Thursday 10 December 2020

ජීවිතයේ අවංක සතුටක් දැනුණු දවසක් - One of the happiest days of my life

මීට වසර කිහිපයකට පෙර මට ලංකාවේ ජීවත්වන අයෙකු විසින් කරන කතාවක් සයිබර් අවකාශයේදී අසන්නට ලැබුණි.

යම්කිසි ආගමික පසුබිමක් සහිත වූව ද, ඒ දේශනයේ අන්තර්ගතය වූයේ ලංකාවේ සාමය සංහිඳියාව පිළිබඳ ඉතා වැදගත් අදහස් ගොන්නකි. ඒ කතාව ඇසූ මට ඒ දේශකයා පිලිබඳව කෙතරම් ගෞරවයක්, ඒ දේශනය පිළිබඳව කෙතරම් පැහැදීමක් ඇතිවුණා ද කියනවා නම්, ඒ පිළිබඳව වෙනම ම ලිපියක් ලියා මගේ රසිකොලොජි බ්ලොග් අඩවියේ පළ කළෙමි.

එයින් වසර දෙකහමාරකට පමණ පසු දිනයක මට සිනුවර දී ඒ මා ගරු කරන දේශකයා හමුවීමට අවස්ථාවක් ලැබුණි.

එතැනදී කෙරුණු කණ්ඩායම් සාකච්ඡාවෙන් පසුව දහවල් කිස ද නිමකර, දේශකයා පිටව යාමට සැරසුණු මොහොතේ දී, මා හඳුන්වා දී වචන කිහිපයක් කතා කළ මම, මගේ රසිකලොජි බ්ලොගය ප්‍රවර්ධනය කිරීම සඳහා මුද්‍රණය කර තිබෙන කාඩ් පතක් ද ඔහු අත තැබුවෙමි.

එය දුටු විගස ඔහුගේ මුවෙන් පිටවුණේ මා කිසි දිනක නොසිතූ වචන කිහිපයකි.

"ආ! රසිකොලොජි බ්ලොගය ලියන්නෙ ඔබ ද? ඊට කලින් කතන්දර නම් බ්ලොගය ලිව්වේත් ඔබ නොවේ ද?"

මා ගරු කරන උතුම් මිනිසකු එලෙස මගේ බ්ලොග් පඩංගු පිළිබඳව තැන සිටීම පිළිබඳව මම පුදුමයට පත්වීමි.

ඒ සමගම මට දැඩි සතුටක් ද ඇති වුණේ ඔහු ඊළඟට කියූ කරුණ නිසා ය.

"මාත් කාලෙකට කලින් බ්ලොග් එකක් ලිව්වා. ඒ ලිපි කිහිපය පළකර මා ලැබූ අත්දැකීම් ඉතාමත් වටිනවා."

මා එදා ලැබුවේ බ්ලොග්කරුවෙකු වීම පිළිබඳ අවංක සතුටකි.

මා බ්ලොග්කරුවෙකු වී දැන් මේ ගෙවෙන්නේ දාසයවෙනි වසරයි!

-රසික සූරියආරච්චි

Monday 7 December 2020

සුනාමිය ගැන සිනා යන කතාවක් - This is NOT what they call "Schadenfreude"...!!!

දස දහස් සංඛ්‍යාත පිරිසකට මරණය ගෙන දුන් 2004 සුනාමිය යනු කිසි ලෙසකින් සිනාවට කාරණයක් නොවේ. නමුත්, මෑතක දී සිට එක්තරා කාරණයක් නිසා දෙසැම්බර් එළැඹී සුනාමිය සිහිවෙන විට මගේ අමුතුම සිනාවක් ද නැගේ.

අමුතුම කියා කීවේ එය හාස්‍යය මුසු හිනාවක් නොව වෙනත් ආකාරයක දුකක් නිසා ඇතිවෙන හිනාවක් නිසා ය.

මෙන්න කතාව. ඔබම කියවා හිනාවට හේතුව තේරුම් ගන්න.

මීට වසර පහ හයකට පෙර, බොහෝවිට ඒ සුනාමියේ දහවෙනි සංවත්සර වසරේදී විය යුතුයි, මා මම ෆේස්බුක් එකේ පහත සටහන දුටුවෙමි.
2004 Dec 26 I am Never Forgot Day, Because That I was victim Day.I was second Born,I want to go My home (Matara) At that time I was in galle Bus station at 9.15 am. U see 1st picture ,I was sit inside at that bus ,some person was shouting "Water Coming in Sea Side". I saw Very Huge water came in bus station , After I Jumped over the Bus, After bus was arrived in Bus station, I jumped to station roof, i waited 30 second,i saw Broken roof . I jumped yellow building(3rd PIC ) through windows,At that time I remember lord Buddha.........
එය යොදා තිබුණේ මා 1992 පමණ සිට දන්නා හඳුනන, එවකට තරුණයෙකු විසිනි. ඔහු එකල සමීපතමයෙකු විය. එක හැලියේ බත් ද කා ඇත්තෙමු. ඊට අමතරව, ඔහු එක්තරා ආකාරයකට මගේ ඥාතියෙකු මෙන්ම ශිෂ්‍යයෙකු ලෙස ද සැලකිය හැකිය.

මා 1995 සිට වාසය කරන්නේ නොරටක නිසාත්, මේ පුද්ගලයා පසුගිය කාලය පුරාවටම හමුවී නැති නිසාත්, ඉහත ප්‍රකාශය දකින තුරු, මම ඔහුගේ ඒ සුනාමි අත්දැකීම ගැන දැන නො සිටියෙමි.

මා කම්පාවට පත් කළ අනෙත් කරුණ වූයේ, ඒ වැදගත් අත්දැකීම ඔහු ඉංග්ලිෂ් භාෂාවෙන් ලියන්නට ගොස් කර තිබුණු විකාරයයි.

පැරණි හිතවත්කම් නිසා, මම ඔහුට පණිවිඩයක් යවමින් මෙසේ කිව්වෙමි.
There are so many gramertical grammatical and structural errors in your post about Tsunami and its is incomprehensible.

Do you want me to correct the text and sent to you so that you can edit what has been posted?
මට ලැබුණු පිළිතුර මෙලෙස විය.
Thank you,don't worry about this.
සුනාමිය සිහිවෙන විට මට සිනා එන කාරණය මෙයයි. ඒ හිනාව දුකක් නිසා ඇති වෙන එකකි.

ඒ තමන්ට හොඳ සිතින් උපකාරයක් කිරීමට දන්නා හඳුනන අයෙකු ඉදිරිපත් වූ විට මේ පුද්ගලයා එය ප්‍රතික්‍ෂේප කළ ආකාරය දැක ඇති වූ දුක ය. එවැනි පුද්ගලයින්ට උදව් කරන්නට ගිය මා ගැන ඇතිවන දුක ය.

-රසික සූරියආරච්චි

ප/ලි:
පෙර කී සටහන අද ද එලෙසම තිබේ. එකම වෙනස නම් මේ පුද්ගලයා අද වෙනස් ෆේස්බුක් ගිණුමක් භාවිතා කිරීමයි.

Wednesday 2 December 2020

තාත්තා එවූ ලිපිය - Nostalgic memories





















අවුරුදු දහඅටයි, මාස එකොළහයි, දින හතක් දෙමව්පියන් සමග නිවසේ ගත කර විශ්වවිද්‍යාලයට යාම සඳහා මා ඔවුන්ගෙන් ඈත්වුණු පසු තාත්තා මට එවා ඇත්තේ, මගේ මතකයට අනුව, ලිපි දෙකකි. ඉන් පළමුවැන්න, මට ලැබුණේ මා විශ්වවිද්‍යාලයේ වසර හතරක් ගත කර අවසාන විභාගයට සූදානම් වෙන කාලයේ දී ය.

මේ කෙටි සටහන ඒ ලිපිය පිළිබඳවයි.

පේරාදෙණියේ ජීවත්වීම ඇරඹූ පසු මා මුල් කාලයේ සෑම සති අන්තයේම, නැති නම් අඩු වශයෙන් මසකට දෙවරක් ම, ගෙදර ගියෙමි. ඇඳුම් සෝදා වේලා ගත්තේ ගෙදර දී ය. කටට රසට කෑමක් කෑවේ ගෙදර දී ය.

නමුත් ටික කලක් ගතවෙන විට සති අන්තයේ ද විශ්වවිද්‍යාලයේ නතර වී සිටිය යුතුම වන ආකාරයේ නොයෙකුත් වැඩ කටයුතු යෙදෙන්නට විය. එනිසා, ගෙදර යාම මසකට වරක් දක්වා සීමා විය. එලෙස මසකට වරක් කෙලෙස හෝ ගෙදර යන්නට හේතුව වූයේ මගේ වියදමට අවශ්‍ය මුදල් ලබා ගැනීමටයි.

ඒ දිනවල මාසයක් විශ්වවිද්‍යාලයේ වාසය කිරීමට මට රුපියල් හාරසීයක් පමණ වැය විය. එයින් අතිබහුතර කොටස වැය වූයේ ආහාර පාන සඳහා ය.

පාන් බාගයක්, පරිප්පු දීසියක් සහ තේ කෝප්පයකින් යුතු උදෑසන ආහාරය සඳහා රුපියල් දෙකයි ශත පනස් පහක් වැය විය. දිවා ආහාරය වූයේ හරක් මස්, පරිප්පු/මුංඇට හොද්ද සහ මැල්ලුමක් සහිත බත් පිඟානකි. එහි මිල රුපියල් තුනයි ශත විසි පහකි. ඉඳිආප්ප වැනි කෑම වර්ග තිබුණ ද, ඒ සඳහා වැය කළ යුතු මුදල සාපේක්‍ෂව වැඩි වූ නිසා මගේ රාත්‍රී කෑම ද බත් පිඟානක් ම විය.

ඊට අමතරව දිනකට ඉංජිනේරු පීඨ කැන්ටිමෙන් තේ කෝප්ප දෙකක් සඳහා රුපියලයි ශත විස්සක් ද, නේවාසිකාගාරයේ භෝජනාගාරයෙන් රාත්‍රියේ බොන තේ කෝප්පය සඳහා ශත පනහක් ද වැය විණි. ඉස්පන්චියකට හෝ ඥානකතාවකට හෝ සිත ගිය දවස් ද එහෙන් මෙහෙන් උදා නොවූයේ නොවේ.

අධ්‍යාපන කටයුතු සඳහා වියදම් ලෙස තිබුණේ ලිපිද්‍රව්‍ය සඳහා ගිය සුළු මුදලක් පමණි. වසර හතරකම අධ්‍යයන කාලය තුළ අපට එකදු පොතක් හෝ මිල දී ගැනීමට සිදු නොවුණි. පුස්තකාලයේ තිබුණු පොත්, පොත් ආශ්‍රයෙන් ඉගෙනීමට උනන්දුවක් දැක්වූ අය සඳහා ප්‍රමාණවත් වූ බව පෙනුණි.

අමතර වියදම් වූයේ, විශ්වවිද්‍යාලයේ දී හෝ ඉඳහිට මහනුවර දී චිත්‍රපටයක් නැරඹීම සහ ඒ හා සම්බන්ධ ගමන් ගාස්තු යනාදියයි. රහමෙර පානයක් සිදුවූවා නම් සාමාන්‍යයෙන් සිදුවුණේ, වාර්ෂික විනෝද චාරිකාව අතරතුර, වසර අවසාන විභාගය අවසානයේ සහ වසර මැද ඊට කලින් වසරේ ප්‍රතිඵල එන දිනයේ දී පමණි.

මගේ වියදම් සඳහා මල්ලිකා පුංචි අම්මා මට රුපියල් සීයක් ලියුම් කවරයක දමා විශ්වවිද්‍යාලයේ ලිපිනයට එව්වා ය. එනිසා, තාත්තාගෙන් ඉල්ලා ගන්නට අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාලයේ ගත කරන මසකට රුපියල් තුන්සීයක් පමණි.

මා අනිවාර්යෙන් මසකට වරක් නිවසට ගියේ ඒ මුදල ලබා ගැනීම සඳහා ය.

අවසන් වසරේ අවසන් සමයේ දී එය වෙනස් විය.

මා බාර ගත් අවසන් පොදු කටයුත්ත වූ අපේ කණ්ඩායමේ සමූහ ඡායාරූපය (batch photo) පිළිබඳ වැඩ කටයුතු ද අවසන් කොට, අවසානයේ, මගේ මේසය අස්පස් කර, දේශන සටහන් එකතු කරගෙන විභාගයට සූදානම් වීම සඳහා වාඩි වූ මට පෙනී ගියේ විභාගයට ඇත්තේ තව හරියටම දින තිස් හයක් පමණක් බවයි. එතැන් සිට විභාගයට සති දෙකක් පමණ ගතවේ. ඉන් පසුව ද, පාඨමාලාවේ වාර්තා සියල්ල සකසා භාර දීමට තවත් දින කිහිපයක් ගතවෙනු ඇත.

ඒ අනුව ගෙදර ගොස් එන්නට දින දෙකක් ගත කිරීම කළ නොහැකි බව මට පෙනී ගියේ ය.

මම තාත්තාට ලිපියක් ලිව්වෙමි.

එහි මූලිකවම ලියවුණේ මට විභාගය අවසන් වී, ශිෂ්‍ය ජීවිතය අවසන් කර නිවසට එන්නට පෙර වෙනදා මෙන් ඇවිත් යන්නට නොහැකි බවත්, සාමාන්‍ය වියදම්වලට අමතරව කණ්ඩායම් ඡායාරූපය සහ තවත් වියදම් සඳහා ද අමතර මුදල් අවශ්‍ය බැවින් රුපියල් හයසීයක් පමණ මනි ඕඩරයකින් එවන ලෙසත් ය.

සතියකින් පමණ මට තාත්තාගෙන් ලියා පදිංචි කළ ලිපියක් ලැබී තිබුණි.

මා මුලින් සඳහන් කළ පරිදි එය මට තාත්තාගෙන් ලැබුණු මුල්ම ලිපියයි.

"මගේ ආදරණීය පුත්‍රයා වෙත" කියා අරඹා තිබුණු ඒ ලිපියේ ඉතා වැදගත් කරුණක් අඩංගු විය.

ඇත්තටම එය ඉල්ලීමකි.
"පංති සාමාර්ථයක් සහිතව විභාගය සමත්වෙන්න සිතට ගන්න."
ලිපිය සමග වූ මනි ඕඩරය හෙවත් මුදල් ඇණවුම දෙස බැලූ මගේ ප්‍රීතිය ඉහවහා ගියේ ය. තාත්තා මට රුපියල් දාහක් ම එවා තිබුණි!

පන්ති සාමාර්ථයක් සහිතව හෙවත් ක්ලාස් එකක් සහිතව විභාගය සමත්වෙන ලෙස ඉල්ලමින් තාත්තා එවා තිබුණු ඒ ලිපිය මා එදින පුස්තකාලයේ සිට නැවත දෙවරක්ම කියෙව්වෙමි.

එය ඉටු කිරීමට ලෙහෙසි පහසු ඉල්ලීමක් නොවන බව මට වැටහුණ ද, ඒ ලිපිය මට අත්‍යාවශ්‍ය දිරිගැන්වීමක් ලබා දුන් බව මට අද වැටහේ.

තාත්තා මියගොස් අදට දස වසරක් පිරෙයි.

මේ සටහන ලියන්නට සිතුණේ ඒ නිසා ය.

-රසික සූරියආරච්චි

ප/ලි:
තාත්තා මට එවූ ඒ පළමු ලිපිය මට ලැබුණේ ඔක්තෝබරයේ මුල් සතියේ විය යුතුයි. එයින් මාස දහයකට පමණ පසු අගෝස්තු මස නමවෙනිදා පේරාදෙණියේ තැපැල් කාර්යාලයට ගිය මම තාත්තාට විදුලි පණිවිඩයක් යැවුවෙමි.
සෙකන්ඩ් අපර් එකක් සමග විභාගය සමත්. දින කිහිපයකින් එන්නම්.
-රසික
(ඔව් මාස දහයකට පසුව. පුදුමයි, ඒත් ඇත්තයි. පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ පරිපාලනයේ කාර්යක්ෂමතාව එතරම් ඉහළ විය!)

ප/ප/ලි:
තාත්තා සම්බන්ධ වෙනත් සටහන් කිහිපයක්.

1. තාත්තාගේ ජන්ම ශතක සංවත්සරය - Remembering my father https://rasikalogy.blogspot.com/2020/11/remembering-my-father.html

2. ස්තුති පත්‍ර දැක තියේ ද? - Remembering my father on the seventh anniversary of his demise
https://rasikalogy.blogspot.com/2017/12/remembering-my-father-on-seventh.html

3. අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් හැටි - Matriculation examination was a botheration to the young generation whose main occupation was cultivation by irrigation
https://rasikalogy.blogspot.com/2016/03/matriculation-examination-was.html

4. මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!
https://rasikalogy.blogspot.com/2017/04/it-all-about-education-stupid.html

5. තාත්තා ගේ දුරාචාරය - One bad habit
https://rasikalogy.blogspot.com/2017/05/one-bad-habit.html

6. අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ - All them teachers!
https://rasikalogy.blogspot.com/2016/11/all-them-teachers.html

7. දත් වහල්ල මැදීම - Show me your teeth please!
https://rasikalogy.blogspot.com/2016/06/show-me-your-teeth-please.html

8. හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට් - Once again down the memory lane
https://rasikalogy.blogspot.com/2016/05/once-again-down-memory-lane.html

9. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html

10. අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? How to be a Buddhist?
https://rasikalogy.blogspot.com/2015/06/how-to-be-buddhist.html

11. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
https://rasikalogy.blogspot.com/2015/09/such-is-life.html

12. හිටං විහිළු නොහොත් "කුණුහරුප සහ අමාරු වචන" - Stand up!
https://rasikalogy.blogspot.com/2016/12/stand-up.html

13. වල්ලභයා-සංසර්ගය-ගණිකාව : පියෙකු ගේ කතාවක් (පුතෙකු ගේ හඬින්) - His fathers voice
https://rasikalogy.blogspot.com/2015/10/his-fathers-voice.html

14. අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය :: Roots
https://rasikalogy.blogspot.com/2016/11/roots.html

(image: my father when he was 36 years old)