Tuesday 31 January 2017

"නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල සහ බයි වෛරය - Nelum Yaya Blog awards ceremony 2017


"නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල මේ වසරේ මාර්තු මස පැවැත්වෙන බව එහි එක් සංවිධාකයෙකුවන අජිත් ධර්මකීර්ති විසින් නොබෝදා ප්‍රකාශයට පත් කළ පසු ගිය වසරේ පැවැත්වුණු උත්සවයේ අඩුපාඩු තම නැණ පමණින් පෙන්වා දෙමින් හෙන්රි වර්ණකුලසූරිය විසින් ලිපියක් පළ කොට තිබුණි.

ඒ සමගම "නෙළුම් යායේ" කෙටි ඉතිහාසය පුරා ම මේ කර්තව්‍යයට හූල්ලමින්, ශාප කරමින්, ඇනුම් පද කියමින්, අපහාස කරමින්, ගේම ඉල්ලමින් කල්ගත කළ පිරිස් ද, තම නමින් ද, නිර්නාමිකව ද සුපුරුදු ක්‍රීඩාව අරඹා ඇති බව පෙනේ.

සිංහලෙන් බ්ලොග් ලිවීම පිළිබඳ මගේ අත්දැකීම වසර දොළහක අතීතයට, එනම් 2005 අප්‍රියෙල් දක්වා ඇදී යන නමුත්, මා දන්නා පරිදි මුලින් ම සිංහල බ්ලොග් සඳහා සම්මාන උලෙළක් සංවිධානය කෙරුණේ වසර 2009 දී කොළඹ රාජකීය විද්‍යාලයේ සාහිත්‍ය සංගමය මගිනි. තෙවසරකට පසුව අහෝසි වී ගිය ඒ උත්සවයට, ජනාධිපති කාර්යාලය, මයික්‍රොසොෆ්ට් ආයතනය, ජාතික තොරතුරු තාක්‍ෂණ ආයතනය වැනි ප්‍රමුඛ පෙළේ අනුග්‍රහය ලැබී තිබුණි.

"නෙළුම් යාය" උත්සවය පිළිබඳව ලියවුණු විවේචනාත්මක ලිපියකින් ඇරඹුණු සාකච්ඡාවේ දී සඳහන් වීී තිබුණු එක්තරා අසත්‍ය, අපහාසාත්මක චෝදනාවක් පිළිබඳව ද සඳහන් කෙරෙමින් ලියවී කිහිප දෙනෙකු අතරේ සංසරණය වුණු ඊ-මේලයකට පිළිතුරු ලෙස මා ලියූ සටහනක සඳහන් කළ කරුණු කිහිපයක් පොදු පරිභෝජනය සඳහා ද යෝග්‍ය යැයි සිතුණු බැවින්, මේ ලිපිය මෙලෙස සකසා පළ කරන්නට සිත්විය.

සිංහල බ්ලොග් ලියන පිරිස මෙන්ම කියවා අදහස් දක්වන පිරිස ද, වයස දහසයේ සිට අසූව දක්වා ද, උතුරු ඇමරිකාවේ සිට දකුණු ඕස්ටේලියාව දක්වා ද, දහයේ පන්තියේ සිට පීඑච්ඩී දක්වා ද, ගෝත්‍රවාදී වහල් බයියා ගේ සිට කූල්ටූර් නිරාගමික ටොයියා දක්වා ද, එක් එක් මානයන් හි විශාල පරාසයක විසුරුණු පිරිසක් බව පැහැදිලි සත්‍යයකි.

ඒ වෙනස්කම් නිසා සහ ඊට පරිබාහිර වෙනත් හේතු නිසා ද, තමන්ට වඩා විරුද්ධ අදහස් දරන අය සමග මත ගැටුමක පමණක් නොයෙදී ඒ විරුද්ධවාදීකම් පුද්ගලික මට්ටමට ගෙන ඒමට ද ඇතමුන් පෙළඹීම ආරම්භයේ සිටම සිංහල බ්ලොග් අවකාශයේ දක්නට ලැබුණු තත්වයකි.

මා 2005 දී පළ කළ "පෙම් ගී" බ්ලොගයේ දී කෙසේ වෙතත් පසුව 2009 දී පමණ වෙනත් බ්ලොගයක් ලියන අවදියේ මුලින් ම මේ විරෝධතා නැගුණේ මා දුටුගැමුණු ගැන කළ සඳහනක දී, ඔහුට පොර කියා දෙතුන් තැනක ලිවීම නිසා ය. එය දුටු රටේ සහ ජාතියේ ස්වයං පත්වීම් ලබා ඇති අයිතිකරුවෝ මට එරෙහිව අවි අමෝරා ගත්හ.

මා එවිට කළේ දුටුගැමුණු පොරක් නොවේ කියා දෙවෙනි ලිපියක් ලිවීමයි.

කෙසේ වෙතත්, එයින් පසු අද භාෂාවෙන් බයියන් යැයි හැඳින්වීමට හැකි පිරිසක් මා හා පුද්ගලිකව වෛර බැඳගත් බව පෙනුණි.

එදා සිට මා හා වෛර බැඳගත් අන් අය අතර, ටෙම්පල් ඔෆ් ද ටූත් යන්න සිංහලෙන් දතේ පන්සල කියා ලිවීම වැනි දේ නිසා උරණ වූ තලේබාන් බෞද්ධයින් ද, මා සිව් වසරක් ගත කළ ආනන්ද විද්‍යාලය ගැන ලියූ සටහනකින් පාසලට අපහාස වුණා යැයි කියා කෝපවුණු ස්වයං පත්වීම් ලබා සිටින පාසලේ අයිතිකරුවන් ද, මා බාලචන්ද්‍රන් දරුවා ගේ මරණය ගැන ලියූ නිසා තැතිගත් සිංහල ජාතිවාදීන් ද වෙති.

මීට අමතරව, රසිකොලොජිය ඇරඹුණු මුල් දිනවලම සිට මා ලියා පළ කළ ලංකාවේ දේශපාලනය පිළිබඳව වූ විවිධාකාරයේ ලිපිවල අන්තර්ගතය නිසා මා හා පුද්ගලිකව වෛර බැඳගෙන ඇති පිරිසක් ද ඇති බව පැහැදිලිවම පෙනේ.

මේ සියලු දෙනා විවිධ අවස්ථාවල දී මට විරුද්ධව නොයෙකුත් අපහාස කළ ද, මා තවමත් අනුගමනය කරන වාරණ විරෝධී ප්‍රතිපත්ති නිසා, ඒ ගැන අනවශ්‍ය ලෙස කරදර නොවුණෙමි.

ඒ සමගම එලෙස අපහාස කරන කිසිවෙකු පිළිබඳව කෝපයක් ද ඇති කර නොගත්තෙමි.

එසේ ම සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් වන්නේ මොනාකාරයේ මත ගැටුම් සිදු වුව ද, මා කිසි දිනක, කිසිදු ආකාරයකින්, නිර්නාමිකව හෝ ආරූඪ නමකින් හෝ කිසිම පුද්ගලයෙකුට අපහාසාත්මක දෙයක් ලියා නැති බවයි.

ඒ සත්‍යය පිළිගැනීමට සමහරුන් අසමත් වීම නම් කනගාටුවට කරුණකි.

අජිත් ධර්මකීර්ති සහ "නෙළුම් යාය" සම්බන්ධයෙන් ද සිදු වී ඇත්තේ මෙවැනි තත්වයකි.

රාජපක්‍ෂ පාලන සමයේ අවසාන කාලයේ සිට, උග්‍ර මරාවාදී පිරිස් "ලංකානිව්ස්වෙබ්" සමග වෛර බැඳ ගෙන සිටියහ. ලංකාවේ සිට ඒ පුවත් අඩවියට පිවිසීමට හැකි පහසු ක්‍රම අසුරා වාරණයක් ද පනවා තිබුණි.

දෙවසරකට පෙර සිදුවූ මරා ගේ පරාජයෙන් පසු ඒ වෛරය "ලංකානිව්ස්වෙබ්" හි කොටසක් ලෙස හඳුනාගත් "නෙළුම් යාය" වෙබ් අඩවිය දෙසට ද පැතිරිණි. නෙළුම් යාය සම්මාන උළෙල සහ එහි සංවිධායක අජිත් ධර්මකීර්ති පිළිබඳව වෛරය අප නමින් දන්නා සහ තවමත් නමින් නොදන්නා පිරිසක් අතර ඇති වී ඇත්තේ ඒ අනුව ය.

ඔවුන්ගෙන් සමහරෙකු සංවිධානාත්මකව හෝ තනි තනිව, මරා විරෝධී බ්ලොග්කරුවන්ට විරුද්ධව කටයුතු කරන බව පැහැදිලි ය. මරා විරෝධීන් එකිනෙකා හා කෙටවීම ද ඒ ව්‍යාපාරයේ කොටසක් යැයි, පසුගිය වසරේ සිංහල බ්ලොග් අවකාශයේ සිදුවූ යම් යම් දේ නිසා මට හැඟී ගියේ ය.

සිරිලංකා, යූඇම්පී, ජේවීපී, පෙසපෙ වැනි කුමන පක්‍ෂයකට වුව ද වහල් වී ජීවත් වෙන අයගෙන් තමන්ට ප්‍රතිවිරෝධී අදහස් දරන අයට එරෙහිව මේ ආකාරයේ වෛරයක් ඇති වීම අපේක්‍ෂා කළ යුත්තකි. ඒ අයගෙන් සමහරෙකු එළිපිට හෝ නිර්නාමිකව විවිධ අපහාස කිරීම ද එලෙස ම අපේක්‍ෂා කළ යුත්තකි.

"ලංකානිව්ස්වෙබ්" හා "නෙළුම් යාය" හා ඔහු ගේ ඇති සෘජු සම්බන්ධය නිසා අපහාසකරන්නන්ට අමතරව, පාසල් සමයේ මොන්ටිසෝරි වලි නිසා අජිත් ධර්මා (සහ සමාන පිරිසක්) සමග පුද්ගලිකව පොදුවේ වෛර බැඳ ගෙන සිටින අය ද සිටින බව මට පෙනී ගොස් ඇත. මා ඒ බව හොඳින් ම දන්නේ එවැනි එක් පුද්ගලයෙකු මා අහම්බෙන් මුණ ගැසුණු දිනයේ දී කෙළින් ම ඒ බව මා සමග කී නිසා ය.

සත්‍යය කවදා හෝ ජය ගනී, යුක්තිය ඉටුවේ යනුවෙන් අප කුඩා කල සිට විශ්වාස කරගෙන ඇති දේ සහමුලින් ම ප්‍රතික්‍ෂේප කිරීමට තවමත් මට නොහැකි නිසා මට සියලු මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ මඩ ප්‍රහාර හමුවේ තවදුරටත් නොසැලී සිටින ලෙසයි.

මාර්තු මස පැවැත්වෙන තුන්වෙනි "නෙළුම් යාය" බ්ලොග් සම්මාන උත්සවයට මගේ සුබ පැතුම් එක් කරමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
පසුගිය වසරේ පැවති නෙළුම් යාය බ්ලොග් සම්මාන උලෙළ පිළිබඳ කෙටි වීඩියෝ වාර්තාවක් මෙන්න.



(image: http://nelumyaya.com/?p=7272)

Monday 23 January 2017

"කාන්තාවන්ට සම අයිතීන්" ව්‍යාපාරයේ තවත් ජයග්‍රාහී ඉදිරි පියවරක් හෙවත් සිත නිවන කතාවක් - Marching forward

Bay of fire, Tasmania, Australia
උදා වූ නව වසර සමරමින්, සතියකටත් වඩා දිගු නිවාඩුවක් නිවසෙන් බැහැරව, පරිගණකයෙන් දුරස්තව, දැහැමෙන් සෙමෙන් ගත කර නැවතත් පියවි ලොවට ගොඩ බට දිනයේ ම, ඇස ගැටුණේ අපූරු ප්‍රවෘත්තියකි.


(http://www.divaina.com/2017/01/23/news11.html)

කරුණාකර, අනං-මනං නොකියන්න.

ඔව්, කාන්තාවන්ට තමන් රිසි ඕනෑම දෙයක් කිරීමට සම අයිතිය තිබිය යුතුයි.

ඒ අයිතිය සිල්ගත් කාන්තාවන්ට ද එක සේ හිමි ය. ඔවුනට ද, සසර කෙටිකර ගැනීමට බවුන් වැඩීම අමතක කර දේශපාලන මඩගොහොරුවට බැසීමට, සිවුරු පොරවාගත් පිරිමින්ට ඇති අයිතියම ඇත.

දිවයින වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.
සිංහලයාගේ සුරක්‍ෂිතතාව අහිමිකරගෙන යන වත්මන් රජය තවදුරටත් පැවතුණහොත් සිංහලයා තුරන්වී යනු ඇතැයි ස්‌වකීය නම් ගම් ආදී පෞද්ගලික තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්‍ෂේප කරමින් තුරුණු වියේ පසුවන සිල් මෑණියෝ මාධ්‍යයට පැවැසූහ.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ භාවනා කුටියක බවුන් වඩමින් සිටින තමා සිංහල රටේ සිංහලයාගේ අනාරක්‍ෂිත අනාගතය සම්බන්ධයෙන් දැඩි සංවේගයට පත්වන බවත් තමන්ට සිදුවන විපතට වත්මන් රජය වගකිව යුතු බව සිංහලයාට අවබෝධ වී නැති බවත් මෑණියෝ පවසති.

සිංහලයා බලන්නේ බඩ ගැන පමණයි. ඔවුන් තමන්ගේ සිංහලකම ගැන හිතන්නේ නැහැ. ශාසනයට කැපවී සසර කෙටි කරගැනීමට සිටින අප වැනි අයට තිබෙන කැක්‌කුම සිංහලයාට නැතිවීම කනගාටුදායකයි. මේ තත්ත්වයට වගකිව යුතු මේ රජය 2017.01.22 වැනිදායින් පසුව ඉල්ලා අස්‌විය යුතු යෑයි සිල් මෑණියෝ පැවැසූහ.
ඇයට ජයවේවා!

-රසිකොලොජිස්ට්

නූතන ථෙරි ගාථා
සසර කෙටි කෙරුමට
නිවන අත්විඳ ගැනුමට
නොහැක මට තව දුරටත්
භාවනාවේ ඉන්නට

එපා සඝමිත්තා
එපා උප්පලවණ්ණා
කඩුව සේදූ දිය බිව්
වෙහෙර දේවිය මග යමි මම්

Thursday 12 January 2017

මිරිවැඩි සඟලකට හැඬූ කතාවක් - Poor dad, rich dad


අද තත්වය කෙසේදැයි නොදන්නා මුත්, අප කුඩා කාලයේ නම් ලංකාවේ රජයේ සේවකයින්ට පවුලේ සාමාජිකයින් ද සමග, වසරකට තුන්වරක් දුම්රියෙන් රට තුළ ඕනෑම දුරක ගමනක් නොමිලයේ යාමට ගමන් බලපත්‍ර ලැබුණි. මේවා පොදු භාෂාවෙන් හැඳින්වුණේ "වොරන්ට්ස්" යනුවෙනි.

මා පළමුවෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා සමයේ තාත්තාත් ඔහු ගේ පාසල් සමයේ මිතුරෙකු මෙන් ම තවත් රජයේ සේවකයෙකු ද වූ සාපින් මාමාත් එකතුව තම සුතනඹුවන් ද කැටුව අනුරාධපුර බලා ගිය ගමන, වොරන්ට් භාවිතා කරමින් අප ගිය මුල්ම චාරිකාවයි.

උදේ රැයින් නැගිට, බත්මුල් ද සාදා ගෙන, නිවසේ සිට චාරප්පු ගේ කඩේ හන්දියට පයින් ගොස්, එතැනින් බස් රථයකින් ගනේමුල්ලට ද, එතැන් සිට සාමාන්‍ය දුම්රියකින් වේයන්ගොඩට ද ගොස්, වේයන්ගොඩ දී අප යාපනය බලා දිවෙන සීඝ්‍රගාමී දුම්රියට ගොඩවෙන විට තවමත් සීතල හිමිදිරි පාන්දර කාලය විය.

දුම්රියේ දී ම, උදෑසන ආහාරය සඳහා සීනි සම්බෝල සමග පාන් කා, තර්මෝස් ප්ලාස්ක්වල දමන ලද ඉගුරු තේ බිව් ආකාරයත්, අතරමග දී දුම්රියට ගොඩවුණු ජංගම වෙළෙන්දෙකුගෙන් රට කජු මිලට ගෙන කෑ හැටිත්, මැදි වයසට ඔසුවක් වෙන අතීතකාමය අවුසමින් මට සිහිපත් කරගත හැක.

අනුරාධපුරයේ දී දුම්රියෙන් බැසගත් අපේ නඩය කෙළින් ම ගියේ ඒ අසල ම පිහිටා තිබුණු නමින් "ස්වර්ණමාලී" ලෙසින් හැඳින්වුණු විශ්‍රාම ශාලාවටයි. එහි කාර්යාලයට පිවිස මද වේලාවක් ගත කළ, තාත්තා සහ සාපින් මාමා, එතැනින් අප කැඳවා ගෙන ගියේ විශ්‍රාම ශාලාවේ එක් පසෙක පිහිටි තරමක ශාලාවකට ය.

එතැන අපේ බඩු බාහිරාදිය තැන්පත් කොට, ගෙදරින් ගෙන ගොස් තිබුණු බත් මුල් ලිහා කා, නටඹුන් සහ වෙහෙර විහාර නරඹා ආපසු පැමිණි පසු, එදා රාත්‍රියේ අපේ නවාතැන වූයේ ඒ ශාලාවයි. නිවසෙන් රැුගෙන ගොස් තිබුණු බෙඩ් ෂීට් එහි සිමෙන්ති පොළොව මත එලා අපි නිදා ගත්තෙමු. නිවසේ සිට ගෙන ගොස් තිබුණු එකම කුඩා කොට්ටය, තවමත් වයස තුනක ළමයෙකු වූ සමන් මල්ලීට හිමි විය.

එතැන් සිට ගතවුණු වසර දහයක කාලය තුළ, තාත්තා ගේ හිතවතුන් වූ, සයිමන් මාමා ගේ, රාජපක්ෂ මාමා ගේ සහ මට නම අමතක තවත් දෙතුන් දෙනෙකු ගේ පවුල්වල අය සමග බදුල්ල, කතරගම, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, නැවතත් අනුරාධපුරය මෙන් ම, එයා සිලෝන් යානයකින් කන්කසන්තුරය දක්වා ද ගොස් විවිධ වැදගත් ස්ථාන රාශියක් නැරඹීමට මගේ සොහොයුරන් දෙදෙනාට මෙන්ම මට ද හැකි වුණේ මා පෙර කී රජයේ සේවකයින්ට හිමිවෙන ඒ වොරන්ට්ස් හෙවත් දුම්රිය ගමන් බලපත්‍ර වල පිහිටෙනි.

මේ සෑම චාරිකාවක දී ම, අප සියලූ දෙනාම රාත්‍රී කාලය ගෙවූයේ අපේ මුල් ගමනේ දී නතර වුණු ස්වර්ණමාලී විශ්‍රාම ශාලාව වැනි ස්ථානවල ය. එසේත් නැතිනම්, මුතියංගණයේ දී සහ කන්කසන්තුරේ දී කළාක් මෙන් පන්සලක බණ මඩුවක ය.

කොටින් ම, මා සිතුවේ මෙවැනි දුර ගමනක් ගිය විට රෙද්දක් පමණක් බිම එලා කොට්ටයක් හෝ නොමැතිව නිදා ගැනීම යනු ඒ ගමනේ ම අනිවාර්ය අංගයක් බවයි.

ඒ කතරගම චාරිකාව ගිය දා තෙක් ය.

එවකට දහවෙනි ශ්‍රේණියේ උගන්නා වසර දාහතර හමාරක පමණ කොලුවෙකු වූ මට වෙනදා මෙන් විශ්‍රාම ශාලාවේ අප සිටිනා පැය කිහිපයේ දී දෙමව්පියන් අසලම ගැවසීම අනිවාර්ය නොවුණෙන්, මම කතරගම අප නතර වී සිටි විශාල කාමරය පිහිටා තිබූ ගොඩනැගිල්ලේ ඔබ මොබ මදක් සැරි සැරුවෙමි. එහි එක් කොරිඩෝරයක් දිගේ ගමන් කරද්දී මා දුටුවේ කාමර පේළියකි. ඇතැම් කාමරයක විවර කර තිබුණු ජනේලයක් තුළින් ඒ කාමර සිවිලිම් පංකාවලින් ද, කොට්ට මෙට්ට සහිත ඇඳන් යනා දී ගෘහ භාණ්ඩ වලින් ද සමන්විත බව දැක මා මුලින් පුදුමයට ද, පසුව දුකට ද පත්වීමි.

මා පුදුම වූයේ, චාරිකාවල යන අප වැනි අය සඳහා එවැනි සුවපහසු කාමර ඇති බව මා ඊට පෙර දැන නො සිටි බැවිනි.

මා දුකට පත් වූයේ, මගේ පියා හෝ අප හා චාරිකාවලට සහභාගී වූ ඔහු ගේ එකදු මිතුරෙකු හෝ ඒ ආකාරයේ කාමරයක් කුලියට නොගෙන සිමෙන්ති පොළොව මත බෙඩ් ෂීට් එලා නිදියන අවම විකල්පය ම, සැමවිටක ම, තෝරා ගෙන තිබුණු නිසා ය. ඒ සුවපහසු කාමර අපට හිමි නැති සුඛෝපභෝගී වරප්‍රසාදයක් ලෙස මට හැඟුණි.

කතරගම ගමනින් පසු අපේ පවුලේ උදවිය මේ ආකාරයේ ගමනක් ගියේ තවත් වසරකින් පමණ පසු ත්‍රිකුණාමලය බලා ය. ඒ ගමනේ දී අප නිවසෙන් පිට ගත කළ රාත්‍රී සමය ගෙවුණේ විශ්‍රාම ශාලාවක් තරම්වත් පහසුකම් ඇති තැනක නොවේ. දුම්රිය සේවක නිවසක අපට නවාතැන් ලැබුණද එය ලයින් කාමරයක් වැනි එකක් වූ නිසා, පිරිමි ළමුන් සහ වැඩිහිටි පිරිමින් ට එදින නිදා ගන්නට සිදුවූයේ නවතා තිබුණු දුම්රියක ආසනවල ය.

ඒ අප කුටුම්බයක් ලෙස ගිය අවසාන විනෝද චාරිකාව වූ නිසා, එවැනි ගමනක මැද විදුලි පංකා සවි කෙරුණු කාමරයක සුවපහසු ඇඳක් මත රාත්‍රිය ගත කිරීම, සැබෑ කර ගත නොහැකි වූ සිහිනයක් ලෙසින් මගේ සිතේ රැඳුණි.

කාලය ගත වී ගියේ ය. මම විවිධ විභාග ද සමත් වී, රැකියාවක් කිරීම ද අරඹා, ලොකු ළමයෙකු ද වී, විවාහපත් වීමි.

තවත් කලෙකට පසු, එකල මගේ පියා කළාක් මෙන්, මිතුරන් හා එක්ව සිය සුතනඹුවන් ද සමග විනෝද චාරිකා යන සමයක් මට ද උදා විය. අප ඒ ගමන් ගියේ දුම්රියෙන් නොව මෝටර් රථවල වුව ද, රාත්‍රිය ගත කිරීම සඳහා මොටේල් කාමරයක, කැරවන් උද්‍යානයක පිහිටි කුඩා නිවසක හෝ එවැනි ස්ථානයක නතර වූ විට, පෙර කී මගේ කතරගම අත්දැකීම සිහියට ඒම වැළැක්විය නොහැකි විය.

තාත්තා ගේ වොරන්ට්ස් උපයෝගී කර ගනිමින් ගිය එක ගමනක දී හෝ අපට අර කොට්ට මෙට්ට පිරි ඇඳන් ඇති, සිවිලිමේ විදුලි පංකා කැරකෙන කාමරයක නතර වීමට නොහැකි වූයේ, ඒ සඳහා තාත්තාට අවශ්‍යතාවක් නොමැති වූ නිසාද, ආර්ථික ශක්තියක් නොමැති වූ නිසා ද යන්න මට නිවැරදිව සිතා ගත නොහැක.

වසරකට එක්වරක් පමණක් නිවසෙන් පිට නතරවෙන අවස්ථාවල දී සුව පහසුව ගැන කරදරවීම අනවශ්‍යයැයි තාත්තා සහ ඔහු ගේ මිතුරන් සිතුවා විය හැක. මේ චාරිකාවල අප නිරත වූයේ ද, මූලිකව ම, රජයේ සේවකයින්ට නොමිලයේ දුම්රියේ ගමන් කිරීමට වොරන්ට්ස් පහසුකම ලැබුණු හෙයින් නිසා, සමහර විට විශ්‍රාම ශාලාවල තිබූ මගේ සිහින කාමරයක් සඳහා එක් රැයකට ගෙවිය යුතු වූ මුදල හෝ දරන්නට තාත්තා ඇතුළු පිරිසට ඇත්තට ම හැකියාවක් නොතිබුණා ද විය හැක.

මා මේ පුවත මගේ හොඳම මිතුරියකට පැවසූයේ මගේ දුක්බර කතාවෙන් ඇය මද වශයෙන් හෝ කම්පාවට පත්වෙතැයි සිතා ගෙන ය. නමුත් මගේ කතාව අවසානයේ ඇය පැවසූ වදනින් මට සිහිවූයේ සුනිල් ආරියරත්න ලියූ ”මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි” ගීතයයි.

"රසික, ඔයා පොඩි කාලේ රට පුරාම පවුලේ අය එක්ක ගිහින් තියෙනවා නේ. මං ජීවිතේට අම්මයි තාත්තයි එක්ක ඔහොම ගමනක් ගිහින් නෑ!"

ඒ ප්‍රකාශයේ ඇති කනගාටුදායක තත්වය වූයේ මෙයයි.

මගේ මිතුරිය ගේ මව රජයේ ගුරුවරියක් වූ අතර ඇය අනිවාර්යෙන් ම වොරන්ට්ස් වරප්‍රසාදය හිමි අයෙකි. ඒ කෙසේ වුවද, ඇගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙකු විය. කුඩා කළ සිටම ඔවුන් සතුව මෝටර් රථයක් ද තිබී ඇත.

විශ්‍රාම ශාලාවල, බණ මඩුවල සිමෙන්ති පොළොවේ බෙඩ් ෂීට් මත නිදාගන්නට සිදුවූවා වුව ද, වසරකට එක් වරක් හෝ රට වටා විවිධ ස්ථාන නැරඹීමට යාමට වරම් ලද මගේ සොහොයුරන් දෙදෙනා සහ මා කෙතරම් වාසනාවන්තයින් ද යන්න ඒ මොහොතේ මට පසක් විය.

-රසිකොලොජිස්ට්

(image: http://sannasa.sinhalajukebox.org/2015/Dec/2015Dec_page33.pdf)

Monday 9 January 2017

නිවාඩුවේ අවසානය සහ පොඩි පොඩි ජෝක්ස් දෙක තුනක් - Back in the rat race


සති දෙකක නිවාඩුව අදින් අවසන් වී, නැවතත් කූඩුවේ ලූ සුරතල් මීයෙකු ලෙස රැට් රේස් එක දුවන්නට සිදු වී තිබේ.

නව වසර ඇරඹුණු විට මා කළේ, සියලු දෙනාටම 2018 වසර සඳහා සුබ පැතීමයි. ඊළඟට, ගෙවී ගිය 2016 සඳහා වසරකට කලින් පළ වී තිබුණු ලග්න පලාපල කියවා විනෝද සමයක් ලැබුවෙමි.

නව වසර උදාවේදී මෙවර සිදුවුණු සුවිශේෂී සිදුවීමක් වූයේ, රහමෙර බිඳක්වත් තොලේ නොගැවීමයි. එය සිතා මතා ගත් නව අවුරුදු අධිෂ්ඨානයක් නිසා සිදුවුණු එකක් නොව, ඒ දිනවල අප නිවසේ නිවාඩුවක් ගත කරමින් සිටි සුපින්වත්, සිල්වත්, ගුණවත් ඥාති සොහොයුරා නිසා සිදුවූවකි.

පසුගිය වසර අවසාන වෙන්නට පෙර අරඹා අතරමග නතර වී ඇති ව්‍යාපෘති කිහිපයක් අවසන් කරන්නට ද, නව වසර ඇරඹුමත් සමගම තවත් අලුත් ම ව්‍යාපෘති දෙකක් අරඹන්නට ද මා සැලසුම් කර සිටි මුත්, ඒ කිසිවක් තවමත් කරගන්නට නොහැකි වීම නම් කනගාටුවට කරුණකි.

රසිකොලොජියට දෙවසරක් පිරුණු දින, බ්ලොග් ලිපි ලියා පල කරන සීඝ්‍රතාවය දින දෙකකට වරක් සිට, සතියකට දෙකක් දක්වා අඩු කරන්නට තීරණය කළෙමි. එය මසකට දහයක් දක්වා වෙනස් කරන ලෙස බ්ලොග් මිතුරෙකු යෝජනා කළේ ය. සිංහල බ්ලොග් අවකාශයේ අයාලේ නොගොස්, එය සාරවත් එකක් කරමු යැයි තවත් බ්ලොග්කරුවෙකු මගෙන් ප්‍රසිද්ධ ඉල්ලීමක් කර තිබේ.

කෙසේවෙතත්, සියල්ල සිදුවිය යුත්තේ සහ සිදුවෙනු ඇත්තේ සිතට ප්‍රීතිය ලැබෙන ආකාරයට අනුව ය.

මේ වසරාරම්භ කෙටි සටහන අවසන් කිරීමට, පසු ගිය සති අන්නතයේ අසන්නට ලැබුණු පොඩි පොඩි ජෝක් දෙක තුනක් එකතු කරමි.

මීට දශක ගණනාවකට පෙර එක්තරා ගමක විසූ දෙමව්පිය යුවලක් තමන් ගේ අලුත උපන් දරුවා ගේ හඳහන සාදා ගැනීමට කට්ටඬියෙකු (ඇයි අවුල් ද?) වෙත ගිය කළ හඳහන සාදා ඔහු දරුවාට නම් තැබිය යුතු සුබ අකුරු කිහිපයක් දෙමව්පියන්ට ලියා දී ඇත.

දැන් වයස්ගත පුද්ගලයෙකු වන "යරලවස" නම් ඒ දරුවා අදත් ඒ ගමේ ජීවත් වෙන බව කියවේ!

ඒ ප්‍රදේශයේ ම තවත් දියණියකට නම තබා ඇත්තේ පෙම්වතී කියා ලු.

පෙම්වතී යන්න ප්‍රේමවතී යන නමේ සිංහලීකරනය ලෙස සැලකිය හැකි වුව ද, ඒ නමේ ඇති විසුළු ස්වභාවය ගැන අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

පෙම්වතියන් ගැන කතා කරද්දී ඊයේ අසන්නට ලැබුණු මේ කතාව ද කිව යුතුය.

මගේ මිතුරෙකු ගේ මිතුරෙකුට යොදා ඇති අන්වර්ථ නාමය "බබා නයින්, ත්‍රී රත්තරන්, වන් දෙයියා" ලු.

ඒ, ඔහු ගේ පෙම්වතිය විසින් එවන ලද ලිපියක තිබුණු බබා, රත්තරං සහ දෙයියා යන වචන සංඛ්‍යාව අනුව යොදන ලද නමකි!

-රසිකොලොජිස්ට්

(image: http://erwinensing.com/motivation/how-to-escape-the-rat-race/)

Monday 2 January 2017

වාසනාවන්ත 2018 නව වසරට ආසිරි සහ 2016 ලග්න පලාපල - Happy new year 2018 to all


උදාවෙන 2018 නව වසර ඔබ සැමට ජොලි ගුඩ් නිව්ඉයරයක් ම වේවා යැයි ඉත සිතින් පතමි!

වෑර් මාරු වීමක් නොවේ.

කොහොමටත් 2017 සඳහා සුබ පැතීමට දැන් ප්‍රමාද වැඩි ය. ඒ නැතිවුණත්, මට අවශ්‍ය වූයේ 2018 වසර සඳහා ඔබට සුබ පතන ලෝකයේ පළමුවැන්නා වීමයි.

තව දින 364 කින්, වෙනත් අය ඔබට සුබ නව වසරක් කියා ප්‍රාර්ථනා කරන විට, 2018 සඳහා ඔබට මුලින් ම සුබ පැතුම් ලැබුණේ කාගෙන් දැයි සිහිපත් වෙනු ඇත.

ඒ සමගම 2016 වසර සඳහා ප්‍රකාශිත ලග්න පලාපල පහත සබැඳියෙන් කියවා බලන්න අතපසු කරන්න එපා.

http://www.divaina.com/2015/12/31/feature03.html

එමගින් ඔබේ ලග්නය සඳහා කියවුණු අනාවැකි කීයක් නම් ගෙවුණු 2016 වසර තුළ සත්‍ය වී ඇතිදැයි ඔබට දැනගත හැකි වෙනු ඇත!

සැමට ජයවේවා.

-රසිකොලොජිස්ට්