Thursday 29 December 2016

මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද? - Nice sheep's clothes


ලතා වල්පොල ගේ ප්‍රසිද්ධ ගීයක් රැප් කරන ගායකයෙකු ගේ වීඩියෝවක් දැන් දින කිහිපයකට පෙර ඇරඹී තවමත් ගලා යන මගේ මේ නිවාඩු සමයේ දී මට නරඹන්නට ඉඩ ලැබුණි.

එය නරඹන අතරේ මට නම් සිතුණේ මෙලෙස ය.

මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද?

එසේ සිතෙන්නට එකම හේතුව මේ ගායකයා සින්දුවේ රැප් කොටසේ දී කියන කතා මිස අන් කිසිවක් නොවේ. රට, ජාතිය වැනි දේ පිළිබඳව ලොකු ටෝක්ස් දෙන්නන් ගේ යටි අරමුණු පිළිබඳ ආනුභූතික සාක්‍ෂි එමට ය.

ඔබට වෙනත් අයුරකින් සිතෙන්නට ඉඩ ඇත.

සමහර විට මේ ගායකයා ගේ එවැනි දුෂ්ට චේතනා නැතිවා වෙන්නට ඇත.

කෙසේ වෙතත් නරඹා කැමැත්තක් සිතා ගන්න.

මෙන්න වීඩියෝවට පාර.



උදාවෙන 2017 වසරේ ඔබට ජයෙන් ජයවේවා යැයි පතමි!

-රසිකොලොජිස්ට්

(image: http://www.businessinsider.com/science-reveals-the-most-confusing-emoji-2016-4/?r=AU&IR=T)

Sunday 25 December 2016

නිවාඩු සමය සඳහා හස්බන්ඩලාට සහ වයිෆරේලාට න්‍යාය පත්‍රයක් - I watched four good movies in two days


මගේ වසරාවසාන නිවාඩුව සිකුරාදා දවස් එකොළහයි පාළහට ඇරඹුණි.

එදින රාජ්ජසේවකයින් වූ අපට වරුවක සහන නිවාඩුවක් තිබේ. ඒ සඳහා උදේ වරුව වැඩ කළ යුතු වේ. මේ දිනවල මට එතරම් වැඩ රාජකාරි නොමැති නිසා කලින් දිනයක මෙන් නොව නිවාඩු පාඩුවක් නැතුව වරුවක සහනය ලබා ගන්නට මට ඉඩ ලැබුණි.

උදෑසන හතයි හතළිස් පහට ඔෆීසියට ගිය මට එකොළහයි පාළහට එතැනින් පිටත් වෙන්නට ලැබුණේ එනිසා ය.

දැන් ඉතිං ජනවාරි නමවෙනිදා වෙනතුරු ඔෆීසි යාමක් නැත.

නිවාඩු සමය ගත කරන හස්බන්ඩලාට සහ වයිෆරේලාට පවුලේ සාමය රැකගෙන නිවාඩුව ගත කිරීම සඳහා පහත න්‍යාය පත්‍රය යෝජනා කරමි.

හස්බන්ඩලා ගේ න්‍යාය පත්‍රය
  • ඔබේ න්‍යාය පත්‍රය අමතක කරන්න
  • වයිෆරේගේ න්‍යාය පත්‍රය අනුගමනය කරන්න

වයිෆරේලා ගේ න්‍යාය පත්‍රය
  • හස්බන්ඩා නිවාඩු සමය ගත කළ යුතු ආකාරය ගැන න්‍යාය පත්‍රයක් සාදන්න
  • ඒ අනුව කටයුතු කෙරෙන්නට වග බලා ගන්න!

කෙසේ වෙතත්, ගෙවුණු දින දෙකක කාලය තුළ සතුටු විය හැකි දේ කිහිපයක් ම කළෙමි. ඉන් එකක් මුල් වරට යම් ආහාරය වර්ගයක් පිළියෙල කිරීමයි. එය තාමත් අවසන් නැති නිසා, ඊට වඩා වැදගත් දෙයක් ගැන අද ලියමි.

නිවාඩු සමය සැමරීමට චිත්‍රපට කිහිපයක් ම නැරඹුවෙමි. සිනමා ශාලාවලට ගොස් නොවේ. නිවසේ සිට අන්තර්ජාලය හරහා ටෙලිවිෂනය ඔස්සේ ය. මේ චිත්තරපට සියල්ල "නෙට්ෆ්ලික්ස්" නමැති සේවය ඔස්සේ අපට අවශ්‍ය පරිදි ලබා ගත හැකි ඒවා ය.

කෙටි විස්තරයක් ද සහිතව ඒ ලයිස්තුව මෙන්න. මෙයින් හතරක් ම නැරඹුවේ පසුගිය දින දෙක තුළ වීම වාර්තාවකි.

1. ලයිෆ් ඊස් බියුටිෆුල් (*****)
දෙවෙනි ලෝක යුද සමයේ යුදෙව් ඉතාලියානුවෙකු සහ ඔහු ගේ බිරිඳ සහ කුඩා දරුවා පිළිබඳ සංවේදජනක කතාවක් ඇතුළත් ය.

2. ඉන්වෙස්ටිගේෂන් (****)
තමිල්නාඩු පොලිසියේ දුෂණ හෙළි කරන සත්‍ය කතාවක් මත පදනම් වූ චිත්‍රපටයකි.

3. මසාන් (***)
ඉන්දියාවේ වාරාණසී ප්‍රදේශයේ තරුණ පෙම්වතුන් මුහුණ දෙන ප්‍රශ්න සාකච්ඡා කෙරෙන චිත්‍රපටයකි.

4. ඩෙල්ලි ඉන් එ ඩේ (****)
දිල්ලි නගරයේ ධනවත් පවුලක් සමග එක් රැයක් ගත කරන්නට එන ඉංග්ලිෂ් තරුණයෙකු වටා ගෙවුණු කතාවකි.

5. ලුක් හූ ඉස් බැක් (*****)
හිට්ලර් වර්තමානයට එයි. මුලින් විකාරරූපී කතාවක් යැයි සිතුණ ද, ඇත්තටම සීරියස් කතාවකි.

6. ධනක් (****)
තම අන්ධ බාල සොහොයුරාට යළිත් පෙනීම ලබා දීම සඳහා සිතීමට අපහසු තරම් දුෂ්කර ගමනක යෙදෙන කුඩා දැරියක ගේ කතාව

7. වන් තවුසන්ඩ් රුපීස් (*****)
මේ චිත්‍රපට සියල්ල ම අතරින් ඉතාමත් සිත ඇදගත් නිර්මාණයයි. දුප්පත් මහලු ගැමි කාන්තාවක ගේ ජිවිතය හදිසියේ ම වෙනස් වෙන අයුරු.

හැපි හොලිඩේස් ගයිස්

ආතල්බෝවේවා!

-රසිකොලොජිස්ට්

Thursday 22 December 2016

නොබී ඉන්න අවශ්‍ය නම් ඒ සඳහා උදව් කර ගත හැකි විවිධ ප්‍රායෝගික ක්‍රම - Year end survival guide for men


පොඩි අඩියක් ගහමු ද?, පොඩ්ඩක් අනුමත වෙමු ද?, පොඩ්ඩක් සළු වෙමු ද? මොනව හරි බොමු ද, පොඩි ඩ්‍රින්ක් එකක් දාමු ද? වැනි ප්‍රශ්නයක් වෙනකෙකු විසින් තමන්ගෙන් අසනු ලැබී නැති හෝ තමන් විසින් වෙනත් අයෙකුගෙන් අසා නොමැති හෝ අය සිටී ද?

විශේෂයෙන් ම හෙට හවස සිට ඇරඹෙන නත්තල් සමයේ දී මේ ප්‍රශ්නය ලක්‍ෂ සංඛ්‍යාත වාරයක් ඇසෙනු ඇත!

මද පමණින් බීම ගැන සැවොම පවසති. එය කතාවට ලෙහෙසි නමුත් ක්‍රියාවෙන් අසීරු දෙයක් බව දන්නෝ දනිති.

මත්පැන් පානය පිළිබඳව මා අසා ඇති, ඒ සමගම අත්දැකීමෙන් ම නිවැරදි ය කියා දන්නා, එක් කියමනක් මෙසේ ය.
එ මෑන් ටේක්ස් එ ඩ්‍රින්ක්
ද ඩ්‍රින්ක් ටේක්ස් එ ඩ්‍රින්ක්
ද ඩ්‍රින්ක් ටේක්ස් ද මෑන්
එහි සිංහල ඡායානුවාදය මෙලෙසින් දැක්විය හැකි ය.
මිනිහෙකු අරක්කු ටිකක් බොයි. ඒ අරක්කු ටික තව අරක්කු ටිකක් බොයි. අවසානයේ අරක්කු විසින් මිනිසාව අත්පත්කරගනු ලබයි.
ඒ සිංහල ඡායානුවාදයේ එන අරක්කු යන්න වෙනුවට ඕනෑම රහ-මෙර පානයක නමක් යොදා ගත හැක.

එක් දිනක් හෝ අඩියක් ගැසූ, අනුමත වූ, සළු වූ, කර්මාන්තයක් කළ ඕනෑම අයෙකු ඉහත කියමන කෙතරම් සත්‍යයට ළඟදැයි යන්නට සාක්‍ෂි දරනු ඇත!

එක අඩියකින් දෙකකින් පමණක් හෙවත් මද පමණින් නැවතීමට අපට අනුගමනය කළ හැකි දේ මොනවා ද?

මගේ අත්දැකීම අනුව සාර්ථක වූ ක්‍රම දහයක් මෙසේ ය.
  1. තමන් ගේ ප්‍රියතම වර්ගය නොමැති නම් නොබී සිටීම
  2. අපේ බීම අප ම ගෙන යා යුතු (Bring Your Own - BYO) ස්ථානවලට එසේ බීම රැගෙන නොයාම
  3. අනුන් ගේ බෝතල්වලින් නොබීම
  4. තමන් ගේ බෝතලයෙන් / කොටසෙන් හැකි තරම් අනුන්ට පෙවීම
  5. එක වඩියකට නමා ගන්නා ප්‍රමාණය සෙන්ටිමීටර් පරිමාණයෙන් නිගමනය කර, එය පිළිපැදීම
  6. මුලින් මත්පැන් දමා, පසුව අයිස් දැමීම
  7. වතුර හෝ කෝක් දමනවා නම් කට ළඟට පිරවීම
  8. උගුඩුවෙකු සේ ගුඩු ගුඩුස් ගා නොබී, පොරක් සේ තොල ගාමින් බීම
  9. තනිවම නොබීම, හැම විටම මිතුරෙකු සිටින විට පමණක් සෙට් වීම
  10. බිරිඳගෙන් අවසර ඇති නම් පමණක් බීම
අතීතයේ දී ඉතා ප්‍රතිඵල සහිත වූවද, ඉහත මා සඳහන් කර ඇති දහ වැදෑරුම් ක්‍රම අතුරෙන් කිහිපයක් ම දැන් මට වැඩ කරන්නේ නැත!

එනිසා, ඔබ අත්හදා බලා ප්‍රත්‍යක්‍ෂ කරගෙන ඇති වෙනත් ක්‍රම ඇති නම් කරුණාකර දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

-රසිකොලොජිස්ට්

(image: http://www.boreme.com/posting.php?id=35511)

Monday 19 December 2016

කෙමිස්ට්‍රි ටීචර්ලා Chemistry is still a mystery


ඉංග්ලිෂ් වචනයේ සැබෑ තේරුම කුමක් වුව ද, ලංකාවේ දී අප චීටර් යනුවෙන් අදහස් කෙරෙන්නේ කාන්තා ගුරුවරුන් ය.

උස අඩු අයට කම්කරු රැකියා ද, උස වැඩි අයට සෙකියුරිටි රැකියා ද ලැබෙද්දී, කුමක් හෝ එකක් ලොකු හෝ පොඩි නිසා "ටීචිං" සඳහා වරම් ලබා, "ටීචිං" ගොස්, "ටීචිං" කරන පිරිමි ගුරුවරයෙකුට "ටීචර්" කියා ඇමතීම කිසිසේත් ම නොකළ යුතු බව එදා සිට ම අපි දැන සිටියෙමු. ඒ වැදගත් කාරණය හිටපු ගුරුවරයෙකු වූ W3Lanka හි අජිත් පැරකුම් ජයසිංහ ද පසුගිය දිනෙක පවසා තිබුණි.

ටීචිං කරන බොහෝ දෙනා කාන්තාවන් බව මගේ අත්දැකීමයි. වසර දහතුනක පාසල් කාලයේ දී අපට පිරිමි ටීචර්ලා සිටියේ ඉතා ම සුළු ප්‍රමාණයකි. ඒ අය අතරින්, මට කොස්සින්න ශ්‍රී සීලානන්ද ප්‍රාථමික පාසලේ දී අපට ඉංග්ලිෂ් ඉගැන්වූ ගුරුවරුන් දෙදෙනෙකු ගැන පෙර දිනයක පළ කළ ලිපියක සඳහන් කළෙමි.

පසුගිය දිනවල, රසායන විද්‍යාව හෙවත් කෙමිස්ට්‍රි ගුරුවරුන් පිළිබඳව පළ වූ, රුවන් ජයතුංග ගේ ලිපිය ද, මෞර්ය රාජ් ගේ ලිපිය ද මා රසායන විද්‍යාව ඉගෙනගත් කාලය තුළ අපට ඒ විෂයය ඉගැන්වූ ගුරුවරුන් පිළිබඳව මතකය ඇවිස්සුණි.

මේ සටහන ඒ මතකය වමාරා කෑමකි.

හයේ පන්තියේ සිට අපේ විෂයය මාලාවට අයත් වූ විද්‍යාව විෂය සඳහා රසායන විද්‍යා සරල මූලධර්ම සමහරක් මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ දී ඉගෙන ගන්නට ඇත. රසායන විද්‍යාවට අමතරව භෞතික විද්‍යාව, උද්භිද විද්‍යාව මෙන්ම සත්ව විද්‍යාවේ ද සංකලනයක් වූ ඒ විද්‍යාව විෂය මා ප්‍රිය කළ එකක් නොවුණු අතර ජාතික පොදු සහතික පත්‍ර විභාගයේ දී මට ඒ සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් නොලැබුණි.

මට පළමුවරට රසායන විද්‍යාව වෙනම ම විෂයයක් ලෙස ඉගෙන ගන්නට ඉඩ ලැබුණේ සමත්ව කොළඹ ආනන්ද විද්‍යාලයට ගිය පසුවයි.

ආනන්ද විද්‍යාලයේ දී අපේ මුල්ම රසායන විද්‍යා ගුරුවරයා වූයේ තිරිමුතුගොඩ වැනි නමක් තිබූ අයෙකි. ඔහු ඉගැන්වූ මෙලෝ හසරක් මගේ මතකයේ නැත. මා මෙන්ම, අපේ පන්තියේ සහෝදර සිසුන් ගේ ද හොඳම විනෝදාංශය වූයේ රසායන විද්‍යාව පාඩම අසා සිටිනවාට වඩා ගුරුවරයා විනාඩියකට ඈනුම් කීයක් යවනවාද කියා ගණං කිරීමයි. (මේ පිළිබඳව විස්තරයක් මගේ සිව් වසරක් මරදානේ පොතේ සඳහන් ය).

දහසක් බලාපොරොත්තු සහිතව, ගාල්ලේ සිට කුලියාපිටිය දක්වාද, කොල්ලුපිටියේ සිට බදුල්ල දක්වා ද විවිධ පාසල් හැර දමා වැඩිදුර අධ්‍යාපනය සඳහා ආනන්ද විද්‍යාලයට පැමිණි සිටි අපේ 10-9 පන්තියේ හතළිස් දෙනෙකු පමණ වූ සිසුන් පිරිස ඒ අත්දැකීමෙන් අපමණ කලකිරීමකට පත්වූ බව කිව හැක.

තිරිමුතුගොඩගෙන් අප ගැළවීමෙන් පසු ඊළඟට අපට රසායන විද්‍යාව ඉගැන්වූයේ ගුරුවරියකි. ඇගේ නිවැරදි නම මට අද අමතක වී ඇත්තේ අප එදා ඇය හැඳින්වූයේ "දෝන කැතරිනා" යන සුරතල් නමින් වීම නිසා ය.

දෝන කතරිනාගෙන් පසු එළැඹියේ වෛද්‍යනාථ යුගයයි. එදා, ගණිත අංශය නොහොත් ඉංජිනියරිං බ්ලොක් එක ලෙස හැඳින්වූ බොරැල්ල අන්තයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි 11M4 පන්තියේ දී අප කාබනික රසායනයේ මූලධර්ම උගත්තේ ඇයගෙන් බව මගේ මතකයයි.

දොළොස් වෙනි ශ්‍රේණියට අප තල්ලුවීමත් සමගම, මා සිටි 11M4 පන්තිය ද, 11M1 පන්තිය ද එකට එකතු කර, පස් මහල් විද්‍යා ගොඩනැගිල්ලේ පහළම මාලයේ පිහිටි විශ්වවිද්‍යාලයක දේශනාගාරයක් වැනි ශාලාවට අපව ගාල් කරන ලදී. එහිදී, අපේ සංයුක්ත පන්තිය භාර වූයේ සහ අපේ රසායන විද්‍යා ගුරුවරිය වූයේ (ලියනගේ) නම් තරුණ ගුරුවරියයි. ඇය උසස් පෙළ සිසුන් අතර ජනප්‍රිය වී තිබුණේ "ඇන්ටිමනී" නමිනි.

තවමත් රසානය විද්‍යාවේ දී අප උගත් ආවර්තිතා වගුව මතකයේ ඇති අය දන්නා පරිදි "ඇන්ටිමනී" යනු මූලද්‍රවයකි. නලින්ගෙයි, පද්මිගෙයි ආස්සරේ ඇන්ටි බින්දා යන මතක තබා ගැනීමේ වැකියෙන් කියවෙන පරිදි ඇන්ටිමනී නම් මූලද්‍රවය ආවර්තිතා වගුවේ පිහිටා ඇත්තේ නයිට්‍රජන් වායුව පිහිටි තීරුවේ ඊළඟට එන පොටෑසියම් සහ ආසනික්වලට පහළිනි. බිස්මත් නම් මූලද්‍රව්‍යයට ඉහළිනි!

පෙර කී පස්මහල් විද්‍යා ගොඩනැගිල්ලට ගොස් ඇති අය දන්නා පරිදි එහි පහත මාලයේ අපේ පන්තිය රැස්වූ දේශනාගාරයේ එක් බිත්තියක අති විශාල ප්‍රමාණයේ ආවර්තිතා වගුවක් ඇඳ තිබුණි. එහි ඇන්ටිමනී (Sb) මූලද්‍රව්‍යය පිහිටි ස්ථානය හුණු කූරකින් විශේෂයෙන් ලකුණු කර තිබුණු බව ද මගේ මතකයේ ඇත.

මගේ පියා ගුරුවරයෙකු වූ කාලයේ මෙන් නොව, අපේ කාලයේ, ගුරුවරුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් වුව ද, ටියුෂන් ව්‍යාපාර පවත්වාගෙන ගියේ ගුරුවරුන් පමණක් බව මගේ මතකකයි.

රසායන විද්‍යාව සඳහා මා ටියුෂන් ගියේ රෙජිනෝල්ඩ් සෙනෙවිරත්න ගේ වැල්ලවත්තේ පන්තියටයි. ආනන්දයේ මගේ මිතුරන් වූ සරෝජ "කස්ටම්" චන්ද්‍රසේන සහ අනුර "ආරෝග්‍යා" ද සිල්වා සමග රෙජියා ගේ පන්ති ගිය කාලය පාසල් සමයේ නොමැකෙන මතකයකි.

රෙජිනෝල්ඩ් සෙනෙවිරත්නට අමතරව කොළඹ නගරයේ රසායන විද්‍යා ටියුෂන් ව්‍යාපාරයේ නිරත වූවෝ ද, රන්ජන් ද සිල්වා, දෙව්රුවන් අල්විස් වැනි පිරිමියෝ ම වූහ.

ගම්පහ නගරය ගැන පවසනවා නම්, එකල ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ සේවය කළ ප්‍රේමදාස නම් ගුරුවරයෙකු ගේ කෙමිස්ට්‍රි ටියුෂන් කඩයක් තිබුණු බවත්, දැන් ගම්පහ නගරයේ ව්‍යාපාරිකකෙුවන මා මිත්‍ර සරත් "සෙත්මා" ජයසූරිය ද, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ ගම්පහ ප්‍රදේශයේ රසායන විද්‍යාව ඉගැන්වූ බවත් මගේ මතකයේ ඇත.

රුවන් ජයතුංග ගේ ලිපියේ වර්ණනා කෙරුණු "වල්ලිපුරම් ටීචර්" වැනි ගුරුවරියන් ටියුෂන් කරන්නට ඇත්තේ රෙජිනෝල්ඩ් සෙනෙවිරත්නලා සේ මහා පරිමාණයෙන් නොව කුඩා කණ්ඩායමක් සඳහා විය යුතුය.

දෝන කතරිනා, වෛද්‍යනාථ සහ ඇන්ටිමනී ටීචර්ලා පමණක් නොව ටියුෂන් ව්‍යාපාරික රෙජියා ද කොපමණ හොඳින් ඉගැන්වූවා වුව ද, රසායන විද්‍යාව නම් මට දිරවා ගත හැකි වූ විෂයයක් නොවේ. උසස් පෙළ විභාගයේ දී රසායන විද්‍යාව සඳහා මට ලැබුණේ සම්මාන සාමාර්ථයක් පමණි. මගේ ගණනය කිරීම් අනුව මට ලැබෙන්නට ඇත්තේ ලකුණු සීයෙන් 61 ක් පමණ සංඛ්‍යාවකි!

-රසිකොලොජිස්ට්

(image: http://www.okclipart.com/teacher-and-class-clipart90ssuilygs/)

Friday 16 December 2016

සෙංකොට්ටං, මාණික්කාවත, ක්‍ෂණික මෝචනය සහ ප්‍රමාද මෝචනය - Novels by Mahinda Prasad Masimbula


මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නම් නවක ලේඛකයෙකු පිළිබඳවත්, ඔහු ලියූ සෙංකොට්ටං නම් සංවේදනාත්මක නවකතාවක් පිළිබඳවත් මට අසන්නට ලැබුණේ ෆෙස්බුක් අවකාශය නිසා ය. සෙංකොට්ටං නවකතාවට ලංකාවේ සාහිත්‍ය සම්මාන කිහිපයක් ම හිමි වී තිබුණි.

ඉන් කලකට පසුව 2014 අප්‍රියෙල් මාසයේ දී සති දෙකක නිවාඩුවකට ලංකාව බලා යාමට අවස්ථාව ලැබුණු නිසා, ඒ නවකතාව (සහ තවත් පොත් කිලෝ විසි එකක් පමණ) රැගෙන එන්නට මට අවස්ථාව ලැබුණි.

මා ෆේස්බුක් හරහා අසා දැන තිබුණාක් සේ ම සෙංකොට්ටං නවකතාව, අතිශය සංවේදනීය සිදුවීම් රැසක් අනුසාරයෙන්, අප නොදන්නා කාලවකවානුවක් පසුබිම කරගෙන ලියවුණු, මූලිකව උසස් රසයක් ලැබෙන විශිෂ්ට ග්‍රන්ථයක් විය.

නමුත් මට වැටහුණු ආකාරයට නම්, ඒ විශිෂ්ට නවකතාව වනාහී සියවසකට පමණ ඉහත කාලයක ලංකාවේ සබරගමුව පළාතේ රදා නමින් හැඳින්වෙන පහත් යැයි සම්මත කුලයක පවුලක් වටා ගෙතුණු සමස්ත සෙංකොට්ටං නවකතාව ම නොවේ.

මගේ නිගමනය අනුව විශිෂ්ට නවකතාව වූයේ මුද්‍රිත සෙංකොට්ටං නවකතාවේ මූල් 80% පමණ කොටස, එනම්, එහි ආ සංකීර්ණ චරිතයක් වූ පොඩිනා නමැත්තියව, ඇයව ලිංගික අපයෝජනයකට ලක් කළ ඉහළ කුලයක මහත්තැන් කෙනෙකු විසින් කෘර ලෙසින් මරා දමන මොහොත වෙනතුරු සිදුවීම් අඩංගු කොටස, පමණි.

ලේඛක මස්ඉඹුල කර තිබුණේ තමා ගේ විශිෂ්ට නවකතාව, පාඨකයා කියවීමේ සුරතාන්තයට පත් වූ ඒ උච්චස්ථානයෙන් නතර නොකොට, තවත් ඉදිරියට ඇදගෙන ඇදගෙන ගොස් එයට සුරංගනා කතාවක අවසානයක් ලබා දී චොර බොර කර දැමීමයි.

පාඨකයා සුරතාන්තයට පත් වෙන මොහොතින් පසු ලේඛකයා දිගින් දිගටම රචනයේ යෙදීම යනු පාඨකයා එතෙක් ලැබූ වින්දනය, එහි උච්චස්ථානයේ සිට අවගමනය කරවන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත.

සෙංකොට්ටං කියවූ සමහර බාලාංශ මට්ටමේ පාඨකයින් නම්, සුරංගනා කතාවක් බඳු වූ ඒ දෙවන භාගයට කැමති වන්නට ඇත. එවැනි පිරිස් කියවීමේ සුරතාන්තයට පත්වෙන්නේ සතුරා පැරදී, වීරයා දිනා, කෙල්ල කොල්ලාට හිමි වී, දෙමව්පියන් කටයුත්තට කැමති වී සියල්ල ජොලියෙන් අවසාන වෙන ඉක්බිති සියල්ලෝ ම සතුටෙන් ජීවත් වූහ අච්චුවේ සුඛාන්තයන් හි දී පමණි.

පසුගිය වසරේ (2015) දෙසැම්බර් 16 වෙනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවති පොත් එළිදැක්වීමක දී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල අහම්බෙන් මුණ ගැසුණු වේලේ, මා මේ කාරණාව, එනම් සෙංකොට්ටං නවකතාව නතර කරන්නට තිබුණේ පොඩිනා මියගිය දිනයෙන් බවත්, ඉන්පසු ඔහු එකතු කර තිබුණු පරිච්ඡේද සියල්ලම මූලික කතාව තනුක කරන ඒවා බවත්, ඔහුට කීවෙමි.

සම්මානලාභී ලේඛකයෙකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ලේඛකයා ගේ කාර්යභාරය ද, රසිකයා ගේ සහ විචාරකයා ගේ කාර්යභාරයන් ද හොඳින් දන්නා නිසා, මගේ ඒ විවේචනය සිනහ මුසු මුහුණින් යුතුව පිළිගත්තේ ය.

මා පමණක් නොව වෙනත් පිරිස් ද, මා ඔහුට එදා පැවසූ ඒ අදහස, එනම්, සෙංකොට්ටං නවකතාව අවසාන කරන්නට තිබුණේ පෙර කී සුරංගනා කතාවට පිවිසෙන්නට කලින්, පොඩිනා ගේ මරණයත් සමග බව මහින්ද ප්‍රසාද් මස්ඉඹුලට කියන්නට ඇති බවට සැක නැත.

නමුත්, ඒ වන විට අප ප්‍රමාද වැඩිය!

ලේඛක මස්ඉඹුල ඒ වනවිටත් ඔහුගේ දෙවන නවකතාව වන මාණික්කාවත ලියා, සකසා, ප්‍රකාශයට පත්කර තිබුණි!

මාණික්කාවත නවකතාව ගෙතී ඇත්තේ සියවස් එකහාමරකට පමණ ඉහත කාලයක, කුල හීන තරුණියකට පෙම් කිරීමේ වරදට තමන් ගේ ගමෙන් පන්නා දමනු ලබන කෙටිහාමි නම් දිරිය තරුණයෙකු විසින් සබරගමුවේ කැලෑබද පෙදෙසක ස්ව-ශක්තියෙන් කුඹුරක් අස්වද්දා, ගමක් බිහි කරන ආකාරය අනුභූතිය කරගෙන ය. එය අප එතරම් නොදන්නා අතීතයක සමාජ දේශපාලන වාතාවරණය විවරණය කෙරෙන අපූරු නිර්මාණයකි.

මාණික්කාවත නවකතාව ද, සෙංකොට්ටං නවකතාව මෙන් ම, ඉතා ජනප්‍ර්‍රිය නවකතාවක් බවට පත්විය. කොටින් ම මම මාණික්කාවත පිටපත් තුනක් ම ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට රැගෙන ආවෙමි.

නමුත් අවාසනාවකට මෙන්, මාණික්කාවත නවකතාවේ දී ද, අපේ හිතවත් ලේඛකයා කතාව එහි උච්චස්ථානයේ දී, එනම්, කෙටිහාමි නම් පෙර කී තරුණයා මහලුව මිය යන ඒ යුගයක අවසානය සනිටුහන් වෙන දිනයේ දී හෝ අඩුතරමින් කුඩා කල අනතුරක් නිසා දෘෂ්‍යාබාධිත වූ ගුණාදරී නම් දියණිය මහලුව මිය යන දිනයේ දී හෝ මේ නවකතාව අවසාන නොකොට අනවශ්‍ය පරිදි තවත් යුගයක් කරා ඇදගෙන ඇදගෙන යයි.

එනම්, පාඨකයා ගේ කියවීමේ සුරතාන්තය එළැඹී පාඨක සුවය අවසාන වුව ද, බොහෝ විට එය වටහා නොගන්නා, ලේඛකයා තව දුරටත් ලේඛන සුවය ම විඳියි.

නොදන්නා අය (සිටී නම් ඔවුන්) ගේ දැන ගැනීම පිණිස කියන්නේ නම්, මනුෂ්‍ය ජීවින් දෙදෙනෙකු අතර ඇතිවන ආදරයේ අවසාන ඵලය වන ලිංගික එක්වීමෙන් දෙදෙනා උපරිම වින්දනය ලබන මොහොත සුරතාන්තය නම් වේ. ප්‍රශස්ත ලිංගික එක්වීමක් සඳහා සුරතාන්තය උදාවීම ප්‍රමාද විය යුතු බව මෙන් ම, දෙදෙනාට ම එක්වර සුරතාන්තය ලැබිය යුතු බව සාමාන්‍ය පිළිගැනීමයි.

එසේ නොවී එක් අයෙකුට සුරතාන්තය ඉක්මනින් ලැබෙන කළ, ඒ තත්වය හැඳින්වෙන්නේ ක්‍ෂණික මෝචනය නමින් ය.

ලිංගික එක්වන දෙදෙනාගෙන් එක් අයෙකුට ක්‍ෂණික මෝචනය වුවහොත්, එනම්, අනෙකා ලිංගික සුරතාන්තයට පත්වෙන්නට පෙර තමන් ගේ සුරතාන්තය ලදහොත්, අනෙකාට උපරිම ලිංගික වින්දනය නොලැබෙනු ඇත.

ඊට වඩා අභාග්‍ය සම්පන්න තත්වය වනුයේ එක් සහකරුවෙකුට සුරතාන්තය ළඟා වූ පසුවත් අනෙකාට දිගින් දිගටම ලිංගික කර්තව්‍යයේ යෙදීමට අවශ්‍ය වීමයි. මෙය දෙදෙනාට ම අපහසුදායක, අසහනකාරී සමහර විට වේදනාකාරී තත්වයකි.

ක්‍ෂණික මෝචනයට සහමුලින්ම විරුද්ධාර්ථය වූ මේ සංසිද්ධිය ප්‍රමාද මෝචනය ලෙසින් හැඳින්විය හැක.

පාඨක අපේ පැත්තෙන් සලකා බලන කළ, සෙංකොට්ටන් හි දී මෙන් ම මාණික්කාවත නවකතාවේ දී ද සිදුවන්නේ ලේඛකයා ගේ ප්‍රමාද මෝචනයයි. පාඨකයා ගේ සුරතාන්තය ළඟා වී තවත් කාලයක් තිස්සේ නවකතා ද්වයම ඇදි ඇදී යන්නේ ඒ නිසා ය.

නමුත් ලේඛකයා ගේ පැත්තෙන් සලකා බලන කළ, වරද පාඨකයා ගේ ය. ලේඛකයා ගේ සුරතාන්තය උදාවෙන්නට පෙර පාඨකායා ට ක්‍ෂණික මෝචනය සිදු වී ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
දිගු කලකට පෙර ගුවන් විදුලියේ ප්‍රචාරය වූ "රූපණ" නම් සාහිත්‍යමය වැඩ සටහන් මාලාවේ එක් වැඩසටහනක දී කුලසේන ෆොන්සේකා ගේ "පාලම යට" නම් නවකතාව පිළිබඳව සුචරිත ගම්ලත් දැඩි විවේචනාත්මක විචාරයක් කළේ ය. ඒ විචාර ක්‍රමය එතැන් සිට "දෙඤ්ඤං බැටේ!" විචාර කලාව ලෙසින් හැඳින්වුණි.

අද මා කරන මේ විචාරයට ඒ ආකාරයේ සුවිශේෂී නමක් අවශ්‍ය නම් ඒ සඳහා "මෝචන විචාරය" යන්න සුදුසු බව මගේ අදහසයි.

Tuesday 13 December 2016

රණවිරු බයි ආතල් නැවත වරක් කුඩු වෙයි! - People's Patriotic Army


රණවිරු යන සක්ක පදය ඒ දිනවල වාත්තු කර ගෙන නොතිබුණ ද, අසූවේ දශකයේ අග භාගය වෙන විට දේශයේ මුර දේවතා එළි ගැන ලොකු ප්‍රසාදයක් රටේ දකුණේ ඇති වී තිබුණි. විශේෂයෙන් ම, පොලීසියේ විශේෂ කාර්ය හමුදාවේ නොහොත් එස්ටීඑෆ්ෆෙකේ නැගනෙහිර වික්‍රමයන් ගැන විවිධ යාං හෑලි අපට අසන්නට ලැබුණි.

ඒ ආතල් කුඩු වෙන්නට පටන් ගත්තේ දේශප්‍රේමී බැටළු හමෙන් සැරසුණු ජාතිවාදී ජවිපෙ, සිංහල හරක් ගාලට කඩා වැදුණු 1987 දී, ඒ තත්වය මැඩලන්නට රජය විසින් හමුදාව යොදා ගත් විට ය.

දේශයේ මුර දේවතා එළිවලින් දකුණේ දී නිවී ගියේ ජවිපෙ මැටි පහන් පමණක් නොවේ. අහිංසකයින් දහස් ගණනක් ද නිරපරා දේ රටට අහිමි විය. උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියදී නිකරුණේ පැහැර ගෙන යනු ලැබූ තම බාල සොයුරා ගේ එක් පාදයක් ටයර් සෑයක දැවෙමින් තිබෙනු දැකීමේ වේදනාවෙන් පෙළෙමින් සිටි මගේ හිතවතෙකු ගේ මුවින් පිටවුණු වදන් පෙළ මට අද ද එදා මෙන් මතකය.

මචං, එදා මුං මඩකලපුවේ දෙමළුන්ට වැඩේ දෙනකොට අපි මෙහේ හුරේ දැම්මා. අපේ උං අපිටම මෙහෙම කරනවා නම්, දෙමළුන්ට කොහොම අමානුෂික විදියට සලකන්න ඇති ද කියලා දැන් තමයි තේරෙන්නේ!

ඒ එකල එනමින් නොහැඳින්වුණේ වුව ද, රණවිරු බයි ආතල් කුඩු වුණු මුල් යුගයේ අවස්ථාවකි.

ජවිපෙ ජාතිවාදය ගත් අවියෙන් ම නැසී ගිය පසු අතීතය අමතක කළ අපි නැවත ක්‍රමයෙන් රණවිරු ආතල් ලැබීම ඇරඹුවෙමු. එහි හිරිකිත ම යුගය වූයේ මානෙල් මල් සමය යි.

ආතල් වැඩි වීමේ වේගය හෙවත් ත්වරණය ද එන්න එන්න ම වැඩි වුණු අතර, 2009 වසරේ මැද භාගයෙන් පසු එය එක්ස්පොනෙන්ෂල් ශ්‍රිතයක හැඩය ගත්තේ ය. පාලකයින් ද එයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා අයුරු පෙනී ගියේ ය.

ඒ රණවිරු පූජාව වැරදි ලෙස අර්ථ දක්වා ගත් සරත් ෆොන්සේකා, පැවති රෙජීමයට අහියෝග කිරීමත් සමගම රණවිරු ආතලයට කෙළ වීම ඇරඹුණි. ෆොන්සේකා ඇතුළු සමහර රණවිරුවන් දඟගෙට ගාල් කෙරුණේ කංකෙටිවලින් බිම දිගේ ඇද ගෙන ගොස් ය.

රණවිරුවන් අතර සමහර රණවිරුවන් පහත් බවත්, සමහර රණවිරුවන් උසස් බවත් පාලකයෝ අපට පෙන්වා දුන් හ. එනිසා රණවිරු ආතල් තව දුරටත් වැඩි ආපදාවකින් තොරව පැවතුණි.

එකල සිංහල බ්ලොග් ලෝකයේ පෙරළිකාර පෙර ගමන්කරුවෙකු වූ ටැබූ නම් බ්ලොග්කරුවා දැන් සොල්දාදුවා කරෙන් බිම තබන්නට කාලයයි වැනි මාතෘකාවකින් සටහනක් තැබුවේ ය.

එතැන් සිට සිදුවුණු රණවිරු ආතල් කුඩු වීම් මෙසේ ය.
  • එළවළු වෙළදාම
  • මාර්ගස්ථ කුණු අස් කිරීමේ සේවා
  • නිදහස් වෙළඳ කලාපයේ උද්ඝෝෂණයට පහර දී රොෂේන් ශානක රත්නසේකරව මරා දැමීම
  • හලාවත ධීවර උද්ඝෝෂණයට පහර දී ඇන්තනි ප්‍රනාන්දුව මරා දැමීම
  • රතුපස්වල ජනතා උද්ඝෝෂණයට පහර දී නිලන්ත පුෂ්පකුමාර, අකිල දිනේෂ් ජයවර්ධන සහ රවිශාන් පෙරේරා මරා දැමීම
  • ආබාධිත විශ්‍රාමික සොල්දාදුවන් ගේ උද්ඝෝෂණයට පහර දීම
ඒ දීර්ඝ ලයිස්තුවට එක්වෙන අලුත්ම ආතල් කුඩු වීම නම් පසුගිය දා මාගම්පුර වරායේ දී පැවැත්වුණු කම්කරු උද්ඝෝෂණයට කල නාවික හමුදා පහර දීමයි!

පාලිතයා කවුද, පාලකයා කවුද, රාජපුරුෂයා ඉන්නේ කොයි පැත්තේ ද යන්න මතු දිනෙක අපට වැටහෙනු ඇත.

බාලගිරි අද නොවෙයි හෙට?

-රසිකොලොජිස්ට්

ප/ලි:
පින්තූරයේ කතාව ද වැදගත් ය.

(image: https://en.wikipedia.org/wiki/Tank_Man)

Saturday 10 December 2016

එන පාර වෙසක්කෙකට ලෝකයේ ලොකුම වෙසක් ගහ අනුරාජපුරේ හදමු! - Project sponsors and lessons learnt


නත්තල්ලෙකට ගයන කැරොල් කොපි කර වෙසක්කෙකට භක්ති ගීත ගයනවා නම්,

නත්තල්ලෙකට යවන නත්තල් කාඩ් කොපි කර වෙසක්කෙකට වෙසක් කාඩ් යවනවා නම්,

නත්තල්ලෙකට හදන නත්තල් ගහ වැනි දෙයක් වෙසක්කෙකට නොහදන්නේ ඇයි?

එළැඹෙන 2017 වසරේ වෙසක්කෙක සඳහා මගේ යෝජනාව මෙයයි.
නත්තල්ලෙකට හදන නත්තල් ගහ කොපි කරමු!
එන පාර වෙසක්කෙකට ලෝකේ ලොකුම වෙසක් ගහ හදමු!!
ඒක අනුරාජපුරේ ම හදමු!!!

ව්‍යාපෘති කළමනාකරණයේ අ-අයන්න, ආ-යන්න දන්නා ඕනෑම අයෙකු විසින් එකඟ වෙන පරිදි, ව්‍යාපෘති කළමනාකරණයේ වැදගත් ම අදියරක් නම් ව්‍යාපෘතියක් අවසානයේ කෙරෙන සමාලෝචනයයි. ව්‍යාපෘතියේ දී අපට වැරදුණු තැන් මෙහි දී සාකච්ඡා කෙරෙනු ලැබේ.

නත්තල්ලෙකට හදන්නට ගොස් වැඩේ චොර වූ ලෝකයේ ලොකුම නත්තල් ගස පිළිබඳ ව්‍යාපෘතිය පිළිබඳ කෙරෙන එවැනි සමාලෝචනයක දී පෙනී යන වැදගත් ම කරුණ නම්, ව්‍යාපෘති කළමනාකරණයේ දී ඉගැන්වෙන මූලික ම දෙයක් අමතක කර ඇති බවයි.

එනම්, ප්‍රොජෙක්ට් ස්පොන්සර්ලා ගේ අනුමැතිය සහ ආශිර්වාදය නිසි පරිදි ලබාගෙන නැති බවයි.

එනිසා මේ වෙසක්කෙකේ ලෝකයේ ලොකුම වෙසක් ගහ ගොඩ නැගීමේ ව්‍යාපෘතිය ඇරඹීමට පෙර අනිවාර්යෙන් ම මල්වත්ත, අස්ගිරිය සහ අනෙකුත් අදාළ තැන්වලින් ප්‍රොජෙක්ට් ස්පොන්සර්ස්ලා පත්කරගෙන ඔවුන්ගෙන් නිසි අනුමැතිය සහ ආශිර්වාදය ලබා ගත යුතුයි.

නැතහොත් නත්තල්ලෙකේ නත්තල් ගහට වූ සන්තෑසියම වෙසක්කෙකේ වෙසක් ගහට සිදුවිය හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ලබන වෙසක්කෙකට සැදීමට යෝජිත ලෝකයේ ලොකුම වෙසක් ගහ සඳහා ඔබේ සැලසුම් දැන් භාර ගනු ලැබේ. ඊ-මේල් මගින් අමතන්න.

මා මිතුරු පෝස්ටර් නිහාල් නම් දැනටමත් වැඩ අරඹා ඇති බව පෙනේ!

(image: http://www.free-management-ebooks.com/faqpm/principles-07.htm)

Thursday 8 December 2016

පේරාදෙණිය සහ කැලණිය විශ්වවිද්‍යාල අතර දශක දෙකක සංසන්දනාත්මක අත්දැකීම් - Already outdated


මිණිවන් පී තිලකරත්න ලියූ "කන්දෙන් ලන්දට" නම් නවකතාවේ නම යොදා මා රසිකොලොජියේ පළ කළ "කන්දෙන් ලන්දට - මිණිවන් පී. තිලකරත්න, සරත් විජේසූරිය, ඒ.වී. සූරවීර සහ ලියනගේ අමරකීර්ති :: What's the issue with Sinhala language departments in Sri Lankan Universities?" නම් බ්ලොග් සටහන "ඉරිදා ලක්බිම" පුවත්පත සඳහා වර්ෂ 2009 ජූනි මාසයේ මා ලියූ ලිපියක සංස්කරණයක් විය.

මා ඒ ලිපියට අනුපූරක දෙවන කොටසක් ද ලියූ නමුත් එය එම පුවත් පතේ පළ වී තිබෙනු මම නොදුටුවෙමි. මේ ඒ දෙවන කොටස ඇසුරෙන් සැකසෙන බ්ලොග් සටහනකි.

මා මෙහි දී අදහස් කරන්නේ ලංකාවේ පැරණිතම විශ්වවිද්‍යාල ද්වයක් වන පේරාදෙණිය සහ කැලණිය පිළිබඳව සමාජයීය තොරතුරු බිඳක් මගේ සීමිත අත්දැකීම් ඔස්සේ සංසන්දනය කිරීමටයි.

උපහාස කතා කලාවේ ශූරයෙකු අභාවප්‍රාප්ත මහාචාර්ය මිණිවන් පී තිලකරත්න තමා සේවය කල කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය පසුබිම් කරගෙන ලියූ ඉහත සඳහන් "කන්දෙන් ලන්දට" නවකතාවේ කන්ද යනුවෙන් අදහස් කර ඇත්තේ ඔහු අධ්‍යාපනය ලැබූ කන්ද උඩරට පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. ලන්ද යන්නෙන් ඔහු පසුව සේවය කළ ලන්දේ පිහිටි කැලණිය විශ්වවිද්‍යාලය නිරූපණය කෙරුණි. පනහ දශකයේ අගභාගයේ දී විද්‍යාලංකාර (පසුව කැලණිය) විශ්වවිද්‍යාලය ඇරඹුණු සමයේ දී එහි සේවය සඳහා පැමිණි අය අතර පේරාදෙණිය සරසවියේ උපාධිධාරීන් සහ එහි සේවය කළ ආචාර්ය, මහාචාර්යවරුන් බොහෝ වූහ. කන්දේ සිට ලන්දට පැමිණි ඔවුන් ගේ කතාව මෙලෙස කන්දෙන් ලන්දට ලෙස නම් කර තිබුණි. මා ද එලෙස කන්දේ උගෙන ලන්දේ සේවයට පැමිණි අයෙක් මි.

මිණිවන් පී තිලකරත්න ගේ නවකතාවේ එන පනහ දශකයේ චරිත මෙන් ම, කන්දෙන් ලන්දට අනූව දශකයේ පැමිණි අය ද තරමක සංස්කෘතිකමය තිගැස්මකට ලක්වීම සාමාන්‍ය දෙයක් යයි මම සිතමි. මෙයට හේතු වෙන, සමහර විට සමාජ විද්‍යාත්මක වැදගත්කමක් ද තිබිය හැකි, කරුණු කිහිපයකි.

අවට පරිසරය, තුරු ලතා, ගොඩනැගිලි යනාදිය ගැන සලකන කල පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලංකාවේ විශ්වවිද්‍යාල අතර අසමසම (unique) වේ. එයට තවත් හේතුවක් වන්නේ, පේරාදෙණිය නේවාසික විශ්වවිද්‍යාලයක් වීමයි. උතුර, දකුණ, වම, දකුණ යනාදී රටේ සෑම දිශාවකින් ම පැමිණි ශිෂ්‍යයෝ, වචනයේ සැබෑ අරුතෙන් ම එක හැලියේ බත් කමින් තුන් හතර වසරක් මෙහි ජීවත්වෙති. ඔවුන් ගේ වාසය සඳහා අරුණාචලම්, රාමනාදන්, ජයතිලක, විජේවර්ධන, අක්බාර්-නෙල් යනාදී පුද්ගල නාමයෙන් අභිෂේක කොට තිබූ, නේවාසිකාගාර ශාලා යනුවෙන් පොදුවේ හැඳින්වෙන, සුවිසල් මහල් ප්‍රාසාද තනවා තිබේ. ඒවා ද, ඊට අමතරව ගොඩනගා තිබෙන සනාතන මන්දිරය ඇතුළු වෙනත් පොදු කාර්ය විශ්වවිද්‍යාල ගොඩනැගිලි ද, අධ්‍යයන පීඨ ගොඩනැගිලි සංකීර්ණයන් ද යනාදිය, ඓතිහාසික සිංහල ගෘහ නිර්මාණ ලක්ෂණයන් විදහා දක්වන පරිදි, අති විශාල වියදමක් දරා, අගනා නිමැවුමින් යුතුව සාදා ඇත.

මෙයට හේතු වී ඇත්තේ එවකට කොළඹ තිබූ ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙනියන්නට පිඹුරුපත් සැකසුණේ කොරියන් යුද්ධයේ අතුරුඵලයක් ලෙසින් රබර් මිල ඉහළ යාම නිසා ශී්‍ර ලංකාවේ ආර්ථිකය ඉතා සවිමත්ව තිබූ සමයක වීම නිසා බව අසා ඇත්තෙමි.

රබර් බුබුල බිඳී යාමෙන් අනතුරුව රටේ ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් දුර්වල වු නිසා, පසු කලෙක බිහිවුණු විද්‍යෝදය, විද්‍යාලංකාර යනාදී විශ්වවිද්‍යාල පේරාදෙණිය විශ්වවිද්‍යාලය තරම් ගාම්භීර මට්ටමෙන් සුවිසල් ලෙස ගොඩ නගන්නට නොහැකි වී ඇත. මෙනිසා කන්දෙන් ලන්ද ට එන්නෙකු ලන්දේ පිහිටා ඇති සාමාන්‍ය මට්ටමේ, පාසලක ස්වරූපය විදහා දක්වන, ගොඩනැගිලි දැක මුලින් ම පුදුමයට පත්වීමට නියමිත ය.

මා ලන්දේ විශ්වවිද්‍යාල භූමියට මුලින්ම පැමිණියේ මා කන්දේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ උගන්නා කාලයේ අපේ ගාන්ධර්ව සභාවේ යම්කිසි කර්තව්‍යයක් සඳහා මා මිතුරු උදය සිල්වා ද සමගිනි. එදින ලන්දේ ශිෂ්‍ය ආපන ශාලාවට ගිය වේලේ, එයට අනුබද්ධව ඇති ලන්දේ ක්‍රීඩාගාරයේ ප්‍රමාණය දැක මම පුදුමයෙන් පුදුමයට පත්වීමි.

මා දැක පුරුදු කන්දේ ක්‍රීඩාගාරය කන්දේ අනෙකුත් ගොඩනැගිලි හා සසඳා බලන කල එහි ඇති එකම අවලස්සන ගොඩනැගිල්ලයි. මෙය පුදුමයක් නොවන්නේ, එය සුවිශේෂීව ගෘහ නිර්මාණය කරන ලද්දක් නොව ඇත්තට ම ගුවන් යානා නවත්වන අංගනයක් හෙවත් හැඟරයක් වීම නිසාය. එනිසාම, එය ප්‍රමාණයෙන් අති විශාල වේ. පැසිපන්දු පිටියක්, දැල් පන්දු පිටියක්, මේස පන්දු ස්ථාන කිහිපයක්, බැඩ්මින්ටන් පිටි කිහිපයක් සහ ජිම්නාස්ටික්, බර ඉසිලීම යනාදී කී්‍රඩා රාශියක් සඳහා මේ එකම ගොඩනැගිල්ල තුළ ඉඩ කඩ තිබේ.

ඒ හා සසඳන කල ලන්දේ ක්‍රීඩාගාරය කුරුමිට්ටෙක් බඳු විය. එය බැඩ්මින්ටන් පිටි දෙකක ප්‍රමාණයට සීමා වී තිබුණි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්පත් බෙදී යාමේ විෂමතාවය හෙවත් කැකිරි-කිරි සංකල්පය උසස් අධ්‍යාපන අංශයට ද පොදු බව මට එදා වැටහිණ.

මින් අනතුරුව ලන්දේ ප්‍රධාන ගොඩනැගිල්ලට ගිය මට දක්නට ලැබුණේ එක ම දෙමහල් ගොඩනැගිල්ලේ, ජීව රසායන විද්‍යාගාර ද, සිංහල ඈ මානව ශාස්ත්‍ර ආචාර්යවරුන් ගේ කාර්යාල ද එකිනෙකට යාබදව පිහිටා තිබෙන බවයි. කන්දේ නොව මා උසස් පෙළ උගත් ආනන්ද විද්‍යාලයේ පවා මෙවැනි නිශ්චල දේපල හිඟයක් නොතිබුණි. කැකිරි-කිරි වර්ගයේ විෂමතාවයේ සකී්‍රය බව තව දුරටත් සාධනය විය.

අද වන විට මේ තත්වය වෙනස් වී ලන්දේ ශාස්ත්‍ර, සමාජ විද්‍යා සහ කළමනාකරණ යනාදී පීඨ සඳහා වෙන් වෙන්ට ගොඩනැගිලි ඉඳීවී පවතී.

මෙයින් වසර ගණනාවකට පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැදුණු පසු මම එහි ශිෂ්‍ය ප්‍රජාවේ උප සංස්කෘතිය පිළිබඳව සුවිශේෂී නිරීක්ෂණ දෙකක් කළෙමි.

මින් පළමුවැන්න නම් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ කණ්ඩායම් වල සිසු සිසුවියන් එකිනෙකා අමතන්නේ අයියා, නංගී, අක්කා, මල්ලී ලෙස බවයි. පුද්ගල නාම වලින් එකිනෙකා ඇමතුවේ එකම වසරේ සිසු සිසුවියන් පමණි. බොහෝ විට ප්‍රාදේශීය මට්ටමේ පාසල් වල පවතින මේ චර්යා රටාව ඒ හරහා කැලණිය විශ්වවිද්‍යාලයට ද පැතිරෙන්නට ඇතැයි මම එකල සිතුවෙමි.

මේ තත්වය අර්ථ දැක්විය යුත්තේ පොදුවේ සිංහල සමාජය සතුව පවතින වැදගත් සාරධර්මයක් වන වැඩිහිටියන් ට ගරු කිරීමේ ආචාර ධර්මය හා සමාන්තරව ය. අප හොඳින් දන්නා පරිදි පුද්ගල නාමයෙන් පමණක් වැඩිහිටියන් ඇමතීම නොකටයුතු වේ. නමින් ඇමතිය යුත්තේ සම තත්වයේ අයට පමණි.

විශ්වවිද්‍යාල සිසුන් ද මෙසේ එක පවුලක් සේ තම තමන් හඳුන්වා ගැනීමේ ලොකු වරදක් නැති නමුත් මේ සමගම සහ මෙනිසා ම දැඩි ලෙස ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ අසමානත්වය තහවුරු වන බව කිව යුතුය. මිලිටරි පසුබිමක දී නම් මෙවැනි දෘඪ ව්‍යුහයක් අවශ්‍ය වෙන නමුදු විශ්වවිද්‍යාලයක් බඳු සමාජයක මෙය ඇතැම් විට පසුගාමී, සෘණ ප්‍රතිඵල ගෙන දෙන වාතාවරණයක් මැවීමට ද ඉඩ තිබේ.

ලන්දේ වග එසේ නමුත්, මා කන්දේ විශ්වවිද්‍යාලයේ උගන්නා සමයේ දී මෙලෙස අයියා, අක්කා, නංගී, මල්ලී යන ඇමතීමක් කිසි දිනක කර තිබුණේ හෝ අසා තිබුණේ හෝ නැත. ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ කණ්ඩායම් වල සිසුහූ එකිනෙකා නමින් ම ඇමතූහ. අධ්‍යයන කටයුතු සඳහා කාණ්ඩ බෙදීමේ දී සිසුන් ඔවුන් ගේ පෙළපත් නම අනුව ලයිස්තුගත කර තිබුණු බැවින් සිසුවියන් කෙසේ වෙතත් සිංහල සිසුන් බොහෝ විට එකිනෙකා අමතා ගත්තේ එම පෙළපත් නමිනි.

සම්ප්‍රදායානුකූල ලෙස නම් තබා තිබූ බහුතරයක් දෙමළ සිසුන් ගේ මුල් නම තම පියාගේ නම ද දෙවන නම තමා ට තබා ඇති නම ද වන නිසා, ඔවුන් ලයිස්තුගත වී තිබුණේ පොදු අච්චුවේ ලා සලකන විට පෙළපත් නම ලෙස පෙනෙන ඔවුන් ගේ සෑබෑ නමිනි. එනිසා දෙමළ සිසුන් බොහෝ විට ඔවුන්ගේ ම නමින් හැඳින්විණි.

කෙසේ වෙතත් මෙලෙස ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සිසුන් තම තම නමින් එකිනෙකා ඇමතීම සැලකිය යුත්තේ සියලු දෙනා ම සමාන ය, සම මට්ටමේ ය යන සාධාරණ න්‍යාය අනුව විය යුතු නිසා මෙවැනි සහෝදරාත්මක වාතාවරණයක් පසුගාමී බාධකයට වඩා බොහෝ විට ප්‍රගතිශීලී ආශිර්වාදයක් වෙන බවට තර්කයක් ද ගෙන ආ හැක.

(මා එදා අනූව දශකයේ මුල් භාගයේ දී දැන නොසිටි කාරණයක් නම් මා උගත් කන්දේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සමාජය ද මේ ආකාරයේ අයියා-මල්ලී පරිවර්තනයකට බඳුන් වෙමින් පැවති බවයි. මා ඒ බව දැන ගත්තේ 2010 තරම් පසු කාලයක දී ය. මා මේ තත්වය අර්ථ නිරූපණය කරන්නේ හයිරංකාර-බලුගැත්තර තත්වයක් ලෙසයි!)

ලන්දේ විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණීමෙන් පසු මා තවත් මෙවැනි ම නිරීක්ෂණයක් කළෙමි. එනම්, එනම් ලන්දේ සිසු සිසුවියන් විශ්වවිද්‍යාලයේ අනෙක් සේවක පිරිස් සමග සමීප, කුළුපග සහෝදරාත්මක සම්බන්ධයක් ඇති බවයි.

උදාහරණයක් ලෙස, ශිෂ්‍ය ආපන ශාලාවේ සේවය කළ පිරිසට සිසුන් ඇමතුවේ අක්කා හෝ අයියා කියාය. සේවකයෝ ද, සිසු සිසුවියන් ට මල්ලී, නංගී කියා ඇමතූහ.

එයට සාපේක්ෂකව, කන්දේ විශ්වවිද්‍යාලයේ දී අප ගනුදෙනු කළේ මුදලාලි ලා සමගය. වෙනත් සේවකයින්ට ඇමතූවේ ඔවුන් ගේ නමිනි. ඇතැම් ළාබාල සේවකයෙකුට මල්ලී කියා ඇමතූව ද, එය සහෝදරාත්මක මල්ලී ඇමතුම නොව, එක්තරා මට්ටමක අධිපතිවාදී හඬකින් කරන අර ”මල්ලී...” ආකාරයේ ඇමතුම විය. ඒ අතර, මුදලාලි ද, සේවකයෝ ද සියලු දෙනා අප ඇමතුවේ ”සර්” කියා ය.

එහි දී, පන්ති පරතරය අකුරටම ක්‍රියාත්මක විය!

රසිකොලොජිස්ට්

ප/ලි
මා වසර දී 2009 ඉරිදා ලක්බිම පුවත් පත සඳහා ලියූ ලිපියේ මේ දෙවන කොටස රසිකොලොජියේ පළ කරන්නට සකස් කර තිබුණ ද, එය අතපසු වී ගිය අතර යළි සිහියට ආවේ සොඳුරු අතීීතයෙන් බිඳක් බ්ලොගයේ ලිපියක සඳහන් වුණු "ස්ටුඩන්ට් මහත්තයා" නම් යෙදුම නිසා ය.

(image: http://www.thepapare.com/university-of-kelaniya-vs-university-of-peradeniya-slug-rugby/)

Monday 5 December 2016

හිටං විහිළු නොහොත් "කුණුහරුප සහ අමාරු වචන" - Stand up!


"හිටං විහිළු" යනු මොනවාදැයි දැන ගැනීමට සහ "හිටං විහිළු" කිහිපයක් හෝ දැන ගැනීමට පහත පළ කෙරෙන මගේ මුල් ම "හිටං විහිළු" වැඩ සටහනේ පිටපත කියවන්න.

මෙය මා ඉදිරිපත් කළේ 2016 දෙසැම්බර් තුන්වෙනි දා සවස පැවැත්වුණු ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ වර්ෂාවසාන සාදයේ දී ය.


කුණුහරුප සහ අමාරු වචන

ආයිබෝවන්, සුභ සැන්දෑවක් වේවා!

ටික ටික වයසට ගිහින් ඉස නිකට පැහෙන කොට අපිට හැදෙනවා පොඩි ලෙඩක්.

මේකට කියන්නේ "අතීතකාමය" කියලයි.

කලබලවෙන්න එපා. අතීතකාමය කියන්නේ කුණුහරුපයක් නොවෙයි. හැබැයි ඒකේ තේරුම දන්නෙ නැති අයට ඒක අමාරු වචනයක්.

අපි ඉස්කෝලේ ගිය පොඩි කාලේ, අකුරෙන් අකුර ගැ ගහගෙන වචනෙන් වචනේ කියවන්න හැකි වෙලා, පොත් පත්තර කියවන්න පටන් ගත්තු කාලේ අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි මේ අමාරු වචන.

අමාරු වචන කියලා කියන්නේ මහප්‍රාණ අකුරු තියෙන, උණ්ඩුඛඵුච්ඡය, භෞමිඛ අඛණ්ඪඨාවය වගේ වචනවලටම විතරක් නොවෙයි.

මං පොඩි කාලේ, මට මතක විදියට තුනේ පන්තියේ විතර ඉගෙන ගන්න කාලේ, මං දැක්කා කෝච්චි ටිකට් එකක්. දුම්රිය ප්‍රවේශ පත්‍රයක්.

මං ඒ දවස්වල අතට අහුවෙන ඕනෑම දෙයක් කියවනවා. කෝච්චි ටිකට් මෙන්න මෙහෙම ලියලා තිබුණා.
නිකුත් කළ දිනට පමණක් වලංගුයි
ගනේමුල්ල සිට කොළඹ කොටුව
මිල ශත හැත්තෑවයි
මං බැලුවා මේ ටිකට් එකේ අනිත් පැත්ත
අත්සන් කිරීම තහනම්!
අත්සන් කිරීම තහනම්?

"මේ මොන විකාරයක් ද?" මට හිතුණා. "මේ ටිකට් එක අපි සල්ලි දීලා ගත්තා නම්, අපි ඒකේ අත්සන් කළාට මක්වෙනවාද?"

මං ගත්ත පෑන, ගැහැව්වා අත්සනක් ටිකට් එක පිරෙන්න.

පස්සෙ තමයි මං දැන ගත්තේ ඒ තිබුණේ අත්සන් කිරීම නොවෙයි අන්සන්තක කිරීම කියන අමාරු වචනය ය කියලා!

ඊට අවුරුදු දෙක තුනකට පස්සේ මට මතකයි ගනේමුල්ලේ තිබුණා කවි මඩුවක්.

මේක හිටගෙන කවි කියන තැනක් කියලයි කියවුණේ.

ඒ කාලේ ඒ පැත්තේ හිටපු නං දරාපු කවිකාරයෝ, කවිකාරියෝ, ගනේමුල්ලේ සිරිනන්දන, කටුවාලමුල්ලේ වයි ජිනදාස, බිංගිරියේ විජයකුමාර, සෝමා හපුගොඩ හෙම ඇවිල්ලා හිටියා එදා.

මට මතකයි, මං ඒ හිටගෙන කවි මඩුව බලන්න ගියාම දැක්කේ ස්ටේජ් එකේ පුටු දාලා කවියෝ හොඳට වාඩිවෙලා හිටිය හැටියි.

මං හිතුවා, හිටගෙන කවි කියන්න ඇයි මේ පුටුවල වාඩිවෙලා ඉන්නේ කියලා.

හැබැයි තමන් ගේ වාරය ඇවිල්ලා කවියක් කියන්න කලින් මේ හැමෝම නැගිටලා හිට ගන්නවා. මයික් එක ළඟ හිටගෙන තමයි කවි කියන්නේ. මං හරි නේ කියලා මට හිතුණා.

මේ හිටගෙන කවි නොවෙයි හිටිවන කවි බවත්, හිටිවන කවි කියන්නේ ගෙදරදී ලියාගෙන කට පාඩම් කරගෙන ඇවිල්ලා හිටගෙන කියන කවි නොවෙයි, ක්‍ෂණිකව ගොතා කියන කවිවලට බව මං දැන ගත්තේ එදායි.

ඊට අවුරුදු විස්සකට විතර පස්සේ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ එක දවසක් මං ටෙලිවිෂන් එකේ දැක්කා හොඳ විහිළු තහළු වැඩ සටහනක් යනවා.
ඒ විකට වැඩ සටහන හැඳින්වුණේ "ස්ටෑන්ඩ් අප් කොමඩි" කියලායි.

ඒ කියන්නේ හිටගෙන විහිළු?

මට එක පාරටම මතක්වුණේ අර හිටගෙන කවි මඩුවේ කේස් එකයි.

එතකොට මේ ස්ටෑන්ඩ් අප් කොමඩි කියන්නේ හිටගෙන කරන විහිළු කියන එක ද, නැතිනම් ගෙදරදී ලියලා, පුහුණුවෙලා එන්නේ නැතුව හිටිවන ම, ක්‍ෂණිකව කරන විහිළු කියන එකද?

මොනවා වුණත්, ඒ මුල්ම ස්ටෑන්ඩ් අප් කොමඩිය දැකලා අවුරුදු ගණනාවක් ගියාට පස්සේ මටත් ඒ වගේ ස්ටෑන්ඩ් අප් කොමඩි කරන්න හිතුණු වෙලාවේ, මට තේරුණා මේකට සිංහල නමක් අවශ්‍ය බව.
හිටගෙන විහිළු කියලා කියනවද?
හිටිවන විහිළු කියලා කියනවද?
හොඳ වෙලාවට මේකට ඒ දෙකටම වඩා ගැලපෙන නමක් ලංකාවෙන් මට හම්බ වුණා!
හිටං විහිළු!!!
ලංකාවේ මිනිස්සු හිනා ගස්සන්න නම්, පුක වගේ දෙයක් කීවාම ඇති කියලා පසුගිය දවසක කෙනෙක් කිව්වා. නමුත් මේ වෙනකොට නං ඇත්තටම "හිටං" කියලා කිව්වාමත් බොහෝ දෙනෙකුට හිනා යනවා!

ඉතිං මේ තමයි මං ප්‍රසිද්ධ වේදිකාවක "හිටං විහිළු" කරන මුල්ම අවස්ථාව.

මං මුලින් කිව්වා නේද අර අමාරු වචන ගැන?

පොඩි කාලේ පොත් පත්තදර කියවන කොට අපිට හමුවෙන අමාරු වචනවල තේරුම මං අහගන්නේ අපේ තාත්තාගෙන්.

අපේ තාත්තා ගුරුවරයෙක්. තාත්තා ඕනෑම අමාරු වචනයක තේරුම දන්න වීරයෙක්.

දවසක් අම්මා ගෙදර ගෙනැවිත් තිබුණු පත්තරයක තිබුණු කෙටිකතාවක් කියවන කොට ඒකේ තිබුණා මට නොතේරුණු අමාරු වචනයක්.
මං ගිහින් තාත්තා ගෙන් ඒකේ තේරුම ඇහැව්වා.

"තාත්තේ ගණිකාව කියන්නේ මොකක්ද?"

එදා තමයි මට තේරුණේ තාත්තා හැම වචනයකම තේරුම දන්නේ නෑ කියලා.

තාත්තා කළේ මං කියවපු පත්තරේ මගෙන් උදුරාගෙන ගිහිල්ලා අමමාට බැන්න එකයි.

ඉතිං මං තේරුම් ගත්තා ගණිකාව කියන්නේ අමාරු වචනයක් විතරක් නොවෙයි කුණුහරුපයක් ය කියලා.

මං ඊට පස්සේ අමාරු වචනයක තේරුම තාත්තාගෙන් ඇහැව්වේ හොඳට කල්පනා කරලායි.

ඔය කුණුහරුප තියෙනවා නේද?

පොඩි කාලේ අපි ඒවා ඉගෙන ගත්තේ අපේ දෙමව්පිය ගුරුවරුන්ගෙන් නොවෙයි. අවට සමාජයෙන්, ගමේ මිනිස්සුන්ගෙන්, ඉස්කෝලේ අනිත් වනචර කොල්ලන්ගෙන්.

ඒ හින්දම ද කොහෙද, ලංකාවේ දී සේරම සිංහල කුණුහරුප මං ඉගෙන ගත්තත්, ඉංග්ලිෂ් කුණුහරුප මට දැන ගන්න ලැබුණේ කීපයයි.

ඇත්තම කියනවා නම් මං සමහර ඉංග්ලිෂ් කුණුහරුප ඉගෙන ගත්තේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළාට පස්සෙයි.

දැන් මගේ පුතාට වෙලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත.

ඒ කියන්නේ පුතා අවට පරිසරයෙන් සේරම ඉංග්ලිෂ් කුණුහරුප මටත් වඩා හොඳින් ඉගෙන ගෙන තිබුණත් සිංහල කුණුහරුප එකක්වත් දන්නේ නෑ.

මොකද, එයාට මුණ ගැහෙන කිසිම සිංහල කෙනෙක් කුණුහරුප කියන්නේ නෑනේ!

හැබැයි අපි පොඩි කාලේ වගේ නොවෙයි නේ මෙහේ හැදෙන අපේ ළමයි.

පුතා කෙළින්ම ඇවිත් මට කිව්වා මෙහෙම.

"තාත්තෙ මට සිංහල කුණුහරුප ටිකක් කියලා දෙන්න ප්ලීස්?"

මං අහුවෙයි ඕවට!

දවසකට විතර පස්සේ මට ඇහුණා පුතා දෙතුන් පාරක් මං ඉන්න හරියෙන් යනකොට මට ඇහෙන්න වගේ "අපොයි, අපොයි" කියලා කියනවා.
නිකං මාව ටෙස්ට් කරන්න වගේ!

පස්සේ තමයි මං දැන ගත්තේ ගූගල් ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් එකේ අර එෆ් අකුරෙන් පටන් ගන්නා අකුරු හතරේ ඉංග්ලිෂ් වචනෙට දීලා තියෙන සිංහල තේරුම තමයි ඒ අපොයි කියන එක කියලා.

හොඳයි එහෙනම් ආයිබෝවන්, මට ලැබුණු කාලය අවසානයි.

මං දැන් "අපොයි-ඕෆ්" වෙන්නම්!

මගේ නම රසික සූරියආරච්චි, ආයේ දවසක හිටං විහිළු කතාවකින් හමුවෙමු, ඔබ සැමට සුභ සැන්දෑවක් වේවා!


අවස්ථාව ලැබෙන පරිදි, දිගින් දිගටම, "හිටං විහිළු" ඉදිරිපත් කිරීම මගේ අරමුණයි. මීළග අවස්ථාව ජනවාරි 26 දින ලැබේ යැයි බලාපොරොත්තු වෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඔබේ සාදයට, උත්සවයට, සංදර්ශනයට හිටං විහිළු ජවනිකාවක් එකතු කරගැනීමට අවශ්‍ය නම් මා අමතන්න.

Saturday 3 December 2016

අල කරගත් මංගල දඩ කොළයේ කතාව නොහොත් මගේ රියැදුරු බඹසර බිඳුණු හැටි - My first traffic offence


ඇතුල්කෝට්ටේ දෙසින් කොරොල්ලා කාරය පදවාගෙන පැමිණි මට පාර්ලිමේන්තු පාරට අවතීර්ණව බොරැල්ල දෙසට මීටර් පන්සියයක්වත් යන්නට වුයේ නැත. මා එක් වරම දුටුවේ ඈත සිට වාහනය එන මගට පිනූ පොලිස්කාරයෙකු මට නවතින්නට අණ කරන ආකාරයයි. වහාම තිරිංග තද කළ මම, පොලිස්කාරයින් දෙදෙනෙකු මෝටර් සයිකලයක් නවත්වා ගෙන සිටි ස්ථානය මදක් පසු කර වාහනය නවත්වා ගතිමි.

පාර පැත්තෙන් මා අසලට පැමිණි පොලිස්කාරයා විවර කළ කවුළුවෙන් මා අමතා "මහත්තයා වේග සීමාව කැඩුවා!" කියා ඔහු අත තිබුණු උපකරණයක් මට පෙන්වී ය. වේග මාපකයක් යැයි මා අනුමාන කළ මා ජීවිතයේ මුල්වරට දුටු ඒ උපකරණයේ මුහුණතේ 64 යන ඉලක්කම දුඹුරු පැහැයෙන් දිලිසෙමින් තිබුණි.

මම ඇස් කොනෙන් ඉදිරිපස මගී අසුනේ සිටි බිරිඳ දෙස බැලුවෙමි. අවුලක් නැති සෙයක් පෙනේ. මේ අපේ වාහනය පොලිසිය විසින් නවත්වන ලද මුල් ම අවස්ථාවයි.

එකල ඇතුල්කොට්ටේ පදිංචිව සිටි අප සාමාන්‍යයෙන් මේ මාර්ගයේ ගමන් කරන උදේ කාර්යාල වේලාවේ දී පැයට කිලෝ මීටර් විස්සක වේගයකින් වාහනය පදවන්නට ලැබෙන්නේ නම් එය වාසනාවකි. මේ වන විට වේලාව දහවල් එකොළහ පමණ වී තිබුණු අතර, වෙනදා දැක පුරුදු වාහන පෝලිම වෙනුවට හොඳටම හිස්ව ගිය මාර්ගය දුටු මගේ දෑස, මෂ්තිෂ්කය හරහා දකුණු කකුලට උත්තේජනයක් ලබා දී ඇක්සලරේටරය ලෑල්ලට ම නොවෙතත් ලෑලි භාගයකට පමණ පාගවා තිබුණි.

"එහෙනම් මහත්තයා දඩයක් ගෙවමු නේද?" පොලිස්කාරයා පැවසී ය.

වෙන කුමක් කරන්න ද? මම මද සිනහවක් පෑවෙමි.

නවක වාහන හිමිකරුවෙකු මෙන් ම, ඊටත් වඩා නවක වාහන පදවන්නෙකු ද වූ මට ඒ දිනවල පොලිස්කාරයින්ට "බනිස් කා තේ බොන්නට සල්ලි දීම" ගැන කිසිදු වැටහීමක් තිබුණේ නැත. එය කෙසේ වෙතත්, අද පමණක් නොව එදා ද කිසි ලෙසකින් අල්ලසක් දීම හෝ දීමට තැත් කිරීම හෝ මගේ ප්‍රතිපත්තිය නොවේ.

"එහෙනම් ලයිසන් එක දෙන්නකෝ!"

එදා මට එතැනින් නික්ම යන්නට ලැබුණේ මගේ තෙමසක් වයසැති රියදුරු බලපත්‍රය පොලිස්කාරයාට දී, ඒ වෙනුවට තාවකාලික බලපත්‍රයක් යැයි සැලකිය හැකි පොඩි තුණ්ඩු කැබැල්ලක් සහ රුපියල් එකසිය පනහක් වැනි මුදලක දඩයක් ගෙවීම සඳහා ඉන්වොයිසියක් ද රැගෙන ය.

ඕනෑම තැපැල් කාර්යාලයකින් ඒ දඩය ගෙවීමට හැකි බවත්, ගෙවූ කුවිතාන්සිය සමග වැලිකඩ පොලිසියේ රථවාහන අංශයට පැමිණ රියදුරු බලපත්‍රය ආපසු ලබාගැනීමට හැකි බවත් පොලිස්කාරයා මට කාරුණිකව දැනුම් දුන්නේ ය.

අවාසනාවක මහත!

මා කළ යුතුව තිබුණේ, "අද කළ යුතු දේ හෙටට කල් නොදමනු!" යන අප කුඩා කාලයේ අපේ ආච්චී නිතර කියනු අසා තිබූ ආත්තෝපදේශය අනුගමනය කරමින් රුපියල් එකසිය පනහේ දඩය එදින ම ගෙවා දැමීමයි. නමුත්, එය දිනෙන් දිනම අතපසු වී අවසානයේ මට අමතකම වී ගියේ ය.

සති දෙක තුනකට පසු මගේ වොලට්ටුවේ තිබුණු කඩදාසි තුණ්ඩුවක් දැක සිහිය සැපත් වුණි. වහාම තැපැල් කන්තෝරුවකට ගොස් එය ගෙවන්නට සැරසුණු වෙලේ එතැන සිටි ලිපිකරුවා මට පැවසූයේ දඩය ගෙවිය යුතු අවසාන දිනය ඒ වන විට ඉක්මවා ගොස් ඇති බවයි.

අවසානයේ මට සිදුවුණේ, උසාවියක දවසක් රස්තියාදු වී, කළ වරද ද ප්‍රසිද්ධියේ පිළිගෙන, විනාඩි කිහිපයක් උසාවියේ හිර කූඩුවේ ද ලැග, එකසිය පනහේ දඩය වෙනුවට ගෙඩි රුපියල් පන්සීයක ම දඩයක් ගෙවා නිදහස් වීමටයි.

එදා ඇරඹුණු දඩ කොළ සෙල්ලම එතැනින් අවසාන නොවී ය. පසුව ඕස්ටේ‍ර්ලියාවේ දී ද, නවසීලන්තයේ දී ද මම ඒ සුන්දර දඩ කොළ ක්‍රීඩාවේ යෙදුණෙමි.

මේ ලෙස ම නීරස ඒ විස්තර පසු දිනයක ලියමි.

-රසිකොලොජිස්ට්

(image: http://uncova.com/the-latest-joy-selfies-with-police-officers-giving-you-a-ticket)

Thursday 1 December 2016

මෙන්න අපේ වැඩ කිඩ! - New working conditions in my office


අපේ ආයතනයේ අලුතින්ම හඳුන්වා දී දැන් ක්‍රියාත්මක වන සේවා කොන්දේසි පිළිබඳ මා මේ සටහන ලියන්නේ ඉතා සතුටෙනි!

කලකට ඉහත මා ලියූ "නිවාඩු පාඩුව" නම් ලිපියේ දී, මා මගේ සේවා ස්ථානයේ සේවක-සේවා යෝජක දෙපක්‍ෂය අතර ඇති කරගෙන ඇති සේවා කොන්දේසි, විශේෂයෙන් ම සේවය කළ යුතු කාලය සහ නිවාඩු ආදිය, පිළිබඳව යාන්තමින් සඳහන් කළෙමි.

ඒ කාලයේ මා උදෑසන කාර්යාලයට ළඟා වූයේ පෙරවරු 9:30 ට පමණ ය. දවසේ සේවය නිමා කර ඉන් පිටවූයේ බොහෝ විට සවස හයට ය.

අපේ දිනපතා සේවා කාලය සහ නිවාඩු යනාදිය ඒ සඳහා සකසා ඇති පද්ධතියක සටහන් නිවැරදිව සටහන් කළ යුතු ය.

පෙර කී ලිපියේ විස්තර කෙරුණු පරිදි, දවසේ 9:30 සිට 3:30 දක්වා අවම කාලයක් සේවයේ නිරත වීමත්, පැය පහකට වඩා සේවය කරන දිනවල අඩ පැයක අවම ආහාර වේලාවක් සටහන් කිරීමත්, සතියකට අවමය ලෙස පැය 35 ක් සේවය කිරීමත් අනිවාර්ය කොන්දේසි වී තිබුණි. එසේ නැතිනම් අදාළ පරිදි නිවාඩු ලබා ගත යුතු විය. රාජකාරී ගමන් නොයෙදී ඇති දිනක උපරිම සේවා කාලය වූයේ උදෑසන 7:30 සිට සවස 6:00 දක්වා ය.

අපේ කාර්යාලයේ ස්ථාන මාරුව සහ කාර්යාලේ ඇති කළ "වැඩට-ඉඩ" සැලසුම පිළිබඳව ද මා මීට පෙර ලියා ඇත. ඒ වෙනස්කම් ඇති වූයේ පසුගිය මැයි මාසයේ ය.

ඉන් පසු නොබෝදා, සේවක-සේවා යෝජක එකඟත්වය මත සේවය කරන කාලය පිළිබඳව ලොකු වෙනස්කම් කිහිපයක් ක්‍ර්‍රියාත්මක කරන ලදී.

අපේ අලුත් සේවා කොන්දේසි මෙසේ ය.

1. උදෑසන හතේ හෝරාවේ සිට සවස හතේ හෝරාව දක්වා ඕනෑම වේලාවක අවශ්‍ය පරිදි සේවය කළ හැක. මින් පෙර මේ සීමාව උදෑසන හතහමාරේ සිට සවස හය දක්වා විය.

2. පෙර පැවති උදෑසන 9:30 සිට 3:30 දක්වා වූ අනිවාර්ය කාල සීමාව අහෝසි කර ඇත. දැන් දවසේ ඕනෑම වේලාවක(*) සේවයට වාර්තා කළ හැක.

3. නිවාඩු නොදමා දිනකට සේවය කළ යුතු අවම කාලය පැය පහක් පමණි.

මේ සියල්ල සේවකයා සහ කළමනාකරුවා අතර පෙර එකඟත්වයෙන්, තමන් කරන රාජකාරියට අනුකූලව පමණක් කළ යුතු වේ.

මේ අනුව මට සවස් වරුවේ පුද්ගලික කාර්යයක් යෙදී ඇති නම්, පෙර දී මෙන් නිවාඩු ඉල්ලීම අවශ්‍ය නැත. මට අවශ්‍ය නම් උදෑසන 700ට සේවය අරඹා දවල් 12:00 ට සේවය අවසාන කළ හැක. එවිට දවසේ අවම සේවා කාලය වන පැය පහ සම්පූර්ණ ය.

එසේ නොව, උදේ වරුවේ වෙනත් අවශ්‍යතාවක් යෙදී ඇති නම්, ඒ කටයුතු අවසාන කර පස්වරු 2:00 ට සේවය අරඹා සවස 7:00 වෙනතුරු සේවය කිරීම සෑහේ. වෙනදා මෙන් වරුවක් අනිවාරයෙන් නිවාඩු දමා අපර භාගයේ සේවය ඇරඹීම කිසිසේත් ම අවශ්‍ය නොවේ!

පෙරදා සවස කළ කර්මාන්තයක් නිසා උදෑසනක අවදිවීමට ප්‍රමාදවීම, වාහන තදබදය, දුම්රිය ප්‍රමාදය, සුපුරුදු දුම්රිය වැරදීම වැනි හේතු නිසා කාර්යාලයට යෑමට ප්‍රමාදවීම කියා දෙයක් දැන් නැත. මා එහි යන වේලාව, මා සේවය අරඹන වේලාවයි!

කොහොමද? හොඳයි නේද?

මීට අමතරව, අපට නිකුත්කර ඇති 4G සම්බන්ධතා සහිත ලැප්ටොප් පරිගණක නිසා වීපීඑන් හරහා කාර්යාලයට සම්බන්ධ වී නිවසේ සිට හෝ දුම්රියේ යනෙන විට දී හෝ සේවය කිරීමට ද ඉඩ සැලසී ඇත.

මෙහිදී අමතක නොකළ යුතු කාරණයක් වෙන්නේ දවසකට අවමය පැය පහක් වුව ද, පෙර දී මෙන් ම, සතියකට අවමය ලෙස පැය තිස් පහක් සේවය කළ යුතු බවයි. සතියේ දින පහම උදේ හතේ සිට දහවල් දොළහ දක්වා අවම පැය පහ පමණක් සේවය කර එය කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ ම, සෑම රැකියාවක් ම මේ ආකාරයට විවිධ වේලාවලට ඇරඹීමට නොහැකි අතර, එකම කණ්ඩායමේ සියලු දෙනාට ම එකම දිනයේ මේ ආකාරයට සේවය කළ නොහැක.

ඒ සමගම, තමන් විසින් ඉටු කළ යුතු රාජකාරීවලට අමතරව යෙදෙන, පොදු රැස්වීම්, කණ්ඩායම් ක්‍රියාකාරකම් වැනි කටයුතු සඳහා සහභාගී වීමෙන් ගැලවීමට මේ නම්‍ය සේවා සහන නිසා ඉඩ නොලැබේ.

එවැනි ප්‍රායෝගික කරුණු නිසා අනිවාර්යෙන් ම ඇති එවැනි සීමා යටතේ වුව ද, මේ අලුත් සේවා කොන්දේසි නිසා අපට සැලසී ඇති වාසි එමට ය.

උදාහරණයක් ලෙස, පසුගිය සතියේ දිනක සවස 3:00 ට මට විශේෂඥ වෙදෙකු හමුවීමට යෙදී තිබුණු අතර, වෙනදා මෙන් උදෑසන සේවයට ගොස් වරුවක ලෙඩ නිවාඩුවක් වැය කර ඒ සඳහා කලින් කාර්යාලයෙන් නික්ම යනවා වෙනුවට මා කළේ, එදා උදෑසන නමයට සේවය අරඹා සවස දෙකට වැඩ අවසාන කිරීමයි.

මේ වෙනසකම් ඇරඹී දැන් සති හතරක් පමණ ගෙවී ඇති මුත්, අපේ සේවා ස්ථානයේ සගයන් ගේ වැඩට පැමිණීමේ, පිටව යාමේ රටාවේ ලොකු වෙනසක් මා නුදුටුවෙමි.

ඒ කුමක් නිසා යත්, මොන සේවා කොන්දේසි අදාළ වුවත්, වඩා වැදගත් වනුයේ තමන්ට නියමිත කාර්යයන් නිසි පරිදි, නිසි වෙලාවට ඉටු කිරීම හෙයිනි!

-රසිකොලොජිස්ට්