතුවක් ඇති ඕස්ටේ‍ර්ලියාවේ මිනිසුන් ඒ කාලයට සාමන්‍ය ගමන් බිමන් සඳහා අත් දිග ටී-ෂර්ට් අඳිති. සිසිර සෘතුව යනු රග්බි ක්‍රීඩාව කෙරෙන කාලය ද වෙන නිසා දෝ මේ අත් දිග ටී-ෂර්ට් සාමාන්‍ය ව්‍යවහාරයේ දී "රග්බි ටොප්" කියා ද හැඳින්වේ!

නමුත් රග්බි ක්‍රීඩකයින් ක්‍රීඩාව සඳහා අඳින්නේ නම් අත් කොට කමිසයක් සහ කලිසමකි. එනිසා මේ රග්බි ටොප් යනුවෙන් හැඳින්වෙන අත් දිග කමිස, සීතලේ ගැලෙමින් ඒ තරග නරඹන අය උදෙසා ය!

ඒ ඒ රග්බි කණ්ඩායම්වල සම්මත වර්ණ සංකලනයෙන් සෑදුණු රග්බි ටොප් කමිස අඳුරු සිසිර සෘතුවට ගෙන එන්නේ ධනාත්මක වෙනසක් බව ද කිව යුතුය. සාමාන්‍යයෙන් ඉහළ මිලකට විකිණෙන රග්බි කණ්ඩායම් වර්ණ ඇති රග්බි ටොප් කමිසවලට අමතරව, විවිධ වර්ණයෙන් හැඩ ගැන්වුණු රග්බි ටොප් කමිස වෙළඳපොළේ එමට දක්නට ඇති අතර, මා සතුව ද පසුගිය දශක දෙකක පමණ කාලයේ දී මිලට ගත් රග්බි ටොප් කමිස කිහිපයක් ම ඇත.

මීට වසර දහඅටකට පෙර වසරාවසානයේ ලංකාවට යෑමට අපි සැලසුම් කර තිබුණි. දෙසැම්බර් ගමන සපහා ලංකාව ගෙන යාමට අප තෑගි මිලට ගැනීම අරඹන්නේ ඊට මාස දෙකකට පමණ කලිනි. එවකට ගුවන් ගමනක දී ගෙන යා හැකිව තිබුණේ කිලෝ විස්සක් පමණක් නිසා (පසු කලෙක මේ ප්‍රමාණය කිලෝ තිහක් දක්වා වැඩි කරන ලදී), තෑගි බෝග පෙට්ටිවල බහා නැව් මගින් ලංකාවට යැවීම ද, මෙහි වෙසෙන අන් ශ්‍රී ලාංකිකයින් මෙන් අපි ද කළෙමු. දෙසැම්බරයේ ලංකාවට ගිය විට තෑගි දීමට නම්, ඒ තෑගි පෙට්ටි නැවි ගත කළ යුතු වූයේ මාසයකට, දෙකකට පමණ කලිනි.

ඒ ඔක්තෝබරයේ දී පමණ, රග්බි සමයද අවසාන වී, සීත සිසිරය වෙනුවට සුන්දර වසන්තය ද එළැඹී තිබුණු සමයක මෙල්බර්න් නගරයේ සාප්පු සවාරියේ ගිය මට දක්නට ලැබුණේ ටාගට් නම් සාප්පුවේ මිල අඩු කර විකිණීමට තබා තිබු රග්බි ටොප් කමිස ගොන්නකි. රතු සහ කළු වර්ණයෙන් යුතු ඉරි සහිත මෝස්තරයක් වූ ඒවායේ "ඕස්ට්‍රේලියා" යන්න ද සටහන් වී තිබුණි. සාමාන්‍ය මිල ඩොලර් 39.90 වූ ඒවා එදා අලෙවි කෙරුණේ ඩොලර් 19.90 ට ය.

මා කළේ ඉන් කමිස දෙකක් ම මිලට ගැනීමයි.

එකක් මට ය. අනෙක, ලංකාවේ සීත කඳුකර පෙදෙසක වාසය කරන මගේ ඥාතියෙකුට ත්‍යාගයක් ලෙසිනි.

දෙසැම්බරයේ ලංකාවට ගොස් සතියක් පමණ කොළඹ ප්‍රදේශයේ ගත කර ඉන්පසු ඒ කඳුකර නගරයට ගිය අපට මේ ඥාතියා ද මුණ ගැසුණු අතර, මම ඒ ත්‍යාගය ඔහුට දුන්නෙමි.

මෙරටින් එරටට කිලෝ ගණං ගෙන යාම නිසා ඇතිවෙන භූගෝලීය වෙනස තරමකින් හෝ ආපසු හරවා ගැනීම සඳහා එරටෙන් ද කිලෝ කිහිපයක් මෙරටට ගෙන ඒම අපේ සිරිතයි.

ඒ කිලෝ අතරට එක්වෙන, කිරි ටොෆී, පොල් ටොෆී, අල ටොෆී, තල ටොෆීවලට අමතරව බතික් සරම්, අලින්, සීගිරිය වැනි ලාංකික සලකුණු ඇති ඇඳුම් පැළදුම් ද එකතු වීම සිදුවේ.

එදා ඒ කඳුකර නගරයේ ගත කළ මුල් දිනයේම අප කළේ එහි ප්‍රධාන වීදිය පුරා සාප්පු සවාරියක යෙදීමයි.

පසුදා මට යළිත්, පෙර කී රග්බි ටොප් කමිසය තෑගි ලද ඥාතියා හමුවිය.

ඔහු එක්වරම දුටුවේ මා සැරසී සිටි නිල් සහ සුදූ ඉරි සහිත රග්බි ටොප් කමිසයයි.

"අන්න රසික නම් ලස්සන ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නවා. ඔයා මට දුන්නු එක නම් මගේ හැටියට පාට තද වැඩියි!" මද වේලාවක් කතා බස් කිරීමෙන් අනතුරුව ඔහු මා සමග කීවේ ය.

ඥාතියා සිතන්නට ඇත්තේ මා හොඳ වටිනා රග්බි ටොප් කමිසයක් මිලට ගෙන ඔහුට බාල එකක් ලබා දී ඇතිය කියා බව මට සිතුණි.

මට සිනහව වළක්වා ගත නොහැකි විය.

"ඔහේ දන්නවා ද මේ මං ඇඳන් ඉන්න ටී ෂර්ට් එකක් කීය ද, මං කොහෙන්ද ගත්තේ කියලා?" මම ඔහුගෙන් ඇසුවෙමි.

ඇත්තටම ඔහුගෙන් මා පිළිතුරක් බලාපොරොත්තු නොවුණු නිසා, තත්පර කිහිපයකට පසු මම යළිත් ඔහු ඇමතීමි.

"මේ ටී-ෂර්ට් එක මං ගත්තේ අර මේන් ස්ට්‍රීට් එකේ කෙළවරේ උඩ තට්ටුවේ තියෙන කඩෙන් ඊයේ හවස. මේක රුපියල් 125 යි. මෙල්බර්න්වලින් ගෙනාපු එකේ ගානට මේ ජාතියේ ෂර්ට් දහයක් විතර ගන්න තිබුණා!"

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ රග්බි ටොප් කමිස දෙක ම තවමත් මා සතුව ඇත. කල් ඉකුත් වී ඇති යැයි සිතෙන නිසා, දැන් මා ඒවා අඳින්නේ සීත කාලයේ දී නිවසේ ඉන්නා විට පමණි.


(image: http://www.sheplayssports.com/BarbarianShirtCollegiateStripesRugbyShirts.html)

Wednesday, 2 August 2017

499. ෆේස්බුකයියෙකුට වුණු ෆේස්බුක්මය ඇබැද්දියක් - My deepest sympathies


අපේ සයිබර් ජීවිතයේ සැලකිය යුතු කොටසක් අත්පත් කරගෙන සිටින ෆේස්බුක් පිළිබඳව සටහන් කිහිපයක් ම පසුගිය දින කිහිපය තුළ පළ කළෙමි.

අද මේ කියන්න යන්නේ ද, ෆෙස්බුක් කචල් කතාවකි. හැබැයි මෙය මට ෆේස්බුක් ඇඩ්මිනියක දැමූ වලිය වැන්නක් නොව, අපේ ම එක්තරා අයියෙකුට, එනම් ෆේස්බුකයියෙකුට, ෆේස්බුක් හි දී මුහුණ දෙන්නට සිදුවුණු එක්තරා කනගාටුදායක ෆේස්බුක්මය සිදුවීමක් ගැන විස්තරයකි.

තවත් මිතුරන් කිහිප දෙනෙකු හා එක්ව මූලිකවම අප භූගෝලීයව අයත් මහ නගර ප්‍රදේශයේ වෙසෙන අයගේ ප්‍රයෝජනය පිණිස, අපේ මාධයෙන්, අපට වැදගත්වෙන සමාජ, දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට ෆේස්බුක් කණ්ඩායමක් මීට දෙවසරකට පමණ පෙර පිහිටුවා ගත් බවත්, එහි දී ඇති වුණු බයි කචල් ගැනත් යම් විස්තරයක් මම පෙර දිනයක ලියා රසිකොලොජියේ පළ කළෙමි. ඒ බයි කචල්වලදී, බයි නයුවන් මා හා සටනට දස බිම්බර මාර සෙනග කැඳවන්නාක් මෙන් ලොව වටා වෙසෙන "සහායට ඩැනීලා" කණ්ඩායමට බඳවා ගත්හ.

අපේ කණ්ඩායම, මූලිකවම සුවිශේෂී අපේ මහ නගරයේ වෙසෙන අයගේ ප්‍රයෝජනය පිණිස පිහිටුවන ලද්දක් වුව ද, කණ්ඩායමේ සාමාජිකයින් පිළිබඳව එවැනි සීමාවක් හිතාමතාම අපේ කාරක උපදෙස් මාලාවට ඇතුළත් නොකෙරුණු නිසා, ඒ ආකාරයෙන් දස බිම්බර මාර සෙනග ලෝකයේ දස අතෙන් කැඳවීමේ අවුලක් හෝ නීති කඩ කිරීමක් හෝ නොතිබුණි.

මෙලෙස කණ්ඩායමට එකතු කරන ලද එක් සාමාජිකයෙකුගේ මූලික ම කාර්යය වූයේ, ඔහුගේ බයි නයුවන් විසින් දස බිම්බර මාර සෙනඟෙන් බලාපොරොත්තු වූ කාර්යභාරය ඉටු කිරීම නොව, වෙනත් අයට මූලික අයිතිය සහ හඬ කැවීමේ අයිතිය ඇති කාටූන් එකතු කරමින් ඔහු විසින් පවත්වාගෙන යන එක්තරා ෆේස්බුක් අඩවියක් පිළිබඳව දැන්වීම් නිතිපතා අපේ කණ්ඩායමේ පළ කිරීමයි.

ඔහු විසින් නිරතුරු බෙදා හැරුණේ වලස් මාමා නම් කාටූනයක් පිළිබඳ දැන්වීමක් නිසා, මම මෙතැන් සිට ඔහුව එ නමින් හඳුන්වමි.

අප බලාපොරොත්තුවන සාකච්ඡා සංවාද කෙසේ වුව ද, අඩු තරමින් සරල වින්දනයක් හෝ සැපයෙන නිසා වලස් මාමා ගේ ඒ වලස් මාමා දැන්වීම් අපට ප්‍රශ්නයක් නොවුණි.
නමුත් ප්‍රශ්නය ඇතිවූයේ වලස් මාමා විසින් අපේ කණ්ඩායමට කිසිසේත් ම ප්‍රයෝජනයක් නොවන ලංකාවේ කුමක්දෝ රියැලිටි තරගයක් සඳහා, ලංකාවේ ජංගම දුරකථන සමාගම් දෙකක සම්බන්ධතා මගින් එස්එම්එස් මනාප යොමු කරන්නැයි කියා පෝස්ටුවක් පළ කළ පසුවයි.

අපේ කණ්ඩායමට කිසිසේත් ම අදාළ නොවන ඒ පෝස්ටුව ඉවත් කර ගන්නැයි කණ්ඩායමේ කාරක උපදෙස් මාලාව අනුව මම වලස් මාමා ගෙන් ඉල්ලා සිටියෙමි. ප්‍රතිචාරයක් නැත. වලස් මාමා නිහඬ ය.

ඒ අතර, මෙවැනි නිෂ්ඵල දේ නිරතුරු පළ කරන වලස් මාමා අප කණ්ඩායමට එක් වූයේ කෙසේදැයි වෙනත් සාමාජිකයෙකු ප්‍රශ්න කර තිබුණි.

වලස් මාමා කණ්ඩායමට එකතු කළේ කවුදැයි සොයා බැලු මට දක්නට ලැබුණේ එය අද මේ සටහනේ ප්‍රොටැගනිස්ට් වන ෆේස්බුකයියා විසින් කර ඇති බවයි. ඉන්පසු, කිසිසේත් ම අපේ කණ්ඩායමට නොගැලපෙන වලස් මාමා එයට එක් කළේ ඇයි දැයි ෆේස්බුකයියාගෙන් අසමින් මම එහි ප්‍රතිචාරයක් යෙදුවෙමි.

තමන් කළ ක්‍රියාව ගැන ෆේස්බුකයියා සිය කනගාටුව පළ කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ අපේ කණ්ඩායමේ වෙනත් සාමාජිකයින් තිදෙනෙකුගේ නම් ඔවුන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල ද සමග පළ කරමින් ඒ සාමාජිකයින් තිදෙනා අපේ කණ්ඩායමේ සිටින්නේ කෙසේ දැයි පෙරළා මගෙන් ප්‍රශ්න කිරීමයි.

ඒ සාමාජිකයින් තිදෙනා පිළිබඳව සොයා බැලූ මට පෙනුණේ ඉන් දෙදෙනකු කණ්ඩායමට එකතු කර ඇත්තේ මා බවත්, තුන්වැන්නා එකතු කර ඇත්තේ වලස් මාමා පිළිබඳව ප්‍රශ්න කළ සාමාජිකයා බවත් ය.

මට මොහොතකින් ෆේස්බුකයියා කර ඇති දේ වැටහුණි.

ඔහු කර තිබුණේ, කාලය වැයවීම ගැන නොසිතා, අපේ කණ්ඩායමේ සාමාජික ලයිස්තුව උඩ සිට අගට පිරික්සමින්, මාත් අනෙක් සාමාජිකයාත් කණ්ඩායමට එක් කළ සාමාජිකයින් ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් පිරික්සීම යි.

ෆේස්බුකයියා විසින් ප්‍රශ්න කරන්නට යෙදුණු සාමාජිකයින් තිදෙනා ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් පිරික්සා බැලූ මට ෆේස්බුකයියා අසා තිබුණු ප්‍රශ්නයට හේතුව පෙනුණි.

මේ සාමාජිකයින් තිදෙනාගේ ම ප්‍රොෆයිල්වල ඔවුන් පදිංචි ස්ථානය ලෙස සඳහන්ව තිබුණේ, ඔවුන් දැන් කාලයක සිට පදිංචිව සිටිනා අපේ මහ නගරය නොව, එක්කෝ ඔවුන්ගේ ලංකාවේ ගම හෝ ඔවුන් කාලයකට පෙර පදිංචිව සිටි වෙනත් රටක නගරය නාමය හෝ ය.

ඒ දුටු ෆේස්බුකයියා සිතා ඇත්තේ, අපේ මහ නගරයේ වාසය කරන්නන් නොවන මේ තිදෙනාව අප විසින්, බයි-වලියේ දී ඔවුන් දස බිම්බර මාර සෙනග කැදෙව්වාක් මෙන්, කණ්ඩායමට එකතුකරගෙන ඇති බවයි.

ෆේස්බුකයියා සිතා ඇත්තේ අන් අය ද තමන් මෙන් ම, තමන්ගේ වාසියට ඕනෑම වැඩක් කරන අය ය කියා ය.

ෆේස්බුකයියාට වැරදුණේ එ නිසා ය. එනම්, අන් අයත් තමන්ගේ පහත් මට්ටමේ යැයි සිතූ නිසා ය.

අදාල සාමාජිකයින් තිදෙනා අපේ නගරයේ වෙසෙන්නන් බවත්, ෆේස්බුකයියා මෙන් අප කටයුතු නොකරන බවත් කාරුණිකව දැනුම් දීමෙන් පසු ලැජ්ජාව ඉවසා ගත නොහැකි වුණු නිසා දෝ, ෆේස්බුකයියා කළේ ස්වේච්ඡාවෙන් ම අපේ ෆේස්බුක් කණ්ඩායමෙන් ඉවත් ව යාමයි.

"ෆේස්බුකයියා පව්!" කියා මට සිතුණි.

වලස් මාමා නම් තවමත් අපේ කණ්ඩායමේ සාමාජිකයෙකි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අපේ මේ ෆේස්බුකයියාට ෆේස්බුක් අවකාශයේ දී මුහුණ දෙන්නට සිදුවුණු එක්තරා ෆේස්බුක්මය කනගාටුදායක සිදුවීමක් ගැන විස්තරය එසේ ය.

තවත් ෆේස්බුකයියලාට ෆේස්බුක් අවකාශයේ දී ද, ඉන් පිටත දී ද, සිදුවුණු තවත් සිදුවීම් එමට ඇත. ඒවා බොහොමයක් ගැන නම් ලිවීම පවා පාපයකි. ලිවිය යුතු මාතෘකාවල ඉඩෝරයක් ඇති වුවහොත් පමණක් ලියමි.

(image: http://bellacaledonia.org.uk/2016/10/03/the-ministry-of-silly-buggers/)

Sunday, 30 July 2017

ෆේස්බුකයියා - Who is he?


ලොකු දෙයක් නොවුණත්, ෆේස්බුකයියා යනු මා විසින් සයිබරාවකාශයට අද අලුතෙන් හඳුන්වා දෙන සිංහල වචනයකි. මේ ලියන මොහොත වන විට ෆේස්බුකයියා යන්න කිසිදු වෙබ් පිටුවක ඇතුළත්ව නොමැති බව ගූගල් දෙයියා පවසයි.



ෆේස්බුකයියා යන වචනය සෑදෙන්නේ ෆේස්බුක් සහ අයියා යන වචන ද්වය සන්ධි වීමෙන් බව සලකන්න. එනම්, ෆේස්බුක් + අයියා = ෆේස්බුකයියා.

මෙය සිංහල භාෂාවේ එන ස්වර සන්ධියකි.

සන්ධි යනු වචන ද්වයක් එකිනෙක ඇඳී, උච්චාරණය පහසු වෙනත් වචනයක් සෑදෙන ආකාරය විස්තර කෙරෙන පර්යාය පදයයි.

වචන ද්වයක් එකිනෙක සන්ධි විය හැකි ආකාර දහයක් පිළිබඳව සිංහල භාෂා පාඩම්ල දී ඉගැන්වේ. මා සඳහන් කළ ස්වර සන්ධිය යනු ඉන් එකකි.

ස්වර සන්ධිය යනු මුල් වචනයේ අවසානයේ ඇති ව්‍යංජනාක්‍ෂරය දෙවන වචනයේ මුලින් ඇති ස්වරය හා එක් වී වචන ද්වය එකිනෙක හා බැඳීම නොහොත් සන්ධි වීමයි.

එනම්,

ෆේස්බු + ක් + අ + යියා
ෆේස්බු + ක + යියා
ෆේස්බුකයියා

වීමයි.

සන්ධිවූ වෙනත් පද තුනක් ද මේ ලිපියේ මේ වාක්‍යයට පෙර මා භාවිතා කර ඇත. ඒවා නම්, සයිබරාවකාශය, එකිනෙක සහ ව්‍යංජනාක්‍ෂරය යන වචන ද්වයයි.

එයින් එකිනෙක යන වචනය සෑදී ඇත්තේ ද, එකින් සහ එක යන වචන ද්වය ස්වර සන්ධි වීමෙන් බව පෙනේ.

එනම්,

එකි + න් + එ + ක
එකි + නෙ + ක
එකිනෙක

වීමයි.

නමුත් සයිබරාවකාශය සහ ව්‍යංජනාක්‍ෂරය යන වචන සෑදෙන්නේ තරමක වෙනස් ආකාරයකින් බව පෙනේ.

එනම්,

සයිබ + ර් + අ + වකාශය
සයිබ + ර + ආ + වකාශය
සයිබරාවකාශය.

එසේම,

ව්‍යංජන + අක්‍ෂරය
ව්‍යංජන + ආ + ක්‍ෂරය
ව්‍යංජනාක්‍ෂරය

මේ ආකරයේ සන්ධිවීම් හැඳින්වෙන්නේ ස්වරාදේශ සන්ධි වශයෙන් යැයි හඟිමි.

මීට අමතරව සිංහල භාෂාවේ, පූර්වස්වර ලෝප සන්ධිය, පරස්වර ලෝප සන්ධිය, ගාත්‍රාක්ෂර ලෝප සන්ධිය යනාදී වශයෙන් තවත් සන්ධි වර්ග අටක් ඇති බව කියවේ.

https://si.wikipedia.org/wiki/සිංහල_සන්ධි

එලෙස, විවිධාකාර සන්ධි තිබුණ ද, ඒ දක්වා ඇති ලයිස්තුවේ අපර ව්‍යංජන ලෝප සන්ධියක්, එනම්, එකිනෙක එක්වෙන පද දෙකෙන් පසු පදයේ ඇති ව්‍යංජනාක්‍ෂරය ලොප් වී යාමෙන් සෑදෙන සන්ධියක්, ගැන සඳහන් නොවේ.

උදාහරණයක් ලෙස රජය විසින් ෆේස්බුක් පිළිබඳව යම් පනතක් ගෙන ආවායි සිතමු. ෆේස්බුක් + පනත යන්න ෆේස්බුකනත යනුවෙන් ප යන්න ලොප් වී සන්ධි නොවේ!

එනිසා, ෆේස්බුකයියා යන වචනය නිර්මාණයේ දී ඒ ලොවෙත් නැති ව්‍යංජන ලෝප සන්ධියක්, ප-යන්නක් ලොප්වීමක් සිදු වී නැති බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ සටහන පළ වී ඔබ කියවන මොහොත වන විට ෆේස්බුකයියා යන අලුත් වචනය සයිබරාවකාශයට එකතු වී ඇත.

දැන් ඉතිං කවර නම් බාධාවක් ද?

මා දන්නා හඳුනන එක්තරා ෆේස්බුකයියෙකු සම්බන්ධ අපූරු සිදුවීමක් තවත් කල් නොඇර වහා අකුරු කර, ඊළඟ රසිකොලොජි සටහනෙන් ම ඉදිරිපත් කරන්නට අදහස් කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න මේ වන විට ෆේස්බුකයියා යන වචනය පළ වී ඇති තැන්.
Google ෆේස්බුකයියා

ප/ප/ලි:
මේ දිනවල ලියවෙන්නේ ෆේස්බුක් පිළිබඳ සටහන් ය. මෙන්න පසුගිය දිනවල පළ වූ සටහන් කිහිපය.
1. ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් නොසෑහෙන්න කෑවෙමි! - Oh, these Facebook group administrators
http://rasikalogy.blogspot.com/2017/07/oh-these-facebook-group-administrators.html


2. තවත් ෆේස්බුක් කචල් කතාවක් - Facebook fun
http://rasikalogy.blogspot.com/2017/07/facebook-fun.html


3. ෆේස්බුක් අවකාශය, බ්ලොග් ලෝකය සහ මගේ ලෝකය - Facebook, blogging and I
rasikalogy.blogspot.com/2017/07/facebook-blogging-and-i.html


(image: https://www.dailydot.com/news/montana-facebook-stalking-joshua-james-allen/)

Thursday, 27 July 2017

ෆේස්බුක් අවකාශය, බ්ලොග් ලෝකය සහ මගේ ලෝකය - Facebook, blogging and I


ටෙලිවිෂනය සිනමා ශාලාවේ මාරයා වූයේ යම් සේ ද, ෆේස්බුක් අවකාශය වනාහී බ්ලොග් ලෝකයේ මාරයා බව අපට වැටහෙන්නට පටන් ගත්තේ මීට කලකට පෙර ය. ඒ, බ්ලොග් ලෝකයේ එකල වැඩ පෙන්නමින් සිටි කිහිප දෙනෙකු, මුලින් ෆේස්බුක් අවකාශයට පොඩ්ඩක් හොම්බ දමා, එය රස විඳ, තලුමරමින් රස විඳ, ඉන්පසු ක්‍රම-ක්‍රමයෙන් එයට ඇබ්බැහී වී, අවසානයේ බ්ලොග් ලෝකයට බූට් එක තබා ෆේස්බුක් අවකාශයේ බින්න බැසීම ඇරඹූ අවදියේ ය.

මේ සඳහා හොඳම උදාහරණය නම් "රියර්-ගේට්" නමින් බ්ලොගයක් ලියූ චාර්මි සෑම් ය.

ඒ කාලයේ මා ලියූ බ්ලොගයේ, මේ බ්ලොග්කරුවන් ෆේස්බුක් පැණි හැලියට වහ වැටී බ්ලොග් ලොවට පිටුපෑම සම්බන්ධව සටහනක් තැබූ බව ද, එකී බ්ලොග් සහෘදයින්ට නැවතත් බ්ලොග් ලෝකය පිළිබඳ සිතා බලන මෙන් එහි දී ඉල්ලීමක් කළ බව ද මගේ මතකයේ ඇත.

නමුත් චාර්මි සෑම්ලා ආපසු පැමිණියේ ම නැත.

මහ මාරයා පමණක් නොව දස බිම්බර මාර සෙනග සහ තණ්හා, රතී, රඟා ද පරදා ජයගත් අය මෙලොව සිට ඇතැයි පැවසෙන නමුදු, අප වැනි පෘථග්ජනයින් ඒ ලොකු හපන්කම් කළ හැකි ද?

අන් බොහෝ දෙනෙකු මෙන් ම, ඒ දිනවල සිට ම මා ඇරඹුවේ ද ෆේස්බුක් මාරයා සමග ගේම ඉල්ලීම නොව, උගෙන් වැඩ ගැනීමයි.

එනම්, ෆේස්බුක් හරහා බ්ලොග් ප්‍රචාරය සහ ප්‍රවර්ධනය යි.

සිංහල නවකතා මිලට ගෙන කියවන පිරිස, නවකතා ලියන පිරිසට වඩා ඉතා විශාල නමුත්, සිංහල කවි පොතක් මිල දී ගන්නා පිරිස සංඛ්‍යාවෙන් නිරතුරු කවි ලියන පිරිසට වඩා ඉතා අඩු බව අප දනිමු.

සිංහල බ්ලොග් පිළිබඳව ද, මේ ආකාරයේ සංසන්දනයක් කළහොත්, සිංහල බ්ලොග් සටහනක් කියවන පිරිස, සාමාන්‍යයක් ලෙස, සිංහල බ්ලොග් ලියන පිරිසට වඩා වැඩි නමුත්, ඒ අති විශාල ලෙස නොවේ යැයි මම සිතමි.

නමුත්, ෆේස්බුක් පාවිච්චි කරන සිංහල දන්නා පිරිස පිළිබඳව සංඛ්‍යාත්මකව පැවසිය යුත්තේ ඔළු ගෙඩි මිලියන්වලිනි.

ඒ ඔළු ගෙඩි මිලියන් කිහිපයෙන් අංශු මාත්‍රයක ප්‍රතිශතයක් හෝ බ්ලොග් කියවීමට ගෙන්වා ගැනීමට ඇති නම්, එය සංඛ්‍යාවෙන් විශාල පාඨක පිරිසක් බව නිසැක ය.

රසිකොලොජි බ්ලොගය ආරම්භයේ සිට ම, මම මගේ ෆේස්බුක් ගිණුම හරහා ඒ බ්ලොග් ලිපි සඳහා සම්බන්ධතා බෙදා හැරීමට පටන් ගත්තෙමි. බ්ලොග් ලිපි ගැන සම්බන්ධතා බෙදා හැරීමට ම වෙන් වූ ෆේස්බුක් කණ්ඩායම් ද රාශියක් ඇත. මම පුරුද්දක් ලෙස ඒ අවකාශයන් ද රසිකොලොජිය ප්‍රවර්ධනය සඳහා භාවිතා කරමි. ඒත් ඒ කණ්ඩායම්වල සිටින බහුතරයක් දෙනා ද බ්ලොග් ලියන්නන් ම නිසා, ඒ මහන්සියෙන් එතරම් ප්‍රතිඵලයක් ඇති ද යන්න සැක සහිත බව කිව යුතු ය.

බ්ලොග් ලිපිවලට පාර කියා දෙන සටහන් ෆේස්බුක්හි යෙදීමේ දී මා කරන්නේ අදාළ වෙබ් ලිපිනය කෙටි කර සාදා ගැනීමයි. මේ සදහා bitly වැනි සේවා කිහිපයක් ම ඇත. එවැන්නට ගිණුමක් සාදා ගැනීමෙන් පසු, අප බෙදා හරින සටහන ඔස්සේ කී දෙනෙකු බ්ලොගය පැමිණියේ ද යන්න සහ ඔවුන් ආවේ කවර රටේ සිට ද යන්න ද සොයා ගත හැක.

ෆේස්බුක් හරහා බ්ලොග් ප්‍රචාරය සහ ප්‍රවර්ධනය සෑහෙන්න සාර්ථක කටයුත්තක් යැයි යන්න මගේ ද අත්දැකීමයි. ඇත්තටම කියනවා නම්, මගේ බ්ලොගයට පිවිසෙන අයගෙන් වැඩි ප්‍රතිශතයක් දැන් එන්නේ ෆේස්බුක් හරහා ය.



එකම ප්‍රශ්නය නම්, මෙලෙස බ්ලොග් ප්‍රචාරය සහ ප්‍රවර්ධනය සඳහා වැඩි කාලයක් ෆේස්බුක්හි ගත කරන විට, බ්ලොගය සඳහා වැය කරන්නට ඇති කාලය අඩු වෙනවාට අමතරව, අප ද, ෆේස්බුක් පැණි හැලියට වැටීමට ඇති සම්භාවිතාව ද වැඩි වීමයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිට පිටම ෆේස්බුක් කචල් පිළිබඳව ලිපි දෙයක් ලියූ පසු නිරායාසයෙන් ලියවුණු සටහනකි මේ. මුල් ලිපි දෙක කියවීම සඳහා පහත සබැඳි භාවිතා කරන්න.

1. ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් නොසෑහෙන්න කෑවෙමි! - Oh, these Facebook group administrators
http://rasikalogy.blogspot.com/2017/07/oh-these-facebook-group-administrators.html


2. තවත් ෆේස්බුක් කචල් කතාවක් - Facebook fun
http://rasikalogy.blogspot.com/2017/07/facebook-fun.html


(image:http://blogs.sch.gr/tgiakoum/files/2011/02/blog-or-facebook.jpg)

Monday, 24 July 2017

තවත් ෆේස්බුක් කචල් කතාවක් - Facebook fun


ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියකගෙන් මා බඩ පුරා කෑ ආකාරයත්, ප්‍රතිප්‍රහාරක් එල්ල කළ නොහැකි වූ හැටිත් පිළිබඳ කතාව මම මීට පෙර දිනයක ලියා රසිකොලොජියේ පළ කළෙමි.

අද මේ කියන්න යන්නේ ද, ෆෙස්බුක් කතාවකි. හැබැයි මෙය මට හෝ එක් පුද්ගලයෙකුට සිදු වූ දෙයක් නොව පොදුවේ ෆේස්බුක් කණ්ඩායම් තුළ දක්නට ලැබෙන තත්වයක සුවිශේෂී අවස්ථාවක් පිළිබඳව විස්තරයක් නොහොත් සමාජ ජාල පිළිබඳව එක්තරා ආකාරයක කේස් ස්ටඩියකි.

මගේ තවත් මිතුරන් දෙතුන් දෙනෙකු ද, මා ද එක්ව, අප සැම භූගෝලීයව අයත් ප්‍රදේශයේ, අපේ මාධයෙන්, අපට වැදගත්වෙන සමාජ, දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට ෆේස්බුක් කණ්ඩායමක් මීට දෙවසරකට පමණ පෙර පිහිටුවා ගත්තෙමු. අපේ කණ්ඩායමේ අරමුණ සහ එහි නම කෙසේ වුව ද, කණ්ඩායමේ කාරක උපදෙස් මාලාව ලියද්දී එහි සාමාජිකත්වය කිසි ලෙසකින් භූගෝලීයව හෝ වෙනත් කිසිදු ආකාරයකින් හෝ සීමා නොකිරීමට අප වගබලා ගත්තෙමු.

එසේ ම, කණ්ඩායමට සාමාජිකයින් බඳවා ගැනීම හෝ සාමාජිකයින් විසින් පළ කරන දේ අනුමත කිරීම හෝ ඒ ආකාරයේ කිසිදු අයුතු බලයක් පරිපාලකයින් විසින් තමන් වෙත රඳවා තබා ගනු නොලැබුණි. ඕනෑ ම සාමාජිකයෙකුට තවත් පිරිස් එකතු කිරීමටත්, අවශ්‍ය දෙයක් පළ කිරීමටත් හැකි විය.

පරිපාලකයින් සතු එක ම බලය වූයේ කණ්ඩායමේ කාරක උපදෙස් මාලාවට අයත් නොවන දෙයක් සිදු වේ නම්, එයට ප්‍රජාතන්ත්‍රවාදීව මැදිහත් වීම පමණි.

භූගෝලය, ඉතිහාසය අතින් සමානකම් තිබුණ ද, විවිධ අදහස් ද, විවිධ චර්යාවන් ද, විවිධ අමනකම් ද ඇති පිරිසක් මෙලෙස එකට ගාල් කළ විට බලාපොරොත්තු විය යුතු පරිදි, මේ ෆේස්බුක් කණ්ඩායමේ ක්‍රියාකාරීව හැසිරෙන සුලු සාමාජිකයින් පිරිස අතර ද, කැපී පෙනෙන ලෙස උප කුලක දෙකක් ටික කලකින් ම ඇති විය.

ඉන් එක කොටසක් නම්, ලංකාවේ පැවති මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ පරාජය පිළිබඳව අදටත් හොටු පෙරමින් අඬන, ඔවුන් ගේ හිටපු රජා හෝ කුණු නාශක යුව රජා කෙසේ හෝ ආපසු බලයට ගෙන ආ යුතු යැයි සිතා මෙලෝ සිහියකින් තොරව පිස්සු කෙළින, රණවිරු ලේබලයෙන් හෝ සිවුරු ලේබලයෙන් ඕනෑම දුෂණ, භීෂණ, මැර, ජඩ, මිනීමරු ක්‍රියාවක් වසා දැමිය යුතු යැයි මොර දෙන පිරිස ය. ඒ පිරිස අතරේ, සිංහලබුඩ්ඩාගම රකින්නන්, මුස්ලිම් කඩ වර්ජනය කරන, කඩන, පෝස්ටර් බෙදා හරින්නන්, නලින්ද සිලුවා වන්දනාවේ යෙදෙන අනාථ නාථ ඇබිත්තයින් වැනි පිරිස් ද සිටින බව පැහැදිලිව පෙනුණි.

මේ කණ්ඩායමේ පිරිස් නොවරදවා කරන කාර්යයක් වනුයේ, ලංකාවේ සිදු වූ දුෂණ, භීෂණ, මැර, ජඩ, මිනීමරු ක්‍රියා පිළිබඳ යම් නීතිමය ක්‍රියාමාර්ග ගැනෙන අවස්ථාවල දී වුදිතයින්ට රණවිරු හෝ සිවුරු හෝ ලේබලය අලවමින් ඒ ගැන හොටු පෙරීමයි. ඒ සමගම, වරින් වර ඔවුන් ගේ රජා පැරදීම පිළිබඳ ආඬපාලි නගමින් ඒ සම්බන්ධව අත්සනක් හෝ ගැසූ අයට දොස් නගමින් අන් අයට විනෝද සමය නොඅඩුව සැපයීමයි.

පසුව සඳහන් කිරීමේ පහසුව සඳහා අපි මේ කණ්ඩායම "කුජීත" ලෙස හඳුන්වමු.

දෙවෙන කොටස නම් පොදුවේ පෙර කී කුජීත උප කුලකයට අයත් නොවන සර්වත්‍ර කුලකයේ සියලු දෙනා ය. ඔවුන් අතරින් වැඩි දෙනෙකු නිෂ්ක්‍රීය නිරීක්‍ෂකයින් වූ අතර, සක්‍රීය දායකත්වය සපයමින් ෆේස්බුක් අවකාශයේ නිරතුරු සැරිසැරූ මා වැනි කිහිප දෙනෙක් ද වූහ.

කුජීත උප කුලකයේ සාමාජිකයින් විසින් කළ එක් කුජීත ක්‍රියාවක් වූයේ, තමන්ගේ විවිධ ඇජෙන්ඩාවන් සාක්ෂාත් කර ගැනීම පිණිස, තමන්ගේ මතවාදයට ගැලපෙන මතවාදයෙන් යුතු පිරිස් රොතු පිටින් කණ්ඩායමට බඳවා ගැනීමයි. විශේෂයෙන් මෙය සිදුවූයේ, කුජීත නොවන අයෙකු විසින් සමාජ දේශපාලන කරුණක් පිළිබඳව කුජීතයින්ට නොදිරවන දෙයක් පළ කළ විට ය.

මේ කතා වස්තුවේ කූටප්‍රාප්තිය මෙයයි.

මීට මාස කිහිපයකට කලින් මම මගේ දතක් පිළිබඳව සහ දත් නඩත්තුව පිළිබඳව විවාදාත්මක අදහසක් කණ්ඩායමේ පළ කළෙමි. එයින් කුපිත වූ කුජීත කණ්ඩායමේ අය, මට පෙනුණු ආකාරයට මට සටනක් දීමට සිතා, බුරුතු පිටින් නව සාමාජිකයින් බඳවා ගන්නට පටන් ගති.

මෙසේ කණ්ඩායමට එක් කරගත් පිරිස අතරේ වැඩි වශයෙන් ම වූයේ, සිංහලබුඩ්ඩාගම රකින්නන්, මුස්ලිම් කඩ වර්ජනය කරන, කඩන පෝස්ටර් බෙදා හරින්නන්, නලින්ද සිලුවා වන්දනාවේ යෙදෙන අනාථ නාථ ඇබිත්තයින් වැනි පිරිස් බව පැහැදිලිව පෙනුණි.

එහි දී මේ නවක සාමාජිකයින් ඉන්නේ තූත්තුකුඩියේ ද, ටිම්බක්ටුවේ ද, ජිබ්රෝල්ටාවේ ද, අඩිස් අබාබාවේ ද යන්න ද, මේ අයට අපේ කණ්ඩායමේ මුඛ්‍ය පරමාර්ථවලට කවර නම් සම්මාදමක් කළ හැකි ද යන්න ද, කුජීතයින් විසින් නොසලකා හැර තිබුණි.

මෙය දුටු මා කියුවේ එක් වැකියක් පමණි. ඇත්තටම එය ප්‍රශ්නයකි. ප්‍රශ්නයක් වූවාට පිළිතුරක් අපේක්‍ෂා නොකළ ප්‍රශ්නයකි.

දස බිම්බර මාර සෙනග ද ඔය කැඳවන්නේ?

මා දේවදත්තලාට තියා, දස බිම්බර මාර සෙනගට ද බිය නැත්තෙකු බව ඔවුන්ට පසුව වැටහෙන්නට ඇත.

දස බිම්බර මාර සෙනගට අමතරව තණ්හා, රතී සහ රඟා කැඳෙව්වා නම් ඔන්න මා තරමක් හෝ සැලෙන්නට ඉඩ තිබුණු බව කිව යුතුයි.

නමුත් අවාසනාවකට මෙන්, කුජීතයින් විසින් තූත්තුකුඩියෙන්, ටිම්බක්ටුවෙන්, ජිබ්රෝල්ටාවෙන්, අඩිස් අබාබාවෙන් බඳවා ගත් ඒ නවක සාමාජිකයින් අතර සිටියේ මාර ප්‍රත්‍රයින් පමණි.

මර දුවරු නොසිටිය හ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඊළඟට අපේ එක්තරා අයියෙකුට ෆේස්බුක් හි දී මුහුණ දෙන්නට සිදුවුණු කනගාටුදායක සිදුවීමක් ගැන විස්තරයක් බලාපොරොත්තු වෙන්න.

(image: https://www.thoughtco.com/the-demon-mara-449981)

Thursday, 20 July 2017

ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් නොසෑහෙන්න කෑවෙමි! - Oh, these Facebook group administrators


"කෑවෙමි" කියා ව්‍යාකරණානුකූලව ලියා ඇත්තේ මේ කතාව මා ගැන, මා කෑ කෑමක් ගැන, නිසා ය.

නමුත් මෙය තත්‍ය ලෝකයේ දී කෑ අත්‍යවශ්‍ය කෑමක් නොව සයිබර් අවකාශයේ, සමාජ ජාලයක දී කෑ, අතත්‍ය අනවශ්‍ය කෑමකි.

එනිසා ම, භෞතික වශයෙන් කිසිදු ගැහැටක් විඳින්නට, අඬු-පඩු කඩා ගන්නට, හොම්බ-කට සමතලා කර ගන්නට, සිදු නොවුණි.

එසේ නමුත්, මා කවදත් "වලියට බර නැති" අයෙකු නිසා, තත්‍ය ලෝකයේ දී වුව කිසි දිනක භෞතික වශයෙන් කිසිදු ගැහැටක් විඳ, අඬු-පඩු කඩා ගෙන, හොම්බ-කට සමතලා කර ගෙන නොමැති බව ද කිව යුතු ය.

අතත්‍ය ලෝකය සම්බන්ධයෙන් මේ අත්දැකීම හරහා මා උගත් පාඩම නම්, වලියට බර වුවත්, වලියෙන් විසි වීමට ඉඩ ඇති බව ය.

කතාව කෙටියෙන් මෙසේ ය.

සිව් පද කවියට මගේ යම් කැමැත්තක් ඇත. දිනක් මා ෆේසක්බුක් හි සැරි සරන මොහොතක දුටුවේ නිතර සිව්පද කවි බඳින මගේ මිතුරෙකු, තමන් සාමාජිකයෙකු වන ෆෙස්බුක් කවි කණ්ඩායමක පළ කළ සිව් පද කවියක් තම ෆේස්බුක් කාල රේඛාවේ ද බෙදා හැර ඇති බවයි.

ඒ හරහා එකී ෆෙස්බුක් කවි කණ්ඩායමේ අවකාශයට ගිය මට පෙනුණේ එහි කෙරෙන කවි සංවාදයන්ට සහභාගීවීමට නම් මුලින් එහි සාමාජිකයෙකු විය යුතු බවයි.

ෆෙස්බුක් කණ්ඩායමක සාමාජිකයෙකු වීම යනු එක ක්ලික් කිරීමක මහන්සිය පමණක් නිසා මම වහාම ඒ කණ්ඩායමට එක් වීමට අයැදුම් කළෙමි. එය කණ්ඩායමේ ඇඩ්මින්ගෙන් අනුමත විය යුතු බවට ක්‍ෂණික පණිවිඩයක් එහි පළවුණි.

පසු දා උදෑසන මා දුටුවේ, මට ෆේස්බුක් හරහා ඒ කණ්ඩායමේ ඇඩ්මින්ගෙන් (ඇත්තටම මේ ඇඩ්මිනියකි!) පණිවිඩයක් ලැබී ඇති බවයි.

"ඔබේ ඉල්ලීම සලකා බැලීමට මා ඔබේ ෆෙස්බුක් අවකාශයට ගොස් බැලුවා, නමුත් කවි නම් දුටුවේ නෑ. ඔබ ඇත්තටම කවි ලියන්නෙකු ද? විස්තර දන්වන්න!" යනාදී වශයෙන් එහි පැවසී තිබුණි.

"මේ කොහේවත් තියෙන කණ්ඩායමකට බැදෙන්නට සී.වී. දාන්නේ ඇයි ද?" කියාත් මුලින් සිතුණු නමුත්, මා පසුව කළේ මා ලිවූ සිව්පද කවි පළ වී තිබුණු (රසිකොලොජිය, බූන්දි වෙබ් අඩවිය වැනි) විවිධ තැන් කිහිපයක විස්තර ඇයට යැවීම යි.

ඇය ඒවා කියවන්නට ඇත. පසු දා වන විට මගේ සාමාජිකත්වය ඇඩ්මිනිය විසින් අනුමත කර තිබුණි.

මේ පියවර කිහිපය සඳහා දින දෙකක් ගත වීමට හේතුව නම්, මා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර (හෙවත් සිනුවර) සිටීමටත්, මෙකී ඇඩ්මිනිය යුරෝපියානු රටක සිටීමත් ය.

එදින සවස මා කළේ, මා ලියා "දකුණු කුරු දිව් කව්" ග්‍රන්ථයේ පළ වී තිබුණු සිනුවර වැනුම නම් සිව් පද කවි පන්තිය මේ කවි කණ්ඩායමේ ෆේස්බුක් අවකාශයේ පළ කිරීමයි. ඒ සමගම අදාළ කවි පොතේ පිටකවරයේ ඕස්ට්‍රේලියාව නිරූපණය වන චිත්‍ර සටහනක් තිබුණු නිසා ඒය ද එකතු කළෙමි.

මා පසුදා උදෑසන අවදිවන විට දුටුවේ, තම කණ්ඩායමේ නීති අනුව සිව්පද කවි මිස චිත්‍ර හෝ රූ සටහන් පළ කිරීම කළ නොහැකි බව කියමින් එය වහා ම ඉවත් කර ගන්නා ලෙස, ඇඩ්මිනිය විසින් මට මුලින් එක් පණිවිඩයක් එවා ඇති බවයි.

යුරෝපය සහ සිනුවර අතර කාලය වෙනස නිසා, ඇය අණ කළ ආාකරයට මා රූපය ඉවත් කර නොගත් බව පවසමින්, මා නින්දේ සිටියදී ම, ඊළඟට ඇය ඒ රූපය සහිත කවි පන්තිය ම ඉවත් කර දා තිබුණි.

පින්තූරයක් නිසා කවි පන්තියක් ඉවත් කිරීම වනාහී "මුහුණ ගැන ඇති අකමැත්ත නිසා නහය කපා ගැනීමක්" වැනි ය. ඒ ගැන මට ඇති වූ අප්‍රසාදය නිසා ම, තත්‍ය ලෝකයේ දී ප්‍රායෝගික වලියට බර අයෙකු නොවූ මට ද, කවියෙන් වලියක් ඇදීමට සිත් විය.

මා කළේ පහත කෙටි කවිය ෆේස්බුක් කණ්ඩායමේ පළ කිරීමයි.
නීති රීති ගැන ම තකා
කවියේ ගුණ දොස් නොතකා
කවි පන්තිය ඇති ය මකා
පුදන කොට ම කාපි යකා

කණ්ඩායමේ ඇඩ්මිනිය ඒ කවියේ ආ යකා යන ඇමතුම තමන්ට ආදේශ කර ගත්තා විය හැක.

සිනුවරට පසු දා උදාවෙන විට, මගේ ඒ දෙවෙනි කවිය ද මකා, මා කණ්ඩායමෙන් ද නෙරපා දමා තිබුණි.

ඇරඹෙන්නටත් පෙර ම වලිය නිමවිය. සිතේ ඇතිවුණු අප්‍රසාදය ද, වලියක් ඇද ගැනීමේ අවශ්‍යතාව ද එලෙස ම ය. ඒත් කළ හැකි දෙයක් නැත!

ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් මා නොසෑහෙන්න කෑවේ ඒ අයුරිනි.

-රසිකොලොජිස්ට්

(image: https://www.spreadshirt.com/devil+woman+gifts)

Monday, 17 July 2017

දිනන්නෝ දිනන්නෝ ය (කෙටිකතා නිර්මාණයකි) - Winner takes it all (A short story)


"දෙන්නම කරට කර දිව්වා. ඒත් මට නම් පෙනුණේ කුසුම් ඔයා තමයි දිනුවේ. ඇත්තට ම මොකද වුණේ?"

අපේ නිවාසය භාර ගුරුවරිය මුහුණේ ප්‍රශ්නාර්ථයකින් යුතුව විමසයි. මම නිරුත්තරව සිටිමි.

නුවරඑළිය නම් වූ අපේ කුඩා නගරයේ ප්‍රධාන ක්‍රීඩා පිටිය පිහිටා තිබුණේ තුරග තරග පිටියට ආසන්නයේ ය. "ඉස්සර ඔය රේස් කෝස් එකේ ඇත්තටම අස්ස රේස් තිබුණා!" මගේ පියා කියනු මා අසා ඇත.

ඔහු නිතරම අපට අතීත කාලයේ, එනම් බ්‍රිතාන්‍යය විසින් ලංකාව පාලනය කළ කාලයේ, සිදු වූ දේ පිළිබඳව කතා කියා දුන්නේ ය.

"ඒ දවස්වල හැම දේ ම තිතට සිද්ධ වුණා. සුද්දෝ හොඳට හිතලා බලලා, ප්ලෑන් කරලා, හරි වෙලාවට, ටක්කෙට ම වැඩ කළා. ඒ රේස් අස්සයෝ හරි ම ලස්සන සත්තු, ඔය දැන් මෙහේ ඉන්න පෝනි වගේ නොවෙයි."

"අස්ස රේස් කාලෙට රටේ හැම පැත්තෙන් ම ලොකු ලොකු ඈයෝ එනවා නුවරඑළියට. නුවර එළියේ ස්ප්‍රිං කානිවල් ඒකට ගහන්න උත්සවයක් රටේ වෙන තිබුණේ නෑ!" ඔහු ආශාවෙන් ඒ අතීතය සිහිකරයි.

සාමාන්‍යයෙන් නිදිබරව සිටින මේ ක්‍රීඩා පිටිය නව පණක් ලබන්නේ අපේ පාසලේ ක්‍රීඩා උත්සවයත් සමග ය. එදිනට පෙර දිනයේ ම පිටිය වටා කූඩාරම් ඉඳිවේ. කොඩි ගස් හිටවේ. පාසලේ නිවාස තුන නියෝජනය කරන රතු, කොළ සහ කහ පැහැති කොඩි සුළඟේ ලෙළ දෙන්නේ එකිනෙකා හා තරගයට මෙන් ය.

මෙවර ක්‍රීඩා උත්සවය තීව්‍ර තරගයක් වෙනු ඇතැයි මට සිතේ. ඉසව් වැඩි සංඛ්‍යාවකින් ජයගන්නා නිවාසයට අවසාන ජයග්‍රහණය හිමිවෙනු ඇත.

මේ වන විට අප මාසයක පමණ කාලයක සිට පුහුණු කටයුතු කර තිබේ. මේ වසරේ හොඳම පාසල් කාලයයි. පාසලේ වැඩ අඩු ය, ගෙදර වැඩ ඇත්තේ ම නැත. ක්‍රීඩා පිටිය වටා ඇති තුරු පෙළ සෙවණේ වාඩි වී සිටිමින්, උස පැනීම, දුර පැනීම, දිවීම, දැල් පන්දු වැනි ඉසව් සඳහා පුහුණුවීම පිණිස ඉඳහිට අපට කෙරෙන බාධා කිරීම්වලට පමණක් යටත්ව, මිතුරියන් හා කතා බහේ නිරත වීම මට ඉතා ප්‍රීතිජනක කාර්යයක් විය.

නමුත් එක් විශාල ප්‍රශ්නයක් තිබුණි.

තණ මත වාඩි වී සිටින අතරතුර අප ඉතා පරිස්සමෙන් සෝදිසියෙන් සිටිය යුතු විය.

එක්වරම මට මගේ දකුණු කකුලේ කුමක් දෝ ඇනෙන වේදනාවක් දැනේ. මම කෑ ගසමින් උඩ පනිමි. එහෙත් හිතාමතා ම, වේදනාව දැනෙන පෙදෙස දෙස නොබලා සිටිමි.

"ඇයි කුසුම් මොකද, මොකද?" අල්ලපු කූඩාරම අසල සිටි මාලිනී මට උදව් වීමට දිව එයි. මම තවමත් වේදනාව දැනෙන පෙදෙස දෙස නොබලා සිටිමි.

"අනේ මගේ දකුණු කකුල බලන්න. මොකක්ද ඇනුණා වගේ වේදනාවක් දැනෙනවා" මට යාන්තම් මුමුණා ගත හැක.

"ආ, මේ කූඩැල්ලෙක් නේ! මං නං මුන්ට බය නෑ!" මාලනී කූඩැල්ලා ඇද පොළොව මතට විසි කරයි.

"තෑන්ක් යූ මාලනී" ආපසු තම කූඩාරම දෙසට දිව යන ඇයට මා කියන දේ නෑසේ. "අනේ මටත් මාලනී වගේ කූඩැල්ලන්ට බය නැතිව ඉන්න පුළුවන් නම්?" මම දුකෙන් සිතමි.

ග්ලුකෝස් බෙදන්නට පටන් ගෙන ඇත. හැම ක්‍රීඩකයෙකුට ම තරගවලට පෙර ශක්තිය වර්ධනය කර ගැනීමට ග්ලූකෝස් දෙනු ලැබේ. මා ඒ රසයට ඉතා කැමති ය. අපේ අත්ල මතට හැන්දකින් බෙදනු ලබන ඒ සියුම් කුඩු, අප ඒවා දිවෙන් කා දැමූ පසුවත්, අත්ලේ ඇලෙන සුළුබවක් ඉතුරු කරයි.

"වයස පහළොවෙන් පහළ මීටර් සීයේ කාන්තා ඉසව්ව....." මීළඟට මගේ ඉසව්ව සඳහා සූදානම් වීමට නිවේදනය නිකුත් වේ.

"ඕල් ද බෙස්ට් කුසුම්" අපේ නිවාසය භාර ගුරුවරිය මට සුබ පතයි. "අංක 60 ඔයාට සුබයි" මගේ ඇඳුමේ ඉදිරිපසින් සහ පිටුපසින් අමුණා ඇති අංක 60 සලකුණ දෙස බලමින් ඇය මට පවසයි.

මට අපේ ඉසව්වට සහභාගී වන අනෙකුත් තරගකාරියන්ව පෙනේ. මාලනී ඇගේ නිවාසය නියෝජනය කරයි. මම ඇය දෙස ඕනෑකමින් බලමි. ඇයට නැවතත් ස්තුති කළ යුතුය. නමුත් තරග ඉසව්වට සූදානම් වෙමින් සිටින ඇය මා දෙස නොබලන්නී ය.

"සැරසේන්!" ඇරඹුම් සංඥාව දෙන ගුරුවරයා කෑ ගසයි.

මම පෙනහලු වාතයෙන් පුරවා ගනිමි. මේ රේස් එක මං දිනනවා මම දැඩි අධිෂ්ඨානයකින් යුතුව සිතමි.

ඇරඹුම් සංඥා වෙඩි හඬ සමග ම අපේ මීටර් සීය දිවීමේ තරගය ඇරඹේ. හැම අතකින් ම නැගෙන ඔල්වරසන් හඬ දැඩි ය. තම දරුවන්ට දිරි දීමට දෙමව්පියෝ විශාල පිරිසක් ද උත්සවයට පැමිණ සිටිති. නමුත් අද අම්මා ඇය උගන්වන පාසලේ ක්‍රීඩා තරගය නිසා කාර්යබහුල වී ඇත. තාත්තා නම් ඔහු ගේ ග්‍රොසරියේ වැඩවලට හිර වී ඇත.

මට මද සුළඟ හොඳින් දැනේ. සම වයසේ තරගකරුවන්ට වඩා උසින් වැඩි වීම මට වාසියකි. සුළඟ මැඩලමින් මම ඉදිරියට දිව යමි. මට තරගයේ අවසානය දක්වන රේඛාව හොඳින් පෙනේ. තව තත්පට කිහිපයකින් මම පළමුවැන්නා ලෙස අවසාන රේඛාව පසු කරමි. ඔල්වරසන් හඬ තවත් තීව්‍ර වේ.

තරගය විනිශ්චය කරන ගුරුවරියන් දෙදෙනෙක් අප කරා දිව එති.

"මං හිතන්නේ නොම්මර 60 දිනුවා!" එක් ගුරුවරියක් මා පෙන්වමින් කියයි.

"මට නං ෂුවර් නෑ, මං හිතන්නේ නොම්මර 68 තමයි දිනුවේ!" දෙවෙනි ගුරුවරිය මාලනී පෙන්වමින් කියයි.

සිදු වී ඇති අවුල මට වැටහේ. මා දිනූ බව මට හොඳටම විශ්වාස ය.

ගුරුවරියන් දෙදෙනා අපේ අදහස දැන ගැනීමට මෙන් අප දෙස බලති.

මම මාලනී දෙස බලමි. ඇය දුකෙන් සිටින බව පෙනේ.

"මාලනී තමයි මුලින් ම ලයින් එක ක්‍රොස් කළේ" මා කියනු මට ඇසේ.

මම මගේ නිවාසයේ සිසුන් ගේ ඔල්වරසන් ගඟ මැද කුඩාරම දෙසට පිය නගමි. සුබ පැතුම් හැම දෙසින් ම ගලා එයි. "කන්ග්‍රැජුලේෂන්ස් කුසුම්, වෙල්ඩන් කුසුම්."

"රිසල්ට්ස් එනවුන්ස් කරන තුරු ඉන්න!" කියා කීමට මට අවශ්‍ය ය.

නමුත් මගේ මුවෙන් ඒ වචන පිට නොවේ!

මම අපේ නිවාසයේ කූඩාරම තුළට පිවිසෙමි.

"දෙන්නම කරට කර දිව්වා. ඒත් මට නම් පෙනුණේ කුසුම් ඔයා තමයි දිනුවේ. ඇත්තට ම මොකද වුණේ?" අපේ නිවාසය භාර ගුරුවරිය මුහුණේ ප්‍රශ්නාර්ථයකින් යුතුව විමසයි.

මම නිරුත්තරව සිටිමි.

දිනන්නෝ දිනන්නෝ ය.

-පුෂ්පා කුමාරි රණවක
පරිවර්තනය: රසික සූරියආරච්චි

ප/ලි
වෙනත් අයෙකු විසින් ලියන ලද්දක් වුව ද, මෙලෙස කෙටිකතාවක් රසිකොලොජියේ පළ කිරීමට ලැබීම සතුටකි. මා කෙටිකතා ලියන්නට ගත් මෙතරම් සාර්ථක නැති උත්සහායන් කිහිපයක නටඹුන් පහත සබැඳි හරහා කියවිය හැකි ය.
  1. සම්බෝල කෙටිකතාවකට එක වස්තු බීජයක් - Those were the days!
    https://rasikalogy.blogspot.com/2017/06/those-were-days.html
  2. පෙම්වතිය ගේ අක්කා හමුවීම - Destiny
    https://rasikalogy.blogspot.com/2017/06/destiny.html
  3. වීරවංශ මහතාගේ කතා වස්තුව හෙවත් "මරණ බිය දැනුණු විට" - A short story
    http://rasikalogy.blogspot.com/2017/06/short-story.html
  4. වීරවංශ නම වෙනස් කරයි - A day begins for Mr Harris Chandrasuriya
    http://rasikalogy.blogspot.com/2017/06/day-begins-for-mr-harris-chandrasuriya.html
(image: http://www.thepapare.com/four-new-meet-records-on-the-first-day-of-sir-john-tarbet/)

Friday, 14 July 2017

අවසාන රෝස මල පිපී ඇත....! - It all begins now


උෂ්ණත්වය ඍණ අගයන්ට නොගිය ද, යුරෝපයේ, උතුරු ඇමරිකාවේ, රුසියාවේ, උතුරු චීනයේ, ජපනායේ මෙන් හිම කඩා නොවැටුන ද, සිඩ්නි නුවර හෙවත් කෙටියෙන් සිනුවර අවට මේ දිනවල ඇත්තේ දැඩි සීතලකි.

නිවසේ ගරාජයේ මගේ අඩ ලට්ට-ලොට්ටවලින් පිරී ඇති නිසා, මා දුම්රිය පොළට යාමට ඒමට භාවිතා කරන වාහනය නවතා ඇත්තේ නිවස ඉදිරිපිට මිදුලේ "ඩ්‍රයිව්-වේ" නමැති කොන්ක්‍රීට් තීරුව මත ය.

උදෑසන ම අවදි වුව ද, කම්මැලිකමින් නිවස තුළ කල් ගෙවා, කාර්යාලයට යන්නට නිවසෙන් පිටතට පැමිණි මා දුටුවේ මේ සීතල සිසිර සෘතුවේ මධ්‍යම කාලයේ ද රතු රෝස මලක් පිපී ඇති ආකාරයයි.

මෙය මේ සීතල සිසිරයේ පිපෙන අවසාන රෝස බල වෙනු ඇත. නැවතත් රෝස මලක් ගෙමිදුලේ දක්නට ලැබෙනුයේ මාස තුන හතරකට පසුව ය.

එනිසා ම, සිතේ ඇති වුණේ සතුට මුසු ප්‍රබෝධයකි. දුම්රියේ දී මේ පහත දැක්වෙන පද පෙළ ලියවුණි. සංස්කරණයක් නොකර, එලෙස ම, පළ කරන්නට ද සිතුණි.

අවසාන රෝස මල පිපී ඇත!

මේ සීත සිසිරයේ
අවසාන රෝස මල
කොළ හැළුණු, කටු පිරුණු
රෝස පඳුරේ කොනක
දුබල අතු රිකිල්ලක
පිපී ඇත!

අවසාන රෝස මල පිපී ඇත!

එකාකාරිව ඔහේ ගෙවී යන ජීවිතේ
මිටට ගත් වැලි පොදකි
සදාකාලික සතුට
කිසි දිනෙක හිරු නොදුටු සිහිනයකි

මහලු හිරු අද සවස
නොමැරුණ ද කම් නැති ය
හෙට උදේ හිරු නැවත
නොආවද කම් නැති ය

උදාසීන ය, රළු ය, ගොළු ය හද
බදා ගත් දුක සමග නිදි ය සිත

ඒ සියලු ගැහැට මැද
රෝස මල පිපී ඇත

අවසාන රෝස මල පිපී ඇත

තුසර බිඳු කෙඳිරිල්ල
අගුළු ලූ සවනතට
කොවුල් නද සිහිවේ ය
වසත් උණුසුම සොයන
විඩාබර සිත වෙතට
සුසුම් වුව සරණකි ය

අවසාන රෝස මල පිපී ඇත


-රසිකොලොජිස්ට්

Wednesday, 12 July 2017

කෙළින් මිනිහා! - In memory of Don Baldwin Kuruppu


දොන් බෝල්ඞ්වින් කුරුප්පු හෙවත් ඞී බී කුරුප්පු ලේඛකයා ගේ මරණය අසා මට ඇති වූයේ අමුතුම ආකාරයක, එනම් දුක වැඩියෙන් ද, ඒ අස්සේ තරමක හෝ සතුටක් ද එකට මිශ‍්‍ර වූ හැඟීමක් බව මුලින් ම පවසමි.

මෙල්බර්න් නගරයට පැමිණි දිනයක එක් වරක් හෝ ඔහු හමු වී මුහුණ බලා කතා කර තිබුණු නිසා ද, දින කිහිපයක් ම දුරකථනයෙන් ද කතා කර තිබුණු නිසා ද, ඊටත් වඩා වසර විස්සක් පමණ කාලයක් තිස්සේ ඔහු විසින් රචිත කොටස් කිහිපයකින් යුතු ඔහුගේ ජීවිත කතාව, පරිවර්තන සහ විවිධාකරායේ වෙනත් කෘති මෙන් ම, "කස්තිරම", "පූච්චානම්", "පූරනීතෙ", "ලියෝ රූ" යනා දී විවිධ මාසික පුවත්පත් කොළම් ද කියවා ඔහු සමග දැඩි සාහිත්‍යමය හිතවත්කමක් ද ඇති වී තිබුණු නිසා ද, ඞී බී කුරුප්පු ගේ මරණය ගැන මට අසා දුකක් ඇති වීම නම් පුදුමයක් නොවේ.

එහෙත් මේ මරණය ගැන ලැබුණු ආරංචිය මගේ සිතේ යම් ආකාරයක සතුටක් ද ජනිත කළේ ඇයි?

ඞීබී කුරුප්පු සාහිත්‍යධරයා විසින් ලියන ලද ලේඛන උනන්දුවෙන් කියවා ඇති, ඒ පිළිබඳ හොඳ ධාරණ ශක්තියක් ද ඇති අයෙකුට වැටහෙනු ඇති පරිදි, මගේ ඒ මද සතුටට හේතුව නම්, අපේ ආදරණීය ලේඛකයා මෙලොවින් නික්ම ගියේ තව දුරටත් මෙහි ඉඳීම අනවශ්‍ය බව තමන්ට හැඟුණු නිසා බව මා තරයේ විශ්වාස කරන නිසා ය.

ඔහු ලියූ එක ම ප‍්‍රබන්ධය ලෙස මා දන්නා "එක්තරා පේ‍්‍රම කතාවක්" කෙටි නවකතාවේ දී ඞී බී කුරුප්පු එහි ප‍්‍රධාන චරිතය වූ "සිරිල්" හරහා අපට පවසා සිටියේ එයයි.

අසනීපයෙන් සිටින මහලු ඥාතියෙකු බැලීමට රෝහලට යන සිරිල් (පිටු 46-47) රෝගියාගෙන් අහන්නේ "කොහොම ද? දැන් යන්න ලෑස්ති ද?" කියා ය. එතෙක් මේ ප‍්‍රශ්නයට කෙළින් මුහුණ නොදී සිටි ඥාතීහූ ද, ඔවුන් නිසා නිහඬව සිටි රෝගියා ද, සිරිල් ගේ ඒ මැදිහත් වීම නිසා පියවි ලොවට පිවිසෙන අතර, මහලු රෝගියා එදින රාත‍්‍රියේ සුව නින්දේ දී ම අවසන් ගමන යයි.

අප පෙර දිනක මෙහි ආවා නම්, මතු දිනක චුත වී යාමට ද නියමිත ය. එය අද විය හැක. හෙට විය හැක. වෙනත් දිනයක් විය හැක. මෙය අප හොඳින් ම දන්නා පරම සත්‍යයකි. එකම ප‍්‍රශ්නය වන්නේ, ඒ නික්ම යාම සිදුවන්නේ කොයි දින දැ යි අප කලින් නොදැන සිටීම පමණි.

මේ සම්බන්ධයෙන් මා සිතන්නේ අප තවත් එක් දිනක් වැඩිපුර ජීවත්වීම සඳහා දැරිය යුතු ප‍්‍රයත්නය, ඒ දිනය ජීවත්වීමෙන් අපට ලැබිය හැකි ප‍්‍රයෝජනයට වඩා වැඩි නම්, ඒ අමතර දිනය ජීවත්වීමෙන් පලක් නැති බවයි.

ඞී බී කුරුප්පු තමන් නික්ම යා යුතු ඒ දිනය තමන් ම තෝරා ගත්තා යැයි සිතන්නට මා කැමති ය. එය ඔහුට කරන ගෞරවයක් ලෙස මම සලකමි.

දැන් මදක් අතීතයට යමු.

මීට දශක දෙකකට පමණ පෙර මා මෙල්බර්න් නගරාසන්නයේ ජීවත් වූ සමයේ එක් ඉරිදාවක සිංහල ගුවන්විදුලි සේවයකින් ඇසුණු පුවතක් වූයේ මෙල්බර්න් හි වෙසෙන ලේඛකයෙකු "ලංකාවක් වගේ පුංචි" නමින් ග‍්‍රන්ථයක් රචනා කර ඇති බවයි. මේ ලේඛකයා යනු, මා අටවෙනි ශ්‍රේණියේ පමණ ඉගෙනුම ලබන කාලයේ ත්‍යාගයක් ලෙස ලැබී කියවා, දිගින් දිගටම රස විඳි, "මැංචෝසන් චාරිකා" නම් අපුරු ග‍්‍රන්ථයේ පරිවර්තකයා බව දැනගත් විට මට ඔහු ගේ මේ අලූත් කෘතිය කියවන්නට ආශාවක් ඇති විය. දින කිහිපයකට පසු මා එය ක්ලේටන් හි පිහිටි ”ඒෂියන් ෆුඞ් සෙන්ටර්” කඩයෙන් මිලට ගනිද්දී, මට කලින් භාණ්ඩයක් මිලට ගෙන කඩයෙන් නික්ම ගිය පුද්ගලයා පෙන්වමින් එහි සිටි පද්මිණී මා සමග කීවේ ඒ පිටව ගියේ මා මිලට ගන්නා "ලංකාවක් වගේ පුංචි" කෘතියේ රචකයා බවයි.

එදා එලෙස "කෙස් ගසෙන් මිස් වුණු" ඔහු සමග මුහුණට මුහුණ දී කතා කිරීමේ අවස්ථාව අවසානයේ දී මට ලැබුණේ ඉන් වසර දොළහකටත් වඩා ගෙවුණු පසුව 2010 මැයි මාසයේ දී ජගත් ජේ එදිරිසිංහ ගේ "ඉස්කෝලේ කාලේ" කෘතිය (සහ තවත් නිර්මාණ) දොරට වැඩූ අවස්ථාවේ දී ය.

නමුත්, ඒ වන විට මා ඔහු ගේ ස්වයංචරිතාපදානයේ කොටසක් වන "හැන්දෑවට පායන හිරු" සහ වෙනත් කෘති කිහිපයක් ද කියවා තිබුණු අතර, මා දැන් වාසය කරන සිඞ්නි නගරයේ සිට ඔහු සමග දුරකථනයෙන් ද කතා බහ කර තිබුණු නිසා ඒ හමුවීමේ තිබුණේ හොඳ හුරු පුරුදු බවකි.

එසේ ම, ඒ කාලය වන විට සන්නස සඟරාවට විවිධ ලිපි ලියමින් සිටි මගේ අංකුර ලේඛක ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වූයේ තමා විසින් ලියන ලද "සරල සිංහල වියරණ විධි" නම් ග‍්‍රන්ථයේ පිටපතක් ඞී බී කුරුප්පු විසින් මගේ නිවසට තැපෑලෙන් එවනු ලැබීමයි. මා සන්නසට ලියමින් සිටි "පමා නොවී එමි අකුරට" තීරු ලිපි මාලාව තමන් ආශාවෙන් කියවන බව ද කියවෙන සටහනක් ද ඒ සමග එවන්නට තරම් ඔහු නිහතමානී වී තිබුණි.

ඊළඟට ඔහු කළේ, ඒ ආකාරයේ ම ලිපි මාලාවක් පහන සඟරාවට ද ලියන්නට හැකිදැයි හේමමාලා හේරත් හරහා මගෙන් විමසීමයි. ඒ අනුව මා ලියූ "කොලූ කාලේ" ලිපි මාලාවේ සෑම කොටසක් ම, ඔහු විසින් කියවා බලා අනුමත කළ බව මම දනිමි.

එපමණක් නොවේ, එතැන් පටන් ඔහු විසින් ලියා මුද්‍රණය වූ කෘති විශාල සංඛ්‍යාවක් ද ඞී බී කුරුප්පු ලේඛකයා විසින් මට ත්‍යාග ලෙස තැපෑලෙන් එව්වේ ය. ඒ අතරට ඔහු කළ විශිෂ්ටත ම පරිවර්තනය වූ "අර්බත් දරුවෝ" නම් දීර්ඝ නවකතාවේ කොටස් හත ම ඇතුළත් වීම සුවිශේෂී වේ.

විශ්ව සාහිත්‍ය පරිවර්තන කෘති සහ තම අත්දැකීම් ඇසුරෙන් ලියන ලද කතාංග සහිත ග‍්‍රන්ථයන්ට අමතරව, ඞී බී කුරුප්පු ලේඛකයාගෙන් විශේෂයෙන් ඕස්ටේ‍්‍රලියානු සිංහල සමාජයට ලැබුණු වැදගත් ම ලේඛන දායාදය වූයේ තමන් ගේ දශක අටක ජීවිතය මෙන්ම, එයින් මෙල්බර්න් නුවර ගත කළ කාලයේ දී කරනු ලැබූ සූක්ෂම සමාජ නිරීක්ෂණ ඇසුරෙන් ලියන ලද තීරු ලිපි මාලා ය.

ඒ ලිපිවල ගැබ්වූ දේශපාලන අදහස් නිවහල් ය. සමාජමය නිරීක්ෂණ නිරවුල් ය. අන්තර්ගතය මෙන් ම ඉදිරිපත්කිරීම ද සැම අතින් ම විශිෂ්ට ය. වරද දුටු තැන කිපී ඔහු ලියන දේ සෑම විට ම එක එල්ලේ දිවෙන හී සර මෙන් දරුණු ය. අතිශය උපහාසාත්මක ය.

මෙහි ලා, සඳහන් කළ යුතු වැදගත් කාරණයක් නම්, අපේ ආදරණීය ලේඛකයා ගේ ලේඛන කලාවේ තිබූ එක් අද්විතීය ලක්ෂණයක් වූයේ තමන්ට කිව යුතු දෙය, කවරෙකුට රිදෙයි ද, කවරෙකු අමනාපවේ ද යන්න නොව, තම අදහස පැවසීමේ ඇති වැදගත්කම පමණක් සලකා, එක එල්ලේ ලිවීම බවයි.

ලේඛන කලාව පිළිබඳව මා ඔහුගෙන් උගත් හොඳ ම පාඩම ද එයයි.

ඞී බී කුරුප්පු විසින් ලියන ලද "කපුටන්ට ආප්ප අරගෙන දීම" නම් ලිපිය නිසා කෝප වී ලංකාවේ පුරුද්දට ඕස්ටේ‍්‍රලියාවේ ලේඛකයින්ට තර්ජනය කළ රාජපුරුෂයින් ගේ නිරුවත පසුව හෙළි වූ බව අපි දනිමු. ඔවුන් පමණක් නොව, විවිධ අවස්ථාවල විවිධ පටු අරමුණු සහිතව මාධ්‍ය සංදර්ශන පවත්වනවුන් ගේ ද, ලංකාවෙන් මෙහි පාත්වන සාහිත්‍යධරයන් යැයි කියා ගන්නා උදවියගේ ද, සිවුරු පොරවාගත් පුද්ගලයින් ගේ ද, සැබෑ ප‍්‍රතිබිම්බය හෙළි කිරීමට ඔහු ගේ ලිපිවලට හැකිවිය. ඔහුට වැරදුණු තැනක් වුණි නම්, ඒ ඕස්ටේ‍්‍රලියානු මෑත දේශපාලන ඉතිහාසයේ එක් කඩඉමක් අරඹයා "ලේතමාගමනය" නමින් ලියවුණු ලිපිය පමණක් බව මගේ අදහසයි.

ඞී බී කුරුප්පු හා මගේ සාහිත්‍යමය මිත‍්‍රත්වය ගැන සිතන විට මගේ සිතට දුකක් ඇතිවන එක් කාරණයක් ඇත. ඔහු මට එවූ වෙළුම් හතකින් යුතු "අර්බත් දරුවෝ" දීර්ඝ නවකතාව කියවීම ඇරඹීමට ම මට වසරක් පමණ කල් ගත විය. එය සහමුලින් ම කියවා අවසාන කිරීමට මට ඊටත් වඩා කාලයක් ගත විය. මා ඔහු ලියූ "දානයේ ආනිසංස" නම් වූ කෘතිය පිළිබඳව හැකි පමණින් විචාරයක් ලියූ අතර එය සන්නස පුවත්පතේ ම පළ වූ නමුත්, මේ අති දීර්ඝ "අර්බත් දරුවෝ" පිළිබඳව මට එසේ කිසිවක් කළ නොහැකි විය. පසුව, ඞී බී කුරුප්පු විසින් ම ලියන ලද ලේඛනයකින් මා දැන ගත් පරිදි, ඔහු තමන්ගේ ඒ ප‍්‍රශස්ත ම පරිවර්තනයේ පිටපත් යවා ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේ සිට ලියන කියන අප කාගේත් සිහිනයක් වන සිංහල සාහිත්‍යය ලෝකයට විවර කිරීමේ ශක්‍යතාවය ඇතැයි ඔහු සිතන අයට ය. දිගු කලක් ගතවීත්, ඒ කිසිවෙකු අඩු වශයෙන් ඒ පොත් කියවූ බව හෝ සඳහන් නොකිරීම ඔහු ගේ කනස්සල්ලට හේතු වී තිබුණි. වහා දුරකථනයෙන් ඔහු ඇමතූ මම, කාලයක් ගත වූවද, තවත් තිදෙනෙකු ද, මා ද ඒ පොත් සියල්ලම කියවූ බව පවසා සිටියෙමි. පසුව, සිඞ්නි නගරයේ විකාශයවන මධුර සිංහල ගුවන් විදුලි වැඩ සටහනේ දී මා ඒ පොත් පිළිබඳව යම් හැඳින්වීමක් කළෙමි.
ඒ ගුවන් විදුලි හඬපටය සොයා ඔහුට තැපෑලෙන් යවන්නෙමි යැයි සිතා සිටිය ද, එය අවසානය දක්වාම කළ නොහැකි වීම, මා පෙර සඳහන් කළ දුකට කාරණයයි.

මේ ලිපියේ ඉහළින් ම මා, ඞී බී කුරුප්පු ලේඛකයා හඳුවා දී ඇත්තේ "කෙළින් මිනිසා" යනුවෙනි. ඒ ඔහු තමන් ලියූ සෑම මාතෘකාවක් ගැනම තම අවංක අදහස එක එල්ලේ පවසන්නට මැලි නොවූ අයෙකු බව මා නිරීක්ෂණය කර ඇති නිසා ය.

මේ සඳහා මා දුටු මෑත කාලීන උදාහරණයක් වන්නේ, මේ වසරේ මාර්තු මාසයේ දී මෙලොව හැර ගිය සේනාධීර පියසේන ජ්‍යෙෂ්ඨ ලේඛකයා පිළිබඳව "පහන" සඟරාවේ අප‍්‍රියෙල් කලාපයට ඞී බී කුරුප්පු ලියූ ලිපියේ අවසාන කොටසයි.
"නොබෝ දා උත්සවාකාරයෙන් දොරට වැඩම වූ ආචාර්ය රනිල් වික‍්‍රමසිංහ ගේ චරිතාපදානය ගැන ඇසූ මට හිතුණේ එස් පියසේන වැනි වියතෙකු ගේ චරිත කතාව දේශපාලකයෙකු ගේ හෝ ආගමික නායකයෙකු හෝ කතාවට වඩා රටටත් ජනතාවටත් වැඩදායක නොවන්නේ ද යන අදහස ම ය. මා තුළ හටගත් ඒ කාංසාව දුරු කිරීමට සමත් සත්ක‍්‍රියාවක් පෙබරවාරියේ ශ‍්‍රී ලංකාවට ගිය ”සිහ නඳ” සංස්කාරක විල්ෆ‍්‍රඞ් සිරිවර්ධන විසින් කියනු ලැබී ය.

මාධ්‍යවේදී දයා ලංකාපුර අල්ලාගෙන තමා පියසේන චරිතාපදානය සම්පාදනය කිරීමේ වගකීම ඔහුට පැවරීම ය ඒ. ඒ පොතේ පිටපත පියසේන මහතා මිය යාමට පෙර අනුමත කිරීම ද අපේ වාසනාවක් ම ය.

ලක්ෂ්මන් වික‍්‍රමසිංහ පියතුමාගේ ඥාතිපුත‍්‍ර බෞද්ධ ලේඛක රනිල් වික‍්‍රමසිංහ ගැන ලියූ චරිත කතාවට ඇතුළත් නොවූ නම් දෙකක් ඇති බව මට කිව හැකි ය. 'බටලන්ද' සහ 'ගෝනවල සුනිල්' යන මේ දෙක ය.

චරිත කතාවකින් පලක් ලද හැක්කේ හොඳ නොහොඳ දෙකම විග‍්‍රහයට ලක් කළහොත් පමණි."
අපේ ආදරණීය ලේඛක ඞී බී කුරුප්පු, "කෙළින් මිනිහා", තමන් ගේ ජීවිත කතාව කොටස් කිහිපයකින් ලියා පළ කොට ඇති බව අපි දනිමු. මුලින් සකස් කළ අත්පිටපත් සැර වැඩිය කියා ඉවතට දමා අලූතෙන් ම ලියා තිබුණ ද, රනිල් වික‍්‍රමසිංහ ගේ පළ වූ චරිතාපදනය මත පදනම්ව, ඉදිරියේ දී පළ වීමට නියමිත සේනාධීර පියසේන ගේ චරිතාපදානය සඳහා අවවාදයක් ලෙස ඞී බී කුරුප්පු ලේඛකයා පවසා ඇති ඉහත සඳහන් ඒ වැදගත් කාරණය, එනම් චරිත කතා ලිවීමේ දී හොඳ නොහොඳ දෙකම එක සේ විග‍්‍රහ කළ යුතු බව සහ "බටලන්ද", "ගෝනවල සුනිල්" වැනි නම් සැාගවිය නොයුතු බව, තම ස්වයංචරිතාපදාන ග‍්‍රන්ථකරණයේ දී ඔහු ම අනුගමනය කරන්නට ඇතැයි මම සිතමි.

ඔහු ගේ අභීත රචනා ශෛලියට කවදත් දැඩි කැමැත්තක් දැක් වූ මට, ඞීබී කුරුප්පු ගැන ලියවෙන මේ ලිපියට එසේ ඇතුළත් නොකර සිටිය නොයුතු නම් දෙකක් නොව එකක්වත් සිතා ගත නොහැකි වූ බව අවසාන වශයෙන් පවසමි.

-රසික සූරියආරච්චි

සන්නස මාසික සඟරාව සඳහා ලියූ ලිපියකි.
1. http://sannasa.sinhalajukebox.org/2017/Jul/2017Jul_page39.pdf
2. http://sannasa.sinhalajukebox.org/2017/Jul/2017Jul_page41.pdf

Monday, 10 July 2017

අපොයි මෙහෙම බණ - Be warned, human race is doomed


ගෑනු ජාතිය
ජරා ජාතිය
ගලේ ගහපිය
මරා දාපිය

පිරිමි ජාතිය
උතුම් ජාතිය
කන්න දීපිය
මල් පුදාපිය


ඒ මා කුඩා කාලයේ අසා තිබුණු උපහාසාත්මක කවියකි. ඒ සමග ජන කතාවක් ද ඇඳී තිබුණු නමුත්, මේ මොහොතේ එය සිහියට නොවේ.

ඒ උපහාසාත්මක කවිය සිහියට ආවේ දින දෙකකට පමණ පෙර ෆෙස්බුකියේ හුවමාරු වී තිබුණු අපූරු බණ දේශනාවකින් උපුටා ගත් කොටසක් ඇසීමෙනි.

මෙන්න එය.



මේ බණ දෙසන රාජගිරියේ අරියඥාන නම් සාදුට අනුව, ඔබ කාමයේ වරදවා හැසුරුණොත් ඊළඟ ආත්මයේ නපුංසකයෙකු වී උපදී. ඉන් පසු වෙනත් විවිධ තිරිසන් ආත්මවල ඉපදී, දඩුවමේ ම කොටසක් ලෙස ස්ත්‍රියෙකු වී ද උපදී.

වෙනත් වචනවලින් කියනවා නම්, මෙලොව වසන සියලුම කාන්තාවන් කලින් ආත්මවල කාමයේ වරදවා හැසිරීමේ වරදට දඬුවම් ලෙස මේ ආත්මයේ කාන්තාවන්ව ඉපිද ඇති අයයි.

මේ බණ කෑල්ල අසන නිරවුල් සිතකින් යුතු ඕනෑම අයෙකුට ඒ බණ දෙසන රාජගිරියේ අරියඥාන සාදු ගේ අම්මා මතක් වීම අනිවාර්යෙන් ම සිදුවේ.

එයට හේතුව නම්, අම්මාට තම මෑණියන්ට මේ සාදු කරන අපහාසය නිසා ඒ අසරණ කාන්තාව ගැන ඇතිවෙන අනුකම්පාව නිසා ය.

ඊළඟ ආත්මයේවත් උතුම් වූ පිරිමි ආත්මයක් ලබා ගැනීම පිණිස නිකං එසේ මෙසේ පින්කම් නොව මහා පරිමාණයේ පින්කම් රාශියක් සිදු කරන ලෙස ද, ඒ බණ කෑල්ල දෙසා දමන සාදු බණ අහන කාන්තාවන්ට උපදෙස් දෙයි.

ඒ පින්කම් අතරට සාංගීක දානමය පින්කම් ද අයිතිදැයි කියා ද, ඇස් ඉස් පමණක් නොව මස් ද දන්දිය යුතුදැයි කියා ද මේ බණ කෑල්ල ඇසූ කිසිවෙකු බණ දෙසූ සාදුගෙන් ඇසුවාදැයි මම නොදනිමි.

කෙසේ වෙතත්, මට නම් සිතුණේ මෙයයි.
මේ බණ අසන පිරිමින් ඊළඟ ආත්මයේ අර පාපකාරී කාන්තා ආත්ම ලැබීම ගැන බිය වී කාමයේ වරදවා හැසිරීම නොකරන්නට ඉඩ ඇති නිසා ද, ඒ අසන කාන්තාවන් මෙලෝ සිහියක් නැතුව පින්කම් කර, මරණින් පසු උතුම් පිරිමි ආත්ම ලබන්නට ඉඩ ඇති නිසා ද, මතු දිනක මේ ලොවේ කාන්තාවන් අඩු වී ගොස් උතුම් මව් පදවි ලබන්නට කිසිවෙකු නොමැති නිසා මිනිස් වර්ගයා තුරන් වී යාමට ඉඩ ඇත!
දැන් අප කළ යුත්තේ කුමක් ද?

විවාහ සංස්ථාවල ආදරයෙන් බැඳී ඇති මා වැන්නන්ට නම්, කාමයෙහි වරදවා බැදෙන්නට හැකියාවක් නැත.

එනිසා, ඒ යුතුකම බාර ගන්නට වෙන්නේ, මේ බණ දහම් අපට දෙසන, ආගමික හේතු නිසා විවාහ නොවී සිටින, අයට ම බව පෙනේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
බුදු සාදු පාරිලෙය්‍ය වනයේ!

(image: https://www.buddhistdoor.net/features/honey-offering-festival-commemorating-service-of-animals-to-the-buddha)

Saturday, 8 July 2017

කොච්චර නැරඹුවත් එපා නොවෙන නොන්චි කෝලම


ශ්‍රී ලංකාවෙන් විප්‍රවාසීව ඩයස්පෝරික ජීවිත ගෙවන අපට එදා මෙන් නොව අද, අවශ්‍ය නම් ලංකාවේ විකාශයවන රූපවාහිනී නාලිකා කිහිපයක හෝ සජීවී දසුන් නැරඹිය හැකි ය. දිනපතා රූපවාහිනී සංස්ථාවෙන් විකාශය කෙරෙන අඩ පැයේ ප්‍රවෘත්ති වැඩසටහන නම්, පසුවදා දහවලේ ඕස්ට්‍රේලියාවේ විශේෂ විකාශන සේවාව හෙවත් එස්බීඑස් (SBS) ඔස්සේ නැරඹිය හැකි අතර, අවශ්‍ය වෙලාවට (on demand) නැරඹීම සඳහා දින හතක් යනතුරු සංරක්‍ෂිතව ද පවතී.

නමුත් ලංකාවේ ප්‍රවෘත්ති සඳහා පුවත්පත් සහ වෙනත් වෙබ් අඩවි මත යැපෙන මා රූපවාහිනී නාලිකා නරඹන්නේ එක්කෝ දන්නා කියන අයෙකු පෙනී සිටිනවා නම් හෝ නැතිනම් රුචියක් ඇති මාතෘකාවක් සාකච්ඡා වෙනවා නම් පමණි.

මෑතක දී මා නැරඹූ එවැනි රූපවාහිනී වැඩසටහන් වූයේ අපේ වෘත්තිය බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ පෙනී සිටි වැඩසටහන්, මාර්තුවේ විකාශය වුණු නෙළුම් යාය පිළිබඳ වැඩසටහන් සහ කලාතුරකින් කිසිවෙකු රෙකමදාරු කළ දේශපාලන විවාද සහිත වැඩසටහනක් දෙකක් පමණි.

එසේ ම, ඒ සියල්ල මා නැරඹුවේ ද එක් වරක් පමණි. දේශපාලන විවාද වැඩසටහන් නම් සැමවිට ම පාහේ නැරඹුවේ පසුව නිසා, නීරස තැන් වේගයෙන් ධාවනය කරමින් කාලය විශාල වශයෙන් ඉතිරි කරගන්නට ද අවස්ථාව ලැබුණි.

ඒ කෙටි හැඳින්වීමත් සමගම මා සැරසෙන්නේ, දිගු කලකට පසු පස් හය වතාවක් ම ඉතා උනන්දුවෙන් රස විඳිමින් නැරඹූ වැඩ සටහනක් පිළිබඳව පවසන්නයි.

මෙය මා කලින් ද විවිධ වේදිකාවල දී දැක ඇති ආකාරයේ කෝලම් රංගනයකි. නමුත්, රොඩ්නි වර්ණකුල සහ තවත් නළුවන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කරන මේ රංගනය නම් මේ ප්‍රවර්ගයේ මා දැක ඇති සුපිරිතම ඉදිරිපත් කිරීමකි.

මේ වීඩියෝව මා පස් හයවතාවක් නැරඹීමට හේතුව වූයේ එහි ගී පදවල අරුත මෙන් ම, කෝලම් සම්ප්‍රදායේ රැඟුම ද මා සිත් ගත් නිසා ය.

මෙන්න ගී පද.

කප්පරක් ගෑනු උන්නත් මේ වගේ ළඳක්
කොයි ඉසව්වකින් ආව ද මේක හීනයක්
කංකරච්චලෙන් බේරිල ඉන්න තව ටිකක්
නොංචි මේ ළඟින් නැති එක පූරුවේ පිනක්

රන් කඳක් වගෙයි මේකිගෙ මූණ රත්තරන්
"දෙන තකත්" අගෙයි හරියට මක්කදෝ වගේ
හොල්ලලා ගමන් යනකොට තම් දෙනත් තනම් (රිඟතම්)
තට්ටමෙන් කියයි මේකිගේ ගාය කොයි තරං

තුං පොළේ අඩව් ඉල්ලන නොංචිගේ කටේ
සවුදමෙන් ටිකක් බේරිල ඉන්න මේ වගේ
(මේ වගෙ), පිං කඳක් ලඟින් මට ඇලවෙන්න නෑ පිනක්
(අම්මප), නොංචිලා දහක් පරදන මේක රං කඳක්

එක දෙකක් වුනේ මෙන්න මෙ අවුෂදේ බලෙන්
දෙක වුනත් ඉතිං හතරක් වෙන්නේ මේවයින්
තුන් පැයක් වදෙන් බේරිල නොංචි කෝලමෙන්
(ඇත්තමයි), මං උනත් ඉතිං ඉන්නෙ මෙ අවුෂදේ බලෙන්

නොංචිගේ කටින් කවදත් ඇහැව්වෙ නෑ හොඳක්
ගං පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක්
මං ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවිලයක්
(මුන්දැගෙ), මේ වදෙන් අනේ අම්මප නෑ තොලොංචියක්

පැනි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනේ
වළඳනා කෙනෙක් ඇත්තං දෝස නෑ අපේ
මේ පණික්කලෙත් ඕව රුන්ද ගති ගතං
(ඒ වුනත්), නොංචිගේ කනේ වැටුණොත් කම්මුතුයි මමත්

තුන් හිතෙන් හිතුවෙ නෑ මං මේ වගේ දෙයක්
බීමතින් යමක් කිව්වද මට සමාවෙයං
කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතිං
මගෙ නොංචි රං කඳේ
මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතිං
මගෙ නොංචි රං කඳේ
මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
අනෙ මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
හනිකට මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
කැරකිල මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
වරෙං මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
හනෙ හනෙ මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
ඇහහා, මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං!

මෙන්න වීඩියෝව.



මේ ආකාරයෙන් කිහිප වතාවක් නැවත නැවත මා නැරඹූ වීඩියෝවක් ලෙස මගේ මතකයේ ඇත්තේ විරුදු ගායක සහන් ජයශාන්තගේ "මම කැමතියි නෑනට" නම් විරුදු පෙළ රැගත් වීඩියෝවයි.

එය ද නැවතත් රස විඳින්න.



-රසිකොලොජිස්ට්

(image: https://plus.google.com/+sltvideomedia)