Friday 17 February 2023

එක සුනඛයෙකු හොඳටෝම සෑහේ! - One dog is more than sufficient!



දිනය 2012 දෙසැම්බර් මස හත්වෙනි සිකුරාදා ය.

ඔෆීසියේ පුටුවක් රත්කරමින්, වාර්තා, ඊ-මේල් සහ සංඛ්‍යා ලේඛන අතර හිරවී සිටින මගේ ජංගම දුරඛතනයට ඇමතුමක් ලැබුණි. ඒ මගේ අම්මාගෙනි.

"පුතේ කලබල වෙන්න එපා. ඊයේ සමන්ත මෝටර් සයිකලෙන් වැටිලා. ඉස්පිරිතාලෙ ලු!"

"ආ! කවුද කිව්වේ?"

"රුවන්තිකා කෝල් කරලා කිව්වා."

"ඉතිං හුඟක් තුවාලයි ලු ද?"

"දණහිස ළඟ තුවාලයි, ඒත් අමාරුවක් නෑ කියලයි රුවන්තිකා කිව්වේ. මං සමන්තගේ මොබයිල් එකට කෝල් කරන්න බැලුවා. ගන්නම බෑ. ඔයාත් ට්‍රයි කරලා බලන්න."

සමන්ත යනු මගේ බාල සොහොයුරා ය. රුවන්තිකා යනු ඔහුගේ බිරිඳයි.

"ඉස්පිරිතාලේ හින්දා මොබයිල් එක ඕෆ් කරලා ඇති. මං කෝල් කරලා බලන්නම්."

මම වහා මල්ලීගේ ජංගම දුරකතනයට ඇමතුම් කළෙමි. දෙතුන් විටක් උත්සාහ කළ පසු ඔහු හා කතා කිරීමට හැකිවිය.

"ආ, අයියේ?" ඔහුගේ කට හඬ ඇසෙයි.

"තමුසේ මොකක්ද මේ කරගත්තේ?"

"බයිසිකලෙන් වැටුණ ඕයි! දණහිස තුවාල වෙලයි තියෙන්නේ. තුවාලේ නං ලොකු නෑ. නමුත් ලිගමන්ට් ඉරිලා හින්දා රිදෙනවා, ඇවිදින්න බෑ."

"මොකක්ද වුණේ?"

"ඊයේ හවස මෝට සයිකලයේ යනකොට ඉස්සරහට බල්ලෙක් පැන්නා ඕයි. මං වැටුණා!"

සයිකලේ ඩැමේජ් දැයි මම නොඅසමි. එය මෙවෙලේ එතරම් වැදගත් කරුණක් නොවේ.

මගේ සිත අතීතයට ඇදී යයි.

උසස් පෙළ අවසානයේ එළැඹුණ ගන්ධබ්බ සමයේ දී මම මගේ අංකල් කෙනෙකුගේ හොණ්ඩා 125 මෝටර් සයිකලය පදවන්නට ඉගෙන ගතිමි. ඒ එක් දිනක රත්වුණු සයිලන්සරයට මගේ කකුල පිළිස්සුණු බවද මට මතක ය.

ඉන්පසු මා මෝටර් සයිකලයක් පදවා ඇත්තේ එකෝම එක වරකි. ඒ මා විශ්ව විද්‍යාලයෙන් පිටවී වසර පහකට පමණ පසු දිනයක අරවින්දන් අපේ නිවසට පැමිණි දිනයක දී ය.

මා කිසිදිනක මුදල් එකතු කරගෙන මෝටර් සයිකලයක් ගන්නට පෙරුම් නොපිරුවෙමි. සමහර රෝහල් වාට්ටු ඒ දිනවල හැඳින්වූයේ හොණ්ඩා වාට්ටු යනුවෙන් යැයි මම අසා තිබුණෙමි.

මා අවසානයේ ගත්තේ කාර් එකකි.

රැකියාවට ගොස් ටික කලකින්ම මෝටර් සයිකලයක් ගත් සමන්ත මල්ලී නම් අද පවා දරු පවුල නැතිව කෙටි ගමන් බිමන් යද්දී තවමත් එය භාවිතා කරයි.

මෝටර් සයිකලයක් යනු රෝද දෙකකින් පමණක් පොළෙව මත රුඳෙන අසමතුලිත වාහනයකි. එය සමතුලිත කරගෙන පැදවීමට මනා සංයමයක් සහ පළපුරුද්දක් අවශ්‍ය වේ.

රෝද හතරක් මත දිවෙන සමතුලිත වාහනයක් වන මෝටර් රථයක් වුවද අප කොයි තරම් සංයමයකින් යුතුව, මාර්ග නීති ගරු කරමින් ධාවනය කළද, එක් අනුවණයෙකු ගේ වැරදි ක්‍රියාවකින් ඒ සියල්ල නිෂ්ඵල විය හැකි බව මම පසුගිය දිනයක කතන්දරයකින් පැවසූවෙමි.

ඉදින් මෝටර් සයිකලයක් ගැන කවර කතාද?

මල්ලීට සිදුවුණු මේ අකරතැබ්බයෙන් අපට වැටහෙන පරිදි, මෝටර් සයිකලයක් අසමතුලිත කර, එය පදවන්නා පොළොව මතට හෙළා, ඔහුගේ කකුලක් කඩා දැමීමට අවශ්‍ය වන්නේ එකම එක සුනඛයෙකු පමණකි!

මෙය මෝටර් සයිකල් සඳහා පමණක් නොව තාත්වික සහ අතත්‍ය ලෝකවල බොහෝ අවස්ථාවලට පොදු වූ සාධකයකි.

-රසික සූරියආරච්චි

ප/ලි:
රෝහලේ දින දෙකක් ගත කළ මල්ලී පසුව නිවසට පැමිණියේ ය. වම් කකුලේ වැඩි හරියක් වසා විහිදුණු ප්ලාස්ටරයක් බහා ලූ කකුලද සමග ඔහු ඇඳ මත සිටිනු දැක මට ඇති වුණේ කනගාටුවකි. ඔහුට මේ ලෙස පුරා මාස දෙකක්ම සිටින්නට සිදු විය. කකුල නැවතත් 100% යථා තත්වයට පැමිණියේ යැයි නොසිතමි.

බල්ලෙකු ගේ බලය!

ප/ප/ලි:
කලින් ලියා පළ කළ කතාවකි. අයිතිකරුවන් නැති, පාරේ රස්තියාදුවෙන බල්ලන්ට කෑම දෙන පිරිසක් ගැන මේ දිනවල (පෙබරවාරි 2023) ෆේස්බුක් එකේ ඇති සංවාද දැක සිහි වී නැවත පළ කරන්නට යෙදුණි.

(Image by Ralph from Pixabay)