Wednesday 20 July 2022

රහසක් නොවූ රහස් ඡන්දය - Election secrets revealed


අද, එනම් 2022 ජූලි මස 20 වැනි දින ලංකාවේ අලුත් ජනාධිපතියෙකු පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දය නරඹමින් සිටින විට මෙම පැරණි කතාව සිහිවිය.

මා මේ සටහන ලියා පළ කරන්නේ ඡන්ද ප්‍රතිඵල දැනගෙන නොවේ. ඊට පෙර ය.

අද ලංකාවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ඡන්දය රහස් ඡන්දයක් බව කියවේ. මා කියන්නට යන කතාව ද ඡන්දයක් ගැන ය. එසේම එය ද රහස් ඡන්දයක් විය. රහස් ඡන්දයක් යනු අප සැම දන්නා පරිදි, ඡන්දදායකයින් කුමන ඡන්ද අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කළා ද යන්න ඡන්දදායකයා මිස වෙනත් අය නොදන්නා ඡන්දයකි.

මේ මා කියන ඡන්දය පැවැත්වුණේ තායිලන්තයේ බැංකොක් නුවර උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති අන්තර්ජාතික විද්‍යායතනයක් වන, එවකට පශ්චාත් උපාධි ආයතනයක් වූ, ආසියානු තාක්ෂණික ආයතනයේ ය. ඒ ආයතනයෙන් පැවැත්වෙන කාර්මික ඉංජිනේරු හෙවත් Industrial Engineering and Management පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා මම එහි ගොස් සිටියෙමි.

විවිධ රටවල් වලින් පැමිණ සිටි අපේ කණ්ඩායමේ මා ඇතුළුව ලංකාවෙන් සිසුන් සිව් දෙනෙකු ද, ඉන්දියාවෙන් තිදෙනෙකු ද, බංගලාදේශයෙන් තිදෙනෙකු ද, පකිස්තානයෙන් එක් අයෙකු ද, පිලිපීනයෙන් දෙදෙනෙකු ද, වියට්නාමයෙන් දෙදෙනෙකු ද, තායිවානයෙන් තිදෙනකු ද, බුරුමයෙන් එක් අයෙකු ද, මැලේසියාවෙන් එක් අයෙකු ද, ඉන්දුනීසියාවෙන් එක් අයෙකු ද, සහ තායිලන්තයෙන් හත් අට දෙනෙකු ද වූහ. අප සියලු දෙනාම පාහේ එහි ගොස් සිටියේ ශිෂ්‍යත්ව ලබා ය. මගේ ශිෂ්‍යත්වය ලබා දුන්නේ ජර්මානු ෆෙඩරල් ජනරජයෙනි.

අපේ දේශන ඇරඹූ මුල් සතියේ ම, එක් විෂයයක් ඉගැන්වූ ආචාර්යවරයෙකු කියා සිටියේ යම්කිසි පොතක කොටසක් අප සියලු දෙනාම කියවිය යුතු බවත්, එහි පිටපතක් පුස්තකාලයේ නොමැති නිසා ඔහු සතුව ඇති පිටපත එක් අයකුට ලබා ගෙන අන් සියලු දෙනාටම ඡායාපිටපත් ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් ය. මේ සඳහා ස්වේච්ඡාවෙන් අප අතරින් අයෙකුට ඉදිරිපත් වෙන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

පකිස්ථානයෙන් පැමිණ සිටි කසීම් අලි ෂා මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. එපමණක් නොව ඔහු එම කටයුත්ත ද ඉතාමත් කැපවීමෙන් සිදු කළේ ය.

කොහොමටත් අලි ෂා යනු ඉතාමත් ප්‍රියමනාප පුද්ගලයෙකි. ඔහු ඕනෑම අයකු හමු වූ වෙන මොහොතේ දී ම අතට අත දී ගුඩ් මෝනින්, ආෆ්ටර්නූන් යනුවෙන් ආචාර කරයි. වචනයක් දෙකක් කතා කර නැවත වෙන් වී යන විට ද ඒ ආකාරයට ම අතට අත දී ආචාර කරයි.

අප ඉගෙනුම අරඹා දෙවන සතියේ දී අපේ පන්ති කාමරයට පැමිණි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයකු කියා සිටියේ, ශිෂ්‍ය සංගමයේ දී අපේ කණ්ඩායම නියෝජනය කිරීම සඳහා නියෝජිතයකු පත් කරගත යුතු බවයි. ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

අපෙන් එක් අයෙකු පකිස්තානු ජාතික අලි ෂා ගේ නම යෝජනා කළ අතර ඊළඟට නැගී සිටී පිලිපීන ජාතික සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු අනිත් පිලිපීන සිසුවා ගේ නම යෝජනා කළේය.

නම් යෝජනා කිරීමක් මිස ස්ථිර කිරීමක් අවශ්‍ය වූයේ යැයි මගේ මතකයේ නැත.

දැන් දෙදෙනෙකු ඉදිරිපත් වී ඇති නිසා රහස් ඡන්දයක් පැවැත්වෙන බව ශිෂ්‍ය සංගම් නියෝජිතයා අපට දැනුම් දුන්නේ ය.

ඔහුගේ මුලිකත්වයෙන් පැවතුණු ඒ රහස් ඡන්දයේදී අප කළ යුතුව තිබුණේ කඩදාසි කැබැල්ලක අප කැමති අපේක්ෂකයාගේ නම ලියා මුලසුනේ සිටි ඔහුට ගෙනැවිත් දීමයි.

ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්වූ විට අපට දැනගන්නට ලැබුණේ අලි ෂා පන්තියේ ඡන්ද වලින් දෙකක් හැර අන් සියල්ලම ලබා ගෙන ඇති බවයි.

විකල්ප අපේක්ෂකයා වූ පිලිපීන ජාතික ශිෂ්‍යයා ලබාගෙන තිබුණේ ඡන්ද දෙකක් පමණි.

ඒ ඡන්ද දෙක කාගේද යන්න කිසිවෙකුට රහසක් නොවී ය.

එනිසා අලි ෂාට ඡන්දය දුන්නේ කව්ද යන්න ද කිසිවෙකුට රහසක් නොවී ය.

රහස් ඡන්දයක්, රහසක් නොවුණු ඡන්දයක් බවට පත් වූයේ එලෙස ය.

අද පැවැත්වෙන ලංකාවේ ජනාධිපතියා තෝරා ගැනීමේ ඡන්දයේ දී ද අනුර දිසානායකට ලැබෙන්නේ ඡන්ද තුනක් පමණක් නම් ඒ කාගේ ඡන්ද ද යන්න පිළිබඳව කිසිවෙකුට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවනු ඇත.

ඡන්ද තුනකට වඩා ලැබුණොත් එය සෑහෙන සාකච්ඡා වලට බඳුන් වෙනු ඇති අතර ලැබුණේ ඡන්ද තුනකට වඩා අඩුවෙන් නම් එය සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් වෙනු ඇත.

-රසික සූරියආරච්චි

ප/ලි: ඡන්ද ප්‍රතිඵල දැන ගත් පසු මෙම සටහන සංස්කරණය කිරීමට අදහස් කළෙමි. සටහන පළ කර් පැය දෙකක් යන්නටත් පෙර ප්‍රතිඵල නිකුත් වූ අතර කිසිදු වෙනසක් කළ යුතු නැති බව පෙනේ.

මීටත් වඩා රහස්, එසේම රහස් මේ ආකාරයට එළිදරව් නොවුණු රහස් ඡන්දයක් ගැන කතාවක් තව දින දෙක තුනකින් ලියා පළ කරමි.

ප/ප/ලි:
ආසියානු තාක්ෂණ ආයතනය හා සම්බන්ධ මා ලියා ඇති වෙනත් සටහන්.

1. ආචාර්ය වෑන් ෆ්‍රෝසම් - Dr Yves Van Frausum
https://rasikalogy.blogspot.com/2016/07/dr-yves-van-frausum.html


2. විස්කි පිදුරු රහයි ද? - What taste is Whiskey?
https://rasikalogy.blogspot.com/2016/10/what-taste-is-whiskey.html


3. "සූදානම් ශරීරේ!" - ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස් යනු කුමක් ද? What the hell is Disaster Preparedness?
https://rasikalogy.blogspot.com/2017/06/what-hell-is-disaster-preparedness.html


(image: Captured for the live telecast by the Paliament of Sri Lanka)

Tuesday 5 July 2022

ජැක්සන් ඇන්තනිගේ අනතුර නිසා සිහියට ආ “අලි” අත්දැකීමක් - A near miss wild-elephant experience




ජැක්සන් ඇන්තනි සහ තවත් පිරිසක් ගමන් කළ වාහනය පාර හරහා පනිමින් සිටි අලියෙකු හා ගැටීම සම්බන්ධ ප්‍රවෘත්තිය සහ ඒ පිළිබඳ ඇතිවෙන සමාජජාල සාකච්ඡා දැක මා ලැබූ පැරණි අත්දැකීමක් සිහිවිය.

මෙය සිදු වූයේ මීට වසර තිහකට පමණ පෙර සමයකයි.

අපේ හොඳම මිතුරෙකුගේ විවාහ මංගල උත්සවය යෙදී තිබුණු දිනට පෙර දින සවස් යාමයේ එයට සහභාගි වීමට කොළඹ සිට පොළොන්නරුව කරා යන තවත් හොඳම මිතුරෙකුගේ මෝටර් රථයට මටත් පෙර පිනකට මෙන් ගොඩවීමට ඉඩ ලැබුණි.

පෙර පිනකට කියා කිව්වේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු ලෙස රුපියල් හාරදාහකින් පමණ ගත කරන තනිකඩ ජීවිතයේ බර වැඩිවීමට තුඩුදිය හැකි වූ කොළඹ සිට පොළොන්නරුවට බස් ගාස්තුව එයින් ඉතුරු වුණු නිසා ය. මෝටර් රථය හිමි මිතුරා හොඳම මිතුරෙකු වන්නේ ඒ කළ උපකාරය නිසා ය.

මුල් මිතුරා හොඳම මිතුරෙකු වන්නේ ඔහුගේ මංගල උත්සවයට මට ආරාධනා කළ නිසා ය. මාසේ පඩියෙන් දිවි ගෙවන අයට හොඳම මිතුරන්ට වඩා වැඩි පිරිසකට ආරාධනා කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. ඊට වසරකට පමණ පසු මා ද එය අත්දුටුවෙමි. මට ආරාධනා කළ හැකි වූයේ කොළඹ අවට සිටින මිතුරන් කීප දෙනෙකුට පමණි.

මගේ මතකයට අනුව, මෝටර් රථය පැදවූ මගේ මිතුරාට නම් එය ලැබී තිබුණේ ඔහු එවකට සේවය කළ පුද්ගලික අංශයේ සමාගමෙනි. ඒ රැකියාවට ඒමට, යාමට සහ පුද්ගලික ගමන් යාම සඳහා වූ පඩියට අමතර වරප්‍රසාදයක් ලෙසිනි.

වාහනය පැදවූයේ මෝටර් රථයේ භාරකාරීත්වය තිබූ මිතුරා වූ අතර අපේ තවත් හොඳම මිතුරෙකු ඉදිරිපස මගේ ආසනේ වාඩි වී සිටියේ ය. (මට හොඳම මිතුරන් විශාල සංඛ්‍යාවක් ඇති බව මෙය කියවන අයට දැන් තේරුම් යා යුතු ය!)

පසුපස අසුන් තුනේ සිටියේ මාත්, මිතුරා ගේ බිරියත්, ඇගේ උකුලේ ඔවුන්ගේ කුඩා අතදරු දියණියත්, තවත් කුඩා ළමයෙකුත් ය.

හවස් වරුවේ කොළඹින් පිටත් වූ අපේ අරමුණ වූයේ රාත්‍රී ආහාරය වන විට පොළොන්නරුවට ළඟා වීමයි.

හබරණ පසුකර අප පොළොන්නරුව දෙසට ගමන් අරඹන විට හතර වටින් හොඳටම කළුවර වී තිබුණි. එක්වරම මීටර් දහයක් පමණ ඉදිරියෙන් අපට පෙනුණ වන අලියෙකු (ඒ කාලයේ භාවිතයට අනුව වල් අලියෙකු) පාර අයිනේ සිටින බවයි. මෝටර් රථයේ ලාම්පුවේ එළිය නිසාදෝ ඌ නැවතී රථය දෙස බලාගෙන සිටින බවක් පෙනුණි.

වාහනයේ ඉදිරිපස මගී අසුනේ සිටි මිතුරා පොළොන්නරුව මාර්ගයේ රාත්‍රියේ ගමන් බිමන් කර ඇති “ගමේ කොල්ලෙකු” වූ නිසා ඔහු මේ අලියාගේ දර්ශනයෙන් පුදුමයට පත් වූ හෝ බියපත් වූ බවක් නොපෙනුණි. එසේ වුව ද, වාහනය පැදවූ මිතුරාට නම් මෙය කලින් මුහුණ දී නොතිබුණු තත්වයක් විය. එනිසා ඔහු, වාහනය මෙතැන් සිට පදවන් මෙන් “ගමේ කොල්ලා”ගෙන් ඉල්ලා සිටියේ ය.

ඉතිං, මගේ මේ හොඳම මිතුරන් දෙදෙනා කළේ දොරවල් ඇර එළියට බැස, වාහනේ ඉදිරිපසින් ගොස් අනිත් දොරෙන් ඇතුළට වී නැවතත් අසුන් ගැනීමයි.

වන අලියා තවමත් ඉදිරියෙන් සිටින බව වාහනයේ ලාම්පු එළියට පෙනෙන නිසා ඉදිරියට යාමට නොහැකි හෙයින් දැන් රියදුරු අසුනට පැමිණි මිත්‍රයා තීරණය කළේ වාහනය මේ වන විට නැවතී තිබුණු තැනින් තරමක් පිටුපසට ගැනීමයි.

එසේ පිටුපසට යත්ම, වාහනයේ ලාම්පුවේ එළියෙන් අපිට පෙනී ගියේ අර මුලින් වාහනය නවතා දෙදෙනා මාරු වුණු ස්ථානයේ ද පාර අසල අලි රාශියක්ම සිට ඇති බවයි!

ඉදිරිපස මාර්ගය පමණක් ලාම්පු එළියට පෙනෙන අතර, මීටර් දහයක් පමණ ඉදිරියෙන් සිටි “තනි අලියා” දෙස බලමින්, ඔවුන් දෙදෙනා ආසන මාරු කර ගැනීමට එළියට බැස කට්ට කරුවලේ ඇවිද ගොස් ඇත්තේ අප සිටියේ අලි රංචුවක් මැද බව නොදැන ය.

මද වේලාවකට පසු අලි රංචුව වනයේ පාරේ එක් පසෙක වන රොදට වැදී නොපෙනී ගියහ.

අපි නැවත ගමන ආරම්භ කර නිරුපද්‍රිතව ගමනාන්තයට ගියෙමු.

-රසික සූරියආරච්චි

ප/ලි: ජැක්සන් ඇන්තනි හා (යාන්තමට හෝ) සම්බන්ධ වෙනත් මා ලියූ ලිපි.

1. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html


2. ජැක්සන් ඇන්තනි රඟ පෑ නාට්‍යයක් (චූට්ටක් විතර) කොපි කළෙමි - Rasika Suriyaarachchi, the dramatist, director and actor, confesses...!
https://rasikalogy.blogspot.com/2016/10/rasika-suriyaarachchi-dramatist.html


3. ජැක්සන් ඇන්තනි ගේ හිස්-ස්ටෝරිය! - Jackson Anthony is history!
https://rasikalogy.blogspot.com/2015/12/jackson-anthony-is-history.html


4. ඇඩ්‍රස් නැති වුණා යැයි කියවුණු රූපවාහිනී සාකච්ඡාවේ දී ජැක්සන් කළ පැහැදිලි කිරීමේ ඇත්ත නැත්ත - In defence of Jackson Anthony
https://rasikalogy.blogspot.com/2015/11/in-defence-of-jackson-anthony.html


5. සිංහල කලාකරුවන් පිරිසක් නලාකරුවන් වීම නිසා අපට ඇතිවෙන වාසි! - Artistes and Artists Vs Henchmen
https://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html


(Video: ජැක්සන් ඇන්තනි මුහුණ දුන් අනතුර දැක්වෙන බව කියවෙන සමාජජාලාවල සංචරණය වන වීඩියෝවකි.)