Tuesday 29 September 2015

ඔහේ වෙලාව කීය ද අනේ? රෑ ද, දවල් ද? - What time is it please?


පසුගිය දිනක රාත්‍රියේ ලංකාවෙන් ලැබුණු පණිවිඩයක් නිසා, අතීත කතාවක් සිහියට ආවේය. වහාම මේ සටහන ලියන්නට සිතුණේ එය රසිකොලොජිය හරහා බෙදා හදා ගන්නටයි.

උතුරු අර්ධගෝලයේ වූව ද ඇත්තටම සමකයට යාන්තම් ඉහළින් පිහිටි ලංකාවට මෙන් නොව, පෘථිවියේ දකුණු අර්ධගෝලයේ උඩින් පටන් ගෙන යටට විහිදී යන මහාද්වීපයක් වූ ඕස්ටේ‍ර්ලියාවේ මා වෙසෙන නිව් සවුත් වේල්ස ප්‍රාන්තයට සෘතු වෙනස තරමක් දුරට බලපායි. හිම ඇද වැටෙන, උෂ්ණත්වය සෘණ අගයන් ගන්නා යුරෝපියානු දරුණු වින්ටරයක් නැතත්, අපට ද ශීත කාලයක් තිබේ.

ඒ ශීත කාලය පසු කර අප මේ එළැඹ ඇත්තේ මල් පිපෙන, ගෙඩි හැදෙන, වසන්ත සමයටයි. සූර්යයා අපට වඩාත් ළංවෙමින් පවතින අතර, හිරු පායා ඇති දිවා කාලය, හිරු නොමැති රාත්‍රී කාලයට වඩා ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.

මේ කාලගුණ විපර්යාසයන් ඕස්ටේ‍ර්ලියාවේ විවිධ ප්‍රදේශවලට බලපාන්නේ එකම ආකාරයට නොවේ. උදාහරණයක් ලෙස මේ මහාද්වීපයේ උතුරු දෙසින් ඇති ඩාර්වින් නගරයට වින්ටරයක් කියා වෙනසක් ඇති නොවේ. රාත්‍රී කාලය මදක් සිසිල් වුවද, අවුරුද්දේ වැඩි දවසක උෂ්ණත්වය අංශක තිහට ඉහළින් පවතී.

දේශගුණික වෙනස්කම්වලට ඉඩ සලසමින් ඕස්ටේ‍ර්ලියානු මහාද්වීපය උතුරේ සිට දකුණට විහිදී ඇතුවා මෙන් ම, බටහිර සිට නැගෙනහිරට ද විශාල ප්‍රදේශයක පැතිර ඇති නිසා, ඉර උදාවෙන වේලාවන් හි වෙනස අනුව රටේ සම්මත වේලාවන් කිහිපයක් ද පවතී.

මේ දිනවල ලංකාව සහ මා වෙසෙන සිඩ්නි නගරය අගනුවර වූ නිව් සවුත් වේල්සය අතර හෝරා වෙනස පැය හතරහමාරක් වේ. එනම්, ලංකාවේ වේලාවෙන් උදෑසන හයට කියවන්නට හැකිවෙන පරිදි මගේ ලිපි මා රසිකොලොජියේ පළ කරන්නේ සිඩ්නි වේලාවෙන් උදේ දහය හමාරට ය.

තව සතියකින් පමණ අපේ වේලාව පැයකින් ඉදිරියට දැමීමට නියමිතයි. එවිට අප එළැඹෙන්නේ ගිම්හාන (සමර්) වේලාවටයි. එතැන් සිට මාස හයක් පමණ ගොස් නැවත වෙනස් කරනතුරු, ලංකාව හා සිඩ්නි අතර හෝරා වෙනස පැය පහමාරක් වෙනු ඇත. ඒ ගිම්හාන කාල සීමාවේ දී, මා රසිකොලොජියේ ලිපි උදෑසන හයට ස්වයංක්‍රී්‍රයව පළවීමට සැකසිය යුත්තේ සිඩ්නි නගරයේ වේලාවෙන් උදෑසන එකොළහමාරට ය.

මා මුලින් සඳහන් කළ පරිදි, මේ ලිපිය ලියන්නට තුඩු දුන්, මට පසුගිය දිනක ලංකාවෙන් ලැබුණු පණිවිඩය පිළිබඳ කතාව මෙසේය.

මට ෆේස්බුක් හරහා පණිවිඩයක් එවු තරමක් දන්නා හඳුනන අයෙකු මා හා කතා බස් කිරීමට අවශ්‍ය බව කීවේය. මට මෙවනි ඉල්ලීම් විටින් විට ලැබෙන නිසා, ඒ අනුව යමින් මම එය ඒ පුද්ගලයා ගේ සංක්‍රමණ, අධ්‍යාපන හෝ රැකියා කටයුත්තක් සම්බන්ධයෙන් විය යුතු යැයි සිතුවෙමි.

මම වහාම ඔහු ගේ දුරකථන අංකය ඉල්ලා පිළිතුරක් යවමින් පැවසුවේ, මා ඔහු අමතන්නම් කියායි.

එයට පිළිතුරු ලෙස මට ලැබුණු පණිවිඩයෙන් කියවුණේ රාත්‍රී නමයයි තිහෙන් පසු කතා කරන ලෙසයි.

එනම්, මා ඔහු ඇමතිය යුත්තේ මගේ වේලාවෙන් පාන්දර දෙකට ය!

මෙය සාමාන්‍යයෙන් සිදුවෙන වරදවා ගැනීමකි.

දිගු කාලයක් තිස්සේ මා දුරකථනයෙන් කතා බස් කරන ලංකාවේ ඥාතීන්, හිත මිතුරන් පවා, විටින් විට දැන් ඔහේ වෙලාව කීයදැයි මගෙන් අසති. දැන් එකොළහට ළඟයි වැනි පිළිතුරක් දුන හොත්, ඊළගට ඔවුන් අසන්නේ දවල් ද රෑ ද කියා ය. කාලය වෙනස් බව දැන සිටියද, ඒ ඉදිරියට ද, පසුපසට ද කියා හැඟීමක් වැඩි දෙනෙකුට නැත.

මා ලංකාවේ හිතවතාට දන්වා හැරියේ මගේ වේලාවෙන් අලුයම දෙකේ කනිසමට ඔහුට කතා කිරීමට මට නොහැකි බවයි. පසුව දෙදෙනාටම පහසු හෝරාවක අපි කතා බහ කළෙමු.

ලංකාවෙන් ලැබුණු ඒ පණිවිඩය නිසා, මගේ සිහියට ආ අතීත කතාව මෙසේය.

මා ලංකාවේ කලකට පෙර සේවය කළ ආයතනයේ ම සේවය කළ ජ්‍යෙෂ්ඨ සගයෙකු, ඔහු දන්නා හඳුනන පුද්ගලයෙකුට ඇමරිකා එක්සත් ජනපදයේ පශ්චාත් උපාධියක් හැදෑරීම සඳහා යාමට ආයතනයෙන් පඩි සහිත නිවාඩු අනුමත කර ගැනීම සඳහා අවශ්‍ය වූ බැඳුම්කරයකට අත්සන් කර ඇත.

දැන් පශ්චාත් උපාධිය අවසාන මුත්, මේ පුද්ගලයා ආපසු නො ඒමට තීරණය කර ඇති නිසා, ඒ ගැන ආයතනයෙන් ක්‍රියා කිරීමට පෙර බැඳුම්කරයෙන් නිදහස් වීමට ඔහුට අවශ්‍ය වී ඇත.

මේ ගැන කතාබස් කිරීමට ඇමරිකාවේ සිටින පුද්ගලයා මගේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සගයා ගේ නිවසට දුරකථනයෙන් අමතා ඇත්තේ සැන්දෑ යාමයේය. ඒ ජංගම දුරකථන බහුලව නොතිබුණු දශක දෙකකට පමණ පෙර කාලයයි.
ඔහු නිවසට පැමිණෙන්නේ තව හෝරා කීපයකින් බවත්, ඉන් පසු නැවත අමතන ලෙසත් මගේ ජ්‍යෙෂ්ඨ සගයා ගේ බිරිඳ ඇමරිකාවේ සිටින පුද්ගලයාට පවසා ඇත.

එයට එකී පුද්ගලයා ගේ ක්‍ෂණික ප්‍රතිචාරය වී ඇත්තේ, අපොයි ඒ වෙලාවට නම් කෝල් කරන්න බෑ මං යුනිවසිටියේ කියායි. නැවතත්, මේ ජංගම දුරකථන බහුල නොවූ, රටකින් රටකට කතා කිරීම තරමක් අසීරු වූ කාලයයි. රාජකාරී දුරකථනයකින් පුද්ගලික කරුණක් සඳහා රටකින් රටකට කතා කරන පහසුකම අදත් ඇත්තේ කීයෙන් කී දෙනෙකුට ද?

මේ කතාව මට පැවසූ මගේ ජ්‍යෙෂ්ඨ සගයා කියා සිටියේ රටවල් දෙකක් අතර හෝරා වෙනස ගැන අවබෝධයක් ඇතිමුත්, දෙදෙනාටම පහසු වේලාවක් සඳහා කාලය, ක්‍රමය සහ අවශ්‍ය වියදම සොයාගත යුත්තේ සාකච්ඡාව සඳහා අවශ්‍යතාවය ඇති පුද්ගලයා බවයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් පළවෙන ලිපියක් නොවේ.

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia
8. ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya
9. W3Lanka අජිත් පැරකුම් ජයසිංහ ගේ "ශාස්තෲ" නවකතාව ගැන පසුවදනක් - HBD2U APJ

(image: http://geography.about.com/od/culturalgeography/a/offsettimezones.htm)

Sunday 27 September 2015

W3Lanka අජිත් පැරකුම් ජයසිංහ ගේ "ශාස්තෲ" නවකතාව ගැන පසුවදනක් - HBD2U APJ


ඩබ්ලිව් ත්‍රී ලංකා දේශපාලන බ්ලොග් අඩවියේ හිමිකරු, කතෘ සහ සංස්කාරක අජිත් පැරකුම් ජයසිංහ හෙවත් අපේ පැරාව නොදන්නා අයෙකු සිංහල බ්ලොග් පාඨකයින් අතරින් සොයා ගත හැකි වේ යැයි මම නොසිතමි. එසේ වුවද, තම බ්ලොගය සඳහා වෙහෙස නොබලා නිතිපතා දේශපාලන ලිපි ලියන පැරා, නවකතාවක් ද රචනා කර මුද්‍රණද්වාරයෙන් එළිදක්වා ඇති සාහිත්‍යකරුවෙකු බව නොදන්නා අය නම් බ්ලොග් පාඨකයින් අතර එමට සිටිනවා විය යුතුය.

අජිත් පැරකුම් ජයසිංහ 2010 දී ලියූ ඒ නවකතාව ශාස්තෲ නම් වේ.

ශාස්තෲ නවකථාව ලෝකයේ උස් තැන්වලට ගිය එකකි. මේ ලිපියේ ආරම්භයේ එකතු කර ඇති ඡායාරූපයෙන් ඒ බව හොඳින් පැහැදිලි විය යුතුය.

මා ඒ ඡායාරූපය ලබා ගත්තේ ඕස්ට්‍රේලියාවේ උසැතිම කඳු ශිඛරයවන මවුන්ට් කොසියෙස්කෝ හි දී සීතලේ ගැලෙමින් සිටිය දී ය!

එහි දී ශාස්තෲ නවකථාව ලබා ඇත්තේ, ඒ පොතේ පිටපතක් ලංකාවේ සමනොල කඳු මුදුනට ගෙන ගිය විට ලබාගත හැකි තරමේ ම උසස් තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඒ සරදම් බස් කෙසේ වෙතත්, එදා වසර පහකට පෙර කියවද්දී මට මහත් සාහිත්‍ය රසයක්, ආස්වාදයක් මෙන්ම ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඇතුළත පිළිබඳව මා නොදැන සිටි දැක්මක් ද ලබාදුන් අජිත් පැරකුම් ජයසිංහ ගේ ශාස්තෲ නවකතාව, සත්‍ය වශයෙන්ම ඉහළ පැසසුමක් ලැබිය යුතුව තිබුණු නිර්මාණයක් බව අවංකව කිව යුතුය.

වාමාංශික දේශපාලනයේ යෙදෙන කුඩා කණ්ඩායම්වල සංවිධානය, චර්යාවන් ඇතුළු මා නොදැන සිටි අංශයක් ගැන ද ශාස්තෲ නවකතාවේ විස්තර කෙරෙයි. ඒ කතාංග ගොඩනැගී ඇත්තේ කතෘගේ පුද්ගලික අත්දැකීම් ආශ්‍රයෙන් බව පැහැදිලි නිසා ඒ විස්තර අපූරු සුන්දරත්වයක් ද ජනිත කරයි.

ලංකාවේ වාම දේශපාලනය හා සම්බන්ධව ගෙතී තිබුණු මූලික කතා වස්තුවෙන් ඔබ්බට, ශාස්තෲ නවකතාවෙන් මා මූලිකවම ආස්වාදයක් ලැබුවේ එහි අඩංගු වූ ශෘංගාරාත්මක ලේඛන කොටස් නිසා ය.

ඔබේ රස වින්දනය පිණිස ඒ ආකාරයේ කොටසක් පහත උපුටා දක්වමි.
(පිටු 24, 25 සහ 26)
ලජ්ජාශීලීත්වයට සහ නිදහස් ලිංගිකත්වයට එක ගෙයි විසිය නො හැකිය. මගේ රාගී උමතු දෑස සතු දිව්‍යමය බලය හැර යාමේ සමත් කමක් නෙළුම් තුල තවමත් ඇතැයි මට සැක සිතිණි. එහෙත් මගේ ගුප්ත බලය පිළිබඳව මා තුල ඇති විශ්වාසය තහවුරු කරමින්, මොහොතකට පසුව, ඇය මද සිනා පා දෙපයම මා දෙස දිගු කළා ය.

මම බංකුව පාමුලට ඇදී ගොස් .. .. ඇගේ පා මගේ උරහිස් මතින් පහතට ඇද දමා කලවා යුග්මය මැදින් මුහුණ හොවා ගතිමි. මුදු උණුසුම්, තුනී කපු කලිසමට යටින් ඇගේ වසා රොද අග්ගිස්ස මගේ මුහුණෙහි තැවරිණි.

මම ඇය වෙනුවෙන් ප්‍රේමයේ පුජාව පැවැත්වීමි. සත්තකින්ම ඇයට සිහි නැති විය. ඇය දෙවියන් දකින්නට ඇත. සුරාන්තය අපේ ආගම අනුව දෙවියන්ට සමීප ම මොහොතකි. ඒ නිමේෂයේදී පෙම්වත්තු සියලු ලෞකික බැඳීම්වලින් විනිර්මුක්ත ව දෙවියන් සමග සරති. ඇතමෙක් දෙවියන් දුන් බිජුවට ද ගැබෙහි පැළ කර ගනිති.
ඒ ශෘංගාරාත්මක ලේඛන සහ ප්‍රධාන කතාව හා සම්බන්ධ විවිධාකරායේ පරිසර වර්ණනාවලින් කුල්මත් වූ මගේ සිතට, ශාස්තෲ නවකතාවේ මූලික හරය ලෙස අජිත් පැරකුම් ජයසිංහ ඉදිරිපත් කරන දේශපාලන කරුණු නම් එක එල්ලේ ඇතුළු නොවූ බව කිව යුතුය.

එයින් හැඟෙන්නේ, මේ නවකථාව දේශපාලන සත්වයින්ට මෙන් ම, අප බොහෝ දෙනෙකු වැනි සාමාන්‍ය ක්‍ෂීරපායින්ට ද එකසේ කියවා රස විඳිය හැකි එකක් බවයි!

එයට අමතරව පැවසිය යුතු කාරණයක් වන්නේ සාහිත්‍ය විචාරක ඔස්තාද් ලා සමහරවිට සඳහන් කරන මැජික් රියලිසම් යන සංකල්පය (හෝ එවැන්න) සිංහල නවකථාවකින් මා ප්‍රථමවරට දුටුවේ ශාස්තෲ නවකතාවේ අවසානයේ දී බවයි. නවකථාවේ ආරම්භයේ සිට යථාර්තවාදී යැයි බොහෝ දුරට සිතෙන කතාවක් කියවමින් එන පාඨකයා ගේ හිසට මෙහිදී පොල්ලකින් ගසා අහසින් පොළවට බස්සවනු ලැබේ. එය ශාස්තෲ නවකථාවේ මා සිත් ගත් ලක්‍ෂණයකි.

අජිත් පැරකුම් ජයසිංහ ගේ ශාස්තෲ නවකතාව එය දොරට වැඩි දිනම මිලට ගත් ටැබූ නමින් එවකට නිර්නාමික බ්ලොග්කරනයක යෙදුණු පුද්ගලයා නවකථාව පිළිබඳව නිර්දය විචාරයක් කළේ ය.

ටැබූ ගේ ඒ "දෙඤ්ඤං බැටේ" විචාරය හා සසඳන විට මා සත්‍ය වශයෙන් ම ශාස්තෲ නවකතාව කොසියෙස්කෝ කඳු මුදුනත් වඩා ඉහළ මට්ටමක ගෙන ගොස් ඇති බව පෙනී යා යුතුය!

ශාස්තෲ නවකතාව සාහිත්‍යයට ප්‍රිය, දේශපාලනට ලැදි අප සැම දෙනා විසින් කියවිය යුතු කෘතියක් ලෙස හඳුන්වමි.

http://shasthru.blogspot.com/2010/12/blog-post.html

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිය මා ලියූවේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය නිමිත්තෙනි.

එය මෙලෙස රසිකොලොජියේ පලවෙන්නේ අදට (සැප්තැම්බර් 27) යෙදෙන අජිත් පැරකුම් ජයසිංහ ගේ පනස් වෙනි ජන්ම දිනය නිමිතේතෙනි.

අජිත් පැරකුම් ජයසිංහ සහෘද බ්ලොග්කරුවාට සුබ උපන් දිනයක් වේවා, මා ද මා සම්බන්ධයෙන් ප්‍රාර්ථනා කරන ආකාරයට, ජීවිතයේ ඉදිරි වසර පනහක කාලය නීරෝගීව ගත කර වේදනාවකින් තොරව චුත වීමට ලැබේවා යි ඉත සිතින් ප්‍රාර්ථනය කරමි!

ප/ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු ලිපියකි.

සාහිත්‍ය මාසයේ පළවුණු අනෙකුත් ලිපි මෙසේ ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia
8. ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya

Friday 25 September 2015

ඇඳුම් ගැන කතා - Fill gap measure


මේ පහත දැක්වෙන මුල් කතාව ඔබ වැඩි දෙනෙකු මීට පෙර අසා ඇතුවාට සැක නැත.

මරණ මංචකයේ සිටින සැමියා තම යහන ළඟ දුකෙන් තැවෙමින් සිටින බිරිඳ අමතා ඉතා කරුණාවෙන් මෙසේ කීවේය.

"ඩාලින් මං මළාට පස්සේ ඔයා තනිකඩව ඉන්න එපා. ආපහු කසාද බඳින්න."

ඉන් පසු ඔවුන් දෙදෙනා අතර ඇතිවූ දෙබස මෙ පරිදි විය.

"පිස්සු කතා කරන්න එපා ඩාලින්, තව ටික දවසකින් ඔයාට සනීප වෙනවා. මට ඔයා හැර වෙන කාවවත් ඕනෑ නෑ."

"නෑ, නෑ, ඩාලින් මං මළාට පස්සේ ඔයා ආපහු බඳින්නම ඕනෑ."

"අනේ ඇයි ඩාලින් මේ වගේ මගේ හිත රිද්දන කතා කියන්නේ? මට ඔයා නැතුව මේ මුලු ලෝකෙම ලැබුණත් වැඩක් තියෙනවාද?"

"නෑ, නෑ, ඩාලින් මේ මගේ අවසාන ඉල්ලීම විදියට සලකන්න. ඔයා තාම තරුණයි. මං මළාට පස්සේ ඔයා ආපහු බඳින්නම ඕනෑ. ඒ විතරක් නොවෙයි මගේ ඇඳුම් සූට් ටිකත් ඔයා ගේ ඒ අලුත් හස්බන්ටඩ්ට දෙන්න."

"ඒක නම් හරියන්නේ නෑ ඩාලිං. එයාට ඔයා ගේ ඇඳුම් ලොකු වැඩියි."

මට ඒ කතාව සිහිවූයේ, පසුගිය දිනක අසන්නට ලැබුණු පහත දැක්වෙන සත්‍ය සිදුවීම නිසාය.

මේ කාන්තාවන් දෙදෙනෙකු, වඩාත් හොඳින් කියනවා නම් මිතුරියන් දෙදෙනෙකු, අතර ඇති වූ දෙබසකි.

"මගේ එකම අරමුණ තමයි, මංගලා, හොඳට ඩයට් කරලා, හොඳට එක්සයිස් කරලා, හොඳට කෙට්ටු වෙලා, ඉන් පස්සේ මට අඳින්න ලොකු වැඩිවෙන මගේ හොඳ ඇඳුම් සේරම ඔයාට දෙන එක!"

"මොනවා, නිරූපා, ඒ කියන්නේ ඔයා කෙට්ටුවෙන අතරේ මං මහත් වෙන්නත් ඕනෑ කියන එක නේද?"

ඒ වගත් මෙසේම,

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් පළවෙන ලිපියක් නොවේ.

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia
8. ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya

Thursday 24 September 2015

ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya


වෘත්තියෙන් ඉංජිනේරුවෙකු සහ හිටපු නැවියෙකු වන හෙන්රි වර්ණකුලසූරිය, මීට පෙර "ඝාතනයට පෙර" නමින් නවකතාවක් ද, "තිරිසන් රාත්‍රිය", "සරණාගත කඳවුරේ යුවතියක ගේ මල්වර මගුල", "නගරාන්තර ප්‍රේමය" සහ "නෙත්මා දකිනු පිණිසය" යන කෙටිකතා සංග්‍රහ ද, සිනමා විචාර සහ සමාජ විචාර පොත් කිහිපයක් ද ලියා පළ කර ඇති පළපුරුදු ලේඛකයෙකි. ඔහු චිත්‍රපට සහාය අධ්‍යක්‍ෂණය කර ඇති (මේ මගේ සඳයි), කෙටි චිත්‍රපටයක් ද අධ්‍යක්‍ෂණය කර ඇති, සිනමාවේදියෙකු ද වේ.

ඒ සියල්ලටම වඩා වැදගත් කාරණය නම් හෙන්රි වර්ණකුලසූරිය අපේ සහෘද බ්ලොග්කරුවෙකු වීමයි.

විල්ලරවාඩිය නවකතාව ගැන ලියන්නට අරඹන විටම මගේ මතකයට ආවේ මා කියවා ඇති වෙනත් සුවිශේෂී නවකථා කිහිපයකි.

එයින් මුල් නවකථා ත්‍රිත්වය වන්නේ දකුණේ පැරණි සිංහල ගැමි සමාජය, නාගරික දේශීය ධනපති සමාජය දක්වා වර්ධනය වීමේ කතන්දරය හුදී ජන පහන් සංවේගය සඳහා සටහන් කිරීම පිණිස මාර්ටින් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය යි.

දෙවෙනුව මා සිහියට නැගුණේ ලංකාවේ සිංහල බහුතර මැද පන්තියේ කතන්දරය ලේඛන ගත කරමියි සිතා, ගුණදාස අමරසේකර විසින් ලියා ඇති "අ.පො.ස. වර්ගයේ" ගමනක මුල, මැද, අග වාර්තා පොත් පෙළයි.

අප කියවා ඇති අති බහුතරක් නවකථා පොත් ලියවී ඇත්තේ එකී සිංහල ගැමි පසුබිමකින් යුතු සමාජයෙන් උපන් වස්තු බීජ මුල් කරගෙන බව නොරහසකි. වරදත්ත වැනි ඓතිහාසික පසුබිමකින් යුතු ග්‍රන්ථ දෙක තුනක් හැරුණු විට, ජී.බී. සේනානායක විසින් ලියන ලද සියලුම නවකථා ද මේ සමාජ ස්තරය මත පදනම්ව ගෙතුණු ඒවා ය.

ඒ සම්මත සමාජ කඩතුරාවෙන් ඔබ්බට ගිය ගිය මා කියවූ මුල්ම නවකතාව වූයේ කුලසේන ෆොන්සේකා ගේ පාලම යට කෘතියයි. එහි සමාජ පසුබිම, සිදුවීම් සහ චරිත මට ඉතා ආගන්තුක වූ අතර එනිසා ම, මා පාලම යට කියවා ලැබුයේ අපමණ වින්දනයකි.

ඒ වින්දනය තවත් තීව්‍ර ආකාරකින් මා ලද්දේ මංජුල වෙඩිවර්ධන ගේ බත්තලංගුණ්ඩුව කියවීමෙනි. ඒ කතාව පසුබිම් වී තිබුණු පරිසරය, සමාජ කණ්ඩායම, එහි ආ චරිත, ඔවුන් ගේ චර්යාවන් යනාදී සියලු දේම මට ආගන්තුක විය. මංජුල වෙඩිවර්ධන ගේ කාව්‍යමය භාෂා හැසිරවීම තුළින් මැවෙන චමත්කාරය ද මුසු කරගෙන මා බත්තලංගුණ්ඩුව රස වින්දේ තලු මරමිනි.

ගමයි, පන්සලයි, කුඹුරයි, හන්දියේ කඩයයි ගැන ලියවුණු නොස්ටැල්ජික් හැඟීම් දනවන නවකථා කියවා හුරු පුරුදු මගේ සිතේ බත්තලංගුණ්ඩුව නවකතාවට ඇති වුණු කැමැත්ත විස්තර කළ හැක්කේ, අපට වෙනස් වූ පරිසරය, සමාජය, චරිත පසුබිම් කරගෙන ලියවුණු රුසියානු, ඉංගිරිසි ඇතුළු විදේශීය නවකථා කියවීමට අදටත් සිංහල පාඨකයින් තුළ ඇති නොනිමි ආශාව හා සසඳමින් පමණි.

බත්තලංගුණ්ඩුව කියවා මා ලද ආකාරයේ ම යම් ප්‍රමාණයක වින්දනයක් මම හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය කියවා ලදිමි. ඒ වින්දනය ආගන්තුක චමත්කාරය ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමි.

විල්ලරවාඩිය නවකථාවේ කියවෙන්නේ ලංකාවේ වයඹ දිසාවේ ගමක වාසය කරන ප්‍රධාන වශයෙන් කතෝලික ආගමිකයින් පිරිසක ගේ එදිනෙදා ජීවිතය හැලහැප්පීම් සහිතව ගෙවී යන ආකාරයයි.

ඒ විස්තර මගින් මා වැන්නන්ට ආගන්තුක චමත්කාරය ලබා දෙනවාට අමතරව හෙන්රි වර්ණකුලසූරිය තම විල්ලර වාඩිය කෘතිය හරහා ලංකාවේ සමාජ දේශපාලන වාතාවරණය 1947 සිට 1967 දක්වා වෙනස් වූ හැටි පිළිබඳ ඔහුගේ කියවීම අපට විස්තර කරයි. එය මේ නවකතාවේ ඉතා වැදගත් අංගයක් වන්නේ, නැවතත්, ඒ විපර්යාසයන්ට මුහුණ දෙන ජන කොටසේ ඇති සුවිශේෂීත්වය නිසා ය.

අනියම් සබඳකම්, තහනම් ආදර කතා ඇතුළු විල්ලරවාඩියේ එන ශෘංගාරාත්මක සිදුවීම් ද, විශේෂයෙන් ම ඒවා විස්තර කර තිබෙන සරල ආකාරය ද මා සිත ගත්තේ ය.

නවකතාවක් ලෙසට විල්ලරවාඩියේ ඇති එක දුර්වලකමක් ලෙස විචාරකයින් විසින් පෙන්වා දී තිබුණේ එහි චරිත රාශියක් විස්තරාත්මකව දක්වා ඇතිමුත්, ඒ චරිත සෑහෙන සංඛ්‍යාවකින් කථාවේ ගලායාමට හෝ කථාවේ මූලික කොටස්වලට එතරම් බලපෑමක් නොමැති වීමයි. ඊට අමතරව, මේ චරිත සියල්ලේම ආගන්තුක වූ නම් කතාව කියවන අතර මතකයේ රඳවා ගැනීම ද අසීරු බව කියවිණි.

මේ චරිතවල නම් පිළිබඳ ප්‍රශ්නය නම් රුසියානු නවකථා කියවද්දී මට ද ඇති වන්නකි. එහිදී තත්වය වඩාත් දරුණු වෙන්නේ මුල් නම සහ මුලු නමට අමතරව, සුරතල් නම්වලිනුත් රුසියානු චරිත විවිධ තැන්වල දී හැඳින්වෙන නිසා ය.

චරිත වැඩිවීමද ප්‍රශ්නයක් මුත්, දැනටමත් හෙන්රි වර්ණකුලසූරිය විල්ලරවාඩියෙන් ඇරඹුවේ ඈදුතු නවකථා කිහිපයක් බවට සාධක පහළ වී ඇති නිසා, විල්ලරවාඩියේ එන සුලු චරිත පසු නවකථාවල දී ප්‍රධාන භූමිකා ගනු ඇතැයි සිතමි.

මා මේ ලිපියේ මුල් කොටසේ සඳහන් කළ ගමනක නවකථා මාලාවේ දී එහි කතෘ ගුණදාස අමරසේකර, ලංකාවේ මධ්‍යම පන්තියේ ඉතිහාසය අපට කියන්නේ ලංකා ඉතිහාසයට තම ප්‍රලාප හිතුමතේට ඔබ්බවා විකෘති කරමිනි. ඒ කතා මාලාවේ ඇතැම් නවකථා හුදෙක් වාර්තා පමණක් ම වේ.

විල්ලරවාඩිය නවකථාවෙන් ආවරණයවන කාල වකවානුව තුළ ලංකා දේශපාලනයේ සිදුවෙන දේ විස්තර කිරීමේ දී, හෙන්රි වර්ණකුලසූරිය, මට වැටහුණු පරිදි නම්, ගුණදාස අමරසේකර කර ඇති ආකාරයේ විකෘති කිරීම් සිදුකර නොමැති බව කිව යුතුය.

අප දන්නා ඉතිහාසය තුළ දිවයන විල්ලරවාඩියේ දෙවන කොටස වන දඬ කඳවුර අන්තර්ගතයේ ද ඒ සීලය රැකීමට හෙන්රි වර්ණකුලසූරියට හැකි වී තිබෙනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් පළවෙන ලිපියකි.

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු අනෙකුත් ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia

Tuesday 22 September 2015

ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia


ශ්‍රී ලංකාව නිජබිම කරගත් සිංහලයින් ද මේ වන විට ලෝකය පුරා විවිධ රටවලට සංක්‍රමණය කර සැලකිය යුතු තරමේ විසිරි ජන කොටසක් හෙවත් ඩයස්පෝරාවක් බවට පත් වී ඇත. එයින් මා වෙසෙන ඕස්ට්‍රේලියාව තම නිත්‍ය වාස භූමිය කරගත් පිරිස සහ ඔවුන්ගෙන් පැවත එන දරු මුනුබුරු පිරිස පනස් දහසක් පමණ වෙති.

ඒ සමගම, අපේ සිංහල බ්ලොග් අර්ධගෝලයේ ද, සමානුපාතික නියෝජනයක් ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවන්ට හිමි වී ඇති බව පෙනේ.

මගේ මේ වෑයම, ඕස්ට්‍රේලියානුවාසී සිංහල බ්ලොග්කරුවන් අතරින් මා දන්නා කීප දෙනෙකු පිළිබඳව විස්තර කිරීමයි. මේ ලැයිස්තුව පලවෙන්නේ අකාරාදී පිළිවෙළට නොව විකාරාදී පිළිවෙළට (එනම්, මගේ සිතට එන අනුපිළිවෙලට) බව සලකන්න.

මේ ලයිස්තුවට ඇතුළත් විය යුතු වෙනත් අය ගැන ඔබ දන්නේ නම්, කරුණාකර මට ඒ විස්තර දන්වා එවන්න.


ඔබ්සර්වර් - සනත් විජේවර්ධන
වසර 2012 අප්‍රියෙල් මාසයේ දී අප අතරින් වියෝවුණු සනත් විජේවර්ධන තම ඔබ්සර්වර් නම් බ්ලොග් අඩවිය අරඹන විට කාලයක් තිස්සේ බ්ලොග් කියවන්නෙකු සහ අන්තිම පෙළිය නම් සාමූහික බ්ලොග් ප්‍රයත්නයේ ක්‍රියාකාරිකයෙකුව ද සිටියේ ය.

මූලිකව ම හාස්‍ය රසය බෙදා හදා ගැනීමට අමතරව, ඕස්ට්‍රේලියාව පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ද, සනත් ගේ බ්ලොගයේ පළවුණි.

ඔහු ගේ ලිපිවලින් හෙළිවුනු පරිදි ගම්පහ ප්‍රදේශයේ හැදී වැඩී, වෙස්ලි විද්‍යාලයෙන් සහ ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතයෙන් අධ්‍යාපනය ලැබූ සනත් විජේවර්ධන ඕස්ටේ‍ර්ලියාවට සංක්‍රමණය කරන්නට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කර ඇත.

ඕස්ට්‍රේලියාවේ බටහිර දෙසින් පිහිටි පර්ත් නගරබදව විසු සනත් සමග මම කිහිපවරක් ම දුරකථනයෙන් කතාබහ කර ඇත්තෙමි.

ඔබා හෙවත් ඔබා මාමා ලෙසින් සිංහල බ්ලොග් වැසියන් අතර ආදරයෙන් හැඳින්වුණු සනත් විජේවර්ධනව සැමරීම සඳහා අන්තිම පේළිය බ්ලොග් කණ්ඩායමේ සාමාජිකයෝ සෑම වසරකම ලංකාවේ දී ලේ දන් දීමේ වැඩ සටහනක් සංවිධානය කරති.

http://observer-nireekshaka-observer.blogspot.com/


මියුරු වර්ල්ඩ් - මියුරු
මියුරු වෙසෙන්නේ ද පර්ත් නුවරය. සිංහල බ්ලොග් ලියන්නන් අතරින් සනත් විජේවර්ධන හෙවත් ඔබ්සර්වර් ගේ අවමගුලට සහභාගී වෙන්නට ඉඩ ලැබුණේ ඇයට පමණි.

ඇගේ මියුරු වර්ල්ඩ් නම් වූ බ්ලොග් අඩවිය නම් දැන් අක්‍රිය වී ඇත. එය සක්‍රීයව පැවති කාලයේ විවිධ රසකතා අප හා බෙදා ගත් අයුරු ඇය අමතක කර දැමීම ගෙන දෙන්නේ දුකකි!

http://miyuruworld.blogspot.com/


රඟහල - තිසර ශ්‍රීමාල්
තිසර දැන් දිගු කාලක සිට බ්ලොග් කියවන්නෙකු, කමෙන්ට්කරුවෙකු සහ ෆේස්බුක් සැරිසරන්නෙකු වුවද, කලකට පෙර රඟහල නම් බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගියේය.

ඔහු වෙසෙන්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් නුවර තදාසන්නයේ ය. මා තිසර සමග කිහිපවරක් දුරකථනයෙන් කතාබහ කර ඇති වුවද, කිසි දා මුණ ගැසී නැත. අපට මුණ ගැසෙන්නට ලැබුණු හොඳම අවස්ථාවද, එදින පැවති කලබලකාරී වාතාවරණය නිසා අවාසනාවට මෙන් මග හැරී ගියේ ය.

http://rangahala.blogspot.com/


දයල් බතී - දයල් බතී
දයල් බතී නම් බ්ලොග් අඩවියේ එනමින් ම පෙනී සිටින එහි කතෘ වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ බව ඔහු ලියන ඇතැම් ලිපිවලින් පෙනේ. සමහරවිට දයල් බතීව මට මුණ ගැසී තියෙන්නට ද ඉඩ තිබේ. නමුත් ඒ ගැන මට නිශ්චිතව කිව නොහැක.

දයල් බතී බ්ලොග් රචකයා ගේ ඒ ආරුඪ නාමය සිගිරියේ කුරුටු ගී ලියූ කවියෙකු ගේ බව කියවේ. බ්ලොග් ලියන දයල් බතීට ඇත්තේ ද අසමසම රචනා විලාසයක් බව කිව යුතුය. එනම්, ඔහුටම ආවේණික ඒ ලිවීමේ ශෛලිය මා වෙනත් කිසිදු ස්ථානයක දැක නොමැත.

http://dayal-bathee.blogspot.com/


රයිගම හන්දිය - චන්ද්‍රකුමාර
රයිගම හන්දිය බ්ලොග්කරුවා ගේ නම චන්ද්‍රකුමාර යැයි බ්ලොගයේ පැවසේ. කැන්බරා නුවර රජයේ සේවයේ නිරත විද්‍යාඥයෙකු බවද එහි පළවෙන ලිපි මගින් සොයා ගත හැක.
රයිගම බ්ලොගය රචනා වෙන්නේ සැමට නොව කීප දෙනෙකුට කියවීමට පමණක් යැයි බ්ලොග්කරුවා නිතර පවසයි.

නමුත් මගේ අදහස නම්, ලංකාවේ පරණ කථාවල සිට, රුසියාව, එංගලන්තය හරහා ඕස්ටේ‍ර්ලියාව දක්වා ද, පතෝල කරලේ සිට සොසේජ් කරල දක්වා ද විහිදෙන මේ බ්ලොගයේ අන්තර්ගතය අප හැම දෙනාටම විටින් විට රස විඳිය හැකි සලාදයක් බවයි.

ඔහු සමග මා කිහිප විටක් දුරකථනයෙන් කතා බහ කර ඇත.

https://raigamahandiya.wordpress.com/


ඕෆ් ද ටැන්ජන්ට් - නිරෝ
නිරෝෂිණී වාසය කරන්නේ මෙල්බර්න් නුවර ය. ඇය පරිගණක විද්‍යාඥවරියක බවත්, ළඟදී ආචාර්ය උපාධිය ලැබූ බවත්, ඊට කලින් යුග දිවියට ඇතුළත් වුණු බවත් මම ඒ බ්ලොගයෙන් කියවා ඇත්තෙමි.

නිරෝ මට එක් දිනක් මුණ ගැසුණු මුත් ඒ අවස්ථාවේ තිබූ කනගාටුදායක තත්වය නිසා අල්ලාප සල්ලාපයේ යෙදීමට නොහැකි විය.

http://niro-offonatangent.blogspot.com/


රසිකොලොජිස්ට් - රසික සූරියආරච්චි
මගේ බ්ලොග් ලිවීම ගැන මෙතනින් කියවන්න.

1. http://rasikalogy.blogspot.com/2014/10/off-we-go.html
2. http://rasikalogy.blogspot.com/2015/04/blogging-for-ten-years.html


මැල්බනයේ විත්ති – ප්‍රබුද්ධ මිස්සක
ප්‍රධාන වශයෙන් මෙල්බර්න් නගරයේ සහ පොදුවේ ඕස්ට්‍රේලියාවේ විස්තර සහිතව කෙටි කලක් පැවතුණු බ්ලොගයකි.

http://storiesfrommelbourne.blogspot.com/


ඔසී කතා - කස්ස
දැනට වසර දෙකකින් පමණ යාවත්කාලීන වී නැති වුණත් ඔසී කතා පවත්වාගෙන ගිය කාලයේ එය තරමක ප්‍රසිද්ධියක් ලත් බ්ලොග් අඩවියක් බව මගේ මතකයයි.

මෙහි රචකයා වන කස්ස යනු එනමින් අන්තිම පේළියේ (හෝ එවැනි තැනක) ලියූ කස්ස දැයි නොදනිමි!

http://ozikatha.blogspot.com/


සිඩ්නි සිතුවිලි – ප්‍රියන්ත ෆොන්සේකා
ඔහු සිඩ්නි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයෙකු ලෙස ගත කළ සමයේ ලද අත්දැකීම් ඇසුරෙන් සිඩ්නි සිතුවිලි නම් බ්ලොග් අඩවිය ලියූ ප්‍ර්‍රියන්ත ෆොන්සේකා දැන් ආපසු ලංකාව බලා ගොස් කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සේවය කරයි.

http://sydneythought.blogspot.com/


ඇත්ත කතා - ගීතක ජයසූරිය
ගීතක ජයසූරිය විසින් කාලයක් තිස්සේ පවත්වා ගෙන ආ ඇත්ත කතා නම් වූ බ්ලොග් අඩවිය ඔහු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීමත් සමගම වසා දමා ඇති බව කණගාටුවෙන් දැන්විය යුතුය.

ඇත්ත කතා රචකයා පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ උගත් අයෙකු බව ඔහු ලියූ ලිපිවලින් සහ කමෙන්ටුවලින් හැඟී ගියේ ය. ඔහු දැන් ජීවත් වෙන්නේ මෙල්බර්න් නගරයේ ය. ඇත්ත කතා බ්ලොගයේ පල වූ ඒ සියලු ලිපි සුරක්‍ෂිතව ඇති බව මා ඔහුට දුරකථනයෙන් කතා කළ වේලේ ගීතක මා සමග පැවසීය.

බ්ලොග් ලිවීම අතහැර ඇති වුවද, මේ දිනවල ගීතක ෆේස්බුක් අවකාශයේ නම් නිබඳව සැරිසරනු පෙනේ!


මා බාල කාලේ - කවිඳු ජයසිංහ
මේ බ්ලොග් අඩවිය මගේ ලැයිස්තුවට ඇතුළත් වෙන්නේ තමා වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේ බව කවිඳු නමින් බ්ලොග් ලියන්නා විසින් මට දන්වා එවා තිබුණු බැවිනි. ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උගත්තෙකු බව ද කලකට පෙර එහි පලවී තිබුණු ලිපිවලින් මම දැන ගත්තෙමි.

නමෙන් ම පැවසෙන පරිදි මේ බ්ලොග් අඩවියේ ලියවෙන්නේ කවිඳු ජයසිංහ ගේ ජීවිත කතාවයි. බාල කාලේ විස්තර පමණක් නොව විශ්ව විද්‍යාල සමයේ කතා ද එහි ඇතුළත් බව කිව යුතුය.

http://kalukitty1.blogspot.com/


යාං හෑලි - මහසොහොන් පිල්ලිය
මේ අන්වර්ථ නාමයෙන් බ්ලොග් ලිපිවලට ප්‍රතිචාර දක්වන්නා මෙල්බර්න් නුවර වාසය කළේ ය. ඔහු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරන අයෙකු බව මගේ අදහසයි. මුලින් කමෙන්ට්කරුවෙකු පමණක් වුවද, මහසොහොන් පිල්ලිය පසුව බ්ලොග් අඩවියක් ද ඇරඹීය.

මේ වෙන විට මහසොහොන් පිල්ලිය ඕස්ට්‍රේලියාවේ වාසය කරන්නේදැයි ස්ථිරව කිව නොහැකි මුත්, මේ ලයිස්තුවට ඔහුව ද ඇතුළත් කළ යුතු යැයි මට සිතුණි.

http://mahason-gibberish.blogspot.com/


බ්ලොග් කවි - සුනිල් ගෝවින්නගේ
සුනිල් ගෝවින්නගේ යනු දශක ගණනාවක් තිස්සේ ප්‍රබන්ධ සාහිත්‍යය සහ සාහිත්‍යකරුවන් ඇසුරු කළ අයෙකි. ද්වි භාෂා රචකයෙකු වන ඔහු ඉංගිරිසියෙන් මෙන්ම සිංහලෙන් ද කෙටිකතා, නවකථා සහ කවි පොත් රචනා කර ඇත.

තම කාව්‍ය රචනා පාඨකයින් සමග බෙදා ගැනීම පිණිස සුනිල් බ්ලොග් අඩවි දෙකක් භාවිතා කරයි. ඉන් පළමුවැන්න මතක මාවත වන අතර දෙවැන්න පර්ත් කවි වේ.

1. http://perthkavi.blogspot.com/
2. http://govinnage.blogspot.com/


බ්ලොග් හතක් ලියන සුජීව කොකාවල
සයිබර් අවකාශයේ දිගු කාලයක සිට බඩ පිනුම් ගසන ෆැටී ෆ්‍රොග් (නමින් සැදි ඊ-මේල් ලිපිනයක් ඇති) සුජීව කොකාවලව අමුතුවෙන් හඳුන්වා දිය යුතුද?

සුජීව ගැන මා මුලින් දැන ගත්තේ ප්‍රධාන වශයෙන් ම බ්ලොග් අඩවිවල දීරඝ කමෙන්ට්කරුවෙකු ලෙසය. නිරතුරු යාවත්කාලීන නොකළ ද, ඔහු ඔහු ගේ ම බ්ලොග් අඩවි කිහිපයක් ම පවත්වා ගෙන යයි.

එසේ නමුත් සුජීව කොකාවල තම ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය ලෙස යොදා ගන්නේ ෆේස්බුක් අවකාශයයි. ඒ ඔහු මූලිකව ම දේශපාලන සත්වයෙකු නිසා යැයි සිතමි.

සුජීව ගේ බ්ලොග් අඩවිවල අන්තර්ගතය සහ ඔහු ගේ ෆේස්බුක් සටහන්වල අන්තර්ගතය එකිනෙකින් හාත්පසින්ම වෙනස් බව කිව යුතු ය.

ඕස්ට්‍රේලියාවේ දි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව කාලයක් ලංකාවේ ගත කළ සුජීව නැවත 2012 දී මෙහි සංක්‍රමණය කළ පසු මට ප්‍රථම සහ එකම වතාවට හමුවිය. දුරකථනයෙන් නම්, දෙතුන්වරක් ම කතා බහ කර ඇත්තෙමි.

1. http://a-y-a-a-l-e.blogspot.com/
2. http://vagathuga.blogspot.com/
3. http://slash-dev-slash-null.blogspot.com/
4. http://nikamata.blogspot.com/
5. http://free-unbound.blogspot.com/
6. http://short-katha.blogspot.com/
7. http://stray-foot.blogspot.com/


ජීවිතයේ කෙටි සටහන් - අනුෂ්ක තිලකරත්න
මා අනුෂ්කව හැඳින ගත්තේ බූන්දිය හරහාය. වසර තුනකට පෙර ඔහු සිනුවරට සංක්‍රමණය කළේ ය. ඉඳහිට කවියක් දෙකක් බ්ලොගයේ පළකරයි.

ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවන් අතරින් මගේ ළඟම අසල්වැසියා ඔහු ය. ළඟම කිව්වාට කිලෝ මිටර් අටක් පමණ ඇත.

http://anushka0703.blogspot.com/


පොඩි කුමරිහාමි - ප්‍රවීනා පලිපාන
වසර පහක පමණ කාලයක සිට බ්ලොග්කරනයේ යෙදෙන පොඩි කුමාරිහාමි හෙවත් බොහෝ දෙනා ඇය හඳුන්වන පරිදි පොඩ්ඩි වෙසෙන්නේ ඕස්ටේ‍ර්ලියාවේ, වික්ටෝරියානු ප්‍රාන්තයේ, මෙල්බර්න් නගරයේ නිරිත දෙසින් පිහිටා ඇති නියම්ගමක බව දැන් නිශ්වය වශයෙන්ම දනිමි.

මුල් අවුරුදු කිහිපය තුල නිතිපතා රසකතා ලියූ ඇයට, පසුව ඒ ඇබ්බැහියෙන් තරමක් මිදුණි. එයට හේතුව අහුකුණ්ටිකයෙකු මෙන් හැම තැන ඇවිදින අවිවේකී ජීවිතයක් ගත කිරීම බව ඇය පවසා ඇත.

නමුත් ඒ හැම දීර්ඝ සංචාරකින්ම පසුව ඒ ගමන් විස්තර සහිත රසවත් ලිපියක් අප හමුවට ගෙන ඒමට ඇය අමතක නොකරයි. ඒ ගැන මගේ ස්තුතිය ඇයට හිමිවේ.

http://podikumarihami.blogspot.com/


ලංකාවෙන් පිටත වෙසෙන සිංහල බ්ලොග්කරුවන් විසින් පවත්වාගෙන යනු ලබන බ්ලොග් එක් ස්ථානයකට එකතු කළ සින්ඩිකේටරයක් ද මට පසුගිය දිනයක හමුවිය. එය රටගිය ඇත්තෝ ලෙසින් නම් කර තිබුණි.

http://ratagiyaeththo.blogspot.com/

රටගිය ඇත්තෝ යනු දිගු කලකට පෙර ලංකාවේ විකාශනය වූ ටෙලි නාට්‍යයකි. එහි කතා වස්තුව වූයේ ලංකාවෙන් එංගලන්තයට සංක්‍රමණය කළ පිරිසක ගේ ජීවිත ගෙවෙන ආකාරයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිය සැකසුණේ 2015 සාහිත්‍ය මාසය වෙනුවෙනි.

සාහිත්‍යය යනු මුද්‍රිත පොත් පමණක් ම නොවන බව කියවීමට කැමති සියලු දෙනා විසින්ම වටහාගත යුතු වේ!

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු අනෙකුත් ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!

Sunday 20 September 2015

අතට අත දීම උතුම් ක්‍රියාවකි, ආයිබෝං කීම පීචං ක්‍ර්‍රියාවකි (මෛත්‍රීපාල සිරිසේන සහ සරත් ෆොන්සේකා ගේ චර්යාවන් ඇසුරෙන් කළ නිගමනයක්) - Lets follow our pollies


අප පොඩි කාලේ පාසලේ දී ඉගෙන ගත්තේ "ආයුබෝවන්" කියන්නට ය. ඒ අත් දෙක එකට තබා ඔසවා නිකට අසලට ගෙන එමිනි. පසු කලෙක පාසලේ දී ආයුබෝවන් කෑල්ල ගුඩ් මෝනිං දක්වා මාරු වුවද, අත් දෙක බැඳ කළ ආචාරය නම් එලෙසම පැවතුණි.

අපේ තාත්තා නම්, ගමේ අයෙකු, හිතවතෙකු මුණ ගැසුණු විට "ආයුබෝවන්" කීවේ බොහෝ විට වචනයෙන් පමණි. අත් යුගලෙන් ආචාර කළේ විශේෂ අවස්ථාවන් හි දී ය.

අත් දෙක එකට තබා ඒවා නිකට අසලට ඔසවන්නේ නැතුව පපුව අසල අමාරුවෙන් මෙන් තබාගෙන "ආයුබෝවන්" කියන්නට ද හැකි බව මුලින්ම එයා ලංකා වෙළඳ දැන්වීම්වල දකින තුරු මා දැන සිටියේ නැත. මා අද වෙනතුරු එසේ ආචාර කිටීමට උත්සාහ කර නැති අතර, එයා ලංකාවේ හෝ ශ්‍රී ලන්කන් එයා ලයින් එකේ අය හැර එලෙස ආචර කරන අය දෑසින් දැක නැත.

පොඩි කාලයේ සිට ම පාසලේ දී දෙ අත් බැඳ ආචාර කීරීමට පුරුදු වූ මා මුලින්ම යමෙකුට අතට අත දී යුරෝපීය ක්‍රමයට ආචාර කළේ කවදා දැයි දැන් සිහි කර ගත නො හැක. සමහර විට එය මිතුරන් අතර සිදුවෙන්නක් ලෙස අප ඇරඹූවා විය හැක.

කෙසේ වෙතත් දැන් නම් වචනයෙන් "ආයුබෝවන්" කීම කෙසේ වෙතත් අත් දෙක එකට තබා ආචාර කිරීමක් උත්සව අවස්ථාවක දී හැර කළොත් එසේ කරන්නේ සරදමකට හෝ විනෝදයට හෝ පමණි.

පසුගිය ඡන්ද කාලයේ දේශපාලුවන් වීදි සංචාරය කරමින්, රැස්වීම් අමතමින් මනාප හිඟමනේ යන අතරතුර "ආයුබෝවන්" කියනු විශාල වශයෙන් දකින්නට ලැබුණි. දේශපාලුවන් හා සාමාන්‍ය ජනතාව අතර ආචාර සමාචාරය එසේ "ආයුබෝවන්" වචනයට සහ අත් දෙකින් කරනු ලබන ආචාරයට සීමාවූව ද, දේශපාලුවන් ඔවුනොවුන් අතර ආචාර සමාචාර කරගන්නේ (අප සහ අපේ මිතුරන් අතර මෙන්) අතට අත දීමෙන් බව නො රහසකි.

පසුගිය මාස කිහිපය ඇතුළත දුටු, ඇසූ, කියවූ සිදුවීම් දෙකක් හරහා මට හැඟී ගියේ ලංකාවේ දේශපාලුවන් ගේ චින්තනය වන්නේ, අතට අත දීම උතුම් ක්‍රියාවකි, "ආයුබෝවන්" කීම පීචං ක්‍ර්‍රියාවකි යන්නද කියායි!

මෙයට හොඳම උදාහරණ සැපයුවේ මෛත්‍රීපාල සිරිසේන සහ සරත් ෆොන්සේකා නම් දේශපාලුවන් ඩබලය. ඒ සංසිද්ධි දෙකටම කලින් මේ ඩබල ගේ ලොක්කා වූ ද, පසුව පරම සතුරා වූ ද, මහින්ද රාජපක්‍ෂ නම් දේශපාලුවා සම්බන්ධ විය.

මා නිරීක්‍ෂණය කළ මුල් අවස්ථාව එළැඹුණේ පසුගිය වසරේ දිනක ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් දිනයේ දී ය. එහි දී මහින්ද රාජපක්‍ෂ තම ප්‍රතිවාදියා වූ මෛත්‍රීපාල සිරිසේනට අතට අත දී ආචාර කීරීම සඳහා සුරත දිගු කළ විට මෛත්‍රීපාල සිරිසේන කළේ තම අත දිගු නොකර ඒ වෙනුවට අත් එකට තබා ඔසවා "ආයුබෝවන්" කීමයි.

මන්තර, බලි තොවිල්, කේන්දර යනාදී පුහු විශ්වාස හිස මුදුනේ තබා ගෙන සිටින්නෙකු වන මහින්ද රාජපක්‍ෂ එදා නාමයෝජනා දීමට පැමිණියේ එක අතක ඇති වශී බෝලය සමග පමණක් නොව, සුරතේ වශී තෙලක් ද ගා ගෙන බවත්, එනිසා මෛත්‍රීපාල සිරිසේන අනෙකා ගේ අතට අත දීමෙන් වැළකී සිටිය බවත් ඒ දිනවල පතුරවා හැරි එක් ආරංචියකින් කියවිණි.

වශී තෙල් කතාව කෙසේ වෙතත්, ඉහත පැහැදිලි කිරීමෙන් ඇත්තටම කියවෙන කතාව වූයේ, මහින්ද මට අතට අත දී ආචාර කරන්නට ආවා, නමුත් මං අතට අත දී ආචාර නොකර ඊට වඩා පහත් ආචාර ක්‍රමයක් වූ ආයුබෝවන් කියා බේරුණා කියලා හිටං ය.

අතට අත දුන්නානම් වෙන්නට තිබුණු මදිකම, අඩුපාඩුව, ඒ වෙනුවට, ඊට වඩා පහත් ආචාර ක්‍රමයක් වූ "ආයුබෝවන්" කියා කීමෙන් මග හැරී ගොස් ඇත.

මා නිරීක්‍ෂණය කළ මේ කාරණය හා සම්බන්ධ දෙවෙනි අවස්ථාව එළැඹුණේ පසුගිය දා රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දුන් දිනයේ දී ය.

අප විවිධ නිශ්චල ඡායාරූපවලින් සහ චලන දර්ශන හරහා දුටු පරිදි මෙදින උත්සවයට සහභාගී වූ ආරාධිත දේශපාලුවන් අතර මහින්ද රාජපක්‍ෂ සහ සරත් ෆොන්සේකා ද සිටියහ. මේ දෙදෙනාට අසුන් පනවා තිබුණේ දෙන්න දෙපැත්තෙන් සාංචි මැද්දෙන් ආකාරයට දෙන්නා මැද්දට හිටපු දේශපාලුවෙකු වූ ර ප්‍රේමදාස ගේ වැන්දඹු බිරිඳ සමගිනි.

යම් රූපවාහිනී වැඩසටහනක දී ඒ අවස්ථාව විස්තර කරමින් සරත් ෆොන්සේකා කීවේ, එහිදී තමා හේමා ප්‍රේමදාස හා මල් කඩද්දී මහින්ද රාජපක්‍ෂ අනිත් පැත්තේ සිට ෆුට්බෝඩ් එකේ යෑමට පටන් ගත් බවත්, "කොහොමද සරත්?" කියා ඇසූ විට තමා දීර්ඝ පිළිතුරක් නොදී "හොඳයි" කියා පමණක් කී බවත් ය.

මෙහිදී ඒ රූපවාහිනී සාකච්ඡාව පැවැත්වූ පුද්ගලයා "ඔබ මහින්ද රාජපක්‍ෂ සමග අතට අත දී ආචාර සමාචාර පැවැත්වූවා නොවේද?" යි සරත් ෆොන්සේකාගෙන් විමසූවේය.

එවිට සරත් ෆොන්සේකා කීවේ, එහිදී අතට අත දීමක් කිසිසේත් ම සිදු නොවුණු බවත් ඒ වෙනුවට (ඊට වඩා පහත් ආචාර ක්‍රමයක් වූ) "ආයුබෝවන්" කීම පමණක් කළ බවත් ය.

මා මුලින් කී පරිදි දේශපාලු ලොක්කෝ අප වැනි සොක්කන්ට අත් එකතු කර "ආයුබෝවන්" කියා කීවද, ඔවුනොවුන් පුද්ගලිකව ආචාර සමාචාර කර ගන්නේ හැම විටම අතට අත දීමෙනි.

මේ අවස්ථාවේ දී සබයට පිවිසෙන දේශපාලු රනිල් වික්‍රමසිංහට, දේශපාලු මහින්ද රාජපක්‍ෂ විසින් අතට අත දීමට සැරසෙන ආකාරයත්, රනිල් වික්‍රමසිංහ එය මග හැර ගොස්, පළමුව පුජ්‍ය පක්‍ෂයට වැඳ නමස්කාර කිරීමේ මහජන ප්‍රදර්ශනය පවත්වා ආපසු පැමිණ මහින්ද රාජපක්‍ෂට අතට අත දී ආචාර කරනවාත් අප දුටුවෙමු.

එනිසා, අපට මුලින් කී නාමයෝජනා දිනයේ දී මෛත්‍රීපාල සිරිසේන ගේ හැසිරීමෙන් ද, සරත් ෆොන්සේකා ගේ ඉහත ප්‍රකාශයෙන් ද හැඟී යන්නේ, මහින්දට අප කිසි ලෙසකින්වත් (වඩා උතුම් ක්‍රමය වූ) අතට අත දී ආචාර කළේ නැත, නමුත් අප (ඊට වඩා පහත් ආචාර ක්‍රමයක් වූ) ආයුබෝවන් කීම පමණක් කළෙමු යන්න මිස වෙනකක් නොවේ.

අපේ දේශපාලු නායකයින් ආදර්ශයෙන් දෙන අවවාද අප පිළිගත යුතු නොවේද?

එසේ නම්, අතට අත දීම උතුම් ක්‍රියාවකි, "ආයිබෝං" කීම පීචං ක්‍ර්‍රියාවකි යන්න අප ද අද සිට හෝ පිළිගෙන ක්‍රියාවට නැංවිය යුතුවේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අතට අත දීම ගැන කොටි වලිගය චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා රඟ පෑ පොලිස්කාරයා ගේ චරිතය කළ ප්‍රකාශය මතක ද?

ප/ප/ලි:
මේ 2015 සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් පළවෙන ලිපියක් නොවේ.

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!

(image: http://colombogazette.com/2015/07/02/president-refuses-to-give-mr-nominations/
Dailymirror Sri Lanka - YouTube clip)

Friday 18 September 2015

ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!


පොත්වලට පිට කවර දැමීම අප කුඩා කාලයේ ඉතා කැමැත්තෙන් සිදුකළ කර්තව්‍යයකි. මේ පිටකවර දැමීම සැමවිටම පාහේ කෙරුණේ පාඩම් පොත් යනුවෙන් හැඳින්වුණු පාසල් පෙළ පොත් සහ සටහන් සඳහා භාවිතා කළ ඇක්සයිස් පොත් වශයෙන් හැඳින්වුණු අභ්‍යාස පොත් සඳහා ය.

ඒ සඳහා අප උපයෝගී කර ගත්තේ බ්‍රව්න් පේපර්, බිස්කට් පැකට් කොළ, සඟරාවල වර්ණයෙන් මුද්‍රිත පිටු යනාදියයි. එසේම, ඒ කවර නිසි පරිදි සැකසීම සඳහා අපි ගම් හෙවත් මැලියම්, සෙලෝටේප් මෙන් ම, ස්ටේපල් කටු ද භාවිතා කළෙමු.

මා එලෙස ඇක්සයිස් පොත්වලට සහ පාඩම් පොත්වලට පිටකවර දැමුයේ කුඩා කාලයේ දී ය.

එසේ වුවත්, අපේ සමහරු ලොකු ළමයි වූ පසුව ද නවකථා, කෙටිකතා, කවි පොත් මෙන් ම අනෙකුත් විවිධ ග්‍රන්ථවලට ද මෙසේ පිටකවර දමා තිබෙනු මා දැක ඇත.

සාමාන්‍යයෙන් අඳුරු පැහැ කොළයක, ඉදිරි පස කළු පැහැයෙන් යුතු මෙලෝ රහක් නැති චිත්‍රයක් ද, පසු පැත්තේ චක්කරේ හෝ යාර-අඩි-අඟල් යනාදිය මෙට්‍රික් ක්‍රමයට පෙරළන වගු ද මුද්‍රණය කර තිබූ ඇක්සයිස් පොත් නම් පිට කවරයකින් වසා දැමීමේ යම් තේරුමක් තිබුණ ද, ඕෆ්සෙට් වෛවර්ණයෙන් මුද්‍රිත, අගනා සිතුවමින් සමන්විත වූ, බොහෝ විට තුනී ප්ලාස්ටික් ආලේපනයකින් ද සංරක්‍ෂණය වූ නවකථා කෙටිකතා කවි යනාදී මුද්‍රිත පොත්වලට මේ ආකාරයේ පිටකවර දැමීමෙන් සිදුවෙන්නේ ඒ මුද්‍රිත පිටකවරය එක්කෝ සම්පුර්ණයෙන් වැසී යාමයි, නැතිනම්, විනිවිද පෙනෙන ප්ලාස්ටික් කොළවලින් පිට කවර යොදන අවස්ථාවල දී, මුද්‍රිත පිටකවරයේ අලංකාරය මැකී යාමයි.

පොත් පිටකවර යනුවෙන් මා අද කතා කරන්නට අදහස් කරන්නේ එලෙස වැසී යන පොත් පිට කවර ගැන ය. ඇත්තම පොත් පිටකවර නම් ඒවා ය!

තරමක බරපතල පණ්ඩිත ගතියක් ඇති වචනයක් වූ කංචුකය ලෙසින් ද පොත් පිටකවර හැඳින්වේ.

පොත් ලියන්නෝ ලේඛකයෝ ය. ඒ පොත්වල මුද්‍රිත පිටපත් සාදන්නෝ මුද්‍රණකරුවෝ ය. ඒ සඳහා බරපැන දරන්නෝ පොත් ප්‍රකාශකයෝ ය. මීට අමතරව, පොත් බෙදාහරින්නෝ ද, පොත්හල් හිමියෝ ද, තවත් විවිධ වෘත්තිකයෝ ද, ලේඛකයා ගේ මනසේ බිහිවී අතින් නිමවෙන අකුරු පාඨකයා ගේ දෙනයන හරහා ඔවුන් ගේ මනස කරා ගෙන යාමේ සැපයුම් දාමයේ සිටිති. පොත් පිටකවර නිර්මාණකරුවෝ ඒ සැපයුම් දාමයේ වැදගත් කර්තව්‍යයක් කරන්නෝ වෙති.
අතුරු කරුණක් කිවහොත්, ලංකාවේ පොත් ප්‍රකාශන කර්මාන්තය, බටහිර රටවල මොඩලය හා සසඳන විට පෙනී යන වැදගත් කරුණක් නම්, ඒ සැපයුම් දාමයේ සිටිය යුතු සංස්කාරකවරුන් සහ සෝදුපත් කියවන්නන් ලංකාවේ බොහෝ විට නො සිටීමයි. එය පාඨකයාට මෙන්ම ලේඛකයාට ද අහිතකර ලෙස බලපාන්නකි.
ඉංගිරිසි බසින් පොත් ලියන්නෝ අත් අකුරෙන් අත් පිටපත් ලිවීම අත හැර දමා බොහෝ කල් ය. මේ වන මුලින් යතුරුලියනය භාවිතා කළ අය ද, පරිගණකයට මාරු වී ඇත.

එහෙත් පොත් නිමවා ඇති සිංහල ලේඛකයින් අතරින් තවමත් කොම්පියුටරයක සිංහලෙන් අකුරු සැකසිය හැක්කේ කිහිප දෙනෙකුට පමණක් යැයි මම සිතමි.

අකුරු වලින් වචන ලියූවද, වචන එකතු කර වාක්‍ය සෑදූවද, වාක්‍ය මගින් ඡේද, පරිඡේද, සර්ග සහ සම්පූර්ණයෙන් ම ග්‍රන්ථය සැකසූවද, පිටපත යතුරු ලියනය කෙරුවද, ලේඛකයෙකු තමන් ගේ කෘතිවල පිටකවරය සාදා ඇති අවස්ථා මා දැක ඇත්තේ ඉතාමත් කලාතුරකිනි. එයට හේතුව, චිත්‍ර, ඡායාරූප සහ ග්‍රැෆික් නිර්මාණකරණය යන්න ලේඛන කලාවෙන් බොහෝ දුරට පරිබාහිර වූ වෙනනම ලෝකයක් වීමයි.

පොතත් ලියා, එහි පිට කවරයත් සැකසූ ලේඛකයෙකු වශයෙන් මා දැන සිටියේ මහගම සේකර ගැන පමණි. අප කුඩා කාලයේ ඉතා හොඳ පොත් පිටකවර සැකසූ අයෙකු වූ ඒ.ඩී. රංජිත් කුමාර ලියූ "සඳවට රන් තරු" නම් නවකතාවේ පිටකවරය නිර්මාණය කර ඇත්තේ වෙනකෙකු බව දැක මම පුදුමයෙන් පුදුමයට පත් වුණෙමි. මගේ පොත් එකතුවේ තමන් ගේ පොතකට තමන් ම කංචුකයක් නිර්මාණය කළ ලේඛකයෙකුට සිටියේ ඉසුරු ප්‍රසංග නම් කවියා පමණි.

ඉහත සියලු විස්තර ලියුවේ මූලිකව ම මා ලියූ පොත් දෙකේ පිටකවර ගැන සඳහනක් කරන්නටයි.

වසර දාසයේ සිටම විවිධාකාරයේ කවි, කෙටිකතා ලියූවද, ඒ නිර්මාණ ඇක්සයිස් පොත්වල ලියා මුද්‍රණද්වාරයෙන් නොව හස්තද්වාරයෙන් එළි දැක්වූ මට ඉන් සෑහෙන කාලයකට පසුව මුද්‍රණද්වාරයෙන් ද පොතක් එළි දක්වන්නට කැමැත්තක් ඇති විය.

ඒ කවි පොතකි. විවිධ සඟරාමය ප්‍රකාශනවල සිව් වැදෑරුම් නමින් පළ වූ, සිව් ආකාරයක කාව්‍ය නිර්මාණවලින් සමන්විත ඒ කාව්‍ය සංග්‍රහය මා එය නම් කළේ "සිව් සිත් කව්" යනුවෙනි.

ඒ 2008 නොවැම්බරයේ දී ය.

බොහෝ කාලයක සිට මුලින් මගේ අතින් ලියවුණු, පසුව මගේ අතින්ම පරිගණක ගතවුණු, එයිනුත් පසුව පොතක් ලෙස සෑදුණු ඒ කවි එකතුව සඳහා කංචුක නිර්මාණය ද මා ම කළ යුතු යැයි මට සිතුණි.

"සිව් සිත් කව්" යන නමට ගැලපෙනවා යැයි මට සිතුණු ඒ කංචුකය ලැප්ටොප් පරිගණකයයේ ඇති අති සරල පේන්ට් මෙවලම උපයෝගී කරගෙන මා නිර්මාණය කළේ සිනුවර සිට කොළොම්පුර බලා යද්දී සිංගප්පූරු ගුවන් තොටුපලේ විවේකාගාරයේ දී ය.


මා නිමැවූ ඒ කවරය පිළිබඳව "සිව් සිත් කව්" ප්‍රකාශක ජනක ඉනිමංකඩ කිසිවක් නොකීවේ ය.

නමුත්, මගෙන් තැපැල් මගින් පොතේ පිටපතක් ලද, කවි, කෙටිකතා, විචාර සහ (පසුව) නවකථා යනාදී පොත් රැසක කතුවරයෙකු වන මා මිතුරෙකු ඊ-මේල් මගින් මට දන්වා සිටියේ ඒ කවරය මෙලෝ රහක් නැති බවත්, කවි පොතකට කිසිසේත් ම නොගැලපෙන එකක් බවත් ය.

මිතුරා ගේ කතාව ඇසූ මා, නැවත පොතක් මුද්‍රණය කළ හොත් වෘත්තීමය නිර්මාණ ශිල්පියෙකු ගේ සේවය ලබා ගැනීමට එදා සිතුවෙමි.

නමුත්, 2012 සැප්තැම්බරයේ දී මගේ "සිව් වසරක් මරදානේ" කෘතිය ඉතා හදිසියේ ප්‍රකාශ කිරීමට සිදුවුණු නිසා එවැනි වෘත්තීමය සේවයක් ලබා ගැනීමට මට කාලයක් නැති විය.

ලංකාවට පැමිණ දිනම නින්දෙන් ඇහැරී හවස් වරුවේ මරදානට ගොස් කැමරාවේ සටහන් කරගන්නා ලද ඡායාරූපයක් උපයෝගී කරගෙන එදින රාත්‍රියේ ම, මා ඒ පිටකවරය සැකසුවේ ද පරිගණකයේ ඇති පේන්ට් මෙවලම උපයෝගී කරගෙන ය.


මා නිමැවූ ඒ කවරය පිළිබඳව "සිව් වසරක් මරදානේ" ප්‍රකාශක දයාවංශ ජයකොඩි කිසිවක් නොකීවේ ය.

එසේ නමුත් පොතේ කවරය දුටු කිහිප දෙනෙකුම මට කීවේ කවරය නම් මෙලෝ රහක් නැති බවයි!

ඉහත පොත් දෙකට අමතරව මා සම සංස්කරණයෙන් සම්මාදම් වූ "දකුණු කුරු දිව් කව්" නම් ඕස්ටේ‍ර්ලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහයේ කවරය ද මා සැකසූවේ පෙර සඳහන් කළ ආකාරයට ම ය.


මා නිමැවූ ඒ කවරය පිළිබඳව ද "දකුණු කුරු දිව් කව්" ප්‍රකාශක දයාවංශ ජයකොඩි කිසිවක් නොකීවේ ය.

තමන් ගේ සිතුවිලි තමන්ම යතුරු ලියනය කර, තමාම පොත් පිටපත සකසනවාට අමතරව, තමන් ම ඒ පොතේ පිටකවරය නිර්මාණය කිරීමෙන් ද ලබා ගත හැකි ආත්ම තෘප්තිය ඉතා ඉහළ බව මම දැන් අත්දැකීමෙන් ම දනිමි.

පොත් ප්‍රකාශනය කර්මාන්තයක් ලෙස සලකන කළ වැදගත් වෙන වෘත්තීමය පෙනුම, අලංකාරය, පාඨක සිත එක එල්ලේ ඇද බැඳ ගැනීම යනාදී කාරණා මා ලියා ප්‍රසිද්ධ කළ "සිව් සිත් කව්", "සිව් වසරක් මරදානේ" වැනි මූලිකවම ආත්ම තෘප්තිය පිණිස නිමැවූ කෘතිවලට එතරම් අදාළ නොවේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු තවත් ලිපියකි.

මීට පෙර ලියූ ලිපි මෙසේය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!

(image: http://lifeofafemalebibliophile.com/2013/11/11/dont-judge-a-book-by-its-cover/)

Wednesday 16 September 2015

මරණ දඬුවම් වීරයින් ගේ නිරුවත - Capital punishment and barbarians


තිරිසන් ආකාරයට මරා දමා තිබුණු සේයා දැරිවිය ගේ ඛේදවාචකය නිසා හටගත් මරණ දඩුවම් විවාදය ෆේස්බුක් ජාලයේ දරුණු ලෙස කෙරෙන බව පෙනේ.

බ්ලොග් අවකාශයේ ද, ලිපි කිහිපයක් ලියවී තිබුණි.

1. මරණ දඬුවම හා ලක්ශාන්ත නම් කවියා
2. තවත් කොටදෙනියාවක් ඇති නො වීමට
3. රසිකලොජිස්ට එරෙහිව මරණ දඬුවම - rasikologist vs hanging
4. මරණය + මරණය = මරණ දඬුවම
5. පට්ට රටක් ඕයි.... - What a Country...!!!
6. මරණීය දණ්ඩනය පිළිබඳ මඩිහේ පඤ්ඤාසීහ හිමි මතය

මරණ දඩුවම පිළිබඳව මගේ අදහස මා ලියූවේ, පසුගිය පෙබරවාරි මාසයේ එවකට අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ විසින් අත් හිටුවා තිබෙන ඒ දඩුවම යළි පැනවිය යුතුය යන අදහස පුවත්පත් සාකච්ඡාවක දී පවසා තිබෙනු දුටු කාලයේ ය.

7. මරණ දඬුවම ද මිනීමැරුමකි - Stop killing humans in the name of law

අද විජේදාස රාජපක්‍ෂ බුද්ධ ශාසන ඇමති වී තිබීම දෛවයේ සරදමකි.

එක අතකට ඒකේ අවුලක් ද නැත. මන්ද යත්, බුද්ධ ශාසනය සහ බුද්ධ ධර්මය යනු සෑහෙන්න වෙනස් විෂයන් බැවිනි!

දැන් දින කිහිපයක සිට ෆේස්බුක් අවකාශයේ මරණ දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලන අය වැඩි වී ඇත. මෙයින් සමහරු පළමුව හදවත, දෙවනුව මොළය ආකාරයේ මෝඩයින් ය. අනෙක් පිරිස තවමත් ශිෂ්ටාචාරයේ සීමාව පැන ගන්නට බැරිවුණු ම්ලේච්ඡයෝ ය.

මේ දෙ ආකාරයේ ම පිරිස අතර, උගතුන්, විද්වතුන්, මොළකාරයින් යැයි සැලකෙන සෑහෙන පිරිසක් ද සිටීමේ කිසිදු පුදුමයක් මට නම් නැත.

එයට හේතුව, "පළමුව මව්බිම" කියා ජාතිවාදය වැපිරූ, වපුරන අය ගේ හරස් කඩ ද එසේ ම වීම නිසා ය.

මරණ දඩුවම සාධාරණීකරණය කරමින් අදහස් දක්වා තිබුණු මා දුටු බොහෝ තැන්වල මම මගේ අදහස් කියවෙන ඉහත සඳහන් ලිපියට සබැඳියක් දැමීමට අමතරව කෙටියෙන් අදහස් ද පළ කළෙමි.

මා සරලව ලියුවේ පහත කරුණු ය.
  • මරණ දඩුවම ද මිනීමැරුමකි.
  • එක් මිනිසෙකු තවත් මිනිසෙකු මැරීම වරදක් නම්, මිනිසුන් පිරිසක් තවත් මිනිසෙකු මැරීම වරදක් නොවන්නේ කෙසේද?
  • මරණ දඩුවම ඉල්ලන්නෝ ම්ලේච්ඡයෝ ය.
  • ලෙයට ලෙයින්, ඇසට ඇසෙන්, ජීවිතයට ජීවිතයෙන් පළිගැනීම යනු මධ්‍යතන යුගයේ පැවති ම්ලේච්ඡ ක්‍ර්‍රියාවකි.
  • හොරකම් කළ විට අත් කැපීම, දෙදෙනෙකු කැමැත්තෙන් ලිංගික ක්‍රියාවලියේ යෙදුණු විට ගල් ගසා මරා දැමීම සහ මරණ දඩුවම අතර වෙනසක් නැත.
මේ ගැන වැඩි දුරටත් සිතන විට දී මට වැටහී ගියේ ඇත්තටම, අධිකරණයකින් මරණ දවුවම පනවා එය ක්‍රියාත්මක කිරීම යනු වඩාත් දරුණු වරදක් බවයි.

ඒ මක් නිසාද යත්, හදිසි කෝපය නිසා හෝ මානසික ආබාධයක් නිසා හෝ යමෙකු කරන මිනී මැරුමක් මෙන් නොව, මේ ආකාරයෙන් මිනිසෙකු මරණයට පත් කිරීමේ දී මරා දැමීමට චේතනාව, මරණය සිදු කීරිමට මනාව පෙර සැලසුම් කිරීම, සහ ඒ සැලසුම ක්‍රියාත්මක කිරීම යනාදී වශයෙන් බොහෝ මිනී මැරුම්වල දක්නට නොලැබෙන දේ මෙහි දී සිදුවීමයි.

මරණ දඩුවමට විරුද්ධව අදහස් මා පළ කළ හැම විටම, එයට ලැබෙන ප්‍රතිචාරයක් නම්, මරණ දඬුවම නොදී සිටීමට කරුණු මොනවා ද, ඒ වෙනුවට කළ යුත්තේ කුමක්ද යන්නයි.

මට වැටහෙන විදියට කරුණු සොයා සාධාරණය කළ යුත්තේ මරණ දඩුවම දිය යුත්තේ ඇයිද යන්න මිස නොදිය යුත්තේ ඇයි ද යන්න නොවේ. අස්වාභාවික, අසාධාරණ, අමානුෂික දේ මරණයයි, මරණ දඩුවමයි.

ඒ වෙනුවෙන් අප කළ යුත්තේ, ලෝකයේ වෙනත් ශිෂ්ට ජන සාමජ විසින් දැන් කාලයක් තිස්සේ සතුටුදායක ලෙස අත්හදා බලමින් සිටින බන්ධනාගාරගත කිරීම් සහ පුනරුත්ථාපන ක්‍රම ක්‍ර්‍රියාත්මක කිරීමයි.

ඒ ගැන ක්‍රමවේද සැකසිය යුත්තේ ආවේශීලී පුරවැසියන් නොව මනෝ වෛද්‍ය, සමාජ විද්‍යාඥ වෘත්තිකයින් විසිනි.

ඊයේ පෙරේදා, මට ලැබුණු ප්‍රතිචාර අතර අමුතුම ආකාරයේ එක අතකින් සිනා ගන්වන, අනෙක් අතින් ප්‍රතිචාර දැක්වූවන් ගේ නිරුවත හෙළිකරන එක් සුවිශේෂී ප්‍රතිචාර කිහිපයක් විය.

එන් පළමුවැන්න වූයේ - "ආ මෙයත් ළමයෙකු දුෂණය කර මරා දැමූ අයෙකු වගේ!" යන්නයි.

දෙවෙනි ප්‍රතිචාරය සිනාවටත් වඩා ප්‍රතිචාරය දැක්වූ අයගේ නිරුවත හෙළිදරව් කරන්නකි.

"ඔහේ ගේ දරුවෙකුට මේ වගේ ඉරණමක් අත්වුණාම තේරෙයි!"

මේ මෝඩ මිනිසුන් සිතන්නේ අප අපේ අදහස් අපට ලැබෙන වාසි හෝ අවාසි අනුව වෙනස් කරනවා කියාය. එයට හේතුව, ඔවුන් තමන්ට ලැබෙන වාසි අවාසි අනුව අදහස් වෙනස් කරන්නන් නිසා බව සැක නැතුව කිව හැකි යැයි සිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් පළ වෙන ලිපියක් නොවේ.

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!

(image: http://www.brh.org.uk/site/articles/guillotine-knitting-terror/)

Monday 14 September 2015

වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!


මිනිසුන් ලෙස අප කළ යුතු වැදගත්ම කාර්යයන් ත්‍රිත්වය වනුයේ පොතක් ලිවීම, පුතෙක් සැදීම සහ ගසක් හිටුවීම ය යන පඬිවදන ගැන හාංකවිසියක්වත් නො දැන වුව ද, මා අටවන ශ්‍රේණියේ දී ම පොතක් ලියූ වග මින් පෙර ලිපියක ලියූවෙමි.

ඒ පොත මා එදා ප්‍රකාශයට පත් කළෙමි. නමුත් ඒ මුද්‍රණද්වාරයෙන් නම් නොවේ, හස්තද්වාරයෙනි. එය ද එක පිටපතක් පමණි.

එනම්, මා එදා කළේ පොතේ අත්පිටපත නොහොත් මැනුස්ක්‍රිප්ට් එක සෑදීමයි. ඒ සඳහා උපයෝගී කර ගැනුණේ කොටුරූල් අභ්‍යාස පොතක පිටු කිහිපයකි. ඒවා දෙකට නවා, මැදින් නූල් පොටකින් හොඳින් බැඳ මෙකී අත්පිටපත සෑදුවෙමි.

එය මගේ දෙමව්පියන්ට අමතරව දුටුවේ, පවුලේ ඥාතීන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් යැයි සිතමි.

ඒ පොත සෑදීමෙන් සිතට ලැබුණු සතුට ටිකෙන් ටික වියැකී ගියේ ය. තවත් පොතක් ලිවීමේ අදහසක් මට ඇති නොවිණි. ඒ කෙසේ වෙතත්, පොතකට ඇතුළත් කරන්නට මා අතින් අලුතෙන් කවි හෝ කෙටිකතා ලියවුණේ ද නැත!

මේ තත්වයේ යම්කිසි වෙනසක් ඇති වුණේ, වයස දාසයි මාසයේ දී ය.

හරියටම ඒ මාසයේ දී මම මගේ ප්‍රථම පෙම් කවිය ලියූවෙමි. ඒ සමවයසේ යුවතියක ගැන ය. මගේ ඒ මුල් පෙම් කවියේ වස්තු බීජය අද ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන්නේ යැයි අනුමාන කරමි.

එතැනින් මගේ සිතේ ඇරඹුණු කවි උන්මාදය, හදවතේ උපන් ප්‍රේම උන්මාදය ද සමග ඔඩු දුවා ගොස්, උසස් පෙළ විභාගයට සූදානම් වෙන කාලය වෙන විට දවසකට පෙම් කවි මෙන් ම සෙම් කවි ද තුන හතරක් වෙන තරමට බලවත් පිළිලයක් සේ මගේ ජීවිතය වසා ගත්තේ ය.

උසස් පෙළ විභාගයෙන් පසු මා කළේ ඒ කවි එකතු කර හස්තද්වාරයෙන් එළිදැක්වීමයි, එනම්, අත් පිටපත් තැනීමයි.

ඒ අතර මම කෙටිකතා ලියන්නට ද පටන් ගත්තෙමි. පිටු අසූවේ අභ්‍යාස පොතක් පිරෙන්නට කෙටිකතා හත අටක් ලියවුණු පසු ඒවා කෙටිකතා සංග්‍රහයක් ලෙස සැකසී හස්තද්වාරයෙන් දොරට වඩම්මන ලදී.

අටේ පන්තියේ දී මා සැකසූ පොතේ අඩංගු නිර්මාණ වර්ග අතරින් මා නැවත නොකළේ මොට්ටපාල කාටූන් ඇඳීම පමණි.

ඒ වෙනුවට මා කළේ, මා ලියන පෙම් කවිවල වස්තු බීජ හමුවේ මොට්ටපාල චරිතය රඟපෑමයි!

මේ ආකාරයට, මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පා නගන දින වෙන විට, මා හස්තද්වාරයෙන් කවි පොත් තුනක් ද, ගී පදමාලා එකතුවක් ද, කෙටිකතා සංග්‍රහ දෙකක් ද පළ කර තිබුණි.

එපමණක් නොව මම කෙටි නවකතාවක් ද ලියූවෙමි. එය අද භාෂාවෙන් මල් කතාවක් ලෙස වර්ගීකරණය කළ හැකි එකකි!

මෙන්න ඒ හස්තද්වාරයෙන් දොරට වැඩි පොත් ලයිස්තුව
  1. සිහින සිතුවිලි (පද්‍ය)
  2. පියෙකු ගේ කතාවක් (කෙටිකතා)
  3. සය දිනක සටහන් (පද්‍ය)
  4. ගී පදමාලා 25 ක්
  5. ගමන (කෙටිකතා)
  6. වාසනා සහ සැබෑ වුණු සිහිනය (පද්‍ය)
  7. රනුක-නිසංසලා සමනල වර්ණ (නවකථාව)
අද මගේ දරුවෙකු මේ අයුරින් කටයුතු කළහොත් මට ඉතා විශාල සතුටක් දැනෙනු ඇත. එදා මගේ දෙමව්පියන් ද එසේ සතුටුවෙන්නට ඇත.

නමුත් අවංකවම කිවහොත් මේ කටයුතුවල මට ඒ දිනවල එතරම් වැදගත්කමක් හැඟුණේ නැත. ඉහත හස්තද්වාරයෙන් ප්‍රකාශිත ග්‍රන්ථ ලයිස්තුවෙන් පොත් දෙකක් ම අද මා සතුව නැත්තේ ද ඒ නිසා ය.

අද නම්, මා එදා අවුරුදු දහ අටක කොලු ගැටයෙකු ලෙස කළ කී දේ ගැන මට තරමක හෝ ආඩම්බරයක් ඇති වේ.

මේ සටහන මා ලියූුවේ ඒ නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු තවත් ලිපියකි.

මීට පෙර ලියූ ලිපි මෙසේය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!

Saturday 12 September 2015

මෙහෙමත් මෝඩකමක් - What a fool...?


ඇත්තටම මෙය මෝඩකමක් යැයි සිතෙන්නේ අර හයින්සයිට් (අපරදෘෂ්ටිය) ද මොකක්ද එක නිසාය. ඒ සමගම ඒ මෝඩකම නො කළා නම්, කළාට පසු සිදුවුණු බලපෑ එකී නොකී කරුණු කාරණා සාධක සියල්ල එලෙසින් ම පැවතේයැයි ද මෙහි දී උපකල්පනය කෙරේ.

එය එසේ නොවේ නම් මෙය මෝඩකමක් කියා වර්ගීකරණය කිරීම ඇත්තටම අසාධාරණ ක්‍රියාවකි!

කතාව කෙටියෙන් මෙසේ ය.

මට අපේ නැන්දා කෙනෙකුගෙන් තෑගි ඔප්පුවකින් කුඩා ඉඩම් කැබැල්ලක් හිමිවිය.

නැන්දාගෙන් කීවාට නැන්දාගෙන් ම නොවේ. නමුත්, ඒ විස්තරය මෙතැනට කෙළින්ම අදාළ නොවන නිසා, නො ලියමි.

කුඩා කීවාට කුඩාමත් ම නොවේ. අක්කර තුන්කාලක් පමණය. හරියටම කියනවා නම් පර්චස් එකසිය තිහකි.

එය පැරණි රබර් යායකින් පරම්පරාවෙන් පරම්පරාවට බෙදී ගොස්, ඒ එක එක කොටස් අයිතිකරුවන් විසින් විකිණූ විට අපේ පවුලේ අය විසින් මිලට ගන්නා ලද කොටසකි.

කුඩා කාලයේ අප නැන්දලා ගේ නිවසට නිවාඩුව සඳහා ගිය විට ඔය රබර් යාය හරහා නාන්න ගිය අයුරුත්, රබර් ගස් උඩ දු පනින වඳුරන් නැරඹූ අයුරුත්, ශබ්ද නගමින් පුපුරා යන රබර් ඇටවලින් හුළං පෙති සෑදූ අයුරුත් මගේ මතකයේ තවමත් හොඳින් රැඳී ඇත.

කලින් අයිතිකරුවන්ගෙන් මිලට ගත් පසු මේ ඉඩමේ තිබූ රබර් ගස් ගලවා සිටුවන ලද පොල් පැළ, තෑගි ඔප්පුව අත්සන් කරන කාලයවන විට, කනාටු පොල් ගස් බවට පත්වෙමින් තිබුණි.

මේ ඉඩම් කෑල්ල ගැන මා අතින් යම් සඳහනක් කෙරුණු මොහොතක අපේ කාර්යාලයේ සේවය කළ ජ්‍යේෂ්ඨ මිතුරෙකු මා සමග මෙසේ කීවේ ය.

"රසික, ඔහේට තියෙන්නේ ඔය කියන කනාටු පොල් ගස් ටික ගලෝලා දාලා ඕකේ තේක්ක පැල ටිකක් හිටවන්නයි. ඒකට වැඩි මුදලක් යට කරන්න ඕනෑ නෑ. නමුත්, අවුරුදු විස්සකින් විතර තේක්ක ගස් කපන්න පුළුවනි".

අර අඹ ඇටයක් පැල කළ මුත්තා ගේ කතාව, කවි පෙළ සහ ගීතය කුඩා කාලයේ සිට කොයි තරම් වාරයක් අසා තිබුණ ද, අවශ්‍ය වේලාවට අපට ඕවා සිහිපත් නොවේ!

"බුදු අම්මෝ, අවුරුදු විස්සක් කියන්නේ කොච්චර දිග කාලයක් ද?" මම සිතුවෙමි. "තව අවුරුදු විස්සකින් මොනවායින් මොනවා වෙලා තියේද කියලා කාටද කියන්න පුළුවන්?"

එනිසාම, මිතුරා කළ ඒ යෝජනාව, ඒ කණෙන් ඇසී, මේ කණෙන් පිටව ගියේ ය.

මිනිසුන් වශයෙන් අප කළ යුතු හොඳම කර්තව්‍යයන් ත්‍රිත්වය වන්නේ පොතක් ලිවීම, පුතෙක් හැදීම සහ ගසක් වැවීම ය යනුවෙන් කියවෙන පඬිවදන මා එදා අසා නොතිබුණි. එය අසා තිබුණත්, අන් කර්තව්‍යයන් හා සසඳන විට මට ගස් වැවීම යනු අඩුම ප්‍රමුඛතවයක් ඇති ක්‍රියාවකි.

දැන් අර පෙර කී හයින්සයිට් එක සහිතව සලකන විට එදා මිතුරා ගේ යෝජනාව ඉවත දැමීමෙන් මා කර ඇත්තේ මෝඩකමකි.

මා එසේ කියන්නේ ඒ අවවාදය මට ලැබුණේ 1991 දී නිසා ය.

එදා තේක්ක වැවුවා නම්, අද ඒ ගස් සුවිසි වසරක් වයසැති ලී බඩු බාස් උන්නැහේලා ගේ ඇස කන නළවන ඒවා ය.

මගේ ඉඩමේ තිබූ අර කනාටු පොල් ගස් , තවමත් කනාටු පොල් ගස් මය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මට තෑගි ඔප්පුව ලැබුණු කාලයේ ඒ හරියේ ඉඩම් මිල පර්චසයක් රුපියල් පන්දාහක් පමණ විය.

අහම්, අහම්!

ප/ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු සටහනක් නොවේ!.

සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු සටහන් කිහිපයක් මෙන්න.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!

(image: https://www.keralatourism.org/destination/nilambur-teak-plantations-malappuram/37)

Thursday 10 September 2015

අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!


මිනිසුන් වශයෙන් අප කළ යුතු හොඳම කර්තව්‍යයන් ත්‍රිත්වය වන්නේ "පොතක් ලිවීම, පුතෙක් හැදීම සහ ගසක් වැවීම" ය යනුවෙන් පඬිවදනක් ඇත. මෙය ප්‍රකාශ කළා යැයි සැලකෙන්නේ කියුබානු විප්ලවවාදී කවියෙකු වූ ජොසේ මාර්ටි නම් ලේඛකයා ය.

මේ කියමනෙන් අදහස් කෙරෙන්නේ, පොතක්, ගසක් සහ පුතෙක් යන දේ, ඒවාට මුල් වූ පුද්ගලයා මිය ගිය පසුවද මෙලොව පැවතෙන නිසා, එ නයින් මේ අනිත්‍ය ලෝකයේ යම් අමරණීයත්වයක් ලද හැකි බවයි.

එය එසේ වන්නට නම්, ගසක් වැවීමේ දී "කැනිබස් සැටිවා" නොව "කොකෝස් නුසිෆෙරා"වක් වත් වැවිය යුතු වේ. එසේ ම, "නෙක තරු රැසවන් පින් මද පුතුන් දහසක්" නොව, "එක පුන් සඳවන්", "ගුණ නැණ බෙලෙන් යුතු පුතෙකු" ම සැදිය යුතුවේ.

අමුතුවෙන් නොකීවාට අනෙක් කාරණාව ද එසේ ම ය.

ඒ "පොතක් ලිවීමේ, පුතෙක් හැදීමේ සහ ගසක් වැවීමේ" පඬිවදන මා මුලින් ම ඇසුවේ මීට වසර තුන හතරකට පෙර ය. එසේ වුවත්, පොතක් ලිවිය යුතුය යන සිතුවිල්ල නම් මා කණිෂ්ඨ විද්‍යාලයේ උගන්නා කාලයේ සිට ම මගේ සිතට ඇතුළු වී තිබුණු සිතුවිල්ලකි.

මා මේ කියන්නේ, පෙර දිනයක ලියූ ආකාරයේ පශ්චාත් උපාධි නිබන්ධනය සහිත පොතක් ලිවීමක් ගැන නොව වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම නිර්මාණාත්මක කෘතියක් සම්පානය කිරීම ගැනයි.

කණිෂ්ඨ විද්‍යාලයෙන්, මධ්‍යම විද්‍යාලයට සමත් වී වසර දෙකකට පසු, මා අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මුල් කාලයේ දී මට ඒ සිතුවිල්ල සැබෑවක් කර ගන්නට ලැබුණි.

අභ්‍යාස පොතක කොළ කිහිපයක් ගෙන ඒවා යළිත් වරක් නවා, අභ්‍යාස පොතක ම පිටකවරය භාවිතා කර සාදාගත් පිටු කිහිපයකින් යුක්ත වූ ඒ කුඩා පොතට, එසේ නැතිනම් පොත් පිංචට, මා විසින් පහේ පන්තියේ දී ලියන ලද කෙටිකතාවක නැවත ලිවීමක් ද, සුළඟ යන මැයෙන් යුතුව පබැදුණු පේළි විස්සක පමණ කවියක් ද, එමෙන් ම මා ඇඳි මොට්ටපාල කාටූන් දෙක තුනක් ද ඇතුළත් විය.

සමහර විට ඊට වසර හතරකට පෙර මා තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලයේ ලියා, තැපැල් පතකින් මිහිර පුවතට යොමු කරන ලදුව එහි පළ වූ මුහුදු වෙරළ නම් කවිය ද මා මේ පොත් පිංචට ඇතුළත් කරන්නට ඇත.

මා ලියූ ඒ කෙටිකතාව ඒ වී සුරවීර ගේ "හෙයියම්මාරුව" නමැති නවකතාවේ විස්තර කෙරුණු පාසලක සිදුවීමක් අනුසාරයෙන් මට අවැසි පරිදි සකසා ලියූවකි.

මගේ මොට්ටපාල කාටූන් ද, මගේ මතකයේ හැටියට අපේ ආච්චී විසින් පෙට්ටගමක දමා සංරක්‍ෂණය කර තිබුණු රසවාහිනී නම් සඟරාවේ පළ වී තිබී මා කියවා ඇති අමිත අබේසේකර ගේ මොට්ටපාල කාටූන් අනුකරණය කරමින් සැකසුණු ඒවා විය.

මේ මොට්ටපාල කාටූන්වල සාමාන්‍යයෙන් සිටියේ බූස්ස වැවුණු කොණ්ඩයකින් යුතු මොට්ටපාල ළමයා සහ වේවැලක් අතින් ගෙන ජාතික ඇඳුමෙන් සැරසුණු පන්තිය භාර ගුරුවරයා ය. එවැනි චිත්‍රයක් සමග ආ මොට්ටපාල සහ ගුරුවරයා අතර දෙබස සාමාන්‍යයෙන් මෙන්න මේ ආකාරයේ ය.

"මොට්ටපාල කියපන් බලන්න සීගිරි කැටපත් පවුරේ කවි ලිව්වේ කවුද?"
"අනේ සෑර්, මං නං නොවෙයි. මං ඒ පැත්ත පළාතේ ගිහින් නෑ."

මගේ පොත් පිංචේ මගේ ම කියා ස්වතන්ත්‍ර නිර්මාණයකට තිබුණේ, සුළඟ නමැති කවිය පමණකි. මා එය ලියූවේ, අපේ වෙනත් ආච්චී කෙනෙකු ගේ නිවසේ මා ගත කළ එක්තරා රාත්‍ර්‍රියක, එහි පෙට්ටගමක සුරක්‍ෂිතව ගබඩා කර තිබුණු උදය නම් ළමා සඟරා එකතුවක තිබී කියවූ, කවි ලියන්නේ කෙලෙසදැයි උගන්වන ලිපියකින් ලද ගුරුහරුකම් මත ය.

ඒ ලිපියේ උදාහරණයක් මගින් දක්වා තිබූ පරිදි, මගේ වයසේ පාසල් සිසුවෙකු කවි ලිවීමට සිතා කරන්නේ මිදුලේ පුටවක් තබා වාඩි වී, අවට පරිසරය දෙස බලා එයින් කවි නිමිත්තක් හා කවි ලිවීමට උත්තේජනයක් ලබා ගැනීමයි.

ආච්චී ගේ නිවසේ සිට අපේ නිවසට පැමිණ පසු දින ම මම ද එසේ කළෙමි. ඒ මොහොතේ මද සුළඟක් හමා ආවේය. මම සුළඟ ගැන කවි පන්තියක් ලියූවෙමි.

කෙටිකතාවක්, කවි සහ කාටූන් සහිතව මා සකසා ඇත්තේ පොත් පිංචක් නොව සඟරා පිංචක් නොවේ දෝ යි මට දැන් සිතේ. ඒ කුමක් වුණත්, මේ පොත් පිංච මද කලකට පසු අස්ථානගත විය. අඩු වශයෙන් ඒ පොත් පිංච මා දුන් නම කුමක්ද කියාවත් මගේ මතකයේ නැතිවීම නම් කනගාටුවට කරුණකි.

මා ඒ පොත ලියූවේ වයස අවුරුදු දහතුනේ දී ය.

තවත් අවුරුදු දහ අටකින් පුතෙක් හැදීමට මට හැකිවිය.

දැන් ඉතින් ඉතිරිව ඇත්තේ ගසක් වැවීමට පමණි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු සටහනකි.

සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු තවත් සටහන් කිහිපයක් මෙන්න.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life

(image: http://www.123rf.com/photo_29663500_stock-vector-illustration-of-a-young-girl-under-the-tree-beside-her-books-on-a-white-background.html)

Tuesday 8 September 2015

අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life


අප කුඩා කාලයේ ලංකාවේ අවිවාහක කාන්තාවන් තනිවම ගමන් බිමන් යාම අවම වී යැයි සිතමි. එ නිසා, නැන්දලා, පුංචි අම්මලා සමග විවිධ ගමන් බිමන් යාමට, මංගල උත්සවවලට සහභාගී වීමට මට විවිධ අවස්ථා ලැබී ඇත.

කුඩා කාලයේ චූටි නැන්දා සමග ඇය ගේ හිතවත් යුවලක් විසූ ගම්පහ නගරයේ නිවසකට ගියා මගේ මතකයේ ඇත. ඒ ගමන ගැන මගේ මතකයේ රැදී තිබෙන්නේ කාරණා දෙකක් පමණි.

ඉන් එදා මට වැදගත් වූ කරුණ නම්, එහි දී දිවා ආහාරය සඳහා සූදානම් වූ කෑම වර්ග අතර සලාදයක් තිබුණු බවයි. ඒ සලාදය පළංගානක් පුරා සාදා තිබුණේ සලාද කොළයක් උඩ තැම්බූ බීට්රූට් පෙත්තක් තබා, ඊට උඩින් ළුෑණු පෙත්තක්, තැම්බූ බිත්තර පෙත්තක් සහ අවසානයේ තැම්බූ කැරට් පෙත්තක් බැගින් තැබීමෙනි. උඩින් ගම්බිරිස් සහ ලුණු කුඩු ඉස තිබුණි!

මගේ මතකයේ රැඳුණු, නමුත් එදා තරම් වැදගත් දෙයක් නොවුණු කාරණය නම්, ඒ නිවසේ තිබුණු හම් බැම්මෙන් බැඳි පොතකි. පිටකවරයේ ද, පොතේ නාරටියේ ද දිලිසෙන අකුරෙන් පොතේ මාතෘකාව, රචකයා ගේ නම සහ තවත් විස්තර ලියා තිබුණි.

මේ පොත වනාහී ඒ නිවසේ සිටි පිරිමියා ගේ පශ්චාත් උපාධි නිබන්ධනයයි. මා ඒ කුමක්දැයි නිවරැදිව දැන ගත්තේ හවස් වරුවේ ආපසු නිවස බලා එද්දී නැන්දාගෙන් අසා ය.

පශ්චාත් උපාධියක් ලබා ගන්නට නම් පොතක් ලිවිය යුතු බව මගේ සිතට කා වැදුණේ එදා ය. සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධියකින් පමණක් සෑහීමට පත් වී සිටි මගේ පියා ද මේ කතාව සනාථ කරනු මගේ මතකයේ ඇත.

ඉන් දශකයකටත් වඩා පසු කාලයක යළිත් ඒ අදහසට සම්බන්ධ කාරණයක් ලෙස අහන්නට ලැබුණේ කෝ ආනන්ද නම් භික්‍ෂුවක් විසින් හේ සිද්ධාර්ථ නම් වෙයි නම් වූ නවකතාවක් තම පශ්චාත් උපාධි නිබන්ධනය ලෙස විශ්ව විද්‍යාලයට භාර දුන් පුවතයි. ඒ වන විට මේ පොතක් යැයි කියන්නේ පොතක් ම නොව, පර්යේෂණයක අවසානයේ ඒ පිළිබඳව ලියවෙන නිබන්ධනයක් බව මට වැටහී තිබුණි.

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කර සති දෙකකින් පමණ මම ආචාර්ය උපාධියක් සඳහා මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ලියා පදිංචි වුණෙමි. ඉන් පසු මා අපේ තාත්තා සමග දුරකථනයෙන් කතා කළ සෑම විටකම පාහේ ඔහු මගෙන් "මොකක් ගැන ද පොත ලියන්නේ?", "දැන් පොත ලියන්න පටන් ගත්තා ද?", "පොතේ කොච්චර ලිව්වා ද?" වැනි ප්‍රශ්නයක් අනිවාර්යෙන් ම ඇසුවේ ය.

වසර හතරකට පමණ පසු මා දෙවන වරට ලංකාවට යන විට අඩකටත් වඩා ලියා තිබුණු පොත තව දුරටත් නො ලිවීමට තීරණය කර තිබුණි.

නමුත්, මම ඒ බවක් තාත්තාට එක එල්ලේ නො කීවෙමි.

ඉන් පසු, රාජකාරියේ වැඩවලටත්, කුටුම්බයේ රාජකාරිවලටත් කාලය ගතකරමින් කාර්ය බහුල ජීවිතයක් ගෙවුණු හෙයින් පොත පිළිබඳ කතාව මගේ සිතෙන් කෙමෙන් කෙමෙන් බැහැරවන්නට විය. ඒ තුවාලය විටින් විට පෑරුණේ තාත්තා සමග දුරකථනයෙන් කතා කළ ඇතැම් දිනක ඔහු පරණ පුරුද්දට, කොහොමද අර පොත යැයි ඇසීම නිසා ය. පස්සෙන් පහු තාත්තා ද ඒ වසර ගණනාවක් තිස්සේ පට්ටා ගැසූ ප්‍රශ්නය අමතක කර දැම්මේ ය.

"අනේ ඌයි, මායි ලියන පොත්!" තාත්තා අපේ බාප්පා කෙනෙකු සමග එසේ පවසා තිබුණි.

තවත් දෙවසරකින් පමණ මා ලංකාවට යන විට තාත්තාට ගෙන ගොස් දෙන්නට අපූරු ත්‍යාගයක් මිලට ගත්තෙමි. ඒ ඩෑන් බ්‍රව්න් ලියූ ඩා වින්චි කෝඩ් නවකතාවේ ඉලස්ටේ‍ර්ටඩ් වර්ෂන් එක නොහොත් වර්ණ ඡායාරූප ද සහිතව ඝනකමැති මැදපු කොළයේ මුද්‍රණය වී තිබුණු විශාල ප්‍රමාණයේ පොත් පිටපතකි. සාමාන්‍ය මිල ඩොලර් පනහක් වූ ඒ පිටපතක් පියවරුන් ගේ දිනය කාලයේ මට විශාල වට්ටමක් සහිතව ලබා ගත හැකි විය.

හොඳින් කවරයක දැමූ ඒ පොත නිවසට ගොඩ වැදුණු විගස තාත්තාට දුන්නෙමි.

"ආ! මං දන්නවා මේ මොකක්ද කියලා!" තාත්තා මල් හතේ හිනාවකින් මුව සරසාගෙන කීවේය.

මට ඒ ක්‍ෂණයකින් වැටහුණේ මා ඔහුට දුන්නේ මා ලියූ අර පොත ය කියා තාත්තා සිතන බවයි.

කවරය විවර කළ සැණින් තාත්තාට ඔහු ගේ උපකල්පනය නිවරද නොවන බව වැටහුණි.

යළි ඔහු ජීවත්ව සිටින තුරු කිසි දිනක තාත්තා මගෙන් අර පොත ගැන විමසුවේ නැත!

තාත්තා මිය ගිය දිනවල මට ඒ පොත ගැන සිහිවීම සිතට දැඩි දුකක් ගෙන දෙන කාරණයක් වුවත්, දැන් වසර පහකට පසු එය බොහෝ දුරට නැති වී ගොස් ඇත!

අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම ගැන මගේ කතාව එසේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු ලිපියකි.

මෙන්න සාහිත්‍ය මාසය වෙනුවෙන් මීට පෙර ලියවුණු ලිපි:
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books

(image: https://www.pinterest.com/pin/415105290627479497/)

Sunday 6 September 2015

දශක දෙකක් රැකි "සම්මා වාචා" සිල් පදය බිඳුණු හැටි - Politically correct speech


එක් ඇසක ආබාධයක් තිබුණු මිනිසෙකු මා කුඩා කල අපේ ගමේ ජීවත් විය. ඔහු තරමක විනෝදකාමියෙකු ද වෙන්නට ඇත. මක් නිසා ද යත්, ඔහුට ලැබී තිබුණු අන්වර්ථ නාමය වූයේ "චෝක් කණා" යන්න වීමයි. ඒ නම මිස, මා ඔහු ගේ සැබෑ නම තවමත් නො දනිමි. චෝක් යන්න කෙසේ වෙතත්, දෘෂ්‍යාබාධිත ඔහුට කණා යනුවෙන් නම් පටබැඳීම නො කටයුත්තක් බව මට එකල වැටහුණේ නැත.

අපේ නිවස අසල සිටි තවත් පුද්ගලයෙකුව හැඳින්වුණේ "බකලයා" යනුවෙනි. ඒ නම මිස, මා ඔහු ගේ ද සැබෑ නම තවමත් නො දනිමි. පෝලියෝ හෝ එවැනි රෝගයක් නිසා හෝ, හදිසි අනතුරක් නිසා හෝ වෙනත් සංජානීය කරුණක් නිසා හෝ පාදයක ආබාධයක් ඇතුව ජීවත් වූ ඔහුට බකලයා යනුවෙන් නම් පටබැඳීම නො කටයුත්තක් බව මට එකල වැටහුණේ නැත.

අපේ ගමේ ම නොවුණත් ඒ අසල ගමක විසූ එක් මැදිවිය ද පසු වෙමින් සිටි ගැහැනියක කාලයක් තිස්සේ බස් රථයේ ගමන් බිමන් යනු මා දැක තිබුණි. එකල මා උසස් පෙළ සිසුවෙකි. මා සිතුවේ ඇය කොහේ හෝ ස්ථානයක සුළු රැකියාවක් කරන්නියක බවයි. ඇය කතාවට දක්‍ෂ බවද පෙනුණි. මද කලකට පසු ඇගේ කතාව වැඩිවී එය යම් උමතුවක් බවට පෙරලුණි. ඒ සමගම කොල්ලෝ කුරුට්ටෝ ඇය උසුළු විසුළුවට භාජනය කරන්නට පටන් ගත්තෝය. ඇය ඔවුන්ට පරුෂ වචනයෙන් බැණ වදින්නට පටන් ගත්තාය. මේ ගැන තරමක කණගාටුවක් දැනුනත්, ඒ උසුළු විසුළු කරන අය ඉන් වළකන්නට හෝ ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නට මට නොසිතුණි.

දැන් ඉතාමත් අවංක කතාවක් කීමට ඇත.

මීට වසර විස්සකට පෙර මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ පසු මා උගත් එක් වැදගත් දෙයක් වූයේ පුද්ගලයෙකු ගේ ශරීරාංග වැනි දේ ගැන ඉස්මතුවෙන ආකාරයෙන් හැඳින්වීම නොකටයුතු දෙයක් ලෙසයි. මෙය සාමාන්‍යයෙන් (සරදමට මෙන්) හැඳින්වෙනුයේ පොලිටිකලි කරෙක්ට් ස්පීච් කියා වුවද, මම එය සම්මා වාචා යනුවෙන් හඳුන්වා දෙන්නට කැමැත්තෙමි.

මේ සම්මා චාවාවේ වැදගත්කම පිළිගෙන ඔබ එය පුරුදු කර ගත් පසු, ඒ ගැන අදහසක් නැති වෙනත් අය ගේ ඇතැම් වදන් භාවිතය ගැන ඔබට ඇතිවෙන්නේ දුකකි, කණගාටුවකි, එ මෙන්ම කෝපයකි.

උදාහරණයක් මෙසේය.

"මචං, අර ඔයා එවපු ගෝලයින් දෙන්නාගෙන් සුජිත් ට මං ජොබ් එකක් දුන්නා!" මගේ හිතවතෙකු දිනක් මා ලංකාවට ගිය විට පැවසී ය.

ඒ වන විට ඔය ගෝලයින් දෙන්නා හිතවතා ළඟට යවා වසර දෙකකටත් වඩා ගෙවී ඇති නිසා සුජිත් යනු කවුදැයි මට සිහිපත් නොවීය.

මගේ හිතවතා කීවේ, "මචං සුජිත් කියන්නේ අර ඇහැක වපරයක් තියෙන කළු, කොට හාදයාටයි" කියායි.

මිතුරාට එය සාමාන්‍ය හැඳින්වීමක් වුවත්, වසර දෙකක් සම්මා වාචාව පුරුදු කරමින් සිටි මට ඔහු ගේ කථාවෙන් ඇතිවුණේ අපහසුවකි, දැනුණේ මහා අපුලකි.

පුරුද්දට වඩා ජන්මේ ලොකුය.

බලු වලිගය උණ පුරුකේ දැමුවත් ඇද නො හැරේ.

මා වසර විස්සක් තිස්සේ පුරුදු පුහුණු කර ආඩම්බරයෙන් රැකගත් සම්මා වාචා සීලය ඊයේ බිඳුණි.

එය වුයේ මෙසේය.

ලංකා පාර්ලිමේන්තුවේ එක්තරා මන්ත්‍රීවරයෙකු කළ කථාවක් මට අසන්නට ලැබුණි. කථාවේ මා ඇසුවේ විනාඩි කිහිපයකි. පසුව, ඔහු ඒ කතාව ගැන මාධ්‍යවේදියෙකු හා කළ විස්තර කිරීමක් තවත් විනාඩි කිහිපයක් ඇසුවෙමි.
ඒ මා ජීවිතයේ ඇසූ මෝඩ ම මෝඩ කතාවයි.

මේ පුද්ගලයා ගැන මා මුලින්ම ඇසුවේ ද මීට මාසයකට පමණ පෙරයි. ඔහු හැඳින්වුණේ උගතෙකු වශයෙනි. එවන් උගතෙකු කළ ඒ මෝඩ විස්තර කිරීම ඔක්කාරය ගෙන දෙන්නක් විය.

එයින් මගේ දශක දෙකක සම්මා වාචා සීලය බිඳුණි.

"මේ මනුස්සයා ගේ මූණ මෝඩ පාට එක විතරයි තියෙන ප්‍රශ්නේ කියායි මා මෙතෙක් කල් සිතා සිටියේ!" යැයි ප්‍රකාශයක් ප්‍රසිද්ධ ස්ථානයක මා අතින් නොදැනුවත්ව ම වාගේ ලියවිණි.

ඒ මොහොතේ සිට ඒ ගැන පැය විසි හතරක් පුරා සිතුවෙමි.

අවසානයේ මේ සටහන ලියා සිත සැහැල්ලු කර ගැනීමට සිත් විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු ලිපියක් නොවේ.

මෙන්න මේ දක්වා 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු ලිපි-
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books

(image: http://nation.foxnews.com/postal-service/2012/08/23/d-oh-us-postal-service-wasted-12-million-simpsons-stamps)

Thursday 3 September 2015

කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books


මත්පැන් බීමට ඇබ්බැහි වීම ගැන ඉංගිරිසියෙන් ඇති කියුමක් මෙසේ ය.

මෑන් ටේක්ස් එ ඩ්‍රින්ක්
ඩ්‍රින්ක් ටේක්ස් එ ඩ්‍රින්ක්
ඩ්‍රින්ක් ටේක්ස් ද මෑන්

මත්පැන් බීම මෙන්ම, පොත් කියවීම ද දරුණු ලෙස ඇබ්බැහි විය හැකි විනෝදාංශයකි. නමුත් මෙහි ඇති වෙනස නම්, පොත් කියවීම යනු සොඳුරු ඇබ්බැහියක් වීමයි.

පොත් කියවීමේ මූලික අඩිතාලම වැටෙන්නේ බොහෝ විට කුඩා කාලයේ තෑගි ලෙස ලැබෙන පොත් කියවීම ඇරඹීමත් සමග ය. මා එලෙස කියවූ මුල්ම පොත ලෙස මගේ මතකයේ ඇත්තේ වලාකුළක නැගී ගිය සුරංගනාවක පිළිබඳ කතාවක් රැගත් වර්ණයෙන් මුද්‍රිත පිටු කිහිපයකින් සමන්විත වූ නම අමතක ළමා පොතකි. ඒ මා පළමුවන ශ්‍රේණියේ ඉගෙන ගත් කාලයේ දී විය යුතුය.

ඉන්පසු අපි නිවසේ තිබෙන පොත් කියවීමට පටන් ගන්නෙමු. මා එලෙස මුලින් ම කියවූ නවකතාව වූයේ ගුණදාස ලියනගේ ලියූ මුලු හදින් මම ඇයට පෙම් කොට කෘතියයි. ඒ මා හතරවෙනි ශ්‍රේණියේ ඉගෙන ගත් කාලයේ දී ය. මේ නවකතාවෙන් මට මතක ඇති එකම වැදගත් කරුණ නම්, අලුත ඉපදෙන දරුවෙකු පිරිමි ළමයෙකු නම්, ඇන්දවිය යුත්තේ නිල් පැහැති ඇඳුම් යන්න ය.

ඉන්පසු මිතුරන්ගෙන් හෝ ඥාතීන්ගෙන් පොත් ඉල්ලාගෙන කියවීම ඇරඹේ. අපේ අසල්වැසි නිවසක විසූ මල්ලිකාලා ගෙන් අම්මා ඉල්ලා දුන් මාටින් වික්‍රමසිංහ ගේ මඩොල්දූව මා කියවූයේ එලෙස ය.

ගම්සභා, නගර සභා පුස්තකාලයක සාමාජිකත්වයක් ලබා ගැනීම අප පොත් කියවීමට ඇබ්බැහි වීමේ ඊළඟ අදියරයි. ගලහිටියාව ගම් සභා පුස්තකාලයෙන් ද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයෙන් ද මම විශාල පොත් සංඛ්‍යාවක් කියවා ඇත්තෙමි. උසස් පෙළ සහ විශ්ව විද්‍යාලය අතර ගන්ධබ්බ සමයේ ඇතැම් දිනවල උදෙන් ම ගලහිටියාව පුස්තකාලයට යන මා, උදේ වරුවේ එක් පොතක් කියවා, දිවා ආහාරය සඳහා කෙටි කාලයකට නිවසට පැමිණ, නැවත එහි ගොස් තවත් පොතක් කියවා, නිවසේ දී සහ බස් රථයේ දී කියවීමට පොත් දෙකක් ද රැගෙන ආ හැටි මට සිහිවේ.

පේරාදෙණියේ ප්‍රධාන පුස්තකාලයෙන් නිතිපතා සිංහල නවකතා සහ වෙනත් පොත් කියවූ මගේ කණ්ඩායමේ එකම පුද්ගලයා ද මා විය හැක.

තමන්ගේ ම මුදලින් පොත් මිලට ගැනීම ඇරඹීම යනු අනිවාර්යෙන්ම ඇබ්බැහි වී ඇති බවට හොඳම ලකුණකි. ඉන් පසු එයින් ගැලවීමක් ඇත්තේම නැති තරම් ය. අවාසනාවට, මා මුලින් ම මිලට ගත් පොත කුමක්දැයි යන්න දැන් මගේ මතකයේ නැත.

පොත් ඇබ්බැහියේ උපරිමය ලෙස සැලකිය හැක්කේ පොත්වල නිකම්ම නිකම් පිටපත් නොව, කතුවරයා විසින් සමරු සටහනක් තබන ලද පොත් මිලට ගැනීමට සිත් දීමයි, එසේත් නැතහොත්, පොතක් මිලට ගත් පසු කතුවරයා ගේ අත්සන ලබා ගැනීමට සිතීමයි!

ලංකාවේ දී නම් මේ සඳහා හොඳම ක්‍රමය පොත දොරට වඩින දිනයේ දී ඒ අවස්ථාවට සහභාගී වීමයි. බොහෝ පොත් එළි දැක්වීම් ප්‍රසිද්ධ උත්සව ලෙස සංවිධානය කෙරෙන නිසා ඒවාට සහභාගී වීම සඳහා පුද්ගලික ආරාධනා ලැබිය යුතු යැයි මම නො සිතමි.

ඕස්ටේ‍ර්ලියාවේ දී නම් කතුවරුන් කලින් දැනුම් දෙන දිනයන් හි සීමිත කාලයකට පොත් ශාලාවල පෙනී සිටීමේ ක්‍රමවේදයක් ද ඇත. එහි දී ඔබට කතුවරයා සමග වචන කිහිපයක් කතා කර, අත්සන සහිත පොතක් මිලට ගැනීමට හැකිවේ. ඇතැම් විට ඔව්හූ අත්සන් කරන ලද පිටපත් කිහිපයක් ද පොත් සාප්පුවේ තබා යති.

සමහර විට අන්තර්ජාලය හරහා ද කතෘ ගේ අත්සන සහිත සුවිශේෂී පිටපත් මිලදී ගැනීමට හැකි ය.

කතෘ ගේ අත්සන සහිත පොත් තමන් සතු කර ගැනීමේ දී හොඳම වින්දනය ලැබෙන්නේ කතුවරයා ම තමන් ගේ අත්සන රැගත් කෘතියක් කතෘගෙන් තුටු පඬුරක් වැනි වචන කිහිපයක් ද ලියා අපට ලබා දුන් විට ය. ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් ලියා ඇති ඩීබී කුරුප්පු තමන් ගේ එක් කෘතියක පිටපතක් මගේ නමට තැපෑලෙන් එවූ දිනයේ සක්විති රජකම ලැබුණා සේ මට දැනුණි!

මා සතුව ඇති කතුවරයා ගේ අත්සන සහිත වෙනත් පොත්වලින් කිහිපයක් මෙසේ ය.

මා මිලදී ගත් පොත් කිහිපයක කතුවරුන් සමරු සටහනක් තබා ගත් අයුරු.



මට ලැබුණු තුටු පඬුරු කිහිපයක කතුවරුන් විසින් සටහන් තබා ඇති අයුරු.



කතෘ ගේ අත්සන සහිත පොත් පිළිබඳව මට කීමට කනගාටුදායක කතාවක් ද ඇත.

එක් දිනක සිනුවර උත්සවයක දී මට හමුවුණු කතුවරයෙක් තමන් කවි පොතක් ලියා මෙරට දී ම මුද්‍රණය කළ බව පවසා එහි පිටපතක් මිලට ගන්නේ දැයි විමසී ය.

අනිවාර්යෙන් ම! යැයි පැවසූ මම නියමිත මිල වූ ඩොලර් විස්සක් ගෙවා පොතේ පිටපතක් එවෙලේ ම ලබා ගත්තෙමි.

මේ 2010 වසරයි.

මෙකී කවි පොතේ පිටකවරය සැරසූ දේශපාලුවා ගේ ඡායාරූපය දුටු විගසම, මා කළ මෝඩකම මට තේරුම් ගියේ ය.

ඉන්න මං පොත අත්සන් කරලා දෙන්නම් කියූ කතුවරයා පොතේ ඇතුළත මුල් පිටුවේ "රසික සූරියආරච්චිට කතෘගෙන් තුටු පඬුරක්!" කියා ලිව්වේය.

උත්සවය අවසන්ව නිවසට ගිය මා කළේ පොතේ පිට කවරය ඉරා දමා, මුල් පිටුවේ කතුවරයා තැබූ සටහනට යටින්, ඩොලර් විස්සක් ගෙවා අහවල් දින, අහවල් ස්ථානයේ දී මිලට ගන්නා ලදී කියා ලියා මගේ අත්සන යෙදීමයි.

මගේ මතකයේ හැටියට, හිටපු ජනාධිපතිට ලියූ වන්දිභට්ට කවි පොතක් වූ එය කොහේට විසි කළා දැයි දැන් සොයා ගත නො හැක!

ඒ ඩොලර් විස්සෙන් බල්ලන් කී දෙනෙකුට නම් සුදු ආප්ප අරං දෙන්නට තිබුණා ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් මා ලියූ දෙවන ලිපියයි.

ඔබ පළමුවෙනි ලිපිය කියවූවා ද?
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart : http://rasikalogy.blogspot.com/2015/09/hole-in-heart.html

Tuesday 1 September 2015

කුරුලු හදවතේ හිලක් - Hole in the heart


ලියනගේ අමරකීර්ති ලියූ කුරුලු හදවත නම් සම්මානලාභී නවකතාව පිළිබඳ අසම්පූර්ණ විචාරයකි!

මා කුඩා කාලයේ ලංකාවේ රූපවාහිනී විකාශන නො තිබුණි. රූපවාහිනී සේවා ලංකාවේ ඇරඹුණු පසුව ද, විදුලි ආලෝකය නොමැති අපේ නිවසට නම් රූපවාහිනියක් වැඩියේ නැත. අපේ එකම ඉලෙක්ට්‍රොනික විනෝදාංශය වූයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝවට සවන් දීමයි.

හඳ මාමා, ළමා රංග පීඨය, ලන්දේසි දුපත වැනි ළමා වැඩසටහන් ද, විනෝද සමය, මාසික රැඟුම, මුවන් පැලැස්ස, මොණරතැන්න, ගුවන් විදුලි රඟ මඩල, විනාඩියක් පමණයි, අම්බිගා ගීතයෙන් ගීතය වැනි පොදු වැඩසටහන් ද එකල අප ආශාවෙන් සවන් දුන් ගුවන් විදුලි වැඩසටහන් අතර විය.

මගේ හෝ අපේ පවුලේ ඇත්තන් ප්‍රායෝගිකව සහභාගී නොවුන ද, අප සවන් දීමට ප්‍රිය කළ තවත් වැඩසටහනක් වූයේ අසන්නන් ගේ ඉල්ලීම් තීරයයි. රුහුණු සේවය ඇරඹුණු පසු එහි මේ වැඩසටන ඔහෙලා ගේ ඉල්ලීම් ලෙසින් නම් කෙරුණු බවට කෙරෙන සරදම බොහෝ දෙනෙකු අසා ඇති බවට සැක නැත!

මෙකල මෙන් දුරකථන පහසුකම් සහ එස්එම්එස් යනාදිය නො තිබුණු එකල, අසන්නන් ගේ ඉල්ලීම් තීරය යනුවෙන් අදහස් කෙරුණේ ගුවන් විදුලි අසන්නන් විසින් තමන් ප්‍රිය කරන ගීත ප්‍රචාරය කරන ලෙස තැපැත් පත් මගින් කරන ඉල්ලීම් ඉටු කෙරෙන ගීතමය වැඩසටහනකි.

මේ ආකාරයට ගීත ඉල්ලා ගුවන් විදුලි සංස්ථාවට තැපැල්පත් යොමු කරන අය ගේ මූලික අභිප්‍රාය වූයේ ඒ ගීත ශ්‍රවණය කිරීම ම නොව තමන් ගේ නම ගුවන් විදුලියෙන් කියවා ගැනීම බව නො රහසකි.

හැටේ දශකයේ පමණ ගුවන් විදුලි සංස්ථාවේ පැවති පක්‍ෂ දේශපාලනයෙන් දුෂිත වූ, කල්ලිවාදී, වාතාවරණය පදනම් කොට ගෙන ගුණදාස ලියනගේ විසින් දෝන කමලාවතී නම් නවකතාවක් ලියා ඇත. එම නවකතාව ඇරඹෙන්නේ ගුවන් විදුලියේ අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ගීතයක් ප්‍රචාරය කිරීමට පෙර එය ඉල්ලා එවූ අය ගේ නම් වැලක් කියවෙන අවස්ථාවකිනි.

ලියනගේ අමරකීර්ති ලියූ කුරුලු හදවත නවකතාවේ ආරම්භය ද අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ගීතයක් ප්‍රචාරය කෙරෙන අවස්ථාවක් හා සම්බන්ධ ය.

තම නම අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ප්‍රචාරය වෙනු ඇසූ දෝන කමලාවතී පසුව ගුවන් විදුලි සංස්ථාවේ සේවයට බැඳී ජීවිතයේ නොයෙකුත් හැලහැප්පීම්වලට ලක්වූවා ය.

ඒ එදා හැටේ දශකයේ වැල්ව් රේඩියෝ සහ මධ්‍යම තරංග යුගයේ දී ය.

මෙදා අසූවේ දශකයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ යුගයේ දී තම නම අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ප්‍රචාරය වෙනු ඇසූ කුරුලුගංගොඩ දිනසිරි නම් තරුණයා පසුව අනූවේ දශකයේ එෆ්එම් යුගයේ දී පුද්ගලික ගුවන් විදුලි සමාගමක සේවයට බැඳී, සියල්ල කෙළවර වූයේ ඛේදජනක ලෙසට වුව ද, මුලින් තම ජීවිතය පෙර නො සිතූ විරූ ඉහළ තලයකට නංවා ගත්තේ ය.

කුඹල් කර්මාන්තයේ නියැලීම පාරම්පරික ජීවිකාව වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුලක උපත ලබන දිනසිරි ද, උසස් පෙළ විභාගය අසමත්වීමත් සමග තම ඉගෙනීම අවසාන වූ පසු යොමුවන්නේ ඒ මැටි භාණ්ඩ නිපදවීමේ කර්මාන්තයටම ය. ඒ ඒකාකාරී ජිවිතයේ ඔහු ගේ විනෝදාංශය වෙන්නේ ගුවන් විදුලියට සවන් දීම සහ එහි අසන්නන් ගේ ඉල්ලීම් තීරයට තැපැල්පත් යොමු කිරීමයි.

එමගින් මවා ගන්නා ෆැන්ටසි ලෝකයේ සිරකරුවෙකු වන ඔහුට, මේ 1980 දශකයේ අග භාගයේ රටේ සිදුවන දේශපාලන විපර්යාස කිසිවක් ඉන්ද්‍රිය ගෝචර නොවේ.

විරැකියාව යනු ලංකාව වැනි දියුණුවන රටවල් පමණක් නොව, දියුණු යැයි සම්මත පළමුවන ලෝකයේ රටවල් ද පීඩනයට ලක් කරන ලෝක තලයේ ප්‍රශ්නයකි. ලංකාවේ ගම්බද තරුණයින් ගේ විරැකියා ප්‍රශ්නයට අපූරු විසඳුමක් අපේ වැඩිහිටි කාලයේ ඝනත්ව ස්වායත්ත සාධකයක් ලෙස පැන නැගුණි.

ඒ, සුචරිත ගම්ලත් ගේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ වචනවලින් කියනවා නම්, වර්ගවාදී යුද්ධයේ ඉත්තෙකු වීම හෙවත් ආණ්ඩුවේ හමුදාවට බැඳීමයි.

ඒ ඛේදවාචකය පදනම් කරගෙන මා ලියූ, දිවයින පුවත් පතේ සුනිල් මාධව ප්‍රේමතිලක සංස්කරණය කළ අටවන පිටුවේ පළ වූ කවියක දෙපදයක් මෙසේ විය.

මරණ සහතිකය අත්සන් කරතී
වන්දි ලබා ඉන් දිවි ගැට ගසතී

පීඩාකාරී කුල පසුබිමක් සහිත කුඹල් කර්මාන්තයේ දිගටම යෙදෙනු වෙනුවට, එකල තරුණයින් සඳහා නිර්මාණය වී තිබුණු හමුදා සෙබළ තනතුරක් සඳහා අයැදුම් කිරීමට කුරුලු හදවතේ කතානායක දිනසිරි කුරුලුගංගොඩ කිහිප වතාවක් ම සැරසෙන නමුත්, ඒ හැම අවස්ථාවක දී ම අවසාන මොහොතේ හෝ ඔහු එයින් වැළකී සිටීමට තීරණය කරයි.

හාස්‍යයජනක කාරණය නම්, දිනසිරි ගත් ඒ තීරණයට, එනම් නැවතත් සුචරිත ගම්ලත් ගේ අසූවේ දශකයේ වදන්වලින් වර්ගවාදී යුද්ධයේ ඉත්තෙකු නොවී සිටීමට, හේතුව වෙන්නේ යුද්ධයේ ඇති නිෂ්ඵලබව හෝ විනාශකාරීබව හෝ වටහා ගැනීම නොව, තමා යුද භටයෙකු වූ පසු, තවදුරටත් ගුවන් විදුලියට සවන් දීමටත්, අසන්නන් ගේ ඉල්ලීම් තීරයට තැපැල් පත් යොමු කර එ මගින් තමන් ගොඩ නගා ගත් දිනසිරි කුරුලුගංගොඩ යන රට සුපතල නම දිගටම පවත්වා ගැනීමටත්, ඉඩ නො ලැබේ ය යන සිතුවිල්ල (පිටුව 83) නිසා වී ම ය.

මෙය කුරුලු හදවත නවකතාවේ හැරුම් ලක්‍ෂයයි. භ්‍රමණ කේන්ද්‍රයයි. එනම් නවකතාවේ සම්පූර්ණ සැකිල්ලම ගොඩ නැගී ඇත්තේ දිනසිරි කුරුලුගංගොඩ ගන්නා ඒ තීරණය මත ය.

කුමන හේතුවක් මත පදනම්ව හෝ දිනසිරි විසින් ගන්නා ලද ඒ යුද්ධය වර්ජනය කිරීමේ තීරණය තුළින් මෙන් ම, ඔහු ලවා ජනතා විමුක්ති පෙරමුණ විසින් 1987-89 කාලයේ දී ජාතිවාදී පදනමක පිහිටා ලංකාව භීෂණයේ ගිල්වමින් ගෙන ගිය නිෂ්ඵල විනාශකාරී කැරැල්ල ප්‍රතික්‍ෂේප කිරීම තුළිනුත්, ලේඛක ලියනගේ අමරකීර්ති ඉස්මතු කරන දේශපාලනය පිළිබඳව කුරුලු හදවත කියවන මා සිත තුළ ඇති වූයේ ඉමහත් ප්‍රසාදයකි. එසේ වුව ද, දිනසිරි ගේ යුද භටයෙකු නොවීමේ තීරණයට පදනම් වූ සිතුවිල්ල සහමුලින් ම වැරදි වැටහීමක් මත ඇති කරගත් එකක් බව මට ක්‍ෂණයකින් වැටහී ගියේ ය.

එදා ගුවන් විදුලියට සම්බන්ධ වෘත්තිකයින් වූ ලැම්බට් පෙම්මාවඩු, ප්‍රේමකීර්ති ද අල්විස්, සුමනා නෙල්ලම්පිටිය වැනි අයගේ නම් සමගම, අසන්නන්ගේ ඉල්ලීම් තීරය තුළින් ගීත ඉල්ලා එවන පුද්ගල නාම ලයිස්තුවක්ද කුරුලු හදවත කතා සැකිල්ල එකලස් කිරීමේ දී ප්‍රධාන ඇණ මුරිච්චි ලෙස අමරකීර්ති විසින් භාවිතා කර ඇත.

ඒ අසන්නන් ගේ නම් කිහිපයක් මෙලෙස වේ.

මගුලාගම මල්ලිකා දිසානායක,
බෝයගනේ පර්ල් අයිරින්,
ගම්පහ පත්මාවෝ මහේෂ්වරී සහ රේඛාවෝ ඊශ්වරී,
හබරාදූවේ ගාමා ගාමිණී සුබසිංහ

ඒ නම් කිසිවක් නවකතාකරුවා විසින් නිර්මාණය කරන ලද ඒවා නොවේ. අදාළ කාලයේ ගුවන් විදුලියට නිරතුරු සවන් දුන් බොහෝ දෙනෙකුට ඉතා හුරුපුරුදු බවට සැක නැති ඒ නම් ලයිස්තුව ලංකාවේ ජීවත් වූ, අද ද ජීවත්වෙන සෑබෑ පුද්ගලයින් පිරිසක ගේ ය.

මෙහිදී ලියනගේ අමරකීර්ති කර ඇති වරද නම් මේ ඇතැම් පුද්ගලයින් ගේ නම් තරමක් දෝෂ සහිතව සඳහන් කිරීම ම නොවේ. ඊට වඩා කුරුලු හදවත නවකතාවේ කථා වස්තුවට සහ එහි තාත්විකත්වයට අතිශය වැදගත් කරුණක් වෙන්නේ ඉහත නම සඳහන් එක් අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ශ්‍රාවකයෙකු වන ගාමා ගාමිණී සුබසිංහ නමැත්තා, මා දන්නා පරිදි, තමා හැඳින්වීමට බොහෝ විට යොදා ගත් මෝදර රොක් හවුස් කඳවුරේ යන්න මෙහි දී යොදා නොගැනීමයි.

බැලු බැල්මට අතිශය නොවැදගත් කාරණයක් සේ පෙනෙන මේ නිමිත්තේ පසුබිම මෙසේය.

ගාමා ගාමිණී සුබසිංහ යනු හබරාදූවේ වැසියෙකු බව සැබෑවකි. මා අසා පුරුදු නැති වුවද, ඔහු තමන් විසින් ගුවන් විදුලි සංස්ථාවේ අසන්නන්ගේ ඉල්ලීම් තීරයට යොමු කරන ලද තැපැල්පත්වල හබරාදූවේ ගාමා ගාමිණී සුබසිංහ යනුවෙන් ද සඳහන් කළා විය හැක. එහෙත් විශ්‍රාම යන විට වෘත්තියෙන් යුද හමුදාවේ මේජර්වරයෙකු වූ ඔහු මා ඒ නම ගුවන් විදුලියෙන් අසා ඇති සෑම විටෙක ම තමාව හඳුන්වා දුන්නේ, මෝදර රොක් හවුස් කඳවුරේ ගාමා ගාමිණී සුබසිංහ වශයෙනි.

මෝදර රොක් හවුස් කඳවුර නම් ස්ථාන නාමය දිනසිරි කුරුලුගංගොඩට නෑසුණේ ඇයි දැයි කියා මට සිතා ගත නොහැක. කුරුලු හදවත නවකතාවේ දෙතැනක ම සඳහන් වෙන (20 සහ 97 පිටු) ගාමා ගාමිණී සුබසිංහ යනු යුද හමුදාවේ මේජර්වරයෙකු බව දිනසිරි දැන ගත්තා නම්, ඔහු හමුදාවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණයට කැඳවීම මුලින් ලද ලිපිය වලං පෝරණුවට නොදමනු ඇත, දෙවනවර හමුදා සේවයට යාම සඳහා පාසලෙන් ලබා ගත් චරිත සහතිකයෙන් බෝට්ටුවක් සාදා වෙල්ල දිගේ පා කර නොයනු ඇත, ඒ වෙනුවට හමුදාවට බැදෙනු ඇත, පූනරීන් සිට අසන්නන් ගේ ඉල්ලීම් තීරයට තැපැල් පත් ලියනු ඇත.

ඒ අනුව, අප කියවූ කුරුලු හදවත කතාව නො ලියවෙනු ඇත!

කුරුලු හදවත නවකතාව ප්‍රබන්ධයකි. නමුත්, එය සත්‍ය සිදුවීම් පසුබිම් කරගෙන, ලංකාවේ ජීවත් වූ සහ ජීවත්වෙන විවිධ පුද්ගලයින් ගේ නම් ඇතුළත් කර ලියවුණු එකකි. එවැනි සිදුවීමක, නමක සුලු දෝෂයක් තිබීම නොසැලකිය හැකි කරුණක් වුවත්, කථාවේ අන්තර්ගතයට සෘජුවම බලපාන කරුණක් මෙසේ කතුවරයාගේ මතකයෙන් ගිලිහී යෑම කනගාටුවට කරුණකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කුරුලු හදවත නවකතාව මා මිලට ගත්තේ 2014 අප්‍රියෙල් මාසයේ ලංකාවට ගිය දිනවලයි. එය 2014 අගෝස්තුවේ දී කියවූ පසු මට ඇතිවුණු මේ ප්‍රශ්නය මම ඊ-මේලයක් මගින් ලියනගේ අමරකීර්තිට යොමු කළෙමි. මා ඔහුගෙන් විමසූවේ, ගාමා ගාමිණී සුබසිංහ හමුදා මේජර්වරයෙකු බව ඔහු දැන නොසිටියා ද, නැතිනම්, එය දැන සඳහන් නොකර සිටියා ද යන්නයි.

තමා ඒ ගැන දැන නො සිටි බව ඔහු මට ලියා එව්වේ ය.

ප/ප/ලි
මේ කරුණ කලින් ලිවීමට අතපසු විය. මේ ලිපිය පළවෙන්නේ, අදින් ඇරඹෙන සාහිත්‍ය මාසය වෙනුවෙනි!