Saturday 31 January 2015

තානාපති සේවයේ හොඳ හොඳ සෙල්ලම් - All them kings men (and women)!


තානාපති යනු තමන් ගේ රටේ ආණ්ඩුව වෙනත් රටකදී නියෝජනය කරන පුද්ගලායා ගේ තනතුරු නාමයයි. මේ සිරිත ආදී රජ කාලයේ සිටම පැවත එන්නකි.

එවකට "සිලොන්" නොහොත් නිකම්ම නිකං ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තානාපති සබඳතා ආරම්භ කර ඇත්තේ වසර 1949 දී ය. රටවල් ද්වයම අයත් වන්නේ පරණ බ්‍රිතාන්‍ය යටත් විජිතව තිබූ රටවල් නොහොත් පොදු රාජ්‍යය මණ්ඩලයට නිසා මේ තානාපති කාර්්‍යාල හැඳින්වෙන්නේ මහ කොමසාරිස් කාර්යාල යනුවෙනි. තානාපති ලා ගේ නිල නාමය වන්නේ, මහ කොමසාරිස් යන්නයි.

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඕස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා නුවර පිහිටා ඇත. මා එහි ගොස් නැති නමුත් මීට වසර එකොලහකට පමණ ඉහත එක් දිනයක දුරකතනයෙන් අමතා ඇත්තෙමි.

ශ්‍රී ලංකාවේ, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මා දන්නා කාලයේ පිහිටා තිබුණේ, කෞතුකාගාරය ඉදිරිපිට දැන් එක් කූප්‍රසිද්ධ නිවෙසක් තනා ඇති යැයි පැවසෙන ස්ථානයේ ය. මා එම කාර්යාලයට පස් හය වතාවක් ගොස් ඇත්තෙමි.

ඕස්ට්‍රේලියාව සුවිශාල රටකි. එහි බටහිර කොනේ ඇති පර්ත් නුවර සිට නැගනෙහිර කොනේ ඇති සිඩ්නි නගරයට ඇති දුර කිලෝමීටර් හාරදහසක් පමණ වේ. මෝටර් රථයකින් ගමන් කරන්නේ නම් පැය 42 ක් එක දිගට ධාවනය කළ යුතුයි. ගුවනින් පැය පහකි. ලංකාවේ සිට සිංගප්පුරුවට ගුවනින් යාමට ගත වෙන්නේ පැය තුන හමාරක් පමණ බව සලකන විට මෙය කෙතරම් විශාල දුරක් දැයි වැටහේ.

එනිසා ම, කැන්බරා නුවර පිහිටි මහ කොමසාරිස්වරයාට අමතරව මෙල්බර්න් (වික්ටෝරියා ප්‍රාන්තය) සහ සිඩ්නි (නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය) යන නගරවලට තානාපතිවරුන් හෙවත් කොන්සල්ලා ද, ඇඩිලේඩ් (දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය), බ්‍රිස්බේන් (ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය) සහ පර්ත් (බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය) යන නගරවලට ගරු කටයුතු (හොනරරි) කොන්සල්ලා ද පත්කර ඇත.

පෙරකී කොන්සල් ලා යනු ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ යුතු පිරිසකි. ඔවුන් ඒ නගරවල කාර්යාල පිහිටුවා ගෙන අනෙකුත් නිළධාරීන් හා රාජකාරී කටයුතු කරති.

ගරු කටයුතු හෙවත් හොනරරි කොන්සල්ලා යනු වේතනයට නොව සේවයක් ලෙස එම කාර්යය ඉටු කරන්නෝ වෙති. ඔවුන් බොහෝ විට වෙනත් රුකියාවක් කරන අය වේ.

මෑතක් වෙන තුරුම මෙල්බර්න් නුවර සිටයේ ගරු කටයුතු, එනම් වේතන නොලබන, කොන්සල්වරයෙකි. නමුත් හදිසියේම දැන් වසර දෙකකට පමණ පෙර ඒ නගරයට පුර්ණකාලීන වේතන ලබන කොන්සල්වරයෙක් පත්කර, ස්ථිර කොන්සල් කාර්යාලයක් පිහිටුවන ලදී.

මෙල්බර්න් නගරය වනාහී ඕස්ට්‍රේලියාවේ වැඩිම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පිරිසක් වෙසෙන නගර නිසාත්, වෙළද කටයුතු, සහ සංචාරක කටයුතු බහුලව සිදුවෙන නිසාත්, සී ෂෙල්ස්, ස්වාසිලන්තය වැනි තැන්වල පවා තානාපති කාර්යාල පිහිටුවනු ලබන සමයක, මෙල්බර්න් නුවර ස්ථිර කොන්සල් කාර්යාලයක් පිහිටුවීම හොඳ වැඩක් සේ පෙණුනි.

නමුත් බළලා මල්ලෙන් එලියට පැන්නේ ඉන් පසුවය.

මෙල්බර්න් නුවර ප්‍රකාශයට පත් කෙරෙන සන්නස පුවත් පතේ පලවූ ලිපියකට සහ ඒ කාලයේ ලැබුණු විවිධාකාර පුවත් අනුව, මේ කොන්සල් කාර්යාලය පිහිටවීමේ එක් අරමුණක් වී ඇත්තේ රජ්ජුවරුන් ගේ රාජ්ජ සභාවේ ඇමෑත්තයින් ගේ ඥාතී හිතෛශීන් ලංකාවේ වියදමින් මෙල්බර්න් නුවර ජීවත් වීම සඳහා එවීම ය.

මේ කොන්සල් කාර්යාලය විවෘත කිරීම සඳහා එවකට ලංකාවේ විදේශ ඇමති ජී.ඇල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ඕස්ට්‍රේලියාවට පැමිණි අතර, දඹුළු ගමනේ දී තලගොයි මරමින් මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ශාඛාවේ රැස්වීමක් ද පැවැත්වුණි.

තවමත් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය දරමින් කැන්බරා නුවර වෙසෙන හිටපු නාවික හමුදාපති තිසර සමරසිංහ ගේ නිරුවත හෙළිවුනේ එදා ය! ඔහු ගේ පුකත්වය නම් ඊට කලින්ම හෙළි වී තිබුණි.

ඒ විස්තර වෙනම ලිපියකින් බලාපොරොත්තුවන්න.

එතෙක්, මා දන්නා පරිදි, දේශපාලන සම්බන්ධතා මත ඕස්ට්‍රේලියාවේ තානාපති සේවය සඳහා පත් කර ඇති අයගෙන් කීප දෙනෙකු ගේ නම් සඳහන් කරමි.

ලක්‍ෂ්මන් හුළුගල්ල –උප මහ කොමසාරිස්, කැන්බරා නුවර
ඔසඳ යාපා අබේවර්ධන -මෙල්බර්න් කොන්සල් කාර්යාලය
යසාරා අබේනායක -සිඩ්නි කොන්සල් කාර්යාලය

මෙවැනි තවත් පත්වීම් ගැන ගිය වසරේ දිනක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ කතාවක් කර තිබුණි.

මෙන්න ඔහු ගේ කතාව: https://www.youtube.com/watch?v=AIIHZnOPseQ

මෙන්න එහි දී නම් කළ දේශපාලන පත්වීම් ලයිස්තුව: http://offair.nethfm.com/article/2616

මෙල්බර්න් කොන්සල් කාර්යාලය පිළිබඳව ඩීබී කුරුප්පු ලියූු සන්නස පුවත් පතේ පළවූ "කපුටන්ට ආප්ප අරන් දීම" නම් ලිපියට මෙතනින් කියවන්න:
http://sannasa.sinhalajukebox.org/2013/Mar/2013Mar_page14.pdf

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ "නිරුවත, පුකත්වය සහ තගරි" ගැන මීළඟ ලිපියෙන්.

(image: http://www.team-bhp.com/forum/post-war/43200-landmaster-ambassador-picture-gallery-60.html)

Friday 30 January 2015

ආනන්දය, "කළු හංසයා" දුටුවෙහි ද? එසේය ස්වාමීනී! - Warning, warning, beware of "Black Swans"!


ලෝකයේ සර්වජන ඡන්දබලය පාවිච්චි කර රට ආණ්ඩු කරන්නට ජනතා නියෝජිතයින් තේරූ රටවල් අතරින් ලංකාවට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ඡන්දය දීම ඇරඹී ඇත්තේ ලංකාව එංගලන්තයේ යටත් විජිතයක්ව පැවති සමයේ දී, වර්ෂ 1931 දී ය.

ඒ කාලයේ රටේ ජනතාව ගේ සාක්‍ෂරතාවය, එසේ නැති නම් අකුරු කියවා වටහා ගැනීමේ හැකියාව, අඩු වූ නිසා එක් එක් ඡන්ද අපේක්‍ෂකයින් සඳහා වෙනස් වර්ණයෙන් යුතු ඡන්ද පෙට්ටි භාවිතා වී ඇත. ඡන්දදායකයින් කළ යුතුව තිබුණේ තමන් ගේ ඡන්ද පත්‍රිකාව තමන් කැමති අපේක්‍ෂකයා ගේ වර්ණය සහිත ඡන්ද පෙට්ටියට දැමීමයි.

මේ ඡන්දයේ දී සිල් පාට (එනම් සුදු) හෝ සිවුරු පාට (එනම් කහ) වර්ණය සහිත අපේක්‍ෂකයින් ඒ වර්ණවලට ආකර්ශණීය අරුත් සපයමින් බෙෘද්ධ ඡන්දදායකයින් ගේ ඡන්දය ඉල්ලා සිටියේ යැයි පැවසේ.

පසු කලෙක රටටම සාපයක් වූ, කූප්‍රකට කුරහන් වර්ණය ගැන ඇත්තේ ද (1936) මෙ වැනිම වූ කතන්දරයකි.

ඡන්ද අපේක්‍ෂකයින් සඳහා විවිධ සලකුණු භාවිතා කරන්ට පටන් ගෙන ඇත්තේ ඉන් පසුවය. එයට හේතුව ද අපේ කලින් පරම්පරාවල තිබුණු සාක්‍ෂරතාවයේ අඩුපාඩුය.

පසුව දේශපාලන පක්‍ෂ ලංකාවේ බිහි වීමත් සමගම, ඒ ඒ පක්‍ෂ සඳහා ඡන්ද සලකුණු ලියාපදිංචියේ දී ම වෙන් කරන්නට යෙදුණි. යූඇම්පීයට අලියා ලකුණත්, සිරිලංකා එකට අත ලකුණත් සින්නවී ඇත්තේ ඒ ආකාරයටයි.

මීට අමතරව, ප්‍රධාන පක්‍ෂ දෙක විසින් අප දන්නා පරිදි කොළ පැහැය සහ නිල් පැහැය තමන්ම අයිති කරගෙන ඇත.

මෙහිදී විහිළුවට කාරණයක් වන්නේ, අද අඩ සියවසකට පසුව ලංකාවේ සාක්‍ෂරතාවය ඉතා ඉහළට නැග ඇති සමයක දී ද තවමත් අර සලකුණු සහ වර්ණ ඡන්දය හා අදාළ කටයුතු සඳහා භාවිතා වීමයි.

එපමණක් නොව, ප්‍රතිපත්තිමය කරුණු ගැන කෙරෙන සාකච්ඡාවලට වෙන් විය යුතු, ඡන්දය හා සම්බන්ධ කතා බහෙන් සෑහෙන කොටසක් වැයවන්නේ මේ විවිධ වර්ණ සහ සංකේත ගැන පල් හෑලි සඳහා ය.

උදාහරණයක් දැක්වුවහොත්, පසුගිය ජනාධිපති ඡන්දයේ දී යූඇම්පී පාක්‍ෂිකයින් ට අලියා ලකුණ සහ කොළ පාට අහිමි වී ඇතැයි වඩාත් දුක් වුණේ සිරිලංකා පාක්‍ෂිකයින් ය. නමුත් පුටුව හෝ බුලත් කොළය මිස, සිරිලංකා එකට හිමි අත ලකුණ වසර විසි පහකින් මෙහා භාවිතා වී නැති බව ඔවුන්ට අමතක වී තිබුණි.

පක්‍ෂ සලකුණු නිසාම ගොඩ නැගෙන මේ ආකාරයේ තවත් කතන්දර බොහෝ ඇත.

රනිල් වික්‍රමසිංහව කාටූන්කාරයින් අඳින්නේ හෙණ්ඩුවක් සහිතවය. ඡන්ද සමයේ හංසයින් ගැන කවි, ගීත, විකට කතා මෙන්ම අපහාස, උපහාස ද ඇසේ. හංසයින් ගේ ශ්වේත වර්ණය නිර්මලත්වයේ සංකේතයක් ලෙස ද, හංසයා කිරි, දියෙන් වෙන්කර බොන්නට ඇති යැයි කියන ජනප්‍රවාදිත හැකියාව ඉහළ කොලිටියක් ලෙස ද, දේශපාලනික අරුත් දැක්වීම් කෙරෙනු මා අසා ඇත.

ජනාධිපති ඡන්ද උණුසුම ඉහළට නැග තිබුණු 2009 දෙසැම්බරයේ මා ලංකාවේ ගත කළ කාලයේ, අපේ එක් නෑදෑ නිවෙසක දී මහින්ද රාජපක්‍ෂ ගේ යම් යම් ක්‍රියා පිළිබඳව මා දෝෂාරෝපණය කරනු අසා සිටි අපේ ඥාතියෙක් "ආ! රසික පුතා හංසයෙක් වගේ?" යැයි පැවසීය.

මෙලෙස මා හංසයෙකුට සමාන කරන්නේ ඇයි දැයි මට වැටහුණේ සාමාන්‍ය තරමේ ටියුබ් ලයිට් ප්‍රමාදයකින් පසුවයි.

"අපොයි, හමුදා පාලනයක් වෙනුවෙන් නොවෙයි මං කතා කරන්නේ!" කියා මම වහා පැවසූ විට, මගේ ඥාතියා නැවතත් සලකුණුවලින් කතා කරමින් ඇසුවේ, "එහෙනං ඇයි ඔහේ බුලත් කොලේට විරුද්ධව කතා කරන්නේ?" කියායි.

ඔය පරණ කතා මට සිහිවූයේ පසුගිය දිනවල නවසීලන්තයේ දී දුටු එක්තරා සත්වයෙක් නිසා ය.


මේ කළු හංසයෙකි.

නිකං කළු හංසයෙක් නොව "කළුම කළු, කට්ට කළු, ලිපේ තියෙන දැලි අඟුරු, අහසේ පාවෙන කළු වලාකුළු" මෙන් කළු හංසයෙකි.

මේ ආකරයේ කළු හංසයින් නවසීලන්තයේ පමණක් නොව ඕස්ට්‍රේලියාවේ ද සිටිති. ඕස්ට්‍රේලියාවේ ඔවුන් වැඩියෙන්ම ඇති ප්‍රදේශය නම් බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර අසලින් ගලා බසින ස්වෝන් ගංගාධාරයයි. පර්ත් වාසී සිංහල කවියෙකුවන සුනිල් ගෝවින්නගේ ගේ කවිවල මේ කළු හංසයන් නිබඳව සරති!

දැන් අර හංසයින් යනු ශ්වේත හංසයින් පමණක් ය කියා හිතමින් ඡන්ද සමයේ හංසයින් ගැන කවි, ගී, කතා ගෙතු, කාටූන් ඇඳි අය, මේ කළු හංසයින් කෙලෙස අර්ථ නිරූපණය කරයිද?

ලංකාවේ ද කළු හංසයින් දුටුවොත් පුදුම නොවෙනු මැනවි!

-රසිකොලොජිස්ට්

(image: http://www.divaina.com/2015/01/13/news26.html)

Wednesday 28 January 2015

(අපි නොදන්න) ඩයස්පෝරාව කියන්නේ දෙමළ යන්නට සමාන පදයක් ද? - Diaspora, WTH?


සියවස් ගණනාවක් ලොව වටා නැව්වලින් ගොස්, විවිධ රටවල් යටත් කරගෙන සිටි නිසා අද ඉංගිරිසිය යනු ජාත්‍යන්තර භාෂාවක් වී ඇත. නමුත් එහි භාවිතය, විශේෂයෙන්ව විවිධ වචනවලින් අදහස් කෙරෙන දේ, රටෙන් රටට සුළු වශයෙන් හෝ වෙනස් වේ.

පොඩි උදාහරණයක් ගතහොත් - ලංකාවේ දී අපි නෑකමට අපේ මාමා නොවන වෙනත් ඕනෑම වැඩිහිටි අයෙකු හැඳින්වීමට අංකල් (Uncle) කියා කියමු. නමුත් ඉංගිරිසිකාරයින් Uncle කියන්නේ මාමා, බාප්පා හෝ මහප්පා වැනි සැබෑ නෑකමක් ඇති අයට පමණි.

බැච් (Batch) යනුවෙන් අදහස් වෙන්නේ කණ්ඩායමයි. බැජ් (Badge) කියන්නේ පදක්කමටයි. නමුත් බැච් යන්නේ අදහස දෙන්නට බැජ් කියන්නෝ විශ්ව විද්‍යාල ප්‍රජාව තුළ (ශිෂ්‍යයින් සහ විද්‍යාර්ථීන්) එමටය.

මේ සඳහා හොඳම උදාහරණය සපයන්නේ පසුගිය වසර කිහිපය තුල ලංකාවේ දේශපාලන වේදිකාවල, රූපවාහිනී සංවාදවල, පුවත්පත් තීරු ලිපිවල සඳහන් වූ ඩයස්පෝරා (Diaspora) නම් වචනයයි.

ග්‍රීක් භාෂාව මුූලාශ්‍රය කොටගෙන බිඳී විත් ඇති ඩයස්පෝරා යන වචනයෙන් අදහස් වෙන්නේ "විසිරී වෙසෙන ජන කොට්ඨාශයක්" යන්නයි.

උපන් රට ලංකාවෙන් පිටවී දැන් කාලයක් තිස්සේ නොරටක ඕස්ට්‍රේලියාවේ වෙසෙන මා අයත් වන්නේ මෙහි වෙසෙන ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ය.

ඕස්ටේ‍ර්ලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මගින් සකසන ලද "තිරස තරණ" නම් ඕස්ට්‍රේලියානු වාසී සිංහල ලේඛකයින් ගේ කෙටිකතා එකතුවට (මුද්‍රණය සහ බෙදාහැරීම- දයාවංශ ජයකොඩි සමාගම) විසිරි ජන කෙටිකතා සම්ප්‍රදාය යනුවෙන් හැඳින්වීමක් සපයන ආචාර්ය උබයසිරි විජයනන්ද වික්‍රම මෙසේ කියා ඇත.
විසිරි ජන යන්නෙන් අදහස් කැරෙන්නේ Diaspora යන්නයි. "දසත පුරා විසිරී" යන්න තවත් සමීප නිර්වචනයකි. කිසියම් පුරවැසියන් පිරිසක් විසින් තවත් ප්‍රදේශයකට ගොස් එම සමාජයට අනුගත වීම Diaspora යනුවෙන් පුරාණ ග්‍රීකයින් විසින් හඳුන්වන්ට යෙදුණි. ජුඩියා () ප්‍රදේශයෙන් පිටමං කරන ලඳ යුදෙව්වන් හැඳින්වීම සඳහා ග්‍රීක භාෂාවට අනුවාදයනය කරන ලද පරණ තෙස්තමේන්තුවේ () යනුවෙන් භාවිතා කර තිබේ. මෙසේ ලෝකයේ විවිධ සංක්‍රමණික ජනවර්ග හා ඔවුන් ගේ භාෂා සාහිත්‍ය කුසලතා විග්‍රහ කිරීම සඳහා සමාජ විද්‍යාඥයින් සහ භාෂා විශාරදයින් විසින් "විසිරි ජන" (Dispora) යන වදන යොදා ගෙන ඇත.
මේ අනුව බලන විට, මුළු ලෝකය පුරාම විවිධාකාර "ඩයස්පෝරා" විහිදී, විසිරී ඇත.

ලොව ලොකුම ඩයස්පෝරාව චීන ජාතියකයින් යැයි සිතමි. ඔවුන් නැති රටක් මෙලොව තියේදැයි සැක සහිතය. ඊළඟට සිටින්නේ ඉන්දියන් ජාතිකයින් විය යුතුය.

ශ්‍රී ලාංකික ඩයස්පෝරාව, හරියටම සැටලයිටයක ගමන් මාර්ගය ලෝක සිතියමක දැක්වෙන අකාරයේ චිත්‍රයක් මවන ප්‍රදේශවල, එනම්, ජපානයේ සිට කොරියාව හරහා පහලට ඇදී විත්, මැලේසියාව සිංගප්පුරුව හරහා ගොස් නැවත මැද පෙරදිග ප්‍රදේශය හරහා උතුරට පිවිස, ඉතාලිය, බටහිර යුරෝපය ඔස්සේ එංගලන්තයටද, එතැනින් සහ උතුරු ඇමරිකාව හරහා පැසිපික් සයුර දිගේ පහලට විත් ඕස්ට්‍රේලියාවට පිවිසෙන මාර්ගයේ, විසිරී ඇති බව පෙනේ.

ශ්‍රී ලාංකික ඩයස්පෝරාව යන්න සිංහල ඩයස්පොරාව සහ ලාංකික දෙමල ඩයස්පෝරාව ලෙස කොටස් දෙකකට බෙදුවහොත් ඒ දෙකොටස ද ලෝකය පුරා ඉහත ආකාරයටම අඩු වැඩි වශයෙන් විසිරී පවතින බව උපකල්පනය කළ හැක.

ඩයස්පෝරා යන වදනේ සැබෑ අර්ථය අනුව ඒ අයුරින් විශ්ලේෂණය කළද, මා පෙර ඉඟි කළ පරිදි අද ලංකාවේ දේශපාලන වාග් මාලාවේ නම් මේ ඩයස්පෝරාව යනුවෙන් හැඳින්වෙන්නේ ඉතා කුඩා පිරිසකි. එනම්, ලංකාවේ පසුගිය තිස්වසරක පමණ කාලය තුළ පැවති යුධමය තත්වය හා සම්බන්ධ විවිධ හේතු නිසා ලංකාව හැර ගොස් දැනට විදේශ රටවල ජීවත්වෙන දෙමළ ජනතාව ය. එයිනුත්, ඊළමක් හදන්නට තවමත් සැලසුම් කරන, වැඩ කරන, පිරිස ය.

සිංහල බෞද්ධයින් යැයි කියා ගන්නා සමහර අමන පිරිස් නොයෙකුත් ජාතිවාදී, ආගම්වාදී ප්‍රකාශ කරනා විට, ජඩ ක්‍රියාවන්හි නිරතවන විට, ඒ ලේබලයටම උපතින් අයිත්වන අපට කියවෙන්නේ "යකෝ තොපි සිංහල බෞද්ධ ලේබලය අලවාගෙන ඔය වැඩ කරන කොට අපිත් ඒ ගොඩට වැටෙනවා නේද?" කියායි!

ඒ ආකාරයටම, ලංකාවේ දේශපාලකයින් සහ වෙනත් පිරිස් ඔවුන් ගේ නිර්වචනයට අදාලව ඩයස්පෝරාවක් ගැන කතා කරන විට, සැබෑ නිර්වචනයෙන් ඒ ඩයස්පෝරාවට ම අයිති අපට හිතෙන්නේ, "යකෝ එතකොට අපි කළු ද?" කියායි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ මෙහි පැලපදියම් වූ විජය ඇතුළු පිරිස ද මා කලින් සඳහන් කළ ඉන්දියානු ඩයස්පෝරාවට අයත් නොවේද?

(image: http://www.sundayobserver.lk/2008/07/13/jun02.asp)

Monday 26 January 2015

මා කැමතිම ඕස්ට්‍රේලියානු ගීතය - It is Australia Day today...!

අද ජනවාරි විසි හය වෙනිදා, ඕස්ට්‍රේලියානු දිනයයි. එනම් ඕස්ට්‍රේලියානු ජාතික දිනයයි. අපට නිවාඩු දිනයකි.

මීට සියවස් දෙකකටත් වඩා පෙරාතුව වසර 1788 දී එංගලන්තයෙන් පිටුවහල් කරන ලද වැසියන් සහ කාර්ය මණ්ඩලය රැගත් නැව් එකොළහක් සමග අද ඕස්ට්‍රේලියාව නමින් හැඳින්වෙන භූමියේ ජනපදයක් ඇරඹීමට පැමිණි ආතර් පිලිප් කප්පිත්තා විසින් අද සිඩ්නි නමින් හැඳින්වෙන ප්‍රදේශයට ගොඩ බැස එහි එක්සත් රාජධානියේ කොඩිය හිටවූ දිනය මේ ඕස්ට්‍රේලියානු දිනයෙන් සැමරේ.

ඒ හේතුව නිසාම, එදින එතෙක් වසර 40,000 කටත් වඩා කාලයක් ඕස්ටේ‍ර්ලියාව ජනාවාස කරගෙන සිටි, මෙහි මුල් වැසියන් ලෙස හැඳින්වෙන ඇබොරජිනල් ජාතිකයින් ගේ ජනකොටස් හැටියට විනාශය ආරම්භ වූ නිසා, මේ දිනය ජාතික ශෝක දිනය හෝ ආක්‍රමණික දිනය ලෙසද හැඳින්වේ.

කොටින්ම කිවහොත් මීට වසර 2,560 කට ආසන්න කාලයකට පෙර ජනප්‍රවාදිත ඉතිහාසයට අනුව විජය තම පිරිවරත් සමග ඉන්දියාවේ සිට පැමිණ තම්බපන්නියට ගොඩ බැස්සා යැයි සැලකෙන වෙසක් පොහෝ දිනය මේ ඕස්ට්‍රේලියානු දිනයට යම් ආකාරයකින් සමාන කළ හැක.

ඕස්ට්‍රේලියාව ගැන කියවෙන මා කැමතිම ගීතය ජෝන් විලියම්සන් විසින් ගායනා කරන "හෝම් එමංග් ද ගම් ට්‍රීස්" නම් ගීතයයි.

මෙන්න යු ටියුබයෙන් අසන්න.



මෙන්න එහි පදවැල.

I've been around the world a couple of times, or maybe more,
I've seen the sights, I've had delights on every foreign shore,
but when my mates all ask me the place that I adore,
I tell them right away.

Give me a home among the gum trees,
with lots of plum trees, a sheep or two, a kangaroo.
A clothes line out the back, verandah out the front,
and an old rocking chair.

You can see me in the kitchen cooking up a roast,
or Vegemite on toast, just you and me, a cup of tea.
And later on we'll settle down and mull up on the porch,
and watch the possums play.

Give me a home among the gum trees,
with lots of plum trees, a sheep or two, a kangaroo.
A clothes line out the back, verandah out the front,
and an old rocking chair.

There's a Safeway up the corner, and a Wooly’s down the street,
a brand new place they’ve opened up where they regulate the heat,
but I'd trade them all tomorrow for a simple bush retreat
where the kookaburras call.

Give me a home among the gum trees,
with lots of plum trees, a sheep or two, a kangaroo.
A clothes line out the back, verandah out the front,
and an old rocking chair.

Some people like their houses with fences all around,
others live in mansions, and some beneath the ground.
But Me, I like the bush, you know with rabbits running 'round,
and a pumpkin vine out the back.

Give me a home among the gum trees,
with lots of plum trees, a sheep or two, a kangaroo.
A clothes line out the back, verandah out the front,
and an old rocking chair.

Give me a home among the gum trees,
with lots of plum trees, a sheep or two, a kangaroo.
A clothes line out the back, verandah out the front,
and an old rocking chair.

http://www.songlyrics.com/john-williamson/home-among-the-gum-tree-s-lyrics/

සියළු දෙනාටම සුභ දවසක් වේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මුලින් ඇති ඡායාරුපවලින් පෙන්වන්නේ ඕස්ට්‍රේලියානු ධජය සහිත නාන ඇඳුම් සහ සෙරෙප්පු වැනි වෙරළේ දී පාවිච්චි කරන ඇඟලුම් කිහිපයකි. මේවා විශේෂයෙන් ම සාදන්නේ අද වැනි ඕස්ට්‍රේලියානු ජාතික දිනයේ දී භාවිතා කිරීමටයි!

(images: http://www.cheersbuy.com/Product.asp?ClassID=79
http://stockfresh.com/image/1410380/australian-flag-thongs
http://www.onerugby.com.au/Product/3055/Aussie-Flag-Shorts---Youth)

Saturday 24 January 2015

මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති අන්ධ භක්තියෙන් තවමත් දුක් විඳින අපේ අංකල්ලා ගේ සහ ඇන්ටිලා - They deserve our sympathy!


මේ ලිපිය ලියන්නට ආසන්නම හේතුව වූ ඉහත චිත්‍රණය පසුගිය දිනයක ෆේස්බුක් අවකාශයේ හුවමාරු වූවකි. එහි නිර්මාතෘ හෝ මුලින් ම බෙදාහැරිය පුද්ගලයා "පොඩි එකා" නම් වේ.

ඒ කතාව කියන්නට පෙර යම් කරුණක් විස්තර කළ යුතුය.

"මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා", "කැපුවත් ලේ කොල පාටයි", "කැපුවත් ලේ නිල් පාටයි" ආකාරයේ දේශපාලනික සත්වයින් බහුලව ලක් දෙරණේ සිටියේ කාලෙකට පෙර බව මගේ අදහසයි. පසු කලෙක දේශපාලුවන් කරන්නට පටන් ගත් ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පක්‍ෂ මාරු නිසා එකී "මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා" සත්ව ප්‍රභේද වල ගහණය මදින් මද අඩුවෙන්නට පටන් ගෙන ඇති වුව ද තවමත් උන් එන්ඩේන්ජර්ඩ් තත්වයට පත් වී නැත.

මේ අතර ඉහත කී "මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා" සත්ව ප්‍රභේද දෙකේ දෙමුහුමකින් ඇති වූවා යැයි සැක කළ හැකි අළුත්ම සත්ව කොට්ඨාශයක් බිහි වී ඇති බව මට 2010 ජනාධිපති ඡන්දය කාලයේ සිට මදක් වැටහෙමින් තිබී මෙවර ජනාධිපති ඡන්දයේ දී ස්ථිර විය.

මේ නව ප්‍රභේදයේ දේශපාලන සත්වයින් හඳුනා ගත හැකි නිවැරදි ක්‍රමය නම් ඔවුන් අන්ධ භක්තියෙන් යුතුව තම නායකයා කරන වැඳුම් පිදුම් වේ.

පෙර කී පරිදි 2010 ජනාධිපති ඡන්දයේ දී මා මුලින් දුටු පරිදි මේ දේශපාලන සත්වයින් ගෙන් එක් පිරිසක් "අපේ රට ගලවා ගත් මහින්ද රාජපක්‍ෂට" අන්ධ භක්තියකින් වන්දනා මාන කරන්නට පටන් ගෙන සිටියහ. අනෙක් පිරිස, "අපේ රට ගලවා ගත් යුධ විරුවා සරත් ෆොන්සේකාට" අන්ධ භක්තියකින් වන්දනා මාන කරන්ට පටන් ගෙන සිටියහ.

මේ දෙවන සත්ව කොට්ඨාශය වසර පහකට පසුව වුවද තවමත් අඩු ගහණයකින් වුවද ජීවත් වෙති. ඒ අතර, පෙර කී මුල් සත්ව කොට්ඨාශය ගහණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවක් නොවී පසුගිය ජනාධිපති ඡන්දය දක්වාම ජීවත් වූහ.

* * *

ජනාධිපති ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වී අළුත් ජනාධිපති දිවුරුම් දීමෙන් පසු දිනක මම හිටපු ජනාධිපති ගේ රැව රුගත් චිත්‍රණයක් වත් පොතේ දැක එය මගේ මිතුරන්ට දැක ගන්නට බෙදා හැරියෙමි. එහි දැක්වුණේ වශී බෝල කරකවමින් ඡන්ද පොලේ සරණ මහින්ද රාජපක්‍ෂ ය.



ගුත්තිලයෙන් කවි ද උපුටා දක්වමින් මගේ එක් අංකල් කෙනෙක් එයට පිළිතුරු දෙමින් කියා තිබුණේ කෙලෙහි ගුණ නොදන්නා අය ගැන ආඬපාලියකි.

ඒ කවි මෙසේය.
කෙළෙහි ගුණ සින්දේ
මූසිල අන්ද මන්දේ
ජයෙහි ලොබ බැන්දේ
තමන් වීනා තත ද සින්දේ

අනුුවණ කම් කළේ
ගුරුන් ගුණ සිහි නොකළේ
නද ඉන් නොපතළේ
අයසමය මුළු දියත පතළේ
"අංකල් මොකක් ද මේ කියන්නේ? ගුත්තිල කාරයාත් වශී බෝල දෙකක් දෑතින් අරගෙන, මූසිල ගේ රූඩකයක් එක්ක ද වීනා වාදන තරගයට ගියේ?" මම විමසුවෙමි.
"The contention was to stress on the malicious and the vindictive manner in which some of the propaganda against national leaders, was disseminated, in the electronic media in recent times. It is very convenient to criticise. Some seem to be in the opinion that they are hearing and seeing human weaknesses and l lapse for the first time in history. The question is who will cast the first stone at the sinner!"

කා හටත් වරදී
ඉන් දොස් කීම වැරදී
මා හට නොවරදී
කියන දන හට නිතර වරදී
අංකල් පවසා තිබුණි.

පසුගිය සමයේ රූපවාහිනිය සහ අයිටීඑන් එක පමණක් බලමින් සතුටු සිතින් සිටි අපේ අංකල් කෙළෙහි ගුණ සලකා ලද පරාජයෙන් දුක්ඛිතව සිටින බව පෙනුණු නිසා මම තුවාලය නො පාරවා නිහඬ වුණෙමි.

වත් පොත් දැක මා ඊලඟට මිතුන් අතරේ බෙදා ගත් මේ ආකාරයේ ම ඡායාරුපය ඒ දිනවල පරාජිත ජනාධිපති විසින් කරමින් තිබූ ජාතිවාදී ප්‍රකාශවලට යම් පිළිතුරක් සපයා තිබුණකි.



එය දුටු අපේ ඇන්ටි කෙනෙක් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණි.
"නිදහස් අධ්‍යාපනය ලබා දුන් කන්නංගර මැතිඳුන්ටත් පරාජය සහ අවලාද දුන් අපේ ම සිංහලයින් තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරා නිදහස දුන් වීරයින්ට මොනවා නොකියයි ද?"
මේ ඇන්ටී ද, පසුගිය දිනවල රූපවාහිනිය සහ අයිටීන් එක බලමින් සිට කෙළෙහි ගුණ සලකන්නට ඡන්දය දී පරාජයේ තුවාල සහිතව දුකෙන් සිටින අයෙකි.

මගේ පිළිතුර වූයේ මෙයයි.
"කන්නංගර කියන්නේ ජාතිවාදී, දූෂිත, ජනඝාතක, වශී බෝලකාර, චෞරයෙක් කියා මා නම් විශ්වාස කරන්නේ නෑ!"
මේ පැන්ෂන්ලාභී, බණ දහමින් දැහැමෙන් සෙමෙන් කල් ගත කරන, ඇන්ටිලා ගේ අංකල් ලා ගේ සිතුම් පැතුම් මට තරමක් හෝ තේරුම් ගත හැක. අන්ධ භක්තියක ගැලී සිටින ඔවුන්ට මම අවංකවම අනුකම්පා කරමි.
නමුත් ඊලඟට සිදුවූයේ නම් මා නොසිතූ දෙයකි.

ඒ මේ චිත්‍රණය සම්බන්ධයෙනි.



එයට ප්‍රතිචාරක් දක්වන මගේ සම වයස් ප්‍රමාණයේ පසුවන ඇන්ටි කෙනෙක් මෙසේ කීවාය.
"What is the purpose of doing this type of things dear Rasika? To whom you are working for?"
මා ඇයට ලියූ පිළිතුරේ සිංහල අනුවාදය මෙලෙස දැක්විය හැක.
"ඔබ සිතුවේ මේ චිත්‍රණය මා නිමවූ එකක් කියාද? එය මා වත් පොතේ දැක අන් අය සමග බෙදා ගත්තේ යම් කිසි හේතුවක් ඇතිවයි.

පසුගිය දශවසරක මහින්ද රාජපක්‍ෂ සාප කාලය තුල ලංකාවේ ඔඩු දුවා ගිය පිළිකා දෙකක් වේ. එහි බලපෑම තව සෑහෙන කාලයක් සමාජයේ පවතිනු ඇත.

ඉන් පළමුවන්න නම්, මහින්ද රාජපක්‍ෂ විසින් රටේ පැවැත්මට අදාල තීරණ ගැනීමේ දී නීර්ණායකයක් ලෙස භාවිතා කළ යන්තර, මන්තර, හදි හූුනියම්, වශී බෝල සහ ජ්‍යෝතිශ්‍යයවැනි දේ ය. දෙවැන්න නම් කාල්පනික ලෙස දේශාභිමානී ලෙස පෙනෙන නමුත් තර්කාන්විතව බලන කළ මුග්ධත්වයේ ප්‍රතිමූර්තියක් බඳුව වූ ලෝකයේ අනෙකුත් රටවල්වලට ඇති කළ විරුද්ධාකල්පයයි.

විමලසේන යනු ඒ දෙවැන්න ප්‍රවර්ධනය කරමින් හැසිරුණු මුගටියා ය.

ඉහත චිත්‍රණය පසුගිය රජය විසින් ගෙන ගිය පෙර කී නින්දිත ක්‍රියා ද්වයම කදිමට සමච්චලයට ලක් කරයි."
එයට ඇයගේ පිළිතුර වූයේ මෙයයි.
"I don't know what to say but I totally disagree with you Rasika. You have left this country about 20 years now. Actually you people don't know what is going on here and what has happened to this country politically during last 20 years. Anyway I don't want to argue with you in this manner but I must say that we live in our country with proud, happy and peacefully after 2009 because of our President Mahinda Rajapaksa and country lovers (Upan Bimata Adaraya Karana) like Minister Wimal Weerawansa (Not Wimalasena)."
බඩගින්නේ සිටින කෙනෙකුට බණ කියා වැඩක් නැතුවා සේ ම, අන්ධ භක්තියෙන් තවමත් චෙෘරයින් වන්දනාමාන කරන අයෙකු සමග තර්ක කර පළක් නැත. සත්‍යාවබෝධය යනු තමන් ම වීර්යයෙන් කර ගත යුත්තකි.

එනිසා, "ස්තුතියි මිතුරිය" කියා මම නිහඬ වුණෙමි.

අන්ධභාවය සමච්චලයට ලක් කිරීම අමානුශික ක්‍රියාවකි. මේ අංකල්ලා ඇන්ටිලා සෑම දෙනාටම අපේ අනුකම්පාව හිමිවිය යුතුය.

-රසිකොලොජිස්ට්

Friday 23 January 2015

පෙට්‍රල් මිල සහ මහා බොරුව - A litre of petrol for less than a dollar : Oh what a feeling!


ඛනිජ තෙල් යනු රත්තරන් මෙන් පොළොවෙන් හාරා ගන්නා දෙයකි. තෙල්වලට කළු රත්තරන් කියා අන්වර්ථනාමයක් ද ඇත. ඉන් ඉඟි කෙරෙන්නේ ඛනිජ තෙල්වල ඇති ආර්ථිකමය වටිනාකමයි. ඒ නිසාම, අද පවතින ජාත්‍යන්තර අර්බුද බොහොමයකට ඛනිජ තෙල් එක් සාධකයක් වී ඇති බව නොරහසකි.

ලංකාව සම්බන්ධයෙන් නම් ඛනිජ තෙල් දේශපාලන වශයෙන් බලපාන්නට පටන් ගත්තේ 1974 දී පමණ තෙල් අපනයනය කරන රටවල් ඔපෙක් සංවිධානය අරඹා, එතෙක් ඇංග්ලෝ-ඇමරිකන් කොම්පැනිවල ග්‍රහණයට අසුව තිබුණු ලෝක ඛනිජ තෙල් වෙළඳ පොළට සෘජුව බලපෑම් කරන්නට පටන් ගත් කාලයේ දී ය. ලෝක තෙල් මිල ඉහළ ගියේය. සංවෘත ආර්ථික ප්‍රතිපත්තිවල අතරමංව, ආහාර අර්බුදයකට මුහුණ දී සිටි ලංකාව ඛනිජ තෙල් මිල ඉහළ යාම ඉතා දරුණු ලෙස බලපෑවේය.

මට මතක හැටියට ඔපෙක් සංවිධානයෙන් යම් සහනයක් ලබා ගන්නට පෙත්සමක් ඉදිරිපත් කරන්නට රජයේ අනුග්‍රහයෙන් වැඩ පිළිවෙළක් ඇරඹිණි.

"ඔය පෙත්සම යැව්වාම ඒක උන් පස්ස පැත්ත පිහදාන්න ගනීවි!" යැයි අපේ වැඩිහිටියෝ අවඥාවෙන් පැවසූහ.

මට හොඳින් මතක ඇති පරිදි 1994 මැතිවරණ සමයේ දී, එනම්, ශ්‍රීලනිපය ප්‍රමුඛ පක්‍ෂ කිහිපයක එකතුවෙන් සැදුණු පොදු පෙරමුණ 1977 සිට ඒ දක්වා බලයේ සිටි එජාප-තොණ්ඩමාන් රජය රට කාගෙන කාගෙන කාගෙන යමින් සිටි තැන සිට අපට කාගෙන කාගෙන කාගෙන යන්නට බලය දෙන්නැයි ඉල්ලන කාලයේ දී, රටේ පෙට්‍රල් ලීටරයක මිල වූයේ රුපියල් තිස් පහකි.

එවකට ශ්‍රීලනිපයේ භාණ්ඩාගාරික වූ කඩුවෙල මන්ත්‍රී කිංස්ලි වික්‍රමරත්න වැනි අය දේශපාලන වේදිකාවල පවසා සිටියේ සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ පෙට්‍රල් ලීටරයක් හදන්නට යන්නේ රුපියල් දාසයක් පමණක් බවත්, එනිසා පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සකට විකිණීමට හැකිබවත්ය.

මෙය ඇසූ අපේ ඇන්ටී කෙනෙක් පොදු පෙරමුණට ඡන්දය දී, ඇගේ C-90 එකට ඒ රුපියල් විස්සේ පැට්‍රල් ගහන්නට අද වෙනතුරුත් බලා සිටී!

විපක්‍ෂයේ සිට කජු කනවා මෙන් රටේ ප්‍රශ්න විසඳන දේශපාලුවන් එවැනි ජනප්‍රිය ප්‍රකාශ කරන විට හිතාමතාම නොකියන හෝ මෝඩකම නිසා නොදන්නා කරාණය නම්, රට කරවීමට බදු අවශ්‍ය බවයි.

ලෝකයේ බහුතරයක් රටවල පෙට්‍රල්, ඩීසල් වැනි භාණඩ සඳහා සුවිශේෂී බද්දක් අය කෙරේ. සාමාන්‍ය තත්වයන් යටතේ මේ බද්දෙන් ලැබෙන මුදල් යෙදවෙන්නේ පෙට්‍රල්, ඩීසල් යොදවා ධාවනය කරන වාහන යනෙන මහාමාර්ගවල නඩත්තු කටයුතු කිරීමටයි.

මා ජීවත්වෙන ඕස්ට්‍රේලියාවේ මේ බද්ද ලීටරයට ශත 38 ක් පමණ වේ.

ඕස්ට්‍රේලියාව තම ඛනිජ තෙල් අවශ්‍යතාවයෙන් සෑහෙන ප්‍රමාණයක් දේශියව නිපදවා ගත්තද, රටේ පෙට්‍රල් මිල තීරණය වන්නේ මූලිකවම සිංගප්පුරු තෙල් දර්ශකය අනුවය. (ඒ දර්ශකය ලෝකයේ ඛනිජ තෙල් ඉල්ලුම හා සැපයුම මත නීර්ණය වන්නකි). ඊට අමතරව, ඕස්ට්‍රේලියානු ඩොලරයේ සාපේක්‍ෂ වටිනාකම, දේශිය වෙළඳ පොළේ ඉල්ලුම, වෙළඳ ලාභාංශ සහ රජයේ බදු අනුව මෝටර් රථ පදවන්නන් පෙට්‍රල් ෂෙඩ් එකේ දී ගෙවන මිල තීරණය වේ.

පෙර කී ලිටරයට ශත 38 ක ඛනිජ තෙල් බද්දට අමතරව ඒ මත 10% ක පොදු වෙළඳ බද්ද ද පැනවේ!

ලංකාවේ දී රජයෙන් නියම කරන එකම මිලට පෙට්‍රල් මිලට ගැනීමට පුරුදු වී සිටි මට, ඕස්ට්‍රේලියාවේ දී අළුත් අත්දැකීම් කිහිපයට මුහුණ දෙන්නට සිදුවිය.

කාරයෙන් බැස තමන්ම පෙට්‍රල් ගසා ගැනීම ඉන් එකකි.

එක් එක් පෙට්‍රල් ෂෙඩ්වල මිල එකිනෙකින් මද වශයෙන් වෙනස් වීම තවත් එකකි.

ඊට වඩා සුවිශේෂි වෙනසක් වූයේ එකම පෙට්‍රල් ෂෙඩ් එකේ වුවද, සතියේ දින අතර මිල වෙනස් වීමයි. සාමාන්‍යයෙන් අඟගරුවාදා හෝ බදදා දින දක්නට ලැබෙන අවම මිල සහ සෙනසුරාදා සහ ඉරිදා පවතින උපරිම මිල අතර සමහර විට වෙනස ශත දහයක් හෝ ඊටත් වඩා වැඩිය.

ඊට අමතරව, රජයේ බදු එලෙසම පැවතුනද, ජාත්‍යන්තර වෙළඳ පොළ අනුව සිංගප්පුරු මිල දර්ශකය ඉහළ පහළ යාමත් සමගද, ඕස්ට්‍රේලියානු ඩොලරයේ සාපේක්‍ෂ අඩුවැඩි වීම් අනුවද සිදුවන පෙට්‍රල් මිලේ ඉහළ පහළ යාම් ද මට අළුත් අත්දැකීමක් විය.

මා මෙහි පැමිණි කාලයේ පෙට්‍රල් ලීටරයක් ශත 80 ක් පමණක් වුවද, පෙරකී විවිධ සාධක අනුව මිල ඉහළ පහළ ගොස්, පසුගිය වසර තුළ මා පෙට්‍රල් ලීටරයක් සඳහා ඩොලර් 1.60 හෝ ඊටත් වඩා ගෙවූ අවස්ථා ද තිබුණි.

පසුගිය කාලයේ චීනයේ සහ ජපානයේ ඉල්ලුම අඩුවීම, ඇමරිකා එක්සත් ජනපදය තම සංචිත පුරවා අවසන් වීම සහ ඉරානය, ඉරාකය වැනි රටවල නිෂ්පාදනය වැඩිවීම යන විවිධ හේතු නිසා ලෝක බොර තෙල් මිල අතිශය විශාල වශයෙන් අඩුවුණද, ඒ හා සමාන්තරව මෙන් ඕස්ට්‍රේලියානු ඩොලරයේ වටිනාකමද අඩුවුණු නිසා, අප ගෙවන මිල පහළ වැටුණේ ඉතා හෙමින්ය.

ඉතින් හරියටම දශකයකට පමණ පසු පසුගිය සතියේ ඩොලරයකට අඩු මිලකට පෙට්‍රල් මිලට ගැනීමට ලැබීම මට විශාල සතුටක් ගෙන දුනි.

නමුත්, මේ මිල පහළ යාම දේශපාලුවන්ට ස්තුති කිරීමට අපට අවශ්‍ය නැත.

ඒ මක්නිසාද යත්, පෙට්‍රල් මිල යනු රජයෙන් පාලනය කෙරෙන කෘතිම අගයක් නොවන නිසාත්, එදා ලීටරයක් ඩොලර් 1.60 කට මා මිලට ගනිද්දී ගෙවු ශත 38 පෙට්‍රල් බද්ද ද, ඊට උඩින් ගෙවු 10% පොදු වෙළඳ බද්ද ද, අද ශත 99 ට ලීටරයක් ගනිද්දීත් මා පෙර සේ ම ගෙවන බැවිනි. ඇත්ත වශයෙන්ම වී ඇත්තේ පසුගිය වසරේ රජයෙන් සිදුකළ වෙනසකට අනුව ශත 38 පෙට්‍රල් බද්ද තව දුරටත් නොවෙනස්ව නොපැවතී ජිවන වියදම් දර්ශකය අනුව වෙනස් වෙන්නට පටන් ගැනීමයි!

-රසිකොලොජිස්ට්

Thursday 22 January 2015

පිළියන්දල පුවක්ගස් හන්දියේ නිව් රත්න ටේලර්ස් - New Rathna Tailors - Puwakgas Junction, Piliyandala


කමිස කෙලින්ම සාප්පුවෙන් මිළදී ගත්තද, ටේලර් සාප්පුවකට ගොස් තමන්ගේ උසට මහතට ගැලපෙන පරිදි "ටේලර්-මේඩ්" කලිසමක් මස්සවා ගෙන ඇඳීම තරම් ලක්‍ෂරියක් තවත් ලොවේ නැතැයි මා කිවහොත් මෙය කියවන පිරිමි පක්‍ෂයේ බොහෝ දෙනෙක් මා හා එකඟ වෙනවා ඇත.

කොට කලිසමින් දිග කලිසමට ප්‍රමෝෂන් එක ලැබුණු පසු වසර ගණනාවක් ම මා කලිසම් මැසුවේ ගම්පහ "රෙස්ටන් ටේලර්ස්" සාප්පුවෙනි. ඒ අපි පදිංචිච සිටි තාත්තා ගේ මහගෙදර පැත්තේ තිබූ ප්‍රධානම නගරය ගම්පහ නිසාවෙනි. ගණේමුල්ල සහ කඩවත ඊට වඩා ලඟ වුවද, කලිසමක් මැසීම වැනි බරපතල කර්තව්‍යයක් සඳහා ඒ කඩමණ්ඩි නොගැලපෙන්නාක් සේ අපට දැණුනි.

පේරාදෙනියේ සිටි කාලයේ දී ද කලිසමක් මැසීමට ගම්පහට යෑම මට අමතර කරදරයක් නොවුණත් පසු කලෙක රැකියාව සඳහා කොට්ටාව/අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිව සිටියදී මට ඒ ප්‍රදේශවල ටේලර්ලා ගේ දස්කම් "ට්‍රයල්-ඇන්ඩ්-එරර්" ක්‍රමයට උරගා බලන්නට සිදුවිය. අවාසනාවට ඒ කිසිවක් එතරම් සාර්ථක අත්දැකීම් නොවිණි.

ඩෙනිම් ඇරුණු විට මා මුලින්ම රෙඩි-මේඩ් කලිසම් අඳින්නට පුරුදු වුණේ තායිලන්තයේ ගතවූ පශ්චාත් උපාධි සමයේදී ය. ඒ සමගම ඉතා අඩු ගාස්තුවකට පැය විසිහතරෙන් ඇඳුම් කට්ටල මසා ගැනීමටද බැංකොක් නුවර පහසුකම් තිබුණි. කලිසම් මැසීම සඳහා විවිධාකාරයේ රෙදිවර්ග ද එහි සුලභව තිබුණි.

මා තායිලන්තයේ සිට ආපසු පැමිණියේ කලිසම් රෙදි කැබලි දහයක් පමණ මිළදී ගෙනයි. කීපයක් තෑගිවලට ය. අඩක් පමණ මගේ සුඛ විහරණය වෙනුවෙනි.

මේවන විට අපේ පවුලේ වාසස්ථානය ගම්පහ ආසනයෙන් කැස්බෑව ආසනය කරා වෙනස් වී තිබුණි. ලඟම නගර වූයේ පිළියන්දල සහ මහරගම ය.

"ට්‍රයල්-ඇන්ඩ්-එරර්" කර මගේ වටිනා කලිසම් රෙදි නාස්ති කරගන්නට අවශ්‍යතාවයක් නැති බැවින් හොඳ ටේලර් සාප්පුවක් ගැන මම මගේ සොහොයුරන් ගේ උපදෙස් පැතුවෙමි.

"එළ බූවෙක් ඉන්නවා පිළියන්දල ටවුමේ කොළඹ පාර අයියේ උඩ තට්ටුවක නිව් රත්න ටේලර්ස් කියලා!" රුවන් මල්ලී මට කීවේය.

එදා 1990 ජනවාරියේ සිට මා ලංකාවේ සිටින තාක් කල් මගේ හැම කලිසමක් ම මැසුවේ නිව් රත්න ටේලර්ස් සාප්පුවෙනි. වෙනත් විකල්ප සෙවීමට මට කිසිදු අවශ්‍යතාවයක් ඇති නොවීය. රත්නපාල ගේ කැපුම් සහ මැසුම් ඒ තරම් අගනේ ය.

ඉන් පසුව මා වසරකට, දෙකකට වරක් නිවාඩුවට ලංකාවට ගිය සෑම විටමත් එහි ගොස් "ටේලර්-මේඩ්" ලක්‍ෂරියට අළුතින් අයිතමයන් එකතු කර ගත්තෙමි.

මා පසුගිය අප්‍රියෙල් මාසයේ ලංකාවට ගිය විට සුපුරුදු පරිදි කලිසම් කිපයක් මසා ගන්නට සිත් වී පිළියන්දලට ගියෙමි. නිව් රත්න ටේලර්ස් තිබුණු තැන හොයා ගන්නට බැරි විය.

වහාම සොහොයුරා ගේ දුරකතනයට කතා කළ මට දැනගන්නට ලැබුණේ ටේලර් සාප්පුව පිළියන්දල නගරයෙන් මදක් ඔබ්බෙන් පිහිටි පුවක්ගස් හන්දියට ගෙන ගොස් ඇති බවයි!

වහා එහි ගිය මම සල්ලි-සල්ලි කියා නොබලා කලිසම් පහකටම ඕඩරක් දුන්නා පමණක් නොව ඊලඟ පරම්පරාවට ද නිව් රත්න ටේලර්ස් හඳුන්වා දුන්නෙමි.

මේ පහත ඇත්තේ එදා මා ගත් ඡායාරූප කිහිපයකි.


මේ 2015 ජනවාරි මාසයේ සැමරෙන්නේ නිව් රත්න ටේලර්ස් හා මගේ මේ සේවාදායක-සේවායෝජක සම්බන්ධයේ අවුරුදු විසි පහේ රිදී ජුබිලියයි!

"නිව් රත්න ටේලර්ස්" ට සදා ජය පතමි!

-රසිකොලොජිස්ට්

Saturday 10 January 2015

නව ජනාධිපති දිවුරුම් දෙන දා ලියවුණු පැල් කවි - History may repeat


මගේ පරණ පිනක් පලදීම නිසා මට ජනවාරි පස්වෙනිදා සිට දාසය වෙනිදා දක්වා නිවාඩුවක් ගත කරන්නට අවස්ථාවක් උදාවිය.

නිවාඩුව ගතවෙන්නේ ලෝකයේ ඉතාමත්ම පියකරු රටකය. ඒ කාලය අතරතුර වෙන වෙන අයගේත් පින පව් පල දී ඇති බව පෙනේ.

ලංකාවේ ජනාධිපති ලා ගෙදර යන, අලුත් පොරවල් පෙරට එන විස්තර කියවමින් සිටින අතරතුර මට, මා මීට වසර හයකට පෙර ජනවාරියක හිමිදිරි උදෑසන ජනාධිපතිවරයෙකු දිවුරුම් දෙන අයුරු රූපවාහිනියෙන් නරඹමින් ලියූ කවි පන්තියක් සිහියට නැගුණි.

මේ කවි ලියවුනේ 2009 ජනවාරියේ දී ය. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම කලු ජාතික ජනාධිපති ලෙස ඔබාමා දිවුරුම් දුන් දිනයේ ය.

ඔබමා බරක් එක්සත් ජනපද යේ
ජනපති විලස දිවුරුම් දුන් අද දින යේ
නෙත නැගි තුටු කඳුළු පිස දා ලහි ලහි යේ
මේ කවි ලියමි හිරු නැග එන හිමිදිරි යේ

වසවර්තියෙකු වුව ජනපති වෙනු පිණිස
ඡන්දය ඉල්ලනා විට බෝසත්ය යස
බෝසත් කෙනෙකු වුව ජනපති වූ විගස
වසවර්තියා වැඩි හොඳ බව නැත කුකුස

ඡන්දෙට කලින් මැති දුටු සඳ කුමක් වැනී
කලකින් නුදුටු හිත මිතුරෙක් දැක්ක වැනී
ඡන්දෙන් පසුව මැති දුටු සඳ කුමක් වැනී
අළුගෝසුවා රෑ මැද හමුවුනා වැනී

බලයට එන්න පෙර නිදහස භාෂණ යේ
පරමාදර්ශයයි මැතිඳුගෙ චින්තන යේ
තම පණ වුවද දෙන්නයි සැරසී සිටි යේ
අමතක වේ ද බලයට පත් වූ හැටි යේ

ෆොක්ස් ටෙලිවිෂනයට ගින්දර තැබේවි ද
වොෂින්ටන් පෝස්ට් කතුවර මැරේවි ද
අල්-කයිඩා ව ගැන ලිපියක් ලියන ලද
උප කතුවරුන් හෙට සිරගෙට වැටේවි ද

වදකාගාර ගන්තනමෝ බටලන්ද
වැලලු මිනී අබු-ග්‍රේ සූරියකන්ද
දැම්මත් බලය ගන්නට පෙර මහ සද්ද
කොමිසන් වාර්තාවට සීමා වෙද්ද

සේරු අටක් ඇට හැම ගෙට එවන්නට
නැති බැරි පිරිස ඇති හැකි අය කරන්නට
සමුර්දියක් ජන-සවියක් දෙවන්නට
දුන් සැම පොරොන්දුව අමතක වේද හෙට

බුෂ් ගේ ප්‍රජා අයිතිය හෙට නිමවේ ද
රට හැම තැනම පෑ තැටි ඉඳි කරවේ ද
චෞර රජා ලෙස හොඳ නම හිමිවේ ද
පෙන්ටගනයෙ ජොබ් එක මල්ලිට යා ද

විපක්‍ෂයේ ඉඳ සිල් අරගෙන වාගේ
රටේ ප්‍රශ්ණ විසදිය හැක කජු වාගේ
එරට මෙරට කොයි දේසෙත් එක වාගේ
බලමු හෙට කෙරුම් ජනපති ඔබමා ගේ


(ජනවාරි 2009)

ඉතිහාසය බොහෝ විට නැවත සිදුවෙයි. ඒ සඳහා පස්මහ බැලීම් නැත.

-රසිකොලොජිස්ට්

(image http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d7/US_President_Barack_Obama_taking_his_Oath_of_Office_-_2009Jan20.jpg/1024px-US_President_Barack_Obama_taking_his_Oath_of_Office_-_2009Jan20.jpg)

Wednesday 7 January 2015

ජනාධිපති ඡන්දය ගැන මගේ පැතුම - What I wish to see on 9 January 2015

සති දෙකක නිවාඩුව මැද මේ ලියන්නේ ෆේස්බුක් හරහා ලැබුණු ගිතයක් ඔබ හා බෙදා ගන්නයි.

මෙන්න අසා රස විඳින්න.



ජනවාරි අටවෙනිදා පැවැත්වෙන ජනාධිපති ඡන්දය ගැන මගේ පැතුම මෙයයි.

මහින්ද රාජපක්‍ෂට ඡන්ද ප්‍රතිශතය 33.34% හෝ ඊට අඩුවෙන් ලැබේවා!

ජනවාරි නමවෙනිදා මගේ පැතුම ඉටුවුණු පසු නැවතත් හමුවෙමු.

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

Monday 5 January 2015

රට කාගෙන කාගෙන යන්න අපටත් චාන්ස් එකක් දෙන්න! - que sera sera?


මේ කාලයේ පවතින ජනාධිපති ඡන්ද උණුසුම නිසාම අද මට තවත් පරණ මැතිවරණක් හා සම්බන්ධ සිදුවීමක් සිහියට නැගුණි. මේ කතාව සමහරවිට මීට කලින් ඔබ අසා තවමත් මතකයේ තියෙන්නට ද ඉඩ ඇත.

ඒ වසර 1994 දී පැවැත්වුණු මහ මැතිවරණ සමයයි. වසර 1977 දී බලයට පත්වූ එක්සත් ජාතික පක්‍ෂ රජය ඒ වන විට මහා ජන අප්‍රසාදයකට පත්ව තිබුණි. එයට අමතරව ඔවුන් ගේ එදා 1977 දී සිටි නායකත්වයෙන් ඉතිරිව සිටියේ ද කීප දෙනෙකි. ප්‍රේමදාසගේ මරණයෙන් පසු ඩීබී විජේතුංග ජනාධිපතිවරයා ලෙසද රනිල් වික්‍රමසිංහ රටේ අගමැති ලෙසද කටයුතු කරමින් සිටියහ.

මහජන පක්‍ෂය, බහුජන නිදහස් පෙරමුණ ආදී වශයෙන් පක්‍ෂ හදමින් අයාලේ ගිය චන්ද්‍රිකා ද, නැවත ශ්‍රීලනිප මහගෙදරට පැමිණ, කොළඹ පලාත් සභා ඡන්දය දිනා, මහ ඇමති ලෙස කටයුතු කරමින් සිටියාය. මේ මැතිවරණයේ දී, වාමාංශික පක්‍ෂ හා එකතුව පිහිටුවා ගත් පොදු පෙරමුණට නායකත්වය දුන්නේ ඇයයි.

ජනතා විමුක්ති පෙරමුණ, එදා තරග වැදුණේ ආරිය බුලේගොඩ ගේ නායකත්වයෙන් පැවති ප්‍රගතිශීලි පෙරමුණු නම් පක්‍ෂයෙනි.

අද තරම් නොවූව ද, රූපවාහිනී නාලිකාවල දේශපාලන විවාද පැවැත්වුණි. ඊට අමතරව, විවිධ දේශපාලන පක්‍ෂ නියෝජනය කරමින් අපේක්‍ෂකයෝ විනාඩි පාලහේ කතා ද පැවැත්වූහ. ඒ දිනවල, සන්ධ්‍යා යාමයේ මගේ විනෝදාංශය වූයේ, ඒ දේශපාලන කතා-විවාද ඇසීමයි.

එදා සන්ධ්‍යාවේ ජවිපෙ නියෝජනය කරමින් තම විනාඩි පාලහේ කතාව ඉදිරිපත් කළේ තරුණියකි. ඇය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද අපේක්‍ෂිකවක් ලෙස පැවසිණි.

ආ, මේ අපේ ෆැකල්ටියේ හිටි චම්පා නේ මගේ බිරිඳ ඒ වෙන්ඩ-මන්ත්‍රීවරියව පහසුවෙන්ම හඳුණා ගත්තාය.

ලංකාවේ මෑත ඉතිහාසයේ පැවති තට්ටු මාරු දේශපාලනය ගැන මා මෙකෙත් අසා ඇති උපහාසාත්මකම නිර්වචනය දුන්නේ ඇය එදා ඒ කතාවෙනි.
සහෝදරවරුනි, සහෝදරියනි, ඔබ සැම දන්නවා, පසුගිය වසර දාහතක කාලයක් තිස්සේ දුෂණයෙන් සහ භීෂණයෙන් රාජ්‍යය කරමින් එක්සත් ජාතික පක්‍ෂය මේ රට කාගෙන, කාගෙන, කාගෙන යමින් සිටින බව.

ඒ අතර අද පොදු පෙරමුණ කියන කල්ලියත් ඇවිල්ලා මේ ඡන්දේ දී ඔබෙන් ඡන්දය ඉල්ලනවා. සහෝදරවරුනි, සහෝදරියනි, ඒ මොකටද දන්නවද ඔවුන් අද ඔබේ ඡන්දය ඉල්ලන්නේ?

ඒ අර එක්සත් ජාතික පක්‍ෂය විසින් රට කාගෙන, කාගෙන, කාගෙන ගිහින් නතර කරන තැන ඉඳලා අපිටත් කාගෙන, කාගෙන, කාගෙන යන්න අවස්ථාවක් දෙන්න කියලායි අද ඔවුන් ඡන්දේ ඉල්ලන්නේ.
ඇගේ ඒ කතාවට මා එකඟ වුවද, රටේ බහුතරයක ගේ තිබුණේ වෙනත් අදහස් ය. අවසානයේ එජාපය නැවැත්වූ තැන සිට රට කරගෙන යාමට ශ්‍රීලනිපයට බාරවුණි.

සිදුවූයේ කුමක් දැයි අපි හොඳින් දනිමු. රට කාගෙන, කාගෙන, කාගෙන යාමේ රිලේ තරගය නොකඩවා ඇදී ගියේය.

අද නැවතත් අප එළැඹී ඇත්තේ ද, ඒ ආකාරයේ ම සන්ධිස්ථානයකටයි.

මෙවර ද බැටන් එක අතකින් අතකට මාරුවූව ද, රට කාගෙන, කාගෙන, කාගෙන යන රිලේ එක නොනවැතී ඉදිරියට යන්නට ඉඩ ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි
අද සිට ඉදිරියට දින දොලහක පමණ කාලයක් තුල මේ බ්ලොගය සඳහා අලුතින් ලිපි එකතු කිරීමට හෝ කමෙන්ටු සඳහා පිළිතුරු දීමට මට ඉඩකඩ බොහෝ විට නොලැබෙන්නට ඉඩ ඇතිබව කණගාටුවෙන් දැනුම් දෙමි.
rasikologist@gmail.com

Sunday 4 January 2015

වැඩබලන අගමැති මෛත්‍රීපාල සිටි වේදිකාවේ සිට පොඩි ළමයි ඉදිරිපිට කුණුහරුප කතා කියූ උප ඇමති කවුද? - Deputy minister's vulgar talk


මෙය ඇඩල්ට්ස් ඔන්ලි කතාවකි.

ඔබ බොහෝ දෙනා මේ කතාව හෝ එහි විවිධ සංස්කරණ මීට පෙර අසා ඇති බවට මට සැකයක් නැත. ඒ බොහෝ විට මිතුරන් සමග විනෝදයෙන් වල්පල් දොඩමින් සිටිනා අවස්ථාවක විය යුතුයි.

ඒත් මා මේ කතාව ඇසුවේ නම් වසර දහයක පමණ කුඩා දරුවෙකුව සිටි කාලයේ දේශපාලන වේදිකාවකිනි.

ඒ සිරිමා බණ්ඩාරණායක අගමැතිකම කළ සමගි පෙරමුණු රාජ්‍ය සමයයි. අපේ ගමේ පාරේ ලයිට් කණු සිටුවී, විදුලි රැහැන් ඇදී, ගමේ ගෙවල්වලට ලයිට් ආවේ ඒ කාලයේ ය.

මේ කාලය වන විට ගමේ ගොඩේ ද නොයෙකුත් ආහාර, රෙදිපිලි ප්‍රශ්ණ ඇතිවී ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙමින් පැවති නිසා දෝ එදා ගමේ විදුලිය විවෘත කරන්ට පැමිණියේ මෛත්‍රීපාල සේනානායක, එවකට වැඩබලන අගමැතිවරයා ය. එ නිසා ම පාසල් වත්තේ මහා දේශපාලන රැලියක් ද සංවිධානය කර තිබුණි. මෛත්‍රීපාලව එහි කැඳවාගෙන ආවේ ගමේ ශ්‍රීලනිප සමිතිවල කාන්තාවන් ද, අල්ලපු ගමේ ගෝනි ෆැක්ටේරියේ සේවිකාවන් ද සහභාගී වූ මහා පෙරහැරකිනි.

මෛත්‍රීපාල ස්විචයක් ඔබා ඒ වන තුරු අඳුරේ තිබූ වේදිකාව, පිට්ටනිය සහ පාරේ පිහිටුවා තිබූ ලයිට් කනු ආලෝකමත් කරනවා මට මතකය. පැය කිහිපයක් ම විවිධ කතා පැවැත්වෙනවා මට මතකය. වෙනදා පොල්කට්ටකින් අඩක් වැසුණු ඉටිපන්දමක, හුළු අත්තක හෝ විදුලි පන්දමක එළියෙන් යනවා වෙනුවට පාරේ ලයිට් කණුවල සහ පාර අසල නිවෙස්වල ආලෝකයෙන් ගමේ පාරේ නිවසට ඇවිද ආ හැටි මට මතකය. ඒ හැර මගේ මතකයේ ඇත්තේ, එදා මෛත්‍රීපාල සේනානායක ද අසා සිටියදී ඒ වේදිකාවේ දී රජයේ උප-ඇමතියෙක් කියූ මේ ප්‍රස්තුත කතාව පමණකි.

උප ඇමති එදා වේදිකාවේ දී කතා කළේ රජයේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා රටවැසියන්ට මුහුණ පාන්නට සිදුවී තිබුණු ප්‍රශ්ණ ගැනයි. මට පසුව වැටහුණු පරිදි, ඔහුට මෛත්‍රීපාල සේනානායක වැඩබලන අගමැතිගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලන්ට අවශ්‍ය වූයේ එනම් ආර්ථිකය සම්පූර්ණයෙන්ම වසා නොදමා මදක් හෝ විවෘතව තබා ජනතාවට යම්කිසි ප්‍රමාණයක සහනයක් සලසන්නට කියායි.

ඒ සඳහා උප ඇමති උපයෝගී කරගත් කතාව මෙලෙසය.

එක්තරා ගමක කරලැයින් නම් කාන්තාවක් විසුවා ය. ඇගේ සැමියා වූ විල්සන්ට දාව කරලැයින්ට දරුවන් දුසිමක් පමණ ඉපදී තිබුණි. අවසාන දරුවා ගේ උපත සිදුවන අවස්ථාවේ ඇති වූ සංඛීර්ණ තත්වයන් නිසා, කර්ලැයින්ව සූතිකාගාරයේ දී නිර්වින්දනය කරවා, දරුවා බිහිවීම පහසු කරණු පිණිස ඒ මාර්ගය මදක් විවර (එපිසියොටොමි-episiotomy) කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී ඇත. පසුව වෛද්‍යවරුන් ඒ කැපුම වසා මැහුම් දමන්නට සැරසෙන අවස්ථාවේ එතෙක් නිර්වින්දිතව සිටි කරලැයින්ට තරමක් සිහිය ලැබී ඇත. කපා විවර කළ කොටස, දොස්තර මැහුම් දමා ආපසු වහන්නට යන කතාව අඩ සිහියෙන් ඇසූ කරලැයින් පවසා ඇත්තේ, "අනේ සර් සේරම මැහුම් දාලා වහන්න එපා, විල්සන් අයියටත් ඩිංගක් විතර ඉතුරු කරන්න!" කියාය.

"අනේ වැඩබලන අගමැතිතුමනි, ඒ කරලැයින් අක්කා කියු ආකාරයට, සේරම වසා නොදමා, අපේ ගම්වල ඉන්නා විල්සොන් අයියලාට, සයිමන් අයියලාටත් ටිකක් සහනයක් දෙන්න" උප-ඇමති ඉල්ලා සිටියේය.

මේ කරලැයින් සහ විල්සන් ගේ කතාව ඇසූ රුස්වීම් පිටියේ සිටි සමහරු බඩ අල්ලා සිනාසුන මුත් මට නම් ඒ කතාව මෙලෝ සංසාරයක් නොතේරුණි. කෙසේ වෙතත් මා ඒවන විට සිතා සිටියේ ළමුන් උපදින්නේ මවගේ බඩ කපා කරන ශල්‍යකර්මයක් මගින්ය කියා නිසා, ඒ සිතුවිල්ල නම් ස්ථිර විණි.

පොඩි ළමයින් ඉදිරිපිට මෙවැනි කුණුහරුපත් කියනවාදැයි අපේ අම්මා ඊට පසුව ද විස්සෝපයෙන් කියනු මට ඇසුණු නමුත්, මට එහි ඇති කුණුහරුපය තේරුම් ගියේ තවත් වසර කිහිපයකට පසුවය.

ඒ වන විට ජේ.ආර්. ගේ රජය බලයට පත් වී අපේ විල්සන් අයියලා, සයිමන් අයියලා වෙනුවෙන් සියල්ලම විවෘත කර දී තිබුණි!

යම්කිසි අනුමානයක් කළ හැකි නමුත්, මට ස්ථිරවම සිහිකරගත නොහැකි කරුණ නම්, එදා ඒ කතාව කියූ උප ඇමති කවුද යන්නයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
හදිසියේම සිහියට ආ කවි දෙපදයක්.

රම්‍යා සුරම්‍යා සුභ කියනා දවස
බැරුවද හලෝ හමුවන්නට අද හවස?

(http://www.romeconomics.com/open-economy-explained/)

Thursday 1 January 2015

ජනවාරි නමවෙනිදා දක්වා අවුරුදු සුභ පැතුම් කල් දැමේ (සහ ඇන්ටි-සාටක ලෝගෝව) - My new year started nicely, how about you?


අද උදෑසන නිදි යහනේ සිටම අත දිගු කර අසල මේස කෑල්ල උඩ තිබූ කණ්නාඩිය ඇස් මත රුවා, ජංගම දුරකතනය හරහා අන්තර්ජාල ලෝකයට වන් කල්හි මා නෙත ගැටී චිත්තප්‍රීතියට හේතු වූ කාරණා ද්වයක් ඔබ හා බෙදා ගැනීමට මෙය ලියමි.

ඉන් පළමුවැන්න නම්, මා මිතුරු නාට්‍යවේදී ධනංජය කරුණාරත්න විසින් ෆේස්බුක් අවකාශයේ බෙදා ගෙන තිබුණු කරුණකි. ඔහු අද 2015 ජනවාරි පළමුවෙනිදා ට නියමිත තමන් ගේ සුභ පැතුම් ජනවාරි නමවෙනි දින දක්වා කල් දමා ඇත.

මා ද එකෙනෙහි ම ඔහුගේ ඒ නිර්මාණාත්මක අදහස වත් පොතේ බෙදා හරිමින් එසේ ම කළෙමි.

අද උදෑසන මා පිනවූ දෙවෙනි කාරණය නම් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි පීඨයේ කතිකාචාර්ය මා මිත්‍ර ප්‍රියන්ත ෆොන්සේකා එවා තිබූ ෆේස්බුක් පණිවිඩයකි.

ඉන් කියවුනේ අද දිනයේ ෆේස්බුක් හරහා සාටක විරෝධී ලෝගෝවක් තම ෆේස්බුක් පැතිකඩ ඡායාරූපය ලෙස යොදා ගැනීමේ ව්‍යාපාරයක් ඇරඹී ඇති බවයි. මට ද ඒ හා එක්වෙන ලෙස ඇරයුමක් ද තිබුණි.

දියේ හොවන්නදැයි ඉබ්බෙකුගෙනුන් අසනවාද? හැක, හැක!

මම වහා මගේ ෆේස්බුක් පැතිකඩ ඡායාරූපය ලෙස අද දිනය වෙන තෙක් තිබූ "ඇන්ටි-රේසිසසම්" ලෝගෝව ඉන් ඉවත් කර මේ අළුත් "ඇන්ටි-සාටක" ලෝගෝව එහි යෙදීමි.

ඉතිං, අද මේ නව වසරේ මුල් දිනය මට නම් ඉතා හොඳින් ඇරඹී ඇත.

මොකද කියන්නේ?

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න වසර දෙකකට පමණ පෙර මා ලියූ කවියක්.

ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
වසරක් උදාවේවා සැනසුම පිරුණ!


මේ වසර සඳහා කවියක් ලිවීම ද ජනවාරි නමවෙනිදා දක්වා කල් දමා ඇත.