Friday 24 May 2024

බයියන් ෆෝම් වෙන වීඩියෝවක් - Come have a look!


මේ වීඩියෝවේ කිසිදු අලුත් කරුණක් හෝ නව සොයා ගැනීමක් හෝ අඩංගු නැති නමුත් මේවා "සිංහලබුඩ්ඩාගම" "අදහන" බොහෝ දෙනා නොදන්නා, අසා නොමැති කාරණා බවට සැකයක් නැත.

බුදුන් ලංකාවට පැමිණ නැති බව ඉතා පැහැදිලි කරුණකි. කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නැතුවා පමණක් නොව ඔහු විසූ උතුරු ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන්නට අශ්වයින් පිට ආවත් මාස ගණනාවක් ගත වෙන නිසා ය.

සත්‍යය එසේ නමුත් පරම්පරා ගාණක් තිස්සේ අපි අසත්‍ය බව දැන දැනම බුද්ධ චරිතය සහ බුද්ධ ධර්මය වෙනස් කරමින් ගෙතුණු මිථ්‍යා කතා විශ්වාස කරමින් සිටිමු. ඒවා පාසල් විෂය මාලාවට ඇතුළත් කර ඇති අතර ඒ ටොම්පච හොඳින් ඉගෙන ගත් මා වැන්නන් ඒ කෙප්ප ම නැවත කොළවල ලියා විශිෂ්ට සාමාර්ථ ද ලබා ඇත.

තුන්වෙනි ශත වර්ෂයේදී පමණ එතෙක් පේගන් සහ බහුදේව ඇදහිලි කළ රෝමන් පාලකයින් විසින් කතෝලික ආගම නිපදවීමේ දී ජේසු චරිතය සහ ඔහු කළ කී දේවලට ජන්ම පාපය, නිර්මල පිළිසිඳ ගැනීම සහ උට්ඨානය වැනි ඇතුල් කර කළේ ද මේ ආකාරයේම විකෘති කිරීමකි.


මේ කරුණු නැවත ඉදිරිපත් කිරීම ගැන මේ භික්ෂුවට මගේ ප්‍රශංසාව හිමි වේ.

- රසික සූරියආරච්චි

පැහැදිලි කිරීම:

1. සිංහලබුඩ්ඩාගම යනු බුදු දහම නොවේ.

2. ඇදහීම යනු බෞද්ධ පිළිවෙතක් නොවේ.

(Video: Charana TV)

Tuesday 21 May 2024

පරිවර්තනය /අනුවර්තනය සහ නැවත ලිවීම - Lost in translation


සාහිත්‍යමය සංවාදයකට සූදානම් වීම සඳහා උබයසිරි විජයනන්ද වික්‍රම ගේ පරිවර්තන කවි ඇතුළත් “ඉංග්‍රීසි පද්‍ය සිංහලෙන්” කෘතිය කියවමින් සිටිය දී පැරණි මතකයක් සිහියට නැගුනු අතර ඊ මේල අවුස්සා සොයාගත් විස්තර අනුව එය මෙලෙස පෙළගස්වමි.

ඕස්ට්‍රේලියාවේ පර්ත් ග්‍රාමවාසී කවියකු වන සුනිල් ගෝවින්නගේ පහත කවිය 2006 ඔක්තෝබර් මාසයේ දී රචනා කළේය.

Stopping by a cafe on King Street on a grey morning

White strangers walk swiftly in the narrow way
As the lightning flashes in the sky

Like a weeping widow
The sky Graves and drapes black

I have to rush to work
To make a living by killing my soul

I need to warm my heart
To revive my dying body

I find a cafe selling Ceylonese tea
To sustain my body

A crab in the pot
As the water begins to seethe

I float with the feeling of comfort
Consoling my feeble soul

එදිනම ඔහු ට ඉහත කවිය සිංහල භාෂාවෙන් ද මෙලෙස අකුරු කර ඇත.

වැඩ අරඹන්නට පෙර

මා නොහඳුනන සුදු මිනිසුන්
විදුලි සැරින් පටු මේ මඟ සැඟවී යයි

අහස් කුස ද කම්පා වී
කළු තිර පොරවා හිස මත
වැලපෙන්නී කනවැන්දියක විලස

විරුද්ධ දුවයි සැඟවෙන්නට
බියපත් වූ ළමයෙකු ලෙස

මරා දමන්නට හදවත
යා යුතු වෙයි වැඩපොළ වෙත

උණුසුම් කළ යුතුය මහද
පණ දෙන්නට මිය යන ගත

රිංගමි තේ කඩයක් වෙත
උණුසුම්කරනට තොල කට

ලබමි සැනසුමක් රඳවන
ලංකා තේ කෝප්පයක

මිය යන කකුළුවකු විලස
දිය සැලියක රැඳී සිටිමි

බියපත් වූ සිත සනසා
සොඳුරු ලොවක වෙසෙන මොහොත


සුනිල් ගෝවෙන්න ගේ ලියූ ඒ සිංහල පදවැල දුටු ලංකාවේ විසූ එඩ්වින් ආරියදාස විසින් එය මෙලෙස ඉංග්‍රීසි බාෂාවට පරිවර්තනය කර ඇත.

Before settling down

White men who know me not
Trotting along in a mighty haste
In lightning-flash steps and speed
Vanish down narrow alleys

The Sun too scurries for shelter
Like a frightened child,
Avoiding roads and path-ways

Shocked and shaken, the vaulted sky
Head wrapped in black shawls
Lemons and weeps, widow-vice

Disposed of all, am I
I must (warm) my heart
With the familiar remedy

I slink into a tea-kiosk
To reheat my lips and mouth
Sipping a drop of Lanka tea

A fleeting, transient relief comes.
Like what a helpless crab feels
In a pot of water, gradually heating up.


එඩ්වින් ආරියදාසගේ ඒ පරිවර්තනය ඩේලි නිවුස් පුවත් පතේ (30/10/2007) පළ වූවකි.

තමන් ලියූ සිංහල සහ ඉංග්‍රීසි කවි ද්වය ද, එඩ්වින් ආරියදාස ගේ පරිවර්තනය ද සුනිල් ගෝවින්නගේ ඒ දිනවලම මා වෙත එවීය.

මේ කවි කියවීමෙන් පසු මා කළේ සුනිල් ගේ මුල් සිංහල කවිය සිංහලට පෙරලීමට උත්සාහයක් දැරීමයි.

Before shift starts

Unknown white fellas
Vanish down the lane in a flash

Frighten like a child
The sun too, is in a hurry to hide

The sky resembles a weeping widow
Her shattered self hidden in a black veil

I must rush to work right now
To kill my ailing soul

Yet I must make my heart warm
To keep my body alive

I crawl into a cafe by the lane
Throw my lips and mouth

I find the relief I sought
In a cup of Ceylon tea

Like a crab in a boiling pot
I enjoy a moment in the cafe

A moment where I live in a wonderful dream
With no fear in my relieved heart


ඊළඟට මා උත්සාහ කළේ එඩ්වින් ආරියදාසගේ සහ සුනිල් ගෝවින්නගේ ගේ ඉංග්‍රීසි පරිවර්තන ඇසුරෙන් ඒ අදහසේ සිංහල අනුවාදයක් කිරීමටයි.

මෙන්න එහි ප්‍රතිඵලය.

වැඩ ඇරඹීමට පෙර

සුදු දනෝ අරුමැති
මේ පටු මගේ ඇවිදිති
විදුලි එළි මෙන් නිති
අඳුරු මඟ අග සැණින් සැඟවෙති

හිරු නොමැත බලවත්
මගහරී මං මාවත්
දරුවෙකු ලෙසින් බියපත්
සැඟවෙන්නට දරයි තැත්

විලස වැන්දඹු කත
කළු සේල ලා හිස මත
අහස් කුස කම්පිත
දුක්බරව අද කඳුළු වගුරත

ආත්මය මැරුමට
යා යුතුව ඇත සේවෙට
ගිලන් ගත රැකුමට
ඇවැසි වේ උණුසුමක් මා හට

ගොඩ වෙමි කඩපිලට
ලක් තේ රසය විඳුමට
මා මුවට දෙතොලට
ලැබෙන උණුසුම සුපුරුදුය මට

දිය කෙලින ජලයේ
රත්වෙන සෙමින් සැලියේ
කටක වින්දනයේ
මිහිරි සුවය ද මා ලබනුයේ?


මේ සටහන අවසාන කිරීමට මට එකතු කිරීමට ඇත්තේ මෙයයි.

කවි පරිවර්තනය කළ නොහැක. මෙය ඉංග්‍රීසි කවි සිංහලට පරිවර්තනයේ දී මෙන් ම, සිංහල කවි ඉංග්‍රීසියට පරිවර්තනයේ දී ද අදාලය. ඕනෑම භාෂාවක් සඳහා මෙය සත්‍යයැයි සිතමි. නමුත්, අනුවර්තනයක්, කවියේ අදහස ඇසුරෙන් ප්‍රතිරචනයක් හෙවත් නැවත ලිවීමක් නම් කළ හැක.

එසේ කිරීමේ දී සිංහල කවි සම්ප්‍රදාය අනුව සිව් පදයෙන් යුතුව, විරිතක් අනුගමනය කරමින්, එළිසමය ද සහිතව ලිවීම අනුවර්තනය හෝ ප්‍රතිරචනය හෝ අසීරු කරයි.

- රසික සූරියආරච්චි

(image: Created using Mirosoft Copilot Designer)

Tuesday 7 May 2024

නලින් ද සිල්වා පිළිබඳව වචනයක් දෙකක් - A wasted life


තකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ නලින් කුමාර් ද සිල්වා හෙවත් කවුරුත් දන්නා පරිදි නලින් ද සිල්වා පිළිබඳව වචනයක් දෙකක් ලිවීමට සිතුණි. එයට මූලික හේතුව නම් ඔහුගේ මරණයයි.

මට ඔහු ගැන කීමට ලොකු දෙයක් නැත. නමුත් කීමට තිබෙන සුළු දෙය හෝ කීමට ඉදිරි කාලයේ මීට වඩා හොඳ අවස්ථාවක් ලැබේ යැයි නොසිතන නිසා මෙසේ ලියමි.

කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වූ ආචාර්ය නලින් ද සිල්වා පිළිබඳව මගේ මතකය අසූවේ දශකයේ මුල් භාගය දක්වා දිව යයි. ඒ වෙන විට ජනප්‍රිය මුද්‍රිත ප්‍රකාශනයක් වී තිබුණු දිවයින ඉරිදා සංග්‍රහයේ නලින් ද සිල්වා ලියන ලිපි නිරතුරුවම පළවිය. ඒ ලිපිවලින් ගම්‍යවූ මූලික අදහස්වලට සහ මෙන්ම ඒවායේ සාමාන්‍ය දිශානතිය ද මගේ සිත් ගත් බැවින් ආචාර්ය නලින් ද සිල්වා එක්තරා ආකාරයකට එකල මගේ මෙන්ම, මා වැනි සමාජ දේශපානල කරුණු පිළිබඳ උනන්දුවක් දැක්වූ තරුණ කොටස්වල වීරයෙකු බ බවට පත්විය.

නලින් ද සිල්වා ඒ ලිපි ලියූ භාෂාවේ අඩංගු වී තිබුණු සියුම් උපහාසය ද ඔහුගේ ලිපි අපට රසවත් වීමට එක් හේතුවක් වන්නට ඇත.

ඒ කාලයේ නලින් සිල්වාගේ අදහස් ඉතා ප්‍රගතිශීලී මෙන් ම, ඉදිරිගාමී ද විය. කළ යුතු ආකාරයට ම, පැවතුණු යූඇන්පී ආණ්ඩුව ගැන ඔහු සැම විට ම පෑවේ නිර්දය විවේචනයකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සමාජ විද්‍යා සංගමයේ මා ලේකම් ලෙස කටයුතු කළ අපේ තෙවෙනි වසරේ දී නලින් ද සිල්වාගේ දේශනයක් සංවිධානය කිරීමට ද හේතු වූයේ දිවයින පුවත්පතේ ඔහුගේ ලිපි කියවා තරුණ අපේ සිත් තුල ඇති වී තිබුණු යහපත් හැඟීමයි නිසා බව අමුතුවෙන් කිවයුතු නැත.

මේ දේශනය සඳහා ඔහුට ආරාධනා කිරීමට මම කොළඹ නොගියෙමි. මා කළේ, අපේ ආරාධනය සහ යෝජිත දිනවකවානු සහිත ලිපියක් ලියා තැපැල් කිරීම පමණි . ඔහු අපේ එම ආරාධනය පිළිගෙන අපට ඒ බව දන්වා එවීය.

ඉන්පසු මා කළේ විශ්වවිද්‍යාලයේ කාමරයක් භාවිතා කිරීම සඳහා ශිෂ්‍ය සුභසාධක අංශයෙන් ෆෝර්මයක් පුරවා දී අවසර ගැනීමයි. ඉන්පසු අපි මේ යෝජිත දේශනය ගැන දැන්වීම් කිහිපයක් විශ්වවිද්‍යාලයේ විවිධ තැන්වල පළ කර ඒ සඳහා සූදානම් වීමු.

දේශනය පැවැත්වීමට නියමිත වූයේ සතියේ දිනයක හවස හතර හමාරට ය. ඊට ස්වල්ප මොහොතකට කලින් මා සිතන පරිදි බසයකින් පේරාදෙණිය හන්දියට පැමිණ එතන සිට පයින් ගම්පොළ අලුත් පාරේ ඇවිදගෙන පැමිණි නලින්ද සිල්වා ඉංජිනේරු පීඨයේ පේරාදෙනිය පැත්තේ පිහිටි පඩිපෙළ දිගේ උඩට නැග පීඨය දෙසට එනවා මම දුටුවෙමි.

මා ඔහු මුලින්ම දුටුවේ එදා ය.

ඒ වර්ෂය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර තරුණ වර්ෂය ලෙස නම් කර තිබුණු නිසා අප ඔහුට යෝජනා කර තිබුණු දේශන මාතෘකාව වූයේ ඒ හා සම්බන්ධ, මගේ මතකය පරිදි නූතන ලාංකික තරුණ පරපුරේ කාර්යභාරය වැනි එකකි. එය කුමක් වුවත්, කළ යුතු පරිද්දෙන්ම, නලින්ද සිල්වා කළේ තමන්ගේ අදහස් රිසි පරිදි කියාපෑමයි.

එදාත් තම දේශණයේ දී නලින්ද සිල්වා පැවසූ එක් කරුණක් පමණක් අමතක නොවන සේ මගේ මතකයේ රැඳී ඇත. දේශනය අවසානයේ දී සභාවෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස එද්අඅ ඔහු කීවේ එවකට ලංකාව ආණ්ඩු කළ ජේආර් ජයවර්ධනගේ යූඑන්පී ආණ්ඩුව පරාජය වෙනත් ආණ්ඩුවක් පිහිට වූ වහා ම කළ යුතු ප්‍රධානම කාර්යය වන්නේ එක්සත් ජාතික පක්ෂය තහනම් කර දැමීම බවයි.

නලින් ද සිල්වා මට දෙවන වරට මුණගැසුනේ ඊළඟ වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා තිබුණු කාලයේ දී ය. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මහනුවර නගරයේ ශාලාවක ප්‍රසිද්ධ මහජන සම්මන්ත්‍රණයක් සංවිධානය කෙරුණි. මේ සම්මන්ත්‍රණයේ මූලික අරමුණ වූයේ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු විශ්වවිද්‍යාල සංශෝධන පනතට විරුද්ධව අදහස් ඉදිරිපත් කිරීමයි. ප්‍රගතිශීලී කථිකයකු ලෙස මෙන්ම, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස ද අප දන්නා නලින්ද සිල්වාට ද මෙයට ආරාධනාවක් කෙරුණි. ඒ ද මූලිකව ම ලිපියක් මගිනි.

දින කිහිපයකට පසුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ රැස්වීමකට සහභාගි වීම පිණිස මම කොළඹ විශ්ව විද්‍යාලයට ගියෙමි. රැස්වීම ඇරඹීමට පෙර මා නලින්ද සිල්වා හමුවීමට, මට මතක විදිහට ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පැවති, ඔහුගේ කාර්යාල කාමරයට ගියෙමි. මා කවුද යැයි හඳුන්වා දුන් පසු ඔහු මට පවසා සිටියේ අපේ යෝජිත සම්මන්ත්‍රණය සඳහා (වෙනත් වැඩරාජකාරි කරුණු නිසා) ඔහුට සහභාගිවීමට නොලැබෙන බවයි.

පෙර දින දෙකේ දී හමු වූ විට මෙන් කතාබහ නොකළ ද මා නලින්ද සිල්වාව තුන්වෙනිවරට දුටුවේ එයින් අවුරුදු හතකට පමණ පසු කැලණිය විශ්වවිද්‍යාලයේ දී ය.

ඒ වන විට මම කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්මික කළමනාකරණ (ඉන්ඩස්ට්‍රියල් මැනේජ්මන්ට්) අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකු මෙන් සේවය කරමින් සිටියෙමි. විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා සංගමය වැනි ශිෂ්‍ය සංගමයකින් සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුණි. එහි තේමාව වූයේ ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයයි. ආරාධිත ලේඛක දේශකයින් වූයේ නලින් ද සිල්වා සහ වික්‍රමබාහු කරුණාරත්නය.

නලින් ද සිල්වාගේ මරණයෙන් පසු ලිය වී තිබුණු සටහන් කිහිපයකින් මා දැන ගත්තේ මේ ආකාරයේ නලින් ද සිල්වා සහ වික්‍රමබාහු කරුණාරත්න ද්විත්ව දේශනයෙන් සමන්විත වූ සම්මන්ත්‍රන විශ්වවිද්‍යාල කිහිපයකම එකල සංවිධානය වී ඇති බවයි.

මේ වන විට මගේ මතකයට අනුව නම් නලින් ද සිල්වා මතවාදී ලෙස අර්ධ මරණයකට පත් වී සිටියේය. තවත් කලකට පසුව නාථ දෙයියන් වැනි බහුභූත පැවසීමට තරම් මොලේ කුරුවල් වී ආබාධිත තත්ත්වයෙන් නොසිටිය ද ඔහු ඒ වන විට උග්‍ර ජාතිවාදියෙකු ලෙස පෙනී සිට අයෙකු වූ අතර මා වැන්නන්ගේ අප්‍රසාදයට ලක් වී සිටියේය.

ඊට සාපේක්ෂව, වික්‍රමබාහු කරුණාරත්න යනු ජනවාර්ගික ප්‍රශ්නයේ දී නිවැරදි මතවාදයක් දැරූ, එය නිර්භයව ප්‍රකාශ කරමින් සුළු ජන කොටස්වල අයිතීන් වෙනුවෙන් පෙනී සිටි අතිශය ප්‍රගතිශීලී විද්වතෙකු විය.

උත්ප්‍රාසයට කරුණ නම් හැත්තෑවේ දශකයේදී නලින් ද සිල්වා සහ වික්‍රමබාහු කරුණාරත්න යනු "එක වල්ලේ පොල්" වීමයි. එනම් ඔවුන් දෙදෙනා ම, මුලින් සමසමාජ පක්ෂයේ තරුණ සාමාජිකයින්ව සිට, පසුව නව සම සමාජ පක්ෂය ආරම්බ කර එහි නායකයින් සහ න්‍යායාචාර්යවරුන් වීමයි.

නලින් ද සිල්වාගේ දෙමළ විරෝධී ජාතිකවාදී මතවාදයේ ම ගැලී සිටි අයෙකු වන ගුණදාස අමරසේකර ගේ "ගමනක ..." ප්‍රබන්ධ කතා මාලාවේ ම එක් කෘතියක සඳහන් වෙන "ත්‍රී ඩොක්ටර්ස් පාටි" යනු මෙම නව සමසමාජ පක්ෂයයි. එහි "ත්‍රී ඩොක්ටර්ස්" යනු ආචාර්ය නලින්ද සිල්වා, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහ ආචාර්ය කුමාර් ඩේවිඩ් ය.

එදා කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණු එම සම්මන්ත්‍රණය දෙපාර්ශවයක් අතර විවාදයක් ම නොවුනත් මේ දෙදෙනාට ඒ සඳහා ආරාධනා කර තිබුණේ ජනවාර්ගික ප්‍රශ්නයේ දෙපාර්ශවයක් නියෝජනය කිරීමට බව කිසිවකුට රහසක් නොවීය. ඔවුන් දෙදෙනා ද තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දැක්වුවත්, නලින් ද සිල්වාගේ තර්ක ඉතා දුර්වල ඒවා වූ බවත් සහ වික්‍රමබාහු කරුණාරත්න හමුවේ ඔහු නිකමෙකු සහ අවස්ථාවාදී ප්‍රතිගාමියෙකු බවත් පැහැදිලි වූ බව මගේ මතකයයි.

ඊළඟට නලින් ද සිල්වා මගේ නෙත ගැටුණේ තවත් වසරකට පමණ පසු කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සමාජ ශාලාවේ දී ය. එදින මා එහි ගියේ ෆූටා හෙවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් සමිති සම්මේලනයේ රැස්වීමට කැලණිය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය නියෝජනය කරමින් එහි සමලේකම් ලෙස සහභාගි වීමටයි.

නලින් ද සිල්වා එකල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපතිවරයා විය. එම රැස්වීම පැවැත්වුණු දිනය වෙන විට කොළඹ විශ්වවිද්‍යාලය ඔහුගේ සේවය අත්හිටුවා තිබුණි. ඔහුට විරුද්ධව තිබුණු චෝදනාව වූයේ, ඔහු විසින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් ප්‍රකෝපකාරී කටයුතු සඳහා යොමුකරනවා ය වැනි එකක් යැයි සිතමි. ඒ කාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වූයේ පසුව දේශපාලුවෙකු වූ ජී එල් පීරිස් ය.

නලින් ද සිල්වා පිළිබඳ පසුගිය දිනවල සංසරණය වුණු සටහන් කිහිපයකම සඳහන් වූ ආකාරයට ශිෂ්‍යයින් ප්‍රකෝපකාරී කටයුතු සඳහා යොමු කිරීම කෙසේ වෙතත්, පැයක දේශනයකින් ඔහු විෂයය කරුණු ගැන වැය කරන්නේ විනාඩි විස්සක් පමණක් බවත් ඉතිරි කාලය දේශපාලන කරුණු ගැන කෝපයෙන් තම මත ඉදිරිපත් කරමින් බැණ වදින බවත් දැන ගන්නට ලැබුණි.

ෆූටා හෙවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් සමිති සම්මේලනයේ සභාපති විය හැක්කේ එහි සාමාජික විශ්වවිද්‍යාලයක ආචාර්ය සංගමයක සාමාජිකයෙකුට පමණි. විශ්වවිද්‍යාලයක ආචාර්ය සංගමයක සාමාජිකයෙකු වීමට නම් එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කරන්නෙකු විය යුතුය. නලින් ද සිල්වා කොළඹ විශ්වවිද්‍යාලයේ සේවයෙන් තාවකාලිකව නෙරපා දමා තිබුණු නිසා, ඔහු එදා එම රැස්වීමට සහභාගී වී සිටියේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සංගමයේ විශේෂ නියෝජිතයෙකු ලෙස බව කියවුණි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් සමිති සම්මේලනයට අදාල කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව සභාපති නලින් ද සිල්වා ගේ වැඩ තහනම ගැන සභාවේ අවධානය යොමුවිය. එහි දී මට වැටහුණේ, ඒ පිළිබඳව ෆූටාව විසින් නිවේදනයක් නිකුත් කිරීම, සාකච්ඡාවක් පැවැත්වීම වැනි දෙයකට අමතර කිසිවක් කිරීමේ අභිලාශයක් නැති බවයි. එදින ෆූටා රැස්වීමට විවෘත විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් සහභාගී වී සිටි කථිකාචාර්යවරයා කියා සිටියේ මේ ගැන තමන්ගේ රැස්වීමේ දී සාකච්ඡා කළ බවත් "ද ඔපීනියන් ඔෆ් ද මෙම්බර්ස් වෝස් එ ඩිවයිඩඩ් වන්" බවත් ය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ දී මේ කාරණය අප සාකච්ඡා කර නොතිබුණු නිසා, ඒ පිළිබඳව සමලේකම් ලෙස මට හෝ සභාපති ලෙස සරත් අමුණුගමට කිව යුතු දෙයක් නොතිබුණි.

නලින් ද සිල්වා පස්වෙනි සහ අවසානවරට මගේ නෙත ගැටුණේ 2007 හෝ 2008 වැනි වසරක නොවැම්බරයේ දී පියා සහ මව බැලීමට මා ලංකාවට ගිය සමයක මගේ පැරණි සේවා ස්ථානය වූ කැලණිය විශ්වවිද්‍යාලයට ගිය අවස්ථාවේ දී ය. හිතමිතුරන් හමු වී, මා කන්දෙන් පහලට බසිද්දී නලින් ද සිල්වා කන්ද නගිමින් සිටියේ ය. සේවයෙන් නෙරපා දැමූ කාලයේ මලාවි වැනි රටවල ද සේවය කර පසුව යලිත් ලංකාවේ විශ්වවිද්‍යාල සේවයට එක් වී සිටි නලින් ද සිල්වා ඒ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ ගණිත අංශයේ මහාචාර්ය පදවියක් දැරූ අතර පීඨාධිපති ලෙස ද කටයුතු කළේ ය. ඔහුගේ මොලේ සම්පූර්ණයෙන් ම කුරුවල් වී, නලින් ද සිල්වා මනුස්ස කමින් මියගියේ මේ කාලයේ දී ය.

ඔහුගේ මරණය අරභයා දිවයින පුවත්පත පළ කර තිබුණු කතුවැකියේ මේ තත්වය ගැන මෙසේ සඳහන් විය. දිවයින යනු ආරම්භයේ දී නලින් ද සිල්වාට තම මතවාදය පතුරවා හැරීමට ප්‍රකාශන අවකාශයක් දුන් පුවත්පත බව සිහිපත් කරමි.
මහාචාර්ය නලින් ද සිල්වා සිය මත ප්‍රචාරය කිරීම සඳහා යොදාගත් ප්‍රමුඛ වේදිකාව වූයේ දිවයින, විදුසර සහ දි අයිලන්ඩ් නමැති පුවත්පත් ය. මේවා මගින් ඔහු දේශනා කළ ධර්මය කොතරම් යථාර්ථවාදී වුවද ඒවායේ ස්වරූපය ඉතාම සාහසික විය. එබැවින් නලින් ද සිල්වා එක ලිපියක් පත්තරේ පළ කරන විට ඊට උත්තර වශයෙන් තවත් ලිපි සීයක් අපට ලැබිණ. ඔහු සතු එකම දුර්වලතාව වූයේ ප්‍රතිවිරුද්ධ මත පිළිගැනීමට වූ නොකැමැත්තය.

පසුකාලයේදී ඔහු ලියන දෑ පුවත්පත්වල පළ කිරීමට නොහැකි තරම් සැඩ පරුෂ විය. ඒවා පත්තරවල පළ නොවුණු කල්හි ඔහු අන්තර්ජාලයට පිවිස බ්ලොග් එකක් හදාගෙන මත පැතිරවීමෙහි නියුතු විය.
කැලණිය විශ්වවිද්‍යාලයේ සේවයෙන් පසු විශ්‍රාම ගිය ඔහු එක් වැදගත් ප්‍රකාශයක් කළේ ය. එනම්, තමන් සේවයෙන් විශ්‍රාම යන්නේ Emiratus Professor හෙවත් සම්මානනීය මහාචාර්ය පදවියක් නොලබා නිසා, තමාව තව දුරටත් මහාචාර්ය ලෙස හැඳින්වීම වැරදි බවයි. අවුරුදු අසූවක තම දිවිය හමාර කළ නලින් ද සිල්වා පිළිබඳ මගේ අවංක අදහස මෙසේ එක් කෙටි වාක්‍යයකින් ලිවිය හැක.

අවසානයේ නාස්ති වී ගිය ජීවිතයක්, අපරාදේ!

- රසික සූරියආරච්චි

(ඡායාරූපයෙන් දැක්වෙන්නේ මියගිය තකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ නලින් කුමාර් ද සිල්වා ගේ අවසාන කටයුතු සිදු කෙරුණු Chapel of the Angles - දේවදූතයින්ගේ කුඩා දෙව්මැදුර නම් ස්ථානයයි. ඔහුගේ ආත්මය නාථ දෙව් තුරුලේ සැනසෙනවා ඇතැයි සිතමි.)

(image: Google Street View)

Friday 29 March 2024

හතේ පන්තියේ (ප්‍රගති වාර්තා) පොත - A leaf from the past


මා වයස අවුරුදු දොළහේ දී, ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ හත්වෙනි ශ්‍රේණියේ ලබාගත් අධ්‍යාපනයේ ප්‍රගති වාර්තා සටහන මෙසේ පළ කරන්නේ ඒ පිළිබඳ සිත් ගන්නා සුළු නිරීක්ෂණ කිහිපයක්ම කළ හැකි නිසාය.

1. එකල අපි විෂය දොළහක් ඉගෙන ගත්තෙමු.

2. ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලට අමතරව තුන්වෙනි භාෂාවක් ඉගැන්වීමට ද අරමුණක් තිබී ඇති බව පෙනේ.

3. නොදන්නා පිරිස් කුමක් කීවත් මෙහි ඇති සමාජ අධ්‍යයනය යන විෂය ඉතා පුළුල් ක්ෂේත්‍රයක කරුණු අඩංගු වූ වැදගත් විෂයකි.

4. මේ පන්තියේ මා සමග ඉගෙන ගත් සහෝදර සිසු සිසුවියන් පිළිබඳව නම් මට ඇත්තේ ඉතා දුකකි. ඒ මක්නිසාද යත්, හතේ පන්තියේ දෙවන වාරය වන විට ලැබූ සාමාන්‍ය ලකුණු ප්‍රමාණය පහළොවකින් පමණ අඩු වූව ද මට පන්තියේ පළමුවෙනි ස්ථානය ලබාගත හැකි විය.

5. මගේ ලකුණු කෙසේ වෙතත්, පන්තියේ සමස්ත සිසු ගහනයේ ලකුණු සාමාන්‍ය අගය හතළිහකි. පස්දෙනකු පමණ හැර මේ පන්තියේ සිටින සිසුන් සියලු දෙනාම ඊට වසර දෙකකට පෙර තරගකාරී විභාගයකින් සමත් වී මෙම විදුහලට පැමිණි අය බව සලකන විට එය ඉතා බරපතල තත්වයකි. එසේම, සාමාන්‍ය අගය හතලිහක් නම්, උපරිමය හැට එකක් නම් සාමාන්‍යය විස්සක් පමණක් වන එක් අයෙකු හෝ සිටින්නට ඇත.

6. හොඳින් විමසා බලන විට මගේ ලකුණු අඩුවී ඇත්තේ සංගීතය විෂයට සහ සෞඛ්‍ය අධ්‍යනය නම් විෂයට ලකුණු අඩුවීම නිසාය. එයට හේතුව මෙහි ඇති ලකුණු විසි නමය සහ තිහ යනු විභාගයෙන් මා ලද ලකුණු පමණක් ම වීමයි. ප්‍රායෝගික පරීක්ෂණ යේ ලකුණු මෙහි ඇතුලත්ව නැත. මේ වාරයේ මා පාසලට ගොස් නැති දින ගණන අටක් තරම් වැඩි බව පෙනෙන නිසා බොහෝ විට මේ ප්‍රායෝගික පරීක්ෂණය තිබුණු දිනවල මා පාසලට යන්නට නැතැයි සිතමි.

- රසිකොලොජිස්ට්

ප/ලි:
මේ වසර අවසානයේ අපේ පවුල "හෝම්ලස්" තත්වයට පත්වූ අතර තාත්තාගේ මහගෙදරින් නික්මී ඔහුගේ මිතුරන්ගේ නිවාස දෙකක ද, පසුව කුලී නිවසක ද වසර හතරක් පමණ කාලයක් ගත කිරීමට සිදුවිය. හත්වෙනි ශ්‍රේණියේ අවසන් දින කිහිපයේ පාසල් නොයා සිටීමට හේතුව එම හෝම්ලස් වීම යැයි සිතමි.

Friday 22 March 2024

චන්ද්‍රසිරි පල්ලියගුරු පිළීබඳ මගේ මතකය - Good bye Professor Chandrasiri Palliyaguru


මා 1991 දී කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය ආරම්භ කිරීමට ඉතා දිගු කාලයකට කලින් සිට ම එහි සේවය කරන එකම එක පුද්ගලයෙකුගේ පමණක් නම දැනගෙන සිටියෙමි.

ඒ පුද්ගලයා චන්ද්‍රසිරි පල්ලියගුරු නම් විය.

ඔහුගේ නම අසා දැන තිබීමට එකම හේතුව වූයේ ඔහු විසින් ලියා සනත් නන්දසිරි විසින් ගායනා කර තිබුණු "ඉරා අඳුරු පට" නම් ගීතයයි.

ස්ථායි කොටස සහ අන්තරා කොටස් දෙකේ අච්චුවේ නිෂ්පාදනය වෙන අති බහුතරයක් වූ සිංහල ගීත හා සංසන්දනය කරන විට ඉරා අඳුරු පට යනු අසමසම ගීතයකි. එමෙන්ම විශිෂ්ට ගීතයකි.

විශ්වවිද්‍යාලයේ සේවය අරඹා ටික දිනකින්ම මා දැන හඳුනාගත් ආචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු යනු අතිශය නිර්ව්‍යාජ මනුස්සයෙකි. කැලණියේ වැඩ කරන කාලයේ ජ්‍යෙෂ්ඨ පොදු කාමරයේ දී නිතරම මුණ ගැසීමෙන් අප අතර හිතවත්කමක් ඇති විය. ඔහු තමන් ලියූ රසඥතාවය පිළිබඳ පොතකුත් මට තෑගි කළේය.

ඒ කාලයේදී ම ඔහුට සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය තනතුර ලැබුණි.

අපේ දියණිය ඉපදී දිනකින් පමණ ඇයට නමක් තැබීමට උපදෙස් ගැනීම සඳහා ම සිංහල අධ්‍යයන අංශයට ගියෙමි. බිරිඳගේ සහ මගේ නම් එකතු කර දියණියට නමක් අප ඒ වන විටත් නිර්මාණය කරගෙන තිබුණු අතර මට අවශ්‍ය වූයේ ඇගේ දෙවැනි නම සඳහා ග-අකුරෙන් ඇරඹෙන නමක් තෝරා ගැනීමයි.

සිංහල අංශයේ දී මහාචාර්ය පල්ලියගුරු හමු වූ විට ඔහු මා කැඳවාගෙන විශ්වවිද්‍යාල පුස්තකාලය වෙත ගියේය. එහි පරිශීලන අංශයට ගොස් ඔහු අතට ගත්තේ සංස්කෘත සිංහල ශබ්දකෝෂයයි. එහි ගයන්න ඇරඹෙන පිටුව පෙරළා එතැන් සිට උඩට පහළට යමින් පිටු පෙරළමින් ඔහු මා සමග සෑහෙන වේලාවක් ගත කළේ ය. දින කිහිපයකට පසු දියණියගේ උප්පැන්න සහතිකයට ඇතුළත් වූයේ එදා මහාචාර්ය පල්ලියගුරු මට තෝරා දුන් නමයි.

අද 22 මාර්තු 2024 දින, මීට මොහොතකට පෙර, මා මිත්‍ර කුසුම්සිරි විජේවර්ධන විසින් මහාචාර්ය පල්ලියගුරු සමග කරන ලද සාකච්ඡාවක් අනුසාරයෙන් ලියූ සටහනක් පල කර තිබුණි. එය කියවන මොහොතේ මා සිතුවේ පුවත්පත් කලාවේදියෙකුට වන කුසුම්සිරි තම පුවත්පතට ඊයේ පෙරේදා ලියූ ලිපියක් මෙලෙස පල කර ඇති බවයි.

එම ලිපිය කියවද්දී චන්ද්‍රසිරි පල්ලියගුරු කැලණිය විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයකු ලෙස ඇතුළත් වී ඇත්තේ 1961 වසරේ දී බවත්, විශේෂයෙන්ම ඔහු කැලණියට පැමිණියේ හින්දි භාෂාව ඉගෙනීමට බවත්, ඊට අමතරව සිංහල සහ සංස්කෘත භාෂා ද ඉගෙන ගත් බවත්, හින්දි භාෂාවෙන් සිව් වසරක විශේෂවේදී උපාධියක් කිරීමට විශ්වවිද්‍යාලය තුළ පහසුකම් නොතිබුණු හේතුව නිසා සිංහල විශේෂවේදි උපාධිය සඳහා ලියාපදිංචි වූ බවත් එම ලිපියේ සඳහන් විය.

සිංහල මහාචාර්යවරයා සංස්කෘත ශබ්දකෝෂයක් පරිශීලනය කළේ ඇයි යන්න පිළිබඳව මගේ හිතේ කොනක දිගු කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයකට පිළිතුර එයින් ලැබුණි.

ඉදිරි දිනක ලංකාවට ගිය වෙලාවක චන්ද්‍රසිරි පල්ලියගුරු හමුවීමට යා යුතු යැයි මම සිතුවෙමි. මා කිසි දිනක ඔහුගේ නිවසට ගොස් නැති වුනත් එය පිහිටා ඇත්තේ කඩවත නිකාඩෝ සමාගම තිබුණු ප්‍රදේශයේ බවට මතකයක් ද අවදි විය.

මහාචාර්යවරයා මියගොස් ඇති බව දැනගත්තේ එම ලිපියට ලැබී තිබුණු ප්‍රතිචාර කියවද්දී ය.

දැන් ඉතින් කීමට ඇත්තේ "සුභ ගමන් මිතුර!" කියා පමණි.

"එන්න මගේ ප්‍රිය මිතුරෝ!" යැයි කියමින් ඔහු දිනක මට ද අඬ ගසනු ඇතැයි සිතමි.

------------------------------------------------------

ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණළු උදයේ දිලිසෙන පිණි මත
පියමං කරමින්
අහස් ගව්වටයි ළං වන්නේ
ඉරු රැස් දැඩි වී ඇකිලී ගුලි වී
බොඳවී යාදෝ මිණි කැට මිහි තුළ
පා පෙරළී ගොස් රැඳේ ද අප හැම
ඉමක් නොපෙනෙනා අහස් ගඟේ
ඉර හඳ නැති වී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළත් සුසුමත් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ

පදමාලාව: චන්ද්‍රසිරි පල්ලියගුරු
සංගීතය: ප්‍රේමසිරි කේමදාස
ගායනය: සනත් නන්දසිරි

මේ 1974 වසරේ තිරගත වූ "අහස් ගව්ව" චිත්‍රපටයේ තේමා ගීතයයි.

(image: Daily News, 22 March 2024)

Tuesday 20 February 2024

ඇත්තටම "සිදු" වීම - Role bleed and emotional carry-over


ටික කලකට ඉහත ම නාට්‍ය කණ්ඩායමක් හා සම්බන්ධ වී සිටියෙමි. අපේ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද නාට්‍යය කෙටි කලක් තුළ රට වටා දර්ශන තිහක් පමණ රඟ දැක්වීමට හැකි විය.

නාට්‍යයේ අන්තර්ගතය වූයේ මැදිවියේ විවාහක යුවළක් අතර ඇතිවන ගැටලු සහගත තත්ත්වයකි. ප්‍රධාන චරිත ද්වය රඟපෑ නිළිය සහ නළුවා දෙදෙනාම ඉතා දැඩි කැපවීමකින් පුහුණුවකින් තම රංගනය ඉදිරිපත් කළ අතර එම රඟපෑම් ප්‍රේක්ෂකයින් ගේ සිත් කළඹන, කම්පා කරවන, දෙනෙත් තෙත් කරවන ආකාරයේ ඉතා උසස් තත්වයේ අතිශය තාත්වික "රඟපෑම්" විය.

දීර්ඝ කාලයක් තිස්සේ කළ පුහුණුවීම් එදිනෙදා දර්ශනයට පෙර කෙරෙන පුහුණුවීම් මෙන්ම දර්ශන ද මා නරඹා තිබුණු නමුත් අවසාන දර්ශනයේ දී පවා මේ රඟපෑම් දැක මා සිත කම්පනය වූ බවත් විශේෂයෙන්ම කාන්තා චරිතයේ එක් රඟපෑමක දී හදවත බර වී දෙනෙත තෙත් වූ බවත් සඳහන් කළ යුතුය.

එසේ නම් මේ නාට්‍යය මුල්වරට නරඹන අය ගැන කුමන කතා ද?

නාට්‍ය නැරඹූ සියලු දෙනාම පාහේ එම අත්දැකීමට ආශක්ත වූ අතර තමන් ලැබූ කම්පනය පිළිබඳ ඉතා ඉහළින් කතා කළහ.

එක් දර්ශනයක් නැරඹූ ප්‍රේක්ෂිකාවක් ඊට අමතරව වෙනත් වැදගත් කරුණක් ද පැවසුවා ය. එය නම්, නාට්‍යය නරඹා ප්‍රේක්ෂකයින් කම්පනය වනවා සේම, එම අවස්ථාවේ ජීවත් වෙමින් ඉතා තාත්විකව රංගනය ඉදිරිපත් කරන නළු නිළියන් ද, ප්‍රේක්ෂකයින්ටත් වඩා දැඩි ආකාරයකට මානසික කම්පනයකට ලක්වන බවයි. මෙය දීර්ඝ කාලීනව සිදුවීම අහිතකර විය හැකි බව වෘත්තියෙන් මනෝ වෛද්‍යවරියක වූ ඇගේ අදහස විය.

දිගු කාලයක් තිස්සේ සාජන්ට් නල්ලතම්බි ලෙස පොලිස් චරිතයක් රඟපෑ නිහාල් සිල්වා නම් නළුවා මියගියේ පොලිස් මුරපොලක දී නොනවත්වා රථය ධාවනය කිරීමේදී වෙඩි වැදී බව මේ මොහොතේ මට සිහිවේ.

මේ කතාව සිහිපත් වූයේ ටෙලිනාට්‍යයක දිගු කාලයක් තිස්සේ ශ්‍රමණ චරිතයක් රඟ පෑ ළමයෙකු, ඒ නාටකය අවසන් වූ පසු ඇත්තටම මහණ දිවියට පිවිසීම ගැන ආරංචිය ලැබුණු මොහොතේ ය.

(image: from the Facebook)