Showing posts with label වයින්. Show all posts
Showing posts with label වයින්. Show all posts

Thursday, 1 February 2018

ෂතෙක්, සහෝදරයා ෂතෙක් - සතුන් මැරීම ගැන තවත් කතා : An ant in the loo


"පල්ලෙහා තට්ටුවේ ආච්චීගේ මකුළුවා" ගැන ඊයේ මා ලියා පළකළ සටහනේ නිමිත්ත වූයේ හිතා මතා සතෙකු මැරීමට මා ඇතුළු බොහෝ දෙනෙකුගේ ඇති අකැමැත්තයි.

මෙය පින් සහ පව් නම් සංකල්ප සමඟ පමණක් සම්බන්ධ තත්වයක් නොවේ.

ඒ බව පැහැදිලිවන්නේ සතාගේ ප්‍රමාණය විශාල වීමත් සමගම ඒ අකැමැත්ත වැඩිවීම නිසා ය. හරියටම කියනවා නම්, හොරකම් දුෂණ වංචා කළ සමාජයේ පොඩි ස්ථරවල මිනිසුන් සටස්-පටස් ගා අත් දඩංගුවට පත් වී හිරේ විලංගුවේ වැටෙද්දී, ඊට වඩා සිය දහස් ගුණයක් හොරකම් කර ඇතැයි චෝදනා ඇති ලොකු ලොක්කන්ගෙන් ප්‍රශ්න කිරීමක් පවා සිදුවීම ඉතා කලාතුරකින් සිදුවීම හා සමාන ය.

ජවිපෙ හිතවාදී ජනප්‍රිය ගායක ජිප්සීස් නායක සුනිල් පෙරේරා ඔහුගේ පෙර ආත්මයේ දී ම, "අයි ඩොන්ට් නෝ වයි?" කියා ගැයූවේ මේ කතාවයි.

මේ මා මේ වසරේ ජනවාරි පළමුවෙනි දා ලද අත්දැකීමකි.

එදා පෝය දිනයකි.

මා ඒ බව දැන ගත්තේ එදින දිවා භෝජනය සඳහා මිතුරෙකුගෙන් නිවසට පැමිණීම පිණිස ලැබුණු ආරාධනයක් නිසා, ඔහුට ත්‍යාගයක් ලෙස ගෙන යන්නට වයින් බෝතලයක් ගන්නට කඩයකට ගොඩ වැදුණු වේලාවේ ය.

නමුත්, වාසනාවකට මෙන් මා මිතුරා ළඟ ලෝකල් කෙසේ වෙතත් ෆොරීන් බඩු තිබුණි.

සුමට මිදියුෂ පානයෙන් සැනසෙමින් සිටින අල්ල පනල්ලේ අංක එකේ ශරීරකෘත්‍යය සඳහා මට වැසිකිළියට යාමට සිදුවිය.

අදාළ පරිදි ස්ථාන ගත වී කලිසමේ සිපරය පහළට අදිනවාත් සමගම මා දුටුවේ කොමඩයේ වතුර මත දඟලන දිමියෙකු ප්‍රමාණයේ කෘමි සතෙකි.

මා ඌ මත සුලු දියර හැලුවේ නම් ඌ දියේ ගිලෙන්නට ඉඩ ඇත.

ඒ නැතත්, කෘත්‍යය අවසානයේ මා කොමඩ්ඩුව ෆ්ලෂ්කරනා විට දිමියා වෝර්ටෙක්සුව දිගේ පහළට ඇදී ගොස් තුසිත දිව්‍යලෝකයේ යන්නට ඉඩ ඇත.

ඉතින් මා කළේ, කැතයි කියා නොසිතා, පහතට නැවී ඇඟිල්ලකින් කුහුඹුවාව රැගෙන ඒ නාන කාමරයේ වෙනත් කොනකට විසිකර දැමීමයි.

එය පෝය දිනය නිසා හෝ පාණාතිපාතා සිල් පදය මත පදනම්ව හෝ මා කළ ක්‍රියාවක් නොවේ.

නමුත් මිතුරු සමාගම අවසානයේ නිවසට පැමිණ රාත්‍රිය ගෙවන අතරතුර කණ ළඟ වීණා වාදනය කරන්නට ආ ඩෙංගිවාහකයින් කිහිප දෙනෙකුව ම චටස්-පටස් හඬින් තලා දමන්නට මට කිසිදු පැකිළීමක් ඇති නොවුණි.

එය ද පෝය දිනය නිසා හෝ පාණාතිපාතා සිල් පදය මත පදනම්ව හෝ මා කළ ක්‍රියාවක් නොවේ.

ඇත්තටම, කලකට පසු යාන්තම් ඒ ආකාරයෙන් හෝ සත්ව ඝාතනයක් කර ගන්නට මට ඉඩ ලැබුණේ සති දෙකක නිවාඩුවකට ලංකාවට පැමිණීම නිසා නොවේ දෝ කියා මට එවෙලේ සිහිපත් විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
"ෂතෙක්, සහෝදරයා ෂතෙක්" - ඒ කතාව දන්නා අය සිටී ද?
https://rasikalogy.blogspot.com/2018/02/as-i-have-heard.html


Saturday, 11 March 2017

කඩේ ගියෙමි! - My shopping cart this week


අප සාමාන්‍යයෙන් කඩේ යන්නේ සති අන්තයේ ය. දෙන්නා ජෝඩු දමා නොවේ. එක්කෝ බිරිඳ ය, නැති නම් මා ය.

ලංකාවේ ඇති කීල්ස්, සතොස සහ කාර්ගිල්ස් ආකාරයේ කොම්පැනි කඩ ප්‍රධාන වශයෙන් තුනක් අපේ පළාතේ තිබේ. නම් වශයෙක් කිවහොත් ඒවා වූල්වර්ත්ස්, කෝල්ස් සහ අල්ඩි ය. මීට අමතරව අයිජීඒ නමින් ස්වාධීන කඩකරුවන් ගේ කඩවර්ගයක් ද ඇත. ෆෑන්ක්ලීන්ස් නමින් ද කඩ වර්ගයක් කාලයක් තිස්සේ තිබුණු නමුත්, දෙවසරකට පම පෙර ඒ සමාගම බංකොලොත් වී ගියේ ය.

අප සාමාන්‍යයෙන් බඩු ගන්නේ වූල්වර්ත් කඩයෙන් හෝ අල්ඩි කඩයෙනි. එයට මූලික හේතුව ඒ කඩ පිහිටා ඇති ස්ථාන කරා යාම අපට පහසු වීමයි. මීට අමතරව, අප සාමා්‍යයෙන් එළවළු වර්ග ගන්නා කඩ දෙකක් ද ඇත.

සාමාන්‍යයෙන් අපේ නිවසේ කඩේ යන්නා මා නමුත් මේ වසරේ මුල් දෙමස තුළ මට සති අන්තවල යෙදුණු වැඩ රාජකාරී නිසා ඒ වගකීම ඉටු කරන්නට නොලැබුණි. බිරිඳ කඩේ ගියා ය.

සති දෙකකට ඉහත ඇය ගොස් තිබුණේ කෝල්ස් නමැති සමාගමේ කඩයකටයි. ඒ සමාගමේ ඇති පාරිභෝගික ප්‍රසාද දීමනා ක්‍රමයේ මේ දිනවල ඇති විශේෂ දීමනාවක් නිසා (සති හතරක් එක දිගටම වරකට ඩොලර් අසුවක බඩු මිලට ගතහොත් ඩොලර් පනහක දීමනාවක් ලැබේ!) කඩේ යාමේ රාජකාරිය යළි මා භාරයට ගත් පසු, මට ද, කෝල්ස් කඩයටම යන්නට සිත් විය.

ඉතිං, අද සෙනසුරාදා පුතාව පුස්තකාලයට බස්සවා ආපසු එන ගමනේ දී මම කෝල්ස් පිහිටි කඩමණ්ඩිය අසල නවත්වා කඩේ ගියෙමි.

කඩෙන් බඩු ගැනීමේ දී මා භාවිතා කරන මූලික තීරක කිහිපයකි.

1. බඩු ගන්නේ වෙළඳ නාමය අනුව නොවේ. වැඩි වාසිය අනුව ය.

2. ඒ ඒ සතියේ විශේෂ වට්ටම් දී ඇති භාණ්ඩ, හදිසියේ අවශ්‍ය නොවුණත්, පසුව ප්‍රයෝජන සඳහා මිලට ගනිමි.

3. බොහෝ විට ඒ සතියට පමණක් නොව සති දෙක තුනකට සෑහෙන භාණ්ඩ ප්‍රමාණයක් මිලට ගනිමි.

මා අද ගෙනා විවිධ භාණ්ඩ පිළිබඳ විස්තරයක් පහත දක්වමි. මේවායින් බොහෝ දේ, මේ සතියේ විශේෂ වට්ටම් සහිතව විකිණීමට තබා තිබූ ඒවා ය.

කෙසෙල් කිලෝවක් 1.99 බැගින් කිලෝ තුනක් පමණ.


පෙයාර්ස් කිලෝවක් 1.90 බැගින් කිලෝ එකහමාරක් පමණ.
ඇපල් කිලෝවක් 3.00 බැගින් කිලෝ එකහමාරක් පමණ.


ශීත කරන ලද කල් තබා ගත හැකි බෙරී පළතුරු වර්ග ග්‍රෑම් 500 පැකට්ටුව ඩොලර් හතරයි.


සෝයි කිරී ලීටරයක පැකට්ටුවක් ඩොලර් 1.80 බැගින් (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 2.50 ක් පමණ වේ).

ඒ සියල්ල බිරිඳ ගේ සහ මගේ උදෑසන ආහාරය සඳහා ය.

ඕරියෝ බිස්කට් පැකට්ටුව ඩොලර් 2.80 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 3.00 කි).
මාරි බිස්කට් පැකට්ටුව ඩොලර් 1.60 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 2.00 කි).


හෙල්ගාස් පාන් ගෙඩියක් ඩොලර් 3.50 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.00 ක් පමණ වේ).


බ්‍රෙක්ෆස්ට් බාර් නමින් හැඳින්වෙන කෑම වර්ගය පැකට්ටුවක් ඩොලර් 3.00 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 4.00 කි).


ඉරිගුවලින් සෑදූ අති ප්‍රනීත (සීනි නිසා) උදෑසන කෑමකි. කිරි මුසු කර අනුභව කළ යුතුයි. පැකට්ටුවක් ඩොලර් 2.32 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.50 කි).


කිරි ලීටර් දෙකක්. ඩොලර් 2.00. කිරි මිල මේ වෙළඳ සමාගම් අතර තරගය නිසා දරුණු ලෙස පහත වැටී ඇත. කිරි ගොවියන් ගේ අනාතතය අනතුරේ.


රට කජු පැකට්ටුව ඩොලර් 2.10. මට හවස නිවසට පැමිණි පසු විකීම සඳහා.


කඩා සෝදා වියලන ලද සලාද කොළ. පැක්ටුවක් ඩොලර් 3.00 යි.


මස් පෙති පැකට්ටුවක් ඩොරල් නමයයි.

සඳුදා සිට මා දිවා ආහාරය සඳහා කන්නට යන්නේ සැලඩ් සහ මස් පමණි. පාන් නැත.

අයිස්ක්‍රීම් ලිටර් දෙකක් ඩොලර් 3.54 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.00 ක් පමණ වේ).
යෝගර්ට් ලීටරයක් ඩොලර් හතරයි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.50 ක් පමණ වේ).


වැසිකිලි කඩදාසි (toilet paper) පැකට්ටුව ඩොලර් 9.00 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 12.00 ක් පමණ වේ).


ඒ කඩ මණ්ඩියේම ඇති එළවළු කඩයෙන් එළවළු වර්ග දෙකක්ගත්තෙමි.
බෝන්චි කිලෝවේ බෑගය ඩොලර් තුනයි.


මල්ගෝවා ගෙඩිය ඩොලර් දෙකයි.


කෝල්ස් සමාගමටම අයිති ලිකර්ලෑන්ඩ් නම් වයින් කඩයක් එතැනම ඇත. ඒ කඩයේ ප්‍රදර්ශනය කර තිබුණු සුදු වයින් බෝතලයක් ද ආසාවට මෙන් ගත්තෙමි. මිල ඩොලර් හතකි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 12.00 ක් පමණ වේ).

එලෙස ආසාවක් ඇති වුනේ මේ වයින් වර්ගය නිපදවන නවසීලන්ත ප්‍රදේශයේ අප කළ සංචාරයක් සිහිවුනු නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිටකොටුවේ වෙළඳ පොලේ මිල පිළිබඳව මේ ලිපිය කියවන්න.

පිටකොටුවේ තොග වෙළඳපොළේ බඩු මිල නොහොත් අපට පාන් ද? ::
http://rasikalogy.blogspot.com/2016/06/no-escape-from-trivial-infomation.html


(imageL GettyImages)

Thursday, 22 December 2016

නොබී ඉන්න අවශ්‍ය නම් ඒ සඳහා උදව් කර ගත හැකි විවිධ ප්‍රායෝගික ක්‍රම - Year end survival guide for men


පොඩි අඩියක් ගහමු ද?, පොඩ්ඩක් අනුමත වෙමු ද?, පොඩ්ඩක් සළු වෙමු ද? මොනව හරි බොමු ද, පොඩි ඩ්‍රින්ක් එකක් දාමු ද? වැනි ප්‍රශ්නයක් වෙනකෙකු විසින් තමන්ගෙන් අසනු ලැබී නැති හෝ තමන් විසින් වෙනත් අයෙකුගෙන් අසා නොමැති හෝ අය සිටී ද?

විශේෂයෙන් ම හෙට හවස සිට ඇරඹෙන නත්තල් සමයේ දී මේ ප්‍රශ්නය ලක්‍ෂ සංඛ්‍යාත වාරයක් ඇසෙනු ඇත!

මද පමණින් බීම ගැන සැවොම පවසති. එය කතාවට ලෙහෙසි නමුත් ක්‍රියාවෙන් අසීරු දෙයක් බව දන්නෝ දනිති.

මත්පැන් පානය පිළිබඳව මා අසා ඇති, ඒ සමගම අත්දැකීමෙන් ම නිවැරදි ය කියා දන්නා, එක් කියමනක් මෙසේ ය.
එ මෑන් ටේක්ස් එ ඩ්‍රින්ක්
ද ඩ්‍රින්ක් ටේක්ස් එ ඩ්‍රින්ක්
ද ඩ්‍රින්ක් ටේක්ස් ද මෑන්
එහි සිංහල ඡායානුවාදය මෙලෙසින් දැක්විය හැකි ය.
මිනිහෙකු අරක්කු ටිකක් බොයි. ඒ අරක්කු ටික තව අරක්කු ටිකක් බොයි. අවසානයේ අරක්කු විසින් මිනිසාව අත්පත්කරගනු ලබයි.
ඒ සිංහල ඡායානුවාදයේ එන අරක්කු යන්න වෙනුවට ඕනෑම රහ-මෙර පානයක නමක් යොදා ගත හැක.

එක් දිනක් හෝ අඩියක් ගැසූ, අනුමත වූ, සළු වූ, කර්මාන්තයක් කළ ඕනෑම අයෙකු ඉහත කියමන කෙතරම් සත්‍යයට ළඟදැයි යන්නට සාක්‍ෂි දරනු ඇත!

එක අඩියකින් දෙකකින් පමණක් හෙවත් මද පමණින් නැවතීමට අපට අනුගමනය කළ හැකි දේ මොනවා ද?

මගේ අත්දැකීම අනුව සාර්ථක වූ ක්‍රම දහයක් මෙසේ ය.
  1. තමන් ගේ ප්‍රියතම වර්ගය නොමැති නම් නොබී සිටීම
  2. අපේ බීම අප ම ගෙන යා යුතු (Bring Your Own - BYO) ස්ථානවලට එසේ බීම රැගෙන නොයාම
  3. අනුන් ගේ බෝතල්වලින් නොබීම
  4. තමන් ගේ බෝතලයෙන් / කොටසෙන් හැකි තරම් අනුන්ට පෙවීම
  5. එක වඩියකට නමා ගන්නා ප්‍රමාණය සෙන්ටිමීටර් පරිමාණයෙන් නිගමනය කර, එය පිළිපැදීම
  6. මුලින් මත්පැන් දමා, පසුව අයිස් දැමීම
  7. වතුර හෝ කෝක් දමනවා නම් කට ළඟට පිරවීම
  8. උගුඩුවෙකු සේ ගුඩු ගුඩුස් ගා නොබී, පොරක් සේ තොල ගාමින් බීම
  9. තනිවම නොබීම, හැම විටම මිතුරෙකු සිටින විට පමණක් සෙට් වීම
  10. බිරිඳගෙන් අවසර ඇති නම් පමණක් බීම
අතීතයේ දී ඉතා ප්‍රතිඵල සහිත වූවද, ඉහත මා සඳහන් කර ඇති දහ වැදෑරුම් ක්‍රම අතුරෙන් කිහිපයක් ම දැන් මට වැඩ කරන්නේ නැත!

එනිසා, ඔබ අත්හදා බලා ප්‍රත්‍යක්‍ෂ කරගෙන ඇති වෙනත් ක්‍රම ඇති නම් කරුණාකර දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

-රසිකොලොජිස්ට්

(image: http://www.boreme.com/posting.php?id=35511)