Sunday 11 April 2021

බිත්තර පාං නො-කා-පාං - Decades ago



මා කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ හදාරද්දී ලැබූ අත්දැකීම් මත පදනම් වූ මේ සටහන මුලින්ම සන්නස සඟරාවේ පළ වූ අතර පසුව මා පළ කළ සිව් වසරක් මරදානේ කෘතියේ අඩංගු විය. අද මෙම සටහන මෙලෙස පළ කිරීමට හේතුව අවසානයේ දී දක්වමි.


පරකන්දෙණිය නම් වූ මගේ උපන් ගම පිහිටියේ කොළඹින් සැතපුම් පහළොවක් පමණ නුදුරින් වුව ද, පමා නොවී අකුරට යන්නට නම් අපට උදේ රැයින් ම අවදි වෙන්නට සිදුවිය. පාසල් යන දිනවල පාන්දර පහට පමණ තාත්තා පැමිණ මල්ලීත්, මාත් නිදාගත් නිවසේ ප්‍රධාන කොටසින් වෙන්ව පිහිටා ඇති ඉස්තෝප්පු කාමරයේ දොරට තට්ටු කරයි. මම පහයි කාලට පමණ වදෙන් පොරෙන් ඇඳෙන් නැගිට කුස්සියට යමි. උදේ බස් රථය අපේ නැවතුමට ලඟාවෙන්නේ තවත් පැය භාගයකින් පමණ ය. මා මුලින්ම කරන්නේ, අම්මා උණුවතුර බෝතලයට දමා ඇති කහට වතුර ටිකක් කෝප්පයක දමා, සීනි හා කිරි පිටි සමග මුසුකර තේ කෝප්පයක් සාදා බීමයි.

ඊළඟට හනසු අඟුරු ස්වල්පයක් ගෙන ඇඟිල්ලෙන් දත් මදින මම, වහ වහා මුහුණ, අත, පය සෝදමි. බඹ එකළොහක් ගැඹුරු ළිඳක් මිස නාන කාමර හෝ විදුලියවත් නොතිබුණු නිවසක වාසය කල අපට, සතියේ දිනවල උදේට ඇඟ සේදීමට අවකාශ නොමැත. ඇඳ පැළඳ ගත් පසු මම උදේ ආහාරය ගනිමි. එය බොහෝ විට රොටියකි, නැතිනම් ඉඳිආප්ප ය. බොහෝ දිනවල මේ වෙලාව වනවිට පාරේ ඈතින් බස් රථය එන හඬ ඇසෙයි. සීනි ස්වල්පයක් මැදට දමා දෙකට නවා ගත් රොටිය කන ගමන් ම, මම ගුරු පාර දිගේ මීටර් පන්සීයක් පමණ දුරින් පිහිටි මහ පාරට දිව යමි.

සැතපුම් දෙකක් පමණ දුරින් පිහිටි ගනේමුල්ලට යෑමට බස් රථයට බොහෝ විට ගත වෙන්නේ විනාඩි දහයක් වැනි සුළු කාලයකි. එතැන සිට දුම්රියෙන් මරදානට යා යුතුය. ආනන්ද විද්‍යාලය පිහිටියේ දුම්රිය ස්ථානයේ සිට කිලෝ මීටරයක පමණ දුරිනි. උදෑසන හතට පෙර මා පාසලේ ය.

හවස පාසල නිමවීමෙන් පසු මුල්ම දුම්රියෙන් මරදානෙන් පිටත් වෙන මා, හවස 2:35 ට ගනේමුල්ලට පැමිණිය ද, අපේ පාරේ දුවන්නේ එකම එක බස් රථයක් නිසා එය එනතුරු සිට, විනාඩි දහයක ගමනින් පසු නිවසට ළඟාවෙන විට 3:40 පමණ වෙයි. මා කෙළින් ම දිව යන්නේ අම්මා බෙදා කෑම මේසය මත තබා ඇති බත් පිඟානට බව අමුතුවෙන් කිව යුතු නැත. උදේ රොටිය කමින් දුවන වේලාවේ සිට හවස බත් පිඟානට වග කියන වේලාව දක්වා පැය දහයක කාලය අතර තුර මගේ කුස පුරවා ගැනීම සඳහා අම්මා සමහර විට තවත් කුඩා රොටියක් ඔතා දෙයි. එසේ නොමැති වූ දිනවල මගේ පිහිට ට ඇත්තේ පාසල් කැන්ටිමයි.

පාසලේ ඉන්නා ළමුන් සංඛ්‍යාවට සාපේක්ෂව බලන විට ආනන්දයේ කැන්ටිම ඉතා කුඩා එකක් විය. මෙනිසාම, විවේක කාලයේ එය නිරතුරු පිරී ඉතිරී තිබුණි. කැන්ටිමට යන පාසල් ළමුන් අතර තේ බොන්නෝ හිඟ ය. පෝටෙලෝ, ෂැරෝනා, පැෂෝනා වැනි බීම තිබුණද (ෆැන්ටා, කොකා-කෝලා යුගය එළැඹියේ මින් පසු කාලයක දී බව තරුණ පාඨකයෝ සලකත්වා!), ඒවායේ මිල ගණන් පොදු වශයෙන් ශිෂ්‍යයින් ගේ ක්‍රය ශක්තියෙන් ඔබ්බේ විය. වැඩි පිරිස කරන්නේ මොනවා හෝ කඩචෝරුවක් කෑමයි. ඉන්පසු වතුර පයිප්පයකට කට අල්ලා බඬේ ඉතිරි ටික පුරවා ගත හැක.

කෑම සඳහා කැන්ටිමේ මාළු පාං වර්ග තුනක් විය. ශත විසිපහකට අලෙවි වූ අඟල් තුනක පමණ විශ්කම්භයක් ඇති වෘත්තාකාර ලූණු පාං ගෙඩිය ඉන් මිලෙන් අඩුම ආහාරය විය. ඊළඟට තිබුණේ, තුන් හුලස් හැඩයෙන් යුතු, අල සහ ළුෑණූ මිශ්‍රණයක් සහිත එකකි. එහි මිල ශත තිස් පහක් විය. කෙසේ වෙතත් මා සිත ගත්තේ නම්, අඟල් හයක පමණ දිග සබ්මැරිනයක හැඩ ගත් බිත්තර පාං ගෙඩිය විය. එය මැදින් පලා තැම්බූ බිත්තර තීරු දෙකක් ද, තක්කාලී තීරුවක් ද, අමු මිරිස් කැබලි දෙකක් ද යොදා ගනිමින් වෛවර්ණව සරසා තිබුණි. දුටු සැණින් රස නහර උත්තේජනය වී කටට කෙළ උණා එයි. එහි මිල ශත පනහක් විය.

බිත්තර පාං වලට ඇති දැඩි කැමැත්ත කෙසේ වූව ද, ආනන්දයට ගිය සිව් වසර තුළදී ම, මම කිසි දිනක ශත ශත පනහක් දී බිත්තර පාං ගෙඩියක් මිල දී නොගත්තෙමි. මුදල් අතේ තිබූ දිනවල වුවද, එක්කෝ ශත විසිපහේ ලූණු පාං එකක් හෝ ශත තිස්පහේ එළවළු පාං එකක් මිස, බිත්තර පාං කන්නට මට සිත් වූයේ ම නැත.

බිත්තර-පාං, නො-කා-පාං ම විය.

සතියට දින දෙකක් පමණ විවේක කාලයට පෙර කාල පරිච්ඡේදයේ අපට නියමිත විෂයය වූයේ ඉංග්ලිෂ් භාෂාවයි. අපට ඉංගිරිසි ඉගැන්වූ දිසනායක ටීචර් ගේ පුතා උගත්තේ දහවැනි ශ්‍රේණියේ ම වෙනත් පන්තියක ය. විවේක කාලය සඳහා සීනුව හැඬ වූ විගසම, ඔහු තම මව සොයා එයි. අම්මා සිය පසුම්බියෙන් ගෙන යම් මුදලක් පුතුට දෙයි. පසුව කැන්ටිමට ගියහොත් දක්නට ලැබෙන්නේ ශත පනහේ බිත්තර පාං ගෙඩියක් රස කරමින් කමින්, ෂැරෝනා හෝ පැෂෝනා බෝතලයක් බොන දිසනායක සිසුවාය. මම සුපුරුදු පරිදි ශත තිස්පහේ මාළු පාං එකක් රැගෙන එය කා දමා වතුර පයිප්පයෙන් බඩ පුරවා ගනිමි.

මේ කතාව සඳහා දශක කිහිපයකට වඩා පැරණි මගේ මතකය අළුත් කරද්දී මට වැටහී ගියේ එදා ඇත්තටම බිත්තර පාං පිළිබඳව මගේ සිතේ තිබී ඇත්තේ මේ කාලයෙන් වසර තුන හතරකට පසු සුනිල් ආරියරත්න විසින් ලියන ලදුව නන්දා මාලිනී ගැයූ අර ”නෙලාගන්න බෑ, මගේ අත දිග නෑ, ඒත් අනේ තව මල් පිපියං! කෝටි ගණං තව මල් පිපියං!!” ගීතයෙන් ගම්‍ය වන ආකාරයේ සංකීර්ණ චින්තනයක් බවයි.

දුඹුරු, රතු, සුදු, කහ, කොළ වර්ණාවලියෙන් අලංකාර වූ බිත්තර පාං දැක සතුටු වූවද, ඒවා රස විඳීම සඳහා අවශ්‍ය අමතර මුදල් ප්‍රමාණය වැය කිරීමට මම කෙදිනක හෝ නොසිතුවෙමි.

”අනුං ඇවිත් මල් නෙළුවාවේ! එමල් දකින පින ලැබුණාවේ!!”

ඒ බිත්තර පාං වල රසය අදත් මම සිතෙන් පමණක් විඳින්නෙමි.

-රසික සූරියආරච්චි

පසු සටහන:
මීට වසර කිහිපයකට පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවති නන්දා මාලිනී ගේ ගීත පිළිබඳ සම්මන්ත්‍රණයක දී මහාචාර්ය සුචරිත ගම්ලත් පවසා සිටියේ, ”නෙලාගන්න බෑ” ගීතය, ධනපති පැළැන්තියට උඩ ගෙඩි දෙන, ධනවාදී ක්‍රමය සාධාරණීකරණය කරන, ප්‍රතිගාමී, සමාජ විරෝධී අදහසක් දෙන්නක් බවයි. ආර්ථික යේ ඵළ සැම දෙනාටම එක සේ අයත් විය යුතු බවටත්, සමහරුන් ට ඒ සඳහා අත දිග නැත්තේ සමාජ ක්‍රමයේ වැරදි නිසා බවත්, සත්‍යය එසේ වෙද්දී නිර්ධන පන්තියට ඉච්ඡා භංගත්වය ඇති කරවන මෙවැනි ගීත ලිවීම සමාජ විරෝධී වන බවටත් ඔහු තර්ක කළේය.

ඉහත සඳහන් නන්දා මාලිනී ගේ ගීතයේ සම්පුර්ණ පදමාලාව මෙන්න.
නෙලාගන්න බෑ, මගේ අත දිග නෑ,
අනේ ඒත් තව මල් පිපියං! කෝටි ගණං තව මල් පිපියං!
මට විතරද මල් පිපෙන්නෙ? මං විතරද මල් කඩන්නෙ?
අනුන් ඇවිත් මල් නෙළුවාවේ! මලේ සුවඳ මට දැනුණාවේ!
අතින් නෙළන මල් පිපෙන්නෙ, පෙර පිනටයි මට හිතෙන්නෙ
මුළු ලොවටම මල් පිපුණාවේ! එ මල් දකින ඇස් ලැබුණාවේ

පසු සටහන 2:
දශක එකහමාරකට පමණ කලින් ලියන ලද මෙම සටහන අද මෙලෙස පළ කරන්නට සිතුණේ මෙහි සඳහන් කෙරෙන දිසානායක ගුරුවරියගේ බිත්තර පාං කෑ පුතා, වසන්ත සේනානායක, මියගිය පුවත දැනගන්නට ලැබුණු නිසා ය. උසස් පෙළ අධ්‍යාපනයෙන් පසු වසන්ත කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍යවිද්‍යා උපාධිය ලබා මහරගම පිළිකා රෝහලේ පරිපාලක ලෙස කටයුතු කරමින් සිටියේය. එදා පාසල් කාලයෙන් පසු මට ඔහු ගැන දැන ගන්නට ලැබුණේ මීට වසර දෙකකට පමණ පෙර රෝහලේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔහු කළ අමාවතුර ප්‍රකාශයක් නිසා ය.

(image: https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFiIMoQjovP0dHKFAuvBjY4Jj6XxDnJaCtSV8HRNKzvPKHNdqxttVus9B_u4ZPPiKpyT4PM53860Y4nklJ3Vp1QdCE-RzM0jVdRZpheKT1MB0Bw6Yc5JTYBWcVyL0n4LnFaj2-hh_G6V8/s1600/sri+lanka+tangalle+beach+curry+and+rice+wattpalam+kottu+roti+21-10-2012+4-54-04+PM.JPG)