Wednesday 24 February 2021

ඇන්ජෙලා හටී සිදුවීම නිසා මතකයට ආ පැරණි නොවැදගත් කතාවක් - Who is Angella Hutti

පැරණි නොවැදගත් කතාව කීමට පෙර මේ සටහනේ පසුබිම විස්තර කළ යුතුවේ.

ඇන්ජෙලා හුටී යනුවෙන් ශබ්දවෙන ආකාරයට අනුව සිංහල අකුරෙන් ලිව්වාට මෙහි හුටී යන්න ලතින්/රෝමන් අකුරෙන් ලියන්නේ Hutti කියා ය.

ඇන්ජෙලා හුටී ඇමරිකානු එක්සත් ජනපදයේ මාධ්‍යවේදිනියකි. සිංග්ලිෂ්වලින් ලියන කියවන සමහරෙකුට ඇගේ වාසගමේ අකුරු ගෙන දුන්නේ මහත් වූ අමන්දානන්දයකි. තමන් කැමති ජුගුප්සා රසයක් විඳ සැනසී චූ කර නිදා ගන්නවා වෙනුවට මේ අය කළේ ඇන්ජෙලාගේ ෆේස්බුක් පිටුවට ගොස් ඇයට ඇගේ වාසගම සිංහලෙන් ලියමින් ප්‍රතිචාර දැක්වීමයි. ඇගේ කුඩා පුතාගේ ඡායාරූප යටින් පවා ඔබට සිතාගත හැකි ආකාරයේ ප්‍රතිචාර දක්වා තිබුණි.

මෙය කෙතරම් දරුණු ලෙස සිදුවී ඇති ද යත් දැන් ලංකාවේ අන්තර්ජාල පහසුකම් සපයන්නන් හරහා ඇගේ ෆේස්බුක් පිටුවට පිවිසිය නොහැකි ආකාරයට සීමා පනවා ඇතිබවක් කියවේ.

නමුත්, අපේ සමහරු ඉන් පසුබට නොවී, ලංකාවේ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් තහනම්කර ඇති ලංකාඊනිවුස් වැනි වෙබ් අඩවිවලට පිවිසීම සඳහා භාවිතා කරන වීපීඑන් හෙවත් අතත්‍ය පුද්ගලික ජාල හරහා ගොස් තවදුරටත් ඇන්ජෙලාගේ වාසගම අවඥාවට ලක් කරන බව පෙනේ.

එක් භාෂාවක වචන තවත් භාෂාවකින් වෙනත් අරුත් ගෙන දෙන බව අමුතු දෙයක් නොවේ. ඒ වෙනත් අරුත් සමහර විට හාස්‍යය උපදවන මෙන්ම, තිත්ත කුණුහරුප වීමට ද ඉඩ ඇත.

උදාහරණයක් ලෙස මා අසා ඇති කතාවක් නම්, ලංකාවේ නිෂ්පාදිත කරදිය ඉඟිනළුව (හෝ එහි ආ ගීතයක්) රුසියාවේ වේදිකාගත වූ අවස්ථාවක "හොයියා හෝයියා" නම් ගීතය අසා රූසියානුවන් හිනා වෙන්නට පටන් ගෙන ඇති බවයි. හුයියා යනු රුසියන් භාෂාවෙන් ෆක් යන අදහස ගෙන දෙන බව කියවේ.

නම් ගැන සඳහන් කරනවා නම් දික්වැල්ල යන නම Dickwalla ලෙස ලියා එයම "ඩික් වල්ලා" කියා ශබ්දකොට අපට ගුජුප්සා රසයක් ලබන්නට හැක. "කැරී" වැනි යුරෝපියානු නමක් සම්බන්ධයෙන් ද එලෙසම කළ හැක. කාරියකරවන වැනි නමක් වුවද, ලතින් අකුරෙන් ලියා නැවත වෙනත් ආකාරයකට කියවිය හැක.

පුක යන වචනය සහ එහි විවිධාකාර වරනැගීම් සහිත ස්ථාන නාම නවසීලන්තය පුරාම ඇත. පුක යන්න මෞරි භාෂාවෙන් ගෙන දෙන්නේ සිංහල අරුත නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

දැන් මෙන්න පරණ කතාව.

මා මගේ මව අමතන්නේ අම්මා කියා ය. මගේ බිරිඳ ඇගේ මව ඇමතූයේ ද එලෙස ය. නමුත් අපේ දරුවන් තමන්ගේ මව අමතන්නේ අම්මී කියා ය.

අම්මා අම්මී වෙන්නට පටන් ගත්තේ අප කුඩා කාලයේ ය. එවිට අපේ වයසේ සිටි අය බහතෝරා හමාර නිසා අම්මා අම්මාම විය. ඇත්තෙන්ම මට වඩා වයසැති තම මවට අම්මී කියා අමතන මිතුරන් මට ඇත්තේ එක් අයෙකු පමණි!

එසේ නමුත්, ඒ කාලයේ අලුත ඉපිදී බහතෝරන ළමුන්ට ඔවුන්ගේ අම්මලා තමන්ව අම්මී ලෙස හඳුන්වා දීම ඇරඹී තිබුණි. එසේම, ඒ වෙනව භාෂාව භාවිතයේ සිදුවෙන ස්වභාවික වෙනසක් ලෙස නොව සංකරවීමක් ලෙස සලකා එයට විරෝධවූ භාෂාවල්ලන් ද වූහ.

එක්තරා වසරක අපේ ගමේ පන්සලේ පිංකම්වාරයේ බණක් දෙසන්නට පැමිණි සාදුකෙනෙකු එවැන්නෙකු බව බණ කියන අතරේ ඔහු පැවසූ කතාවක් නිසා මට පෙනුණි.

ඔහු පැවසූ අදහස මෙසේ ය.
මිසරයේ (ඒ කියන්නේ ඊජිප්තුවේ) අම්මී කියන්නේ මිරිස්ගලටයි. ඔබේ අම්මාට ඔබ මිරිස්ගල කියා අමතනවා ද? නෑ නේද? එසේ නම් ඒ අරුත දෙන අම්මී කියා ඔබේ මව අමතන්න එපා!
ප්‍රාථමික පාසලේ ශිෂ්‍යයෙකු වුව ද, මේ මොන විකාරක් ද කියා මට එදා සිතුණි. අප අම්මාට කතා කළේ අම්මා කියා මිස අම්මී කියා නොවන නිසා, ඊට වඩා කළ යුතු දෙයක් නොතිබුණි.

ඇන්ජෙලා හටී සිදුවීම නිසා මතකයට ආ පැරණි නොවැදගත් කතාව එයයි!

-රසික සූරියආරච්චි

ප/ලි:
1. ඇත්තටම මට වඩා වසර දහයකින් සහ දොළහකින් බාල මගේ නැන්දාගේ දරුවන් දෙදෙනා පවා ඔවුන්ගේ මව අමතන්නේ අම්මා කියා බව මට මේ මොහොතේ සිදුවිය.

2. ඊජිප්තුවේ භාවිතාවෙන්නේ භාෂාව අරාබි භාෂාවයි. ගූගල් පරිවර්තකය ඇසුරෙන් විමසා බැලූ විට අම්මී යන ශබ්දය ඇති عَمّيّ යන්නේ අදහස "මගේ මාමා" බව පෙනුණි.
(image: https://www.bizjournals.com/austin/news/2017/10/20/austin-area-economic-leaders-under-police.html)