Thursday, 6 December 2018

අජිත් පැරකුම් ජයසිංහ සාරප්‍රභාගිර ගුවන්විදුලි වැඩසටහනේ දී රසික සූරියආරච්චි සමග කළ සාකච්ඡාව - Ajith Perakuma Jayasinghe in conversation with Rasika Suriyaarachchi


සාරප්‍රභාගිර යන වචනයේ සැබෑ තේරුම මම නොදනිමි.

මා දන්නේ එය සහෘද බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ විසින් මෙහෙයවන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවයෙන් ප්‍රභාරය වෙන වැඩ සටහනක් බව පමණකි.

පසුගිය සැප්තැම්බරයේ මා ලංකාවට ගිය කාලයේ දී අජිත් පැරකුම් ජයසිංහ තමන්ගේ සාරප්‍රභාගිර වැඩසටහනට සහභාගී වෙන ලෙස මට ආරාධනා කළේ ය.

මම ඉතා සතුටෙන් ඒ ආරාධනය පිළි ගත්තෙමි.

සැප්තැම්බර් 28 වෙනි සිකුරාදා උදෑසන ගුවන්විදුලි සංස්ථාවට ගියෙමි. සාරප්‍රභාගිර සාකච්ඡාව පැයක් පමණ වේලාවක් පැවැත්වුණි.

විකාශනාගාරය ඇතුළත දී, මා අත තිබූ ටැබ් උපකරණයෙන් ඒ සාකච්ඡාවේ ඩිජිටල් පිටපතක් සටහන් කරගන්නට මට හැකි විය.

පහත ඇත්තේ ඒ හඬ සටහනේ යූටියුබ් සංස්කරණයයි.



කැමති, අවැසි අයගේ ප්‍රයෝජනය පිණිස ය.

මා ඒ සාකච්ඡාව සටහන් කර ගත්තේ මෙසේ පළ කරන්නට සිතා ගෙන ම නොවේ.

පසුගිය දිනවල වෙනත් අයෙකු රූපවාහිනියේ කළ කතාවක් පිළිබඳ සිනුවර දී ඇතිවුණු සාකච්ඡාවක් නිසා මෙය පළ කරන්නට සිත්විය.

ස්තුතියි.

රසික සූරියආරච්චි

(image: )

Wednesday, 21 November 2018

පරණ ණයක් ගෙවීම - What for telling?


ෆේස්බුක් නිසා බ්ලොග් අවගමනය සිදු වූ බව නොරහසකි. එය හොඳින් දැන දැනම ෆේස්බුක් හි පළ වූ දේ පසුව බ්ලොගයේ බෙදා ගන්නට වීම නම් දුකකි. ඒත් මෙය නොකර බැරි ය.

හදිසියේ ම පහත දැක්වෙන ඡායාරූපය ෆෙස්ක්බුක් හි දුටිමි.



මෙහි ඇති සිංහල දෝෂ දැක මෙලෙස ලියූවෙමි.

සිංහල නිවැරැදිව ලියන්න දන්න කෙනෙක් ඔය පක්ෂයේ ඇත්තේ ම නැද්ද?

මෙන්න ඉන් පසු ඇති වූ සංවාදය.







මෙකී අලුත් දේශපාලන පක්‍ෂය අර ණය ගෙවන වීරයාගේ පක්‍ෂයයි.

මේ සංවාදයට අසුවීම ද පරණ ණයක් ගෙවීමක් බව මට පැහැදිළි විය!

-රසික සූරියආරච්චි

(image: https://www.facebook.com/photo.php?fbid=344081549700895&set=a.105326096909776&type=3)

Monday, 12 November 2018

"ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථයේ සිනුවර දොරට වැඩුම උත්සවයේ දී රසික සූරියආරච්චි විසින් කළ දේශනය - For those who were not there


සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පාදනය කළ "ඔසී රටේ අපේ කතා” ග්‍රන්ථයේ 2018 නොවැම්බර් 11 දින පැවති සිනුවර දොරට වැඩුම උත්සවයේ දී ලේඛක සංසදය වෙනුවෙන් රසික සූරියආරච්චි විසින් කළ දේශනය

දීර්ඝකාලීන ව්‍යාපෘතියක අවසානයේ යම්කිසි නිමාවක් සනිටුහන් කරන මේ මොහොතේ මේ ව්‍යාපෘතිය සමග මුල සිටම අද දක්වාම සම්බන්ධව සිටි සම්බන්ධීකාරක හැටියට අදහස් දැක්වීමට ලැබීම ඉතාමත් සතුටක්.

මට ලැබී තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනයට ගනිමින්, අසා සිටින ඔබ හැමටත් පීඩාකාරී නොවන ආකාරයට, ඉතාම කෙටියෙන් මා කරුණු තුනක් පිළිබඳව අදහස් දැක්වීමට මෙහිදී බලාපොරොත්තු වෙනවා. මා මේ කියන්නට යන ඇතැම් කරුණු සිංහල සංස්කෘතික හමුව සහ ලේඛක සංසදය සමග දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කටයුතු කරන මගේ සහෘදයින් බොහෝ දෙනෙකු දන්නා නමුත් අද මෙම උත්සවයට සහභාගි වෙන සියලූ දෙනාගේම දැන ගැනීම පිණිසයි මා කතා කිරීමට අදහස් කරන්නේ.

අද දොරට වඩින මෙම "ඔසී රටේ අපේ කතා" කෙටි කතා එකතුව සම්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භය ලෙස අප සලකන්නේ 2012 මාර්තුවේ දී සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් පැවැත්වූ කෙටිකතාකරණය පිළිබඳ වැඩමුළුවයි.

ඒ වැඩමුළුව පිළිබඳව පසුව පැවැත්වූ සාකච්ඡාවක දී ලේඛක සංසදය විසින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ලේඛකයින් විසින් රචනා කරන කෙටිකතා එකතුකර ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කළ යුතු බවට තීරණයක් ගත්තා.

අපි 2013 මුල්භාගයේ දී මාධ්‍ය නිවේදන මගින් මේ යෝජිත කෘතියට තමන් විසින් රචනා කරන ලද කෙටිකතා එවන ලෙස ඉල්ලා සිටියා. අපේ අරමුණ වූයේ ඕස්ට්‍රේලියානුවාසි සිංහල ලේඛකයින් විසින් තමන්ගේ සංක‍්‍රමණික අත්දැකීම් මත පදනම් රචනා කරන ලද කෙටිකතා මෙම යෝජිත කෙටිකතා සංග‍්‍රහයට ඇතුළත් කිරීමටයි. අඩු වශයෙන් ඕස්ට්‍රේලියාවේ දී යමෙකු ගෙවන ජීවිතය ගැන යම් හෝ සඳහනක් මේ නිර්මාණ වලට ඇතුළත් විය යුතු බව අපේ අදහස වුණා.

එයට හේතුව තරමක් පැහැදිලි කරනවා නම්, ලේඛකයින්ගේ වෙනත් පරිසරයක දී ලබන ලද අත්දැකීම් මත පදනම් වූ නිර්මාණ අපට ශ‍්‍රී ලංකාව මූලික කොටගත් සිංහල සාහිත්‍යයේ ඇති තරම් දැකීමට ලැබෙන අතර එවැනි නිර්මාණ බිහි කිරීමට හැකියාව ඇති විශාල පිරිසක් ද ශ‍්‍රී ලංකාවේ වෙසෙනවා. නමුත් නිසැකවම ඕස්ට්‍රේලියාව පසුබිම් කරගත් නිර්මාණ බිහි කළ හැකි පිරිස සිටින්නේ අප අතර පමණයි. ඕස්ට්‍රේලියාවට කෙටිකාලීන සංචාර සඳහා පැමිණි අය යම්යම් නිර්මාණ බිහි කළත්, ඒවායේ අන්තර්ගතය තුළින් සංක‍්‍රමණික අපේ ජීවිත එතරම් හොඳින් නිරූපණය වෙනවා යැයි සිතන්නට බැහැ.

එසේම මේ වන විට සිංහල සාහිත්‍යයේ මධ්‍යස්ථානය වන ශ‍්‍රී ලංකාවෙන් පරිබාහිරව විදෙස් රටවල සිටින සිංහල ලේඛකයින් විසින් කරන සාහිත්‍යමය නිර්මාණ, විගාමික සිංහල සාහිත්‍යය නම්, වෙනම සුවිශේෂී ශානරයක් ලෙස සැලකීමට තරම් දියුණු වී තිබෙනවා. මේ කෘති කියවීමෙන් ලංකාවේ වෙසෙන සිංහල පාඨකයාට ලැබෙන්නේ, අප එදා රුසියානු ඇතුළු වෙනත් විදේශීය රටවල් පසුබිම් කරගෙන නිර්මාණය වුණු කෘති කියවීමෙන් ලැබූ මා ”ආගන්තුක චමත්කාරය” ලෙස හදුන්වන සුවිශේෂී රසාස්වාදයට සමාන රසයක්.

අපේ ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙස මෙම යෝජිත කෘතියේ අඩංගු කිරීම පිණිස අපට කෙටිකතා විසි අටක් ලැබුණා. අපේ නිර්නායකයට අනුකූලව අප එයින් කෙටිකතා විසිතුනක් මේ කෘතිය සඳහා තෝරා ගත්තා.

ඒ ලැබුණු කෙටි කතා සංස්කරණය කර මෙම කෘතිය සම්පාදනය කිරීම සඳහා අප තෝරා ගත්තේ ඉතාමත් කල් ගතවෙන නමුත් ලේඛක සංසදයේ සාමාජිකයින්ට ප‍්‍රයෝජනවත් වෙතැයි සිතන ක‍්‍රමවේදයක්. එනම්, සංසදයේ සාමාජිකයින් රැස්වී කෙටිකතා එකිනෙක සාමූහිකව කියවා ඒවා පිළිබඳ සාකච්ඡුා කොට ඒත් සංස්කරණය කිරීමේ ක‍්‍රමවේදයයි. අපේ ව්‍යාපෘතියේ මේ අදියර ඇරඹුණේ 2013 සැප්තැම්බර් මාසයේදී යි.

මේ සංස්කරණ ලෙසින් සඳහා මුලදී ලේඛක සංසදයේ සාමාජිකයින් හත් අට දෙනෙකු පමණ සහභාගී වූවා. මගේ මතකයට අනුව අප මූලික සංස්කරණ රැුස්වීම් දොළහක් පමණ පැවැත්වූවා. පාලිත ගනේවත්තගේ නිවසේ රැස්වීම් හතරකුත්, ඊළ`ගට පුෂ්පා සූරියආරච්චිගේ නිවසේ දීත්. මේ කර්තව්‍යය සඳහා අපට වසර එකහමාරක් පමණ කාලයක් ගත වුණා.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කාරණයක් නම්, ලේඛක සංසදයේ සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම කෘති සඳහා තමන්ගේ කෙටිකතා නිර්මාණ ඒවා තිබුණ නිසා අප සංස්කරණය රැස්වීම්වලදී භාවිතා කළේ රචකයාගේ නම නොමැති පිටපත් බවයි. ලේඛක සංසදය විසින් ගන්නා ලද තීරණයක් අනුව එක් එක් කෙටි කතාවේ රචකයා කවුදැයි දැන සිටියේ මේ ව්‍යාපෘතියේ ආරම්භක සම්බන්ධීකාරක වූ මා පමණයි.

කෙටිකතා සංස්කරණයේ දී අප සැලකිල්ලට ගත්තේ, ”නණලළ” ඇතුළු අක්ෂර වින්‍යාසය, පද බෙදීම, පද යෙදීම සහ කෙටිකතාවේ අන්තර්ගතය පාඨකයින්ට සම්පේ‍්‍රෂණය වීම වැනි කරුණු පමණයි.

මේ ආකාරයෙන් කඩදාසි පිටපත් මත සංස්කරණය කරන ලද කෙටිකතා ඊළ`ගට මෘදු පිටපතට නංවා, ලේඛකයින්ගේ අනුමැතිය පිණිස යැවීම කළ යුතුව තිබුණා. මේ කර්තව්‍යය ආරම්භක සම්බන්ධීකාරක වූ මගේ වගකීමක් වූ නිසා, ඒ සඳහා අවාසනාවන්ත ලෙස ඉතා දීර්ඝ කාලයක් ගත වුණා. කෙතරම් දීර්ඝ කාලයක් ගත වුණේ ද යත්, මේ ව්‍යාපෘතියේ වැඩකටයුතු ඉක්මන් කිරීම සඳහා ඥානතිලක හේවාගමගේ ද සම සම්බන්ධීකාරකයෙකු ලෙස ලේඛක සංසදය විසින් පත්කරනු ලැබුවා.

ඥානතිලක හා මා දින කිහිපයක් ම මුණ ගැසී, වැඩකටයුතු බෙදාගෙන, එක්වත්, වෙන්වෙන්වත් කටයුතු කළා. අවසානයේ, 2017 ජූලි මාසය වනවිට අපට මේ කෘතියේ අත්පිටපත සම්පාදනය කරගත හැකි වුණා.

කෙටිකතා නිර්මාණය කළ ලේඛකයින්ගේ දෙවන වටයේ අදහස් ද අඩංගු කර ගනිමින් නැවතත් අත්පිටපත සංස්කරණය කර සරසවි ප‍්‍රකාශනයක් ලෙස මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමට ලැබුණේ මෙම වසරේ ජූලි මාසයේදී යි.

සිඞ්නි නගරයට මෙම කෘතියේ පිටපත් ගෙන්වාගැනීමට අප කටයුතු කරන අතරේ ශ‍්‍රී ලංකාවේදී ඔසී රටේ අපේ කතා කෘතිය ජනගත කිරීමේ උත්සවයක් පැවැත්වුණු බව ඔබ සමහර දෙනා දන්නවා. ඒ කටයුතු සංවිධානය කළේ නිහාල් රූපසිංහ සහ කලක් අප අතර සිට දැන් ශ‍්‍රී ලංකාවේ වෙසෙන ප‍්‍රියන්ත ෆොන්සේකා විසිනුයි.

ඒ උත්සවය පැවැත්වුණේ පසුගිය අගෝස්තු මාසයේ 17 වෙනි දා කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ආරියපාල ශ‍්‍රවණාගාරයේ දී යි. එහිදී වියත් පිරිසක් විසින් විගාමික සාහිත්‍ය කෘතියක් ලෙස මෙම ග‍්‍රන්ථයෙහි ඇති සුවිශේෂීත්වය පිළිබඳ කරුණු දක්වන්නට යෙදුණා. අපේ කෘතියේ වැදගත්කම පිළිබඳව ධනාත්මක විචාර කිහිපයක් ද මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ ලේඛිකාවක සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන සංජීවනී රූපසිංහ සහ සම්මානලාභී කෙටිකතාකරු කමල් පෙරේරා විසිනුයි.

මා කලින් සඳහන් කළ විගාමික සිංහල සාහිත්‍ය ශානරයට ඔසී රටේ අපේ කතා කෘතිය තුළින් යම්කිසි ප‍්‍රමාණවත් සම්මාදමක් කිරීමට අපට හැකි වූවා තියා මට සිතෙනවා. ආරම්භයේ සිටම මේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීමේ කටයුතුවලට සහ සංස්කරණයට සහභාගි වූ සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ සාමාජිකයෙකු ලෙස මට ඒ කාරණය පිළිබඳ ඇත්තේ දැඩි සතුටක්.

දැන් මා කෙටියෙන් අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙන දෙවැනි කාරණය දෙස යොමු වෙන්නම්.

අද මෙහි දී එළිදක්වෙන ”ඔසී රටේ අපේ කතා” කෘතිය සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් ප‍්‍රකාශිත මුල්ම කෘතියයි. නමුත් අද මේ සිටින බොහෝ දෙනෙකු දන්නා පරිදි මෙය සංස්කෘතික හමුව මගින් ප‍්‍රකාශනය කරන්නට යෙදුණු තුන්වැනි කෘතිය වෙනවා.

සංස්කෘතික හමුව වශයෙන් අප විසින් ප‍්‍රකාශයට පත් කළ මුල් කෘතිය වූයේ ”තිරස තරණ” නම් කෙටිකතා එකතුවයි. ”ඔසී රටේ අපේ කතා” කෘතිය ආකාරයෙන්ම සංක‍්‍රමණික සිංහල ලේඛකයින් විසින් තමන්ගේ ඕස්ට්‍්‍රලියානු අත්දැකීම් අළලා ලියැවුණු කෙටි කතා පහළොවකින් යුතු ”තිරස තරණ” කෘතිය එළිදැක්වුණේ 2008 වසරේ පෙබරවාරි මාසයේදී යි. සිංහල සංස්කෘතික හමුවේ සංස්කාරක ලෙස තිරස තරණ කෘතිය සම්පාදනය කිරීමට මට අවස්ථාව ලැබුණා.

ඊළ`ගට සිංහල සංස්කෘතික හමුව මගින් සම්පාදනය කෙරුණේ ඕස්ට්‍්‍රලියාව පිළිබඳව සම්මත ආකෘතියෙන් ලියැවුණු සඳැස් කවි සහිත ග‍්‍රන්ථයක්. සර්ග අටකින් ද, සිව් පදයෙන් යුතු සඳසෙන් බැඳුණු කවි හාරසිය අනූ පහකින් ද, යුක්ත වූ දකුණු කුරු දිව් කව් නම් මෙම කෘතිය දොරට වැඩියේ 2010 වසරේ ඔක්තෝබර් මාසයේ දී යි.

ඒ මහා කාව්‍යය සඳහා කවියන් තිස්තුන් දෙනෙකු ගේ සම්මාදම ලබා ගන්නට අපට හැකි වුණා. ”දකුණු කුරු දිව්” කව් ග‍්‍රන්ථය සංස්කරණය කළේ හෙන්රි කුමාරප්පෙරුම සහ මා විසිනුයි.

ඕස්ට්‍රේලියාව පිළිබද තත්කාලීන සහ ඓතිහාසික තොරතුරු අඩංගු ගද්‍ය කෘතියක් ද සිංහලෙන් සම්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ සාකච්ඡුාවක් ඇති වුණ ද එය ක‍්‍රියාත්මක වුණේ නැහැ.

කෙසේ නමුත් ඉදිරි කාලයේ දී සංස්කෘතික හමුවේ ලේඛක සංසදයට තවත් විවිධාකාරයේ ග‍්‍රන්ථ සම්පාදනය කිරීමට ලැබේය කියා මා විශ්වාස කරනවා. ඒ සඳහා මා දැනට දෙවරක් ම, යෝජනා කර තිබෙන්නේ අපේ ලේඛකයින් විසින් රචනා කරන ලද ප‍්‍රශස්ත සිංහල කෙටිකතා ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් සහ මූලිකව ම ඉංග්ලිෂ් භාෂාවෙන් ලියවෙන ලාංකික සංක‍්‍රමණිකයින්ගේ නිර්මාණයක එතුවක් බිහි කිරීමේ ව්‍යාපෘතියකුයි. මේ යෝජනා සඳහා තවමත් ලේඛක සංසදයේ අනුමැතිය ලබාගැනීමට නොහැකි වුවත්, තව වසරකින් හෝ දෙකකින් පමණ ඒ ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වේ යැයි මා සිතනවා.

අවසාන වශයෙන් මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අද මේ පැවැත්වෙන උත්සවය වැනි පොත් දොරට වැඞීමේ උත්සව පිළිබඳවයි.

පොතක් ප‍්‍රකාශයට පත් වුණු පසු, එම කෘතිය ජනගතකිරීම, දොරට වැඞීම, එළිදැක්වීම, යනාදී විවිධාකාරයෙන් හැඳින්වෙන මේ ආකාරයේ උත්සවයක් හරහා, පාඨකයින් වෙත ප‍්‍රදානය කිරීම ලොව දසතම සිදුවෙන කාර්යයක්.

සිංහලෙන් ලියැවුණු ග‍්‍රන්ථයක් මුලින්ම සිඞ්නි නගරයේ දී ඒ ආකාරයට දොරට වැඞීමක් සිදු වුණේ කවදාදැයි මා නිශ්චිතවම දන්නේ නැහැ. මා අනුමාන කරන විදිහට, අප අතර සිටින ලේඛකයෙකුගේ කෘතියක් ඒ ආකාරට සිඞ්නි නගරයේ දී මුලින් ම එළිදක්වනු ලැබුවේ 2004 වර්ෂයේ දී විය යුතුයි. නමුත් ඒ සඳහා සිංහල සංස්කෘතික හමුවේ සම්මාදමක් තිබුණා යයි මා සිතන්නේ නැහැ.

අප අතර වෙසෙන ලේඛකයින් විසින් ප‍්‍රකාශයට පත් කෙරෙන ග‍්‍රන්ථ මෙන්ම අනෙකුත් කලාකරුවන් විසින් නිර්මාණය කරන සංයුක්ත තැටි වැනි කලා කෘති දොරට වැඞීම සඳහා සංස්කෘතික හමුව විසින් සෘජුවම මැදිහත් වී සහයෝගය දිය යුතු යැයි 2006 වසරේ අගෝස්තු මස පැවති සිංහල සංස්කෘතික හමුවේ ඉදිරි ගමන පිළිබඳ වූ වැඩමුළුවක දී මා යෝජනා කළා. ඉන්පසු සංස්කෘතික හමුවේ කමිටු සභා රැස්වීමකට ඉදිරිපත් වුණු ලිඛිත යෝජනාවක් සාකච්ඡුාවේ සභා සම්මත වීමෙන් පසුව මුල්වරට මෙවැනි පොත් එළිදැක්වීමක් සංවිධානය කෙරුණේ 2006 වසරේ දෙසැම්බර් මස පැවති සංස්කෘතික හමුවේ වාර්ෂික සාමාජික සාදය සහ නත්තල් උත්සවය අතරතුරයි. එහිදී දොරට වැඩියේ පාලිත ගනේවත්ත විසින් රචනා කරන ලද ”ඇවිත් නොරටක” නම් නවකතාවයි.

පසුව, 2009 වසරේ නොවැම්බරයේ දී සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධ ව ලේඛක සංසදය ආරම්භ කළ පසු මේ ආකාරයේ ග‍්‍රන්ථ එළිදැක්වීම් වලට සහයෝගය දී සංවිධානය කිරීම ලේඛක සංසදය විසින් ඇරඹුවා. පසුගිය වසර හත අටක කාලය තුළ එවැනි උත්සව විශාල සංඛ්‍යාවකට සහභාගි වීමට අපට අවස්ථාව ලැබුණා.

අද මෙම පැවැත්වෙන උත්සවයේ සුවිශේෂිත්වය වන්නේ මෙය පෙර අප සංවිධානය කළ ආකාරයේ අපේ එක් සාමාජිකයෙකුගේ ග‍්‍රන්ථයක් දොරට වැඞීමේ උත්සවයක් නොව, අපේ සාමාජිකයින් විශාල පිරිසකගේ සම්මාදමෙන් යුතු ග‍්‍රන්ථයක දොරට වැඞීමේ උත්සවයක් වීමයි.

ඔසී රටේ අපේ කතා ග‍්‍රන්ථය පිළිබඳව කිවයුතු තවත් සුවිශේෂී කාරණයක් නම්, මෙහි එන කෙටිකතා අතරින් කිහිපයක් ම, ඒ ඒ රචකයින් ගේ ග‍්‍රන්ථයක් ලෙස එළි දැක්වෙන මුල්ම කෙටිකතා නිර්මාණ වීමයි. එය ලේඛක සංසදයේ පිහිටුවීමේ අපේ මුඛ්‍ය අරමුණක් සාක්ෂාත් කරගැනීමක් ද වෙනවා.

ඔබ සැමට ස්තුතියි.

-රසික සූරියආරච්චි

ප/ලි:
සරසවි ප්‍රකාශනයක් ලෙස 2018 වසරේ ජූලි මාසයේ දී වෙළඳපොළට නිකුත්වුණු ඔසී රටේ අපේ කතා කෘතියේ සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. වට්ටම් සහිතව සරසවි පොත්හල ශාඛාවකින් රුපියක් 390 කට පමණ මිලට ගත හැක.

ප/ප/ලි
මෙන්න වීඩියෝව. පිටපතට වඩා එහෙන් මෙහෙන් වෙනස්.



(image: By Pushpa Suriyaarachchi)

Saturday, 10 November 2018

දොරට වැඩුම් සම්ප්‍රදාය - A benchmark and a template for book launch ceremonies


නවකතාවක්, කෙටිකතා එකතුවක් හෝ ගීත සමුච්චයක් වැනි නිර්මාණයක් රසික ප්‍රජාවට ඉදිරිපත් කිරීම සඳහා දෙරට වැඩුම් උත්සව පැවැත්වීම අද ලංකාවේ මෙන්ම අප වසන ඕස්ට්‍රේලියාවේ ද සම්ප්‍රදාය වී ඇත.

මෙවැනි උත්සවයක සාමාන්‍ය වැඩ පිළිවෙළ වන්නේ සිංහල චාරිත්‍රානුකූලව පහන් දැල්වීමෙන් කටයුතු අරඹා, කෘතියේ පිටපතක් විශේෂ ආරාධිතයෙකුට පිළිගන්වා, ඉනික්බිති, කෘතිය පිළිබඳව සහ එහි නිර්මාතෘ පිළිබඳව කතා කීපයක් පැවැත්වීමයි. අවසානයේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වෙන අතර අවශ්‍ය අයට අදාළ කෘතිය මිල දී ගැනීමේ අවස්ථාව ලැබේ.

උත්සවයක් ආරම්භයේ පහනක් දැල්වීමේ මූලාරම්භක හේතු කුමක් වුවද, අද පවතින පිළිගැනීම අනුව ඉන් අදහස් කරනුයේ මෝහන්ධකාරය දුරු වී ඥානාලෝකය පැතිරේවා යන්න යැයි සිතමි.

ටවුමේ මාළු මාකට් එක අසල ගොඩ නැගෙන වෙසක් තොරණ රාජයා ගේ විදුලි බුබුළු දල්වා විවෘත කිරීමේදී මෙන්ම නිර්මාණයක් දොරට වැඩීමේදී ද පහන් දැල්වීම සඳහා ප්‍රභූවරුන් ට ආරාධනා කිරීම අපේ සිරිතයි. මේ අනුව යමින් අද ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන දොරට වැඩුම් උත්සවවලදී කොන්සල්වරුන්, සංගම් සභාපතිවරුන් මෙන්ම නිර්මාණකරුවා ගේ ජීවන ගමන හැඩ කළ විවිධ පුද්ගලයෝ ද පහන් දැල්වීම සඳහා ආරාධනා ලබති.

ප්‍රශ්නය ඇතිවන්නේ නිර්මාණය දොරට වැඩුම සනිටුහන් කරමින් එහි පිටපතක් පිළිගැන්වීමේ දී ය. උත්සවයට ගාම්භීරත්වයක් එක් කිරීම සඳහා ඉහළ නිලධාරියෙකුට ආරාධනා කර ඔහු හෝ ඇය ලවා සම්ප්‍රදායානුකූලව පහන් දල්වා උත්සවය ආරම්භ කොට ඇත. ඉන්පසු, උත්සව සංවිධාකයන් නිරුත්සාහයෙන් ම සැලසුම් කරන්නේ මේ ආරාධිතයාටම මුල් පිටපත පිළිගන්වා කෘතිය දොරට වැඩුම සනිටුහන් කිරීමටයි.

මගුල් මේස, මාළු කඬේ තොරණ යනාදිය විවෘත කිරීමට ප්‍රභූවරයෙකුට හෙවත් යමක් කමක් ඇති ලොක්කෙකුට ආරාධනා කරන්නේ ඒ සඳහා වැඩි මුදලක සම්මාදමක් ලබා ගැනීමටයි. ග්‍රන්ථයක් දොරට වැඩීමේ උත්සවයක දී එහි පිටපතක් මෙලෙස ලබා දෙන්නේ මා දන්නා පරිදි නොමිලේ ය. එය ලේඛකයාට සිදුකරන්නේ ඩොලර් දහයක පමණ ආවස්ථිත පිරිවැයක් හෝ ඇත්ත වශයෙන්ම සලකතොත් පාඩුවකි. එම නොමිලයේ දෙන පිටපතේ පිරිවැය ද දරන්නේ උත්සවය අවසානයේ දී නියමිත මුදල ගෙවා පිටපත් ලබා ගන්නා පිරිස යැයි ද සැලකිය හැක.

ඒ කරුණු කෙසේ වුවද, නිර්මාණයක පිටපතක් රාජ්‍යතන්ත්‍රය නියෝජනය කරන නිලධාරියෙකුට පිරිනැමීම වනාහී ඒ නිර්මාණයේ අගය අඩු කරවන්නක් බව මගේ අදහසයි. ඇත්ත වශයෙන්ම මෙවැනි අවස්ථා දකින්නට ලැබීම තබා ඒ ගැන අසන්නට ලැබීම පවා උපදවන්නේ පිළිකුල් සිතුවිලි ය. එයට හේතුව කිසිසේත්ම මෙලෙස පිලිගැන්වීම් ලබන්නන් ගේ පෞද්ගලික අඩු ලූහුඬුකමක් නොව ඔවුන් නියෝජනය කරන්නේ කවරක්ද යන්න පිළිබඳ ප්‍රශ්නයකි.

ඕස්ට්‍රේලියාවේ සිංහල ගුවන් විදුලි නාලිකාවකින් ප්‍රචාරය කෙරුණු සාකච්ඡාවක (2011) එක කොටසකදී ඉතා බුද්ධිමත්, උගත් යැයි මට නිසැකවම වැටහුණු පුද්ගලයෙක් තමන් ලියූ ග්‍රන්ථ දෙකක් පිළිබඳව සඳහන් කළේය. මෙහිදී එහි අන්තර්ගතය හෝ කෘතියේ තත්කාලීන වැදගත්කම ගැන කතාකරනවාට වඩා ඉතා වැඩි යැයි මට හැඟුණු උනන්දුවකින් සඳහන් කෙරුණේ, දොරට වැඩීමේ උත්සවයට පැමිණ එහි මුල් පිටපතෙන් පිදුම් ලද ලාංකික මැර දේශපාලඥයෙකු ගැන සහ සුපිරි දේශපාලන ආර්යාවක ගැනයි.

මේ හාස්‍යජනක මෙන්ම කනගාටුදායක තත්වය පිටු දකිමින් පසුගිය සිව් වසර (2008-2011) තුළ සිඩ්නි නුවරදී පැවැත්වුණු නිර්මාණ එළිදැක්වීමේ උළෙල හතරක් මගේ මතකයට එයි.

මින් අවස්ථා දෙකකදී ම මුල් පිටපත් පිළිගැන්වුයේ එම කෘතිවල සංස්කාරකවරුන් විසින් කෘති ප්‍රකාශනය කළ සිංහල සංස්කෘතික හමුව නියෝජනය කළ සභාපතිවරුන්ට ය.

තිසල් පාදුක්ක විදාන ළමා ගායකයා තම සංයුක්ත තැටියේ මුල් පිටපත ඔහුගේ දෙමව්පියන්ට පිළිගන්වා දණ ගසා වැඳි දර්ශනය එහි රැස්වූ සැම ගේ නෙතට කඳුළක් නැංවූ දසුනක් විය.

ලක්ෂ්මන් කොඩිතුවක්කු තමන්ගේ පරමේෂ්වරී සහ වෙනමු රටක් කෙටිකතා පොතේ මුල් පිටපත මුල් කාලයේ සිටම තම නිර්මාණ අගය කළ රසිකයෙකුට ද, ටොමියා සිඩ්නි ගියා ළමා කතා පොතේ මුල් පිටපත තම ආදර දියණියට ද පිළිගැන්වීය.

මේ සියලු කරුණු මට නැවත සිහිවූයේ පසුගිය 2011 ඔක්තෝම්බරයේ දී සිඩ්නි නගරයේ පැවැත්වුණු මෛත්‍රී පනාගොඩ ගේ ගී පදමාලා ඇතුළත් ”සුදු වැලි” සංයුක්ත තැටිය දොරට වැඩීමේ උලෙළේ දී ය. ඒ උත්සවය වනාහී මෙවැනි කෘතියක් එළි දැක්වීමේ අවස්ථාවක තිබිය යුතු ගරුත්වය, නැවුම්බව, ප්‍රශස්තබව මෙන්ම හරවත්බව ද කැටිකොට ගත් සම්භාව්‍ය ගණයේ උත්සවයක් වූ බව නොපැකිලව පැවසිය හැක.

උත්සවය ආරම්භ කෙරුණේ, ජයමංගල ගාථා හඬ පරිසරය සන්සුන් කරමින් විසිරී යද්දී ශාලාව හරහා ගාම්භීර ගමනින් වේදිකාව බලා ගමන් ගත් දැල්වූ පහන් අත දැරූ කුඩා දැරිවියන් පිරිසක් ඉනික්බිති ඇරඹුණු මගුල් බෙර හා සක් නද හඬ මැද වේදිකාවේ සකසා තිබූ සම්ප්‍රදානුකූල පහන දැල්වීමෙනි. එය මා ලද නවමු අත්දැකීමක් විය.

දොරට වැඩුණු සංයුක්ත තැටිය නාමමාත්‍රිකව පිළිගැන්වුණේ පනාගොඩ පවුලේ ලාබාලම සාමාජිකයා වූ දෙසති වයසැති මුනුබුරා වෙතයි. එය අතීතයෙන් අනාගතයට කෙරෙන අපූරු දායාදයක් සනිටුහන් කළේය.

සංයුක්ත තැටියේ අඩංගු ගීත සමුච්චයෙන් විශාල සංඛ්‍යාවක් සජීවීව ද, රූගත කරණ ලද්දාවූ දර්ශන ආධාරයෙන් ද ඉදිරිපත් කෙරුණු අතර ඒ සඳහා කළ හැඳින්වීම් මෙන්ම මුළු උත්සවයේ ම විස්තර කථනය අති විශිෂ්ට මට්ටමේ භාෂා රචනාවෙන් අලංකෘත වී තිබුණි.

මේ ගීත මාලාවෙන් බහුතරය මින් දශක හතරකට ඈත අතීතයක දී නිමවුණු සදාහරිත ගී වූ හෙයින් රචකයාගේ ජීවිතයේ මුල් කාලයේ විවිධ අවස්ථා නිරූපණය වූ රූප රාමු පෙළ ඒ හා අපූරුවට ගැළපුණි.

අකුරට සැලසුම් කොට සිදු කෙරුණු උත්සව කළමනාකරණය ද මොනවට කැපී පෙනුණි.

අවසාන වශයෙන් කිව යුත්තේ දොරට වැඩීමේ උත්සවයක් පැවැත්විය යුත්තේ කොයි ආකාරයෙන් ද යන්න පිළිබඳව අගනා මිනුම් ලකුණක් (බෙන්ච්මාක්) මෙන්ම අච්චුවක් (ටෙම්ප්ලේට්) ද එදා සිට සිනුවරවාසී අප සතුව ඇති බවයි!

-රසික සූරියආරච්චි

ප/ලි:
මෙම ලිපිය 2011 නොවැම්බරයේ දී ලියූ එකකි. සන්නස සඟරාවේ 2011 දෙසැම්බර් කලාපයේ පළවිය. හෙට සිනුවර දී පැවැත්වෙන "ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ දොරට වැඩීමේ උත්සවය සඳහා සූදානම් වෙද්දී සිහිපත් වී නැවත පළ කරන්නට සිත්විය.

(image: Roy Gunaratne)

Tuesday, 6 November 2018

"ඔසී රටේ අපේ කතා" කෘතියේ සිනුවර දොරට වැඩුම - All are invited


ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද කෙටිකතා විසිතුනකින් සමන්විත "ඔසී රටේ අපේ කතා" කෘතියේ සිනුවර දොරට වැඩුම 2018 නොවැම්බර් 11 වෙනිදා, ඉරිදා, සවස 230 ට සිනුවර තදාසන්නයේ කෙලිවිල් හි රයිට්ස් රෝඩ් ප්‍රජා ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.

සරසවි ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාවේ දී 2018 ජූලි මාසයේ මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ මෙම කෘතිය ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පානය කරනු ලැබූ මේ ග්‍රන්ථයේ ශ්‍රී ලංකාවේ දොරට වැඩුම 2018 අගෝස්තු මස දාහත්වෙනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණි.

ඉරිදා පැවැත්වෙන උත්සවය පිළිබඳ මම ඊයේ සිනුවර 99.9 FM ඔස්සේ ප්‍රචාරය වෙන "විදුර" සිංහල ගුවන් විදුලි වැඩසටහනට සහභාගී වීමි.

එහි ෆෙස්බුක් සජීවී විකාශයෙන් උපුටාගත් වීඩියෝවක් දැන් ඔබට නැරඹිය හැකි ය.



සිනුවර වසන ඔබ සැමට සිනුවර වසන ඔබ සැමට 2018 නොවැම්බර් 11 වෙනිදා, ඉරිදා, සවස 230 ට සිනුවර තදාසන්නයේ කෙලිවිල් හි රයිට්ස් රෝඩ් ප්‍රජා ශාලාවේ දී පැවැත්වෙන දොරට වැඩුමට සහභාගී වෙන ලෙස සාදරයෙන් ආරාධනා කරමි.

රසික සූරියආරච්චි

ප/ලි:
මේ ග්‍රන්ථයේ ඇතුළත් කෙටිකතා සහ ඒවායේ රචකයින් මෙසේ ය.

රමේෂ් - ප්‍රියන්ත ෆොන්සේකා
මානව හිතවාදියා - සමන් දිසානායක
පුත්‍ර ස්නේහය - දීපිකා ශ්‍රියානි සුන්ද්‍රාවඩුගේ
මීනා - පුෂ්පා සූරියආරච්චි
කතුර - නිහාල් රූපසිංහ
අවුරුදු නැකත - පාලිත ගනේවත්ත
ඩොලර් දෙකේ සන්තෝෂය - රසික සූරියආරච්චි
දෛවයෝගයක් - ඥානතිලක හේවාගමගේ
වාසනාවන්තයෝ - ෂෙල්ටන් පීරිස්
සිඳුණු පියාපත් - ෂාමලින් පෙරේරා
සුරතල්ලූ - ශ්‍යාමා රත්නායක
රියදුරු බලපත්‍රය - මොරගොඩ මලියසේන
දරු මුණුපුරෝ - රෝස් ගුණසේකර
මිණි කැට සහ මුතු ඇට - ජයන්ත ඈපා
ඕස්ට්‍රේලියාව, "රටගාය" හා අප - දිලිනි ඊරියවල
මෝන් සහ ඩූන් - මලී දිසානායක
අයි කේම් ෆ්‍රොම් ශ්‍රී ලංකා - දුමින්ද ගමගේ
ඉරණම - උපේකා පීරිස්
ජන්මාන්තර වෛරක්කාරයා - රසෝමි මුදලිගේ (පරිවර්තනය නිහාල් රූපසිංහ)
සිනහව අතරින් - පියසේන පියසිරි
චෙරි - පූර්ණිමා ජයතිස්ස
ජීවයට ජීවය - කරුණාසේන කහටපිටිය
උපැස් යුවලක් අතරින් - ලලිත් ලොකුකුරුප්පුආරච්චි

"ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ පිටු 250 කි. සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. සරසවි පොත්හල ශාඛාවලින් 20% වට්ටම් සහිතව ලබාගත හැක.

ප/ප/ලි:
අපේ සිංහල සංස්කෘතික හමුව හමුව මගින් මින් පෙර සම්පාදනය කරන ලද ග්‍රන්ථ මෙසේ ය.

තිරස තරණ - ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ගේ සිංහල කෙටිකතා එකතුව (2007) - දයාවංශ ජයකොඩි සමාගම
දකුණු කුරු දිව් කව් - ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය (2010) - දයාවංශ ජයකොඩි සමාගම

(image: designed by Deepal de Silva)

Sunday, 4 November 2018

කටුනායක ඩියුටි ෆ්‍රී සාප්පුවක දී වූ සිදුවීමක් හෙවත් ඔහේ විකිණෙන්නේ ඩොලර් කීයකටද? - What is your price tag, mate?


අද වන විට ලංකාවේ සිදුවෙනවා යැයි පැවසෙන ඡන්ද වෙන්දේසි පිළිබඳ කතා බහ නිසාත්, ඒ නිසා ම, මා වෙනත් තැනක විස්තර කර ලියූ මේ සිදුවීම පිළිබඳව මෞර්ය රාජ් නම් හිටපු බ්ලොග්කරුවා ෆේස්බුක් හරහා මගේ මතකය අවදි කළ නිසාත් මේ ලිපිය සකසා පළ කිරීමට සිතුවෙමි.

මේ මා ඕස්ටේ‍ර්ලියාවේ සිට නිවාඩුවක් ගත කිරීමට ලංකාව බලා ගිය දිනයක කටුනායක දී වූ සිදුවීමකි. කාලය 2005 විය යුතු ය.

බ්ලොග් ලියන කියවන අය අතරේ සෑහෙන පිරිසක් ද කටුනායක හරහා ගමන් බිමන් කර තිබෙන නිසා ඒ අයගෙන් සමහරුන්ට මේ මා විස්තර කරන්නට යන ආකාරයේ පමණක් නොව මීටත් වඩා හොඳ රසවත් අත්දැකීම් (මෙන් ම සමහර විට කකුල් දැකීම් ද) ඇතිවා විය හැක.

සුපුරුදු පරිදි එදාත් මා කටුනායකින් ගොඩ බහින කොට මධ්‍යම රාත්‍රිය පසු වී තිබුණි. පුළුවන් තරම් ඉක්මනින් මෙතැනින් පිටවී ගෙදර බලා ගොස් නිදාගන්න යැයි ඇඟපත මට බල කරමින් තිබුණි.

ඒත් ඉතිං ගෙදර යන්න කලින් කළ යුතු අනිවාර්ය වැඩ කීපයක් ම තිබේ.

පරණ මිත්‍රයෙකු වූ චුලානන්ද ගේ ගෝලයින්ගෙන් පාස්පෝට් එකේ සීල් එක ගසා ගත යුතුය. එය අසීරු දෙයක් නොවේ, පූස්පාට් එකෙන් කර ගත හැක.

දෙවන කාර්යය වන්නේ, ගමනාරම්භයේ දී එයාලයින් එකේ නම්කිලාට සිනුවර දී භාර දුන් ගමන් මලු දෙක තුන සොයාගෙන කස්ටම් ඔෆිසර්ස්ලාගෙන් ගැලවී යන එක ය. අතීත කාලේ මෙන් නොව එය ද මේවන විට අන්තිම ලේසි-පාසු වැඩක් වී තිබුණි.

ඔය වැඩ දෙක කරන අතරතුරේ දී, අනිවා ඩෙෆා කළ යුතු, දේවකාරියටත් වඩා වැදගත් තවත් එක් රාජකාරියක් ඇත.

එය "ඩියුටි ෆ්‍රී වන්දනාව" වේ.

සාදු, සාදු, සාදු!

මොන මොන වෙහෙර වැඳ නොගත්තත් ජොනී වෝකරාරාමය පැත්තේ නම් නොගිහින්ම බැරි ය.

මේ කියනා දවසේ මට ඊට අමතරව තවත් පොඩි භාණ්ඩයක් මිලට ගැනීමට තිබුණි. ඒ සඳහා මා ගියේ ඉලෙක්ට්‍රිකල් බඩු විකුණනාරාමයකට ය.

"ඉලෙක්ට්‍රොනික් කී බෝඩ් තියෙනවද?"

එතන හොඳ සිලෙක්ෂන් එකක්, කැෂියෝ ද, යමහා ද, අරවා ද, මේවා ද, හැම ජාතියක්ම, තිබුණි!

මම වසර පහ හයක පොඩි දරුවෙකුට ගැලපෙන ආකාරයේ සරල කී බෝඩ් එකක් තෝරා ගත්තෙමි.

ඉන් පසු, කඩේ කළමනාකරුට, බිල්පත සැකසීම සඳහා, මගේ ගමන් බල පත්‍රය දුන්නෙමි.

"සර් මෙච්චරද ගන්නේ?"

"ඔව්!"

"ඇයි ටීවී එකක්, ෆෑන් එකක්, ඒ.සී.එකක්, රයිස් කුකර් හෙම ගන්නේ නැද්ද?"

"නෑ, ඒවා තියෙනවානේ ගෙදර!"

"මේ පාස්පෝට් එකට සර්ට ගන්න පුළුවනි ෆ්‍රිජ් එකක් වුණත්."

"නෑ, මට ඕනෑ නෑ!"

"එහෙනං සර් මෙහෙම කරමුද? මං සර් ගේ නමට පොඩි ෆ්‍රිජ් එකකුයි, ඒසී එකකුයි දාන්නම්. සර්ටත් පොඩි වාසියක් කරන්නම්."

"මොන වගේ වාසියක්ද?"

"ඩොලර් පනහක් විතර මේ ගත්ත බඩුවෙන් අඩු කරන්නම්."

මට හිනා ගියේ ය.

මා කීවේ මෙපමණකි.

"ඩොලර් පනහට නං මං විකිණෙන්නේ නෑ! මං ඊට වැඩිය වටිනවා!"

මා එසේ කීවේ ඇයි දැයි කියා ඔබ දනී.

කොපමණ පණ්ඩිතකම් කීව ද, බයිලා ගායනා කළ ද, අප සියලු දෙනා ම විකිණෙන එක්තරා මිලක් ඇත. ඊට අඩුවෙන් තැබෙන ලන්සුවලට අපි නොවිකිණෙමු. ඊට වඩා ලන්සුව වැඩි වූ වහාම අප විකිණී යැම වැළැක්විය නොහැක.

තමන් ගේ වටිනාකම නොහොත් විකුණුම් මිල තමන් දැනගෙන සිටීම ඉතා ම වැදගත් බව අවසාන වශයෙන් පවසමි.

-රසිකොලොජිස්ට්

ප/ලිඃ
මේ කතාව ලියන කාලයේ මගේ විකුණුම් මිල ඩොලර් මිලියන 2.2 ක් විය. අද තත්වය වෙනස් ය.

ඔහේලා විකිණෙන්නේ ඩොලර් කීයකට විතර ලන්සුව ආවොතින් ද?


(image: https://www.kapruka.com/Sri_Lanka/cms/kapruka_t1.jsp?docid=1246901918187)

Friday, 2 November 2018

සිරිසේනබ්‍රෝ හිස දන් දෙයි - Bugger off you bastard


ෆේස්බුක් අවකාශයේ නිශාන් උදය විසින් පළ කර තිබුණු ඉහත කාටූනය දැක මට සිහිවුනේ අප කුඩා කාලේ පටන් අසා තිබෙන, අහමඩ් මොහිදීන් විසින් ගයන "රාජසඟබෝ හිස දී දුගියාටා" නම් ගීතයයි.

ජනප්‍රිය ගීතවල තනුව අනුව අලුත් පද යොදා දේශපාලන විකට ගී ප්‍රතිනිර්මාණය කිරීම අද යුගයේ ජනප්‍රිය කලාවකි.

මීට වසර තුනකට පෙර ලංකාවේ පැවති මහ ඡන්දය අරඹයා එවැනි ගීත රාශියක් ප්‍රතිනිර්මාණය වී සංසරණය වූ අතර, මම ඒවා අතරින් ඉන්දික ගුණවර්ධන නම් කවියා විසින් ප්‍රතිනිර්මාණය කළ ගී සෑහෙන ප්‍රමාණයක් රසිකොලොජිය හරහා බෙදා හැරියෙමි.

https://rasikalogy.blogspot.com/2015/08/new-wine-in-old-bottles.html

ඒ කාලයේ දී සෑහෙන උත්සාහ කර මට කළ හැකි වූයේ මේ පහත ප්‍රතිනිර්මාණය පමණි.



ඊයේ සිරිසඟබෝ-සිරිසේනබ්‍රෝ කාටූනය දැක රස විඳ, ඉන් පසු "රාජ සඟබෝ හිස දී දුගියාටා" ගීතය අසා, මට පහත ප්‍රතිනිර්මාණය කළ හැකි විය.

මෙන්න ඒ අලුත් පදමාලාව.

සේන මෙත්පල් හිස දී මරුවාටා
දාන පාරමී
(සිරි)සේන මෙත්පල් හිස දී මරුවාටා
දන පාරමී
සාදරෙන් පැතීය extension
beyond 2020 කාලේ
සාදරෙන් පැතීය extension
beyond 2020 කාලේ
ළදරු නාමල් ලොකු වී ආ කලටා
ළදරු නාමල් ලොකු වී ආ කලටා
ගෙදර යන්නෙමී

සේන මෙත්පල් හිස දී මරුවාටා
දාන පාරමී
සාදු සාදු යැයි කියාලා
ඒ මරුවා දුන් ලණු කාලා
සාදු සාදු යැයි කියාලා
ඒ මරුවා දුන් ලණු කාලා
අමන බයි කම පෙන්වාලා
දාන පාරමී
අමන බයි කම පෙන්වාලා
දාන පාරමී
ලෝක කිච වී
ලෝක කිච වී
ලෝක කිච වී
ලෝක කිච වී, නිරුවත පෙන්නාලා
දාන පාරමී
සේන මෙත්පල් හිස දී මරුවාටා
දන පාරමී

සේන මෙත්පල් හිස දී මරුවාටා
දාන පාරමී
සාදරෙන් පැතීය extension
beyond 2020 කාලේ
ලෝක කිච වී, නිරුවත පෙන්නාලා
දාන පාරමී
සේන මෙත්පල් හිස දී මරුවාටා
දාන පාරමී


චමල් අකලංක පොල්වත්තගේ ද මෙවැනි ප්‍රතිනිර්මාණයක් කර ඇතිමුත්, මා නොදන්නා එහි මුල් ගීතය කුමක්දැයි තවමත් සොයමින් සිටිමි.

https://18sanniya.blogspot.com/2018/11/blog-post.html

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න රාජසඟ බෝ හිස දී දුගියාටා ගීතය


(image: edited from - https://www.facebook.com/permalink.php?story_fbid=939579922919266&id=100006018017513)

Thursday, 1 November 2018

අවසානය (මාටින් නීමොලර්) : First they came (Martin Niemöller)


ජර්මානු ජාතික මාටින් නීමොලර් නම් පාස්ටර්වරයා (1892-1984) විසින් හිට්ලර් ගේ නාසි ඝාතක කණ්ඩායම් පිලිබඳව ලියන ලද First They Came නමැති ප‍්‍රසිද්ධ කවියේ අනුවාදයකි.

පළමුව ඔවුන් ආවේ මරණට සැරසී
කොමිනිස්ට් කාරයන් රංචුව දස වද දී
මුනිවත රැකිමි නොම ගෙන කරදර සිතටා
කොමිනිස්ට්වාදියෙක් නොවෙමිය මම කිසිදා

දෙවනුව ඔවුන් ආවේ ගිනි අවි රැගෙන
මරණට මානසික ආබාධැති පිරිස
කිසිවක් නොදෙඩුවෙමි ඒ ගැන මම මුවිනි
රෝගාබාධ මා මනසේ නැති බැවිනි

තෙවනුව ඔවුන් මැරුවේ හිත් පිත් නැතුව
යුදෙව් ජන පිරිස ලොකු පොඩි අඩු නැතුව
කුමකට විමසමි ද මම ඒ ගැන ඉතින
යුදෙව්වෙක් නොවෙමි මම එය දැන ගනුව

ඉන් පසු මරා දැම්මෝ ඒ වධක කැල
අදහන කතෝලික ආගම සියලු දෙන
මුවින් නොබැණ සිටියෙමි මම සැනසිල්ලේ
ප්‍රොතෙස්තන්ත දහමය මා අදහන්නේ

අවසන ඔවුන් ආවේ මා සොයාගෙන
මරණ සහතිකේ මගෙ දින දමා ගෙන
කිසිවෙකු සිටියෙ නැත ඒ බිහිසුණු දිනයේ
මා ගැන හඬක් නැගුමට මේ මිහි තලයේ

අනුවර්තනය - රසික සූරියආරච්චි

මාටින් නීමොලර් පාස්ටර්වරයා විසින් ලියන ලද මේ සුප්‍රකට කවියේ විවිධ සංස්කරණ දක්නට ලැබේ. එය නීමොලර් විසින් කරනු ලැබූ කතාවක හරයේ පද්‍යමය සංස්කරණය කියා ද කියවේ. ඒ සමගම ඇමරිකාවේ දක්නට ලැබෙන සංස්කරණයන්හි කොමියුනිස්ට්වාදීන් යන්න වෙනුවට සමාජවාදීන් කියා කියවෙන බවත්, ජර්මනියේ ඇති සමහර සංස්කරණවල යුදෙව්වන් හා සම්බන්ධ කොටස නොමැති බවත් කියවේ.

එක් පිළිගත් සංස්කරණයක ඉංග්ලිෂ් පරිවර්තනය මෙසේ ය.

First they came for the communists and I did not speak out because I was not a communist.
Then they came for the trade unionists and I did not speak out because I was not a trade unionist.
Then they came for the Jews and I did not speak out because I was not a Jew.
Finally, they came for me and there was no one left to speak out.

මගේ අනුවර්තනය පදනම් වූයේ ඉහත ඉංග්ලිෂ් පරිවර්තනයත් තවත් සංස්කරණ කිහිපයක් ද පනම් කරගෙන බව කිව යුතු ය.

(image: https://www.britannica.com/biography/Martin-Niemoller)

Monday, 29 October 2018

සිංහල බ්ලොග් ලේඛන කලාවේ අවගමනය - A turning point?


ඔව්, එය සත්‍යයකි!

කලකට පෙර සශ්‍රීකව වැජඹුණු සිංහල බ්ලොග් කෙත අද පුරන්වී යාමට ආසන්න ය. ඒ අවගමනය මගේ රසිකොලොජියේ වාර්තාවෙන් ම පෙනේ.

රසිකොලොජිය ඇරඹුවේ මීට වසර හතරකට පෙර 2014 ඔක්තෝබර් මස 27 වෙනිදා ය. ඒ මගේ උපන් දිනයයි.

එතැන් සිට ලිපි පන්සියයේ කඩ ඉම පසුවන තුරු ම මම ඉතා උනන්දුවෙන් ලිපි ලියා පළ කළෙමි. ඒ වන විට බ්ලොගය අරඹා ගත වී තිබුණේ දින 1012 ක් පමණක් නිසා ලිපි 500 පළ කිරීම යනු ඉතා සශ්‍රීක අස්වැන්නකි.

කඩඉම පසු කළ පසු, බ්ලොග් ලිපි ලිවීමේ වේගය තරමක් අඩු කර වෙනත් ලියවිලි සඳහා කාලය වැඩියෙන් මිඩංගු කරන්නට අදහසක් තිබුණ ද, එය වසරකට ලිපි සියයක් පමණ අඩු කළ ඉලක්කයකි, මෙතරම් ඉඩෝරයකට මුහුණ දෙන්නට වෙතැයි මම එදා නොසිතුවෙමි.

කෙසේ වුවද, සිදුවූයේ එයයි.

මා සරදම් බසින් ඇස්වහක් හෝ කටවහක් යැයි කියූවද, මෙය මගේ ජීවිතයේ ද සිදු වූ වෙනස්කම් හා සමාන්තරව සිදු වූ කාලකණ්ණි තත්වයක් විය.

මගේ 500 ලිපිය පළ වී මාස පහළොවක් ගෙවී තිබුණ ද, මේ කාලය ඇතුළත ලිපි පළ වී ඇත්තේ 30 ක් පමණි.

බ්ලොය අරඹා, පළමුවෙනි සංවත්සරය, දෙවැන්න සහ තෙවැන්න සමරමින් ලිපි ලියා පළ කළ මට සිව්වැනි සංවත්සරයට ලිපියක් පළ කරන්නට නොහැකි විය.

මෙය කාලකණ්ණි තත්වයක් යැයි මා කීවේ, බ්ලොග් ලිපි නොලියූ හිලව්වට කළ වෙනත් ලියවිල්ලක් ද නැති නිසා ය. ගත වී ගිය කාලය නම් වූ හොණ්ඩර සියයක් බරැති ඒ රත්තරන් නගට්ටුව නැවත ඇද ගන්නට ඇතෙක් සොයා ගැනීමට ද නැත.

අන් අය කියවූවේද නැති ද යන කාරණය කෙසේ වෙතත්, ආත්ම ප්‍රකාශනයක් ලෙස තවමත් බ්ලොග් කලාවේ වැදගත්කමක් මම දකිමි. එය විවිධ හේතු නිසා ෆේස්බුක් අවකාශයට වඩා පහසුකම් ඇති ප්‍රකාශන මාධ්‍යයක් බව අලුතෙන් කිව යුතු නැත.

සෙනසුරාදාට යෙදී තිබුණු මගේ උපන් දින සංවත්සරය වෙනුවෙන් මම පසුගිය සමයේ තිබුණු කාලකණ්ණි තත්වයෙන් මිදීමට අධිෂ්ඨානය කළෙමි. ඒ අනුව, ඊයේ දිවා කාලයේ දී, කාලයක් තිස්සේ මා නොවරදවා කළ ද, මාස හයක් පමණ තිස්සේ අතපසු වී තිබුණු, ශාරීරික ව්‍යායාමයක් ලෙස ඇවිදීම යළි අරඹා පියවර 8,000 ක් ගමන් කළෙමි.

එදිනට ම යෙදුණු මගේ රසිකොලොජි බ්ලොගයේ උපන් දින සංවත්සරය වෙනුවෙන් මගේ අධිෂ්ඨානය නම්, අඩු වශයෙන් සතියකට එක බැගින් හෝ රසිකලොජියේ ලිපි පළ කිරීමටයි.

සිංහල බ්ලොග් ලේඛන කලාවේ අවගමනයට නැවතීමේ තිත තැබීමේ යුගයේ අවශ්‍යතාවයට මගේ සම්මාදම එය යි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න හොඳ ගීතයක්.



[image: (c) Rasika Suriyaarachchi]

Tuesday, 28 August 2018

බුද්ධාගමට අපහාස කරන තවත් කවියක් - ඇත්තටම මෙය කලින් කවියේ කොපියකි - Yet another blasphemous poem


බයි ලොජික් අනුව සලකන විට බුදු දහමට අපහාස වේ යැයි චෝදනා ලැබිය හැකි ආකාරයේ තවත් කවියක් මා ලියා තිබේ. ඇත්තට ම මෙය විශ්වවිද්‍යාල සමයේ මා ලියූ, දින දෙකකට පෙර රසිකොලොජියේ පළ කළ කවියේ කොපියකි.

මෙය ලියූවේ 2005 වර්ෂයේ බව මගේ මතකයයි. මේ කවියට ඒ දිනවල සිනුවර සංවිධානය වුණු "සාහිත්‍ය චින්තා" නම් තරගයේ දී සම්මානයක් ද හිමිවිය.

වැඩි අටුවා ටීකා ටිප්පණි පසුවට තබා මෙන්න ඒ කවිය.

අභිනිෂ්ක්‍රමණය

දුක දනිමි
සීනුවට අවදිවී
සීතලේ ඇඳ පැළඳ
දුම්රියට දුව යෑම දුකක් මැයි
කළු කෝපි උගුරකින්
ගිල දමා පාන් පෙති
පරිගණක තිරය මත ගල් ගැසී
සංසාර චක්කරේ පැද යාම
දුකක් මැයි

දුකට හේතුව දනිමි
කොමසාරු මැදුර ළඟ
පෝලිමේ තෙරපිලා
වීසාව අයැදීම හේතුව ය
විරැකියාවේ බරින් පීඩිතව
ජනසවිය එපා වී දුර්මුඛව
පලා නොම ගොස් විසුම හේතුව ය

දුක නැසුම මම දනිමි
මේ මහා තරගයෙන්
බේරිලා පලා ගොස්
නිදන්නට හැකි වුණොත් දුක නැති ය
උපන් ගම රට වෙතට
යළි ගොසින්
ඉඳින්නට හැකි වුණොත්
දුක නැති ය

දුක නසන මග දනිමි
දරුවනගෙ ඉගෙනීම ඉවර වී...
ගේ උගස් ගිණුම අවසාන වී...
පනස් පහ උදා වී...
... ... ...

පැහැදිලිය වතුර් සත්‍යය
අපැහැදිලිය අභිනිෂ්ක්‍රමණය


ඉහත කොන්දේසි සමහර ඒවා දැන් සැපිරී ඇත. තව ඉතිරිව ඇත්තේ එකකි!

මරුවන් සරණයි!!

නිහොන් සැප ලැබේවා!!!

-රසිකොලොජිස්ට්

(image: http://mawbima.lk/print20180101MB20181230.php?id=19032)

Sunday, 26 August 2018

මෙන්න බුද්ධාගමට නින්දා කරන නිසා තහනම් කළ යුතු කවියක් - Ban this poem in the name of Buddhism


ලෝකයේ ඇති මා දන්නා ප්‍රධාන ආගම් ඇරඹූ පුද්ගලයින් ඒ දහම් මුලු ලෝකයට ම පොදුවේ දායාද කළා මිස, එක් එක් පුද්ගලයින් ට හෝ කණ්ඩායම්වලට හෝ ආණ්ඩුවලට හෝ කොපි රයිට් යොදා, පේටන්ට් සහතික සහිතව භාර දුන් බවක් මම නම් නොදනිමි.

ඒ අනුව සෑම ආගමික සංකල්පයක් ම ඕපන් සෝස්, එනම් අපට අවශ්‍ය පරිදි භාවිතා කළ හැකි, සංකල්ප ලෙස සැලකිය හැකි යැයි මම සිතමි!

කෙසේ වෙතත්, අද සිදු වී ඇත්තේ ඒ ආගම් ශාස්තෘවරුන් වදාළ ධර්මයට තමන්ම යෝජනා සම්මත කරගෙන ඔප්පු, තිරප්පු, ඇටෝර්නි බලපත් ලියා ගත් අයිතිකාරයින් පිරිසක් බිහි වී සිටීමයි.

ඒ අධම වංචාකාරයින්ගේ පදයට නටන ආණ්ඩු ද අද ලොවේ ඇත.

වත්මන් ලෝකයේ ප්‍රගමනයට ඇති ලොකුම බාධාව නම් මේ දෙපිරිසේ කුසංයෝජනයයි.

මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ සිටිය දී ලියූ මේ පහත කවිය පදනම් වී ඇත්තේ චතුරාර්ය සත්‍යය නම් බෞද්ධ සංකල්පය මතයි.

අද ලංකාවේ ඉන්නා සමහර බයියන්ට අනුව, මේ කවිය බුද්ධාගමට නින්දා කරන එකක් විය හැක. ඒ මා මේ කවියේ පාලි භාෂාවේ එන වචන කිහිපයක්, බුද්ධ ධර්මයේ භාවිතාවෙන සංකල්පයක් අනුසාරයෙන් භාවිතා කර ඇති නිසා විය හැක.

මෙන්න ඒ තහනම් කළ යුතු කවිය.

සත්‍යාවබෝධය නොහොත් නොකෙරෙන වෙදකම සහ කෝඳුරු තෙල් හත්පට්ටය

දුක දනිමි!
තෙතක් සිසිලක් නැති
වාලුකාවක තැනුණු
කම්මලෙහි ඉගෙනීම දුකක් වේ
ඉඳින්නට තැනක් නැත
හත් දෙනෙකු සිරවෙමින්
පුංචි සිර මැදිරියක
බෝඩිමේ ජීවිතය දුකක් වේ
පර බසැති පොත් බලා
මහ රැයේ නිදි මරා
කෝර්ස්වර්ක් ගැසීමද දුකක් වේ
පෝලිමේ හිරවෙලා
රසය ගුණ නොහිතලා
කැන්ටිමේ බත් කෑම දුකක් වේ

දුකට හේතුව දනිමි
අනඳ විදු පියසෙහි
පස් මහල් ශාලාවෙ
පන්තියක ඉගෙනීම හේතුව ය
චැපල් ටෙම්පල් ලේන්
රේල්වේ ඇවනියු
පුද්ගලික පන්තිවල
තෙරපෙමින් ඉගෙනීම හේතුව ය
වසර දෙකකට කලින්
උසස් පෙළ විභාගය
උසස් ලෙස දා ගැනුම හේතුව ය
මහවැලියෙ ඉවුරු තෙර
මරු කතරෙ කම්මලට
පෙර පවට පැමිණීම හේතුව ය

දුක නැසුම මම දනිමි
අම්මගේ අතින් හැදු
රස අහර බුදින සඳ
කැන්ටිමේ අද විඳින දුක නැති ය
ඉස්සරහ කාමරේ
හුරු පුරුදු ඇඳට වී
සිතු ලෙසින් නිදන විට
බෝඩිමේ අද විඳින දුක නැති ය
හැන්දෑවෙ ගම වටේ
සයිකලය පදින විට
කම්මලේ අද විඳින දුක නැති ය
මැජෙස්ටික් එම්පයර්
රියෝ රීගල් තුළ දි
කෝස්වර්ක් නැති නිසා දුක නැති ය

දුක නසන මග දනිමි
දේශනාගාරවල
නිදි කිරා වැටෙද්දී
ලියාගත් නෝට්ස් පොදි ඉවත විසිකළ යුතු ය
කෝස්වර්ක් ගහන්නට
පුස්තකාලයෙන් ගත්
පොත් ගොන්න එතැනටම දිය යුතු ය
ඇඳුම් කඩමාලු ටික
ගමන් මලු තුළට දා
පැණිදෙනිය හන්දියට යා යුතු ය
ටිකට් පත මිලට ගෙන
තුනයි විසි පහට එන
කොළඹ යන දුම්රියෙන් යා යුතු ය

දනිමි හඳුනමි හොඳින්
දුකෙන් මිදෙනා එ මග
නමුදු කෙලෙසක කරම්
අවැසි අබිනික්මන?

දහසකුත් එකක් බැඳුමෙන් බැඳී ඇත
දහසකුත් එකක් නෙත් යොමුව ඇත

පැහැදිලිය චතුර් සත්‍යය
අපැහැදිලිය අභිනිෂ්ක්‍රමණය


මේ අච්චුවේ ම වෙනත් කවියක් ද මා ලියා ඇත.
http://rasikalogy.blogspot.com/2018/08/yet-another-blasphemous-poem.html

-රසිකොලොජිස්ට්

(image: http://www.stewardshipreport.com/photo-of-the-day-little-monks/)

Thursday, 16 August 2018

ඔසී රටට පැන්න අපේ අයියලාගේ සහ අක්කලාගේ කතන්දර - A new chapter in Sinhala diasporic literature


ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද කෙටිකතා විසිතුනකින් සමන්විත "ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයක් ලෙස පසුගිය දා මුද්‍රණාද්වාරයෙන් නිකුත් විය.

මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.

මා විසින් රචනා කරන ලද "ඩොලර් දෙකේ සන්තෝෂය" නම් කෙටිකතාව ද මේ කෘතියට ඇතුළත් වේ.

"ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථයේ දොරට වැඩීමේ සාහිත්‍ය උත්සවය හෙට, 2018 අගෝස්තු 17 සිකුරාදා සවස 300 ට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ එම් බී ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ උත්සවයට සහභාගීවන ලෙස ඔබට කෙරෙන සාදර ඇරයුමයි මේ.



පොත එළිදැක්වීමේ උත්සවයේ වැඩ සටහන මෙසේ ය.

3:00   වැඩ සටහන ආරම්භය හා පිළිගැනීම : සංජීවනී රූපසිංහ
3:05    ඩයස්පෝරා සාහිත්‍යය විමසමින් කෘතිය හඳුන්වා දීම : කථිකාචාර්ය අචින්ත්‍ය බණ්ඩාර, සිංහල අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
3:20    පොත පිළිගැන්වීම
3:25    "පිටස්තරයාගේ සාහිත්‍යාවේශය" : සම්මානලාභී ලේඛක පියල් කාරියවසම්, බාහිර කථිකාචාර්ය, නාට්‍ය හා රංගකලා අධ්‍යයනාංශය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
3:55    සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ පණිවුඩය : නිහාල් රූපසිංහ, ලේඛක සංසදය
4:05    "පිටස්තරයාගේ නිර්මාණවල කලාත්මක ආවේශය" : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ, සිංහල අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය
4:35    "ඔසී රටේ අපේ කතා ගැන අදහසක්" " ප්‍රවීණ මාධ්‍යවේදී තිළිණ සමරසූරිය
4:50    ස්තුති කථාව : කෘතියේ ලේඛක පිරිස වෙනුවෙන් ප්‍රියන්ත ෆොන්සේකා
5:00    උත්සවය නිමාව හා තේ පැන් සංග්‍රහය



මේ ග්‍රන්ථයේ ඇතුළත් කෙටිකතා සහ ඒවායේ රචකයින් මෙසේ ය.

රමේෂ් - ප්‍රියන්ත ෆොන්සේකා
මානව හිතවාදියා - සමන් දිසානායක
පුත්‍ර ස්නේහය - දීපිකා ශ්‍රියානි සුන්ද්‍රාවඩුගේ
මීනා - පුෂ්පා සූරියආරච්චි
කතුර - නිහාල් රූපසිංහ
අවුරුදු නැකත - පාලිත ගනේවත්ත
ඩොලර් දෙකේ සන්තෝෂය - රසික සූරියආරච්චි
දෛවයෝගයක් - ඥානතිලක හේවාගමගේ
වාසනාවන්තයෝ - ෂෙල්ටන් පීරිස්
සිඳුණු පියාපත් - ෂාමලින් පෙරේරා
සුරතල්ලූ - ශ්‍යාමා රත්නායක
රියදුරු බලපත්‍රය - මොරගොඩ මලියසේන
දරු මුණුපුරෝ - රෝස් ගුණසේකර
මිණි කැට සහ මුතු ඇට - ජයන්ත ඈපා
ඕස්ට්‍රේලියාව, "රටගාය" හා අප - දිලිනි ඊරියවල
මෝන් සහ ඩූන් - මලී දිසානායක
අයි කේම් ෆ්‍රොම් ශ්‍රී ලංකා - දුමින්ද ගමගේ
ඉරණම - උපේකා පීරිස්
ජන්මාන්තර වෛරක්කාරයා - රසෝමි මුදලිගේ (පරිවර්තනය නිහාල් රූපසිංහ)
සිනහව අතරින් - පියසේන පියසිරි
චෙරි - පූර්ණිමා ජයතිස්ස
ජීවයට ජීවය - කරුණාසේන කහටපිටිය
උපැස් යුවලක් අතරින් - ලලිත් ලොකුකුරුප්පුආරච්චි

"ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ පිටු 250 කි. සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. සරසවි පොත්හල ශාඛාවලින් වට්ටම් සහිතව ලබාගත හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අපේ සිංහල සංස්කෘතික හමුව හමුව මගින් මින් පෙර සම්පාදනය කරන ලද ග්‍රන්ථ මෙසේ ය.

තිරස තරණ - ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ගේ සිංහල කෙටිකතා එකතුව (2007) - දයාවංශ ජයකොඩි සමාගම
දකුණු කුරු දිව් කව් - ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය (2010) - දයාවංශ ජයකොඩි සමාගම

(images: Deepal de Silva, Nalin Galkanda Arachchi)

Sunday, 12 August 2018

ප්‍රිසිලා ගොඩහේ්වා ගේ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නම් නවකතා ද්වය එළිදැක්වීමේ උත්සවය - A note about a doube book launch


මේ සටහන ලියන්නට පරිගණකය ඉදිරිපිට අසුන් ගත් මොහොතේ පැරණි උපදේශාත්මක කියමන් ද්වයක් මගේ සිහියට නැගුණි.

"කියවීම මිනිසා සම්පූර්ණ මිනිසෙකු කරයි" යන්න ඉන් පළමුවැන්නයි.

මෙහි දී කියවීම යනුවෙන් අදහස් කෙරෙන්නේ, පොත්, පත් යනා දී ලිඛිත, මුද්‍රිත ලේඛන කියවීම බව අපට වැටහේ. එලෙස, කියවීමට නම්, ඒ ආකාරයේ පොත්, පත්, ලේඛන ලිය වී තිබිය යුතු ය. එනිසා, සම්පූර්ණ මිනිසුන්ගෙන් පිරි ලෝකයක් ඇතිවීමට නම්, මේ ලෝකයේ ලේඛකයින් සිටිය යුතු බව නිගමනය කළ හැකි ය.

මගේ සිතට නැගුණු දෙවන කියමන වූයේ, "ජීවිතය සම්පූර්ණවීමට නම් පොතක් ලියා, ගසක් සිටුවා, දරුවෙකු සාදා තිබිය යුතුය" යන්නයි. ජීව විද්‍යාත්මක කොන්දේසියක් ද අඩංගු බැවින් මෙම කියමන තරමක ආන්දෝලාත්මක එකක් බව කිව යුතු ය. එසේ නමුත්, එය එහි එන අසීරු ම කරුණ නොවුන ද, අපේ වැඩි දෙනෙකු තම දීර්ඝ ජීවිත කාලය තුළ දී ඉහත කොන්දේසි තුන අතරින් සපුරා නොගන්නා කොන්දේසිය නම් පොතක් ලිවීම යැයි මම සිතමි.

මීට දොළොස් වසරකට පෙර දිනයක, ඉන්නවා ද, යනවා ද යන තීරණය හදිසියේ ගැනීමට සිදුවුණු අවස්ථාවේ දී, නොයා රැඳී සිටිය යුතු යැයි තදින් ම අධිෂ්ඨාන කර ගැනීමට මට පිටුවහලක් වූ එක් කරුණක් වූයේ එකී පොතක් තවමත් ලියා නොතිබීමේ අඩුපාඩුවයි.

ඉන් වසර දෙකකට පමණ පසුව, වදෙන් පොරෙන්, ඒ ජයග්‍රහණය අත්පත් කර ගැනීමට මට හැකිවිය.

ඔව්, එය මගේ සිතට විශාල සතුටක් ලබාදුන් ජයග්‍රහණයක් ම විය!

ජයග්‍රහණයන් යනු සැමරිය යුතු අවස්ථාවන් වේ. බොහෝ ලේඛකයින් තමන් පොතක් ලියා ලබන ඒ ජයග්‍රහණය "පොත් එළිදැක්වීමේ උත්සව" හරහා සමරන්නේ ඒ අනුව ය.

මේ ආකරයේ එළිදැක්වීමේ උත්සව හැඳින්වීමට සඳහා "දොරට වැඩුම", "ජනගත කිරීම" යන පර්යාය පද ද යොදා ගනු ලැබේ.

පසුගිය දස වසරක පමණ කාලය තුළ, සාහිත්‍ය ලෝලියෙකු, රසිකයෙකු සහ සහෘදයෙකු ලෙස මම පොත් එළි දැක්වීමේ උත්සව විස්සකට පමණ සහභාගී වී ඇත්තෙමි. සිඩ්නි, මෙල්බර්න් සහ කොළඹ යන නගරවල දී පැවැත්වුණු, ඒ සමහර උත්සවවල දී අදාළ ලේඛකයා විසින් ලියන ලද, පොත් දෙකක් හෝ තුනක් එළිදැක්වුණු අවස්ථා ද විය.

ඒ සමහර උත්සව සඳහා මා සහභාගී වූයේ හුදු රසිකයෙකු හෝ සහෘදයෙකු ලෙස ය. එසේම, "ලූලා නැතිවලට බට කණයෙකු" සේ, උත්සව කිහිපයක දී ම, ආරාධිත දේශන පවත්වන්නට මට අවස්ථාව ලැබුණු අතර, මෑතක දී සිනුවර පැවැත්වූණු සිංහල පොත් එළිදැක්වීම් හැමෙකක දී ම පාහේ, උත්සවය මෙහෙයවන්නාගේ හෙවත් මගේ ම උදාහරණයකට අනුව "ආඳා ගේ භූමිකාව" රඟ දැක්වීමට ද මට අවස්ථාව ලැබුණි.

දීර්ඝ හැඳින්වීමක් ද සහිතව මේ සටහන ලිවීමේ අරමුණ වන්නේ මා තෙසතියට පෙර සහභාගී වූ එවැනි එක් පොත් එළිදැක්වීමක දී අත්දුටු සුවිශේෂී අසිරිය පිළිබඳව මගේ අවංක අදහස් සයිබර් අවකාශයට මුදාහැරීමට ය.


මෙන්න මූලික විස්තරය ලුහුඬින්.

මේ උත්සවය පැවැත්වුණේ 2018 ජූලි මස විසිවෙනි සිකුරාදා සන්ධ්‍යායාමයේ දී, සිනුවර තදාසන්නයේ රෝඩ්ස් හි දී ය.

එහි දී "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වයක් ම එළිදක්වන්නට යෙදුණි.

ඒ කෘති ද්වය සිනුවර ලේඛිකා ප්‍රිසිලා ගොඩහේවා නම් ලේඛිකාව ගේ නිර්මාණ විය.

ඒ පොත් එළිදැක්වීමේ වැඩකටයුතු මෙහෙයවීමේ අවස්ථාව මට හිමි වී තිබුණි.


දැන් මෙන්න තරමක පසුබිම් විස්තරයක්.

දැන් දශක තුනක පමණ කාලයක් තිස්සේ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ වාසය කරන අපේ සිංහල ප්‍රජාවේ සංස්කෘතිමය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රශංසනීය සේවාවක් ඉටු කරන සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධව ලේඛක සංසදයක් මීට වසර නමයකට පමණ පෙර ආරම්භ කරන ලදී. ඒ සංසදය පිහිටුවීමේ මූලික අරමුණු වූයේ පොදුවේ ඕස්ට්‍රේලියාව තුළත්, සුවිශේෂීව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළත් සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීම සහ සිංහල ලේඛකයින්ට ඔවුන්ගේ ලේඛක කටයුතු සඳහා අත්වැලක් සැපයීමයි. මේ අනගි කටයුත්ත සඳහා මූලිකත්වය ගත්තේ එවකට සිංහල සංස්කෘතික හමුවේ මාධ්‍ය අංශය භාර උප සභාපති වූ සිසිල් ෆොන්සේකා සහ සිංහල සංස්කෘතික හමුවේ සභාපති ලෙස කටයුතු කළ සමන් මහානාම දිසානායක බව ද සඳහන් කළ යුතු ය. විශේෂයෙන් ම සිඩ්නි නගරාශ්‍රිතව වාසය කරන ග්‍රන්ථ ලියා පළ කර ඇති සහ වෙනත් විවිධාකාර ලිපි ලේඛන ලියා ඇති ලේඛකයින් සෑහෙන පිරිසක් ද, ලේඛන කටයුතු සඳහා උනන්දුවක් දක්වන පිරිසක් ද මේ සංසදයට එක්වූහ.

"නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය" ලෙසින් හැඳින්වෙන එම සංවිධානය විසින් පසුගිය වසර නමයක පමණ කාලයක් තිස්සේ කරන ලද සියලුම කර්තව්‍යයන් ලේඛනගත කිරීම මේ සටහනේ අරමුණ නොවන නිසා, අපට වැදගත් එක් කාරණයක් පමණක් පවසමි. එනම්, ලේඛක සංසදය විසින් පසුගිය කාලය තුළ අපේ සාමාජික ලේඛකයින් විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සව රාශියක් ම සංවිධානය කළ බවයි.

මට "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වයේ රචිකාවිය වන ප්‍රිසිලා ගොඩහේවා මුණ ගැසුණේ ඒ ලේඛක සංසදය නිසා ය. එසේ ම, ඇගේ පොත් එළිදැක්වීමේ උත්සවයේ වැඩකටයුතු මෙහෙයවීමට මට අවස්ථාව ලැබුණේ ද ඒ නිසා ම ය. ඒ අවස්ථාවේ දී ලේඛිකාව පිළිබඳවත්, ඇය රචනා කර ඇති ග්‍රන්ථ පිළිබඳවත් තම අදහස් දැක්වූ ෂෙල්ටන් පීරිස්, සිසිල් ෆොන්සේකා සහ පාලිත ගනේවත්ත දේශකයින් තිදෙනා ද අපේ ලේඛක සංසදයේ ක්‍රියාකාරිකයෝ වෙති.

මා සහභාගී වී ඇති අන් පොත් එළිදැක්වීමේ උත්සව සමග සසඳා බලන කළ පසුගිය දා පැවැත්වුණු ප්‍රිසිලා ගොඩහේවාගේ මේ උත්සවය සුවිශේෂී එකක් ම වේ. ඒ පහත විස්තර කෙරෙන කාරණා නිසා ය.

මා රසිකයෙකු, සහෘදයෙකු, ආරාධිත දේශකයෙකු හෝ වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස මෙතෙක් සහභාගී වී ඇති සිඩ්නි සහ මෙල්බර්න් නගරවල පැවැති පොත් එළිදැක්වීම් පහළොවම, එකක් නෑර, ලේඛකයින් ගේ, එනම් පිරිමින් ගේ, කෘති සම්බන්ධ උත්සව විය. මේ මා දන්නා පරිදි සිඩ්නි නගරයේ දී නම්, ලේඛිකාවකගේ සිංහල කෘතියක් එළිදැක්වුණු ප්‍රථම අවස්ථාවයි. එනිසා ම මේ උත්සවය ඓතිහාසික වැදගත්කමකින් යුතු, සිඩ්නි සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතුය.

එසේ ම, ප්‍රිසිලා ගොඩහේවා, තමා රචනා කළ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වය එදා එළිදැක්වූයේ ඇගේ ජීවිතයේ තවත් සන්ධිස්ථානයක්වන ජීවන මගේ පනස්වරක් ගතවීම සැමරීම පිණිස, ඒ ජන්ම සංවත්සර උත්සවය හා සමගාමීව වීම ද සුවිශේෂී කාරණයකි. මේ ආකාරයට තම පනස්වෙනි ජන්ම දිනය සැමරීම සඳහා තමා ලියූ පොතක් එළි දැක්වීම ද සැම අයෙකුටම කළ නොහැකි සුවිශේෂී කාර්යයක් ම වේ!

"ජැෆ්නාදරය සහ ගිමන් හරිමි" නමින් නවකතා ද්වය පිළිබඳව ද කිවයුතු සුවිශේෂී කරුණක් ඇත. මේ නවකතා දෙකම, මුලින් සිංහල භාෂාවෙන් ලියා පසුව වෘත්තීමය භාෂා පරිවර්තකයෙකු විසින් ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කරන ලදුව, එකම ග්‍රන්ථයේ ද්විභාෂා කෘතියක් ලෙස පළ කර තිබීමයි. මා වෙනත් භාෂාවලින් ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කළ කෘති ද, ඉංග්ලිෂ් භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන ලද කෘති ද කොතෙකුත් දැක ඇතත්, එකම ග්‍රන්ථයේ මුල් කෘතිය ද, එහි පරිවර්තනය ද, භාෂා දෙකකින් මුද්‍රණය වූ ප්‍රබන්ධයක් මීට පෙර දැක නැත. මෙය සිංහල සාහිත්‍යයේ නවතම පෙරළියක් ලෙස මම දකිමි.

"ජැෆ්නාදරය සහ ගිමන් හරිමි" නමින් නවකතා ද්වය කියවා අවසන් කළ පසු ඒ කෘති පිළිබඳව විවරණයක් ලිවීමට ද අදහස් කරමි.

ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් අතින් තවත් පොත් ලියවේවා, කෙමෙන් කෙමෙන් පුළුල්වන විගාමික සිංහල සාහිත්‍යය තව තවත් වර්ධනය වේවා, මේ ආකාරයේ පොත් එළිදැක්වීම් විශාල සංඛ්‍යාවකට සහභාගීවන්නට අපට අවස්ථාව ලැබේවා යනුවෙන් කෙරෙන ප්‍රාර්ථනා සමගින්,

සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පාදනය කරන ලද, ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් විසිතුන් දෙනෙකුගේ නිර්මාණ රැගත් කෙටිකතා එකතුවක් ඔසී රටේ අපේ කතා නමින් දැන් මුද්‍රණය වී ශ්‍රී ලංකාවේ නිකුත් වී ඇති බව ද,

ඒ ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දී එළි දැක්වීමේ උත්සවය අගෝස්තු 17 සිකුරාදා සවස 300 ට කොළඹ විශ්වවිද්‍යාලයේ ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව ද,

ග්‍රන්ථයේ ඕස්ට්‍රේලියානු දොරට වැඩුම සැප්තැම්බරයේ දී පමණ පැවැත්විය හැකි වෙනු ඇති බව ද පවසමින් මේ සටහන අවසන් කරමි.

-රසික සූරියආරච්චි

(images: Book covers - Susantha Moonamalpe, Photos - Roy Gunaratne)

Thursday, 2 August 2018

මහින්ද දේශප්‍රිය සහ 2020 ජනාධිපති ඡන්දය - When you have low expectations you can be happy forever!


කලක් මැතිවරණ කොමසාරිස් ලෙස කටයුතු කර දැන් මා සිතන විදිහට මැතිවරණ කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන මහින්ද දේශප්‍රිය 2020 ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වේද නොවේද කියා සාකච්ඡාවක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සමාජ කණ්ඩායම් අතර ඇති වී තිබේ.

මේ පිළිබඳව ෆේස්බුක් හි පළවුණු ලිපියකට මා ලියූ කමෙන්ටුවක් හිතුවාට වඩා දිගු වුණු නිසා එය මෙලෙස රසිකලොජි සටහනක් ලෙස පළ කිරීමට සිත් විය.

යම්කිසි තනතුරක් දරන්නෙක් අවංකව ම තමන්ගේ රාජකාරිය කිරීම සාමාන්‍ය තත්ත්වයයි. නමුත් බොහෝ දෙනා තමන්ගේ රාජකාරිය හරිහැටි ඉටු නොකිරීම සහ විවිධ දූෂණ යනාදිය කිරීම නිසා සාමාන්‍ය පරිදි රාජකාරිය කරන අය සුවිශේෂි තත්ත්වයට පත්වී ඇත.

මෙය සමස්තයක් ලෙස ආණ්ඩු සඳහා ද අදාළ වේ. උදාහරණයක් ලෙස වරෙක යම් ස්වභාවික විපතින් පසු ආණ්ඩුවක් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව පැසසුම් කරමින් කතා කළ මිතුරෙකුට මා කීවේ "යකෝ, ආණ්ඩු තියෙන්නේ මේ වගේ අවස්ථාවල එවැනි කටයුතු කරන්න තමයි. එහෙම නොකිරීමයි වරද. මෙසේ වැඩ කටයුතු කිරීම අප බලාපොරොත්තු විය යුතු සාමාන්‍ය තත්ත්වය පමණයි" කියාය.

මහින්ද දේශප්‍රිය ගේ ජනප්‍රියත්වයට හේතුව එය යැයි සිතමි. එනම් තම රාජකාරි පැහැර හරින දූෂණ-වංචා වල යෙදෙන අලස නිලධාරි පැලැන්තිය හා සසදන කල ඔහු දෙයියෙකි. එසේම පුද්ගලිකව ඔහු දන්නා අඳුනන අය ලියා පළකර ඇති දේවලට අනුව ඔහු හොඳ ප්‍රිය මනාප පුද්ගලයෙක් බව ද පෙනේ.

මට වැටහෙන ආකාරයට රාජකාරිමය වශයෙන් මහින්ද දේශප්‍රිය ඉතා භයානක වරදක් කළේ ය. එනම් පසුගිය ජනාධිපති ඡන්දයේ දී හොර ඡන්දය දමන්නට එන අයව හිසට වෙඩි තබා මරා දැමිය යුතුයැයි ඔහු කළ තර්ජනාත්මක යෝජනාවයි.

හොර ඡන්ද දැමීම නීතියට අනුව වරදක් වුවත් ඒ සඳහා දඬුවම මරණ දණ්ඩනය නොවේ. එසේම දඬුවම් කළ යුත්තේ නිසි ප්‍රකාර නීති විධික්‍රමය අනුගමනය කිරීමෙන් පසු උසාවියකින් පමණි.

මා දන්නා පරිදි, ඡන්දය දීමට පැමිණෙන අයට වෙඩි තබා මරා දමන ලද්දේ එක්දහස් නවසිය අසූ නමයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හෙවත් ජනතා විමුක්ති පෙරමුණ විසිනි.

ඒ ඊනියා දේශප්‍රේමීන් ම සතුරන් හැඳින්වූයේ දේශද්‍රෝහීන් කියා ය.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඡන්දය දීමට පැමිණීමේ වරදට දඬුවම් ලෙස සේ මරා දමන ලද අයගේ සහ වෙනත් ඊනියා දේශද්‍රෝහී ක්‍රියා නිසා මරා දමන ලද අයගේ මළමිනි දණහිසට උඩින් ඉසිලිය නො යුතු බවට ද එකල නීති පනවන ලදී. අද යුගයේ දේශද්‍රෝහීන්ට ද ඒ ආකාරයෙන් දඬුවම් දී, මළමිනී සඳහා ද එම දණ්ඩනය ම පැනවිය යුතු බවට කමල් ගුණරත්න වැනි හිටපු මිලිටරිකරුවෙකු පසුගියදා කියූ බව ද මගේ මතකයට නැගේ.

වාසනාවකට මෙන් චනවල තේරුම සැලකූවිට දේශප්‍රිය යන්න දේශප්‍රේමී යන්නට වඩා හොඳ තත්ත්වයකි.

නමුත් අවාසනාවකට මෙන් මහින්ද දේශප්‍රිය ගේ ජනප්‍රියතාවයට එක් ප්‍රධාන හේතුවක් නම් ඔහු එදා කල ඒ "හොර ඡන්ද දමන්නට එන අයගේ හිසට වෙඩි තබා මරා දැමිය යුතුය" යන භයානක මිනීමරු යෝජනාවයි. මා හිතන විදියට මෙයින් පෙනීයන්නේ වත්මන් ලාංකික සමාජය පත් වී ඇති කණගාටුදායක තත්ත්වයයි.

කාට කියන්න ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
සම්පූර්ණයෙන්ම වොයිස් ටයිප් කර පළකරන ලද ලිපියකි. අතින් යෙදුවේ ඡේද බෙදීම සහ නැවතීම් ලකුණු වැනි දේ පමණි.

(image: https://m.facebook.com/story.php?story_fbid=10155750879011305&id=742746304)

Tuesday, 24 July 2018

කළු ජූලිය සහ ජවිපෙ - Thanks JVP


යම් කිසි පුද්ගලයෙකු හෝ සිදුවීමක් පිළිබඳ පුවත "ජාත්‍යයන්තරයට යෑමක්" ගැන අද සමහර මාධ්‍යවලින් ඇසේ. ඒ නිසා ම, ඒ යෙදුම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලවලට ද බෝ වී ඇත.

එසේ වුවත්, ජාත්‍යයන්තර යන වචනයේ අරුත ජාතීන් අතර යන්න නිසා, මේ ජාත්‍යයන්තරයට යෑම යනු නිවැරදි යෙදුමක් නොවන බව භාෂා විශාරදයින් ගේ මතයයි.

ජාත්‍යයන්තරයට යෑම යන්නෙන් අද අදහස් කෙරෙන කාරණයට සමාන තේරුමක් ගෙන ඒම සඳහා, අප දන්නා කාලයේ යෙදුණේ ලෝක ප්‍රසිද්ධ වීම යන්නයි.

සමහරු පවසන ආකාරයට ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ තේ නිසා ය. සමහරුන් පවසන්නේ මැණික් නිසා කියා ය.

රටේ වූ සිදුවීම් සම්බන්ධයෙන් ගත කල, සමහරුන්ට අනුව ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ 2009 දී ලෝකයේ කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානය යැයි පැවසෙන ඇල්ටීටීය පරාජය කිරීම නිසා ය. තවත් සමහරුන් පවසන්නේ ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධියට පත් කළ සිදුවීම වූයේ 2006 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම කියා යි.

නමුත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරට ගියේ එසේ නැති නම් රටේ සිදුවූ ලෝක ප්‍රසිද්ධියට කෙසේ වෙතත් ලෝක කූප්‍රසිද්ධියට පත් වූ සිදුවීම වූයේ රටේ නමට නොමැකෙන කළු පැල්ලමක් එක් කළ 1983 ජූලි ජාතිවාදී කලබලය බව මගේ අදහසයි.

මා මේ කෙටි සටහන ලියන්නේ ඒ කුරිරු ජාතිවාදී මිනීමැරුම්, මංකොල්ලකෑම් ගැන කතා කිරීමට නොව, ජූලි කලබලයේ අතුරු ඵලයක් ලෙස සිදුවුණු ජනතා විමුක්ති පෙරමුණේ තහනම සහ ඉන් කලකට පසු රටේ ඇති වුණු විනාශකාරී තත්වය ගැන මගේ අදහස ඉදිරිපත් කිරීමටයි.

ජූලි ජාතිවාදී ප්‍රහාරවලින් දින දෙකකට පමණ පසුව, එදා බලයේ සිටි විධායක ජනාධිපති ජේආර් ජයවර්දෙන කළේ ජනතා විමුක්ති පෙරමුණ ද, කේපී සිල්වා ලේකම් වූ ලංකා කොමියුනිස්ට් පක්‍ෂය ද, වාසු-බාහුගේ නව සමසමාජ පක්‍ෂය ද, ජාතිවාදී කෝලාහල මුවාවෙන් රාජ්‍ය බලය බලහත්කාරයෙන් ලබා ගැනීම සඳහා කුමන්ත්‍රණය කළේ ය යන භයානක චෝදනාව යටතේ තහනම් කිරීමයි. ඒ ඒ පක්‍ෂවල නායකයින් සිරභාරයට ගැනීමට නියෝග කරන ලදී.

මුලින් ම පොලිසියට භාර වූයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් ය. පැවැත්වුවා යැයි කියන ලද පරීක්‍ෂණයකින් පසුව ඔවුන්ව නිදහස් කර පක්‍ෂ තහනම ඉවත් කරන ලදී.

නව සම සමාජ පක්ෂයේ නායකයින් මාස කිහිපයක් සැඟවී සිට පසුව විජය කුමාරණතුංගගේ මැදිහත්වීම සහිතව එළියට පැමිණි පසු නිදහස් වූ අතර පක්‍ෂ තහනම ද ඉවත් කරන ලදී.

නමුත් 1983 ජූලියේ දී ම යටිබිම්ගත වූ ජවිපෙ නායකයින් පසුව ඔවුන්ව මරා දමන තෙක් ම එළියට ආවේ නැත.

ජූලි කලබලවලින් මද කලකට පසුව ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ චෝදනා යටතේ යම් දේශපාලන කණ්ඩායමකට විරුද්ධව නඩුවක් පැවරුණ ද, ඒ උඩුවරගේ හෙන්රි පෙරේර වැනි පිරිසක් සම්බන්ධව සිටි ජාත්‍යන්තරය තියා ලෝකල්බූවාලාවත් නොදන්නා කණ්ඩායමකට විරුද්ධව මිස ජනතා විමුක්ති පෙරමුණට හෝ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට හෝ නව සමසමාජ පක්‍ෂයට හෝ විරුද්ධව නොවේ!

ජූලි කලබල සම්බන්ධයෙන් හෝ ඒ අව්අස්සේ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයකට හෝ ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයක් නැති නම්, විජේවීර සහ ගමනායක වැනි අය හැංගී නොසිට එළියට නොඑන්නේ ඇයි දැයි මා දිනක් රංජිතන් ගුණරත්නම්ගෙන් විමසූ විට ඔහු කීවේ විජේවීර ඇතුළු ජවිපෙ නායකයින් එළියට ආවොත් ඔවුන්ව මරා දැමීමේ තර්ජනයක් ඇති බවයි.

කෙසේ වෙතත්, නීතිගරුකව එළියට පැමිණ තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කර නැවත දේශපාලනයේ යෙදෙනු වෙනුවට ජවිපෙ නායකයින් කළේ දිගින් දිගටම බිම් ගත ව සිටිමින්, උතුරේ අරගලයට විරුද්ධව බහුතර සිංහල ජනමතය දිනාගැනීම සඳහා මුලින් ජාතිවාදයට කප්පම් නොදෙනු, ජනතාවට අයිතීන් දෙනු වැනි සටන් පාඨ, උතුරේ ප්‍රශ්නයට විසඳුම කුමක් ද වැනි පොත්පත්, විජේවීරගේ පණිවිඩ රැගත් කැසට්පට නිකුත් කරමින් සිට පසුව 1987 ශ්‍රී ලංකා-ඉන්දියා සාම ගිවිසුමෙන් පසුව, බැංකු මංකොල්ලකෑම්, ටී-56 සහ ගල්කටස් සටනක් හරහා දස දහස් ගණනකගේ ජීවිත ද සමග විනාශය කරා යාමයි.

මා 1983 සිට 1989 දක්වා ලැබූ අත්දැකීම් මත ජවිපෙට ස්තුතිවන්ත වෙන එක් කාරණයක් තිබෙන බව ද කිව යුතු ය.

එය නම් රට, ජාතිය, මව්බිම, දේශප්‍රේමය වැනි වචන සටන්පාඨ ලෙස ඉදිරිපත් කරන දේශපාලන කණ්ඩායම් සැබැවින් ම අවස්ථාවාදී නරුම භ්‍රෂ්ඨයින් බව සක්සුදක් සේ ඔප්පු කිරීමයි.

එය 1990 සිට ගතවෙමින් තිබෙන පසුගිය දශක තුනක පමණ කාලයේ දී දියෙන් කිරී වෙන්කර හඳුනා ගැනීමට මට ඉතා ප්‍රයෝජනවත් විය.

-රසිකොලොජිස්ට්

Saturday, 30 June 2018

සිදත්ගෙ සිතුවිලි - Just before June ends


සිදත්ගෙ සිතුවිලි

කන්ථක අසු පිට දිවා කලේ
සිංහ සෙයින් ගම් දොර සැරිසැරුව ද
අයිතිය මට නොව යසෝදරාටයි

ඉස්සර කොච්චර ලං වී හිටියත්
කසාදයක් බැඳ ගත්තට පස්සේ
ඉඳහිට මිස මේ පැත්තෙ එන්නෙ නැහැ
චන්නගෙ මිතු දම දැන් වියැකීලා!

මහලු ලෙඩෙක් මල කඳක් දුටුවෙ නැති
දිනයක් නැහැ මගෙ මෑත මතකයේ
කලකිරෙන්න ඔය නිමිති ඕනැ ම ද?

රාහුල පැටියා පාසැල් යනවා!

කුරුල්ලෙක් වගේ පියාපත් සලා
සුළං හමන පැත්තට පියඹන්නට
රතී රඟාලගෙ නැටුම් බලන්නට
අබිනික්මන් පාරමී පුරයි සිත.

පසුම්බියේ රන් කහවණු ඇත්නම්
සුජාතලා ගේ කිරිපිඬු එමට ය.

පාත්තරේ උඩුගම් පා කෙරුවොත්
ආපහු මේ ගම් ඒම සිතනු බොරු!

අභිනිෂ්ක‍්‍රමනය කුමන පලක් දෝ්?

කඩතිර එල්ලූ යහන් ගැබේ සිට
සුරුඟුම් පෙන්වන ළඳුන් නොමැති මුත්
චිත්ත සමාධිය සමාපත්ති වී
සුපුරුදු කර කර්මයෙන් සතුටු වෙන්!


-රසික සූරියආරච්චි

ප/ලි:
මේ කවිය ලියවෙන්නට ඇත්තේ 1999 දී පමණ ය. ඉන් දශකයකට පමණ පසු 2008 නොවැම්බරයේ දී මුද්‍රණය වුණු "සිව් සිත් කව්" කාව්‍ය සංග්‍රහයට එය ඇතුළත් විය.

ප්‍රකාශනය: විදර්ශන
ISBN: 978-955-8033-12-7

Saturday, 12 May 2018

මැයි එකොළහ කළුවර රැයෙන් පසු කතාව - Aftermath of racial violence at Peradeniya University on 11 May 1983


මෙම ලිපියේ මුල් කොටසින් මා ඔබට කියූ කතාවේ සාරාංශය මෙසේ ය.

සුන්දර පේරාදෙණිය සරසවිය අසුන්දර කරමින්, බුද්ධිමතුන් පරයා මන්ද බුද්ධික ලා ද, සිංහයින් පරයා සිඟාලයින් ද රජ වූ 1983 මැයි 11 දින රාති‍්‍රයේ දී, ඉන් දෙමසකට පසු එළැඹීමට නියමිත කූප‍්‍රකට කළු ජූලියට පුරෝධාවකයක් සේ වෙමින්, සිංහල සිසුන් පිරිසක් විසින් දෙමළ සිසුන් පිරිසකට පහර දුන් බව සහ තම ආරක්‍ෂාව පතා දෙමළ සිසුන් ගම් බිම් කරා ගිය බවත් ය. මේ තිරශ්චීන සිදුවීම පිළිබඳව පසුව එළිදරව් වුණු කරුණු කිහිපයක් අද ඔබ හමුවේ දැක්වීමට මම අදහස් කරමි.

මේ දිනවල දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් වන අපට විශ්වවිද්‍යාලය තුළ නේවාසික පහසුකම නොලැබුණු නිසා අප නැවතී සිටියේ ඊරියගම නිවෙසකය. පසු දා, එනම් මැයි 12 දා, උදේ වරුවේ සුපුරුදු පරිදි විශ්වවිද්‍යාලය කරා පැමිණි අපට පෙර දින රාතී‍්‍ර සිදුවීම මාලාව සහ උද්ගත වී ඇති තත්වය සැකෙවින් දැන ගැනීමට ලැබුණි. ඉංජිනේරු පීඨයේ දෙමළ සිසුන් විශාල ප‍්‍රමාණයක් නිවෙස් බලා පිටත්ව ගොස් හෝ පිටත්ව යමින් සිටියහ.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ දූරදර්ශී නායකත්වය යටතේ වහා රැස් වූ ශිෂ්‍යයෝ, විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂාකාරී තත්වයක් උදාවී, තම සහෝදර දෙමළ සිසුන් ආපසු පැමිණෙන තුරු සියලූ අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටීමට තීරණය කළහ. අපට සති තුනක පමණ අනියම් නිවාඩුවක් ලැබුණි. මේ කාලයේ දී, අපේ ආචාර්ය මණ්ඩලයේ ද ආශිර්වාදය මේ තීරණයට ලැබුණු බව සඳහන් කළ යුතු ය.

එය එසේ වූවද, විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන්, විශේෂයෙන් ම මැයි 11 දින, ඊට පෙර හා පසු දින කිහිපය තුළ කි‍්‍රයාකර ඇත්තේ මීට හාත්පසින්ම වෙනස් ආකාරයකට බව මේ සිද්ධින් ඇසින් දුටු සාක්‍ෂිවලට අනුව පැහැදිලි වේ. දෙමළ සිසුන් ට පහර දීම එක්තරා අහඹු සිදුවීමක් නොව යම් මට්ටමක දී සැලසුම් කර මනා ලෙස මුදාහරින ලද්දක් බව ද ඔවුන් ඒ පහරදීම් සැලසුම් හෝ පහරදීම් පිළිබඳව හෝ කලින් දැනුවත්ව සිට ඇති බවට ද සැක ඇතිවේ. මුල් දිනයේ පහර දීමෙන් නොනැවතී, මැයි 12 සහ 13 දෙදින රාතී‍්‍ර කාලවල දී ද විශ්වවිද්‍යාලයෙන් බැහැර නොවී සිටි දෙමළ උපදේශකවරුන් කිහිප දෙනෙකුට පහර දීමට ද, මුල් දිනයේ පහරදීම් මෙහෙය වූ මැර සිසු නායකයින් ට ඉඩ ලැබුණේ ද මේ වගකිව යුතු ආචාර්යවරුන් ගේ කි‍්‍රයාකාරකම් හෝ කි‍්‍රයාවිරහිතභාවය නිසා ය.

මගේ මේ සටහනේ ඇතුළත් සිද්ධීන් පිළිබඳ විස්තර සඳහා පාදක වන්නේ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ (යාපනය) සංගමය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති විවිධ වාර්තා ය.

මැයි 11 රෑ පහරදීම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිල්ඩා ඔබේසේකර ශාලාවේ ද, ජේම්ස් පීරිස් ශාලාවේ ද, මාර්ස් ශාලාවේ ද එකම කාල පරාසයක දී ඇරඹිණ. හිල්ඩා ශාලාවේ දී මුලින්ම පහර දීමට ලක්වූවේ බාලසූරියන් නම් ඉංජිනේරු පීඨ පළමු වසරේ සිසුවෙකි. යකඩ පයිප්ප කැබලි සහ පුටු කකුල් වලින් සන්නද්ධ වූ සිංහල මැර සිසු පිරිසක් එදින රාති‍්‍රයේ ඔහු සොයා පැමිණියහ. පසුව ඔහුට පවසන ලද පරිදි ඔහුට විරුද්ධව තිබූ චෝදනාව වූයේ දෙමළ භාෂාවෙන් මුදි‍්‍රත විවිධ පොත් පති‍්‍රකා ඔහුට තැපෑලෙන් පැමිණීමයි. එනිසාම ඔහු එල්.ටී.ටී.ඊ. සැකකරුවෙක් විය. විශේෂයෙන්ම හිල්ඩා ඔබේසේකර ශාලාවේ එවකට ශාලාධිපති ධූරය දැරූ ආචාර්යවරයාට නම්, ඒ එක් සඟරාවක මුල් පිටුව සැරසූ චිත‍්‍රය ම බාලසූරියන් ගේ ත‍්‍රස්තවාදීකම ගැන තීරණාත්මක සාධකයක් විය. මෙම චිත‍්‍රය වනාහී අන් කිසිවක් නොව එවකට සාමය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රචාරක කටයුතු වලදී ජාත්‍යයන්තර ක්‍ෂමා සංවිධානය පවා භාවිතා කළ, කූඩුවක සිර කළ පරවියෙකු ගේ චිත‍්‍රයයි. කූඩුව තුළ හෝ පරවියාට ඉගිලෙන්නට නොහැකිවන ලෙස උගේ පාද යදමකින් විශාල යකඩ බෝලයකට සවිකර තිබේ. බාලසූරියන් මේ මුල් පිටුව සහිත සඟරාවේ සම සංස්කාරකයෙකු විය. මෙයට අමතරව ඒ වන විට කවියකු ලෙස ද තරමක ප‍්‍රසිද්ධියක් ලබා සිටි බාලසූරියන්, මේ ලිපි ලේඛන නිසා ම කොටියෙකු බවට පත්විය. ඒ අපේ තාත්තලා ගේ කාලයේ ඕනැම නිදහස් සමාජ සංශෝධන මතධාරියෙකු සමසමාජ කාරයෙකු ද, අපේ කාලයේ එවැන්නෙකු ජේ.වී.පී කාරයෙකු වූවා සේමය.

මෙහි උත්ප‍්‍රාසජනක සත්‍යය නම්, එවකට එල්.ටී.ටී.ඊ. යනාදී සන්නද්ධ සංවිධාන අනුගමනය කළ කි‍්‍රයාපටිපාටියට ප‍්‍රතිවිරුද්ධ වාමාංශික අදහස් දැරූ බාලසූරියන්, පසුව ජූලි කලබල වලින් පසු සිය ඉගෙනීම් කටයුතු තාවකාලිකව නැවතුණු කාලයේ දී පවා එකතු වූයේ වාමංශික දේශපාලනමය සංවිධානයකට වීමයි.

මැර සිසු නායකයින් සහ ඔවුන් ගේ උසි ගැන්වීමට අවනතවූ කණ්ඩායම පුටු කකුල් යනාදියෙන් බාලසූරියන් ට සෑහෙන වෙලාවක් පහර දුන් පසු, ඔහු වෙත පැමිණි ශාලාධිපති ඔහුව කාර්යාලයට රැගෙන ගොස් ඇත. බාලසූරියන් ට තැපෑලෙන් පැමිණි සහ ඔහුගේ කාමරයේ තිබූ පති‍්‍රකා, සඟරා යනාදියේ චිත‍්‍ර සහ කාටූන් පමණක් (මේ සඟරා යනාදිය දෙමළ භාෂාවෙන් පල වූ ඒවා ය) ඒ වන විටත් අධ්‍යයනය කර සිටි ශාලාධිපති, උප කුලපති ගේ ද අනුදැනුම ඇතුව මුලින් විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අංශයට ද, එතැනින් පොලිසියට ද භාර දුන්නේ ය. මෙම ප‍්‍රකාශන රහස් ප‍්‍රකාශන නොව ප‍්‍රසිද්ධ ප‍්‍රකාශන බවත් දෙමළ කියවීම දන්නා සහ බාලසූරියන්ව සඟරා සංස්කාරකවරයෙක් සහ කවියෙක් ලෙස හඳුනන සිවසේකරම් ඇතුළු විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ගේ ඉල්ලීම් ද නොතැකුනි. පහර කා සිටි බාලසූරියන්, පොලිසියේ ද, කූප‍්‍රකට හතරවන තට්ටුවේ ද සංග‍්‍රහ දින දෙකක් විඳ චෝදනා විරහිතව නිවෙසට ගියේ ය.

මෙම පහරදීම් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය සැකසීම සඳහා මැර සිසුවන් විසින් මුලින් ම උපයෝගී කොට ගත්තේ අපූරු නිමිත්තකි. මැයි 11 දින සවස් වරුවේ විශ්වවිද්‍යාලයට ඇතුළුවන ප‍්‍රධාන මාර්ගය අසල පිහිටුවා තිබූ පුවරුවේ සිංහල අකුරු උඩින් සිමෙන්ති වැනි උකු දියරයක් ගා තිබුණි. මෙය දෙමළ සිසුන් විසින් කරන ලද්දක් බවත්, ඔවුන් ට හොඳ පාඩමක් ඉගැන්විය යුතු බවත් මැර සිසු නායකයින් විසින් ප‍්‍රචාරය කරන ලදී. සරදමකට මෙන්, මෙය 1956 ශී‍්‍ර අකුරේ තාර ගෑ බවට සිදු කල ප‍්‍රචාර සහ ඉන් අනතුරුව මුදා හළ ප‍්‍රචණ්ඩත්වය සිහි ගන්වයි.

මා මුලින් සඳහන් කළ පරිදි, මැයි 11 රාති‍්‍රයේ දී, නේවාසිකාගාර තුනක දී දෙමළ සිසුන්ට පහර දෙන ලදී. විශ්වවිද්‍යාල බලධරයන් ගේ උදාසීනත්වය මෙම සිදුවීම් වලට වක‍්‍රාකාර අනුබලයක් දුන් අතර එය වඩාත් පැහැදිලි වන්නේ නිවෙස් කරා නොගොස් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල තනිකඩ ආචාර්යවරුන් සඳහා ඇති කාමරවල නැවතී සිටි ආචාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට 12 දා රාති‍්‍රයේ පහර දීමත්, ඉන් පසුදා විශ්වවිද්‍යාලයෙන් බාහිරව පිහිටා තිබෙන රෝහලේ දී ද මෙවැනි පහර දීම් සිදුවීමත් හේතුවෙනි. විද්‍යා පීඨයේ අවසන් වසර සිසුන් වූ, ප‍්‍රධාන මැර නායකයින් දෙදෙනා ගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අත්හිටුවීම පවා සිදුවූයේ මේ ප‍්‍රධාන පහරදීමෙන් සති තුනකටත් වඩා ගතවී, ඒ වන විට නැවත අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයට පැමිණ සිටි දෙමළ සිසුන් පිරිසකට මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් පහර දීමෙන් ද පසුව ය.

එදා මැයි 11 රාත‍්‍රියේ දී දෙමළ සිසුන්ට කළ පහර දීම, රටේ පාලයින්ගේ අනුදැනුම ඇතුව කාලයක් තිස්සේ සැලසුම් කර මුදා හළ ප‍්‍රචණ්ඩත්වයක් බවට සැක කිරීමට පැහැදිලි හේතු තිබේ. සමහර විට එය, ඉන් දෙමසකට පසුව රටපුරා මුදාහල ජාතිවාදී ප‍්‍රහාරයන් සඳහා කළ ලිට්මස් පරීක්ෂාවක් ද විය හැකිය.

පාලක එක්සත් ජාතික පක්ෂය හා එයට සම්බන්ධව විශ්විද්‍යාලය තුළ ක‍්‍රියාත්මක වූ සමවාදී ශිෂ්‍ය සංගමයේ ක‍්‍රියාකලාපය ඒ අනුව තීරණය කළ හැකි වුවත්, අප පුදුමයට පත් කළ කාරණයක් වූයේ එවකට පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ බලයේ සිටි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය මේ පහරදීම් පිළිබඳව දැක්වූ නිෂ්ක‍්‍රිය ආකල්පයයි.

දෙමළ සිසුන් ආපසු විශ්වවිද්‍යාල භූමියට එනතුරු පන්ති වර්ජනයක නිරතවූයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පමණි. සිංහල, දෙමළ සහ සියලූ සිසුන්ට පොදු දේශන සහිත පාඨමාලා පැවැත්වුණු වෛද්‍ය, කෘෂි විද්‍යා, පශු වෛද්‍ය වැනි පීඨවල ද එවැනි පියවරක් ගැනීමට කිසිදු යෝජනාවක් හෝ මහා ශිෂ්‍ය සංගමයෙන් ඉදිරිපත්වූයේ නැත. ඔවුන් මුනිවත රුක්කහ.

ජනතා විමුක්ති පෙරමුණේ ඒ නිහඬතාවය කුමක් නිසාදැයි අපට හෙළිවූයේ ජාතිවාදී සටන් පාඨ සහිතව ඔවුන් 1984 දී යටිබිම්ගතව සිටිමින් මුදාහල ප‍්‍රචාරක ව්‍යාපාරයයි.

මේ පහරදීම් ගැන සොයන්නට සුපුරුදු පරිදි කමිටුවක් පත්කරන ලදී. කෙනත් ලැනරෝල් ගේ සභාපතිත්වයෙන් සහ කල්නායිඩු හා ඒකනායක ගේ සාමාජිකත්වයෙන් සැදුම් ලත් කමිටු වාර්තාව කියවූ පිරිස ගේ ප‍්‍රසංසාවට ලක්වුණ ද විශ්වවිද්‍යාල බලධාරීන් විසින් කිසි දිනක ප‍්‍රසිද්ධියේ එළිදක්වන නොලදී. මෙම වාර්තාව උපුටා දක්වන මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ වාර්තාව පවසන්නේ පේරාදෙණියේ මේ සිදුවීම් මාලාව හුදෙකලා අහඹු සිදුවීමක් නොව රටේ දේශපාලන අවශ්‍යතාවයක් මත ඇති කරන ලද්දක් බවයි.

ලැනරෝල් වාර්තාවෙන් නම් කල මැරයන් සහ මැර සිසුවන් 18 ක් දෙනාට ලබා දුන් දඬුවමක් නම් මගේ මතකයේ නැත. මෙයින් වැඩි දෙනා රටේ පාලක දේශපාලන පක්‍ෂයට කෙළින්ම හෝ අනියම් ව හෝ සම්බන්ධතා තිබුණු අය බව ද කියවේ. මේ පිරිසෙන් 17 දෙනෙක් ම වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය සහ විද්‍යා සිසුන් වීම ද විශේෂයකි. විශ්වවිද්‍යාල උගතුන් ගේ බුද්ධිමත් කම ගැන තවත් අවශ්‍ය කවර නම් සාධක ද? තුලසි වික්‍රමසිංහ නම් එයින් එක් මැර නායකයෙක් පසු කලෙක අයින්ස්ටයින් ගේ සාපේක්‍ෂතාවාදය ගැන විශ්වවිද්‍යාල දේශකයෙක් විය. උගත්කම හා බුද්ධිමත්කම අතර ඇති හීන සහසම්බන්ධතාවය ගැන ඔහු හොඳම උදාහරණයැයි මම සිතමි.

කම්මල යැයි ආදරයෙන් හැඳින්වුණු මා උගත් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ තෝතැන්න වූයේ අපේ කලා කවයේ බිත්ති සඟරාවයි. මැයි 11 කළුවර රැයෙන් ටික දිනකට පසුව එහි පළ වූ කවකින් කියවුණේ එවර විශ්වවිද්‍යාලයේ වෙසක් සැරසිලි වලින් ඉස්මතු වන නව අරුතක් ගැනයි. වෙනත් රටක වෙනත් ජාතිකයෙකු වූ බුදුන් ගේ ලේ වෙනත් පාටක් දැයි එමගින් අසා තිබුණේ ජාතිවාදයේ නිෂ්ඵල බව කියා පෑමටය. මෙම නිසඳැස් කවිය හෙන්රි වර්ණකුලසූරිය ගේ නිර්මාණයක් විය.

අපේ පීඨයේම අඩු වශයෙන් එක් අයෙක් මෙයින් කිපුණි. ඔහු ඊළඟ කලාපයට පිළිතුරක් එවීය. එය පිළිතුරකටත් වඩා වස් කවියක් බව සමහරෙකු ගේ අදහස විය.

හෙන්රි වර්ණකුලසූරිය ද ප්‍රතිපිළිතුරක් ලියූ නමුත්, ශිෂ්‍ය සටන්, උපවාස සහ ප‍්‍රාණ ඇපකරුවන් මැද විශ්වවිද්‍යාලය වැසී ගියෙන් කවි සටන එයින් නැවතුණි.

ඉන් පසුව එළැඹියේ කූප‍්‍රකට කළු ජූලියයි!

-රසික සූරියආරච්චි

ප/ලි:
ලිපියේ මුල් කොටසට පිවිසුම
http://rasikalogy.blogspot.com/2018/05/ten-weeks-before-black-july-1983.html

(image: https://www.flickr.com/photos/55560337@N06/5147525341/)

Friday, 11 May 2018

මැයි එකොළහ කළුවර රෑ - Ten weeks before black July 1983




වර්ෂ 1983 පිළිබඳව සිහි කෙරෙන විට නිතැනින් ම අපේ මතකයට එන්නේ දකුණේ ජාතිවාදී කලබල ඇති වූ 1983 කළු ජූලියයි. ඒත් ඒ කූප‍්‍රකට කළු ජූලියට දෙමසකට කලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ඇති වූ ජාතිවාදී කලබලය ගැන දන්නේ රටේ ජනතාවගෙන් ඉතා අඩු ප‍්‍රතිශතයකි. මේ සටහන ඒ පිළිබඳව ය.

විභාග සමත් කළ හැකි උගතුන් වූ පමණින් ම කිසිවකු බුද්ධිමතෙකු නොවන බව අප කවුරුත් අසා පුරුදු කියමනකි. අහන්නන් වාලේ මෙය අසා තිබෙන නිසා ම අදහනු වෙනුවට එහි නිවරද තේරුම අත්දැකුමෙන් ම මනා ලෙස අවබෝධ කරගන්නට අවශ්‍ය නම්, ඒ සඳහා ඇති ප‍්‍රත්‍යක්‍ෂතම මාර්ගය වන්නේ උසස් පෙළ විභාගය සමත් වී ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල වලට ඇතුළත් වන පිරිස් පිළිබඳ සමාජ සමීක්‍ෂණයක් කර බැලීමයි. ඉහත කියමන සනාථ කරවන උදාහරණ සපයන්නෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පමණක් නොවේ. එහි ඇදුරෝ ද, තම සැබෑ බුද්ධි මට්ටම ප‍්‍රදර්ශනයේ ලා අති දක්‍ෂයෝ ය.

මේ නිසා ම විශ්වවිද්‍යාලීය සමාජය, රටේ පොදු සමාජයේ නිවරැදි පැතිකඩක් නිරූපණය කෙරේ යැයි ඉඳුරාම කිව හැකි වේ. බුද්ධිමත්හු මෙන් ම මන්දබුද්ධිකලා ද, ඥානවන්තයෝ මෙන් ම මහදැණමුත්තෝ ද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෝ මෙන් ම සියල්ල දත්තෝ ද, ඒ සමගම සිංහයෝ මෙන් ම සිංහ වෙස්ගත් සිඟාලයෝ ද රටේ ප‍්‍රතිශතයන් ට නොඅඩුව විශ්වවිද්‍යාලවල ද වෙසෙති. ඉදින්, රටේ කෙරෙන නොපනත්කම් ඒ අයුරින් ම විශ්වවිද්‍යාලය තුළ ද සිදුවීම අරුමයක් නොවේ. එසේම, විශ්වවිද්‍යාලයේ සිටින්නන් විභාග සමත් වූවන් වන නිසා, සමහර විට රටේ යම් නොපනත් කමක් වීමට පෙරාතුව ම එය කිරීමට සහ හැකිනම් එය ඊටත් වඩා තිරශ්චීන ලෙසින් කිරීමට, ඔවුන් සමත් වනු ඇත.

මේ දිගු හැඳින්වීමත් සමගම මා සැරසෙන්නේ, 1983 කළු ජුලියට පුරෝධාවකයක් වෙමින් ඊට මාස දෙක හමාරකට පෙර, මැයි 11 දින, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවූ අශෝභන, තිරශ්චීන සිදුවීම් කිහිපයක් සහ ඒ සම්බන්ධ වෙනත් කරුණු, මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නන් ගේ දැන ගැනීම පිණිස සටහන් කිරීමටයි.

අවට පරිසරය, තුරු ලතා, ගොඩනැගිලි යනාදිය ගැන සලකන කල පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල අතර අසමසම වේ. එයට තවත් හේතුවක් වන්නේ, පේරාදෙණිය නේවාසික විශ්වවිද්‍යාලයක් වීමයි. උතුර, දකුණ, වම, දකුණ යනාදී රටේ සෑම දිශාවකින් ම පැමිණි ශිෂ්‍යයෝ, වචනයේ සැබෑ අරුතෙන් ම එක හැලියේ බත් කමින් තුන් හතර වසරක් මෙහි ජීවත්වෙති. ඔවුන් ගේ වාසය සඳහා අරුණාචලම්, රාමනාදන්, හිල්ඩා ඔබේසේකර, අක්බාර්-නෙල් යනාදී පුද්ගල නාමයෙන් නාමාභිෂේක කොට තිබූ, නේවාසිකාගාර ශාලා යනුවෙන් පොදුවේ හැඳින්වෙන සුවිසල් මහල් ප‍්‍රාසාද තනවා තිබේ. ඒවා ද, ඊට අමතරව ගොඩනගා තිබෙන සනාතන මන්දිරය ඇතුළු වෙනත් පොදුකාර්ය විශ්වවිද්‍යාල ගොඩනැගිලි ද, පීඨ ගොඩනැගිලි සංකීර්ණයන් ද යනාදිය, ඓතිහාසික සිංහල ගෘහ නිර්මාණ ලක්‍ෂණයන් විදහා දක්වන පරිදි මනා නිමැවුමකින් යුතුව සාදන්නට හැකිවී ඇත්තේ කොරියන් යුද්ධයේ අතුරු ඵලයක් ලෙසින් රබර් මිල ඉහළ යාම නිසා ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය සවිමත්ව තිබූ සමයක එවකට කොළඹ තිබූ ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙනියන්නට පිඹුරුපත් සැකසුණු නිසා බව කියවේ.

පරිසරයේ සොඳුරු බව කෙසේ වූව ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ජීවිතය නම් දුෂ්කර වූ ද, කටුක වූ ද එකක් බව නන්දා මාලිනිය ගැයූ සුනිල් ආරියරත්න ගේ "හන්තාන අඩවියේ - පේ‍්‍රමයේ සුවඳ නොවේ" පදමාලාවෙන් මොනවට කියැවේ.

පුරා සිව් වසරක් ඒ හන්තාන අඩවියේ මා ගත කළ දිවියෙන් මගේ ජීවිතයට වූ යහපත කුමක්දැයි කිසිවෙකු මගෙන් විමසුව හොත් මා දෙන උපහාසාත්මක පිළිතුර නම්, ඒ වෙන කිසිවක් නොව අක්බාර්-නෙල් ශාලාවේ භෝජනාගාරයෙන් කොළ ගෝවා මැල්ලූම, මුං ඇට හොදි සහ මස් බොර සමග ලොකු ඇට හාලේ බත් රස ගුණ නොබලා ගිල දැමීම නිසා දශක දෙකකට පසුවත් අදත් මට ඕනෑම කුණු ගොඩක් ගිල නොවමාරා දිරවා ගන්නට ඇති හැකියාව බවයි.

ඒ සරදම් කෙසේ වෙතත්, මගේ පේරාදෙණිය සිව් වසරක ජීවිතයෙන් මා ලැබූ වටිනාම අත්දැකුම වන්නේ උතුරෙන්, නැගෙනහිරෙන් පැමිණි දෙමළ සිසුන් ඇසුරු කිරීමට ලැබීමයි. අපේ ඉංජිනේරු පීඨ කණ්ඩායමේ දළ වශයෙන්, සිංහල සිසුන් 125 ක් පමණ ද, දෙමළ සිසුන් 100 ක් පමණද, මුස්ලිම් සිසුන් 25 ක් පමණ ද වූහ. ඒ දෙමළ, මුස්ලිම් සිසුවෝ ද මා කලින් සඳහන් කළ ලොකු ඇට හාලේ බත්, ගෝවා කොළ මැල්ලූම සමග කෑහ. එසේ හෙයින්, අප වචනයේ අර්ථ පරිසමාප්තාර්ථයෙන් ම එක හැලියේ බත් කෑ අය වෙමු. මේ නම් මා මහත් භාග්‍යයක් කොට සලකන සුවිශේෂ වූ අත්දැමීමක් ම විය. එය මා පාසැල් සමයේ දී සිංහලෙන් කතා කළ බෞද්ධ දෙමළ සිසුවෙකු වූ සෙල්වකුමාර් සමග කළ ඇසුරෙන් ලද අත්දැකීම් වලට වඩා සැම අතින්ම වෙනස් එකක් විය.

උතුරු-නැගෙනහිරෙන් පැමිණෙන සිසුවෝ අති මහත් බහුතරයක් සිංහල බස ලිවීම, කියවීම හෝ කතා කිරීම හෝ හසරක් නොමදැන පේරාදෙණියට පැමිණෙති. සමස්ත සිංහල සිසු පිරිසම එලෙස ම දෙමළ බස ලිවීම, කියවීම හෝ කතා කිරීම හෝ හසරක් නොමදැන එහි පැමිණෙති. අපේ සන්ධාන භාෂාව වන්නේ, පිඨයේ උපදේශක භාෂාව ද වන ඉංග්ලිෂ් ය. පේරාදෙණියේ වාසය කිරීමට ලිවීම කෙසේ වෙතත්, සිංහල තරමක් කතා කරන්නටත්, බස් රථ පුවරුවක් වත් කියවා ගන්නට හැකි තරමට සිංහල කියවීමේ දැනුමකුත් අවශ්‍යවේ. නවක සිසුන් සැම දෙන සඳහා ඉංග්ලිෂ් කඩිනම් පාඨමාලා පැවැත්වෙන අතර ක‍්‍රමවත් වැඩ පිළිවෙළක් නොතිබුණ ද නවක දෙමළ සිසුන් ට ජ්‍යෙෂ්ඨ දෙමළ සිසුන් විසින් කඩිනම් සිංහල කතාබහ පාඨමාලා සංවිධානය කෙරේ. මේ අතර තුර සිංහල දෙමළ සිසුන් දෙපිරිස අතර කතාබහ, මුල දී කණ්ඩායම් පැවරුම් විද්‍යාගාර කි‍්‍රයාකාරකම් වැනි අත්‍යාවශ්‍ය අධ්‍යාපනික කරුණු අරභයා ද, පසුව ඊට අමතරව විහිළු තහළු සහ අනෙකුත් සමාජමය කරුණු අරඹයා ද, බැරි බැරි ගාතේ ඉංග්ලිෂ්වලින් පටන්ගෙන පසුව ඉංග්ලිෂ්වලින් සහ හැකි පරිදි සිංහලෙන් ද සිදුවීම ඇරඹේ. මේ හේතුවෙන් දෙපිරිස අතර අනෝන්‍ය අවබෝධයක් මෙන්ම සුහදතාවක් ද ඇතිවේ. මෙය නම් වෙන කිසි තැනෙක නොලැබෙන සැබෑ භාග්‍යයකි.

අපේ පිඨයේ වැඩි ශිෂ්‍ය දේශපාලනයක් නොතිබුණි. ඒ කෙසේ වෙතත්, දෙමළ සිසුන් මේ අරභයා අනුගමනය කළේ නිශ්කී‍්‍රය පිළිවෙතකි. එයට හේතුව සරලය. අපේ තාත්තලා ගේ කාලයේ යම් ප‍්‍රගතිශීලි අදහසක් දැරුවෙක් වෙත්නම් ඔහු සමසමාජ කාරයෙක් සේ හංවඩු ගැහුණා සේම, අපේ කාලයේ යම් සමාජ ප‍්‍රතිගාමී කි‍්‍රයාවන් ට විරෝධතාවයක් දැක්වූයෙක් වූයේ නම් ඔහු ජේවීපී කාරයෙක් වූවා සේ ම, එවැන්නෙක් දෙමළ වූයේ නම්, ඒ 1983 ජූලියට පෙර සමයේ පවා ඔහු එල්ටීටීඊ කාරයෙක් බවට සැකයට භාජනය වන්නට ඉඩ තිබුණු බව දෙමළ සිසුන් හොඳින් දැන සිටින්නට ඇත. පසුව මා විස්තර කරන්නට අදහස් කරණ පරිදි සිදුවුණේ ද එයයි.

අප ඒ සුන්දර පේරාදෙණිය පරිසරයේ, අන්තර් ජනවාර්ගික සාමකාමී සහජීවනයේ යෙදෙමින් සිටි මේ සමයේ උතුරේ සටන, එහි මුලික හේතුව වූ ජනවාර්ගික ප‍්‍රශ්නය යටපත් කරමින්, බිම්බෝම්බ රැගත් දෙමළ ත‍්‍රස්තවාදයෙන් ද, පුස්තකාල ගිනිතැබීම්, අතුරුදහන් වීම් යනාදිය පෙරටු කොට ගත් රාජ්‍ය ත‍්‍රස්තවාදයෙන් ද, ඉන්ධන ලබමින් හොඳින් ගිනිගන්නට පටන් ගෙන තිබුණි. මෙසේ කාලය ගත වෙද්දී, මගේ මේ ලිපියට උදෘත වී ඇති මැයි 11 දිනය උදාවිය.

බුද්ධිමතුන් පරදා මන්දබුද්ධික ලා රජ වූහ. ඥානවන්තයන් වෙනුවට මහදැනමුත්තෝ උපදේශක ලා වූහ. සිංහයන් වෙනුවට සිංහ වෙස්ගත් සිඟාලයින් පෙරට ආහ. සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංහතියටම නින්දා කෙරිණ. පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉතිහාසයේ නොමැකෙන කැළලක් ඇතිවිය. සැලසුම් සහගතව කෙරුණා යැයි සැක සිතෙන තරමට සුක්‍ෂම ලෙස කුඩා පිරිසක් විසින් අරඹන ලදුව, ඔවුන් ගේ උසිගැන්වීමෙන්, සිංහල සිසුවෝ පිරිසක් විසින් දෙමළ සිසුන් කිහිපදෙනෙකුට පහර දුන්නෝ ය. නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගෙන පොලීසියට භාර දුන්නෝ ය. මැයි එකොළහ රැය කෑලි කැපිය හැකි ඝනදුරෙන් යුතු තිත්ත කළුවර රැයක් විය.

මෙහි දී කැපී පෙනෙන සිදුවීමක් වූයේ, මේ තිරශ්චීන සිදුවීම් මාලාව ගැන, සාක්‍ෂි මත පදනම්ව, ලියවී ඇති ලිපිවලට අනුව, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ට නිසි මග පෙන්වීමට සිටි ආචාර්ය මහාචාර්යවරුන් ඇතමෙක්, එසේ උපදෙස් දීම කෙසේ වෙතත්, මේ අමානුෂික කි‍්‍රයාවලට වක‍්‍රාකාරයෙන් හෝ සහය දීමයි.

තම ආරක්‍ෂාව පිළිබඳ බැරෑරුම් ප‍්‍රශ්න මතුවීම නිසා බියට පත් දෙමළ සිසුවෝ පසුවදා ම විශ්ව විද්‍යාලය අතරහැර තම ගම් බිම් බලා ගියහ.

මැයි එකොළහ කළුවර රෑ ආමනුෂික සිද්ධීන් පිළිබද වැඩි විස්තර මා මේ සටහනේ දෙවන කොටසෙන් ඉදිරිපත් කිරීමට අදහස් කරමි. මේ සිද්ධීන් හා සම්බන්ධයෙන් එතෙක් කිව යුතු ධනාත්මක කරුණු දෙකක් ඇත.

මින් පළමුවැන්න නම්, නිවෙස් බලා ගිය තම දෙමළ සගයින් ගේ ආරක්‍ෂාව තහවුරු වී ඔවුන් යළි විශ්ව විද්‍යාලයට පැමිණෙන තෙක් ම, ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ පැසසුම් සහගත දුරදර්ශී නායකත්වය යටතේ, ඉංජිනේරු සිසුන් දේශන සහ අනෙකුත් අධ්‍යාපන කටයූතු වලට සහභාගී වීමෙන් වැළකී සිටි බවයි. උගතුන් අතර බුද්ධිමතුන් ද, මහදැනමුත්තන් අතර ඥානවන්තයින් ද සිටිනා බව මට පසක් විය.

දෙවැන්න නම්, එදා දෙමළ සිසුන්ට අඩන්තේට්ටම් කිරීමට ගිය මැරයන් ගැයූවායැයි පැවසුණු "කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන නැගෙනූ" යනාදී ජාතිවාදීන්ට උඩ ගෙඩි සැපයෙන ගීත නිර්මාණයෙන් සුනිල් ආරියරත්නයෝ ද, නන්දා මාලිනිය ද ඉන් පසු සහමුලින් ම පාහේ වැළකුණු බවයි. ඔහු ඉන් පසු ලියූවේ, ඇය ඉන්පසු ගැයූවේ, "උරය පලා සැතකින් බලන් රුහිරූ, එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ" වැනි ගීත ය.

මින් මාස දෙකහමාරක් ගතවෙන්නටත් පෙරාතුව කූප‍්‍රකට කළු ජූලිය එළැඹිණ. ඒ නරුම දේශපාලන ප‍්‍රවාහය මදක් අත් විඳ සැලීගිය සිතකින් යුතුව මා ලියූ පහත කවෙන් මේ මැයි එකොළහ කළුවර රෑ ලිපියේ පළමුවන කොටස අවසන් කරමි.

ජාතිවාදයේ බිරුසන් හඬ මැද
සමාජවාදය සැඟවී ගිය සඳ
සහෝදරත්වයෙ සළුපට ගිලිහිණ
අමානුෂිකත්වයෙ නිරුවත හෙළිවින!

"මැයි එකොළහ කළුවර රෑ" සටහනේ දෙවන කොටසින් යළි හමුවෙමු.

-රසික සූරියආරච්චි

මැයි එකොළහ කළුවර රැයෙන් පසු කතාව - Aftermath of racial violence at Peradeniya University on 11 May 1983
http://rasikalogy.blogspot.com/2018/05/aftermath-of-racial-violence-at.html


(image: https://www.flickr.com/photos/charithmania/33688270383)

Thursday, 3 May 2018

ඇස් තැබීම නිසා සිදුවුණු (නැවත) ඇස් විවරවීම - Slave I Remain, Sir


කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති අවුරුදු උත්සවයක දී ගන්නා ලද ඡායාරූප කිහිපයක් නිසා මේ වන විට ෆේස්බුක් අවකාශය ගිනි ගෙන ඇති බව පෙනුණි. එයට තරමක් වියළි පොල් කොළ එකතු කරමින් සිටින අතරතුර මේ සටහන ද ලියා පළ කිරීමට සිදුවිය.

ඒ ගිනි ඇවිලීමට හේතු වී ඇත්තේ මෙකී අවුරුදු උත්සවයේ දී සාම්ප්‍රදායානුකූල අලියාට ඇස තැබීමේ ක්‍රීඩාව වෙනුවට ඒ සඳහා යොදා ගෙන ඇති බවට පෙනෙන පහත ඡායාරූප ය.



මෙය දුටු මහින්දාගම අදහන බයි වහල් ප්‍රාණකාරයින්ට උණ සන්නිපාත රෝගය සෑදී වියරු වැටී හතර අතේ දෙස් දෙවොල් තබමින් වැලපෙනවා පෙනේ. ඩයරියා ද, වොමිටින් ද ඕසෙට ඇත!

ඔවුනට අනුව, මෙය ආනන්තර්ය පාප කර්මයකටත් එහා යන, එනම් රහත් වූ අයෙකුගේ ලේ සෙලවීමකටත් වඩා දරුණු සාපරාධී ක්‍රියාවකි.

වහල්භාවයෙන් තවමත් මීදීමට නොහැකි වීම නිසා, ඇත්තටම අපේ අනුකම්පාවට භාජනය විය යුතු ඒ උණ සන්නිපාත රෝගීන් හිතා මතාම දෝ අමතක කර ඇති කාරණයක් නම්, ඒ අවුරුදු උත්සවයේ දී ම පහත පෙන්වන නවීකරණිත අලියාට ඇහැ තැබීමේ දෙවෙනි ක්‍රීඩාවක් ද තිබී ඇති බවයි.



මා ඒ සිරිසේනට ඇස් තැබීමේ ක්‍රීඩාවේ ඡායාරූපය දුටුවේ පෙර කී බයි අඳෝනා සටහනේ කොටසක් ලෙස නොවේ. සිහි බුද්ධියක් ඇති අයෙකු ඒ ඡායාරූපය ෆේස්බුකියේ බෙදා හරිමින් අසා තිබුණේ, දැන් 2020 දී ගෝටාබය ජනාධිපති වුණහොත් ඔහුගේ කාටූන් චිත්‍රයක් මේ ආකාරයට ඇහැ තැබීමේ තරගයක් සඳහා භාවිතා කිරීමට හැකි වේද යන්නයි.

ඇත්තටම, මහින්දට ඇස තැබීමේ තරගයේ ඡායාරූපය පිළිබඳව බයි වහල් ප්‍රාණකාරයින් ගේ හැසිරීම දැක සිතුණේ ද එවැනි දෙයකි.

එනම්, අද මරා බලයේ සිටියා නම්, ඔහු කෙසේ වෙතත්, ඔහුගේ අඳබාල වහලුන් කුමකින් කුමක් කරන්නට ඉඩ නොතිබුණේ ද යන්නයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
බයියන් ගැන වෙනත් කතා
http://rasikalogy.blogspot.com.au/search/label/බයියෝ
(images: Gayan Sayakkara)

Sunday, 15 April 2018

එසේ ම නොවේවා, වෙනත් විදියකට වේවා! - Dhananjaya Karunarathne's new year wish


ජනවාරි මුල් සතිය මෙන් ම, අප්‍රියෙල් මස මැද සතිය ද, "එසේම වේවා!" යන්න පට්ට පතුරු ගැසෙන යුගයකි. දිගු කලකට පෙර වෙනත් බ්ලොගයක ද ඒ ගැන ලිපියක් පළ වී තිබුණි.

http://kathandara.blogspot.com/2010/04/blog-post_14.html

මේ පිළිබඳව මගේ මෑත කාලීන ප්‍රතිචාරය වූයේ ඕනෑ එකක් වේවා යැයි පැවසීමයි.



එහි සෑබෑ ම අරුත, "ඕනෑ කෙහෙල්මලක් වේවා!" යන්නයි.

නාට්‍යවේදී ධනංජය කරුණාරත්න දැන් උදා වී ඇති එසේ ම වේවා සමය පිළිබඳව පහත ප්‍රතිචාරය දක්වා තිබෙනු මම ඊයේ ෆේස්බුක් අවකාශයේ දී දුටුවෙමි.



සම්මතයෙන් පිට පනිනවා තබා එසේ කිරීමට සිහිනයකින් හෝ නොසිතන අයට ඒ ප්‍රකාශය ඇස් ඇරවන්නක් වෙනු ඇත.

අරුංගෙන් නොලැබුණු දේ මුංගෙන් හෝ මුංගෙන් නොලැබුණු දේ අරුංගෙන් බලාපොරොත්තු වෙමින් අරුං වෙනුවට මුං පත්කර ගෙන හෝ මුං වෙනුවට අරුං පත්කරගෙන, අවසානයේ දී අරුංගෙන් ද, මුංගෙන් ද බැට කන මෝඩයින්වන අපට අනාගතයේ දී බලාපොරොත්තු විය හැකි හොඳම දේ නම් එසේ ම නොවී වෙනත් දෙයක් වේවා යන්න බව පැහැදිලි ය.

මෙලෙස කයිය ගැසුවාට මේ ලියන මා ද, බොහෝ විට හැසිරෙන්නේ සම්මත සීමා තුළ ය.

ඊයේ සිනුවර පැවති සූර්ය සැණකෙළිය හෙවත් සම්මත ආකාරයේ සිංහල අලුත් අවුරුදු උත්සවයේ දී සම්මත සැකිල්ලේ කවි රැගත් සම්මත ආකාරයේ කවි කොළයක් විකුණමින් මම ඒ බව මොනවට ප්‍රදර්ශනය කළෙමි.



හැම වසරකම බක් මස මස රැව් දෙවනා
ගම සිරිලක සුවඳ අප අතරට ගෙනෙනා
මෙම අවුරුදු උළෙල නැරඹීමට තුටිනා
මම පිළිගනිමි මෙහි ආ ඔබ සියලු දෙනා

අද මෙම "ප්‍රදර්ශන භූමිය" වෙත එක් වී
හොඳ එකමුතු කමින් බැඳි එක පවුලක් වී
ලද ඉඩ පරිදි අවුරුදු සිරිතෙන් පේ වී
සිඳ ආතති සියලු සැමසෙමු සන්සුන් වී

හොද්දට මිටි කිරක් තෙල් දමලා කන්න
සද්දෙට රතිඤ්ඤා කරලක් දල්වන්න
සවසට සයිකලෙන් පොඩි රවුමක් යන්න
ඇත්තට මට හිතෙනවා හෙට ගම යන්න

උපයන විට ගෙවන බදු බර අඩුවේවා
නිවසට ගත්තු මෝගේජය නිමවේවා
බැංකු ගිණුම් හැම හොඳ හැටි තරවේවා
ලැබු නව වසර සැමටම ජය අත්වේවා!

-රසිකොලොජිස්ට්

(image: Photo by Mark Newsham, 2017 for Merrigong Theatre Company. Thanks to Edie Watt.)

Friday, 16 March 2018

දෙයියා යැදූ විභාගෙ ෆේල් මිතුරා - Oh, these people


පසුගිය දා මා සැලසුම් නොකරම සිදුකළ "දෙයියාගේ පිහිට ලැබෙනාකාරයේ සත පනහේ පිං අතේ වැඩක්" නිසා දිගින් දිගටම දෙයියා ගැන කතා සිහියට නැගෙන්නට පටන්ගෙන ඇත.

මේ තවත් කතාවකි.

මේ කතාව මා යතුරු ලිවීම ඇරඹුවේ එදිනම නමුත් විවිධ හේතු නිසා අවසාන සංස්කරණය කර පළ කිරීම තරමක් පමා කරන්නට සිදුවිය.

මේ කියන කාලයේ මම "පස්තාච්චි කුපාඩි" යැයි සමහරුන් විසින් හැඳින්වෙන පශ්චාත් උපාධියක් හදාරමින් සිටියෙමි. ඒ තායිලන්තයේ බැංකොක් නුවර පිහිටා ඇති ආසියානු තාක්‍ෂණික ආයතනයේ ය. කාර්මික ඉංජිනේරු විද්‍යාව සහ කළමනාකරණය (industrial engineering and management) පිළිබඳ ඉංජිනේරුපති (Master of Engineering) උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා සිටි තිස් දෙනෙකු පමණ වූ අපේ පිරිසේ ලංකාවේ මැවිසුරුවන් සිව් දෙනෙකු ද ඇතුළුව විවිධ ආසියාතික රටවලින් පැමිණි සිසුහු වූහ.

ඔවුන් අතරින් කැපී පෙනුණු අයෙකු වූයේ පකිස්ථානු ජාතික කසීම් වලීඩ් අලි ෂා ය. ඒ ආකාරයේ නම්වල පුද්ගල නාමය කුමක් ද, පෙළපත් නාමය කුමක්දැයි හඳුනා ගත නොහැකි නිසා අප පහසුවට ඔහු ඇමතූවේ අලී කියා ය.

වෘත්තියෙන් රාජ්‍ය සේවයේ නිරතු මැවිසුරවෙකු වූ අලී ලාහෝර්වාසියෙකි. ඉතාමත් විනීත ගති පැවතුම් ඇත්තෙකි. උස මහත පාංශු දේහධාරියෙකු වුව ද, කතාවෙන් ශාන්ත පුද්ගලයෙකි. හැමට උදව් කිරීමට ඉදිරිපත් වෙන්නෙකු නිසා සතියකින් පමණ අප කණ්ඩායමේ නියෝජිතයා ලෙස ද නිතරගයෙන් පත්විය.

කාර්මික ඉංජිනේරු විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳව වූ අපේ පශ්චාත් උපාධියේ මුල් වාරයේ අපට විෂයයන් හතරක් හැදෑරීමට නියමිතව තිබුණි. එයින් නිෂ්පාදන කළමනාකරණය (Production Management), මූලික ප්‍රශස්තිකරනය (Fundamentals of Optimisation) සහ ආර්ථික විද්‍යාවේ මූලධර්ම (Principles of Economics) යන විෂයයන් කෙසේ වෙතත්, ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මුල් උපාධිය ලබා තිබුණු අප සමහර දෙනෙකුට ද උත්සාහයකින් තොරව වටහා ගැනීමට අසීරු විෂයයක් වූයේ සම්භාවිතාව සහ සංඛ්‍යාන ක්‍රම පිළිබඳ හැඳින්වීම (Introduction to Probability and Statistics) නම් විෂයය යි.

අලී ෂා ට නම් ඒ විෂයයේ අන්තර්ගතය "අණ්ඩර දෙමළ" හෝ "බොල්චොස්ථාන් උර්දු" වැනි විය. එයට හේතුව ලෙස ඔහු අප සමග කීවේ, ඔහු ඒ සංකල්ප මීට කලින් අසා නැති බවයි. අපේ කණ්ඩායමේ සිටි ලාංකික සිසුන් සිව් දෙනා ම හයේ පන්තියේ සිට ම පාසලේ දී සම්භාවිතාව සහ සංඛ්‍යානය පිළිබඳ මූලික සංකල්ප ඉගෙන ගෙන, පසුව මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල පාඨමාලාවලදී ඒ පිළිබඳව තවදුරටත් ඉගෙන තිබුණ ද, ලාහෝර් විශ්ව විද්‍යාලයෙන් ලබා තිබුණු අලි ෂා ගේ පාකිස්ථානු ඉංජිනේරු උපාධියට හෝ ඒ විෂයය කරුණු ඇතුළත් වී තිබී නැත.

සති හයකින් පමණ පසු පැවැත්වුණු වාර මැද පරීක්‍ෂණයේ දී, මා ද ඇතුළු සිසුන් බහුතරය සම්භාවිතාව සහ සංඛ්‍යානය පිළිබඳ මූලික සංකල්ප විෂයයයෙන් ජාම් බේරාගෙන තිබුණි. නමුත්, අලී ගේ ප්‍රතිඵලය නම් ඉතා දුක්බර එකක් විය. කොටින් ම, අවසාන විභාගයේ දී තම ප්‍රතිඵලය අතිවිශාල වශයෙන් වෙනස් කර ගැනීමට හැකි නොවුණහොත් ඔහුට පාඨමාලාව ඉදිරියට හැදෑරීමට ආයතනයෙන් ඉඩ නොදෙනු ඇති බව පෙනුණි.

අපේ හිතමිතුරාට මේ විෂයය අවබෝධ කර ගැනීමට උදව් කරනු වස්, ඉන්දියාවෙන් පැමිණ සිටි අංජනී කුමාර් ෂර්මා ද, මා ද, අලී ෂා සමග එකතුව අවසාන විභාගය සඳහා සූදානම් වීමට සිතුවෙමු.

මෙවැනි කුඩා කණ්ඩායම් අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ කුඩා කාමර පැය කිහිපයකට වෙන් කර ගත හැකිය. කලින් කතා කරගත් ආකාරයට අපි තිදෙනා එක් සවස් වරුවක මේ කාමරයකට රැස් වී විෂයය කරුණු සාකච්ඡා කරමින් අපට නියමිතව තිබුණු පාඨ ග්‍රන්ථය වූ ෂෙල්ඩන් රොස් ගේ (Introduction to Probability) පොතේ එන අභ්‍යාස කිරීම ඇරඹුවෙමු.

එක් මොහොතක තම අත් ඔරලෝසුව දෙස බැලූ අලී කලබලයකින් මෙන් නැගිට්ටේ ය. ඒ වැසිකිළියට යාම වැනි දෙයකට යැයි මට ඒ මොහොතේ සිතෙන්නට ඇත. නමුත් අලී කළේ, වහා ම ඒ කුඩා කාමරයේ එක් කොනකට ගොස් බිම දණගසා මට පෙනුණු ආකාරයට යම් කිසි වන්දනාවක් වැනි දෙයක් කිරීමට පටන් ගැනීමයි.

ඒ දසුනෙන් මා විමතියට පත් වූ බව වටහා ගත් ඉන්දියානු මිතුරා මට සෙමෙන් පවසා සිටියේ ඒ අලී යාඥා කරන බවයි. ඒ වන විට අවුරුදු විසි පහක් ඉක්මා තිබූ මගේ ජීවිතයේ මා මුල්වරට ඉස්ලාම් භක්තිකයෙකු යාඥා කරනු දුටුවේ එදා ය.

මා සිතන ආකාරයට මේ යාඥාව සඳහා විනාඩි පහක් හෝ ඊටත් වඩා කාලයක් ගත වෙන්නට ඇත.

අවසානයේ නැවතත් අප හා එක්වුණු අලී පැවසූයේ තමන් එලෙස දිනකට පස්වතාවක් දෙවියන්ට යාඥා කරන බවයි.

මගේ ඇඟේ ලේ රත් වෙන්නට පටන් ගත්තේ එවිට ය.

"අලී මං උඹට පොඩි අවවාදයක් දෙන්න ද?" මම අලී ඇමතුවෙමි. "එක්කෝ උඹ ඒ විදියට දවසකට යාඥාකරන වැය කරන පැය භාගයටත් වඩා වැඩි කාලයත් ඉගෙනීමට යොදපං, නැතිනම් පස් පාරක් නොවෙයි විසි පස්පාරක් දවසකට දෙයියාට යාඥා කරලා මේ විෂයය පාස් කරලා දෙන්න කියලා ඉල්ලාපං!"

එක්කෝ තමාගේ මහත්මා ගුණය නිසා හෝ නැතිනම් තමන්ට උපකාර කරන්නට කාලය කැපකරමින් සිටින හොඳම මිතුරෙකු අමනාප කර ගැනීමට අකමැති නිසා හෝ එසේත් නැතිනම් මා කී දේ අවබෝධ වූ නිසා හෝ අලී මුවින් නොබැණ සිටියේ ය.

ඉන් පසු දිනවල ද, අපි එක්වී අධ්‍යයන කටයුතු කළෙමු. එසේ වෙතත්, ඒ අවස්ථාවල දී ඔහු යාඥා කරනු මට දක්නට ලැබුණේ නැත. මම ද ඒ ගැන නොවිමසා සිටියෙමි.
විභාගය අවසන් විය.

සතියකින් පමණ ප්‍රතිඵල නිකුත්විය.

කසීම් වලීඩ් අලි ෂා නම් පාකිස්ථානු ජාතික මැවිසුරුවා සම්භාවිතාව සහ සංඛ්‍යාන ක්‍රම පිළිබඳ හැඳින්වීම නම් වූ විෂයය අසමත් වී තිබුණි.

එය අලී විසින් දෙයියා අතහැරීම නිසා සිදුවූවක් ද, එසේත් නැතිනම් දෙයියා විසින් අලී අතහැරීමක් නිසා සිදුවූවක් ද යන්න මම අද ද නොදනිමි.

ඒ කෙසේ වෙතත් අවසානයේ පශ්චාත් උපාධි ආයතනයේ නීතිවලට අනුව මා මිත්‍ර අලීට අපේ පාඨමාලාව අතහැර ආපසු පාකිස්ථානය බලා යාමට සිදුවිය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඔහු අපෙන් සමුගෙන යාමට පෙර දිනයක දී, අලී මට ලීවලින් තැනූ අගනා අඩිකෝදුවක් තෑගි දුන්නේ ය. එය පසුව මා ලංකාවට ද රැගෙන ආවෙමි.

ඔහු මට ඒ ත්‍යාගය දුන්නේ මා ඔහුට සිහිවටනයක් ලෙස ලංකාවෙන් ගෙන ගොස් තිබුණු කුඩා වෙස් මුහුණක් තෑගි දුන් අවස්ථාවේ දී ය.

"බොහොම ස්තුතියි, ඒත් මට මේක මා එක්ක පාකිස්ථානයට ගෙනියන්න වෙන්නේ නෑ!" අලී කීවේ ය.

"ඒ ඇයි?"

"අපිට මේ වගේ සුරුවම් ළඟ තබා ගැනීම තහනම්!" ඔහු දුක්මුසු ස්වරයක් යැයි මට සිතුණු හඬින් කීවේ ය.

අලී විභාගය අසමත් වීම පිළිබඳව මට දෙවෙනි වරටත් දුක සිතුණි!


ප/ප/ලි:
ලිපිය පළ කළ පසු සිහිවූ කරුණක්.

ඉහත ඳහන් කළ සම්භාවිතාව සහ සංඛ්‍යාන ක්‍රම පිළිබඳ හැඳින්වීම නම් විෂයය අපට ඉගැන්වූයේ ආචාර්ය වෑන් ෆ්‍රෝසම් (Statistics) සහ ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන් (Probablity) යන දෙදෙනා විසිනි.

ඔවුන් ගැන මා මීට පෙර ලියා ඇති ලිපි දෙකක් මෙසේ ය.

1. අසුන්දර ඉංග්ලිෂ් හෙවත් අයි සස්පෙක්ට් - I suspect I can blog well?
https://rasikalogy.blogspot.com/2016/09/i-suspect-i-can-blog-well.html


2. ආචාර්ය වෑන් ෆ්‍රෝසම් - Dr Yves Van Frausum
http://rasikalogy.blogspot.com/2016/07/dr-yves-van-frausum.html


(image: http://www.alamy.com/stock-photo/sri-lanka.html?cutout=1)

Monday, 5 March 2018

ආපසු ආ දෙයියා - Return of the god myth


කිහිප වාරයක් ම පට්ට ගැසූ මාතෘකාවක් ගැන නැවත ලියමින් හේමන්ත සෘතුවේ වැඩ අල්ලන්නට සිතුණේ කාරණා දෙකක් නිසා ය. එකක් උණු උණු අත්දැකීමකි. අනෙක දශක දෙකක් පැරණි මතකයකි.

අද උදෑසන මා දුම්රිය පොළේ බංකුවක වාඩි වී ලැප්ටොපය සමග පොර බදිමින් සිටිය දී එතැනට පැමිණ ඒ බංකුවේ ම අසුන් ගත් තරුණ කාන්තාවක් මගෙන් ශත පනහක් ඉල්ලුවා ය. සාමාන්‍යයෙන් මෙවැනි පුද්ගලයින් ඉල්ලන්නේ ඩොලරයකි, නැතිනම් දෙකකි. නැතිනම්, ගණනක් නොකියා මාරු කාසි ය.

මා හරියටම ශත පනහක් ඇයට ලබා දුන් පසු ඇයගේ මුවින් පිටවුණේ "ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" යන වැකියයි.

"මං ඔය දෙයියා විශ්වාස කරන එකෙක් නොවේ. ඔබත් ඔය අදහස අතහැර ගත්තා නම් හොඳයි නේද?" යන වදන් මගේ මුවට ආවත්, මා මද සිනහවක් පා නිහඩව ම සිටියේ, නූගත්, බොහෝ විට "මන්ද මානසික"* තත්වයක සිටින (ප/ප/ලි සටහන කියවන්න!) ඒ කාන්තාවට මගේ අදහස්වලින් පලක් නොවේ යැයි වැටහුණු නිසා ය.

ඇය ද ඉන්පසු නිහඬවම සිට පසුව පැමිණි දුම්රියකට නැග කොහේදෝ ගියා ය.

මට පසුව සිතුණේ, ඇය මුදල් ඉල්ලීමට කලින් දෙයියා ගැන ඒ සඳහන කළා නම්, මා ඇයට මුදලින් උපකාරයක් නොකර සිටින්නට ඉඩ තිබුණු බවයි.

ඒ සමගම මගේ සිහියට නැගුණේ මීට වසර විස්සකටත් එපිට අත්දැකීමකි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිට බොරැල්ලට බසයකින් විත්, බොරැල්ලෙන් ඇතුල්කෝට්ටේ බසයකින් නිවස බලා යන කාලයක් මට තිබුණි.

බොරැල්ලේ බස් නැවතුම් පොළේ නවතා තිබෙන බස් රථවල දී, ළමුන්ට කිරිපිටි සොයන්නන්, බෙහෙත් ගැනීමට, ශල්‍යකර්මවලට මුදල් සොයන්නන්, කවිකාරයින්, විරිදුකාරයින්, සින්දුකාරයින් යනා දී විවිධාකාරයේ හිඟන්නන් අපට මුණ ගැසේ. අතේ තිබෙන අයුරින් යම් මුදලක් ඒ අයට දීම මගේ සිරිතක් විය.

ඒ නමුත්, ඒ පිරිස අතරින් කලාතුරකින් හමුවුණු එක් අයෙකුට නම් මුදල් දීමට කවදාක හෝ මගේ සිත මට ඉඩ නොදුන්නේ ය.

ඒ පුද්ගලයා තරුණයෙකි, යම් කිසි ශරීරාභාධයක් තිබුණු අයෙකි. ඒ කෙසේ වෙතත්, ඔහු බසයට නැගි විට ම කරන්නේ බසයේ සිටින අයට දෙයි මෑණියන්ගේ ද, සර්වබලධාරී දෙයියා ගේ ද පිහිට පැතීමයි. අපෙන් මුදල් ඉල්ලන්නේ අපට ඒ දෙයි මෑණියන්ගේ ද, සර්වබලධාරී දෙයියා ගේ ද පිහිට අපට ලබා දීමටයි.

ඒ පුද්ගලයාගේ යාදින්න ඇසෙන හැම විටක ම "පිහිටාරක්‍ෂාව දීමට දෙයි මෑණියෙකු ද, සර්වබලධාරී දෙයියෙකු ද සිටීනම් කවර ස්ත්‍රී ලිංගයකට මූ අපෙන් සල්ලි ඉල්ලන්නේ ද?" යන අකාරුණික සිතුවිල්ල මගේ සිතට නැගුණු නිසා, මට කිසි දිනෙක ඔහුට මුදලින් උපකාරයක් කිරීමට නොහැකි විය.

මිනිසා, මිනිසෙකු ලෙස නැවත උපත ලබන්නේ තමන් විසින් මවන ලද මුත්, තමන්ව මැවූවා යැයි තමන් සිතන මේ මැවුම්කාර දෙයියාව තමන් ම මරා දමන දිනයේ දී යැයි මම සිතමි.

එසේම, මිනිසා තමන්ව තමන් ම පාලනය කර ගැනීම නිවැරදිව කරන්නේ තමන් ද, තමන් වෙසෙන ලොව ද පාලනය කරනවා යැයි තමන් විශ්වාස කරන ඒ මිථ්‍යා දෙයියන් පිරිස ඇදහීම සිතෙන් බැහැර කළ දිනයේ දී යැයි ද මම සිතමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
දෙයියලා ගැන ලියා ඇති ලිපි-
  1. සිඩ්නි නගරයේ ප්‍රාණ ඇපකරු සිද්ධියෙන් මතු වූ අප්‍රසන්න දෙයක් - Sydney siege and our greatest weakness
    https://rasikalogy.blogspot.com/2014/12/sydney-siege-and-our-greatest-weakness.html
  2. මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!
    https://rasikalogy.blogspot.com/2015/02/thirupathi-worshiping-yuk.html
  3. ඇයි ඉලෙක්ෂන් එකට අපි සියඹලා ගේන්න ම එපාද? - Our politicians and their foolishness
    https://rasikalogy.blogspot.com/2015/03/our-politicians-and-their.html
  4. මගෙ දෙයියා සහ උඹේ දෙයියා! - Synthetic God
    https://rasikalogy.blogspot.com/2016/08/synthetic-god.html
  5. ගංගොඩවිල සෝම සහ දෙයියෝ - Once upon a time
    https://rasikalogy.blogspot.com/2016/08/once-upon-time.html

ප/ප/ලි:
මා මෙහි දී ඒ කාන්තාව හැඳින්වීමට "මන්ද මානසික" කියා කීවේ ඇගේ දේව භක්තිය නිසා හෝ පුරුද්ද නිසා හෝ ගෝඩ් බ්ලෙස් යූ යැයි කීම හේතුවෙන් නොවේ. වසර විසි දෙක හමාරක අත්දැකීමෙන් දන්නා පරිදි, නිසි සමාජ සුබසාධන වැඩ පිළිවෙලක් ඇති (රැකියාවක් සොයන තරුණ අයෙකුට සතියකට ඩොලර් 280 පමණ දීමනාවක් රජයෙන් ලැබේ!) මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ මේ ආකාරයට සිඟමන් යදින්නේ මානසික ආබාධ ඇති අය නිසා ය.

(image: http://jonathanmerritt.com/wp-content/uploads/2014/03/God.jpg)