Showing posts with label කෙටිකතා. Show all posts
Showing posts with label කෙටිකතා. Show all posts

Wednesday, 21 May 2025

“පාදර ඇරා” ගේ “සූදුරු අබා” කෙටි කතා එකතුව පිළිබඳ මගේ සටහන - My take on Ajith Perakum Jayasinghe's short story collection "Suduru Aba"


මෙය විචාරයක් ලෙස සලකන්න එපා. මේ අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියා 2024 විදර්ශන අත්පිටපත් තරගයේ දී හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස සම්මානයක් දිනූ “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහය කියවීමෙන් පසු මගේ සිතට ආ අදහස් කිහිපයක් විතරයි.

සාමාන්‍යයෙන් මං කෙටිකතා කියවන්න කැමතියි නවකතා කියවනවාට වඩා. මේ දිනවල නම් ඒකට මූලික හේතුව තමයි කෙටිකතාවක් කියැවීමට යන කාලය අඩුවීම සහ එකම ලේඛකයෙකු ගේ වුණත් කෙටිකතා දෙකක් අතර කිසිම සම්බන්ධයක් නැති නිසා දිග නවකතාවක් කියවන කොට වගේ අවධානය යොමු කිරීමට අවශ්‍ය නොවීම.

ඒ සමඟම පසුගිය අවුරුදු හතරක පමණ කාලය තුළ මට විශාල කෙටිකතා සංඛ්‍යාවක් කියවන්න සිදුවුණා. මුලින්ම මං සංස්කරණය කරන “සිසිල” මාසික සාහිත්‍ය ය සඟරාවේ පළකිරීම සඳහා ලැබෙන කෙටිකතා. ඒවා කියවීම පමණක් නොව අවශ්‍ය පරිදි සංස්කරණය කිරීම ද මා සිදුකරනවා. ඊට අමතරව ජගත් ජේ එදිරිසිංහ විසින් සම්බන්ධීකරණය කරන ඩී බී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගාවලියේ ඇගයීම් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස තුන්වරක්ම ක්‍රියාකර ඇති නිසා ඒ සඳහා ලැබුණු කෙටිකතා විශාල සංඛ්‍යාවක් ද පසුගිය අවුරුදු කිහිපය තුළ මට කියවන්නට සිදුවුණා. මේ නිසා, කෙටිකතා සඳහා වූ මගේ රසිකත්වය වැඩිවුණා.

කාලයේ ඵලදායිතාව ගැන හිතන කොට කෙටිකතාවක් කියවීම අගනා කාර්යයක්. ඒ ඉතාම කෙටි කාලයකින් සාහිත්‍ය රසයක්, වින්දනයක්, කම්පනයක් පාඨකයාට ලැබීමයි. නමුත් ඉතිං එහෙම මතක හිතෙන ආකාරයේ සාහිත්‍ය රසයක්, වින්දනයක්, කම්පනයක් පාඨකයාට ලබා දෙන්න හැකි ආකාරයේ කෙටිකතාවක් ලියනවා කියන එක නම් ලේසි පහසු වැඩක් නොවෙයි.

කොටින්ම, මං යොවුන් කාලයේ, විශ්වවිද්‍යාලයට යාමට පෙර, කෙටිකතා විස්සක් පමණ ලියලා ඒවායින් අත්පිටපත් දෙකක්ම හැදුවත් එදායින් පස්සේ තාමත් කෙටිකතා තුනහතරකට වැඩිය ලියලා නැති තරම්. මං ඒ ශානරයට වඩා කැමති විත්ති කතා යැයි සමහරු කියන “කතන්දර” ලියන්නටයි.

අජිත් පැරකුම් ජයසිංහ ලේඛකයාව මං දන්නේ මීට අවුරුදු පහළොවකට පමණ පෙර සිටයි. ඒ අපි දෙදෙනාම විනෝදාංශයක් ලෙස බ්ලොග් ලිවීම ඇරඹූ කාලයේ. මගේ බ්ලොග් එකේ නම වූයේ “කතන්දර”. මං මාව හඳුන්වා ගත්තේ “කතන්දරකාරයා” කියයි. බ්ලොග් ලියන මුල් කාලයේ “එඩිටර” කියා තමන්ව හඳුන්වා ගත්තු අජිත් පැරකුම් ජයසිංහ තමන්ව දැන් හඳුන්වා ගන්නේත් “කතන්දරකාරයා” කියා බව ඔහුගේ “සූදුරු අබා” කෙටිකතා එකතුවේ පෙරවදන ලෙස ඔහු ලියා ඇති අමුතු ආකාරයේ සටහනෙන් පැහැදිලි වෙනවා. ඒ විතරක් නොවෙයි අජිත් ලියූ “අරුණෝදාකරුවෝ” නම් නවකතාව ගෙන්වා ගන්න ගිහින් බලනකොට තමයි මට තේරුණේ ඒ නවකතාව ප්‍රකාශ කර තිබෙන්නේ අජිත් ද සම්බන්ධ “කතන්දර ප්‍රකාශන” සමාගමෙන් බව. වෙබ් ලිපිනය මොකක් වුණත් අජිත් ලියූ පොත් විකුණන ඔන්ලයින් කඩේට අජිත් දීලා තියෙන නමත් “කතන්දර ඩොට් කොම්”.

“සූදුරු අබා” කෙටිකතා එකතුවේ පිටු හැට අටක් තිස්සේ දිව යන කෙටිකතා නමයක් තියෙනවා. ඒ කියන්නේ මේවා වචනයේ අර්ථ පරිසමාප්තාරයෙන්ම කෙටිකතා, ඉහළ ඵලදායීතාවයෙන් යුතුව කෙටි කාලයකින්, කෙටි කැප කිරීමකින් ලොකු සාහිත්‍ය රසයක්, වින්දනයක්, කම්පනයක් ලබාගන්නට හැකි නිර්මාණ.

මං හිතන්නේ මේ කෙටිකතා එකතුව කියවන අති බහුතරයක් දෙනාගේ වැඩි ආකර්ෂණය අවධානය දිනා ගන්න කෙටිකතාව තමයි පොතේ නමටත් යොදා ඇති “සූදුරු අබා” නම් නිර්මාණය. අප්‍රකාශිත, කාන්තා සමකාමී, එසේ නොමැති නම් ලෙස්බියන්, ආදරයක් පදනම් කරගෙන සිත් ඇදගන්නා ආකෘතියකින් ලිය වී ඇති ඒ කෙටිකතාව ඇත්තටම අපූරු නිර්මාණයක්. මෙහි දී මා භාවිතා කළ “අප්‍රකාශිත” කියන වචනය ඉතා වැදගත්. මක් නිසා ද යත් මෙය කිසිදිනක නිශ්චිතව ප්‍රකාශ කෙරුණු ආදරයක් හෝ සම්බන්ධයක් හෝ නොවේ.

මේ වගේ අප්‍රකාශිත මෙන්ම ප්‍රකාශිත කාන්තා සමකාමී ආදර සම්බන්ධතා ලංකාවේ තිබෙන බව පැහැදිලියි. නමුත් ඒවා අවබෝධ කරගන්නා පරිණත සමාජයක් නම් අපේ ජීවිත කාලවල නම් අපිට දකින්න ලැබෙන එකක් නැහැ. ඉතිං ඒ බොහෝ සම්බන්ධතා අපරාදේ වියැකී යනවා.

දෙයියෝ මිනිහෙක් මැව්වා ය, ටික දිනකට පසුව ඒ මිනිහා වෙනුවෙන් ගෑනියෙක් මැව්වා ය කියා විශ්වාස කරන්නේ ඒ්බ්‍රහමික ආගම් අදහන මිනිසුන්. ඒ නිසා තමයි ඔවුන් පිරිමි හෝ ගැහැණු හෝ සමකාමී සම්බන්ධතාවලට විරුද්ධවන්නේ. නමුත්, මැවුම්කාර දෙයියෙකු නැති, අදේවවාදී බුද්ධාගම්කාරයින් සමකාමී සම්බන්ධතාවලට විරුද්ධවන්නේ මක්නිසා ද කියා හොයාගන්න නම් ආපහු මධ්‍ය විද්‍යාලයට ගිහින් පොදු සහතික පත්‍ර විභාගයේ බුද්ධාගම විෂයය පාස් වෙන්න වෙනවා වගේ. දශක ගණනකට කලින් මං බුද්ධාගම විෂය සඳහා ලබාගත්තු ඩිස්ටින්ෂන් එක අද පවතින “බුඩ්ඩාගමට” අදාළ නැහැ පේන විදියට.

“සූදුරු අබා” කෙටිකතාව ගැන තවත් කිව යුතු කරුණක් තමයි පිරිමියෙකු විසින් කාන්තා දෘෂ්ටිකෝණයකින් යුතුව සහ ප්‍රථම පුරුෂ ආඛ්‍යානයකින් මෙය ලියා තිබීම. එනම් මෙහි “මම” කියා අදහස් කරන්නේ මේ ආදර සම්බන්ධයේ එක් පාර්ශවයක් වෙන අනූ නමැති කාන්තාව. සාමාන්‍යයෙන් කාන්තාවන් ලියන නවකතා, කෙටිකතාවල ප්‍රථම පුරුෂයෙන් මම කියා හඳුන්වා ගන්නේ කාන්තා චරිතයක්. පිරිමින්ගේ නිර්මාණවල ඒකේ අනිත් පැත්ත. අජිත් පැරකුම ජයසිංහ මේ කතාව ලිවීමේ මම සඳහන් දකින විශේෂත්වය ඒකයි.

“සූදුරු අබා” කෙටිකතා එකතුවේ එන අනිත් කෙටිකතා අට පිළිබඳව මට හිතෙන දේ සංක්ෂිප්තව සඳහන් කරන්නම්.

පියා මියගිය පවුලක කුඩා දැරියක් තමන්ගේ පවුලේ සිදුවෙන විපර්යාසය අත්විඳින අයුරු කියවෙන කෙටිකතාවක් “ස්වර්ණ හංස” මං හිතන්නේ මේක අර “මැජික් රියලිසම්” කියන ක්‍රමවේදය උපයෝගී කරගෙන ලියූ එකක්. ජාතක කතාවක එන සුරංගනා කෑල්ලක් මේ නිර්මාණයට සම්බන්ධයි. ජාතක කතා කියන්නේ ඉතිං බොහෝ විට මැජික් සහිත කතා නේ.

“සමූල ඝාතනය” කියන කෙටිකතාවට අජිත්ට අත්දැකීම් හම්බවෙන්න ඇත්තේ ඔහු කලකට පෙර ගුරු සේවය කරන කාලයේ විය යුතුයි. මහ ජාතියේ ජාතිවාදය මෙන්ම ගුරු හොරුන්ගේ ජඩකම් මේ නිර්මාණයේ පදනමයි.

“අත් පොරව” කෙටිකතාව මෙන්ම “පිරිත් කියනවා, මිනිත් මරනවා” යන කෙටිකතා ද්වය මිනීමැරුම් හා සම්බන්ධ නිසා සාමාන්‍යයෙන් සංවේදී පුද්ගලයෙකුගේ හිතට කම්පනයක් ඇති කරන්නට ඉඩ තියෙනවා. “අත් පොරොව” කතාවේ එන ඒ අත්දැකීම අමු අමු එකක්. හොඳ වෙලාවට ඉඟියක් මිස කෙළින් කීමක් මෙහි නැහැ. මේ කතාවට ළඟින් යන අදහසක් ඇති කෙටිකතාවක් මං මීට පෙර කියවලා තියෙනවා වගේ හැඟීමක් ලාවට ආවා. සමහරවිට ඩෝසන් ප්‍රීති ලියූ එකක් විය හැකියි.

“පිරිත් කියනවා, මිනිත් මරනවා” නම් නිර්මාණය නම් භයානක චරිත සහ අපරාධ සම්බන්ධ වුණත් ඒ මාතෘකාවෙන් ම පෙනෙන පරිදි උපහාසය කැටි වූ එකක්. මෙහි එන නෑබොඩ සිල්වතා නම් උපාසකයා මට සිහි කළේ මතක විදිහට ජයන්ත චන්ද්‍රසිරිගේ “ඇඩ්රස් නෑ” කියන සිනමා නිර්මාණයේ කමල් අද්දරආරච්චි කළ චරිතය. නෑබොඩ කියන්නේ නම් කළුතර දිස්ත්‍රික්කයේ පස් දුන් කෝරළේ ගමක්. අජිත් පැරකුම් ජයසිංහලා ගේ ගෙවල්වලටත් කිට්ටු ඇති.

“ගංවතුරේ නයනා” කියන්නේ අර්ධනාගරික ජීවිතවල දුක්ඛ දෝමනස්සයේ එක පැතිකඩක් කියවෙන කතාවක්. මං හිතන්නේ ලේඛකයා මේක ලිව්වේ ඔහු එක්සත් ජාතීන්ගේ ඒජන්සියක සේවය කරන කාලය විය යුතුයි. ඒ දවස්වල ලංකාවේ විවිධ පළාත්වලට ගංවතුර ගලළා තිබුණා. මට මතකයි මේ කතාව ෆේස්බුක් එකේ මං කියෙව්වා.

“පුංචි පැදුර” කියන්නේත් කාන්තා දෘෂ්ටිකෝණයකින්, ඇත්තටම මෙහි දී නම් පොඩි ගැහැණු දැරිවියක ගේ, ලියවුණු කෙටිකතාවක්. කියවගෙන යනකොට නම් අතීතකාමී, ග්‍රාමීය සුන්දර පරිසරය ගැන සහ ඒ සුන්දරත්වය යටින් ජීවත්වෙන දුක්බර චරිත පිළිබඳ ලියවුණු සරල කතන්දරයක් කියා සිතුනත් කියවලා අවසානවුණාට පස්සේ තමයි මට හිතුණේ මේකෙ ඊට වැඩිය ලොකු බරක් තියෙනවා ය කියා. නැවත වරක් කියවන්න ඕනේ.

අවසාන කෙටිකතාව වෙන “හකුරු වෙහෙර” මං හිතන්නේ අජිත් අධිතාත්වික රීතියකින් ලියා තිබෙන්නේ ලංකාවේ සංඝ සමාජයේ මෙන්ම බුද්ධ ශාසනයයි කියාගන්නා සංස්ථාවේත් පරිහානිය ගැන කියන්න විය යුතුයි. පිටු තුන හමාරයි, ඉතා සංශිප්තයි. හැබැයි රසිකයාට පෙනෙන්නේ ලේඛකයා අදහස් කළ දේ නම් නොවෙන්න පුළුවන්.

කෙටිකතා සංග්‍රහයේ එන හයවෙනි කතාව තමයි “චීලා මෙට් විත් ඇන් ඇක්සිඩන්ට්”. දෙපාරක්ම කියෙව්වත් තේරුණේ නැහැ. ඒ නිසයි ඒ ගැන කතාකිරීම මේ සටහනේ අන්තිමට තියාගත්තේ.

චීලා කියන්නේ උකුස්සෙක්. ඒ උකුස්සා සහ කතාව කියන්නා හෙවත් නැරේටර් අතර සංවාදය තමයි කෙටිකතාව.

මේ කතාව දෙවැනි පාරට කියවද්දී මට මතක්වුණේ මීට දශකයකට පමණ කලින් ලියනගේ අමරකීර්ති ලියූ “අළු පැහැති ආරංචි” කියන කෙටිකතා එකතුවේ ආ ඒ නමින්ම යුතු කෙටිකතාව.

ඔය කතා දෙකම කියවලා තිබෙන අය මගේ ඒ ප්‍රකාශයට කලබල වෙන්න එපා. ඒ ලියනගේ අමරකීර්තිගේ කතාවයි, මේ ලියනගේ ජයසිංහගේ කතාවයි අතර අන්තර්ගතයේ නම් කිසිම සමානත්වයක් නැහැ තමයි. නමුත් පුද්ගලිකව මට මේ කතා දෙකේ ඇති සමානකම වන්නේ කෙටිකතා දෙක ම, දෙපාරක් ම, කියෙව්වත් මට ඒ දෙකේම අදහස තේරුණේ නැති එකයි.

පසුගිය වසරේ හොඳම කෙටිකතා එකතුවේ අත්පිටපත ලෙස විදර්ශන සාහිත්‍ය සම්මානය දිනූ “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහයේ ප්‍රකාශනය විදර්ශන සමාගමයි. ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ඇණවුම් කරන්න හැකියි. මං හිතන්නේ මට ගියේ රුපියල් හාරසිය ගාණක්.

පොත් ඔන්ලයින් ඇණවුම් කරන කොට, පොත් කඩේකදී පොතක් ගන්න කලින් කරනවා වගේ පෙරවදන, පසුපිට, පිටු දෙකතුනක් කියවන්න බෑ නේ. රෙදි කඩේක දී වගේ ඇඳුම් ෆිටෝන් කරලා බලන්නේ නැතුව, ඔන් ලයින් ඇඳුම් ගන්නවා වගේ.

ඉතිං “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහයේ සාම්පලයක් අවශ්‍ය කෙනෙකුට අජිත් පැරකුම් ජයසිංහගේ ෆේස්බුක් අඩවිය හරහා එයින් කෙටිකතා කීපයක් ම කියවන්න පුළුවන්. මාත් අවුරුදු දෙක තුනක පමණ සිට මේ කෙටිකතා මුල්වරට කියෙව්වේ එහෙමයි.

- රසික සූරියආරච්චි

ප/ලි:
ෆේස්බුක් එකේ මං කලින් දවසක දාපු පොඩි සටහනකට ප්‍රතිචාර දක්වපු මේ කෙටිකතා පොත බස් එකක යන එන ගමන් කියවපු අයෙක් ලියා තිබුණා “සූදුරු අබා” හා සම්බන්ධ අපූරු සසම්භාවී අත්දැකීමක් ගැන.

ඊටත් වඩා අපූරු අත්දැකීමක් මට තියෙනවා “සූදුරු අබා” කෙටිකතාවට සමාන කතාවක් ඇති වෙනත් පොතක් කියවීම ගැන. ඒ කතාව ෆේස්බුක් එකේම ලියන්නම්.

(image: )

Tuesday, 2 April 2019

ශක්තික සත්කුමාර, "අර්ධ" සහ අඳ බාලයින්ට ගිය රට! - Free Shakthika Sathkuara immediately


ශක්තික සත්කුමාර අප බොහෝ දෙනෙකු දන්නා කවියෙකි, ලේඛකයෙකි. ඔහු ලියූ "අර්ධ" නම් කෙටිකතාව පහත පළකර ඇත.

ඒ වෙනුවෙන් ම අටවා ගන්නා ලදැයි පෙනෙන බෞද්ධ යැයි කියා ගන්නා අන්තවාදී සංවිධානයකින් ඔහුගේ මෙම කෙටිකතාවට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව මේ ලේඛකයාව පොලිස් අත්දඩංගුවට ගෙන ඇත.

ආගමේ නාමයෙන් අන්තවාදීව කටයුතු කරන තලේබානියානු බෞදියක් ලංකාවේ බිහිවෙමින් පවතින බව යළි යළිත් තහවුරු වෙමින් පවතී.

ශක්තික සත්කුමාර කවියා, ලේඛකයා, වහා නිදහස් කරන ලෙස අප සියලු දෙනාම වහා උද්ඝෝෂණය කළ යුතුව ඇත.



-රසික සූරියආරච්චි

ප/ලි
ඉහත රූ සටහන් ලෙස පළ කළ අර්ධ කෙටිකතාව යුනිකෝඩ් අකුරෙන් පහත දැක්වේ.

අර්ධ | ශක්තික සත්කුමාර

හාල්වැල්ලේ කස්සප හිමියන් කසාන් පලිහවඩන වූයේ ගිහි ජීවිතය පිළිබඳ ඇල්මකින් ම නොවේ. නමුත් ඔහුට පැවිදි ජීවිතය පිළිබඳව ද ඇල්මක් නොවීය. උපැවිදි වීමෙන් පසු කසාන් තවදුරටත් විශ්වවිද්‍යාලයේ භික්ෂු නේවාසිකාගාරයේ සිටීමට කැමැත්තක් නොදැක්වීය. සරසවියට පැවිද්දෙක් ලෙස පැමිණ උපැවිදි වූ බොහෝ පිරිසක් ඒ වන විටත් භික්ෂු නේවාසිකාගාරයේ ලැගුම් ගෙන සිටියහ. ධම්මිස්සර හිමියන් කසාන් වෙත පැමිණෙන විට ඔහු සිටියේ පරණ සටහන් වගයක් බලමිනි.

"මිදුණා මිදුණා කසාන් නම් මිදුණා...උඹ හොස්ටල් එකේ දිගටම ඉන්නවනේ... දැන් ඉතින් චමරියට බඩු ගේන්න යන්න රෑ වෙනකම් ඉන්න ඕන නෑනේ."

ධම්මිස්සර හිමියෝ කසාන් ගේ කාමරයට ඇතුළු වී අසල තිබූ පුටුවකට බරවූහ. ඇඳෙහි සැතපී 'බුදුන්ගේ රස්තියාදුව' කෘතිය කියවමින් සිටි මේධානන්ද හිමියෝ ධම්මිස්සර හිමිගේ හඬින් පොත දකුණතට ගෙන නැගී සිටියහ.

"අපේ සදහම් සේනාවෙන් මේ පොතට විරුද්දව නඩුවක් දාන්න ඉන්නේ.. මේක සම්පූර්ණ මූලධර්ම වාදීන්ගේ වැඩපිළිවෙළක්" බුදුන්ගේ රස්තියාදුව පොත පෙන්වමින් මේධානන්ද හිමියෝ කීහ.

"කසා බෝඩිමට යනවා කියන්නේ...මූට සිවුර විතරක් නෙමෙයි අපි නෙමෙයි අපි වත් එපාවෙලාද කොහෙද?" කාමරයට එවෙලේ පැමිණි සුමේධ හිමි ගේ හඬින් කසාන් කරමින් සිටි කාර්යය මදකට නතර කළේය.

"එහෙම දෙයක් නෑ මම බෝඩිමට ගියත් නිතර ඔබ වහන්සේලා බලලා යන්න එනවා." කසාන් ගේ හඬෙහි වූයේ හැඬුම්බර ස්වභාවයකි.

"හරි හරි උඹ සීරියස් ගන්න එපා.... කොහේ ගියත් කමක් නෑ උපාධියේ වැඩ ටික හරියට කර ගනින්... "

මං කතාව ඒ විදිහට පටන් ගත්තේ එකපාරටම මට හීරළුවෙක් කියලා කියන්න බැරි හින්දා. ඒත් මම දැන් හීරළුවෙක් කියලා හැමෝම දන්නවා. මම මහණවුණේ මොකටද කියලා මම දන්නේ නෑ සිවුරු ඇරියේ මොකටද කියලා මම දන්නෙත් නෑ. ලොකු හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ සිවුරේ ඉන්න මට තවත් හේතු තිබුණේ නෑ.

ලොයිඩ් අයියගේ බෝඩිමට යන්න මම තීරණේ කරේ ගොඩක් දුර දිග හිතලා නෙවෙයි. ඒත් මම හිටපු පරිසරයෙන් මිදෙන්න වුවමනාවක් තිබුණා. ලොයිඩ් අයියා මට හම්බෙන්නේ අපේ හතුරෙක් විධියට. ඒත් දැන් මගේ මිතුරෙක් වුණාට සදහම් සේනාවට නම් තාම ඔහු හතුරෙක්. ලොයිඩ් අයියා වැඩ කළේ එන්.ජී.ඕ එකක. සදහම් සේනාවත් එක්ක අපි ලොයිඩ් අයියලාගේ කාර්යාලයට බලෙන් කඩා වැදුණා.

"තමුසෙලා පිටරට සල්ලි අරන් හිටපු කොටි නායකයන්ගේ පවුල්වල උදවියට ගෙවල් හදනවා කියන්නෙ ඇත්තද?"

ඥානසාර හාමුදුරුවන්ගේ හඬට කාර්යාලයේ හිටපු ඔක්කොම තමීර වෙලා ගියා. කැමරා අමෝරාගත් මාධ්‍ය කාරයෝ ඔක්කොම හිටියේ අපේ පැත්තේ .

"අවසර හාමුදුරුවනේ... අපි ගෙවල් හදලා දෙන්නේ යුද්දේ නිවාස අහිමි වුණු පවුල් වලට" කාර්යාලයේ වැඩ කරපු ළමයෙක් අපි ඉස්සරහට ආවා

"තමුසේ කවුද ?"

"මම ලොයිඩ් මේ ව්‍යාපෘතියේ"

* * *

"කසාන් බර කල්පනාවක වගේ.. මම එන්න පරක්කු වුනා ද?" ලොයිඩ් අයියා මගේ ඉදිරිපිටින් මෝටර් සයිකලය නැවැත්තුවා. මම බෑග් එකත් අරගෙන බයිසිකලේ පිටිපස්සට නැග්ගා.

"කසාන් සිවුරට වඩා ඩෙනිමට ලස්සනයි.." ලොයිඩ් අයියා බයිසිකලේ වේවැල්දූව පැත්තට හරවන ගමන් කිව්වා. මම හීනියට හිනා උනා. ඒ වෙද්දි මම හිටියේ දෙලොවක් අතර.

"කසාන් මොනවද රෑට කන්නේ. මම නම් ඉඳිආප්ප ෆුල් කොත්තුවක් කනවා. ග්‍රීන් ගාටන් හෝටල් එක ලඟ බයික් එක නතර කරන ගමන් ලොයිඩ් අයියා ඇහුවා. "මට හාෆ් එකක් ඇති." මම හිමිහිට කිව්වා.

සිවුරේ ඉද්දි මං හිතන් හිටියෙ මේ සමාජය ගොඩක් පිරිහිලා කියලා. ඒත් ඒක එහෙම නෑ කියලා දැන් මට හිතෙනවා. සමාජයේ හැමෝම හීරළුවෙක් කියලා මාව කොන් කරයි කියලා බයක් තිබුණා. ඒත් එහෙම වුණේ නෑ. සමාජයේ හැමෝම මාව පිළිගත්තා. සරසවිය වගේම නවාතැනත් වෙනදට වඩා මට ප්‍රියමනාප වුණා.

"කසාන් මං පොඩි කතාවක් ලියන්න ගත්තා. හොඳද කියල බලන්න.." ලොයිඩ් අයියා අතින් ගියපු හාප්සීට් කොළ කිහිපයක් මගේ මේසය මතට අත හැරියා. මාතෘකාවක් නැති ඒ කතාව මම හිමින් සැරේ කියවන්න ගත්තා.

යශෝධරා සිටියේ ඉකිබිඳිමින්ය. චන්නගේ ක්‍රියාවට විරුද්ධ වීමට හැකියාවක් තිබුණත් එය ඉවසා සිටියේ යටිහිත ඊට කැමැත්තක් තිබූ නිසා යැයි යශෝධරා සිතුවාය. සිද්ධාර්ථ ගිහිගෙය හැරගියේ රාහුල ඔහුගේ දරුවෙක් නොවන බව දැනගෙන ද? සිද්ධාර්ථගෙන් මා තෘප්තිමත් නොවූ බව ඔහු දැන සිටියේ ද? ගැහැනියක් තෘප්තිමත් කිරීමේ හැකියාවක් ඔහුට නොතිබූ බව සැබෑවක් නොවේ ද? යශෝධරාගේ සිත නැගූ පැනවලට ඈ පිළිතුරු සොයනවා වෙනුවට දිගු හුස්මක් හෙලා ළය සැහැල්ලු කර ගැනීමේ බොල් උත්සාහයක නියැළුණාය.

"අම්මෝ! අයියේ මේ ලියවිල්ල නම් ගිනි ගිනිතියලා දාන්න.."

ඡේදයක් කියවූ මම ලොයිඩ් අයයාට කරුණු පහදා දීමට සිතා නැගී සිටියෙමි.

"ඇයි නිර්මාණයක් විදියට සමාජය බාරගන්නැති වෙයිද? නැත්නම් අපායේ යයිද? අනික මේක මහායාන ආගමේ තියෙන සංකල්පයක්" සිගරැට්ටුවක් දල්වාගත් ලොයිඩ් අයියගේ මුවගෙහි වූයේ සරදම් සිනාවකි. දුම් රැල්ලක් නිදහසේ බෝඩිං කාමරය තුළ පියා සලන්නට විය.

"ඒ උනාට මේක ථෙරවාදී බෞද්ධ රටක්." මට කියවුනේ ඉබේමය.

"අප්පේ ඔව් නමට විතරක්."

දෙදෙනෙක් විසින් ඇදගෙන යනු ලැබූ මාව කළුවර කාමරයකට තල්ලු කළා. විසික් වෙලා ගියපු මාව බිම වැටුණා. ඒ එක්කම කාමරේ දොර වැහුණා. අඩ අඳුරේ මම කාමරය පුරා බැල්මක් හෙලුවා. කාමරයේ මුල්ලක ලොකු හාමුදුරුවෝ සැතපිලා ඉන්නවා මම දැක්කෙ ඒ මොහොතේ. උන්නාන්සේ සිටියේ ලොකු අපහසුතාවයකින් වගේ. මම හිමින්සැරේ උන්වහන්සේ ළඟට කිට්ටු කළා. සැතපිලා හිටියට උන්වහන්සේට නින්ද ගිහින් තිබුණේ නෑ. ඇස් වල තිබුණේ කඳුළු. මාව දැක්ක ලොකු හාමුදුරුවෝ එක සැරේම හිටගත්තා. උන්වහන්සේගේ කකුල් දෙක මැද්දෙන් ලේ ගංගාවක් ගලා ගෙන යනවා දැකලා මං හොඳටම බය වුණා.

"මේ මොකද අපේ හාමුදුරුවනේ!" මං හයියෙන් කෑගැහුවා. ඒත් හඬ පිට වුණේ නෑ. හිටගත්ත ලොකු හාමුදුරුවෝ මං පැත්තට හැරිලා සිවුර ඉස්සුවා. දෙයියනේ උන්වහන්සේගේ පුරුෂ ලිංගය කපලා. එතනින් ලේ විදිනවා.

"කවුද මේ අපරාදේ කරේ.."

"ඒයි ඒයි කාසන් මොකද මං මේ රෑ ජාමේ කෑගහන්නේ.."ලොයිඩ් අයියගේ හඬින් මං ඇස් ඇරියා. කාමරේ විදුලි බුබුල දැල්වෙමින් තිබුණා.

"මං පොඩි හීනයක් දැක්කා." මම මදුරු දැල මෑත් කරලා ඇදෙන් ඉදගත්තා.

"උඹට හොඳටම දාඩිය දාලා." ලොයිඩ් අයියා මගේ දිහාවට මේසය උඩ තිබ්බ වතුර බෝතලේ විසික් කළා. බෝතලය දෑතින්ම අල්ල ගත්ත මම ඒක එක උගුරට බීගෙන ගියා. බෝඩිම් කාමරේ දොර ඇරපු ලොයිඩ් අයියා මං දිහා බැලුවෙ හිනාවෙවී.

"උඹ තාම ඉන්නේ අපායෙ ද?"

එහෙත් කිසිවකු නොකියපු මම අඳුරේම වතුර කරාමය දෙසට යන්නට වුනා. මුහුණ කට සෝදා ගත් පසු මට යම් සහනයක් දැනෙන්නට වුණා. මම ඇවිත් නැවතත් මදුරු දැල අස්සට රිංගුවා. සිහින් හඬින් සිංදුවක් මුමුණමින් ලොයිඩ් අයියා කාමරයේ දොර වහලා ලයිට් එක නිව්වා. ටික වෙලාවකට වෙලාවකට පස්සේ ඔහුගේ මිමිණුම් හඬ මගේ කණ ළඟ ඇහෙන්න ගත්තා. ලොකු හාමුදුරුවන්ගේ ඇඟෙන් ආපු දාඩිය මිශ්‍ර සුවඳ ලොයිඩ් අයියගෙ ළඟිනුත් මට දැනෙන්න ගත්තා. මම සෙමෙන් දෑස් පියාගත්තා.

- ශක්තික සත්කුමාර -

[කෙටිකතාව යුනිකෝඩ් වලට හැරවූ සහන් කසීර වික්‍රමසිංහට ඉතා ස්තූතියි.]


(image: https://www.facebook.com/shakthika.sathkumara)

Tuesday, 6 November 2018

"ඔසී රටේ අපේ කතා" කෘතියේ සිනුවර දොරට වැඩුම - All are invited


ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද කෙටිකතා විසිතුනකින් සමන්විත "ඔසී රටේ අපේ කතා" කෘතියේ සිනුවර දොරට වැඩුම 2018 නොවැම්බර් 11 වෙනිදා, ඉරිදා, සවස 230 ට සිනුවර තදාසන්නයේ කෙලිවිල් හි රයිට්ස් රෝඩ් ප්‍රජා ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.

සරසවි ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාවේ දී 2018 ජූලි මාසයේ මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ මෙම කෘතිය ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පානය කරනු ලැබූ මේ ග්‍රන්ථයේ ශ්‍රී ලංකාවේ දොරට වැඩුම 2018 අගෝස්තු මස දාහත්වෙනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණි.

ඉරිදා පැවැත්වෙන උත්සවය පිළිබඳ මම ඊයේ සිනුවර 99.9 FM ඔස්සේ ප්‍රචාරය වෙන "විදුර" සිංහල ගුවන් විදුලි වැඩසටහනට සහභාගී වීමි.

එහි ෆෙස්බුක් සජීවී විකාශයෙන් උපුටාගත් වීඩියෝවක් දැන් ඔබට නැරඹිය හැකි ය.



සිනුවර වසන ඔබ සැමට සිනුවර වසන ඔබ සැමට 2018 නොවැම්බර් 11 වෙනිදා, ඉරිදා, සවස 230 ට සිනුවර තදාසන්නයේ කෙලිවිල් හි රයිට්ස් රෝඩ් ප්‍රජා ශාලාවේ දී පැවැත්වෙන දොරට වැඩුමට සහභාගී වෙන ලෙස සාදරයෙන් ආරාධනා කරමි.

රසික සූරියආරච්චි

ප/ලි:
මේ ග්‍රන්ථයේ ඇතුළත් කෙටිකතා සහ ඒවායේ රචකයින් මෙසේ ය.

රමේෂ් - ප්‍රියන්ත ෆොන්සේකා
මානව හිතවාදියා - සමන් දිසානායක
පුත්‍ර ස්නේහය - දීපිකා ශ්‍රියානි සුන්ද්‍රාවඩුගේ
මීනා - පුෂ්පා සූරියආරච්චි
කතුර - නිහාල් රූපසිංහ
අවුරුදු නැකත - පාලිත ගනේවත්ත
ඩොලර් දෙකේ සන්තෝෂය - රසික සූරියආරච්චි
දෛවයෝගයක් - ඥානතිලක හේවාගමගේ
වාසනාවන්තයෝ - ෂෙල්ටන් පීරිස්
සිඳුණු පියාපත් - ෂාමලින් පෙරේරා
සුරතල්ලූ - ශ්‍යාමා රත්නායක
රියදුරු බලපත්‍රය - මොරගොඩ මලියසේන
දරු මුණුපුරෝ - රෝස් ගුණසේකර
මිණි කැට සහ මුතු ඇට - ජයන්ත ඈපා
ඕස්ට්‍රේලියාව, "රටගාය" හා අප - දිලිනි ඊරියවල
මෝන් සහ ඩූන් - මලී දිසානායක
අයි කේම් ෆ්‍රොම් ශ්‍රී ලංකා - දුමින්ද ගමගේ
ඉරණම - උපේකා පීරිස්
ජන්මාන්තර වෛරක්කාරයා - රසෝමි මුදලිගේ (පරිවර්තනය නිහාල් රූපසිංහ)
සිනහව අතරින් - පියසේන පියසිරි
චෙරි - පූර්ණිමා ජයතිස්ස
ජීවයට ජීවය - කරුණාසේන කහටපිටිය
උපැස් යුවලක් අතරින් - ලලිත් ලොකුකුරුප්පුආරච්චි

"ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ පිටු 250 කි. සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. සරසවි පොත්හල ශාඛාවලින් 20% වට්ටම් සහිතව ලබාගත හැක.

ප/ප/ලි:
අපේ සිංහල සංස්කෘතික හමුව හමුව මගින් මින් පෙර සම්පාදනය කරන ලද ග්‍රන්ථ මෙසේ ය.

තිරස තරණ - ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ගේ සිංහල කෙටිකතා එකතුව (2007) - දයාවංශ ජයකොඩි සමාගම
දකුණු කුරු දිව් කව් - ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය (2010) - දයාවංශ ජයකොඩි සමාගම

(image: designed by Deepal de Silva)

Thursday, 16 August 2018

ඔසී රටට පැන්න අපේ අයියලාගේ සහ අක්කලාගේ කතන්දර - A new chapter in Sinhala diasporic literature


ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද කෙටිකතා විසිතුනකින් සමන්විත "ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයක් ලෙස පසුගිය දා මුද්‍රණාද්වාරයෙන් නිකුත් විය.

මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.

මා විසින් රචනා කරන ලද "ඩොලර් දෙකේ සන්තෝෂය" නම් කෙටිකතාව ද මේ කෘතියට ඇතුළත් වේ.

"ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථයේ දොරට වැඩීමේ සාහිත්‍ය උත්සවය හෙට, 2018 අගෝස්තු 17 සිකුරාදා සවස 300 ට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ එම් බී ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ උත්සවයට සහභාගීවන ලෙස ඔබට කෙරෙන සාදර ඇරයුමයි මේ.



පොත එළිදැක්වීමේ උත්සවයේ වැඩ සටහන මෙසේ ය.

3:00   වැඩ සටහන ආරම්භය හා පිළිගැනීම : සංජීවනී රූපසිංහ
3:05    ඩයස්පෝරා සාහිත්‍යය විමසමින් කෘතිය හඳුන්වා දීම : කථිකාචාර්ය අචින්ත්‍ය බණ්ඩාර, සිංහල අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
3:20    පොත පිළිගැන්වීම
3:25    "පිටස්තරයාගේ සාහිත්‍යාවේශය" : සම්මානලාභී ලේඛක පියල් කාරියවසම්, බාහිර කථිකාචාර්ය, නාට්‍ය හා රංගකලා අධ්‍යයනාංශය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
3:55    සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ පණිවුඩය : නිහාල් රූපසිංහ, ලේඛක සංසදය
4:05    "පිටස්තරයාගේ නිර්මාණවල කලාත්මක ආවේශය" : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ, සිංහල අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය
4:35    "ඔසී රටේ අපේ කතා ගැන අදහසක්" " ප්‍රවීණ මාධ්‍යවේදී තිළිණ සමරසූරිය
4:50    ස්තුති කථාව : කෘතියේ ලේඛක පිරිස වෙනුවෙන් ප්‍රියන්ත ෆොන්සේකා
5:00    උත්සවය නිමාව හා තේ පැන් සංග්‍රහය



මේ ග්‍රන්ථයේ ඇතුළත් කෙටිකතා සහ ඒවායේ රචකයින් මෙසේ ය.

රමේෂ් - ප්‍රියන්ත ෆොන්සේකා
මානව හිතවාදියා - සමන් දිසානායක
පුත්‍ර ස්නේහය - දීපිකා ශ්‍රියානි සුන්ද්‍රාවඩුගේ
මීනා - පුෂ්පා සූරියආරච්චි
කතුර - නිහාල් රූපසිංහ
අවුරුදු නැකත - පාලිත ගනේවත්ත
ඩොලර් දෙකේ සන්තෝෂය - රසික සූරියආරච්චි
දෛවයෝගයක් - ඥානතිලක හේවාගමගේ
වාසනාවන්තයෝ - ෂෙල්ටන් පීරිස්
සිඳුණු පියාපත් - ෂාමලින් පෙරේරා
සුරතල්ලූ - ශ්‍යාමා රත්නායක
රියදුරු බලපත්‍රය - මොරගොඩ මලියසේන
දරු මුණුපුරෝ - රෝස් ගුණසේකර
මිණි කැට සහ මුතු ඇට - ජයන්ත ඈපා
ඕස්ට්‍රේලියාව, "රටගාය" හා අප - දිලිනි ඊරියවල
මෝන් සහ ඩූන් - මලී දිසානායක
අයි කේම් ෆ්‍රොම් ශ්‍රී ලංකා - දුමින්ද ගමගේ
ඉරණම - උපේකා පීරිස්
ජන්මාන්තර වෛරක්කාරයා - රසෝමි මුදලිගේ (පරිවර්තනය නිහාල් රූපසිංහ)
සිනහව අතරින් - පියසේන පියසිරි
චෙරි - පූර්ණිමා ජයතිස්ස
ජීවයට ජීවය - කරුණාසේන කහටපිටිය
උපැස් යුවලක් අතරින් - ලලිත් ලොකුකුරුප්පුආරච්චි

"ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ පිටු 250 කි. සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. සරසවි පොත්හල ශාඛාවලින් වට්ටම් සහිතව ලබාගත හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අපේ සිංහල සංස්කෘතික හමුව හමුව මගින් මින් පෙර සම්පාදනය කරන ලද ග්‍රන්ථ මෙසේ ය.

තිරස තරණ - ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ගේ සිංහල කෙටිකතා එකතුව (2007) - දයාවංශ ජයකොඩි සමාගම
දකුණු කුරු දිව් කව් - ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය (2010) - දයාවංශ ජයකොඩි සමාගම

(images: Deepal de Silva, Nalin Galkanda Arachchi)

Monday, 17 July 2017

දිනන්නෝ දිනන්නෝ ය (කෙටිකතා නිර්මාණයකි) - Winner takes it all (A short story)


"දෙන්නම කරට කර දිව්වා. ඒත් මට නම් පෙනුණේ කුසුම් ඔයා තමයි දිනුවේ. ඇත්තට ම මොකද වුණේ?"

අපේ නිවාසය භාර ගුරුවරිය මුහුණේ ප්‍රශ්නාර්ථයකින් යුතුව විමසයි. මම නිරුත්තරව සිටිමි.

නුවරඑළිය නම් වූ අපේ කුඩා නගරයේ ප්‍රධාන ක්‍රීඩා පිටිය පිහිටා තිබුණේ තුරග තරග පිටියට ආසන්නයේ ය. "ඉස්සර ඔය රේස් කෝස් එකේ ඇත්තටම අස්ස රේස් තිබුණා!" මගේ පියා කියනු මා අසා ඇත.

ඔහු නිතරම අපට අතීත කාලයේ, එනම් බ්‍රිතාන්‍යය විසින් ලංකාව පාලනය කළ කාලයේ, සිදු වූ දේ පිළිබඳව කතා කියා දුන්නේ ය.

"ඒ දවස්වල හැම දේ ම තිතට සිද්ධ වුණා. සුද්දෝ හොඳට හිතලා බලලා, ප්ලෑන් කරලා, හරි වෙලාවට, ටක්කෙට ම වැඩ කළා. ඒ රේස් අස්සයෝ හරි ම ලස්සන සත්තු, ඔය දැන් මෙහේ ඉන්න පෝනි වගේ නොවෙයි."

"අස්ස රේස් කාලෙට රටේ හැම පැත්තෙන් ම ලොකු ලොකු ඈයෝ එනවා නුවරඑළියට. නුවර එළියේ ස්ප්‍රිං කානිවල් ඒකට ගහන්න උත්සවයක් රටේ වෙන තිබුණේ නෑ!" ඔහු ආශාවෙන් ඒ අතීතය සිහිකරයි.

සාමාන්‍යයෙන් නිදිබරව සිටින මේ ක්‍රීඩා පිටිය නව පණක් ලබන්නේ අපේ පාසලේ ක්‍රීඩා උත්සවයත් සමග ය. එදිනට පෙර දිනයේ ම පිටිය වටා කූඩාරම් ඉඳිවේ. කොඩි ගස් හිටවේ. පාසලේ නිවාස තුන නියෝජනය කරන රතු, කොළ සහ කහ පැහැති කොඩි සුළඟේ ලෙළ දෙන්නේ එකිනෙකා හා තරගයට මෙන් ය.

මෙවර ක්‍රීඩා උත්සවය තීව්‍ර තරගයක් වෙනු ඇතැයි මට සිතේ. ඉසව් වැඩි සංඛ්‍යාවකින් ජයගන්නා නිවාසයට අවසාන ජයග්‍රහණය හිමිවෙනු ඇත.

මේ වන විට අප මාසයක පමණ කාලයක සිට පුහුණු කටයුතු කර තිබේ. මේ වසරේ හොඳම පාසල් කාලයයි. පාසලේ වැඩ අඩු ය, ගෙදර වැඩ ඇත්තේ ම නැත. ක්‍රීඩා පිටිය වටා ඇති තුරු පෙළ සෙවණේ වාඩි වී සිටිමින්, උස පැනීම, දුර පැනීම, දිවීම, දැල් පන්දු වැනි ඉසව් සඳහා පුහුණුවීම පිණිස ඉඳහිට අපට කෙරෙන බාධා කිරීම්වලට පමණක් යටත්ව, මිතුරියන් හා කතා බහේ නිරත වීම මට ඉතා ප්‍රීතිජනක කාර්යයක් විය.

නමුත් එක් විශාල ප්‍රශ්නයක් තිබුණි.

තණ මත වාඩි වී සිටින අතරතුර අප ඉතා පරිස්සමෙන් සෝදිසියෙන් සිටිය යුතු විය.

එක්වරම මට මගේ දකුණු කකුලේ කුමක් දෝ ඇනෙන වේදනාවක් දැනේ. මම කෑ ගසමින් උඩ පනිමි. එහෙත් හිතාමතා ම, වේදනාව දැනෙන පෙදෙස දෙස නොබලා සිටිමි.

"ඇයි කුසුම් මොකද, මොකද?" අල්ලපු කූඩාරම අසල සිටි මාලිනී මට උදව් වීමට දිව එයි. මම තවමත් වේදනාව දැනෙන පෙදෙස දෙස නොබලා සිටිමි.

"අනේ මගේ දකුණු කකුල බලන්න. මොකක්ද ඇනුණා වගේ වේදනාවක් දැනෙනවා" මට යාන්තම් මුමුණා ගත හැක.

"ආ, මේ කූඩැල්ලෙක් නේ! මං නං මුන්ට බය නෑ!" මාලනී කූඩැල්ලා ඇද පොළොව මතට විසි කරයි.

"තෑන්ක් යූ මාලනී" ආපසු තම කූඩාරම දෙසට දිව යන ඇයට මා කියන දේ නෑසේ. "අනේ මටත් මාලනී වගේ කූඩැල්ලන්ට බය නැතිව ඉන්න පුළුවන් නම්?" මම දුකෙන් සිතමි.

ග්ලුකෝස් බෙදන්නට පටන් ගෙන ඇත. හැම ක්‍රීඩකයෙකුට ම තරගවලට පෙර ශක්තිය වර්ධනය කර ගැනීමට ග්ලූකෝස් දෙනු ලැබේ. මා ඒ රසයට ඉතා කැමති ය. අපේ අත්ල මතට හැන්දකින් බෙදනු ලබන ඒ සියුම් කුඩු, අප ඒවා දිවෙන් කා දැමූ පසුවත්, අත්ලේ ඇලෙන සුළුබවක් ඉතුරු කරයි.

"වයස පහළොවෙන් පහළ මීටර් සීයේ කාන්තා ඉසව්ව....." මීළඟට මගේ ඉසව්ව සඳහා සූදානම් වීමට නිවේදනය නිකුත් වේ.

"ඕල් ද බෙස්ට් කුසුම්" අපේ නිවාසය භාර ගුරුවරිය මට සුබ පතයි. "අංක 60 ඔයාට සුබයි" මගේ ඇඳුමේ ඉදිරිපසින් සහ පිටුපසින් අමුණා ඇති අංක 60 සලකුණ දෙස බලමින් ඇය මට පවසයි.

මට අපේ ඉසව්වට සහභාගී වන අනෙකුත් තරගකාරියන්ව පෙනේ. මාලනී ඇගේ නිවාසය නියෝජනය කරයි. මම ඇය දෙස ඕනෑකමින් බලමි. ඇයට නැවතත් ස්තුති කළ යුතුය. නමුත් තරග ඉසව්වට සූදානම් වෙමින් සිටින ඇය මා දෙස නොබලන්නී ය.

"සැරසේන්!" ඇරඹුම් සංඥාව දෙන ගුරුවරයා කෑ ගසයි.

මම පෙනහලු වාතයෙන් පුරවා ගනිමි. මේ රේස් එක මං දිනනවා මම දැඩි අධිෂ්ඨානයකින් යුතුව සිතමි.

ඇරඹුම් සංඥා වෙඩි හඬ සමග ම අපේ මීටර් සීය දිවීමේ තරගය ඇරඹේ. හැම අතකින් ම නැගෙන ඔල්වරසන් හඬ දැඩි ය. තම දරුවන්ට දිරි දීමට දෙමව්පියෝ විශාල පිරිසක් ද උත්සවයට පැමිණ සිටිති. නමුත් අද අම්මා ඇය උගන්වන පාසලේ ක්‍රීඩා තරගය නිසා කාර්යබහුල වී ඇත. තාත්තා නම් ඔහු ගේ ග්‍රොසරියේ වැඩවලට හිර වී ඇත.

මට මද සුළඟ හොඳින් දැනේ. සම වයසේ තරගකරුවන්ට වඩා උසින් වැඩි වීම මට වාසියකි. සුළඟ මැඩලමින් මම ඉදිරියට දිව යමි. මට තරගයේ අවසානය දක්වන රේඛාව හොඳින් පෙනේ. තව තත්පට කිහිපයකින් මම පළමුවැන්නා ලෙස අවසාන රේඛාව පසු කරමි. ඔල්වරසන් හඬ තවත් තීව්‍ර වේ.

තරගය විනිශ්චය කරන ගුරුවරියන් දෙදෙනෙක් අප කරා දිව එති.

"මං හිතන්නේ නොම්මර 60 දිනුවා!" එක් ගුරුවරියක් මා පෙන්වමින් කියයි.

"මට නං ෂුවර් නෑ, මං හිතන්නේ නොම්මර 68 තමයි දිනුවේ!" දෙවෙනි ගුරුවරිය මාලනී පෙන්වමින් කියයි.

සිදු වී ඇති අවුල මට වැටහේ. මා දිනූ බව මට හොඳටම විශ්වාස ය.

ගුරුවරියන් දෙදෙනා අපේ අදහස දැන ගැනීමට මෙන් අප දෙස බලති.

මම මාලනී දෙස බලමි. ඇය දුකෙන් සිටින බව පෙනේ.

"මාලනී තමයි මුලින් ම ලයින් එක ක්‍රොස් කළේ" මා කියනු මට ඇසේ.

මම මගේ නිවාසයේ සිසුන් ගේ ඔල්වරසන් ගඟ මැද කුඩාරම දෙසට පිය නගමි. සුබ පැතුම් හැම දෙසින් ම ගලා එයි. "කන්ග්‍රැජුලේෂන්ස් කුසුම්, වෙල්ඩන් කුසුම්."

"රිසල්ට්ස් එනවුන්ස් කරන තුරු ඉන්න!" කියා කීමට මට අවශ්‍ය ය.

නමුත් මගේ මුවෙන් ඒ වචන පිට නොවේ!

මම අපේ නිවාසයේ කූඩාරම තුළට පිවිසෙමි.

"දෙන්නම කරට කර දිව්වා. ඒත් මට නම් පෙනුණේ කුසුම් ඔයා තමයි දිනුවේ. ඇත්තට ම මොකද වුණේ?" අපේ නිවාසය භාර ගුරුවරිය මුහුණේ ප්‍රශ්නාර්ථයකින් යුතුව විමසයි.

මම නිරුත්තරව සිටිමි.

දිනන්නෝ දිනන්නෝ ය.

-පුෂ්පා කුමාරි රණවක
පරිවර්තනය: රසික සූරියආරච්චි

ප/ලි
වෙනත් අයෙකු විසින් ලියන ලද්දක් වුව ද, මෙලෙස කෙටිකතාවක් රසිකොලොජියේ පළ කිරීමට ලැබීම සතුටකි. මා කෙටිකතා ලියන්නට ගත් මෙතරම් සාර්ථක නැති උත්සහායන් කිහිපයක නටඹුන් පහත සබැඳි හරහා කියවිය හැකි ය.
  1. සම්බෝල කෙටිකතාවකට එක වස්තු බීජයක් - Those were the days!
    https://rasikalogy.blogspot.com/2017/06/those-were-days.html
  2. පෙම්වතිය ගේ අක්කා හමුවීම - Destiny
    https://rasikalogy.blogspot.com/2017/06/destiny.html
  3. වීරවංශ මහතාගේ කතා වස්තුව හෙවත් "මරණ බිය දැනුණු විට" - A short story
    http://rasikalogy.blogspot.com/2017/06/short-story.html
  4. වීරවංශ නම වෙනස් කරයි - A day begins for Mr Harris Chandrasuriya
    http://rasikalogy.blogspot.com/2017/06/day-begins-for-mr-harris-chandrasuriya.html
(image: http://www.thepapare.com/four-new-meet-records-on-the-first-day-of-sir-john-tarbet/)

Friday, 30 June 2017

වීරවංශ නම වෙනස් කරයි - A day begins for Mr Harris Chandrasuriya



"හැරිස්, කෝ පොඩ්ඩක් මේ පැත්ත බලන්න!"

හැරිස් චන්ද්‍රසූරිය තම බිරිඳ ගේ අණට කීකරු වී ඇය දෙසට හැරුණේ ය.

වෙනදා හැරිස් චන්ද්‍රසූරිය උදෑසන අවදිව හැඳ පැළඳ සූදානම් වී කාර්යාලය බලා නිවසෙන් පිටත්වෙන්නේ තම බිරිඳට කලින් ය. ඔවුන් ගේ පුතණුවන් පාසල කරා ගෙන යාම බිරිඳට භාර වී ඇති රාජකාරියක් නිසා, ඇය සැම දිනම පාහේ නිවසෙන් පිටත් වෙන්නේ හැරිස් නික්ම ගිය පසුවයි.

අද ඒ රටාව වෙනස් වූ දිනයකි.

වෙනදාට වඩා ප්‍රමාද වී නිවසෙන් පිටත් වීමට සැලසුම් කළ හැරිස් චන්ද්‍රසූරිය කුස්සියේ සිට තේ කෝප්පයක් බොමින් නිදන කාමරය වෙත පැමිණෙන විට ඔහු ගේ බිරිඳ පැට්‍රීෂියා හැඳ පැළදගමින් සිටියා ය. තම සැමියා ගේ මුහුණේ වෙනසක් දුටු ඇය ඒ පිළිබඳව හොඳින් පරීක්‍ෂා කිරීම සඳහා ඉහත කී විධානය නිකුත් කළේ ඒ මොහොතේ ය.

"පොඩ්ඩක් ලං වෙන්න."

"මුණ පාත් කරන්න."

හැරිස් චන්ද්‍රසූරිය ඒ විධානයන් ද එකහෙළා පිළිපැද්දේ ය.

"අයියෝ, ඔයාගේ ඇස් යට කළු පාට වෙලා නේද? මොකද ඒ? ඊයේ නින්ද ගියේ නැද්ද හරියට? ඇස් යට පොඩ්ඩක් විතර මහත්වෙලා වගේ!"

"මං තාම ෂවර් කළේ නෑ නේ. නා ගත්තාම, මොකක් වුණත් ඒක, නැතිවෙලා යාවි!" හැරිස් චන්ද්‍රසූරිය ඉවත් වී යන්න සැරසුණේ ය.

"මං කියන්නම්, ඔයා නිදා ගන්න යන්න කලින් මෙන්න මේ ක්‍රීම් එකෙන් පොඩ්ඩක් ඇස් යටින් ගාන්න. මේක හරි හොඳයි, ඩිපාර්චර් පැත්තේ ඩියුටි ෆ්‍රී ෂොප් එකක විතරයි තියෙන්නේ. ගිය පාර ගත්තු එක ඉවර වෙන්න කලින් මං මේ පාර ලංකාවට යන කොට දෙකක් ම ගත්තා" පැට්‍රීෂියා කුඩා කුප්පියක් පෙන්වමින් හැරිස් චන්ද්‍රසූරියට කීවා ය.

"දැන් මට ඔය ක්‍රීම්වලින් පලක් නෑ. කොහොමටත් ඕවා ගෑනුන් ගේ වැඩ!" හැරිස් චන්ද්‍රසූරිය පැවසුවේ තමා පිළිබඳ තවමත් දැඩි සැලකිල්ලක් දක්වන තම බිරිඳ කෙරෙහි සාගර රළ ලෙස නැගී ආ, ආදර බර මිහිරි කල්පනා අමාරුවෙන් සඟවා ගනිමිනි.

"දැන් ඉක්මනට යන්න, අද සිකුරාදා වුණත් තරමක් ට්‍රැෆික් ඇති!" යළිත් හිස පහළට හැරවූ ඔහු පැට්‍රීෂියාට උණුසුම් හාදුවක් දුන්නේ ය.

හේමන්තය ගෙවී දැන් ශීත සිසිරය ලබා තිබුණ ද, තමන් බොමින් සිටි තේ වතුර නිසා දෙතොල් උණුසුම් වී තිබුණු බව හැරිස් චන්ද්‍රසූරියට වැටහිණි.

නිමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉයන් ලිංතොට ප්‍රනාන්දු ගේ සම්බෝල කෙටිකතා අභියෝගය සඳහා කෙටිකතා ලියන්නට පටන් ගත්ත ද, සම්බෝලයක් ලෙස කොටන්නට තබා නොගෙන දිගටම කතාව ලියා පළ කරන්නට මට සිතේ. අද වූයේ ද එයයි.

මේ කෙටිකතාවේ ආ ප්‍රධාන චරිතය ඇතුළත් වූ මුල් කෙටිකතාවේ දී ඔහු නම් කෙරුණේ හැරිස් වීරවංශ ලෙසින් වූ නමුත්, වීරවංශ යන නාමය සමහර පාඨකයින් ටපලාගෙන තිබුණු නිසා, එය හැරිස් චන්ද්‍රසූරිය ලෙසින් වෙනස් කළ බව කරුණාවෙන් සලකන්න.

මෙන්න කලින් මා ලියූ කෙටිකතා කිහිපය.
  1. සම්බෝල කෙටිකතාවකට එක වස්තු බීජයක් - Those were the days!
    https://rasikalogy.blogspot.com/2017/06/those-were-days.html
  2. පෙම්වතිය ගේ අක්කා හමුවීම - Destiny
    https://rasikalogy.blogspot.com/2017/06/destiny.html
  3. වීරවංශ මහතාගේ කතා වස්තුව හෙවත් "මරණ බිය දැනුණු විට" - A short story
    http://rasikalogy.blogspot.com/2017/06/short-story.html

Friday, 23 June 2017

වීරවංශ මහතාගේ කතා වස්තුව හෙවත් "මරණ බිය දැනුණු විට" - A short story


හැරිස් වීරවංශ මහතා නින්දෙන් අවදිවූයේ පපුව ප්‍රදේශයේ තරමක වේදනාවක් සමගිනි. ඒ වේදනාව සමගම, තමන්ට තරමක දාඩියක් ද දමා ඇති බව ඔහුට වැටහුණි.

"බුදු අම්මෝ, හාට් ඇටෑක් එකක් එන්න එනවා ද?"

තමාට වඩා වසර කිහිපයකින් වයසින් වැඩිමහලු සුමින්ද ජයකොඩි ද හදිසියේ මිය ගියේ හදවතේ රෝගී තත්වයක් නිසා ය. ඒවන විට සුමින්ද ජයකොඩි විශ්‍රාමගෙන දෙවසරක්වත් ගත වී නොතිබුණි. ඔහු පෙර දින රාත්‍රියේ රෝහලට ඇතුළත් කළ පුවත අසා, සේවය නිමවී සුමින්දව බැලීමට යන අතරතුර මරණය පිළිබඳ ආරංචිය ජංගම දුරකථනයට ලැබුණු හැටි පස් වසරකට පසුව වුවත් හැරිස් වීරවංශ මහතාට අද මෙන් මතක ය.

තමන් ගේ පපුව ද, මේ ආකරයෙන් මුල් වරට සලිත වුණේ එදා බව හැරිස් වීරවංශ මහතා විශ්වාස කරයි.

කෙසේ නමුත්, ඒ දිනවලට ම, මුලින් ටවුමේ ඩිස්පැන්සරියේ ඇම්බීබීඇස් දොස්තර ද, පසුව රෝහල අසල චැනලින් සෙන්ටර් එකෙන් නොම්බරයක් ගෙන කාඩියොලොජිස්ට් මහතා ද මුණ ගැසී, ලේ පරීක්‍ෂණයකින් ද, ව්‍යායාම මැෂිමක නැග කළ ඊ සී ජී පරීක්‍ෂණයකින් ද පසු අවවාද ලැබුණේ, සතියකට දෙතුන්වරක් ඇවිදීම හෝ වෙනත් ව්‍යායාමයක් කිරීමටත්, තෙල් කෑම සහ සීනි අඩු කිරීමටත් පමණි.

ගතවුණු වසර පහ මුළුල්ලේ් තමන්ට හැකි උපරිමයට ම ඒ අවවාද පිළිපදින්නට හැරිස් වීරවංශ මහතා උත්සාහ ගත්තේ ය. ඉඳහිට හෝ දවසක රාත්‍රී කෑමෙන් පසු සීනි සහිත දෙයක් කෑම, කාර්යාලයට දිවා ආකාරය ගෙන නොගිය දිනවල තෙල්, කිරි නොබලා හොඳ කෑමක් ගැනීම මිස, තමන් කළ වරදක් නැති බව ඔහු දනී.

හය මසකට පමණ වරක් ලේ පරීක්‍ෂා කර ගත යුතු බවට අවවාද ලැබුණ ද, අවසාන වරට තමන් එසේ කළේ අවුරුදු එකහමාරකට පමණ පෙර බව හැරිස් වීරවංශ මහතාට සිහිවිය.
කොලොස්ටරෝල් වැඩිවෙලාවත් ද මන්දා?

කෙසේ වෙතත් දැන් කළ යුත්තේ කුමක් ද?

සයනයේ වම් පස නිදා සිටිනා තම බිරිඳ පැට්‍රීෂියා ගේ රුව අඩ අඳුරේ වුව හැරිස් වීරවංශ මහතාට පෙනේ. ඇයට ඇහැරවා මේ ගැන කියනවා ද? නැති නම් උදෑසන පහන්වන තුරු සිටිනවා ද?

පපුවේ සිරවීමක් සෑදුණු විට අතීතයේ නම් කළේ සිද්ධාර්ථ නම් ආයුර්වේද තෛලය ගා හොඳින් පිරිමැදීම බව හැරිස් වීරවංශ මහතා කියවා ඇත. දැන් ඒ තෙල් කොහෙන් හොයන්න ද?

බටහිර වෙදකමේ, මේ සඳහා කුමක් හෝ පෙති වර්ගයක් ඇති බවත්, එය දිව යට තබා ගත යුතු බවත් ඔහු අසා ඇත. නමුත් තම වෛද්‍යවරයා එවැනි බෙහෙතක් ගැන ඉඟියක්වත් දී නොමැත.

හැරිස් වීරවංශ මහතා හිස මදක් කරකවා නිදන කාමරයේ එක් බිත්තියක එල්ලා ඇති හෝරා යන්ත්‍රය දෙස බැලුවේ ය.

"හතර හමාරයි!"

එළිය වැටෙන්නට තව පැයකටත් වඩා වේලාව තිබේ. එහෙත්, ඒ අලුත් දවසේ, අලුත් හිරු එළිය දකින්නට තමන්ට වාසනාව තියේ ද?

හැරිස් වීරවංශ මහතා කල්පනා කරන්නට පටන් ගත්තේ ය. හෙට උදේට තමා මියගොස් සිටියහොත් කුමක් වේද?

බිරිය තනිවෙනු ඇත. එහෙත් ඇයට විවාපත් දියණියගෙන් යම් කිසි හව්හරණයක් ලැබෙනු ඇත. ඊට අමතරව, තමන් ගේ අර්ථසාධක අරමුදලින් යෙදූ ස්ථාවර තැන්පතුවේ පොලිය ජීවත්වන තුරු ඇයට උපකාරී වෙනු ඇත.

විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන පුත්‍රයාට ද තව එහි ගෙවන්නට ඇත්තේ මාස කිහිපයක් පමණි.

"පුතාටත් හොඳ ජොබ් එකක් ලැබේවි!"

පපුවේ හිරවීම තවමත් දැනෙයි. ඒ අතරම වැසිකිළියට යාමේ දැඩි අවශ්‍යතාවයක් ද එක්වරම ඇති විය.

සෙමෙන් සෙමෙන් ඇදෙන් නැගිටුණු හැරිස් වීරවංශ මහතා, රබර් සෙරෙප්පු කුට්ටම ද පයලාගෙන නාන කාමරය දෙසට ඇවිද යන්නට විය.

තමන් ඇඳෙන් නැගිටි සැණෙන් ම වාගේ එතෙක් තිබුණු පපුවේ හිරවීම තරමක් අඩු වී යනවා හැරිස් වීරවංශ මහතාට හැඟිණි. වැසිකිළි කෘත්‍යය අවසාන වන විට එය නැත්තටම නැතුව ගියා හා සමාන විය. අත් සෝදාගත් ඔහු, දත් මැද, වතුර උගුරු කිහිපයක් ද බී, නැවතත් කාමරයට පැමිණ ඇදේ හාන්සි විය.

පපුව හිරවීම යළිත් ආරම්භ වූ බව ඔහුට දැනුණි.

ඔහු කොට්ටය දිගු අතට හරවා, තවත් කොට්ටක් ද තබා තරමක් හිස එසවෙන ආකාරයට තම ඉරියව්ව වෙනස් කළේය.

එවර, තරමක පහසුවක් දැනුණි.

වැසිකිළියේ දී යාන්තමට මෙන් සිතට නැගුණු සිතුවිල්ල එයින් තහවුරු විය.

"ඊයේ කාපු දෙයක් වෙන්න ඇති. තාමත් උගුරට එනවා වගේ!"

තමන් සිටි ඉරියව්ව වෙනස් නොකරම හැරිස් වීරවංශ මහතා දෑස් පියා ගත්තේ ය.

උදෑසන ඔහුට අවදිවෙන විට හොඳින් හිරු පායා තිබුණි. පැට්‍රීෂියා වීරවංශ විසින් සාදා කාමරයට ගෙනැවිත් ඇඳ අසල කනප්පුවේ තබා තිබුණු තේ කෝප්පය සීතල වී ඇත.

තේ කෝප්පය අතට ගත් හැරිස් වීරවංශ මහතා, එහි බඳ දිගේ ඉහළට නගිමින් සිටි කුඩා කුහුඹුවෙකු තම ඇඟිල්ල නවා ඈතට විද දැම්මේ ය.

නිමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙය ද, කලින් ලියා පළ කළ කෙටිකතා මෙන් ම, ඉතා හදිසියේ පැයක් වැනි කාලයක් තුළ ලියූවකි. ඉයන් ලින්තොට ගේ "සම්බෝල අභියෝගය" හිතන තරම් ලෙහෙසි නැති බව පෙනේ!


(image: http://www.dailymail.co.uk/health/article-2191667/Spouses-heart-attack-victims-prone-anxiety-depression-shock-similar-post-traumatic-stress-disorder.html)

Wednesday, 21 June 2017

පෙම්වතිය ගේ අක්කා හමුවීම - Destiny


රනුක ද, අක්කා ද වාඩි වී සිටියහ. ඒ මුහුණට මුහුණට ලා නොව, කුඩා ටීපෝවක් වටා තබා තිබුණු ඒ සුවපහසු පුටු හතරෙන් එක ළඟින් තිබූ පුටු දෙකක ය.

ඒ නිවසක විසිත්ත කාමරයක් නොවේ. අගනුවර රජයේ ආයතනයක අමුත්තන් පිළිගැනීමේ ශාලාව ය.

ඒ රනුක ගේ අක්කා නොවේ. ඇය රනුක ගේ පෙම්වතිය ගේ අක්කා ය.

"මං අක්කට ඔයා ගැන කිව්වා. එයාට ඕනැ ලු ඔයාව බලන්න" ශිරාණි එවූ ලිපියක කියා තිබුණි. "ඔයාට මං කියල තියෙනවා නේ එයා වැඩ කරන්නේ කොළඹයි කියලා. සතියේ දවසක ඔෆිස් එකට ගිහින් අක්කාව පොඩ්ඩක් හම්බ වෙන්න. සෙකුරිටි ගේට්ටුවෙන් එතැන ලොකු බිල්ඩිම ඇතුළට ගිහින් රිසෙප්ෂන් එකට අක්කා ගේ නම කියන්න. එතකොට එයා ඒවි."

ශිරාණි රනුක ප්‍රේමය ඒ දිනවල ගලා ගියේ මසකට හෝ දෙකකට වරක් වූ සුන්දර හමුවීමකින් ද, ඒ අතරේ සතියකට දෙවරක් පමණ හුවමාරු වූ පෙම් හසුන් ද හරහා ය.

ජීවිතයේ සැබෑ කතාව

ඔබ නැතිනම් මා සනසාලන්නට
සැතපුම් සියයක් එපිට දෙසේ සිට
එවන හසුනකින්
සීතල වැඩි වී
රුධිරය ගල් වී
මා මියගොස් දිගු කලක් විය යුතුයි

ඔබ මට දිරියකි
ඔබ මට සවියකි
ඈත එපිට සිට ගෙන එන්නේ
කුරිරු ලෝකයේ රුදුරු බවින් මා
මුදවා ගෙන සනසාලන්නේ

පෙළකට ඈඳුණු පබළු වැලක් සේ
අකුරු පිරුණු සෙනෙහසේ හසුන් පත්
මවෙත ලැබෙන සඳ
මුළු ලෝකෙම දේ අමතක කරලා
සිනා නැගිය හැක

ලොව සොඳුරුම දේ ආදරයයි!


ඒ රනුක ඒ දිනවල ලියූ කවියකි.

"ඉතිං මල්ලී, ඔයාට කොහොමද නංගීව මුණ ගැහුණේ?" අක්කා ඇසුවා ය.

"මෙන්න මෙහෙමයි වුණේ අක්කේ" රනුක පිළිතුරු දුන්නේ ය.

"මම එදා සෙනසුරාදා දවසේ ටවුමට බස් එකේ ගිහින් බැහැලා පේව්මන්ට් එක දිගේ උඩහට ඇවිද ගෙන ගියා. මං ඉස්සරහට එන දෙනෝ දාහක් සෙනග අතරේ මං ශිරාණියි එයාගේ යාලුවයි දෙන්නා එනවා දැක්කා. ශිරාණි මගේ මුණ ඉස්සරහට ම ආවාම මගේ හිත එකපාරටම මට කිව්වා මේ තමයි මට ගැලපෙන කෙනා කියලා."

"මං තත්පරයකින් දෙකකින් විතර ආපහු හැරිලා බස් හෝල්ට් එක දිහාවට ඇවිදින්න පටන් ගත්තා. මං දැක්කා ශිරාණි එතැන නවත්තලා තිබුණු බස් එකකට නගිනවා. මාත් ඒකට නැගලා, එයා ළඟින් වාඩි වෙලා, එයාට කතා කළා."

"එච්චරයි!"

අක්කා අති සුන්දර සිනහවක් පෑවා ය.

නිමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ඉයන් ප්‍රනාන්දු ගේ "සම්බෝල කෙටිකතා අභියෝගයට" මුහුණ දෙන්නට වස්තු බීජ සොයමින් "ඩවුන් ද මෙමරි ලේන්" ගිය ගමනක දී හමුවූවකි. සම්බෝල නොකර, අච්චාරු නොදමා, හිතට ආ දේ කෙළින් ම ලියා දැමුවෙමි.

(image: https://au.pinterest.com/pin/104497653827246884/)

Monday, 19 June 2017

සම්බෝල කෙටිකතාවකට එක වස්තු බීජයක් - Those were the days!


ඉයන් ලින්තොට විසින් ආරම්භ කර ඇති නවතම බ්ලොග් ව්‍යාපෘතියට එකතු වීම පිණිස "සම්බෝල ප්‍රවර්ගයේ" කෙටිකතාවක් ලිවීම සඳහා වස්තු බීජ දෙක තුනක් සොයා ගැනීමට සිත පීරමින් සිටියදී, යටි හිතේ කොහේදෝ කොනක සැඟවී තිබුණු එක් සුන්දර සිදුවීමක් යළි මතකයට නැගුණි.

සම්බෝල, අච්චාරු, චට්නි, සලාද, පපඩම් සියල්ල අමතක කර ඒ වස්තු බීජය ඉතා සැකෙවින් ලියා පළ කරන්නට මට වහා සිත්විය.

මෙය කොල්ලෙකු සහ කෙල්ලක සම්බන්ධ කතාවකි.

අපේ කතා නායකතා තම ජීවිතයේ ප්‍රථම රැකියාව ඇරඹූ වයස අවුරුදු විසි තුනක පමණ තරුණයෙකි. සේවය අරඹා දෙවෙනි දිනයේ දී පමණ සම වයසේ යැයි හැඟී ගිය පියකරු තරුණියක් ඔහු නෙත ගැටුණේය. ඇය විශ්වවිද්‍යාලයක පාඨමාලවක් හදාරමින්, ඒ පාඨමාලාවට අදාළ පුහුණුවක් සඳහා මේ ආයතනයේ මාස කිහිපයක් ගත කරමින් සිටි යුවතියකි.

නිතර එකිනෙකා දුටුවේ වුව ද, ඔවුන් දෙදෙනාට කතා බහ කිරීමට වැඩි ඉඩකඩක් සේවා ස්ථානයේ දී, සේවා කාලය තුළ නොලැබුණි. කෙසේ වෙතත්, තරුණයා ඇය දුටු සැම මොහොතකම සසල සිතින් ඇය දෙස බලනු ඇය නොදකින්නට හේතුවක් නොතිබුණි.

කොටින් ම, "කුච්, කුච් හෝතා හේ" තත්වයක් ඇරඹී තිබුණි.

මාස කිහිපයක් ම ගත විය. සේවා ස්ථානයේ අන් මිතුරු මිතුරියන් සමග සිටි අවස්ථාවල, කෝල, මනලෝල බැල්මක්, වචනයක් දෙකක් හුවමාරු වූ නමුත්, සම්බෝල තියා ජම්බෝල ප්‍රවර්ගයේ කෙටිකතාවකටවත් සුදුසු කිසිවක් ඊට අමතරව සිදුවෙන බවක් නොපෙනුණි.

ඒ, ආයතනයේ අවුරුදු නිවාඩුවට පෙර දා සවස් යාමයයි.

නිවාඩුවට පෙර අවසන් කිරීමට යුවතියට සුවිශේෂී කාර්යක් පැවරී තිබුණු නිසා, ඇය සවස් යාමය තෙක් ම ආයතනයේ රැඳී සිටිනු තරුණයා දුටුවේ ය.

මද වේලාවකින් ඇය පැමිණ ඔහුගෙන් මෙලෙස ඇසුවා ය.

"රනුක, මට අද රෑ අට විතර වෙනකම් මෙතැන ඉන්න වෙනවා. ඔයා ඕෆ් වෙන්නේත් ඒ වෙලාවට නම්, මා එක්ක බෝඩිම ළඟට යන්න එන්න පුළුවන් ද? ඒ පාර ටිකක් කරුවලයි, පාරේ ලයිට් නෑ."

තරුණයා ගේ බෝඩිම පිහිටියේ ද, ඒ පැත්තේ ම, නමුත් වෙනත් අතුරු මාර්ගයකයි.

"හා හොඳයි, මං එන්නම්!" ඔහු යාන්තම් කියා ගත්තේ ය.

රාත්‍රී අටට පමණ සේවා ස්ථානයෙන් පිටත් වූ ඔවුන් දෙදෙනා, කතා බසයෙන් ම, මහා මාර්ගය තරණය කොට, කන්ද උඩට දිවෙන මාර්ගයේ මද දුරක් ගොස්, එතැනින් යුවතියගේ බෝඩිම දෙසට දිවෙන ගුරු පාරට පිවිසුනහ.

"කාලෝ අයං තේ!"

ඒ, මේ සැදැහැවත්, දැහැමි, බෝ පැළයක් බඳු, තරුණයා ගේ සිත ඔහුට කොඳුරා කියූ දහම් පදයකි.

"සංජි"

"ඇයි රනුක?"

"මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි...." රනුක අප සියලු දෙනාම දන්නා කතාව කියාගෙන ගියේ ය. ඔහු එය අවසන් කළේ ද නැවතත් අප හොඳින් දන්නා "මං ඔයාට කැමතියි, ඔයා මොකද හිතන්නේ?" යැයි විමසමිනි.

සමහර විට රනුක ඒ "මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි" කතාව කියා ඒ ප්‍රශ්නය එලෙසින් ම, ඒ සවස් යාමයේ දී අසාවි යැයි සංජි ද අපේක්‍ෂා කළා විය හැක.

"රනුක, මං හෙට ගෙදර යනවා, ආපහු එන්නේ සතියකින් විතර අලුත් අවුරුද්දේ. ඒ ආවට පස්සේ අපි කතා කරමු!" ඇය කලින් සූදානම් වී සිටියාක් සේ කීවා ය.

"එහෙනම් ඒ අලුත් අවුරුද්ද ඔයාට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා මං ප්‍රාර්ථනය කරන්නම්!" රනුක වහා පිළිතුරු දුන්නේ ය.

නිමි.

-රසිකොලොජිස්ට්

(image: https://thumb9.shutterstock.com/display_pic_with_logo/165386934/611563286/stock-photo-heart-shape-made-of-nails-for-father-s-day-anniversary-or-valentine-611563286.jpg)