Saturday 28 October 2023

වැඩි දෙනෙකුට නොතේරෙන කතාවක් - Perhaps married men will understand this

මේ පහත දැක්වෙන කෙටි සටහන මා ෆේස්බුක් අවකාශයේ පළ කළ විට එය සිය දෙනෙකු පමණ කියවා ඇති බව ද, ඉන් 45 දෙනෙකු විවිධාකරයෙන් ප්‍රතිචාර දක්වා ඇති බව ද මට පෙණුනි.

නමුත් ඒ පිරිස අතරින් මා කියා ඇති කතාව අවබෝධකරගෙන ඇත්තේ අතලොස්සක් බව ද ප්‍රතිචාරවලින් වටහා ගත හැකි විය.

මා දන්නා සිංහල බ්ලොග් කියවන්නන් යනු ෆේස්බුක්වාසීන්ට වඩා වෙනස් පිරිසක් නිසා, මේ පහත සටහන කියවන අයගෙන් නම් බහුතර පිරිසක් එයි අදහස නිවැරදිව වටහා ගනු ඇතැයි සිතමි.



සම්මුඛ පරීක්ෂණ වලදී අසනු ලබන සම්මත ප්‍රශ්න රාශියක් තිබේ. මේ ඉන් එකකි.
ඔබට එකම දිනයේ කර නිමා කළ යුතු වැඩ රාජකාරි රාශියක් ඇති විට ඒවා කළමනාකරණය කර ගන්නේ කෙසේද?

නිසි පරිදි සේවා සපයන ආයතනයක වසර දෙක තුනක් සේවය කර පළපුරුද්ද ඇති අයෙකු මෙයට දිය යුතු නිවැරදි උත්තරය හොඳින් දනී.

කාර්යය නිම කළ යුතු දිනය එළඹ තිබුනත් හදිසි අවශ්‍යතාවක් නැති නිසා සල්ලි ඉල්ලා ගත්ත හැකි දේ හඳුනා ගෙන එය කළමනාකරණය කිරීම

ඉතා වැදගත් අගයකින් යුතු කටයුතු වහා නිමා කිරීම

කාර්යය නිමා කිරීම සඳහා අවශ්‍ය පරිදි අතිකාල සේවය කර නියමිත කාර්යය අවසන් කිරීම

හැකියාව ඇති පරිදි වෙනත් අයට වැඩ පැවරීම (deligation)

අතිරික්ත කටයුතු සඳහා සම්පත් ලබා ගැනීම (sub contract)

ඒ අතර වේ.

ඒ සමගම මා පවසන තවත් කරුණක් නම්, ඔය මොන deadlines, due dates, priorities, contractual obligations තිබුණත් ඒ සියල්ල මැද ආයතනයේ තමන්ට ඉහළින් සිටිනා කළමනාකරුගෙන් යම්කිසි කාර්යයක් පැවරුවහොත් ඒ සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි.

සති අන්තයේ දිනවල උදෑසන මට මේ අවසානයට දක්වන ලද කළමණාකරන මූලධර්මය ඉතා ප්‍රයෝජනවත් වේ.


බලමු! - රසික සූරියආරච්චි

(image: created using an AI image creator via Bing to celebrate a milestone in my YouTube channel.)

තවත් එක් සැමරුමක් - Just one of those days


රසිකොලොජි බ්ලොගය අරඹා අදට අවුරුදු නමයක් සම්පූර්ණ විය.

මේ බ්ලොගය මා ඇරඹුවේ මගේ උපන් දිනය දවසේ බව ද සිහිපත් වේ.

බ්ලොග් සංවත්සරය වෙනුවෙන් අලුතෙන් යමක් ලියන්නට සිතා සිටිය ද විවිධ හේතු නිසා ඊට ඉඩක් ලබා නොදෙමින් ම දවස ගෙවී ගියේය. එනිසා වසරකට පමණ පෙර ලියන ලද කවියක් මෙහි පළ කරමි.

කෙටි ඉඩ නිමවිය

කෙටි ඉඩක් ඇත දිනපොතේ
ලියන්නට කවියක්
කුමක් ලියමිද නොම සිතේ
මුළු සිත ම අවුලක්

වසන්තය අද හෙට එතේ
කියූවද කොවුළෙක්
දිගන්තයෙ පැතිරී ඇතේ
කළු වළා පොකුරක්

කුමක් ලියමි ද නොම සිතේ
මුළු සිතම අවුලක්
තිබූ කෙටි ඉඩ නිමවෙතේ
මෙහි නොමැත කවියක්


ජයවේවා!

- රසික සූරියආරච්චි

(ඡායාරූපය මගේ දිනපොතකිනි. මෙය ඇත්තටම එහි තිබූ කුඩා ඉඩක, සුලු වේලාවක් තුළ ලියූ කවියකි.)

Sunday 22 October 2023

අපේ අම්මාගේ සල්ලි වියදම් වූ අයුරු - Some temples are permanently under construction


අම්මා විසින් මකුළුදුව පන්සලේ කුස්සියක් සැදීම සඳහා මෙලෙස මුදල් වියදම් කරන්නට ඇත්තේ තාත්තා පරලොව ගොස් අවුරුදු හයක් පමණ ගත වුණු කාලයේ දී ය.

මා දන්නා කාලයේ නම් පස් පව් නොකළ, (මද කලක් දුම් බිව්වේ වුව ද,) තමන්ගේ මත්පැන් කෝටාව ද පුතණුවන් තිදෙනා සඳහා ඉතිරි කර පරලොව ගිය, අපේ තාත්තාට නිවන් යෑමේ අපේක්ෂාවක් තිබුණා යයි මම නොසිතමි. එසේ තිබුණා නම් ඔහු මගේ ජීවිත කාලය තුළ එක් වරකට වඩා පන්සලකට ගොඩවදිනවා මට දකින්නට ඉඩ තිබුණි.

එදින ද ඔහු පන්සල් ගියේ ඒ අපේ බාප්පා මිය ගොස් හත් දවස ගතවීම වෙනුවෙන් හීල් දානය පිරිනැමීමට සිදු වූ නිසාය. තුන් මාසෙ දානය සඳහා සාදුලා ට ආරාධනා කිරීමට තාත්තා නොගිය අතර ඒ සඳහා කඩේ යෑමට සිදුවූයේ මට ය.

තමන්ගේ තරුණ කාලයේ ඊට වඩා පන්සල් යන්නට ඇතැයි සිතිය හැකි තාත්තා පන්සලෙන් දුරස් වී ඇත්තේ, ඔහු මට දැනුම් තේරුම් ඇති කාලයේ ඔහු වටින් ගොඩින් පැවසූ පරිදි, අපේ ගම අසල පිරිවෙනක පැවැති විභාගයක දී එයින් ප්‍රථම ස්ථානය ලබා ගැනීම පිණිස එක් භික්ෂුවක් විසින් තවත් භික්ෂුවකට ජාපාල ඇට සහිත පානයක් ලබා දුන් සිද්ධියෙන් පසුව ය.

මගේ පියා අයත් වූයේ ගම්බද බෞද්ධ පවුලකට ය. කොටින්ම, මගේ පියාගේ ඥාති සොහොයුරා භික්ෂුවක වූ අතර ඔහු කල්කටා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (BA) සහ ශාස්ත්‍රපති (MA) උපාධි ලබා ලංකාවේ පිරිවෙනක අධිපති තනතුරද හෙබ වූ අයෙකි.

මෙහි දැක්වෙන දිනයට මාස දෙකහමාරකට පසු දිනක අම්මා එකල විසූ නිවසේ පැවැත්වුණු දානයක් අවසානයේ කතාවක් පැවැත්වූ පන්සලේ සාදු විසින් අම්මා කළ මෙවැනි දේ සඳහා ඇගේ පුතණුවන් තිදෙනාගේ ආධාරය ද ලැබෙන්නට ඇති බවට ඉඟි කළ විගසම මා එම කතාවට බාධා කරමින් වහාම පැවසූයේ මගේ නම් කිසිදු සම්මාදමක් නැති බවයි. මල්ලිලා දෙන්නා ද මේ කටයුත්තට කිසිදු සම්බන්ධයක් නොතිබුණේ යැයි මම සිතමි.

එදින සවස් යාමයේ මගේ බාලම සොහොයුරා මා සමග පැවසූයේ මෙම මුළුතැන් ගෙය ඉදිකරන ලද්දේ පන්සලේ රාත්‍රියට නතර වෙන ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා වැනි අයට කෑම පිස ගැනීම සඳහා බවය.

මෙම පුවරුවේ ඇති සටහනේ අඩුවක් ඇත.

එනම් අර නන්දාරාම නම් සාදුට යොදා ඇති ශ්‍රාස්ත්‍රවේදී යන උපාධි නාමය මගේ තාත්තා ගේ නමට ඉදිරියෙන් ද යෙදිය යුතුව තිබුණි. මම හිතන විදියට මේ සාදු උපාධිය ලබාගන්න ඇත්තේද මගේ පියා උපාධිය ලබාගත් විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් විය යුතුය.

මේ පන්සලේ වැඩකිඩ ගැන දුක හිතෙන කතාවක් මෙතැනින් කියවිය හැකිය. වෙස්සන්තර නම් ආත්මාර්ථකාමියෙකි, එතකොට සුමනාවතී? - I dont get this!
https://rasikalogy.blogspot.com/2016/04/i-dont-get-this.html


- රසික සූරියආරච්චි (image: අම්මා හෝ මල්ලී හෝ විසින් 2017 දී මවෙත එවන ලදී.)