මහාචාර්ය පෑඩ් ගේ වියෝව පිළිබඳ ආරංචි වූ විට මට ඔහු පිළිබඳව කතා හතරක් සිහියට ආවේය. එයින් දෙකක් මේ වන විට ලියා පළ කර ඇති අතර ඉතිරි කතා දෙක එතරම් වැදගත් ඒවා නොවන නිසා එක සටහනක මෙලෙස කෙටියෙන් ලියා දමමි.
ලංකා වානේ සංස්ථාවේ සභාපති ලෙස 1977 බලයට පැමිණි ජේ.ආර්.ගේ ආණ්ඩුවෙන් පත්වීම ලැබූ උග්‍ර යූඇම්පීකාරයෙකු වූ මහාචාර්ය පෑඩ් මොරටුව විශ්වවිද්‍යාලයේ තමන්ගේ රැකියාවෙන් සප්ත වාර්ෂික නිවාඩු ලබා අලුත් තනතුරේ වැඩකටයුතු කර ඇත. එයින් ඔහුට අස්වෙන්නට සිදු වී අවුරුදු ගණනාවකට පසු මට වානේ සංස්ථාවේ රැකියාවක් කිරීමට අවස්ථාව ලැබුණි.
එහිදී මට හමු වූ සමාන වයසේ සිටි මට වඩා අවුරුදු කිහිපයකින් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් පිරිසක් විය. ඔවුන්ගෙන් දෙදෙනෙකු පමණ මට සුවිශේෂී කරුණක් ආඩම්බරයෙන් පැවසූහ.
එය නම් ඔවුන් සංස්ථාවේ දීර්ඝ කාලීනව කරන මේ රැකියාව සඳහා කිසි දිනක අයදුම් පත් ඉදිරිපත් කර සම්මුඛ පරීක්ෂණවලට පෙනී නොසිටිය බවයි. මා අසා දැනගත් වැඩිදුර විස්තර අනුව සිදුවී ඇත්තේ මෙයයි.
යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගනිමින් සිටි මේ පිරිස වානේ සංස්ථාවට පැමිණ ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ලෙස අදාළ පුහුණුව ලැබීමට ය. ඒ අවසානයේ ඔවුන්ට සහකාර ඉංජිනේරුවන් ලෙස තාවකාලික රැකියා ලැබී ඇති අතර පසුව ඒ රැකියා ස්ථිර කර ඇත.
අයදුම් පතක් ඉදිරිපත් නොකර සම්මුඛ පරීක්ෂණයකට පෙනී නොසිට මේ ආකාරයට රැකියාවක් ලැබීම පූරුවේ පිනකි. "අපි මේ ජොබ්වලට ඇප්ලයි කරලා, ඉන්ටර්වීව් ගිහිල්ලා ආපු එවුන් නෙමේ" යැයි දෙදෙනෙකුම මට පැවසුවේ උජාරුවෙනි. නමුත් එහි යටි කතන්දරය දන්නෝ දනිති.
ඒ පළමුවෙනි කතාවයි. දෙවෙනි කතාව මෙසේය.
මා සිංහලෙන් බ්ලොග් ලියන්නට පටන්ගෙන ටික කලකට පසු ඒ සයිබර් අවකාශයේම කවිකාරී වැනි ආරූඪ නාමයකින් කාන්තාවක් බ්ලොග් ලිවීම පටන් ගත්තාය. ඊට සමාන්තරව ඇය තමන්ව මහැදුරු බිරිඳක් ලෙස ද හඳුන්වා ගත්තාය. ඇගේ සැමියා වන මහැදුරා සේවය කළේ මොරටුව විශ්ව විද්‍යාලයේ බව ද ඇය ලියූ සටහන්වලින් අපට දැනගන්නට ලැබුණි.
දිනක් ඇය බ්ලොග් සටහනක් ලෙස ලියා තිබුණේ පෑඩ් සිල්වා පිළිබඳව ය.
බ්ලොග් කියවන අය තමන් කියවන ඒ බ්ලොග් සටහන් තමන්ගේ අදහස් ප්‍රතිචාර ලෙස දැක්වීම සම්ප්රදායයි. ඒ අනුව යමින් මම කළේ මට පෑඩ් පිළිබඳව ඇති මතක කිහිපයක් අකුරු කිරීමයි.
තමාගේ මහැදුරු සැමියාගේ ද ලොක්කෙකු වූ ද, මහා මහැදුරෙකු වූ ද මහාචාර්ය පෑඩ් සිල්වාට මම පෑඩ් යැයි ඇමතීම නිසා මේ බ්ලොග් ලියන්නිය කෝපයට පත්විය.
එය ඇගේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නොවේ.
පසුව ඇය බ්ලොග් ලෝකයෙන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වූවා යැයි සිතමි.
- රසික සූරියආරච්චි