Sunday 31 January 2016

සින්දු කවි කිරීම සහ ජීවිතයේ ගීතය ද කවියක් කිරීම - This is life mate!


දේශපාලනය ගැනම බ්ලොග් ලියන්නෝ පවා විටින් විට කවි ලියා පළ කරනවා දැක තියෙනවා නේද?

මේ වචන කිහිපය නිකමට මෙන් ලියවුණු ඒවා ය. වැඩිපුර සිතිය යුතු කරුණක් නොවේ.

එසේ වුව ද සංවත්සරයක් ළඟම එයි.

ජීවිතය

නිවී යන්නට ළංවෙලා ඇති
පහන් සිළුවක් දෝ
ලොවේ කොයි කාටත් නොදන්වා
ඉබේටම වාගේ
නිවී යන්නට ළංවෙලා ඇති
පහන් සිළුවක් දෝ

උපන් දා සිට ඇවිලිලා ගොස්
පහන් තිරය ද කෙටිය දැන්
එලෙස ඇවිලෙන්ට ජවය දී
තෙල් සිඳී ගොස් ඇතිය දැන්

නිවී යන්නට තවත් කෙතරම්
කල් තිබේ දැයි කීව හැකි නම්
නිවෙන්නට මොහොතකට හෝ පෙර
එළිය විහිදමි මුලු ලෝකෙට ම
අවසාන තෙල් බින්දුවෙන්!


-රසිකොලොජිස්ට්

ප/ලි
දේශපාලන බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියා පළ කරන ලද කවියක් මෙන්න.
අලුත් කුරුල්ලෙක් ඇවිදින් - http://www.w3lanka.com/2016/01/blog-post_24.html

Friday 29 January 2016

යුගයේ ගායිකා භාෂී මධුභාෂිණීට අපූරුවට ගැලපෙන ගී පද වැලක් ලියූවෙමි - This is the least I can do for Bhashi Madhubhashini


මෙතෙක් කතාව මෙසේ ය.

සිරස සුපර් ස්ටාර් තරගයේ එක් වටයක දී, අප තියා ඒ පදමාලාව ලියූ සුනිල් ආරියරත්න පවා වැඩිය අසා නැති, රෝහණ වීරසිංහ ගේ සංගීතයෙන් යුතු, ප්‍රදීපා ධර්මදාස ගේ සොයා දියව් නම් ගීතය නව ආරකින් කියා භාෂී මධුභාෂිණී නම් තරගකාරියක් ජනප්‍රසාදය දිනා ගත්තා ය.

ඒ රියැලිටි තරගයේ ඊළඟ වටයේ දී ඇය ගැයූ, සුනිල් ආරියරත්න ගේ පදමාලාවෙන් ද, මර්වින් පෙරේරා ගේ සංගීතයෙන් ද යුතු නන්දා මාලනී ගේ, හන්තාන අඩවියේ නම් ගීතයට විනිශ්චය මංඩලයේ සාමාජික තනූජා ජයවෝධනගෙන් යුගයේ ගායිකාව ලෙස ප්‍රසාද සම්මාන ලැබුණද මට නම් වැටහී ගියේ භාෂී මධුභාෂිණී ඒ ගායනය සඳහා ආරූඪ කරගත් කර්ණ කඨෝර මහාප්‍රාණ හඬ හන්තාන අඩවියේ ගීයේ අරුතට කිසිසේත් ම නොගැලපෙන බවයි.

රසිකයින් වැඩි පිරිසක් ද එසේම සිතන බව මගේ රසිකොලොජියේ ලිපියට ද, ෆේස්බුක් අවකාශයේ පළවුණු තිබුණු විවිධ සටහන්වලට ද, ලැබී තිබුණු ප්‍රතිචාරවලින් මොනවට පැහැදිලි විය.

හොඳ ගායනා හැකියාවක් ඇති බවට සැක නැති භාෂී මධුභාෂිණී එක් රැයකින් ජනප්‍රසාදයේ සිට ජන-අප්‍රසාදය දක්වා පල්ලම් බැස ඇති බව පෙනේ.

ඇය දැන් කළ යුත්තේ සුන්දර පදමාලාවලින් යුක්ත අප අසා ඇති, අප ප්‍රිය කරන, ගීත ඇය ආරූඪ කර ගෙන ඇති ඒ කර්ණ කඨෝර මහාප්‍රාණ හඬින් ගැයීම නොව, ඒ කර්ණ කඨෝර මහාප්‍රාණ හඬට ගැලපෙන පද මාලාවකින් ගීතයක් නිර්මාණය කරගැනීම බව මගේ අවංක අදහසයි.

ඇයට ඒ මග පාදා දීම පිණිස ම, ඇය ප්‍රියකරන ඒ කර්ණ කඨෝර මහාප්‍රාණ හඬට ගැලපෙන පද මාලාවක් ලියන්නට මම අදහස් කළෙමි.

මේ මා ඒ සම්බන්ධයෙන් ගත් උත්සාහයේ දළ ප්‍රතිඵලයයි.

මෙය විප්‍රලාපී ස්වරූපයක් ගැනීම, සෑහෙන උත්සාහයක් ගත්තද, වැළකිය නොහැකි විය.

ඝණ්ඨාර ශබ්දයෙන්
ධරනි තලය මැඩ අකුණු පුපුරුවා පැතිරෙන්නේ
ද්වේෂයේ දුගඳ නොවේ
ඝණ්ඨාර ශබ්දයෙන්
ඛනිජ ලවණ බඳු පරුෂ වචන ජඩ පවසන්නේ
ද්වේෂයේ දුගද නොවේ

අෂ්ටවර්ණ ටෙලිවිෂනය ගෙනෙනා
ලම්බකර්ණ ශ්‍රවණේන්ද්‍රිය මඩිනා
සප්තස්වරය නිෂේධනය කරමින්
කර්ණ කඨෝර වු ශබ්ද රසය විඳිනා
ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ
කකියන රුධිරේ ගොජ ඝෝෂාවයි
ද්වේෂයේ දුගඳ නොවේ

ඝණ්ඨාර ශබ්දයෙන්
ධරනි තලය මැඩ අකුණු පුපුරුවා පැතිරෙන්නේ
ද්වේෂයේ දුගඳ නොවේ
ඝණ්ඨාර ශබ්දයෙන්
ඛනිජ ලවණ බඳු පරුෂ වචන ජඩ පවසන්නේ
ද්වේෂයේ දුගද නොවේ

කෞශල්‍යය සහජව ඇත පිහිටා
අභ්‍යාසය සතතව කර හනිකා
ස්ව නිර්මාණය දෙනු කියමින්
ටෙලිවිෂනය යූ ටියුබය බලනා
ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ
ශෛල ලෙසින් එන පුෂ්ප පොකුරු පමණයි
ද්වේෂයේ දුගඳ නොවේ

ඝණ්ඨාර ශබ්දයෙන්
ධරනි තලය මැඩ අකුණු පුපුරුවා පැතිරෙන්නේ
ද්වේෂයේ දුගඳ නොවේ
ඝණ්ඨාර ශබ්දයෙන්
ඛනිජ ලවණ බඳු පරුෂ වචන ජඩ පවසන්නේ
ද්වේෂයේ දුගද නොවේ


මේ පද තව දුරටත් සංශෝධනය කළ යුතුයි.

ඒ සඳහා ඔබේ යෝජනා තිබේද?

සුනිල් ආරියත්න ලියූ පදමාලා සහිත වෙනත් ගීත භාෂී මධුභාෂීනී ගේ ගායනයට ගැලපෙන පරිදි කෙසේ වෙනස් විය යුතුද?

-රසිකොලොජිස්ට්

ප/ලි
මා මේ කොපි-කැට් පදමාලාව ලියූයේ ඇත්තට ම අභ්‍යාසයක් විදියටයි.

මීට අවුරුදු ගාණකට කලින් මගේ හිතවතෙක් මට ඔහු හදපු තනුවක සංගීත කණඩයක් දී වචන යොදා පදමාලවක් ලියන ලෙස මගෙන් ඉල්ලීය. මා ලියූ පදමාලා කිහිපයකටම ඔහු සංගීතය යෙදා තිබුණු නිසා මම එය කරන්නම් කියා බාර ගත්තෙමි. සති කිහිපයක් තිස්සේ පැය ගණනාවක් උත්සහ කළද එය මට කළ නොහැකි විය.

පෙරේදා මා ලියූ ලිපිය ලියා පල කළාට පස්සේ මේ අද පළ කර ඇති පදමාලාවේ අදහස සිතට නැගුණි. මෙය ලියන්නට ද දවසක්ම ගතවුණි!

ඒ දවස්වල කරුණාරත්න අබේසේකරලා ඒ තරම් විශාල හින්දි සින්දු ගණනක තනුවලට චවන දැම්මේ කොහොමද කියා මට නම් හිතා ගන්නත් අමාරුයි.

මෙය අපහාසයට ලියූ එකක් නොවේ. මේ පදමාලාවේ වචන තුළිනුත් මා කියා ඇත්තේ එයයි.

(image: https://www.facebook.com/bmmadhubashini)

Wednesday 27 January 2016

හැන්ථාන ඇඩවියේහ් මැඩුරුහ් කුළුණුහ් ශුඩු ශඬලුහ් ථලා පිශ මේ එණ්ණේහ් - Oh, what a feeling


මැයි දිනය යනු ලංකාවේ දේශපාලන පක්‍ෂවලට තම බලය පෙන්වීමට ඇති අගනා අවස්ථාවකි. තම පක්‍ෂය විපක්‍ෂයේ සිටින විට පාක්‍ෂිකයෝ මැයි පෙළපාලිවලට සහ රැළිවලට ඉතා උනන්දුවෙන් සහභාගී වෙති. නමුත්, ආණ්ඩු පක්‍ෂය වූ පසු මේ උනන්දුව කෙමෙන් නැතිවේ. ඉන් පසු රජයෙන් සපයන බස් ද, බත් මුල් ද, අරක්කු බාගේ බෝතල් ද, කැප් තොප්පි ද, ටී ෂර්ට් ද, අතට මුදල් ද මේ සඳහා උවමනා වේ.

හැත්තෑවේ දශකයේ අවසානයේ දී එවකට පැවති යූඇම්පී රජය තම මැයි දින රැළියට ජනතාව ගෙන්වා ගැනීම සඳහා ඇරඹූ එක් උපක්‍රමික වැඩසටහනක් වූයේ මැයි දින රැළිය සංගීත සංදර්ශනයක් බවට පෙරළීම සහ ඒ සඳහා විශේෂයෙන් ම ඉන්දියාවෙන් ගායකයින් ගෙන්වීමයි.

වරක් මේ ආකාරයට ලංකාවට පැමිණ, ගාලු මුවදොර පිටියේ පැවති යූඇම්පී මැයි රැළියට සහභාගී වූ, අද මට නම අමතක, ඉන්දියානු ගායකයෙකු විසින් සුනිල් ශාන්ත ගේ "ඕලු පිපීලා වෙල ලෙළ දෙනවා" ගීතය ඉන්දියානු ආරකට, විදේශීය කටහඬකින් ගායනා කරන ලදී.

ඒ වසරේම හෝ ඊට පසු වසරක, දයාරත්න රණතුංග ගේ "ජය සිරි මා බෝධී" නම් ගීතයද මෙලෙස ඉන්දියානූ ඌරූවෙන් ගායනා කරන්නට යෙදුණි.

පටිගත කරනු ලැබූ මේ ගායනා ඉන්පසු ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් නිරතුරු ප්‍රචාරය වූ අතර, ඉන් පසු අපේ කටින් මේ ගීත ගැයෙන්නට පටන් ගත්තේ ද ඒ අලුත් තාලය සහ සිංහල බේ උච්චාරණයෙනි!

මට ඒ සිදුවීම් සිහිවූයේ ෆේස්බුක් ජාලයෙන් විස්තර ලැබ, යු ටියුබය හරහා නැරඹූ භාෂී මධුභාෂීනී නම් කාන්තාවක විසින් නැවත ගායනා කරන ලද හන්තාන අඩවියේ නම් ගීතය නිසාය.

ඇත්තටම ඒ ගීතය ඇගේ මුවින් පිටවුණේ එදා සුනිල් ආරියරත්න ලියා නන්දා නැන්දා ගැයූ ආකාරයට:
හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳලු තලා පිස මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ කුසුම වදුලු තුරු සිරස නමා ගෙන මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
කියා නොව
හැන්ථාන ඇඩවියේහ් මැඩුරුහ් ඛුළුණුහ් ශුඩු ශඬළු ථලාහ් පිශ මේ එණ්ණේහ් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්
හැන්ථාන ඇඩවියේහ් ඛුශුමහ් වඩුළු ථුරුහ් ශිරශ නමාහ් ඝෙණ මේ එණ්ණෙහ්් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්
කියා ය.



රංගනය සහ ඉදිරිපත් කිරීමේ විලාසය කෙසේ වුවත්, ඈ ඒ ගිතය උච්චාරණය කළ ආකාරය නම් මගේ බඩේ දැඟලිල්ලක් සහ ඔක්කාරයක් ඇති කළේය.

භාෂී මධුභාෂීණී විසින් හන්තාන අඩවියේ නම් ගීතය භක්‍ෂණය කළ බව පෙනුණි!

ඇගේ ඒ උච්චාරණය එදා ඉන්දියානු ගායකයා සිංහල ගීතයක් ගයද්දී ඇති වූ ආකාරයේ එකක් නොවේ. එසේම, එය පිටරටක ඉපිද හැදී වැඩෙන දරුවෙකු තම සිංහල දෙමව්පියන් සමග කතා බහෙන් ඉගෙන ගන්නා සිංහල උච්චාරණයක් වැන්නක් බවද මට නොපෙනේ. මට නම් හිතෙන්නේ ම එය උවමනාවෙන්ම ආරූඪ කරගත් උච්චාරණයක් බවයි.

භාෂී මධුභාෂීනී මේ රියැලිටි ගායනා තරගකාරිය විසින් මීට පෙර වැඩසටහනක දී ගයා ෆේස්බුක් සහ යූ ටියුබය හරහා මා නැරඹූ සොයා දියව් යන ගීතය ශ්‍රවණය කිරීමේ දී මට ලැබුණේ මේ ආකාරයේ අනේ අපොයි අත්දැකීමක් නොවේ.

ඇය ගේ ගායනා විලාසය සහ රංගනය ගැන මට එදා ඇතිවූයේ කැමැත්තකි. මේ දෙවෙනි ගීතය සම්බන්ධයෙන්ද, රංගනය සහ ගීතය ඉදිරිපත් කළ ආකාරය මට ගෙන දුන්නේ ආස්වාදයකි. එහි යම් කිසි ලිංගික ආකර්ෂණයක් ගැබ් වී ඇතැයි පැවසීම බොරුවක් නොවේ.

මට ඇය ගේ ගායනය ගැන පරම්පරා ගැටුමක් හෝ රස වින්දනය පිළිබඳ ප්‍රශ්නයක් නැත.

නමුත්, හන්තාන අඩවියේ ගීතය හැන්ථාන ඇඩවියේහ් කිරීම ගැන නම් ඇත්තේ සංවේගයකි, සන්තාපයකි, පිළිකුලකි, කෝපයකි.

මේ පිළිබඳ මා තැබූ ෆේස්බුක් සටහනට ප්‍රතිචාරයක් දක්වන ඉන්දික උපශාන්ත කියා තිබුණේ ශාෂී මධුභාෂිණී යන නම සහ ඇගේ ගායනය ඔහුට පිං මාළු වලේ කුසල්හාමි මාළු බානවා නම් ගීතය සිහිවෙන බවයි.

චානුක වත්තේගමට අනුව මේ ගායනය ගැන මට ඇතිවූ සංවේගය, සන්තාපය, පිළිකුල සහ කෝපයට හේතුව හන්තානේ අඩවියේ ගීතය ගැන ඇති මගේ පේරාදෙණිය පිළිබඳ අතීතකාමී ෆැන්ටසියකි.

මට පේරාදෙණිය ගැන ඇතිනම් ඇත්තේ ෆැන්ටසියක් නොව රියැලිටියක් බව මම ඔහුට පිළිතුරු ලෙස ලීවෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ගීතය ඔබ අසා ඇතිනම් කරුණාකර ඒ ගැන හැකි පරිදි අදහස් දක්වන්න.

ප/ප/ලි:
මට කියා ගත නොහැකිව හිතේ තෙරපුණු දේ Buratheno ගේ කමෙන්ටුව නිසා වචනයට නගා ගත හැකි වුණා.

මේ ගායනයේ වරද ගායිකාව ගේ හෝ ඇගේ ගායන විලාසයේ හෝ නොවෙයි. මේ විලාසය ඒ ගීතයේ අදහසට නොගැලපීමයි. සොයා දියව් නම් ගීතයට ගැලපුනත් හන්තාන අඩවියේ ගීතය වැනි දුක්බර ගීතයකට එය ගැලපෙන්නේ නෑ.

භාෂී මධුභාෂීණි මේ ආකාරයෙන් ගායනා කළ යුත්තේ නන්දා මාලනී ගේ "මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු" වැනි ගීතයි.

ප/ප/ප/ලි:
මෙයත් කියවන්න.

යුගයේ ගායිකා භාෂී මධුභාෂිණීට අපූරුවට ගැලපෙන ගී පද වැලක් ලියූවෙමි - This is the least I can do for Bhashi Madhubhashini
http://rasikalogy.blogspot.com/2016/01/this-is-least-i-can-do-for-bhashi.html


(image: https://www.youtube.com/)

Tuesday 26 January 2016

ඕස්ට්‍රේලියානු ජාතික දිනයේ අවුලක්! - What's wrong with the Australia Day?


අද ජනවාරි 26 වෙනිදා ඕස්ට්‍රේලියානු දිනයයි, එනම් ඕස්ට්‍රේලියාවේ ජාතික දිනයයි.

ජාතික දිනය සඳහා අද දිනය තෝරාගෙන ඇත්තේ වසර 1788 දී නැව් එකොළහක් සහිත ඇණියකින් කපිතාන් ආතර් පිලිප් මහා බ්‍රිතානයේ සිට සිඩ්නි අසල ප්‍රදේශයට පැමිණ මේ මහාද්වීපය තම රජු වෙනුවෙන් අයිතිකරගෙන සිර කඳවුරක් සඳහා කොලණියක් පිහිටවීම මගින් වත්මන් ඕස්ට්‍රේලියාවේ ඇරඹුම සනිටුහන් වෙන බැවිනි.

ජාතික දිනය සැමරීමට රාජ්‍ය උත්සව පැවැත්වෙනවා විය යුතුය. නමුත් රටවැසියන් බොහෝ දෙනෙකු කරන්නේ අද දිනයේ බැටළු මස් සහ ඉස්සන් සහිතව සම්ප්‍රදායානුකූල බාබකියු භෝජනයක් රස විඳීමයි. ඒ සඳහා අනුපාන ලෙස බියර් සහ වයින් ද නොමසුරුව භාවිතා වේ.

තවත් වැදගත් කර්තව්‍යයක් වෙන්නේ වසරේ ඕස්ට්‍රේලියානුවා තේරීමයි. මා දන්නා තරමින් පසුගිය වසර විස්සක කාලය තුළ මේ සඳහා ක්‍රීඩකයින්, සිනමා නළුවන්, හමුදාකාරයින් මෙන්ම, වෛද්‍යවරුන්, විද්‍යාඥයින් සහ සමාජ ක්‍රියාකාරිකයින් ද තෝරා ගෙන ඇත.

පසුගිය වසරේ මේ උපහාරය ලැබුණේ ගෘහස්ථ හිංසනය වැලැක්වීම පිළිබඳව වැඩ කළ කාන්තාවකයි. මේ වසරේ හිටපු හමුදා ප්‍රධානියා ඒ සඳහා තෝරාගෙන ඇත. ඒ ඔහු හමුදා ප්‍රධානියාව සිටි නිසාම නම් නොවේ!

කෙසේ නමුත්, ඕස්ට්‍රේලියානු දිනයේ විශාල ප්‍රශ්නයක් ද ඇත.

ඒ මේ දිනය සම්බන්ධයෙනි.

එදා ආතර් පිලිප් ගේ පැමිණීම සිදුවූ දිනයේ ම, මෙරට එතෙක් විසූ මුල් පදිංචිකාර ඇබොරිනල් ජාතිකයින් ගේ විනාශය ඇරඹුණි.

එය හත්සීයක හොරුන් රංචුවක් සමග විජය ඉන්දියාවේ සිට ලංකාවට ගොඩ බැස එදා එහි සිටි යක්‍ෂ ගොත්‍රිකයින් ගේ විනාශය ඇරඹීම හා සැසඳිය හැකි අවස්ථාවක් බව පෙනේ.

රටකට ජාතික දිනයක් අවශ්‍ය නමුත් පෙර කී කාරණය නිසා, බ්‍රිතාන්‍යයින් මෙහි පැමිණි දිනයම ජාතික දිනය ලෙස තෝරා ගැනීමේ අවුලක් ඇත.

එනිසා ඕස්ට්‍රේලියානු ජාතික දිනය සැමරෙන අද දිනය ආක්‍රමණ දිනය ලෙස ද විරෝධය දැක්වීමක් ලෙසින් හැඳින්වෙනු දැකිය හැක.

මගේ අදහස නම්, යම් දිනක ඕස්ට්‍රේලියාව ජනරජයක් වූ දිනට මේ අවුල ලිහී යනු ඇති බවයි!

හවසට බාබකියු දැමීමට අවශ්‍ය බඩු(*) ගෙන ඒමට මට කඩේ යාමට ඇති නිසා මෙයින් නවතිමි.

ඔබ සැමට ජොලි ගුඩ් ඕස්ට්‍රේලියානු දිනයක් වේවා.

-රසිකොලොජිස්ට්

(*) බඩු යනු මස් සහ පාන් ය. දියර වර්ග නම්, පොලීසියෙන් ඉල්ලන විට දෙන්නට වුවද ඇති තරම්, ඉස්ටොක් එකේ ඇත!

(image: http://fleurieucoast.com/event/australia-day-2016/)

Monday 25 January 2016

නිවාඩුවක් දැම්මෙමි! - Did not "chuck a sickie" though....


හෙට ජනවාරි 26 අඟහරුවාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ නිවාඩු දවසකි. ඇත්තටම එය ඕස්ට්‍රේලියානු දිනයයි. මා වැනි සාමාන්‍ය රැකියා කරන සියලු දෙනාට එදාට නිවාඩුය.

එනිසා අද සඳුදා මම නිවාඩුවක් දැම්මෙමි. ඒ අනුව මට සති අන්තය ද ඇතුළුව දින හතරක දිගු නිවාඩුවක් ලැබී ඇත.

මම නිවාඩුවක් දැම්මේ මට හිමි නිවාඩුවලින් එකකි. එසේම එසේ කරන බව බ්‍රහස්පතින්දාම බොසී වෙනුවට මේ දිනවල වැඩ බලන හාදයාට ද කීවෙමි.

නමුත් එසේ කලින් දැනුම් දීමක් නොකර, මේ ආකාරයේ දිනයක් පැමිණි විට, නිකම්ම (බොරු) ලෙඩ නිවාඩුවක් ලබා ගන්නා අයද සිටින බව සත්‍යයකි. ඒ ආකාරයට බොරු ලෙඩ නිවාඩු දැමීම ඔසී ජනවහරේ හැඳින්වෙන්නේ චක් එ සිකී (chuck a sickie) කියාය.

අද දිනයේ ඕස්ට්‍රේලියාව පුරා "චක් එ සිකී" කරන සේවකයින් සංඛ්‍යාව 180,000 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇත!

කොහොමටත් සඳුදා යනු සේවකයින්ට අසනීප වීම වැඩි දිනයකි. එය සාමාන්‍යයෙන් 40% පමණ වේ. එනම් එක් හොඳ නියැඳියක සියලුම අසනීප නිවාඩුවලින් 40% ක් ම ලබා ගෙන ඇත්තේ සඳුදා දිනවලය. ඉරිදා දිනවල ද මද පමණ ඉක්මවා ගිය විට එලෙස විය හැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉතින් මේ සතියේ මෙන් අඟහරුවාදා නිවාඩුවක් ද ඇති විට සඳුදා අසනීප වීම බලාපොරොත්තු විය යුත්තකි.

හොර ලෙඩ නිවාඩු සඳහා අවුලක් නැතුව පාවිච්චි කළ හැකි හොඳම කරුණු ලෙස ඕස්ට්‍රේලියානු මාධ්‍ය (ගුවන් විදුලි/රූපවාහිනී) ආයතනය (Australian Broadcasting Corporation) දක්වන්නේ වමනේ යෑම සහ "බඩේලිය" යැමයි. වෛරස් උණ සහ මිග්‍රෙන් වැනි කාරණා ද සාමාන්‍යයෙන් අපහසුවකින් තොරව බොස් හෝ බොසීව රැවටීමට භාවිතා කළ හැකි බව කියවේ.

මෙය කියවන ඔබ, "චක් එ සිකී" කර, එනම් අසනීපයක් නැතුව හොර ලෙඩ නිවාඩු දමා, තිබේද?

මතක ඇතුව, "ඔව්" කියා පිළිතුරු සපයන්නේ නම් ඇනෝනිමස් ලෙස එන්න!

එසේ නොකළොත්, සේවා ස්ථානයේ දී බොස්ගෙන් හෝ බොසීගෙන් දෝස්මුර ලැබීමට ඉඩ තිබේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
රාජකාරියෙන් අද නිවාඩු ගත්ත ද, අවාසනාවට මෙන් බ්ලොග්කරනයෙන් නිවාඩු ගැනීමට නො සිතුණි!

ප/ප/ලි
අද නිවාඩු සහිතව නිවසේ සිටියදී පහත වීඩියෝව මුල සිට අවසාන වෙනතුරුම නැරඹුවෙමි. ඉතා ප්‍රයෝජනවත් බව කිව හැක.

කැමති නම් නරඹන්න. අකමැති නම් ඒත් නරඹන්න!


(image: http://memegenerator.net/instance/65013253)

Friday 22 January 2016

ගොක් කොළ පෙනීම - When are you leaving?


"තනිවයි උපන්නේ, තනිවයි මැරෙන්නේ"
මොහිදීන් බෙග් එසේ ගැයුවේ ය.
කුමක්ද මරණය?
අස්ථිර සුසුමක් නැවත නොගන්නට සුළඟට දන් දීමයි

නන්දා මාලනී ගැයුවේ එසේ ය.

මරණය අනිවාර්ය දෙයකි. වයසට ගොස් සාමාන්‍යයෙන් ස්වභාවික මරණයකැයි හැඳින්වෙන ආකාරයට එය සිදුවුණහොත් කිසි අවුලක් නැත. අප දැක ඇති පරිදි වයසක අයගේ මළගම්වල අඬන අය වුවද ඉතා හිඟය.

නමුත් අකල් මරණ එසේ නොවේ. ළබැඳියන්ට දුක වැඩිය. ජීවත්වෙන අයට පොදුවේ ගෙන දෙන්නේ අසහනයකි. මා දකින විදියට එයට හේතුව නම්, අපේ ජීවිත ද මෙලෙස අකාලයේ නැති වෙන්නට ඉඩ ඇති බව අපට ඉබේ ම මෙනෙහි වීම විය යුතුයි.

මා දන්නා කියන ජ්‍යෙෂ්ඨ හිතවතෙකු මේ සතිය ආරම්භයේ දී මිය ගියේය. ඒ මා මීට පෙර ලියා පල කළ ලිපියේ සඳහන් වූ වකුගඩු රෝගයෙන් පීඩා විඳි තැනැත්තා ය. ඔහු තමන්ට කළ වකුගඩු බද්ධය සාර්ථක නොවුණු නිසා රුධිර කාන්දු පෙරීම හෙවත් ඩයලසිස් නමින් හැඳින්වෙන ප්‍රතිකර්මය නිරතුරු ලබමින් ද, තවත් සංකීර්ණ රෝගී තත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් ද වසර කිහිපයක් තිස්සේ ජීවත් වෙමින් සිටි අයෙකි.

මිය යන විට ඔහු ගත කරමින් සිටියේ ජීවිතයේ හැට අටවෙනි වසර බව මට පසුව දැන ගන්නට ලැබුණි.

හැට අටක් යනු මැරෙන වයසක් නොවේ. ඔහු කලක් රෝගාතුර වී සිටිය ද, ජීවත්වීමට ඇති කාලය කෙටි බව දැන සිටිය ද මෙය අකල් මරණයකි. එ නිසා ම දුක්බර මරණයකි.

මා කලින් කී පරිදි, බද්ධ කළ වකුගඩුව ප්‍රතික්‍ෂේප වී ඉවත් කළ පසුව ඔහු ජීවත් වූයේ කාන්දු පෙරීම (ඩයලසිස්) නමැති ප්‍රතිකාරය මත යැපෙමිනි. මෙහිදී සිදු කෙරෙන්නේ සිරුරේ ඇති රුධිරය බාහිර යන්ත්‍රයක් හරහා යවා පෙරීමයි. නිරතුරු අසා තිබුණද, මේ ක්‍රියාවලිය සිදු කෙරෙන හැටි මුලින් ම දුටු දිනයේ මා සිත සලිත වී ගිය බව ද පැවසිය යුතුය.

හිතවතා ගේ මරණයෙන් පසු ඒ ගැන සඳහන් කරමින් ඊ-මේලයකින් අප ඇමතු ඔහු ගේ දියණිය විස්තර කර තිබුණු ආකාරයට මරණයට දින කිහිපයකට පෙර තව දුරටත් ඩයලසිස් නොකරන බවට ඔහු තීරණයක් ගෙන ඇත.

එය හොඳ සිහියෙන් ගත් ධෛර්යමත් තීරණයකි. එසේම ඉතා තර්කාන්විත එකකි.

මේ වනාහී අප සැමටම ජීවිතයේ මතු යම් දිනයක දැනුවත්ව හෝ නොදැනුවත්ව ම ගන්නට සිදුවෙන තීරණයක් බව කිව යුතුය.

එනම්, තව එක් දිනක් ජීවත්වීමට අප ආයෝජනය කළ යුතු ශක්තියට වඩා, ඒ දින ගත කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනයේ වටිනාකම අඩු වූ විට, ඒ ජීවත්වීමෙන් අපට පලක් නැති වේ.

මෙය අප කා හටත් වටහා ගත හැකි සත්‍යයක් යැයි සිතමි.
එදින අප යා යුතු ය.
තනිවම යා යුතු ය.
අස්ථිර සුසුමක් නැවත නොගන්නට සුළඟට දන් දිය යුතු ය.

-රසිකොලොජිස්ට්

(imae: http://www.rivershealingarts.com/death_midwifery.php)

Wednesday 20 January 2016

වකුගඩුවක කතාවක් - Be an organ donor


මේ මා ලියන්නට සැරසෙන්නේ මගේ සිතට දැනුණු එක්තරා අපූරු හැඟීමක් මුලින්ම ලද දිනය ගැන සතුටුදායක කතාවකි. නමුත් හැම සතුටකට ම පසු දුක කනගාටුව අප කරා පැමිණීම ලෝක ස්වභාවය බව ද අමතක නොකර මුලින් ම පවසමි.

මින් වසර පහකට පමණ ඉහත දිනයක මට ලැබුණු ඊ-මේලයකින් දැනගන්නට ලැබුණේ, මා දන්නා හඳුණන එක්තරා වැඩිහිටි මිතුරෙකු රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඒ වකුගඩුවක් බද්ධ කිරීමට ය.

මේ ආකාරයේ ශල්‍යකර්ම ගැන අප කුඩා කාලයේ සිටම පාහේ අසා තිබේ. ඒ දිනවල මෙවැනි කටයුතු කිරීම සඳහා ඉන්දියාවට යෑම් ගැන ද, ඒ සඳහා අවශ්‍ය අරමුදල් එකතු කිරීම් ගැන ද විටින් විට අසන්නට ලැබුණි.

වකුගඩුවක් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය වෙන්නේ තමන් ගේ සිරුරේ ඇති වකුගඩු දෙකෙන් එකක් හෝ දෙකම හෝ නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ රෝගී තත්වයට පත්වෙන පුද්ගලයින් සඳහා ය. මා අසා ඇති පරිදි, මෙහිදී සිදුවෙන්නේ හොඳ වකුගඩු ඇති වෙනත් පුද්ගලයෙකුගේ එක් වකුගඩුවක් සිරුරෙන් ඉවත් කර, එය රෝගියා ගේ නිසි පරිදි ක්‍රියා නොකරන වකුගඩුවක් වෙනුවට සවි කිරීමයි. හදිසියේ මිය ගිය අයෙකුගේ වකුගඩුවක් ද මෙලෙස බද්ධ කළ හැකි බව කියවේ.

දන් දීම යනු පුණ්‍ය කටයුත්තක් ලෙස සැලකෙන නිසා ලේ දන්දීම, මරණයෙන් පසු ඇස් දන්දීම වැනි කටයුතු සඳහා ඉදිරිපත්වෙන අය ලංකාවේ එමට සිටිය ද, ජීවත්ව සිටියදී ම වකුගඩුවක් දන් දීම යනු එසේ මෙසේ ක්‍රියාවක් නොවේ.

මිනිස් සිරුරේ වකුගඩු දෙකක් තිබන නිසා ඉන් එකක් වෙනකෙකුට සවි කීරීම සඳහා ඉවත් කළ ද ඉන් පසු එක් වකුගඩුවකින් ජීවත් වීම විශාල ප්‍රශ්නයක් නොවෙතත්, සෑහෙන අවදානම් වැඩකි.

එනිසා, ජීවත්ව සිටියදී ම වෙනකෙකුට තම වකුගඩුවක් දන් දීමට කැමැති වෙන්නේ, බොහෝ විට ඉතා කිට්ටු ඥාති හෝ මිතුරු සබඳතාවයක් ඇති නම් පමණි.

විශාල මුදලක් ලැබේ නම් එලෙස කිරීමට පෙළඹෙන අය ඉන්නා බව ද විටින් විට ආරංචි වේ.

ඒ කිසිම උත්තේජනයක් නොමැතිව හුදෙක්ම පින් පිණිස වකුගඩුවක් දන් දුන් පුවතක් මට මුල්වරට අසන්නට ලැබුණේ ඇමති ලක්‍ෂ්මන් කදිරගාමර් මරා දැමුණු පසුවය. ඔහු වකුගඩුවක් බද්ධ කරගෙන ජීවත් වූ අයෙකු බව අසන්නට ලැබුණි.

ඔහුට ඒ වකුගඩුව ලබා දී තිබුණේ බලංගොඩ මහානාම නම් බෞද්ධ භික්‍ෂුවකි.

ඕස්ටේ්‍රලියානු කෝටිපතියෙකු වූ කෙරී පැකර්ට ද, එලෙස වකුගඩුවක් දන් දී තිබුණේ ඔහු ගේ අතිශය හිතවත් මිත්‍රයෙකු වූ ඔහු ගේ හෙලිකොප්ටරයේ පයිලට් බව කියවුණි.

මගේ මිතුරෙකුට හෝ ඥාතියෙකුට මගේ වකුගඩුවක් දන් දීම, මට අවශ්‍ය වූ නිසා ම කළ නො හැක. ඒ සඳහා, ලේ වර්ග ගැළපීම යනාදී නොයෙකුත් අවශ්‍යතා සැපිරීම අවශ්‍ය බව කියවේ.

මා මුලින් ලියූ පරිදි, වකුගඩුව බද්ධ කිරීමේ ශල්‍යකර්මය නිමවී රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි හිතවතා දැක ගැනීමට මම දිනක ගියෙමි. ඔහු හා අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටියදී මට දැන ගන්නට ලැබුණේ ඒ වකුගඩුව දන් දී ඇත්තේ ඔහු ගේ ඥාති පුත්‍රයෙකු, එනම් ඔහු ගේ වැඩිමහල් සොහොයුරිය ගේ බෑනා, බවයි. දානපතියා ද, ඒ රෝහලේම වෙනත් වාට්ටුවක අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව ද කියවුණි.

වකුගඩු දන් දීම, වකුගඩු බද්ධ කිරීම ගැන නොයෙක් විට අසා තිබුණද ඒ සියල්ලම, සැමවිටම පාහේ පැවසුණේ රෝගියා ගේ පැත්තෙනි. මා කිසි විටෙක එලෙස වකුගඩුවක් දන් දුන්නෙකු මුණ ගැසී නොතිබුණු නිසා, හිතවතාට ඉක්මන් සුව පතා, ඔහුගෙන් සමුගෙන අනෙක් වාට්ටුවේ සිටි වකුගඩු දානපතියා මුණ ගැසීමට ගියෙමි.

මා එදා ඒ වකුගඩු දානපතියා සමග කතා කරමින් ගත කළ ඒ විනාඩි කිහිපයේ මට ලැබුණේ පෙර නොලැබුණු පුදුමාකාර සැනසිලිදායක අත්දැකීමකි.

හිතන්න, ඔබ ඉදිරියේ රෝගල් ඇඳක අයෙකු සිටී. මේ අප සාමාන්‍යයෙන් රෝහලක දී දකින ආකාරයේ රෝගියෙකු නොවේ. ඇත්තටම ඔහුට රෝගයක් නැත. ඔහු මේ සිටින්නේ සිය කැමැත්තෙන් ම තමන්ගේ සිරුරෙන් කොටසක් වෙන අයෙකුගේ ප්‍රයෝජනය සඳහා ලබා දී, ඒ ශල්‍යකර්මයේ දී ලද කැපුම් තුවාල යනාදිය සුව කර ගැනීමට සහ, දන් දුන් වකුගඩුව නොමැතිව ශරීරය කෙසෙල ක්‍රියාත්මක වෙන්නේදැයි සොයා බැලීමට කෙරෙන පරීක්‍ෂණවලට සහභාගී වෙමිනි.

මෙය කියවන මා ඔබෙන් කරන එක් ඉල්ලීමක් නම්, ඉඩක් ලද හැම විටම, මේ ආකාරයට වකුගඩුවක් දන් දුන් අය සමග කතාබහ කරන ලෙසයි.

එයින් එදා මා සිතට ලැබුණු පහන් හැඟීම මට අද ද දැනේ.

මා හදිසියේ මියගියහොත් වෙන අයෙකුට බද්ධ කළ හැකි සෑම අවයවයක් ම දන් දීමට මම මගේ කැමැත්ත දී ඇත්තෙමි. එය මගේ රියදුරු බලපත්‍රයේ ද සඳහන් කර ඇත. එලෙස කැමැත්ත ප්‍රකාශ කිරීම ද අප සැමට ම කළ හැකි දෙයකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ කතාවේ දුක්බර අවසානය වූයේ මද කලකට පසු අර බද්ධ කරන ලද වකුගඩුව මගේ හිතවතා ගේ සිරුරෙන් ප්‍රතික්‍ෂේප කිරීමයි. එනිසා, නැවත ශල්‍ය කර්මයක් මගින් ඒ සවි කරන ලද වකුගඩුව ගලවා ඉවත් කිරීමට සිදුවිය.

වකුගඩු බද්ධයේ දී මෙවැනි ප්‍රතික්‍ෂේප කිරීම් ද සාමාන්‍යයෙන් ඇතිවේ. පවතින දත්ත අනුව, බද්ධකරන ලද වකුගඩුවලින් වසර තුනකට පසු ක්‍රියාකාරීව පවතින්නේ 87% ක් පමණි. වසර දහකට පසු ක්‍රියාකාරීව තිබෙන්නේ 54% පමණි.

අවාසනාවන්ත කාරණය නම්, ඒ ආකාරයට ප්‍රතික්‍ෂේප කිරීමක් සිදුවුණු විට, නැවත ඒ වකුගඩුව මුල් අයිතිකරුවාට ලබා දීමට නොහැකි වීමයි!

(image: http://dir.indiamart.com/impcat/kidney-transplant-services.html)

Monday 18 January 2016

විභාගේ අභාගය - Tuition Pure, Tuition Bio, Chemistry, Physics!


මගේ මල්ලී ගේ ලොකු පුතා පසුගිය දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේය.

කවදත්, කොතැනත්, විභාගයක් යනු මානසික පීඩාකාරී අත්දැකීමකි. විභාගයේ අවසානය සහ එහි ප්‍රතිඵල නිකුත්වීම අතර අනිවාර්ය කාල පරතරයක් සැලසුම් සහගතව මෙන් සැකසී තිබෙන්නේ විභාග අපේක්‍ෂකයින්ට තමන් ලැබූ ඒ මානසික පීඩාවෙන් සහනයක් ලබා ගැනීමට යැයි සිතේ.

මා අවුරුදු පහළොවේ දී එක්තරා දෙසැම්බරයක මුහුණ දුන් පොදු සහතික පත්‍ර ජාතික විභාගයෙන් අනතුරුව ද මාස එකහමාරක දෙකක පමණ නිවාඩුවක් අපට ලැබුණි.

මා ඒ කාලය ගත කළේ, අම්මාගේ දෙමව්පියන් සිටි කලවාන නම් සුන්දර ගම් ප්‍රදේශයට ගොස් විවේකයෙන් සිටීමටයි. පෙබරවාරිය පමණ වෙනතුරු මම ආච්චී ගේ පෙට්ටගමේ තිබුණු රසවාහිනී සඟරා කියවමින් ද, පුංචි අම්මලා ගේ පොත් කැබිනට්ටුවල තිබුණු නවකතා කියවමින් ද, ඇල, දොළ, කඳු, තේ, රබර් වතු පිරි පරිසරයේ රස විඳිමින් ද, බයිසිකල් පැදීම පුරුදු වෙමින් ද, කල් ගත කළෙමි. මා කිරිකෝඩුවෙකු ලෙස සමනොළ කන්ද නැග්ගේ ද මේ කාලයේ බව මගේ මතකයයි.

ඉන් වසර තුන හමාරකට පසුව අගෝස්තුවක පැවති උසස් පෙළ විභාගයෙන් පසුව ද මට මෙවැනිම සිත සනසන නිවාඩුවක් ලැබුණි.

සුනීතා පුංචි අම්මාගේ විවාහය, වෙන්ඩ බාප්පා ගේ සීජී-125 එකෙන් මෝටර් සයිකල් පැදීමට ඉගෙන ගැනීම වැනි වැදගත් දේවල් සිදුවුණේ ඒ කාලයේ ය.

නමුත්, අද පරම්පරාවකට පසු සිදුවී ඇති දෙයක මහත!

මම පසුගිය සති අන්තයේ මල්ලී ගේ නිවසට කතා කළෙමි.

මල්ලී නිවසේ සිටියේ නැත.

මල්ලී
නිවසේ අවශ්‍යතාවයකට
ටවුමට ගොසින් ය.

මල්ලී ගේ දහසය හැවිරිදි ලොකු පුතා නිවසේ සිටියේ ද නැත.

මල්ලී ගේ ලොකු පුතා
අවසාන වී තාම මාසයක්වත් ගතවී නැති
2015 සාමාන්‍ය පෙළ විභාගයේ
තවත් මාස දෙකකින් පමණ නිකුත්වීමට නියමිත ප්‍රතිඵල මත,
මැයි මාසයේ දී පමණ පටන් ගන්නා ඊළඟ පාසල් වාරයේ දී,
පාසලේ ඇරඹීමත නියමිත උසස් පෙළ පාඨමාලාව අවසානයේ,
වර්ෂ 2018 අගෝස්තුවේ පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා,
ළමුන්ට අමතර ඉගැන්වීම පිණිස පැවැත්වෙන,
උපකාරක ටියුෂන් පන්තියක් සඳහා සහභාගී වීම සඳහා,
ටවුමට ගොසින් ය!

මගේ හිතට දැනුණු හැඟීම විස්තර කරන්නට හැකි වචන ලොවෙත් නැත.


-රසිකොලොජිස්ට්

ප/ලි:
මම ද උසස් පෙළ සමයේ ඇති පදං ටියුෂන් ෆොස් ඇත්තෙමි. ඒ පිළිබඳ සටහන් කිහිපයක් ඉදිරි දිනවල ලියන්නට අදහස් කරමි.

මේ ඒ කාලේ සින්දුවකි!


තවත් එකක්.


(image: http://studentlanka.com/)

Friday 15 January 2016

හොරෙන් මල් කැඩීම (පවුල් පන්සල් වුණු වැඩිහිටි අයට ගේ කියවීම සඳහා පමණි) - Flower robber


මල් කැඩීම යනු තව දුරටත් මල් කැඩීම නොවේ.

සාමා ලා, අමර ලා, සල් මල් කැඩුවේ ඉස්සර ය. දැන් කියවෙන මල් කැඩීමට සල් මලවල තියා බගන්දරා මල්වලවත් කෙළින් ම සම්බන්ධයක් නැත.

පසුගිය මාසයේ ලංකාවේ නිවාඩුව ගත කරන විට, අපේ වත්තේ පිපෙන මල් නිරතුරු අනවසරයෙන් කඩන අය සිටින බව මගේ මලයා නිකමට මෙන් කියනු ඇසුණේ වුව ද, මගේ දෙ ඇසින් ම එවැනි උවැසියක් සැබැවින් ම දකින තුරු මට ඒ හොරෙන් මල් කැඩීමේ ක්‍රියාවේ ඇති සරදම් ස්වභාවය වැටහුණේ නැත.

මේ පහත පලවෙන්නේ ඒ අත්දැකීම ගැන මා පොල් උයනක හිඳ ලියූ විප්‍රලාසී කවියයි!

මල් නෙළන උවැසිය

දහසක් බුදුවරු බුදුවෙති පැවසෙන
හිමිදිරි උදයේ
අපේ ගෙදර වත්තේ
වැටෙන් එහා පැත්තේ
පාර අයිනෙ ඉඳලා
හොරෙන් හොරෙන් වටපිට නෙත් යොමලා
පැල ඉනි අස්සෙන් අත දිගු කරලා

උදේ ම පිපිච්ච ලස්සන රතු මල්
පිපෙන්න තියෙනා පොහොට්ටු මල්
නිකං හෙම නොවෙයි කිනිති පිටින්
කිසිම දුකක් සිත නැති විලසින්
කඩා ගන්න හිතුණේ ඇයි කියපං?

උදේ පාන්දර පන්සල් යන්නද?
ගෙදර ම ඉඳගෙන බුදුන් වඳින්නද?
පූ-ජේ-මී බූද්ධං මතුරන්නද?
ලොව අනියතබව සිහියට ගන්නද?

ඒත් ඉතිං බං ඕක කොරන්නට
අපේ වත්තෙන් ම මල් ඕනැද බොට?

බොලෑ වත්තෙ මල් ගහක් හිටෝගෙන
මලක් දෙකක් පූදිනකං හිටියොත්
නිවන් යන්න බොට පරක්කු වේවිද?

ඊයේ හවසත් මල් ගස් වනසා
ගාථා කියමින් කළ මල් පිදුමෙන්
වටහා ගත් ඒ ලොව අනියතබව
මේ පැය දොළහට අමතක වුණා ද?

වරුවකට වරක් සෑම දිනයක ම
පූ-ජේ-මී බුද්ධං මතුරන්නට
ලොව අනියතබව සිහිපත් කරනට
මදි ද එක මලක්?
නැතිනම් තුන හතරක්?
ඔය පීරිසිය ම පුරෝල ඕනැද?
නැතිනම් ඒකේ අඩුවක් වේවිද?
ලොව අනියතබව නොම වැටහේවිද?

මේකත් කියපං!

ඔය පුජාවට
පිපිච්ච මල් ටික
කඩන්න ඕනැ ද?
ගහේ ම තිබුණොත් මල් පරවෙන්නට
වැඩිපුර දවසක් දෙකක් යන නිසා
ලොව අනියත්‍ය බව වටහා ගන්නට
පරක්කු වෙනවද?

අද හැන්දෑවට මටත් මලක් ගෙන
පූ-ජේ-මී බුද්ධං මතුරාලා
ලොව අනියතබව මෙනෙහි කරන්නට
බුදු පිළිමය ළඟ තියන්න හිතුණොත්
කෝ බං ඒකට මලක් දෙකක් හෙම
මල් පොහොට්ටු ටික උඹ කඩලා නොවැ?
මට පිං කරන්න අකැප ද එතකොට?

අපේ ගහේ මල් ටික සූරාගෙන
පූ-ජේ-මී බුද්ධං මතුරාගෙන
ලොව අනියතබව සිහිපත් කරගෙන
එහෙනං උඹවත් නිවනට පලයං

මං එන්නං තව ටිකක් පහුවෙලා!




-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙය විප්‍රලාසී විප්‍රලාපී කවියක් යැයි සිතමි!.

එසේ නොමැතිව, මෙය කිසිසේත් ම විප්‍රවාසී කවියක් නම් නොවේ. විප්‍රවාසී කවියක් කියවීමට අවශ්‍යනම් මෙන්න පාර.
http://rasikalogy.blogspot.com/2015/12/poem-dedicated-to-hashitha-abeywardana.html

විප්‍රලාසී විප්‍රලාපී කවි යනු කවරේදැයි දැන ගැනීමට යශෝධා සම්මානී ප්‍රේමරත්න ලියූ "ඉතා කෙටි කලබල සිහින" කාව්‍ය සංග්‍රහයට මංජුල වෙඩිවර්ධන ලියූ පෙරවදන කියවන්න. නැතිනම්, "ඉතා කෙටි කලබල සිහින" කාව්‍ය සංග්‍රහය දොරට වැඩුමේ උත්සවයේ දී, රසවතිය බ්ලොගය ලියන හෂිත අබේවර්ධන කළ දේශනයට සවන් දෙන්න.

(image: http://www.touchtalent.com/artist/445950/harinder-sethi)

Wednesday 13 January 2016

අනුර කුමාර දිසානායක, අර්ජුන රණතුංග සහ ජනාධිපතිලාව ගොං රජාට ඇන්දවීම - History repeats


අතීතය අමතක අයට මදකට සිහිපත් කරනවා නම්-

යුද්ධය හමාර වීමෙන් පසු රජකමක් ආරූඪ කරගත් මහින්ද රාජපක්‍ෂ තම පළමු සේවා කාලය අවසන් වෙන්නට වසර දෙකකට පමණ පෙර 2010 දී ජනාධිපති ඡන්දයක් පැවැත්වීය.

යුධ ජයග්‍රහණයේ අනිත් පොල්මහඃකාර අයිතිකාරයා වූ සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඡන්දයට ඉදිරිපත්විය.

ජයගත් මහින්ද රාජපක්‍ෂ සිය බලය තහවුරුකරගත් අතර, පැරදුණු සරත් ෆොන්සේකා විවිධ අපරාධ චෝදනා වෙනුවෙන් අත් අඩංගුවට පත්ව, පසුව වරදකරු වී සිර දඬුවම් ලද්දේ ය.

මහින්ද රාජපක්‍ෂට ලංකාවේ නැති රජකමක් පවරා සින්නක්කරව ලබාදීමට මූලිකවම උපයෝගී කරගත්තේ සුනිල් ආර් ගමගේ ලියා, සමන්ත පෙරේරා සංගීවත් කර, සහෙළි ගමගේ නම් තරුණ ගායිකාවක විසින් ගයන ලද "ආයුබෝවේවා, මහරජාණෙනී" නම් ගීයයි.

ඒ කූප්‍රකට ගීය අසා නැත්තෙකු ඇති යැයි නොසිතමි!

මෙන්න ඒ ගීතය: https://youtu.be/S5OZNrTPLEk



එතැන් සිට කතාව මෙලෙස ය.

සිරබත් කන සරත් ෆොන්සේකා බේරා ගැනීමේ අරමුණ ඇතිව ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාන්තවාදී පක්‍ෂය විසින් එකල ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ ව්‍යාපාරය නම් සංවිධානයක් අරඹන ලදී. මෙහි නායකත්වය ගත්තේ අනුර කුමාර දිසානායක සහ අර්ජුන රණතුංග දෙදෙනා ය.

ඔවුන් දෙදෙනා සහභාගී වූ සම්මන්ත්‍රණ මාලාවක් වසර 2010 ඔක්තෝබරයේ දී ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල පවත්වන ලදී. සිඩ්නි නගරයේ දී එය සංවිධානය කළේ එවකට ජනතා විමුක්ති පෙරමුණේ සිඩ්නි ප්‍රධාන සංවිධායකවරයා වූ ජගත් බණ්ඩාර සහෘදයා ය.



සභාවේ පෙනෙන්නට නො සිටිය ද, පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ පෙරටුගාමී පක්‍ෂයේ දේශපාලන මංඩල සභික ප්‍රේමකුමාර ගුණරත්නම් ද ඒ සම්මන්ත්‍රණයට සහයෝගය දැක්වූ බව අපට උපකල්පනය කළ හැක.

ජගත් බණ්ඩාර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ සිඩ්නි ශාඛාව ම, පසුව ප්‍රේමකුමාර ගුණරත්නම් සමග පෙරටුගාමී පක්‍ෂයට එක් වූ බව පෙනී ගියේ, සිව් වසරකට පසුව අනුර කුමාර දිසානායක නැවතත් ඕස්ටේ‍ර්ලියාවේ සංචාරය කළ ද, සිඩ්නි නුවරට නොපැමිණි බැවිනි!

සිඩ්නි තදාසන්නයේ ග්‍රැන්විල් හී ඕස්ට්‍රේලියානු නිෂ්පාදන කම්කරු සංගම් (AMWU) ශාලාවේ පැවති පෙර කී සම්මන්ත්‍රණයට සහභාගී වීමට මම ද ගියෙමි.

ශාලාවට ඇතුළු වූ මට දකින්නට ලැබුණේ එහි තිබූ විශාල රූපවාහිනී තිරයේ පහත වීඩියෝව ප්‍රචාරය වෙන අන්දමයි.

https://youtu.be/Q4XQeFKKhpU



මගේ බඩ දඟලන්නට පටන් ගත් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඊට වඩා බඩ දැඟීලීම් ඉවසා පුරුද්ද ඇති නිසා, අසීරුවෙන් නමුත් සම්මන්ත්‍රණය අවසානය තෙක් එහි රැඳී සිට, දේශකයින්ගෙන් ප්‍රශ්න ඇසීමේ වාරය එළැඹුණු පසු මම අනුර කුමාර දිසානායකගෙන් මෙලෙස විමසුවෙමි.
"අනුර, දැන් මෙතනදී අපට අසන්නට ලැබුණේ, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වී ගොස් වැඩවසම් රාජාණ්ඩුවක් කරා යමින් තිබෙන බවයි. නමුත් මේ සම්මන්ත්‍රණය ආරම්භයේ දී මට දකින්ට ලැබුණේ මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ගැයුණු ආයුබෝවේවා මහරජාණෙනී නමැති ගීතය සරත් ෆොන්සේකා ගේ රූප රාමු සහිත වීඩියොවක් ලෙස සකසා ප්‍රචාරය කරන ආකාරයයි.

ඔබ ලංකාවේ නැති වී ගොස් ඇතැයි කියන ප්‍රජාතන්ත්‍රවාදය නැවත ගෙන එන්නට යන්නේ එක රජෙකු වෙනුවට මෙලෙස වෙනත් රජෙකු ආදේශ කිරීමෙන් ද?"
මෙය අනුර කුමාර දිසානායකට පමණක් නොව එදා ඔහු එහි සිටියේ නම්, ප්‍රේමකුමාර් ගුණරත්නම්ට වුවද කට උත්තර නැතිකරවන ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නමුත් මට ඒ බව හරිහැටි දැන ගන්නට ඉඩ නොලැබුණේ, එතැන සිටි අර්ජුන රණතුංග මල්ලියා අනාරාධිතව ම මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ඉදිරිපත් වී බයිලාවක් ගැයූ බැවිනි!

මේ පුරාවෘතය මට සිහිවූයේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව රජාට ඇන්ද වූ වීඩියෝ ගීතයක් කළ එළි බැස තිබෙනු පසුගිය සතියේ දී දුටු විටයි.

රජවරු ගී ගයමින් නැටුවේ පැරණි නාඩගම්වල බව අපි දනිමු.

ඒ අර්ථයෙන් පමණක් නොව සෑම අරුතකින් ම මේවා නාඩගම් ම වේ.

-රසිකොලොජිස්ට්

ප/ලි
මෛත්‍රීපාල සිරිසේනව ගොං රජාට අන්දන වීඩියෝ ගීතයේ දැනට ඉතිරිව ඇති පිටපතක් මෙන්න. මෙයට බුද්ධිමය අයිතිය ඇති සමාගම විසින් කරනු ලබන පැමිණිළි නිසා මේ වීඩියෝවේ පිටපත් ක්‍රම ක්‍රමයෙන් පොදු අවකාශයෙන් ඉවත් වෙමින් පවතී.

https://youtu.be/yvN-RjsW6ow

Monday 11 January 2016

දින පොතේ පිටු දෙකක සටහන් නොහොත් ජීවිතෙන් සති දෙකක් බ්ලාස් ගිය හැටි - New year begins today!


පසුගිය දෙසැම්බර් විසි අට වෙනිදා මගේ දවසම ගෙවුණේ මරදානේ ය.

මරදානේ ඉපදුණු, සිව් වසරක්ම මරදානේ පාසල් ගිය මට මරදාන යනු නුපුරුදු තැනක් නොවේ. නමුත්, මෙදා මට මරදානේ දී වැඩ වැරදුණි!

ඉර මුදුන් වෙනතුරු මා දවසේ මුලින් ම ක්‍රියාන්විත පැය කිහිපය ගත කළේ විදෙස් ගමන් බලපත්‍ර කාර්යාලයේ ය. නැවත හවස් වරුවේ එහි එන බලාපොරොත්තුවෙන් එතැනින් පිට වී, දවසේ අපරභාගය ගත කළේ විජේසූරිය, දයාවංශ ජයකොඩි, සූරිය සහ සුරස පොත්හල්වල ය. දවල්ට කෑවේ බිම් මහලක තිබුණු අයිල කඩයකිනි.

උසුලා ගෙන යන්නට බැරි පොත් කන්දක් ඒ වෙන විට එකතු වී තිබුණු නිසාත්, පාස්පෝට් ඔෆීසියේ යටිමහලේ තිබුණු සංහිඳ පොත්හලට යාමට තිබුණු නිසාත්, මරදානේ ගොඩගේ පොත්හලට යාම පසු දිනකට කල් දැම්මෙමි.

කල් ඉකුත් වී වසර අටහමාරක් ගත වී තිබුණු මගේ විදෙස් ගමන් බලපත්‍රය වෙනුවට ලබාගත් අලුත් බලපත්‍රයද, කිලෝ විස්සක් පමණ පොත් මලු කිහිපයක් ද රැගෙන මරදානෙන් පිටත් වූයේ හවස පහමාරට පමණ වුවද, පිළියන්දල-කොළඹ මාර්ගයේ ඉඳිකිරීම් සහ වාහන තදබදය නිසා, මා නිවසට ළඟාවෙන විට රාත්‍රී හත ද පසු වී තිබුණි.

උදේ මා සමග නොගිය, ඇඟේ අමාරුවක් ද, කැස්සක් ද, හිසරදයක් ද, සවස මා සමග නිවසට පැමිණ තිබුණි.

එතැන් පටන් ඇරඹුණේ කහිමින් ද, හොටු හූරමින් ද, නිදා ගනිමින් ද, නිකරුණේ ඇඳ මත වැතිරී සිටිමින් ද, නිදා වැටෙමින් ද, පෙති, කරල්, කුඩු ආදී මෙකී නොකී ඖෂධ වර්ග ඇඟ ඇතුළට දමා ගනිමින් ද, මා ගත කළ ලෙඩ කපුටෙකු ගේ ජීවිතයයි.

සති තුනක් ගත කළ ලංකාවෙන් චුත වී, තවත් දවසක් ම මග ගෙවා, ඒ සතියේ ඉරිදා වෙන විට යළි සුතනඹුවන් අතරට පැමිණි මුත්, ලෙඩ කපුටු සාපය තවත් සතියක් ම පැවතුණි.

නව වසරේ සඳුදා ම කාර්යාලයට ගිය ද, ඉන් පසු දෙදිනේ ද, සිකුරාදා සහ සති අන්තයේ ද වැඩි කාලයක් ගත වුණේ ඇඳන් ගතව සිරප්, පෙති සහ කරල් සමගිනි.

අහම්බෙන් මෙන් සිදු වූ එකම වැදගත් කර්තව්‍යය වූයේ ලියනගේ අමරකීර්ති ගේ අලුත් ම නවකතාව වන අහම්බකාරක කියවා හමාර කිරීම පමණි.

අද අලුත් සේවා සතියක් ඇරඹේ.

හොඳින් හිරු පායා ඇති පැහැබර දිනයකි.

උදෑසන අටයි කාලට පමණ මා දුම්රිය පොළේ වාහන ගාලට ළඟාවෙන විට ම උෂ්ණත්වය අංශක විසි දෙකක් වී තිබුණි. හවස් වෙන විට අපේ ගම් පෙදෙසේ පරිසරය අංශක තිස් අටක් දක්වා වැඩි වීමට නියමිත බව පෙනේ. සේවා ස්ථානය පිහිටි උතුරු සිඩ්නි ප්‍රදේශය අංශක තිස් දෙකක් වීමට නියමිතය.

පසුගිය වසරේ ද මා අලුත් අවුරුද්ද ඇරඹුවේ ප්‍රමාද වී බව මතකය.

නව වසර අද ජනවාරි එකොළොස්වෙනිදා සිටවත් අරඹමි!

ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි (12/01/2016):
මේ සටහනේ ඉහළින් අඩංගු කර ඇති ඡායාරූපය පිළිබඳව තරමක උනන්දුවක් ඇති වී තිබෙන නිසා, ඒ ගැන වැඩි විස්තර ලියන්නට සිතුණි.

මේ මා ලංකාවෙන් ගෙනා කිලෝ තිහක පොත්වලින් කිහිපයකි. තවත් කිලෝ විස්සක් මුහුදු තැපෑලෙන් එනු ඇත.

මේ පොත් ලියා ඇත්තේ බ්ලොග් ලොවෙන් නම් දැනගත් අය විසින් නිසා ඒ ඡායාරූපය මෙහි පළ කළෙමි.

1. අනිත් කොන බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ගේ මනුපුර සක්මන කාව්‍ය සංග්‍රහය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.

2. තරු රසී බ්ලොගය ලියන තරංගනී රෙසිකා ගේ තරු ඇස් රහස් කාව්‍ය සංග්‍රහය නුගේගොඩ සරසවි පොත්හළෙන් මිලට ගතිමි.

3. වෘත්තීය කමෙන්ට්කරු ප්‍රාජේ නොහොත් ප්‍රදීප් ජයතුංග ගේ නිට්ටෑවෝ කෘතිය කතුවරයා විසින් මට තිළිණයක් ලෙස ලබා දුන්නේය.

4. පුලින තලාව බ්ලොගය ලියන පුෂ්පා රම්ලනී දිසානායක ගේ සුදු හිම පලස කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.

5. බස්සීගේ නවාතැන බ්ලොගය ලියන යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ ඉතා කෙටි කලබල සිහින කාව්‍ය සංග්‍රහය දෙසැම්බර් 12 දින පැවති එළිදැක්වීමේ දී මිලට ගන්නා ලදී.

6. අනිත් කොන බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ගේ අනිත් කොන කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.

7. රසවතිය බ්ලොගය ලියන හෂිත අබේවර්ධන ගේ පත් සිදුණු වසන්තය පරිවර්තන කෘතිය මහරගම සරසව පොත්හළෙන් එක් පිටපතක් ද, නුගේගොඩ සරසවි පොත්හළෙන් තවත් පිටපතක් ද මිළට ගෙන ඉන් එකක් චීන සාහිත්‍යයට රැචි මගේ සොහොයුරාට දී අනෙක රැගෙන ආවෙමි.

8. නොකී කතා බ්ලොගය ලියන හෙන්රි වර්ණකුලසූරිය ගේ දඩ කඳවුර නවකතාව මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.

9. රසිකොලොජි බ්ලොගය ලියන මා ලියූ ඊ-ෆැක් මෙමොරීස් නමැති පොතේ පිටපත් පනහක් පමණ ගෙන ආවෙමි.

10. නොකී කතා බ්ලොගය ලියන හෙන්රි වර්ණකුලසූරිය ගේ නීත්‍යානුකූල ඝාතනය නම් පරිවර්තිත කියුබානු කෙටිකතා එකතුව– මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.

11. කෙනිත්තුන සහ කෙනිතුව විට අවදි වුණු චිත්තය නමැති බ්ලොගය ලියන නිශ්මං රණසිංහ ගේ රේල් පීලි නවකතාව මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.

12. තිලක සිත බ්ලොගය ලියන තිලකසිරි ඒකනායක ගේ තිලක සිත කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.

13. යසනාත් සිතුවිලි බ්ලොගය ලියන යසනාත් ධම්මික බණ්ඩාර ගේ මුරගල කාව්‍ය සංග්‍රහය ගොඩගේ පොත්හළේ දී අහම්බෙන් දැක මිලට ගත්තෙමි.

14. වෘත්තීය කමෙන්ට්කරු ප්‍රාජේ නොහොත් ප්‍රදීප් ජයතුංග ගේ ලෙපර්ඩ්ස් ඔෆ් ලේනම කෘතිය කතුවරයා විසින් මට තිළිණයක් ලෙස ලබා දුන්නේය.

15. හකාවතී බ්ලොගය ලියන ඩෝසන් ප්‍රීති ගේ හකාවතී කෘතිය ගොඩගේ පොත්හළෙන් මිලට ගත්තෙමි.

Wednesday 6 January 2016

සුබ ගමන් මිතුර - Adios Ananda Liyanage


මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දෙවන වසර, විශ්ව විද්‍යාලයේ ද රටේ ද විවිධ හැලහැප්පීම්වලින් බහුල වූ කාලයක් විය.

එකල පැවති එක් ශිෂ්‍ය ප්‍රශ්නයක් විසඳා ගැනීමට මාරාන්තික උපවාසයක් ද පැවැත්වුණි. අරඹා දින පහකට පමණ පසුව අවසන් වූ මේ උපවාසය සහ ඒ හා සම්බන්ධ තවත් කරුණු කිහිපයක් ගැන සිය "තෝරාගත් මතකයන්" කිහිපයක් හෙන්රි වර්ණකුලසූරිය විසින් පසුගිය දිනක තම නොකී කතා බ්ලොගයේ ද ලියා තිබුණි.

එදා ඒ උපවාසයට සහභාගී වුණු මගේ බැචෙකු වූ ආනන්ද ලියනගේ අද අකාලයේ සිය අවසන් ගමන යයි.

උපවාසයේ යෙදීමේ වරදට ආනන්ද ලියනගේ ගේ ශිෂ්‍යභාවය අහෝසි කරනු ලැබීය. ඒ සමගම ශිෂ්‍ය සභාව ද තහනම් කර සියලුම ශිෂ්‍ය නියෝජිතයින් ගේ ද ශිෂ්‍යභාවය අහෝසි කරන ලද නිසා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට උදා වුණේ අඳුරු සමයකි.

මේ මා ඒ ගැන, ඒ කාලයේ ලියූ සටහනකි.

උපවාසයේ වීරයින් සමරමු!

අයුක්තිය ලොව කිරුළ දරණ සඳ
අසාධාරණය සැම තැනම විය
වැළලුණු සාධාරණය වෙනුවෙන්
යුක්තිය සත්‍යය වෙනුවෙන්
අප වෙනුවෙන්

නොබියව නොපැකිල
විහිළුවකටවත් කිසිවෙකු නොසිතන
තීරණයක් ගෙන
ඔබ උන්නා
දින ගණනාවක් එක සේ නොසැලී
ඉන්ද්‍ර ඛීලයක් සේ

හමන සුළඟ ඔබ වෙහෙසන්නට ඇති
වැටුණු වැස්ස ඔබ රිදවන්නට ඇති
දැඩිවූ හිරුගෙ රුදු කිරණ කැරලි ඔබ
මඩවන්නට ඇති

ඒ සේරම දේ ඉවසා සිටියත්
හිස්වූ කුසෙන් නැගෙන සා ගින්දර
ඔබ නොමරාමෙන් මරවන්නට ඇති

ඒ කිසිලෙසකින්
නොසැලී නොපැකිල
තිර අදිටනකින් සිතේ ධෛර්්‍යයෙන්
ඔබ වෙනුවෙන් නොව
අප වෙනුවෙන්
ඒ දුක් ගින්දර ඔබ උහුලන්නට ඇති

කුරිරු ලෝකයේ නෙළුම් පිපී නැත
සාධාරණයේ හිරු පායා නැත
අප වෙනුවෙන් සටනට වැදි ඔබ අද
අප අතරේ නැත

අදත් එදා මෙන්
මහවැලි ජලකඳ සරසවි භූමිය
දෙකට ඉරාගෙන ගලා බසිනවා
තෙත්වුණු ඇස් ඇති හන්තානේ කඳු
අනුකම්පාවෙන් බලා සිටිනවා
ඔබ නැති පාළුව ලොවට කියාගෙන
වෙනදා සීතල මිහිදුම් නලරැළි
උණුසුම් සැඩ සුළඟක්ව හමනවා
මැලවුණු මල්පෙති බිමට ඬැටෙනා
යුක්තිය සත්‍යය නිදියන සොහොනේ
සැමරැම් කොත මත
කපුටන් වවුලන් වසුරු හෙලනවා

අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායන තෙක් සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කළ යුතුය


(1984)

මෙහි අවසන් පද කිහිපය ගැන වැඩි විස්තර පසුගිය දා මා රාවය පුවත්පතට ලියූ ලිපියේ සඳහන් කළෙමි.

ඒම දුකකි,
යාම දුකකි,
ඒම, යාම අතර දුකකි!

ආනන්ද ලියනගේ, මිතුර ඔබට සුබ ගමන්!

-රසිකොලොජිස්ට්