මුලින් ම මෙන්න වැදගත් ම කාරණය.
මම ද්විත්ව පුරවැසියෙක් මි. ශ්‍රී ලාංකික සහ
ඕස්ට්‍රේලියානු පුරවැසිකම් ද්වයය ම මට හිමි ය.
මා මෙන් ම, මගේ බිරිඳ ද, දියණිය ද ශ්‍රී ලාංකික සහ ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෝ වෙති. ඕස්ට්‍රේලියාවේ ඉපදුණු මගේ පුතා ද, ඔහු ගේ උපත ලංකාවේ ද ලියා පදිංචි කර ඇති නිසා, ඔහුට වසර දහ අට පිරෙන තෙක් ශ්‍රී ලාංකික සහ ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෙකි.
ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ අයෙකුට මේ ආකාරයට ද්විත්ව පුරවැසියෙක් වෙන්නට ලැබෙන්නේ, මුලින්ම, එයට ඕස්ට්‍රේලියානු නිතීය මගින් ඉඩ ලැබී ඇති නිසාය. එනම්, තම රටට සංක්‍රමණය කර පදිංචි වී සිට පසුව පුරවැසිකම ලබාගන්නා අයෙක්, තමන්ගේ මුල් පුරවැසිබව තව දුරටත් තබා ගැනීමට අදහස් කරයි නම් එයට ඕස්ට්‍රේලියානු නිතීය මගින් අවසර දී ඇත. ඇත්තටම, ඕස්ට්‍රේලියානුවෙකුට අවශ්‍ය නම් රටවල් කීපයක වුවද පුරවැසි බව තබා ගත හැක. ඒ සඳහා වෙනම ඕස්ට්‍රේලියාවෙන් අවසර ඉල්ලීමට අවශ්‍ය නොවේ. අවසර අවශ්‍ය වන්නේ ඒ ඒ රටවල්වලිනි.
මේ අතර, ලංකාවේ නීතියට අනුව තම පුරවැසියෙක් වෙනත් රටකට සංක්‍රමණය කර එහි පුරවැසිකම ලබාගත් පසුත්, ඔහුට හෝ ඇයට ලංකාවේ පුරවැසිකම ද තවදුරටත් තබා ගන්නට අවශ්‍ය නම්, ඒ සඳහා පෙර අවසරයක් ලංකාවේ රජයෙන් ලබාගත යුතුය.
එනිසා, සරලව "ද්විත්ව පුරවැසි අයැදුම" හෙවත් "ඩුවල් සිටිසන්ෂිප් ඇප්ලිකේෂන්" නමින් හැඳින්වෙතත් මේ අයැදුම් කරන්නේ සහ අවසර ලබා දෙන්නේ නිවැරදිව කිවහොත්, වෙනත් රටක පුරවැසිබව ලබාගත් පසු තව දුරටත් ශ්‍රී ලාංකික පුරවැසිබව තබාගැනීමට ය.
මේ සඳහා මට ඇති අවසර පත්‍රය "ච.බ.කු." විසින් තම රබර් සීල් එක තබා නිකුත් කර ඇත. ඒ, ආගමන හා විගමන විෂයය බාර රාජ්‍ය ආරක්‍ෂක ඇමති ලෙස කළ අනුමැතියකි.
ඒ දිනවල මේ සඳහා අයැදුම් පත්‍ර ගාස්තුව වූයේ මුල් ඇයදුම්කරුට රුපියල් ලක්‍ෂයකි. එයට එක් කරන පවුලේ අනෙක් සාමාජිකයින් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් විසි පන්දහසක් ගෙවිය යුතු විය. මේ අනුව මම, මේ සඳහා රුපියල් 150,000 ක් ගෙවූයෙමි. එය එවකට විනිමය අනුපාතිකය අනුව ඕස්ට්‍රේලියානු ඩොලර් 3,500 ක් පමණ විය.
මෙතරම් මුදලක් ගෙවා ලබා ගත් ඒ සහතිකය නිකම්ම නිකං දුඹුරු කඩදාසියක මුද්‍රණය වූ එකක් පාංකඩයක් වැනි කොළ කෑල්ලක් පමණක් වීම නම් දුකට කරුණකි.
මා මෙන්ම අප දන්නා හඳුණන පවුල් කීපයක්ම ඒ අකාරයට අවශ්‍ය අවසරය මුලින් ශ්‍රී ලංකාවෙන් ලබාගෙන, ඉන් පසුව ඕස්ට්‍රේලියානු පුරවැසිබව ලබා ගත්හ. ඒ දිනවල එතරම් මුදලක් වැය කරමින් අප එලෙස කළේ ඇයි ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ.
තමන් ඉපදුණු, හැදුණු, වැඩුණු, ඉගෙනගත්, වසර ගණනාවක් රැකියා කළ රට සමග ඇති ඒ පෙකෙණිවැල කපා දැමීමට සිත හදා ගැනීම, අප බොහෝ දෙනෙකුට ලේසි පහසු කටයුත්තක් නොවෙන නිසාවෙනි. ඒ බැඳීම සදාකාලිකවම පවත්වා ගැනීමට අවශ්‍ය නිසාවෙනි.
ශ්‍රී ලාංකිකයින්ට මේ අවසරය මුලින්ම ලබා දී ඇත්තේ වසර 1988 දී වන අතර එකල මේ සඳහා ගාස්තුව වී ඇත්තේ රුපියල් 5,000 ක් පමණි. පසුව ආර් පේමදාස යුගයේ දී මෙය එක්වරම 2000% කින් වැඩිකර ඇත. එකල ඇමතියෙකු වූ ලලිත් අතුලත්මුදලි මේ වැඩිකිරීම හඳුන්වා ඇත්තේ "රත්තරන් බිත්ර දැමූ කිකිළිය මැරීමේ" කතාවටයි.
නමුත් පසු කලෙක චන්ද්‍රිකා රාජ්‍ය සමයේ දී සිදුවූයේ ද මේ අයැදුම් පත් ගාස්තුව තවත් දෙතුන් ගුණයකින් ඉහල යාමයි.
ඉන් පසුව, හේතුව කෙලින්ම නොදැක්වූවද, පසුගිය රජය ජාතිවාදී න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාකරමින්, වෙනත් රටක පුරවැසිබව ලබාගත් පසු තව දුරටත් ශ්‍රී ලාංකික පුරවැසිබව තබා ගැනීමට අවසර දීම තාවකාලිකව අත් හිටුවන ලද අතර, ඒ අත්හිටවීම මේ වසරේ මුල දක්වා ම ක්‍රියාත්මක විය.
පසුගිය වසරේ අග භාගයේ සිටම, මේ තාවකාලික අත්හිටුවීම අවසන් කර අළුතින් නීති හඳුන්වා දෙන බවට විවිධ ප්‍රකාශ වටින් ගොඩින් කෙරුණ ද, එය ඇත්තටම ප්‍රකාශ කෙරුණේ මේ වසරේ මුල් සතියේ ය.
ඉන්පසු අද වෙන විට, යහපාලන මිනි බජට්ටුව මගින් ඒ අයැදුම් පත්‍ර ගාස්තුව, එක පුද්ගලයෙකුට රුපියල් 500,000 ක් දක්වා වැඩි කර ඇත.
මේ සමාන අයැදුම්පත සඳහා ඉන්දියාවේ ගාස්තුව ඉන්දියානු රුපියල් 15,000 ක් පමණි!
ලංකාවට ගොඩ බැසීමෙදී තමන් වෙසෙන රටේ ගමන් බලපත්‍රය වෙනුවට තමන් ගේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය පාවිච්චි කළහොත්, විස්කි බෝතල් එකහමාරක් වෙනුවට බෝතල් තුනක් ම තීරු බදු රහිතව මිළදී ගැනීමට හැකිවීම, ඒ සමහම තීරු බදු සාප්පුවකින් ඥාතියෙකුට කුමක් හෝ අවශ්‍ය විදුලි උපකරණයක් මිළට ගෙන සුළු මුදලක් ඉතිරි කර දීමට හැකිවීම වැනි සුළු වාසි අතහැරිය විට, වෙනත් රටක පුරවැසිබාවය ලබා දිගටම එහි ජීවත් වීමට සිතා සිටින අයෙකුට ද්විත්ව පුරවැසියෙක් වීමෙන් ලැබෙන ලොකු ආර්ථික වාසියක් නැති තරම් ය.
එනිසා, මේ වැඩිකළ ගාස්තු නිසා මෙතෙක් කල් මේ අවසරය ලබා ගැනීමට අදහස් කරගෙන සිටි අයගෙන් කොටසක් දුර්මුඛ වී, එනිසා මේ සඳහා ඇති ඉල්ලුම අඩුවී ගොස්, මේ ගාස්තු මගින් ක්‍ෂණිකව ලබා ගත හැකි මුළු ආදායමද ඇස්තමේන්තුවලට වඩා අඩුවිය හැකි අතර, මා කලින් සඳහන් කළ රන් බිජු දැමූ කිකිළිය ගේ උපමාවේ මෙන් ද්විත්ව පුරවැසිබව ලබාගන්නා පිරිස අඩුවීමෙන් ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීනව පාඩු සිදුවීමටද ඉඩ ඇති බව මගේ අදහසයි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
ද්විත්ව පුරවැසි අයැදුම් පත් ගාස්තුව වැඩි කිරීම සහ විදෙස් රටකට සංක්‍රමණය කරන්නට යන අය සඳහා පනවා ඇති නව බද්ද ගැන තොරතුරු සඳහන් වූ වෙබ් පිටුවක, ශ්‍රී ලංකාවේ වෙසෙන සමහර සිංහල පිරිස් කර තිබූ ප්‍රතිචාර කියවූ මට පෙනී ගියේ ඒ අය, ලංකාවෙන් පිටවී යන්නන් සහ දැනටම නොරට වෙසෙන්නන් (එනම් වචනයේ
සැබෑ අර්ථයෙන් ඩයස්පෝරීක ලාංකියකයින්) කෙරෙහි අප්‍රමාණ කෝපය, ක්‍රෝධය සහ කුඩුකේඩුකමෙන් පෙළෙන බවයි!
මෙන්න ඒ වෙබ් පිටුව.
http://www.lankadeepa.lk/index.php/articles/293644
ප/ප/ලි:
මෙතනදී අපේ සමහරු මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින්ද වරද්දා ගන්නා තැන් බොහෝයි.
1. මෙය අමුතු අයිතිවාසිකමක් ඉල්ලීමක් නොවේ. කසාද බැඳ නිවසෙන් පිටත්ව වෙනත් ගමක පදිංචියට ගිය පසු, මහ ගෙදර සමග සම්බන්ධය තියා ගැනීමකි. එය ස්වභාවික දෙයකි. ඇයි මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?
2. මෙය මුදල් වැඩියෙන් අය කිරීම ගැනම ගැටළුවක් නොවේ. කසාද බැඳ නිවසෙන් පිටත්ව වෙනත් ගමක පදිංචියට ගිය පසු, මහ ගෙදරට එන්න දෙමව්පියෝ සල්ලි අය කරනවාද? උඹ බැඳලා ගියා නම් එහෙට වෙලා හිටපන් කියනවාද? ඒ තමන් ගේ ම දරුවන් සහෝදරයින් නේද? මොකක්ද මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?
3. මේ වෙනත් රටක පදිංචිව සිටින අයත්, විදෙස්ගතව තාවකාලිකව පදිංචි වී රැකියා කරන අය මෙන් ලංකාවට කෙතරම් විදේශ විනිමය ලබා දෙනවාද? මීට අතරම, මා හොඳින් දන්නා පරිදි මේ පිරිස් ලංකාවේ පුන්‍යකටයුතු සඳහා කොයිතරම් මුදලක් එවනවාද? ඇයි මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?
4. මේ පිරිස් විටින් විට ලංකාවට ආ විට ඒ ගමන් බිමන්වලදී කොයි තරම් මුදලක් ලංකාවේදී වැය කරනවාද? ඇයි මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?
5. බදු අය කරන හේතු දෙකක් තිබේ. එකක් රජයේ වියදම් සඳහා ආදායම රුස්කර ගැනීමයි. වැට් බද්ද, විවිධ පාරිභෝගික භාණ්ඩ සඳහා පනවා ඇති තොග බදු එවැනි බදු වේ. අනෙක ජනතාවගේ යම් යම් චර්යාවන් පාලනය කිරීමයි. කැසිනෝ බදු, මෝටර් වාහන සඳහා බදු යනාදිය දෙවැනි වර්ගයයි. මට වැටහෙන පරිදි, සංක්‍රමණිකයින් සඳහා පනවන මේ බදු සැලකිය හැක්කේ දෙවෙනි කොටසේ ලා ය. එනම්, මේ බද්දේ සහ එය ඬැඩි කිරීමේ අදහස, රජයේ ආදායම වැඩිකර ඝැනීම නොව, සංක්‍රමණය අඩු කිරීම සහ සංක්‍රමණිකයින් තමන් ගේ මව් රටෙන් දුරස් කිරීමයි!
6. පින්නවල, දෙහිවල වැනි තැන්වල විදෙස් සංචාරකයින්ට එම මුදලකුත්, දේශිය සංචාරකයින්ට තව මුදලකුත් අය කිරීම ද මෙවැනි ම වැඩකි. මා එවැනි වෙනස්කම් කර සැලකීමක් මා ගොස් ඇති කිසිදු රටක දී දැක නැත.
(image: http://www.hdwallpapers.in/dual_monitor-desktop-wallpapers.html)