Sunday, 29 March 2026

පු. කු. ජයකොඩි ඇමතිකමෙන් අස් වී පසු පෙළට යා යුතුය : What a shame


අම්මාගේ උපන් දිනය වෙනුවෙන් 2018 සැප්තැම්බර් මාසයේ දී ලංකාවට ගිය වෙලේ මට වෙනත් වැදගත් අවස්ථාවකට ද සහභාගි වීමට හැකිවිය. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ කොළඹ ශාඛාව පිහිටුවීමේ සමාරම්භක රැස්වීමට සහ සාදයට යි. මෙම උත්සවය පැවැත්වුණේ කොල්ලුපිටියේ ගාලු පාරේ පිහිටි මහ කුරුඳු හෝටලයේ බව මගේ මතකයයි.

සංගමයේ ශාඛාව පිහිටුවා නිලධාරීන් පත් කරගෙන, ලරීෆ් මොහොමඩ්ගේ ආරාධිත දේශනය ද අවසාන වීමෙන් පසුව, පැමිණි සිටි ආදී විද්‍යාර්ථීන්ට අදහස් දැක්වීමේ අවස්ථාව උදාවිය.

කිහිප දෙනෙකු තම අදහස් දැක්වීමෙන් පසු මයික්‍රොෆෝනය ඉල්ලා ගත් මා පැවසූයේ අදහසේ ආසන්න පරිවර්තනයක් මතකයට අනුව මෙසේ ය.

"රටක සංවර්ධනය සඳහා විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවන්ගේ සේවය අත්‍යවශ්‍යයි. එසේ නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය වෙන ස්ථානයේ ද, එනම් පාර්ලිමේන්තුවේ ද ඉංජිනේරුවන් සිටිය යුතුයි. ඒ සඳහා, පූර්ණකාලීන දේශපාලනයට ඉංජිනේරුවන් ද එකතු විය යුතුයි.

පසුගිය දශක කිහිපයක කාලයේ දී වෘත්තීය ඉංජිනේරුවන් කිහිපදෙනෙකු ම පූර්ණ කාලීන දේශපාලනයට අවතීර්ණ වුණත්, සක්‍රීයව ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය සඳහා දායකත්වයක් ලබා දෙන්නට පුළුවන් වුණේ ඒ අතරින් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන්ට1 පමණයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ පූර්ණකාලීන දේශපාලනයේ යෙදෙන ඉංජිනේරුවන් තුන්දෙනෙකු2 ගැන මා දන්නවා. එයින් එක අයෙකු මේ සභාවේ සිටීමත් සතුටට කරුණක්. නමුත් ප්‍රායෝගිකව ඔවුන්ට මා අදහස් කරන ප්‍රතිපත්ති සම්පාදනයට ඍජුවම සහභාගි වීම සඳහා පාර්ලිමේන්තු යාමට ළඟක දී අවස්ථාවක් නැති බවයි පෙනෙන්නේ.

එනිසා මා ඉල්ලා සිටීමට කැමතියි, හැකියාවක්, උනන්දුවක් සහ ශක්‍යතාවක් ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිහිටයේ උපාධිධාරීන්ට පූර්ණකාලීන දේශපාලනයට එකතුවන ලෙස."

ඊට වසර හයකට පසු, 2024 දී, මට අසන්නට ලැබුණේ, මහ ඡන්දය සඳහා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වුණ පිරිස අතරේ සිටි අයගෙන් පේරාදෙණියේ ඉංජිනේරුවන් අඩුවශයෙන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින බවයි.

ඉන් එක් අයෙකු වෙන රවීන්ද්‍ර බණ්ඩාර හෙවත් රබා පිළිබඳව මම බ්ලොග් ලෝකය හරහා ඒ වන විට දැනගෙන සිටියෙමි. තව ටික දිනකින් ආරංචි වූයේ දෙවැන්නා, එනම් පුණ්‍ය කුමාර ජයකොඩි බලශක්ති ඇමති ලෙස පත්වීම ලබන බවයි.

අද වසර එකහමාරකට පමණ පසු සිදුවී ඇත්තේ, ඇමති තනතුරකට පත් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ එකම විද්‍යාර්ථියා වන පුණ්‍ය කුමාර ජයකොඩි ඔහු ඊට පෙර රජයේ රැකියාවක් කරන සමයේ සිදුවීමක් සම්බන්ධයෙන් උසාවියෙන් අධි චෝදනා ලැබ, නඩු විභාගය අවසාන වෙන තුරු ඇප ලබා සිටින බවයි.

ජනාධිපති අගමැති සහ ආණ්ඩුවේ අවශේෂ බලකඩදාසිකරුවන්වන විද්‍යා, කලා, ඉංජිනේරු, වාණිජ, කළමනාකරණ උපාධිධාරීන්ගේ තර්ක කෙසේ වෙතත්, ඉංජිනේරුවකු ලෙස මගේ තීරණය නම්, ඔය නඩුව පවතින කාලය තුළ බලශක්ති ඇමති පුණ්‍ය කුමාර ජයකොඩි තනතුරෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ පසු පෙළ ආසනයක අසුන් ගත යුතු බවයි.

නඩුවෙන් නිදහස් වුවහොත් ඔහුට යළි ඇමතියෙකු ලෙස පත්විය හැක.

වරදකරු වී දඩයක් හෝ ලැබුණොත්, ජනතාව දුන් ඡන්ද කෙසේ වෙතත්, පු. කු. ජයකොඩි ගෙදර ම යා යුතුය.

- රසික සූරියආරච්චි

1. මෝහන් ලාල් ග්‍රේරෝ, චම්පක රණවක, අජිත් මාන්නප්පෙරුම

2. වික්‍රමබාහු කරුණාරත්න, ලයනල් බෝපගේ, ප්‍රේමකුමාර් ගුණරත්නම්

(image: newsfirst.lk)

Friday, 27 March 2026

තායි චිකන් ග්‍රීන් කරි දිවා ආහාරය - This is what I had for lunch last Thursday


බ්‍රහස්පතින්දා දිනවල දිවා කාලයෙන් සාමාන්‍යයෙන් මගේ පැය හත අටක් ගෙවෙන්නේ මෝටර් රථයේ සහ නිවසෙන් කිලෝමීටර් තිහක් පමණ දුරින් පිහිටා තිබෙන වින්ඩ්සර් නැමැති කුඩා නගරයේ ය. උදෑසන දහයේ පමණ සිට හවස පහ පමණ දක්වා එහි නැවතී සිට මගේ වැඩකටයුතු කරමින් කල්ගෙවන නිසා දිවා ආහාරය ද එහි දී ම ලබා ගැනීමට මට සිදුවේ.

මේ කුඩා නගරයේ ආහාර ගැනීම පිණිස මට ගැලපෙන ස්ථාන කීපයක්ම ඇත. ඉන් දෙකක්ම තායි කෑම විකුණන ආපනශාලා වීම සතුටට කරුණකි.

ආපනශාලාවලින් කෑම ගන්නෝ කොටස් දෙකකි.

ඥාති මිත්‍රාදීන් සමග කාලය ගත කර ආහාර ගැනීම සඳහා බොහෝ දෙනා ආපනශාලාවලට එන්නේ රාත්‍රියේ දී ය.

විශේෂයෙන්ම බොහෝ දෙනකු දහවල් කාලයේ එහි පැමිණෙන්නේ තම රාජකාරි කරන අතර ඉතා කෙටි කාලයක දී ආහාර ගැනීමටයි. මා ඇතුළු ඒ පිරිස සඳහා ආපන ශාලාවල වෙන ම සැකසූ lunch menu එකක් ඇත.

තායිලන්තයේ ඇති විවිධ කෑම අතර ග්‍රීන් කරි සහ රෙඩ් කරි යනුවෙන් වර්ග දෙකක් ඇත. එහි වාසයට ගිය කාලයේ මා ද මුලින් හිතුවේ රෙඩ් කරි යනු එයින් සැර එක ය ග්‍රීන් කරි යනු සැර නැති එකය කියා ය. නමුත් ඇත්තටම පාට කෙසේ වෙතත් කටට සැරට ඇත්තේ ග්‍රීන් කරියයි.

මා ගිය වී-තායි නම් මේ ආපනශාලාවේ දිවා ආහාරය සඳහා ඇණවුම් කර ඉතා ඉක්මනින් සාදා ගැනීමට කෑම වර්ග දුසිම් දෙකක් පමණ ඇත. එසේම ඒ හැම කෑම වර්ගයටම ප්‍රධාන මූලද්‍රව්‍යය ලෙස මස් වර්ග තුන (කුකුළු, ගව, ඌරු) හෝ ටෝෆු හෝ එළවළු හෝ ඉස්සන් හෝ සීෆුඩ් හෝ ඇණවුම් කළ හැක.

මා ඇණවුම් කර සාදවා ගත්තේ චිකන් ග්‍රීන් කරියයි. ඒ සමග බත් ද ලැබේ.

මේ දිවා කාලයේ විශේෂ ලයිස්තුවේ කෑමක් සඳහා ගාස්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් දහතුනක් පමණි. යුද්ධය නිසා මේ දිනවල සිදුවෙන බඩු මිල ගණන් යම් නිසා අප්‍රේල් හත්වැනි දා සිට කෑම මිල සංශෝධනයක් වෙන බවට ආපනශාලාවේ දැන්වීමක් අලවා තිබුණි.

මගේ ඊයේ දිවා ආහාරය වූ මේ චිකන් ග්‍රීන් කරිය සහ බත් පත දකින යමකුට "අයියෝ ඔය ටික කාලා ඇති ද?" කියා හිතුණොත් මට කිවහැක්කේ මට අනුභව කිරීමට හැකි වුණේ මෙයින් අඩකට ස්වල්පයක් වැඩියෙන් පමණක් බවයි.

- රසික සූරියආරච්චි (image: Captured by Rasika)

Monday, 9 March 2026

මයිකල් ජැක්සන්ලා සහ මයික් ටයිසන්ලා - Why do some people never want to put down mics?


අද උදේ මං පොඩි වීඩියෝ කෑල්ලක් දැක්කා. ඒක පසුගිය දා පැවැත්වුණු, විශ්‍රාමික සිංහල භාෂාව පිළිබඳ මහාචාර්ය ජී.බී දිසානායක පිළිබඳව නුවන් නයනජිත් කුමාර විසින් ලියන ලද පොත එළිදැක්වීමේ උත්සවයේ දී, ජන සන්නිවේදනය පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ද මැල් කරන ලද කතාව ඇතුලත් වීඩියෝවයි.

පොත එළිදැක්වීමේ උත්සවයේ න්‍යාය පත්‍රයට අනුව සුනන්ද මහේන්ට නියමිතව තියෙන්න ඇත්තේ විනාඩි දහයක කතාවක් විය යුතුයි. කෙසේ හෝ ඔහුගේ කතාවේ විනාඩි එකොළහක් පමණ ගතවෙන විට සභාව මෙහෙයවූ පූරකයා ලෙක්ටර්න් එක ළඟට පැමිණ යමක් කියා සුනන්ද මහේන්ද්ට කොළ කැබැල්ලක් දුන්නා.

ඒ කොළ කැබැල්ලේ ලියා තිබුණේ කාලය අවසානයි දැන් කතාව අවසන් කරන්න කියායි. ඒ බව වීඩියෝ ක්ලිප් එක නැරඹූ මම දැනගත්තේ කොළ කැබැල්ලේ තිබුණු දේ සුනන්ද හැමෝටම ඇහෙන්න "ජන සන්නිවේදනය" කළ නිසායි.

මෙය දැක මට සිහි වුණේ මීට අවුරුදු හය හතකට කලින් සිඩ්නි නගරයේදී පැවැත්වුණු පොත් හෙළි දැක්වීමේ උත්සවයක්.

ඒ සභාවේ පූරක ලෙස කටයුතු කළේ මමයි.

එදා න්‍යාය පත්‍රයට ඇතුළත් තිබුණු මේ මා කියන්නට යන පුද්ගලයාට වෙන්කර තිබුණේ විනාඩි දහයක කාලයක්. ඒ කතාව, පොදුවේ සාහිත්‍යය පිළිබඳව හෝ මේ පොතේ අන්තර්ගතය පිළිබඳව හෝ කරන්නට නියමිත වූ උත්සවයේ ප්‍රධාන ආරාධිත කතාවක් නොවෙයි. ඉන් අන්තුරුව තිබුණු අතුරු කතාවක්.

සුපුරුදු පරිදි ඒ උත්සවයේ වැදගත්කම සහ එයට තමන්ට සහභාගීවීමෙන් ලැබෙන ප්‍රීතිය ගැන සඳහන් කර ස්තුති කරමින් මොහු පටන් ගත් කතාව විනාඩි දහය පන්නවා ඇදී ගියා. ඊළඟට මෙන්න බොලේ මේ යකා කතා කරන්න පටන් ගත්තා නේ ලංකාවේ සිංහල සාහිත්‍යය සහ ඉන්දියාවේ පුරාතන සාහිත්‍යය අතර ඇති සබඳකම් ගැන.

මං උත්සව ශාලාවේ පිටුපසට ගොස් සභා තොමෝට නොපෙනෙන ආකාරයට අතින් පයින් සංඥා කරමින් වේලාව අවසන් බව ඔහුට හැඟෙව්වා.

ඔහු මගේ ඉඟ බිඟි දැක්කාදැයි හරියට කියන්නට බැරි, ඔහු ඒවා දුටු බවක් හැඟවූයේ නැති නිසායි. සමහරවිට දකින්න ඇති, දැකලා නොසලකා ඉන්න ඇති.

නොසලකා හිටියාය කියන්නේ නිකන් නෙවේ. මෙන්න මේ මනුස්සයා ඊළඟට "නල දමයන්ති" කතාව මුල සිට අගට කියමින් සිදුවීම් විස්තර කරන්න පටන් ගත්තා කියපංකෝ!

මගේ රතු ඉර කෙසේ වෙතත්, උත්සවය න්‍යාය පත්‍රයේ රතු ඉර පැන්නා. මක්නිසා ද යත් මේ වන විට මොහුගේ කතාවට විනාඩි විස්සකට වඩා කාලය ගත වී අවසානයි මගේ මතකයට අනුව.

ඉතින් මම කළේ ඉදිරියට ගොස් කාලය ඉක්මවා ගොස් ඇති නිසා කතාව වහාම නතර කරන ලෙස ඔහුට දැනුම් දීමයි.

පසුව මට දැනගන්නට ලැබුණේ, මේ පුද්ගලයා සභාවේ කතා කිරීමට සංවිධායකයන්ගෙන් ආරාධනාවක් ලැබූ අයකු නොව, ඔහුම දුරකථන ඇමතුමක් දී, තමන් උත්සවයට සහභාගී වන බව පවසා, තමන්ට වචන කිහිපයක් කතා කළ හැකිදැයි විමසා, ඒ මගින් න්‍යාය පත්‍රයට රිංගා ගත් අයකු බව.

ඔහුට එලෙස ඉඩ ලබා දෙන්නට සංවිධායකයින් තීරණය කරන්නට ඇත්තේ ඔහු ඕස්ට්‍රේලියාවේ වාසය කරන විදේශිකයෙකු වුණත්, යම්කිසි නිල තනතුරක් දරන අයෙකු වීම විය යුතුයි.

කූඩාරමට බලෙන් ඔලුව දා ගත් ඔටුවා, එදා තව පොඩ්ඩෙන් කූඩාරම ම කඩා බිඳ දානවා.

මයික් හොය හොයා යන, මයික් එකක් අතට ලැබුණාම ලේසියෙන් අතහරින්නේ නැති මේ වගේ අයට කියන්නේ මයිකල් ජැක්සන්ලා කියලා ද, මයික් ටයිසන්ලා කියලා ද?

- රසික සූරියආරච්චි

ප/ලි:
මෙන්න පෙර කී සුනන්ද මහේන්ද්‍ර මැල් කතාවේ වීඩියෝව:
https://youtu.be/008iuAbgycw

(image: Generated using Meta AI)

Sunday, 8 March 2026

හුණ්ඩුව ගැන තවත් කතා - Nostalgic memories about the quarter measure

හුණ්ඩුව රත් වී තිබෙන අවස්ථාවේ එක පෝස්ට් එකක් පුච්චා ගැනීමට හැකිවිය. පෙරේදා වොයිස් ටයිප් කිරීම ඇරැඹූ මේ දෙවැනි පෝස්ටුව එදිනම අවසන් කර ගැනීමට නොහැකි වූ ආතර මේ වන විට හුණ්ඩුවේ රස්නය නිවී යමින් පවතින නමුත් ඕ.පු. කියා පළකරමි.

මෙය හුදෙක්ම අතීතකාමී අභ්‍යාසයක් බව සලකන්න.

මා කුඩා කාලයේ මෙකී හුණ්ඩු භාවිතා වුණු බව මගේ මතකයේ හොඳින් රැඳී ඇත.

අප එකල රාත්‍රියට නිවස ආලෝකමත් කිරීම සඳහා කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු සහ පෙට්‍රෝල් මැක්ස් ලාම්පුව දැල්වීමට අවශ්‍ය භූමිතෙල් මිලට ගත්තේ අප විසූ තාත්තාගේ මහ ගෙදර සිට මීටර් තුන් හාරසීයක දුරින් පිහිටි අපේ ආච්චි අනාගේ කඩේ යනුවෙන් හැඳින්වූ සාමාන්‍යයෙන් ගම්බද නිවසකට අවශ්‍ය සියලුම දේ පාහේ විකිණීමට තිබුණු සිල්ලර කඩේට ය.

අපේ තාත්තා ගමේ තිබුණු කිසිදු සිල්ලර කඩේකට මා දන්නා කිසිදු දිනයක පය තැබූ අයෙකු නොවේ. සීයා නම් නිවසෙන් එලියට හෝ ගේ ඉතාම කලාතුරකිනි. අප මහ ගෙදර පදිංචියට ගිය පසු මා ඉතාම කුඩා කාලයේ එදිනෙදා සහ හදිසි අවශ්‍යතා සඳහා ගමේ කඩේ යාමේ රාජකාරිය කළේ ආච්චි ය. ප්‍රධාන සිල්ලර බඩු රැකියාවට ගොස් පැමිණෙන විට තාත්තා ගනේමුල්ල නගරයෙන් ගෙනාවේය.

මා හිතන විදිහට වයස අවුරුදු හතක් අටක් වූ පසු අනාලාගේ කඩේට යාමේ රාජකාරිය මට ද පැවරුණි.

මා භූමිතෙල් මිල දී ගැනීම සඳහා කඩේට ගෙන ගියේ තෙල් ගැලුමක එනම් බෝතල් හයක ධාරිතාව ඇති එකකි. එසේ වුවද භූමතෙල් මැනීම සඳහා තිබුණු එකම ක්‍රමය වූයේ හුණ්ඩුවකින් මැනීමයි.

හුණ්ඩුවක් යනු මෙහිදී බෝතලයකින් කාලකි. බෝතලයක් යනු අද මිම්මෙන් මිලි ලීටර් 750 ක් නිසා මේ හුණ්ඩුවක් යනු ආසන්න වශයෙන් මිලි ලීටර් 185 ක් පමණ වේ.

ලෝහ වලින් සාදා තිබුණු ඒ සිලින්ඩරාකාර හුණ්ඩුවට පිටතින් දිගැති යකඩ කූරක් සවිකර තිබුණු අතර භූමිතල් පුරවා තිබුණු විශාල බැරලයෙන් වරකට හුණ්ඩුව බැගින් ගෙන මා ගෙනයන කෑන් එකට පුනීලයක් හරහා දැමිය යුතු විය.

මා කඩ හිමි වයෝවෘද්ධ කාන්තාවගෙන් (මේ ඔහු එවකට මිය පරලොව ගොස් සිටි නිසා මා කිසි දිනක දැක නැති, අපේ ආච්චි විසින් අනා ලෙස හැඳින්වූ පුද්ගලයාගේ බිරිඳ ය) ඉල්ලුවේ භූමිතෙල් බෝතල් හයක් නම් එය හුණ්ඩු 24 කි.

මීට අමතරව නිවසේ භාවිතා වූ තවත් හුණ්ඩුවක් විය. එය භාවිතා කෙරුණේ සහල් සහ පිටි වැනි දේ මැනීම සඳහා ය.

මේ දිනවල සිල්ලර කඩවල සහල් මැනීම සඳහා මිම්ම වූයේ සේරුවයි. ඒ සඳහා භාවිතා කෙරුණේ තරමක් විශාල සිලින්ඩරාකාර යෙන් කිරිපිටි ටින් එකක් වැනි භාජනයකි. සිල්ලර වෙළඳාම සඳහා භාවිතා කෙරෙන මේ සේරුවේ මිනුම් උපකරණය නිලධාරීන් විසින් අනුමත කළ එකක් විය යුතුවිය.

නිවසේ බත් ඉවීමට මැනීම සඳහා භාවිත කළේ හුණ්ඩුවකි. ඒ හුණ්ඩුවක මිම්ම යනු සේරුවකින් කාලකි.

මගේ මතකයට අනුව සේරුවක් යනු කිලෝ එකකි. එනිසා හුණ්ඩුවක් යනු ග්‍රෑම් 250 කි.

- රසික සූරියආරච්චි

මුල් සටහන: ලඞ්කාණ්ඩුව නම් හුණ්ඩුව - The quarter measure
https://rasikalogy.blogspot.com/2026/03/quarter-measure.html
(image: Google Gemini : Nano Banana)

Saturday, 7 March 2026

ලඞ්කාණ්ඩුව නම් හුණ්ඩුව - The quarter measure


ඉස්සර කාලයේ පැවති යූඇම්පී, සිරිලංකා, හත් හවුල්, සමගි පෙරමුණු, පොදු පෙරමුණු, සන්ධාන යනාදී මෙකී නොකී ආණ්ඩුවලට අපි කවුරුත් සරදමට කිව්වේ පාණ්ඩුව කියායි. දැන් ඊට අමතරව ඒ ආණ්ඩු හැඳින්වීමට හුණ්ඩුව ලෙස තවත් සරදම් නමක් භාවිතය ඇරඹී ඇති බව පෙනේ. මේ යෙදුම සබයට ගෙන ආවේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි.

මෙසේ කීමට හේතුව Rhyme වීම හෙවත් සමානව ශබ්ද වීම හෙවත් එළිසමය බව අමුතුවෙන් කිව යුතු නැත.

සමානව ශබ්දවීම ගැන සැලකුවහොත් ආණ්ඩුව සඳහා වඩා සුදුසු සරදම්පදය වන්නේ පාණ්ඩුවයි. එය සඳහා හුණ්ඩුව භාවිතා කිරීමට නම් එය ශබ්ද කිරීමේදී හූණ්ඩුව ලෙස ඇද කිව යුතුය.

හුණ්ඩුව හා සමාන ලෙස ශබ්ද වෙන තවත් වචන කිහිපයක් මෙසේය.

තොණ්ඩුව
ගුණ්ඩුව
රණ්ඩුව
පංගුව
වංගුව

ආණ්ඩුවලට සරදම් කිරීම සඳහා ඉහත අච්චුවේ සහිත වචන භාවිතා කරන්නේ නම් ඒවායේ මුල් ම අකුර ඇද ශබ්ද කිරීමට මතක තබා ගන්න.

- රසික සූරියආරච්චි

(image: Generated using Google Gemini-Nano Banana)

Friday, 6 March 2026

කිරි මතක - Nespray and Lakspray

මගේ මුල්ම මතකය ඇති කාලේ මා මෙන්ම මගේ බාල සොයුරන් දෙදෙනා ද බිව්වේ නෙස්ප්‍රේ full cream milk නමැති කිරිපිටි වර්ගයයි.

මේවා එකල වෙළඳපොලේ මිලදී ගන්නට තිබුණේද යන්න මම නොදනිමි. නමුත් මා දන්නා කාරණය නම් අපේ තාත්තා මේවා මිළ දී ගත්තේ ඔහු එවකට සේවය කළ බොල්ලත මහා විද්‍යාලය නම් පාසල අසල හන්දියේ පිහිටි කඩෙන් බව ය.

එකල, අදාල හිමිකම ඇති කූපන් පොත්වලට පමණක් මිලදී ගැනීමට හැකියාව තිබුණු මෙම කිරිපිටි වර්ගය කූපන් හිමි යා විසින් සුළු මුදලකට මුදලාලිට විකුණන ලදුව කඩේ මුදලාලිගේ ලාභය ද ගෙවා මගේ පියා මිලට ගත් බව සිතමි.

ටික කලකින්ම ලස්ස්ප්‍රේ නැමැති කිරිපිටි වර්ගය වෙළඳ පොළට පැමිණි බව මගේ මතකයයි. ප්‍රාථමික අවධියක තිබුණු මේ කිරිපිටි තේ හා මිශ්‍ර කරනවිට විශාල ලෙස කැටි ගැසේ. එය වැළැක්වීමට තිබුණු ක්‍රමය වූයේ රිපිටි සහ ශ්‍රීනි මුලින් මිශ්‍ර කර ුණා ක්‍රමක්‍රමයෙන් තේ වතුර බිඳෙන් බිඳ එකතු කරමින්, වේගයෙන් කළතමින් තේ කෝප්පය සාදා ගැනීමයි.

මේ ක්‍රියාවලියේ මුල් ම අවධියේදී ිශ්‍ර කළ සීනි සහ කිරිපිටි ස්වල්පයක් හැන්දෙන් කටට ගෙන කෑමට සිතීම පුදුමයක් නොවේ.

බුදු අම්මෝ එවැනි රසක්!

ඉදින්, ටික කලකින්ම මගේ ප්‍රාර්ථනය වූයේ, කෙදිනක හෝ ලොකු මහත් වී රැකියාව කරන කාලය එළඹුණු පසු මගේ මුල්ම වැටුපෙන් ලක්ස්ප්‍රේ පැකට් එකක් සහ සීනි රාත්තලක් මිළ දී ගෙන එකට මිශ්‍ර කර කෑම යි.

එකල මා සිටියේ හත්වෙනි ශ්‍රේණියේ විය යුතුය.

අධ්‍යාපන වැට කඩුලු අතික්‍රමණය කර, සිව් වසරක විශ්ව විද්‍යාල ජීවිතය ද අවසානයේ මා රැකියාවකට ගියේ ඊට අවුරුදු එකොළහකට පසුව ය.

නමුත් මේ දක්වා මගේ කුඩා කාලයේ ඒ ලක්ස්ප්‍රේ සහ සීනි බලාපොරොත්තුව ඉටුකර ගැනීමට මට සිතුණේ නැත.

අද එය සිහිවුණ ද, මේ වනවිට මගේ සීනි කෝටා එක අවසන් වී ඇත.

- රසික සූරියආරච්චි

(image: ෆේස්බුක් එකේ පළ වී තිබුණු රූපයකි.)