Friday 9 February 2018

මා නොවන මම සහ මගේ ඡන්දය - Why I would still vote for the JVP in 2018


"රසික මචං උඹ මේ පලාබබා ඡන්දෙ දී උඹේ ඡන්දෙ දෙන්න හිතං ඉන්නේ කාට ද?"

ඒ ප්‍රශ්නය මගෙන් ඇසුවේ රජීව් ය.

ඔව් අර සහෝදරයා නම් වූ රූපවාහිනී මාලා නාට්‍යයේ සහාය චරිතයක් වන රජීව් ය.

අජන්තලාට පමණක් නොව ජීවත්වෙන ඕනෑම අයෙකුට රජීව් හමුවිය හැකි ය. එය වෙනම කතාවකි.

දැන්, "ඇත්තටම රජීව් මළා ද මෙයා, නැතිනම් ඕස්ටේ‍ර්ලියාවට පැනලා ගිහින් එහේ ජීවත්වෙනවා ද?" කියා මගෙන් නොඅසන්න. එය ද වෙනම කතාවකි.

මේ ලියන්නේ ඒ වෙනම කතා අකුරු කරන්නට නොවේ. හෙට පැවැත්වෙන ඡන්දය ගැන රජීව් මගෙන් විමසූ ප්‍රශ්නයට මා දුන් පිළිතුර කියන්නට ය.

"මට කොළඹ නගර සභා සීමාවේ ඡන්දයක් තිබුණා නම් මං දෙන්නේ වික්‍රමබාහු කරුණාරත්න ද ඡන්දය ඉල්ලන යහපාලන ජාතික පෙරමුණටයි!" මම රජීව්ට පිළිතුරු දුන්නෙමි.

"ඉතිං, උඹේ ඡන්දය තියෙන්නේ කොළඹ නගර සීමාවේ නොවෙයි එයින් පිටත නේ?" රජීව් කීවේ ය.

"ඔව්, ඒ හින්දා මං ඡන්දය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි!" මම කීවෙමි.

"ඒ ඇයි? උඹටත් මට වගේ ම උංව එපා වෙලා නේද හිටියේ?"

"ඔව් බං, ඒ අද ඊයේ නොවෙයි 1984 තරම් ඈත කාලෙක ඉඳලායි. උංගේ පජාත වැඩ හින්දා මට උංව එන්න එන්නම එපා වුණා."

"අවුරුදු දහයකට විතර පස්සේ ආයෙත් පණ ගහලා එනකොට නම් යම්කිසි ප්‍රසාදයක් ඇතිවුණා. පස්සේ චන්ද්‍රිකා එක්ක සභාග ආණ්ඩුවකට ගියා වුණත් එච්චර අප්පිරියාවක් ඇතිවුණේ නෑ. නමුත්, මහින්දට කඩේ යන්න පටන් ගත්තාම සහ ඊට පස්සේ වෙන් වුණාම එපා වුණා. අන්තිමට උං කුජීතම වෙලා ගියේ 2015 ජනාධිපතිවරණයෙදි මිලිටරිකාරයෙකුට කඩේ යන්න පටන් ගත්තාම යි."

"ඉතිං ඊට පස්සේ?"

"ඉතිං ඊට පස්සෙ කියන්නේ හැත්තෑව දශකයේ අග දී සිත්තර කියන චිත්‍රකතා පත්තරේට සරත්මධු ඇඳපු දේදුණු-කැළුම් ආදර කතාවේ නම. උඹ ඒවා කියවලා තියෙන්න විදියක් නෑ!"

"නෑ බං මං අහන්නේ 2015 න් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ගැන උඹට මොනවාද හිතෙන්නේ කියලයි."

"මචං මෙහෙමයි, ඒ දවස්වල, අසූවේ දශකයේ මුල මං දන්න කාලේ ඉඳලාම, ඉඳලාම ජනතා විමුක්ති පෙරමුණේ කොටස් දෙකක් හිටියා."

"එක පිරිසක් මොළ. අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් පිරිස. අනිත් පිරිස නිකම් බාහුබලීලා. ලොක්කන් කියන විදියට විතරයි වැඩ."

"පෙරටුගාමීන් තමයි ජවිපෙ මොළේ. මොළේ නැතුව වැඩේ කචල් වුණත්, අර සෝමවංශකාරයා ගියාට පස්සේ ජවිපෙ කවන්ධය කලින් තිබුණට වඩා හොඳයි කියලයි මං හිතන්නේ."

"කොටින්ම, මං 2015 අගෝස්තුවේ ලංකාවේ හිටියා නම් ඡන්දය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට තමයි!"

"උඹ බීප්බීප්බීප්බීප්!"

"මචං රජීව් පොඩ්ඩක් මං කියන එක අහපංකෝ!"

"පලයං බීප්බීප්බීප් යන්න."

"මං කොහේ යන්න ද බං, එහෙනං උඹ බීප්බීප්ගන්නේ නැතුව පලයං!"

මතු සම්බන්ධ නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ටෙලිනාටක අධ්‍යක්‍ෂකවරුන් සිටී නම් විමසන්න!
(+61-2-47333918)

(image: https://i.ytimg.com/vi/vLB2yf3Jlyk/maxresdefault.jpg)

Wednesday 7 February 2018

කූඩැල්ලන් ද සතුන් ය නොහොත් "ෂත්තු සහෝදරයා ෂත්තු!" දේශපාලන මඩ කතාව - As I have heard


මේ පැරණි දේශපාලන මඩ කතාව මගේ සිහියට ආවේ, පසුගිය දිනක මා ලියා පළ කළ පාණාතිපාතා වේරමනියේ දී පුද්ගලිකව ඇතිවෙන විෂමතා පිළිබඳව වූ කතාංගද්වය සකසද්දී ය. දෙවෙනි කතාංගයේ මාතෘකාව ලෙස ද මම "ෂත්තු සහෝදරයා ෂත්තු" යන්න යොදා ගත්තෙමි.

පෙර කී කතාද්වයේ දී මූලිකවම කියවුණේ, කූඹීන්, මදුරුවන්, කැරපොත්තන් වැනි ගෘහස්ථ සතුන් පිළිබඳව ය. එසේ ගෘහස්ථ නොව නමුත්, විශේෂයෙන් ම තෙත් කලාපීය ප්‍රදේශවල ගෘහාශ්‍රිත ගොඩ-මඩ ප්‍රදේශවල දක්නට ලැබෙන කුඩා සතුන් විශේෂයන් වන්නේ කූඩැල්ලන් ය.

පොළොව මතුපිට, ගස්වැල් යනාදියේ ද ගැවසෙමින් වෙසෙන, එක්තරා පණුවන් විශේෂයක් යැයි මා සිතන, කූඩැල්ලන් ජීවත්වෙන්නේ අනෙකුත් සතුන්ගෙන් ලේ උරා බීමෙනි. පණුවෙකුගේ හැඩය ගත්තද, කූඩැල්ලන් එක් තැනක සිට ඉදිරියට ගමන් කරන්නේ තම මුළු ශරීරය ම එක් කොනකින් ඔසවා කඳ නවමින් ඒ අන්තය අනෙත් අන්තය දක්වා ඉදිරියට ගෙන, වහාම ඉදිරි අන්තය තවත් ඉදිරියට තබමින් ඉතා අපූරු ආකාරයකට ය.

අප විහිදා ලූ අතක දෙඇඟිලි අතර මිනුම හෙවත් වියතෙන් එක දිගට මැනීම කළහොත්, එය කූඩැල්ලෙකුගේ චලනය දක්වන ආසන්න නිරූපණයක් යැයි කිව හැකි ය.

මේ අපූරු චලනය නිසා ම කූඩැල්ලන් "මිනින්දෝරුවන්" ලෙස ද, කූඩලු ප්‍රදේශවල, ව්‍යවහාරයේ දී හැඳින්වේ!

මගේ මව් පාර්ශවයේ වැඩිහිටියන් විසූ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන නම් ගම්මානය කූඩැල්ලන්ගෙන් බහුල ප්‍රදේශයකි. ලංකාවේ වෙනත් විවිධ ප්‍රදේශවල ද මේ සත්ව ප්‍රභේදය ඉන්නා බව මා අසා ඇති නමුත් ඇත්තට ම මා කූඩැල්ලන් දැක ඇත්තේ ද කලවානේ දී පමණි. කලවාන පිළිබඳව යාංහැල්ලේ බ්ලොග් ලිපි රාශියක් ලියා ඇති සුරංග ද කූඩැල්ලන් ගැන වරක් දෙවරක් සඳහන් කර තිබුණි.

කලවාන ගම්මානය පිහිටි කලවාන ආසනයේ ඒ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රී වූයේ වෘත්තියෙන් නීතිඥයෙකු යැයි මගේ මතකයේ ඇති සරත් මුත්තෙට්ටුවේගම ය. මොස්කව් අනුබද්ධ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයෙකු වූ ඔහු විවාහ වී සිටියේ ද මනෝරි නම් නීතිඥවරියක සමගිනි. ඇගේ පියා වූයේ කලෙක ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන විරුද්ධවාදී පක්‍ෂය වූ, පසුව එකම නගුලේ බැඳී එකට සභාගයේ උලාකන පක්‍ෂයක් වූ, උපතින් ට්‍රොස්ට්ස්කිවාදී ලංකා සමසමාජ පක්‍ෂයේ එවකට ප්‍රධාන නායකයෙකු ද, පසු කලෙක ප්‍රධානියා ද ලෙස කටයුතු කළ කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා නම් වංගෙඩිය මිනී මැරුම මෙන් ම, ගොයම් කොළයට මුවා වීම වැනි කූප්‍රකට නඩු තීන්දුවල පාර්ශවකරුවෙකු ද වූ නීතිඥයා ය.

එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීයෙකු වූ කොල්වින් ආර් ද සිල්වා ගේ ආසනය වූයේ W3Lanka බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහලාගේ ගම් ප්‍රදේශයේ අගලවත්ත නම් කලවාන ආසනයට අල්ලපු ආසනයයි.

දැන් මෙන්න මඩ කතාව.

දිනක් මනෝරි සහ සරත් මුත්තෙට්ටුවේගම කලවාන ආසනයේ යම් ගම් ප්‍රදේශයක දේශපාලන කටයුත්තක යෙදී සිටිමින් ඉන්නා අතරේ කොහේ දෝ යන අසංවර ධනපති කූඩැල්ලෙකු ඇගේ ඇඟට ගොඩ වී ඇත.

ඒ දැක කලබල වූ මනෝරි ගේ මුවින් පිට වී ඇත්තේ මා මේ බ්ලොගයේ පෙර ලිපියේ දී ද, මේ ලිපියේ දී ද භාවිතා කළ "ෂත්තු සහෝදරයා ෂත්තු!" යන්නයි!

ඒ මඩපාර මෙය කියවන අයට අමුතුවෙන් තෝරා දෙන්නට අවශ්‍ය නැතැයි සිතමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා අසා ඇති මේ කතාවේ තවත් වර නැගුමක මේ "ෂත්තු සහෝදරයා ෂත්තු" යැයි මනෝරී පැවසූයේ තම පියා අමතා බව කියවේ.

ඒ පෙරට වඩා දරුණු මට්ටමේ මඩ ගැසීමද අමුතුවෙන් තෝරා දිය යුතු නැත.

(image: https://prezi.com/o-wnybvwveyq/russian-revolution/)

Thursday 1 February 2018

ෂතෙක්, සහෝදරයා ෂතෙක් - සතුන් මැරීම ගැන තවත් කතා : An ant in the loo


"පල්ලෙහා තට්ටුවේ ආච්චීගේ මකුළුවා" ගැන ඊයේ මා ලියා පළකළ සටහනේ නිමිත්ත වූයේ හිතා මතා සතෙකු මැරීමට මා ඇතුළු බොහෝ දෙනෙකුගේ ඇති අකැමැත්තයි.

මෙය පින් සහ පව් නම් සංකල්ප සමඟ පමණක් සම්බන්ධ තත්වයක් නොවේ.

ඒ බව පැහැදිලිවන්නේ සතාගේ ප්‍රමාණය විශාල වීමත් සමගම ඒ අකැමැත්ත වැඩිවීම නිසා ය. හරියටම කියනවා නම්, හොරකම් දුෂණ වංචා කළ සමාජයේ පොඩි ස්ථරවල මිනිසුන් සටස්-පටස් ගා අත් දඩංගුවට පත් වී හිරේ විලංගුවේ වැටෙද්දී, ඊට වඩා සිය දහස් ගුණයක් හොරකම් කර ඇතැයි චෝදනා ඇති ලොකු ලොක්කන්ගෙන් ප්‍රශ්න කිරීමක් පවා සිදුවීම ඉතා කලාතුරකින් සිදුවීම හා සමාන ය.

ජවිපෙ හිතවාදී ජනප්‍රිය ගායක ජිප්සීස් නායක සුනිල් පෙරේරා ඔහුගේ පෙර ආත්මයේ දී ම, "අයි ඩොන්ට් නෝ වයි?" කියා ගැයූවේ මේ කතාවයි.

මේ මා මේ වසරේ ජනවාරි පළමුවෙනි දා ලද අත්දැකීමකි.

එදා පෝය දිනයකි.

මා ඒ බව දැන ගත්තේ එදින දිවා භෝජනය සඳහා මිතුරෙකුගෙන් නිවසට පැමිණීම පිණිස ලැබුණු ආරාධනයක් නිසා, ඔහුට ත්‍යාගයක් ලෙස ගෙන යන්නට වයින් බෝතලයක් ගන්නට කඩයකට ගොඩ වැදුණු වේලාවේ ය.

නමුත්, වාසනාවකට මෙන් මා මිතුරා ළඟ ලෝකල් කෙසේ වෙතත් ෆොරීන් බඩු තිබුණි.

සුමට මිදියුෂ පානයෙන් සැනසෙමින් සිටින අල්ල පනල්ලේ අංක එකේ ශරීරකෘත්‍යය සඳහා මට වැසිකිළියට යාමට සිදුවිය.

අදාළ පරිදි ස්ථාන ගත වී කලිසමේ සිපරය පහළට අදිනවාත් සමගම මා දුටුවේ කොමඩයේ වතුර මත දඟලන දිමියෙකු ප්‍රමාණයේ කෘමි සතෙකි.

මා ඌ මත සුලු දියර හැලුවේ නම් ඌ දියේ ගිලෙන්නට ඉඩ ඇත.

ඒ නැතත්, කෘත්‍යය අවසානයේ මා කොමඩ්ඩුව ෆ්ලෂ්කරනා විට දිමියා වෝර්ටෙක්සුව දිගේ පහළට ඇදී ගොස් තුසිත දිව්‍යලෝකයේ යන්නට ඉඩ ඇත.

ඉතින් මා කළේ, කැතයි කියා නොසිතා, පහතට නැවී ඇඟිල්ලකින් කුහුඹුවාව රැගෙන ඒ නාන කාමරයේ වෙනත් කොනකට විසිකර දැමීමයි.

එය පෝය දිනය නිසා හෝ පාණාතිපාතා සිල් පදය මත පදනම්ව හෝ මා කළ ක්‍රියාවක් නොවේ.

නමුත් මිතුරු සමාගම අවසානයේ නිවසට පැමිණ රාත්‍රිය ගෙවන අතරතුර කණ ළඟ වීණා වාදනය කරන්නට ආ ඩෙංගිවාහකයින් කිහිප දෙනෙකුව ම චටස්-පටස් හඬින් තලා දමන්නට මට කිසිදු පැකිළීමක් ඇති නොවුණි.

එය ද පෝය දිනය නිසා හෝ පාණාතිපාතා සිල් පදය මත පදනම්ව හෝ මා කළ ක්‍රියාවක් නොවේ.

ඇත්තටම, කලකට පසු යාන්තම් ඒ ආකාරයෙන් හෝ සත්ව ඝාතනයක් කර ගන්නට මට ඉඩ ලැබුණේ සති දෙකක නිවාඩුවකට ලංකාවට පැමිණීම නිසා නොවේ දෝ කියා මට එවෙලේ සිහිපත් විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
"ෂතෙක්, සහෝදරයා ෂතෙක්" - ඒ කතාව දන්නා අය සිටී ද?
https://rasikalogy.blogspot.com/2018/02/as-i-have-heard.html