කාලයක් තිස්සේ මා ලියූ කවි ඇසුරෙන් නිර්මාණය කරන ලද "ගේය පද" හෙවත් ගී පදමාලා ඉන්ටර්නෙට් මාධ්‍යයේ පළ කරන්නට මා මේ "පෙම් ගී" අඩවිය ඇරඹුවේ 2005 වසරේ අප්‍රියෙල් මාසයේ දී ය.
නමුත් ගී පදමාලා විසි පහක් පළ කිරීමෙන් පසු එයට අලුතෙන් කිසිවක් එකතු කිරීමට මම නොපෙළඹුණෙමි.
එදා සිට අද දක්වා කාලය ඇතුළත, මගේ "පෙම් ගී" අඩවියේ පළ වූ ගේය පද මෙන්ම, මගේ එකතුවේ තිබුණු සහ අලුතෙන් ලියන ලද ගේය පද දුසිමක් පමණ සංගීතඥයින් විසින් තනු නිර්මාණය කර සංගීතය සැපයීමෙන් අනතුරුව ගායක ගායිකාවන් විසින් තම නිර්මාණ ලෙස සංයුක්ත තැටි හරහා එළි දක්වා ඇත.
"පෙම් ගී" අන්තර්ජාලයේ වපුරා වසර පහළොවකටත් වඩා ගෙවී ඇති මේ 2020 ඔක්තෝබරයේ දී, මේ බ්ලොග් අඩවියට නව මුහුණුවරක් ද ගෙන දී, මගේ වෙනත් ගේය පද නිර්මාණ ද එකතු කරන්නට සිත් විය. එයට මූලික වූයේ ඔක්තෝබර් මස 27 දිනට යෙදී තිබුණු මගේ උපන් දිනයයි. මේ ඔබ කියවන රසිකොලොජි බ්ලොගය ඇරඹුවේ ද ඔක්තෝබර් 27 දිනක නිසා, එය රසිකොලොජි බ්ලොගයේ හයවෙනි උපන් දිනයට සැමරීම සඳහා "පෙම් ගී" බ්ලොගය පුනර්ජීවනය කිරීමක් ලෙස ද සැලකිය හැක.
ඒ සිතුවිල්ල වහාම ක්‍රියාවට නැංවුණු අතර, 2005 අප්‍රියෙල් මාසයේ දී අරඹ, ගේය පද 25 ක් පමණක් පළ කර ඉන්පසු යාවත්කාලීන නොකරන ලද "පෙම් ගී" අඩවියේ පසුගිය මාසය ඇතුළත අලුතෙන් ගේය පද හතළිහක් (40) පළ වී ඇත.
කර්මකාරකයෙන් පළ වී ඇත කියා ලිව්වාට, එය ඉබේ සිදුවූවක් නොවේ. පැය ගණනාවක් ගත කරමින් ඉවසිල්ලෙන් කරන ලද කාර්යයකි.
නමුත්, නිර්මාණාත්මක ශ්‍රමය ගැන සැලකුවහොත් මා කළේ සුලු කාර්යයකි. ශ්‍රමය සහ කාලය වැඩි වශයෙන් ගත වූයේ වෙබ් අඩවිය නැවත සැකසීම සහ අලංකාර කිරීම වැනි දේ සඳහා ය.
මුලින්ම, පාසල් සමය අවසානය සහ විශ්වවිද්‍යාල සමය ආරම්භය අතරතුර මා විසින් සැකසූ "ගී පදමාලා 25" නම් අත්පිටපතේ තිබූ ගී විසිපහෙන් එකක් අතහැර (එය සුනිල් ශාන්ත ගැන ලියවුණු එකක් විය) අනිත් ගී පදමාලා ඉතා සුළු සංස්කරණ සිදු කර පළ කිරීමයි.
එතැන් පටන් අද දක්වාම මා කළේ මූලිකවම මා උසස් පෙළ සමයේ ලියන ලද පෙම් කවි ඇසුරෙන් ගී පද නිර්මාණය කර පළ කිරීමයි.
දැන් මගේ "පෙම් ගී" අඩවියේ ගී පදමාලා 65 ක් පළ කර ඇත.
මගේ අධිෂ්ඨානය වී ඇත්තේ මේ වසර අවසානය වන විට එම සංඛ්‍යාව 100 ක් කිරීමයි.
ඒ සඳහා "පෙම් ගී" අඩවිය නැවත අරඹා මාසයක් පිරෙන අද සිට දිනපතා එක් ගී පදමාලාවක් එකතු කිරීමට අදහස් කරමි.
දින සියයක් ඇතුළත වීඩියෝ සීයක් රසිකලොජි යූ ටියුබ් චැනලයට එක් කළාට වඩා පහසුවෙන් මට එය කළ හැක.
මෙන්න මගේ "පෙම් ගී" අඩවියේ ලිපිනය: https://pemgee.blogspot.com/
එහි පළ වී ඇති, මේ වන විට කිසිදු ගායකයෙකු /ගායිකාවක /සංගීතඥයෙකු විසින් වෙන් කරගෙන නොමැති පදමාලවක් ඔබට නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන්නට අවශ්‍ය නම් කරුණාකර මට ඊ-මේලයක් එවන්න. rasika.suriyaarachchi@gmail
අලුතෙන් පළ කරන ලද ගී පදමාලා පිරික්සා බලා, ඒවා පිළිබඳව තම අදහස් දක්වමින් අඩුපාඩු පෙන්වා දුන් මා මිත්‍ර හේමාල් ජයවික්‍රමට මගේ ස්තුතිය පිරිනමමි.
කවියෙකු, නවකතාකරුවෙකු, ගීත රචකයෙකු, තනු නිර්මාපකයෙකු මෙන්ම, ගායකයෙකු ද වන ඔහු පිළිබඳ මා ලියූ සටහනක් මෙන්න. https://rasikalogy.blogspot.com/2019/02/i-am-yours-for-ever.html
ස්තුතියි.
-රසික සූරියආරච්චි
මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Showing posts with label පෙම් ගී. Show all posts
Showing posts with label පෙම් ගී. Show all posts
Friday, 27 November 2020
Friday, 6 May 2016
මගේ (පළමුවෙනි) බ්ලුකේට කෙලවුණු හැටි! - What's the matter? (Minor matter)!, Are we worried? (No, no)!

මේ දිනවල සිංහල බ්ලොග් අවකාශයේ සාකච්ඡා වෙන එක් වැදගත් මාතෘකාවක් නම් බ්ලුක් යන්නයි.
බ්ලුක් එකක් (බ්ලුකයක්) යනුවෙන් අදහස් කෙරෙන්නේ බ්ලොගයක පළවුණු ලිපි හෝ කතා හෝ කාව්‍ය නිර්මාණ හෝ එකතු කර එය පොතක් ලෙස මුද්‍රණය කළ විට බිහිවෙන කෘතියයි.
මේවා ඇත්තටම පොත් ය, එනම් බුක්ස් ය. නමුත් ඉහත අර්ථදැක්වීමෙන් කියවුණු පරිදි, බ්ලුකයක අන්තර්ගතය ඊට පෙර බ්ලොගයක පළ වී ඇති නිසා, මෙලෙස බ්ලුක් (Blog + Book = Blook) යන නමින් වෙනම නමකින් හැඳින්වීම කෙරෙන බව පෙනේ.
වසර 2005 දී මුලින් ම මගේ "පෙම් ගී" බ්ලොගය හරහා බ්ලොග්කරනයට පිවිසි මා ඒ දිනවලම වාගේ කළේ මා පබැඳූ ඒ පෙම් ගී (ඇත්තටම මේවා බහුතරයක් විරහ ගී ය) එකතු කර පොතක් ලෙස සැකසීමයි.
මගේ පෙම් ගී එකතුව මා නම් කළේ, පෙම් ගී බ්ලොගයට මා එක් කළ මුල් ම පදමාලාව මෙන් ම, මා ලියා ඇති ගී පදමාලා අතරින් මගේ ප්‍රියතම පදමාලාවේ එක් පදයක් වූ, "අපෙ ආදරේ සුවඳ තවමත් තියේ!" යනුවෙනි.
අත් පිටපත සෑදුවා පමණක් නොව, මතු යම් දිනයක දී, "අපෙ ආදරේ සුවඳ තවමත් තියේ!" මුද්‍රණ කර බෙදා හැරීමට ද මගේ සිතේ පැහැදිලි අදහසක් තිබුණි.
එය එසේ වූවා නම්, ඒ දිනවල අද දප නිතර අසන මේ බ්ලුක් යන වචනය භාවිතයේ නොතිබුණු මුත්, බිහිවීමට නියමිතව තිබුණු මුද්‍රිත කෘතිය, මගේ මුල්ම බ්ලුකය පමණක් නොව, මගේ මුල් ම මුද්‍රිත ග්‍රන්ථය ද වෙන්නට ඉඩ තිබුණි.
නමුත් එය එලෙස සිදුවුණේ නැත.
වඩාත් නිවරැදිව කියනවා නම්, තවමත් එය එලෙස සිදුවුණේ නැත.
එයට හේතුව මෙයයි.
මගේ අදහස වූයේ, "අපෙ ආදරේ සුවඳ තවමත් තියේ!" කෘතියේ මුද්‍රිත පිටපත සමග ඒ පදමාලා ඇසුරෙන් නිපදවෙන ගී ඇතුළත් සංයුක්ත තැටියක් ද නිකුත් කිරීමයි. ඒ සඳහා අනිවාර්ය අවශ්‍යතාවය වූයේ, මගේ පෙම් ගී පදමාලාවලට තනු නිර්මාණය වී, සංගීතය සහ ගායනය එක්වී සැබෑ ගී ලෙස සැකසී, ඒ ගී නිර්මාණවලට මුල් වෙන අය විසින් තම නිර්මාණ එළි දැක්වීමයි.
මේ වන විට, කිහිප දෙනෙකු ම විසින් මගේ පදමාලා සඳහා තනු නිර්මාණය කර, ගායනා කර, තැටිගත කිරීම් පවා කර තිබුණද, මා බලාපොරොත්තු වූ තත්වය අවාසනාවකට, තවමත් උදා වූයේ නැත.
මගේ සිතේ ඉපදුණු මුල් බ්ලුකය තවමත් සැබෑවක් නොවී සිහිනයක් පමණක්ව පවතියෙන්නේ ඒ ආකාරයට ය.
හැබැයි මෙය මා මේ ලිපියේ මාතෘකාවේ සඳහන් කළ ආකාරයට කෙලවීමක් ම නොවේ.
ඇත්තටම, සැබෑ කෙලවීම, කෙලවුණා නම් කෙලවුනේ මගේ දෙවන බ්ලුකයට යි.
ඒ කතාව හෙට ලියමි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
මා සතුව ඇති බ්ලුක් කිහිපය මෙන්න. (මේ සමහර බ්ලුක්ස්, වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම බ්ලුක්ස් නොවන්නට ඉඩ ඇත!)
1. ඩෝසන් ප්‍රීති ගේ හකාවතී
2. මාලතී කල්පනා ඇම්බ්‍රොස් ගේ මේ නිහඩ වෙරළට එන්න
3. තිලකසිරි ඒකනායක ගේ තිලක සිත
4. පුෂ්පා රම්ලනී ගේ සුදු හිම පලස
5. බෝධිනී සමරතුංග ගේ අනිත් කොන
6. බෝධිනී සමරතුංග ගේ මනුපුර සක්මන
7. තරංගනි රෙසිකා ප්‍රනාන්දු ගේ තරු ඇස් රහස්
8. යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ ඉතා කෙටි කලබල සිහින
9. අජිත් ධර්මකීර්ති ගේ පොල්කට්ටෙන් එපිටට
රන්දිකා රණවීර ගේ "සොඳුරු බාලේ ගෙවුණු තාලේ" බ්ලුකය මිළට ගත්ත ද, එය මගේ සොහොයුරා ගේ දියණියට තෑගි දුන්නෙමි.
දිනේෂ් උමගිලිය ගේ "සමනලයා මියැද්දෙන්" ඊළඟට මිළට ගත යුතු බ්ලුකයයි.
(image: http://blook.bampfa.berkeley.edu/fyi/)
Thursday, 24 March 2016
මා බ්ලොග් ලියන්නේ ඇයි? - My car, my petrol

බ්ලොග් ලෝකයට පිවිස වසර එකොළහක් පිරීමට ඔන්න මෙන්න කියා තිබියදී මා බ්ලොග් ලියන්නේ ඇයි යන මාතෘකාව ඔස්සේ මේ සටහන ලියන්නට හිතුණේ කියවන ඔබට කෙසේ වෙතත් මට නම් එයින් කිසියම් හෝ ප්‍රයෝජනයක් වේ යැයි සිතුණු නිසාය.
වසර එකොළහකට පෙර මා පෙම් ගී බ්ලොගය ඇරඹූ කාලයේ සිංහල අකුරු ලෙස අන්තර්ජාලයේ තිබුණේ එවකට දිවයින පුවත්පතේ අන්තර්ජාල පිටපත නිමවුණු කපුටා අකුරු පෙළ පමණි. ඒ අකුරු යතුරුලියනය කිරීමට ඉගෙනීම ඉතා පහසු වූයේ සාමාන්‍ය ඉංග්ලිෂ් යතුරු පුවරුව උපයෝගී කරගෙන සිංග්ලිෂ් ආකාරයට අකුරු ගලපා වචන සාදාගත හැකි වූ හෙයිනි.
ඇත්තටම මා තාමත් ලිපි ලිවීම සඳහා භාවිතා කරන්නේ ද ඒ එදා පාවිච්චි කළ කපුටා අකුරු පෙළ ය. හිතේ ඇති වචන අකුරු ලෙස පරිගණකයට ඇතුළත් කර, එය දෙතුන් වරක් කියවා සංස්කරණය කළ පසු, ලිපිය යුනිකෝඩ් බවට පෙරළා බ්ලොගයේ පළ කරමි. සන්නස වැනි සඟරා සඳහා ලියන ලිපිවල අවසාන පිටපත සැකසෙන්නේ අභය නම් ෆොන්ට් මාස්ටර් අකුරෙනි.
කෙසේ වෙතත්, එකොළොස් වසටකට පෙර ඒ කාලයේ වෙබ් බ්‍රව්සර් මගින් සිංහල අකුරු කියවීමට හැකියාව තිබුණු අය සිටියේ ඉතා අඩුවෙන් නිසා මා වැඩි හොඳට කළේ මගේ පෙම් ගී කපුටා හෝ ෆොන්ට් මාස්ටර් අකුරෙන් සකසා ඒවා රූප ආකාරයට පෙම් ගී බ්ලොගයේ පළ කිරීමයි.
මුල් මාස දෙක තුන තුළ ඒ ආකාරයට පෙම් ගී විසි පහක් පළ කිරීමෙන් පසු මා කළේ, ගමේ පාරක් අයිනේ සිල්ලර කඩයක් ඇරඹූ නවක මුදලාලියෙකු ගනුදෙනුකරුවෙකු පාර දිගේ එනතුරු බලා සිටින්නාක් සේ, කඩේ ලෑලි කිහිපයක් ඇරගෙන, කල් මැරීමයි.
ඒ මුල් කාලයේ මගේ බ්ලොග් කෙරුවාවයි. තනිකර මගේ සිතේ සතුට පිණිස ය.
පසු කලෙක, යුනිකෝඩ් අකුරෙන් පිරි සිංහල සටහන් එහෙන් මෙහන් මතු වෙමින් අපේ ඇස්වල අනින්න පටන් ගත් පසු, මගේ සිතේ කාලයක් තිස්සේ හිරවී පැවතුණු විවිධාකාරයේ කතා ලියා බ්ලොගයක පළ කරන්නට අදහසක් හදිසියේ ම මෙන් ඇති විය.
අන්වර්ථ නමකින් 2009 මැද භාගයේ දී ඇරඹූ ඒ බ්ලොගයේ සරල බසින් ලියවුණු අනං-මනං මෙන්ම විවිධාකාරයේ කාලීන මෙන්ම යටගිය දවස ප්‍රස්තූත පිළිබඳව මගේ මතිමතාන්තර ද පළ කරන්නට මට හැකිවිය.
විනෝදය මෙන්ම ආත්ම තෘප්තියක් ද ගෙන දුන් ඒ දෙවෙනි බ්ලොගය තරමක් සාර්ථක වූවා යැයි සිතමි.
එසේම, සිංහල ප්‍රකාශන ක්‍ෂේත්‍රයට නව මානයක් වූ බ්ලොග්කරනය පිළිබඳව විවිධාකාරයේ අත්හදාබැලීම් කරන්නටත්, ඊට අමතරව, විවිධාකාර සයිබර් මිතුරන් පිරිසක් හඳුනා ගැනීමටත් මට ඒ බ්ලොගය හරහා හැකි වීම වැදගත් කරුණු වේ.
එසේ නමුදු, ඒ බ්ලොගය සම්බන්ධයෙන් මා මටම පනවා ගෙන තිබූ නීති කිහිපයක් නිසා මට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට කීම තරමක් දුරට දුෂ්කර කාර්යයක් විය.
පුරා වසර පහක තිස්සේ පිස්සු හැදුණාක් සේ කළ සිංහල බ්ලොග්කරනයෙන් මද නිවාඩුවක් ගෙන, අලුත් පාසලේ, අලුත් සිසුවෙකු සේ රසිකොලොජිය ඇරඹූවේ දේශ සීමාවලට මැදි නොවී මට අවශ්‍ය සියලුම දේ මට අවශ්‍ය පරිදි ලියන්නටයි.
අද මට බ්ලොග් ලිපි ලිවීමෙන් සරල වින්දනයත්, මගේ මතිමතාන්තර බ්ලොගය හරහා බෙදා හැරීමෙන් ලැබෙන ආත්ම තෘප්තියත්, මා වෙසෙන ඕස්ටේර්ලියාව ගැන සහ මා ගැන පොදු රසයක් ලැබේයැයි සිතෙන ආකාරයේ තොරතුරු ලිවීමේ නිදහසත් මට ඇත.
ඉදින්, මම දිගටම බ්ලොග් කරන්නට අදහස් කරමි.
නොකර ඉන්නේ ඇයි?
ජයවේවා!
-රසිකොලොජිස්ට්
(image: http://getmewallpapers.blogspot.com.au/2013/05/long-road.html)
Thursday, 16 April 2015
වසර දහයක් සැපිරූ පැරණිතම සිංහල බ්ලොගයකට පොඩි තල්ලුවක් - Blogging for ten years!

සුනාමි ව්‍යවසනයෙන් ලොවම කම්පාවට පත්වූ 2004 දෙසැම්බරයේ එක් දිනයක නිවාඩු පාඩුවේ නිවසට වී පරිගනකය ඉදිරියේ කල් මරමින් සිටි මම, එවකට මා භාවිතා කළ ෆයර්ෆොක්ස් බ්‍රව්සරයට නොමිලයේ ම එකතු කර තිබූ බුක් මාරක් පිරිස්සා බලන්නට පටන් ගතිමි. බ්ලොගර් නම් වූ සේවාව මුලින් ම මගේ ඇස ගැටුනේ එදා ය.
ඒ කුමක්දැයි, කෙලෙස ප්‍රයෝජනයට ගන්නේදැයි, කිසිවක් නොදැන මම ඔහේ ඉබාගාතේ විවිධ පරීක්‍ෂණ, නිරීක්‍ෂණ කරමින් බ්ලොගර් සේවය හා පැය කිහිපයක් ගත කළෙමි. බ්ලොගින් යනු කුමක් දැයි පිරික්සා සොයා බැලුවෙමි.
කලක් තිස්සේ මා අතින් ලියවෙමින් තිබූ කවි සහ ඒ ඇසුරෙන් ගොඩ මා නැගූ ගී පද මාලා අන් අය හා බෙදා ගන්නට මේ බ්ලොගර් සේවාව උපයෝගී කරගත හැකි බව මට ක්‍රමයෙන් පසක් විය.
දැන් ප්‍රශ්ණය වූයේ, සිංහල අකුරු කොයි ආකාරයට භාවිතා කරන්නේ ද යන්නයි.
ඒ වෙන විට දිවයින පුවත් පත කපුටා ඩොට් කොම් නම් ෆොනටික් අකුරු මාලාවකින් අන්තර්ජාලයට එකතු වී කාලයක් ගත වී තිබුණි. මගේ කවි මා පරිගනක ගත කර තිබුණේ ද කපුටා අකුරු ආධාරයෙන් "කෝ-කෝ" ක්‍රමයට කොට කොටා ය.
නමුත් හැම පරිගනකයකම කපුටා අකුරු නොතිබුණි. විශේෂයෙන් ම කාර්යාලවල සිට අන්තර්ජාලය පරිහරණය කරන්නන්ට තමන්ට කැමති අකුරු යොදා ගැනීම සඳහා අවසර නොතිබුණි.
එනිසා මා තීරණය කළේ, මගේ ගී පද මාලා මුලින් කපුටා අකුරෙන් ලියා, දෙවනුව ඒවා රූප බවට පෙරලා, තෙවනුව ඒ රූප බ්ලොගය හරහා අන්තර්ජාලයට එක් කිරීමටයි.
ඒ ආකාරයට වදෙන් පොරෙන් මා සාදා ගත් "පෙම් ගී - http://pemgee.blogspot.com.au/" නම් බ්ලොගයට පසුගිය අප්‍රියෙල් එකොළොස් වෙනිදා වසර දහයක් පිරුණි.
බ්ලොගර් සේවය ඇරඹී ඇත්තේ ඩොට්-කොම් බූම් සමයේ 1999 දී ය. මා බ්ලොගර් හඳුණා ගන්නා විට, එහි අයිතිය ගූගල් සමාගම විසින් මිළට ගෙන වැඩි දියුණු කර නොමිලයේ ලබාදෙන සේවාවක් ලෙස දියත් කර තිබුණි. එසේ නමුත්, බ්ලොග් පෝස්ටුවක් සඳහා රූප ඇතුලත් කිරීම අද මෙන් එක එල්ලේ කළ නොහැකි විය. ඒ සඳහා පිකාසා නම් ගුගල් සමාගම විසින් මිළට ගෙන තිබූ තවත් සේවාවක පිහිට ලබා ගැනීමට සිදුවිය.
එදා පෙම් ගී බ්ලොගය ඇරඹූ 2005 අප්‍රියෙල් 11 දින සිට, 2006 ඔක්තෝබර් දක්වා විටින් විට මා ලියූ ගී පද මාලා විසි පහක් මුලින් සඳහන් කළ ආකාරයට රූප ලෙසින් බ්ලොගයට ඇතුලු කළෙමි.
කලින් මා කළ රැකියාවක දී මුද්‍රණය කළ බිස්නස් කාඩ් ගොන්නක පසුපස "පෙම් ගී" බ්ලොග් ලිපිනය ලියා, සිඩ්නි වාසී මිතුරන් සහ අළුතින් මුණ ගැසෙන අය අතර බෙදා හැරියෙමි. ලොව පුරා මිතුරන්ට මේ ගැන පැවසීමි. මගේ ඊ-මේල් ලිපිවල අගට බ්ලොගයේ ලිපිනය ඇතුළත් කළෙමි. වසර 2005 නොවැම්බරයේ ලංකාවට පැමිණි විට පිළියන්දල අච්චු කන්තෝරුවකින් අළුත්ම බිස්නස් කාඩ් තොගයක් මුද්‍රණය කරගෙන ඒවා ද බෙදා හැරියෙමි. ඒවන විට ජාලයේ තිබූ වෙනත් සිංහල සේවාවන්ට ද මේ ගැන දැනුම් දුන්නෙමි.
මගේ ඒ උත්සාහය තරමක් හෝ සාර්ථක වූ බව කිව හැකියි. ඇමරිකාවෙන්, ඉතාලියෙන්, එංගලන්තයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් මගේ නිර්මාණ ගැයීමට පිරිස් ඉදිරිපත් වූහ. ඒ කිහිප දෙනෙක් ඒ පද මාලාවන්ට තනු යොදා, සංගීතය මුසු කොට ගීත ලෙස ගායනා කළහ. තවත් සමහරු යම් එම් අත්හදා බැලීම් සිදු කළහ. ඒවායේ දළ පිටපත් ද මා අසා ඇත.
ඊට අමතරව මගේ "පෙම් ගී" අඩවිය දැක මා හා ඊ-මේල් සම්බන්ධතා ඇති කර ගත් තරංග ජයසේන නිසා, අන්තර්ජාලයේ නිමවුණු තවත් සිංහල සාහිත්‍යමය කටයුතු හා සම්බන්ධවන්නටත්, බූන්දි වෙබ් අඩවිය, අක්‍ෂර සෙනග නිර්මාණ එකතුව වැනි දේ සඳහා ආරම්භයේ සිටම සම්මාදම් වෙන්නටත් මට අවකාශ ලැබුණි.
සිංහල යුනිකෝඩ් යුගයට පෙරාතුව, අන්තර්ජාල පහසුකම් බහුලව පැතිරෙන්නට පෙරාතුව (මා එකල භාවිතා කළේ ද 56kbps මෝඩමයක්, ගෙදර දුරකතන සම්බන්ධය හරහායි) මා එදා වසර දහයකට පෙර ගත් ඒ උත්සාහය ගැන අද දශකය සංවත්සරය ගෙවෙන මේ මොහොතේ මට ඇත්තේ ලොකු සතුටකි!
-රසිකොලොජිස්ට්
ප/ලි:
ඉදිරි කාලයේ දී ඉඩකඩ ලැබෙන අයුරින් පෙර කී ඓතිහාසික සළකුණු එළෙසම තබාගෙන ඵෙම් ගී බ්ලොගයට යම් ආකාරයක පුනර්ජීවයක් ලබා දීමට අදහස් කරමි.
ප/ප/ලි
මගේ පෙම් ගී බ්ලොගය, අද සම්මතයෙන් සිංහල බ්ලොගයක් යැයි සැලකිය නොහැකි බව මගේ අදහසයි. එය සිංහල වචන රැගත් රූප බ්ලොගයක් ලෙස පැවසීම වඩා උචිත වේ.
Saturday, 11 April 2015
වසන්තයේ අග දවසක - End of Spring is not end of life

මේ කියන්නේ බ්ලොග් වසන්තය ගැන නොවේ. ඒ වසන්තය නම් තාම උදාවුණා විතරකි.
මේ කවිය ලියවුණේ ඒ ගැන නොව එක්තරා පුද්ගලයෙකු ගේ ජීවිතයේ එක්තරා වසන්තයක් නිමා වූ දිනය ගැනයි.
වසන්තය නිමා වුණා කියා දුක්වීමේ ලොකු ප්‍රයෝජනයක් නැතැයි යන්න සත්‍යයකි. ඒ එක් වසන්තයක් ගෙවී, පෘථිවිය දිගටම හිරු වටා කැරකෙමින් ගොස්, තව මාස නමයක් ගෙවුණු කන නැවතත් වසන්තයක් උදා වෙන නිසාය.
නමුත් කවියක් ලියන්නට අවශ්‍ය වූ විට ඒ විස්තර සියල්ල සළකා බැලීම ඇවැසි නොවේ.
මෙන්න ඒ කවිය.
වසන්තයේ අග
අඩ සඳ අහසේ ඉකි බිඳිමින් සිටි
රැය මැදියම අතිනත පටලා
මට මතකයි අප සක්මන් කල හැටි
පිණි පොද වැසි මැද පා නගලා
හිස බමනය කල මියැසිය හැරදා
මහවැලි පටු පාලමෙන් එගොඩ වී
සරසවි උයනේ කොණකින් කොණකට
මල් ලිය වැල් පිරි මගෙහි තුරුළු වී
අවසන් වරටත් ඔබෙ අත සිපගෙන
සමුගත් හැටි මතකයි හද බර වී
ඒ මොහොතේ සිතුනාද කියනු මැන
දුක් වෙන්නට යලි මේ ලෙස හමුවී

"අපෙ ආදරේ සුවඳ තවමත් තියේ!" ගී පද සංග්‍රහයෙන් උපුටා ගත්තකි.
-රසිකොලොජිස්ට්
(http://www.elakiri.com/forum/showthread.php?t=762784 and ESPS-Peradeniya)
Subscribe to:
Posts (Atom)